Justin Martyr, Dialogue with Trypho in Sinhala, chapters 61-90
61 වන පරිච්ඡේදය
“ඉතින්, මගේ මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ සියලු සත්වයින් මැවීමට පෙර, ආරම්භයක් ලෙස යම් තාර්කික බලයකන් තමන්ගෙන්ම උපදවා ගෙන ඇති බව මා දැන් ශුද්ධලියවිල්ලෙන් ඔබට පෙන්වන්නම්. ශුද්ධාත්මයාණන් වහන්සේ මෙම බලය විවිධ නිල නාමවලින් පෙන්නුම් කරන සේක. සමහර විට ස්වාමින් වහන්සේගේ මහිමය, තවත් විටෙක පුත්‍රයාණන් වහන්සේ, හෝ ප්‍රඥාව, හෝ දේවදූතයා ලෙස, නැතිනම් දෙවියන් වහන්සේ, හෝ ස්වාමින් වහන්සේ හෝ වචනයාණෝ ලෙස දක්වන සේක. නූන්ගේ පුත් යොෂුවා හට උන් වහන්සේ මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටි විට උන් වහන්සේ තමා සේනාධිනායකයා ලෙස පවා හඳුන්වාගත් සේක. ඇත්ත වශයෙන්ම, උන් වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන බැවිනුත්, පියාණන් වහන්සේගේ කැමැත්තේ ක්‍රියාව කරණකොටගෙන උන් වහන්සේ ඉපදුණු නිසාත් යන කාරණා දෙකින්ම උන් වහන්සේට මෙම සියලු නිල නාමවලට සාධාරණ ලෙස හිමිකම් පෑමට හැකිය. එහෙත් මිනිසුන් වන අපටත් ඒ හා සමාන දෙයක් සිදු නොවේද? අප වචනයක් ප්‍රකාශ කරන විට, අපට වචනය උපදින්නේ යැයි පැවසිය හැකිය, එහෙත් එය කපා හැරීමෙන් නොවේය, එම නිසා අපගේ වචන ප්‍රකාශ කිරීමේ බලය හීන වනු ඇත යන අර්ථයෙන් එසේ කිව හැකිය. එක් ගින්නකක් තවත් ගින්නක් ඇති වන අවස්ථාවේදී අපට ස්වභාවධර්මයෙහි මේ හා සමාන ආදර්ශයක් නිරීක්ෂණය කළ හැකිය. එහිදී කිසිවක් නැති නොවී, එහෙත් එලෙසම පවතිමින්. එසේ වූවත් දල්වන ලද ගින්න දැන් තමන්ම බවත්, එය පළමු ගින්නේ දීප්තිය අඩු නොවී බැබළෙන බවත් පෙනේ. මගේ ප්‍රකාශයන් අන් කිසිවෙකු මගින් නොව ප්‍රඥාවේ වචනය වන විශ්වීය පියාණන් වහන්සේගෙන් උපත ලද මේ දෙවියන් වහන්සේ කරණකොටගෙන දැන් තහවුරු වේ. එසේම උන් වහන්සේ තමන් වහන්සේ බිහි කළ උන් වහන්සේගේ වචනය සහ ප්‍රඥාව සහ බලය සහ මහිමය වන සේක. සලමොන් පැවසූ පරිදි උන් වහ්සේගේ වචන මෙන්න: ස්වාමීන් වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන් වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී මා පිහිටෙවු සේක. පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි. ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි. කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්, උන් වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි. උන් වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි. උන් වහන්සේ ගැඹුර මතුයෙහි චක්‍රයක් ඇන්ද කලද, ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද, මුහුදේ ජලය එහි ඉම පසු කරන්න ලෙස උන් වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණු කළ කලද, මම උන් වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි; සෑමකල්හිම උන් වහන්සේ ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින්, දවසින් දවස උන් වහන්සේගේ ප්‍රීතිය වීමි. උන් වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂ වෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීති වුණෙමි. එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන් දියල්ලා. මක්නිසාද මාගේ මාර්ග රක්ෂා කරන්නෝ වාසනාවන්තයෝය. ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙයල්ලා. දවසින් දවස මාගේ දොරටු ළඟ බලා සිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල් කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද මා සම්බ වන අයට ජීවනය සම්බ වෙයි, ස්වාමීන් වහන්සේගෙන් කරුණාවද ලබාගන්නේය. නුමුත් මාගෙන් මුළාව යන්නා තමාගේම ප්‍රාණයට අනතුරු කර ගන්නේය; මට වෛර වන සියල්ලෝම මරණයට ප්‍රේම වන්නෝය.” මම කීවෙමි.
62 වන පරිච්ඡේදය
‘මගේ මිත්‍රවරුනි,’ මම තවදුරටත් කියාගෙන ගියෙමි. ‘මෝසෙස් තුළින් දෙවියන් වහන්සේගේ වචනයෙහි දැක්වෙන මිනිසා මැවීමේදී දෙවියන් වහන්සේ මේ තැනැන් වහන්සේ පිළිබඳ (මෝසෙස් විසින් පෙන්වා දෙන ලද තැනැත්තා) මේ දේම ප්‍රකාශ කර ඇති අතර, එය අපට එළිදරව් කරනු ලැබූ විට එම අර්ථයෙන්ම කතා කර ඇති බව අපට පැහැදිලි වේ. ඒ සම්බන්ධ ශුද්ධලියවිල්ලේ කොටස මෙසේය: “තවද දෙවියන් වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක.
දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවු සේක, දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූ සේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කළ සේක; දෙවියන් වහන්සේ ඔවුන්ට කියන සේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කර ගනිව්; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව්යයි කී සේක.”
“දෙවියන් වහන්සේ තමන් වහන්සේටම “අපි සාදම්හ” කීවේ, අපෙ යමක් කිරීමට සිටින විට, “අපි සාදමු” කියා අපටම පවසා ගන්නාක් මෙන්ය; එසේත් නැතිනම් මිනිසා සෑදී ඇතැයි අප සිතන මූලද්‍රව්‍යවලට, එනම් පෘථිවියට හෝ වෙනත් ඒ හා සමාන ද්‍රව්‍යවලට “අපි සාදමු” යනුවෙන් දෙවියන් වහන්සේ පැවසූ බවට – ඔබේ ගුරුවරුන් පවසන දේ නැවත නැවත කියමින් ඔබ මෙම වචනවල අර්ථය විකෘති නොකරනු පිණිස – මෝසෙස් හේතු සහිතව සමක් ලබා දී ඇති අයෙකු සමග සහ සංඛ්‍යාව අනුව සලකන කල උන් වහන්සේගෙන් වෙනස් අයෙකු ගැන කතා කළ බව සැකයෙන් තොරව ඔප්පු කිරීමට මම නැවතත් මෝසෙස් උපුටා දැක්වීමට කැමැත්තෙමි. මේවා මෝසෙස්ගේ වදන්ය: “දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: බලව, ආදම් යහපත හා අයහපත දැනගෙන අපගෙන් කෙනෙකු මෙන් වී ඇත.” දැන්, “අපගෙන් කෙනෙකු මෙන්” යන වචනවලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ පුද්ගලයන් යම් සංඛ්‍යාවක් එකට සිටි බවයි. ඔවුහු අවම වශයෙන් දෙදෙනෙක් සිටියහ.
ඔබේ ආගමේ මිථ්‍යාදෘෂ්ටික නිකායක් ලෙස ඔබ විසින්ම ප්‍රකාශ කරන ලද එම ඉගැන්වීම සත්‍ය යැයි මම නොසලකමි. එසේම එම මිථ්‍යාදෘෂ්ටියේ අනුගාමිකයින්ට උන් වහන්සේ එම වචන දේවදූතයන්ට පැවසූ බව හෝ මිනිස් සිරුර දේවදූතයාගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් බව ඔප්පු කළ නොහැකිය. එහෙත් සත්‍ය වශයෙන්ම පියාණන් වහන්සේගෙන් උපත ලද මේ වංශය සලමොන් තුළින් ශුද්ධලියවිල්ල අපට පැහැදිලිව පෙන්වා දුන් පරිදි, සාලමොන් විසින් ප්‍රඥාව ලෙස හඳුන්වනු ලබන මේ පුත්‍රයාණන් වහන්සේ බව සියලු මැවීමට පෙර පියාණන් වහන්සේ සමග සිටි අතර, පියාණන් වහන්සේ උන් වහන්සේ සමග කතා කළ සේක. එහිදී මේ පුත්‍රයාණන් වහන්සේගේ සියලු ක්‍රියාවන්ට පෙර ආරම්භයක් ලෙසත්, උන් වහන්සේගේ පරම්පරාව ලෙසත් උපන් සේක යයි පවසා ඇත. නූන්ගේ පුත් යොෂුවාට එළිදරව් කිරීමේදී දෙවියන් වහන්සේ මෙම සත්‍යයටම සාක්ෂි දැරූ සේක. ඒ ගැන සම්පූර්ණයෙන් ඒත්තු ගැනීම පිණිස, යොෂුවාගේ පොතේ සඳහන් මෙම වචනවලට සවන් දෙන්න:
“යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය. ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාර කොට : මාගේ ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියන සේක්දැයි ඇසීය. ස්වාමීන් වහන්සේගේ සේනාපතියාද: නුඹ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගලවාපන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කළේය. යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය. ස්වාමීන් වහන්සේ යෝෂුවාට කථා කොට: බලාපන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවා දුනිමි.”
63 වන පරිච්ඡේදය
ට්‍රිපෝ මෙලෙස පැවසුවේය. ‘මගේ මිත්‍රය, ඔබ ඔබේ අදහස බොහෝ ප්‍රබල මෙන්ම අවශ්‍ය පමණටත් වඩා තර්ක ඉදිරිපත් කර ඔප්පු කළෙහිය. දැන්, උන් වහන්සේ තම පියාණන් වහන්සේගේ කැමැත්තට අනුව, කන්‍යාවක් මගින් මිනිසෙකු වීම පිණිසත්, කුරුසියේ ඇණ ගසා මරනු ලැබීමටත් පොළොවට පැමිණි බව අපට ඔප්පු කරන්න; එසේම උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී ස්වර්ගයට ගිය බවද අපට පෙන්වන්න.
මම එයට මෙසේ පිළිතුරු දුනිමි. ‘මහත්වරුනි, මෙය කලින් උපුටා දක්වන ලද අනාවැකි මගින් මම දැනටමත් ඔප්පු කර ඇත්තෙමි. එහෙත්, මේ කාරණය පිළිබඳ ඔබට ඒත්තු ගැන්වීම සඳහා, මම ඔබට එම කොටස් නැවතත් පැහැදිලි කරන්නෙමි. යෙසායාගේ මේ වචනවලින් එනම්, “ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන් වහන්සේ සිඳ දමනු ලැබූ බව උන් වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනා කළේද?” යන්නෙන් මිනිසුන්ගේ පාප නිසා දෙවියන් වහන්සේ [පියාණන් වහන්සේ] විසින් මරණයට පත් කරන ලදැයි කියනු ලබන උන් වහන්සේට හුදු මනුෂ්‍යයෙකුගේ මූලාරම්භයක් පමණක් නොතිබූ බව දක්වන්නේ නැද්ද? මෝසෙස්ද, කලින් උපුටා දක්වන ලද උපමාවක උන් වහන්සේගේ රුධිරය ගැන කතා කරමින් මෙසේ පවසා ඇත. “ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.” එසේ පැවසුවේ උන් වහන්සේගේ රුධිරය මිනිස් බීජයෙන් නොව, එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ආරම්භ වූ බැවිනි. ඉන්පසුව, දාවිත්ගේ වචනද තිබේ: ” ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකෙම් අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය. නුඹ මෙල්කිසෙදක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන් වහන්සේ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.” දෙවියන් වහන්සේ එනම් සියලු දේවල පියාණන් වහන්සේ, උන් වහන්සේ මිනිස් ගර්භාශයක් තුළ නැවත ඉපදීම අදහස් කළ බවට මෙම වචනවලින් අදහස් කරන්නේ නැද්ද? මීට පෙර සඳහන් කළ තවත් කොටසක ඔහු මෙසේ පවසයි: “දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂ කළ සේක. එබැවින් දෙවියන් වහන්සේ, ඔබගේ දෙවියන් වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේප කළ සේක. ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මය වූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවුවෝය. ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය. දියණියෙනි, අසව, කල්පනා කරව, කන් යොමු කරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහි නැති කරව; එවිට රජ තෙම නුඹේ රූපශ්‍රීයට ආශා වෙයි. මක්නිසාද උන් වහන්සේ නුඹේ ස්වාමීය; උන් වහන්සේට නමස්කාර කරව.” සියල්ලම සිදු කළ [පියාණන් වන දෙවියන් වහන්සේ] උන් වහන්සේට [යේසුස් වහන්සේට] දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ ලෙස සලකමින් සියල්ලන්ම නමස්කාර කළ යුතු බවට සාක්ෂි දුන් බව මෙම වචනවලින් පැහැදිලි වේ. දෙවියන් වහන්සේගේ වචනය උන් වහන්සේගේ විශ්වාසවන්තයින්ට (එනම් එකම ආත්මය සහ එකම සිනගෝගය වන සහ එකම සභාව වන අයට), එනම්, උන් වහන්සේගේ නාමයෙන් පිහිටුවන ලද සහ සහභාගී වන සභාවට (මන්ද අප සියල්ලන්ම කිතුනුවන් ලෙස හඳුන්වන බැවින්), දියණියකට සේ කථා කරන බව එම වචනවලින් තවදුරටත් පෙන්වා දෙන්නේය. එය එසේ වන බවත්, අපගේ මුතුන් මිත්තන්ගේ පැරණි සිරිත් විරිත් අමතක කරන ලෙස අපට උපදෙස් දී ඇති බවත්, පහත වචනවලින් ගම්‍ය වේ: “දියණියෙනි, අසව, කල්පනා කරව, කන් යොමු කරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහි නැති කරව; එවිට රජ තෙම නුඹේ රූපශ්‍රීයට ආශා වෙයි. මක්නිසාද උන් වහන්සේ නුඹේ ස්වාමීය; උන් වහන්සේට නමස්කාර කරව.”
64 වන පරිච්ඡේදය
“විජාතීන්ගෙන් පැමිණි ඔබට, එනම් උන් වහන්සේගේ නාමයෙන් කිතුනුවන් ලෙස හඳුන්වනු ලබන සියල්ලන්ටම, ශුද්ධලියවිල්ලේ සඳහන් වන පරිදි, උන් වහන්සේ ස්වාමින් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කළ හැකිය, එහෙත් යුදෙව්වන් වන අප, එනම් උන් වහන්සේ මැවූ දෙවියන් වහන්සේට නමස්කාර කරන අප, උන් වහන්සේට එසේ ප්‍රකාශ කිරීමට හෝ උන් වහන්සේට නමස්කාර කිරීමට හෝ බැඳී නැත,’ යයි ට්‍රිපෝ පැවසුවේය.
මම එයට මෙසේ පිළිතුරු දුන්නෙමි. ‘ට්‍රිපෝ, මා ඔබ තරම් මතභේදාත්මක සහ නොගැඹුරු ලෙස සිතන අයෙකු නම්, මා බොහෝ වේලාවකට පෙර මෙම සාකච්ඡාව නවත්වා දමා ඇත. මන්ද ඔබ මගේ තර්ක තේරුම් ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා නිසාය. එහෙත් ඔබේ උත්සහාය ඕනෑම ආකාරයක පිළිතුරක් දීමට ඔබේ මොළය අවුල් කරගැනීම පමණි. එහෙත් දැන්, දෙවියන් වහන්සේගේ විනිශ්චයට බියෙන්, සබාත්හි ස්වාමින් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් ඔබේ ජාතියේ කිසිවෙකුට ගැලවීම ලැබේද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට තරම් මම නිර්භීත නොවෙමි. ඔබ දිගින් දිගටම විවාද කළත්, මගේ මතය හෝ උපදෙස් පතන ඕනෑම ජාතියක පුද්ගලයන් සඳහා මා කරන ආකාරයටම ඔබ ඉදිරිපත් කරන ඕනෑම දුෂ්කරතාවයකට හෝ විරෝධයකට මම පිළිතුරු දෙන්නෙමි. මා විසින් උපුටා දක්වන ලද ශුද්ධලියවිල්ලේ කොටස් කෙරෙහි ඔබ ඔබේ පූර්ණ අවධානය යොමු කළේ නම්, ගැලවීම ලබා ගන්නා යුදෙව්වන්, උන් වහන්සේ තුළින් ගැලවීම ලබන බවත්, උන් වහන්සේගේ පාක්ෂිකයන් බවත් ඔබ දැනටමත් තේරුම් ගෙන ඇත්තෙහිය. ඔබ මෙය තේරුම් ගත්තෙහි නම්, ඔබ නිසැකවම මගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරනු ඇත. ඔබේ ප්‍රයෝජනය සඳහා මම දාවිත්ගේ එම උපුටා දැක්වීම් නැවත දක්වන්නට කැමැත්තෙමි. එසේ ද්වේෂසහගත ලෙස ඒවාට පටහැනිව කරුණු දැක්වීම වෙනුවට ඒවා තේරුම් ගැනීම සඳහා අවධානයෙන් සිටින ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. දාවිත්ගේ වචන මෙන්න: “ස්වාමීන් වහන්සේ රජකම් කරන සේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන් වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳින සේක; පොළොව සෙලවේවා. ස්වාමීන් වහන්සේ සියොන්හි උතුම්ය; උන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය. ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; උන් වහන්සේ ශුද්ධ සේක. රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රිය වෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය. අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන් වහන්සේගේ පාපුටුව වෙත නමස්කාර කරව්. උන් වහන්සේ ශුද්ධ සේක. උන් වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤා කළෝය, උන් වහන්සේද ඔවුන්ට උත්තර දුන් සේක. උන් වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථා කළ සේක. ඔව්හු උන් වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය.”
තවද, දාවිත්ගේ කලින් උපුටා දක්වන ලද අනෙකුත් කොටස්වලින්, ඒවා “සලමොන්ට” ලියා ඇති නිසා, ඔබ නොදැනුවත්කම නිසා ඒවා ඔහු වෙත යොමු කරන ලද බව පවසන බව ඔප්පු කළ හැකිය. ඒවායින් සලමොන් ගැන කතා නොකළ බවත්, ක්‍රිස්තුස් වහන්සේ සූර්යයාට පෙර සිටි බවත්, ඔබේ සෙනඟ අතරින් ගැලවෙන අය උන් වහන්සේ කරණකොටගෙන ගලවනු ලබන බවත් ඔප්පු කළ හැකිය. ඒ වචන මේවාය: “දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව. උන් වහන්සේ ඔබගේ සෙනඟ ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චය කරන්නේය. කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනඟට සමාදානය හටගන්වන්නේය. උන් වහන්සේ සෙනඟ අතරේහි වූ දුප්පතුන් විනිශ්චය කරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගලවන්නේය, පීඩා කරන්නා කැබලි කරන්නේය. ඔව්හු හිර සඳ පවතිනා තෙක් සියලු පරම්පරාවල ඔබට භය වන්නෝය.” එය තවදුරටත් මෙසේ දක්වයි. “උන් වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය; හිරු පවත්නා තෙක් උන් වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන් වහන්සේ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය; සියලු ජාතීහු උන් වහන්සේ වාසනාවන්ත යයි කියන්නෝය. ආශ්චර්ය කිරීමේ එකම කර්තෘවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, ස්වාමිවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන් වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසා වේවා; මුළු පොළොව උන් වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.” මා ඉහත සඳහන් කළ දාවිත්ගේ වෙනත් වචනවලින් මේ දේ පෙන්නුම් කරන බව සිහියේ තබා ගන්න. එනම් උන් වහන්සේ ඉහළම ස්වර්ගයෙන් පොළොවට පැමිණ නැවත එම ස්ථානයටම නැඟී සිටින බව ඔප්පු කළ හැකිය. එනම් උන් වහන්සේ ඉහලින් දෙවියන් වහන්සේ ලෙස පැමිණ මිනිසුන් මැද මිනිසෙකු බවට පත් වූ බවත්, යම් දවසක උන් වහන්සේ නැවත පොළොවට පැමිණෙන බවත්, එහිදී උන් වහන්සේ සිදුරු කළ අය උන් වහන්සේ දෙස බලා හඬා වැලපෙනු ඇති බවත් පෙන්වන වචන පහත පරිදි වේ: ” අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; ගුවන්තලය උන් වහන්සේගේ හස්තකර්මාන්තය දක්වයි. දවාල දවාලට කථා කරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. එහි උන් වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවු සේක. ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකු මෙන් ප්‍රීති වෙයි. ඔහුගේ නික්මයාම අහසේ කෙළවෙරන් වේ, වටේට යාමත් එහි කෙළවර දක්වා වේ. ඒකේ රස්නය නොවැදෙන කිසිවක් නැත්තේය.”
65 වන පරිච්ඡේදය
“ශුද්ධලියවිල්ලෙන් බොහෝ උපුටා දැක්වීම් මෙන්ම, දෙවියන් වහන්සේ තම මහිමය අන් කිසිවකු සමග බෙදා නොගන්නා බව පවසන එනම්, “මම ස්වාමීන් වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි,” යෙසායාගේ එම කොටස පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ප්‍රහේලිකාවකි යනුවෙන් ට්‍රිපෝ පැවසුවේය.
මම එයට මෙලෙස පිළිතුරු දුන්නෙමි. ‘ට්‍රිපෝ, ඔබ එම කොටස අවංකව සහ ද්වේෂසහගත නොවී ලෙස උපුටා දැක්වූවා නම්, ඊට පෙර සහ පසුව ඔබ එයට එකතු කළ වචන එකතු නොකර එයින්ම නැවැත්වූයේ නම්, එවිට ඔබට සමාව දිය හැකිය. එහෙත්, ඔබ එසේ කළේ, ශුද්ධලියවිල්ලේ සමහර කොටස් අනෙක් ඒවාට පටහැනි බව පිළිගැනීමට මා අපහසුතාවයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් නම්, මා එවැනි දෙයක් ප්‍රකාශ කිරීමට හෝ සිතා ගැනීමට තරම්වත් නිර්භීත නොවනු ඇත. එවැනි කොටසක් උපුටා දක්වා ඇති නම්, ඒවා පෙනෙන විදිහට වෙනත් කොටසකට පටහැනි නම් (කිසිදු කොටසක් වෙනත් කොටසකට පටහැනි නොවන බව මා ධනාත්මකව සිතන බැවින්), මා එම කොටසෙහි තේරුම නොදන්නා බව මම විවෘතව ප්‍රකාශ කරමි, එසේම ශුද්ධලියවිලි සමහර විට පරස්පර විරෝධී යැයි සිතන අය විසින් කී දේ සම්බන්ධයෙන් ඔවුන් සමග මගේ මතය බෙදා ගැනීමට මම උපරිමයෙන් කටයුතු කරමි. ඔබ මෙම අවසාන දුෂ්කරතාවය යෝජනා කළේ මන්දැයි දන්නේ දෙවියන් වහන්සේම පමණි. එහෙත්, දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේට පමණක් තම මහිමය දෙන බව ඔබට පෙනෙන පිණිස, එහි නියම වචනවලින් මම ඔබ වෙනුවෙන් එම කොටස නැවත පවසන්නම්. තවද, මහත්වරුනි, මම ට්‍රිපෝ විසින් උපුටා දක්වන ලද කොටසෙහි සන්දර්භයෙහි වචන කිහිපයක් සහ ඒවාට පසුව සඳහන් වන වචන කිහිපයක්ද එකතු කරන්නෙමි. මා උපුටා දක්වන වචන වෙනත් කොටසකින් නොව, එම සන්දර්භයෙන් පමණක් ගනු ලැබේ. එබැවින්, පහත සඳහන් වචන ගැන මෙනෙහි කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිමි: “ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. ස්වාමීන් වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද කොට නියම කරන්නෙමි. එසේ කරන්නේ අන්ධ වූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය. මම ස්වාමීන් වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි. බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධ වී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශ කරමි. මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන් වහන්සේට අලුත් ගීතිකාවක්ද පොළෝ සීමාවේ සිට උන් වහන්සේගේ ප්‍රශංසාවද ගායනා කරව්. කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්ද නගත්වා; පර්වතවල වැසියෝ ඔල්වර හඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා. ඔව්හු ස්වාමීන් වහන්සේට ගෞරවය දී, උන් වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශ කෙරෙත්වා. ස්වාමීන් වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එන සේක; උන් වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවන සේක; උන් වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරන සේක.”
මම උපුටා දැක්වීම අවසන් කරමින් මෙසේ ඇසුවෙමි.
“දෙවියන් වහන්සේ තමන් වහන්සේ මහිමය අන්‍යජාතීන්ගේ ආලෝකය ලෙස පත් කර ඇති උන් වහන්සේට පමණක්ම දෙන බව සහතික කරන අතර, ට්‍රිපෝ පවසන පරිදි, උන් වහන්සේ තමන් වහන්සේ මහිමය උන් වහන්සේ වෙනුවෙන් පමණක්ම වෙන් කර ගන්නා බව නොවන බව ඔබට පෙනෙන්නේ නැද්ද?”
‘අපට එය පෙනෙයි,’ කියා ට්‍රිපෝ පිළිගත්තේය. ‘දැන්, ඔබගේ තර්කයේ ඉතිරි කොටස අවසන් කරන්න.’
66 වන පරිච්ඡේදය
ඊට පසුව මම නතර කළ ස්ථානයේ ස්ට මගේ තර්කය නැවත ආරම්භ කළෙමි. මා ඔප්පු කරමින් සිටියේ ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාවකගෙන් උපත ලැබූ බවත්, උන් වහන්සේ එසේ ඉපදීමට නියමිත බව යෙසායා පුරෝකථනය කර ඇති බවත්ය. මම එම අනාවැකියේ වදන් නැවත නැවතත් මේ ආකාරයෙන් කීවෙමි: “ස්වාමීන් වහන්සේ තව දුරටත් ආහාස්ට කථා කොට: නුඹේ දෙවිවූ ස්වාමීන් වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලාපන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලාපන්නැයි කී සේක. නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය. එවිට ඔහු කථා කොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසාපල්ලා; නුඹලා මාගේ දෙවියන් වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද? එබැවින් ස්වාමීන් වහන්සේම නුඹලාට ලකුණක් දෙන සේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. ඔහු නපුර එපා කොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දී කිරිත් මී පැණිත් කන්නේය. මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේ යයි කීවේය. එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන් වහන්සේ නුඹ පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ පිය වංශය පිටටත් පමුණුවන සේක.” ‘ආබ්‍රහම්ගෙන් පැවත එන සියලුම ලෞකික පරම්පරාවෙන්, අපේ ක්‍රිස්තුස් වහන්සේ හැරුණු වෙන කිසිවෙක් කන්‍යාවකගෙන් ඉපදී නැති බවත්, නැතහොත් එසේ ඉපදී ඇතැයි ප්‍රකාශ කර නැති බවත් සියලු දෙනාම දනිති,’ යනුවෙන් මම එකතු කළෙමි.
67 වන පරිච්ඡේදය
එවිට ට්‍රිපෝ එයට විරුද්ධ විය. ඔබ උපුටා දැක්වූ පරිදි එම උපුටා ගැනීමෙහි දැක්වෙන්නේ, “බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදන්නීය,” යන්න නොව, එහෙත් “බලව, තරුණියක් පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නීය” යනුවෙනි. තවද, සමස්තයක් වශයෙන් අනාවැකියෙහි හෙසකියා ගැන සඳහන් වන අතර, අනාවැකියේ විස්තර කර ඇති සිදුවීම් ඔහු තුළ ඉටු වූ බව පෙන්විය හැකිය. ඊට අමතරව, ග්‍රීක මිථ්‍යා ශාස්ත්‍රයෙහි ඩැනේ කන්‍යාවකව සිටියදී, ඔවුන් සියුස් ලෙස හඳුන්වන තැනැත්තා රන් වැස්සක ස්වරූපයෙන් ඇය වෙත බැස යන විට පර්සියස් උපත ලැබූ ආකාරය පිළිබඳ කතාවක් තිබේ. එබැවින්, කිතුනුවන් වන ඔබ, මේ මිනිසුන් පවසන කථාන්දර හා සමාන කථා පුනරුච්චාරණය කිරීම පිළිබද ඔබ ගැනම ලජ්ජා විය යුතුය. ඊට පටහැනිව, ඔබ මෙම යේසුස් වහන්සේ හුදු මිනිස් සම්භවයක් ඇති මිනිසෙකු බව පිළිගත යුතුය. උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බවට ඔබට ශුද්ධලියවිල්ලෙන් ඔප්පු කළ හැකි නම්, උන් වහන්සේ නීතිය අකුරටම පිළිපැදීම නිසා උන් වහන්සේ ඒ තෝරා ගැනීමට සුදුස්සෙකු ලෙස සලකනු ලැබූ බව පවසන්න්න. එහෙත් ග්‍රීකයන් මෙන් ප්‍රාතිහාර්යයන් ගැන කතා කිරීමට එඩිතර නොවන්න.’
‘ට්‍රිපෝ, ඔබ සහ අනෙක් සියල්ලන්ම මේ සම්බන්ධයෙන් නිසැක බවක් ඇති කරගැනීම මට අවශ්‍යය. ඔබ මට උපහාසයෙන් කතා කරමින් මා සමච්චලයට ලක් කිරීමේදී වඩාත් නරක උපහාසවලට යොමු වුවද, මගේ නියම අරමුණෙන් මා වෙනතකට හැරවීමට ඔබට නොහැකි වනු ඇත. මන්ද මගේ ප්‍රකාශවල සත්‍යය පෙන්වීමට මා එම වචන සහ උදාහරණම (මා වියවුලට පත් කිරීම පිණිස ඔබ විසින් නිර්මාණය කරන ලද), ශුද්ධලියවිල්ල සමග ඒකාබද්ධ කරමින් දිගටම භාවිත කරමි.
එහෙත් අපි අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ කරුණු ඉවත් කිරීමට ඔබ උත්සාහ කරන විට ඔබ සාධාරණ හෝ සත්‍යවාදී නොවේය. නිදසුනක් වශයෙන්, ව්‍යවස්ථාවේ සමහර ශික්ෂා පද මෝසෙස් විසින් පිහිටුවන ලද්දේ ඔබේ ජනතාවගේ සිත් දැඩි බව නිසාය.
මක්නිසාද යේසුස් වහන්සේ සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ බව ඔප්පු කළ හැකි නම්, එය එසේ වන්නේ උන් වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැඩි ලෙස පිළිපැදීම නිසා පමණක් බව ඔබ ප්‍රකාශ කළෙහිය,’ යනුවෙන් මම පිළිතුරු දුන්නෙමි.
‘උන් වහන්සේ චර්මඡේදනය කරනු ලැබූ බවත්, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අනෙකුත් ශික්ෂා පද පිළිපැද්ද බවත් ඔබ පිළිගත්තෙහිය,’ යයි ට්‍රිපෝ නැවතත් කතා කරමින් කීවේය.
‘ඔව් මම එය පිළිගත්තෙමි, එසේම තවදුරටත් මම එසේ කරමි. එහෙත් ධර්මිෂ්ඨ කරනු ලැබීම එයින් ලබා ගත හැකි බැවින් උන් වහන්සේ මෙයට යටත් වූ බව මා පිළිගන්නේ නැත. එහෙත්, සියල්ලේ මැවුම්කරුවාණන් වහන්සේ වන, උන් වහන්සේගේ පියාණන් වන, ස්වාමින් වහන්සේගේ සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇතිව අපගේ මිදීමේ සැලැස්මට අනුකූලව එය සම්පූර්ණ කිරීම සඳහා එයට යටත් වූ බව මම පිළිගනිමි. උන් වහන්සේ මනුෂ්‍යයෙකු වීම උදෙසා පහළට පැමිණි බවත්, උන් වහන්සේගේම මිනිසුන් විසින් උන් වහන්සේට කරන ලද දුක් වේදනා විඳ දරාගනිමින් උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබ මිය ගිය බවත් මම පිළිගනිමි. දැන් ට්‍රිපෝ, ඔබ කලින් පිළිගත් කරුණු ඔබ ප්‍රතික්ෂේප කරන බැවින්, මෝසෙස්ට පෙර ජීවත් වූ මෙම සාධාරණ මිනිසුන් සහ කුලදෙටුවන්, මෝසෙස් විසින් ප්‍රථම වරට අණ කරන ලද ශුද්ධලියවිල්ලේ පෙන්වන එම ශික්ෂා පද නොපැවැත්වූ බැවින්, ආශීර්වාද ලත් අයගේ උරුමයෙන් ගැලවීම ලබා තිබේද යන්න මට පවසන්න,’ යයි මම පිළිතුරු දුන්නෙමි.
‘ඔවුන් සතුව ගැලවීම ඇති බව පිළිගැනීමට ශුද්ධලියවිලි මට බල කරයි,’ යනුවෙන් ට්‍රිපෝ පැවසීය.
“මේ ප්‍රශ්නයටත් පිළිතුරු දෙන්න,” යයි මම දිගටම කීවෙමි. ‘දෙවියන් වහන්සේ ඔබේ මුතුන්මිත්තන්ට පුද පූජා ඔප්පු කරන ලෙස අණ කළේ ඒවා උන් වහන්සේට අවශ්‍ය නිසාද, නැතහොත් ඔවුන්ගේ සිත් දැඩිකම සහ රූප වන්දනාවට ඇති ඔුන්ගේ දැඩි ආශාව නිසාද?’
‘දෙවන හේතුව පිළිගැනීමට ශුද්ධලියවිල්ල මට බල කරයි’ කියා ඔහු පිළිතුරු දුන්නේය.
‘දෙවියන් වහන්සේ නව ගිවිසුමක් ප්‍රකාශ කළ බවට, උන් වහන්සේ හොරෙබ් කන්දේදී ලබා දුන් දේ හැරුණුකොට එම ශුද්ධලියවිල්ලම අනාවැකි පළ කර තිබේද?’
“ඔව්, ශුද්ධලියවිල්ලෙහි එසේ පවසා ඇත,” ඔහු පිළිගත්තේය.
“ඒ පැරණි ගිවිසුම ඔබේ මුතුන් මිත්තන්ට භාර දුන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමට නොහැකි තරම් බිය සහ වෙව්ලීම මධ්‍යයේ නොවේද?” යයි මම දිගටම ඇසුවෙමි.
‘ඔව්, එයද සත්‍යයයි,’ ඔහු පිළිගත්තේය.
“එසේ නම්, දෙවියන් වහන්සේ පැරණි ගිවිසුමට වඩා වෙනස් වූ තවත් ගිවිසුමක් පොරොන්දු වූ බවත්, එය බියෙන් හා වෙව්ලීමකින් සහ විදුලි කෙටීම්වලින් තොරව ඔවුන් වෙත ලබා දෙන බවත්, එම ගිවිසුමෙහි දෙවියන් වහන්සේ සදාකාලික යැයි දන්නා සහ සෑම ජාතියකටම ගැළපෙන ශික්ෂා පද සහ ක්‍රියාවන් පෙන්නුම් කරන බවටත් ඔබ තර්ක කරන්නේ මන්ද? එසේම ඔබගේ මිනිසුන්ගේ හදවතේ දැඩිකමට පමණක් සුදුසු පරිදි (උන් වහන්සේ උන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් තුළින් ප්‍රකාශ කළ පරිදි) නිකුත් කර ඇති උන් වහන්සේගේ ආඥාවන් කවරේද? යනුවෙන් මම දිගටම අසාගෙන ගියෙමි.
“ආරවුල්වලට නොව, සත්‍යයට ප්‍රේම කරන අය ඔබ සමග සම්පූර්ණයෙන්ම එකඟ විය යුතුය,” කියා ට්‍රිපෝ පිළිතුරු දුන්නේය.
‘ඔබ විසින්ම බොහෝ විට ආරාවුල් ඇති කරන බව පෙනෙන බැවින්, ඔබ කලින් පිළිගත් දෙයට නිතර පටහැනි වන නිසා, අන් අයට ආරවුල් ඇති කිරීම සම්බන්ධයෙන් ඔබ චෝදනා කරන්නේ කෙසේද යන්න මම නොදනිමි,’ මම කිව්වෙමි.
68 වන පරිච්ඡේදය
“එයට හේතුව දෙවියන් වහන්සේ ඉපදීමට සහ මිනිසෙකු වීමට සැලසුම් කර ඇති බවට පවසමින් ඔබ උත්සාහ කරන්නේ ඇදහිය නොහැකි හා ප්‍රායෝගිකව කළ නොහැකි දෙය ඔප්පු කිරීමටය,” යයි ට්‍රිපෝ පිළිතුරු දුන්නේය.
“මම මෙය මිනිසුන්ගේ ඉගැන්වීම් සහ තර්ක මගින් පමණක් ඔප්පු කිරීමට උත්සාහ කළෙම් නම්, ඔබ මට ඇහුම්කන් නොදිය යුතුයි. එහෙත් මම මගේ අදහස ඔප්පු කිරීමට ශුද්ධලියවිල්ලේ විවිධ කොටස් වෙත නිරන්තරයෙන් යොමු වන්නේ නම් සහ ඒවා තේරුම් ගන්නා ලෙස ඔබෙන් ආයාචනා කර සිටින්නේ නම්, දෙවියන් වහන්සේගේ මනස සහ කැමැත්ත දැන ගැනීමෙන් ඔබ වළක්වන්නේ ඔබේ මුරණ්ඩුකම පමණි. ඔබ වෙනස් වීම ප්‍රතික්ෂේප කළහොත්, මට එයින් කිසිම හානියක් සිදු නොවනු ඇත. එහෙත්, මගේ කලින් විශ්වාසයන් තදින් අල්ලාගෙන, මම මගේ ගමන යන්නෙමි,’ යයි මම පිළිතුරු ලෙස පැවසුවෙමි.
ට්‍රිපෝ එයට විරෝධය පළ කළේය. ‘මගේ මිත්‍රය,’බොහෝ කරදරවලින් සහ වෙහෙස මහන්සි වීමෙන් පසුව මෙම සත්‍යයන් ප්‍රගුණ කිරීමට ඔබට ලබා දී ඇති බව මතක තබා ගන්න. අප ශුද්ධලියවිල්ලේ සඳහන් දේවලට එකඟ වීමට පෙර, අප මුලින්ම අපට හමු වන සියල්ල හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය.’
‘අපගේ සාකච්ඡාවේ සෑම කරුණක්ම සුපරීක්ෂාකාරීව පරීක්ෂා කිරීමෙන් වැළකී සිටීමට ඔබෙන් මම නොඉල්ලමි. එහෙත්, කරුණාකර, ඔබට කුමක් කිව යුතුද යන්න නොදන්නා විට, ඔබ දැනටමත් පිළිගෙන ඇති දේ ප්‍රතික්ෂේප නොකරන්න,’ මම පිළිතුරු දුනිමි,
“ඔබ කැමති පරිදි සිදු කිරීමට අපි උත්සාහ කරන්නෙමු,” ට්‍රිපෝ පැවසීය.
‘දැන්, මේ විවාදය ඉක්මන් නිගමනයකට ගෙන ඒම සඳහා, මා තවත් ප්‍රශ්න කිහිපයක් අසන්න කැමතියි,’ මම කිව්වෙමි.
“එම ප්‍රශ්න විමසන්න,” කියමින් ට්‍රිපෝ අවසර දුන්නේය.
“ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ, බොහෝ ශුද්ධලියවිලිමය කොටස්වලින් ඔබට ඔප්පු කර ඇති, මිනිසා බවට පත් වූ බව තැනැන් වහන්සේ හැරෙන්නට නමස්කාර කිරීමට සහ ස්වාමින් වහන්සේ සහ දෙවියන් වහන්සේ ලෙස හැඳින්වීමට ශුද්ධලියවිල්ල තුළ වෙනත් කිසිවෙකු සිටින බව ඔබේ අදහසද?”
“අපගේ දීර්ඝ සාකච්ඡාවේදී පියාණන් වහන්සේ හැර වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකු සිටිනවාද යන්න තීරණය කර නොමැති විට අප එවැනි ප්‍රකාශයක් පිළිගන්නේ කෙසේද?” ට්‍රිපෝ ඇසුවේය.
‘ඔබ දැනටමත් පිළිගෙන ඇති මතයට වඩා වෙනස් මතයක් දරන්නේද යන්න දැනගැනීම සඳහා මා මෙම ප්‍රශ්නය ඇසිය යුතුයි.’ මම ප්‍රතිචාර දැක්වූයෙමි.
“මම වෙනත් මතයක් දරන්නේ නැහැ,” ඔහු පැවසීය.
“ඔබ මේ දේවල් සත්‍යයෙන් පිළිගන්නා නිසාත්, “උන් වහන්සේගේ පරම්පරාව ප්‍රකාශ කරන්නේ කවුද” කියා ශුද්ධලියවිල්ලේ සඳහන් වන නිසාත්, උන් වහන්සේ මනුෂ්‍ය පරම්පරාවේ කෙනෙකු නොවන බවට ඔබ වහාම එකඟ විය යුතු නොවේද?
“එසේ නම්, දෙවියන් වහන්සේ දාවිත්ට ඔහුගේ වංශයෙන් පුත්‍රයෙකු ගෙන, උන් වහන්සේ ගේ රාජ්‍යය පිහිටුවා, උන් වහන්සේගේ මහිමයේ සිංහාසනය මත උන් වහන්සේ පත් කරන බව ශුද්ධලියවිල්ලේ දාවිත්ට පවසන්නේ කෙසේද?’ ට්‍රිපෝ ඇසුවේය.
“ට්‍රිපෝ, “බලව, කන්‍යාව ගර්භනීව පුත්‍රයෙකු වදන්නීය” යන යෙසායාගේ මෙම අනාවැකිය, සඳහන් කළේ දාවිත්ගේ වංශයට නොව, ගෝත්‍ර දොළහට අයත් වෙනත් වංශයකට නම්, එවිට ප්‍රශ්නය සමහර විට දුෂ්කර වනු ඇත; එහෙත්, එම අනාවැකිය දාවිත්ගේ වංශය පිළිබඳ දක්වන බැවින්, දෙවියන් වහන්සේ විසින් දාවිත්ට අබිරහස් ලෙස කථා කළ දේ සිදු වන්නේ කෙසේද යන්න යෙසායා හරියටම පැහැදිලි කළේය. සමහර විට, මාගේ මිත්‍රවරුනි, රූපක හෝ නොපැහැදිලි භාෂාවෙන් අබිරහස් ලෙස ප්‍රකාශ කරන ලද හෝ සංකේතාත්මක ක්‍රියාවන්ගෙන් ඉඟි කළ බොහෝ කියමන් ඒවා ප්‍රකාශ කළ හෝ ඒවා සිදු කළ අයට පසුව ජීවත් වූ අනාගතවක්තෘවරුන් විසින් පසුව පැහැදිලි කරන ලද බව ඔබ නොදන්නවා විය හැකිය,” කියා මම පිළිතුරු දුනිමි.
‘අනිවාර්යෙන්ම,’ ට්‍රිපෝ එයට එකඟ විය.
මම තවදුරටත් මෙසේ කියා සිටියෙමි. ‘එසේ නම්, යෙසායාගේ මෙම අනාවැකියෙන් කතා කරන්නේ අපගේ ක්‍රිස්තුස් වහන්සේ ගැන මිස ඔබ පවසන පරිදි, හෙසකියා ගැන නොවේය. ඊජිප්තුවේ ටොලමි රජුගේ මළුවේදී ඔබගේ වැඩිහිටියන් හැත්තෑ දෙනෙකු විසින් කරන ලද [ශුද්ධලියවිල්ලේ] පරිවර්තනයෙහි සමහර තැන්වල වැරදි ඇති බව ප්‍රකාශ කිරීමට නිර්භීත වන ඔබේ ගුරුවරුන් ගැන සැක කිරීමට ඔබ බැඳී නොසිටින්නෙහිද? මක්නිසාද, ඔවුන්ගේ මෝඩ සහ උඩඟු ධර්මයට ශුද්ධලියවිලිවල පැහැදිලි ප්‍රතිවිරෝධතාවක් ඇති වූ විට, ඔබේ ගුරුවරු එය මුල් පිටපතේ එසේ ලියා නැති බවට නිර්භීතව සහතික කරති. තවද ඔවුහු වෙනත් ප්‍රකාශ ගෙන හැර පාමින් ඒවා මිනිස් ක්‍රියාවන් සමග සමපාත කර දක්වමින් ඒවායින් කථා කර ඇත්තේ මේ අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නොව, ඔවුන් පවසන තැනැත්තා බව දක්වමින් ඒවා අර්ථකථනය කිරීමට උත්සාහ කරමින් එම ශුද්ධලියවිලි විකෘති කිරීමට කුමන්ත්‍රණය කරති. නිදසුනක් වශයෙන්, ඔවුන් ඔබට ඉගැන්වූයේ සාකච්ඡාවට භාජනය වන උපුටා දැක්වීම හෙසකියා පිළිබඳ සඳහන් කර ඇති බවට අර්ථ දැක්විය යුතු බවය. මා පොරොන්දු වූ පරිදි එය වූ කලි මා බොරුවක් බව ඔප්පු කරන්නට යන ප්‍රකාශයකි. ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳීමට, නමස්කාර කෙරනු ලැබීමට සහ දෙවියන් වහන්සේ ලෙස හැඳුන්වනු ලැබීමට යුතු බව පැහැදිලිවම ඔප්පු කරන, අප විසින් උපුටා දක්වන ලද සමහර කොටස් – දැනටමත් ඔබට උපුටා දක්වා ඇති කොටස් – පීඩනය යටතේ, ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ ගැන කථා කළ බවට එකඟ වීමට ඔවුන්ට බල කෙරෙයි. අප නමස්කාර කරන තැනැන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ඔවුහු නිර්භීතව ප්‍රතික්ෂේප කරති. එහෙත් මෙසියස් වහන්සේ කෙනෙකු දුක් විඳීමට, පාලනය කිරීමට සහ නමස්කාර කරනු ලැබීම උදෙසා පැමිණෙන බව ඔවුහු පිළිගනිති. මෙම මතයද විකාර සහ අඥාන වූවක් බව මම ඔප්පු කරන්නෙමි. එහෙත්, ඔබ සමච්චලයට ලක් කළ දේට පළමුව පිළිතුරු දීමට ඔබ මට බල කළ නිසා, මම එසේ කරමි. පසුව මම අනෙක් විෂයන් සම්බන්ධ සාක්ෂිවලට යොමු වන්නෙමි.’
69 වන පරිච්ඡේදය
“ට්‍රිපෝ, ග්‍රීකයින් අතර ප්‍රචාරය වූ ප්‍රබන්ධවල ව්‍යාජ ලෙස සකස් කළ යක්ෂයා ලෙස හඳුන්වන තැනැත්තා (එලියාගේ කාලයේ ඊජිප්තුවේ මායාකරුවන් සහ බොරු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔහු ඒවා ඉටු කළා සේම) පිළිබඳ සඳහන් කාරණාවලින් ශුද්ධලියවිල්ල පිළිබඳ මගේ දැනුම සහ ඒවා කෙරෙහි මගේ ඇදහිල්ල ඉතාම හොඳින් තහවුරු වී ඇති බව මට ඔබට සහතික විය හැකිය,” යනුවෙන් මම තවදුරටත් කියාගෙන ගියෙමි. මක්නිසාද, බාචස් උපත ලැබුවේ සෙමිලේ සමග ජුපිටර්ගේ එක්වීමෙන් බවත්, ඔහු මිදි වැල සොයා ගත් බවත්, ඔහු කැබලිවලට ඉරා දමනු ලැබ මිය ගිය පසුව, ඔහු නැවත නැඟිට ස්වර්ගයට ගිය බවත්, එසේම ඔවුන් පවසන විට ඔවුන් ඔහුගේ අබිරහස් සඳහා වයින් භාවිත කරන විටත්, මෝසෙස් විසින් වාර්තා කර ඇති පරිදි, කුලදෙටු යාකොබ්ගේ කලින් උපුටා දක්වන ලද අනාවැකිය යක්ෂයා අනුකරණය කර ඇති බව පැහැදිලි නොවේද? ජුපිටර්ගේ සහ ඇල්ක්මේනේගේ පුත්‍රයා වූ හර්කියුලිස් ශක්තිමත්ව සිටි බවත්, මුළු පොළොවෙහිම සැරිසැරූ බවත්, ඔහුගේ මරණයෙන් පසු, ඔහුද ස්වර්ගයට නැඟුණු බවත්, ප්‍රකාශ කරන විට, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ “ඔහුගේ ගමන දුවන්ට ශක්තිමත් යෝධයෙකු මෙන්,’ යන ශුද්ධලියවිලි පාඨය ඒ හා සමානව අනුකරණය කළ බවට මා නිගමනය නොකළ යුතුද? තවද යක්ෂයා ඇස්ක්‍යුලේපියස් මළවුන් නැඟිටි අයෙකු සහ සියලු රෝග සුව කරන අයෙකු ලෙස ඉදිරිපත් කරන විට, ඔහු මේ සම්බන්ධයෙන්ද, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අනාවැකි අනුකරණය කර නැද්ද? ක්‍රිස්තුස් වහන්සේ මේ දේවල් කරන බව ඔබට ඔප්පු කිරීම උදෙසා මා තවමත් ශුද්ධලියවිල්ලෙන් කොටසක් උපුටා දක්වා නැති නිසා, මා දැන් ඔබේ අවධානයට එක් උපුටා ගැනීමක් යොමු කරන්නම්.
එමගින් දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමෙන් හීන වූවන් (ඇස් ඇති, සහ නොපෙනෙන, හදවත් ඇති සහ තේරුම් නොගත් එහෙත් ද්‍රව්‍යමය පිළිමවලට නමස්කාර කළ අන්‍යජාතීන්ට මම යොමු කරමි) ඔවුන්ගේ පිළිම අත්හැරිය යුතු බවත්, ඔවුන්ගේ බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබිය යුතු බවත් ශුද්ධලියවිල්ල පුරෝකථනය කළ ආකාරය ඔබට පහසුවෙන් වටහාගත හැකිය. ඒ සම්බන්ධ උපුටා දැක්වීම මෙයයි: “වනාන්තරයද වියළි දේශයද ප්‍රීති වන්නේය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත් වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනු ලබන්නේය. ඔව්හු ස්වාමීන් වහන්සේගේ තේජසද අපේ දෙවියන් වහන්සේගේ අලංකාරකමද දකින්නෝය. බෙලහීන අත් බලවත් කර, වෙවුලන දණහිස් සවි කරපල්ලා. භය සිත් ඇත්තන්ට කථා කොට: භය නොවී ශක්තිමත් වෙයල්ලා. බලව, නුඹලාගේ දෙවියන් වහන්සේ පළිගැනීම වන දෙවියන් වහන්සේගේ විපාක දීම ඇතුව එන සේක; උන් වහන්සේම ඇවිත් නුඹලා ගලවන සේකැයි කියාපල්ලා. එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරු කතරෙහි දොළ පාරවල්ද බිඳ එන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය.”
“දෙවියන් වහන්සේ ගැන දැනුමක් නැති දේශයක් (එනම් විජාතීන්ගේ දේශය) මත දෙවියන් වහන්සේගෙන් ගලා ආ ජීවමාන ජල උල්පත, ඔබේ සෙනඟ මැද පොළොවේ පෙනී සිටිමින් උපතින්ම අන්ධ, බිහිරි සහ කොර වූ අය සුව කළ අපගේ ක්‍රිස්තුස් වහන්සේය. උන් වහන්සේ තමන් වහන්සේගේ වචනයෙන් ඔවුන් සුව කළ අතර, ඔවුන්ට ඇවිදීමට, ඇසීමට සහ දැකීමට සැලැස්වූ සේක. මළවුන් නැවත ජීවනයට ගෙන එමින්, උන් වහන්සේ හඳුනා ගැනීමට එදා සිටි මිනිසුන්ට උන් වහන්සේ බල කළ සේක. එහෙත්, ඔවුන් මෙම ආශ්චර්යවත් ක්‍රියාවන් ඔවුන්ගේම දෑසින් දුටුවත්, ඔවුහු ඒවා ඉන්ද්‍රජාලික කලාවට ආරෝපණය කර; ඇත්ත වශයෙන්ම, උන් වහන්සේ ජනතාව නොමඟ යවන මන්ත්‍රකාරයෙකු ලෙස හැඳින්වීමට ඔවුහු එඩිතර වූහ. එහෙත් උන් වහන්සේ මේ ක්‍රියාවන් සිදු කළේ උන් වහන්සේ අනාගතයේදී අනුගමනය කරන අයට, ඔවුන්ගෙන් එක්කෙනෙකු හෝ යම් ආකාරයකින් ඔහුගේ ශරීරය ආබාධිත වුවද, උන් වහන්සේගේ ඉගැන්වීමට විශ්වාසවන්ත විය යුතු නිසාය. එනම් උන් වහන්සේ තම දෙවන පැමිණීමේ සම්පූර්ණ ශබ්දයෙන් ඔහු නැගිටුවන අතර, ඔහු මරණයෙන්,දූෂණයෙන් සහ වේදනාවෙන් සදහටම නිදහස් කරන සේක යන්න ඒත්තු ගැන්වීමටය.’
70 වන පරිච්ඡේදය
‘දැන් මිත්‍රාස්ගේ අබිරහස් සම්බන්ධයෙන් පවසන අය ඔහු පර්වතයකින් උපන් කෙනෙකු යැයි කියමින් ඔහුගේ ඇදහිලිවන්තයන් ආරම්භ කරන ස්ථානය ගුහාවක් ලෙස හඳුන්වන විට, ඔවුන් “අතින් නොකැපූ ගලක් මහා කන්දකින් පැමිණෙන” බවට දානියෙල්ගේ කියමන අනුකරණය කළා යැයි මා නිගමනය කිරීම නිවැරදි නොවේද? ඒ හා සමාන ආකාරයකින්, ඔවුන් යෙසායාගේ සියලු කියමන් අනුකරණය කිරීමට උත්සාහ කර නැද්ද? මක්නිසාද යක්ෂයින් මිත්‍රාස්ගේ පූජකයන්ගෙන් ඉල්ලා සිටියේ ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමට තම අනුගාමිකයන්ට අනුශාසනා කරන ලෙසයි. මෙය එසේ බව ඔබට ඒවායින් දැනගත හැකි වන පරිදි මා උපුටා දැක්විය යුතු යෙසායාගේ වචන මෙන්න: “දුර සිටින්නෙනි, මා කළ දේ අසාපල්ලා; ළඟ සිටින්නෙනි, මාගේ බලපරාක්‍රමය දැනගනිල්ලා. සියොන්හි පව්කාරයෝ භය වෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්ති කරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද? ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථා කරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපා කරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසා ගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම උසස්ථානවල වාසය කරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත. ස්වකීය ශෝභනකමෙන් යුක්තවූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නෙහිය. විශාලවූ දේශයක් ඔව්හු දකින්නෝය. නුඹේ සිත භීතිය ගැන මෙනෙහි කරන්නේය. ලේකම කොහේද? ආදායම කිරා බලන්නා කොහේද? කොටු ගණන්කරන්නා කොහේද? නුඹට නොදැනෙන ගැඹුරු භාෂාවක්ද නොතේරෙන වික්කල් දිවක්ද ඇති සෙනඟක් වන ඒ රෞද්‍ර සෙනඟ නුඹ තවත් නොදක්නෙහිය. ඔවුන්ට ඇසෙන්නේ නැති වන පිණිස, ඔවුන් සමග උපදෙස් නොගත්තේය, කටහඬවල්වල ගැඹුර දැන සිටියේ නැත. නිර්ලජ්ජිත සෙනඟක් වන ඔවුන්ගෙන් අසන තැනැත්තා තුළ අවබෝධයක් නැත.”
අපගේ ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත් අය උදෙසා, උන් වහන්සේ දුක් වින්ද අය උදෙසා උන් වහන්සේ උපකල්පනය කළ ශරීරය සිහිකිරීම පිණිස පුදන්නට අපට දුන් රොටි ගැනද, උන් වහන්සේගේ රුධිරය සිහිකිරීම සඳහා පැවැත්වීමට අපට ඉගැන්වූ දිව්‍ය පූජාව උන් වහන්සේගේ කුසලානය ගැනද මෙම අනාවැකියෙන් ගම්‍ය වන බව මනාව පැහැදිලි වේ. මෙම රජතුමා උන් වහන්සේගේ තේජසින් යුක්තව දකිනු ඇති බව, අනාගතයේදී උන් වහන්සේ කෙරෙහි අදහන ඇදහිලිවන්තයන් ස්වාමින් වහන්සේ කෙරෙහි බය සිතේ තබා ගන්නා බව, තමන් ශුද්ධලියවිල්ලේ සියලුම කාරණා දන්නා බව සිතන, අනාවැකිවලට සවන් දෙන අයට ඒවා ගැන අවබෝධයක් නැති බව මෙම අනාවැකියේම සඳහන් වෙයි. එසේම ට්‍රිපෝ (මම කීවෙමි), පර්සියස් කන්‍යාවකගෙන් උපත ලැබූ බව ප්‍රකාශ කරන බව මට ඇසෙන විට, මෙය එම ද්‍රෝහී සර්පයාගේ තවත් ව්‍යාජයක් බව මම දනිමි.
71 වන පරිච්ඡේදය
‘ඊජිප්තුවේ ටොලමි රජුගේ මාලිගාවේ සිටි වැඩිහිටියන් හැත්තෑදෙනා විසින් කරන ලද ශුද්ධලියවිලිවල පරිවර්තනය නිවැරදි එකක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන සහ ඔවුන්ගේම පරිවර්තනයක් කිරීමට උත්සාහ කරන ඔබේ ගුරුවරුන් විශ්වාස මම නොකරමි. ටොලමිගේ මාලිගාවේදී එම වැඩිහිටියන් විසින් රචනා කරන ලද අනුවාදයේ තිබූ කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ සහ මිනිසා ලෙස පුරෝකථනය කර ඇති බවත්, කුරුසිය මත මරණයට පත්වීමට ආසන්න බවත්, සඳහන් වන සම්පූර්ණ කොටස් ඔවුන් විසින් මකා දමා ඇති බවත් ඔබ දැනගත යුතුය. එහෙත්, යුදෙව්වන් වන ඔබ සියලු දෙනා මෙම කොටස්වල සත්‍යතාව ප්‍රතික්ෂේප කරන බව මම දන්නා බැවින්, මා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ නොකරමි.
එහෙත් ඔබ අව්‍යාජ යැයි පිළිගන්නා කොටස්වලට පමණක් මම මතභේදය සීමා කරමි. “බලව, කන්‍යාව ගර්භනීව වනු ඇත” යන්න “බලව, ගර්භනීව වනු ඇත” යනුවෙන් ඔබ කියවන මෙම කොටස හැරුණු කල මා ඉහතින් උපුටා දක්වන ලද සියලුම පාඨවල සත්‍යතාව ඔබ මෙතෙක් පිළිගෙන ඇත. තවද මෙම අනාවැකිය ඔබට උගන්වා ඇති පරිදි හෙසකියා ගැන නොව මගේ ක්‍රිස්තුස් වහන්සේ ගැන කථා කරන බව පෙන්වීමට මම පොරොන්දු වුණෙමි. මෙය දැන් ඔප්පු කිරීමට මම අදහස් කරමි.’
“ඔබ එසේ කිරීමට පෙර, ඔබ පවසන පරිදි [වැඩිහිටියන්ගේ පරිවර්තනයෙන්] සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ඔබ පවසන කොටස් කිහිපයක් ඔබ උපුටා දක්වනවාට අපි කැමැත්තෙමු,” ට්‍රිපෝ බාධා කළේය.
72 වන පරිච්ඡේදය
මම එයට මෙලෙස පිළිතුරු දුන්නෙමි. ‘ඔබ එය ඇසූ නිසා ඒ සම්බන්ධ නිදසුනක් මෙන්න. එස්ඩ්‍රාස් පාස්කු නීතිය පැහැදිලි කළ පහත කොටස ඔවුන් මකා දමා ඇත: “එසේ එස්ඩ්‍රාස් ජනතාවට මෙසේ කීවේය: මෙම පාස්කුව අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ රැකවරණයයි. තවද අප කුරුසියේදී උන් වහන්සේට නින්දා කිරීමට සහ ඉන්පසුව උන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන්නට සූදානම් වන බව ඔබ තේරුම් ගෙන තිබේ නම්, එය ඔබගේ හදවත් තුළට ඇතුළු වී තිබේ නම්, එවිට මෙම ස්ථානය කිසි විටෙකත් අත් නොහරිනු ඇත යනුවෙන් සේනාවල ස්වාමින් වහන්සේ පවසන සේක. එහෙත් ඔබ උන් වහන්සේ විශ්වාස නොකරන්නෙහු නම්, උන් වහන්සේගේ ඉගැන්වීම්වලට ඇහුම්කන් නොදෙන්නෙහු නම්, ඔබ අන්‍යජාතිකයන්ගේ විහිළුවක් බවට පත් වනු ඇත.” ඔවුන් යෙරමියාස්ගේ මෙම වචනද ඉවත් කර ඇත: “නුමුත් මම මරණයට ගෙන යන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්ති කොට, ඔහුගේ නමතවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳ දමමු යයි කියා ඔවුන් මට විරුද්ධව උපා යෙදූ බව නොදැන සිටියෙමි.”
යෙරමියාගේ වචනවල මෙම කොටස තවමත් යුදෙව් සිනගෝගවල ශුද්ධලියවිල්ලේ සමහර පිටපත්වල දක්නට ලැබෙන බැවින් (එය මකා දමා ඇත්තේ කෙටි කලකට පසුව වූ නිසා), සහ යුදෙව්වන් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීමට සහ ඝාතනය කිරීමට සැලසුම් කළ බව මෙම වචනවලින් ද ඔප්පු වී ඇති බැවින්, එසේම යෙසායා විසින් දිවැස්වැකි ප්‍රකාශ කරන ලද පරිදි, මරන්න ගෙන යන බැටළු පැටවෙකු ලෙස උන් වහන්සේ පෙන්වා ඇති බැවින්, සහ මෙම කොටයට අනුව උන් වහන්සේ “අහිංසක බැටළු පැටවෙකු” ලෙස සලකුණු කර ඇති බැවින්, ඔවුන් යොමු කරන එවැනි වචනවලින් ඔවුන් සේවාපහාස කිරීමට තරම් ව්‍යාකූල වී ඇත. ඒ හා සමානව ඔවුන් එම යෙරමියාගේ ලේඛනවලින්ම පහත සඳහන් වචනද ඉවත් කර ඇත: “ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන ස්වාමි වූ දෙවියන් වහන්සේ උන් වහන්සේගේ මිය ගියවුන් සහ උන් වහන්සේගේ සොහොන්වල නිදා සිටි මළවුන් සිහි කර, උන් වහන්සේ ඔවුන්ට තම ගැලවීම දේශනා කිරීමට බැස ගිය සේක.”
73 වන පරිච්ඡේදය
තවද, දාවිත්ගේ අනූපස් වන ගීතිකාවේ පදයකින් ඔවුන් “ගසෙන්” යන කෙටි වාක්‍ය ඛණ්ඩය අතහැර දමා ඇත. මන්ද ඔවුහු එම පදය “ස්වාමීන් වහන්සේ ගසෙන් රජකම් කරන සේක කියා, ජාතීන් අතරේ කියව්,” යන්න “ස්වාමීන් වහන්සේ රජකම් කරන සේක කියා, ජාතීන් අතරේ කියව්,” යනුවෙන් වෙනස් කර ඇත. දැන්, කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැන් වහන්සේ හැරුණුකොට, ඔබේ සෙනඟගෙන් කිසිවෙකුත් අන්‍යජාතීන් කෙරෙහි දෙවියන් වහන්සේ සහ රජ්ජුරුවන් වහන්සේ ලෙස රජකම් කළ බවක් කිසිදාක පවසා නැත. උන් වහන්සේ (ශුද්ධාත්මයාණන් වහන්සේ එම ගීතිකාවේම සාක්ෂි දෙන පරිදි) උන් වහන්සේගේ නැවත නැඟිටීම කරණකොටගෙන මරණයෙන් නිදහස් කරන ලද අතර, එමගින් උන් වහන්සේ අන්‍යජාතීන්ගේ දෙවිවරුන් මෙන් නොවන බව පෙන්නුම් කළ සේක. මන්ද ඒවා යක්ෂයන්ගේ පිළිම පමණක් වන බැවිනි. මෙම කරුණ පැහැදිලි කිරීම සඳහා, මම ඔබ වෙනුවෙන් සම්පූර්ණ ගීතිකාව නැවත කියමි. එය මෙසේය. “ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකා කරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකා කරව්. ස්වාමීන්ට ගීතිකා කරමින් උන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව්; උන් වහන්සේ දෙන ගැලවීම දිනෙන් දින ප්‍රකාශ කරව්. උන් වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන් වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
මක්නිසාද ස්වාමීන් වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය. මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන් වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූ සේක. ගෞරවයත් මහිමතාවත් උන් වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන් වහන්සේගේ ශුද්ධ ස්ථානයෙහිය. මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව්. ස්වාමීන්ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන් වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්. ශුද්ධකෙම් අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාර කරව්. පොළොවේ සියල්ලෙනි, උන් වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්. ස්වාමීන් වහන්සේ (ගසෙන්) 2 රජකම් කරන සේක කියාත්, නොසෙලෙවන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චය කරන සේක කියාත් ජාතීන් අතරේ කියව්. ආකාශය සන්තෝෂ වේවා, පොළොව ප්‍රීති වේවා; මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා; කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නේය. මක්නිසාද උන් වහන්සේ එන සේක; පොළොව විනිශ්චය කරන පිණිස එන සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චය කරන සේක.”
“ඔබ පවසන පරිදි අපේ නායකයන් ශුද්ධලියවිල්ලේ කොටස් මකා දැමුවාද නැද්ද යන්න දන්නේ දෙවියන් වහන්සේ පමණි. එහෙත් එවැනි ප්‍රකාශයක් ඇදහිය නොහැකි බව පෙනේ.” ට්‍රිපෝ සඳහන් කළේය.
මම එයට එකඟ වුණෙමි. ‘ඔව්, එය ඇදහිය නොහැකි බව පෙනේ. මක්නිසාද, එය (ඔවුන් පොළොවට වැටුණු මන්නාවලින් තෘප්තිමත් වන විටම සාදන ලද) රන් වස්සා සැදීමට වඩා භයානක දෙයකි. එසේම ඔවුන්ගේ දරුවන් යක්ෂයින්ට බිලි දීමට හෝ දිවැසිවරුන් ඝාතනය කිරීමට වඩා කැරලිකාර දෙයකි. ඔවුන් විකෘති කළ බව මා පැවසූ ශුද්ධලියවිල්ල පිළිබඳ ඔබ අසාවත් නැති බව පෙනේ. එහෙත්, ඔබ විසින් සංරක්ෂණය කර ඇති මෙන්ම තවමත් උපුටා දැක්වීමට ඇති බොහෝ කොටස්ද සමග මා දැනටමත් උපුටා දක්වා ඇති බොහෝ කොටස්, ගැටලුවක් සහිත කරුණු සනාථ කිරීමට ප්‍රමාණවත් වේ.’
74 වන පරිච්ඡේදය
“අපගේ ඉල්ලීම පරිදි ඔබ එම කොටස් අප වෙනුවෙන් උපුටා දක්වා ඇති බව අපි දනිමු. එහෙත් ඔබ ඉහත සඳහන් කළ දාවිත්ගේ ගීතිකාව අහසත් පොළොවත් මැවූ පියාණන් වහන්සේ ගැන මිස අන් කිසිවෙකු ගැන කතා කර නැති බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, ඔබ කියා සිටින්නේ එය දුක් වින්ද තැනැන් වහන්සේ, එනම් ක්‍රිස්තුස් වහන්සේ බව ඔප්පු කිරීමට ඔබ උත්සුක වන තැනැන් වහන්සේ ගැන පවසන බවත්ය.’ ට්‍රිපෝ පැවසුවේය.
එවිට මම මෙසේ ආයාචනා කළෙමි. “මම මෙම ගීතිකාවේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද වචන නැවත පවසන විට, කරුණාකර මෙනෙහි කරන්න. එවිට මා ද්වේෂසහගත ලෙස කථා නොකළ බවත්, සත්‍ය වශයෙන්ම ඔබ රැවටීමට ලක් නොවූ බවත් ඔබට වැටහෙනු ඇත. ඒ වෙනුවට, ඔබ තනිව සිටින විට, ශුද්ධාත්මයාණන් වහන්සේගේ තවත් බොහෝ ප්‍රකාශයන් ග්‍රහණය කර ගැනීමට ඔබට හැකි වනු ඇත. “ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකා කරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකා කරව්. ස්වාමීන්ට ගීතිකා කරමින් උන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව්; උන් වහන්සේ දෙන ගැලවීම දිනෙන් දින ප්‍රකාශ කරව්. උන් වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන් වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.”
මෙම වචනවලින් උන් වහන්සේ ඔවුන් ගලවා ගත් මෙම ගැලවීමේ අභිරහස (ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම) දන්නා වූ මේ ලෝකයේ සියලුම වැසියන්ට උන් වහන්සේ අණ කරන්නේ මෙයයි. එනම් සියල්ලන්ගේම පියාණන් වහන්සේ හට ගායනා කිරීමට සහ නිරන්තරයෙන් ප්‍රශංසා කරන ලෙසටය. මන්ද උන් වහන්සේට බිය විය යුතු බවත්, උන් වහන්සේ ප්‍රශංසාවට ලක් විය යුතු බවත් ඔවුන් වටහාගෙන සිටින බැවිනි. එසේම උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා මුදාගත්, ස්වර්ගය සහ පොළොවේ මැවුම්කරුවාණන් වහන්සේ වන අතර, උන් වහන්සේ කුරුසියේ මිය ගිය පසුව, මුළු ලෝකයම පාලනය කිරීමට සුදුසු යැයි සලකනු ලැබූ සේක. එසේම … කරණකොටගෙන “එය ඇතුළු වන දේශයේද ඔවුහු මා ප්‍රතික්ෂේප කරනු ඇත. එසේම ඒ දවසේදී මා ඔවුන් සමග සිදු කළා වූ ගිවිසුම ඔවුන් අවලංගු කරනු ඇත. …
එසේම මම මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවන්නෙමි. එහිදී ගිල දැමීමක් සිදු වනු ඇත, බොහෝ නපුරුකම් සහ පීඩාවන් ඔවුන් වෙත පැමිණෙනු ඇත. ඔව්හු ඒ දවසේ කථා කොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය. ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී යාමෙන් කළා වූ සියලු දුෂ්ටකම් නිසා ඒ දවසේදී මාගේ මුහුණ සැබවින් සඟවා ගන්නෙමි.” [පළමු දින සාකච්ඡාවේ අවසානය.]
75 වන පරිච්ඡේදය
“දැන්, නික්මයාම පොතෙන් දෙවියන් වහන්සේගේම නාමය (උන් වහන්සේ පවසන්නේ ආබ්‍රහම්ට හෝ යාකොබ්ට එය එළිදරව් නොවූ බවය) යේසුස් වහන්සේ බව මෝසෙස් ගුප්ත ලෙස ඇඟවූ බව අපි දනිමු. මන්ද, ස්වාමින් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂා කරන පිණිසද මා විසින් පිළියෙළ කළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි. උන් වහන්සේ ඉදිරියෙහි ප්‍රවේසම් වෙමින් උන් වහන්සේගේ හඬට කන් දීපල්ලා; උන් වහන්සේ කෝප නොකරල්ලා. මක්නිසාද උන් වහන්සේ නුඹලාගේ අපරාධවලට කමා නොවන සේක; මක්නිසාද මාගේ නාමය උන් වහන්සේ තුළ ඇත්තේය.” ඔබේ පියවරුන් පොරොන්දු දේශයට ගෙන ගියේ කවුරුන්ද යන්න හොඳින් සලකා බලන්න. එනම් මුලින් ඕසස් [ඔසී] ලෙස නම් කළ, නමුත් පසුව යේසුස් [ජෝසු] ලෙස නම් කරන ලද උන් වහන්සේය. ඔබ මෙය මතකයේ තබාගන්නෙහු නම්, “මාගේ නම ඔහු තුළ ඇත” යනුවෙන් මෝසෙස්ට පැවසූ තැනැත්තාගේ නම යේසුස් බව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම, උන් වහන්සේ ඉශ්‍රායෙල් ලෙසද හඳුන්වන ලද අතර, ඔහු යාකොබ්ටද මෙම නම ලබා දුන්නේය. මිනිසුන් වෙත උන් වහන්සේගේ පණිවිඩ ගෙන යාමට යවන ලද අනාගතවක්තෘවරුන් දේවදූතයන් සහ දෙවියන් වහන්සේගේ ප්‍රේරිතයන් ලෙස හඳුන්වනු ලබන බව යෙසායා පොතෙන් අපි දනිමු. මන්ද යෙසායා “මා යැව්ව මැනව” යන ප්‍රකාශය භාවිත කරන බැවිනි. යේසුස් [ජෝසු] යන නාමයෙන් හඳුන්වන ලද තැනැත්තා බලවත් හා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකු බවට පත් වූ බව සියල්ලන්ටම එක සේ පැහැදිලි වේ. එසේ නම්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්, යාකොබ් සහ මෝසෙස් හට මෙසේ බොහෝ ආකාරවලින් දර්ශනය වී ඇති බව අපට ඒත්තු ගොස් තිබේ නම්, විශේෂයෙන්ම මෙය පවා පියාණන් වහන්සේගේ කැමැත්තට අනුව සිදු වූ බව පැහැදිලිව පෙන්වන ශුද්ධලියවිලිමය කොටස්ද බොහොමයක් ඇති විට, විශ්වයේ පියාණන් වහන්සේගේ කැමැත්තට අනුකූලව, කන්‍යාවකගෙන මිනිසෙකු ලෙස උපත ලැබිය හැකි බවට අප සැක කරන්නේ සහ එය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?’
76 වන පරිච්ඡේදය
සදාකාලික රාජ්‍යය ලැබූ තැනැන් වහන්සේ “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” යැයි පවසන විට දානියෙල් මෙම සත්‍යයම ඇඟවුම් කරන්නේ නැද්ද?’ “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” යන වචනවලින් ඇඟවෙන්නේ උන් වහන්සේ මිනිසෙකු බවට පත් වී එවැන්නෙකු ලෙස පෙනී සිටින බවත්, එසේ වූවත් උන් වහන්සේ මිනිස් බීජයකින් ඉපදෙන්නේ නැති බවත්ය. දානියෙල් ක්‍රිස්තුස් වහන්සේ “අතින් නොකැපූ ගලක්” ලෙස හඳුන්වන විටද එම සත්‍යය සංකේතාත්මකව ප්‍රකාශ කරන්නේය. මන්ද, උන් වහන්සේ අතින් නොකැපූ ගලක් යන්නෙන් අදහස් කරන්නේ උන් වහන්සේ මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් නොව උන් වහන්සේ ගෙන ආ දෙවියන් වහන්සේගේ, එනම් සියල්ලන්ගේ පියාණන් වහන්සේගේ කැමැත්තේ ප්‍රතිඵලයක් බව තහවුරු කිරීම උදෙසාය. “උන් වහන්සේගේ පරම්පරාව කවරෙක් ප්‍රකාශ කරන්නේද?” යන යෙසායාගේ වචනවලින් පෙන්නුම් කරන්නේ උන් වහන්සේගේ ආරම්භය විස්තර කළ නොහැකි බවත්, හුදෙක් සාමාන්‍ය මිනිසෙකුට එවැනි සම්භවයක් නොමැති බවත්ය. “උඅන් වහන්සේ තම වස්ත්‍රය මිදි යුෂ ලෙයින් සෝදා හරිනු ඇත” යනුවෙන් මෝසෙස් ප්‍රකාශ කළ විට, මා ඔබට නිතර සඳහන් කළ දේ, එනම් එනම්, ක්‍රිස්තුස් වහන්සේට රුධිරය ඇත, එහෙත් ඒ මිනිසුන්ගෙන් නොවේය, මන්ද උන් එය මිනිසා නොවේය, එහෙත් මිදිවලට රුධිරය දුන් දෙවියන් වහන්සේ වන්නාක් මෙන් යන්න ඔහු අබිරහස්මය ලෙස පුරෝකථනය කොකළේද? තවද, උන් වහන්සේ “ශ්‍රේෂ්ඨ උපදේශනයේ දූතයා” ලෙස හැඳින්වීමේදී, ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණි විට උන් වහන්සේ පැහැදිලි කළ එම සත්‍යයන් පිළිබඳ ගුරුවරයෙකු වනු ඇතෙ යන්න යෙසායා අනාවැකි පළ කළේ නැද්ද? මක්නිසාද, පියාණන් වහන්සේ තමන් වහන්සේට ප්‍රසන්න වූ හෝ ප්‍රසන්න වීමට සිටින අයට මෙන්ම, උන් වහන්සේගේ කැමැත්තෙන් ඉවත් වූ මිනිසුන්ට හෝ දේවදූතයන්ට පියාණන් වහන්සේ අදහස් කළ ශ්‍රේෂ්ඨ උපදෙස් විවෘතව ඉගැන්වූයේ උන් වහන්සේ පමණක් වන බැවිනි. උන් වහන්සේගේ උපදෙස් දීමේ වචන මෙසේය: “නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමග ස්වර්ග රාජ්‍යයෙහි හිඳගන්නෝය. එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේ යයි කී සේක.” එසේම: “ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලා යයි ඔවුන්ට කියන්නෙමි.” නැවතත්, ගැලවීම ලැබීමට සුදුස්සන් නොවන අය හෙළා දකින විට උන් වහන්සේ වෙනත් වචනවලින් මෙසේ කී සේක: “ශාප ලත්තෙනි, මා කෙරෙන් පහව පියාණන් වහන්සේ යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට පලයල්ලා.” තවද උන් වහන්සේ මෙසේද කී සේක: “බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ.” ඇත්තෙන්ම, පොන්තියුස් පිලාත් යටතේ කුරුසියේ ඇණ ගසනු ලැබූ අපගේ ස්වාමීන් වන යේසුස් වහන්සේ විශ්වාස කරන අපි, සියලු යක්ෂයන් සහ වෙනත් නපුරු ආත්මයන් දුරු කරන අතර ඔවුන් කෙරෙහි අපගේ බලය ඇතිව සිටිමු. දැන්, ක්‍රිස්තුස් වහන්සේ පළමුව දුක් විඳින බවත් පසුව සියල්ලන්ටම ස්වාමියා වන බවත් අනාගතවක්තෘවරු ගුප්ත ලෙස පුරෝකථනය කළෝ නම්, එවැනි අනාවැකි ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ශුද්ධලියවිල්ලේ එය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවට තම ප්‍රේරිතයන්ට ඒත්තු ගන්වන තුරු, එවැනි අනාවැකිවල සම්පූර්ණ අර්ථය ග්‍රහණය කර ගැනීමට කිසිවෙකුට නොහැකි විය. මන්ද, උන් වහන්සේගේ කුරුසිපත් වීමට පෙර උන් වහන්සේ මෙසේ පැවසූ සේක. “මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත්, ප්‍රධානීන්ද නායක පූජකයන්ද ලියන්නන්ද විසින් එපා කරනු ලබන්ටත්, මරනු ලබන්ටත්, තුන් දවසකට පසු නැවත නැගිටින්ටත් ඕනෑ බව ඔවුන්ට උගන්වන්ට පටන්ගත් සේක.” තවද පියාණන් වහන්සේගේ කැමැත්තට අනුව උන් වහන්සේ ඉර හඳ ඇති වීමට පෙර ගර්භාෂයෙන් උපත ලබන බව දාවිත් කලින් කී අතර, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නිසා, බලසම්පන්න දෙවියන් වහන්සේ බවත්, එබැවින් උන් වහන්සේට නමස්කාර කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.’
77 වන පරිච්ඡේදය
‘ඔබේ තර්ක මා ව්‍යාකූල කිරීමට තරම් ප්‍රමාණවත් සහ බලවත් ඒවා බව මම පිළිගනිමි. එහෙත් ඔබ බොහෝ විට පොරොන්දු වූ එම ශුද්ධලියවිල්ලේ කොටසෙහි සාක්ෂි මට අවශ්‍ය බව මම නැවතත් ඔබේ අවධානයට යොමු කරමි. කරුණාකර දැන් එම කොටසෙහි සඳහන් වන්නේ යුදෙව්වන් වන අප විශ්වාස කරන පරිදි හෙසකියා ගැන නොව ඔබේ ක්‍රිස්තුස් වහන්සේ ගැන බව අපට පෙන්වන්න,’ යයි ට්‍රිපෝ පැවසුවේය,
“ඔබ කැමති පරිදි මම කරන්නෙමි,” යනුවෙන් මම පිළිතුරු දුන්නෙමි, “එහෙත්, පළමුව, පහත සඳහන් වචනවලින් කථා කරන්නේ හෙසකියා පිළිබඳ බව මට ඔප්පු කරන්න: “මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේ යයි කී සේක.” ඇත්ත වශයෙන්ම, හෙසකියා දමස්කයේ සහ සමාරියේ වැසියන් සමග අසිරියාවේ රජු ඉදිරියේදී යුද්ධ කළ බවට ඔබේ පැහැදිලි කිරීම මා පිළිගන්නේ නැත. මක්නිසාද අනාවැකියේ මෙසේ කියවේ: “තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේය.” දැන්, “තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේය,” යන අනාවැකිය මෙය එකතු කිරීමකින් ලෙස නොපවසන ලද්දේ නම්, සහ එහි හුදෙක් “ඇය පුත්‍රයෙකු බිහි කරනු ඇත, ඔහු දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් ලබා ගනු ඇත,” යයි පවසා ඇත්නම්, දෙවියන් වහන්සේ ඒවා රැගෙන යන බව කලින් දැන සිටි නිසා, උන් වහන්සේ එසේ එය පුරෝකථනය කළ බව ඔබට පිළිතුරු දිය හැකිය. එහෙත් අනාවැකියේ ඇත්ත වශයෙන්ම මෙලෙස එකතු කර ඇත, “තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේය” දැන්, යුදෙව්වන් වන ඔබ කිසිවෙකුට මෙය සිදු වූ බව ඔබට ඔප්පු කළ නොහැකිය. එහෙත් කිතුනුවන් වන අපට එය අපගේ ක්‍රිස්තුස් වහන්සේට සිදු වූ බව පෙන්විය හැකිය. හෙරොද්ගේ දුෂ්ට අභක්තිකකම නිසා ශුද්ධලියවිල්ලේ අසිරියාවේ රජු ලෙස හඳුන්වන ඔබේ රටේ රජු වූ හෙරොද්ගේ කාලයේදී, උන් වහන්සේගේ උපතට පසුව ශාස්ත්‍රවන්තයෝ අරාබියේ සිට පැමිණ හෙරොද් හමු වීමෙන් පසුව, උන් වහන්සේට නමස්කාර කළහ. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ බොහෝ විට උපමාවලින් සහ සමාන ආකාරවලින් කථා කරන බව ඔබ හොඳින් දනීන්නෙහිය. එසේ “නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය,” යනුවෙන් උන් වහන්සේ නිතරම යෙරුසලමේ වැසියන්ට පැවසූ විට ඔවුන්ට එය පැවසූ සේක.
78 පරිච්ඡේදය
“අරාබියේ සිට ශාස්ත්‍රවන්තයෝ හෙරොද් රජු වෙත පැමිණ මෙලෙස කීවෝය. “යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන් වහන්සේගේ තාරකාව පූර්ව දිශාවෙහිදී දැක, උන් වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු යයි කීවෝය.” ඔහු ඔබේ සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන් අසා, ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමෙහි ඉපදීමට නියමිත බව ඔවුන්ගෙන් දැනගත්තේය. ඔවුහු එයට පිළිතුරු දෙමින් එය අනාගතවක්තෘ තුමා විසින් ලියන ලද බව කීවෝය: “යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද- එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, තී යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනය කරන්නාවූ ආණ්ඩුකාරයෙක් තී කෙරෙන් නික්මනේනේ යයි අනාගතවක්තෘ විසින් ලියා තිබේ.” දැන්, අරාබියේ සිට මෙම ශාස්ත්‍රවන්තයෝ බෙත්ලෙහෙමට පැමිණ, දරුවාට නමස්කාර කර, රත්තරන්, කට්ටකුමංජල් සහ සුවඳ ලාටු උන් වහන්සේට තෑගි කළහ. ඔවුන් උන් වහන්සේට බෙත්ලෙහෙමෙහිදී නමස්කාර කළ පසුව, හෙරොද් වෙත ආපසු නොයන ලෙස [දර්ශනයකින්] ඔවුන්ට අවවාද කරන ලදී. මරියාගේ කලත්‍රයා වූ (ඇය මිනිස් සංසර්ගයෙන්, එනම් වේශ්‍යාකමෙන් ගැබ්ගෙන ඇතැයි සිතූ නිසා මුලින් ඇය ඈත් කිරීමට තීරණය කළ) යෝසෙප්, දේවදූතයා විසින් ඔහුට දර්ශනය වූ වී, එසේ නොකරන ලෙසත්, ඇය පිළිසිඳගත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් බවත් ඔහුට දර්ශනයකින් අණ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බියෙන් පිරී ගිය ඔහු ඇය අත්හැර දැමුවේ නැත. එහෙත් කුරේනියස් යුදයේ තම පළමුවන සංගණනය සිදු කරන විට, යෝසෙප් ඔහු ජීවත් වූ නාසරෙත් සිට (ඔහු අයත් වූ) බෙත්ලෙහෙමට ලියාපදිංචි වීම පිණිස ගියේය. මන්ද ඔහු උපතින් එම ප්‍රදේශයේ වාසය කළ යූදා ගෝත්‍රයේ අයෙකුව සිටි බැවිනි. ඉන්පසුව ඔහුට [දර්ශනයකින් මරියා සමග ඊජිප්තුවට ගොස් නැවත යුදයට යාමට තවත් එළිදරව්වක් මගින් උපදෙස් ලැබෙන තෙක් ලැබෙන දරුවා සමග එහි රැඳී සිටින ලෙස] අණ කරන ලද්දේය. දැන්, බෙත්ලෙහෙමෙහි දරුවාගේ උපත සම්බන්ධයෙන්, යෝසෙප්ට ගමේ නවාතැනක් සොයාගත නොහැකි වූ විට, ඔහු අසල ගුහාවකට ගිය බවත්, එහිදී මරියා දරුවා බිහි කර ගව ඔරුවක තැබූ බවත්, එහිදී අරාබියෙන් පැමිණි ශාස්ත්‍රවන්තයන් උන් වහන්සේ දුටු බවත් (ඔබ දැනගත යුතුය). ගුහාවේ සංකේතය ගැන ඔහු පුරෝකථනය කළ බවට යෙසායාගේ වචන මා දැනටමත් උපුටා දක්වා ඇත. එහෙත්, අද ඔබ සමග එක් වූ අයගේ ප්‍රයෝජනය සඳහා මම එම කොටස නැවතත් කියමි.
ඉන්පසුව මම ඉහත ලියා ඇති යෙසායාගේ වචන නැවතත් කීවෙමි. මෙම වචන මගින් මිත්‍රාස්ගේ අබිරහස් සිදු කළ පූජකයන්ට ඔවුන් විසින් ගුහාවක් ලෙස හඳුන්වන ස්ථානයකදී මිත්‍රාස් විසින්ම එය ආරම්භ කරන ලද බව ප්‍රකාශ කරන ලෙස යක්ෂයා ඉල්ලා සිටි බව පැවසුවෙමි.
“දැන්, අරාබියෙන් පැමිණි ශාස්ත්‍රවන්තයන්ට හෙරොද් ඉල්ලා සිටි පරිදි හෙරොද් වෙත ආපසු නොගිය නිසාත්, එහෙත් ඔවුන්ට අණ කරන ලද පරිදි වෙනත් මාර්ගයකින් ඔවුන්ගේම රටට ගිය නිසාත්, යෝසෙප්, ඔවුන්ට දිව්‍යමය වශයෙන් මගපෙන්වීම ලැබුණු ලෙස මරියා සහ දරුවා සමග ඒ වන විටත් ඊජිප්තුවට ගොස් සිටි නිසාත්, හෙරොද්, ශාස්ත්‍රවන්තයන් නමස්කාර කිරීමට පැමිණි දරුවා කවුරුන්දැයි ඔහු නොදන්නා නිසාත්, බෙත්ලෙහෙමේ සිටි සෑම පිරිමි ළමයෙකුම කිසිම විකල්පයකින් තොරව මරා දමන ලෙස නියෝග කළේය.
මෙයද කලින්ම යෙරමියා කරණකොටගෙන ශුද්ධාත්මයාණන් වහන්සේ ඔහු තුළින් මේ ආකාරයෙන් කතා කළ විට පවසා තිබිණි: “වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිත වූ හඬක් රාමාහි ඇසෙයි, රාබෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකමැතිව සිටියි.” රාමා දක්වා, එනම් අරාබිය දක්වා (අදටත් අරාබියේ රාමා නමැති ස්ථානයක් ඇති නිසා) ඇසෙන්නට තිබූ හඬ නිසා, රාඛෙල්ගේ (ශුද්ධවන්තයාගේ ආදී පීතාවරයා වු යාකොබ්ගේ, එනම් පසුකාලී ඉශ්‍රායෙල් ලෙස නම වෙනස් කරන ලද තැනැත්තාගේ භාර්යාව) විලාපයෙන් එම ස්ථානය, එනම් යාකොබ් වළලන ලද ස්ථානය වන බෙත්ලෙහෙමෙහි ඇසෙන්නට තිබුණි. මන්ද කාන්තාවන් තම සමූලඝාතනය කරන ලද දරුවන් වෙනුවෙන් හඬා වැලපෙමින් සිටි අතර සිදු වූ දේ වෙනුවෙන් ඔවුන්ට සැනසීමක් නොතිබුණි. තවද “ඔහු දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් ගෙනයනු ලබන්නේය” යන යෙසායාගේ වචනවලින් අදහස් වන්නේ දමස්කයේ වාසය කළ දුෂ්ට යක්ෂයාගේ බලය ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ උපතේදීම බිඳ දැමිය යුතු බවයි. මෙය සිදු වූ බව පෙනෙන්නට ඇත. මන්ද, එම යක්ෂයාගේ බලයෙන් පැවරීම සඳහා වහල්භාවයේ (කොල්ලකෑමක් ලෙස) තබා ඇති සෑම දුෂ්ට ක්‍රියාවක්ම, ශාස්ත්‍රවන්තයෝ පැමිණ ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කිරීමෙන්, ඔවුන් කොල්ලකෑමක් ලෙස තබාගෙන සිටි බලයට එරෙහිව විවෘතව කැරලි ගැසූහ. එම බලය උපමාවෙන් පෙන්වා දී ඇති පරිදි දමස්කස්හි පිහිටා ඇති බවට ශුද්ධලියවිල්ල පෙන්වයි. එසේම උපමාවල එම පව්කාර සහ දුෂ්ට බලය සමාරිය ලෙස ගැළපෙන ලෙස හඳුන්වා ඇත. දමස්කය යනු අරාබි දේශයේ කොටසක්ව පැවති බව සහ දැනටත් එසේ වන බවට දැන් ඔබ අතරින් කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් එය දැන් සයිරෝ-ෆීනීසියාවට අයත් වේ. එබැවින් මාගේ මිත්‍රවරුනි, දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහය ලැබූ කිතුනුවන් වන අපගෙන් ඔබට නොතේරෙන දේ ඉගෙන ගැනීම මෙන්ම ඔබේම සුවිශේෂී ඉගැන්වීම් ආරක්ෂා කර ගැනීමට සහ දෙවියන් වහන්සේට අපහාස කිරීමට සෑම උත්සාහයක්ම ගැනීමෙන් වැලකීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. මෙම කරුණා අනුග්‍රහය අපට ලබා දී ඇත්තේ මන්ද යන්න මෙලෙස පවසන විට යෙසායා පෙන්වා දෙයි:
“මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරව කරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද, මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවී යන්නේ යයි කී සේක.”
79 වන පරිච්ඡේදය
එවිට ට්‍රිපෝ, තමා තරමක් කෝපයෙන් සිටින බව ඔහුගේ මුහුණෙන් පෙන්වමින්, එසේ වූවත් ශුද්ධලියවිල්ල කෙරෙහි මහත් ගෞරවයක් රඳවාගෙන, මට මෙසේ පැවසුවේය. ‘දෙවියන් වහන්සේගේ වචන ඇත්තෙන්ම ශුද්ධය, එහෙත් ඔබේ අර්ථකථන කෘත්‍රිම ඒවා පමණක් නොවේ, ඔබ ලබා දුන් අර්ථකථනවලින් පෙන්නුම් වන ආකාරයට, ඒවා පැහැදිලි ලෙසම දේව අපහාසික ඒවා වේ. මන්ද දේවදූතයන් පව් කර දෙවියන් වහන්සේගෙන් ඈත් වී ඇති බව ඔබ සනාථ කරන්නෙහිය.
ඔහුගේ අවධානය රඳවා ගැනීමට ආශාවෙන්, මම ඉතා මෘදු භාෂාවෙන් ඔහුට පිළිතුරු දුනිමි. ‘මහත්මයා, මම ඔබේ භක්තියට ගරු කරමි, දානියෙල් පවසන පරිදි, දේවදූතයන් විසින් සේවය කරනු ලබන බව පවසන තැනැන් වහන්සේ පිළිබඳ ඔබටත් ඒ ආකාරයෙන්ම දැනේවායි මම ප්‍රාර්ථනා කරමි. දානියෙල් මෙසේ පවසයි. “බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන් වහන්සේ ඉදිරියට උන් වහන්සේ පමුණුවනු ලැබූ සේක. … ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන් වහන්සේට දෙනලද්දේය. උන් වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන් වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය.” එහෙත්, මිත්‍රයා, එහෙත්, ඔබ දෝෂාරෝපණය කරන අර්ථකථනය සකස් කිරීමට අප පෙලඹවූයේ උපකල්පනය නොවන බව ඔබට පෙන්වීම සඳහා, මම යෙසායාගේම වචන සාක්ෂියක් ලෙස ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි. නරක දේවදූතයන් ඊජිප්තු නගරයක් වන ටානිස්හි වාසය කර ඇති බවත් තවමත් වාසය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. යෙසායාගේ වචන මේවාය: “පාපයට පාපය එකතු කරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද, ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාස කරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත් වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේ යයි ස්වාමීන් වහන්සේ කියන සේක. එබැවින් ඵාරාවෝගේ ශක්තිය නුඹලාට ලජ්ජාවක්ද මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාස කිරීම නුඹලාට වියවුලක්ද වන්නේය. මක්නිසාද ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති. ඔවුන් සියල්ලෝම තමුන්ට ප්‍රයෝජන නොවන්නාවූ, ලජ්ජාවක් සහ නින්දාවක් පමුණුවනවා මිස පිහිටක් හෝ උපකාරයක් නොවන්නාවූ සෙනඟක් ගැන ලජ්ජා වන්නෝය.” ඔබම සඳහන් කළ පරිදි, සෙකරියා පවා තහවුරු කරන්නේ මෙයයි. “සාතන් පූජකයාණන් වහන්සේ වන යේසුස් වහන්සේගේ (යෝසුගේ] විරුද්ධවාදියා වීමට උන් වහන්සේගේ දකුණු පැත්තේ සිටි බවයි. එවිට ස්වාමින් වහන්සේ මෙසේ වදාළ සේක: යෙරුසලම තෝරාගත් ස්වාමින් වහන්සේ ඔබට තරවටු කරන සේක.” (ඔබද උපුටා දක්වා ඇති) යෝබ්ගේ සාක්ෂිය මෙන්න: “තවද එක් දවසක දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් සමග එහි පැමිණියේය .” එසේම උත්පත්ති පොතේ ආරම්භයේදී, සර්පයා ඒව රැවටූ බවත්, ඉන්පසු ඔවුන් ශාපයට ලක් වූ බවත් මෝසෙස් ලියයි. තවද, දෙවියන් වහන්සේ තම විශ්වාසවන්ත සේවකයා වූ මෝසෙස්ගේ මාර්ගයෙන් කරන ලද ආශ්චර්යවත් ක්‍රියා අනුකරණය කිරීමට උත්සාහ කළ ශාස්ත්‍රවන්තයන් ඊජිප්තුවේ සිටි බව අපි දනිමු. ඔබ හොඳින් දන්නා පරිදි: “විජාතීන්ගේ දෙවිවරු යක්ෂයෝය,” යනුවෙන් දාවිත් පවසා ඇත.
80 වන පරිච්ඡේදය
“මහත්මයා, මම දැනටමත් සඳහන් කර ඇති පරිදි, ඔබගේ සියලු ප්‍රකාශයන්හිදී ශුද්ධලියවිල්ලට සමීපව සිටීමට ඔබ ඉතා පරෙස්සම් වන්නෙහිය. එහෙත්, මෙම ස්ථානය වන යෙරුසලම නැවත ගොඩනඟනු ඇතැයි ඔබ සැබවින්ම විශ්වාස කරනවාද යන්න සත්‍ය වශයෙන්ම මට කියන්න. එසේම අපගේ ජනතාවගේ ආදී පීතෘවරුන්, අනාගතවක්තෘවරුන්, ශුද්ධවන්තයන් මෙන්ම ඔබේ ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමට පෙර ආගමට හැරුණු අය හා එක්ව ක්‍රිස්තුස් වහන්සේ සමග ප්‍රීතියෙන් ජීවත් වීමට කිතුනුවන් වන ඔබ එක් දිනකදී එහි රැස්වනු ඇතැයි ඔබ සැබවින්ම අපේක්ෂා කරනවාද? එසේ නොවේ නම් ඔබ එය පිළිගත්තේ තර්කය දිනීම උදෙසා පමණක්ද?’ ට්‍රිපෝ ඇසුවේය.
“ට්‍රිපෝ, ‘මම එසේ එක දෙයක් පවසන්නත් වෙනත් දෙයක් සිතන්නත් තරම් කාලකන්නියෙක් නෙවෙමි,” මම පිළිතුරු දුනිමි. එවැනි සිදුවීමක් සිදු වනු ඇතැයි තවත් බොහෝ දෙනෙකු සමග මටත් හැඟෙන බව මම මීට පෙර ඔබට ප්‍රකාශ කළෙමි. කෙසේ වෙතත්, අපගේ මතය බෙදා නොගන්නා පිරිසිදු හා භක්තිමත් කිතුනුවන් බොහෝ දෙනෙකු සිටින බවට මම පෙන්වා දුනිමි. එපමණක් නොව, නාමිකව කිතුනුවන් වන නමුත් ඇත්ත වශයෙන්ම දේව භක්තික නොවන හා අභක්තික මිථ්‍යාදෘෂ්ටිකයන් සිටින බවත් ඔවුන්ගේ මූලධර්ම සම්පූර්ණයෙන්ම දේවඅපහාසික වූ, අදේවවාදී මෙන්ම අඥාන ඒවා බවත් මම ඔබට දන්වා සිටියෙමි. කෙසේ වෙතත්, මා මෙම ප්‍රවේශය සිදු කරන්නේ ඔබ ඉදිරියේ පමණක් නොවන බව ඔබට සහතික විය හැකිය. අපගේ සම්පූර්ණ විවාදය මට හැකි තාක් දුරට පොතක ආකාරයෙන් ලිවීමට මා පොරොන්දු වන අතර, එහිදී මා ඔබට පමණක් කළ පිළිගැනීම එහි ඇතුළත් කරමි. මන්ද මම මිනිසුන්ගේ සහ ඔවුන්ගේ ඉගැන්වීම්වල අනුගාමිකයෙකු වීමට නොව, එහෙත් දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්ම නියාමක අනුගමනය කිරීමට කැමැත්තෙමි. [සහස්‍රයේ] මෙම ධර්ම නියාමකය පිළිගන්නේ නැති නමුත් මළවුන්ගේ නැවත නැඟිටීමක් නොමැති බවත්, ඔවුන් මිය යන මොහොතේම ඔවුන්ගේ ආත්මයන් ස්වර්ගයට ගෙන යනු ලබන බවත් ප්‍රකාශ කරමින් ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේට සහ ඊසාක්ගේ දෙවියන් වහන්සේට සහ යාකොබ්ගේ දෙවියන් වහන්සේට අපහාස කිරීමට එඩිතර වන ඊනියා කිතුනුවන් ඔබට කවදා හෝ හමු වී ඇත්නම්, ඔවුන් සැබෑ කිතුනුවන් ලෙස නොසලකන්න. එය යමෙකු, හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසුව, යුදෙව්වන් සද්දුසිවරුන් හෝ ජෙනිස්ටේ, මෙරිස්ටේ, ගලීලියානු, හෙලනික සහ බැප්ටිස්ට් ඵරිසිවරුන්ගේ සමාන නිකායන් ලෙස නොපිළිගන්නාක් මෙන් වේ (මගේ අදහස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කරුණාකර අමනාප නොවන්න). එහෙත් ඔවුන් නාමිකව පමණක් යුදෙව්වන් සහ ආබ්‍රහම්ගේ දරුවන් බවට ප්‍රකාශ කරන, දෙවියන් වහන්සේට තොල්වලින් පමණක් සේවය කරන ඔවුන්ගේ හදවත් (දෙවියන් වහන්සේම ප්‍රකාශ කළ පරිදි) උන් වහන්සේගෙන් බොහෝ දුරස් අය බව තේරුම් ගන්න. එහෙත් අනාගතවක්තෘවරුන් වන එසකියෙල්, යෙසායා සහ අනෙකුත් දිවැසිවරුන් විසින් ප්‍රකාශ කරන ලද පරිදි, යෙරුසලම නගරය නැවත ගොඩනගා, අලංකාර කරනු ලැබ, විශාල කරනු ලැබීමෙන් වසර දහසකට පසුව මාංශයේ නැවත නැඟිටීමක් සිදුවනු ඇතැයි මා සහ අනෙක් සියලුම සාධම්මික කිතුනුවන්ට නිසැකය.’
81 වන පරිච්ඡේදය
“සහස්‍රය පිළිබඳ යෙසායාගේ වදන් මෙසේය: “මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීති වෙයල්ලා. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්ද කොට මවමි. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීති වන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය. දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත. ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසය කරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසය කරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන් වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමග වන්නෝය. ඔවුන් යාච්ඤා කරන්ට පළමුවෙන් මම උත්තර දෙන්නෙමි, ඔවුන් කථා කරද්දීම අසන්නෙමි. වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නැතැයි ස්වාමීන් වහන්සේ කියන සේක.” දැන් “මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය,” යන වචනවලින් මෙම කාලපරිච්ඡේදය සංකේතාත්මක භාෂාවෙන් වසර දහසක් බව අපි තේරුම් ගනිමුව. “මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය” යයි ආදම් ගැන පැවසූ විට, ඔහුට වයස අවුරුදු දහසක් නොවූ බව අපි දැන සිටියෙමු. “මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසු වූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය,” යන වචනද එම නිගමනයට මගපෙන්වන බව අපි විශ්වාස කරමු. එපමණක්ද නොව, අප අතර සිටි ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන්ගෙන් කෙනෙකු වන යොහන් නම් මිනිසෙකුට එළිදරව්වක් ලැබුණු අතර, ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වසර දහසක් යෙරුසලමේ වාසය කරන බවත්, පසුව විශ්වීය හා කෙටියෙන් දක්වතොත් සදාකාලික නැවත නැගිටීම සහ විනිශ්චය සිදුවනු ඇති බවත් පුරෝකථනය කළේය. මේ සම්බන්ධයෙන් අපගේ ස්වාමින් වහන්සේම මෙසේ පවසන කල එයට සාක්ෂි දෙන සේක. “ඒ ලෝකයටත් නැවත-නැගිටීමටත් පැමිණෙන්ට සුදුස්සෝ යයි ගණන්ගනු ලබන අය සරණ පාවාගන්නේවත් සරණ පාවාදෙනු ලබන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔව්හු දේව දූතයන් හා සමාන වෙති; නැවත-නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය.”
82 වන පරිච්ඡේදය
“දිවැස්වැකි කීමේ දීමනාව අද දක්වාම කිතුනුවන් වන අප අතර පවතින බැවින්, ඔබගේ ජනතාව අතර පැවති දීමනා දැන් අප වෙත පැවරී ඇති බව ඔබ වටහාගත යුතුය. තවද, ඔබගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් ජීවත් වූ කාලයේ ඔබ අතර බොරු අනාගතවක්තෘවරුන් සිටියා සේම, දැන් අප අතර බොරු ගුරුවරු බොහෝ දෙනෙක් සිටිති. ඔවුන්ට විරුද්ධව අපගේ ස්වාමින් වහන්සේ විසින්ම අපට අවවාද කරනු ලැබ ඇත. එසේ කරන ලද්දේ අප ඕනෑම දෙයකට සූදානම්ව සිටිය යුතු වන පිණිසය. මක්නිසාද, උන් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථාන වී ස්වර්ගයට නැගීමෙන් පසු අපට සිදු වන දේ උන් වහන්සේ කලින් දැන සිටි බව අපි දනිමු. උන් වහන්සේගේ නාමය නිසා අප වේදසාක්ෂිකයින් ලෙස මරා දමනු ලබන බවත්, අපට වෛර කරන බවත්, බොහෝ බොරු අනාගතවක්තෘවරුන් සහ ව්‍යාජ ක්‍රිස්තුස්වරුන් උන් වහන්සේගේ නාමයෙන් දේශනා කිරීමට පටන් ගන්නා බවත්, බොහෝ දෙනෙකු නොමඟ යවන බවත් උන් වහන්සේ අනාවැකි පළ කළ සේක. ඒ ආකාරයෙන්ම මෙය සැබවින්ම සිදු වී ඇත. බොහෝ අය අදේවවාදී, දේව අපහාසාත්මක සහ දුෂ්ට ධර්ම නියාමකයන් ප්‍රචාරය කර, ඒවා උන් වහන්සේගේ නාමයෙන් ව්‍යාජ ලෙස මුද්‍රා තබමින්, යක්ෂයාගේ එම අපවිත්‍ර ආත්මය ඔවුන්ගේ මනසට යෝජනා කර ඇති ඕනෑම දෙයක් ඔවුන් උගන්වා ඇති අතර, තව දුරටත් ඔවුහු එසේ උගන්වමින් සිටිති. තවද, අප ඔබට කරන ආකාරයටම, මුළා නොවී, ඔවුන්ට අනතුරු ඇඟවීමට අපගේ උපරිමය ඉටු කරන්නෙමු. මන්ද සත්‍යය ප්‍රකාශ කළ හැකි සහ එසේ සත්‍යය ප්‍රකාශ කිරීමට අපොහොසත් වන තැනැත්තා දෙවියන් වහන්සේ විසින් හෙළා දකිනු ලබන බව අපි හොඳින් දනිමු. උන් වහන්සේ එසකියෙල් තුළින් මෙසේ පැවසූ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරපන්න. නුඹ සැබවින් නසින්නෙහි යයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ට වූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි. නුමුත් නුඹ දුෂ්ටයාට අවවාද කළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.” එසේ ධනයට හෝ ගෞරව මහිමය ලැබීමට හෝ විනෝදයට ඇති ඇල්ම කරණකොටගෙන නොව, අනාගත විනිශ්චයකට ඇති බිය නිසා, අපි ශුද්ධලියවිල්ලට අනුකූලව කතා කිරීමට උත්සාහ කරමු. මක්නිසාද, එවැනි දුෂ්ටකම් ගැන අපට සාධාරණ ලෙස චෝදනා කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙවියන් වහන්සේ මෙසේ හෙළා දකින ඔබේ පාලකයන්ගේ ජීවිත අනුකරණය කිරීමට අපි බලාපොරොත්තු නොවෙමු: “නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය; සෑම දෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති.” අවාසනාවකට මෙන්, දැන් කිතුනුවන් වන අප අතර පවා ඔබට එවැනි මිනිසුන් හමු වුවහොත්, එම හේතුව නිසා ක්‍රිස්තුස් වහන්සේට අපහාස නොකරන්න, එසේම ශුද්ධලියවිලි වැරදි ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ නොකරන්න.’
83 වන පරිච්ඡේදය
නිදසුනක් වශයෙන්, ඔබේ ගුරුවරුන්, “ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කී සේක,” යන්න උපකල්පනය කර ඇත්තේ, අසිරියානු රජු භයානක පණිවිඩ සමග මිනිසුන් ඔහු වෙත යැවූ විට, යෙසායා විසින් බිය නොවන්න යයි ඔහුට අවවාද කරන ලද අවස්ථාවේදී, එය හෙසකියාට දේවමාළිගාවේ දකුණු පැත්තේ හිඳගැනීමට අණ කළාක් මෙනි. යෙසායා අනාවැකි කී දේ සැබවින්ම සිදු වූ බවත්, අසිරියානු රජු යෙරුසලමට එරෙහිව යුද්ධ කිරීමට එහි පැමිණීම සිදු වූයේ හෙසකියාගේ කාලයේ බවත්, ස්වාමින් වහන්සේගේ දූතයෙකු විසින් අසිරියානු කඳවුරේ සිටි එක්ලක්ෂ අසූ පන්දහසක් පමණ දෙනා මරණයට පත් කරන ලද බවත් අපි කවුරුත් දන්නා අතර එය පිළිගනිමු. එසේ වූවත්, උපුටා දක්වන ලද ගීතිකාව හෙසකියා ගැන සඳහන් නොකරන බව පැහැදිලිය. මක්නිසාද, එහි මෙසේ ලියා ඇත: “ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කී සේක. ස්වාමීන් වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවන සේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩු කළ මැනව. ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය. නුඹ මෙල්කිසෙදක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන් වහන්සේ දිවුළ සේක.” දැන්, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව හෙසකියා සදහටම පූජකයෙකු නොවූ බව නොපිළිගන්නේ කවරෙක්ද? එසේම ඔහු යෙරුසලමේ මිදුම්කාරයා නොවේය යන්න නොදන්නේ කවුරුන්ද? එසේම ඔහු බලයේ යෂ්ටිය යෙරුසලම කෙරෙහි නොයැවූ බවත්, තම සතුරන් මධ්‍යයේ පාලනය නොකළ බවත් නොදන්නේ කවුද? (මන්ද, ඔහු හඬමින් සහ කෙඳිරිගාමින් සිටින් කල ඔහුගේ සතුරන් පළවා හැරියේ දෙවියන් වහන්සේ නොවේද?) එහෙත්, අපගේ යේසුස් වහන්සේ තවමත් තේජසින් යුක්තව නැවත පැමිණ නැතත්, උන් වහන්සේ තමන් වහන්සේගේ බලයේ යෂ්ටිය යෙරුසලම කෙරෙහි එවා ඇති සේක. එනම්, “අන්‍යජාතීන්ගේ දෙවිවරු යක්ෂයෝය” යනුවෙන් දාවිත් සාක්ෂි දෙන ආකාරයට, යක්ෂයන් පාලනය කළ සියලු ජාතීන් පසුතැවිලි වීමට කැඳවීම සිදු විය. තවද අන්‍යජාතීන්ගේ දෙවිවරුන් යක්ෂයින් වන බැවින්, උන් වහන්සේගේ වචනයේ බලය නිසා බොහෝදෙනෙකුට ඔවුන් කීකරු වූ යක්ෂයන් අත්හැරීමටත්, උන් වහන්සේ තුළින් සර්වබලධාරී දෙවියන් වහන්සේ විශ්වාස කිරීමටත් බොහෝදෙනෙකුට බල කෙරුණි. තවද, “ශුද්ධවන්තයන්ගේ දීප්තිය තුළ, උදෑසන තාරකාවට පෙර ගර්භාෂයේ සිට මම ඔබ බිහි කළෙමි” යන වචන ක්‍රිස්තුස් වහන්සේට ආමන්ත්‍රණය කළ බව අපි කලින් ඔප්පු කර ඇත්තෙමු.
84 වන පරිච්ඡේදය
“බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය,” යන වචනවලින් ආරම්භ වූ අනාවැකියද උන් වහන්සේ ගැන කථා කර ඇත. මක්නිසාද, යෙසායා පැවසූ තැනැත්තා කන්‍යාවකගෙන් ඉපදෙන්නේ නැත්නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ, “එබැවින් ස්වාමීන් වහන්සේම නුඹලාට ලකුණක් දෙන සේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය,” කියා පැවසූ විට, උන් වහන්සේ එය පැවසුවේ කවරෙකු සම්න්ධයෙන්ද? උන් වහන්සේ වෙනත් ඕනෑම කුලුඳුල් පුත්‍රයෙකු මෙන් මනුෂ්‍ය සංසර්ගයෙන් උපත ලැබුවහොත්, සෑම කුලුඳුල් උපතකටම පොදු නොවන ලකුණක් ලබා දෙන බවට දෙවියන් වහන්සේ බැරෑරුම් ලෙස ප්‍රකාශ කළේ මන්ද? සැබවින්ම ලකුණක් යනු කුමක්ද, එසේම සියලු මිනිසුන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂියක් විය යුත්තේ කුමක්ද, එනම් කන්‍යාවකගේ ගර්භාශයෙන් සියලු සත්වයන්ගේ කුළුඳුලා ඉපදී මාංසවත් වූ බව සහ සැබවින්ම මිනිසෙකු බවට පත් වූ අතර, එය සිදුවීමට පෙර අනාවැකියේ ආත්මය එය කලින් දැන සිටි අතර, මා ඔබට පැහැදිලි කර ඇති පරිදි, උන් වහන්සේ විසින් විවිධ ආකාරවලින් පුරෝකථනය කරන ලදී. ඇත්ත වශයෙන්ම, උන් වහන්සේ මෙය කලින්ම ප්‍රකාශ කළේ, එය සිදු වූ විට, ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේගේ බලය සහ අභිප්‍රාය කරණකොටගෙන සියල්ල සිදු වූ බව සියලු දෙනා තේරුම් ගන්නා පිණිසය. ඒ ආදම්ගේ ඉළ ඇටවලින් එකක් රැගෙන ඒව නිර්මාණය කරන ලද ආකාරයටම, සහ සියලුම ජීවීන් ආරම්භයේ දෙවියන් වහන්සේගේ වචනයෙන් මවන ලද ආකාරයටම වේ. එහෙත් මෙහිදීද ඊජිප්තුවේ රජු වන ටොලමිගේ මාලිගාවේ සිටින ඔබේ වැඩිමහල්ලන් විසින් මෙම කොටසෙහි ශුද්ධලියවිල්ලේ සැබෑ අරුත ඔවුන් පරිවර්තනය කළ ආකාරයට නොව, එය විකෘති කර පරිවර්තනය කිරීමට ඔබ නිර්භීත වී ඇත. එසේ, “බලව, තරුණියක් ගර්භනී වනු ඇත,” යනුවෙන් කියවිය යුතු බව ප්‍රකාශ කරමින්, ලිංගික සංසර්ගයෙන් පසුව වඳ කාන්තාවන්ට හැර අනෙකුත් සියලුම තරුණියන්ට කළ හැකි පිළිසිඳ ගැනීමට අසාමාන්‍ය වැදගත්කමක් පෙන්නුම් කරන දෙයක් ලෙස පෙන්නුම් කරන්නෙහිය. තවද, දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන වඳ අයට පවා සරු බවට පත් විය හැකිය. වඳ වී සිටි සාමුවෙල්ගේ මව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන තම දරුවා බිහි කළාය. ශුද්ධ වූ ආදී පීතෘවරයා වන ආබ්‍රහම්ගේ භාර්යාව ගැනත්, යොහන් බව්තීස්ත බිහි කළ එලිසබෙත් ගැනත්, තවත් බොහෝ කාන්තාවන් ගැනත් එම දේම පැවසිය හැකිය. එබැවින් දෙවියන් වහන්සේ කැමති නම්, උන් වහන්සේට කිරීමට කිසිවක්ම අපහසු නොවන බව ඔබ තේරුම් ගත යුතුය. තවද, විශේෂයෙන්ම මෙය සිදුවනු ඇතැයි කලින්ම ප්‍රකාශ කර ඇති විට, අනාවැකි විකෘති කිරීමට හෝ වැරදි ලෙස අර්ථකථනය කිරීමට ඔබ උත්සාහ නොකළ යුතුය. මන්ද එසේ කිරීමෙන් ඔබ දෙවියන් වහන්සේට හානියක් නොකරන අතර, ඔබ ඔබටම හානි කරගන්නවා පමණි.’
85 වන පරිච්ඡේදය
“එසේම, ඔබගෙන් සමහරෙක් පහත සඳහන් වචනද පැහැදිලි කිරීමට නිර්භීත වෙති. “ද්වාරයෙනි, තොපගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස් වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල් වන සේක.” ඔවුන් එය හෙසකියාට යොමු කළාක් මෙන්, ඔබගෙන් සමහරෙක් එය සලමොන්ට අදාළ කරන්නෝය. ඊට ප්‍රතිවිරුද්ධව, ඒවායින් කතා කළේ හෙසකියා ගැන හෝ සලමොන් ගැන හෝ ඔබේ කිසිම රජෙකු ගැන හෝ නොව, (යෙසායා, දාවිත් සහ සියලුම ශුද්ධලියවිලි සාක්ෂි දරන ආකාරයට) අලංකාරයෙන් හෝ ගෞරවයකින් තොරව පෙනී සිටි අපගේ ක්‍රිස්තුස් වහන්සේ ගැන පමණක් බව අපට ඔප්පු කළ හැකිය. උන් වහන්සේ තමන් වහන්සේට එම ගෞරවය ලබා දුන් පියාණන් වහන්සේගේ කැමැත්තෙන් සේනාවල ස්වාමින් වහන්සේ වන සේක. උන් වහන්සේ (උන් වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේ ලෙසෙ ප්‍රකාශ කළ ගීතාවලියේ සහ අනෙකුත් ශුද්ධලියවිලි කොටස්වල සඳහන් පරිදි) මළවුන්ගෙන් නැවත නැඟිට ස්වර්ගයට නැගුණු සේක. ඔබ කැමති නම් ඔබට මෙහි සත්‍යය පහසුවෙන් දැකගත හැකිය. එහෙත් ඔබේ ඇස් ඇර ඔබ අවට සිදුවන දේවල් දෙස බලන්න. මේ දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන විට සෑම යක්ෂයෙකුම පරාජය වී යටපත් වේ. උන් වහන්සේ මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය, කන්‍යාවකගෙන් උපන් තැනැන් වහන්සේය, උන් වහන්සේ දුක් විඳි සහ පොන්තියුස් පිලාත් යටතේ ඔබේ සෙනඟ විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැන් වහන්සේය, උන් වහන්සේ මිය ගොස් පසුව, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීමෙන් පසුව, ස්වර්ගයට නැග්ග සේක. එහෙත්, ඔබ අතර උපන් ඕනෑම මිනිසෙකුගේ (රජවරුන්, යුක්තිසහගත මිනිසුන්, අනාගතවක්තෘවරුන් හෝ ආදී පීතෘවරුන්ගේ) නාමයෙන් ඔවුන් නෙරපා හැරීමට ඔබ උත්සාහ කරන විට, එක් යක්ෂයෙකුවත් ඔබට යටත් නොවනු ඇත. ඔබ අතරෙන් යම් මිනිසෙකු ආබ්‍රහම්ගේත්, ඊසාක්ගේත්, යාකොබ්ගේත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔවුන් දුරු කළහොත්, ඔවුන් සමහර විට ඔබට යටත් වනු ඇත. එහෙත් මා දැනටමත් සඳහන් කර ඇති පරිදි, ඔබේ සමහර යක්ෂයින් දුරු කරන අය, අන්‍යජාතිකයන්ගේ ඉන්ද්‍රජාලික කලාව භාවිත කරමින්, දුම් දැමීමේ ක්‍රම හෝ කෙනෙකුගේ ආභරණයක් භාවිත කරමින් පිටව යාමට යක්ෂයන්ගෙන් ඉල්ලා සිටිති. දාවිත් කරණකොටගෙන අනාවැකියේ වචනය දේවදූතයන් සහ බලවතුන්ට දොරටු ඔසවන්නට නියෝග කළ බව දාවිත්ගේ වචනද පෙන්නුම් කරයි. එසේ කළේ මළවුන්ගෙන් උත්ථාන වූ උන් වහන්සේ, සේනාවල ස්වාමීන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, පියාණන් වහන්සේගේ කැමැත්තට අනුව ඇතුළු විය යුතු නිසාය. ඊයේ අප සමග නොසිටි අය වෙනුවෙන්, මම දාවිත්ගේ අනාවැකිය නැවත කියමින්, ඒ අවස්ථාවේදී පැවසූ බොහෝ දේ සාරාංශගත කරමි. මා ඒවා නිතර නිතර නැවත කියන බවක් අදහස් වූවත්, එසේ කිරීම පලක් නැති දෙයක් සේ මම නොසිතමි. ඉර හඳ සහ අනෙකුත් තාරකා ඒවායේ එකම ගමන් මාර්ගයක භ්‍රමණය වන විට සහ එකම ආකාරයට ඍතු වෙනස්වීම් ඇති කරන විට ඒවා නිරීක්ෂණය කිරීම මෝඩකමකි. එසේම ගණිතඥයෙකු ගැන සලකා බැලීමේදී. දෙවරක් දෙක කීයද යන්න විමසූ විට ඔහු නිතරම “හතර” යන එකම පිළිතුර ලබා දෙන බැවින්; එමෙන්ම සත්‍ය යැයි ස්ථිරව තහවුරු වී ඇති අනෙකුත් සියලු දේ පිළිගනිමින් සෑම විටම එකම ආකාරයෙන් කථා කිරීම අඥානකමකි. එසේ වුවද, ශුද්ධලියවිල්ලේ අන්තර්ගත අනාවැකිවල අරුත ගැන දේශන කරන විට, සෑම විටම එකම ශුද්ධලියවිල්ල උපුටා නොගෙන, එම ශුද්ධලියවිල්ලට වඩා උසස් වචන නිර්මාණය කිරීමට සහ උච්චාරණය කිරීමට තමාට හැකියාව ඇතැයි සිතීම සිදු වෙයි. ස්වර්ගයේ දේවදූතයන් සහ බලධාරීන් ඇති බව දෙවියන් වහන්සේ අපට එළිදරව් කළ බවට මා පෙන්වා දුන් ශුද්ධලියවිලි කොටස මෙසේය: “ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන් වහන්සේට ප්‍රශංසා කරව්. උන් වහන්සේගේ සියලු දූතයෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරව්. උන් වහන්සේගේ මුළු සේනාව, උන් වහන්සේට ප්‍රශංසා කරව්.”
මෙම අවස්ථාවේදී, දෙවන දිනයේදී ඔවුන් සමග සම්බන්ධ වූ එක් මනුෂ්‍යයෙකු වන මනාසේස මෙසේ ප්‍රකාශ කළේය. ‘අප වෙනුවෙන් එම කොටස් නැවත කිමට කරදර වීම සම්බන්ධයෙන් ඔබගේ කරුණාව අපි බෙහෙවින් අගය කරමු.’
මම මෙසේ පිළිතුරු දුනිමි. ‘මගේ මිත්‍රවරුනි, මෙය සිදු කිරීමට මා පොලඹවන ශුද්ධලියවිල්ලට සවන් දෙන්න. යෙසායාද යම් දුරකට ප්‍රකාශ කළ පරිදි, අපගේ සතුරන්ට පවා ප්‍රේම කරන ලෙස යේසුස් වහන්සේ අපට අණ කළ සේක. ඔහුගේ වචනවල යෙරුසලමේදී සිදු වන්නට යන ක්‍රිස්තුස් වහන්සේගේ තේජාන්විත පැමිණීම අපේක්ෂා කරන සහ ඔවුන්ගේ සෑම ක්‍රියාවක් මගින් උන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරන අප මෙන්ම සියල්ලන්ගේම නව උපතේ අබිරහස ඇතුළත් වේ. යෙසායාගේ වචන මෙසේය: “ස්වාමීන් වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන් වහන්සේගේ වචනය අසාපල්ලා. මාගේ නාමය නිසා නුඹලාට වෛර වී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන් වහන්සේ ගෞරව ලබාගන්න සේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේ යයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත. ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵල දෙන ස්වාමීන් වහන්සේගේ හඬය. ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ වැදුවාය; ඈට විළිරුජාව අල්ලන්ට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එක විටම උපදිනවා ඇද්ද? සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් වැදුවාය. බිහිවෙන්ට ළංකරන්නාවූ මම උපදින්ට නොසලස්වන්නෙම්දැයි ස්වාමීන් වහන්සේ කියන සේක. නොහොත් බිහිවන්ට සලස්වන්නාවූ මමම ගර්භය පියන්නෙම්දැයි නුඹේ දෙවියන් වහන්සේ කියන සේක. යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමග සන්තෝෂ වී, ඈ කෙරෙහි ප්‍රීතිමත් වෙයල්ලා; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමග ප්‍රීති වෙයල්ලා. මෙසේ නුඹලා ඇගේ සැනසිලි නමැති තන උරා තෘප්තියට පැමිණෙනවා ඇත; ඇගේ තේජසේ පූර්ණකමින් දොවාගන භුක්ති විඳිනවා ඇත.”
86 වන පරිච්ඡේදය
මම මෙම කොටස උපුටා දැක්වීමෙන් පසුව, මම තවදුරටත් මෙසේ කීවෙමි. ‘දැන් මහත්වරුනි, කුරුසියේ ඇණ ගැසීමෙන් පසු තේජසින් ආපසු පැමිණීමට ආසන්න ජීවන වෘක්ෂය (පාරාදීසයේ රෝපණය කරන ලද බව කියනු ලබන) සහ සියලු ධර්මිෂ්ඨයන්ට සිදුවීමට නියමිත සිදුවීම් මගින් යන දෙයාකාරයෙන්ම සංකේතවත් කරන ලද තැනැන් වහන්සේ ශුද්ධලියවිල්ලේ ප්‍රකාශ කර ඇත්තේ කෙසේද යන්න ඔබ තේරුම්ගැනීම මට අවශ්‍ය වේ. මෝසෙස් සෙනඟ ගලවා ගැනීම පිණිස සැරයටියක් සමග යවන ලද විට, ඔහු එය තමන්ගේ අතින් ඔවුන්ගේ හිස මත තැබුවේය. එසේම ඔහු එයින් මුහුද දෙකට වෙන් කළේය. මෙම සරයටියෙන් ඔහු ට ගසා එය ස්පර්ශ කළ අතර පර්වතයෙන් ජලය ගලා යන ආකාරය දුටුවේය. තවද, මාරාහිදී තිත්ත ජලයට ගසක අත්තක් විසි කිරීමෙන් ඔහු ඒවා මිහිරි බවට පත් කළේය. යාකොබ් බැටළුවන් වතුර බොන ස්ථානවල අතු තැබීමෙන්, තම මවගේ සහෝදරයාගේ බැටළුවන් ගැබ් ගැනීමට සැලැස්සුවේය. එසේ කළේ ඔවුන්ගේ පැටවුන්ගේ අයිතිය ඔහු ලබා ගන්නා පිණිසය. එම යාකොබ්ම තම සැරයටිය ගෙන ගඟ තරණය කළ බවට පුරසාරම් පවසයි. ඔහු ඉණිමඟක් දුටු බවද ප්‍රකාශ කළ අතර, දෙවියන් වහන්සේ ඒ මත රැඳී සිටි බව ශුද්ධලියවිල්ලේ සඳහන් වේ (මේ පියාණන් වහන්සේ නොවන බවට අපි ශුද්ධලියවිල්ලෙන් පෙන්වා දී ඇත්තෙමු). යාකොබ් එම ස්ථානයේදීම ගලක් මතට තෙල් වත් කළ විට, දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වී, තමා දුටු දෙවියන් වහන්සේට ගෞරවයක් ලෙස ඔහු කණුවක් ආලේප කළ බව ඔහුට පැවසූ සේක. බොහෝ ශුද්ධලියවිලි පදවල ක්‍රිස්තුස් වහන්සේ සංකේතාත්මකව ගලක් ලෙස හඳුන්වා ඇති බවද අපි ඔප්පු කර ඇත්තෙමු. තෙල් හෝ සුවඳ ලාටු හෝ වෙනත් ඕනෑම කට්ටකුමංජල් සංයෝගයක් හෝ වේවා, සෑම සුවඳ ද්‍රව්‍යයක්ම ක්‍රිස්තුස් වහන්සේගේ රූපකයක් බව අපි පෙන්වා දී ඇත්තෙමු. මක්නිසාද ශුද්ධලියවිල්ල මෙසේ පවසයි: “එබැවින් දෙවියන් වහන්සේ, ඔබගේ දෙවියන් වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේප කළ සේක.” සියලු රජවරු සහ අනෙකුත් අභිෂේක ලත් පුද්ගලයෝ උන් වහන්සේට ඔවුන්ගේ රජවරුන් සහ අභිෂේක ලත් තැනැත්තාගේ නාමය ආරෝපණය කරති. ඒ රජු සහ ක්‍රිස්තුස් සහ පූජක සහ දේවදූතයා මෙන්ම උන් වහන්සේ සතුව ඇති හෝ උන් වහන්සේ සතුව තිබූ අනෙකුත් සියලුම පදවි නාමයන් උන් වහන්සේ පියාණන් වහන්සේගෙන් ලැබුණු පරිදිය. ඔහුගේ සැරයටියේ මල් පිපීම මගින්, ආරොන් උත්තම පූජකයා බවට ඔප්පු විය. ඇත්ත වශයෙන්ම, යෙසායා, යෙස්සේගේ මුලින් දණ්ඩක් ලෙස ක්‍රිස්තුස් වහන්සේ මතු වන බව කලින් ප්‍රකාශ කළේය. එසේම දාවිත් ධර්මිෂ්ඨ මිනිසා, “ඔහු දිය ඇළවල් ළඟ හිඳු වූ, නියම කලට ඵල දෙන, නොමැලෙවන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵල වෙයි,” යනුවෙන් ප්‍රකාශ කළේය. තවද, නැවතත්, ධර්මිෂ්ඨ මිනිසා “තල් ගසක් මෙන් සශ්‍රීක වන බව” කියා ඇත. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ගසකින් දර්ශනය වූ සේක. එය “මම්රේගේ අලෝන ගස ළඟදී” යයි ලියා ඇත. යොර්දානයෙන් එගොඩ වූ පසුව, සෙනඟට විලෝ ගස් හැත්තෑවක් සහ උල්පත් දොළහක් හමු විය. දාවිත් දෙවියන් වහන්සේ දණ්ඩෙන් සහ සැරයටියෙන් ඔහුට මගපෙන්වන බව ප්‍රකාශ කළේය. අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා දර කැපීමට පටන් ගත් අවස්ථාවේ ගඟට වැටුණු පොරොවේ යකඩ තලය, එලිෂා ලී කැබැල්ලක් යොර්දාන් ගඟට විසි කිරීමෙන් ගඟ මතු පිටට ගෙන ආවේය. එයින් දෙවියන් වහන්සේගේ ආඥා කියවීමටත්, ඉගෙන ගැනීමටත් යෝජනා කර ඇත. අපගේ ක්‍රිස්තුස් වහන්සේ, කුරුසියේ ලීය මත කුරුසියේ ඇණ ගසනු ලැබීමෙන් සහ ජලයෙන් අප විශුද්ධ කිරීම මගින් අපගේ මරණීය පාපයේ මඩ වගුරේ ගිලී සිටි අප නැගිටුවා, අප යාච්ඤාවේ හා නමස්කාරයේ නිවසක් බවට පත් කළාක් මෙනි. අවසාන වශයෙන්, එය මහා අබිරහසකින් තාමාර්ගෙන් උපත ලැබූ නිවුන් දරුවන්ගේ පියා යුදා බව අඟවන සැරයටියකි.’
87 වන පරිච්ඡේදය
මා කතා කර අවසන් වූ පසුව, ට්‍රිපෝ මෙසේ පැවසුවේය. ‘දැන්, මා පහත ප්‍රශ්නය අසන විට, මා එසේ කරන්නේ, ඔබට පරස්පර විරෝධී වීමේ අරමුණ ඇතිව නොව, එහෙත් මෙම විෂය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පමණක් වන බව ඔබ දැන ගැනීම මට අවශ්‍යය.
යෙසායාගේ පහත සඳහන් වදන් මට පැහැදිලි කරන්න: “තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵල දරන්නේය. ස්වාමීන් වහන්සේගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන් වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන් වහන්සේ කෙරේ පිහිටන්නේය. ස්වාමීන් වහන්සේ කෙරෙහි භයින් සිටීම උන් වහන්සේගේ ප්‍රීතිය වන්නේය.” ඔබ පවසන ක්‍රිස්තුස් වහන්සේ, එනම් දැනටමත් දෙවියන් වහන්සේ ලෙස පැවති අතර, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මාංසවත් බවට පත් වී, කන්‍යාවකගෙන් උපත ලැබූ උන් වහන්සේ පිළිබඳ මේ වචන පවසා ඇති බව ඔබ පිළිගත්තෙහිය (ඔහු කීවේය). එසේ නම්, මගේ ප්‍රශ්නය මෙයයි: යෙසායාගේ ඉහත උපුටා දක්වන ලද කොටස්වල සඳහන් ආකාරයට ශුද්ධාත්මයාණන් වහන්සේගේ එම ත්‍යාග උන් වහන්සේට ඒවා අඩුව තිබුණාක් මෙන් උන් වහන්සේට ලබා දී ඇති බව පවසන්නේ කෙසේද?”
“ඔබ ඉතා සංවේදී හා බුද්ධිමත් ප්‍රශ්නයක් යෝජනා කළෙහිය, එයින් සැබෑ දුෂ්කරතාවයක් මතු කරන බව පෙනේ,’ යනුවෙන් මම පැවසුවෙමි. එහෙත්, ඔබ ඇත්තටම මෙම දුෂ්කරතාවයට විසඳුමක් බලාපොරොත්තු වන්නෙහි නම්, කරුණාකර මට සවන් දෙන්න.
ශුද්ධාත්මයාණන්ගේ මෙම දීමනා උන් වහන්සේ වෙත ලබා දුන් බව ශුද්ධලියවිල්ලේ සඳහන් වේ. එහෙත් උන් වහන්සේට ඒවා අවශ්‍ය වූවාක් මෙන් නොව, ඒවා උන් වහන්සේ මත රැඳී සිටීමට ආසන්න වූවාක් මෙන් දැක්වේ. එනම්, පුරාණයේ මෙන් ඔබේ සෙනඟ අතරේ තවත් අනාගතවක්තෘවරුන් නොසිටින පිණිස උන් වහන්සේ සමග එය අවසානයකට පැමිණීම උදෙසාය (ඔබට පැහැදිලිව පෙනෙන පරිදි, උන් වහන්සේගෙන් පසුව ඔබ අතර අනාගතවක්තෘවරයෙකු නොසිටියේය). තව දුරටත්, කරුණාකර මගේ වචන කෙරෙහි ඔබේ අවධානයට යොමු කරන්න. එවිට ඔබේ සෑම අනාගතවක්තෘවරයෙකුම දෙවියන් වහන්සේගෙන් බලයක් හෝ දෙකක් ලබාගෙන, අප ශුද්ධලියවිල්ලෙන් ඉගෙන ගත් දේ කළ බවත්, ඒවා පැවසූ බවත් ඔබට වැටහෙනු ඇත. සලමොන්ට ප්‍රඥාවේ ආත්මයද, දානියෙල්ට අවබෝධයේ සහ උපදෙස් දීමේ ආත්මයද, මෝසෙස්ට ශක්තිය හා භක්තිවන්තකමේ ආත්මයද, එලියාට දේව බයේ ආත්මයද, යෙසායාට දැනුමේ ආත්මයද, යෙරෙමියා මෙන් අනෙක් අයටද දීමනා එකක් හෝ දෙකක් තිබුණි. එසේම අනාගතවක්තෘවරුන් දොළොස් දෙනා සහ දාවිත්ටද, එමෙන්ම කෙටියෙන් කිවහොත් ඔබේ අනෙකුත් සියලුම අනාගතවක්තෘවරුන්ටද එම දීමනා තිබුණි. එබැවින් ආත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි වූ අතර, ක්‍රිස්තුස් වහන්සේ පැමිණි විට එය නතර විය. මක්නිසාද, උන් වහන්සේ විසින් මනුෂ්‍යයාගේ මිදීම ඉටු කරනු ලැබීමෙන් පසු, මෙම දීමනා ඔබ අතර නතර විය යුතු විය. එසේම, ඒවා උන් වහන්සේ තුළ අවසානයට පැමිණ, උන් වහන්සේ විසින් කලින් ප්‍රකාහ කරන ලද පරිදි, උන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ බලයේ කරුණා අනුග්‍රහයෙන් උන් වහන්සේගේ සියලු ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව නැවත ලබා දිය යුතු විය. මා මෙය දැනටමත් තහවුරු කර ඇති අතර, උන් වහන්සේ ස්වර්ගයට නැගීමෙන් පසුව මෙය කරනු ඇතැයි කලින් ප්‍රකාශ කර ඇති බවට වන කාරනය මම නැවතත් කියමි. එහි මෙසේ පවසා ඇත. “ඔබ උසස්ථානයට නැගී ගිය සේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙන ගිය සේක.” තවත් අනාවැකියක මෙසේ කියා ඇත: “ඉන්පසු මාංසමය වූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය.”
88 වන පරිච්ඡේදය
“දැන්, ඔබ අවට බැලුවහොත්, දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ත්‍යාග ලබා ඇති ක්‍රිස්තියානි ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශ්වයම ඔබට දැක ගත හැකිය. මේ අනුව, යෙසායා විසින් ඒවා උන් වහන්සේ මතට පැමිණෙන බව පුරෝකථනය කරන ලද්දේ එම බලයන් උන් වහන්සේට අවශ්‍ය වූ නිසා නොව, එහෙත් පසුව ඒවා තවදුරටත් නොපවතින බැවිනි. අතිරේක සාක්ෂියක් ලෙස, අරාබියේ ශාස්ත්‍රවන්තයින් දරුවා ඉපදුණු වහාම ඔවුන් පැමිණියේ කෙසේද සහ උන් වහන්සේට නමස්කාර කළ ආකාරය ගැන මා පැවසූ දේ මතක තබා ගන්න. මක්නිසාද, උන් වහන්සේ ඉපදුණු විගසම, උන් වහන්සේගේ බලයන් තමන් වහන්සේ සතුව තිබිණි. උන් වහන්සේ වෙනත් ඕනෑම මිනිසෙකු මෙන් වැඩෙමින්, වර්ධනයේ සෑම අදියරකදීම සුදුසු බලයන් භාවිත කළ සේක. සෑම ආකාරයකම ආහාරවලින් පෝෂණය වෙමින්, මා කලින් පෙන්වා දුන් පරිදි, උන් වහන්සේගේ පැමිණීමේ ප්‍රකාශකයා සහ උන් වහන්සේගේ බව්තීස්මයේ පූර්වගාමියා ලෙස උන් වහන්සේ ඉදිරියෙහි යොහන් තමන් වහන්සේට පෙරටුව යන තෙක් අවුරුදු තිහක් පමණ බලා සිටි සේක. යොහන් බව්තීස්ම කරමින් සිටි යොර්දාන් ගඟ ළඟට යේසුස් වහන්සේ පැමිණි විට, උන් වහන්සේ වතුරට බැස්ස අතර, යොර්දාන් ගඟෙහි වතුරෙහි ගින්නක් ඇවිළිණි. උන් වහන්සේ වතුරෙන් ගොඩට පැමිණි විට අපගේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන් විසින්ම සාක්ෂි දරන පරිදි ශුද්ධාත්මයාණන් වහන්සේ පරෙවියෙකුගේ ස්වරූපයෙන් උන් වහන්සේ මතට බැස ගිය සේක. උන් වහන්සේ ගඟ ළඟට ගියේ බව්තීස්මය හෝ පරෙවියෙකුගේ ස්වරූපයෙන් උන් වහන්සේ මතට බැස ආ ආත්මය අවශ්‍ය වූ නිසා නොවන බව අපි ඇත්ත වශයෙන්ම දනිමු. එසේම, උන් වහන්සේ ඉපදීමට සහ කුරුසියේ ඇණ ගැසීමට පැමිණියේ උන් වහන්සේට උපත ලැබීමක් හෝ කුරුසියේ ඇණ ගැසීමක් අවශ්‍ය වූ නිසා නොවේය. ආදම්ගේ කාලයේ සිටම මරණයට සහ සර්පයාගේ වංචාවට යටත්ව සිටි නිසාත්, සෑම මිනිසෙකුම තමාගේම වරදින් පව් කළ නිසාත්, උන් වහන්සේ එසේ පැමිණියේ මිනිසා වෙනුවෙන්ම පමණි. මන්ද දෙවියන් වහන්සේ, (නිදහසේ කැමැත්තේ පෞද්ගලික බලයෙන් පිරිපුන්) දේවදූතයන් සහ මිනිසුන් ඔවුන්ට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට දීමට උන් වහන්සේගේ ඇති ආශාව නිසා, ඔවුන් එසේ නිර්මාණය කළ සේක. ඔවුන් තමන් වහන්සේට ප්‍රසන්න දේවල් කිරීමට තෝරා ගන්නේ නම්, උන් වහන්සේ ඔවුන් අමරණීය බවට පත් කර දඬුවම්වලින් නිදහස් කරනු ඇත. එහෙත් ඔවුන් නපුර කිරීමට කැමති නම්, උන් වහන්සේ සෑම කෙනෙකුටම තමා කැමති පරිදි දඬුවම් කරනු ඇත. උන් වහන්සේ කොටළුවෙකු පිට යෙරුසලමට ඇතුළු වීම (පුරෝකථනය කර ඇති බවට අප විසින් පෙන්වා දී ඇති) නිසා ක්‍රිස්තුස් වහන්සේ වීමට උන් වහන්සේට බලය ලැබුණේ නැත, එහෙත් එයින් උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව මිනිසුන්ට ඔප්පු කරන ලද්දේය. ඒ යොහන් බව්තීස්තගේ කාලයේ සිටි මිනිසුන්ට ක්‍රිස්තුස් වහන්සේ කවුදැයි වටහා ගැනීමට සාක්ෂි අවශ්‍ය වූවාක් මෙනි. මක්නිසාද, යොහන් හම්වලින් සාදන ලද්දක් සහ ඔටු ලෝම සළුවක් පමණක් පැලඳගෙන, පළඟැටියන් සහ වන මී පැණි පමණක් අනුභව කරමින්, යොර්දාන් ගඟ අසල වාඩි වී පසුතැවිලි වීමේ බව්තීස්මය දේශනා කරන විට, මිනිසුන් ඔහු ක්‍රිස්තුස් යැයි සිතූ නමුත් ඔහු ඔහුගේ සවන් දෙන්නන්ට මොරගසා මෙසේ කීවේය: “මම ක්‍රිස්තුස් නොවෙමි, මම වනාහි අනාගතවක්තෘ වූ යෙසායා කී හැටියට-ස්වාමීන් වහන්සේගේ මාර්ගය සමතලා කරපල්ලාය කියා වනයෙහි හඬ ගසන්නෙකුගේ ශබ්දය වෙමි. මට වඩා උතුම් කෙනෙක් එන සේක. උන් වහන්සේගේ පාවහන් පටිය මුදන්ටවත් මම නොවටිමි.” එම නිසා වඩුවා වූ යෝසප්ගේ පුත්‍රයා ලෙස සලකන ලද, එසේම ශුද්ධලියවිල්ලේ සඳහන් වන පරිදි, කිසි ශෝභනභාවයක් නොමැති යේසුස් වහන්සේ යොර්දාන් ගඟ ළඟට පැමිණි කල, උන් වහන්සේ වඩු කාර්මිකයෙකු ලෙස සැලකුණි. (මන්ද, උන් වහන්සේ මිහිපිට සිටින විට නගුල් සහ වියගහ සාදමින් උන් වහන්සේ වඩු කාර්මිකයෙකු ලෙස වැඩ කළ සේක. එමගින් සාධාරණ හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සංකේතාත්මක පාඩම් අපට ලබා දුන් සේක). එහෙත් පසුව, මා දැනටමත් ප්‍රකාශ කළ පරිදි, මනුෂ්‍ය වර්ගයා උදෙසා, ශුද්ධාත්මයාණන් වහන්සේ පරෙවියෙකුගේ ස්වරූපයෙන් උන් වහන්සේ වෙතට බැස ගිය අතර, ඒ මොහොතේම ස්වර්ගයෙන් හඬක් දාවිත් ක්‍රිස්තුස් වහන්සේගේ පුද්ගලයා තුළ, ඔහු විසින් ප්‍රකාශ කරන ලද වචන කථා කළේය. ඔහු ක්‍රිස්තුස් වහන්සේට පියාණන් වහන්සේ පැවසිය යුතු දේ ප්‍රකාශ කළේය: “ඔබ මාගේ පුත්‍රයාය; අද මම ඔබ ජනිත කළෙමි.” එහි අර්ථය නම් උන් වහන්සේගේ උපත ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයන් සඳහා ආරම්භ වූයේ උන් වහන්සේ කවුදැයි ඔවුන් මුලින්ම වටහාගත් විට බවයි.’
89 පරිච්ඡේදය
ට්‍රිපෝ මෙසේ පැවසුවේය. යුදෙව්වන් වන අප සියල්ලන්ම ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දෙස බලා සිටින බව ඔබ හොඳින් දන්නා අතර, ඔබගේ සියලුම ශුද්ධලියවිලිමය උපුටා දැක්වීම් උන් වහන්සේ වෙත යොමු වන බව අපි පිළිගනිමු. එසේම නේව්ගේ (නූන්) පුත්‍රයාට ලබා දුන් යේසුස් [ජෝසු] යන නාමය මෙම මතයට නැඹුරු වීමට මා පොලඹවා ඇති බවද මම පිළිගනිමි. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ මෙතරම් නින්දිත ලෙස කුරුසියේ ඇණ ගැසිය යුතුද යන්න අපට සැකයක් ඇත. මන්ද කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැත්තා සාප ලත් අයෙකු බව ව්‍යවස්ථාව පවසන නිසාය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම කරුණ පිළිබඳ මට ඒත්තු ගැන්වීම ඔබට ඉතා අපහසු වනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳීමට නියමිත බව ශුද්ධලියවිල්ලේ සඳහන් වන බව ඇත්ත වශයෙන්ම පැහැදිලිය. එහෙත් ඔබට හැකි නම්, එය ව්‍යවස්ථාවෙන් ශාප ලත් අයෙකු ලෙස දුක් විඳීමේ ස්වරූපය විය යුතුය යන්න ඔබට අපට පෙන්වා දිය යුතුය.’
“ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳිය යුතු නැත්නම්, සහ ජනතාවගේ පාපය උදෙසා උන් වහන්සේ මරණයට පත් කරනු ලබන බව සහ අගෞරවයට පත් කරනු ලබන බවත්, කසයෙන් තළනු ලැබ, පව්කාරයන් අතරට ගණන් ගනු ලබන බවත්, මරන්නට ගෙන යන බැටළුවෙකු ලෙස ගෙන යනු ඇති බවත්, උන් වහන්සේගේ උපත (දිවැසිවරයා ප්‍රකාශ කරන) කිසිවෙකුට විස්තර කළ නොහැකි බවත් දිවැසිවරුන් කලින් ප්‍රකාශ කර නැතිනම්, ඔබේ විස්මිත හැඟීම් යුක්ති සහගත වනු ඇත. එහෙත් මේ දේවල් උන් වහන්සේ සියල්ලන්ටම එළිදරව් කරන ලද ලකුණු නම්, උන් වහන්සේ තුළ නිසැකකමින් යුතුව විශ්වාස කරනවාට වඩා අපට කළ හැකි වෙනත් දෙයක් තිබේද? අනාගතවක්තෘවරුන්ගේ වදන්වල අරුත අවබෝධ කරගත් සියල්ලන්ම, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ බව ඇසූ විගසම, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මිස වෙන කිසිවෙකුත් නොවන බව තහවුරු කරනු ඇත.’
90 වන පරිච්ඡේදය
‘එසේ නම් අපත් ඔබ විශ්වාස කරන පිණිස අපට මෙය ශුද්ධලියවිල්ලෙන් පෙන්වා දෙන්න. උන් වහන්සේ දුක් විඳීමටත්, බැටළුවෙකු ලෙස ඝාතන කිරීමට ගෙන යාමටත් සිටි බව අපි ඇත්ත වශයෙන්ම දනිමු. එහෙත් ඔබ විසින් ඔප්පු කර පෙන්වීම අපට අවශ්‍ය වන්නේ උන් වහන්සේ කුරුසියේ ඇණ ගසෙනු ලැබ ඉතා නින්දිත හා ලජ්ජාසහගත මරණයකට (එසේ වන මරණයට ව්‍යවස්ථාවේ පවා ශාප කර ඇත) යටත් විය යුතු බවය. එය එසේ සිදු විය හැකි බව අපට සිතා ගැනීමටවත් නොහැකිය,’ යනුවෙන් ට්‍රිපෝ පැවසුවේය.
‘ඇත්ත වශයෙන්ම, අනාගතවක්තෘවරුන් පැවසූ දේහෝ කළ දේ ඔවුන් බොහෝ විට උපමා සහ රූපකවලින් ප්‍රකාශ කළ බවත්, එමගින් ඔවුන් දරන සත්‍යය වසන් කරන බවත් ඔබ එය දන්නා අතර, ඔබ දැනටමත් පිළිගෙන ඇත්තෙහිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ඉගැන්වූ බොහෝ දේ තේරුම් ගැනීමට සමූහයාට පහසු නැත. එහෙත් එය තේරුම් ගත හැකි වන්නේ එය සොයා ගැනීමට සහ ඉගෙන ගැනීමට වෙහෙස වන අයට පමණි,’ මම කීවෙමි,
“අප කවදාවත් ඒ ගැන සැක කළේ නැහැ,” ඔවුහු පිළිතුරු දුන්හ.
“එසේනම් කරුණාකර මා පවසන්නට යන දෙයට සවන් දෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ මෙම පැහැදිලි ශාපය ඔහු විසින් සිදු කරන ලද සංකේතාත්මක ක්‍රියාවන් මගින් ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ මෝසෙස්ය,’ මම කීවෙමි,
‘ඔබ අදහස් කරන්නේ කුමන ක්‍රියාවන්ද?’ ට්‍රිපෝ ඇසුවේය.
ඔබේ සෙනඟ අමලෙක්වරුන් සමග යුද්ධ කළ විට, නූන්ගේ පුත් යේසුස් [ජෝසු] සටනේ නායකයා විය. මෝසෙස්, ඔහුගේ අත් දෙකම ඔසවා, උපකාරය සඳහා දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. දැන්, හූර් සහ ආරොන් මුළු දවස පුරාම ඔහුගේ දෑත් ඔසවාගෙන සිටියේ, ඔහු වෙහෙසට පත් වී ඔහුගේ අත දෙපැත්තට වැටීමට ඉඩ නොදෙනු පිණිසය. මක්නිසාද, කුරුසියේ රූපයක් වූ අත් දිගු කළ රූපයෙන් මෝසෙස් අත් ලිහිල් කළ විට, (මෝසෙස් විසින්ම සාක්ෂි දරන පරිදි) මිනිස්සු පරාජයට පත් වූහ. එහෙත් ඔහු එම ආකාරයෙන්ම අත් ඔසවාගෙන සිටින තාක් කල් අමලෙක්වරු පරාජයට පත් වූහ. එසේම ශක්තිමත් අය කුරුසියෙන් ඔවුන්ගේ ශක්තිය ලබා ගත්හ. ඇත්ත වශයෙන්ම, එසේ වූයේ මෝසෙස් තම සෙනඟට ජයග්‍රහණය ලැබෙන පිණිස යාච්ඤා කළ නිසා නොව, යේසුස් වහන්සේගේ නාමය යුද පෙරමුණේ සිටියදී, මෝසෙස් කුරුසියේ ලකුණ සෑදූ බැවිනි. වැලපීමෙන් හා කඳුළින් යුක්තව, දණින් වැටී පහත් වී සිදු කරනු ලබන එම යාච්ඤාව දෙවියන් වහන්සේට වඩාත්ම ප්‍රිය කරන බව ඔබ අතරින් නොදන්නේ කවුරුන්ද? එහෙත් මේ අවස්ථාවේදී මෝසෙස් (හෝ ඔහුට පසුව) වෙනත් අයෙකු එසේ යාච්ඤා කළේ නැත. ඔහු ගලක් මත වාඩි වී සිටියේය. එසේම ගල පවා ක්‍රිස්තුස් වහන්සේගේ සංකේතයක් බව මම පෙන්නුවෙමි.’
