ජස්ටින් තුමාගේ ට්‍රිෆෝ සමග සංවාදය 31-60 (Justin Martyr, Dialogue with Trypho)

Justin Martyr, Dialogue with Trypho in Sinhala, chapters 31-60


31 වන පරිච්ඡේදය

‛එවැනි බලයක් උන් වහන්සේගේ දැඩි ආශාව සමග ඇති බව පෙන්නුම් කරන්නේ නම් සහ තවමත් උන් වහන්සේගේ දැඩි ආශාව එය වන්නේ නම්, උන් වහන්සේගේ මහිමාන්විත නැවත පැමිණීමේදී උන් වහන්සේගේ බලය කොතරම් ශ්‍රේෂ්ඨ වනු ඇත්දැයි සිතා බලන්න! මන්ද, දානියෙල් කලින්ම අනාවැකි කී පරිදි, උන් වහන්සේ තමන් වහන්සේගේ දේවදූතයන් පිරිවරාගෙන මනුෂ්‍ය පුත්‍රයා මෙන් වලාකුළු පිට වඩිනු ඇත. දානියෙල්ම පැවසූ ඔහුගේ වචන මෙසේය: මා බලා සිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩි වුණේය. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, උන් වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන් වහන්සේගේ සිංහාසනය ගිනි දලුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය. ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලා ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන් වහන්සේට සේවය කළෝය, දස දහසක් වර දස දහස් දෙනෙක්ද උන් වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරින ලද්දේය. එකල ඒ අග කථාකරන උඩඟු වචනවල ශබ්දය නිසා බලා සිටියෙමි; මා බලාසිටින අතර මෘගයා මරනු ලැබ, උගේ ශරීරය නාස්ති කර, ඌ ඇවිළෙන ගින්නෙහි දමන ලද්දේය. අනික් මෘගයන්ගේ ආණ්ඩු බලය උන්ගෙන් පහ කරන ලද්දේය. එහෙත් උන්ගේ ජීවිතවල ප්‍රමාණය කාලයකටත් අවස්ථාවකටත් දීර්ඝ කරන ලද්දේය. මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන් වහන්සේ ඉදිරියට උන් වහන්සේ පමුණුවනු ලැබූ සේක. සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන් වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන් වහන්සේට දෙන ලද්දේය. උන් වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන් වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය. දානියෙල් වන මා තුළ මාගේ ආත්මය දුක් වුණේය, මාගේ හිසේ දර්ශනවලින් මම කැලඹුණෙමි. එහි සිටි තැනැත්තන්ගෙන් එක්කෙනෙකු ළගට මම ළංවී, ඒ සියල්ලේ අර්ථය මට කියන මෙන් ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු මට කථාකොට, කාරණාවල තේරුම මට දැන්නුවේය. ඒ මහා මෘගයන් සතරදෙනා නම් රජවරු සතර දෙනෙක්ය, ඔව්හු පොළොවෙන් නැගිට එන්නෝය. නුමුත් මහෝත්තමයාණන් වහන්සේගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ, සෑම කලටම, සදාකාලයටම රාජ්‍යය භුක්ති විඳින්නෝ යයි කීවේය. එකල අනික් සියලු මෘගයන්ට වෙනස්වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ පිත්තල නියපොතු ඇත්තාවූ, කාදමා පොඩි කර ඉතිරි ඒවා පයින් පෑගුවාවූ සතරවෙනි මෘගයා ගැනද, උගේ හිසේ තිබුණු අං දසය ගැනද, (මට උපදෙස් දෙන ලද ආකාරයට) යම් අඟක් හටගෙන අං තුනක් හෙළා දැමුවේද ඒ අඟ ගැනද, එනම් ඇස් සහ උඩඟු ලෙස කථා කරන මුඛයක් ඇත්තාවූ, අනික් ඒවාට වඩා මහත්ව පෙනුණාවූ අග ගැනද අර්ථය දැනගන්ට කැමතිව සිටියෙමි. ඒ පුරාතන තැනන් වහන්සේ ඇවිත්, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට යුක්තිය කරන තුරුද ශුද්ධවන්තයන් රාජ්‍යය භුක්ති විඳින කාලය පැමිණෙන තුරුද, ඒ අග ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ගෙන් ජයගන්න බව දුටුවෙමි. ඔහු මෙසේ කීවේය: සතරවෙනි මෘගයා නම් සියලු රාජ්‍යවලට වෙනස්වූ, මුළු පොළොව නාස්ති කොට පාගා දමා පොඩි කරන සතරවෙනි රාජ්‍යයක්ය. අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත් කර දමන්නේය. ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාර දෙනු ලබන්නෝය. එහෙත් විනිශ්චයකාර සභාව හිඳගන්නවා ඇත, එවිට ඔවුන් ඔහුගේ ආණ්ඩුව නාස්ති කිරීමටත් ඒක තීන්දුවටම නැති කර දැමීමටත් ඒක පහ කරනවා ඇත. මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනඟට දෙනවා ඇත. උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, සියලුම ආණ්ඩුද උන් වහන්සේට සේවයකර කීකරු වෙනවා ඇතැයි කීවේය. කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝ සෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස් විය. නුමුත් කාරණය මාගේ සිතේ තබාගන උන්නෙමි.”

32 පරිච්ඡේදය

මා මඳක් කථාව නැවැත්වූ විට, ට්‍රිපෝ ඔහුගේ විරුද්ධත්වය මෙසේ පළ කළේය. ‘ඔබේ ශුද්ධලියවිලි උපුටා දැක්වීම්වලින් ඔප්පු වන්නේ, මනුෂ්‍ය පුත්‍රයා ලෙස, පුරාණ කාලයේ සිට සදාකාලික රාජ්‍යය ලබන එම තේජාන්විත හා ශ්‍රේෂ්ඨ මෙසියස් වහන්සේගේ පැමිණීම කෙරෙහි අප බලා සිටිය යුතු බවයි.

ඔබ ක්‍රිස්තුස් ලෙස හඳුන්වනු ලබන ක්‍රිස්තුන් වහන්සේ මහිමයෙන් හා ගෞරවයෙන් තොර අයෙකු වූ අතර, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි අවසාන ශාපය දැරූ සේක එනම්, කුරුසියේ ඇණ ගසනු ලැබූ සේක.’

මම එයට වහාම පිළිතුරු දුනිමි, ‘මගේ මිත්‍රවරුනි, ක්‍රිස්තුස් වහන්සේගේ පෙනුම තේජසකින් තොරව තිබිය යුතු බවත්, උන් වහන්සේගේ පරම්පරාව විස්තර කළ නොහැකි බවත්, උන් වහන්සේගේ මරණය නිසා ධනවතුන් මරණයට පත් විය යුතු බවත්, උන් වහන්සේගේ දුක් විඳීමෙන් අපට සුවය ලැබිය යුතු බවත්, උන් වහන්සේ බැටළුවෙකු මෙන් මරන පිණිස ගෙන යනු ඇති බවත්, ඉහත උපුටා දක්වන ලද ශුද්ධලියවිල්ලේ කොටස්වලින් මා පැහැදිලි නොකළේ නම්, සහ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම් දෙකක් තිබිය යුතු බව මා පැහැදිලිව ප්‍රකාශ නොකළේ නම් (ඒවා නම්, උන් වහන්සේ ඔබ විසින් අනිනු ලැබූ පළමු පැමිණීම, ඔබ උන් වහන්සේ දෙස බලා, ඔබ විසින් සිදුරු කරන ලද තැනැන් වහන්සේ ලෙස හඳුනා ගන්නා දෙවන පැමිණීම වේ. එවිට ඔබේ ගෝත්‍ර, එකිනෙක ගෝත්‍ර අනුව, ස්ත්‍රීන් වෙන්ව සහ පිරිමින් වෙන්ව වැලපෙනු ඇත), එවිට මගේ වචන අපැහැදිලි සහ බොඳ වූ ස්වභාවයේ ඒවා වන්නට ඇත. දැන්, සබාත්හි ස්වාමීන් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් සදාකාලික ගැලවීම සඳහා වෙන් කර ඇති එම බීජයට අයත් කෙනෙකු ඔබ අතරේ සිටිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්, මා ඉදිරිපත් කරන සියලුම වචනවලින්, මම ඔබේ ශුද්ධ වූ සහ අනාවැකිමය ලියවිලිවලින් මගේ සියලු සාක්ෂි ලබා ගන්නෙමි. මෙම කාරණය ඔබට තවදුරටත් පැහැදිලි කිරීම සඳහා, මම ආශීර්වාද ලත් දාවිත්ගේ වෙනත් කොටස් උපුටා දක්වන්නෙමි. එයින් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ වූ අනාගතවාක්‍යයේ ආත්මයේ ස්වාමියා ලෙසද හඳුන්වනු ලබන බවත්, සියල්ලන්ගේම පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ උන් වහන්සේ පොළොවෙන් ඔසවාගෙන, උන් වහන්සේ තමන් වහන්සේගේ සතුරන් තම පාපුටුව කරන තුරු උන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගන්ට සැලැස්වූ බවත් ඔබට දැක ගත හැකිය. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීමෙන් පසුව ස්වර්ගයට නැඟුණු අවස්ථාවේදී ඇත්තෙන්ම සිදු වූයේ මෙයයි. මේ ආකාරයට කාලය සම්පූර්ණ වෙමින් පැවති අතර, දානියෙල් කලින් අනාවැකි පැවසූ තැනැන් වහන්සේ උන් වහන්සේය. එනම් ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාර දෙනු ලබන්නෝය. ඔහු කොපමණ කාලයක් රජකම් කරයිද යන්න පිළිබඳ නොදැනුවත්කමින් ඔබ වෙනස් මතයක් දරන්නෙහිය. එයට හේතුව ඔබ “කාලය” යන වචනය වසර සියයක් ලෙස වැරදියට අර්ථකථනය කිරීම මත පදනම්වය. මෙය එසේ නම්, පාපයේ මිනිසා අවම වශයෙන් අවුරුදු තුන්සිය පනහක් පාලනය කළ යුතුය. ශුද්ධලියවිල්ල දානියෙල්ගේ “කාලයන්” යන ප්‍රකාශය දෙවරක් යන්න පමණක් අදහස් කරයි. දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව පැවසූ කාරණයෙහි සත්‍යය ඔබට ඒත්තු ගැන්වීමේ එකම අරමුණ සඳහා මම දිගු වේලාවක් ගත කළෙමි. එනම්, ඔබ අඥාන දරුවන් වන අතර, “මම තවත් මේ සෙනග අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම වූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන් ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවී යන්නේ යයි කී සේක.” මෙය දැනගෙනත්, ඔබ ඔබත්, ඔබ අවට සිටින අයත් රවටා ගැනීම නතර නොකරන්නේ මන්ද? ක්‍රිස්තුස් වහන්සේගේ කරුණා අනුග්‍රහය කරණකොටගෙන වන ප්‍රඥාවෙන් උගන්වනු ලැබ ඇති ඔබ අපෙන් ඉගෙන නොගන්නේ මන්ද? එහෙත්, ප්‍රශ්නයට අදාළ කාරණයට නැවත පැමිණීමේදී, ඒ පිළිබඳ දාවිත්ගේ ඒත්තු ගැන්වෙන වචන මෙසේය: “ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පා පුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කී සේක. ස්වාමීන් වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවන සේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩු කළ මැනව. ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනග කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත් වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්ත වූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය. නුඹ මෙල්කිසෙදක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන් වහන්සේ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක. ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන් වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළන සේක. උන් වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චය කරන සේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසා හෙළන සේක. උන් වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානය කරන සේක; එබැවින් හිස ඔසවන සේක.”

33 වන පරිච්ඡේදය

“ඉහත උපුටා දක්වන ලද ගීතිකාවේ ඒවා එසකියා රජුට පැවසූ වචන වන බව කීමට ඔබ නිර්භීත බව දැන් මම දනිමි.” මම නොකඩවම මෙසේ පවසාගෙන ගියෙමි. එහෙත් ඔබ වැරදි බව ගීතාවලියේ එම වචනවලින්ම මම ඔබට පෙන්වන්නම්. ගීතාවලියේ වචන අතර පහත සඳහන් ප්‍රකාශ දෙක ඇත: “ස්වාමීන් වහන්සේ දිවුළ සේක; සහ එය වෙනස් නොකරන (පසුතැවිලි නොවන) සේක,” සහ “නුඹ මෙල්කිසෙදක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකි.” දැන්, එසකියා කිසි විටෙකත් දෙවියන් වහන්සේගේ සදාකාලික පූජකයෙකුව සිටියේ නැති බවත්, ඔහු දැනුත් එසේ නොවන බවත් ඔබ පිළිගත යුතුය. ඔබේ කන් එතරම් අඳුරු නොවූයේ නම් හෝ ඔබේ හදවත් දැඩි වී නැත්නම්, එම වචන අපගේ යේසුස් වහන්සේ පිළිබඳ පවසන බව ඔබට පෙනෙනු ඇත. මන්ද, “ස්වාමීන් වහන්සේ වදාළ සේක; සහ එය වෙනස් නොකරන (පසුතැවිලි නොවන) සේක, නුඹ මෙල්කිසෙදක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකි,” යන වචනවලින්, දෙවියන් වහන්සේ, ඔබේ ඇදහිල්ලේ මඳකම නිසා, යේසුස් වහන්සේ මෙල්කිසෙදක්ගේ පිළිවෙළ අනුව උත්තම පූජකයා බව දිවුරුම් දුන් සේක. මන්ද (මෝසෙස් අපට පවසන පරිදි) මෙල්කිසෙදෙක් මහෝත්තමයාණන් වහන්සේගේ පූජකයා වූවාක් මෙන් සහ ඔහු චර්මච්ඡේදනය නොවූ අයගේ පූජකයා වූවා සේම, සහ ඔහුට දසයෙන් කොටස පිරිනැමූ චර්මච්ඡේදනය වූ ආබ්‍රහම්ට ආශීර්වාද කළාක් මෙන්, දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේ ලෙස හඳුන්වනු ලබන උන් වහන්සේගේ සදාකාලික පූජකයා චර්මච්ඡේදනය නොකළ අයගේ පූජකයා විය යුතු බවට ප්‍රකාශ කර ඇති සේක. තම හදවත් තුළ ඇදහිල්ලෙන් හා උන් වහන්සේගේ ආශීර්වාද ලබන පිණිස ඔවුන්ගේ තොල්වල යාච්ඤාව සමගින් උන් වහන්සේ වෙත ළඟා වන චර්මඡේදනය ලත් අය උන් වහන්සේ විසින් පිළිගෙන ඔවුන්ට ආශීර්වාද කරනු ලැබේ. “උන් වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානය කරන සේක;” සහ “එබැවින් හිස ඔසවන සේක,” ගීතිකාවේ අවසාන වදන්, ක්‍රිස්තුන් වහන්සේ පළමුවන යටහත් පහත් මනුෂ්‍යයා විය යුතු බවත්, පසුව උන් වහන්සේ උසස් කරනු ලැබිය යුතු වූ බවත් ඔප්පු කරයි.’

34 වන පරිච්ඡේදය

“ශුද්ධලියවිල්ල පිළිබඳ ඔබේ නොදැනුවත්කම සම්බන්ධයෙන් තවත් සාක්ෂියක් ලෙස, මම ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් දාවිත්ට නියම කරන ලද තවත් ගීතිකාවක් උපුටා දක්වන්නට කැමැත්තෙමි. එය ඔබ වැරදි ලෙස ඔබේ සලමොන් රජ ගැන පැවසූවක් ලෙස සිතන්නෙහිය. එහෙත් ඇත්ත වශයෙන්ම එය අපගේ ක්‍රිස්තුස් වහන්සේ ගැන පවසා ඇත. ඔබේ වරදට එක් හේතුවක් නම් එක සමාන පද අර්ථකථනය කිරීමේදී ඔබ වැරදි ලෙස නොමග යවනු ලැබීමයි. මන්ද දෙවියන් වහන්සේගේ නීතිය “නිදොස් ව්‍යවස්ථාවක්” ලෙස හැඳින්වූ විට, දෙවියන් වහන්සේ විසින්ම නව නීතියක් සහ අලුත් ගිවිසුමක් ස්ථාපිත කිරීමට පොරොන්දු වී තිබුණද, එය මෝසෙස්ගෙන් පසුව එන්නට තිබෙන නීතියට අදාළ වන බව නොව, ඒ මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිබඳම පවසන්නක් බව ඔබට වැටහෙන්නේ නැත. ගීතිකාකරු “දෙවියන් වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන් දුන මැනව,” යැයි පවසන විට, සලමොන් රජු ගැන, ඔහු රජෙකු වූ නිසා ඒ වචන කථා කළ බව ඔබ ප්‍රකාශ කරන අතර, එම වචන පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ ඒවා සදාකාලික රජතුමා, එනම් ක්‍රිස්තුස් වහන්සේ ගැන කථා කළ බවයි. රජෙකු, පූජකයෙකු, දෙවියන් වහන්සේ, ස්වාමින් වහන්සේ, දේවදූතයෙකු, මනුෂ්‍යයෙකු, නායකයෙකු, ගලක්, ඒකජාතක පුත්‍රයෙකු සහ මුලින්ම දුක් විඳ දරාගෙන, පසුව ස්වර්ගයට නැගී, මහිමයෙන් යුක්තව නැවත පොළොවට පැමිණ සදාකාලික රාජ්‍යය හිමි කරගන්නා කෙනෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ කථා කරන බව මම සියලු ශුද්ධලියවිලිවලින් ඔප්පු කරමි. මා පැවසූ දෙයට අනුබල දීමක් ලෙස, මම ගීතාවලියේ පහත වචන උපුටා දක්වමි: “දෙවියන් වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව. උන් වහන්සේ ඔබගේ සෙනග ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චය කරන්නේය. කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනගට සමාදානය හටගන්වන්නේය. උන් වහන්සේ සෙනඟ අතරේහි වූ දුප්පතුන් විනිශ්චය කරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගලවන්නේය, පීඩා කරන්නා කැබලි කරන්නේය. ඔව්හු හිර සඳ පවතිනා තෙක් සියලු පරම්පරාවල ඔබට භය වන්නෝය. තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසි වලා මෙන්ද උන් වහන්සේ පහළ වන්නේය. උන් වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵල වන්නේය; සඳ නැති වන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය. උන් වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය. වනයෙහි වසන්නෝ උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය; උන් වහන්සේගේ සතුරෝද ධූලි ලෙවකන්නෝය. තර්ෂීෂ් දිවයිනවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය. එසේය, සියලු රජවරු උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. සියලු ජාතීහු උන් වහන්සේට මෙහෙ කරන්නෝය. මක්නිසාද උන් වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදා හරින සේක. උන් වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන සේක, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගලවන සේක.

උන් වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන සේක; ඔවුන්ගේ ලේ උන් වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය. ඔව්හු ජීවත් වන්නෝය; ෂෙබායේ රන් උන් වහන්සේට දෙනු ලබන්නේය. මනුෂ්‍යයෝ නොකඩව උන් වහන්සේ උදෙසා යාච්ඤා කරන්නෝය; දවස මුළුල්ලේම උන් වහන්සේට ප්‍රශංසා කරන්නෝය. පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සඵල වන්නෝය. උන් වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය; හිරු පවත්නා තෙක් උන් වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන් වහන්සේ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය; සියලු ජාතීහු උන් වහන්සේ වාසනාවන්ත යයි කියන්නෝය. ආශ්චර්ය කිරීමේ එකම කර්තෘ වූ, ඉශ්‍රායෙල්ගේ දෙවි වූ, ස්වාමිවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන් වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසා වේවා; මුළු පොළොව උන් වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්. යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.”

“දැන්, සලමොන් යනු යෙරුසලමේ සුප්‍රසිද්ධ දේවමාළිගාව ඉදි කළ ශ්‍රේෂ්ඨ හා ප්‍රසිද්ධ රජු බව අපි කවුරුත් දනිමු. එහෙත් ඒ හා සමාන ලෙසම, ඉහත සඳහන් ගීතිකාවේ කලින් සඳහන් කරන ලද කිසිවක් ඔහුට සිදු නොවූ බව සියලු දෙනාටම පැහැදිලිය. මන්ද සියලු රජවරුන් ඔහුට නමස්කාර නොකළ අතරම, ඔහුගේ බලය පෘථිවියේ කෙළවර දක්වා පැතිරී ගියේ නැත. එසේම ඔහුගේ සතුරන් ඔහු ඉදිරියෙහි වැඳ වැටී ධූලි ලෙවකෑවේද නැත. තවද, සලමොන් කාන්තාවක උදෙසා සීදොන්හිදී රූප වන්දනාව කළ බව ලියා ඇති රාජාවලිය පොතෙන් උපුටා දැක්වීමට මම පසුබට නොවෙමි. ඊට ප්‍රතිවිරුද්ධව, කුරුසියේ ඇණ ගසන ලද යේසුස් වහන්සේ තුළින් ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේ වන, දෙවියන් වහන්සේ හඳුනන විජාතීහු, පිළිමවලට නමස්කාර කිරීමට හෝ පිළිමවලට පූජා කරන ලද මස් අනුභව කිරීමට වඩා සෑම ආකාරයකම වධහිංසා සහ වේදනාවක්ම, මරණය පවා විඳ දරාගැනීමට කැමැත්තක් දක්වති.’

35 වන පරිච්ඡේදය

මේ අවස්ථාවේදී ට්‍රිපෝ මට බාධා කරමින් මෙසේ කියා සිටියේය, ‘යේසුස් වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල ප්‍රකාශ කරන සහ ක්‍රිස්තියානීන් ලෙස හඳුන්වාගන්නා බොහෝ දෙනෙකු සිටින බව මම දනිමි. එහෙත් ඔවුන් පිළිමවලට පූජා කළ මස් අනුභව කිරීමෙන් හානියක් නොවන බව ඔවුහු කියා සිටිති.’

කිතුනුවන් ලෙස පෙනී සිටිමින්, කුරුසියේ ඇණ ගසන ලද යේසුස් වහන්සේ තම ස්වාමින් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ ලෙස පිළිගන්නා එහෙත්, උන් වහන්සේගේ ධර්ම නියාමකයන් නොව, වැරදි ආත්මයන්ගේ ධර්ම නියාමක ප්‍රකාශ කරන්නේ, අප සත්‍ය සහ නිර්මල ක්‍රිස්තියානි ධර්ම නියාමකවල උනන්දු කරවීමටත්, අපගේ ඇදහිල්ලෙහි වඩාත් උද්‍යෝගිමත් කරන පිණිසත්, උන් වහන්සේ අපට ප්‍රකාශ කළ බලාපොරොත්තුවෙහි වඩාත් ස්ථීර වී උන් වහන්සේගේ අනුගාමිකයින් බවට පත් කිරීමටත් පමණකි, යයි මම පිළිතුරු දුනිමි. අප අප දෙසම බලන විට, උන් වහන්සේගේ නාමයෙන් සිදු වනු ඇතැයි උන් වහන්සේ කලින් ප්‍රකාශ කළ සිදුවීම් ඇත්ත වශයෙන්ම සිදුවන බව අපට පෙනෙන්නේය. ඇත්ත වශයෙන්ම, උන් වහන්සේ කලින් මෙසේ පැවසූ සේක: “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම් වෙයල්ලා. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළගට එති, නුමුත් ඇතුළතින් ඔව්හු ක්‍රෑර වූ වෘකයෝය,” සහ “මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.”

යේසුස් වහන්සේගේ නාමයෙන් පැමිණ අන්‍යයන්ට අදේවවාදී සහ දේව අපහාසික වූ ඉගැන්වීම් සහ ක්‍රියාවන් උගන්වන බොහෝ මිනිසුන් සිටි අතර, තවමත් එවැනි අය සිටිති. අප ඔවුන් හඳුන්වන්නේ එක් එක් ව්‍යාජ ධර්මයේ ආරම්භකයාගේ නමිනි. (එක් එක් පුද්ගලයාට විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේට සහ උන් වහන්සේගේ පැමිණීම ගැන උන් වහන්සේ විසින් කලින් පවසා ඇති ක්‍රිස්තුස් වහන්සේට, ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවියන් වහන්සේට දේව අපහාස කරන ආකාරය ඉගැන්වීමේ තමන්ගේම විශේෂිත ක්‍රමයක් ඇති බැවිනි. ඔවුහු සියල්ලෝම අපගේ හවුලට එපිටින් සිටිති. මන්ද ඔවුන් කුමක්ද යනු අප ඔවුන් ගැන දන්නා නිසාය. ඔවුන් අභක්තික අදේවවාදීන් සහ දුෂ්ට පව්කාරයන්, තොල්වලින් යේසුස් වහන්සේ යැයි ප්‍රකාශ කරන, එහෙත් ඔවුන්ගේ හදවතින් උන් වහන්සේට නමස්කාර නොකරන මිනිසුන්ය. සමහර අන්‍යජාතිකයන් ඔවුන්ගේ පිළිම රූපවල දෙවියන් වහන්සේගේ නම කොටා ඇති එහෙත්, පසුව සෑම ආකාරයකම දුෂ්ට හා අදේවවාදී චාරිත්‍රවල යෙදෙන ආකාරයටම මෙම මිනිස්සුද තමන් ක්‍රිස්තියානි අය ලෙස හඳුන්වා ගනිති.) මෙහි ඇති සමහර මිථ්‍යා ධර්ම මාර්සියෝනයිට් ලෙස, සමහරක් වැලන්ටිනියන් ලෙස, සමහරක් බැසිලිඩියන් ලෙස සහ සමහරක් සැටර්නිලියන් තවත් ඒවා වෙනත් නම්වලින් හැඳින්වේ. එක් එක් ක්‍රමයේ නිර්මාතෘවරයාගේ නමින් ඒවා නම් කර ඇත්තේ, එක් එක් පුද්ගලයා දාර්ශනිකයෙකු ලෙස තමා සලකාගත් ආකාරය අනුවය. මෙම සාකච්ඡාව ආරම්භයේදී මා ප්‍රකාශ කළ පරිදි, එම විශේෂිත දර්ශනවාදයේ ගුරු කුලයේ නිර්මාතෘවරයාගේ නමින් එම දර්ශනවාදය හැඳින්විය යුතු වේ. මෙම සිදුවීම්වලින් පමණක් නොව, මා ප්‍රකාශ කළ පරිදි, යේසුස් වහන්සේට සිදු වන දේ පිළිබඳ උන් වහන්සේ කලින්ම දැනගෙන සිටි බව පමණක් නොව, උන් වහන්සේ මෙසියස් බව විශ්වාස කරන සහ ප්‍රකාශ කරන අයට සිදු වනු ඇතැයි උන් වහන්සේ කලින්ම ප්‍රකාශ කළ තවත් බොහෝ සිදුවීම්වලින්ද අපි මෙය නිගමනය කරමු. අපේම නිවැසියන් අප මරණයට පත් කළ විට අපට විඳීමට සිදු වන දුක් වේදනා ගැන පවා උන් වහන්සේ කලින්ම පැවසූ සේක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපට උන් වහන්සේගේ වචනවල හෝ ක්‍රියාවන්හි කිසිම වරදක් සොයාගත නොහැකිය. මේ හේතුව නිසාද, ඔබ සහ අපට වෛර කරන අනෙකුත් අන් සියල්ලන් වෙනුවෙන්ද අපි යාච්ඤා කරමු. එසේ යාච්ඤා කරන්නේ අප සමග ඔබ පසුතැවිලි වන පිණිසත්, උන් වහන්සේගේම ක්‍රියාවලින් සහ උන් වහන්සේගේ නාමයෙන් දැන් පවා සිදු කරනු ලබන හාස්කම්වලින්, උන් වහන්සේගේ ඉගැන්වීමේ වචනවලින් සහ උන් වහන්සේ පිළිබඳ අනාවැකි මගින් උන් වහන්සේ සම්පූර්ණයෙන්ම දේවඅපහාසයෙන් සහ නින්දා ලැබීමෙන් තොර බවත් ඔප්පු කර ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපහාස කිරීමෙන් වළකින පිණිසත්ය. එසේම, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන ලෙසත්, ඒ කරණකොටගෙන උන් වහන්සේගේ දෙවන ජයග්‍රාහී පැමිණීමේදී ඔබ ගැලවීම ලබන පිණිසත්, උන් වහන්සේ විසින් ඔබ නිරයේ ගින්නට හෙළා නොදමන පිණිසත් අපි යාච්ඤා කරමු.’

36 වන පරිච්ඡේදය

එවිට ට්‍රිපෝ මෙලෙස පැවසුවේය, ‘ ඔබ පවසන පරිදි මෙය සත්‍යයක් බවත්, ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳීමට නියමිත බවත්, උන් වහන්සේ ගලක් ලෙස හඳුන්වනු ලබන බවත්, උන් වහන්සේගේ දුක් විඳීම සමග ප්‍රකාශ වන උන් වහන්සේ පළමුවන පැමිණීම සහ එයට පසුව මහිමයෙන් යුක්තව සිදු වන තවත් පැමිණීමක් ඇති බවත්, ඒ අනුව උන් වහන්සේ එයට පසුව සියලු මිනිසුන්ගේ විනිශ්චයකරුවාණන් වහන්සේ සහ සදාකාලික රජතුමාණන් වහන්සේ සහ පූජකයා වනු ඇති බවත් දිවැසිවරුන් අනාගතවාක්‍ය පැවසූ බවද පිළිගත හැකිය. එහෙත් මේ අනාවැකි කීවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් බව අපට ඔප්පු කර පෙන්වන්න. ‘

මම මෙලෙස පිළිතුරු දුන්නෙමි. “නියමිත වේලාවට ඔබ බලාපොරොත්තු වන සාධක සාක්ෂි මම සපයන්නම්. එහෙත් දැන් ශුද්ධාත්මයාණන් වහන්සේ උපමා කරණකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ලෙසත්, සේනාවල දෙවියන් වහන්සේ සහ යාකොබ්ගේ ස්වාමීන් වහන්සේ ලෙසත් හඳුන්වා ඇති බව උපුටා දැක්වීමට මට අවසර දෙන්න. දෙවියන් වහන්සේම ඔබේ පරිවර්තකයන් මෝඩයන් ලෙස හැඳින්වූ සේක. මන්ද ඔවුන් පවසන පරිදි මෙම අනාවැකි ක්‍රිස්තුස් වහන්සේ ගැන නොව සාලමොන් පිළිබඳ ඔහු විසින්ම ගොඩනගන ලද දේවමාළිගාවට ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ අවස්ථාවේදී කී බව පවසන බැවිනි. දාවිත්ගේ ගීතිකාවේ මෙම වචනවලට සවන් දෙන්න. “පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය. මක්නිසාද උන් වහන්සේ එය මුහුදු පිට පිහිටෙවු සේක, ගංගා පිට ස්ථීර කළ සේක. ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද? පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමු නොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය. ඔහු ස්වාමීන්ගෙන් ආශීර්වාදයක්ද තමාගේ ගැළවීමේ දෙවියන් වහන්සේගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය. උන් වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකෝබ්ගේ දෙවියන් වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය. ද්වාරයෙනි, තොපගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල් වන සේක. තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමීන් වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන් වහන්සේය. ද්වාරයෙනි, තොපගේ හිස් ඔසවව් එසේය, සsදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල් වන සේක. මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන් වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන් වහන්සේය. “මෙයින් ඔප්පු වන්නේ සලමොන් සේනාවල ස්වාමීන් වහන්සේ නොවන බවයි. එහෙත් අපගේ ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිට ස්වර්ගයට නැඟුණු විට, උන් වහන්සේගේ සතුරන් උන් වහන්සේගේ පාපුටුව බවට පත් කරන තුරු (වෙනත් ගීතිකාවක සඳහන් වන පරිදි), තේජසින් යුත් රජ්ජුරුවන්ට පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගැනීමට ස්වර්ගයේ දොරටු විවෘත කරන ලෙස දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ස්වර්ගික කුමාරවරුන්ට නියෝග කරන ලදී. දැන් මේ ස්වර්ගීය කුමාරවරු උන් වහන්සේ අලංකාරයක්, ගෞරවයක් හෝ තේජසක් නොමැතිව පෙනී සිටි බව දුටු කල, උන් වහන්සේ හඳුනා නොගෙන මෙසේ “තේජසේ රජ්ජුරුවෝ කවුද?” යනුවෙන් ඇසූහ. තවද, ශුද්ධාත්මයාණන් වහන්සේ, උන් වහන්සේගේම නාමයෙන් හෝ පියාණන් වහන්සේගේ නාමයෙන් මෙසේ පිළිතුරු දුන් සේක: “සේනාවල ස්වාමීන් වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන් වහන්සේය.” එහෙත් යෙරුසලමේ දේවමාළිගාවේ දොරටු පාලකයන්ගෙන් කිසිවෙකුත් සලමොන් (ඔහු කෙතරම් තේජාන්විත රජෙකු වුවද) ගැන හෝ ගිවිසුම් පෙට්ටිය ගැන හෝ “තේජසේ රජු කවුද?” යනුවෙන් ඇසුවේ නැති බවට සියලු දෙනාම එකඟ වනු ඇති බව මට නිසැකය.”

37 වන පරිච්ඡේදය

මම දිගටම මෙසේ පවසාගෙන ගියෙමි. ‘එසේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ තවදුරටත් සතළිස් හයවන ගීතිකාවේ අනු කොටසෙහි විස්තර කර ඇත. “දෙවියන් වහන්සේ ජය ඝෝෂාවක් ඇතුව නැගී ගිය සේක, ස්වාමීන් වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගිය සේක. දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. මක්නිසාද දෙවියන් වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්. දෙවියන් වහන්සේ ජාතීන් කෙරෙහි රජකම් කරන සේක. දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳින සේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේගේ සෙනග වන පිණිස, මනුෂ්‍ය වර්ගයන්ගේ අධිපතීහු රැස්ව සිටිති. මක්නිසාද පොළොව දෙවියන් වහන්සේට අයිතිය; උන් වහන්සේ අතිශයින් උසස්ව සිටින සේක.” එසේම ගීතාවලිය අනූ අටේ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට තරවටු කරන සේක. එසේම ඔබ ඔබේ රජු ලෙස පිළිගැනීමට ප්‍රතික්ෂේප කරන තැනැන් වහන්සේ සාමුවෙල්, ආරොන්, මෝසෙස් සහ අනෙකුත් සෑම මිනිසෙකුගේම රජ්ජුරුවන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ බවට බව නිවේදනය කරන සේක. එම ගීතිකාවේ වචන මෙන්න: “ස්වාමීන් වහන්සේ රජකම් කරන සේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන් වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳින සේක; පොළොව සෙලවේවා. ස්වාමීන් වහන්සේ සියොන්හි උතුම්ය; උන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය. ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; උන් වහන්සේ ශුද්ධ සේක. රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රිය වෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදු කරන්නේ ඔබය. අපේ දෙවිවූ ස්වාමීන් උසස් කරව්, උන් වහන්සේගේ පාපුටුව වෙත නමස්කාර කරව්. උන් වහන්සේ ශුද්ධ සේක. උන් වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤා කළෝය (ශුද්ධලියවිල්ලෙහි පවසා ඇත), උන් වහන්සේද ඔවුන්ට උත්තර දුන් සේක. උන් වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථා කළ සේක. ඔව්හු උන් වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය. අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තර දුන් සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූ සේක. අපේ දෙවිවූ ස්වාමීන් උසස් කරව්, උන් වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාර කරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන් වහන්සේ ශුද්ධ සේක.”

38 වන පරිච්ඡේදය

ට්‍රිපෝ මෙසේ අවසන් කළේය. ‘ක්‍රිස්තියානීන් වන ඔබට ඇහුම්කන් නොදෙන ලෙසත්, මෙම විෂයයන් පිළිබඳ ඔබ සමග කතා නොකරන ලෙසත් අපට අවවාද කළ අපගේ ගුරුවරුන්ට කීකරු වීම අපට වඩා හොඳය. මන්ද කුරුසියේ ඇණ ගසනු ලැබූ මෙම මිනිසා මෝසෙස් සහ ආරොන් සමග සිටි බව සහ වලා ටැඹකින් ඔවුන් සමග කතා කළ බව සහ උන් වහන්සේ මිනිසෙකු බවට පත් වූ බවත්, කුරුසියේ ඇණ ගසනු ලැබූ බවත්, ස්වර්ගයට නැඟුණු බවත්, නැවත මේ පොළොවට පැමිණෙන බවත් උන් වහන්සේට නමස්කාර කළ යුතු බවත් අපට ඒත්තු ගැන්වීමට ඔබ උත්සාහ කිරීමේදී ඔබ බොහෝ වාරයක් දේවඅපහාස කර ඇති බැවිනි.’ මම මෙසේ පැවසුවෙමි. ‘දෙවියන් වහන්සේගේ වචනය සාක්ෂි දරන පරිදි, සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්සේ වන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මෙම ශ්‍රේෂ්ඨ ප්‍රඥාව ඔබෙන් සගවා ඇති බව මම දනිමි. එබැවින්, ඔබට පරස්පර විරෝධී ලෙස පෙනෙන අපගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීමට මම හැකි සෑම උත්සාහයක්ම දරන්නේ ඔබ පිළිබඳ ඇති අනුකම්පා සහගත හැඟීමෙනි. මා එයට අසමත් වුවහොත්, විනිශ්චය දිනයේදී මා ඒ සම්බන්ධයෙන් ගණන් දීමට බැඳී නොසිටිනු ඇත. ඊටත් වඩා පරස්පර විරෝධී ලෙස ඔබට පෙනෙන, වෙනත් ධර්ම නියාමකයන් මම ඔබට විස්තර කරමි. එහෙත් කලබල නොවන්න. මා අත්හැර දමා යනවා වෙනුවට, වඩාත් ජ්වලිත හා විමසිලිමත් සවන් දෙන්නන් බවට පත් වන්න. ඒ සමගම, ඔබේ ගුරුවරුන්ගේ සම්ප්‍රදාය අත්හැර දමන්න. මන්ද ඔවුන්ට දෙවියන් වහන්සේ විසින් පවසන ලද සත්‍යයන් අවබෝධ කර ගැනීමට නොහැකි බවත්, ඔවුන්ගේම අදහස් ප්‍රචාරය කිරීමට කැමති බවත් අනාවැකිමය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඒත්තු ගනු ලැබ ඇත. 44 වන ගීතිකාවේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ මෙසේ කථා කරයි: “යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ. ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇති සේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවන ලද්දේය. එබැවින් දෙවියන් වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාද කළ සේක. බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉගටියෙහි බැඳගත මැනව. සැබෑකමත් මොළෙක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව. ඔබගේ දකුණත ඔබට භයානක කාරණා උගන්වන්නේය. ඔබගේ ඊගස් තියුණුය; මනුෂ්‍ය වර්ගයෝ ඔබට පරාජයව වැටෙති, රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ. දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂ කළ සේක. එබැවින් දෙවියන් වහන්සේ, ඔබගේ දෙවියන් වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේප කළ සේක. ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවුවෝය. ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය. දියණියෙනි, අසව, කල්පනා කරව, කන් යොමු කරව; නුඹේම සෙනගත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැති කරව; එවිට රජෙතම නුඹේ රූපශ්‍රීයට ආශා වෙයි. මක්නිසාද උන් වහන්සේ නුඹේ ස්වාමීය; උන් වහන්සේට නමස්කාර කරව. තීර්හි දුව පඩුරක් රැගෙන එන්නීය; සෙනග අතරේ ධනවන්තයෝ පවා නුඹෙන් කරුණාව ඉල්ලන්නෝය. රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්ත වන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරන ලද්දේය. මල්කම් කළ සළුවෙන් සරසන ලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය. ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය. ඔව්හු සන්තෝෂයෙන් හා ප්‍රීතියෙන් ගෙනයනු ලබන්නෝය. ඔව්හු රාජ මාලිගාවට ඇතුල් වන්නෝය. ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය, ඔබ ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය. මම ඔබගේ නාමය සියලු පරම්පරාවන්හි සිහි කරවන්නෙමි. එබැවින් මනුෂ්‍ය වර්ගයෝ සදාකල්හිම ඔබට ස්තුති කරන්නෝය.”

39 වන පරිච්ඡේදය

මම දිගටම මෙසේ පවසාගෙන ගියෙමි. මෙම සත්‍යයන්ගේ අරුත වටහාගත් කිතුනුවන් වන අපට යුදෙව්වන් වන ඔබ වෛර කිරීමත්, ඔබේ මුරණ්ඩු පූර්ව නිගමනයක් ඇති කරගෙන අප වරදට පත් කිරීමත් පුදුමයට කාරණයකි. ඇත්ත වශයෙන්ම, එලියා, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබ වෙනුවෙන් මැදිහත්කාරකම් කරන විට මෙසේ කීවේය: “ස්වාමීනි, ඔවුහු ඔබගේ අනාගතවක්තෘවරුන් මරා, ඔබගේ පූජාසන විනාශ කර දුමූහ ; මම පමණක් ඉතිරි වී සිටිමි. ඔවුහු මගේ ජීවිතය නසා දැමීමට සොයති.” දෙවියන් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු දුන් සේක: “බාල් ඉදිරියේ දණ නොනැමුණුවාවූ මිනිසුන් හත් දහසක් මමම මටම වෙන් කර ගතිමි.” එබැවින්, එම මිනිසුන් හත්දහස නිසා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කෝපය නොපෙන්වූවා සේම, දැන් උන් වහන්සේගේ විනිශ්චය ඔබ කෙරෙහි දක්වා නැත. මන්ද ඔබගෙන් සමහරෙකු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සෑම දිනකම ගෝලයන් වීම පිණිස ඔබේ වැරදි මාර්ග අත්හරින බව සහ ක්‍රිස්තුස් වහන්සේගේ මෙම නාමයම ඔබගේ විපාකවලට අනුව ඔබට සියලු අනුග්‍රහය සහ දීමනාවන් ලබා ගැනීමට ඔබ ආලෝකවත් කරන බව උන් වහන්සේ දන්නා බැවිනි. එක් කෙනෙකු ප්‍රඥාවේ ආත්මයද, තවත් කෙනෙක් උපදෙස් දීමේ ආත්මයද, තවත් කෙනෙක් ධෛර්යයේ ආත්මයද, තවත් කෙනෙක් සුවයේ ආත්මයද, තවත් කෙනෙක් පෙරදැනුමේ ආත්මයද, තවත් කෙනෙක් ඉගැන්වීමේ ආත්මයද, තවත් කෙනෙක් දේව භයේ ආත්මයද ලබන්නෝය.’

ට්‍රිපෝ මෙහිදී බාධා කළේය. ‘ඔබ මෙවැනි දේ පවසන්නේ අසිහියෙන් බවට ඔබට වැටහෙන්නේ නැද්ද?’

මම ඔහුට මෙසේ පිළිතුරු දුන්නෙමි. “මගේ යාළුවා, මට ඇහුම්කන් දෙන්න. මා මේ විශේෂ දීමනාවන් පිළිබඳ සඳහන් කරන විට මා අසිහියෙන් නොසිටින බව මා ඔබට ඔප්පු කර පෙන්වන්නම්. මන්ද, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගයට නැඟීමෙන් පසුව, උන් වහන්සේ අප වරදේ වහල්භාවයෙන් නිදහස් කර අපට දිමනා ලබා දෙන බවට කලින්ම ප්‍රකාශ කර ඇත. අනාවැකියේ වචන මෙන්න: “උන් වහන්සේ උසස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි දුන් සේක.” මේ අනුව, ස්වර්ගයට නැඟුණු ක්‍රිස්තුස් වහන්සේගෙන් තෑගි ලබාගෙන, “ඔබේම ඇස්වලින් ප්‍රඥාවන්තව සිටින සහ ඔබේම දෑසින් නුවණැති අය” වන ඔබ ඇත්ත වශයෙන්ම අඥානකමෙහි පවතින බව අනාවැකිවලින් පෙන්විය හැකිය. මන්ද ඔබ දෙවියන් වහන්සේට සහ උන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරන්නේ ඔබේ තොල්වලින් පමණක් වන බැවිනි. අනෙක් අතට, උන් වහන්සේගේ සම්පූර්ණ සත්‍යය මනාව උගන්වනු ලැබ සිටින අපි, අපගේ ක්‍රියාවන්, අපගේ දැනුම සහ අපගේ හදවත්වලින් මරණය දක්වා පවා උන් වහන්සේලාට ගෞරව කරමු. (ශුද්ධලියවිල්ලෙන්, ඔබ විසින්ම දුටු සිදුවීම් සහ උන් වහන්සේගේ නාමයෙන් කළ ආශ්චර්යයන් මගින් ඔප්පු කර ඇති) යේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව පිළිගැනීමට ඔබ පසුබට වීමට හේතුව වන්නේ, සමහර විට, සර්පයා (එම නපුරු සහ ද්‍රෝහී ආත්මය) විසින් බලපෑමට ලක් කරන ලද, ඔවුන් සියල්ලන්ම විනාශ කිරීමට සහ ඔවුන්ගේ විපාක අනුව ත්‍යාග බෙදා දීමට උන් වහන්සේ නැවත පැමිණෙන තෙක්, ක්‍රිස්තුස් වහන්සේගේ නාමය පිළිගන්නා අයට පීඩා කිරීම සහ ඝාතනය කිරීම නතර නොකරන නිලධාරීන්ගේ දරුණු හිංසා පීඩාවලින් වැළකීමට විය හැකිය.’

ට්‍රිපෝ බාධා කරමින් මෙසේ කීය. “කුරුසියේ ඇණ ගසනු ලැබූ බවට සහ ස්වර්ගයට ඔසවාගන්නා ලද බවට ඔබ ප්‍රකාශ කරන මේ මිනිසා දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ බව අපට ඔප්පු කර පෙන්වන්න. ක්‍රිස්තුස් වහන්සේ දුක් පීඩා විඳිය යුතු බවත් , සියලු ජාතීන් කෙරෙහි සදාකාලික රාජ්‍යය පිළිගැනීමට උන් වහන්සේ තේජසින් යුක්තව නැවත පැමිණිය යුතු බවත්, සෑම රාජ්‍යයක්ම උන් වහන්සේට යටත් විය යුතු බවත් ශුද්ධලියවිල්ලෙහි කලින් ප්‍රකාශ කර ඇති බව ඔබගේ ශුද්ධලියවිල්ලේ උපුටා දැක්වීම්වලින් ප්‍රමාණවත් ලෙස ඔප්පු වී ඇත. එහෙත් අපට අවශ්‍ය වන්නේ මෙම යේසුස් වහන්සේ ශුද්ධලියවිල්ලේ සඳහන් ක්‍රිස්තුස් වහන්සේ බව ඔබ ඔප්පු කර පෙන්වීමය.’

මම මෙසේ පිළිතුරු දුනිමි. “මගේ ආදරණීය මිත්‍රවරුනි, මම ඒ කාරණය දැනටමත් ඔප්පු කර ඇති බව කන් ඇති ඕනෑම කෙනෙකුට දැනගත හැකිය. එසේම ඔබ විසින්ම පිළිගත් කරුණුවලින්ද එය පෙන්විය හැකිය. එහෙත්, යේසුස් වහන්සේ මෙසියස් බවට තවදුරටත් සාක්ෂි ඉදිරිපත් කිරීමට මට නොහැකි බව ඔබ නොසිතන පිණිස, නිසි ස්ථානයේදී අමතර තර්ක ඉදිරිපත් කිරීමට වූ මගේ පොරොන්දුව මම අලුත් කරමි. කෙසේ වෙතත්, දැනට, අප සාකච්ඡා කරමින් සිටි මාතෘකාවම දිගටම කතා කරගෙන යාමට මම කැමැත්තෙමි.

40 වන පරිච්ඡේදය

පාස්කුව ලෙස පූජා කිරීමට දෙවියන් වහන්සේ ඔබට අණ කළ බැටළු පැටවාගේ අබිරහස සැබවින්ම ක්‍රිස්තුස්ගේ වර්ගය පෙන්වයි. ඇදහිලිවන්තයෝ උන් වහන්සේගේ රුධිරයෙන් ඔවුන්ගේ ඇදහිල්ලේ ශක්තියට සමානුපාතිකව, ඔවුන්ගේ නිවෙස්, එනම් තමන්ම ආලේප කර ගනිති. දෙවියන් වහන්සේගේ මැවීමේ ක්‍රියාවේ ප්‍රතිඵලය වූ ආදම් උන් වහන්සේගේ ආනුභාවයේ වාසස්ථානය වූ බව ඔබ සැවොම දන්නෙහුය. පාස්කු බැටළු පැටවා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ ආඥාව තාවකාලික වූවක් පමණක් බව පහත දැක්වෙන ආකාරයෙන් මට පෙන්විය හැකිය. (යෙරුසලමේ දේවමාළිගාවේ), දෙවියන් වහන්සේගේ නාමයට හඬගසන ස්ථානයෙහි හැරුණුකොට වෙනත් කිසිම ස්ථානයක පාස්කු බැටළුවා පූජා කිරීමට දෙවියන් වහන්සේ ඉඩ නොදෙන සේක. මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමෙන් පසුව, (ඔබ පාස්කු බැටළු පූජා කළ ස්ථානයේ) එනම් යෙරුසලමේ ස්ථානය ඔබේ සතුරන් විසින් ඔබෙන් පැහැර ගනු ලබන කාලයක් පැමිණෙන බව උන් වහන්සේ දැන සිටි බැවිනි. එවිට සියලු පූජා පැවැත්වීම නවත්වනු ලබනවා ඇත. එපමණක්ද නොව, ඔබට සම්පූර්ණයෙන්ම පුළුස්සා දැමීමට අණ කරන ලද බැටළු පැටවා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මත විඳින දුක් විඳීමේ සංකේතයක් විය. ඇත්ත වශයෙන්ම, බැටළු පැටවා පුළුස්සනු ලැබීමේදී, එය කුරුසියේ රූපයට සමාන වේ. මන්ද, එක්කෙනෙකු උගේ පහළ කොටස්වල සිට හිස දක්වා තිරස් අතට කපනු ලබන අතර, අනෙක් කෙනා ඌ පිටුපසින් සිදුරු කර, උගේ ඉදිරිපස කකුල් අල්ලාගෙන සිටියි. ඒ හා සමාන ආකාරයටම, නිරාහාරය පවත්වන කාලයේදී පූජා කළ යුතු සමාන බවින් යුත් එළුවන් දෙදෙනා (එයින් එකෙක් බිල්ලට දෙන එළුවා සහ අනෙකා පූජා කරන එළුවා විය යුතුය) වූ කලි, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම් දෙක පිළිබඳ නිවේදනයකි: පළමු ආගමනයේදී, ඔබේ පූජකයන් සහ වැඩිහිටියන් උන් වහන්සේ අල්ලාගෙන, උන් වහන්සේ මරණයට පත් කර උන් වහන්සේ බිලි දෙන එළුවෙකු ලෙස පිටත් කර යවා ඇත. උන් වහන්සේගේ දෙවන ආගමනයේදී, ‘ප්‍රචණ්ඩ ගිවිසුම්වල ගැටය ගැලවීම’, යනුවෙන් යෙසායා පැවසූ සහ ඔබ ලජ්ජාවට පත් කළ උන් වහන්සේ, උන් වහන්සේ විසින් පනවන ලද අනෙකුත් සියලුම ශික්ෂා පද (මා දැනටමත් සඳහන් කර ඇති සහ සියලුම ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් පිළිපදින ශික්‍ෂා පද) පිළිපැදීමට කැමති, පසුතැවිලි වීමට කැමති සියලු පව්කාරයන් සහ එම උපවාසයට අනුකූල වීමට කැමති සියලුම පව්කරුවන් උදෙසා පූජාවක් වූ තැනැන් වහන්සේ බව යෙරුසලමේ එම ස්ථානයේදීම ඔබ විසින් හඳුනාගනු ලබනවා ඇත. එසේම උපවාසයේ දී සිදු විය යුතු වූ එළුවන් දෙදෙනා පූජා කිරීම යෙරුසලමෙන් පිටත වෙනත් තැනක සිදු කළ නොහැකි බව ඔබ ඉතා හොඳින් දන්නෙහුය.

41 වන පරිච්ඡේදය

මම දිගටම කතා කළෙමි. ‘එසේම, මගේ මිතුරනි, ලාදුරු රෝගයෙන් පවිත්‍ර වූවන් සඳහා ඉදිරිපත් කිරීමට නියෝග කරන ලද පිටි පූජාව, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පාපයෙන් පවිත්‍ර වූ සියලුම ආත්මයන් වෙනුවෙන් උන් වහන්සේ දරාගත් දුක් විදීම අපට සිහිපත් කිරීම සඳහා අණ කළ දිව්‍ය සත්ප්‍රසාද පූජාවේ මූලාකෘතියක් විය. එසේම ඒ සමගම, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ලෝකය සහ එහි ඇති සියල්ල මැවීම ගැන සහ අප ඉපදෙන කල අප වෙත වූ පාපයෙන් අප ගලවා ගැනීම ගැන සහ උන් වහන්සේගේ කැමැත්තට අනුව දුක් වින්ද උන් වහන්සේ තුළින් නපුරේ බලයන් සහ ප්‍රධානීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම නිසා අප දෙවියන් වහන්සේට ස්තූතිවන්ත විය යුතුය. මේ අනුව, මා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි, දෙවියන් වහන්සේ අනාගතවක්තෘවරුන් දොළොස් දෙනාගෙන් කෙනෙකු වන මලාකි තුළින් උන් වහන්සේට ඔබ ඔප්පු කළ පූජාවන් ගැන කතා කරන සේක: “නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පු කරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම් යයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. නුමුත් නුඹලා: ස්වාමීන් වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලහන්නහුය.” අන්‍යජාතිකයන් වන අප සෑම තැනකදීම උන් වහන්සේට පුද කරන පූජාවන් පිළිබඳ සඳහන් කිරීමෙන්, දිව්‍ය පූජාව සහ දිව්‍ය සත්ප්‍රසාදය, අප උන් වහන්සේගේ නාමය මහිමයට පත් කළ යුතු බවත්, එහෙත් ඔබ එය අපවිත්‍ර කළ බවටත් උන් වහන්සේ අනාවැකි පළ කළ සේක. තවද, අටවෙනි දවසේදී නොවරදවාම ඔබේ පුත්‍රයන් චර්මච්ඡේදනය කිරීමට ඔබ බැඳී ඇති චර්මඡේදනය කිරීමේ ශික්ෂා පදය, සතියේ පළමුවැනිදා මළවුන්ගෙන් උත්ථාන වූ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන වැරදි සහ දුෂ්ටකමෙන් අප චර්මච්ඡේදනය කරන සැබෑ චර්මඡේදනය පිළිබඳ වූවකි. මන්ද සතියේ පළමුවන දවස, සියලුම දවස්වල පළමුවන දවස ලෙස පවතින එහෙත්, සියලුම දවස්වල චක්‍රයෙහි එය අටවන දවස ලෙස හඳුන්වනු ලබන බැවිනි. එසේ වූවත් එය තවදුරටත් තවමත් එය පළමුවන දවස ලෙස පවතී.’

42 වන පරිච්ඡේදය

උත්තම පූජකයාගේ දිගු සළුවෙහි සවි කළ යුතු ‘සීනු දොළහ’, සදාකාලික පූජකයාණන් වහන්සේ වන ක්‍රිස්තුස් වහන්සේගේ බලය මත විශ්වාසය තැබූ අපොස්තුළුවරුන් දොළොස් දෙනා නියෝජනය කරන්නක් විය. ඔවුන්ගේ කටහඬින් මුළු ලෝකයම දෙවියන් වහන්සේගේ සහ උන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ මහිමයෙන් හා අනුග්‍රහයෙන් පිරී ඇත.

දාවිත් මෙසේ පවසන කල මෙම සත්‍යයට සාක්ෂි දැරුවේය: “ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය.” තවද යෙසායා ප්‍රේරිතයන්ගේ කෙනෙකු මෙන් (සෙනග ඔවුන්ගේ වචනවලින් නොව, ඔවුන් එවන ලද උන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ කරන විට) කතා කරන විට මෙසේ පවසයි: “අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන් වහන්සේගේ හස්තය කාට එළිදරව් වීද? මක්නිසාද අපි උන් වහන්සේ ඉදිරියෙකු කුඩා දරුවෙකු මෙන් දේශනා කළෙමු. උන් වහන්සේ ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත් සේක.” (එසේම ඉහත සඳහන් කර ඇති අනාවැකියේ ඉතිරි කොටස එහි සඳහන් කර ඇති ආකාරයට වේ) එම කොටසෙහි බොහෝ දෙනෙකුගේ නාමයෙන් කථා කරන විට මෙසේ සඳහන් වේ: “අපි උන් වහන්සේ ඉදිරියෙකු කුඩා දරුවෙකු මෙන් දේශනා කළෙමු” යනුවෙන් එකතු කරයි. එයින් ඔප්පු වන්නේ පව්කාරයන් උන් වහන්සේට සේවකයන් ලෙස කීකරු වන බවත්, ඔවුන් සියල්ලන්ම උන් වහන්සේ ඉදිරියෙහි එක දරුවෙකු මෙන් වනු ඇති බවත්ය. මේ සම්බන්ධ උදාහරණයක් මිනිස් සිරුරේ ඇත: එය බොහෝ අවයවයන්ගෙන් සමන්විත වුවද, එය හඳුන්වනු ලබන්නේ එක් ශරීරයක් ලෙසය. සභාවේ මිනිසුන් සම්බන්ධයෙන්ද එසේමය: ඔවුන් බොහෝ පුද්ගලයන් වුවද, ඔවුන් එක් ශරීරයක් සාදන අතර ඔවුන් එක් පොදු නාමයකින් හඳුන්වනු ලැබේ. එබැවින්, (මම මෙසේ නිගමනය කළෙමි), මගේ මිත්‍රවරුනි, මා අනෙකුත් සියලුම මෝසෙස්ගේ ආඥා පද විස්තර කරන්නේ නම්, ඒවා ක්‍රිස්තුස් වහන්සේට සහ උන් වහන්සේ විශ්වාස කරනු ඇති බවට කලින්ම දැන සිටි අයට කුමක් සිදුවේද යන්න පිළිබඳ, ඒ හා සමාන ලෙසම ක්‍රිස්තුස් වහන්සේගේම ක්‍රියාවන්වල වර්ග, සංකේත සහ අනාවැකි බව පෙන්වාදිය හැකිය. එහෙත්, මම දැනටමත් ප්‍රමාණවත් උදාහරණ ගණනාවක් සඳහන් කර ඇති බවට මා විශ්වාස කරන බැවින්, අපගේ සාකච්ඡාවේ අනුපිළිවෙළෙහි ඊළග කරුණ වෙත මම දැන් යොමු වන්නෙමි. ‘

43 වන පරිච්ඡේදය

“ආබ්‍රහම්ගෙන් චර්මච්ඡේදනයත්, මෝසෙස්ගෙන් සබත්, පූජාවන්, යුතුකම්, මංගල්‍යයන් ආරම්භ වූ බැවින් (ඔබේ සෙනගට මේ දේවල් පිළිපැදීමට අණ කර ඇත්තේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා බව දැනටමත් පෙන්වා දී ඇත), පියාණන් වහන්සේගේ කැමැත්තට අනුව, කන්‍යාවගෙන්, ආබ්‍රහම්ගේ වංශයෙන්, ජුදා ගෝත්‍රයෙන් සහ දාවිත්ගේ පවුලෙන් උපත ලද, මුළු ලෝකයටම අනාගත සදාකාලික නීතිය සහ නව ගිවිසුම ලෙස ප්‍රකාශ කරන ලද දෙවියන් වහන්සේගේ පුත්‍රයා (ඉහත උපුටා දක්වන ලද අනාවැකි පැහැදිලිව පෙන්නුම් කරන පරිදි) වන ක්‍රිස්තුස් වහන්සේ තුළ මේ දේවල් අවසන් විය යුතු වීම සුදුසු විය. ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ වෙතට පැමිණි අපි, හෙනොක් සහ ඔහු වැනි අය ලබා ඇති ආකාරයට, මාංසයෙහි චර්මඡේදනය නොව, ආත්මික, චර්මච්ඡේදනය ලබා ඇත්තෙමු. දෙවියන් වහන්සේගේ කරුණාව කරණකොටගෙන බව්තීස්මය තුළින් අපට මෙය ලැබුණි, මන්ද අප පව්කාරයන් බවට පත්ව සිටි නිසාත්, සියලු මිනිසුන් ඒ ආකාරයෙන් එය ලැබිය යුතු නිසාත්ය. එහෙත් අප දැන් අපගේ අවධානය යොමු කළ යුතු මාතෘකාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ අබිරහසයි. මිනිසාට එය විස්තර කළ නොහැකි බව යෙසායා ඔහු මෙසේ පවසන කල දැනටමත් ප්‍රකාශ කර ඇත: “උන් වහන්සේගේ පරම්පරාව ප්‍රකාශ කරන්නේ කවුද? ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන් වහන්සේ සිඳ දමනු ලැබූ බව උන් වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනා කළේද? උන් වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනගගේ වරද නිසාය.” පව්කාරයන් වූ අප උන් වහන්සේගේ තලනු ලැබීමෙන් ගලවා ගැනීම සඳහා මිය යාමට නියමිත උන් වහන්සේගේ උපත විස්තර කළ නොහැකි බව මෙසේ අනාවැකියේ ආත්මයාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක. තවද, එම අනාවැකියේ ආත්මයාණන් වහන්සේම, එම යෙසායා තුළින්ම, ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන ආකාරය සහ උන් වහන්සේ මේ ලෝකයට පැමිණෙන ආකාරය ඇදහිලිවන්තයන්ට දැනුම් දුන් සේක. එම අනාවැකියේ වදන් මෙසේය: “ස්වාමීන් වහන්සේ තව දුරටත් ආහාස්ට කථා කොට: නුඹේ දෙවිවූ ස්වාමීන් වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලාපන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලාපන්නැයි කී සේක. නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය. එවිට ඔහු කථා කොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසාපල්ලා; නුඹලා මාගේ දෙවියන් වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද? එබැවින් ස්වාමීන් වහන්සේම නුඹලාට ලකුණක් දෙන සේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. ඔහු නපුර එපා කොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය. මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භය වෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේ යයි කීවේය. මන්ද දරුවා පියා හෝ මව යයි අමතන්නේ කෙසේදැයි දැන ගැනීමට පෙර, උන් වහන්සේට අසිරියාවේ රජු ඉදිරියෙහි දමස්කයේ බලයද සමාරියේ කොල්ලයද ලැබෙනු ඇත. රජුන් දෙදෙනාගේ පැමිණීම නිසා ඔබට දරාගත නොහැකි තරම් දේශය පාළුවට අත්හරිනු ඇත. එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන් වහන්සේ නුඹ පිටටත් නුඹේ සෙනග පිටටත් නුඹේ පිය වංශය පිටටත් පමුණුවන සේක.” අපේ ක්‍රිස්තුන් වහන්සේ හැරුණුකොට ආබ්‍රහම්ගේ වංශයේ කිසිවෙක් කන්‍යාවකගෙන් ඉපදී නැති බවත්, ඉපදෙනු ඇතැයි පවසා නැති බවත් සියල්ලන්ටම පැහැදිලිය. එහෙත්, යෙසායාගේ සැබෑ වදන් බව ඔබ සහ ඔබේ ගුරුවරුන් ප්‍රකාශ කිරීමට පෙලඹෙන්නේ, “බලව, කන්‍යාව ගර්භනීව” යනුවෙන් නොව “මෙන්න, තරුණියක් පිළිසිඳගෙන පුතෙකු බිහි කරයි” යන්න වේ. ඔබ මෙම අනාවැකිය ඔබේ හෙසකියා රජුට යොමු කරන බැවින්, මෙම අනාවැකිය අපගේ ක්‍රිස්තුස් ලෙස අප ප්‍රකාශ කරන තැනැන් වහන්සේ පිළිබඳ ප්‍රකාශ කරන බවට ඔබට පිළිතුරු දීමට මම උත්සාහ කරමි.”

44 වන පරිච්ඡේදය

“හැකි සෑම සාක්ෂියක් සමගම මා ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ නම්, මා ඔබට ඇති මගේ යුතුකම් සම්බන්ධයෙන්, සම්පූර්ණයෙන්ම නිදොස් වෙමි. එහෙත්, ඔබ ඔබේ සිතේ මුරණ්ඩුකමින් සහ මනසේ දුර්වලකම තුළ නොනැසී පවන්නෙහු නම් හෝ සැම කිතුනුවෙකු වෙනුවෙන්ම ඇති මරණයට බියෙන් ඔබ සත්‍යයට එකඟ වීම ප්‍රතික්ෂේප කරන්නෙහු නම්, ඔබට ඇත්තේ ඔබටම දොස් පවරා ගැනීම පමණි. මාංසයට අනුව ඔබ ආබ්‍රහම්ගෙන් පැවත එන්නවුන් වූ පමණින්, ක්‍රිස්තුස් වහන්සේ විසින් බෙදා දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වූ ප්‍රතිලාභවල උරුමයට ඔබ හවුල්කරුවන් වනු ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබ කනගාටුදායක ලෙස වරදවා වටහාගෙන ඇත. ආබ්‍රහම් හා සමාන දැඩි ඇදහිල්ලක් ඇති සහ සියලු අබිරහස් ඔප්පු කරන අයට හැර කිසිවෙකුට මෙම ත්‍යාගවලින් එකකට හෝ කිසිඳු ආකාරයකින් සහභාගී විය නොහැකිය. මන්ද, දෙවියන් වහන්සේට නමස්කාර කිරීම සහ සුචරිතය පිළිපැදීම සඳහා සමහර ශික්ෂාපද ලබා දී ඇති අතර, තවත් ආඥා සහ සිරිත් විරිත් ක්‍රිස්තුස් වහන්සේගේ අබිරහස [හෝ] ඔබේ සෙනගගේ හදවතේ දැඩිකමට අදාළව සකස් කර ඇති බවත් මම කියමි. මෙය සනාථ කිරීම සඳහා, දෙවියන් වහන්සේ එසෙකියෙල්ගේ මුඛයෙන් මෙසේ පවසන සේක: “නෝවාද දානියෙල්‍ද යෝබ්ද එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයෙක්වත් දුවෙක්වත් ගළවාගන්නේ නැත.” යෙසායා පොතෙහිද ඒ කාරණයම සඳහන් වේ: “ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.” මෙම බලාපොරොත්තුවෙන් ඔබේ ප්‍රාණය කපා දැමූ මිනිසුන් වශයෙන්, ඔබේ පව්වලට සමාව ලබා ගන්නේ කෙසේද සහ පොරොන්දු වී ඇති ආශීර්වාදවලට හවුල් වීමේ බලාපොරොත්තුවක් ලබා ගන්නේ කෙසේද යන්න ඔබ දැන සිටිය යුතුය. මෙය හැර වෙනත් මාර්ගයක් ඇත්තේ නැත, එනම් ඔබ අපගේ ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගෙන, පාපයෙන් ඔබ පවිත්‍ර කරන බව්තීස්මයෙන් බව්තීස්ම වී (යෙසායා සාක්ෂි දුන් පරිදි) පාපයෙන් තොර ජීවිතයක් ගත කිරීමයි.’

45 වන පරිච්ඡේදය

එවිට ට්‍රිපෝ බාධා කළේය. ඔබගේ තර්ක ඔබ විසින්ම කලින් තීරණය කර ඇති අනුපිළිවෙළට පෙළ ගැසිය යුතු බව ඔබ අවධාරණය කළත්, ඉතා හදිසි ප්‍රශ්නයක් ඇසීමට මෙම අවස්ථාවේදී ඔබට බාධා කිරීමට මට අවසර දෙන්න.’

‘ඔබ කැමති ඕනෑම දෙයක් මගෙන් අහන්න. එසේ එවැනි ප්‍රශ්න සහ පිළිතුරු අවසන් වූ පසුව, මගේ සාකච්ඡාව නැවත ආරම්භ කර එය සම්පූර්ණ කිරීමට උත්සාහ කරන්නම්,’ යයි මම පිළිතුරු දුන්නෙමි.

‘එසේ නම් මට කියන්න, මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව තම ජීවිත සකස් කරගෙන ගත කළ අය මළවුන්ගේ නැවත නැඟිටීමේදී යාකොබ්, හෙනොක් සහ නෝ සමග නැවත ජීවත් වෙනවාද නැද්ද?’ ඔහු ඇසුවේය.

මම මෙසේ පිළිතුරු දුන්නෙමි. ‘මගේ මිත්‍රයා, නෝ, දානියෙල් සහ යාකොබ් පුතුන් සහ දූවරුන් ඉල්ලුවත්, එය ඔවුන්ට ලබා නොදෙනු ඇත,’ එහෙත් සෑම කෙනෙකුම තමාගේම ධර්මිෂ්ඨකමින් ගැලවිය යුතු බවට එසකියෙල් උපුටා දැක්වූ විට, මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින අයද ගැලවෙන බව මම ප්‍රකාශ කළෙමි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කීකරු වීමට බැඳී සිටින අයට, ඔබේ සෙනගගේ හදවතේ දැඩිකම නිසා පැනවූ ආඥා පද පමණක් නොව යහපත්, ශුද්ධ සහ ධර්මිෂ්ඨ වූ පනත්ද ඒ තුළ ඇති බව දැනගන්නවා ඇත. විශ්වීය, ස්වාභාවික හා සදාකාලික වශයෙන් යහපත් දෙවියන් වහන්සේට ප්‍රසන්න දේ ඔවුන් කළ බැවින් , ඔවුන්ගේ ධර්මිෂ්ඨ මුතුන්මිත්තන් වන නෝ, හෙනොක්, යාකොබ් සහ අනෙත් අය සමග, දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන අය සමගින්, නැවත නැඟිටීමේදී ඔවුන් ගැලවීම ලබනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ උදෑසන තාරකාවට සහ සඳට පෙර පැවති සේක. එහෙත් මාංසවත් වීමටත්, දාවිත්ගේ පවුලෙන් කන්‍යාව කරණකොටගෙන උපත ලැබීමටත් සැලසුම් කළ සේක. එසේ කිරිමෙන් උන් වහන්සේ පළමුවන පව්කරුවා වන සර්පයා, සහ ඔහුගේ ආදර්ශය අනුගමනය කළ දේවදූතයන්, පරාජය කර ජය ගන්නා පිණිසත්, එසේ උන් වහන්සේ මරණයට බාධා කර එය අවසානයකට ගෙන එන පිණිසත්ය. එසේ කිරීම කරණකොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී, උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සහ උන් වහන්සේගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන අය කෙරෙහි එයට තවදුරටත් බලයක් නොතිබෙන පිණිසත්ය. ක්‍රිස්තුස් වහන්සේගේ මෙම දෙවන ආගමනයේදී, ඇතැමෙක් නිරයේ ගින්නෙන් සදාකාලිකව දුක් විඳීමට නියම කරනු ලබන අතර, තවත් සමහරුන් දුක්වලින්, දූෂණයෙන් හා දුකෙන් සදාකාලිකවම නිදහස් කෙරෙනු ඇත.’

46 වන පරිච්ඡේදය

“එහෙත් සමහරුන් දැන් පවා මෝසෙස්ගේ නීතියේ නියමයන්ට අනුකූලව ජීවත් වීමට කැමති නම්, සහ එසේ වූවත්, කුරුසියේ ඇණ ගසන ලද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ බවත්, කිසිම ව්‍යතිරේකයකින් තොරව සියලුම මිනිසුන් විනිශ්චය කිරීම උදෙසා උන් වහන්සේට ලබා දී ඇති බවත්, උන් වහන්සේගේගේ රාජ්‍යය සදාකාලික බවත් විශ්වාස කරන්නේ නම්, ඔවුන්ටත් ගැලවීම ලැබිය හැකිද?” ට්‍රිපෝ විමසුවේය.

“අපි මෙය එකට එකතු වී පරීක්ෂා කර බලමු, දැන් මෝසෙස්ගේ ආඥා පනත් සියල්ලම පිළිපැදීමට කිසිවෙකුටත් හැකි වේද යන්න බලමු,” මම පිළිතුරු දුනිමි.

“බැහැ, මක්නිසාද ඔබ කී පරිදි පාස්කු බැටළු පැටියා වෙන කිසිම තැනක පූජා කිරීමටවත්, උපවාසයට අවශ්‍ය එළුවන් පූජා කිරීමටවත්, වෙනත් සියලුම පූජා ඔප්පු කිරීමටවත් නොහැකි බව අපි හඳුනා ගනිමු” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.

“එසේ නම් පිළිපැදිය හැකි සමහර ආඥාවන් මොනවාද යන්න ඔබම මට පවසන්න. මිනිසෙකු ඔබගේ මේ සදාකාලික ආඥා පද පිළිපදින්නේ හෝ අනුගමනය කරන්නේ නැතත්, ඔහුට නිසැකවම ගැලවීම ලැබිය හැකි බව එවිට ඔබට ඒත්තු ගැන්විය හැකිය,” යයි මම බැගෑපත්ව ඉල්ලා සිටියෙමි.“

“අපට සබත් දවස පවත්වන්නට හැකිය, චර්මඡේදනය කළ හැකිය, මාස සම්බන්ධ උත්සව පැවැත්විය හැකිය, මෝසෙස් තහනම් කළ දෙයක් ස්පර්ශ කිරීමෙන් පසු හෝ ලිංගිකව හැසිරීමෙන් පසු සෝදා හැරීම සිදු කළ හැකිය,” යයි ට්‍රිපෝ පිළිතුරු දුන්නේය.

“එසේ නම්, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, නෝ, යෝබ් සහ ඔවුන්ට පෙර හෝ පසුව සිටි අනෙක් සියලුම යහපත් මිනිසුන්, එනම් ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා, ඊසාක්ගේ භාර්යාව වූ රෙබෙකා, යාකොබ්ගේ භාර්යාව වූ රාඛෙල්, ලෙයා සහ විශ්වාසවන්ත සේවකයා වූ මෝසෙස්ගේ මවගේ කාලය දක්වා වූ ඔවුන් හා සමාන වෙනත් අය, – මේ නීති පිළිපැද්දේ නැති සියල්ලන්ම ගැලවෙනු ඇතැයි ඔබ සිතන්නෙහිද?” යැයි මම ඇසුවෙමි.

ට්‍රිපෝ පිළිතුරු දෙමින්, ‘ආබ්‍රහම් සහ ඔහුගේ පරම්පරාව චර්මච්ඡේදනය සිදු කළේ නැද්ද?’ යයි ඇසුවේය.

‘ආබ්‍රහම් සහ ඔහුගේ පරම්පරාව චර්මච්ඡේදනය කර ඇති බව මම දනිමි. එහෙත් ඔවුන්ට චර්මච්ඡේදන පිළිවෙත නියම කළේ මන්දැයි මම දැනටමත් ඉතා දීර්ඝ ලෙස ප්‍රකාශ කර ඇත්තෙමි. මා කී දේ ඔබ අපහසුතාවයට පත් නොකළේ නම්, අපි කාරණය නැවත සලකා බලමු. මෝසෙස්ගේ කාලයට පෙර ජීවත් වූ ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් කිසිවෙකුත් ආබ්‍රහම්ගෙන් ආරම්භ වූ චර්මච්ඡේදනය හැරුණුකොට, අප දැන් සාකච්ඡා කරන කිසිම ආඥා පදයක් පිළිපැද්දේ නැති බව හෝ පිළිපැදීමට අණ නොලද බව ඔබ හොඳින් දන්නෙහිය,’ යයි මම පිළිතුරු දුන්නෙමි.

ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන් ගැලවීම ලබා ඇති බව අප දන්නා අතර, එය අපි පිළිගන්නෙමු.’

මම තවදුරටත් මෙසේ පැවසුවෙමි. “ඔබේ හදවතේ දැඩිකම නිසා, දෙවියන් වහන්සේ මෝසෙස් තුළින් ඔබට එවැනි ආඥා පනත් පැනවූ බවත්, මෙම බොහෝ වූ ආඥා පද පිළිපැදීමෙන්, ඔබ උන් වහන්සේ ඔබේ ඇස් ඉදිරියෙහි නිරතුරුවම තබා ගැනීම පිණිසත්, සෑම අසාධාරණ හෝ දුෂ්ට ක්‍රියාවකින් වළකින පිණිසත් ඒවා ලබා දුන් බව ඔබත් දන්නෙහිය. මේ අනුව, උන් වහන්සේ නිරන්තරයෙන් සිහි කිරීම පිණිස රතු පීත්ත පටියක් පැලඳීමට උන් වහන්සේ ඔබට අණ කළ සේක. ඒ අරමුණ පිණිසම නළල් පටියක් පැලදීමටත් උන් වහන්සේ ඔබට අණ කළ සේක. එය ඉතා තුනී පාච්මන්ට් කැබලිවලින් සාදා ඇති අතර, අප සැබවින්ම පූජනීය අක්ෂර ලෙස සලකන අක්ෂර එහි කොටා ඇත. මෙම අණ පනත් මගින්ම උන් වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ සැම විටම දෙවියන් වහන්සේ ඔබේ සිහියේ තබාගෙන සිටින ලෙසටත්, ඒ හා සමාන ලෙසම උන් වහන්සේගේ තරවටු කිරීම් ඔබේ සිහියේ තබාගෙන සිටින ලෙසටත්ය. මෙම මතක් කිරීම නොතකා, ඔබ තවමත් රූප වන්දනාව දිගටම කරගෙන ගියෙහිය. එලියාගේ කාලයේදී, දෙවියන් වහන්සේ බාල්ට දණ නොනැමූ අය ගණන් කරන විට, උන් වහන්සේට ගණන් කළ හැකි වූයේ හත්දහසක් පමණි. ඔබේ දරුවන් පිළිමවලට පූජා කිරීම ගැන යෙසායා පොතෙහි උන් වහන්සේ ඔබට බැණ වදින සේක. එහෙත් කිතුනුවන් වන අපි, අප කලින් නමස්කාර කළ අයට පූජා කිරීම ප්‍රතික්ෂේප කරන නිසා, දරුණුතම දඬුවම් විඳින්නෙමු. එසේම මරණ දණ්ඩනය විඳ දරාගැනීමෙන් පවා ප්‍රීති වන්නෙමු. මන්ද දෙවියන් වහන්සේ යම් දිනක ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන අප නැවත නැඟිටුවනු ඇතැයි සහ අප දූෂණයෙන්, වේදනාවෙන් සහ මරණයෙන් සදහටම නිදහස් කරනු ඇති බව අප විශ්වාස කරන බැවිනි. එසේම ඔබේ සෙනගගේ හදවතේ දැඩිකම නිසා ඔබ මත පනවා ඇති ආඥා පද, යුක්තිය සහ භක්තිවන්ත ක්‍රියාවන්ට කිසිම ආකාරයකින් හිතකර නොවේ යන්න සම්බන්ධයෙන් අපි ධනාත්මකව සිතමු.’

47 වන පරිච්ඡේදය

ට්‍රිපෝ නැවතත් එයට විරුද්ධත්වය පළ කළේය. “එහෙත්, යමෙක් ඔබ කියන දේ සත්‍ය බව දන්නේ නම්, සහ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රකාශ කරමින්, උන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උන් වහන්සේට කීකරු වන්නේ නම්, එසේ වූවත්, මෝසෙස්ගේ නීතියේ ආඥා පිළිපැදීමට කැමති නම්, ඔහු ගැලවෙන්නේද?’

‘මගේ මතය අනුව, එවැනි මිනිසෙකු, ඔහු කරන්නාක් මෙන්ම චාරිත්‍ර ඉටු කිරීමට, එසේ නීති නොපිළිපැද්දහොත් ඔවුන්ට ගැලවීම ලැබීමට නොහැකි බව පවසමින් අන් මිනිසුන්ට බලපෑම් කිරීමට (ක්‍රිස්තුස් වහන්සේ සියලු වැරදිවලින් චර්මච්ඡේදනය කළ අන්‍යජාතීන් මගේ මනසේ ඇත) සෑම උත්සාහයක්ම නොගන්නේ නම්, ඔහු ගැලවීම ලබන බව මම පවසමි. අපගේ සාකච්ඡාව ආරම්භයේදී මම මෝසෙස්ගේ ආඥා පද රකින තාක් කල් මට ගැලවීම නොලැබෙන බව ඔබ පැවසූ අවස්ථාවේදී ඔබම මෙය කළෙහිය,’ යනුවෙන් මම පිළිතුරු දුනිමි.

“එහෙත්, ‘මගේ මතය අනුව එවැනි මිනිසෙකු ගැලවීම ලබන්නේය’ යනුවෙන් ඔබ පැවසුවේ මන්ද? එබැවින් වෙනස් මතයක් දරන වෙනත් කිතුනුවන් සිටිය යුතුය,” ට්‍රිපෝ ඇසුවේය.

“ඔව්, ට්‍රිපෝ, එවැනි පුද්ගලයන් සමග කතා කිරීම හෝ ආහාර ගැනීම නිර්භීතව ප්‍රතික්ෂේප කරන සමහර කිතුනුවෝ සිටිති. මම එවැනි කිතුනුවන් සමග එකඟ නොවෙමි. එහෙත් සමහර [යුදෙව් ආගමට හැරුණු අය], ඔවුන්ගේ කැමැත්තේ අස්ථාවර බව නිසා, – හැකි තාක් මෝසෙස්ගේ ආඥා පද – ඔබගේ හදවතේ දැඩිකම නිසා පිහිටුවන ලදැයි අප සිතන ශික්ෂා පද පිළිපැදීමට උත්සහා දරන්නේ නම්, සහ ඒ අතරම ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා, ඔවුන් යුක්තිය සහ භක්තිය සම්බන්ධ සදාකාලික හා ස්වාභාවික ක්‍රියාවන් කිරීමට කැමති නම්, සහ එසේ වූවත්, මා දැනටමත් ප්‍රකාශ කළ පරිදි කිතුනුවන් සහ ඇදහිලිවන්තයන් වන අප සමග ජීවත් වීමට කැමති නම්, ඔවුන් තමන් මෙන් චර්මච්ඡේදනය වීමට හෝ සබත පැවැත්වීමට හෝ වෙනත් ඒ හා සමාන ක්‍රියාවන් කිරීමට ඔවුන් පොලඹවන්නේ නැති නම්, කිතුනුවන් වන අප ඔවුන් පිළිගෙන ඔවුන් සමග ඥාතීන් සහ සහෝදරයන් ලෙස සෑම ආකාරයකින්ම ඇසුරු කළ යුතු බව මගේ අදහසයි. එහෙත් ට්‍රිපෝ, ඔබේ සෙනගගෙන් යමෙකු, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ඔවුන්ගේ විශ්වාසය ප්‍රකාශ කරන්නේ නම්, සහ ඒ සමගම මෝසෙස් තුළින් පැනවූ නීතිය අනුගමනය කරන ලෙස අන්‍යජාතී කිතුනුවන්ට බල කරන්නේ නම් හෝ ඔවුන් සමග මෙම පොදු ජීවිතයේ සම්බන්ධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, මම නිසැකවම ඔවුන් අනුමත නොකරමි. එහෙත් යුදෙව් නීතියේ පිළිවෙත් අනුගමනය කිරීමට පෙලඹී ඇති සහ ඒ සමගම දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කරන අන්‍යජාතිකයන්ට බොහෝ විට ගැලවීම ලැබෙනු ඇතැයි මම සිතමි. කෙසේ වෙතත්, වරක් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කර ප්‍රසිද්ධියේ පිළිගෙන, පසුව, යම් හේතුවක් නිසා, මෝසෙස්ගේ නීතිය පිළිපැදීමට යොමු වූ සහ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්, ඔවුන්ගේ මරණයට පෙර පසුතැවිලි නොවුවහොත්, ඔවුන්ට ගැලවීම ලැබිය නොහැකිය. ව්‍යවස්ථාව පිළිපදින සහ තම අවසන් හුස්ම පොද දක්වා ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් සම්බන්ධයෙන්ද ඒ කාරණයම පැවසිය හැකිය. විශේෂයෙන්ම ගැලවීම ලබා ගැනීමට සහ නිරයේ පළිගැනීමේ ගින්නෙන් බේරීමට එම ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන අයට ඔවුන්ගේ සිනගෝගවලදී ශාප කර ඇති සහ තවමත් ශාප කරන අය, සදාකාල ගැලවීමෙන් බැහැර කරනු ලබන්නෝය. එසකියෙල් අනාගතවක්තෘවරයා තුළින් උන් වහන්සේ ප්‍රකාශ කර ඇති පරිදි දෙවියන් වහන්සේ උන් වහන්සේගේ යහපත්කම, කරුණාව සහ අසීමිත පොහොසත්කම තුළ පසුතැවිලි වන පව්කරුවා ධර්මිෂ්ඨ හා නිර්දෝෂී අයෙකු ලෙස සලකන සේක. එසේම අයුක්තිය සහ අධර්මිෂ්ඨකම සිදු කරන පිණිස දැහැමිකමේ සහ යුක්තියේ මාවතෙන් ඉවත් වී යන තැනැත්තා, දුෂ්ට හා අසාධාරණ පව්කාරයෙකු ලෙස දෙවියන් වහන්සේ විනිශ්චය කරන සේක. එම නිසා, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට මෙසේ අනතුරු අඟවා ඇති සේක: “මා ඔබ අල්ලා ගන්නා සෑම දෙයක් සම්බන්ධයෙන්ම, මම ඔබ විනිශ්චය කරන්නෙමි.”

48 වන පරිච්ඡේදය

අපි දැන් මේ කාරණා ගැන ඔබේ අදහස ඇසීමුව,” ට්‍රිපෝ බාධා කළේය. ‘ඔබේ කතිකාව ඔබ නැවැත්වූ තැනින් නැවත ආරම්භ කර එය අවසන් කරන්න, මන්ද එය සම්පූර්ණයෙන්ම විකාරසහගත බව සහ සම්පූර්ණයෙන්ම ඔප්පු කළ නොහැකි කාරණයක් බව පෙනේ. මෙම ක්‍රිස්තුස් වහන්සේ සියලු යුගයන්ට පෙර දෙවියන් වහන්සේ ලෙස සිටි බවත්, පසුව උන් වහන්සේ ඉපදීමට සහ මිනිසෙකු වීමට එකඟ වූ බවත්, එහෙත් උන් වහන්සේ මිනිස් සම්භවයක් ඇති අයෙකු නොවන බවත් යන ඔබගේ ප්‍රකාශය, පරස්පර විරෝධී ප්‍රකාශයක් පමණක් නොව, විකාර සහගත වූවක් බව පෙනේ.

‘දෙවියන් වහන්සේම සාක්ෂි දෙන පරිදි, විශේෂයෙන්ම යුදෙව්වන්ට, එනම් ඔබේ ගුරුවරුන්ගේ කාරණා පමණක් මිස, දෙවියන් වහන්සේගේ කාරණා දැනගැනීමට හෝ ඒවා සිදු කිරීමට කිසි විටෙකත් උනන්දු නොවූ යුදෙව්වන්ට, මගේ ප්‍රකාශය පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙන බව මම දනිමි,’ යයි මම පිළිතුරු දුන්නෙමි. ‘කෙසේ වෙතත්, ට්‍රිපෝ, උන් වහන්සේ දෙවියන් වහන්සේ වී, විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේගේ පුත්‍රයාණන් ලෙස පෙර සිටම සිටි බව සහ කන්‍යාව තුළින් මිනිසා බවට පත් වූ බව ඔප්පු කිරීමට මට නොහැකි වුවද, මේ මිනිසා දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රතික්ෂේප කළ යුතු නැත. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ බව සැකයෙන් තොරව ඔප්පු වී ඇති බැවින්, එම ක්‍රිස්තුස් වහන්සේ අවසානයේ කුමක් විය යුතු වූවද, උන් වහන්සේ පූර්වයෙහිදී සිටි බව සහ පියාණන් වහන්සේගේ කැමැත්තට අනුව අපගේ වැනි ශරීරයක් සහ හැඟීම් ඇති මිනිසෙකු වීමට එකඟ වූ බව පෙන්වීමට මා අපොහොසත් වුවද; මා වැරදියි කියා ඔබට නිවැරදිව පැවසිය හැක්කේ මේ අවසාන කාරණයේදී පමණි. එහෙත්, පැහැදිලිවම උන් වහන්සේ මනුෂ්‍ය සම්භවයක් ඇති අයෙකු වුවද, පැහැදිලිවම පියාණන් වහන්සේගේ තෝරාගැනීමෙන් ක්‍රිස්තුස් වහන්සේ බවට පත් වුවද, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකිය. මන්ද, මාගේ මිත්‍රවරුනි, යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව පිළිගන්නා, එහෙත් උන් වහන්සේට ඇත්තේ හුදෙක් මනුෂ්‍ය සම්භවයක් බව ප්‍රකාශ කරන අපගේ ජාතියේ සමහර අය සිටින නිසාය. එවැනි අය සමග මම ස්වභාවයෙන්ම එකඟ නොවෙමි. එසේම මගේ අදහස් බෙදාගන්නා බහුතරයක් එසේ පැවසුවද මම ඔවුන් හා සමග එකඟ නොවෙමි. මක්නිසාද මිනිසුන්ගේ ඉගැන්වීම් අනුගමනය නොකරන ලෙසත්, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් ප්‍රකාශ කරන ලද සහ උන් වහන්සේ විසින්ම උගන්වන ලද ඉගැන්වීම් පමණක් අනුගමනය කරන ලෙසට ක්‍රිස්තුස් වහන්සේ විසින්ම අපට පවසා ඇති බැවිනි.’

49 වන පරිච්ඡේදය

‘උන් වහන්සේ මනුෂ්‍ය සම්භවයකින් පැවතෙන බවත්, ක්‍රිස්තුස් වහන්සේ ලෙස අභිෂේක කරනු ලැබුවේ තෝරාගැනීමෙන් පමණක් බවත් ප්‍රකාශ කරන අය, ඔබට වඩා විශ්වාසදායක ධර්ම නියාමකයක් යෝජනා කරන බව මට පෙනේ. ක්‍රිස්තුස් වහන්සේ හුදෙක් මනුෂ්‍ය සම්භවයක් ඇති මිනිසෙකු බවත්, එලියා උන් වහන්සේ අභිෂේක කිරීමට පැමිණෙන බවත් යුදෙව්වන් වන අපි සියල්ලෝම බලාපොරොත්තු වන්නෙමු. මේ මනුෂ්‍යයා ක්‍රිස්තුන් වහන්සේ බව පෙනේ නම්, උන් වහන්සේ තනිකරම මනුෂ්‍ය උපතක් ඇති මිනිසෙකු ලෙස සැලකිය යුතුය. එහෙත් එලියා තවමත් පැමිණ නැත යන කරුණ නිසා, මේ මිනිසා ක්‍රිස්තුස් වහන්සේ නොවන බව මා ප්‍රකාශ කළ යුතුය,’ යයි ට්‍රිපෝ පැවසුවේය.

එවිට මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. ‘සෙකරියාස්ගේ ශුද්ධ ග්‍රන්ථයේ’ ස්වාමින් වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා භයානක දවසට පෙර එලියා පැමිණෙන බව සඳහන් වන්නේ නැද්ද?

“සහතික ලෙසම එය දක්වා ඇත,” ඔහු පිළිතුරු දුන්නේය.

“එබැවින්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම් දෙකක් සිදු වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව පිළිගන්නා ලෙස ශුද්ධලියවිල්ල ඔබට බල කරන්නේ නම්, එනම් ශුද්ධලියවිල්ලේ කලින් උපුටා දක්වන ලද බොහෝ කොටස්වලින් ඔප්පු වී ඇති පරිදි, ඉන් එකකදී උන් වහන්සේ දුක් විඳීමෙන් හා ගෞරවයෙන් හෝ අලංකාරයෙන් තොරව පෙනී සිටින අතර, දෙවැන්නේදී උන් වහන්සේ මහිමයෙන් යුක්තව සියලු මිනිසුන් විනිශ්චය කරන පිණිස නැවත පැමිණෙනු ඇති බවය – එලියා උන් වහන්සේගේ දෙවන පැමිණීමට පෙර ඒ මහත් වූ හා භයානක වූ දවස පැමිණෙන්නට පෙර උන් වහන්සේට පෙරටුවෙන් එන බවට දෙවියන් වහන්සේගේ වචනයෙහි කලින් පවසා ඇති බව අප නිගමනය කළ යුතු නොවේද?’

‘අනිවාර්යෙන්ම,’ යන්න ඔහුගේ පිළිතුර විය.

මම තවදුරටත් මෙසේ කීවෙමි. ‘එය එසේ වනු ඇති බව, එනම්, එලියා පැමිණෙනු ඇති බව, අපේ ස්වාමින් වහන්සේ විසින්ම අපට උගන්වා ඇත.’ එසේම, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් තේජසින් යුක්තව ස්වර්ගයෙන් පැමිණෙන විට මෙය සිදු වන බව අපි දනිමු. ඔබගේ ජාතියේ අනාගතවක්තෘවරයෙකු වූ එලියා තුළ වූ දෙවියන් වහන්සේගේ ආත්මය මෙන්, යොහන් නම් පුද්ගලයා තුළ තිබෙනු ඇත. ඔහුට පසුව ඔබ අතරින් වෙනත් කිසිම දිවැසිවරයෙකු මතු වූයේ නැත. ඔහු පැමිණියේ උන් වහන්සේගේ පළමුවන පැමිණීමේදී උන් වහන්සේට පෙරටුවෙන් යන තැනැත්තා ලෙසය. මන්ද යොහන් යොර්දාන් ගග අසල හිඳගෙන මොරගසමින් මෙසේ කීවේය: “මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්ම කරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන් වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරන සේක. උන් වහන්සේගේ කුල්ල තමන් වහන්සේගේ අතේය, උන් වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍ර කරන සේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේක.” ඔබේ හෙරොද් රජතුමා මෙම අනාගතවක්තෘ යොහන් සිරගත කළේය. හෙරොද්ගේ උපන්දින සාදයේදී ඔහුගේ ඥාතී දියණියගේ නැටුම ඔහු කොතරම් සතුටු කළාද යත්, ඇය කැමති ඕනෑම දෙයක් ඇයට දීමට ඔහු පොරොන්දු විය. ඇගේ මවගේ උසිගැන්වීම මත තරුණිය සිරගතව සිටින යොහන්ගේ හිස ඉල්ලා සිටියාය. එවිට හෙරොද් යොහන්ගේ හිස තැටියක දමා ගෙන එන ලෙසට නියෝග කළේය.

ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමට පෙර එලියා පැමිණිය යුතු යයි කියමින් සිටි අයට, එම කාලයේදී මිහිපිට සිටි අපේ ක්‍රිස්තුස් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. නුමුත් නුඹලාට කියමි-එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමති වූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය.” එයට මෙසේ එකතු කර ඇත. “උන් වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථා කළ බව එකල ගෝලයෝ තේරුම් ගත්තෝය.”

“එලියා කෙරෙහි වූ දෙවියන් වහන්සේගේ අනාවැකිමය ආත්මය යොහන් තුළද වූ බව ඔබ පවසන විට, ඔබ නැවතත් පරස්පර විරෝධී ලෙස කතා කරන බව මට පෙනෙන්නේය,” යයි ට්‍රිපෝ පිළිතුරු දුන්නේය. මම මෙසේ පිළිතුරු දුන්නෙමි. “මෝසෙස්ගෙන් පසු ඔබේ සෙනගගේ නායකයා වූ නූන්ගේ පුත් යොෂුවාගේ සිද්ධියේදීත්, යොෂුවා මත අත තැබීමට දෙවියන් වහන්සේම මෝසෙස්ට අණ කළ විට, එයම සිදු වූ බව ඔබ පිළිගත යුතු නොවේද? දෙවියන් වහන්සේම එහිදී මෙසේ කී සේක: “මම ඔබ තුළ ඇති ආත්මයෙන් මඳක් ඔහුට මාරු කරන්නෙමි.”

“එය මම පිළිගනිමි,” ඔහු පිළිතුරු දුන්නේය.

“එබැවින්, දෙවියන් වහන්සේ මෝසෙස් පොළොවේ සිටියදී ඔහු තුළ තිබූ ආත්මය ගෙන යොෂුවාට එය ලබා දුන් ආකාරයටම, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථම ආගමනයේදී උන් වහන්සේගේ මහිමයෙන් තොරව පැමිණි අවස්ථාවේදී, එලියාගේ ආත්මය යොහන් වෙත මාරු කිරීමට උන් වහ්සේට හැකි විය. ඒ හා සමානවම, එලියාගේ එම පාරිශුද්ධත්වයේ තත්වයේ පැවති, ආත්මයේ පළමු පැමිණීම, ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීමේදී මෙන්ම, මහිමයෙන් තොර බව වටහාගත හැකිය. ස්වාමින් වහන්සේ සැඟවුණු හස්තයකින් අමලෙක්ට එරෙහිව සටන් කළ බව කියනු ලබන අතර, අමලෙක් පරාජය වී ඇති බව ඔබට පිළිගැනීමට සිදු වනු ඇත. එහෙත්, ක්‍රිස්තුස් වහන්සේගේ තේජාන්විත ආගමනයේදී පමණක් අමලෙක්ට එරෙහිව යුද්ධයක් දියත් කරන බව තහවුරු වුවහොත්, “දෙවියන් වහන්සේ සැඟවුණු හස්තයෙන් අමලෙක්ට විරුද්ධව සටන් කරන සේක?” යන ශුද්ධලියවිලිමය උපුටා දැක්වීම එය ඉටු කරන්නේ කෙසේද? එම නිසා, දෙවියන් වහන්සේ සැඟවුණු බලය කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ තුළ පැවති බව ඔබට පෙනෙයි. ඒ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි යක්ෂයන් සහ පොළොවේ සියලු බලතල සහ අධිකාරීන් කෙටි කලකින් වෙවුලනු ඇත,’යයි කියමින් මම අවසන් කළෙමි.

50 වන පරිච්ඡේදය

ඔබට හැකි සෑම මාතෘකාවක් ගැනම බොහෝ පුද්ගලයන් සමග ඔබ වාද විවාද කර ඇති බවත්, ඒ නිසා මගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට සූදානම් බවත් පෙනෙයි. එසේ නම්, මුලින්ම මට මෙය පවසන්න. ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ හැරුණුකොට වෙන දෙවියන් වහන්සේ කෙනෙකු සිටින බව ඔබ ඔප්පු කරන්නේ කෙසේද? පසුව උන් වහන්සේ කන්‍යාවකගෙන් උපත ලැබීමට පහළට බැස ආ බව පෙන්වන්න,’ ට්‍රිපෝ පැවසීය.

‘අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු සහ ප්‍රකාශකයාද වූ යොහන් බව්තීස්ත ගැන යෙසායා දිවැසිවරයාගේ පොතෙන් කොටස් කිහිපයක් උපුටා දැක්වීමට පළමුවෙන් මට අවසර දෙන්න,’ මම ඉල්ලා සිටියෙමි.

“ඔබ කතා කරන්න,” ඔහු පැවසීය.

මම දිගටම මෙසේ කියාගෙන ගියෙමි. ‘පෙරමග සාදන්නා ලෙස යොහ් බව්තීස්ත සම්බන්ධයෙන් වූ යෙසායාගේ අනාවැකි මෙන්න: “එවිට හෙසකියා: නුඹ කී ස්වාමීන් වහන්සේගේ වචනය යහපතැයි යෙසායාට කීවේය. මක්නිසාද සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වලදී වන්නේ යයි ඔහු වැඩිදුරටත් කීවේය.” එසේම, “මාගේ සෙනඟ සනසාපල්ලා, සනසාපල්ලා යයි නුඹලාගේ දෙවියන් වහන්සේ වදාරන සේක. යෙරුසලමට කරුණාවෙන් කථා කොට: ඇගේ සටන කෙළවර වී යයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන් වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියාපල්ලා. කාන්තාරයෙහි ස්වාමීන් වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන් වහන්සේට වනයෙහි මාවතක් සමතලා කරපල්ලා. සියලු මිටි තැන් උස් වන්නේය, සියලු කඳු හා හෙල් පහත් කරනු ලබන්නේය. ඇද තැන් ඇදහරිනු ලබන්නේය, රළු තැන් සමතලා කරනු ලබන්නේය. එවිට ස්වාමීන් වහන්සේගේ තේජස ප්‍රකාශ වන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය. මක්නිසාද ස්වාමීන් වහන්සේගේ මුඛය එය වදාළ සේකැයි මොරගසන්නෙකුගේ හඬක් වන්නේය. මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසම්දැයි කෙනෙක් ඇසීය. මාංසමයවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය. ස්වාමීන් වහන්සේගේ හුස්ම ඒවාට ගසන බැවින් තණකොළ වියළෙයි, මල පරවෙයි; සැබවින් සෙනඟ තෘණය. තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය කියාය. සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නැගියන්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසාපන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියන් වහන්සේ යයි යූදා නුවරවලට කියාපන්න. බලව, ස්වාමිවූ දෙවියන් වහන්සේ බලවන්තයෙකු මෙන් එන සේක, උන් වහන්සේගේ හස්තයද උන් වහන්සේ උදෙසා ආණ්ඩු කරන්නේය. උන් වහන්සේගේ බැළය උන් වහන්සේ සමගය; උන් වහන්සේගේ විපාකය උන් වහන්සේ ඉදිරියෙහිය. එඬේරෙකු මෙන් උන් වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍ය කරන සේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙන යන සේක.

තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද? ස්වාමීන් වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන් වහන්සේගේ මන්ත්‍රීව සිට උන් වහන්සේට ඉගැන්නුවෙත් කවුද? උන් වහන්සේ කා සමග මන්ත්‍රණය කළ සේක්ද? උන් වහන්සේට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන උන් වහන්සේට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය උන් වහන්සේට පෙන්නුවේ කවුද? බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන් ගනු ලබන්නෝය. මෙන්න, උන් වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් උස්සන සේක. දැවීමට ලෙබනොන් මදිය, දවන පූජාවකට එහි සත්තුත් මදිය. සියලු ජාතීහු උන් වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන් වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන් ගනු ලැබෙති.”

51 වන පරිච්ඡේදය

මා එය පවසා අවසන් වූ පසුව, ට්‍රිපෝ මෙලෙස පැවසුවේය. ‘මගේ මිත්‍රයා, ඔබ දැන් උපුටා දැක්වූ අනාවැකියේ වචන අපැහැදිලිය, එසේම ඒවායින් ඔබට ඔප්පු කිරීමට අවශ්‍ය දේ නිසැකවම ඔප්පු නොකරයි.’

මම එයට මෙලෙස පිළිතුරු දුනිමි. “ට්‍රිපෝ, ඔබේ ජාතියේ අනාගතවක්තෘවරුන් නැවතී නොතිබුණි නම්, එහෙත් මේ යොහන්ට පසුවත් තවදුරටත් දැන් පෙනී සිටින්නේ නම්, මා යේසුස් ක්‍රිස්තුස් ගැන පවසන දේ අපැහැදිලි යැයි ඔබ නිසැක ලෙසම සලකනු ඇත. එහෙත්, යොහන් පෙරමග සදන්නා ලෙස පැමිණ, පසුතැවිලි වන ලෙස මිනිසුන්ට අනුශාසනා කළේ නම්, සහ පසුව ක්‍රිස්තුස් වහන්සේ පැමිණ, ඔහුගේ අනාවැකි කීම සහ යොර්දාන් ගඟේ බව්තීස්ම කිරීම අවසන් කරනු ලැබුවේ නම්, සහ තමන් වහන්සේම ස්වර්ග රාජ්‍යය අත ළඟ බව තහවුරු කරමින් ශුභාරංචිය දේශනා කළ සේක් නම්, උන් වහන්සේ සහ ලියන්නන් සහ පරිසිවරුන් අතින් බොහෝ දුක් විඳිනු ලැබිය යුතු බවත්, කුරුසියේ ඇණ ගසනු ලැබිය යුතු බවත්, තුන්වන දින නැවත නැඟිටිනු ඇති බවත්, එසේම උන් වහන්සේගේ ගෝලයන් සමග කන්න බොන්නටත් යෙරුසලමට නැවත පැමිණීමට සිදු වූ බවත්, සහ උන් වහන්සේගේ දෙවන ආගමනයට පෙර මේ අතරතුර කාලයේදී, මා දැනටමත් ප්‍රකාශ කළ පරිදි, උන් වහන්සේගේ නාමයෙන් මිථ්‍යාදෘෂ්ටිකයන් සහ බොරු අනාගතවක්තෘවරුන් (මෙය ඔප්පු කරනු ලැබ ඇත) ඇති වන බවට කලින්ම පැවසූ සේක් නම්, මෙම කරුණුම ඒවා සනාථ කරන බැවින් අපැහැදිලි බව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වන්නේ කෙසේද? ඔබේ සෙනග අතර තවදුරටත් අනාගතවක්තෘවරුන් නොසිටිනු ඇති බවත්, එසේම දෙවියන් වහන්සේ බොහෝ කලක සිට ස්ථාපිත කිරීමට පොරොන්දු වූ නව ගිවිසුම සැබෑවක් වූ බවත්, එනම් උන් වහන්සේම ක්‍රිස්තුස් වහන්සේ බවත් මිනිසුන් පිළිගන්නා බවත් උන් වහන්සේ සඳහන් කළ සේක. උන් වහන්සේගේ වචන මෙසේය: “ව්‍යවස්ථාවද අනාගතවක්තෘහුද යොහන් දක්වා පැවතුණෝය. එතැන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනු ලැබේ, සියල්ලෝද බලෙන් ඊට ඇතුල් වෙති. යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාර කරන්නෝ ඒක බලයෙන් අල්ලා ගනිති. ඔබ එය ලබා ගැනීමට කැමති නම්, ඔහු පැමිණෙන්නට සිටින එලියාය. ඇසීමට කන් ඇත්තේ අසාවා.”

52 වන පරිච්ඡේදය

මම දිගටම මෙසේ පවසාගෙන ගියෙමි. ‘ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම් දෙකක් සිදු වන බවත්, පළමුවන පැමිණිමේදී උන් වහන්සේ දුක් විඳීමට ලක් වන බවත්, මෙම ආගමනයෙන් පසුව ඔබේ ජනතාවට අනාගතවක්තෘවරයෙකු හෝ රජෙකු නොසිටිනු ඇති බවත්, දුක් විඳින ක්‍රිස්තුන් වහන්සේ අදහන අන්‍යජාතිකයන් උන් වහන්සේගේ දෙවන පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනු ඇති බවත්, ආදීපීතෘවරයා වන යාකොබ් විසින් පුරෝකථනය කරන ලදී. මේ නිසා ශුද්ධාත්මයාණන් වහන්සේ උපමාවලින් මේ දේවල් අපැහැදිලි ලෙස ප්‍රකාශ කළ සේක: “එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසා කරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. යූදා සිංහ පැටවෙක; මාගේ පුත්‍රය, නුඹ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද? ෂීලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහ නොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය. ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය. ඔහුගේ ඇස් මුද්‍රිකපානයෙන් රතු වන්නේය, ඔහුගේ දත් කිරෙන් සුදු වන්නේය.” යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදී දුක්විඳි කාලයේ මුල සිට අග දක්වා ඔබේ ජාතියට සෑම විටම අනාගතවක්තෘවරයෙකු හෝ රජෙකු නොසිටි බව ප්‍රකාශ කිරීමට ඔබට ශක්තියක් නොතිබෙනු ඇත. ඔබ එසේ කළද ඔබට එය ඔප්පු කළ නොහැකිය. අස්කෙලොන්වල සිට පැමිණි හෙරොද්ගේ පාලන කාලයෙන් පසුව ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳි බව ඔබ ප්‍රකාශ කළද, ඒ වන විටත් ඔබට මෝසෙස්ගේ නීතියට අනුව පූජා ඔප්පු කළ සහ අනෙකුත් නීත්‍යනුකූල චාරිත්‍ර වාරිත්‍ර පැවැත් වූ අයෙක් සිටි බව, ඔබට ඔබේම ජාතියේ උත්තම පූජකයෙකු සිටි බව ඔබ තවමත් පිළිගත යුතුව ඇත. තවද ඔබට යොහන් දක්වා අඛණ්ඩව අනාගතවක්තෘවරුන් පිරිසක් සිටි බැවින් (ඔබේ සෙනග බබිලෝනියට වහල්භාවයට ගෙන යන විටත්, ඔබේ දේශයන් යුද්ධයෙන් විනාශ වූ විටත්, ඔබේ පූජනීය භාජන පැහැරගෙන ගිය විටත් පවා) ඔබේ සෙනගගේ ස්වාමියා සහ නායකයා මෙන්ම පාලකයා වශයෙන් ඔබ අතරේ අනාගතවක්තෘවරයෙකු නොසිටි කාලයක් කිසිදාක පැවතියේ නැත. ඇත්ත වශයෙන්ම, ඔබේ රජවරුන් පවා මෙම අනාගතවක්තෘවරුන් තුළ වූ ආත්මය කරණකොටගෙන අභිෂේක කරනු ලැබිණි. එහෙත්, අපගේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පැමිණීම සහ ඔබ මධ්‍යයේ සිදු වූ උන් වහන්සේගේ මරණයෙන් පසුව, ඔබට අනාගතවක්තෘවරයෙකු සිටියේ නැත, දැන් ඔබට අනාගතවක්තෘවරයෙකු ඇත්තේද නැත. තවද, ඔබ තවදුරටත් ඔබේම රජතුමා යටතේ ජීවත් නොවන අතර, ඊට අමතරව, ඔබේ දේශය පාළු වී, “වටලන ලද නුවරක්” මෙන් අත්හැර දමනු ලැබ ඇත. තවද යාකොබ් මෙම වචන පවසා ඇත. “උන් වහන්සේ ජාතීන්ගේ අපේක්ෂාව වනු ඇත.” මෙයින් උන් වහන්සේගේ පැමිණීම් දෙක සංකේතවත් කරන අතර, අන්‍යජාතිකයන්ද උන් වහන්සේ විශ්වාස කරනු ඇති බව දක්වයි. එය දැන් ඔබට සත්‍යයක් ලෙස තහවුරු කර ගත හැකිය. මක්නිසාද, සියලු ජාතීන්ගෙන් සැදුම්ලත් කිතුනුවන් වන අපි, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල කරණකොටගෙන භක්තිමත් සහ සාධාරණ අය බවට පත් වී සිටින අතර, අපි උන් වහන්සේගේ දෙවන ආගමනය දෙස බලා සිටිමු.’

53 වන පරිච්ඡේදය

“ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය,” යන්නෙන් උන් වහන්සේගේ උන් වහන්සේගේ පළමුවන පැමිණීමේදී උන් වහන්සේ ඉටු කරන ක්‍රියාවන් සහ උන් වහන්සේ කෙරෙහි අන්‍යජාතීන්ගේ විශ්වාසය තැබීම යන දෙකම සම්බන්ධ අනාවැකියක් විය. මක්නිසාද අන්‍යජාතිහු, අපේ ක්‍රිස්තුස් වහන්සේ පැමිණ, ඔවුන් සංවර්තනය කිරීමට තම ගෝලයන් එවන තුරු, කිසිවෙකු නොනැගුණු කොටළු පැටවෙකු මෙන් හෝ කිසි දිනක ඔවුන්ගේ බෙල්ල මත වියගහක් සවි කර නොතිබුණු අය මෙන් වෙති. මන්ද ඔව්හු උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ බොහෝ මිල කළ නොහැකි විපාක අපේක්ෂා කරමින්, උන් වහන්සේගේ වචනයේ වියගහ දරාගෙන, සියල්ල විඳ දරාගෙන සිටියහ. ඇත්තෙන්ම, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන් වහන්සේ යෙරුසලමට ඇතුල් වීමට සූදානම්ව සිටියදී, බෙත්පාගය නම් ගමේ දොරටුවේ කොටළුවා සමග බැඳ තිබූ කොටළු පැටවා රැගෙන එන ලෙස තම ගෝලයන්ට අණ කළ සේක. එසේම උන් වහන්සේ ජෙරුසලමට ඇතුළු වන විට ඌ පිට නැඟී ගිය සේක. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෙසින්ම සිදු කරන බව පැහැදිලිවම පුරෝකථනය කර තිබූ බැවින්, සියල්ලන් ඉදිරියෙහි උන් වහන්සේ එසේ සිදු කළ පසුව, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළෙ සේක. එහෙත්, මේ දේවල් සිදු වූ පසුව සහ ඒවා ශුද්ධලියවිල්ලෙන් ඔප්පු වූ පසුව පවා, ඔබ දිගින් දිගටම විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින්නෙහිය. අනාගතවක්තෘවරුන් දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ සෙකරියස් මෙම සිදුවීම පුරෝකථනය කළ විට ඔහු මෙසේ පැවසීය: “සියොන් දියණියෙනි, බොහෝ සෙයින් ප්‍රීතිමත් වෙයන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වාපන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළු දෙනෙකුගේ පැටියෙකු පිට නැගී එන සේක.” දැන් අනාවැකිමය ආත්මය මෙන්ම ආදිපීතෘවරයා වූ ජාකොබ්ද කොටළුවා, එනම් වියගහට හුරු වූ සතෙකු පිළිබඳ සහ කොටළු පැටවා ගැන සඳහන් කර ඇත. තවද, මා කලින් සඳහන් කළ ආකාරයට, උන් වහන්සේ සන්තකව සිටි සහ උන් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයින්ට උන් වහන්සේ වෙතට ගෙන එන ලෙස අණ කළ එම සතා, සිනගෝගයෙන් එන ඔබ සහ අන්‍යජාතීන්ගෙන් එන අය යන දෙපිරිසම උන් වහන්සේ විශ්වාස කරන බවට අනාවැකියක් විය. වියගහක නොබැඳ සිට කොටළු පැටවා පෙර විජාතීන්ගේ රූපයක් වූවා සේම, වියගහට හුරු වූ කොටළුවා ඔබේ සෙනග අතරේ සිටින අයගේ සංකේතයක් විය. මක්නිසාද අනාගතවක්තෘවරුන් විසින් ඔබ මත තැබූ ව්‍යවස්ථාව වියගහක් සේ ඔබ මත තිබෙන බැවිනි. ක්‍රිස්තුස් වහන්සේට පහර දෙනු ඇති බවත්, එවිට උන් වහන්සේගේ ගෝලයන් විසිරී යනු ඇති බවත්, එම සෙකරියස්ම පුරෝකථනය කළ අතර, එය සැබවින්ම සිදු විය. මන්ද, උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසුව, උන් වහන්සේ මළවුන්ගෙන් නැවත නැඟිටින තෙක් සහ උන් වහන්සේට දුක් විඳීමට සිදුවනු ඇතැයි බව පුරෝකථනය කර ඇති බව ඔවුන්ට ඔප්පු කරන තෙක් උන් වහන්සේගේ ගෝලයෝ විසුරුවා හරින ලදහ. ඔවුන්ට ඒ බව ඒත්තු ගැන්වුණු පසුව ඔවුහු මේ දේවල් උගන්වමින් මුළු ලොව පුරාම ගියෝය. මේ අනුව, අපි උන් වහන්සේ කෙරෙහි සහ උන් වහන්සේගේ ධර්ම නියාමක කෙරෙහි අපගේ ඇදහිල්ලේ ස්ථිරව සිටිමු, මන්ද අපගේ ඇදහිල්ල අනාගතවක්තෘවරුන් සහ ලොව පුරා විවෘතව කුරුසියේ ඇණ ගසන ලද තැනැන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන අය යන දෙපාර්ශ්වය මතම පදනම් වී ඇති නිසාය. ඇත්ත වශයෙන්ම, සෙකරියස් මෙසේ පැවසීය: “එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදියන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක. එඬේරාට පහරදීපන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.”

54 වන පරිච්ඡේදය

මෝසෙස් විසින් වාර්තා කර ඇති පරිදි, යාකොබ්ගේ එම අනාවැකිමය වදන් මෙසේය: “ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.” අදහස් කළේ උන් වහන්සේ විශ්වාස කරන අයෙ උන් වහන්සේ තමන් වහන්සේගේම ලෙයින් සෝදා ගනු ඇති බවයි. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ විසින් පව් කමා කරනු ලැබූ අය, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේගේ වස්ත්‍රය ලෙස හඳුන්වනු ලැබ ඇත. ඔවුන් අතර උන් වහන්සේ සැම විටම බලයෙන් යුක්තව වැඩවසන සේක. එහෙත්, උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී ඔවුන් අතර ප්‍රකාශිතව පෙනී සිටිනු ඇත. “මුද්‍රික යුස ලෙයින්ද” යන ප්‍රකාශනය, ක්‍රිස්තුස් වහන්සේට රුධිරය ඇත්තේ මනුෂ්‍ය බීජයෙන් නොව දෙවියන් වහන්සේගේ බලයෙන් බව දෘෂ්ටාන්ත ලෙස දක්වයි. මක්නිසාද මනුෂ්‍යයෙකු ලෙස නොව දෙවියන් වහන්සේ ලෙස මුද්‍රික යුස ලේ සෑදූ සේම, ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය මනුෂ්‍ය බීජයකින් පැමිණෙන්නක් නොව, එහෙත් දිව්‍යමය බලයෙන් පැමිණෙන්නක් බව පුරෝකථනය කර ඇත. ඒ නිසා මිත්‍රවරුනි, ක්‍රිස්තුන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රමයෙන් බිහි වූ හුදු මනුෂ්‍ය සම්භවයක් ඇති මිනිසෙකු නොවන බව මා විසින් උපුටා දක්වන ලද මේ අනාවැකිය මගින් පෙන්නුම් කරයි.’

55 වන පරිච්ඡේදය

ට්‍රිපෝ එවිට මෙසේ පිළිතුරු දුන්නේය. “වෙනත් තර්ක සමග ඔබේ අදහස සනාථ කළ හැකි නම් ඔබගේ මෙම අර්ථ නිරූපණය අපි මතක තබා ගන්නෙමු. එහෙත් දැනෙට, මුල් මාතෘකාවට ආපසු ගොස් සෑම දෙයකම මැවුම්කරුවාණන් වහන්සේ හැරුණුකොට වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකුගේ පැවැත්ම අනාවැකිමය ආත්මය පිළිගන්නා බව අපට ඔප්පු කරන්න. දෙවියන් වහන්සේ අන්‍යජාතිකයන්ට දෙවිවරුන් ලෙස නමස්කාර කිරීමට අවසර දුන් බවට ශුද්ධලියවිල්ලේ සඳහන් වන ඉර සහ සඳ ගැන සඳහන් නොකිරීමට වගබලා ගන්න. අනාගතවක්තෘවරු පවා බොහෝ විට මෙම අර්ථයෙන් වචනය වැරදි ලෙස භාවිත කරමින් මෙසේ පවසති: “ඔබේ දෙවියන් වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ සහ ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේ වන සේක.” එයට ඔවුහු බොහෝ විට මෙසේද එකතු කරති: “ශ්‍රේෂ්ඨ හා බලපරාක්‍රමයෙන් යුත් සහ භයංකර වූ.” එවැනි වචන භාවිත කරන්නේ ඔවුන් සැබවින්ම දෙවිවරුන් නිසා නොවේය. එහෙත් සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්සේ වන සැබෑ දෙවියන් වහන්සේ, දෙවිවරුන් සහ ස්වාමිවරුන් ලෙස ව්‍යාජ ලෙස සලකනු ලබන සියල්ලන්ගේ එකම ස්වාමින් වහන්සේ බව එම වචනය අපට උපදෙස් දෙන බැවිනි. මෙය අපට ඒත්තු ගැන්වීමට ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත් තුළින් මෙසේ පැවසූ සේක: “විජාතීන්ගේ දෙවිවරුන් (දෙවියන් ලෙස පිළිගත් එහෙත්) යක්ෂයන්ගේ පිළිම මිස දෙවිවරුන් නොවේය.” තවද උන් වහන්සේ එවැනි පිළිම සාදන හෝ ඒවාට නමස්කාර කරන අයට ශාප කරන සේක.’

ට්‍රිපෝ, ‘මා ඉදිරිපත් කිරීමට සූදානම් වූ සාක්ෂි මේවා නොවේ, මක්නිසාද ඔබේ උපුටා දැක්වීම්වලින් මේ දේවල් සහ ඒ හා සමාන වස්තූන් වන්දනාමාන කරන අය සාධාරණ ලෙස හෙළා දකිනු ලබන බව මම දනිමි. එහෙත් කිසිවෙකුට පරස්පර විරෝධී විය නොහැකි තර්ක ඉදිරිපත් කිරීමට, ඔබ දිනපතා කියවන නමුත් ඔබට අසාමාන්‍ය ලෙස පෙනෙන තර්ක ඉදිරිපත් කිරීමට මා සූදානම්ය. එබැවින්, ඔබගේ අයුතුකම නිසා, සොදොම් සහ ගොමෝරාවේ වැසියන් මෙන් ඔබේ ජාතියද මේ පොළොවෙන් සම්පූර්ණයෙන්ම විනාශ නොවන පිණිස, උන් වහන්සේගේ අසීමිත දයාවෙන් ගැලවීම සඳහා බීජයක් (යෙසායාගේ වචන භාවිත කිරීමට) ඉතිරි කර ඇති එම අතළොස්සක් වන පිරිසට හැර දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ වචනවල ප්‍රඥාව වටහා ගැනීමේ බලය ඔබෙන් සඟවා ඇත්තේ මන්දැයි අපට පහසුවෙන් වැටහේ. එම නිසා, පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන, එහෙත් ඇසීම පමණක් අවශ්‍ය මෙම ශුදලියවිලිමය උපුටා දැක්වීම්වලට සවන් දෙන්න,’ යනුවෙන් මම පිළිතුරු දුනිමි.

56 වන පරිච්ඡේදය

“දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත සහ ආශීර්වාද ලත් සේවකයා වන මෝසෙස් අපට පවසන්නේ, මම්රේහි ආලෝන ගස යටදී ආබ්‍රහම්ට දර්ශනය වූ එම පුද්ගලයා දෙවියන් වහන්සේ බවත්, ශ්‍රේෂ්ඨ ආකාශ ගෝලයේ රැඳී සිටින තවත් අයෙකු විසින් සොදොම් විනිශ්චය කිරීමට දේවදූතයන් දෙදෙනෙකු සමග එහි යවන ලද බවත්ය. උන් වහන්සේ කිසිම මිනිසෙකු විසින් කිසි දිනක දැක නැති, සහ කිසිම මිනිසෙකු කිසි දිනක කතාබහ කර නැති, මෙන්ම අප සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්සේ සහ පියාණන් වහන්සේ ලෙස හඳුන්වන තැනැන් වහන්සේය. ඒ පිළිබඳ මෝසෙස්ගේ වචන මෙන්න: “ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමීන්වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණු සේක; ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛ වන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිව ගොස් බිමට නැමී මෙසේ කීවේය.” සහ පසුව මෙම වචන ඇත. “ආබ්‍රහම් අලුයම් වේලෙහි නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමා සිටි ස්ථානයට ගොස් සොදොම සහ ගොමොරාද සමභූමියෙහි මුළු දේශයද දෙස බැලුවේය, බලව, ඒ දේශයේ ධූමය උදුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය.”

මේ අවස්ථාවේදී මේ උපුටා දැක්වීම ඔවුන්ට වැටහුණාද යන්න මම ඇසුවෙමි. උපුටා දක්වන ලද කොටස්වල තේරුම තමන් දන්නා බවත්, එහෙත්, ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේ හැරෙන්නට වෙනත් ඕනෑම දෙවියෙකු හෝ ස්වාමියෙකු සිටින බව හෝ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් සඳහන් කර ඇති බව ඔවුන් ඔප්පු කළ ආකාරය දැකීමට අපොහොසත් වූ බවට ඔවුහු පිළිතුරු දුන්හ.

මම මෙසේ පිළිතුරු දුනිමි, “එසේ නම්, ඔබට ශුද්ධලියවිල්ලෙන් වන මෙම උපුටා දැක්වීම් වැටහෙන බැවින්, සියලු දේවල මැවුම්කරුවාණන් වහන්සේ යටතේ වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකු සහ ස්වාමින් වහන්සේ කෙනෙකු වැඩසිටින බව සහ ශුද්ධලියවිල්ලේ සඳහන් කර ඇති බවට වන මගේ ප්‍රකාශය ඔප්පු කිරීමට මම උත්සාහ කරමි. උන් වහන්සේ දේවදූතයෙකු ලෙසද හඳුන්වනු ලැබ ඇත. එයට හේතුව ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේ, එනම් උන් වහන්සේට ඉහළින් වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකු නැති තැනැන් වහන්සේ මිනිසුන්ට එළිදරව් කිරීමට කැමති වන ඕනෑම දෙයක් උන් වහන්සේ මිනිසාට ප්‍රකාශ කරන බැවිනි.’

ඉන්පසුව, කලින් උපුටා දක්වන ලද ශුද්ධලියවිල්ලේ කොටස් නැවත නැවත කියමින්, ශුද්ධලියවිල්ලේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ මම්රේහි ආලෝන ගස යට ආබ්‍රහම්ට දර්ශනය වූ බව ඔහු සැබවින්ම විශ්වාස කරන්නේද යන්න මම ට්‍රිපෝගෙන් ඇසුවෙමි.

‘මම අනිවාර්යයෙන්ම විශ්වාස කරමි,’ යයි ඔහු පිළිතුරු දුන්නේය.

‘උන් වහන්සේ අනාවැකිමය ආත්මය පවසන පරිදි, ආබ්‍රහම් විසින් මිනිසුන් ලෙස දුටු ඒ තිදෙනාගෙන් කෙනෙක්ද?’ මම ඇසුවෙමි.

ට්‍රිපෝ පිළිතුරු දෙමින් මෙසේ කීය. “නැහැ. එහෙත් ඔහු මිනිසුන් තිදෙනා දැකීමට පෙර දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ සේක. තවද, ශුද්ධලියවිල්ල මිනිසුන් ලෙස හඳුන්වන ඒ තුන්දෙනා දේවදූතයෝ වූහ. ඔවුන්ගෙන් දෙදෙනෙකුට සොදොම් විනාශ කිරීමට අණ ලැබුණු අතර, තුන්වැන්නා සාරාට පුතෙකු ලැබීමට යන ශුභාරංචිය පැවසීමට යවන ලදී (ඔහුගේ මෙහෙවර ඉටු කිරීමෙන් පසුව ඔහු පිටත්ව ගියේය.)”

“කූඩාරමේ සිටි තිදෙනාගෙන් එක් අයෙකු, “සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීය” යැයි පොරොන්දු වූ තැනැත්තා, සාරාට ඇගේ පුත්‍රයා ඉපදුණු පසු ආපසු පැමිණි අතර, අනාවැකිය ඒ දෙවියන් වහන්සේ බවට ප්‍රකාශ කරයි, එය ඔබ ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?” යයි මම ඇසුවෙමි. මගේ වචනවල සත්‍යතාව පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් සඳහා, මෝසෙස්ගේ මෙම පැහැදිලි වචනවලට සවන් දෙන්න: “මිසරීය හාගර් ආබ්‍රහම් නිසා වැදූ පුත්‍රයා සරදම් කරනවා සාරා දුටුවාය. එහෙයින් ඈ ආබ්‍රහම්ට කථා කොට: මේ දාසිය සහ ඇගේ පුත්‍රයා පිටත දමාපන්න. මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මාගේ පුත්‍රයාවූ ඊසාක් සමග‍ උරුමක්කාර නොවන්නේ යයි කීවාය. ආබ්‍රහම්ට මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය.

එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දීපන්න; මක්නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය.” එබැවින්, උන් වහන්සේ නැවත පැමිණෙන බවට ආලෝන ගස යටදී පොරොන්දු වූ තැනැන් වහන්සේ, සාරා කැමති දේ කිරීමට ආබ්‍රහම්ට උපදෙස් දීමට අවශ්‍ය බව උන් වහන්සේ දැන සිටි නිසා එසේ පැවසූ බව සහ ශුද්ධලියවිල්ලෙහි සඳහන් පරිදි එසේ නැවත පැමිණි බව සහ උන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබ දකින්නේ නැද්ද? එය පහත සඳහන් වචනවලින් පෙන්නුම් කරයි. “එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න.”

“එය නිවැරදියි,” ට්‍රිපෝ කීවේය, “එහෙත් මේ ආබ්‍රහම්ට දර්ශනය වූ සහ අනෙකුත් ආදීපීතෘවරුන්ට මෙන්ම අනාගතවක්තෘවරුන්ට දර්ශනය වූ තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ හැරුණුකොට වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකු බවට ඔබ මෙයින් ඔප්පු කර නැත. ආබ්‍රහම් සමග කූඩාරමේ සිටි තිදෙනාම දේවදූතයන් යැයි අප උපකල්පනය කිරීම වැරදි බව පමණක් ඔබ පෙන්වා දී ඇත.”

මම මෙසේ කීවෙමි. ‘එසේ නම්, ‘මේ තිදෙනාගෙන් එක් කෙනෙකු දෙවියන් වහන්සේ බවත්, එසේ වූවත් ඒ දේවදූතයෙකු හෝ “පණිවිඩකරුවෙකු” යන වචනයෙන් සඳහන් කර ඇති බවට, (ඉහත සඳහන් කළ පරිදි, දෙවියන් වහන්සේ කැමති වූ කවරෙකුට වූවද, සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ පණිවිඩ ඔහු ලබා දුන් බැවිනි), මනුෂ්‍ය ස්වරූපයෙන් මිහිපිට ආබ්‍රහම්ට පෙනී සිටි උන් වහන්සේ (උන් වහන්සේ සමග ගිය දේවදූතයන් දෙදෙනා මෙන්) ඇත්ත වශයෙන්ම විශ්වය මැවීමට පෙර සිටි දෙවියන් වහන්සේ බව ශුද්ධලියවිල්ලෙන් ඔබට ඔප්පු කිරීමට මට නොහැකි වූවා නම්, ඔබ ඔබේ ජනතාවගේ පොදු ධර්ම නියාමකයට ඇලී සිටීම තර්කානුකූලය.’

‘සැකයකින් තොරවම, මෙතෙක් අපගේ විශ්වාසය වූයේ එයයි,’ ඔහු පිළිතුරු දුන්නේය.

මම මෙලෙස කීවෙමි. ”එසේ නම්, අප ශුද්ධලියවිල්ලට ආපසු ගොස්, ආබ්‍රහම්, යාකොබ් සහ මෝසෙස් යන අයට පෙනී සිටි බව කියන, දෙවියන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන තැනැන්තා, මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගෙන් වෙනස් බව; උන් වහන්සේ වෙනස් වන්නේ සංඛ්‍යාවෙන් නොව මනසින් බව ඔබට ඒත්තු ගැන්වීමට මම උත්සාහ කරමි. මන්ද, මැවුම්කරුවාණන් වහන්සේ එනම්, උන් වහන්සේට ඉහළින් වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකු නොමැති තැනැන් වහන්සේ කිරීමට හෝ පැවසීමට කැමති දේ හැර වෙනත් කිසිවක් උන් වහන්සේ කිසි විටෙකත් නොකළ බව හෝ නොකී බව මම ප්‍රකාශ කරමි.’

“අපටද මේ සම්බන්ධයෙන් එකඟ විය හැකි වන පිණිස උන් වහන්සේ පවතින බව දැන් ඔප්පු කර පෙන්වන්න. මක්නිසාද උන් වහන්සේ මැවුම්කරුවාණන් වහන්සේගේ කැමැත්තට පටහැනිව යමක් තහවුරු කළ බව, කළ බව හෝ කී බව ඔබ ප්‍රතික්ෂේප කරන බව අපට වැටහේ,” යනුවෙන් ට්‍රිපෝ පැවසුවේය.

“මීට කලින් උපුටා දක්වන ලද ශුද්ධලියවිල්ලේ කොටස්වලින් ඔබට මෙය පැහැදිලි වනු ඇත,” මම පිළිතුරු දුනිමි. එහි දැක්වූ වචන මෙන්න: “ලොත් ශොවර් නුවරට ළඟාවූ කල්හි පොළොව පිට ඉර උදා වී තිබුණේය. එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා ඒ නුවරවල්ද මුළු සමභූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියෙහි හටගත් දේද විනාශ කළ සේක.”

එවිට ට්‍රිපෝ සමග රැඳී සිටි සගයන්ගෙන් හතරවැන්නා මෙසේ කීවේය: “එබැවින් සොදොම් වෙත බැස ගිය දේවදූතයන් දෙදෙනාගෙන් එක් අයෙකු සහ ශුද්ධලියවිල්ලේ මෝසෙස් ස්වාමීන් වහන්සේ ලෙස හඳුන්වන සහ ආබ්‍රහම්ට පෙනුණු තැනැන් වහන්සේ දෙවියන් වහන්සේට වඩා වෙනස් බව පිළිගත යුතුය.’

“එම උපුටා දැක්වීම නිසා පමණක් නොව, විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේ හැරුණුකොට තවත් කෙනෙකු ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේ ලෙස හඳුන්වනු ලැබූ බව අපි නිසැකවම පිළිගත යුතුයි. මක්නිසාද මෙය මෝසෙස් විසින් පමණක් නොව, දාවිත් විසින්ද මෙසේ පවසනලද කල එය සනාථ කරන ලද බැවිනි: “ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කී සේක.”

එසේම ඔහු වෙනත් වචනවලින් මෙලෙස දැක්වීය: “දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකෙම් ජයකොන්තයක්ය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂ කළ සේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේප කළ සේක.” ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු දේවල පියාණන් වහන්සේ හැරුණුකොට වෙනත් කෙනෙකුට දෙවියන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ සහ උන් වහන්සේගේ ක්‍රිස්තුස් ලෙස හඳුන්වන බව සම්බන්ධයෙන් ඔබේ අදහස නම් මට කියන්න. ‘මන්ද, ශුද්ධලියවිල්ලේ ස්වාමින් වහන්සේ ලෙස හඳුන්වනු ලැබුවේ, සොදොමට බැස ගිය දේවදූතයන් දෙදෙනාගෙන් කෙනෙකු නොවන බවත්, එහෙත් ඔවුන් සමග ගිය ආබ්‍රහම්ට පෙනී සිටි තැනැන් වහන්සේ සහ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වා ඇති බවත් මම දැන් ඔබට ශුද්ධලියවිල්ලෙන්ම ඔප්පු කිරීමට යන්නෙමි.’

ට්‍රිපෝ මෙසේ පැවසුවේය. “ඔබේ සාක්ෂි සමග එය ඉක්මනින් සිදු කරන්න. මන්ද, ඔබට පෙනෙන පරිදි, දවස අවසාන වෙමින් පවතින අතර, කිසිදු අනාරක්ෂිත පිළිතුරක් දීමට අප සූදානම් නැත. මන්ද එවැනි විමසීම්, විභාග, හෝ සාක්ෂි ඉදිරිපත් කරන කිසිවෙකු ගැන අප මීට පෙර අසා නැත. ඇත්ත වශයෙන්ම, ඔබේ අදහස ඔප්පු කිරීමට ඔබ දරන උත්සාහයේදී ඔබ නිතරම ශුද්ධලියවිල්ල උපුටා නොගත්තේ නම් සහ ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේට වඩා උසස් දෙවියන් වහන්සේ කෙනෙකු නොමැති බව ඔබ ප්‍රකාශ නොකළෙහි නම්, අප මෙතෙක් දුරට ඔබට සවන් නොදෙනු ඇත.’

මම තවදුරටත් මෙසේ කියාගෙන ගියෙමි. ‘ශුද්ධලියවිල්ලෙන් පහත උපුටා දැක්වීම ඔබ නිසැකවම දැනගත යුතුයි:” එවිට ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ට කථා කොට: මහලුවූ මම සැබවින් දරුවෙකු වදන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද? ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නී යයි කී සේක.” තව සුළු වේලාවකට පසුව මෙසේ දැක්වේ: “ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ්‍රහම් ඔවුන් ඇරලන පිණිස ඔවුන් සමග ගියේය. ස්වාමීන්වහන්සේ: මා කරන්ට යන දේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද?” ඉන්පසු වැඩි වේලාවක් යන්නට මත්තෙන් එහි ලියා ඇත: “තවද ස්වාමීන්වහන්සේ: සොදොමේද ගොමොරාවේද මොරගැසීම මහත් බැවින්ද ඔවුන්ගේ පාපය ඉතා බරපතළ බැවින්ද, මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි; නැතහොත් දැනගන්නෙමියි කී සේක. ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය.

ආබ්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමග ධර්මිෂ්ඨයන් විනාශ කරන සේක්ද?” (එසේම, මා දැනටමත් ලියා ඇති වචන නැවත නැවත පැවසීම අවශ්‍ය යැයි මම නොසිතමි, එහෙත් ට්‍රිපෝ සහ ඔහුගේ මිතුරන් සමග මගේ වාදයේදී ඇත්ත වශයෙන්ම සාර්ථක වූ ඒවා පමණක් ගෙන හැර දක්වමි.) එබැවින්, මම පහත සඳහන් ශුද්ධලියවිල්ලේ වචන වෙත ගියෙමි: “ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමග කථාකොට නිමවූ වහාම යන්ට ගිය සේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය. දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය.” එයට පසුව තවත් කාරණා ලියා ඇත. “එහෙත් ඒ මනුෂ්‍යයෝ තමන්ගේ අත් දිඟුකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය.” පසුව පහත සඳහන් වචන දක්වා ඇත. “එහෙත් ඔහු ප්‍රමාද වුණ කල්හි ස්වාමීන්වහන්සේ ඔහු කෙරෙහි ඇති දයාව නිසා ඒ මනුෂ්‍යයෝ ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්ද අල්වාගෙන ඔහු ගෙන ගොස් නුවරින් පිටත සිටෙවුවෝය. ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථා කොට: නුඹේ ප්‍රාණය ගළවාගන්ට දුවපන්න; ආපසු නොබලන්න, සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්ති නොවන පිණිස කන්දට දුවපන්නැයි කී සේක. එවිට ලොත්: අනේ මාගේ ස්වාමීනි, එසේ නොවේවා. මෙන්න බැලුව මැනවි, ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ; මාගේ ප්‍රාණය රක්ෂා කිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණා කළ සේක; මට කන්දට පලායන්ට නුපුළුවන, සමහර විට මට නපුර පැමිණීමෙන් මරණය සිදු විය හැකිය. මෙන්න, පලායන්ට අර නුවර ළඟය, ඒක කුඩා එකක්ය. අහෝ එහි පලායන්ට අවසර ලැබේවා; ඒක කුඩා එකක් නොවේද? එවිට මාගේ ප්‍රාණය ජීවත් වන්නේ යයි ඔවුන්ට කීය. උන්වහන්සේද: බලව, නුඹ සඳහන් කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි. ඉක්මන් කරපන්න, ගැළවෙන්ට එතැනට දුවපන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙන තුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කී සේක. එබැවින් ඒ නුවරට ශොවර් යන නම කියන ලදී. ලොත් ශොවර් නුවරට ළඟාවූ කල්හි පොළොව පිට ඉර උදා වී තිබුණේය. එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා ඒ නුවරවල්ද මුළු සමභූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියෙහි හටගත් දේද විනාශ කළ සේක.”

මේ අවස්ථාවේදී මම මෙසේ විමසුවෙමි. “මාගේ මිත්‍රවරුනි, දේවදූතයන් තිදෙනාගෙන් එක් කෙනෙකු, එනම් දෙවියන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන සහ දෙව්ලොව සිටින තැනැන් වහන්සේට සේවය කරන තැනැන් වහන්සේ, එම දේවදූතයන් දෙදෙනාගේ ස්වාමින් වහන්සේ බව ඔබට පෙනෙන්නේ නැද්ද? “ඔවුන් සොදොම් වෙත ගිය විට, උන් වහන්සේ නතර වී, මෝසෙස් සාක්ෂි දුන් පරිදි, ආබ්‍රහම් සමඟ කතා කළ සේක. පසුව උන් වහන්සේ තමන් වහන්සේගේ සංවාදයෙන් පසුව උන් වහන්සේගේ ගමන ගිය සේක. ආබ්‍රහම් නැවත තමාගේ ස්ථානයට ගියේය. මෙසේ උන් වහන්සේ සොදොම් වෙත පැමිණි විට, ශුද්ධලියවිල්ලෙන් පැහැදිලි වන පරිදි, තවදුරටත් ලොත් සමග කතා කළේ දේවදූතයන් දෙදෙනා නොව, උන් වහන්සේමය. ඇත්ත වශයෙන්ම, ශුද්ධලියවිල්ලේ මේ ආකාරයට විස්තර කර ඇත්තේ, ස්වර්ගයේ සිටින ස්වාමින් වහන්සේ එනම්, සියල්ලේ මැවුම්කරුවාණන් වහන්සේ, සොදොම් සහ ගොමෝරා කෙරෙහි මේ ආකාරයට එම බිහිසුණු දඬුවම් දෙන්නට නියෝග කළේ ස්වාමීන් වහන්සේ වන උන් වහන්සේටය. “එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා…”

57 වන පරිච්ඡේදය

‘ශුද්ධලියවිල්ල පැහැදිලිවම අපට ඔබ සමඟ එකඟ වීමට බල කරයි. එහෙත් ආබ්‍රහම් විසින් පිළියෙළ කර උන්වහන්සේට පිළිගන්වන ලද ආහාරය ස්වාමීන්වහන්සේ අනුභව කළ ආකාරය විස්තර කරන එම වචනවලින් අපගේ ව්‍යාකූලත්වය සාධාරණ බව ඔබ පිළිගත යුතුය.’ මම කතාව අවසන් කළ පසුව ට්‍රිපෝ මෙසේ කියමින් එය පිළිගත්තේය.

‘ඇත්තෙන්ම ඔවුන් එය අනුභව කළ බව එහි ලියා ඇත,’ යයි මම පිළිතුරු දුනිමි. ‘එහෙත්, මිනිසුන් අනුභව කරන ඒ සමාන ආහාර වර්ගයකින් නොව, ඇත්ත වශයෙන්ම දේවදූතයන් වූ සහ පැහැදිලිවම ස්වර්ගයෙන් පෝෂණය වූ දේවදූතයින් දෙදෙනා පමණක් නොව, තිදෙනාම අනුභව කළ බව එහි පවසන බව අපට ඇසුවහොත් (මන්නා ගැන කථා කිරීමේදී ඔබේ ආදී පීතෘවරුන් කාන්තාරයේදී අනුභව කළ දේ, ඔවුන් දේවදූතයන්ගේ ආහාර අනුභව කළ බව ශුද්ධලියවිල්ලේ සඳහන් වේ), එවිට ඔවුන් අනුභව කළ බව ශුද්ධලියවිල්ල ප්‍රකාශ කරන විට, එයින් තේරුම් ගත යුත්තේ ගින්නෙන් සියල්ල දවා දැමූ බව අප පවසන ආකාරයට මිස, ඔවුන් දත්වලින් හපා ආහාර අනුභව කළ බව යන අර්ථයෙන් නොවේය.

මේ අනුව, අපට යම් ආකාරයකින් සංකේතාත්මක ප්‍රකාශන ක්‍රම භාවිතය පිළිබඳ යම් හුරුපුරුදු බවක් ඇත්නම්, මෙම ශුද්ධලියවිල්ලේ කොටස සම්බන්ධයෙන් පවා අපට ප්‍රහේලිකාවක් ඇති නොවිය යුතුය.’

“ආබ්‍රහම්ගේ අමුත්තන්, ඔවුන් ඉදිරියේ තබා ඇති ආහාර අනුභව කළ බව පැවසීමේදී, එය අනුභව කළ බවට කියනු ලබන ප්‍රකාශය පිළිබඳ පැන නගින දුෂ්කරතාවය, විවිධ ආහාර ගැනීමේ ක්‍රම පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම මගින් විසඳිය හැකි බව පැහැදිලිය,” ට්‍රිපෝ පිළිගත්තේය.

එබැවින්, දැන්, ආබ්‍රහම්ට දර්ශනය වී, විශ්වයේ මැවුම්කරුවාණන්ට උපස්ථාන කළ මෙම දෙවියන් වහන්සේ ඔබ පවසන පරිදි, කන්‍යාවකගෙන් ඉපදී, මිනිසෙකු බවට පත් වී, අනෙක් සියල්ලන් මෙන්ම දුක් විඳිමින් සිටි තැනැන් වහන්සේ බව ඔප්පු කිරීමට තවදුරටත් ඔබේ කාරණා පවසන්න.’

“ට්‍රිපෝ, ඔබ ඉල්ලන සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙර, අප සාකච්ඡා කරමින් සිටින මාතෘකාව පිළිබඳ අමතර තර්ක කිහිපයක් ඉදිරිපත් කිරීමට මට අවසර දෙන්න, එවිට ඔබටත් ඒ පිළිබඳ ඒත්තු ගැන්වෙනු ඇත,” යයි මම කීවෙමි.

“ඔබ කතා කරන්න, මන්ද එයට මා එකඟ වනු ඇත,” යයි ඔහු පිළිතුරු දුන්නේය.

58 වන පරිච්ඡේදය

‘කිසිදු කලාත්මක තර්ක විධිවිධානයකින් තොරව ඔබට ශුද්ධලියවිල්ල උපුටා දැක්වීමට මම කැමැත්තෙමි. ඇත්ත වශයෙන්ම, මට එවැනි දක්ෂතාවයක් නැත, එහෙත් මෙම කරුණා අනුග්‍රහය පමණක් දෙවියන් වහන්සේගෙන් මට ලැබී ඇත්තේ උන් වහන්සේගේ ශුද්ධලියවිලි තේරුම් ගැනීම පිණිසය. එම කරුණා අනුග්‍රහය තුළ නිදහසේ සහ බහුල ලෙස බෙදාහදා ගැනීමට සියලු දෙනාටම මම ආරාධනා කරමි. මාගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ විනිශ්චය කිරීමේදී මා වගකිව යුතු අයෙකු නොවන පිණිස එසේ කරමි,’ මම කීවෙමි.

“එසේ කිරීමෙන්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි ඔබේ ඇති සැබෑ භක්තිමත් බව පෙන්වනු ඇත, එහෙත් සාකච්ඡා කලාවෙහි ඔබට කිසිදු දක්ෂතාවයක් නොමැති බව ඔබ ප්‍රකාශ කරන විට, ඔබ මේ කාරණය සම්බන්ධයෙන් නොදැනුවත්කම මවාපානවා යැයි මම සැක කරමි.” ට්‍රිපෝ කීවේය.

“ඔබ එසේ සිතන්නෙහි නම්, අපි මේ කාරණය පිළිබඳ තර්ක නොකරමු, එහෙත් මට තවමත් හැඟෙන්නේ මා සැබෑව කතා කළ බවයි. එය එසේම වේවා, ඔබ ඔබේ නොබෙදුණු අවධානය මා වෙත යොමු කරන්නෙහි නම්, මම මගේ ඉතිරි සාක්ෂි ඉදිරිපත් කරමි.’

‘එසේ කරන්න,’ ට්‍රිපෝ කීවේය.

මම තවදුරටත් මෙසේ කීවෙමි. ‘මගේ සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන සහ ආදී පීතෘවරුන්ට දර්ශනය වූ උන් වහන්සේ ස්වාමින් වහන්සේගේ දූතයා ලෙසද හඳුන්වනු ලබන බව මෝසෙස් ප්‍රකාශ කර ඇත. එසේ කර ඇත්තේ මෙම ප්‍රකාශයන් මගින් ඔබ උන් වහන්සේ සියලු දේවල පියාණන් වහන්සේගේ සේවකයා ලෙස හඳුනා ගැනීමට හැකි වන පිණිසය (එය ඔබ දැනටමත් පිළිගෙන ඇති නමුත්, අමතර තර්ක මගින් ඔබ එය වඩාත් ස්ථිරව විශ්වාස කළ යුතුය). මෝසෙස් විසින් වාර්තා කරන ලද දෙවියන් වහන්සේගේ වචනයෙහි, ආබ්‍රහම්ගේ මුණුපුරා වන යාකොබ් ගැන පහත ආකාරයට කතා කරයි: “තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි. එවිට දෙවියන්වහන්සේ ගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කී සේක. මම මෙහි යයි කීයෙමි. උන්වහන්සේ: දැන් නුඹේ ඇස් ඔසවා බලව, සිව්පා රැළ පිට නගින සියලු එළුවෝ රේඛාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබන් නුඹට කරන සියල්ල දුටුවෙමි. මම වනාහි නුඹ කණුවක් ආලේප කර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී පලයන්නැයි කී සේකැයි කීය.” තවත් කොටසක යාකොබ් ගැන මෙසේ කථා කරයි: “

ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපළෙන් එගොඩ වුණේය. ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය. යාකොබ් හුදෙකලාව සිටියේය; එවිට මනුෂ්‍යයෙක් පහන් වන තුරු ඔහු සමග පොරබැදුවේය. ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූ සේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමග පොර බදද්දී ඇදී ගියේය. උන්වහන්සේ කථා කොට: පහන් වන බැවින් මා යන්ට හැරපන්නැයි කී සේක. ඔහුද: ඔබ මට ආශීර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය. නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේ යයි උන්වහන්සේ කී සේක. යාකොබ්ද: ඔබගේ නාමය මට කිව මැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක් හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළ සේක. යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල් යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරු වි යයි ඔහු කීවේය.” නැවතත් එම යාකොබ් ගැන තවත් ස්ථානයක මෙසේ ලියා ඇත: “මෙසේ යාකොබ්ද ඔහු සමග සිටියාවූ සියල්ලෝද කානාන් දේශයෙහි වූ ලූස්ට පැමුණුණාහ. ඒ වනාහි බෙතෙල් නම් ස්ථානයයි. ඔහු එහි පූජාසනයක් ගොඩ නගා ඒ ස්ථානයට ඒල්-බෙතෙල් යන නම තැබුවේය. මක්නිසාද ඔහු තම සහෝදරයා ඉදිරියෙන් පලා ගිය කල්හි දෙවියන්වහන්සේ එතැන්හි ඔහුට ප්‍රකාශ වූ සේක. රෙබෙකාගේ කිරි මවු වූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත් කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියන ලදී. යාකොබ් පදන්-අරාමෙන් ආ කල දෙවියන්වහන්සේ නැවත ඔහුට පෙනී ඔහුට ආශීර්වාද කළ සේක. දෙවියන්වහන්සේ ඔහුට කථා කොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේ යයි කී සේක. උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල්යයි නම් තැබූ සේක.”

“උන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන සේක, උන් වහන්සේ සමකලිහිම දෙවියන් වහන්සේ වනු ඇත.” මේ වදන්වලට පසුව ඔවුහු සියල්ලෝම හිස සලමින් එයට එකඟ වූහ. එවිට මම මෙසේ කීවෙමි. “දේව දූතයාද, දෙවියන් වහන්සේද ස්වාමින් වහන්සේද වන, ආබ්‍රහම්ට මනුෂ්‍යයෙකු ලෙස පෙනී සිටි, යාකොබ් සමඟ මනුෂ්‍ය ස්වරූපයෙන් පොරබැදූ තැනැන් වහන්සේ, එම යාකොබ්ම තම සහෝදරයා වූ ඒසව්ගෙන් පලා යන අවස්ථාවේදී දුටු තැනැන් වහන්සේ පිළිබඳ පවසන ශුද්ධලියවිල්ලේ කොටස මෙහි නැවත පැවසීම සුදුසු බව මම සලකමි. එම පාරිශුද්ධ වචන මෙන්න:

“යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැස ගිය බැවින් මුළු රාත්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය. එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබන ලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථා කොට: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි; නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩි වන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණ දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය. බලව, මම නුඹ සමග සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂා කර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදු කරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කී සේක. යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටින සේක; මම ඒ බව නොදත්තෙමියි කියා භය වී: මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය. යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබන ලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත් කොට, ඒ ස්ථානයට බෙතෙල් යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.”

59 වන පරිච්ඡේදය

එවිට මම තවදුරටත් මෙසේ කීවෙමි. ‘එක විටම, දේවදූතයා සහ දෙවියන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ සහ මනුෂ්‍යයා වූ එමෙන්ම ආබ්‍රහම් සහ යාකොබ් විසින් දුටු මෙම පුද්ගලයා, ගිනිමය පඳුරේ දැල්ලෙන් මෝසෙස් සමග කතා කළ තැනැන් වහන්සේම බව නික්මයාම පොතේ වචනවලින් ඔබට පෙන්වීමට මට අවසර දෙන්න.’ එසේ මගේ ප්‍රේක්ෂකයින්, ඔවුන් සතුටින්, ඉවසිලිවන්තව සහ උනන්දුවෙන් සවන් දෙන බව මට සහතික වූ පසුව, මම තවදුරටත් මේ කාරණා පවසාගෙන ගියෙමි. නික්මයාම පොතේ මෙසේ ලියා ඇත: “ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල් වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය.” sඑසේම එහි මෙසේද ලියා ඇත: “නුඹ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම නුඹලා බලා වදාරා මිසරයෙහිදී නුඹලාට කෙරෙන දේ දුටිමි.” එවිට මම මෙසේ ඇසුවෙමි. ‘මගේ මිත්‍රවරුනි, ගිනිමය පඳුර තුළින් මෝසෙස් සමග කතා කළ දේවදූතයෙකු ලෙස මෝසෙස් පවසන තැනැන් වහන්සේ, ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවියන් වහන්සේ බව මෝසෙස්ට පවසන විට උන් වහන්සේ දෙවියන් වහන්සේම බව ඔබට පෙනෙන්නේ නැද්ද?’

60 වන පරිච්ඡේදය

ට්‍රිපෝ පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “ඔබ උපුටා දැක්වූ වචනවලින් අපට ගත හැකි එකම නිගමනය වන්නේ ගිනිමය පඳුර තුළින් මෝසෙස් දේවදූතයෙකු දුටු බවය, එහෙත් මෝසෙස් සමග කතා කළේ දෙවියන් වහන්සේය. ඒ නිසා දර්ශනයේ ඇත්තටම පුද්ගලයෝ දෙදෙනෙක් සිටියහ, එනම් දේවදූතයා සහ දෙවියන් වහන්සේය.’

“එය එසේ වුවද, මෝසෙස්ගේ දර්ශනයේදී දේවදූතයෙකු සහ දෙවියන් වහන්සේ යන දෙදෙනාම එකට පෙනී සිටි නමුත්, මගේ පෙර උපුටා දැක්වීම්වලින් ඔප්පු වන පරිදි, ඒ ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ, උන් වහන්සේ ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවියන් වහන්සේ බව මෝසෙස්ට පැවසූ දෙවියන් වහන්සේ නොවේය. එහෙත් ඒ ආබ්‍රහම් සහ යාකොබ් විසින් දක්නා ලද, විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටින සහ සොදොම් විනිශ්චයේදී උන් වහන්සේගේ කැමැත්ත ක්‍රියාත්මක කරමින් සිටින තැනැන් වහන්සේ බව මා කලින් ඔබට ඔප්පු කරනු ලැබුවේ උන් වහන්සේය. මේ අනුව, ඔබ පවසන පරිදි, දේවදූතයෙකු සහ දෙවියන් වහන්සේ යන දෙදෙනෙකු සිටියද, ඉතාම අඩු බුද්ධියක් ඇති අයෙකු පවා, සෑම දෙයකම මැවුම්කරුවාණන් වහන්සේ සහ පියාණන් වහන්සේ පෘථිවියේ කුඩා ස්ථානයක තමන් වහන්සේ පෙනෙන ආකාරයට උන් වහන්සේගේ සුපිරි ආකාශ තලයන් හැර ගිය බව ප්‍රකාශ කිරීමට එඩිතර වනු ඇත,’ යයි මම පිළිතුරු දුන්නෙමි.

“ආබ්‍රහම්ට දර්ශනය වූ, දෙවියන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ ලෙස හඳුන්වන ලද තැනැන් වහන්සේ, සොදොම්වරුන්ට දඬුවම් කිරීමට (ස්වර්ගයේ සිටින ස්වාමින් වහන්සේගෙන් උන් වහන්සේට ලැබුණු) පැවරුම ක්‍රියාත්මක කළ බව දැනටමත් පෙන්වා දී ඇත. මෝසෙස්ට දර්ශනය වූ දෙවියන් වහන්සේ දේවදූතයෙකු සමග සිටියද, පඳුර තුළින් මෝසෙස්ට කතා කළ දෙවියන් වහන්සේ සියල්ලන්ගේ මැවුම්කරුවානන් වහන්සේ වන දෙවියන් වහන්සේ ලෙස හඳුනාගත නොහැකිය. එහෙත් උන් වහන්සේ නියත වශයෙන්ම ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට දර්ශනය වූ දෙවියන් වහන්සේ ලෙස හඳුනාගත හැකිය. එසේම උන් වහන්සේ පියාණන් වහන්සේගේ සහ මැවුම්කරුවාණන් වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයන්ට ප්‍රකාශ කළ බැවින්, මැවුම්කරුවාණන් වහන්සේගේ දූතයා ලෙසද හඳුන්වනු ලැබූ සහ වටහාගෙන ඇත,” යනුවෙන් ට්‍රිපෝ එකඟ විය. මම මෙසේ කීවෙමි. ‘ට්‍රිපෝ, සාකච්ඡාවට ලක්ව ඇති දර්ශනයේදී, දේවදූතයෙකු ලෙස හඳුන්වනු ලබන සහ දෙවියන් වහන්සේ වන එකම තැනැන් වහන්සේ, මෝසෙස් සමග කතා කළ හා ඔහු දුටු තැනැන් වහන්සේ බව දැන් ඔබට ඔප්පු කිරීමට මට අවශ්‍යය. ඒ පිළිබඳ ශුද්ධලියවිලිමය සාක්ෂිය මෙන්න: “ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලා නොගියේය. එවිට මෝසෙස්: මම දැන් අහකට හැරී පඳුර දාලා නොගියේ මක්නිසාද යන මේ මහත් දර්ශනය බලන්නෙමියි කීය. ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටු කල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූ සේක.” නින්දේදී සිහිනයකින් දේවදූතයෙකු ලෙස යාකොබ්ට පෙනුණු තැනැන් වහන්සේ උන් වහන්සේම බව ශුද්ධලියවිල්ල සඳහන් කරයි. එසේම එම දේවදූතයාම යාකොබ් නිදා සිටියදී මෙලෙස කී බව දක්වයි: “ඔබේ සහෝදරයා වූ ඒසව් ඉදිරියෙන් පලා ගිය කල්හි එතැන්හි ඔබට ප්‍රකාශ වූ දෙවියන්වහන්සේ මමය.” එසේම ආබ්‍රහම්ගේ කාලයේ සොදොම් විනිශ්චය කිරීමේදී, ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිටින ස්වාමින්වහන්සේගේ කැමැත්ත ක්‍රියාත්මක කළ බව ශුද්ධලියවිල්ල තහවුරු කරයි. එහෙයින් මෙහි ස්වාමීන්ගේ දූතයෙකු මෝසෙස්ට දර්ශනය වූ බව සහ උන් වහන්සේ ස්වාමින් වහන්සේ සහ දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරන බව ශුද්ධලියවිල්ලේ සඳහන් වන විට, එය අපගේ පෙර උපුටා දැක්වීම් බොහොමයක දෙවියන් වහන්සේගේ සේවකයා ලෙස හඳුනාගෙන ඇති, ලෝකයට ඉහළින් සිටින සහ උන් වහන්සේට ඉහළින් වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකු නොමැති එකම පුද්ගලයා ගැන සඳහන් වේ.’


1-30 වන පරිච්ඡේදය

31-60 වන පරිච්ඡේදය

61-90 වන පරිච්ඡේදය

91-120 වන පරිච්ඡේදය

121-142 වන පරිච්ඡේදය