ජස්ටින් තුමාගේ ට්‍රිෆෝ සමග සංවාදය 121-142 (Justin Martyr, Dialogue with Trypho)

Justin Martyr, Dialogue with Trypho in Sinhala, chapters 121-142 (end)


121 වන පරිච්ඡේදය

ඔවුන් නිශ්ශබ්දව සිටියදී, මම තවදුරටත් මෙසේ කියාගෙන ගියෙමි. ‘මගේ මිත්‍රවරුනි, දාවිත් තුළින් ශුද්ධලියවිල්ල ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන විට, එහි පවසන්නේ “උන් වහන්සේගේ වංශයෙන්” අන්‍යජාතීන් ආශීර්වාද ලබනු ඇති නොව, “උන් වහන්සේ තුළ” ඔවුන් ආශීර්වාද ලබනු ඇති බවයි. ඒ වචන මෙසේය: “උන් වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය; හිරු පවත්නා තෙක් උන් වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන් වහන්සේ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය; සියලු ජාතීහු උන් වහන්සේ වාසනාවන්ත යයි කියන්නෝය.”  එහෙත්, සියලු ජාතීන්ට ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශීර්වාද කර ඇත්නම් සහ සියලු ජාතීන්ට අයත් අපි උන් වහන්සේ අදහන්නෙමු නම්, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේය. එසේම උන් වහන්සේ තුළ ආශීර්වාද ලබන අය අපි වෙමු. දෙවියන් වහන්සේ වරක් සූර්යයාට නමස්කාර කිරීමට ඉඩ ලබා දුන් බව ලියා ඇත. එහෙත් හිරු කෙරෙහි ඇති ඇදහිල්ල හේතුවෙන් මරණය දක්වා වේදනා විඳ මරණයට පත් වූ කිසිවෙකු ඔබට සොයා ගත නොහැකිය. එහෙත්, යේසුස් වහන්සේගේ නාමය වෙනුවෙන්, උන් වහන්සේගේ කෙරෙහි ඇදහිල්ල ඔවුන් ප්‍රතික්ෂේප කරනවාට වඩා, සියලු ආකාරයේ වධ හිංසාවලට ලක් වූ, සහ තවමත් දුක් විඳින සෑම ජාතියකම මිනිසුන් ඔබට සොයාගත හැකිය.   මක්නිසාද උන් වහන්සේගේ සත්‍යයේ සහ ප්‍රඥාවේ වචනය සූර්යයාගේ බලයට වඩා දිදුලන හා දීප්තිමත් එකකි. එසේම එය හදවතේ සහ මනසෙහි ගැඹුරට විනිවිද යන්නකි. එසේ ශුද්ධලියවිල්ල පවසන්නේ: “උන් වහන්සේගේ නාමය සූර්යාට ඉහළින් නැගී එන බවයි.” එසේම සෙකරියා එය මෙලෙස තහවුරු කරයි: “නැගෙනහිර යනු උන් වහන්සේගේ නාමයයි.” නැවතත් මෙසේ දක්වා ඇත: “ඔවුන් ගෝත්‍රයෙන් ගෝත්‍රයෙන් වැලපෙනු ඇත.” එහෙත්, උන් වහන්සේගේ පළමු පැමිණීමේදී උන් වහන්සේ එතරම් දීප්තිමත් හා බලවත් නම් (ගෞරවය හෝ රූප සම්පන්න බවක් නොමැතිව, උන් වහන්සේ නින්දාවට ලක් වූ විට), උන් වහන්සේ සෑම ජාතියකම අය දනිති. එසේම  සෑම ජාතියකම සමහර මිනිසුන් ඔවුන්ගේ කලින් ගත කළ දුෂ්ට ජීවිත පැවැත්ම ගැන පසුතැවිලි වී ඇත; එසේම යක්ෂයන් පවා උන් වහන්සේගේ නාමයට යටත් වෙයි, එමෙන්ම සියලු බලයන් සහ රාජ්‍යයන් මැරුණු අය සියල්ලන්ටම බිය වනවා වෙනුවට උන් වහන්සේගේ නාමයට වඩා බිය වෙයි.  උන් වහන්සේ තේජසින් පැමිණෙන විට, උන් වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ට ඔවුන් අපේක්ෂා කළ විවේකය සහ අනෙකුත් සෑම ආශීර්වාදයක්ම ලබා දෙන අතරම, උන් වහන්සේට ද්වේෂ කළ අය සහ ද්වේෂසහගත ලෙස උන් වහන්සේට පිටුපෑ සියල්ලන් මුළුමනින්ම විනාශ නොකරන සේක්ද? එබැවින්, ක්‍රිස්තුස් වහන්සේ කරණගොටගෙන ගලවනු ලැබ, අපට පියාණන් වහන්සේ විසින් එළිදරව් කරන ලද සියලු සත්‍යයන් දැනගැනීමට සහ ඒවා ඇසීමේ සහ අවබෝධ කරගැනීමේ විශේෂ කරුණා අනුග්‍රහය ලබා දී ඇත. මේ අනුව, උන් වහන්සේ උන් වහන්සේට මෙසේ කියන සේක: “එසේය, උන් වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරන ලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියන සේක.”

122 වන පරිච්ඡේදය

“ඔබ ඇත්තටම සිතන්නේ ඉහත සඳහන් ඡේදය ආගන්තුකයා සහ ආගමට හැරුණු තැනැත්තා සම්බන්ධව පවසන බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම එම පදය යොමු කරන්නේ යේසුස් වහන්සේ විසින් ඥානාලෝකය ලැබූ කිතුනුවන් වන අප පිළිබඳය. නිසැකවම, ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් ගැනද සඳහන් කළ හැකි නමුත්, උන් වහන්සේම තහවුරු කළ පරිදි එය මෙසේය, “ඔබ දැන් දෙගුණයක් නිරයේ පුත්‍රයන් බවට පත් වන්නහුය.” එබැවින් දිවැසිවරයාද ඔවුන් ගැන කතා නොකරන අතර අප ගැන කතා කරන්නේය.  ශුද්ධලියවිල්ල සාක්ෂි දරන්නේද අප ගැනය: “මම අන්ධයන් ඔවුන් නොදන්නා මාර්ගයක ගෙන යන්නෙමි. ඔවුන් නොදැන සිටි මාර්ගවල මම ඔවුන් ගමන් කිරීමට සලස්වන්නෙමි.” තවද මම සාක්ෂිකරු වෙමි, එසේම මා විසින් තෝරාගත් මාගේ සේවකයා  යයි ස්වාමිවූ දෙවියන් වහන්සේ කියන සේක.” එසේ නම්, ක්‍රිස්තුස් වහන්සේ මෙම සාක්ෂිය දෙන්නේ කාටද? පැහැදිලිවම, විශ්වාස කළ අයටය. එහෙත් ආගමට හැරුණු තැනැත්තන් විශ්වාස නොකරනවා පමණක් නොව, ඔවුන් ඔබ මෙන් දෙගුණයක් උන් වහන්සේගේ නාමයට අපහාස කරන්නහුය. එසේම ඔවුහු උන් වහන්සේ තුළ විශ්වාස කරන අපට වධ දී මරා දැමීමට උත්සාහ කරති. මන්ද ඔවුන් සෑම දෙයකදීම ඔබගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරන බැවිනි. එසේම තවත් තැනක උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ස්වාමීන් වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද කොට නියම කරන්නෙමි.  එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.” මහත්වරුනි, මෙම වචනද ක්‍රිස්තුස් වහන්සේ ගැන කථා කර ඇති අතර ඥානාලෝකය දෙන ලද අන්‍යජාතිකයන් ගැන සැලකිලිමත් වේ. එසේත් නැතිනම් උන් වහන්සේ නීතිය සහ ආගමට හැරුණු අය ගැන කතා කරන බව ඔබ නැවතත් ප්‍රකාශ කරන්නෙහිද?’

ඊට පසුව දෙවන දින පැමිණි අයගෙන් ඇතැමෙක් රංග ශාලාවක සිටින්නාක් මෙන් කෑගැසීමටට පටන් ගත්හ: ‘ඇයි නැත්තේ? උන් වහන්සේ අදහස් කරන්නේ නීතිය සහ එයින් ඥානාලෝකය ලැබූ අය ගැන නොවේද? ඇත්තෙන්ම මොවුහු ආගමට අලුතින් හැරුණු අය වෙති.’

‘එසේ නොවෙයි,’ මම ට්‍රිපෝ දෙස කෙලින්ම බලමින් පිළිතුරු දුනිමි, ‘මක්නිසාද, අන්‍යජාතිකයන් සහ එය හිමි කර ගන්නා සියල්ලන් දැනුවත් කිරීමට ව්‍යවස්ථාවට බලය තිබේ නම්, නව ගිවිසුමක් සඳහා ඇති අවශ්‍යතාවය කුමක්ද? එහෙත්, දෙවියන් වහන්සේ නව ගිවිසුමක් සහ සදාකාලික නීතියක් සහ ආඥාවක් එවන බව කලින්ම පවසා ඇති බැවින්, අප ඉහතින් උපුටා දක්වන ලද කොටස පැරණි නීතියට සහ එම ආගමට හැරෙන්නන් සම්බන්ධයෙන් පවසන ලද්දක් බවට අදාළ නොකළ යුතු අතර, ක්‍රිස්තුස් වහන්සේට සහ උන් වහන්සේගේ ආගමට හැරුණු අයට, එනම් උන් වහන්සේ විසින් ඥානාලෝකය ලබා දෙන ලද අන්‍යජාතීන් වන අපට එය අදාළ කළ යුතුය. උන් වහන්සේ යම් ස්ථානයක මෙසේ පවසා ඇත: “ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පිළිගත හැකි කාලයකදී මම ඔබට ඇහුම්කන් දුනිමි, ගැලවීමේ දවසේදී මම ඔබට උපකාර කළෙමි; මම ඔබ මිනිසුන්ගේ ගිවිසුමක් වීමටත්, පොළොව පිහිටුවීමටත්, පාළු දේශයන් උරුම කර ගැනීමටත් දුනිමි.” එසේනම්, ක්‍රිස්තුස් වහන්සේගේ උරුමය කුමක්ද? ඒ අන්‍යජාතීහු නොවෙත්ද? දෙවියන් වහන්සේගේ ගිවිසුම කුමක්ද? එය ක්‍රිස්තුස් වහන්සේ නොවන සේක්ද? එබැවින් උන් වහන්සේ ශුද්ධලියවිල්ලේ වෙනත් ස්ථානයක මෙසේ සඳහන් කරන සේක: “ඔබ මාගේ පුත්‍රයාය, අද මම ඔබ ජනිත කළෙමි. මාගෙන් ඉල්ලන්න, එවිට මම ඔබේ උරුමය සඳහා ඔබට විජාතීන් සහ පොළොවේ කෙළවර දක්වා ඔබේ සන්තකයටත් දෙන්නෙමි.”

123 වන පරිච්ඡේදය

“දැන්, මේ සියලු කොටස්වල ක්‍රිස්තුස් වහන්සේ සහ අන්‍යජාතීන් ගැන සඳහන් වන බැවින්, අනෙක් කොටස්වලද එය එසේ වන බව ඔබ පිළිගත යුතුය. මක්නිසාද චර්මඡේදනය වූ සියල්ලන්ම එකම නීතියක් බැඳ තබන බැවින්, ඔබේ ආගමට හැරුණු අයට නව ගිවිසුමක් අවශ්‍ය වන්නේ නැත. මන්ද, ශුද්ධලියවිල්ල ඔවුන් ගැන පහත පරිදි කථා කරන්නේය: “ආගන්තුකයාද ඔවුන් සමග සම්බන්ධ වන්නේය. එසේ ඔහු යාකොබ්ගේ වංශයට සම්බන්ධ වී ඒවා පිළිපදින්නේය.” (දෙවනුව, ආගමට හැරුණු අයට නව ගිවිසුමක් අවශ්‍ය වන්නේ නැත) මක්නිසාද, යුදෙව් ජනතාවගේ ශරීරයට ඇතුළත් කිරීම සඳහා චර්මඡේදනය කරන ලද ආගමට හැරුණු අය, එසේ කිරීමෙන් ඔබ අතර උපන් ස්වදේශිකයෙකු ලෙස සලකනු ලැබේ. එහෙත් ඒ ආකාරයේම සෙනඟක් ලෙස හඳුන්වනු ලැබීමට සුදුසු යැයි සලකනු ලබන අපද චර්මඡේදනය නොවූ බැවින් නිසි ජාතියක් වේ. ඊට අමතරව, ඔබේ ආගමට හැරුණු අයගේ ඇස් විවෘත වී ඇති නමුත් ඔබේම දෑස් එසේ විවෘත වී නැති බව සහ  ඔබ අන්ධ අය සහ බිහිරි අය ලෙස හැඳින්විය යුතු වූවත් ඔවුන් ඥානාන්විත බව ඔබ විශ්වාස කිරීම පවා විකාරයකි.   තවද ව්‍යවස්ථාව අන්‍යජාතීන්ට ලබා දුන් බව සහ එම නීතිය ඔබම නොදන්නා බව ඔබ ප්‍රකාශ කරන්නේ නම් එය තවත් විකාරයක් වනු ඇත. මක්නිසාද, ඔබ දෙවියන් වහන්සේගේ උදහසට බිය වන්නට ඇති අතර, නීති විරෝධී හා ඉබාගාතේ යන දරුවන් නොවන්නට ඇත. එහෙත් උන් වහන්සේ නැවත නැවතත් මෙසේ කියනු ඇසීමට බිය වනු ඇත: “නොඇදහිලිවන්ත දරුවන්,” එසේම: ” මගේ සේවකයන් මිස අන්ධ අය අන් කවුද? ඔවුන් පාලනය කරන අය මිස බිහිරි අය අන් කවුරුන්ද? තවද දෙවියන් වහන්සේගේ සේවකයෝ අන්ධ අය වෙති. ඔබ නිතර දකින නමුත් නිරීක්ෂණය කර නැත; ඔබේ කන් විවෘතව තිබුණත් ඔබ ඇහුම්කන් දුන්නේ නැත.” දෙවියන් වහන්සේ ඔබ ගැන කරන ප්‍රශංසාව යහපත් එකක්ද? එසේම දෙවියන් වහන්සේගේ සාක්ෂිය උන් වහන්සේගේ සේවකයන්ට ගැළපෙන්නක්ද? ඔබට මෙම වචන නිතර ඇසුණත් ඔබ ලජ්ජාවට පත්වන්නේවත්, දෙවියන් වහන්සේ තර්ජනය කරන විට ඔබ වෙව්ලන්නේවත් නැත. මක්නිසාද නුඹලා මෝඩ ලෙස මුරණ්ඩු සෙනඟකි. “එබැවින් ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක. බලව, මම මේ සෙනඟ ඉවත් කර, ඔවුන් පහ කරන්නෙමි, මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කර, නුවණැත්තන්ගෙන්  අවබෝධය සඟවන්නෙමි.” එසේම සාධාරණ ලෙස එය සිදු කරන්නෙමි. මක්නිසාද ඔබ ප්‍රඥාවන්ත නොවන සේම හෝ අවබෝධය නැති අය වන අතර, කපටි සහ ද්‍රෝහී වූ සෙනගක්ය; ඔබ ප්‍රඥාවන්ත වන්නේ නපුරු ක්‍රියාවන් කිරීම උදෙසා පමණක්ය. එහෙත් දෙවියන් වහන්සේගේ සැඟවුණු කැමැත්ත හෝ ස්වාමින් වහන්සේගේ විශ්වසනීය ගිවිසුම දැනගැනීමට හෝ උන් වහන්සේගේ සදාකාලික මාර්ග සොයා ගැනීමට කිසිසේත්ම නුසුදුසු සෙනඟක්ය. මේ හේතුව නිසා උන් වහන්සේ මෙසේ පවසන සේක: “මම ඉශ්‍රායෙල් සහ යුදා කෙරෙහි මනුෂ්‍ය වංශයක් සහ මෘගයන්ගෙන් වංශයක් ඇති කරන්නෙමි.” තවද යෙසායා කරණකොටගෙන උන් වහන්සේ තවත් ඉශ්‍රායෙල් ගැන මෙසේ කියන සේක: “ඒ දවසේදී ඉශ්‍රායෙල් අසිරියානුවන් සහ ඊජිප්තුවරුන් අතර තුන්වැනියා වනු ඇත, සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ පවසමින් ආශීර්වාද කළ දේශයේ වසන අය ආශීර්වාද ලත් වෙති: ඊජිප්තුවේ සිටින සහ අසිරියානුවන් අතර සිටින මාගේ සෙනඟ ආශීර්වාද ලබන්නෝය, මාගේ උරුමය ඉශ්රායෙල්ය.”  දෙවියන් වහන්සේ ආශීර්වාද කර මේ ජනතාව ඉශ්‍රායෙල් සෙනඟ යයි අමතන බැවින් සහ එය උන් වහන්සේගේ උරුමය බවට උස් හඬින් ප්‍රකාශ කරන බැවින්, ඔබ පමණක් ඉශ්‍රායෙල් සෙනඟ යැයි සිතමින් ඔබම රවටා ගැනීම ගැනත්, දෙවියන් වහන්සේ ආශීර්වාද කළ අයට ශාප කිරීම ගැනත් ඔබ කනගාටුව පත් නොවන්නේ මන්ද? ඇත්ත වශයෙන්ම, උන් වහන්සේ යෙරුසලම සහ අවට ප්‍රජාවන් හට කතා කළ විට, උන් වහන්සේ මෙසේ කී සේක: “මගේ සෙනඟ වන ඉශ්‍රායෙල්, මම ඔබ මත මිනිසුන් බිහි කරන්නෙමි, ඔවුන් ඔබ උරුම කරගනු ඇත, ඔබ ඔවුන්ගේ උරුමය වනු ඇත. ඔවුන්ගෙන් ඔබට තවදුරටත් දරුවන් අහිමි නොවනු ඇත.”

‘ඔබ පවසන්නට අදහස් කරන්නේ ඔබ ඉශ්‍රායෙල් බවත්, දෙවියන් වහන්සේ ඔබ ගැන මේ සියල්ල පැවසූ බවත්ද?’ ට්‍රිපෝ ඇසුවේය.

මම එයට මෙසේ පිළිතුරු දුනිමි. ‘අප දැනටමත් මේ ප්‍රශ්නය සෑම කෝණයකින්ම සාකච්ඡා නොකර තිබුණේ නම්, ඔබේ නොදැනුවත්කම නිසා පෙලඹී ඔබේ ප්‍රශ්නය අසන්නට ඇති බවට මා සිතන්නට ඉඩ තිබුණි.

එහෙත් මෙම කරුණ සනාථ කිරීමට, මා තර්ක ඉදිරිපත් කළ අතර ඒවාට  ඔබ එකඟ වූ බැවින්, ඔබේ ප්‍රශ්නය පැවසූ දේ නොදැන සිටීමේ ප්‍රතිඵලයක් නැතහොත් ඔබ විවාද කිරීමට ඇති ආශාවේ තවත් නිදසුනක් යැයි මට විශ්වාස කළ නොහැකිය. එහෙත් මෙහි සිටින නවකයින් වෙනුවෙන් මගේ තර්ක නැවත පවසන්නට අභියෝගයක් ලෙස මට සිතෙයි.’

ඔහු එයට එකඟ වෙමින් හිස වැනූ බැවින්, මම තවදුරටත් මෙසේ කියාගෙන ගියෙමි. ‘ඔබට එය ඇසීමට කන් තිබේ නම්, යෙසායාහි, දෙවියන් වහන්සේ, උපමාවකින් ක්‍රිස්තුස් වහන්සේ ගැන කථා කරමින්, උන් වහන්සේ යාකොබ් සහ ඉශ්‍රායෙල් යනුවෙන් හඳුන්වන සේක. ඒ අනුව උන් වහන්සේ මෙසේ කථා කරන සේක: “මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා යාකොබ්ය; මාගේ සිතට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා ඉශ්‍රායෙල්ය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය. ඔහු මොර නොගසන්නේය, ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය. ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශ කරන්නේය.  පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.” එබැවින්, ඔබගේ මුළු සෙනඟ ඉශ්‍රායෙල් යන වාසගම සහිත වූ යාකොබ් නමින් හැඳින්වූවාක් මෙන්ම, ක්‍රිස්තුන් වහන්සේගේ අණපනත්වලට කීකරු වන අපිද, දෙවියන් වහන්සේට අප බිහි කළ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන, කැඳවනු ලැබ ඇත්තෙමු. එසේම යාකොබ් සහ ඉශ්‍රායෙල්, යුදා සහ යෝසෙප් සහ දාවිත් යන අය මෙන්ම දෙවියන් වහන්සේගේ සැබෑ දරුවෝද වෙමුව.’

124 වන පරිච්ඡේදය

කිතුනුවන් වන අපද දෙවියන් වහන්සේගේ දරුවන් බව මා ප්‍රකාශ කළ නිසා මගේ සවන් දෙන්නන් කැළඹී ඇති බව මා දුටු විට, මම මෙලෙස පවසමින් ඔවුන්ගේ විරෝධය වළක්වා ගත්තෙමි. ‘මහත්වරුනි, මේ මිනිසුන් සියල්ලන්ම මහෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයන් බව සෑම ජාතියක්ම විනිශ්චය කිරීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේම ඔවුන්ගේ සභාව තුළ සිටින බව සහ ශුද්ධාත්මයාණන් වහන්සේ පවසන ආකාරය අසන්න. දාවිත් කරණකොටගෙන උන් වහන්සේගේ පැවසූ සහ ඒවා ඔබ  විසින්ම පරිවර්තනය කර ආකාරය අනුව එම වචන මෙසේය:  “දෙවියන් වහන්සේ දේව සභාවෙහි නැගිට සිටින සේක; උන් වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්චය කරන සේක.  තෙපි කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චය කරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?  දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චය කරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ට කරව්.  දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස්කරව්.  ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති. පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ.  තෙපි දෙවිවරුය, තෙපි සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ යයි කීයෙමි.  එහෙත් තෙපි මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය, අධිපතීන්ගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය.  දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චය කළ මැනව. මක්නිසාද ඔබ සියලු ජාතීන් හිමිකර ගන්නා සේක.” සෙප්තුවාජින්තයේ (ග්‍රීක භාෂාවෙන් පරණ ගිවිසුමට කියන නම)  මිනිසුන්ගේ අකීකරුකම, එනම් ආදම් සහ ඒවගේ අකීකරුකම සහ කුමාරවරුන්ගෙන් කෙනෙකුගේ වැටීම, එනම්, සර්පයා ඔහු ඒව රැවටූ නිසා මහත් වූ වැටීමකින් වැටීම සම්බන්ධයෙන් මෙසේ ලියා ඇත. “බලන්න, ඔබ මිනිසුන් මෙන් මැරෙන්නෙහිය, කුමාරවරුන්ගෙන් කෙනෙකු මෙන් වැටෙන්නෙහිය.” එහෙත්, මෙම කරුණ සම්බන්ධව වැඩිදුරටත් කතා කිරීම මගේ අරමුණ නොවන බැවින්, සහ දෙවියන් වහන්සේ මෙන් මවන ලද, වේදනාවෙන් හා මරණයෙන් නිදහස් වූ මිනිසුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ තරවටු කරන බව ඔබට ඔප්පු කිරීම මගේ අරමුණ බැවින්, ඔවුන් උන් වහන්සේගේ ශික්ෂාපදවලට කීකරු වූවා නම් සහ උන් වහන්සේ විසින් උන් වහන්සේගේ පුත්‍රයන් ලෙස හඳුන්වනු ලැබීමට සුදුසු යැයි සලකනු ලැබ ඇති නමුත්,   ආදම් සහ ඒව මෙන්, ඔවුන් තමුන් මතට මරණය ගෙනැවිත් ඇති බැවින්, ඔබ කැමති පරිදි ගීතිකාවට ඕනෑම අර්ථකථනයක් තබා ගන්න. ඔවුන් දෙවිවරුන් වීමට සුදුස්සන් ලෙස සලකනු ලැබූ බවත්, මහෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයන් වීමේ හැකියාව ඇති බවත් පෙන්වා දී ඇත. එසේ වූවත් ආදම් සහ ඒව මෙන් සෑම කෙනෙකුම විනිශ්චය කරනු ලැබ ඒත්තු ගන්වනු ලැබිය යුතුය. ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වන බවද මම දීර්ඝ වශයෙන් ඔප්පු කර ඇත්තෙමි.’

125 වන පරිච්ඡේදය

මම මෙසේ කීවෙමි.  ‘මහත්වරුනි, ඔබ මට ඉශ්‍රායෙල් යන නාමයේ වැදගත්කම පවසනවාට මම කැමතියි.’ එම පැනයට කිසිවෙකු පිළිතුරු නොදුන් විට, මම නොකඩවම තවදුරටත් කතා කරගෙන ගියෙමි. ‘හොඳයි, පැහැදිලි කිරීම යනුවෙන් මා සිතන දෙය මා ඔබට පවසන්නම්. මන්ද, මා යමක් දන්නා විට, එය අන් අය සමඟ බෙදා නොගැනීම නිවැරදි යැයි මා විශ්වාස නොකරන නිසාය.  මගේ ප්‍රශ්නයට පිළිතුර ඔබ දන්නවා යැයි සැක කරමින්, එහෙත් ඊර්ෂ්‍යාවෙන් නැතහොත් ඔබම රවටාගනිමින් අත්දැකීම් නොමැතිකම හේතුවෙන් ස්වෙච්ඡාවෙන් තීරණ ගැනීම තුළින් ඔබ  සෑම විටම කනස්සල්ලෙන් සිටීම නිවැරදි යැයි මා විශ්වාස නොකරමි. මගේ ස්වාමින් වහන්සේ පැවසූ පරිදි සරලව හා අවංකව කතා කිරීමට මම මොහොතකට පසුබට නොවෙමි. “බලව, වපුරන්නා වපුරන්ට ගියේය;  ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය.  සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටුණේය.  අන් සමහරක් කටු අතරෙහි වැටුණේය. තවත් සමහරක් සරු බිමෙහි වැටුණේය.” එබැවින් යමෙකු කතා කළ යුත්තේ ඔහුගේ වචන කෙසේ හෝ සරු බිමෙහි වැටෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්ය. මන්ද, උන් වහන්සේගේ පැමිණීමේදී, මාගේ ශක්තිමත් හා බලවත් ස්වාමින් වහන්සේ සියල්ලන්ගෙන් උන් වහන්සේගේ දේපළ ඉල්ලා සිටිනු ඇත. එහිදී උන් වහන්සේ නැවත පැමිණ තමන්ගේ උරුමය ඉල්ලා සිටින කල, උන් වහන්සේ ශක්මත් සහ බලවත් බව දැනගෙන, ඔහු කිසිම බැංකුවක එම ධනය නොතබා පොළොව හාරා එහි එය සඟවා තැබූ බව දැකීමෙන් ඔහුගේ භාරකරුට චෝදනා කරනු ඇති බව භාරකරුවා දැනගෙන සිටින බැවිනි.    ‍

‘ඉශ්‍රායෙල් යන නමේ තේරුම බලය ජය ගන්නා මිනිසෙකි, මන්ද ඉස්රා යනු “ජයග්‍රහණය කරන මිනිසෙක්” යන්න සහ එල් යනු “බලය” යන්න වේ. ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයෙකු වූ විට මෙය කරනු ඇති බව මෙසේ පුරෝකථනය කරන ලද්දේ යාකොබ් තමාට දර්ශනය වූ උන් වහන්සේ සමග පොරබැදීමේ අභිරහසෙ මගිනි. එහිදී ක්‍රිස්තුස් වහන්සේ  දෙවියන් වහන්සේගේ කැමැත්ත උපස්ථාන කළ සේක. එසේ වූවත් උන් වහන්සේ දෙවියන් වහන්සේය, මන්ද උන් වහන්සේ සියලු මැවිලිවල ප්‍රථමයෙන් උත්පාද කළ තැනැන් වහන්සේ වන බැවිනි. මක්නිසාද, මා දැනටමත් පවසා ඇති පරිදි, උන් වහන්සේගේ මාංසවත් වීමෙන් පසුව, යක්ෂයා (සර්පයා සහ සාතන් ලෙසද හැඳින්වෙන එම බලය) උන් වහන්සේ වෙත ළඟා වී – උන් වහන්සේ පරීක්ෂාවට ලක් කර ඔහුට නමස්කාර කරන ලෙස ඉල්ලා උන් වහන්සේ ජය ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඔහු ක්‍රිස්තුස් වහන්සේ විසින් මුළුමනින්ම තලා දමා පරාජය කරන ලද අතර, ඔහු ශුද්ධලියවිල්ල උල්ලංඝනය කරමින්, දෙවියන් වහන්සේට මෙන් තමාට නමස්කාර කරන ලෙස ඉල්ලා සිටි විට, ඔහුගේ දුෂ්ටකම ගැන උන් වහන්සේ ඔහු වරදකරු බවට කළ අතර, එමගින් දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔහු ඇදහිල්ල අත්හළ අයෙකු බවට පත් විය. උන් වහන්සේගේ පිළිතුර මෙයයි: “ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේට පමණක් නමස්කාර කරන්න. ඔබ උන් වහන්සේට පමණක් සේවය කරන්න යනුවෙන් ලියා ඇත.”

‘යක්ෂයා පරාජයට පත් කරනු ලැබ තරවටු කරනු ලැබ පිටව ගියේය. යාකොබ්ගේ කලව ස්පර්ශ කර එය හිරිවැට්ටවීමෙන් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වූයේ උන් වහන්සේද හිරිවැටෙන බවයි. එනම්, උන් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමේදී සිදු වන (ශාරීරික හා මානසික දුක් විඳීමයි). එහෙත් පුරාණ කාලයේ සිටම උන් වහන්සේගේ නාමය ඉශ්‍රායෙල් විය – උන් වහන්සේ ආශීර්වාද ලත් යාකොබ්ට උන් වහන්සේගේ නාමය ලබා දීමෙන් ආශීර්වාද කළ විට උන් වහන්සේ ඔහු වෙත ප්‍රදානය කළ නමක්, උන් වහන්සේ තුළින් පියාණන් වහන්සේ වෙතට එන සියල්ලන්ම ආශීර්වාද ලත් ඉශ්‍රායෙලයේ කොටසක් බව ප්‍රකාශ කළ සේක. කෙසේ වෙතත්, ඔබ මේ කිසිවක් තේරුම් ගෙන නැති අතරම, එයින් කිසිවක් තේරුම් ගැනීමට කිසිදු උත්සාහයක් ඔබ නොගන්නෙහුය. එහෙත්, ඔබ මාංසයට අනුව යාකොබ්ගෙන් පැවත එන්නන් වන නිසා පමණක් ගැලවීම ලැබෙනු ඇතැයි සහතිකයක් අපේක්ෂා කරන්නහුය. මම නැවත නැවතත් පෙන්වා දුන් පරිදි ඔබ නැවතත් ඔබම රවටා ගන්නෙහුය.’

126 වන පරිච්ඡේදය

මම තවදුරටත් මෙලෙස කියා සිටියෙමි. “ඒත්, ට්‍රිපෝ, සමහර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨ උපදේශනයේ දූතයා සහ එසකියෙල් විසින් මනුෂ්‍යයා ලෙසත්, දානියෙල් විසින් මනුෂ්‍ය පුත්‍රයා ලෙසත්, යෙසායා විසින් දරුවෙකු ලෙසත්, දාවිත් විසින් ගෞරවය ලැබිය යුතු වූ ක්‍රිස්තුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ ලෙසත්, බොහෝ අනාගතවක්තෘවරුන් විසින් ක්‍රිස්තුස් වහන්සේ සහ ගල ලෙසත්, සහ සලමොන්, යෝසෙප් සහ යුදා විසින් ප්‍රඥාව ලෙසත්, මෝසෙස් විසින් තාරකාවක් ලෙසත්, සෙකරියා විසින් නැගෙනහිර ලෙසත්, නැවතත් යෙසායා විසින්ම දුක් විඳින තැනැත්තා සහ යාකොබ් සහ ඉශ්‍රායෙල් සහ සැරයටියක් සහ මල සහ කොනේ ගල සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙසත්,දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ලෙසත් හඳුන්වනු ලබන උන් වහන්සේ කවුද යන්න ඔබ දැන සිටියේ නම්, මනුෂ්‍ය ස්වභාවය රැගෙන, මෙහි පැමිණ, දුක් විඳ, ස්වර්ගයට නැඟී සිටින උන් වහන්සේට ඔබ අපහාස නොකරනු ඇත. උන් වහන්සේ නැවතත් පැමිණෙනු ඇත. එවිට ඔබේ ගෝත්‍ර දොළොස හඬා වැලපෙනු ඇත. ඇත්ත වශයෙන්ම, ඔබ අනාගතවක්තෘවරුන්ගේ වදන් තේරුම් ගෙන තිබුණේ නම්, උන් වහන්සේ දෙවියන් වහන්සේ, එකම දෙවියන් වහන්සේගේ පුත්‍රයා, උපත නොලැබුවාවූ තැනැන් වහන්සේ, අසමසම දෙවියන් වහන්සේ බව ඔබ ප්‍රතික්ෂේප නොකරනු ඇත. මන්ද, නික්මයාම පොතේ එක් ස්ථානයක මෝසෙස් මෙසේ පැවසීය:

“තවද දෙවියන් වහන්සේ මෝසෙස්ට කථාකොට: මම යෙහෝවඃ වහන්සේය. මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්වපරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස පෙනුණෙමි, නුමුත් යෙහෝවඃ යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශ නූණෙමි. ඔවුන් විදේශීව සිටියාවූ ඔවුන්ගේ පොරොත්තුව සිටීමේ රට වූ කානාන් දේශය ඔවුන්ට දෙන පිණිස ඔවුන් සමග මාගේ ගිවිසුමද පිහිටෙවුවෙමි.” එසේම නැවතත්, “මිනිසෙක් යාකොබ් සමඟ පොරබැදුවේය” යනුවෙන් පවසන විට, මිනිසා දෙවියන් වහන්සේ බව ඔහු ප්‍රකාශ කරයි. මන්ද “මම දෙවියන් වහන්සේ මුහුණට මුහුණ දුටුවෙමි, එහෙත් මම ජීවත් වෙමි,” යයි යාකොබ් ප්‍රකාශ කළ බව ඔහු ප්‍රකාශ කරන නිසාය. එසේම යාකොබ් දෙවියන් වහන්සේ තමාට දර්ශනය වූ ස්ථානය, ඔහු සමඟ පොරබැදූ ස්ථානය සහ ඔහුට ආශීර්වාද කළ ස්ථානය “දෙවියන් වහන්සේගේ මුහුණ” ලෙස නම් කළ බවට මෝසෙස් සාක්ෂි දරයි. ආබ්‍රහම්  දහවල් ඔහුගේ කූඩාරමේ දොරටුව අසල වාඩි වී සිටියදී  මම්රේගේ අලෝන ගස ළඟදී   දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දර්ශනය වූ බවද  මෝසෙස් ප්‍රකාශ කරයි. ඉන්පසු ඔහු තවදුරටත් මෙසේ කියයි: “ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමීන් වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණුසේක; ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛ වන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිව ගියේය.” ඉන් මඳ වේලාවකට පසුව ඒ තිදෙනාගෙන් එක් අයෙකු ආබ්‍රහම් හට දරුවෙකු දෙන බවට පොරොන්දු වෙයි: “එවිට ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: මහලුවූ මම සැබවින් දරුවෙකු වදන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද? ස්වාමීන් වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. ඔව්හු ආබ්‍රහම් වෙතින් ඉවත්ව ගියහ.”    තවද, නැවතත්, ඔහු මේ මිනිසුන් ගැන මෙසේ කථා කරයි: “ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය.” පසුව සිටියා වූ සහ සිටින්නා වූ තැනැන් වහන්සේ ආබ්‍රහම්ට මේ වචන කී සේක: “ස්වාමීන් වහන්සේ: මා කරන්ට යන දේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද?”  (ඉන්පසු මම එයට පසුව දක්වා තිබෙන මෝසෙස්ගේ වදන් නැවත ප්‍රකාශ කරමින් මා කලින් පැහැදිලි කළ වචන නැවත කීවෙමි.) මම තවදුරටත් මෙසේ පැවසුවෙමි. ‘මේ කොටස්වලින්, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ අනෙකුත් කුලදෙටුවන්ට පෙනී සිටි තැනැන් වහන්සේ, පියාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ විසින් පත් කරන ලද තැනැන් වහන්සේ සහ උන් වහන්සේගේ කැමැත්තට අනුව සේවය කරන තැනැන් වහන්සේ සහ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන බව ස්ථිරවම ඔප්පු වී ඇත. ඉන්පසුව මා මෙයට කලින් නොකියූ දේ එයට එකතු කළෙමි: ‘එබැවින්, මිනිසුන් මස් කන්නට කැමති වූ අවස්ථාවේදී, මෝසෙස්ට එහි දේවදූතයෙකු ලෙස හඳුන්වන උන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නොතිබූ විට, දෙවියන් වහන්සේ ඔවුන්ට අනුභව කළ හැකි මස් සියල්ල දෙන බවට උන් වහන්සේ පොරොන්දු වූ විට, උන් වහන්සේම, දෙවියන් වහන්සේ සහ පියාණන් වහන්සේ විසින් එවන ලද දේව දූතයා වන නිසා, මේ සියල්ල පැවසූ බව හා සිදු කළ බව පෙන්වයි. මක්නිසාද, ශුද්ධ වූ ශුද්ධලියවිල්ල මෙසේ පවසයි: “ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන් වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ට වේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක.” “නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහියයි ස්වාමීන් වහන්සේ මට කීසේක. නුඹේ දෙවිවූ ස්වාමීන් වහන්සේ නුඹට පෙරටුව එතරට යනසේක; උන් වහන්සේම නුඹ ඉදිරියෙන් මේ ජාතීන් විනාශකරනසේක, නුඹ ඔවුන්ගේ දේශය හිමිකරගන්නෙහිය.”

127 වන පරිච්ඡේදය

ව්‍යවස්ථාවෙහි සහ අනාගතවක්තෘවරුන්ගේ අනෙකුත් කොටස් ඉහත උපුටා දක්වන ලද වචනවලට බෙහෙවින් සමානය. තවද, “එවිට දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග කථා කිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක,” හෝ “ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කියනසේක්,” හෝ “එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන් වහන්සේ බැස්සසේක,” හෝ “ස්වාමීන් වහන්සේ නෝවා ඇතුල්කොට නැවෙහි දොර වැසූ සේක,” හෝ යනුවෙන් දෙවියන් වහන්සේ පවසන විට, උපත නොලැබුවාවූ දෙවියන් වහන්සේ කොයි යම් ස්ථානයකින් හෝ බැස එය බව හෝ කොයි යම් ස්ථානයකට හෝ නැග යන බවට ඔබ නොසිතිය යුතුය. මා ඒ බව ප්‍රමාණවත් ලෙස පෙන්වා දී ඇති බව මම අනුමාන කරමි. මන්ද, අසමසම පියාණන් වහන්සේ සහ සියල්ලන්ගේ ස්වාමින් වහන්සේ කිසිම තැනකට නොපැමිණෙන සේක, නොඇවිදින සේක, නොනිදන සේක, නොනැගිටින සේක. එහෙත් සැම විටම උන් වහන්සේගේම ස්ථානයෙහි රැඳී සිටින සේක. එය කුමන ස්ථානයක වූයේ නමුත්, ඇසින් හෝ කන්වලින් නොව, විස්තර කළ නොහැකි බලයකින් තියුණු ලෙස උන් වහන්සේට පෙනෙන අතර, උන් වහන්සේ දකින සේක. එහෙත් උන් වහන්සේ සියල්ල සමීක්ෂණය කරන සේක, සියල්ල දන්නා සේක. එසේම අප කිසිවෙකුට උන් වහන්සේගේ අවධානයෙන් ඉවත්ව සිටිය නොහැකිය. විශ්වය මැවීමට පෙර සිටම උන් වහන්සේ සිටි බැවින්, මුළු විශ්වයේම පමණක් නොව, කිසිම ස්ථානයකට රඳවා තැබිය නොහැකි උන් වහන්සේ චලනය නොවන සේක. එසේ නම්, සීනයිහිදී දෙවියන් වහන්සේගේ දූතයාගේ තේජස මිනිසුන්ට දැකීමට නොහැකි වූයේ නම්, මෝසෙස් විසින් ගොඩනඟන ලද මණ්ඩපයට ඇතුළු වීමට ඔහුට බලය නොතිබූ අවස්ථාවේදී, එනම් එය දෙවියන් වහන්සේගේ තේජසින් දීප්තිමත් වූ අවස්ථාවේදී එයට ඇතුළු වීමට ඔහුට නොහැකි වී නම්; සාලමොන් ගිවිසුම් පෙට්ටිය  යෙරුසලමෙහි ඉදි කළ ගොඩනැඟිල්ලට ගෙන එන විට පූජකයාට දේව මාලිගය ඉදිරිපිට සිටගෙන සිටීමට නොහැකි වූයේ නම්, උන් වහන්සේ කිසිවෙකු සමග කතා කළේ හෝ කිසිවෙකු විසින් දකිනු ලැබුවේ හෝ ලෝකයේ කුඩාම ස්ථානයක පෙනී සිටීමට උන් වහන්සේට හැකි වූයේ හෝ කෙසේද? මේ අනුව, ආබ්‍රහම් හෝ ඊසාක් හෝ යාකොබ් හෝ වෙනත් කිසිම මිනිසෙකු හෝ සියලු මැවිලිවල සහ ක්‍රිස්තුස් වහන්සේගේම පියාණන් වහන්සේ සහ අසමසම ස්වාමින් වහන්සේ දුටුවේ නැත. එහෙත් [ඔවුන් දුටුවේ] දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව දෙවියන් වහන්සේ පුත්‍රයා සහ උන් වහන්සේගේ දූතයා වන තැනැන් වහන්සේය. මන්ද උන් වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්තට සේවය කළ නිසාය; උන් වහන්සේ, පියාණන් වහන්සේගේ කැමැත්තෙන්, කන්‍යාවක කරණකොටගෙන මිනිසෙකු බවට පත් වූ සේක; උන් වහන්සේම මෝසෙස් සමඟ පඳුර තුළින් කතා කරන විට ගින්න බවට පත් වූ සේක. අපි ශුද්ධලියවිල්ල මේ ආකාරයෙන් අර්ථකථනය නොකරන්නෙමු නම්, මෝසෙස් මෙසේ විස්තර කළ කාරණාව සිදු වූ අවස්ථාවේදී සියල්ලන්ගේම පියාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ ස්වර්ගයේ නොසිටි බව නිගමනය කිරීමට අපට බල කෙරෙනු ඇත: “එවිට ස්වාමීන් වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන් වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා ඒ නුවරවල්ද මුළු සමභූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියෙහි හටගත් දේද විනාශකළසේක.” “ද්වාරයෙනි, තොපගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.” එසේම නැවතත් ඔහු මෙසේ පවසයි. “ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනෙතක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක.”

128 වන පරිච්ඡේදය

ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බවත් පුත්‍රයාණන් වන දෙවියන් වහන්සේ බවත් දීර්ඝ ලෙස ඔප්පු කිරීමට මම මහත් සැලකිල්ලක් දැක්වූයෙමි. උන් වහන්සේ අතීතයේදී මනුෂ්‍යයා සහ දේවදූතයා ලෙසට, එසේම පඳුරෙහිදී මෙන් ගින්නේ තේජසින්ද, සොදොමට විරුද්ධව විනිශ්චය ක්‍රියාත්මක කිරීමට උන් වහන්සේගේ පැමිණීමෙන්ද උන් වහන්සේ බලයෙන් යුක්තව පෙනී සිටි සේක. උන් වහන්සේගේ බලයෙන් ‘මිනිසා සහ දේව දූතයා ලෙසද, පඳුරෙහි මෙන් ගින්නේ තේජසින්ද, සොදොමට විරුද්ධව විනිශ්චය ක්‍රියාත්මක කිරීමට උන් වහන්සේ පැමිණ සිටි බවත්ය. පසුව මම නික්මයාම පොතෙන් පඳුරෙහි දර්ශනය සහ යේසුස් (ජෝසු) යන නාමය පැනවීම සම්බන්ධයෙන් දැනටමත් මා විසින් උපුටා දක්වන ලද සියල්ල නැවත නැවතත් කීවෙමි. ‘මහත්වරුනි, කරුණාකර මගේ වචන වැඩිකම හෝ පැහැදිලි කිරීම්වලදී නැවත නැවතත් එකම දේ පැවසීම පිළිබඳ මට චෝදනා නොකරන්න. මගේ ප්‍රකාශයන් තරමක් දිගුය. එයට හේතුව වන්නේ ඔබගෙන් සමහරෙක් ඒවා අපේක්ෂා කිරීමට යන බව මා දන්නා නිසාත්, විශ්වයේ පියාණන් වහන්සේ වෙතින් එවන ලදුව මෝසෙස්ට, ආබ්‍රහම්ට හෝ යාකොබ්ට දර්ශනය වූ බලය මිනිසුන් වෙතට පැමිණි නිසා දේවදූතයා ලෙසින් හැඳින්වූ බවත්, එයට හේතුව උන් වහන්සේ මනුෂ්‍යයින් වෙත පැමිණි බවත් ඔබ ප්‍රකාශ කරන්නට යන බව මා දන්නා නිසාත්ය. (එම බලයෙන් පියාණන් වහන්සේගේ පණිවුඩ මිනිසුන්ට ලබා දෙන බැවින්) උන් වහන්සේ මහිමය ලෙස හඳුන්වනු ලැබේ. මන්ද උන් වහන්සේ සමහර අවස්ථාවලදී අන්තර්ගත කළ නොහැකි දර්ශනවලින් පෙනී සිටින බැවිනි. උන් වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස හඳුන්වනු ලැබේ. මන්ද උන් වහන්සේ පියාණන් වහන්සේ සතුටු වන ආකාරවලින් සැරසී සිටින ප්‍රකාශ වන බැවිනි. තවද ඔවුහු උන් වහන්සේ වචනය ලෙස හඳුන්වති, මන්ද උන් වහන්සේ පියාණන් වහන්සේගේ දේශනා මිනිසුන්ට එළිදරව් කරන බැවිනි. එහෙත් සමහර අය මෙම බලය අදෘශ්‍යමාන බව සහ පෘථිවියේ සූර්යයාගේ ආලෝකය පියාණන් වහන්සේ වෙතින් අදෘශ්‍යමාන බව සහ පියාණන් වහන්සේගෙන් වෙන් කළ නොහැකි බව උගන්වති. ඒ අහසේ සූර්යයාගෙන් පොළොවේ සූර්යයගේ ආලෝකය වෙන් කළ නොහැකි ආකාරය හා සමාන වන බව උගන්වති. මන්ද, හිරු බැස යන විට එහි ආලෝකය පෘථිවියෙන් අතුරුදහන් වන බැවිනි. එබැවින්, පියාණන් වහන්සේට උන් වහන්සේගේ කැමැත්තෙන් උන් වහන්සේගේ බලය පිටතට යාමට සහ උන් වහන්සේ කැමති ඕනෑම අවස්ථාවක, නැවත පැමිණීම ඇතිකිරීමට හැකි බව ඔවුහු කියා සිටිති. මේ ආකාරයෙන්, දෙවියන් වහන්සේ දේවදූතයන් ද සෑදූ බව ඔවුහු ප්‍රකාශ කරති. එහෙත් දේවදූතයන් සැමවිටම පවතින බවත්, ඔවුන් නිර්මාණය කරන ලද තත්වයෙන් නැවතත් අඩු තත්වයකට පත් නොවන බවත් ඔප්පු වී ඇත. අනාවැකිමය වචනයෙන් දෙවියන් වහන්සේ සහ දේවදූතයා ලෙස හඳුන්වන මෙම බලය එහි නාමයෙන් වෙනස් ලෙස අංකනය කරනවා පමණක් නොවන (සූර්යාගේ ආලෝකය මෙන්) බව මම දීර්ඝ ලෙස පෙන්වා දී ඇත්තෙමි. එහෙත් එය තාත්වික සංඛ්‍යාවෙන් වෙනස් දෙයක් බව මම දැනටමත් කෙටියෙන් සාකච්ඡා කළෙමි. මන්ද මෙම බලය පියාණන් වහන්සේගෙන්, උන් වහන්සේගේ බලයෙන් සහ කැමැත්තෙන් උත්පාදනය වූ බවත්, පියාණන් වහන්සේගේ භෞතික පදාර්ථය බෙදී ගියාක් මෙන්, ඒවා බෙදීමට පෙර තිබූ ආකාරයටම නොව අන් ලෙසකින් ඇති වූවක් නොවන බවත්, අනෙකුත් සියලු දේ සම්බන්ධයෙන් ගත් කල, ඒවා බෙදී, වෙන් කර කපා ඉවත් කළ පසුව, එය බෙදීමට පළමුවෙන් තිබුණාක් මෙන් නොවන ආකාරයෙන් නොවන බවත් මම ප්‍රකාශ කළෙමි. මෙම කරුණ නිදර්ශනය කිරීම සඳහා, මම ගින්නෙන් ඇවිලෙන ගිනි නිදසුන ගෙනහැර දැක්වූවෙමි. ඇවිලුණු ගින්න ඇත්ත වශයෙන්ම මුල් ගින්නට වඩා වෙනස්ය, එය වෙනත් බොහෝ ගිනි ඇවිලුවද, තවමත් නොමැකෙන ගින්නක් ලෙස පවතී.”

129 වන පරිච්ඡේදය

‛මෙම කරුණ සනාථ කිරීම සඳහා, මම දැනටමත් උපුටා දක්වන ලද ශුද්ධලියවිලි කොටස් කිහිපයක් මම දැන් නැවතත් පවසමි. “එවිට ස්වාමීන් වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන් වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා,” යන අනාවැකියේ වදන් පවසන විට, එයින් ඇඟවෙන්නේ ඔවුන් සංඛ්‍යාවෙන් දෙදෙනෙකු එහි සිටි බවයි: සොදොමෙහි වැසියන්ගේ මොරගැසීම දැකීම පිණිස බැස පැමිණි එක් කෙනෙක් මිහිපිට සිටින අතර, පෘථිවියේ සිටින එම ස්වාමීන්ගේ ස්වාමින් වහන්සේ වන තවත් එක් අයෙක් ස්වර්ගයෙහි සිටින සේක. එසේ ඒ පියාණන් වහන්සේ සහ උන් වහන්සේගේ පැවැත්මෙහි හේතුව වන දෙවියන් වහන්සේ ලෙස සහ බලවත් තැනැන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ සහ දෙවියන් වහන්සේ ලෙසය. “බලන්න, ආදම් අපෙන් කෙනෙකු මෙන් වී ඇත,” යනුවෙන් ආරම්භයේදී දෙවියන් වහන්සේ පැවසූ බව ශුද්ධලියවිල්ලේ සඳහන් වන විට, “අපගෙන් කෙනෙකු මෙන් වී ඇත” යන වාක්‍ය ඛණ්ඩය සංඛ්‍යාව පිළිබඳ සාක්ෂියක් වන අතර, එය ඥානවාදීන් කිරීමට උත්සාහ කරන පරිදි රූපකාර්ථයෙන් අර්ථ දැක්විය නොහැකිය. ඔවුහු සත්‍යය නොදන්නා අතර සත්‍යය කතා නොකරති. තවද ප්‍රඥාව පොත මෙසේ පවසයි: “මා දෛනික සිදුවීම් ඔබට පැවසන්නට ගියහොත්, මට මුල සිටම ඒවා ගණන් කිරීමට සිදුවනු ඇත. මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි. ස්වාමීන් වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන් වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී මා පිහිටෙවුසේක. පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි. ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි. කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, කඳුවලට පළමුවෙන්, උන් වහන්සේ පොළොව සහ කෙත් ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.”

මේ අවස්ථාවේදී මම මෙසේ පැවසුවෙමි. ‘මහත්වරුනි, ඔබ මා පැවසූ දෙයට සමීපව අවධානයෙන් සවන් දුන්නා නම්, සියලු මැවිලිවලට පෙර පුත්‍රයා පියාණන් වහන්සේගෙන් උපත ලැබූ බව ශුද්ධලියවිල්ල ප්‍රකාශ කරන බව ඔබට දැකගත හැකිය. එසේම පුත්‍රයා සංඛ්‍යාත්මකව පියාණන් වහන්සේගෙන් වෙනස් බව සියලු දෙනාම පිළිගනු ඇත.’

130 වන පරිච්ඡේදය

ඔවුන් සියල්ලන්ම එයට එකඟ වූ විට, මම තවදුරටත් මෙසේ කීවෙමි. ‘දැන්, මා තවමත් සඳහන් කර නැති ශුද්ධලියවිල්ලේ කොටස් කිහිපයක් උපුටා දැක්වීමට මට දැන් අවසර දෙන්න. ඒවා එම විශ්වාසවන්ත සේවක මෝසෙස් විසින් උපමාවකින් කථා කරන ලද අතර, ඒවා මෙසේ ආරම්භ වේ: “ස්වර්ගයෙනි, උන් වහන්සේ සමග ප්‍රීති වන්න, දෙවියන් වහන්සේගේ සියලු දූතයන් උන් වහන්සේට නමස්කාර කරන්න.” ඉන්පසුව මම එම කොටසෙහි සඳහන්ව ඇති පහත දැක්වෙන ඉතිරි කොටස උපුටා ගත්තෙමි: “අන්‍යජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමග ප්‍රීති වන්න, දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේ තුළ ශක්තිමත් වෙත්වා; මක්නිසාද උන් වහන්සේ පළිගන්නා සේක. තම පුත්‍රයන්ගේ උන් වහන්සේ ලේ ගැන පළිගන්නා සේක. එසේම උන් වහන්සේගේ සතුරන් කෙරෙහි පළිගැනීම ප්‍රකාශ කරන සේක. එසේම උන් වහන්සේට වෛර කරන අයට දඬුවම් කරන සේක. එසේ ස්වාමින් වහන්සේ තම සෙනඟගේ දේශය පවිත්‍ර කරනවා ඇත.” මෙම වචනවලින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ අන්‍යජාතීන් වන අප උන් වහන්සේගේ සෙනඟ, එනම් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, අනාගතවක්තෘවරුන් සහ ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේට ප්‍රසන්න වන සෑම යුදෙව්වෙකු සමඟම ප්‍රීති වන බවයි. එම කරුණ සම්බන්ධයෙන් අපි දැනටමත් එකඟ වී ඇත්තෙමු. එහෙත් මෙම වචන ඔබගේ ජාතියේ සියලුම සාමාජිකයින්ට අදාළ නොවන බව අපි දනිමු. මන්ද යෙසායා  අපට පවසන්නේ පව්කාරයන්ගේ අත් පා පණුවාගෙන් සහ නොනිවෙන ගින්නෙන් දවාලන නමුත්, ඒ සියල්ල සමග මිනිසුන් සැමට දර්ශනයක් ලෙස අමරණීයව පවතින බවයි. දැන්, මහත්වරුනි, මම මෝසෙස්ගේ වෙනත් කොටස් ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එනම් ආරම්භයේදී දෙවියන් වහන්සේ ජාතිය සහ භාෂාව අනුව සියලු මිනිසුන් විසුරුවා හරින ලද බවත්, ඒ සියලු ජාතීන්ගෙන් උන් වහන්සේ තමන් වහන්සේ උදෙසා ඔබේ ජාතිය – එනම් වැඩකට නැති, අකීකරු, සහ ඇදහිල්ල නැති ජාතිය තෝරා ගත් බවත් ඔබ තේරුම් ගනු ඇත. තවද තෝරාගත් සෑම ජාතියක්ම අය උන් වහන්සේගේ කැමැත්තට ක්‍රිස්තුස් වහන්සේ තුළින් කීකරු වී ඇති බව උන් වහන්සේ පෙන්වා දුන් සේක. උන් වහන්සේ යාකොබ් ලෙස හඳුන්වන අතර, ඉශ්‍රායෙල් යන වාසගම ලබා දී ඇත. එබැවින් මා දීර්ඝ වශයෙන් ඔප්පු කර ඇති ආකාරයට, ඔවුන්ද (කිතුනුවන්ද) යාකොබ් සහ ඉශ්‍රායෙල් විය යුතුය. මන්ද, “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමග ප්‍රීති වන්න” යනුවෙන් උන් වහන්සේ ප්‍රකාශ කරන විට, උන් වහන්සේ ඔවුන්ට සමාන උරුමයේ ලබා දී ඔවුන්ට සමාන නමක් ආරෝපණය කරන සේක; එහෙත් ඔවුන් “විජාතීන්” ලෙස හැඳින්වීමෙන් සහ ඔවුන් තම සෙනඟ සමග ප්‍රීති වන බව ප්‍රකාශ කිරීමෙන් උන් වහන්සේ එසේ සිදු කරන්නේ ඔබේ ජාතියට නින්දාවක් ලෙසය. මක්නිසාද ඔබ ඔබේ රූප වන්දනාවෙන් උන් වහන්සේ උදහස් කළ ආකාරයටම, ඔවුන්ද පිළිම නමස්කාර කරන්නන් වුවද, උන් වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත් උන් වහන්සේගේ

උරුමයේ කොටස්කරුවන් වීමටත් සුදුස්සන් ලෙස උන් වහන්සේ ඔවුන් සලකන සේක.’

131 වන පරිච්ඡේදය

“දෙවියන් වහන්සේ සියලු ජාතීන් බෙදූ බව පෙන්වන වචන මෙන්න: “නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය; නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු නුඹට කියන්නෝය. මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදා දුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන් කළ කල්හිද උන් වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියම කළ සේක. මක්නිසාද ස්වාමීන් වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන් වහන්සේගේ උරුම කොටසය.” එසේම සෙප්තුවාජින්තයේ එය මෙලෙසින් පරිවර්තනය කර ඇති බව මම නිරීක්ෂණය කළෙමි. “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දූතයන්ගේ සංඛ්‍යාව අනුව ජාතීන්ගේ සීමාවන් නියම කළ සේක.” එහෙත්, මෙහිදී නැවතත් මෙම වෙනස නිසා මගේ තර්කය කිසිසේත් දුර්වල වී නැති නිසා, මම ඔබේ අර්ථකථනය ලබා දුන්නෙමි. දැන්, ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නෙහු නම්, කිතුනුවන් වන අප ඔබට වඩා දෙවියන් වහන්සේට විශ්වාසවන්ත බව ඔබ පිළිගත යුතුව ඇත. මන්ද, නින්දිත සහ අගෞරවනීය කුරුසියේ අබිරහස මගින් දෙවියන් වහන්සේ වෙතට කැඳවනු ලැබුවා වූ අපි (එවැනි ඇදහිල්ල, කීකරුකම සහ භක්තිවන්තකම නිසා, ඔබ විසින් ඔවුන්ට කරන ලද සේවය තුළින් යක්ෂයන් සහ යක්ෂයාගේ සේනාව විසින් මරණීය දණ්ඩනයෙන් පවා අපට දඬුවම් කර ඇත), පියාණන් වහන්සේ විසින් අප වෙනුවෙන් සූදානම් කර ඇති ගැලවීම වෙත අප කැඳවන ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන වචනයකින් හෝ වන එම ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරනවා වෙනුවට සියල්ල විඳ දරාගන්නෙමුව. එහෙත්, මුහුද බෙදී, ඔබට ඇවිදීම පිණිස වියළි මාවතක් සාදනු ලැබූ විට, ඔබේ සතුරන් මහත් සංඛ්‍යාවක් මගින් සහ විශිෂ්ට රථවලින් ඔබ පසුපස හඹා යද්දී, ඔබට ගමන් කිරීමට හැකි වූ මුහුද නැවත එක් වූ විට උන් වහන්සේ විසින් ඒ සියල්ලන් මරා දමන ලද අවස්ථාවේදී ඔබ ඊජිප්තුවෙන් මුදා හරිනු ලැබුවේ බලවත් හස්තයකින් සහ මහා තේජසකින් යුත් සංචාරයකිනි. ඔබ වෙනුවෙන් ආලෝක ටැඹක්ද බැබළුණේය. එසේ කිරීමෙන් ලෝකයේ වෙනත් ඕනෑම ජනතාවන්ට වඩා ඔබට සුවිශේෂී, නිරන්තර සහ නොසැලෙන ආලෝකයක් ලැබෙන පිණිසය. ඔබේම ආහාර සපයා ගැනීමට ඔබට බල කෙරෙනු පිණිස උන් වහන්සේ ඔබ වෙනුවෙන් ස්වර්ගීය දේවදූතයන්ගේ රොටි වූ ආහාර, එනම් මන්නා වැසි වැස්සෙවූ සේක. ඔබ වෙනුවෙන් උන් වහන්සේ මරාහි ජලයද මිහිරි බවට පත් කළ සේක. මා ඔබට දැනටමත් පවසා ඇති පරිදි ඔබට දෂ්ට කළ සර්පයන් සම්බන්ධයෙන්ද (මෙසේ මේ සියලු අබිරහස් ඉටු වීමට පෙර ඒවා ඔබට ලබා දුන්නේ කරුණාවන්ත දෙවියන් වහන්සේ විසිනි. උන් වහන්සේ වෙත ඔබ සැම විටම අකෘතඥ ආකාරයෙන් ක්‍රියා කර ඇති බව ඔප්පු කර ඇත), මෝසෙස් ඔහුගේ දිගු කළ දෑත්වල ලකුණ සම්බන්ධ කාරණයෙන්ද යන සිදුවීම් දෙකේදීම කුරුසියේ ඇණ ගසනු ලබන තැනැන් වහන්සේගේ ලකුණක් ඔබට ලබා දී ඇත. එසේම ඔසී, අමලෙක්වරුන්ට එරෙහිව යුද්ධ කරන විට, ඔහුට යේසුස් [ජෝසු] යන නම තැබීමෙන් දෙවියන් වහන්සේ අණ කළ කාරණය එනම් අමලෙක්ගේ මතකය මිහිතලයෙන් මකා දැමීමට නියම කරන ලද යේසුස් වහන්සේගේ නාමය අමතක නොකරන ලෙස ඔබට අවවාද කර ඇති බව වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, නූන්ගේ පුත්‍රයාගේ කාලයෙන් පසුවද අමලෙක්ගේ නාමය තවමත් මතකයේ පවතින බව පැහැදිලිය. කුරුසියේ ඇණ ගසන ලද යේසුස් වහන්සේ විසින් (උන් වහන්සේට සිදු වන දේ පිළිබඳ එම සලකුණු පවා උන් වහන්සේ සම්බන්ධ අනාවැකිය) යක්ෂයන් විනාශ කෙරෙනු ඇති බව සහ යක්ෂයින් උන් වහන්සේගේ නාමය අබියස වෙව්ලන බවය. එසේම සියලු ආධිපත්‍යයන් සහ රාජ්‍යයන් උන් වහන්සේ ඉදිරියෙහි වෙවුලනු ඇති බවත්; එමෙන්ම සෑම ජාතියකින්ම උන් වහන්සේ විශ්වාස කරන අය භක්තිවන්ත හා සාමකාමී අය ලෙස පෙන්වනු ඇති බවත් දෙවියන් වහන්සේ පැහැදිලි කරන සේක. එසේම ට්‍රිෆෝ, මෙම කරුණු, මෙම අනාවැකිය මගින් සනාථ කර ඇත. සේම ඔබට මස් කෑමට දැඩි ආශාවක් ඇති විට, ගණන් කළ නොහැකි තරම් වටුවන් පිරිසක් ඔබ වෙත එවා ඇත. ඔබේ ප්‍රයෝජනය සඳහා පර්වතයකින් ජලය ගලා ආවේය. එසේම උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට සෙවණක් ලෙසත්, සීතලට එරෙහිව ආරක්ෂාවක් ලෙසත්, තවත් අලුත් අහසක මෝස්තරය සහ පොරොන්දුව හඟවමින් වලාකුළක් ඔබ පසුපස ආවේය. එසේම ඔබේ සපත්තු පටි කැඩී ගියේ නැත, ඔබේ සපත්තු හෝ ඇඳුම් දිරා ගියේ නැත, ඔබේ දරුවන්ගේ ඇඳුම් ඔවුන් වැඩෙන විට විශාල විය.

132 වන පරිච්ඡේදය

‘මේ සියල්ල මෙසේ තිබියදීත්, ඔබ රන් වස්සාගේ රූපයක් ඉදි කළෙහුය. එසේම ඔබ විදේශිකයන්ගේ දූවරුන් සමග වේශ්‍යාකම් කිරීමටත් පිළිම වන්දනා කිරීමටත් ආශාවෙන් සිටින්නෙහුය. තවද, යේසුස් [ජෝසු] යන වාසගම ඇති තැනැත්තාගේ අණ පරිදි පැය තිස් හයක් හිරු නොබැස තිබූ ආකාරයේ මෙන් කෙතරම් බලවත් ආශ්චර්යවත් බලයක් පෙන්වමින්, සූර්යයා අහසේ නතර වී තිබෙනු ඔබ දුටුවද, [පොරොන්දු වූ] දේශය ඔබට භාර දුන් පසුවත් ඔබ ඒ දේම කළෙහුය. ඔබේ ප්‍රයෝජනය සඳහා නියමිත කාලය තුළ සිදු වූ අනෙකුත් සියලුම ආශ්චර්යවත් සිදුවීම් ඔබ දුටුවෙහුය. මෙයින් එකක්, මා දැන් සඳහන් කළ යුතු බව මම සිතමි. මන්ද, කුරුසියේ ඇණ ගසනු ලැබූ, මළවුන්ගෙන් උත්ථාන වූ, ස්වර්ගයට නැඟුණාවූ, ආදම් දක්වාම මෙතෙක් ජීවත් වූ සෑම මනුෂ්‍යයෙකුම විනිශ්චය කිරීමට පැමිණෙන්නට යන්නාවූ, දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුන් වහන්සේ ලෙස අප පිළිගන්නා යේසුස් වහන්සේ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඔබට ලබා දීම පිණිස එය උපකාරී වනු ඇති බැවිනි. තවද අසෝටස් ප්‍රදේශයේ විසූ සතුරන් විසින් සාක්ෂි මණ්ඩපය (ගිවිසුම් පෙට්ටිය) රැගෙන ගිය අවස්ථාවේදී සහ ඔවුන් අතර භයානක සුව කළ නොහැකි වසංගත රෝග තත්වයක් ඇති වූ විට, ඔවුන් ළඟදී පැටවුන් බිහි කළ එළදෙනුන් බැඳි කරත්තයක ගිවිසුම් පෙට්ටිය තැබීමට තීරණය කළ බව ඔබ නිසැකවම දන්නෙහුය. ගිවිසුම් පෙට්ටිය ළඟ තිබීම නිසා දෙවියන් වහන්සේගේ බලයෙන් පීඩා වින්දාද යන්න සහ ඔවුන් ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ ස්ථානයෙහිම නැවතත් එය තැබීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වන්නේද යන්න තීරණය කිරීම සඳහා ඔවුහු එසේ සිදු කළහ. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී, එම ගවයෝ, කිසිදු මිනිස් මගපෙන්වීමක් නොමැතිවම, ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ ස්ථානයට නොව, ඔසී නම් මිනිසෙකුගේ (යේසුස් [ජෝසු] ලෙස වෙනස් කරන ලද ඔහුගේ නමම ඇති අයෙකුගේ) ඉහත සඳහන් කළ පරිදි, සහ ඔබේ ජනතාව පොරොන්දු වූ දේශයට ගෙන ගොස් ඔවුන් අතරට දාදු දමා දේශය බෙදා දුන් තැනැත්තාගේ නමම ඇති අයෙකුගේ) ගොවිපොළ වෙත ගියෝය. මේ ගොවිපොළට එළදෙනේනු පැමිණි කල ඔවුහු එහි නතර වූහ.  ඒ අනුව, ඊජිප්තුවෙන් පලා ගිය ඔබේ සෙනඟ අතරේ දිවි ගලවා ගත් අය ඔසී යන්නෙන් යේසුස් [ජෝසු] ලෙස වෙනස් කරන ලද තැනැත්තා විසින් පොරොන්දු දේශයට මඟ පෙන්වූවා සේම, ඔවුන් [යේසුස්] යන බලවත් නාමයෙන් මඟ පෙන්වනු ලැබූ බව ඔබට පෙන්වා දී ඇත.

133 වන පරිච්ඡේදය

“මෙය සහ වෙනත් ආශ්චර්යන් ඔබ වෙනුවෙන් සිදු කළත්, ඒවා සිදු වූ විට ඔබ විසින්ම ඒවා දුටුවත්, ඔබ තවමත් ඔබේම දරුවන් යක්ෂයින්ට බිල්ලට දීම නිසාත්, මේ සියල්ලට අමතරව, ඔබ ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව එවැනි දේවල් කිරීමට එඩිතරව සිටීම නිසාත් (ඔබ තවමත් එසේ කිරීමට එඩිතරව සිටින්නෙහුය) අනාගතවක්තෘවරුන් විසින් ඔබට දෝෂාරෝපණය කරනු ලැබේ. මන්ද ඔබ සිදු කරන සියලුම දේවලට දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන අතර උන් වහන්සේගෙන් සහ ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබට දයාව සහ ගැලවීම ලැබෙයි. ඔබ එවැනි අතිරික්ත ක්‍රියාවන්ට වැරදිකරු වන බව කලින්ම දැන සිටි දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව යෙසායා තුළින් මෙම ශාපය ප්‍රකාශ කළ සේක: “ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරු කරගත්තෝය. ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ යයි කියාපල්ලා. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝය. අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය. මාගේ සෙනඟගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩු කරති. මාගේ සෙනඟෙනි, නුඹට මගපෙන්වන්නෝ නුඹ මුළා කර නුඹ යා යුතු මාර්ගය නැති කර දමති. ස්වාමීන් වහන්සේ කාරණා කියන්ට නැගිට ජනයන් විනිශ්චය කරන්ට සිටින සේක.  ස්වාමීන් වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චය කිරීමට පැමිණෙන සේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ. නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩි කරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කියන සේක.” එසේම එම දිවැසිවරයාම ඒ හා සමාන ආකාරයකින් වෙනත් වචනවලින් කතා කරමින් මෙලෙස පවසයි: “නිෂ්ඵලකම නමැති ලනුවලින් අයුතුකමත් ගැල් රැහැණකින් මෙන් පාපයත් අදින්නාවූ, අපට පෙනෙන පිණිස උන් වහන්සේ ඉක්මන් වී තමන්ගේ ක්‍රියාව කඩිනම් කරන සේක්වා, අප විසින් දැනගන්ට ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන් වහන්සේගේ මන්ත්‍රණය ළංව ඒවයි කියන්නාවූ අයට දුක් වේ! නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ! තුමූ ප්‍රඥාවන්තයෝ යයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝ යයි කල්පනා කරන්නාවූද අයට දුක් වේ! මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යවත් මනුෂ්‍යයෝවූ, අල්ලසකට දුෂ්ටයා නිදොස් කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ! එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලා යන්නාක් මෙන්ද වියළි තෘණ ගින්නට වැටී යන්නාක් මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගී යන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන් වහන්සේගේ වචනය සුළු කළෝය. එබැවින් ස්වාමීන් වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන් වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිඟුකොට, හෙල් චංචල වෙන්ටත් ඔවුන්ගේ මළ කඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහර දුන් සේක. මේ සියල්ල වූ නුමුත් උන් වහන්සේගේ උදහස පහ නොවී, උන් වහන්සේගේ හස්තය තවම දිඟුකර තිබේ. මේ සියල්ල වූ නුමුත් ඔවුහු පසුතැවිලි නොවූහ. ඔවුන්ගේ අත් තවමත් ඔසවා ඇත.” ඇත්ත වශයෙන්ම, ඔබේ අත නපුර කිරීම උදෙසා තවමත් ඔසවා ඇත. මන්ද, ඔබ ක්‍රිස්තුස් වහන්සේ මරා දැමූ නමුත්, ඔබ පසුතැවිලි නොවුණහුය. ඊට පටහැනිව, ඔබ අපට වෛර කර (ඔබට බලය ඇති සෑම විටම) උන් වහන්සේ තුළින් සියල්ලන්ගේ පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ විශ්වාස කරන අප මරා දමන්නෙහුය. එසේම අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ විසින් අපට උපදෙස් ලබා දුන් පරිදි, ඔබ සහ සියලු මිනිසුන් වෙනුවෙන් අප යාච්ඤා කළත්, ඔබ උන් වහන්සේට සහ උන් වහන්සේට අයත් අයට ශාප කිරීම නතර නොකරන්නෙහුය. මක්නිසාද අපගේ සතුරන් උදෙසා පවා යාච්ඤා කිරීමටත්, අපට වෛර කරන අයට ප්‍රේම කිරීමටත්, අපට ශාප කරන අයට ආශීර්වාද කිරීමටත් උන් වහන්සේ අපට ඉගැන්වූ සේක.’

134 වන පරිච්ඡේදය

එබැවින්, දෙවියන් වහන්සේගේ සහ උන් වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ ශික්ෂාපද ඔබට කරදරයක් නම්, ඔබ සැමට භාර්යාවන් හතර පස් දෙනෙකු තබා ගැනීමට  දැන් පවා අවසර දෙන ඔබගේ අන්ධ සහ අඥාන ගුරුවරුන්ට වඩා ඔබ දෙවියන් වහන්සේට කීකරු විය යුතුය. එසේම යමෙකු රූමත් කාන්තාවක දැක සහ ඇය ලබා ගැනීමට ආශාවෙන් සිටින විට ඔවුහු ඉශ්‍රායෙල් වන යාකොබ් සහ අනෙකුත් කුලදෙටුවන් නිදසුන් ලෙස ගෙන හැර පාමින් එවැනි ක්‍රියාවල නපුරක් නොමැති බව ඔප්පු කරති. මේ සම්බන්ධයෙන් ඔවුන් කෙතරම් කාලකන්නි සහ නූගත් අයද! මා ප්‍රකාශ කළආකාරයට, එවැනි සෑම ක්‍රියාවකදීම යම් යම් දිව්‍යමය සැලසුම් අබිරහස් ලෙස ඉටු විය. යාකොබ්ගේ විවාහයන් තුළ සිදු කරන ලද දිව්‍යමය සැලසුම් සහ අනාවැකි මොනවාද යන්න මම පැහැදිලි කරමි. එවිට මේ කාරණයේදී පවා ඔබේ ගුරුවරුන් මේ එක් එක් දේ සිදු කරන ලද්දේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිබඳ වඩා දිව්‍යමය ලෙස සැලකුවේ නැත. එහෙත් ඔවුහු ඒ වෙනුවට පහත් හා දූෂිත ආශාවන් ගැන සැලකිලිමත් වූවෝය. එබැවින් ඔබේ කාරුණික අවධානය මට ලබා දී මගේ වචනවලට අවනත වන්න. යාකොබ්ගේ විවාහ වූ කලි ක්‍රිස්තුස් වහන්සේ සිදු කරන ආකාරයේ ඒවා උදෙසා ආකෘති මාදිලි විය. යාකොබ් එකම අවස්ථාවේදී සහෝදරියන් දෙදෙනෙකු විවාහ කර ගැනීම වූ කලි නීත්‍යනුකූල දෙයක් නොවීය.  එම නිසා ඔහු ලාබන්ගේ [එක්] දියණියක උදෙසා ඔහුට සේවය කළේය. එසේ ඔහු බාලයා නිසා රවටනු ලැබූ පසුව තවත් අවුරුදු හතක් වැඩ කළේය. දැන්, ලෙයා ඔබේ මිනිසුන් සහ සිනගෝගය නියෝජනය කළාය. එසේම රාඛෙල් අපේ සභාවේ රූපයක් විය. තවද ක්‍රිස්තුස් වහන්සේ තවමත් මොවුන්ට සහ ඒ දෙකෙහිම සිටින උන් වහන්සේගේ සේවකයන්ට සේවය කරන සේක. මන්ද, නෝවා තම පුතුන් දෙදෙනාට තුන්වැන්නාගේ බීජය/වංශය සේවකයන් ලෙස ලබා දුන් අතර, ක්‍රිස්තුස් වහන්සේ දැන් පැමිණ සිටින්නේ නිදහස් පුත්‍රයන් සහ ඔවුන්ගේ සේවකයන් යන දෙපාර්ශ්වයම මුදා ගැනීමටය. එහිදී උන් වහන්සේගේ ආඥා පිළිපදින සියල්ලන්ටම සමාන ආශීර්වාද ලබා දෙන සේක. යාකොබ්ට නිදහස් ස්ත්‍රීන්ගෙන් සහ බැඳුම්වල සිටි ස්ත්‍රීන්ගෙන් යන දෙපිරිසගෙන්ම උපන් අය ඔහුගේ පුතුන් බවට පත් වී ඔවුන්ට එක හා සමාන ගෞරවයක් ලබා දෙන ලද ආකාරයටම එය සිදු වේ, එසේම එකිනෙකාගේ තරාතිරෙමෙන් සහ පෙරදැනුමෙන් කුමක් සිදුවේදැයි පුරෝකථනය කර තිබිණි. යාකොබ් ලාබන්ට සේවය කළේ ලප ඇති සහ තිත් ඇති බැටළුවන් වෙනුවෙනි. එසේම ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වහල් මරණය දක්වා පවා සේවය කළේ, සෑම ජාතියකටම අයත් විවිධ වර්ණ හා ලක්ෂණ ඇති මිනිසුන්ටය. එසේ උන් වහන්සේගේ රුධිරයෙන් සහ කුරුසියේ අබිරහසෙන් ඔවුන් මුදා ගනිමින් සේවය කළ සේක. ලෙයාගේ ඇස් දුර්වල වූවාක් මෙන්, ඔබේ ප්‍රාණයන්ගේ ඇස්ද ඉතාම දුර්වලය. රාඛෙල් ලාබන්ගේ දෙවිවරුන් සොරකම් කර  අද දක්වා සඟවා තැබුවා සේම, අපගේ මුතුන්මිත්තන්ගේ සහ ද්‍රව්‍යමය දෙවිවරුන් අපෙන් නිරාවරණය කර ඇත. යාකොබ්ට නිතරම ඔහුගේ සහෝදරයා විසින් වෛර කරනු ලැබිණි. එම ආකාරයෙන්ම අප සහ අපගේ ස්වාමින් වහන්සේට ඔබ සහ පොදුවේ ගත් කල, ස්වභාවයෙන්ම සහෝදරයන් වන අනෙකුත් සියලුම මිනිස්සු වෛර කරති. යාකොබ්ට ඉශ්‍රායෙල් යන වාසගම දෙනු ලැබිණි. ඉශ්‍රායෙල් යනු ක්‍රිස්තුන් වහන්සේ බවත්, උන් වහන්සේ යේසුස් වහන්සේ ලෙස හඳුන්වන බවත් පෙන්වා දී ඇත.’

135 වන පරිච්ඡේදය

“දැන්, “ඉශ්‍රායෙල්වරුන්ට ඔබේ රජු පෙන්වූ ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන ස්වාමි වූ දෙවියන් වහන්සේ මමය,” කියා ශුද්ධලියවිල්ල පවසන විට, ක්‍රිස්තුස් වහන්සේ සදාකාලික රජු බව අර්ථගන්වා ඇති බව ඔබ පිළිගන්නේ නැද්ද? ඊසාක්ගේ පුත්‍රයා වූ යාකොබ් කිසිදාක රජෙකු නොවූ බව ඔබ දන්නෙහිය. මේ අනුව, යාකොබ් සහ ඊශ්‍රායෙල් යන නාමයෙන් අදහස් කරන රජු කුමක්ද පැහැදිලි කර දක්වා ඇත. ශුද්ධලියවිල්ල මෙසේ පවසයි: “යාකොබ්, මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සේවකයා ය; ඉශ්‍රායෙල්, මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය. ඔහු මොර නොගසන්නේය, ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය. ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම් ගහන පහන් තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශ කරන්නේය. පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. අන්‍යජාතීහු, ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.” එබැවින්, ඔබ සහ කලින් විජාතීන් විශ්වාස කරන්නේ එය කුලදෙටුවා වූ යාකොබ් තුළ මිස ක්‍රිස්තුස් වහන්සේ තුළ නොවන බව නොවේද? ක්‍රිස්තුස් වහන්සේ ඉශ්‍රායෙල් සහ යාකොබ් ලෙස හඳුන්වනු ලබන පරිදි, ක්‍රිස්තුස් වහන්සේගේ පැත්තෙන් කපා ඇති අපි, ඉශ්‍රායෙල්හි සැබෑ ජනතාව වෙමුව. එහෙත් අපි ශුද්ධලියවිල්ලේ වචනවලට සවන් දෙමු: “මම යාකොබ්ගෙන් වංශයක්ද යූදාගෙන් මාගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැගුටුවන්නෙමි. මාගේ තෝරාගත් අය ඒක උරුම කරගන්නවා ඇත, මාගේ මෙහෙකරුවන්ද එහි වසනවා ඇත. මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය. නුමුත් ස්වාමීන් වහන්සේ අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහි නැති කර, ශ්‍රීයා කාන්තාවට මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍ර වූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ තැනැත්තෙනි, නුඹලා මම කඩුවට නියම කරන්නෙමි; නුඹලා සියල්ලෝම මැරුම් කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථා කළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමති නැති දේ තෝරාගත්තහුය.” එහි ඔබට ශුද්ධලියවිල්ලෙහිම සඳහන් වචන ඇත. මම මෙහි සඳහන් යාකොබ්ගේ වංශය වෙනත් වර්ගයක කෙනෙකු බව ඔබට පහසුවෙන් දැකගත හැකිය. මන්ද එය ඔබගේ සෙනඟට යොමු කිරීමක් ලෙස ඔබට තේරුම්ගත නොහැකි බැවිනි. යාකොබ්ගේ වංශයට අයත් අය යාකොබ්ගෙන් උපන් අයට ඇතුළුවීමේ අයිතියක් තැබිය යුතු යැයි සිතීම විකාරයකි. නැතහොත් තම සෙනඟ උන් වහන්සේගේ උරුමය ලැබීමට නුසුදුසු යැයි ප්‍රතික්ෂේප කළ තැනැන් වහන්සේ ඔවුන් පිළිගත්තාක් මෙන් නැවතත් ඔවුන්ට පොරොන්දු විය යුතුය. එහෙත් අනාගතවක්තෘවරයා මෙසේ පවසයි: “අහෝ යාකොබ්ගේ වංශය, වරෙල්ලා, ස්වාමීන් වහන්සේගේ එළියෙහි ගමන් කරමු. ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරිය සේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේන කියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමග අතට අත ගසති.” එබැවින්, යාකොබ්ගේ නිවෙස් දෙකක් මෙන්, යුදාගේ බීජයන්/වංශ දෙකක් සහ ජාතීන් දෙකක් සිටි බව අප මෙහි නිගමනය කළ යුතුය: මාංසය හා රුධිරයෙන් උපන් කෙනා සහ ඇදහිල්ලෙන් හා ආත්මයෙන් උපන් තැනැත්තා යනුවෙනි.’

136 වන පරිච්ඡේදය

‘ඉහත සඳහන් කළ දේ පැවසීමෙන් පසුව උන් වහන්සේ මිනිසුන්ට කතා කරන ආකාරය දැන් ඔබට පෙනෙයි: “මිදිවල්ලෙහි යුස තිබෙන බව යමෙක් දැක−එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය නාස්ති නොකරන්නැයි කියන්නාක් මෙන්, මාගේ මෙහෙකරුවන් නිසා කරන්නෙමි, මම සියල්ලන් විනාශ නොකරන්නෙමි.” නැවතත් උන් වහන්සේ මෙසේ එයට එකතු කරන සේක:  “මම යාකොබ්ගෙන් වංශයක්ද යූදාගෙන් මාගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැගුටුවන්නෙමි.”  එබැවින්, උන් වහන්සේ ඔවුන් සමග කෝප වී තර්ජනය කළහොත් ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් ඉතිරි කර, උන් වහන්සේ තම කන්දෙහි වාසය කිරීමට අන් අයට මගපෙන්වන බවට දිවුරුම් දෙන ආකාරය එහිදී පැහැදිලිව පෙනේ. උන් වහන්සේ වපුරන සහ උපද්දන අය බවට  උන් වහන්සේ පැවසූ පුද්ගලයෝ  ඔවුහු  වෙති. මක්නිසාද ඔබ උන් වහන්සේ අඬගසන විට ඔබ උන් වහන්සේ නොසලකා හරින්නහුය, උන් වහන්සේ කතා කරන විට ඔබ සවන් නොදෙන්නෙහුය. එහෙත් ඔබ උන් වහන්සේ ඉදිරියෙහි පව් කළෙහිය. ඔබේ අයුතුකමේ උච්චතම අවස්ථාව වන්නේ  මෙයයි. එනම්, ඔබ මරණයට පත් කළ ධර්මිෂ්ඨ තැනැන්  වහන්සේට සහ උන් වහන්සේගේ කරුණා  අනුග්‍රහය තුළින් භක්තිවන්ත, ධර්මිෂ්ඨ සහ ප්‍රේමණීය  ලෙස කටයුතු කරන අයට ඔබ වෛර කිරීමය. මේ හේතුව නිසා ස්වාමින් වහන්සේ මෙසේ වදාළ සේක: “ඔවුන්ගේ ආත්මයට දුක් වේ, මක්නිසාද ඔව්හු තමන්ටම විරුද්ධව නපුරු උපදෙස් ගෙන, මෙසේ කියමින්: ධර්මිෂ්ඨ තැනැත්තා අපෙන් ඉවත් කරමු, මක්නිසාද ඔහු අපට අප්‍රසන්නය, යයි කියති.” ඔබ ඔබේ මුතුන්මිත්තන් කළාක් මෙන් බාල්ට පූජා ඔප්පු කළේ නැත, ස්වර්ගීය හමුදාවට උයන්වලදී සහ කඳුකරයේදී රොටි පූජා කළේ  නැත. එසේ වූවත් [ඔබට අනතුරු අඟවා ඇත්තේ මේ නිසාය] ඔබ උන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ  නොපිළිගත් නිසාය. මන්ද, උන් වහන්සේ ගැන නොදන්නා තැනැත්තා දෙවියන් වහන්සේගේ කැමැත්ත නොදන්නා තැනැත්තා දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්බන්ධයෙන්ද නොදැනුවත්කමෙන් සිටියි.  එසේම උන් වහන්සේට නින්දා කරන සහ වෛර කරන තැනැත්තා පැහැදිලිවම උන් වහන්සේ එවූ තැනැන්  වහන්සේට වෛර කරයි. එමෙන්ම උන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති තැනැත්තා උන් වහන්සේගේ ශුභාරංචිය දේශනා කළ සහ උන් වහන්සේ සියලු මිනිසුන්ට ප්‍රකාශ කළ අනාගතවක්තෘවරුන්ගේ වචන විශ්වාස නොකරයි.’

137 වන පරිච්ඡේදය

‘මාගේ සහෝදරයෙනි, කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැන් වහන්සේට විරුද්ධව රළු ලෙස කතා නොකරන්න. අප සුව කළාක් මෙන් සෑම කෙනෙකුම සුව කළ හැකි උන් වහන්සේගේ තුවාලවලට සමච්චල් නොකරන්න. මක්නිසාද ඔබ ශුද්ධලියවිල්ලට කීකරු වී ඔබේ ගැඹුරට මුල් බැසගත් අදහසට අනුව ඔබ තුළ ඇති වර්මඡේදනය නොව, ඔබේ හදවතේ දැඩිකම කෙරෙන් චර්මඡේදනය වන්නේ නම්, එය යහපත් දෙයක් වනු ඇත. මන්ද එවැනි චර්මඡේදනයක් ලබා දුන්නේ ලකුණක් ලෙස  මිස ධර්මිෂ්ඨකමේ ක්‍රියාවක් ලෙස නොවන බව ශුද්ධලියවිල්ල අපට ඒත්තු ගන්වයි. එබැවින් අප සමග එකඟ වන්න. එසේම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේට අපහාස නොකරන්න; ඔබේ පරිසිවරුන්ගේ ගුරුවරුන් නොසලකා හරිමින්, (ඔබේ සිනගෝගවල ප්‍රධානීන් යාච්ඤාවෙන් පසුව කරන ලෙස ඔබට උපදෙස් දෙන ආකාරයට) ඉශ්‍රායෙල් රජුට නින්දා නොකරන්න. මන්ද, දෙවියන් වහන්සේට ප්‍රසන්න නොවන අය ස්පර්ශ කරන්නා දෙවියන් වහන්සේගේ ඇසේ කළුරුව ස්පර්ශ කරන්නා හා සමාන වන බැවිනි.  එසේ නම් ‘උන් වහන්සේගේ ප්‍රේමවන්තයාණන්  වහන්සේ ස්පර්ශ කරන්නාට ඊට වඩා කොතරම් වැඩියෙන් එසේ නොවන්නේද? මේ උන් වහන්සේ බවට ප්‍රමාණවත් පරිදි ඔප්පු වී ඇත.’

ඔවුන් පිළිතුරක් නොදුන් විට මම මෙසේ කීවෙමි. ‘මගේ මිත්‍රවරුනි, මම දැන් සෙප්තුවජින්ත අනුවාදයට අනුව ශුද්ධලියවිල්ල උපුටා දක්වන්නෙමි. මන්ද, ඔබ ඒවා කියවන ආකාරයට මා එම කොටස් උපුටා දක්වන විට, මා උත්සාහ කළේ ඔබේ මනෝභාවය තහවුරු කර ගැනීමටයි. එම කොටස උපුටා දක්වමින්, “ඔවුන්ගේ ආත්මයට දුක් වේ, මක්නිසාද ඔව්හු තමන්ටම විරුද්ධව නපුරු උපදෙස් ගෙන, මෙසේ කියමින්,” මම සෙප්තුවාජින්තයෙහි වචන එයට එකතු කළෙමි: එහෙත්, අපගේ සාකච්ඡාව ආරම්භයේදී මම එය උපුටා දැක්වූයේ ඔබේ අනුවාදයට අනුවය: “අපි ධර්මිෂ්ඨ තැනැත්තා බැඳ තබමු, මන්ද ඔහු අපට අප්‍රසන්නය.” එම අවස්ථාවෙහිදී ඔබ පූර්වයෙන්ම කාර්යයෙහි යෙදී සිටි බවක් සහ නිසි අවධානයකින් තොරව මගේ වචන අසා ඇති පෙනුණි. එහෙත්, දැන් හිරු බැස යාමට සූදානම් වන අතර, දවස අවසන් වීමට ආසන්න බැවින්, මම තවත් එක් නිරීක්ෂණයක් එකතු කර පසුව අවසන් කරන්නම්. මේ කාරණය මා කලින් සඳහන් කර තිබුණත්, එය නැවත වරක් පැහැදිලි කළ යුතු යැයි මම සිතමි.’

138 වන පරිච්ඡේදය

මම මෙලෙසින් කීවෙමි. “එසේ නම්, මහත්වරුනි, යෙසායා මාර්ගයෙන් දෙවියන් වහන්සේ යෙරුසලම කෙරෙහි මෙසේ පවසා ඇති බව ඔබ දන්නෙහිය: “නෝගේ ගංවතුරේදී මම ඔබ ගලවා ගතිමි.” මෙයින් මුදාගත් මනුෂ්‍ය වර්ගයාගේ අබිරහස ජලගැල්ම තුළ සැඟවී ඇති බව දෙවියන් වහන්සේ අදහස් කළ සේක. ගංවතුර අවස්ථාවේ, ධර්මිෂ්ඨ නෝ, ඔහුගේ බිරිඳ සහ පුතුන් තිදෙනා මෙන්ම ඔවුන්ගේ භාර්යාවන් සමග, පුද්ගලයන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සැදීම වූ කලි, අපගේ ස්වාමින් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූවාක් මෙන් දර්ශනය වූ එම අටවෙනි දවස (එය සෑම විටම බලයේ පළමුවැන්නය) සම්බන්ධ රූපයක් විය. දැන්,  ක්‍රිස්තුන් වහන්සේ සෑම මැවිල්ලකම කුලුඳුලා වූ බැවින්, කුරුසියේ අබිරහස තිබෙන ජලය, ඇදහිල්ල සහ දැව මගින් උන් වහන්සේ විසින් ප්‍රතිනිර්මාණය කරන ලද නව ජාතියක් උන් වහන්සේ පිහිටෙවූ සේක (ඒ නෝ සහ  ඔහුගේ පවුලේ  වැසියන් වතුරට ඉහළින් ආරක්ෂිතව තැබීමෙන් දැව මගින් ආරක්ෂා කරනු ලැබුවාක් මෙනි). මා කලින් කී පරිදි, එබැවින්, දිවැසිවරයා “නෝවාගේ කාලයේ මම ඔබ ගැලෙව්වෙමි,” යනුවෙන්  ප්‍රකාශ කරන විට, ඔහු දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටි සහ එම සලකුණුම ඇති මිනිසුන්ට ආමන්ත්‍රණය කරයි. මෝසෙස් ඔහුගේ  අතේ සැරයටිය දරාගෙන සිටි විට ඔබේ සෙනඟ  ආරක්ෂිතව මුහුද හරහා ගෙන ගියේය. එහෙත් උන් වහන්සේ මේ වචන කතා කළේ ඔබේම මිනිසුන්ට හෝ  ඔබේම දේශයට පමණක් යැයි ඔබ සිතන විට ඔබ වැරදිය. එහෙත්, මුළු පෘථිවියම ජලයෙන් යට වූ බවට පූජනීය ග්‍රන්ථයේ සඳහන් වන විට, එහි ඇති උසම කඳුවලට වඩා අඩි විසිතුනක් උසට ජලය ළඟා විය. එහිදී දෙවියන් වහන්සේ ඔබේ දේශයට නොව, උන් වහන්සේට විශ්වාසවන්තව සිටින අයට ආමන්ත්‍රණය කළ බව පැහැදිලිය. ඔවුන් උදෙසා උන්වහන්සේ යෙරුසලමෙහි විවේකය උදෙසා වාසස්ථානයක් පිළියෙළ කර ඇති සේක.3 ගංවතුර සමග ඇති වූ සියලුම සලකුණු මගේ ප්‍රකාශය සනාථ කරන්නේය. මන්ද, “ජලය සහ ඇදහිල්ල සහ දැව මගින්” යන ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ, තමන්ම සූදානම් කරගෙන තම පව් ගැන පසුතැවිලි වන අය දෙවියන් වහන්සේගේ අනාගත විනිශ්චයෙන් බේරෙන බවයි.

139 වන පරිච්ඡේදය

නෝවාගේ දවස්වල ඉටු වූ කාරණා මගින් පුරෝකථනය කරන ලද තවත් අබිරහසක් ගැන ඔබ නොදන්නෙහුය. එනම් මේ කාරණයයි. නෝ තම පුතුන් දෙදෙනාට ආශීර්වාද කරන ආශිර්වාදය තුළ ඔහු තම පුතාගේ පුතාට ශාපද කරයි. මක්නිසාද අනාවැකිමය ආත්මය එම පුත්‍රයාට ශාප නොකරනු ඇත. මන්ද ඒ වන විටත් නෝවාගේ අනෙකුත් පුත්‍රයන් සමග දෙවියන් වහන්සේගෙන් ඔහුට ආශීර්වාදය ලැබී ඇති බැවිනි.  එහෙත් පියාගේ නිරුවතට සිනහ වූ පුතාගේ පසු සියලු පරම්පරාවන්ට එම පාපයෙහි දඬුවම සම්ප්‍රේෂණය වීමට නියමිත බැවින්, ඔහු එම ශාපය පුතාගේ පුතාගෙන් ආරම්භ කළේය. දැන්, නෝවාගේ වචනවලින් පුරෝකථනය කර ඇති ආකාරයට ෂෙම්ගේ පරම්පරාව  කානාන්ගේ දේපළ හා වාසස්ථාන හිමි කරගන්නා බවත්, මෙම දේපළ සෙමිතිකවරුන්ගෙන් යඵෙත්ගේ පරම්පරාවට හිමි වන බවත්, ඔවුන් කානානිවරුන්ගෙන් සොරකම් කළා සේම සෙමිතිකවරුන්ගෙන්ද කොල්ලකන බවත්ය. චානානිට්ස්. මා පැහැදිලි කරන අතරතුර මෙම අනාවැකිය ඉටු වී ඇත්තේ කෙසේද යන්නට සවන් දෙන්න. සෙමිතිකවරුන් වන ඔබ, දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි, කානානිවරුන්ගේ දේශයට ඇතුළු වී, එය ඔබ සන්තක කර ගත්තෙහුය. යඵෙත්ගෙන් පැවතෙන්නන් දෙවියන් වහන්සේගේ විනිශ්චය මගින් ඔබගේ දේශය ඔබෙන් උදුරාගෙන දැන් එය අයිති කරගෙන ඇති බවද පැහැදිලි වේ. ශුද්ධලියවිල්ලේ ඒ සම්බන්ධයෙන් පුරෝකථනය කර ඇත්තේ මෙලෙසය: “නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය. ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේ යයි කීය. තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා. දෙවියන්වහන්සේ යඵෙත්ගේ සීමා විශාල කරන සේක්වා, ඔහු ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා; කානාන් ඔහුගේ දාසයා වේවයි කීය.” මේ අනුව, සෙමිතිකවරුන් සහ යඵෙතිකවරුන් යන ජාතීන් දෙකක් ආශීර්වාද ලත් අතර, පසුව සෙමිතිකවරුන් විසින් ප්‍රථමයෙන් හිමි කර ගන්නා කානානිවරුන්ගේ වාසස්ථාන පසුව යඵෙත්ගෙන් පැවත එන්නන් විසින් ඔවුන්ගෙන්  අල්ලා ගන්නා බව ප්‍රකාශ කරන ලදී. (කානානිවරුන්) ලෙස වන එකම ජනතාව අනෙක් දෙදෙනාගේ වහල්භාවයට බලහත්කාරයෙන් පත් කෙරෙනු ඇත. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ සර්වබලධාරී පියාණන් වහන්සේ කෙරෙන් උන් වහන්සේගේ බලයට පැමිණ ඇති අතර, සියලු මිනිසුන් මිත්‍රත්වයට, ආශිර්වාදය ලැබීමට, පසුතැවීම සඳහා සහ ප්‍රජා ජීවිතයකට කැඳවා ඇත. එය මීට පෙර පෙන්වා දී ඇති ආකාරයට උන්වහන්සේ විසින් ප්‍රතිඥා දී ඇති පරිදි සියලුම ඇදහිලිවන්තයන් සඳහා වෙන් කරන ලද කොටසක් ඇති අතර, එය සියලු ශුද්ධවන්තයින්ගේ එම දේශයෙහිදීම සිදු වනු  ඇත. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන සහ උන්වහන්සේගේ සහ අනාගතවක්තෘවරුන්ගේ  වදන්වල සත්‍යයන් හඳුනාගෙන සිටින, වහලුන් හෝ නිදහස් මිනිසුන්  වන සෑම රටකම ජීවත්  වන මිනිස්සු, සදාකාලයටම නොනැසී පවතින ආශීර්වාද උරුම කර ගැනීම සඳහා ඔවුන් යම් දිනක එම දේශයේ උන් වහන්සේ හා එක්වන බව සම්පූර්ණ ලෙසම වටහාගනිති. ‘

140 වන පරිච්ඡේදය

“එබැවින් යාකොබ්, ක්‍රිස්තුස්ගේ වර්ගයේ අයෙකු වූ බැවින්, ක්‍රිස්තුස් වහන්සේ තම සමාගමට නිදහස් සහ පුත්‍රයන් සමග යඵෙත්ගේ ජාතියෙන් වන කානානිවරුන්ගේ දරුවන්ද සම උරුමක්කාරයන් ලෙස පිළිගන්නා බව කල්තියාම ඇඟවීම සඳහා, ඔහු තමාගේ නිදහස් භාර්යාවන් දෙදෙනාගේ ගෘහ සේවිකාවන් දෙදෙනාද විවාහ කර ගෙන, ඔවුන්ගෙන් පුතුන් බිහි කළේය.  දැන්, ඔබට දෙවියන් වහන්සේගේ ජීවමාන උල්පතෙන් පානය කළ නොහැකි නිසාත්, එහෙත් ශුද්ධලියවිල්ලේ අපට පවසන පරිදි ජලය රඳවා ගත නොහැකි කැඩුණු කටාරම් ළිංවලින් පමණක් ඔබට පානය කළ හැකි නිසාත්, ඔබට එය තේරුම්ගත නොහැකි වුවද අපි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ සහ සම උරුමක්කාරයෝ වෙමුව. ඒවා ඇත්තෙන්ම ඔබේ ගුරුවරුන් ඔබ වෙනුවෙන් කැණූ ජලය නැති, බිඳුණු ළිං වන අතර, ශුද්ධලියවිල්ලේ ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර ඇත: “ධර්මනියාමකයන් උදෙසා, මිනිසුන්ගේ ආඥා උගන්වති.” මීට අමතරව, තමුන් මාංසයට අනුව ආබ්‍රහම්ගෙන් පැවත එන අය බව සහ ඔවුන් ඇදහිල්ලෙන් තොර වූ පව්කාරයන් වූවත්, දෙවියන් වහන්සේට අකීකරු ලෙස ජීවත් වූවත්, සදාකාල රාජ්‍යයෙහි නියත වශයෙන්ම හවුල්කාරයින් වන බව එම ගුරුවරුන් සිතන විට ඔවුහු තමන්ම සහ ඔබ යන දෙපිරිසම රවටා ගනිති. ශුද්ධලියවිල්ලේ පෙන්වා දෙන පරිදි මෙවැනි ආකාරයේ උපකල්පනවල කිසිදු පදනමක් නොමැත. එසේ නොවුවහොත්, යෙසායා මෙසේ නොකියනු ඇත: “සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන් සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමාන වන්නෙමුව.” එසේම එසකියෙල් මෙසේ පවසයි: “නෝවාද දානියෙල්‍ද යෝබ්ද එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයෙක්වත් දුවෙක්වත් ගලවාගන්නේ නැත; ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් ස්වකීය ප්‍රාණ පමණක් ගලවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියන සේක. පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.” නැවතත්, යෙසායා මෙසේ පවසයි: “ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරද කළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.” තවද, උන්වහන්සේ එවූ පියාණන් වහන්සේගේ සහ විශ්වයේ ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුකූලව මිස අපගේ ස්වාමින් වහන්සේ ස්ථිර නොකරන්නට ඇත: “තවද නුඹලාට කියමි: නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමග ස්වර්ගරාජ්‍යයෙහි හිඳගන්නෝය.  එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේ යයි කී සේක.” ඒ හැරුණුකොට, අනාගත පව්කාරයන් ලෙස පෙරදැන්ගැන්මෙන් දැනගෙන සිටි මිනිසුන් හෝ දේවදූතයන් එසේ වන්නේ දෙවියන් වහන්සේගේ වරදින් නොවන බව මම දැනටමත් පෙන්වා දී ඇත්තෙමි. එහෙත් එසේ සිදු වන්නේ එකිනෙකා තුළ ඇති තම තමාගේම වරදිනි.’

141 වන පරිච්ඡේදය

‘දැන්, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට අවශ්‍ය වූ බවත්, වැරදි කරන්නන් ඔබේ ජාතියට අයත් වීම අවශ්‍ය වූ බවත්, එය වෙනත් ආකාරයකින් විය නොහැකි බවත් පවසමින් ඔබ ඉදිරිපත් කළ හැකි ඕනෑම නිදහසට කරුණක් වළක්වා ගැනීම උදෙසා, මෙම කරුණු නිරීක්ෂණය කරන්නට කැමැත්තෙමි. මිනිසුන් සහ දේවදූතයන් උන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වුවද, ගුණධර්ම ප්‍රගුණ කිරීම උදෙසා නිදහස් කැමැත්තෙන් ඔවුන් මැවූ තැනැන් වහන්සේ (එනම්, ඔවුන් නොපවතින තත්වයේ සිට පැවැත්මේ තත්වයට ගමන් කළ තැනැන්  වහන්සේ) දැන ගැනීම සඳහා තර්ක කිරීමේ හැකියාව සමග මෙන්ම  ඔවුන් සාධාරණ තර්කයට පටහැනිව යමක් කරන්නේ නම්, ඔවුන් උන් වහන්සේ විසින් විනිශ්චය කළ යුතු බවට නීතියක් ඇතිව ඔවුන් නිර්මාණය කිරීමට උන් වහන්සේ සතුටු නොවූ සේක. මේ අනුව, මිනිසුන් සහ දේවදූතයන් යන දෙපාර්ශ්වයේම සිටින අප ඉක්මනින් පසුතැවිලි නොවන්නේ නම්, අප අපගේ පාපවලට වැරදිකරුවන් වනු ඇත. තවද, සමහර මිනිසුන් සහ දේවදූතයන් නිසැකවම දඬුවම් ලබනු ඇතැයි දෙවියන් වහන්සේගේ වචනය පුරෝකථනය කරන්නේ නම්, ඒ ඔවුන් නිවැරදි කළ නොහැකි තරම් පව්කාරයන් වන බව දෙවියන් වහන්සේ කලින් දැන සිටි නිසා මිස දෙවියන් වහන්සේ ඔවුන් නිර්මාණය කළේ ඒ ආකාරයෙන් නොවේය. එබැවින්, පසුතැවිලි වන සෑම කෙනෙකුටම, ඔහු කැමති නම්, දෙවියන් වහන්සේගේ දයාව ලබා ගත හැකිය. එසේම ඔහු ආශීර්වාද ලත් අයෙකු ලෙස ශුද්ධලියවිල්ලෙහි මෙසේ හඳුන්වනු ලැබේ: “ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබන සේක්ද, ඒ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දෙක්ය.” වෙනත් වචනවලින් කිවහොත්, යම් කෙනෙකු පව් ගැන පසුතැවිලි වන කල, ඔහුට දෙවියන් වහන්සේගෙන් ඒ වැරදිවලට සමාව ලැබේ. ඒ ඔබ සහ ඔබ වැනි අන් අය ප්‍රකාශ කරන ආකාරයට, ඔවුන් පව් කළත්, ඔවුන් දෙවියන් වහන්සේ දැනගෙන සිටින නිසා ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ගණනට අයුතුකම නොතබන බව නොවේය. නිදසුනක් ලෙස, දාවිත්ගේ එක් පාපයක් පිළිබඳ ශුද්ධලියවිල්ල අපට පවසන්නේ මෙයයි. එම පාපය ඔහුගේම අහංකාරය නිසා සිදු වූ නමුත්, ඔහුගේ කඳුළින් යුක්ත වූ පසුතැවිල්ල කරණකොටගෙන ඔහුට එයට සමාව ලැබුණු බවයි. දැන්, පසුතැවිලි වන එවැනි පුද්ගලයෙකුට සමාව ලබා නොදෙන්නේ නම්, එහෙත් සමාව ලැබෙන්නේ ශ්‍රේෂ්ඨ රජතුමාණන් වහන්සේ සහ අභිෂේක ලත් තැනැන් වහන්සේ සහ දිවැසිවරයාණන් වහන්සේ සිදු කළාක් මෙන් හඬා වැලපුණු විට පමණක් සමාව ලැබෙන්නේ නම්, අපවිත්‍ර කාලකන්නි අය ඔවුන් කඳුළින් සහ විලාපනැඟීමෙන් පසුතැවිලි නොවන්නේ නම්, ස්වාමින් වහන්සේ ඔවුන්ගේ පාප ගැන ඔවුන්ට චෝදනා නොකරන බව ඔවුන් බලාපොරොත්තු වන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම, මහත්වරුනි, උරියාගේ බිරිඳ සමග දාවිත් කළ මෙම එක් වරදකින් පෙනී යන්නේ කුලදෙටුවන් බොහෝ භාර්යාවන් රැගෙන ගියේ කාමමිථ්‍යාචාරය කිරීමට නොව, ඒවායින් යම් යම් අබිරහස් පෙන්වා දිය හැකි වන පරිදි බවයි. මන්ද, ඕනෑම භාර්යාවක් හෝ කැමති ගණනක් භාර්යාවන් (ඔබේ රටවැසියන් ඔවුන් කොතැනක ජීවත් වුවද නැතිනම් කොතැනකට යවනු ලැබුවද ලොව පුරා සිටින කාන්තාවන් ඔබේ රටවැසියන් විසින් විවාහ කර ගන්නා නිසා,) විවාහ කර ගැනීමට අවසර තිබුණේ නම්, ඊට වඩා වැඩි අයිතියකින් දාවිත්ට නිසැකවම එසේ කිරීම උදෙසා අවසර ලැබෙන්නට ඉඩ ඇත.’

මගේ ආදරණීය මාකස් පොම්පේයස්, මෙම අවස්ථාවේදී, මම මගේ දේශනය අවසන් කළෙමි.

142 වන පරිච්ඡේදය

කෙටි විරාමයකින් පසුව, ට්‍රිපෝ මෙලෙස පැවසුවේය. ‘අප මේ කාරණා පිළිබඳ සාකච්ඡාව ආරම්භ කළේ අහම්බෙන් බව ඔබ දන්නෙහිය. එහෙත් අපගේ රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස මා අතිශයින් වශී වී ඇති බව මා පිළිගත යුතු අතර, මගේ මෙම මිතුරන්ද මා මෙන්ම එසේ හඟිනු ඇති බවට මම විශ්වාස කරමි. අප බලාපොරොත්තු වූවාටත් වඩා දේවල් අපි ඇසුවෙමු. අපට නිතර නිතර මුණගැසී ශුද්ධලියවිලි අධ්‍යයනය දිගටම කරගෙන යාමට හැකි නම්, අපට නිසැකවම එයින් ඊටත් වඩා ප්‍රයෝජන ලැබෙනු ඇත. එහෙත්, ඔබ නගරයෙන් පිටව යාමට සූදානම් වන නිසාත්, ඕනෑම දවසක යාත්‍රා කිරීමට බලාපොරොත්තු වන නිසාත්, ඔබ පිටත්ව යන විට අප මිතුරන් ලෙස සිහිපත් කිරීමට පසුබට නොවන්න.’

එයට මම මෙසේ පිළිතුරු දුනිමි. “මා සම්බන්ධයෙන් ගත් කල, මා මෙහි නැවතී සිටියා නම්, මම සෑම දිනකම මෙම සාකච්ඡාව දිගටම කරගෙන යාමට කැමත්තෙමි. එහෙත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ උපකාරය ඇතිව, මා වහාම ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බැවින්, ඔබේම ගැලවීම සඳහාත්, ඔබේ ගුරුවරුන්ට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ වැලඳ ගැනීම සඳහාත් වන මෙම මහා අරගලය සඳහා ඔබගේ සෑම උත්සාහයක්ම යොදන ලෙස මම ඔබෙන් අයදිමි. මෙයින් පසුව ඔවුහු  මට ආරක්‍ෂිත ගමනක් සහ සෑම ව්‍යසනයකින්ම ගැලවීම ප්‍රාර්ථනා කරමින් මා වෙතින් පිටත්ව ගියහ.

එවිට මම ඔවුන් වෙනුවෙන් මෙසේ පවසමින් යාච්ඤා කළෙමි. “මහත්වරුනි, ඔබ උදෙසා මෙයට වඩා උතුම් ආශීර්වාදයක් මට ප්‍රාර්ථනා කළ නොහැකිය.  එනම් සෑම මිනිසෙකුටම මේ [ජීවන මාර්ගයෙන්] ප්‍රඥාව ලබා දෙන බව වටහාගෙන, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ බව අප විශ්වාස කරන ආකාරයටම ඔබටත් යම් දවසක සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට හැකි වනු ඇති බවටය.”


1-30 වන පරිච්ඡේදය

31-60 වන පරිච්ඡේදය

61-90 වන පරිච්ඡේදය

91-120 වන පරිච්ඡේදය

121-142 වන පරිච්ඡේදය