ක්‍රිස්තියානි ධර්මය – 3 වන පොත (Aurelius Augustine, On Christian Doctrine, Book 3)

Saint Augustine, On Christian Doctrine, Book 3, in Sinhala


1 වන පරිච්ඡේදය. ඉහත සඳහන් පොත්වල සාරාංශය සහ මෙයට පසුව දක්වන කාරණාවල විෂය පථය.

1. දෙවියන් වහන්සේට බිය වන මනුෂ්‍යයා ශුද්ධලියවිල්ලෙහි උන් වහන්සේගේ කැමැත්ත පිළිබඳ දැනගැනීම උදෙසා උනන්දුවෙන් එය සොයයි. එවැනි පුද්ගලයෙකු භක්තියෙන් යුතුව නිහතමානී වන අතර ගැටුම් මඟහරවා ගනී. නාඳුනන වචන සහ කථන ආකාරවලින් නතර නොවන පරිදි දුෂ්කර වචන සහ ප්‍රකාශන තේරුම් ගැනීමට භාෂා පිළිබඳ දැනුම ලබා ගනියි. ඇතැම් අවශ්‍ය වස්තූන් සංකේතාත්මකව භාවිත කරන අයගේ බලය සහ ස්වභාවය ගැන නොදැනුවත් බවින් පසු නොවන පිණිස සංකේතාත්මක අර්ථයන් ග්‍රහණය කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණා ගැන ඉගෙනගනියි. නිපුණතාවයෙන් සහ සැලකිල්ලෙන් යුක්තව සංරක්ෂණය කර ඇති ශුද්ධලියවිලි පාඨවල නිවැරදි අනුවාදයක් ඔවුන් සතුව ඇති බව සහතික කරගනියි. මෙම ගුණාංග සහ දැනුමෙන් සන්නද්ධ වූ පසුව, ඔහු ශුද්ධලියවිල්ලේ ඕනෑම අපැහැදිලි හෝ සංකීර්ණ කොටස් අධ්‍යයනය කර විසඳීමට සූදානම්ය. ඔහු ශුද්ධලියවිල්ලේ ඇති අපැහැදිලි අර්ථයන් මගින් නොමඟ යවනු ලැබීමෙන් වැළකී සිටීමට, මට හැකි තාක් දුරට එසේ උපදෙස් දිය හැකිය (කෙසේ වෙතත්, ඔහුගේ බුද්ධියේ විශිෂ්ටත්වය හෝ ඔහු භුක්ති විඳින ආලෝකයේ වැඩි පැහැදිලිකම නිසා මා පෙන්වා දීමට යන ක්‍රම බොළඳ යයි සලකා ඔහු සිනාසෙනු ඇත). එහෙත්, මා පවසන්නට ගිය පරිදි, මට උපදෙස් දිය හැකි තාක්, මා විසින් අනුශාසනා කළ හැකි මානසික තත්ත්වයක සිටින තැනැත්තා, ශුද්ධලියවිල්ලේ නොපැහැදිලිභාවය පවතින්නේ නිසි වචනවල හෝ සංකේතාත්මක රූපකවල එනම් මා දැනටමත් දෙවන පොතේ විස්තර කර ඇති පන්තිවල බව දැනගනීවා.

2 වන පරිච්ඡේදය – විරාම ලකුණු සැලකිල්ලෙන් යුතුව බැලීමෙන් වන අපැහැදිලි බව ඉවත් කිරීම සඳහා රීතිය.

2. එහෙත් නිසි වචන ශුද්ධලියවිල්ල අපැහැදිලි කරන විට, අපගේ විරාම ලකුණුවල හෝ උච්චාරණයේ කිසිදු වරදක් නොමැති බවට අප මුලින්ම සැලකිලිමත් විය යුතුය. ඒ අනුව, පාඨය කෙරෙහි අවධානය යොමු කරන විට, එහි විරාමය දැක්විය යුත්තේ හෝ උච්චාරණය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න අවිනිශ්චිත බව පාඨකයාට පෙනේ නම්, ශුද්ධලියවිල්ලේ පැහැදිලි කොටස්වලින් සහ සභාවේ අධිකාරයෙන් ඔහු රැස් කර ගත් ඇදහිල්ලේ රීතිය පිළිබඳ ඔවුන්ගේ මූලික අවබෝධය වෙත යොමු විය යුතුය. ඒ සම්බන්ධයෙන් මීට පෙර පළමුවන පොතේ දේවල් සම්බන්ධයෙන් දක්වන විට මා විස්තරාත්මකව සාකච්ඡා කර ඇත. එහෙත් ශුද්ධලියවිල්ලේ ඡේදයක කියවීම් දෙකම නැතිනම් (දෙකකට වඩා තිබේ නම්) ඒවා සියල්ලම ඇදහිල්ලට එකඟව අර්ථයක් ලබා දෙන්නේ නම්, පාඨකයා අවට සන්දර්භය – පෙර සහ පසු යන දෙකම – දෙස බැලිය යුතුය. එමගින් මෙම බහුවිධ අර්ථකථනයන්ගෙන් වඩාත් ගැළපෙන්නේ කුමන අර්ථ නිරූපණයද යන්න තීරණය කිරීමට සහ සමස්තයක් ලෙස පාඨයෙහි ඉතිරි කොටස සමග ස්වාභාවිකවම සම්බන්ධ වන්නේ කුමක්ද යන්න දැනගත හැකිය.

3. දැන් නිදසුන් කිහිපයක් බලන්න.

යොහන් 1:1-2 දැක්වෙන මිථ්‍යාදෘෂ්ටික බව පෙන්වා දීම, In principio erat verbum, et verbum erat apud Deum, et Deus erat, so as to make the next sentence run, Verbum hoc erat in principio apud Deum, (පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමඟ සිටිසේක) යන්න වාක්‍යාණෝ දෙවියන් වහන්සේ යන්න ප්‍රකාශ කිරීමට ඇති අකමැත්තෙන් පැන නගී. එහෙත් මෙය ත්‍රිත්වයේ සමානාත්මතාවයේ මූලික විශ්වාසයට එරෙහි ඕනෑම අර්ථකථනයක් ප්‍රතික්ෂේප කළ යුතුය. නිවැරදි අර්ථ නිරූපණය ඇදහිල්ලේ රීතිය සමග සමපාත විය යුතුය. එයින් අපට, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක, යන්නට පසුව වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, යන්න එකතු කිරීමට මගපෙන්වයි.

4. පහත අපෝස්තුළුවරයාගේ ප්‍රකාශයේ දැක්වෙන විරාම ලකුණු අපැහැදිලි බවක් ඇත. එහෙත් එය කියවන ඕනෑම ආකාරයකින් එය ඇදහිල්ලට පටහැනි නොවේ. එබැවින් නිවැරදි කියවීම තීරණය කිරීම සඳහා සන්දර්භය සලකා බැලිය යුතුය. නුමුත් මාංසයෙහි ජීවත්වීම [මාගේ කොටස නම්], මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි. නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම්, තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය. නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑකෙරේ. අපෝස්තුළුවරයාගේ ප්‍රකාශයේ ඇති වාක්‍ය ඛණ්ඩ කියවන්නේ කෙසේද යන්න අපැහැදිලිය: ඔහු අදහස් කරන්නේ, කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි, යන්නද නැතිනම් මම මේ දෙක මැද හිරවී සිටිමි, යන්නද අපැහැදිලිය. ඉන්පසු එයට මෙසේ එකතු කරයි, මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග විසීමටය. එසේම එයට, මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය, යන වාක්‍ය ඛණ්ඩය එකතු කිරීමෙන් පැහැදිලි වන්නේ ප්‍රේරිතයා වඩාත් හොඳ දේ එනම් ක්‍රිස්තුස් වහන්සේ සමග සිටීමට ආශා කරන බවයි. එබැවින්, ඔහුට තෝරාගැනීම් දෙකක් අතර සිරවී සිටින බවක් දැනෙන අතර, ඔහුට එකක් උදෙසා ආශාවක් ඇති අතර (ක්‍රිස්තුස් වහන්සේ සමග සිටීමට), අනෙක් කාරණය උදෙසා (ජීවත්ව සිටීමට සහ අන් අයට උපකාර කිරීමට) අවශ්‍යතාවක් ඇති බව හඳුනාගනියි. අපෝස්තුළුවරයාගේ ප්‍රකාශය කියවිය යුතු ආකාරය පිළිබඳ අපැහැදිලි බව, නිසා (enim/ for) යන වචනයෙන් පරිවර්තනය කර ඇති වදනින් විසඳනු ලැබ ඇත. මෙම වචනය මඟ හැර ඇති පරිවර්තකයින් ප්‍රිය කර ඇත්තේ අපෝස්තුළුවරයා කාරණා දෙකක් අතර සිරවී සිටිනවා පමණක් නොව, කාරණා දෙකක් සඳහා ආශාවක්ද ඇති බවට වන අර්ථ නිරූපණයටයි. එම නිසා අප අර්ථය වඩාත් පැහැදිලි කිරීම සඳහා, වාක්‍ය ඛණ්ඩය මෙසේ විරාම ගැන්විය යුතුය: et quid eligam ignoro: compellor autem ex duobus (මා කාරණා දෙකක් මැද හිරවී සිටිමි, එම නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි. එයට පසුව හේතුව දක්වා ඇත. concupiscentiam habens dissolvi, et esse cum Christo (මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය). ඔහු එක් දෙයකට නඩා අනෙක් කාරණයට ආශා කරන්නේ මන්ද යන්න ඔහුගෙන් ඇසුවාක් මෙන් ඔහු මෙලෙස එකතු කරයි: multo enim magis optimum (මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය). එසේ නම්, ඔහු මේ දෙක අතර සිර වී සිටින්නේ මන්ද? එයට හේතුව ඔහු ජීිවත්ව සිටීමේ අවශ්‍යතාවක් පවතින බැවිනි. ඔහු එය මෙලෙස එකතු කරයි: manere in carne necessarium propter vos (නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑකෙරේ).

5. ඇදහිල්ලේ රීතියෙන් හෝ සන්දර්භය මගින් අපැහැදිලි භාවය ඉවත් කළ නොහැකි නම්, එම පාඨය සුදුසු යැයි අප තෝරා ගන්නා ඕනෑම සාධාරණ ආකාරයකින් අපට එම වාක්‍යය අර්ථකථනය කිරීමට බාධාවක් නැත. කොරින්තිවරුන්ට වූ එම ඡේදයේ මෙසේ දක්වා ඇත: එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු. නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව. 2 කොරින්ති 7:1-2 අප එය කියවිය යුතු කෙසේද යන්න එනම්, mundemus nos ab omni coinquinatione carnis et spiritus [මාංසයේ සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගැනීම] යන්නද, නොඑසේ නම් ඇය ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිසද 1 කොරින්ති 7:34 යන්න සැක සහිතය. එසේ et spiritus perficientes sanctificationem in timore Dei capite nos et spiritus perficientes savinificationem in timor Dei capite nos [දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු, අප පිළිගන්න] යන ඊළඟ වාක්‍ය ඛණ්ඩය නිර්මාණය කර ඇත. එබැවින් එවැනි විරාම ලකුණු පිළිබඳ අපැහැදිලි භාවය පාඨකයාගේ අභිමතය අනුව ගත හැකිය.

3 වන පරිච්ඡේදය – නොපැහැදිලි බව ඉවත් කිරීමට උච්චාරණය උපකාරී වන ආකාරය. විවිධ ආකාරයේ ප්‍රශ්න කිරීම්.

6. අපැහැදිලි විරාම ලකුණු පිළිබඳ මා විසින් ලබා දෙන ලද සියලුම උපදෙස් සැක සහිත යෙදුම් ඇති විට ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුය. මන්ද මෙහිදී වරද ඇත්තේ පාඨකයාගේ නොසැලකිලිමත්කම නිසා නොවේ නම්, ඇදහිල්ලේ නීතිය මගින් හෝ පෙර හෝ පසු පාඨවල සඳහන් සන්දර්භය වෙත යොමු වීම මගින් හෝ ඒවා නිවැරදි කිරීම සිදු කෙරේ. එසේ නොමැතිව මේ ක්‍රම දෙකෙන් එක හෝ එහිදී සාර්ථක නොවන්නේ නම්, ඒවා සැක සහිත පාඨ ලෙසම පවතිනු ඇත. එහෙත් එහිදී පාඨකයා කුමන ආකාරයකින් එය උච්චාරණය කළත් වැරදි නොවේය. නිදසුනක් වශයෙන්, දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ තෝරාගත් අයට එරෙහිව කිසිදු චෝදනාවක් නොපමුණුවන බවටත්, ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේගේ තෝරාගත් තැනැත්තා හෙළා නොදකින බවටත් අපි විශ්වාස නොකළෙමු නම්, දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අයට චෝදනා කළ හැක්කේ කාටද? රෝම 8: 33-34 යන මෙම පාඨයෙන් නගන පැනයට, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කරන සේක් නම්, වරද තබන්නේ කවරෙකුද? යන දෙවන ප්‍රශ්නයක් සහ එයට පිළිතුරු ලෙස, මැරුණා වූු ක්‍රිස්තුස් යේසුස් වහන්සේය, යන සංවාදයක් ලෙස අපට අර්ථ දැක්විය හැකිය. එහෙත් එවැන්නක් විශ්වාස කිරීම මහත් උමතුවක් වනු ඇත. එබැවින් මෙම පාඨය පළමුවන කොටස පිළිතුරු ඇසීමේ ප්‍රශ්නයක් ලෙසත්, දෙවැන්න කුතුහලයෙන් යුත් විමසීමේ ප්‍රශ්නයක් ලෙසත් සලකන ආකාරයෙන් කියවිය යුතුය. ප්‍රශ්න ඇසීමක් සහ ප්‍රශ්න විමසීමක් අතර වෙනස පැරැන්නන් පැහැදිලි කළේ ප්‍රශ්න ඇසීමකට බොහෝ පිළිතුරු තිබිය හැකි බවත්, ප්‍රශ්න විමසීමකට ඔව් හෝ නැත පිළිතුරක් පමණක් අපේක්ෂා කරන බවත් පවසමිනි. එබැවින්, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කර ගන්නා ලද අයට එරෙහිව ඕනෑම චෝදනාවක් ඉදිරිපත් කළ හැක්කේ කාටද? යනඅ ප්‍රශ්නය ඇසීමෙන් පසුව, පහත දැක්වෙන විමසීමේ ප්‍රශ්නය ලෙස වාක්‍ය ඛණ්ඩය තැබෙන ආකාරයට ඡේදය කියවනු ලැබේ: ධර්මිෂ්ඨ කරන දෙවියන් වහන්සේද? – එයට නැත, යන පිළිතුර වටහාගත හැකිය. ඒ ආකාරයෙන්ම අපට ඇසීමේ ප්‍රශ්නයක් වන, හෙළා දකින්නේ කවුද? යන්නත්, එයට පිළිතුර නැවතත් ප්‍රශ්න විමසීමේ ස්වරූපයෙන්, නැවත නැඟිටි තැනැන් වහන්සේද? යන්න වෙනුවට, ඒ මිය ගිය ක්‍රිස්තුස් වහන්සේද? පිළිතුර ඔව්, යන්නත් පැමිණෙයි. දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩසිටින්නේ කවුද? අප වෙනුවෙන් මැදිහත්කම් කරන්නේ කවුද?— මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුර නැත, යන්න අවබෝධ වේ. අනෙක් අතට, එම පාඨයේ, එසේ නම් අපි කුමක් කියමුද? යන අපෝස්තුළුවරයා පවසන කාරණය, ධර්මිෂ්ඨකම ලුහුබැඳ නොගිය විජාතීන් ධර්මිෂ්ඨකමට පැමිණ ඇති බව; රෝම 9:30  එසේ නම් අපි කුමක් කියමුද? යනුවෙන් ප්‍රශ්න ඇසීමෙන් පසුව, එම ප්‍රශ්නයට පිළිතුර ලෙස පහත සඳහන් කාරණය දක්වා ඇත: ධර්මිෂ්ඨකම ලුහුබැඳ නොගිය විජාතීන් ධර්මිෂ්ඨකමට පැමිණ ඇත. එය පසුව ඇති සන්දර්භය සමග නොගැළපේ. එහෙත් නාසරෙත් වෙතින් යම් යහපත් දෙයක් පැමිණිය හැකිද? යොහන් 1:47 යන නතානියෙල්ගේ කියමන සම්බන්ධයෙන් ගත් කල, එම කියමන උච්චාරණය කිරීමට යමෙකුට තෝරා ගන්නා කුමන ස්වරයකින් වුවද, – ප්‍රශ්නය අසනු ලබන්නේ නාසරෙත් වෙතින් යහපත් කිසිවක් නොපැමිණෙන බව ස්ථිරවම අඟවමින් නිෂේධාත්මක බව තහවුරු කරන කෙනෙකු විසින්ද, නැතිනම් ඒ පිළිබඳ සැකයක් සහ අවිනිශ්චිතභාවයක් ඇතිව මුළු ප්‍රශ්නයම අසන අයෙකුගෙන්ද යන්න වුවද- එයින් වෙනසක් ඇති කරන්නේ කෙසේදැයි මට නොපෙනේ. එහෙත් කිසිම හැඟීමක් ඇදහිල්ලට විරුද්ධ නැත.

7. නැවතත්, අක්ෂරවල සැක සහිත ශබ්දය නිසා ඇති වන අපැහැදිලි බවක්ද තිබේ; එසේම එය උච්චාරණයට සම්බන්ධයක් ඇත. නිදසුනක් ලෙස, ඔබ රහසිගතව නිර්මාණය කළ මගේ අස්ථිය [os meum] ඔබ වහන්සේගෙන් සැඟවී නැත, යන පාඨයෙහි, os යන වචනය කෙටි ලෙස ගත යුතුද නැතිනම් දීර්ඝ ලෙස ගත යුතුද යන්න පිළිබඳ පාඨකයාට පැහැදිලි නැත. ඔහු එය කෙටි කරන්නේ නම්, එය ossa [අස්ථි] යන්නෙහි ඒක වචනය වේ; ඔහු එය දිගු කරන්නේ නම්, එය ora [මුඛයන්] යන්නෙහි ඒක වචනයයි. දැන් මෙවැනි දුෂ්කරතා මුල් භාෂාවෙන් පාඨය සොයා බැලීමෙන් ඉවත් කරනු ලැබ ඇත. මන්ද ග්‍රීක භාෂාවෙහි අපට στόμα [මුඛය] යන්න නොව ὁστέον [අස්ථි] යන්න හමු වේ. මේ හේතුව නිසා එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාර භාෂාව බොහෝ විට උගත් පුද්ගලයින් භාවිත කරන සංකීර්ණ හෝ ශාස්ත්‍රීය භාෂාවකට වඩා අර්ථය ප්‍රකාශ කිරීමේදී නිතරම ප්‍රයෝජනවත් වේ. මන්ද වඩා හොඳ ලතින් භාෂාවෙන් non est absconditum a te ossum meum (මාගේ අස්ථි ඔබ වහන්සේගෙන් සැඟව නොතිබිණි) එහෙත් අර්ථය අපැහැදිලි බවින් යුක්තව එම කොටස තිබීමට වඩා, නූගත් භාෂාවෙන් එය තිබෙනවා නම් මම කැමැත්තෙමි. එහෙත් ඇතැම් විට අක්ෂරයක ශබ්දය සැක සහිත වූ අවස්ථාවක එය තීරණය වන්නේ එම වාක්‍යයටම අයත් ඒ අසලම ඇති වචනයකිනි. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව, මම නුඹලාට ප්‍රථම කී ලෙසම, [prædico], දැනුත් කලින් නුඹලාට කියමි [prœdixi], ගලාති 5:21 යන අපෝස්තුළුවරයාගේ කියමන නිදසුනක් ලෙස ගත හැකිය.  දැන් ඔහු දැනුත් කලින් නුඹලාට කියමි, [quæ prædico vobis], යන්න පමණක් පවසා මම නුඹලාට ප්‍රථම කී ලෙසම, [sicut prœdixi], යන්න එකතු නොකළේ නම්, prædico/ ප්‍රෙඩිකෝ යන වචනයේ මැද අක්ෂරය උච්චාරණය කළ යුතු යන්නේ දීර්ඝවද, නැතිනම් කෙටිවද යන්න මුල් පිටපත නොබලා අපට දැනගත නොහැකි වනු ඇත. එහෙත්, එය එහි ඇති ආකාරයට දීර්ඝ ලෙස උච්චාරණය කළ යුතු බව පැහැදිලිය; මන්ද ඔහු පවසන්නේ, sicut prædixi (මම නුඹලාට ප්‍රථම කී ලෙසම මම ඔබට කලින් කී පරිදි) මිස, sicut prœdicavi (මා කී ලෙස) නොවන නිසාය.

4 වන පරිච්ඡේදය – අපැහැදිලි බව විසඳාගත හැකි ආකාරය.

8. මේවා පමණක් නොව, විරාම ලකුණුවලට හෝ උච්චාරණයට සම්බන්ධ නොවන අපැහැදිලි ස්ථානද ඒ හා සමාන ආකාරයෙන්ම පරීක්ෂා කළ යුතුය. නිදසුනක් ලෙස, තෙසලෝනිවරුන්ට යවන ලද හසුනෙහි, Propterea consolati sumus fratrares in vobis (එබැවින් සහෝදරයෙනි, නුඹලා නිසා අපි සැනසීම ලැබීමුව) යන්න දැක්විය හැකිය. මෙහිදී සහෝදරයෙනි, යන පදය පුද්ගලයා ආමන්ත්‍රණය කිරීමක්ද (vocative) නැතිනම් දෙයක් ගැන පැවසීමක්ද (accusative) යන්න සැක සහිතය. එසේම එය කුමන ආකාරයෙන් භාවිත කළද ඇදහිල්ලට පටහැනි නොවේ. එහෙත් ග්‍රීක භාෂාවේ එම ව්‍යාකරණමය අවස්ථා දෙක ස්වරූපයෙන් එක සමාන නොවේ; ඒ අනුව, අප මුල් පිටපත දෙස බලන විට, එය පුද්ගලයා ආමන්ත්‍රණය කරන්නක් බව පැහැදිලි වෙයි. දැන් පරිවර්තකයා, එබැවින්, සහෝදරවරුනි, ඔබ තුළ අපට සැනසීමක් ඇත (propterea consolationem habuimus fratres in vobis), යනුවෙන් පැවසීමට තෝරා ගත්තේ නම්, ඔහු වචන වඩාත් වචනානුසාරයෙන් අර්ථකථනය කිරීමට ඉඩ ඇත. එහෙත් එයින් අපේක්ෂිත අර්ථය පිළිබඳ අවම අපැහැදිලිභාවයක් ඇති වනු ඇත. නැතහොත්, ඇත්ත වශයෙන්ම, ඔහු අප (nostri) යන්න එකතු කළේ නම්, එබැවින් අපගේ සහෝදරයෙනි, ඔබ නිසා අපි සැනසීම ලැබුවෙමු (propterea consolati sumus fratres nostri in vobis), න්න ඇසුණු විට, මෙයින් පුද්ගලයා ආමන්ත්‍රණය කිරීම අදහස් කර ඇති බවට කිසිවෙකුත් සැක නොකරනු ඇත. එහෙත් මෙය එසේ භාවිත කිරීම තරමක් භයානක ලෙස නිදහස භුක්ති විඳීමකි. කෙසේ වෙතත්, කොරින්තිවරුන්ට ලියන ලද හසුනේ එය එසේ ගෙන ඇත. එහි අපෝස්තුළුවරයා මෙසේ දක්වයි: සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි. 1 කොරින්ති 15:31  මන්ද, එක් පරිවර්තකයෙකු එය, මම ඔබේ ගෞරවය වෙනුවෙන් දිවුරමි, (per vestram juro gloriam) යනුවෙන් පවසන අතර එය කිසිදු අපැහැදිලි භාවයකින් තොරව ග්‍රීක භාෂාවෙන් උනන්දුවෙන් පවසන ආකාරය දිස්වේ. එබැවින්, කිසියම් අවිනිශ්චිතතාවයක් පැහැදිලි කිරීම පිණිස පරිවර්තන සංසන්දනය කිරීම හෝ මුල් භාෂාව පරිශීලනය කිරීම සමග කතුවරයාගේ අභිප්‍රාය එළිදරව් කරන සන්දර්භය ප්‍රමාණවත් විය යුතු බැවින්, විශේෂයෙන් ශුද්ධලියවිල්ලට අදාළව, නිසි වචන සම්බන්ධයෙන් යම් අපැහැදිලි භාවයක් සොයා ගැනීම අතිශයින් දුර්ලභ හා ඉතාම අපහසු කරුණකි.

5 වන පරිච්ඡේදය – ශුද්ධලියවිල්ලේ සංකේතාත්මක ප්‍රකාශන වාචික අර්ථයෙන් වටහාගැනීම වූ කලි කාලකන්නි වහල්භාවයකි.

9. එහෙත් මා මීළඟට කතා කිරීමට යන රූපකාර්ථවත් වචනවල නොපැහැදිලි බව සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් සහ අවධානයක් අවශ්‍ය වේ. පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන්, සංකේතාත්මක ප්‍රකාශන වචනාර්ථයෙන් අර්ථකථනය නොකිරීමට අප වගබලා ගත යුතුය. අපෝස්තුළුවරයාගේ ප්‍රකාශනය මෙහිදීද අදාළ වේ. වචනය නසන්නේය, එහෙත් ආත්මය ජීවනය දෙන්නේය. (2 කොරින්ති 3:6) යමක් සංකේතාත්මකව පවසා ඇති විට එය වචනාර්ථයෙන් ගත් විට එය ලෞකික ආකාරයකින් අවබෝධ වේ. සතුන්ට වඩා ඉහළින් අප ඔසවා තැබිය යුතු බුද්ධිය, වචනයට අන්ධ ලෙස ඇලී සිටීමෙන් මාංසයට වහල් වන විට ආත්මයේ මරණය විස්තර කිරීමට එයට වඩා හොඳ ක්‍රමයක් නැත. වචනවල නියම අර්ථයට තදින්ම ඇලී සිටින අය, සංකේතාත්මක ප්‍රකාශන වචනාර්ථයෙන් තේරුම් ගැනීමට අදහස් කරන අතර, වචනවල ගැඹුරු, සංකේතාත්මක වැදගත්කම ග්‍රහණය කර ගැනීමට අසමත් වෙති. නිදසුනක් වශයෙන්, ඔවුන් සබත ගැන ඇසූ විට, ඔවුන් සිතන්නේ සෑම සතියකම නැවත නැවතත් පැමිණෙන සතියේ එක් දිනක් බව මිස අනෙකක් නොවේය, පූජාවක් ගැන ඇසෙන විට, පූජාව පවත්වන්නා චාරිත්‍රානුකූල ලෙස රැළෙන් සහ පොළොවේ ඵලවලින් පූජා ඔප්පු කිරීම මිස ඉන් ඔබ්බට ඔහුට සිතිය නොහැකිය. එසේ කිරීමෙන්, ඔවුහු මෙම සංකේතවලින් පෙන්වා දෙන ආධ්‍යාත්මික සත්‍යයන් අවබෝධ කර ගැනීමට නොහැකිව භෞතික ලෝකයේ සිරවී සිටිති. ආත්මය සැබෑ ලෙසම ආලෝකවත් කළ හැකි සදාකාලික සත්‍යයන් ග්‍රහණය කර ගැනීමට භෞතික සහ මවන ලද දේවලට ඔබ්බෙන් මනස ඔසවන්නට නොහැකිව, ඒවා නියෝජනය කරන දේ සඳහා සංකේත වරදවා වටහා ගැනීම මානසික වහල්භාවයේ දුක්ඛිත ආකාරයකි.

6 වන පරිච්ඡේදය – යුදෙව්වන්ගේ වහල්භාවයේ උපයෝගීතාව.

10. කෙසේ වෙතත්, යුදෙව් ජනයා සම්බන්ධයෙන් වන මෙම වහල්භාවය, අනෙකුත් ජාතීන් සම්බන්ධයෙන් වූ වහල්භාවයට වඩා බෙහෙවින් වෙනස් විය. එයට හේතුව නම්, කලින් සිටි අය ලෞකික දේවලට වහල් වී සිටියද, මේ සියල්ල තුළ ඔවුහු එකම දෙවියන් වහන්සේ ඔවුන්ගේ මනසෙහි මුලින් තැබූ නිසාය. එසේම මිනිසුන් ආධ්‍යාත්මික සත්‍යයන් පෙන්වා දෙන බාහිර සංකේත කෙරෙහි අවධානය යොමු කළද, එම සංකේතවලින් අදහස් කළේ කුමක්ද යන්න සම්පූර්ණයෙන් වටහා නොගෙන, ඔවුන් තවමත් ඔවුන්ගේ හදවත් තුළ ඒත්තු ගැන්වූයේ මෙම චාරිත්‍රවල වහල්කමට තමන්ම යටත් කරගනිමින් ඔවුන් සියල්ලන්ගේම දෙවියන් වහන්සේ වන අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන බවයි. තවද අපෝස්තුළුවරයා මෙම වහල්භාවය විස්තර කරන්නේ පාසල් ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සිටින පිරිමි ළමයින්ගේ වහල්භාවයට සමාන බවයි. තවද එවැනි සංකේත කෙරෙහි මුරණ්ඩු ලෙස ඇලී සිටි අයට ඔවුන්ගේ එළිදරව් කිරීමේ කාලය පැමිණි විට අපගේ ස්වාමින් වහන්සේ විසින් ඔවුන් නොසලකා හරිනු ලැබීම දරාගත නොහැකි විය. එබැවින් ඔවුන්ගේ නායකයෝ උන් වහන්සේ සබත් දින සුව කළ බවට උන් වහන්සේට විරුද්ධව චෝදනාව ලෙස ඉදිරිපත් කළෝය. මෙම සංකේත යථාර්ථයන් මෙන් අල්ලාගෙන සිටි ජනයාට, යුදෙව්වන් ඉටු කළ ආකාරයෙන් ඒවා පැවැත්වීම ප්‍රතික්ෂේප කළ තැනැත්තා දෙවියන් වහන්සේ නැතහොත් දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැත්තා බව විශ්වාස කළ නොහැකි විය. එහෙත් විශ්වාස කළ අය අතරින් යෙරුසලමේ මුල් සභාව පිහිටුවන ලද අතර, ඔවුහු කීකරු අය මත යම් කාලයක් සඳහා පවරන ලද එම සංකේත මගින් මෙහෙයවනු ලැබීම කොතරම් විශාල වාසියක්දැයි පැහැදිලිව පෙන්වා දුන්හ. එසේම ඒවා පැවැත්වූ අයගේ සිතුවිලි අහසත් පොළොවත් මැවූ එකම දෙවියන් වහන්සේට නමස්කාර කිරීම පිළිබඳ යොමු වී තිබිණි. මෙම මිනිසුන්, ඔවුන් ආධ්‍යාත්මික දේවලට ඉතා සමීපව සිටි නිසා (ඒවායෙහි ආත්මික අර්ථය පැහැදිලිව වටහා නොගත්තද, තාවකාලික හා ලෞකික පූජාවන් සහ එම ක්‍රමවලින් පවා, ඔවුහු එකම සදාකාලික දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට ඉගෙන ගත්හ) ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ එවැන් වූ මිනුමකින් පූර්ණ වී සිටි අතර, ඔවුහු තමන්ගේ සියලුම භාණ්ඩ විකුණා, දුප්පතුන් අතර බෙදා හැරීම සඳහා එම මුදල් ප්‍රේරිතයන්ගේ පාමුල තැබූහ. ක්‍රියා 4:34-35 එමෙන්ම ඔවුන් සේවය කරමින් සිටි පැරණි දේවමාළිගාව පොළොවේ දෙයක් ලෙස සලකා, නව දේවමාළිගාවක් ලෙස ඔවුහු සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප වූහ.  

11. දැන්, කිසිම අන්‍යජාතික සභාවක් මෙය කළ බව වාර්තා වී නැත. මන්ද, තමන්ගේම අත්වලින් සාදන ලද දෙවිවරුන්ගේ පිළිම තිබූ මිනිසුන් ආත්මික දේවලට එතරම් සමීපව නොසිටි බැවිනි.

7 වන පරිච්ඡේදය – විජාතිකයන්ගේ නිෂ්ඵල වහල්භාවය (බන්ධනය).

එසේ යම් කෙනෙකු ඔවුන්ගේ පිළිම සලකුණු පමණක් බව පෙන්වීමට උත්සාහ කළත්, ඔවුහු තවදුරටත් ඒවා සත්වයාට නමස්කාර කිරීම හා ගෞරව කිරීම සඳහා භාවිත කළහ. නිදසුනක් වශයෙන්, නෙප්චූන්ගේ රූපය දෙවියෙකු ලෙස සැලකීම නොව, පුළුල් සාගරය සහ එම දිය උල්පත් හැරුණුකොට අනෙකුත් සියලුම ජලය නියෝජනය කිරීම පමණක් බව කීමෙන් මට එහි ඇති වෙනස කුමක්ද? මගේ මතකය නිවැරදි නම්, ඔවුන්ගේ කවියෙකු විසින් විස්තර කරන ලද ආකාරයට, නෙප්චූන් පියාණෙනි, ඔබගේ දේවාල ඝෝෂාකාරී මුහුදෙන් ඔපවත් වී ඇත, ඔබගේ රැවුල නොනවත්වා ගලා යන බලවත් සාගරයයි, ඔබගේ හිසකෙස් වංගු සහිතව ගලන ගංගාවන්ය. මෙම කවචය ඇතුළත බීජ එහා මෙහා යන විට ශබ්දයක් ඇති කරයි. එය ප්‍රසන්න ගුණයක් ඇති ආරක්ෂිත තට්ටුවකින් ඔතා ඇත, එහෙත් එය මිනිසුන්ට ආහාරයක් නොව, ඒ වෙනුවට, එය ඌරන් සඳහා වන ආහාරයකි. ශුභාරංචිය දන්නා තැනැත්තා මා අදහස් කරන්නේ කුමක්දැයි දනියි. ලූක් 15:16 එසේ නම්, නෙප්චූන්ගේ රූපය මෙම අර්ථ නිරූපණයට සම්බන්ධ නම්, එයින් සිදු වන්නේ මා කිසිවකුට නමස්කාර නොකරන බව පමණක් මිස එයින් මට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? මන්ද, ඔබ නමස්කාර කිරීමට කැමති ඕනෑම පිළිමයක් මට පුළුල් සාගරය තරම් දෙවියෙකු වන බැවිනි. කෙසේ වෙතත්, මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණ දෙවියන් බවට පත් කරන අය දෙවියන් වහන්සේ විසින් කරන ලද නිර්මාණවලට නමස්කාර කරන අයට වඩා පහත් මට්ටමකට වැටී ඇති බව මම පිළිගනිමි. එහෙත් ආඥාව වන්නේ, අන්‍යජාතීන් විසින් දෙවියන් ලෙස නමස්කාර කරනු ලබන හෝ සංකේත සහ දෙවිවරුන්ගේ නියෝජනයන් ලෙස සලකනු ලබන පිළිමවලට නොව, සියලු දේවල මැවුම්කරුවාණන් වහන්සේ වන එකම දෙවියන් වහන්සේට පමණක් අප ප්‍රේම කිරීම සහ සේවය කිරීම කළ යුතු බවය. එසේ නම්, ප්‍රයෝජනවත් අරමුණක් ඉටු කිරීමට අදහස් කරන ලද සංකේතයක් එම සංකේතයෙන් නියෝජනය කරන සැබෑ දෙය ලෙස සැලකීම මාංසයට වහල්වීම නම්, අර්ථ විරහිත දේ නියෝජනය කරන සංකේත සැබෑ දේ ලෙස සැලකීම කොතරම් නරකද! මන්ද, ඔබ එවැනි සංකේත මගින් ඇඟවුම් කරන ලද දේවල් වෙත ආපසු ගොස්, ඒවාට නමස්කාර කිරීම උදෙසා ඔබේ මනස යොමු කළත්, ඔබ කුමන ආකාරයකින් හෝ මාංසයේ බන්ධනයේ බරින් සහ ජීවිතයෙන් වඩා නිදහසක් ලබන්නේ නැත.

8 වන පරිච්ඡේදය – ඔවුන්ගේ වහල්භාවයෙන් යුදෙව්වන් එක් ආකාරයකින් නිදහස් වූ අතර, අන්‍යජාතිකයෝ තවත් ආකාරයකින් නිදහස් වූහ.

12. ක්‍රිස්තුස් වහන්සේ ගෙන එන නිදහස අර්ථවත් ආගමික සංකේතවලට බැඳී සිටි මිනිසුන් සොයා ගත් අතර, මෙම පුද්ගලයින් යම් ආකාරයකින් සැබෑ අවබෝධයට දැනටමත් සමීප වී ඇත. මෙම සංකේත පිටුපස ඇති සැබෑ අරුත පැහැදිලි කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් නිදහස් කර, එම සංකේත සමගම බැඳී සිටීමෙන් ඔවුන් නිදහස් කර, එම සංකේත නියෝජනය කරන ගැඹුරු යථාර්ථයන් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන්ට මග පෙන්වූ සේක. එවැනි අයගෙන් ඉශ්‍රායෙල් ශුද්ධවන්තයන්ගේ සභාවන් පිහිටුවනු ලැබිණි. අනෙක් අතට, ක්‍රිස්තුස් වහන්සේගේ නිදහස අර්ථ විරහිත සංකේතවලට බැඳී සිටි මිනිසුන් සොයා ගත්තේය. එය එම සංකේතවලට වහල් වීමෙන් ඔවුන් නිදහස් කළා පමණක් නොව, මෙම ව්‍යාජ සංකේත සම්පූර්ණයෙන්ම ඉවත් කර නිෂ්ඵල කරනු ලැබ ඇත. එසේ කිරීමෙන් අන්‍යජාතිකයන්ට බොහෝ බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමේ දූෂණයෙන් ඈත් වීමට ඉඩ ලබා දුන්නේය – එය ශුද්ධලියවිල්ල බොහෝ විට සහ නිවැරදි ලෙස එකම සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කිරීම වෙනුවට කරන වේශ්‍යාකම ලෙස හඳුන්වන්නකි. එසේ කළේ ඔවුන් දැන් ප්‍රයෝජනවත් ආකාරයේ සංකේතවල වහල්භාවයට පත් විය හැකි නිසා නොව, එවැනි දේ පිළිබඳ ආධ්‍යාත්මික අවබෝධය තුළ ඔවුන්ගේ මනස අභ්‍යාස කිරීම උදෙසාය.

9 වන පරිච්ඡේදය – සංකේතවලට වහල් වී සිටින්නේ කවුරුන්ද සහ එසේ වහල් වී නොසිටින්නේ කවුරුන්ද යන්න.

13. වැදගත් වස්තුවක් හෝ සංකේතයක් එහි සැබෑ අරුත තේරුම් නොගෙන භාවිත කරන විට හෝ ගරු කරන විට පුද්ගලයෙකු වහල්භාවයට පත් වේ. අනෙක් අතට, අර්ථවත්, දිව්‍යමය වශයෙන් ස්ථාපිත සලකුණක් ඥානවන්තව භාවිත කරන හෝ එයට ගරු කරන කල, එහි අරමුණ සහ වැදගත්කම සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන, පෙනෙන, තාවකාලික සංකේතයට නොව, එය නියෝජනය කරන සදාකාලික සත්‍යයට නමස්කාර කරයි. දැන් එබඳු පුද්ගලයා බාහිර පිළිවෙත්වලින් හෝ චාරිත්‍ර වාරිත්‍රවලින් බැඳී සිටින විට පවා ආධ්‍යාත්මික වශයෙන් ඥානාන්විතව හා නිදහස්ව සිටියි. ආත්මික තත්වයෙන් අඩු පරිණත පුද්ගලයන්ගේ සීමාවන් ආමන්ත්‍රණය කිරීමට මෙම පිළිවෙත් උපකාර වන බැවින් බාහිර සලකුණුවලට අනුගත වීමට අවශ්‍ය කාලවලදී පවා මෙම නිදහස පවතී. මෙම ආධ්‍යාත්මික පුද්ගලයින්ගේ පන්තියට කුලදෙටුවන් සහ අනාගතවක්තෘවරුන් මෙන්ම ඉශ්‍රායෙල් සෙනඟ අතර සිටි සියල්ලන්ම අයත් වූ අතර, ඔවුන්ගේ උපකරණය තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේ අපට ශුද්ධලියවිල්ලේ උපකාරය සහ සැනසීම ලබා දුන් සේක. එහෙත් වර්තමානයේදී, අපගේ ස්වාමින් වහන්සේගේ උත්ථානය තුළ අපගේ නිදහස පිළිබඳ සාක්ෂිය ඉතා පැහැදිලිව බැබළුණු පසුව, අපට දැන් වැටහෙන එම සංකේතවලට පවා සහභාගී වීමේ අධික බරින් අපි පීඩාවට පත් නොවෙමුව, එහෙත් අපගේ ස්වාමින් වහන්සේම, සහ අපෝස්තලික පිළිවෙත අනුව, බොහෝ චාරිත්‍ර වෙනුවට චාරිත්‍ර කිහිපයක් අපට ලබා දී ඇති අතර, මේවා එකවර ඉටු කිරීමට ඉතාම පහසුය, එමෙන්ම ඒවායේ වැදගත්කම අනුව වඩාත් මහිමාන්විතය, එසේම ඒවා පිළිපැදීමේදී අතිශයින් පූජනීයය; නිදසුනක් වශයෙන්, බෞතීස්මයේ සක්‍රමේන්තුව සහ ස්වාමින් වහන්සේගේ ශරීරය හා රුධිරය සැමරීම වැනි සක්‍රමේන්තු දැක්විය හැකිය. ඕනෑම අයෙකු මෙම චාරිත්‍ර දෙස බැලූ විගසම ඒවායින් අදහස් වන්නේ කුමක්ද යන්න ඔවුහු දනිති. එබැවින් ඔවුන් ඒවාට ගෞරව කරන්නේ ලෞකික වහල්භාවය තුළ නොව ආධ්‍යාත්මික නිදහස තුළය. දැන්, වචනාර්ථය අනුගමනය කිරීම සහ ඒවායින් ඇඟවුම් කරන දේවල් සඳහා සලකුණු ගැනීම දුර්වලකමේ සහ වහල්භාවයේ සලකුණකි. එබැවින් සංකේත වැරදි ලෙස අර්ථකථනය කිරීම වැරදීම මගින් නොමඟ යවනු ලැබීමේ ප්‍රතිඵලයකි. කෙසේ වෙතත්, සංකේත යනු කුමක්දැයි නොතේරෙන, එහෙත් එය සංකේතයක් බව දන්නා තැනැත්තා සිටින්නේ බන්ධනයක නොවේය. තවද, සංකේත වැරදි ලෙස අර්ථකථනය කර විශාල වැරදිවලට වැටීමේ අවදානමට වඩා නොදන්නා එහෙත් ප්‍රයෝජනවත් සංකේතවලට වහල් වී සිටීම හොඳය. එසේ වුවහොත් සිදු වන්නේ වහල්කමේ වියගසෙන් ඉවත් වී වරදේ උගුලට අසුවීම පමණකි.

10 වන පරිච්ඡේදය – වාක්‍ය ඛණ්ඩයක් සංකේතාත්මකද යන්න අප හඳුනාගන්නා ආකාරය.

14. එහෙත් ඉහත සඳහන් කරන ලද රීතියට අමතරව, රූපකාර්ථයෙන් ඇති ඇදහසක් වචනානුසාරයෙන් ඇතිවාක් මෙන් එහි අර්ථය ගැනීම නොකළ යුතුවා මෙන්ම, වචනාර්ථයෙන් සඳහන් කර ඇති කාරණයක අර්ථය රූපකාර්ථයෙන් නොගැනීමටද අප ප්‍රවේශම් විය යුතුය. ප්‍රථමයෙන්ම, අප වාක්‍ය ඛණ්ඩයක් වචනානුසාරයෙන් තිබේද සංකේතාත්මකව තිබේද යන්න සොයා ගැනීම පිණිස ක්‍රමය පෙන්විය යුතුය. එම ක්‍රමය නිසැකවම පහත පරිදි වේ: වචනානුසාරයෙන් ගත් විට, ජීවිතයේ පාරිශුද්ධත්වය හෝ ධර්මයේ නිවැරදි බව සඳහන් කළ නොහැකි දෙවියන් වහන්සේගේ වචනයේ ඇති කුමක් වූවද, එය ඔබට සංකේතාත්මක ලෙස දැක්විය හැකිය. ජීවිතයේ පවිත්‍රත්වය දෙවියන් වහන්සේට සහ කෙනෙකුගේ අසල්වැසියාට ඇති ප්‍රේමය පිළිබඳ යොමු කෙරෙයි. දෙවියන් වහන්සේ සහ කෙනෙකුගේ අසල්වැසියා පිළිබඳ දැනුම සඳහා ධර්මයේ නිවැරදි බව යොමු කෙරෙයි. තවදුරටත්, සෑම මිනිසෙකුටම ඔහු දෙවියන් වහන්සේට සහ තම අසල්වැසියාට ඇති ප්‍රේමය සහ දැනුමට ළඟා වී ඇති බව ඔහුට පෙනෙන ආකාරයට හෘදයසාක්ෂිය ගැන බලාපොරොත්තුවක් ඇත්තේය. දැන් මේ සියලුම කාරණා පිළිබඳ පළමුවන පොතේ සඳහන් කර ඇත.

15. එහෙත් මිනිසා පව් තක්සේරු කිරීමට පෙලඹෙයි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ උරුමය වන ආවේණික පව්කාර බව සම්බන්ධයෙන් නොව, එහෙත් ඔවුන්ගේම සිරිත් විරිත් ගැන සම්බන්ධයෙනි. එය බොහෝ විට සිදුවන්නේ මිනිසෙකු තම රටේ සහ තමා ජීවත් වන කාලයේදී මිනිසුන් හෙළා දැකීමට හුරුපුරුදු වූ කාරණා හැරුණුකොට වෙනත් කිසිවක් වැරදි සහගත ලෙස වටහා නොගැනීමයි. එසේම ඔහුගේ සගයන්ගේ චාරිත්‍රවලට අනුව අනුමත කරන ලද කාරණා හැරුණුකොට ප්‍රශංසාව ලැබීමට හෝ අනුමැතිය ලැබීමට සුදුසු කිසිවක් ඇත්තේ නැත. එම නිසා, ශුද්ධලියවිල්ල අසන්නන්ගේ සිරිත් විරිත්වලට පටහැනි දේ අණ කරයි නම්, එසේත් නැතිනම් විරුද්ධ නොවන දේ හෙළා දකින්නේ නම්, සහ ඒ සමගම වචනයේ අධිකාරය ඔවුන්ගේ මනසෙහි රැඳී තිබේ නම්, ඔවුහු එම ප්‍රකාශනය සංකේතාත්මක බව සිතති. දැන් ශුද්ධලියවිල්ල ප්‍රේම කිරීම හැරුණු‍කොට අන් කිසිවක් අණ කරන්නේ නැත, එසේම තෘෂ්ණාව හැරුණුකොට අන් කිසිවක් හෙළා දකින්නේ නැත. එසේ ශුද්ධලියවිල්ල ඒ ආකාරයෙන් මිනිසුන්ගේ ජීවිත හැඩගස්වයි. ඒ හා සමානවම, වැරදි මතයක් මනසට කා වැදී තිබේ නම්, එයට ප්‍රතිවිරුද්ධව ශුද්ධලියවිල්ල ප්‍රකාශ කරන ඕනෑම දෙයක් සංකේතාත්මක විය යුතු බව මිනිස්සු සිතති. දැන් ශුද්ධලියවිල්ල අතීතය, අනාගතය සහ වර්තමානය සම්බන්ධ කාරණාවලින් කතෝලික ඇදහිල්ල හැරුණුකොට අන් කිසිවක් ප්‍රකාශ නොකරයි. එය අතීතය පිළිබඳ ආඛ්‍යානයක්, අනාගතය පිළිබඳ දිවැස්වැකියක් සහ වර්තමානය පිළිබඳ විස්තරයකි. එහෙත් මේ සියල්ලම ප්‍රේමය පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමටත්, තෘෂ්ණාව ජය ගැනීමට සහ මුලිනුපුටා දැමීමටත් නැඹුරු වේ.

16. ප්‍රේමය යනුවෙන් මා අදහස් කරන්නේ දෙවියන් වහන්සේ උදෙසාම දෙවියන් වහන්සේගේ ප්‍රීිතිය අරමුණු කරගත් සහ දෙවියන් වහන්සේට යටත්ව තමා සහ තමාගේ අසල්වැසියාගේ යහපත අරමුණු කරගත් සිතෙහි ඇති සෙනෙහසයි. තෘෂ්ණාව යනුවෙන් මා අදහස් කරන්නේ දෙවියන් වහන්සේට යොමු වීමකින් තොරව තමා සහ තම අසල්වැසියා මෙන්ම වෙනත් භෞතික දේවල් භුක්ති විඳීම අරමුණු කරගත් මනසේ ඇති සෙනෙහසයි. නැවතත්,යටපත් නොවූ තෘෂ්ණාව මගින් තමාගේම ආත්මය හා ශරීරය දූෂණය කිරීමට කරන දේ දුෂ්ටකම ලෙස හැඳින්වේ. එහෙත් එයින් අනෙකාට හානි කිරීමට කරන දෙය අපරාධයක් ලෙස හැඳින්වේ. තවද සියලුම පාපයන් බෙදිය හැකි පන්ති දෙක වන්නේ මේවාය. එහෙත් දුෂ්ට බව පළමුව පැමිණේ; මන්ද, මේවා ආත්මය වෙහෙසට පත් කළ පසුව, එය එක්තරා ආකාරයක දරීද්‍රතාවයකට ඇද දැමූ පසුව, එය පහසුවෙන්ම අපරාධ කිරීමට ලිස්සා යන්නේය. එසේ වන්නේ එහි දුෂ්ටකම් කිරීමට ඇති බාධා ඉවත් කිරීමට හෝ දුෂ්ටකමට සහාය ලබා ගැනීම පිණිසය. ඒ හා සමානවම, කෙනෙකුගේ ප්‍රයෝජනය අරමුණු කරගෙන ප්‍රේමය සිදු කරන කාරණය වන්නේ ප්‍රඥාවන්ත විචක්ෂණශීලීි බවයි. එහෙත් එය අසල්වැසියාගේ ප්‍රයෝජනය අපේක්ෂාවෙන් කරන දෙය කරුණාව ලෙස හැඳින්වේ. තවද මෙහිදී ප්‍රඥාවන්ත විචක්ෂණශීලීි බව පළමුව පැමිණේ. මන්ද කිසිවකුට තමා සතු නොවන ප්‍රයෝජනයක් තවත් කෙනෙකුට ලබා දිය නොහැකි බැවිනි. දැන් තෘෂ්ණාවේ ආධිපත්‍යය පහතට ඇද දමන ප්‍රමාණයට සමානුපාතිකව, ඒ හා සමාන අනුපාතයකින් ප්‍රේමය ගොඩනගනු ලබන්නේය.

11 වන පරිච්ඡේදය – දෙවියන් වහන්සේට සහ ශුද්ධවන්තයන්ට බරපතල බව ආරෝපණය කරන වාක්‍ය ඛණ්ඩ අර්ථ දැක්වීමේ රීතිය.

17. ශුද්ධලියවිල්ල තුළ  දෙවියන් වහන්සේට හෝ උන් වහන්සේගේ ශුද්ධවන්තයන්ට  වචනයෙන් හෝ ක්‍රියාවෙන් ආරෝපණය කර ඇති සෑම බරපතල කාරණයක් සහ පෙනෙන ආකාරයේ කෲරත්වය, තෘෂ්ණාවේ ආධිපත්‍යය ඇද දැමීමට උපකාරී වේ. එහි අර්ථය පැහැදිලි නම්, එය සංකේතාත්මකව කථා කර ඇති කාරණයක් මෙන් සලකා, අප එයට ද්විතීයික අර්ථයක් සඳහන් නොකළ යුතුයි. නිදසුනක් වශයෙන්, අපෝස්තුළුවරයාගේ එම කියමන සලකා බලන්න: එහෙත්, ඔබේ දැඩිකම සහ පසුතැවිලි නොවන හදවත හේතුවෙන්, උදහසේ දවසට සහ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරව් වන දවසට එරෙහිව දෙවියන් වහන්සේගේ උදහස ඔබ කෙරෙහිම යොමු කර ගන්නෙහිය. දෙවියන් වහන්සේ සෑම මනුෂ්‍යයෙකුටම එකිනෙකාගේ ක්‍රියාවන් අනුව විපාක ලබා දෙන සේක. ඉවසිලිවන්තව යහපත් ක්‍රියා කරමින්, මහිමය, ගෞරවය, අමරණීයභාවය සොයන අයට සදාකාල ජීවනය ලැබෙනු ඇත. එහෙත්, වාද කරන, සත්‍යයට කීකරු නොවන, අධර්මිෂ්ඨකමට කීකරු වන, කෝපයට හා උදහසට කැමති, පීඩාවට හා වේදනාවට කැමති වන්නන්ට, නපුර කරන සෑම මනුෂ්‍යයෙකුගේම, පළමුවෙන් යුදෙව්වාට සහ අන්‍යජාතීන්ටද දඬුවම් ලැබෙනු ඇත. රෝම 2:5-9 එහෙත් මෙයින් ආමන්ත්‍රණය කර ඇත්තේ තම තෘෂ්ණාව යටපත් කර ගැනීමට අකැමැතිව තම තෘෂ්ණාව විනාශ කිරීමට තමන්ම සම්බන්ධ වන අයටය. කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකු තම ජීවිතයේ කලින් ආධිපත්‍යය දැරූ තෘෂ්ණාවෙහි පාලනය පෙරළා දැමීමට සමත් වූ විට, එය ගැඹුරු වෙනසක් පෙන්නුම් කරයි. එම පරිවර්තනය සරල ලෙස මෙසේ විස්තර කෙරේ. ක්‍රිස්තුස් වහන්සේගේ වන අය, ඔවුන්ගේ ආශාවන් සහ කැමති දේවල් සමග ඔවුන්ගේ මාංසය කුරුසියේ ඇණ ගසා ඇත. ගලාති 5:24 මෙම අවස්ථාවලදී පවා සමහර වචන සංකේතාත්මකව භාවිත කරනු ලැබේ, නිදසුනක් ලෙස, දෙවියන් වහන්සේගේ උදහස සහ කුරුසියේ ඇණ ගසනු ලැබ ඇත යන වචන දැක්විය හැකිය. එහෙත් මෙවැනි වචන බොහෝ සංඛ්‍යාවක් නැත. එසේත් නැතිනම් තේරුම් ගැනීමට අපහසු වන ආකාරයට අපැහැදිලි ලෙස යොදා නැත. එය දෘෂ්ටාන්තමය හෝ ප්‍රහේළිකාවක් ලෙස දක්වමින්, එය සංකේතම ලෙස හැඳින්වෙන ප්‍රකාශන වර්ගයක් ලෙස දක්වා ඇත.එහෙත් යෙරෙමියාට පැවසූ කියමනෙහි, බලන්න, ජාතීන් සහ රාජ්‍යයන් කෙරෙහි ඒවා මුලිනුපුටා දැමීමටත්, කඩා දැමීමටත්, විනාශ කිරීමට සහ බිම හෙළීමටත් අද මම ඔබ පත් කළෙමි. යෙරෙමියා 1:10 මෙහි මුළු භාෂාවම සංකේතාත්ම වන බවට කිසිම සැකයක් නැත. එසේම එය මා කතා කළ අවසානයට යොමු කළ යුතුය.

12 වන පරිච්ඡේදය – දෙවියන් වහන්සේට සහ ශුද්ධවන්තයන්ට ආරෝපණය කර ඇති, එසේම තවමත් නුපුහුණු අය දුෂ්ට යැයි පෙනෙන එම කියමන් සහ ක්‍රියාවන් අර්ථකථනය කිරීමේ රීතිය.

18. නැවතත්, එම කාරණා කියමන් පමණක් හෝ සැබෑ ක්‍රියාවන් වුවත්, අද්දැකීම් අඩු අයට ඒවා පාපී දේවල් ලෙස පෙනේ. එනම් දෙවියන් වහන්සේට  හෝ ශුද්ධකමෙහි ආදර්ශයක් ලෙස අප ඉදිරියෙහි තබා ඇති මිනිසුන්ට ආරෝපණය කරන ලද කාරණා සම්පූර්ණයෙන්ම සංකේතාත්මක මෙන්ම ඒවායෙහි අන්තර්ගත සැඟවුණු අර්ථය ප්‍රේමයෙන් පෝෂණය කිරීම සඳහා ආහාර ලෙස තෝරාගත යුතුය. දැන්, ඔහු සමග ජීවත් වන අයගේ සිරිතට වඩා අඩුවෙන් සංක්‍රාන්තික වස්තු භාවිත කරන තැනැත්තා, මධ්‍යස්ථ අයෙකි, නැතිනම් මිථ්‍යාදෘෂ්ටිකයෙකි; අනෙක් අතට, කවුරුන් හෝ ඔහු සමග සිටින යහපත් මිනිසුන්ගේ සිරිත්වල සීමාවන් ඉක්මවා යාමට ඒවා භාවිත කරන්නේ නම්, ඔහු කරන දෙයෙහි වැඩිදුර අර්ථයක් ඇත, නැතහොත් ඒය පාපී ඒවා වේ. එවැනි සෑම කාරණයකදීම දොස් පැවරිය යුත්තේ වස්තූන් භාවිත කිරීම ගැන නොව, එහෙත් ඒවා භාවිත කරන්නාගේ තෘෂ්ණාවටය. නිදසුනක් ලෙස, එම ස්ත්‍රිය අපගේ ස්වාමින් වහන්සේගේ පාද අනර්ඝ තෛලයකින් ආලේප කළ විට, යොහන් 12:3 ධනවත් සහ දුරාචාරමය ගති ඇති මිනිසුන් විසින් පවත්වනු ලබන අතිවිශිෂ්ට භෝජන සංග්‍රහවලදී ඔවුන්ගේ පාද ආලේප කරනු ලැබුවේ එම හේතුව නිසා බව සිහිබුද්ධිය සහිත මනස ඇති කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇත. මන්ද මිහිරි සුවඳ යන්නෙන් අදහස් කරන්නේ යහපත් ක්‍රියා සහිත ජීවිතයෙන් උපයා ගන්නා යහපත් වාර්තාවයි. ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාරේ යමින් මෙය ජයග්‍රහණය කරන මිනිසා, උන් වහන්සේගේ පාදවලට (කතා කරන බසින්) අනර්ඝ වූ තෛලය ආලේප කරයි. එබැවින් වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ විට පාපයක් වන දෙය, දෙවියන් වහන්සේට හෝ දිවැසිවරයෙකුට හෝ ආරෝපණය කළ විට, එය යම් මහත් සත්‍යයේ සලකුණක් බවට පත් වේ. නිදසුනක් වශයෙන්, ගණිකාවක් සමග ඇසුරු කිරීම, පාලනයකින් තොර පුරුදුවල ප්‍රතිඵලයක් වන විට එක් කාරණයක් වන අතර, අනාගතවක්තෘ හොෂෙයා විසින් ඔහුගේ අනාවැකිය අතරතුර කරන ලද විට තවත් කාරණයකි. හොෂෙයා 1:2 බේබද්දන් සහ දුෂ්ට අතරේ දී භෝජන සංග්‍රහයකදී ශරීරය නිශ්චය කිරීම නින්දාවක් වූ පමණින්, නිවසේ නාන කාමරයේ නිරුවතින් සිටීම පාපයක් යැයි අදහස් නොවේ.

19. එබැවින්, අප ඉක්මන් වීමෙන් පාප විනිශ්චය කිරීමෙන් වැළකී පරෙස්සමින් විවිධ කාලයන්, ස්ථාන සහ මිනිසුන්ට ගැළපෙන දේ හොඳින් සලකා බැලිය යුතුය. ප්‍රඥාවන්තයෙකුට කෑදරකමකින් තොරව හොඳ ආහාර භුක්ති විඳිය හැකි අතර, මෝඩයෙකු ගිජු ආහාර රුචිය ඇතිව පිළිකුල් සහගත ලාභම ආහාර වේලෙහි උමතු විය හැකිය. එසේම ඕනෑම සිහිබුද්ධිය ඇති කෙනෙක් ඒසව් මෙන් කොල්ලු හෝ හරකුන් මෙන් බාර්ලි කෑමට වඩා අපේ ස්වාමින් වහන්සේ මෙන් මාළු කෑමට කැමැත්තක් දක්වයි. බොහෝ සත්තු සරල ආහාර අනුභව කරති, එහෙත් ඒ නිසා සතුන් අපට වඩා ස්වයං පාලනයකින් යුතු බවට අදහස් නොවේ. අවසාන වශයෙන්, මේ ආකාරයේ සෑම කාරණයකදීම අපගේ ක්‍රියාවන් ප්‍රශංසනීයද දොස් පැවරීමට යුතුද යන්න තීරණය කරන්නේ අප භාවිත කරන දෙයෙහි ස්වභාවය නොව, එය භාවිත කිරීමේදී ඇති අපගේ අරමුණ සහ ප්‍රවේශයයි.

20. දැන් පුරාණ කාලයේ සිටි ශුද්ධවන්තයෝ, භෞමික රාජ්‍යයක ස්වරූපයෙන්, ස්වර්ග රාජ්‍යය පිළිබඳ කලින් සංකේතවත් කරමින් පුරෝකථනය කළහ. තවද බොහෝ දරුවන් බිහිකිරීමේ අවශ්‍යතාවය මත එක් පුරුෂයෙකුට භාර්යාවන් කිහිප දෙනෙකු සිටීමේ සිරිත එකල දෝෂ රහිත විය: එම හේතුව නිසාම එක් ස්ත්‍රියකට ස්වාමි පුරුෂයන් කිහිප දෙනෙකු සිටීම නුසුදුසු විය, මන්ද ඒ ආකාරයෙන් කාන්තාවකගේ සශ්‍රීකත්වය වැඩි නොවන නිසාය. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධව, සල්ලාල සබඳතාවලින් ධනය හෝ දරුවන් සොයා යාම දුරාචාරය වේශ්‍යාකම විය. මේ ආකාරයේ කාරණා සම්බන්ධයෙන්, තෘෂ්ණාව නිසා හැරුණු විට වර්තමානයේ කළ නොහැකි කාරණා, එකල ජීවත් වූ තෘෂ්ණාවෙන් තොර ශුද්ධ මිනිසුන්ගේ ක්‍රියාවන් ශුද්ධලියවිල්ලේ හෙළා දැක නැත. තවද එහි විස්තර කර ඇති මෙම ස්වභාවයේ සෑම දෙයක්ම එහි ඓතිහාසික හා වචනාර්ථයෙන් පමණක් නොව, එහි සංකේතාත්මක හා අනාවැකිමය අර්ථයෙන්ද ගත යුතුය. එසේම දෙවියන් වහන්සේට හෝ අපගේ අසල්වැසියාට හෝ ඒ දෙපාර්ශ්වයම කෙරෙහි ඇති ප්‍රේමය තුළ අවසාන වශයෙන් ඒවා අර්ථකථනය කළ යුතුය. මන්ද පුරාණ රෝමවරුන් අතර විලුඹ දක්වා දිවෙන ඇඳුම් ඇඳීම සහ අත්දිග ඇඳුම්වලින් සැරසී සිටීම නින්දිත දෙයක් වූ නමුත්, දැන් ගෞරවාන්විතව උපත ලැබූ පිරිමින්ට එම ආකාරයේ ඇඳුම් ඇඳ නොසිටීම නින්දාවකි. ඒ නිසා අප වෙනත් දේවල් ගැනත් සැලකිලිමත් විය යුතුය, එහිදී අප භාවිත කරන දේවලට තෘෂ්ණාව මිශ්‍ර නොවිය යුතුය. මන්ද තෘෂ්ණාව නරක අරමුණු සඳහා සිරිත් විරිත් දූෂණය කරන අතර බොහෝ විට චාරිත්‍ර එහි සීමාවන් ඉක්මවා යාම, පිළිගත් පිළිවෙත්වලින් ඉවත් වී පාවා දීම, නින්දිත ලෙස ක්‍රියා කිරීම, පවතින විලාසිතාවන්ට මුවා වී තමන්ගේම පිළිකුල් සහගත බව වසා ගැනීමට හේතු වන බැවින්, තෘෂ්ණාව අපගේ භාවිතයට බලපාන්නේ නැති බවට අප සැලකිලිමත් විය යුතුය.

13 වන පරිච්ඡේදය – ම කාරණයම තවදුරටත්.

21. අප ජීවත් විය යුතු අය අතර ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූල වන ඕනෑම දෙයක්, අවශ්‍යතාවයෙන් හෝ යුතුකමෙන්, අනාගතවක්තෘවරුන්ට ඉඩ හැර තිබූ ආකාරයට, යහපත් හා ශ්‍රේෂ්ඨ මිනිසුන් සෘජුවම, අපගේ වගකීමක් ලෙස හෝ සංකේතාත්මකව, ප්‍රඥාවන්ත හෝ කාරුණික අරමුණු සඳහා යොමු කළ යුතුය.

14 වන පරිච්ඡේදය – නිරපේක්ෂ නිවැරදි හෝ වැරදි දෙයක් නොමැති බව සිතන අයගේ දෝෂය.

22. එහෙත් තමන්ගේම ජීවිතයෙන් ඔබ්බට ජීවන මාර්ග ගැන නුහුරු මිනිසුන්ට යම් යම් ක්‍රියාවන් පිළිබඳ වාර්තා හමු වූ විට, අධිකාරිය විසින් මඟ පෙන්වනු ලැබුවහොත් මිස, ඔවුන් ඒවා පව් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ චාරිත්‍ර, විවාහය, මංගල්‍ය, ඇඳුම් පැලඳුම් හෝ ජීවිතයේ වෙනත් අවශ්‍යතා සහ සැරසිලි වෙනත් ජාතීන්ට හෝ වෙනත් කාලවල ජීවත් වන මිනිසුන්ට පව්කාර ලෙස පෙනෙන බව දැකීමට ඔවුහු අසමත් වෙති. තවද, මෙම නිමක් නැති විවිධ සිරිත් විරිත්වලින් අවධානය වෙනතකට යොමු වී, අඩ නින්දේ සිටි අය (මා පවසන පරිදි) – එනම්, මෝඩකමේ ගැඹුරු නින්දේ ගිලී නොසිටි, ප්‍රඥාවේ ආලෝකයට අවදි වීමට නොහැකි වූ සමහරු – එසේ සිතූහ. එනම් නිරපේක්ෂ අයිතිය කියා දෙයක් නැති බවත්, එහෙත් සෑම ජාතියක්ම අයිතිය සඳහා තමන්ගේම චාරිත්‍ර අනුගමනය කරන බවත්ය. සෑම ජාතියකටම වෙනස් සිරිත් විරිත් ඇති නිසාත්, අයිතිය නොවෙනස්ව පැවතිය යුතු නිසාත්, නිවැරදි යැයි දෙයක් කිසිසේත්ම නැති බව ප්‍රකාශ වේ. එයට එක් නිදසුනක් ගතහොත්, මිනිසුන් ඔබට කුමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඔවුන්ට එසේම කරන්න යන ආඥාව, කිසිම ජාතික චාරිත්‍රවල විවිධත්වයකින් වෙනස් කළ නොහැකි බවට එවැනි මිනිස්සු අවබෝධ කර නොගත්හ. තවද මෙම ආඥාව දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමට, තම අසල්වැසියාට ප්‍රේම කිරීමට යොමු වූ විට සියලු දුශ්චරිතයන් විනාශ කර, සියලු අපරාධවලට තිත තබයි. මන්ද කිසිවෙකු තමාගේම වාසස්ථානය අපවිත්‍ර කිරීමට කැමති නැති බැවිනි. එබැවින් ඔහු දෙවියන් වහන්සේගේ වාසස්ථානය, එනම් තමාම අපවිත්‍ර කර නොගත යුතුය. තවද කිසිවෙකුත් තමාට වෙනත් අයෙකු තුවාලයක් සිදු කරනවාට කැමති නැත. එබැවින් ඔහුද තවත් කෙනෙකුට හානියක් නොකළ යුතුය.

15 වන පරිච්ඡේදය – සංකේතාත්මක ප්‍රකාශනයන් අර්ථ දැක්වීම සඳහා වන රීතිය.

23. තෘෂ්ණාවේ කෘෘර ආධිපත්‍යය මෙසේ පෙරලා දමනු ලැබ ඇත. ප්‍රේමය රජ කරන්නේ දෙවියන් වහන්සේ උදෙසා දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ දෙවියන් වහන්සේ උදෙසා තමාට සහ අසල්වැසියාට ප්‍රේම කිරීමේ උත්තරීතර සාධාරණ නීති හරහාය. ඒ අනුව, සංකේතාත්මක ප්‍රකාශන සම්බන්ධයෙන් ගත් කල, පහත දැක්වෙන රීතියක් නිරීක්ෂණය කළ හැකිය. එනම් ප්‍රේමයේ රාජ්‍යය ස්ථාපිත කිරීමට නැඹුරු වන අර්ථකථනයක් සොයා ගන්නා තෙක් අප කියවන දේ මෙනෙහි කිරීමට  අපගේ මනස ප්‍රවේශමෙන් යොමු කළ යුතුය. දැන්, වචනාර්ථයෙන් ගත් විට එය එකවරම මේ ආකාරයේ අර්ථයක් ලබා දෙන්නේ නම්, එම ප්‍රකාශනය සංකේතාත්මක ප්‍රකාශනයක් ලෙස නොසැලකේ.

16 වන පරිච්ඡේදය – ආඥාවන් සහ තහනම් කිරීම් අර්ථ දැක්වීම සඳහා වන රීතිය.

24. එම වාක්‍යය වූ කලි, අපරාධයක් හෝ දුෂ්ට ක්‍රියාවක් තහනම් කිරීම හෝ විචක්ෂණශීලී ක්‍රියාවක් හෝ කාරුණික ක්‍රියාවක් කිරීමට අණ කිරීම සම්බන්ධ වූවක් නම්, එය සංකේතාත්මක නොවේය. කෙසේ වෙතත්, එය අපරාධයක් හෝ දුෂ්ට ක්‍රියාවක් කිරීමට අණ කිරීමක් හෝ විචක්ෂණශීලී ක්‍රියාවක් හෝ කරුණාවන්ත ක්‍රියාවක් තහනම් කිරීමක් බව පෙනේ නම්, එය සංකේතාත්මක වේ. ක්‍රිස්තුස් වහන්සේ මෙසේ පවසන සේක, ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංසය අනුභව නොකරන්නහු නම්, මනුෂ්‍ය පුත්‍රයාගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය ඇත්තේ නැත. යොහන් 6:53 මෙය අපරාධයක් හෝ දුෂ්ට ක්‍රියාවක් නියම කරන බව පෙනේ. එබැවින් එය අපගේ ස්වාමින් වහන්සේගේ දුක් වේදනාවලට පංගුකාර විය යුතු බවටත්, උන් වහන්සේගේ මාංසය තුවාල කරනු ලැබ අප වෙනුවෙන් කුරුසියේ ඇණ ගසනු ලැබූ බවත් පිළිබඳ මිහිරි හා ප්‍රයෝජනවත් මතකයක් තබා ගත යුතු බවටත් අණ කරන සංකේතයකි. ශුද්ධලියවිල්ල මෙසේ පවසයි: ඔබේ ට බඩගිනි නම්, ඔහුට කන්න දෙන්න. ඔහුට පිපාසය ඇත්නම්, ඔහුට බොන්න දෙන්න; තවද මෙය කරුණාවන්ත ක්‍රියාවක් කිරීමට කරන ආඥාවක් බවට සැකයක් නැත. එහෙත් එයට පසුව සඳහන්, ඔබ එසේ කිරීමෙන් ඔහුගේ හිස මත ගිනි අඟුරු ගොඩ කරන්නෙහිය, යන කාරණය සැලකීමේදී, එහි දුෂ්ට ක්‍රියාවක් කිරීමට අණ කර තිබෙන බවට යමෙකුට සිතෙන්නට පුළුවන. එසේ නම්, එම ප්‍රකාශනය සංකේතාත්මක බවට සැකයක් ඇති කර නොගන්න. එසේම එකක් හානියක් සිදු කිරීම, අනෙක උසස් බව පෙන්වීම යනුවෙන් එය දෙයාකාරයකින් අර්ථකථනය කළ හැකිය. එහිදී ඊට පටහැනිව ප්‍රේමය ඔබ කරුණාවන්ත ලෙස ක්‍රියා කිරීමට යොමු කරයි. එසේම ගිනි අඟුරු යන්න, මිනිසෙකුගේ කරදරයේදී ඔහුට උදව් කළ කෙනෙකුට සතුරෙකු වීම ගැන විලාප තබන ඔහුගේ උඩඟුකම සුව කරන පසුතැවිල්ලේ දැවෙන කෙඳිරිගෑම් ලෙස අර්ථකථනය කරන්න. එලෙසම, අපගේ ස්වාමින් වහන්සේ තම ජීවිතයට ප්‍රේම කරන තැනැත්තාට එය අහිමි වේ යැයි පවසන විට, තම ජීවිතය රැකබලා ගැනීම පිළිබඳ මිනිසෙකුගේ යුතුකම වන විචක්ෂණශීලී බව උන් වහන්සේ තහනම් කරන බව අප නොසිතිය යුතුය. එහෙත් උන් වහන්සේ සංකේතාත්මක අර්ථයකින්, ඔහුට ඔහුගේ ජීවිතය නැති වේ, යන්න පවසන සේක. – එනම්, ඔහු සදාකාලික දේ කෙරෙහි අවධානය යොමු නොකරන ලෙස තාවකාලික දේවල් මත තමාගේ ආශාවන් යොමු කර ඇත. එනිසා ඔහු දැන් ඔහුගේ ජීවිතයෙන් කරන දුෂ්ට හා අස්වාභාවික භාවිතයන් විනාශ කර දමාවා. ශුද්ධලියවිල්ලේ මෙසේ ලියා ඇත: දේවභක්තික මිනිසාට දෙන්න, පව්කාරයෙකුට උදව් නොකරන්න. මෙම වාක්‍යයේ අවසාන වගන්තිය මගින් කරුණාවන්තකම තහනම් කරන බව පෙනෙන්නේය. මන්ද පව්කාරයෙකුට උදව් නොකරන්න යනුවෙන් එහි පවසන නිසාය. එම නිසා, පව්කාරයා යන්න සංකේතාත්මකව පාපය සඳහා යොදා ඇති බව තේරුම් ගන්න, එවිට ඔබ උදව් නොකළ යුත්තේ ඔහුගේ පාපයටයි.

17 වන පරිච්ඡේදය – සමහර ආඥාවන් සියල්ලන්ටම පොදුවේ ලබා දී ඇත, අනෙක් ඒවා විශේෂිත පන්ති සඳහා ලබා දී ඇත.

25. නැවතත්, බොහෝ විට සිදුවන්නේ, ආධ්‍යාත්මික ජීවිතයේ ඉහළ ශ්‍රේණියකට ළඟා වූ හෝ තමා එයට ළඟා වී ඇතැයි සිතන මිනිසෙකු, තවමත් පහළ ශ්‍රේණිවල සිටින අයට ලබා දෙන ආඥා සංකේතමය යැයි සිතීමය; නිදසුනක් වශයෙන්, ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් වැලඳගෙන, ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් තමාම නපුංසකයෙකු බවට පත් කර ගෙන තිබේ නම් , ඔහු තර්ක කරන්නේ භාර්යාවකට ප්‍රේම කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් ශුද්ධලියවිල්ලේ දී ඇති ආඥාවන් වචනාර්ථයෙන් නොව, සංකේතාත්මකව ගත යුතු බවයි. එසේම ඔහු තම කන්‍යා (දියණිය) අවිවාහකව තබා ගැනීමට තීරණය කර ඇත්නම්, ඔබේ දියණිය විවාහ කර දෙන්න, එවිට ඔබ උතුම් ක්‍රියාවක් සම්පූර්ණ කර ඇත, යන කොටසට සංකේතාත්මක අර්ථකථනයක් දීමට ඔහු උත්සාහ කරයි. සිරාක් 7:27 ඒ අනුව, ශුද්ධලියවිල්ල අවබෝධ කර ගැනීම සඳහා අපගේ තවත් රීතියක් පහත ආකාරයට සඳහන් කළ හැකිය – සමහර ආඥාවන් සෑම කෙනෙකුටම පොදුවේ ආමන්ත්‍රණය කර ඇති අතර අනෙක් ඒවා විශේෂිත කණ්ඩායම් වෙත යොමු කර ඇති බව තේරුම් ගැනීමට, එම ඖෂධ පිළියම මගින් එක් එක් පුද්ගලයාගේ සමස්ත තත්ත්වය සහ විශේෂිත දුර්වලතා යන දෙකටම ආමන්ත්‍රණය කළ හැකිය. මන්ද උසස් තත්වයකට ඔසවා තැබිය නොහැකි දේ එහි තිබෙන තත්වයට අනුවම රැකබලා ගත යුතු නිසාය.

18 වන පරිච්ඡේදය – ඕනෑම දෙයක් භුක්ති විඳිය හැකි හෝ ඒ සඳහා ඉඩ හැර තිබෙන කාලය අප සැලකිල්ලට ගත යුතුය.

26. පැරණි ගිවිසුමේ  ක්‍රියාවන්, එම කාලවල සන්දර්භය සැලකිල්ලට ගනිමින්, සංකේතාත්මකව නොව වචනානුසාරයෙන් අර්ථකථනය කළත්, අපරාධයක් හෝ නරකක් ලෙස නොසැලකිය හැකි, පිළිගත හැකි භාවිතයන් ලෙස නූතන ජීවිතයට යෙදිය හැකි යැයි විශ්වාස කිරීමට එරෙහිව අප ප්‍රවේසම් විය යුතුය. මන්ද එම කාරණය හෙළා දැකීමට අදහස් කරන ශුද්ධලියවිල්ලෙන්ම වලංගුභාවය සොයමින් ක්‍රියා කරන තැනැත්තා තෘෂ්ණාව ඔහු කෙරෙහි පාලනයය දරනවා නම් මිස කිසිවෙකුත් මේ ආකාරයෙන් ක්‍රියා නොකරනු ඇත. කාලකන්නි මිනිසා මෙම කරුණු වටිනා අරමුණකින් ලියා ඇති බව දැකීමට අපොහොසත් වෙයි. එහිදී යහපත් චේතනාවෙන් යුත් මිනිසුන්ට වැදගත් පාඩමක් ඉගෙනගත හැකි බවත්, ඔවුන් ප්‍රතික්ෂේප කරන ක්‍රියාව නිවැරදිව භාවිත කළ හැකි බවත්, ඔවුන් පිළිගන්නා හෙළා දැකීම පිණිස යොදාගත හැකි බවත් යන කාරණා දෙකම දැකීමට අපොහොසත් වෙයි. එහිදී පළමුවැන්න ප්‍රේමය සමග ක්‍රියාත්මක වුවහොත් සහ දෙවැන්න තෘෂ්ණාව සමග ක්‍රියාත්මක වුවහොත් එසේ වනු ඇත.

27. මන්ද යම් පුද්ගලයෙකුට පාරිශුද්ධභාවයෙන් යුතුව බොහෝ භාර්යාවන් භාවිත කිරීමට හැකි නම්, තවත් කෙනෙකුට එක් භාර්යාවක් තෘෂ්ණාවෙන් යුක්තව භාවිත කළ හැකිය. එසේම එක භාර්යාවකගේ ශරීරය තමන් වෙනුවෙන් භුක්ති විඳින පුරුෂයාට වඩා බොහෝ භාර්යාවන්ගේ ඵලදායී බව යටි අරමුණක් වෙනුවෙන් භාවිත කරන පුරුෂයා දෙස මම මහත් අනුමැතියකින් බලමි. මන්ද පෙර අවස්ථාවෙහිදී මිනිසා අරමුණු කරන්නේ එම කාලවල තත්වයන්ට ගැළපෙන ප්‍රයෝජනවත් වස්තුවකි; දෙවැනි අවස්ථාවේදී ඔහු ලෞකික රසවින්දනයෙහි ගිලී ඇති තෘෂ්ණාව තෘප්තිමත් කරන්නේය.  තම ආත්ම දමනය නොමැතිකම නිසා එක් භාර්යාවක් විවාහ කර ගැනීමට ප්‍රේරිතවරයා විසින් අවසර දෙන ලද පුරුෂයන් ගත් කල, ඔවුන් බොහෝ භාර්යාවන් සිටි පුරුෂයින්ට වඩා දෙවියන් වහන්සේට වෙත වන සමීප බවෙන් අඩුය. එසේ වූවද, ප්‍රඥාවන්ත මිනිසෙකු ශරීර සෞඛ්‍යය සඳහා පමණක් ආහාර පාන භාවිත කරන්නාක් මෙන්, ඔවුහු දරුවන් ඇති කිරීම උදෙසා පමණක් විවාහය භාවිත කළහ. ඒ අනුව, අපේ ස්වාමින් වහන්සේගේ පැමිණීමේදී මේ අවසානයට දැක්වූ අය ජීවතුන් අතර සිටියේ නම්, එම ගල් ඉවත් කිරීමේ කාලය නොව ඔවුන් එකට එකතු කිරීමේ කාලය පැමිණ තිබේ. දේශනාකාරයා 3:5 ඔවුන් ක්‍ෂණිකවම තමන්ම ස්වර්ග රාජ්‍යය උදෙසා නපුංසකයන් බවට පත් කර ගනු ඇත. මන්ද, සැප විඳීමේදී තෘෂ්ණාව ඇති වූ විට මිස වැළකී සිටීමට අපහසුවක් ඇති නොවනු ඇත. තෝබිත් තම බිරිඳ සමග විවාහ වූ විට කළ යාච්ඤාවෙන් ඔප්පු වන පරිදි, භාර්යාවන් සම්බන්ධයෙන් පවා අනවශ්‍ය ලෙස හැසිරීම අපයෝජනය සහ ආත්ම දමනය නොමැතිකම බව මා කතා කරන පුරුෂයෝ නිසැකවම දැන සිටියහ. මන්ද ඔහු මෙසේ පවසයි, අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා, ඔබ වහන්සේගේ ශුද්ධ වූ තේජවත් නාමයට සදාකාලයටම ප්‍රශංසා වේවා. ස්වර්ගය ඔබ වහන්සේට ප්‍රශංසා කෙරේවා, එසේම ඔබ වහන්සේගේ මුළු මැවිල්ල ඔබ වහන්සේට ප්‍රශංසා කෙරේවා. ඔබ වහන්සේ ආදම් මවා ඔහුට ඔහුගේ භාර්යාව වූ ඒව සහකාරියක ලෙස ඔහු සමග සිටීමට ලබා දුන් සේක. දැන්, ස්වාමින් වහන්ස, මා මේ මගේ සහෝදරිය කාම රාගය උදෙසා නොව අවංකව ගන්නා බව ඔබ වහන්සේ දන්නා සේක.  එබැවින් ස්වාමින් වහන්ස, අපට අනුකම්පා කළ මැනව. තෝබිත් 8:5-7

19 වන පරිච්ඡේදය – දුෂ්ට මිනිස්සු තමන්අන් අය විනිශ්චය කරති.

28. එහෙත් කාම තෘෂ්ණාවට යටත්ව, නොයෙකුත් දුරාචාර ක්‍රියාවල නියැලෙමින් වැරදි මාර්ගයේ යන,  එක් බිරිඳක් සමග වුවද, දරුවන් ලැබීමට අවශ්‍ය සීමාවන් ඉක්මවා ගොස්, නිර්ලජ්ජිත හා අධික නිදහසක් ඇතිව, ඊටත් වඩා පහත් ගණයේ සීමාවන් දක්වා යන අයට, එවැනි මිනිසුන්ට පුරාණ කාලයේ පුරුෂයන් ඔවුන්ගේ කාලයේ තත්ත්වය න්ට අනුව ජාතිය ප්‍රවර්ධනය කිරීමේ කාර්ය කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් බහු භාර්යාවන් සිටියදී ආත්ම දමනයෙන් ක්‍රියා කළ බව විශ්වාස කළ නොහැකිය. මෙම කාම ග්‍රහණයේ පැටලී සිටින පුරුෂයන් තනි භාර්යාවකගෙන් ඉටු කර ගැනීමට අපොහොසත් වන දේ, භාර්යාවන් කිහිප දෙනෙකු සමග කිසිසේත්ම කළ නොහැකි යැයි ඔවුහු සලකති.

29. එහෙත් යහපත් හා ශුද්ධ වූ මිනිසුන්ට ගෞරව කිරීම හා ප්‍රශංසා කිරීම වැරදි යැයි මේ මිනිසුන්ම තර්ක කළ හැකිය. එයට හේතු වන්නේ ඔවුන්ම ගෞරවයට හා ප්‍රශංසාවට ලක් වූ විට, ඔවුන් ආඩම්බරයෙන් පිරී ඉතිරී යන බැවිනි. එසේ ඉතා සුළු ආකාරයේ පිළිගැනීමක් සඳහා වඩ වඩාත් උනන්දුවෙන් වැඩෙන අතර, ඔවුන් නිතරම පුළුල් ලෙස සමච්චලයෙන් රැගෙන යනු ලැබේ. ඒ අනුව ඔවුන් කෙතරම් අස්ථාවර වන්නේද යත්, හුදු කටකතාවක් වාසිදායක හෝ අහිතකර හෝ ලෙස පෙනුණත්, එය ඔවුන් දුෂ්ට සුළි කුණාටුවට ගසාගෙන යාමට හෝ අපරාධයේ පර්වතයට විසි කිරීමට තරම් බිඳෙනසුලු වේ. එසේ නම්, ප්‍රශංසාව නමැති ඇමකට හසුවීමෙන් හෝ අපහාසයේ දෂ්ට කිරීම්වලට ලක්වීමෙන් ගැලවීමට තමන්ට කොතරම් උත්සාහයක් සහ දුෂ්කරද යන්න ඔවුහු ඉගෙන ගනිත්වා. එහෙත් ඔවුහු තමන්ගේ තත්වයෙන්ම ඒ ප්‍රමිතියෙන්ම අන් අය මැනීම සිදු නොකරත්වා. 

20 වන පරිච්ඡේදය – සියලු බාහිර තත්වයන් තුළ යහපත් මිනිසුන්ගේ ස්ථාවර බව.

ඊට පටහැනිව, අපගේ ඇදහිල්ලේ ප්‍රේරිතයන් මිනිසුන් විසින් ගෞරව කරනු ලැබූ විට ඔවුන් අහංකාර නොවූ බවත් , ඔවුන් හෙළා දකිනු ලැබූ විට බිම හෙළනු නොලැබූ බවත් ඔවුහු විශ්වාස කරත්වා. එසේම ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් තුළ ඒකාන්තයෙන්ම කිසිම ආකාරයක පෙලඹවීමක් නොතිබුණි. මන්ද ඔවුන් දෙදෙනාටම ප්‍රශංසා කරමින් ඇදහිලිවන්තයන් මහා හඬින් කෑගැසූ අතර, ඔවුන්ට පීඩා කරන අය අපහාසාත්මක කාරණා කියමින් මොර ගැසූහ. එහෙත් ප්‍රේරිතයන් මේ සියල්ල අවස්ථාවට අනුව භාවිත කළ අතර, එයින් ඔවුහු දූෂිත බවට පත් නොවූහ. එසේම පැරණි ශුද්ධවන්තයෝද තම භාර්යාවන් තම කාලයේ අවශ්‍යතා සඳහා යොදාගත් අතර, මේ දේවල් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන අය මෙන් තෘෂ්ණාවේ වහල්භාවයේ නොසිටියහ.

30. මන්ද, ඔවුන් එවැනි ආශාවක බලපෑමට යටත් වූවා නම්, තම භාර්යාවන් සහ උපභාර්යාවන් ඔවුන් විසින් රවටනු ලැබීම හා දූෂණයට ලක්කරනු ලබන බව දැන, තම පුත්‍රයන් කෙරෙහි නිර්දය වෛරයෙන් කිසි විටෙකත් වැළකී සිටිය නොහැකි වනු ඇත.

21 වන පරිච්ඡේදය – දාවිත් කාමමිථ්‍යාචාරයට වැටුණද, තෘෂ්ණාවෙන් සිටියේ නැත. 

එහෙත් දාවිත් රජු තම අභක්තික සහ දුෂ්ට පුත්‍රයා අතින් තුවාල කරනු ලැබ එයට ගොදුරු වූ විට, ඔහු පුතාගේ උමතු ආශාවන් විඳ දරාගත්තා පමණක් නොව, ඔහුගේ මරණයේදී ඔහු ගැන ශෝකයට පත් විය. තමාගේ දුක් වේදනා නොව තම පුත්‍රයාගේ පාපය ඔහුට කරදර කළ බැවින් ඔහු ලෞකික ඊර්ෂ්‍යාවට හසු නොවීය. යුද්ධයෙන් පරාජයට පත් වුවහොත් තම පුතා මරා නොදමන ලෙසට ඔහු අණ කළේ මේ නිසාය. එවිට ඔහු යටත්කර ගැනීමෙන් පසුව පසුතැවිලි වීමට අවස්ථාවක් ඇති වන බැවිනි. කෙසේ වෙතත්, මෙම සැලසුම ව්‍යර්ථ වූ විට, ඔහු තම පුතාගේ මරණය ගැන ශෝකයට පත් විය. එසේ ශෝක වූයේ ඔහුට පෞද්ගලික අලාභයක් සිදු වූ නිසා නොව, එවැනි අභක්තික සල්ලාලයෙකුට සහ පීතෘ ඝාතකයෙකුට විඳින්නට සිදු වන දඬුවම ඔහු තේරුම්ගත් බැවිනි. මන්ද මෙයට පෙර, කිසිදු අපරාධයක් නොකළ තවත් පුතෙකු සම්බන්ධයෙන්, ඔහු අසනීපව සිටියදී ඔහු වෙනුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවද, ඔහුගේ මරණයෙන් පසුව ඔහු තමාම සනසා ගත්තේය. 2 සාමුවෙල් 12:19-23.

31. එම පුරුෂයන් තම භාර්යාවන්ට සැලකූ මධ්‍යස්ථභාවය සහ ස්වයං-සංයමය මෙයින් ප්‍රධාන වශයෙන් පැහැදිලි වේ: එම රජතුමාම කාමආශාවට හා තාවකාලික සාර්ථකත්වයට වහල් වී, වෙනත් මිනිසෙකුගේ බිරිඳක් නීති විරෝධී ලෙස රැගෙන ඇගේ ස්වාමිපුරුෂයා මරා දැමීමට අණ කළ විට, දිවැසිවරයෙකු විසින් ඔහුගේ අපරාධය සම්බන්ධයෙන් ඔහු චෝදනා කරන ලදී. එම දිවැසිවරයා, ඔහුගේ පාපය ගැන ඔහුට පෙන්වන්නට සිදු වූ විට, එක් බැටළු වැස්සියක පමණක් සිටින දිළිඳු මිනිසෙකුගේ උපමාවක් භාවිත කළේය, ඔහුගේ ධනවත් අසල්වැසියා, ඔහුට බොහෝ බැටළුවන් සිටියද, අමුත්තෙකු පැමිණි කල, තමාගේම බැටළුවන් ආරක්ෂා කරගෙන, තම දිළිඳු අසල්වැසියාගේ බැටළු පැටවා අමුත්තා ඉදිරියේ කෑම පිණිස සූදානම් කළේය. මෙම කතාවෙන් එම මිනිසාට විරුද්ධව දාවිත්ගේ කෝපය ඇවිස්සී, එම මිනිසා මරා දැමිය යුතු බවත්, දිළිඳු මිනිසාගේ බැටළු පැටවා වෙනුවට හතර ගුණයකින් වන්දි ගෙවිය යුතු බවට නියෝග කළේය. එසේ ඔහු දැනුවත්ව කළ පාපය ඔහු නොදැනුවත්ව හෙළා දුටුවේය. 2 සාමුවෙල් 12: 1-6 ඔහුට මෙය පෙන්වා දෙනු ලැබූ විට, සහ දෙවියන් වහන්සේගේ දඬුවම ඔහුට විරුද්ධව පැමණි විට, ඔහු ගැඹුරු පසුතැවිල්ලක් තුළ ඔහු තම පාපය පිළිබඳ අතිශයින් දුක් විය. එහෙත් මෙම උපමාවේදී දුප්පත් මිනිසාගේ බැටළු පැටවා මගින් සංකේතවත් කරන්නේ කාමමිථ්‍යාචාරය පමණි. ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා මරා දැමීම – එනම් බැටළු බැටළු පැටවා අයිති දුප්පත් මිනිසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම උපමාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. එබැවින් හෙළා දැකීම හුදෙක්ම කාමමිථ්‍යාචාරයට විරුද්ධව යොමු කර ඇත. මේ අනුව, එක් කාන්තාවක සම්බන්ධයෙන් පව් කිරීම නිසා ඔහුටම දඬුවම් කරගැනීමට ඔහුට බල කෙරුණු නිසා, බොහෝ භාර්යාවන් ඇති කර ගැනීමට ඔහු සමත් වූ ස්වයං-සංයමය අපට තේරුම්ගත හැකිය. කෙසේ වෙතත්, ඔහු සම්බන්ධ කාරණයේදී, අධික තෘෂ්ණාව ඔහු කෙරෙහි ස්ථිරව පැවති දෙයක් නොවූ අතර එය තාවකාලික ආගන්තුකයෙකු පමණක් විය. මේ හේතුව නිසා, චෝදනා කරන අනාගතවක්තෘවරයා විසින් නීති විරෝධී තෘෂ්ණාව ආගන්තුකයෙකු ලෙස විස්තර කෙරේ. දුප්පත් මිනිසාගේ බැටළු පැටවා රජුට මංගල්‍යය කෑමක් පිළියෙල කිරීම උදෙසා නොව, ඔහුගේ ආගන්තුකයාට කෑමක් පිළියෙළ කිරීමට ගෙන ගිය බව ඔහු කීවේය. කෙසේ වෙතත්, එයට පරස්පරව, ඔහුගේ පුත් සලමොන් සම්බන්ධයෙන්, මෙම ආශාව අමුත්තෙකු මෙන් පහව නොගොස් රජෙකු ලෙස ඔහු පාලනය කළේය. ශුද්ධලියවිල්ල මේ කාරණය සම්බන්ධයෙන් නිහඬව නොසිටින අතර, සලමොන් ආගන්තුක කාන්තාවන්ගේ පෙම්වතෙකු බවට චෝදනා කරන්නේය. මන්ද ඔහුගේ පාලනයේ ආරම්භයේදීම ඔහු ප්‍රඥාව උදෙසා වන ආශාවෙන් ඔහු ජ්වලිතව සිටි අතර, ආත්මික ප්‍රේමයෙන් එය ලබා ගැනීමෙන් පසුව එය ලෞකික තෘෂ්ණාව නිසා ඔහුට අහිමි විය.

22 වන පරිච්ඡේදය – දැන් යහපත් මිනිසුන් විසින් හෙළා දකිනු ලබන ක්‍රියාවන්, ශුද්ධලියවිල්ලේ අනුමත කර ඇති කොටස් සම්බන්ධ රීතිය.

32. පැරණි ගිවිසුමේ වාර්තා කර ඇති ගනුදෙනු සියල්ලම හෝ සියල්ලම පාහේ පාඨකයා වචනානුසාරයෙන් ගත් ඒවා සම්බන්ධයෙන් වුවද, වචනාර්ථයෙන් පමණක් නොව, සංකේතාත්මකවද ගත යුතුය. එසේම එම ක්‍රියාවන් සිදු කරන ලද අය ප්‍රශංසාවට ලක් වූවද, අපගේ ස්වාමින් වහන්සේගේ පැමිණීමේ සිට දිව්‍යමය අණපනත්වල භාරකරුවන් වන යහපත් මනුෂ්‍යයන්ගේ පිළිවෙත්වලට පටහැනි ඒවාය. පාඨකයා එහිදී සංකේතාත්මක, රූපකාර්ථවත් අර්ථ නිරූපණය කළ යුතුය. එහෙත් එම ක්‍රියාව ඔහුගේ ජීවන රටාවට අනුගත නොකළ යුතුය. මන්ද ඒ කාලයේ යුතුකම් ලෙස කළ බොහෝ කාරණා ර්තමානයේදී තෘෂ්ණාව හැරුණුකොටගෙන මිස දළ නොහැකිය.

23 වන පරිච්ඡේදය – ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පාප පිළිබඳ ආඛ්‍යානය සම්බන්ධ රීතිය.

33. දැන් පාඨකයා ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පාප පිළිබඳ කියවන විට, ඒවා තුළ ඔහුට අනාගත සිදුවීම්වල පෙරනිමිත්තක් වටහා ගැනීමට සහ සොයා ගැනීමට හැකි වුවද, ඔහු වාච්‍යාර්ථයේ වාර්තාව භාවිත කළ යුතුය. තමාගේම යහපත් ක්‍රියාවන් ගැන පුරසාරම් දෙඩීමට හෝ, තමාගේම ධර්මිෂ්ඨකම සමග ඒ අය සංසන්දනය කරමින්, අන් අය පව්කාරයන් ලෙස හෙළා දැකීමට හෝ එය පාඩමක් ලෙස භාවිත නොකළ යුතුය. එබඳු කීර්තිමත් පුද්ගලයන්ගේ ජීවිත තුළ දැකිය හැකි වළක්වාගත යුතු කුණාටු සහ වැලපීමට යුතු කඩාවැටීම් ලෙස ඒවා ඔහු මෙනෙහි කළ යුතුය. මන්ද මේ මිනිසුන්ගේ පාප මේ ආකාරයෙන් වාර්තා කර ඇත්තේ, අපෝස්තුළුවරයාගේ එම කියමනට අනුව, සෑම තැනකම සිටින මිනිසුන් සහ සැමවිටම බිය වන පිණිසය. එබැවින් තමා ස්ථිරව සිටින්නේ යයි සිතන තැනැත්තා නොවැටෙන ලෙස බලාගනීවා. 1 කොරින්ති 10:12 මක්නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ වන බවත් නිහතමානී අයට කරුණාව දෙන බවත් පැහැදිලිව ලියා නැති ශුද්ධලියවිල්ලේ සඳහන් පිටුවක් නැති තරම්ය.

24 වන පරිච්ඡේදය – ඉහත භාවිත කර ඇති ප්‍රකාශනවල ලක්ෂණය සියල්ලටම වඩා බරක් තිබීමය.

34. එබැවින්, අප අර්ථකථනය කිරීමට උත්සාහ කරන ඕනෑම ප්‍රකාශනයක් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු මූලිකම කාරණාව නම්, එය ගත යුත්තේ වචනාර්ථයෙන්ද නැතිනම් සංකේතාත්මකවද යන්නයි. මන්ද එය සංකේතාත්මක වීමට අදහස් කර ඇති විට, පළමුවන පොතේ සාකච්ඡා කර ඇති කාරණා මූලධර්ම අදාළ කර ගැනීමෙන්, නිවැරදි අර්ථකථනයක් ලබා ගන්නා තෙක් එය හොඳින්, විශේෂයෙන්ම භක්තිවන්තකමෙන් ශක්තිමත් වූ අත්දැකීම් මගින් පරීක්ෂා කර බැලීම පහසුය. දැන්, ඉහත දක්වා ඇති සලකා බැලීම්වලට අවධානය යොමු කිරීමෙන් ප්‍රකාශනයක අදහස වචනානුසාරයෙන් දක්වා තිබේද සංකේතාත්මකව දක්වා තිබේද යන්න අපි සොයා ගනිමු.

25 වන පරිච්ඡේදය – එකම වචනය සෑම විටම එකම අදහස හඟවන්නේ නැත.

තවද එය සංකේතාත්මක බව පෙන්වන විට, එම අදහස ප්‍රකාශ කරන වචන සමාන වස්තූන්ගෙන් හෝ යම් සම්බන්ධයක් ඇති වස්තූන්ගෙන් මතු වී ඇති බව දැකිය හැකිය.

35. එහෙත් කාරණා එකිනෙකට සමානකමක් පෙන්වන බොහෝ ආකාර තිබෙන නිසා, එක් සන්දර්භයක සමානතාවයකින් යමක් නියෝජනය කරන දෙය අනෙක් සෑම සන්දර්භයකදීම එම දෙයම නියෝජනය කළ යුතු බවට රීතියක් ඇතැයි අප නොසිතිය යුතුය. මන්ද අපගේ ස්වාමින් වහන්සේ, පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්න යැයි පැවසූ විට, මුහුන් යන්න භාවිත කළේ නිෂේධාත්මක අර්ථයෙනි. එසේම, ස්ත්‍රියෙකු විසින් පිටිනැළි තුනක් සහමුලින්ම පිපෙන තෙක් එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ග රාජ්‍ය්‍ය සමානය, යනුවෙන් පැවසූ විට එය ධනාත්මක අර්ථයෙන් පැවසූ සේක. ලූක් 13:21

36. දැන් මෙම විචලනය සම්බන්ධ රීතියට ආකාර දෙකක් ඇත. එක් අවස්ථාවක එක් කාරණයක් සහ තවත් අවස්ථාවක තවත් කාරණයක් සංකේතවත් කරන දේවල් සඳහා, එම කාරණා දෙකම ප්‍රතිවිරුද්ධ දේවල් අදහස් කරයි, නැතිනම් හුදෙක් වෙනස් දේවල් අදහස් කරයි. ඒවා ප්‍රතිවිරෝධතා සංකේතවත් කරයි, නිදසුනක් ලෙස, කලින් සඳහන් කළ මුහුන් සම්බන්ධයෙන් ඒවා රූපක වශයෙන් සමහර විට හොඳ අර්ථයෙන් සහ තවත් විටෙක නරක අර්ථයෙන් භාවිත කරන විට එසේ සිදු වේ. එයට තවත් නිදසුනක් නම්, යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයා … ජයගත්සේක, එළිදරව් 5:5 යනුවෙන් පවසන ස්ථානයේ ක්‍රිස්තුස් වහන්සේ සිංහයෙකු නියෝජනය කරන අතර, එයම නැවතත් යක්ෂයා නියෝජනය කරමින්, නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය, 1 පේදුරු 5:8 යනුවෙන් ලියා ඇත. ඒ හා සමාන ලෙසම, සර්පයන් මෙන් ඥාවන්ත වන්න, මතෙව් 10:16 යයි පවසන කල සර්පයා යන්න හොඳ අර්ථයකින් භාවිත කර ඇත. එසේම නැවතත්, නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටු බව 2 කොරින්ති 11:3 පවසන කල, සර්පයා යන්න නරක අර්ථයකින් භාවිත කර ඇත. ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක රොටි මමය, යොහන් 6:51 යනුවෙන් දැක්වෙන ස්ථානයේ රොටි යන්න හොඳ අර්ථයකින් සහ රහසින් කන රොටි රසවත් යයි, හිතෝපදේශ 9:17 පවසන ස්ථානයේ රොටි යන්න නරක අර්ථයෙන් යොදා ඇත. එසේම වෙනත් බොහෝ අවස්ථාවන්හිදීද එය එයාකාරය. පැහැදිලි අවස්ථා පමණක් උදාහරණ ලෙස ගත යුතු බැවින් මා විසින් ඉදිරිපත් කරන ලද නිදසුන් ඇත්ත වශයෙන්ම ඒවායේ අර්ථ දැක්වීමේදී කිසිසේත්ම අවිනිශ්චිත නොවේ. කෙසේ වෙතත්, ඒවා තේරුම්ගත යුත්තේ කුමන අර්ථයෙන්ද යන්න අවිනිශ්චිත කොටස් තිබේ. නිදසුනක් ලෙස: ස්වාමින් අතේ කුසලානයක් ඇත, එහි ඇති මිදි යුෂ රතුය: එය හොඳින් කලවම් කර ඇත. මෙය දෙවියන් වහන්සේගේ උදහස වැගිරීමේ අදහසට යොමු විය හැකි නමුත්, අවසාන හෝ දරුණුතම දඬුවම, එනම් අවශේෂ කොටසට යොමු නොවේ. එසේත් නැතිනම් එය යුදෙව්වන්ගෙන් අන්‍යජාතිකයන් වෙත ගමන් කරන ශුද්ධලියවිල්ලේ කරුණා අනුග්‍රහය ගැන අදහස් කළ හැකිය. මන්ද උන් වහන්සේ එක්කෙනෙකු පහත් කර ඒ වෙනුවට තවත් කෙනෙකු උසස් කර ඇති සේක. කෙසේ වෙතත්, ඒවා භෞතික හෝ භෞමික ආකාරයෙන් අර්ථකථනය කරන ඇතැම් චාරිත්‍ර, යුදෙව්වන් අතර තවමත් පවතී, මන්ද මෙහි අවශේෂ කොටස තවමත් ඉවත් වී නොමැත. එකම වස්තුවක් ප්‍රතිවිරුද්ධ ලෙස නොව, එහෙත් විවිධ අර්ථ දනවමින් ඉදිරිපත් කර ඇති බව තේරුම් ගැනීම සඳහා නිදසුනක් පහත දැක්වේ: අප එළිදරව් පොත කියවන විට ජලය යන්නෙන් මනුෂ්‍යයින් එළිදරව් 17:15 අදහස් කරන අතර, මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේය, යොහන් 7:38 යයි දක්වන විට ජලය යන්නෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ අදහස් කරයි. තවද ජලය යන්නට අමතරව, තවත් බොහෝ දේ ඒවා දක්වා ඇති සන්දර්භය අනුව අර්ථ දැක්විය යුතුය.

37. ඒ හා සමානව, අනෙකුත් වස්තූන් ඒවායේ වැදගත්කමේ තනි අර්ථයකට සීමා නොවේ.

සෑම වස්තුවක්ම අදහස් දෙකක් පමණක් නොව සමහර විට විවිධ දේවල් කිහිපයක් නියෝජනය කළ හැකිය. මෙය රඳා පවතින්නේ එය දක්වා ඇති සන්දර්භය අනුවය.

26 වන පරිච්ඡේදය – අපැහැදිලි පාඨ වඩාත් පැහැදිලි පාඨ මගින් අර්ථ දැක්විය යුතුය.

දැන්, අර්ථය පැහැදිලි වන ස්ථානවලින්, අපැහැදිලි පාඨ අවබෝධ කරගැනීම පිණිස එහි අර්ථය ලබා ගත යුතුය. නිදසුනක් වශයෙන්, පලිහත් මහ පලිහත් ගෙන, මට පිහිටවෙන පිණිස නැගුටුණ මැනව, යනුවෙන් දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරන ස්ථානය, ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක, යන පදය කියවීමෙන් තොරව පැහැදිලිව අවබෝධ කරගත නොහැකිය. එසේ වුවද, ඕනෑම ආකාරයක ආරක්ෂාවක් පෙන්නුම් කරන පලිහ යන වචනය අපට හමු වූ සෑම විටම එය දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහය පමණක් සංකේතවත් කරන ආකාරයෙන් අප එය තේරුම් නොගත යුතුය. මන්ද අපෝස්තුළුවරයා පවසන පරිදි, ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය, එපීස 6:16 යනුවෙන් ඇදහිල්ලේ පලිහ ගැනද අපට අසන්නට ලැබේ. අනෙක් අතට, මේ ආකාරයේ ආත්මික සන්නාහය සම්බන්ධයෙන් අප ඇදහිල්ල පලිහට පමණක් පැවරිය යුතු නැත. මන්ද ඇදහිල්ලේ ළයවැස්ම ගැන අපි වෙනත් ස්ථානයක කියවා ඇත්තෙමු: මන්ද අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමති ළයවැස්මත් පැලඳගෙන සිටිමු, යයි අපෝස්තුළුවරයා වෙනත් ස්ථානයක පවසයි.

27 වන පරිච්ඡේදය – විවිධ අර්ථකථන සහිත විය හැකි එක් පාඨයක්.

38. නැවතත්, එකම ශුද්ධලියවිල්ලේ වචනවලට එක් අර්ථකථනයක් පමණක් නොව, අර්ථකථන දෙකක් හෝ වැඩි ගණනක් ලබා දෙන විට, ලේඛකයාගේ මුල් අභිප්‍රාය නොදන්නා නමුත්, එම වචනවලින් පැවසෙන සත්‍යය සමග සමපාත වන ඕනෑම අර්ථකථනයක් ශුද්ධලියවිල්ලේ වෙනත් කොටස්වලින් පෙන්විය හැකි නම් අනතුරක් නැත. තවද, යම් පුද්ගලයෙකු, ශුද්ධලියවිල්ල පරීක්ෂා කරන අතරතුර, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් කථා කරන ලද කතුවරයාගේ අභිප්‍රාය තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔහුගේ මෙම උත්සාහය සාර්ථක වන්නේද නැතිනම් එම වචනවලින් වෙනත් අර්ථයක් ලබා ගන්නේද යන්න සැලකීමේදී, ධර්ම නියාමකයට පටහැනි නොවේ නම්, ඔහු වෙනත් ශුද්ධලියවිල්ලේ කොටසක සාක්ෂිය ඔහුට සහාය දක්වන තාක් කල් එය වැරදි නොවේය. මන්ද අප විග්‍රහ කිරීමට උත්සාහ කරන වචනවල මෙම අර්ථයම පවතින බව කතුවරයාට වැටහෙන්නට ඇත. තවද, ඔහු තුළින් කථා කළ ශුද්ධාත්මයාණන් වහන්සේ, නියත වශයෙන්ම මෙම අර්ථ නිරූපණය පාඨකයාගේ මනසෙහි ඇති වන බව කලින් දුටු අතර, එය සත්‍යය මත පදනම් වී ඇති බව දකිමින් එය සිදුවීමට විධිවිධාන සැලැස්සූ සේක. මන්ද එකම වචන විවිධ ආකාරවලින් තේරුම්ගත හැකි බවටත්, ඒ සියල්ල එක හා සමාන දිව්‍යමය පාඨවල ස්ථාවර සාක්ෂියෙන් සනාථ වන බවටත් වඩා දෙවියන් වහන්සේට වඩා ත්‍යාගශීලී හා වඩා ඵලදායී විධිවිධානයක් ශුද්ධලියවිල්ල සම්බන්ධයෙන් කළ හැකිද?

28 වන පරිච්ඡේදය – අවිනිශ්චිත පාඨයක් තර්කානුකූලව අර්ථකථනය කිරීමට වඩා ශුද්ධලියවිල්ලේ වෙනත් කොටස් භාවිත කරමින් අර්ථ නිරූපණය කිරීම වඩා ආරක්ෂිතයි.

39. කෙසේ වෙතත්, ශුද්ධලියවිල්ලේ ඇති පැහැදිලි සාක්ෂි මගින් එහි ඇති අවිනිශ්චිතතාවය විසඳිය නොහැකි අර්ථයක් ඇති වූ විට, අප එහි සාධක තර්කානුකූලව පැහැදිලි කිරීමට උත්සාහ කළ යුතුය. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය අවදානම් සහගතය. මන්ද ශුද්ධලියවිල්ලේ මඟ පෙන්වීම් අනුගමනය කිරීම වඩා ආරක්ෂිතය; එසේ වූ විට රූපක භාෂාවෙන් සඟවා ඇති පාඨයන් පරීක්ෂා කිරීමට අපට අවශ්‍ය වූ විට, අපට මතභේදයක් නොමැති අර්ථයක් ලබා ගත හැකිය, නැතහොත් මතභේදයක් ඇති වුවහොත්, එය එම ශුද්ධලියවිල්ලේම සියලු කොටස්වලින් රැස් කරගත් සාක්ෂි යෙදීමෙන් අපට එය විසඳාගත හැකිය.

29 වන පරිච්ඡේදය – සංකේත පිළිබඳ දැනුම අවශ්‍යය. 

40. අපගේ ශුද්ධලියවිලිවල කතුවරුන් ග්‍රීක නාමයෙන් සංකේත (ට්‍රොප්ස්) ලෙස ව්‍යාකරණඥයින් විසින් හඳුන්වනු ලබන සියලුම ප්‍රකාශන ආකාර භාවිත කරන බවත්, ශුද්ධලියවිල්ල ගැන නොදන්නා මිනිසුන්ට වඩා නිදහසේ සහ විවිධත්වයෙන් යුතුව ඒවා භාවිත කරන බවත්, එසේම වෙනත් ලේඛනවලින් මෙම කථන රූපක ඉගෙනගෙන ඇති බවට සිතාගත හැකිය හෝ විශ්වාස කළ හැකි බවත් උගත් මිනිසුන් දැන ගන්නවාට මම කැමැත්තෙමි. කෙසේ වෙතත්, මෙම සංකේත දන්නා අය ඒවා ශුද්ධලියවිල්ලෙන් හඳුනා ගන්නා අතර, ශුද්ධලියවිල්ල අවබෝධ කර ගැනීමේදී ඒවා පිළිබඳ ඔවුන්ගේ දැනුම බොහෝ සෙයින් උපකාරී වේ. එහෙත් මා ව්‍යාකරණ උගන්වමින් සිටින බවක් නොපෙනෙන පිණිස, නූගත් අයට ඒවා උගන්වන්නට මෙය තැනක් නොවේය. කෙසේ වෙතත්, ඒවා වෙනත් තැනකින් ඉගෙනගත යුතු බවට මම නිසැකවම උපදෙස් දෙමි, ඇත්ත වශයෙන්ම දෙවන පොතේ – එනම්, භාෂා පිළිබඳ අවශ්‍ය දැනුම ගැන මා කතා කළ අවස්ථාවේදී, මම මේ පිළිබඳ කලින් උපදෙස් ලබා දී ඇත්තෙමි. ව්‍යාකරණ සඳහා එහි නම ලැබී ඇත්තේ ව්‍යාකරණ යන අදහසට අනුවය. (අක්ෂර සඳහා වන ග්‍රීක නාමය γράμματα (ග්‍රැමාටා) යනුය. අක්ෂර යනු අප කතා කරන ප්‍රකාශිත කටහඬින් ඇති වන ශබ්දවල සංකේත වේ. දැන් මෙම කථන රූපවලින් සමහරක් අපට ශුද්ධලියවිල්ලේ ඒවාට නිදසුන් පමණක් නොව (ඒවා සියල්ල අප සතුව ඇත), එහෙත් නම්ද හමු වේ: නිදසුනක් ලෙස, දෘෂ්ටාන්ත, ප්‍රහේළිකා සහ උපමාව දැක්විය හැකිය. කෙසේ වෙතත්, ලිබරල් අධ්‍යාපනය පිළිබඳ කාරණයක් ලෙස උගත් යැයි කියනු ලබන මෙම සංකේත සියල්ලම පාහේ ව්‍යාකරණ ඉගෙන නොගත් එහෙත් අශිෂ්ට වාක්‍ය භාවිත කිරීමෙන් සෑහීමකට පත්වන මනුෂ්‍යයින්ගේ සැම සාමාන්‍ය කථාවකදීම පවා දක්නට ලැබේ. එසේ ඔබ දියුණු වේවා යැයි නොකියන්නේ කවුරුන්ද? මෙය රූපක යනුවෙන් හඳුන්වනු ලබන භාෂා උපක්‍රමයයි.තවමත් මාළු පොකුණක් ලෙස හඳුන්වන මාළු නොමැති, මාළුන් සඳහා නිර්මාණය නොකළ, මාළු පොකුණක් ගැන කතා නොකරන්නේ කවුද? මෙය catachresis (වචනයක් වැරදි ආකාරයෙන් භාවිත කිරීම) නම් රූපකයයි.

41. මේ ආකාරයෙන් අනෙක් සියල්ල පරීක්ෂා කිරීම වෙහෙසකර වනු ඇත; මන්ද එදිනෙදා අශිෂ්ට භාෂා භාවිතයේදී, එනම් ඔවුන් ප්‍රකාශ කරන දෙයට හරියටම ප්‍රතිවිරුද්ධ දේ ප්‍රකාශ කරන වඩාත් කුතුහලය දනවන රූපකවලදී පවා ඒවා සියල්ලම භාවිත වන බැවිනි. නිදසුනක් ලෙස, උත්ප්‍රාසය සහ ප්‍රතිප්‍රකාශය එවැනිය. දැන් උත්ප්‍රාසාත්මක ලෙස අපි ප්‍රකාශ කිරීමට කැමති අර්ථය කටහඬේ ස්වරයෙන් දක්වමු. නරක ලෙස හැසිරෙන මිනිසෙකුට, ඔයා හොඳින් හැසිරෙනවා, යයි අප පවසන්නා සේය. එහෙත් වචනවලින් කියැවෙන දෙයට ප්‍රතිවිරුද්ධ දෙය දැක්වීමට අප ප්‍රතිප්‍රකාශයක් කරන්නේ කටහඬේ ස්වරයෙන් නොවේය; එහෙත් එය ප්‍රකාශ කරන වචන ඒවායේ ව්‍යුත්පන්න අර්ථයට ප්‍රතිවිරුද්ධ ලෙස භාවිත කරමිනි. වත්තක් එහි ආලෝකය නොමැතිකම නිසා ලූකස් ලෙස හැඳින්වේ; නැතහොත් යම් ප්‍රකාශන ආකාරයක් භාවිත කිරීම සිරිතකි, එය ප්‍රතිවිරුද්ධ රීතියක් මගින් ඔව් සඳහා නැත යන්න යෙදේ, එය අප යම් ස්ථානයක නැති දේ විමසා, ඕනෑ තරම් ඇත, යන පිළිතුර ලබා ගන්නා සේය; එසේත් නැතහොත් ඔහු හොඳ මිනිසෙකු බැවින් ඔහුගෙන් පරෙස්සම් වන්න යන ප්‍රකාශනයේ මෙන් අප පවසන දෙයට ප්‍රතිවිරුද්ධ දෙය පැහැදිලි වන වචන එකතු කරමු. මෙම කථන රූපවල ස්වභාවය හෝ ඒවායෙහි නම් ගැන කිසිවක් නොදන්නා නමුත් එවැනි ප්‍රකාශයන් භාවිත නොකරන නූගත් මිනිසෙකු සිටින්නේද? එසේ වූවද, ශුද්ධලියවිල්ලේ ඇති දුෂ්කරතා ඉවත් කිරීම සඳහා මේවා පිළිබඳ දැනුම අවශ්‍ය වේ. මන්ද වචන වචනාර්ථයෙන් ගත් කල අවිනිශ්චිත අර්ථයක් ලබා දෙන විට, අපට නුහුරු එම වචන සංකේතාත්මක අර්ථයෙන් ඒවා භාවිත කළ හැකිද යන්න අප වහාම විමසිය යුතුය. මේ ආකාරයෙන් සිදු කිරීමෙන් බොහෝ අපැහැදිලි පාඨවලට ආලෝකය ලැබෙනු ඇත.

30 වන පරිච්ඡේදය – ඩොනාටිස්ට්වාදී ටිකෝනියස්ගේ රීති පරීක්ෂා කරන ලදී.

ඩොනාටිස්ට්වාදියෙකු වුවද, ඩොනාටිස්ට්වාදීන්ට එරෙහිව වඩාත්ම ජයග්‍රාහී ලෙස ලියා ඇති ටිකෝනියස් (මෙම කාරණයේදී ඔහු ඒවා සම්පූර්ණයෙන්ම අත්හැරීමට අකැමති බවට ඔහු ඉතා පරස්පර විරෝධී චරිතයක් පෙන්නුම් කළේය), රීති සම්බන්ධ පොත යනුවෙන් ඔහු නම් කළ පොතක් ලිවීය. මන්ද ඔහු එහි රීති හතක් දැක්වූ බැවිනි. ඒවා ශුද්ධලියවිල්ලේ රහස් විවෘත කිරීමට යතුරු ලෙස ඇත. තවද මෙම රීතිවලින් පළමුවැන්න ස්වාමින් වහන්සේට සහ උන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වේ, දෙවැන්න ස්වාමින් වහන්සේගේ ශරීරයේ දෙවැදෑරුම් බෙදීමට සම්බන්ධය, තෙවැන්න පොරොන්දු සහ ව්‍යවස්ථාව සම්බන්ධය, හතරවැන්න විශේෂයට සහ ගණය සම්බන්ධය, පස්වැන්න කාලයට, හයවැන්න සාරාංශකරණයට, හත්වැන්න යක්ෂයාට සහ ඔහුගේ ශරීරයට සම්බන්ධ වේ. දැන් මෙම රීති, ඒවායේ කතුවරයා විසින් පැහැදිලි කරන ලද පරිදි, සැබවින්ම, ප්‍රවේශමෙන් සලකා බලන විට, පූජනීය ලේඛනවල රහස් විනිවිද යාමට සැලකිය යුතු උපකාරයක් ලබා දෙයි; කතුවරයා විසින් පැහැදිලි කරන ලද රීති, ශුද්ධ ග්‍රන්ථවල සැඟවුණු අර්ථයන් කල්පනාකාරීව විමසා බැලීමේදී තේරුම් ගැනීමට සැබවින්ම උපකාරී වේ. එසේ වූවත්, ඒවා පැහැදිලි කිරීමේදී වෙනත් ක්‍රම කිහිපයක් අවශ්‍ය වන නිසා, එම රීතිවලින් තවමත් සියලු දුෂ්කර පාඨ පැහැදිලි නොකරයි, ඒවා මෙම ක්‍රම රීති හතට ඇතුළත් නොවේ. කතුවරයා මෙම රීති කිසිවක් අදාළ නොකර බොහෝ අපැහැදිලි පාඨ පැහැදිලි කරයි. ඇත්ත වශයෙන්ම, එම රීති අනවශ්‍ය බව කතුවරයා තේරුම් ගනී. මන්ද අදාළ පාඨය ඔහුගේ රීති ආමන්ත්‍රණය කිරීමට අදහස් කරන ආකාරයේ දුෂ්කරතා ඉදිරිපත් නොකළ බැවිනි. නිදසුනක් වශයෙන්, එළිදරව් පොතේ ලිවීමට යොහන්ට උපදෙස් දී ඇති සභාවේ දේවදූතයන් හත්දෙනා යන්නෙන් අප තේරුම්ගත යුත්තේ කුමක්දැයි ඔහු අසයි. බොහෝ තර්ක සහ විවිධ සලකා බැලීම්වලින් පසුව, දේවදූතයන් යනු සභාවම බව ඔහු නිගමනය කරයි. එසේ මෙම දීර්ඝ හා සවිස්තරාත්මක සාකච්ඡාවේදී, විභාග කරන විෂය තරමක් අපැහැදිලි වුවද, රීති කිසිවක් භාවිත නොවේ. නිදසුනක් ලෙස මෙය ප්‍රමාණවත්ය, මන්ද මෙම රීති හතෙන් එකක්වත් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවන ආකාරයේ අපැහැදිලි තැන් අන්තර්ගත කැනොනිකරණය කරන ලද (සම්මතකරණය) ශුද්ධලියවිලිවල ඇති සියලුම කොටස් එකතු කිරීම බරක් සහ වෙහෙසකාරී දෙයක් වනු ඇත.

43. කෙසේ වෙතත්, කතුවරයා, මෙම රීතිවලට ප්‍රශංසා කරන විට, ඒවාට එතරම් වැදගත්කමක් ලබා දෙන අතර, ඒවා සම්පූර්ණයෙන්ම වටහාගෙන නිසි ලෙස ක්‍රියාත්මක කළ පසු, ව්‍යවස්ථාවේ – එනම්, පූජනීය පොත්වල ඇති සියලුම අපැහැදිලි පාඨ අපට අර්ථකථනය කිරීමට හැකි විය යුතුය. මන්ද ඔහු මෙම පොත ආරම්භ කරන්නේ මේ ආකාරයටයි: මට සිදු වන සියලුම දේවලින්, ව්‍යවස්ථාවේ සැඟවුණු කොටස් සඳහා යතුරු නිර්මාණය කිරීමට සහ කවුළු විවෘත කිරීමට කුඩා මාර්ගෝපදේශ පොතක් ලිවීමට වඩා වැදගත් දෙයක් නැති බව මම සලකමි. මන්ද බොහෝ දෙනෙකුට නොපෙනෙන සත්‍යයේ නිධානයන් දෘශ්‍යමාන කරමින් සමස්ත ව්‍යවස්ථාවේ රහස් ගැඹුර අගුළු හරින ඇතැම් අබිරහස්මය රීති තිබේ. තවද මෙම නීති පද්ධතිය මා ඉදිරිපත් කරන ආකාරයට පිළිගතහොත්, ඊර්ෂ්‍යාවෙන් තොරව, සැඟවී ඇති දේ එළිදරව්ව සිදු වන අතර, නොපැහැදිලි දේ පැහැදිලි වනු ඇත, එවිට විශාල අනාවැකි වනාන්තරය හරහා ගමන් කරන පුද්ගලයා මෙම රීති මාර්ග ලෙස අනුගමනය කරමින් ආලෝකයේ ගමන් කරමින්, නොමඟ යාමෙන් ආරක්ෂා වෙයි. – දැන්, ඔහු ඇත්තටම පවසන දේ වෙනුවට ව්‍යවස්ථාවේ සමහර රහස් අගුළු ඇරීමට හෝ ව්‍යවස්ථාවේ මහා රහස් පවා අගුළු හරින ඇතැම් අබිරහස්මය රීති තිබේ, එනම් සමස්ත ව්‍යවස්ථාවේ රහස් ගැඹුර අගුළු හරින බව, යනුවෙන් ඔහු කීවා නම්, නැතිනම් සැඟවී ඇති දේ එළිදරව් වනු ඇත, එහෙත් සැඟවුණු බොහෝ දේ එළිදරව් වනු ඇත, යයි ඔහු නොකීවේ නම්, ඔහු සත්‍ය දේ ප්‍රකාශ කරනු ඇති අතර, ඔහුගේ ඉතා සවිස්තරාත්මක සහ ප්‍රයෝජනවත් කාර්යයට කරුණු සාධාරණීකරණය කිරීමට වඩා වැඩි යමක් ආරෝපණය කිරීමෙන්, පාඨකයා ව්‍යාජ අපේක්ෂාවන් වෙත නොමඟ යැවීමට ඔහු ඉඩ නොදෙනු ඇත. තවද, උගත් අයට පොත කියවිය හැකි වන පරිදි, මෙපමණ කාරණා කීම නිවැරදිය යන්න (මන්ද එය ශුද්ධලියවිල්ල තේරුම් ගැනීමට ඉතා ප්‍රයෝජනවත් බැවිනි) සහ එහි සත්‍ය වශයෙන්ම අන්තර්ගත වන ප්‍රමාණයට වඩා වැඩි යමක් එයින් බලාපොරොත්තු විය නොහැකි බව මම සිතුවෙමි. නිසැකවම, එය ප්‍රවේශමෙන් කියවිය යුතුය, කතුවරයා මිනිසෙකු ලෙස කරන වැරදි නිසා පමණක් නොව, එහෙත් මූලික වශයෙන්ම ඔහු ඩොනාටිස්ට්වාදියෙකු ලෙස ඉදිරිපත් කරන මිථ්‍යාදෘෂ්ටීන් නිසාය. දැන් මම මෙම රීති හත උගන්වන හෝ යෝජනා කරන දේ කෙටියෙන් පැහැදිලි කරන්නෙමි.

31 වන පරිච්ඡේදය – ටිකෝනියස්ගේ පළමුවන රීතිය.

44. පළමුවැන්න ස්වාමින් වහන්සේ සහ උන් වහන්සේගේ ශරීරය සම්බන්ධ එකකි. එනම්, අප එය සිදු කරන කල හිස සහ ශරීරය – එනම් ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ සභාව – සමහර විට එක් පුද්ගලයෙකු යටතේ අපට පෙන්වා දෙනු ලැබේ එනම් ආබ්‍රහම්ගේ එක් වංශයක් පමණක් සිටින විට, ඔබ ආබ්‍රහම්ගේ වංශයයි, ගලාති 3:29  යනුවෙන් ඇදහිලිවන්තයින්ට මෙසේ පැවසුවේ නිකරුණේ නොවේය, ඒ වංශය ක්‍රිස්තුස් වහන්සේය, හිසෙන් ශරීරය වෙත හෝ ශරීරයෙන් හිස වෙත සංක්‍රමණයක් සිදු වූ විට අප අපහසුවට පත් විය යුතු නැත. එහෙත් එම සිදුවීම වන පුද්ගලයා තුළ කිසිදු වෙනසක් සිදු කර නොමැත. මන්ද, උන් වහන්සේ මා මනාලයෙකු ලෙස ආභරණවලින් සරසා, මනාලියක් ලෙස ආභරණවලින් සරසවා ඇතත් යන්න තනි පුද්ගලයෙකු නියෝජනය කරමින් පවසා ඇත. මේ දෙකෙන් හිසට යොමු වන්නේ කුමක්ද සහ ශරීරයට යොමු වන්නේ කුමක්ද යන්න, එනම් ක්‍රිස්තුස් වහන්සේට සහ සභාවට යොමු වන්නේ කුමක්ද යන්න අර්ථකථනය කළ යුතුය.

32 වන පරිච්ඡේදය – ටිකෝනියස්ගේ දෙවන රීතිය.

45. දෙවන රීතිය ස්වාමින් වහන්සේගේ ශරීරයේ ද්විත්ව බෙදීම සම්බන්ධයෙනි ; කෙසේ වෙතත්, මෙය සැබවින්ම යෝග්‍ය යෙදුම නොවේය, මන්ද සදාකාලිකව ක්‍රිස්තුස් වහන්සේ සමග නොසිටින දේ සැබවින්ම උන් වහන්සේගේ ශරීරයේ කොටසක් නොවන නිසාය. එබැවින්, මෙම නියමය ස්වාමින් වහන්සේගේ සත්‍ය හා මිශ්‍ර ශරීරයට හෝ සත්‍ය සහ ව්‍යාජ හෝ ඒ හා සමාන පදයකට අදාළ බව අප පැවසිය යුතුය, මන්ද, සදාකාලිකත්වය හැර, කුහකයින් උන් වහන්සේගේ සභාවේ සිටින බව පෙනෙන්නට තිබුණත්, උන් වහන්සේ තුළ සිටින බව දැන් පවා පැවසිය නොහැකිය. එබැවින් මෙම රීතිය මෙසේ නම් කළ හැකිය: මිශ්‍ර සභාව සම්බන්ධයෙන් වන රීතිය. දැන් මෙම රීතිය පාඨකයාට පරෙස්සම් වීම උදෙසා අවශ්‍ය වේ. එනම් ශුද්ධලියවිල්ල, විවිධ වූ පුද්ගලයින් සමූහයක් ආමන්ත්‍රණය කිරීමට හෝ ඔවුන් පිළිබඳ කථා කිරීමට යන කල, පෙර පරිදිම එම කණ්ඩායමම ආමන්ත්‍රණය කරන බවක් හෝ ඔවුන්ටම කතා කරන බවක් පෙනෙන්නට ඇත. එය සක්‍රමේන්තුවල හවුල් සහභාගීත්වයක තාවකාලික එකමුතුව නිසා දෙපිරිසම එකම ශරීරයක් සෑදුවාක් මෙනි. සලමොන්ගේ ගීතිකාවේ, කේදාර්ගේ කූඩාරම් මෙන්, සලමොන්ගේ තිර මෙන් මම කළුය, එහෙත් ශෝභමානය, ගීතාවලිය 1: 5 යන කොටස මෙයට නිදසුනකි. මම කේදාර්ගේ කූඩාරම් මෙන් කළුව සිටියෙමි, එහෙත් දැන් සලමොන්ගේ තිර මෙන් අලංකාරව සිටිමි, යයි එහි නොකියයි. හොඳ මාළු සහ නරක මාළු යන දෙකොටසම එකම දැලක තාවකාලිකව මිශ්‍ර වී ඇති නිසා සභාව තමන් මේ දෙකම බව ප්‍රකාශ කරයි මතෙව් 13:47-48. කේදාර්ගේ කූඩාරම් ඉෂ්මායෙල් සම්බන්ධයෙන් පැවසේ. ඔහුට නිදහස් කාන්තාවගේ පුත්‍රයා සමග උරුමයක් නොලැබේ ගලාති 4:30. ඒ හා සමානව, දෙවියන් වහන්සේ සභාවේ යහපත් කොටස ගැන කතා කරන විට, උන් වහන්සේ පවසන්නේ, මම අන්ධයන් ඔවුන් නොදැන සිටි මාර්ගයකින් ගෙනෙන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වල මම ඔවුන් ගෙන යන්නෙමි; මම ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය ආලෝකය කරන්නෙමි. එසේම ඇද මාවත් ඍජු කරන්නෙමි. මම මේ දේවල් ඔවුන්ට කරන්නෙමි, ඔවුන් අත් නොහරින්නෙමි යෙසායා 42:16. හොඳ අය සමග මිශ්‍ර වී තිබෙන නරක අය සම්බන්ධයෙන් උන් වහන්සේ ක්‍ෂණියකින් මෙසේ එකතු කරන සේක, ඔවුන් ආපසු හරවනු ලබනවා ඇත. දැන්, මෙම වචන පෙරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයින් සමූහයකට යොමු කෙරෙයි; එහෙත් දෙපිරිසම තාවකාලිකව එක් ශරීරයකට එකතු වී සිටින බැවින්, උන් වහන්සේ වාක්‍යයට අදාළ විෂයෙහි වෙනසක් නැති සේ කතා කරන සේක. කෙසේ වෙතත්, ඔවුන් සැම විටම එක ශරීරයක නොපවතිනු ඇත, මන්ද ඔවුන්ගෙන් එක් කෙනෙක් ශුභාරංචියේ අපට පවසන ලද දුෂ්ට සේවකයාය, ඔහුගේ ස්වාමියා පැමිණි විට, ඔහු නෙරපා දමා, කුහකයින් සමග ඔහුගේ කොටස ලැබීමට යොමු කරනු ඇත. මතෙව් 24:50-51.

33 වන පරිච්ඡේදය – ටිකෝනිස්ගේ තුන්වන රීතිය.

46. තුන්වන රීතිය පොරොන්දු සහ ව්‍යවස්ථාව සම්බන්ධ වන අතර, එය මෙම විෂය පිළිබඳ පොතක් ලිවීමේදී මා භාවිත කළ නම වන ආත්මය සහ ලියවිල්ල සම්බන්ධ වෙනත් වචනවලින් නම් කළ හැකිය. එය කරුණා අනුග්‍රහය සහ ව්‍යවස්ථාව යනුවෙන්ද නම් කළ හැකිය. කෙසේ වෙතත්, මෙය මට පෙනෙන්නේ වෙනත් ප්‍රශ්න විසඳීම සඳහා භාවිත කළ යුතු රීතියකට වඩා එයම විශාල ප්‍රශ්නයක් ලෙසටය. පෙලේජියන් මිථ්‍යාදෘෂ්ටිය ආරම්භ වූයේ එසේ නැතිනම් අවම වශයෙන් විශාල වශයෙන් උග්‍ර වීමට මෙම ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි අදහස් අවශ්‍ය වීම හේතු විය. මෙම කරුණ පැහැදිලි කිරීමට ටිකෝනියස් ගත් උත්සාහය යහපත් එකක් වූවද එය සම්පූර්ණ එකක් නොවීය. මන්ද, ඇදහිල්ල සහ ක්‍රියා පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, දෙවියන් වහන්සේ විසින් ඇදහිල්ලේ විපාකයක් ලෙස අපට ක්‍රියාවන් ලබා දෙන ලද බවත්, එසේ වූවත්, ඇදහිල්ල බොහෝ දුරට අපගේම වූවක් බැවින් එය දෙවියන් වහන්සේගෙන් අප වෙත නොපැමිණි බවත් ඔහු පැවසුවේය. ඔහු අපොස්තුළුවරයාගේ මෙම කියමන සිහි නොකළේය: පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමග ප්‍රේමයත් සහෝදරයන්ට වේවා. එපීස 6:23 එහෙත් ඔහු අපේ කාලයේ ඇති වූ මෙම මිථ්‍යාදෘෂ්ටිය සමග සම්බන්ධ වී නොසිටියේය. එසේ වූවත් ඔහු අපගේ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය එයට එරෙහිව ආරක්ෂා කිරීමට අපට බොහෝ වෙහෙස මහන්සි වීම පිණිස බොහෝ කරදර වීමට හේතු වී ඇත.  (අපෝස්තුළුවරයාගේ කියමනට අනුව, මක්නිසාද නුඹලා අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් නුඹලා අතරෙහි තිබෙන්ට ඕනෑය. 1 කොරින්ති 11:19)  මෙම කොටස සම්බන්ධයෙන් ඔහුගේ දැනුවත්භාවය තියුණු කිරීමට විරුද්ධත්වයක් නොතිබූ ටිකෝනියස් මෙම සත්‍යය සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීමට අපොහොසත් විය. ඇදහිල්ල දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් දෙන ලද ත්‍යාගයක් බවත්, එකිනෙක මනුෂ්‍යයාගේ ඇදහිල්ලේ ප්‍රමාණයට එය දෙනු ලබන බවත්, රෝම 12.3 ශුද්ධලියවිල්ල උගන්වයි. තවද, මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට පමණක් නොව, උන්වහන්සේ උදෙසා දුක්විඳින්ටත් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා නුඹලාට වරප්‍රසාදය දෙනලද්දේය, පිලිප්පි 1:29 යනුවෙන් ඇදහිලිවන්තයින් පිරිසකට පවසා ඇත. එසේ නම්, ඇදහිල්ල සහ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දුක් විඳීමට ඇති වරප්‍රසාදය යන දෙකම දිව්‍යමය ත්‍යාගයන් බව මෙම වාක්‍යයන් සනාථ කරන අතර, ඒවායේ මූලාශ්‍රය ගැන සැක කරන්නේ කවරෙක්ද? මෙයට අමතරව මෙම කරුණ සනාථ කරන තවත් බොහෝ සාක්ෂි තිබේ. එහෙත් මේ ධර්ම නියාමකය සම්බන්ධයෙන් මම දැන් කතා නොකරමි. කෙසේ වෙතත්, මම ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථානවලදී, බොහෝ විට කතා කර ඇත්තෙමි.

34 වන පරිච්ඡේදය – ටිකෝනිස්ගේ සිව්වන රීතිය.

47. ටිකෝනියස්ගේ සිව්වන රීතිය විශේෂ සහ ගණය පිළිබඳ වේ. ඔහු එය එලෙසින් හඳුන්වන්නේ, විශේෂ යන්නෙන් කොටසක් තේරුම්ගත යුතුය යන අදහසින් සහ ගණය යන්නෙන් ඔහු විශේෂ ලෙස හඳුන්වන මුළු කොටසම අයත් සමස්තය යන්නටය. නිදසුනක් ලෙස, සෑම තනි නගරයක්ම ජාතීන්ගේ මහා සමාජයේ කොටසකි: ඔහු විශේෂයක් ලෙස හඳුන්වන නගරය, සියලු ජාතීන් යන ගණයට අයත් වේ. කොටසක් සහ විශේෂයක් අතර වෙනස ඉතා තියුණු ලෙස සාකච්ඡා කරන තාර්කිකයින් අතර භාවිත වන එම සූක්ෂ්ම වෙනස යෙදීමේ අවශ්‍යතාවයක් මෙහිදී ඇත්තේ නැත. ශුද්ධලියවිල්ලේ සඳහන් යමක් තනි නගරයක් පමණක් නොව මුළු පළාතක්, ගෝත්‍රයක් හෝ රාජ්‍යයක් සම්බන්ධයෙන් අදාළ වන්නේ නම්, මෙම රීතිය එලෙසම අදාළ වේ. නිදසුනක් වශයෙන්, යෙරුසලම හෝ තීර් හෝ බබිලෝනිය වැනි අන්‍යජාතික නගර පිළිබඳ ප්‍රකාශයන් බොහෝ විට නිශ්චිත නගරය ඉක්මවා යන අතර එය සියලු ජාතීන්ට යොමු කිරීමක් ලෙස වඩාත් හොඳින් වටහාගෙන ඇත. ඒ හා සමානව, යුදය, ඊජිප්තුව, අසිරියාව හෝ වෙනත් නගර කිහිපයකින් සමන්විත නමුත් මුළු ලෝකයම ආවරණය නොවන වෙනත් ඕනෑම ජාතියක් පිළිබඳ යොමු කිරීම් බොහෝ විට නිශ්චිත ජාතියෙන් ඔබ්බට විහිදෙන අතර ජාතිය කොටසක් වන පුළුල් කාණ්ඩයට වඩාත් යෝග්‍ය ලෙස අදාළ වේ. කතුවරයා පවසන්නේ මෙම විශේෂය අයත් වන ගණයයි. එබැවින් මෙම වචන පොදුවේ ප්‍රචලිත වී ඇත. එවිට නූගත් මිනිසුන්ට පවා ඕනෑම අධිරාජ්‍ය ආඥාවක් තුළ විශේෂයෙන් දක්වා ඇති දේ සහ සාමාන්‍යයෙන් දක්වා ඇති දේ කුමක්ද යන්න තේරුම්ගත හැකිය. මිනිසුන් සම්බන්ධයෙන්ද ඒ කාරණයම සිදු වේ: නිදසුනක් වශයෙන්, සලමොන් ගැන කියනු ලබන දේවල්, ඔහුගෙන් ඔබ්බට බොහෝ දුරට ළඟා වන විෂය පථය, සහ සලමොන් කොටසක් වන කාරණා ක්‍රිස්තුස් වහන්සේට සහ උන් වහන්සේගේ සභාවට අදාළ වන විට පමණක් නිසි ආකාරයට වටහාගත හැකිය. 2 සාමුවෙල් 7:14-16.

48. දැන්, එවැනි ආකාරයේ ප්‍රකාශයන් බොහෝ විට සිදු කරන්නේ එයට පැහැදිලිවම සම්බන්ධ වන හෝ සමහර විට එයටම අනන්‍ය වූ දේවලට බැවින් විශේෂය සැමවිටම ඉක්මවා නොයයි. එහෙත් ශුද්ධලියවිල්ල, යම් කරුණක් දක්වා විශේෂය ගැන කතා කරමින්, එම අවස්ථාවේදී විශේෂයේ සිට ගණයට සංක්‍රමණය වන විට, ගණය තුළ වඩා හොඳ සහ විශ්වාසදායක ලෙස සොයා ගත හැකි විශේෂයන් සෙවීමට එරෙහිව පාඨකයා ප්‍රවේශම් විය යුතුය. නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘ එසකියෙල් පවසන දේ බලන්න: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ රටෙහි වාසයකරද්දී ඔව්හු තමුන්ගේ මාර්ගයෙන්ද තමුන්ගේ ක්‍රියාවලින්ද ඒක අපවිත්‍රකළෝය. ඔවුන්ගේ මාර්ගය කිළිවූ ස්ත්‍රීයෙකුගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි වූයේය. මමද ඔවුන් දේශය පිට වැගිරෙවු ලේ නිසාත් ඔවුන් තමුන්ගේ රූපවලින් ඒක අපවිත්‍රකළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, ජාතීන් අතරට ඔවුන් පන්නාදැමීමි, ඔව්හු දේශවල විසුරුවනු ලැබුවෝය. ඔවුන්ගේ මාර්ගයේද ඔවුන්ගේ ක්‍රියාවලද ප්‍රකාරයට ඔවුන් විනිශ්චය කෙළෙමි. එසකියෙල් 36:17-19 දැන් මෙය අදාළ වන්නේ ඉශ්‍රායෙල් වංශයට බව තේරුම් ගැනීම පහසුය, ඔවුන් පිළිබඳ ප්‍රේරිතවරයා මෙසේ පවසයි, මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් බලන්න. 1 කොරින්ති 10:18 මන්ද මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් සෙනඟ මෙහි සඳහන් කර ඇති සියල්ල ඉටු කළ අතර ඒවා විඳ දරාගත් බැවිනි. එයට පසුව පවසන කාරණාද එම සෙනඟටම අදාළ වන බව තේරුම්ගත හැකිය. එහෙත් අනාගතවක්තෘවරයා, ජාතීන් අතරෙහි කෙළෙසී තිබෙන්නාවූ, නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙළෙසුවාවූ මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙනෙන කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත, එසකියෙල් 36:23 යනුවෙන් පැවසීම ආරම්භ කළ විට, එම විශේෂය අබිබවා ගණයට ඇතුළත් වන ආකාරය පාඨකයා දැන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතුය. මන්ද ඔහු තවදුරටත් මෙසේ පවසන නිසාය: ජාතීන් අතරෙහි කෙළෙසී තිබෙන්නාවූ, නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙළෙසුවාවූ මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙනෙන කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එසේය, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි. නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි. මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි. නුඹලා පිටට සාගතය නොපමුණුවා, ධාන්‍ය උපදවාදී, ඒවා වැඩිකරන්නෙමි. එසකියෙල් 36:23-29  දැන් මෙය අලුත් ගිවිසුමේ අනාවැකියක් වන අතර, එය වෙනත් තැනක පහත ආකාරයට සඳහන් කර ඇති එම ජාතියේම ඉතිරි කොටසට පමණක් සම්බන්ධ කාරණයක් නොවේය. තැනක සිටින එම ජාතියේ ඉතිරි කොටස පමණක් අදාළ නොවේ, මක්නිසාද ඉශ්‍රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ. යෙසායා 10:22 එහෙත් ඔවුන්ගේ පියවරුන්ට සහ අපේ පියවරුන්ට පොරොන්දු වූ වෙනත් ජාතීන්ටද; එමෙන්ම දැන් සියලු ජාතීන්ට ලබා දී ඇති පුනර්ජනනය සේදීමේ පොරොන්දුවක් මෙයට ඇතුළත් බව, මෙම කාරණය පරීක්ෂා කරන කිසිවෙකුට සැක කළ නොහැකිය. ඔහු පැරණි ගිවිසුමට සාපේක්ෂව නව ගිවිසුමේ කරුණාව සහ එහි විශිෂ්ටත්වය අගය කරන විට, අපෝස්තුළුවරයාගේ එම කියමන එනම්, අපගේ පත්‍රය නම් නුඹලාය; එය අපේ සිත්වල ලියා තිබේ, සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවති. මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නැමති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ, 2 කොරින්ති 3:2-3 යන්න අනාගතවක්තෘවරයා ප්‍රකාශ කරන පහත පාඨය වෙත පැහැදිලිවම යොමු කරයි. මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි. එසකියෙල් 36:26 දැන් මාංසවූ සිත් නමැති ලෑලිවල යන අපෝස්තුළුවරයාගේ වාක්‍ය ඛණ්ඩය ව්‍යුත්පන්න වී ඇති මාංසමයවූ සිතක්, යන්නෙන් අනාගතවක්තෘවරයා අදහස් කළේ සංවේදී ජීවිතයක් තිබීමෙන් ගල් හදවතින් වෙන්කර හඳුනා ගැනීමට සම්බන්ධයෙනි එසේම සංවේදී ජීවිතයෙන් ඔහු අදහස් කළේ බුද්ධිමත් ජීවිතයයි. මේ අනුව ආත්මික ඉශ්‍රායලය සෑදී ඇත්තේ එක් ජාතියකින් නොව, එහෙත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔවුන්ගේ වංශයේ පියවරුන්ට පොරොන්දු වී ඇති සියලුම ජාතීන්ගෙනි.

49. එබැවින්, මෙම ආත්මික ඉශ්‍රායලය, එක් ජාතියකට අයත් වූ ලෞකික ඉශ්‍රායලයෙන් වෙන්කර හඳුනාගෙන ඇත්තේ, කරුණා අනුග්‍රහයේ නවතාවයෙන් මිස, සම්භවයේ වංශවත්භාවයෙන්, හැඟීමෙන්, ජාතියෙන් නොවේය; එහෙත් අනාගතවක්තෘවරයා, ඔහුගේ ගැඹුරු අර්ථයෙන්, ලෞකික ඉශ්‍රායලය ගැන කතා කරන අතරතුර, සංක්‍රාන්තිය නොපෙන්වා, ආත්මිකත්වය ගැන කථා කිරීමට යොමු වෙයි. එසේම දැන් දෙවන කාරණය පිළිබඳ කතා කළත්, තවමත් පෙර දේ ගැන කතා කරන බව පෙනෙන්නට ඇත. එයට හේතුව අප විරුද්ධවාදීන් මෙන් ඔහු අපට ශුද්ධලියවිල්ල පිළිබඳ පැහැදිලි අවබෝධයක් ප්‍රතික්ෂේප කරන නිසා නොව, නමුත් ඔහු වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කරමින් අපගේ ආත්මයට ප්‍රයෝජනවත් ව්‍යායාමයක් සපයන නිසාය. එබැවින්, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි, යන කියමන සහ එයට පසුව ඔහු නැවතත් තමා පැවසූ කාරණයම කියන්නාක් මෙන්, මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, යන්න ඒවා මාංසයෙන් ඉශ්‍රායෙල්ට යොමු කළාක් මෙන් වචනාර්ථයෙන් නොව, ආත්මික ඉශ්‍රායෙලය ගැන සඳහන් කළාක් මෙන් ආත්මිකව තේරුම්ගත යුතුය. මන්ද සභාව, කැළලක් හෝ පලුද්දක් නොමැැතිව, සියලුම ජාතීන්ගෙන් රැස්කරන ලදුව, ක්‍රිස්තුස් වහන්සේ සමග සදහටම රජකම් කිරීම පිණිස නියම කර ඇත, සභාව වූ කලි ආශීර්වාද ලත් දේශයයි, ජීවමාන දේශයයි; මෙය පියවරුන්ට පොරොන්දු වූ විට ඔවුන්ට ලබා දුන් බව අප තේරුම්ගත යුතුය, මන්ද පියවරුන් විශ්වාස කළ දේ නියමිත කාලය තුළ දෙනු ලැබේ යැයි විශ්වාස කළේ එම පොරොන්දුව දැනටමත් ඔවුන්ට ලැබී ඇති ආකාරයට, ඔවුන්ගේ පොරොන්දුව සහ අරමුණ වෙනස් නොවන බැවිනි. ප්‍රේරිතවරයා තිමෝතිට ලියමින් ශුද්ධවන්තයින්ට දෙනු ලබන කරුණා අනුග්‍රහය ගැන කථා කරයි: උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක. මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොටගෙන එළිදරව්කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශවී තිබේ. 2 තිමෝති 1: 9-10  ඔහු කරුණා අනුග්‍රහය ගැන කතා කරන්නේ එය ලැබීමට නියමිත අය තවමත් බිහි වී නොසිටි කාලයකදීය. මන්ද, නියමිත කාලයට සිදුවීමට නියමිත දේ දෙවියන් වහන්සේගේ සැලැස්ම හා අරමුණ තුළ දැනටමත් ඉටු වී ඇති බව ඔහු සලකන අතර, දැන් එළිදරව් වී ඇති ආකාරයට ඔහුම කතා කරයි. කෙසේ වෙතත්, මෙම වචන කෙසේ වෙතත්, මෙම වචන අධර්මිෂ්ඨ අයට වාසය කිරීමට නොහැකි වන නව අහසක් සහ නව පොළොවක් ඇති අනාගත යුගයේ දේශයට යොමු විය හැකිය. එහෙයින් සත්‍ය වශයෙන්ම ධර්මිෂ්ඨයන්ට කියනුයේ, දේශයම ඔවුන්ගේය, එයින් කොටසක් අධර්මිෂ්ඨයන්ට අයිති නොවන්නේය. මන්ද, එය ලබා දිය යුතු යැයි ස්ථිරව ස්ථාවර වූ විට, දුන් දෙයම එයම වන බැවිනි.

35 වන පරිච්ඡේදය – ටිකෝනියස්ගේ පස්වන රීතිය.

50. ටිකෝනියස් විසින් පනවා ඇති පස්වන රීතිය වන්නේ ඔහු කාලයන් නිර්ණය කරන එකකි – එය ශුද්ධලියවිල්ලේ ප්‍රකාශිතව සඳහන් කර නැති කාල ප්‍රමාණයන් අපට නිතරම සොයා ගැනීමට හෝ අනුමාන කිරීමට හැකි රීතියකි. මෙම රීතිය ආකාර දෙකකින් අදාළ වන බව ඔහු පවසයි: එය synecdoche නම් රූපකාර්ථයට නැතිනම් නීත්‍යනුකූල සංඛ්‍යාවලට අදාළ වේ. synecdoche රූපකාර්ථය සමස්තය සඳහා කොටස දක්වයි, නැතිනම් කොටස සඳහා සමස්තය දක්වයි. නිදසුනක් වශයෙන්, අපගේ ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ ගෝලයන් තිදෙනෙකු පමණක් ඉදිරියෙහි කන්දක් මතදී රූප විපර්යාසය වූ සේක. උන් වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුණි, උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව බැබළුණේය. එක් ශුභාරංචි රචකයෙක් කාලය ගැන සඳහන් කරමින්, මෙම සිදුවීම දින අටකට පසුව සිදු වූ බව, ලූක් 9:28 පවසයි. තවක් අයෙක් එය දින හයකට පසුව සිදු වූ බව පවසයි. දින අටකට පසු යැයි පවසන ලේඛකයාට ක්‍රිස්තුන් වහන්සේ අනාවැකි කී දිනයේ අවසාන භාගය සහ ඔහු එය සම්පූර්ණ කළ දිනයේ පළමු කොටස ඇතුළත් කර ඇතැයි අප උපකල්පනය කරන්නේ නම් මිස දින ගණන පිළිබඳ ප්‍රකාශ දෙකම එකවර සත්‍ය විය නොහැකිය. දින හයකට පසු, යැයි පවසන ලේඛකයා මේ දෙක අතර සම්පූර්ණ නොබිඳුණු දින පමණක් ගණන් කළ අතර, සමස්තය සඳහා කොටසක් ආදේශ කරන මෙම කථන රූපය, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබඳ වැදගත් ප්‍රශ්නයද පැහැදිලි කරයි. අප පෙර රාත්‍රිය උන් වහන්සේ දුක් විඳි දවසේ අවසාන භාගයට එකතු කර එය මුළු දවසම ලෙස ගණන් නොගත්තොත් සහ උන් වහන්සේ නැවත නැඟිටින රාත්‍රියේ අවසාන භාගය උදාවන ස්වාමීන් වහන්සේගේ දවසට එකතු නොකළොත් සහ එය ගණනය කරන්නේ නම් මිස. මුළු දවසම, උන් වහන්සේ පොළොවේ ගැඹුරේ සිටින බව ඔහු පුරෝකථනය කළ දින තුන සහ රාත්‍රී තුන ගැන අපට ගණන් ගත නොහැකිය. මතෙව් 12:40.

51. ඊළඟට, අපගේ කතුවරයා එම සංඛ්‍යා නීත්‍යනුකූල යැයි සඳහන් කරන්නේ ශුද්ධලියවිල්ල ඒවා උසස් ලෙස සලකන විට, එනම් හත, දහය, දොළහ හෝ වෙනත් සංඛ්‍යා උනන්දුවෙන් ශුද්ධලියවිල්ල කියවන්නෙක් ඉක්මනින් හඳුනා ගනියි. දැන් මේ ආකාරයේ සංඛ්‍යා බොහෝ විට විශ්වීය කාලය සඳහා තබා ඇත; නිදසුනක් වශයෙන්, මම දවසට හත් වරක් ඔබ වහන්සේට ප්‍රශංසා කරමි, යන පදයෙන් අදහස් වන්නේ මාගේ මුවෙහි උන් වහන්සේට ප්‍රශංසාව නොකඩවම පවතිනු ඇත, යන්නයි. එසේම ඔවුන්ගේ බලයද හරියටම සමාන වේ, එය දහයෙන් ගුණ කළ විට, හැත්තෑවක් සහ හත්සියයක් ලෙසය. (එබැවින් යෙරෙමියා පොතෙහි සඳහන් අවුරුදු හැත්තෑව ආත්මික අර්ථයෙන් ගත හැකි අතර, එම කාලය තුළ සභාව විදේශීන් අතර වාසය කරයි); යෙරෙමියා 25:11 එසේ නැතිනම්, එය එයින්ම ගුණ කළ විට, දහය දහයෙන් ගුණ කළ විට සියයක් සහ දොළහ දොළහෙන් ගුණ කළ විට එකසිය හතළිස් හතරක් ලබා දෙන ලෙසිනි. එම අවසාන සංඛ්‍යාව එළිදරව් පොතෙහි ශුද්ධවන්තයින්ගේ සමස්තයම දැක්වීමට භාවිත වේ. එළිදරව් 7:4 එබැවින් මෙම සංඛ්‍යා මගින් විසඳිය යුතු කාලය පිළිබඳ ප්‍රශ්න පමණක් නොව, ඒවායේ වැදගත්කම වඩාත් පුළුල් ලෙස අදාළ වන අතර බොහෝ විෂයයන් දක්වා විහිදෙන බව පැහැදිලි වෙයි. නිදසුනක් ලෙස ඉහත සඳහන් කළ එළිදරව්වෙහි එම සංඛ්‍යාවෙන් යොමු වන්නේ කාලවලට නොව මනුෂ්‍යයන්ටය.

36 වන පරිච්ඡේදය – ටිකෝනියස්ගේ හයවන රීතිය.

52. හයවන රීතිය ටිකෝනියස් සාරාංශකරණය ලෙස හඳුන්වයි. එය ප්‍රමාණවත් තරම් සෝදිසියකින් යුතුව, ශුද්ධලියවිල්ලේ දුෂ්කර කොටස්වලින් සොයා ගනු ලැබේ. මන්ද, ඇතැම් සිදුවීම් කෙතරම් සම්බන්ධද කිවහොත්, එම ආඛ්‍යානය කාලානුරූපී අනුපිළිවෙල හෝ සිදුවීම්වල අඛණ්ඩතාව අනුව පෙළගස්වා ඇති බව පෙනෙන්නට ඇත. එසේ වූවත් එය සැබවින්ම, ආපසු යොමු කරන විට, එය පැහැදිලිව සඳහන් නොකර, කලින් ඒවායෙහි නිසි සන්දර්භය තුළ මඟ හරින ලද පෙර සිදුවීම් වෙත යොමු කරන්නේය. තවද අපට මෙය නොතේරෙන්නේ නම් මෙහි සඳහන් වන රීතිය එවැනි අවස්ථාවලදී නොයෙදීමෙන් අපි වැරදි කරන්නෙමු. නිදසුනක් වශයෙන්, උත්පත්ති පොතේ අපි මෙසේ කියවන්නෙමු, ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක. දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. උත්පත්ති 2: 8-9 දැන් මෙහි වසාන වශයෙන් සඳහන් කළ සිදුවීම් සිදු වූයේ දෙවියන් වහන්සේ මිනිසා සාදා ඔහු උයනේ තැබීමෙන් පසුව යන්න පෙනෙන්නට ඇත. එහෙත් සැබවින්ම වූ කාරණය නම්, දෙවියන් වහන්සේ උයනක් සිටුවා, උන් වහන්සේ විසින් සාදන ලද මිනිසා එහි තැබූ බව යන සිදුවීම් දෙක කෙටියෙන් සඳහන් කර ඇත. මෙම ආඛ්‍යානය සාරාංශකරණය මගින් පෙර අතහැර දමා ඇති දේ, එනම් උයන සැදු ආකාරය, දෙවියන් වහන්සේ දැකීමට ප්‍රිය උපදවන සහ කෑමට හොඳ සෑම ගසක්ම පොළොවෙන් වැඩීමට සැලැස්සූ ආකාරය පැවසීමට ආපසු යොමු වෙයි. එයට පසුව මෙසේ දැක්වෙයි. උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූ සේක. පසුව උයන තෙමන පිණිස ගලා ගිය ගංගාවක් ගැන දැක්වේ. එසේම එය එතැනින් බෙදී ගංගා සතරක් වූ බව දක්වයි. එය ගංගා සතරේම මූලය විය. මේ සියල්ලම උයනෙහි හැඩගැස්ම සම්බන්ධයෙන් දක්වා ඇත. මෙය අවසන් වූ පසුව, දැනටමත් පවසා ඇති එහෙත් මේ සියල්ලෙන් පසුව සිදු වූ ස්ථාවර සිදුවීම් අනුපිළිවෙලෙහි සාරාංශයක් ඇත: එනම් ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. උත්පත්ති 2:15 මන්ද, මිනිසා උයනෙහි තැබුවේ මේ අනෙකුත් සියලු දේ සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් බව ආඛ්‍යානයේ අනුපිළිවෙලෙන්ම පැහැදිලි වේ. පෙර සඳහන් කර ඇති ප්‍රකාශයෙන් යෝජනා කළ හැකි පරිදි, කලින් නොසලකා හැර ඇති දේ වෙත ආඛ්‍යානය නැවත පැමිණීමේ ප්‍රතිසංවිධානය අප නිවැරදිව අවබෝධ කරගෙන ඇත්නම් මිස, මිනිසා එහි තැබීමෙන් පසුව සිදු වූවක් නොවේය යන්න පැහැදිලි නැත.

53. නැවතත් එම පොතෙහිම, නෝවාගේ පුත්‍රයන්ගේ පරම්පරාවන් විස්තර කරන විට, මෙසේ දක්වනු ලැබ ඇත: තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් හාම්ගේ පුත්‍රයෝ නම් මොව්හුය. උත්පත්ති 10:20 එසේම නැවතත්, ෂෙම්ගේ පුත්‍රයන් ගණන් කළ විට මෙසේ දක්වා ඇත: තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් ෂෙම්ගේ පුත්‍රයෝනම් මොව්හුය. උත්පත්ති 10:31 තවද ඔවුන් සියල්ලන් සම්බන්ධයෙන්ම මෙලෙසින් එකතු කර ඇත: තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය. මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය. දැන් මෙම වාක්‍යයට එකතු කිරීමක් ලෙස, මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය, යන්න ජාතීන් පොළොව පුරා විසිරී සිටින විට, ඔවුන් සියල්ලන්ම එකම පොදු භාෂාවක් කතා කළ බව පෙනේ. එහෙත් මෙහිදී පැහැදිලිවම පෙර දක්වන ලද වදන්, වන තමන්ගේ ගෝත්‍රවලද, තමන්ගේ භාෂාවලද යන වචන සමග පසුව දක්වන ලද වචන නොගැළපෙයි. මන්ද සෑම පවුලකටම හෝ ජාතියකටම පොදු භාෂාවක් තිබුණි නම් සැම ග්‍රෝත්‍රයකටම, ජාතියකටම තමන්ගේම භාෂාවක් ඇතැයි පැවසිය නොහැකිය. ඒ නිසා එය සාරාංශකරණය මගින් එය එකතු කරනු ලැබේ, මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය. මෙහි ආඛ්‍යානය වෙනස් වීම නොපෙන්වා ආපසු යන්නේ, එය කෙසේ තිබුණිද යන්න කීමටය, එනම් පොදු භාෂාවක් තිබීමෙන්, ජාතීන් විවිධ භාෂාවන් කතා කිරීමට බෙදී ගිය බවයි. තවද, ඒ අනුව, කුලුන ගොඩනැගීම සහ මෙම දඬුවම ඔවුන්ගේ උඩඟුකම මත දෙවියන් වහන්සේගේ විනිශ්චය ලෙස ඔවුන් මත පනවා ඇති බව අපට ඒ ක්ෂණයකින්ම පවසා ඇත. ඔවුන්ගේ භාෂාව අනුව ඔවුන් පොළොව පුරා විසිරී ගියේ ඉන් පසුවය.

54. මෙම සාරාංශකරණය තවමත් අපැහැදිලි ආකාරයෙන් දක්නට ලැබේ; නිදසුනක් වශයෙන්, අපගේ ස්වාමින් වහන්සේ ශුභාරංචියේ මෙසේ පවසන සේක: නුමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස, සියල්ලන් විනාශකළේය. මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය. ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා. ලොත්ගේ භාර්යාව සිහිකරන්න. ලූක් 17:29-32 මනුෂ්‍යයන් මෙම කියමන්වලට අවනත විය යුතු වන්නේ, එනම් ඔවුන්ගේ පසුපස ඇති කාරණා නොබැලීම, එනම් ඔවුන් අතහැර දැමූ අතීත ජීවිතයට ආශාවෙන් හඹා නොයාම කළ යුතු වන්නේ අපගේ ස්වාමින් වහන්සේ එළිදරව් වූ විටද? සෑම මනුෂ්‍යයෙකුටම තමා සැලකූ හෝ හෙළා දුටු දේ අනුව ඔහුගේ විපාකය ලැබෙන පිණිස, ඔවුන්ට අවධානය දීමට කාලය වන්නේ වර්තමානය නොවේද? එහෙත්, ශුද්ධලියවිල්ල පවසන පරිදි, ඒ දවසේදී, ස්වාමින් වහන්සේගේ එළිදරව් වීමේ කාලය, මෙම කියමන් කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය ලෙස සලකනු ලැබේ, පාඨකයා සාරාංශකරණ විස්තරය තේරුම් ගැනීමට තරම් විමසිල්ලෙන් සහ විචක්ෂණශීලී නොවන්නේ නම්, ප්‍රේරිතයන්ගේ කාලයේ පවා ප්‍රකාශ කරන ලද ශුද්ධලියවිල්ලේ තවත් කොටසකින් ඔහුට උපකාරයක් ලැබෙනු ඇත: කුඩා දරුවෙනි, මේක අන්තිම කාලයය. 1 යොහන් 2:18 ශුභාරංචිය දේශනා කරන කාලය, ස්වාමින් වහන්සේ එළිදරව් වන කාලය දක්වා, මිනිසුන් මෙම කියමන්වලට අවධානය යොමු කළ යුතු දිනය වේ. මන්ද, විනිශ්චය දවසකින් අවසන් වන එම දවසටම, මෙහි සඳහන් කර ඇති ස්වාමින් වහන්සේගේ එම එළිදරව්ව අයත් වේ. රෝම 2:5

37 වන පරිච්ඡේදය – ටිකෝනියස්ගේ හත්වන රීතිය.

55. ටිකෝනියස්ගේ හත්වන රීතිය සහ අන්තිම රීතිය වන්නේ, යක්ෂයා සහ ඔහුගේ ශරීරය ගැනය. මන්ද, ඔහු දුෂ්ටයන්ගේ හිසය. දුෂ්ට අය එක් අතකින් ඔහුගේ ශරීරය වන අතර, ඔහු සමග සදාකාලික ගින්නේ දඬුවමට යාමට නියම කරනු ලැබ ඇත, ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස වන්නා සේම, සභාව උන් වහන්සේගේ ශරීරය වේ. සභාව උන් වහන්සේගේ සදාකාලික රාජ්‍යය සහ මහිමය තුළ උන් වහන්සේ සමග සිටීමට නියම කරනු ලැබ ඇත. ඒ අනුව, ස්වාමින් වහන්සේ සහ උන් වහන්සේගේ ශරීරය යනුවෙන් හඳුන්වනු ලබන පළමුවන රීතිය අනුව, ශුද්ධලියවිල්ල එකම පුද්ගලයා ගැන කතා කරන විට, ප්‍රකාශයේ කුමන කොටස හිසට සහ කුමන කොටස ශරීරයට අදාළ වන්නේද යන්න තේරුම් ගැනීමට වෙහෙසෙන ලෙස අපට මගපෙන්වන්නේය. එබැවින් මෙම අවසාන රීතිය අපට පෙන්වා දෙන්නේ සමහර විට යක්ෂයා ගැන ප්‍රකාශ කර තිබෙන බවයි. ඔහුගේ සත්‍යය තමා සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ ශරීරය සම්බන්ධයෙන්ද එතරම් පැහැදිලි නැත. එසේ ඔහුගේ ශරීරය සෑදී ඇත්තේ පැහැදිලිවම මාර්ගයෙන් බැහැරව සිටින අයගෙන් පමණක් නොව, ඔවුන් සැබවින්ම ඔහුට අයත් වුවද, සභාව සමග කලක් මිශ්‍ර වී සිටින අයගෙන්ද වේ. ඒ ඔවුන් මේ ජීවිතයෙන් ඉවත් වන තෙක් හෝ අවසාන මහා පොළනු ලැබීමේදී තිරිඟුවලින් බොල් වෙන් කරන තෙක්ය. නිදසුනක් වශයෙන්, යෙසායා පොතෙහි පවසන, ලුසිෆර්, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! යන්න සහ බබිලෝනියේ රජුගේ චරිතය යටතේ එකම පුද්ගලයා ගැන කරන ලද සන්දර්භය පිළිබඳ අනෙකුත් ප්‍රකාශයන්ද ඇත්ත වශයෙන්ම යක්ෂයා ගැන බව තේරුම්ගත යුතුය. එහෙත්, එම ස්ථානයේම සඳහන් වන, ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! යන ප්‍රකාශය හිසට කිසිසේත්ම නොගැළපේ. මන්ද යක්ෂයා, පොළෝ තලයෙන් හමා යන හුළඟින් හමා යන දූවිල්ල මෙන් කුඩා වූ ඔහුගේ ශරීරයෙහි ඔහුම සිටින බව හැරුණුකොට, යක්ෂයා තම දූතයන් සියලු ජාතීන්ට යවා ඇතත්, පොළොව මත බිම වැටී ඇත්තේ ඔහුගේ ශරීරය මිස ඔහුම නොවේ.

56. දැන්, පොරොන්දු සහ ව්‍යවස්ථාව පිළිබඳ රීතිය හැරුණුකොට මෙම සියලුම රීති, සංකේතාත්මක උච්චාරණයේ විශේෂත්වය වන එක් අදහසක් ප්‍රකාශ වන අවස්ථාවේදී වෙනත් අර්ථයක් අවබෝධ කරගැනීමට යොමු කෙරෙයි. මා දකින ආකාරයට මේ ආකාරයේ උච්චාරණයන්, කිසිවෙකුටත් එහි සම්පූර්ණ අර්ථයේම ප්‍රමාණයෙන් වටහාගත නොහැකි තරම් පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත. මන්ද, එක් කාරණයක් පවසන කල වෙනත් අර්ථයක් තේරුම්ගත යුතුය, යන චේතනාවෙන් යමක් කියනු ලබන සෑම තැනකම, එම නම කථික කලාවේ දක්නට නොලැබුණ විට පවා, එහි අපට රූපකාර්ථවත් ප්‍රකාශනයක් ඇත. තවද එය සොයා ගැනීම සාමාන්‍ය සිරිතක් වන විට මෙවැනි ආකාරයේ ප්‍රකාශනයක් හමු වන විට, එය අවබෝධ කර ගැනීමේ අපහසුතාවයක් ඇත්තේ නැත. කෙසේ වෙතත්, එය සාමාන්‍ය සිරිතක් නොවන අවස්ථාවකදී හමු වූ විට, විට එය සිදු වූ විට, එය තේරුම් ගැනීම පිණිස මහත් වෙහෙසක් දැරීම අවශ්‍ය වේ. එය මනුෂ්‍යයින් වෙත දෙවියන් වහන්සේගෙන් ලැබුණු බුද්ධිමත් බවේ දීමනාවට අනුව, ඇතැම් අයෙකු වැඩියෙන්ද, තවත් සමහරෙකු අඩුවෙන්ද වෙහෙස දැරීම අවශ්‍යය. එසේ නැතිනම්, ඔවුන් බාහිර ලෙස වැඩිපුර හෝ අඩුවෙන් උපකාර ලබා ඇති පරිදි වෙහෙස වීම වෙනස් වේ. තවද, මා ඉහත සාකච්ඡා කළ ගැළපෙන වචන සම්බන්ධයෙන් ගත් කල, එහි ප්‍රකාශ කරන ආකාරයටම කාරණා තේරුම්ගත යුතු අතර, සංකේතවත් හෝ රූපකාර්ථවත් වචන භාවිත කර ඇති ස්ථානවලදී එක් කාරණයක් ප්‍රකාශ කර ඇති විට වෙනත් කාරණයක් තේරුම්ගත යුතුය. මේ කාරණා සම්බන්ධයෙන් ප්‍රමාණවත් යයි මා සිතූ තරම් දුරට මෙහි සඳහන් කර ඇත. මෙම පූජනීය ලේඛන භාවිත කරන සිසුන්ට, ශුද්ධලියවිල්ලේ සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රකාශන ආකාරයන් පිළිබඳ තමන්ම දැනුවත්කර ගැනීමට පමණක් නොව, ඒවා පරෙස්සමින් නිරීක්ෂණය කිරීමට, පිළිපැදීමට සහ ඒවා නිවැරදිව මතක තබා ගැනීමට උපදෙස් දිය යුතුය. එයට අමතරව, විශේෂයෙන්ම සහ සියල්ලටම පෙර අවශ්‍ය දේ වන්නේ ඔවුන්ට ඒවා අවබෝධ කරගැනීමට හැකි වන පිණිස යාච්ඤා කිරීමය. මන්ද ඔවුන් අධ්‍යයනය කිරීමට අදහස් කරන මෙම පොත්වලම, ස්වාමින් වහන්සේ ප්‍රඥාව දෙන සේක, හිතෝපදේශ 2:6 යන්න ඔවුහු කියවති. එසේ ඔවුන්ගේ දැනුම භක්තියට සම්බන්ධ වී ඇතිනම්, ඒ සඳහා ඔවුන්ගේ ආශාව ඔවුන්ට ලැබී ඇත්තේ උන් වහන්සේගෙනි. එහෙත් සලකුණු සම්බන්ධයෙන්, එය වචනවලට අදාළ වන තාක් දුරට, ඒ පිළිබඳ මම දැන් ප්‍රමාණවත් ලෙස කතා කර ඇත්තෙමි. දෙවියන් වහන්සේ මට ආලෝකය ලබා දී ඇති තාක් දුරට, අපගේ සිතුවිලි අන් අයට සන්නිවේදනය කිරීමේ මාධ්‍යයන් පිළිබඳ මීළඟ පොතේ සාකච්ඡා කිරීමට ඉතිරිව ඇත.


ක්‍රිස්තියානි ධර්මය (Christian Doctrine -Book 1)
ක්‍රිස්තියානි ධර්මය – 2 වන පොත (Christian Doctrine – Book 2)
ක්‍රිස්තියානි ධර්මය – 3 වන පොත (Christian Doctrine – Book 3)
ක්‍රිස්තියානි ධර්මය – 4 වන පොත (Christian Doctrine – Book 4)