හර්මස් නම් එඬේරෙකි (Hermas, The Shepherd Part 3)

හර්මස් නම් එඬේරෙකි

උපමා

[Hermas, The Shepherd. Part 3: Parables]


1 වන උපමාව

නගර දෙකක් පිළිබඳ උපමාව

50 උන් වහන්සේ මට කතා කළ සේක. “දෙවියන් වහන්සේගේ සේවකයින් වන ඔබ විදේශීය රටක ජීවත් වන බවත්, ඔබගේ නගරය මේ නගරයට වඩා ඉතාම ඈතින් තිබෙන බවත් ඔබ දන්නවාද?” උන් වහන්සේ මෙසේ කීසේක. “එම නිසා, ඔබ ජීවත් වීමට නියම කර ඇති නගරය ඔබ දන්නවාද? එසේ නම් ඔබ වතු පිටි, මිල අධික වස්තුව සහ ගොඩනැගිලි සහ වැඩකට නැති කාමර මෙහි සූදානම් කරන්නේ මන්ද?” ඔබ මේ දේවල් මේ නගරය උදෙසා සූදානම් කරන්නෙහි නම්, ඔබගේම නගරයට නැවත යාම උදෙසා ඔබ නිසැක වශයෙන්ම සැලසුම් කරන්නේ නැත. අඥාන සහ දෙසිත් ඇති, දුක්ඛිත මනුෂ්‍යයා, සියලුම දේවල් ඔබට විදේශීය දේවල් වන බවත්, ඒවා වෙනත් කෙනෙකුගේ ආධිපත්‍යය යටතේ පවතින බවත් ඔබ සලකන්නේ නැද්ද? මන්ද මේ නගරයේ ස්වාමියා “ඔබ මේ නගරයේ ජීවත් වීම මට අවශ්‍ය නැත. ඒ වෙනුවට මේ නගරය අත්හැර යන්න, මන්ද ඔබ මගේ නීතිවලට අනුගත වන්නේ නැත,” යනුවෙන් පවසනු ඇත. එම නිසා, වතු පිටි සහ ජීවත් වීමට නිවාස මෙන්ම වෙනත් බොහෝ වස්තුව ඇති ඔබ, ඔහු ඔබ එයින් නෙරපා හරිනු ලැබූ කල, ඔබ ඔබ වෙනුවෙන්ම සූදානම් කරගෙන ඇති ඔබගේ වතු පිටි සහ ඔබගේ නිවාස මෙන්ම වෙනත් බොහෝ වස්තුවට සිදු කරන්නේ කුමක්ද? මන්ද “මගේ නීතිවලට අනුගත වන්න, නැතිනම් මගේ රටෙන් පිටත්ව යන්න” යනුවෙන් ඔබට පැවසීමට මේ රටේ ස්වාමියාට සැම ආකාරයකම අයිතියක් තිබේ. එසේ නම්, ඔබ ඔබගේම රටෙහි නීතිවලට එකඟව ජීවත් වීමට බැඳී සිටින නිසා, ඔබ කරන්නට යන්නේ කුමක්ද? ඔබගේ වතු පිටි සහ ඔබගේ අනෙකුත් ධනය සහ වස්තුව වෙනුවෙන්, ඔබ සම්පූර්ණයෙන්ම ඔබගේම නීතිය ප්‍රතික්ෂේප කර දමා මේ නගරයේ නීතිවලට අනුකූල ලෙස ජීවත් වන්නට යන්නෙහිද? පරෙස්සම් වන්න; ඔබගේම නීතිය ප්‍රතික්ෂේප කර දමා ජීවත් වීම ඔබගේ හොඳම යහපත උදෙසා සිදු කරන්නක් නොවේය. මන්ද ඔබට ඔබගේ නගරයට නැවත පැමිණීමට අවශ්‍ය වන විට, ඔබ ඔබගේම නගරයේ නීතිය ප්‍රතික්ෂේප කළ නිසා, ඔබ එම නගරයෙන් පිටතට දමා වසා තබනු ලබනවා ඇත. එම නිසා, පරෙස්සම් වන්න, විදේශීය දේශයක ජීවත් වන කෙනෙකු මෙන්, තමා තෘප්තිමත් වීමට වඩා වැඩියෙන් එක් දෙයක් මිස, අවශ්‍ය පමණට වඩා කිසිවක් ඔබ උදෙසාම සූදානම් කර නොගන්න. එසේම සූදානමින් සිටින්න, මන්ද මේ ලෝකයේ ස්වාමියාගේ නීතියට ඔබ විරුද්ධව සිටින බැවින්, ඔහුට ඔබ මේ නගරයෙන් පහ කර දැමීමට අවශ්‍ය වන විට, ඔබට ඔහුගේ නගරය අත්හැර දමා ඔබගේම නගරයට පැමිණීමට හැකිය. එසේම සියලුම නින්දා අපහාසවලින් තොරව ඉතා ප්‍රීතිමත්ව ඔබේ නීතියට අනුගත වීමට එවිට ඔබට හැකි වනු ඇත. එම නිසා, පරෙස්සම් වන්න, ඔබ ස්වාමින් වහන්සේට සේවය කරන පිණිසත්, උන් වහන්සේ ඔබගේ හදවතෙහි තබා ගන්නා පිණිසත් වග බලාගන්න. දෙවියන් වහන්සේගේ වැඩය කරන පිණිසත්, උන් වහන්සේගේ ආඥා සිහිපත් කර ගනිමින් සහ උන් වහන්සේ නිර්මාණය කළ පොරොන්දු සිහිපත් කරමින්, උන් වහන්සේගේ ආඥා පිළිපදින්නේ නම්, උන් වහන්සේගේ පොරොන්දු උන් වහන්සේ ඉටු කරන බවට උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. එම නිසා, වතු පිටි වෙනුවට, පීඩාවට පත් වී සිටින ප්‍රාණයන් මිලදී ගන්න. යම් කෙනෙකුට හැකියාව ඇත්නම්, වැන්දඹුවන් සහ අනාථ වූවන් (පියා නැත්තන්) බලන්නට යන්න, ඔවුන් නොසලකා නොහරින්න. එසේම ඔබට ඇති සම්පත් සහ ඔබට ඇති දේපළ සියල්ලම, එනම් දෙවියන් වහන්සේ කෙරෙන් ඔබට ලැබී ඇති දේවල් සියල්ලම, මේ ආකාරයේ වතු පිටි සහ නිවාස ලබා ගැනීම සඳහා වියදම් කරන්න. මන්ද ස්වාමින් වහන්සේ ඔබ ධනවත් අයෙකු බවට පත් කළේ මේ හේතුව නිසා වන බැවිනි. එවිට ඔබට උන් වහන්සේ උදෙසා මේ ආකාරයේ සේවාවන් සිදු කිරීමට හැකි වන පිණිසය. මේ ආකාරයේ වතු පිටි, සම්පත් සහ නිවාස මිලදී ගැනීම වඩා හොඳය. ඔබ ඔබගේම නගරයට ගිය පසුව, ඔබගේම නිවසට ගිය පසුව ඒවා ඔබට සම්බ වනු ඇත. මෙම වියදම් කිරීමේ ආශාව ඉතා අලංකාර මෙන්ම ප්‍රීතිමත් එකකි. එයින් දුක හෝ බිය ගෙන එන්නේ නැත. එහෙත් එයින් ඇති වන්නේ ප්‍රීතියයි. එම නිසා, බාහිර තැනැත්තන් අතිශය ඉහළින් සිදු කරන කාරණා නොපිළිපදින්න. මන්ද දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් වන ඔබට, එයින් කිසි ප්‍රයෝජනයක් ඇති නොවන බැවිනි. එහෙත් ඔබගේම අතිශය උසස් කාරණා පිළිපදින්න. එයින් ඔබට ප්‍රීතියට පත් විය හැකිය. වෙනත් අයෙකුට අයත් කිසිම දෙයක් අනුකරණය කිරීම හෝ ඇල්ලීම සිදු නොකරන්න, ඒවාට ආශා නොකරන්න. මන්ද වෙනත් අයෙකුට අයිති දේවලට ආශා වීම වූ කලි නපුරු දෙයකි. එහෙත් ඔබගේම කාර්යය සිදු කරන්න, එවිට ඔබ ගලවනු ලබනවා ඇත.

2 වන උපමාව

එල්ම් ගස සහ මිදි වැල

51 මා එම රටෙහි ගමන් කරමින් සිටින අතර, මම එල්ම් ගසක් සහ මිදි වැලක් දුටුවෙමි. එය දැකීමෙන් පසුව මම ඒවා සංසන්දනය කරමින් ඒවායෙහි ඵල සංසන්දනය කළෙමි. එවිට එඬේරා පෙනී සිට මගෙන් මෙසේ ඇසුවේය. “ඔබ සිතන්නේ කුමක් ගැනද?” “මා සිතන්නේ මහත්මයා, එල්ම් ගස සහ මිදි වැල ගැනයි, විශේෂයෙන්ම ඒවා ඉතාම හොඳින් එකිනෙකට ගැළපී ඇති බවයි,” යනුවෙන් මම කීවෙමි. “මේ ගස් දෙක දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් උදෙසා ආදර්ශයක් වීම පිණිස අභිප්‍රාය කර ඇති ගස්,” යයි ඔහු පැවසුවේය. “මහත්මයා, ඔබ කතා කරන ආදර්ශයන් මේ ගස් දෙකෙන් නියෝජනය වන ආකාරය දැනගන්නට මම කැමතියි,” යනුවෙන් මම පැවසුවෙමි. ඔහු මගෙන් මෙසේ ඇසුවේය. “ඔබට එල්ම් ගස සහ මිදි වැල පෙනෙනවාද?” “මට ඒවා පෙනෙනවා, මහත්මයා,” යයි මම පිළිතුරු දුනිමි. “මේ මිදි වැලෙහි ඵල හට ගනියි. එහෙත් එල්ම් ගස ඵල හට නොගන්නා ගසකි. එහෙත් මිදි වැල එල්ම් ගසෙහි එතී වැඩුණේ නැත්නම්, මෙම මිදි වැල බිම දිගේ විහිදී ගියහොත් එයට ඇති තරම් බොහෝ ඵල දැරීමට නොහැකි වේ. එසේම එහි හට ගැනෙන ඵල නරක් වූ ඒවා වනු ඇත. මන්ද එය එල්ම් ගසෙන් වෙන් වී බිම වැටී තිබෙන නිසාය. එම නිසා, මිදි වැල එල්ම් ගසට සම්බන්ධ වී එතී සිටින කල, එය එයින්ම ඵල නිපදවන අතර, එය එල්ම් ගසෙන්ද ඵල නිපදවයි. එම නිසා, එල්ම් ගසද මිදි වැලට අඩු නැතිව, වැඩියෙන් ඵල දරන බව, මිදි වැලට වඩා ඊටත් වැඩියෙන් ඵල දරන බව ඔබ දුටුවාද?” යයි ඔහු පැවසීය. “එසේ වන්නේ කොහොමද, මහත්මයා?” යයි මම ඇසුවෙමි. “එය වැඩියෙන් ඵල දරන්නේ කොහොමද?” ඔහු මෙසේ කීවේය. “එයට හේතුව වන්නේ, මිදි වැල එල්ම් ගසේ එල්ලී එතී සිටින විට, මිදි වැල බහුල ලෙස ඵල දරන අතර, එම ඵල ඉතා හොඳ තත්වයේ පවතියි. එහෙත් එය බිම පුරා විහිදී ඇති විට, එයින් හට ගන්නේ අඩු ඵල ප්‍රමාණයකි. එසේම එයින් හට ගන්නා ඵල පවා නරක් වූ ඒවාය. එම නිසා, මෙම උපමාව දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ට, දිළිඳුන්ට සහ ධනවතුන්ට එක සේ අදාළ කරගත හැකිය.” “එසේ වන්නේ කොහොමද මහත්මයා, මෙය මට පැහැදිලි කර දෙන්න,” යයි මම කීවෙමි. ඔහු මට මෙසේ පැවසුවේය. “මේ අහන්න, ධනවතුන්ට බොහෝ ධනයක් තිබේ. එහෙත් ඔවුහු ස්වාමින් වහන්සේගේ කාරණාවල දිළිඳු අය වෙති. ඔවුන්ගේ ධනයෙන් බාධාවට පත් කරනු ලැබ සිටින අතර, ඔවුන්ට ස්වාමින් වහන්සේ සමග ඇත්තේ ඉතාම සුළු සංවාදයක් සහ යාච්ඤාවකි. එසේම ඔවුන්ට තිබෙන දේ පවා, ඉතා කුඩා මෙන්ම දුර්වල දේවල් වන අතර, එයට බලයක් ඉහළ (ස්වර්ගයේ) ඇත්තේ නැත. එම නිසා, ධනවතුන් දිළිඳුන් වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන ඕනෑම අවස්ථාවකදී, ඔවුන් දිළිඳුන්ට සිදු කරන දේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ වෙතින් ඔවුන්ට විපාකයක් ලැබෙන බවට ඔවුහු විශ්වාස කරති. මන්ද දිළිඳු අය මැදහත්කාරකම් කිරීමෙන් සහ පව් කියා දීමෙන් පොහොසත් අය වන නිසා, දෙවියන් වහන්සේ අබිමුඛයෙහි ඔවුන්ගේ මැදහත්කාරකමට මහත් බලයක් ඇති බැවිනි. එම නිසා, පොහොසත් අය, කිසිම පැකිළීමකින් තොරව දිළිඳුන් හට සියලුම දේ සපයති. එසේම දිළිඳු අය, පොහොසත් අය විසින් සපයන ලදුව, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරති. ඔවුන් හා සමග බෙදාගන්නා අය වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරති. එසේම අනෙක් අතට පොහොසත් අය, වැඩි වැඩියෙන් දිළිඳු අය කෙරෙහි ක්‍රියා කිරීමට ජ්වලිතව සිටිති. එසේ කිරීමෙන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ කිසිම දෙයකින් අඩුවක් ඇති නොවන පිණිස ඔවුහු එසේ කරති. මන්ද, දිළිඳු අයගේ මැදහත්කාරකම දෙවියන් වහන්සේ අබිමුඛයෙහි පිළිගන්නා බව සහ එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් බව ධනවත් අය දන්නා නිසාය. එවිට ඔවුහු දෙපිරිසම, ඔවුන්ගේ වැඩය සම්පූර්ණ කරති. දිළිඳු අය යාච්ඤාව සමගින් ක්‍රියා කරති, මන්ද ඔවුන් යාච්ඤාවෙන් පොහොසත් වන බැවිනි. එය ඔවුන් දෙවියන් වහන්සේගෙන් ලබා තිබෙන බැවිනි. මන්ද උන් වහන්සේ ඔවුන්ට එය සපයා ඇති නිසා, මෙය ඔවුහු ස්වාමින් වහන්සේ වෙත නැවත ගෙන යති. එසේම ඒ ආකාරයටම ධනවත් අය කිසිම පැකිළීමකින් තොරව ඔවුන් දෙවියන් වහන්සේ වෙතින් ලබා ඇති වස්තුව දිළිඳු අය සමග බෙදා ගනිති. එසේ මෙම ක්‍රියාව ශ්‍රේෂ්ඨ දෙයක් වන අතර, දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගන්නා දෙයකි. මන්ද ධනවත් අය ඔවුන්ගේ වස්තුව පිළිබඳ අවබෝධ කරගෙන, ස්වාමින් වහන්සේගේ දීමනාවන් භාවිත කිරීම කරණකොටගෙන දිළිඳු අය උදෙසා ක්‍රියා කරන බැවිනි. එසේ ඔවුහු නිවැරදි ලෙස ඔවුන්ගේ සේවය සම්පූර්ණ කරති. එම නිසා, මිනිසුන් සම්බන්ධයෙන් සලකන කල, එල්ම් ගස ඵල දරන බව පෙනෙන්නට නැත. එසේම නියඟයක් පැමිණි විටක වතුර ඇති එල්ම් ගස මිදි වැල පෝෂණය කරන බව ඔවුහු නොදනිති, එය ඔවුහු අවබෝධ කර නොගනිති. එසේම මිදි වැල, නිරන්තරයෙන් ජලය ලැබීම හේතුවෙන්, දෙගුණයක් ඵල දරයි. එසේ ඵල දරන්නේ මිදි වැල සඳහාම සහ එල්ම් ගසද උදෙසාය. එසේම දිළිඳු අයද, පොහොසත් අය වෙනුවෙන් දෙවියන් වහන්සේට ආයාචනා කිරීමෙන්, ඔවුන්ගේ වස්තුව යහපත් කාර්යක යොදවති. එසේම නැවතත්, පොහොසත් අයෙ දුප්පත් අයගේ අවශ්‍යතා සපයා දීම මගින් ඔවුන්ගේ ප්‍රාණයන්ට යහපත් ප්‍රශංසාවක් ඇති කර ගනිති. එම නිසා, ඒ ආකාරයෙන් දෙපිරිසම ධර්මිෂ්ඨ ක්‍රියාවක හවුල්කරුවෝ බවට පත් වෙති. එම නිසා, මෙම කාරණා සිදු කරන තැනැත්තා දෙවියන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නැත. එහෙත් ඔවුන්ගේ නාමයන් ජීවමාන අයගේ පොත්වල ලියා තැබෙනවා ඇත. ස්වාමින් වහන්සේ විසින් තමන් ධනවත් බවට පත් කරන ලද බව අවබෝධ කරගන්නා ධනවත් අය ආශීර්වාද ලද්දෝය. මන්ද මේ දේ අවබෝධ කරගන්නා තැනැත්තාට යම් යහපත් දෙයක් සිදු කිරීමට හැකි වන බැවිනි.”

3 වන උපමාව

ශීත ඍතුවේ ගස්

52 ඔහු මට කිසිම කොළයක් නැති බොහෝ ගස් පෙන්නුවේය. ඒවා මැලවී ගොස් ඇති ඒවා මෙන් මට පෙනුණි. මන්ද ඒවා සියල්ලම එක හා සමාන ලෙස පැවතිණි. එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔබට මේ ගස් පෙනෙනවාද? ” “මට ඒවා පෙනෙනවා, මහත්මයා,” යයි මම පැවසුවෙමි. “ඒවා සියල්ලම එකම ආකාරයේ ඒවායි. සියල්ලම මැලවී ගොස් ඇත.” මට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස පැවසුවේය. “ඔබ මේ දකින මේ ගස්, මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ය.” “එසේ නම්, ඒවා මැලවී ඇති සේ පෙනෙන්නේ සහ ඒවා සියල්ලම එකම ආකාරයට පෙනෙන්නේ ඇයි, මහත්මයා?” යනුවෙන් මම ඔහුගෙන් ඇසුවෙමි. එවිට ඔහු මට මෙසේ කීවේය. “මන්ද මේ ලෝකයේ ධර්මිෂ්ඨ අය සහ පව්කරුවන් යන දෙපිරිසම වෙන් කර හඳුනාගැනීමට නොහැකි නිසාය. මන්ද ඔවුහු සියල්ලෝම එක හා සමාන වෙති. මන්ද මේ ලෝකය ධර්මිෂ්ඨ අයට ශීත ඍතුව වන බැවිනි. එම නිසා ඔවුන් වෙන් කර හඳුනාගැනීමට නොහැකිය. මන්ද ඔවුන් පව්කරුවන් හා සමග ජීවත් වන නිසාය. මන්ද ශීත ඍතුවේදී ගස්, ඒවායෙහි කොළ හැලී තිබෙන විට, සියල්ලම එක හා සමාන වේ. එසේ මැලවී මැරී ඇති ගස් මොනවාද සහ පණ තිබෙන ගස් මොනවාද යන්න පෙනෙන්නේ නැත. එලෙසම මේ ලෝකයේ ධර්මිෂ්ඨ අය සහ පව්කරුවන් කවුරුන්ද යන්න වෙන් කර හඳුනාගැනීමට නොහැකිය. මන්ද සියලු දෙනාම එක හා සමාන අය වන බැවිනි.”

4 වන උපමාව

ගිම්හාන ඍතුවේ ගස්

53 එසේම ඔහු නැවතත් තවත් ගස් මට පෙන්වීය, ඒවායින් ඇතැම් ගස්වල අංකුර හටගනිමින් තිබුණු අතර, සමහර ඒවා මැලවී තිබිණි. එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔබට මේවා පෙනෙනවාද? ” ඔහු ඇසුවේය. “ඔබට මේ ගස් පෙනෙනවාද?” මම මෙසේ කීවෙමි. “ඔව් මට ඒවා පෙනෙනවා, මහත්මයා. ඒවායෙන් ඇතැම් ගස්වල අංකුර හටගනී, එහෙත් තවත් ඒවා මැලවී තිබේ.” ඔහු මට තවදුරටත් මෙසේ පැවසීය. “මෙම අංකුර හටගන්නා ගස් යනු ධර්මිෂ්ඨ අයයි. ඔවුහු මතු පැමිණෙන්නාවූ ලෝකයේදී ජීවත් වනු ඇත. මන්ද මතු පැමිණෙන්නට ඇති යුගයේදී, එය ධර්මිෂ්ඨ අයට ගිම්හාන ඍතුව වනු ඇති අතර, පව්කරුවන් උදෙසා එය ශීත ඍතුවක් වනු ඇති බැවිනි. එම නිසා ස්වාමින් වහන්සේගේ කරුණාව බැබළෙන විට, දෙවියන් වහන්සේට සේවය කරන අය නිරාවරණය කරනු ලබනවා ඇත. සැබැවින්ම සියලුම ජනතාව එළිදරව් කරනු ලබනවා ඇත. මන්ද ගිම්හාන ඍතුවේදී සියලුම ගස්වල ඵල, එකිනෙක ගස්වල ඵල පෙනෙන්නට තිබෙනු ඇත. එසේම ඒ ආකාරයෙන්, එම ඵල කුමන ආකාරයේ ඒවාද යන්න දැනන්නට ලැබෙනවා ඇත. එසේම ධර්මිෂ්ඨ අයගේ ඵලද අනාවරණය කරනු ලබනවා ඇත. එසේම සියලු දෙනාම ඔවුන් ලෝකයේ ඉතාමත් හොඳින් ජීවත් වන නිසා ඔවුන් පිළිබඳ දැනගන්නවා ඇත. එහෙත් පිටත සිටින්නන් සහ පව්කරුවන්, ඔබ දුටු මැලවී ඇති ගස් මෙන්ම, ඔවුන් මේ ලෝකයේදී මැලවී ඇති බව සහ ඵල රහිත ගස් බවට දැනගන්නට ලැබෙනවා ඇත. ඒවා දර මෙන් ගින්නට දමනු ලැබ පුලුස්සනු ලබනවා ඇත. එසේම මේ ජීවිතයේදී ඔවුන්ගේ ක්‍රියාවන් නපුරුව තිබුණු බව සැබවින්ම පෙන්නුම් වෙනවා ඇත. මන්ද පව්කරුවන් පව් කළ බැවින් සහ ඔවුන් පසුතැවිලි නොවූ බැවින්, පව්කරුවන් ගින්නෙන් පුලුස්සනු ලබනවා ඇත. එසේම පිටත සිටින්නන්, ඔවුන් තමන්ගේ මැවුම්කරුවාණන් වහන්සේ දැනගෙන නොසිටි බැවින්, ගින්නෙන් පුලුස්සනු ලබනවා ඇත. එම නිසා, ඔබ ඵල දරන්න. එවිට ගිම්හාන ඍතුවේදී ඔබේ ඵල මොනවාද යන්න දැනගන්නට ලැබෙනවා ඇත. එහෙත් ව්‍යාපාර කිරීම මගින්, ඔබ කිසි පාපයක් සිදු නොකරන පිණිස ඕනෑවට වැඩියෙන් ව්‍යාපාර කිරීමට සම්බන්ධ වීමෙන් වළකින්න. මන්ද ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටින අය, ඉතා මහත් ලෙස, මහත් සේ පව් කරති. එයට හේතුව නම් ඔවුන් තමන්ගේම ව්‍යාපාරවලින් බාධාවට පත්ව සිටින නිසා සහ කිසිම දෙයකින් ඔවුන් තමන්ගේ ස්වාමින් වහන්සේට සේවය නොකරන බැවිනි. ඔහු මෙසේ පැවසීය. “එසේ නම්, එවැනි පුද්ගලයින් ස්වාමින් වහන්සේගෙන් යමක් ඉල්ලා එය ලබාගන්නේ කෙසේද? මන්ද උන් වහන්සේට සේවය කරන අය ඔවුන් උන් වහන්සේගෙන් ඉල්ලන දේවල් ලබාගන්නා නිසාය. එහෙත් උන් වහන්සේට සේවය නොකරන අයට උන් වහන්සේගෙන් කිසිවක් ලැබෙන්නේ නැත. එහෙත් මනුෂ්‍යයින් එක් ව්‍යාපාරයක පමණක් නිරතව සිටිනවා නම්, ඔවුන්ට ස්වාමින් වහන්සේට සේවය කිරීමට හැකි වනවා ඇත. මන්ද ඔවුන්ගේ මනස දූෂිත වී නොතිබෙන නිසාත්, ස්වාමින් වහන්සේ කෙරෙන් ඉවතට හැරී නොතිබෙන නිසාත්ය. එවිට ඔවුන් ස්වාමින් වහන්සේට පවිත්‍ර වූ මනසකින් යුක්තව සේවය කරනවා ඇත. එම නිසා, ඔබ මේ දේවල් කරන්නෙහි නම්, ඔබට මතු පැමිණෙන්නට තිබෙන යුගය උදෙසා ඵල දැරීමට හැකි වනු ඇත. සැබවින්ම, මේ දේවල් කරන තැනැත්තේ ඵල දරනු ඇත.”

5 වන උපමාව

සැබෑ නිරාහාරය

54 මා එක්තරා කන්දක හිඳගෙන ස්වාමින් වහන්සේ මා උදෙසා කර තිබෙන සියලුම දේවල් සම්බන්ධයෙන් උන් වහන්සේට ස්තුති දෙමින් නිරාහාරයෙන් පසුවන අවස්ථාවකදී, මා අසල එඬේරෙකු හිඳගෙන සිටිනවා මම දුටුවෙමි. ඔහු මගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මෙතරම් වේලාසනින් මෙහි ආවේ ඇයි?” මම ඔහුට මෙලෙස පිළිතුරු දුනිමි. “මහත්මයා, එයට හේතුව මට නැවතුම්පළක් තිබෙන නිසයි.” “නැවතුම්පළක් යනු කුමක්ද?” යනුවෙන් ඔහු මගෙන් ඇසීය. “මහත්මයා, මම නිරාහාරයෙන් සිටිමි.” “ඔබ නිරාහාරව සිටින්නේ කුමක් උදෙසාද?” යයි ඔහු මගෙන් විමසීය. “මම නිරාහාරයෙන් සිටින්නේ මා එසේ සිදු කිරීමට පුරුදු වී සිටින නිසයි,” යනුවෙන් මම කීවෙමි. “දෙවියන් වහන්සේ වෙත නිරිහාරයෙන් සිටින්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබ උන් වහන්සේ උදෙසා පවත්වන, මේ නිෂ්ඵල ලෙස නිරාහාරයෙන් සිටීම නිරාහාරයක් නෙවෙයි,” ඔහු මට කීවේය. “ඔබ එසේ කියන්නේ ඇයි, මහත්මයා? ” කියා මම ඇසුවෙමි. ඔහු මට මෙසේ පැවසීය. “මම ඔබට කියන්නේ මෙයයි. ඔබ නිරාහාරයෙන් සිටිනවා යයි ඔබ සිතුවත්, මෙය නිරාහාරයෙන් සිටීමක් නෙවෙයි. ඒත් දෙවියන් වහන්සේ වෙත සම්පූර්ණ ලෙස සහ උන් වහන්සේට පිළිගත හැකි වන ආකාරයට නිරාහාරව සිටින්නේ කෙසේද කියා මා ඔබට පෙන්වන්නම්.” “ඔව් මහත්මයා, දෙවියන් වහන්සේට පිළිගත හැකි වන නිරාහාරය කුමක්ද යන්න මට ඔබ පෙන්නුවොත්, ඔබ මා බොහෝ සතුටට පත් කරනවා. එනිසා එය මට කියා දෙන්න,” යයි මම කීවෙමි. ඔහු මෙසේ කීවේය. “අහන්න, මෙවැනි වූ ආකාරයේ නොවටිනා නිරාහාරයකට දෙවියන් වහන්සේ ආශා කරන්නේ නැහැ. මන්ද මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ උදෙසා නිරාහාරව සිටීම මගින්, ධර්මිෂ්ඨකම උදෙසා වන කිසිම දෙයක් ඔබ ලබා සම්පූර්ණ කරගන්නේ නැත. එහෙත් දෙවියන් වහන්සේට මේ ආකාරයට නිරාහාරයක් පවත්වන්න: ඔබගේ ජීවිතයේ කිසිම නපුරක් සිදු නොකරන්න. එසේම ස්වාමින් වහන්සේට පිරිසිදු සිතකින් යුක්තව සේවය කරන්න. උන් වහන්සේගේ ආඥා පවත්වන්න. එසේම උන් වහන්සේගේ නියෝග පිළිපදිමින් ජීවත් වන්න. එසේම ඔබගේ හදවතට කිසිම ආකාරයක නපුරු දෙයක් ඇතුළු වීමට ඉඩ නොහරින්න. එසේම දෙවියන් වහන්සේ තුළ විශ්වාස කරන්න. එලෙස, ඔබ මේ දේවල් පිළිපදිමින් සහ දෙවියන් වහන්සේට ගරු බිය ඇතිව සිටින්නෙහි නම් සහ සියලුම නපුරු ක්‍රියාවන්ගෙන් ඔබ වැළකී සිටින්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනවා ඇත. එසේ ඔබ මේ දේවල් පවත්වනවා නම්, ඔබ දෙවියන් වහන්සේට පිළිගත හැකි වන ආකාරයේ ශ්‍රේෂ්ඨ වූ නිරාහාරයක් පවත්වනවා ඇත.”

මිදි වත්තෙහි උපමාව

55 “නිරාහාරව සිටීම සම්බන්ධයෙන් මා ඔබට දැන් පවසන්නට යන උපමාවට ඇහුම්කන් දෙන්න. එක්තරා මනුෂ්‍යයෙකුට කෙතක් සහ බොහෝ වහල්ලුද සිටියෝය. එම කෙතෙහි එක් කොටසක ඔහු මිදි වත්තක් වගා කළේය. ඔහු වෙනත් ස්ථානයකට දුර ගමනක් යන්නට සිටි නිසා, ඔහු තමාට ප්‍රිය මනාප වූ විශ්වාසවන්ත වූ එක් වහලෙකු තෝරාගෙන ඔහු වෙත කැඳවා ඔහුට මෙසේ කීවේය. ‘මා වගා කළ මේ මිදි වත්ත ගෙන, මා නැවත එනතුරු එය වටේ වැටක් බඳින්න. එහෙත් එම මිදි වත්තට වෙනත් කිසිම දෙයක් කරන්න එපා. මගේ මේ අණට කීකරු වන්න. එසේ කළහොත් ඔබගේ වහල්භාවයෙන් ඔබට මගෙන් නිදහස ලැබෙනු ඇත.’ පසුව මෙම වහලාගේ ස්වාමියා පිටත්ව ඔහුගේ ගමන ගියේය. ඔහු ගිය පසුව, වහල් සේවකයා මිදි වත්ත වටා වැටක් බැන්දේය. ඔහු මිදි වත්ත වටා වැට බැඳ අවසන් වූ පසුව, මේ මිදි වත්ත පුරාම වල් පැළ වැවී තිබෙනු ඔහු දුටුවේය. එසේ ඔහු මෙසේ සිතමින් තමාටම මෙසේ කියා ගත්තේය. ‘මම මගේ ්ස්වාමියාගේ මේ අණ ක්‍රියාත්මක කළෙමි. දැන් මම මේ මිදි වත්ත වගා කරන්නට යමි. ඇත්ත වශයෙන්ම, එය වගා කළායින් පසුව මෙයටත් වඩා වැඩියෙන් හොඳට පෙනෙනු ඇත. එසේ කිසිම වල් පාළයක් මෙහි නොතිබෙනු ඇත. එහි බොහෝ ඵල හටගන්නවා ඇත. මන්ද එවිට ඒවා වල් පාළ මගින් යට කර නොදමනු ඇත.’ එසේ ඔහු එය රැගෙන මිදි වත්ත වගා කළේය. එමෙන්ම මිදි වත්තෙහි තිබූ සියලුම වල් පැළ උදුරා දැමුවේය. එසේ මිදි වත්ත ඉතා ආකර්ෂණීය වූ අතර, එය ඉතාම හොඳින් වැඩෙන්නට විය. එයට හේතුව කිසිම වල් පැළෑටියක් ඒවා යට කර දැමීමට එහි නොතිබුණු නිසාය. ටික කලකට පසුව වහලාගේ සහ කෙතෙහි ස්වාමියා නැවත පැමිණියේය. ඔහු පැමිණ මිදි වත්තට ගියේය. මිදි වත්ත වටා ඉතා හොඳින් වැටක් බැඳී තිබෙනු ඔහු දුටු විට සහ එය ඉතා හොඳින් වගා කර තිබෙන බවද දුටු විට, එසේම සියලුම වල් පැළෑටි උදුරා දමා තිබෙනු දුටු විට, සහ මිදි වත්ත ඉතාම හොඳින් වර්ධනය වෙමින් තිබෙන බව දුටු විට, ඔහු තමාගේ වහලා විසින් සිදු කරන ලද දේ දැක ඉතා මහත් සේ ප්‍රීතියට පත් විය. එම නිසා ස්වාමියා ඔහුගේ උරුමක්කාරයා වූ තමාගේ ප්‍රේමණීය පුතාට කතා කළේය. ඔහුගේ උපදේශකයින් වූ මිත්‍රයින්ට කතා කළේය. එසේ කතාකොට තමා තම මෙහෙකරුවාට සිදු කිරීමට අණ කළේ කුමක්ද යන්න සහ මෙහෙකරුවා විසින් සිදු කරන ලද තමා දුටු දේ කුමක්ද යන්න ඔවුන්ට පැවසීය. එසේ ඔවුහු ඔහුගේ ස්වාමියා විසින් සේවකයා පිළිබඳ දෙන ලද සාක්ෂිය අසා සේවකයාට සුබ පැතූහ. එසේ ස්වාමියා ඔවුන්ට මෙසේ පැවසීය. ‘මගේ අණට කීකරු වුවහොත් මෙම වහලාට නිදහස ලබා දෙන බවට මම පොරොන්දු වුණෙමි. ඔහු මගේ අණට කීකරු වී ඇත. එසේම ඔහු මගේ අණට මගේ මහත් ප්‍රීතියට හේතු වන ආකාරයට මා කී දේටත් වඩා වැඩි යහපත් වැඩක් මිදි වත්තෙහි සිදු කර ඇත. එම නිසා, ඔහු විසින් සිදු කරන ලද මේ ක්‍රියාවට ප්‍රතිඵල දීමක් වශයෙන්, මම ඔහු මගේ පුත්‍රයා සමග හවුල් උරුමක්කරුවෙකු කිරීමට කැමැත්තෙමි. මන්ද ඔහුට යහපත් අදහසක් ඇති වූ අවස්ථාවෙහිදී ඔහු එය ප්‍රතික්ෂේප නොකර එය ක්‍රියාවට නැංවූ නිසාය.’ ස්වාමියාගේ පුතා වහලා තමා සමග හවුල් උරුමක්කරුවෙකු බවට පත් වීම සම්බන්ධයෙන් ඔහුගේ තීරණයට එකඟ විය. ටික දිනකට පසුව ඔහුගේ ස්වාමියා මහත් මංගල්‍ය කෑමක් දුන් අතර, ඔහුට ඇති තරම් එම මංගල්‍ය කෑමෙන් ආහාර යැවීය. එහෙත් වහලාට ඔහුගේ ස්වාමියා විසින් එවන ලද ආහාර ලැබීමෙන් පසුව, ඔහු තමාට අවශ්‍ය තරම් පමණක් ආහාර තබාගෙන, ඔහුගේ සහකාර වහල් සේවකයින් අතර ඒවා බෙදා දුන්නේය. එසේ ඔහුගේ සහකාර සේවකයින් ආහාර ලැබීමෙන් පසුව, ඔවුහු ඉතා මහත් ප්‍රීතියට පත්ව, ඔහු උදෙසා යාච්ඤා කිරීමට පටන් ගත්හ. එහිදී ඔහු තම ස්වාමියා වෙතින් වඩා මහත් කරුණාවක් ලබන පිණිස ඔවුහු යාච්ඤා කළහ. එයට හේතුව ඔහු ඔවුන්ට ඉතාම හොඳින් සැලකූ නිසාය. සිදු වූ සියලුම දේ සම්බන්ධයෙන් ඔහුගේ ස්වාමියා ඇසූ කල, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නැවතත් ඔහු අතිශය ප්‍රමෝදයට පත් විය. ඔහුගේ මිතුරන් සහ ඔහුගේ පුතා නැවතත් කැඳවාගෙන, වහලා ඔහු වෙත ලැබුණු ආහාරවලට සිදු කළේ කුමක්ද යන්න ඔවුහු හා සමග පැවසුවේය. එසේ ඔවුහු සියල්ලෝද ස්වාමියාගේ පුත්‍රයා සමග ඔහු හවුල් උරුමක්කරුවෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මුළු හදවතින්ම වඩාත් සතුටු වූහ.”

නිරාහාරය පිළිබඳ වැඩිදුර විස්තර

56 “මහත්මයා, ඔබ මට මෙම උපමා පැහැදිලි කර දුන්නොත් මිස, මට මේ උපමා කිසිවක් වැටගෙන්නේ හෝ ඒවා තේරුම් ගැනීමට මට හැකියාවක් ඇත්තේ හෝ නැත” යයි මම කීවෙමි. “මම ඔබට සියලු දේම පැහැදිලි කරන්නම්, එසේම මා පවසන කුමන දෙයක් වූවත් මම ඔබට අර්ථකථනය කර දෙන්නම්,” යයි ඔහු කීවේය. “ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වන්න. එවිට ඔබ උන් වහන්සේට ප්‍රසන්න අයෙකු බවට පත් වනවා ඇත. එසේම උන් වහන්සේගේ ආඥාවන් පවත්වන අයගේ සංඛ්‍යාවට ඔබද එකතු වනවා ඇත. එහෙත් ඔබ දෙවියන් වහන්සේගේ ආඥාවට ඔබ්බෙන් ඕනෑම යහපත් දෙයක් සිදු කළහොත්, ඔබ ඔබ වෙනුවෙන්ම ඉතා මහත් මහිමයක් ලබනවා ඇත. එසේම, ඔබට වෙනත් ආකාරයකින් ලබන්නට නොහැකි වන දේ වන, දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි ඔබ ගෞරව ලබනවා ඇත. එම නිසා, දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අතරතුරදී, ඔබ මේ සේවාවන්ද එකතු කරන්නෙහිය. ඔබ ඒ මාගේ ආඥාවලට අනුකූල ලෙස පවත්වන්නෙහි නම්, ඔබ ප්‍රීතියට පත් වනු ඇත.” මම ඔහුට මෙසේ කීවෙමි. “මහත්මයා, ඔබ මට අණ කරන ඕනෑම දෙයක් මම පිළිපදිමි, මන්ද ඔබ මා සමග සිටින බව මා දන්නා නිසායි.” “මන්ද ඔබට යහපත් දේ වෙනුවෙන් එතරම් ජ්වලිතකමක් තිබෙන නිසා මම ඔබ සමග සිටිමි. ඇත්තෙන්ම, මෙවන් ආකාරයේ ජ්වලිතකමක් තිබෙන මේ සියලු දෙනා සමගද මම සිටිමි,” යයි ඔහු පැවසීය. ඔහු තවදුරටත් මෙසේ කීවේය. “ඔබ ස්වාමින් වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙහි නම්, මේ නිරාහාරය ඉතා යහපත්ය. ඒ නිසා ඔබ පවත්වන්නට යන නිහාහාරය ඔබ පැවැත්විය යුතු වන්නේ මෙලෙසයි. සියල්ලටම පළමුවෙන්, සියලුම නපුරු වචන සහ සියලුම නපුරු ආශාවන්ගෙන් ආරක්ෂා වන්න. එසේම ඔබගේ හදවත මේ ලෝකයේ සියලුම නිෂ්ප්‍රයෝජන දේවලින් පවිත්‍ර කරගන්න. ඔබ මේ කාරණා පිළිපදින්නෙහි නම්, ඔබගේ මෙම නිරාහාරයෙන් සිටීම සර්ව සම්පූර්ණ වනවා ඇත. එසේම ඔබ සිදු කළ යුත්තේ මෙයයි: ලියා තිබෙන දේ ඔබ සම්පූර්ණ කළ පසුව, රොටි සහ වතුර හැරෙන්නට අනෙකුත් කිසිවක් ඔබ නිරාහාරයෙන් සිටි දිනයේදී ආහාරයට නොගත යුතුයි. පසුව ඔබ නිරාහාරයෙන් සිටින්නට අභිප්‍රාය කර ගත් දවසේදී ඔබ කොතෙක් කෑම ප්‍රමාණයක් කනු ඇද්දැයි ඇස්තමේන්තු කරන්න. එසේ කර, එය වැන්දඹුවකට හෝ අනාථයෙකුට (පියා නැත්තෙකුට) හෝ අවශ්‍යතාවයෙන් පෙළෙන අයෙකුට ලබා දෙන්න. මේ ආකාරයෙන් ඔබ යටත් පහත් හදවතක් ඇති අයෙකු බවට පත් වනවා ඇත. එසේ ඔබගේ යටත් පහත් හදවතෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ඔබගෙන් ලබන තැනැත්තාගේ ප්‍රාණය තෘප්තිමත් බවට පත් වී ඔබ වෙනුවෙන් ස්වාමින් වහන්සේට යාච්ඤා කරනු ඇත 8 එසේ නම්, ඔබ මේ ආකාරයෙන් ඔබගේ නිරාහාරයෙන් සිටීම සම්පූර්ණ කළෙහි නම්, මා ඔබට ආඥා කළ ආකාරයට, ඔබගේ පූජා වීම දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි පිළිගනු ලබනවා ඇත. එසේම මෙම නිරාහාරයෙන් සිටීම වාර්තා කර තැබෙනවා ඇත. එලෙසින්ම මේ ආකාරයෙන් සිදු කරන ලද සේවය ඉතා අලංකාර සහ ප්‍රීතිමත් එකක් මෙන්ම ස්වාමින් වහන්සේට පිළිගත හැකි එකක් වනවා ඇත. ඔබ මේ කාරණා ඔබගේ දරුවන් සහ නිවසේ සිටින සියලුම දෙනා සමග පැවැත්විය යුතු ආකාරය වන්නේ මෙසේය. එසේ මේ කාරණා පිළිපැදීම තුළ, ඔබ ආශිර්වාද ලබනවා ඇත. ඇත්තෙන්ම, ඒවා අසන සහ පිළිපදින සියලු දෙනාමද ආශීර්වාද ලබනවා ඇත. එමෙන්ම ඔවුන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔවුන්ට ලැබෙනු ඇත.”

මිදි වත්තේ උපමාව පැහැදිලි කර දීම

57 මම හදිසියෙන් කෙතේ උපමාව සහ ස්වාමියා සහ මිදි වත්ත පිළිබඳ උපමාව සහ මිදි වත්තෙහි වටේට වැටක් බැඳි වහල් සේවකයා, එසේම වැටවල් සහ මිදි වත්තෙන් උදුරා දමන ලදවල් පැළෑටි සහ ස්වාමියාගේ පුතා ඔහුගේ අනුශාසනා කරන මිතුරන් සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන මෙන් ඔහුට පැවසුවෙමි. මන්ද මේ සියලුම දේ උපමා වන බව මා තේරුම් ගත් බැවිනි. එහෙත් ඔහු මට පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “ඔබ ප්‍රශ්න ඇසීමේදී ඉතාම මුරණ්ඩුයි. ඔබ එසේ නොකළ යුතුයි. ඔබ එක ප්‍රශ්නයක් හෝ නොඇසිය යුතුයි. ඔබට යම් කිසි දෙයක් පැහැදිලි කර දීම අවශ්‍ය වන්නේ නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලබනවා ඇත.” මම ඔහුට මෙසේ කීවෙමි. “මහත්මයා, ඔබ මට පෙන්වන එහෙත් පැහැදිලි කර නොදෙන ඕනෑම දෙයක්, මම දැක තිබීමෙන් ඵලක් වන්නේ නැහැ. එය කුමක්ද යන්න මට පැහැදිලි කර නොදුනහොත්, මට එය තේරුම් ගැනීමට නොහැකිය. ඒ හා සමාන ලෙසම, ඔබ මට උපමා ආකාරයට යම් කාරණා පවසා, ඒවා මට පැහැදිලි කර දුන්නේ නැතිනම්, මම ඔබෙන් ඵලක් නැති යමක් ඇසුවා මෙන් වේ.” එහෙත් ඔහු නැවත වරක් මට පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “දෙවියන් වහන්සේගේ සේවකයින් වන අය සහ උන් වහන්සේ ඔවුන්ගේම ස්වාමින් වහන්සේ ලෙස හදවතේ තබාගෙන සිටින අය, උන් වහන්සේ වෙතින් අවබෝධ කර දීම ඉල්ලා සිටින අතර, එය උන් වහන්සේගෙන් ලබනවා ඇත. එසේ ඔවුහු සියලුම උපමා අර්ථකථනය කරති. එසේම උපමාවලින් ස්වාමින් වහන්සේ කතා කළ දේවල් ඔවුන්ට දැනගන්නට ලැබෙනවා ඇත. එහෙත් යාච්ඤා කිරීමට දුර්වල සහ මන්දගාමී ලෙස සිටින අය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමට මැළි වෙති. එහෙත් ස්වාමින් වහන්සේ අතිශයෙන්ම දයානුකම්පාවෙන් පූර්ණව සිටින අතර, උන් වහන්සේගෙන් ඉල්ලන අයට නොකඩවම ලබා දෙන සේක. එහෙත් ශුද්ධ වූ දේවදූතයා කරණකොටගෙන ශක්තිමත් වී සිටින ඔබ, උන් වහන්සේ වෙතින් මැදහත්කාරකම් කිරීමට එවැනි වූ බලයක් ලබා ඇති ඔබ, මන්දගාමී නොවන ඔබ, ස්වාමින් වහන්සේගෙන් මේවා තේරුම් කර දීම උදෙසා ඉල්ලා සිට, එය උන් වහන්සේගෙන් ලබා නොගන්නේ මන්ද?” මම ඔහුට මෙසේ කීවෙමි. “මහත්මයා, ඔබ මා සමග සිටින නිසා, මම අනිවාර්යෙන්ම එය ඔබගෙන් ඇසිය යුතු වන අතර, ඔබගෙන් එය විමසා සිටිය යුතුය. මන්ද ඔබ මට සියලු දේම පෙන්වා, මා සමග කතා කරන බැවිනි. එහෙත් ඔබ මෙහි නැතිව මා ඒවා දැක තිබුණහොත් හෝ ඒවා ගැන අසා තිබුණහොත් හෝ මා ස්වාමින් වහන්සේගෙන් ඒ පිළිබඳ විමසා සිටිනු ඇත. එවිට එය මට පැහැදිලි කර දෙනු ලබනවා ඇත.”

58 “ඔබ උපමාවල අර්ථකථනය පිළිබඳ මාගෙන් ඇසීම සම්බන්ධයෙන් උපක්‍රමශීලී මෙන්ම හිතුවක්කාර අයෙකු බව මා ඔබට මේ දැන් කීවා. එහෙත් ඔබ ඔබ තරම් මුරණ්ඩු නිසා, මා ඔබට කෙත පිළිබඳ උපමාව සහ ඒ සමග සම්බන්ධ වන අනෙකුත් සියලුම දේ පිළිබඳ ඔබට පවසන්නම්. එවිට ඔබට එය සියලුම දෙනාට දැනගන්නට සලස්වන්නට හැකිය,” යනුවෙන් ඔහු පැවසීය. “දැන් සවන් දෙන්න, එසේම ඒවා තේරුම් ගන්න. කෙත නම් මේ ලෝකයයි. කෙතේ ස්වාමියා යනු සියලුම දේ මැවූ සහ ඒවා සර්ව සම්පූර්ණත්වයට පත් කර, ඒවාට බලය පැවරූ තැනැන් වහන්සේ වන සේක. එසේම පුතා යනු ශුද්ධාත්මයාණන් වහන්සේය. එසේම වහලා යනු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේය. එමෙන්ම මිදි වැල් යනු උන් වහන්සේම විසින් පැළ කරන ලද මේ මනුෂ්‍යයෝ වෙති. වැටවල් යනු ස්වාමින් වහන්සේගේ සෙනග එකට එකතු කර තබන උන් වහන්සේගේ ශුද්ධ දේවදූතයෝ වෙති. එසේම බිමෙන් උදුරා දමන ලද වල් පැළෑටි වූ කලි දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ට විරුද්ධව වැරදි ක්‍රියා කරන මනුෂ්‍යයෝ වෙති. ස්වාමියා විසින් ඔහුගේ සේවකයා වෙත එවන ලද කෑම වූ කලි, උන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ තුළින් මනුෂ්‍යයින්ට ලබා දුන් ආඥාවන් වේ. යහළුවන් සහ උපදේශකයින් වූ කලි, පළමුවෙන්ම මවනු ලැබුවා වූ ශුද්ධ වූ දේවදූතයෝ වෙති. ස්වාමියා නොමැතිව ගත කළ කාලය නම්, උන් වහන්සේගේ පැමිණීමට පෙර ඉතිරි වී ඇති කාලය වේ,” යයි ඔහු පැවසුවේය. මම ඔහුට මෙසේ කීවේමි. “මහත්මයා, ඒ සියල්ල විශිෂ්ට සහ අතිශය උසස් දේවල් වේ. එසේම ඒ සියලුම දේ මහිමාන්විතය. එසේ නම්, මා ඒවා තේරුම් ගත්තා නම් කුමක් වනු ඇද්ද? ඒවා වෙනත් කිසිම කෙනෙකුට, ඉතාම බුද්ධිමත් තැතැන්නෙකුට වූවද තේරුම් ගත නොහැකිය. වැඩිදුරටත් මහත්මයා, මා ඔබගෙන් තවත් ඇසිය යුතු වන්නේ මොනවාද යන්න මට පැහැදිලි කරන්න,” යනුවෙන් මම ඔහුට කීවෙමි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබට යමක් අවශ්‍ය නම් කතා කරන්න.” මම මෙලෙස පැවසීමි. “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ එම උපමාවේදී වහලෙකුගේ වෙසින් ඉදිරිපත් කර තිබෙන්නේ ඇයි මහත්මයා?”

59 “මේ අහන්න, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ වහලෙකුගේ වේශයෙන් ඉදිරිපත් කර නැත. එහෙත් උන් වහන්සේ ඉදිරිපත් කර ඇත්තේ මහත් බලයක් සහ ස්වාමිත්වය සහිතවයි,” යනුවෙන් ඔහු කීවේය. “ඒ කෙසේද මහත්මයා? මට එය වැටහෙන්නේ නැහැ,” යයි මම ඇසුවෙමි. ඔහු මෙලෙස පැවසුවේය. “මන්ද දෙවියන් වහන්සේ මිදි වත්ත වගා කළ සේක. එනම්, උන් වහන්සේ ජනතාව මැවූ සේක. එසේ මවා උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේට ඔවුන් භාර දුන් සේක. එසේම පුත්‍රයාණන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන පිණිස ඔවුන් කෙරෙහි දේවදූතයින් පත් කළ සේක. එසේම පුත්‍රයාණන් වහන්සේම මහත් වෙහෙසක් දරා සහ මහත් පීඩා විඳ ඔවුන්ගේ පාපවලින් ඔවුන් පවිත්‍ර කළ සේක. මන්ද වෙසෙ වීමෙන් සහ පීඩා විඳීමෙන් තොරව කිසිම කෙනෙකුට මිදි වත්තක් වැවීමට නොහැකි බැවිනි. එම නිසා, උන් වහන්සේම මිනිසුන්ගේ පාපවලින් ඔවුන් පවිත්‍ර කළ පසුව, උන් වහන්සේ පියාණන් වහන්සේ වෙතින් තමා ලද නීතිය ඔවුන්ට ලබා දෙමින් උන් වහන්සේ ඔවුන්ට ජීවනයේ මාර්ග පෙන්වා දුන් සේක.” ඔහු මෙසේ කීවේය. “උන් වහන්සේගේ පියාණන් වහන්සේ වෙතින් සියලුම දේ ලැබී, උන් වහන්සේ මිනිසුන්ගේ ස්වාමින් වහන්සේ බව ඔබට පේනවද? එහෙත් ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ අනුශාසකයින් ලෙස පුත්‍රයාණන් වහන්සේ සහ මහිමාන්විත දේවදූතයින් වහලාගේ උරුමය පිළිබඳ සලකන විට ගත්තේ මන්ද කියා ඔබ අසන්න. පූර්වයේ සිට ජීවත් වන පැවැත්ම සහිත ශුද්ධාත්මයාණන් වහන්සේ, එනම් සියලුම මැවිල්ල මවනු ලැබූ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේ උන් වහන්සේ කැමති වූ පරිදි මාංසාකාරයෙන් ජීවත් කරවීමට සැලැස්වූ සේක. එම නිසා, ශුද්ධාත්මයාණන් වහන්සේ වාසය කළ මෙම මාංසය, ශුද්ධකමින් සහ පවිත්‍රකමින් ජීවත් වෙමින්, කිසිම ආකාරයකින් ආත්මයාණන් වහන්සේ දූෂිත නොකර ආත්මයාණන් වහන්සේට ඉතා හොඳින් මෙහෙ කළේය. එම නිසා, එම ජීවිතය ගෞරවාන්විත ලෙස සහ නිර්මල බ්‍රහ්මචාරී ලෙස ජීවත් වූ බැවින්, සහ ආත්මය සමග ක්‍රියා කරමින් සියලුම දේ සමග සහසම්බන්ධතා පැවැත්වූ බැවින්, එහි ශක්තිමත් බව සහ නිර්භීත බව පවත්වා ගනිමින් හැසිරුණු නිසා, උන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ හා සමග එයට හවුල්කාරීත්වය ලබන්නට තෝරාගත් සේක. මන්ද මාංසයෙහි හැසිරීම ස්වාමින් වහන්සේට ප්‍රසන්න වූ බැවිනි. මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ ඇතිව සිටින ගමන්ම එය පොළොවෙහිදී දූෂිත බවට පත් නොවූ බැවිනි. එම නිසා, උන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ සහ මහිමාන්විත දේවදූතයින් අනුශාසකයින් ලෙස ගත් සේක. එසේ කළේ, මේ මාංසයද, නිදොස් බවකින් යුක්තව ආත්මයාණන් වහන්සේට සේවය කර, ජීවත් වීමට යම් ස්ථානයක් ලබන පිණිස සහ එමගින් කරන ලද සේවය සම්බන්ධයෙන් විපාකය අහිමි වී නොයන පිණිසත්ය. මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ වාසය කරන ලද සියලුම මාංසයන්, ඒවා දූෂිත නොවූ බවට සහ කැළැල් රහිතව තිබූ බවට ඔප්පු වූයේ නම්, විපාකයක් ලබනු ඇත. දැන් ඔබට මෙම උපමාවෙහි අර්ථය පැහැදිලි කර දී ඇත.”

60 “මෙම පැහැදිලි කිරීම අසන්නට ලැබීම පිළිබඳ මම ඉතාම සතුටුයි මහත්මයා,” යයි මම පැවසුවෙමි. ඔහු මෙලෙස කීවේය. “දැන් මෙය අසන්න, ඔබගේ මෙම මාංසය පිරිසිදුව සහ දූෂිත නොකර තබාගන්න. එවිට ඒ තුළ වාසය කරන ආත්මයාණන් වහන්සේ ඒ සම්බන්ධයෙන් සාක්ෂි දරනු ඇත. එසේම ඔබගේ මාංසය ධර්මිෂ්ඨ කරනු ලබනවා ඇත. ඔබගේ මෙම මාංසය මරණීය ශරීරයක් වන බවට වන අදහස ඔබගේ හදවත තුළට පැමිණීමට කිසිම විටක නොපැමිණෙන පිණිස වග බලාගන්න. එලෙස වුවහොත් ඔබ එය යම් දූෂිත ආකාරයකින් අපයෝජනයට ලක් කරනු ඇත. මන්ද ඔබ ඔබගේ මාංසය දූෂිත බවට පත් කරන්නෙහි නම්, ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේද දූෂිත බවට පත් කරන්නෙහිය. එසේම ඔබ මාංසය දූෂිත තත්වයට පත් කරන්නෙහි නම්, ඔබ ජීවත් නොවනු ඇත.” මම මෙසේ පැවසුවෙමි. “ඒත් මහත්මයා, මේ වචන ඇසීමට ප්‍රථමයෙන් යම් ආකාරයේ නොදැනුවත්කමක් සිදු කර ඇත්නම්, එවිට තමාගේ මාංසය දූෂිත බවට පත් කරගත් තැනැත්තා ගැලවෙන්නේ කෙසේද?” ඔහු මෙසේ කීය. “නොදැනුවත් බව නිසා පූර්වයෙන් සිදු කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන්, සුවය ලබා දීම උදෙසා බලය ඇත්තේ දෙවියන් වහන්සේට පමණි. මන්ද සියලුම ආධිපත්‍යය උන් වහන්සේ සතු වන බැවිනි. එහෙත් දැන ඔබ ඔබම ආරක්ෂා කරගන්න. එසේම ස්වාමින් වහන්සේ, එනම් අතිශය බහුල වශයෙන් දයානුකම්පාව දක්වන තැනැන් වහන්සේ, කලින් ඔබ නොදැනුවත්කමින් සිදු කරන ලද ක්‍රියාවන් උදෙසා සුවය ලබා දෙනු ඇත. එසේ වන්නේ ඔබ දැන් පටන් ඔබගේ මාංසය හෝ ආත්මයාණන් වහන්සේ දූෂිත තත්වයට පත් නොකරන්නෙහි නම්ය. මන්ද ඒවා එකිනෙකා එකට සම්බන්ධ වී අයිති වී සිටින බැවිනි. එසේම එක්කෙනෙකු දූෂිත තත්වයට පත් කර අනෙක් තැනැත්තා දූෂිත තත්වයට පත් නොකර සිටින්නට නොහැකි නිසාය. එම නිසා, ඒ දෙදෙනාම පවිත්‍රව තබාගන්න. ඒ ආකාරයෙන් ඔබ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනවා ඇත.”

6 වන උපමාව

එඬේරුන් දෙදෙනෙකු සම්බන්ධ උපමාවක්: සුඛෝපභෝගී බවේ සහ තෘප්තිමත් වීමේ භයානකකම

61 මා මාගේ නිවහනේ අසුන්ගෙන සිටිමින්, මා විසින් දකින ලද සියලුම දේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ මහිමයට පත් කරමින් සිටින විට, සහ එම ආඥාවන් අලංකාර සහ බලවත් සහ ප්‍රීතිමත් සහ මහිමාන්විත මෙන්ම කෙනෙකුගේ ප්‍රාණය ගලවා ගැනීමට හැකි ඒවා නිසා ඒවා මෙනෙහි කරමින් සිටින විට, මම මටම මෙසේ කියා ගතිමි. “මා මේ ආඥා අනුව ගමන් කළහොත් මම ආශීර්වාද ලත් අයෙක් වන්නෙමි. ඇත්ත වශයෙන්ම, මේ ආඥා පිළිපදින ඕනෑම අයෙකු වාසනාවන්තයෙකු වේ.” මා මේ දේවල් මටම කියා ගනිමින් සිටින විට, මා අසල හිඳගෙන ඔහු මේ දේවල් පවසමින් සිටින බව මම එක්වරම දුටුවෙමි. “මා ඔබට ලබා දී ඇති ආඥාවන් සම්බන්ධයෙන් දෙබිඩි සිතක් තබා ගන්නේ ඇයි? ඒවා අලංකාරයි. කිසි විටම දෙබිඩි සිතක් ඇතිව නොසිටින්න. එහෙත් ස්වාමින් වහන්සේගේ ඇදහිල්ල පැලඳ ගන්න. එම ආඥාවල ගමන් කරන්න. මන්ද මම ඔබ ඒවායෙහි ශක්තිමත් කරන්නෙමි. පසුතැවිලි වීමට සිටින තැනැත්තන්ට මෙම ආඥාවන් ප්‍රයෝජනවත් වේ. මන්ද ඔවුන් ඒවා නොපිළිපැද්දහොත්, ඔවුන්ගේ පසුතැවිලි වීම නිෂ්ප්‍රයෝජනවත් වන නිසාය. එම නිසා, පසුතැවිලි වන ඔබ ඔබ පොඩි කර දමන මේ ලෝකයේ නපුරු දේවලින් වැළකී සිටින්න. එසේම ධර්මිෂ්ටකමේ සියලුම ගුණාංග පැලඳගෙන සිටීම කරණකොටගෙන ඔබට මෙම ආඥාවන් පිළිපැදීමට හැකි වනු ඇත. එසේම තවදුරටත් පාපයට කාරණා එකතු නොකරනු ඇත. එම නිසා, පාපවලට කිසිවක් එකතු නොකිරීමෙන්, ඔබගේ කලින් සිදු කරන ලද පාප බොහොමයක් කපා දමනු ඇත. එම නිසා, මාගේ ආඥාවල පැවතෙන්න. එවිට ඔබ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනු ඇත. මේ සියලුම දේවල් ඔබට පවසන ලද්දේ මා විසිනි.” ඔහු මේ දේවල් මට පැවසීමෙන් අනතුරුව, ඔහු මට මෙසේ කීවේය. “අපි ගමට යමු. එහිදී මම ඔබට බැටළුවන්ගේ එඬේරුන් පෙන්වන්නෙමි.” “අපි යමු මහත්මයා,” මම පැවසුවෙමි. එසේ අපි සානුවකට පැමිණියෙමු. එවිට ඔහු මට කහ පාට ඇඳුමක් ඇඳ සිට තරුණ එඬේරෙකු පෙන්නුවේය. ඔහු බොහෝ ගණනක් වූ බැටළුවන්ට ආහාර දෙමින් සිටියේය. එසේම මෙම බැටළුවන්ට හොඳින් ආහාර ලැබී තිබුණු බවත්, ඔවුන් ඉතා ශක්තිමත් බවත් පෙනෙන්නට තිබුණි. එසේම ඔවුහු ඉතා සතුටින් එහෙට මෙහෙට පනිමින් සිටියෝය. එසේම එඬේරාද තමාගේ බැටළුවන් පිළිබඳ සතුටින් සිටියේය. එසේ බැටළුවන් අතර එහෙ මෙහෙ දුවමින් සිටි එම එඬේරාගේ පෙනුම පවා අතිශයින්ම ප්‍රීතිමත් විය.

62 ඔහු මට මෙසේ පැවසුවේය. “ඔබට මෙම එඬේරා පෙනෙනවාද?” “මට ඔහු පේනවා මහත්මයා,” යයි මම පිළිතුරු දුනිමි. ඔහු මෙලෙස කීය. “මේ සුඛෝපභෝගි බවේ සහ රැවටිල්ලේ දේවදූතයායි. ඔහු හිස්කම සහිත දෙවියන් වහන්සේගේ සේවකයින්ගේ ප්‍රාණයන් පොඩි කර, ඔවුන් සත්‍යයෙන් ඉවතට හරවන්නේය. ඔවුන් වින්දනයට පත් වන ආකාරයේ නපුරු ආශාවන් ඇති කර ඔවුන් රවටන්නේය. මන්ද ඔවුන් ජීවමාන දෙවියන් වහන්සේගේ ආඥාවන් අමතක කර දමා නොවටිනා සුඛෝපභෝගී බවක තෘප්තිමත් වී ජීවත් වන නිසාය. එසේම ඔවුන් මේ දේවදූතයා විසින් විනාශ කරනු ලැබ ඇත. එසේ ඇතැම් අය මරණයටත්, තවත් අය දූෂිත බවටත් පත් කරනු ලැබ ඇත.” මම ඔහුට මෙසේ කීවෙමි. “මහත්මයා, ‘මරණයටත්’ සහ ‘දූෂිත බවටත්’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න මට වැටහෙන්නේ නැහැ.” “මේ අහන්න, ඉතා සතුටින් එහෙ මෙහෙ පනිමින් සිටිනවා ඔබ දුටු බැටළුවන් වූ කලි, දෙවියන් වහන්සේ වෙතින් සම්පූර්ණයෙන්ම අහකට හැරී ගිය සහ මේ ලෝකයේ තෘෂ්ණාවන්වලට ඔවුන්ම භාර වී ඇති මනුෂ්‍යයෝ වෙති,” යයි ඔහු පැවසීය. “එම නිසා, ඒ අය අතර, ජීවන ලැබීම උදෙසා වන පසුතැවිල්ලට පැමිණවීමක් ඇත්තේ නැත. මන්ද ඔවුන්ද ස්වාමින් වහන්සේගේ නාමයට දේව අපහාසයක් වී ඇති අය වන හෙයිනි. එවැනි අයට, මරණය තිබේ. එහෙත් එහෙ මෙහෙ පනින්නේ නැති බව ඔබ දුටු බැටළුවන්, එනම් එක් ස්ථානයක සිටිමින් කමින් සිටි බැටළුවන් වූ කලි, සුඛෝපභෝගි ජීවිතයේ සහ රැවටිල්යේ ක්‍රියාවලට තමුන්ම භාර වූ අය වෙති. එහෙත් ස්වාමින් වහන්සේට විරුද්ධව කිසිම ආකාරයේ දේව අපහාසයක් කතා කර නැති අය වෙති. එම නිසා, මොවුහු සත්‍යයෙන් තොරව දූෂිත තත්වයට පත් වී සිටිති. ඔවුන් පසුතැවිලි වනු ඇති බවට බලාපොරොත්තුවක් ඇත. එසේ කිරීමෙන් ඔවුන් ජීවනයට පැමිණෙනු ඇත. එම නිසා, දූෂිත බව සම්බන්ධයෙන් බලන කල, නවතාවයකට පත් වීම පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇත. එහෙත් මරණයට ඇත්තේ සදාකාලික විනාශ වීම පමණි.” නැවතත්, අපි තව ටික දුරක් ගියෙමු. එවිට ඔහු මට කැලෑවේ ජීවත් වන අයෙකු මෙන් මෙනෙන විශාල එඬේරෙකු පෙන්වීය. ඔහු ඇඳ සිටියේ සුදු පාට එළු හම් වස්ත්‍රයක් වූ අතර, ඔහුගේ උරහිසේ යම් ආකාරයක මල්ලක් ඔහු වෙත තිබුණි. එසේම ඉතා රළු ගැටිති සහිත සැරයටියක් සහ දිග කෙවිටක් ඔහු වෙත තිබිණි. ඔහු වෙත ඉතාම තික්තකමේ පෙනුමක් වූ අතර, මම ඔහුගේ පෙනුම නිසා ඔහුට බිය වීමි. මෙම එඬේරා කලින් දැක්වූ තරුණ එඬේරා වෙතින් ඉතා හොඳින් පෝෂණය වූ, පුෂ්ටිමත් එහෙත් එහෙ මෙහෙ දුන පැන නොයන බැටළුවන් ලබන අතර, ඔහු උන් රැගෙන කටු සහ පඳුරු සහිත බෑවුම් ස්ථානයක තබයි. එසේ කිරීමෙන් බැටළුවන්ට කටුවලින් සහ පඳුරුවලින් තමන්ම ගැලවී ඉවත් වී යාමට නොහැකි වනු ඇත. ඒ වෙනුවට උන් කටු සහ පඳුරුවල ග්‍රහණයට තව තවත් හසු වෙති. එසේ, ඔවුහු කටු සහ පඳුරුවල පැටලී සිටින අතරම තණකොළ කෑමට උත්සහා දරති. එවිට උන් ඔහුගෙන් කෙවිට පහර ලැබ ඉතාම දුක්ඛිත තත්වයට පත් වෙති. එසේම ඔහු උන් එහෙ මෙහෙ ගෙන යයි. උන්ට කිසි විවේකයක් නොදෙයි. එසේ එම බැටළුවෝ කිසි විටෙකත් සතුටින් පසු නොවෙති.

63 එම බැටළුවන් මහත් සේ පහර ලබන බව සහ දුක්ඛිත තත්වයේ පසු වන බව මා දුටු කල, මට ඔවුන් කෙරෙහි මහත් කනගාටුවක් ඇති විය. මන්ද ඔවුන්ට මහත් සේ හිරිහැර කරන ලද අතර, ඔවුන්ට කිසිම විවේකයක් ලැබුණේ නැත. මා සමග සිටි එඬේරාට මම මෙලෙස කීවෙමි. “මහත්මයා, මේ බැටළුවන්ට මේ ආකාරයෙන් සලකන දරුණු හදවතක් ඇති නපුරු කිසිම දයානුකම්පාවක් නැති මේ එඬේරා කවුද?” ඔහු මෙසේ කීය. “මේ දඬුවමේ දේවදූතයායි. ඔහු ධර්මිෂ්ඨකමේ එක් දේවදූතයෙකු වන අතර, දඬුවම් දීම සඳහා වන ප්‍රධානියායි. එම නිසා ඔහු දෙවියන් වහන්සේ වෙතින් හැරී ඉවත්ව ගොස් මේ ලෝකයේ ආශාවන් සහ තෘප්තිය පසුපස ගිය අය රැගෙන, ඔවුන්ට දඬුවම් කරයි. මන්ද ඔවුන් විවිධ වූ දරුණු දඬුවම් ලැබීමට සුදුසු අය වන නිසාය.” මම මෙලෙස කීවෙමි. “මේ විවිධ ආකාරයේ දඬුවම් මොනවාද යන්න මා දැනගන්න කැමතියි මහත්මයා.” විට ඔහු මෙසේ කීය. “අහන්න, විවිධ වූ පීඩාවම් සහ දඬුවම් වූ කලි, ඔවුන් ජීවිතයෙහි විඳින නොයෙක් ආකාරයේ පීඩාවන්ය. ඇතැම් අයට අහිමි වීම් මගින් දඬුවම් ලැබෙන අතර, තවත් අයට අහිමි කිරීම් මගින් දඬුවම් ලැබෙයි. එසේම තවත් අයට විවිධ වූ ලෙඩ දුක්වලින් සහ තවත් අයට සැම ආකාරයේම බාධාවන්ගෙන් සහ තවත් අය නොවටිනා අයගෙන් නින්දා අපහාසයට පත් කරනු ලැබ බොහෝ වේදනාවන් විඳිති. මක්නිසාද බොහෝ මනුෂ්‍යයෝ ඔවුන්ගේම අභිප්‍රායන්වල සෙලෙවෙමින් සිටීම තුළ, බොහෝ දේ උත්සහා කරති. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් කිසිම කරුණක් මුදුන්පත් වන්නේ නැත. පසුව ඔවුහු තමුන්ගේ උත්සහායන්වල සාර්ථක වන්නේ නැති බව පවසති. එහෙත් ඔවුන් නපුරු ක්‍රියාවන් සිදු කර ඇති බවට වන කාරණය කිසි විටෙකත් ඔවුන්ගේ හදවතට ඇතුළු වන්නේ නැත. ඒ වෙනුවට, ඔවුහු ස්වාමින් වහන්සේට දොස් පවරති. එම නිසා, ඔවුන් සැම ආකාරයකම වේදනාවන් හේතුවෙන් දුක් විඳින කල, ඔවුන් මා වෙත යහපත් අනුශාසනා ලබා ගැනීම උදෙසා භාර දෙනු ලබනවා ඇත. එසේ ඔවුන් ස්වාමින් වහන්සේගේ ඇදහිල්ල තුළ ශක්තිමත් වී ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය පුරාවට ස්වාමින් වහන්සේට පවිත්‍ර වූ හදවතකින් සේවය කරනවා ඇත. එම නිසා, ඔවුන් පසුතැවිලි වූ විට, ඔවුන් සිදු කළ වැරදි ක්‍රියාවන් ඔවුන්ගේ හදවතට ඇතුළු වනු ඇත. පසුව ඔවුන් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකු වන නිසා උන් වහන්සේ මහිමයට පත් කරනු ඇත. මන්ද එකිනෙකා ඔවුන් සිදු කළ දේවල්වලට නිවැරදි ලෙස වේදනාවන් විඳි බැවිනි. එතැන් සිට ඔවුන් පවිත්‍ර හදවතකින් ස්වාමින් වහන්සේට සේවය කරනු ඇත. එසේම ඔවුන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන සියලුම දේ ලැබීමෙන්, ඔවුන් කරන සියලුම දේවලදී සඵලත්වයට පත් වනු ඇත. අනතුරුව ඔවුන් මට භාර කළ බැවින් ඔවුහු දෙවියන් වහන්සේට ස්තුති කරති. ඔවුහු තවදුරටත් කිසිම නපුරකින් පීඩා නොවිඳිති.”

64 මම ඔහුට මෙලෙස කීවෙමි. “මහත්මයා, මට වෙනත් දෙයක්ද පැහැදිලි කර දෙන්න.” “ඔබට දැනගැනීමට තිබෙන ඒ දේ කුමක්ද?” යයි ඔහු ඇසුවේය. මම මෙසේ කීවෙමි. “ඔවුන් සුඛෝපභෝගී ලෙසත්, තෘප්තිමත් ලෙසත් ගත කළ කාලය හා සමාන කාලයක් ඔවුන්ට වේදනාවන්වලින් පීඩාවට පත් වීමට සිදු වන්නේද, මහත්මයා?” ඔහු මට මෙසේ පැවසීය. “ඒ හා සමාන කාලයක්ම ඔවුන් පීඩාවට පත් කරනු ලබනවා ඇත.” “එසේ නම් ඔවුන් පීඩා විඳින්නේ ඉතා ස්වල්පයකි, මන්ද දෙවියන් වහන්සේ අමතක කර දමා තමාගේ සුඛෝපභෝගී ජීවිතය ගත කළ සහ තෘප්තිමත් වූ අය සත් වරක් වැඩියෙන් පීඩාවට පත් කරනු ලැබිය යුතුයි,” යනුවෙන් මම කීවෙමි. ඔහු මට මෙසේ කීය. “ඔබ අඥාන අයෙකු වන අතර, ඔබට පීඩා විඳීම සම්බන්ධයෙන් වැටහෙන්නේ නැහැ.” “ඒක ඇත්ත මහත්මයා, මා එය අවබෝධ කර ගත්තා නම්, එය පැහැදිලි කර දෙන මෙන් මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ නැහැ,” යයි මම කීවෙමි. ඔහු මෙලෙස කීය. “මේ දෙකේම බලය ගැන අහන්න. සුඛෝපභෝගී බවේ සහ තෘප්තිමත් බවේ කාලය පැයකි. එහෙත් පීඩා විඳීමේ එක පැයක දින තිහක බලය ඇත. එම නිසා, යම් තැනැත්තෙකු සුඛෝපභෝගී ලෙස ගත කර එය එක් දිනක් බවට රැවටිල්ලට හසු වී ඇත්නම්, සහ ඔහු එක් දිනක් පීඩාවට පත් කරනු ලැබ ඇත්නම්, එම පීඩා විඳි දවස එක් වසරකට සමාන වේ. එම නිසා, යම් කෙනෙකු බොහෝ දින ගණනක් සුඛෝපභෝගි ලෙස ගත කරන්නේද, ඒ හා සමාන අවුරුදු ගණනක් ඔහු වේදනාවෙන් පීඩාවට පත් කරනු ලබන්නේය. එම නිසා, සුඛෝපභෝගී බවේ සහ රැවටිල්ලට හසු වී සිටීමේ කාලය ඉතා සුළු කාලයක් බව ඔබට පෙනෙයි. එහෙත් දඬුවමේ සහ වේදනා විඳීමේ කාලය දීර්ඝය,” යයි ඔහු කීවේය.

65 “මහත්මයා, රැවටිල්ලේ සහ සුඛෝපභෝගි බවේ කාලය පිළිබඳ මට නොතේරෙන බැවින්, එය වඩාත් පැහැදිලි ලෙස මට කියා දෙන්න,” යයි මම කීවෙමි. ඔහු මට පිළිතුරු දෙමින් මට මෙසේ කීවේය. “ඔබගේ අඥානකම නොකඩවම පවතියි. ඔබට ඔබගේ හදවත පවිත්‍ර කරගෙන දෙවියන් වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නැහැ. පරෙස්සම් වන්න. කාලය සම්පූර්ණ වී එවිටත් ඔබ අඥානයෙකු ලෙසට පෙනී නොසිටින ලෙස වගබලා ගන්න. ඒ නිසා අසන්න. එසේ ඔබට ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම මෙම කාරණය තේරුම් ගත හැකි වනු ඇත. එක් දිනක් උදෙසා සුඛෝපභෝගීලෙස සහ රැවටිල්ලේ ජීවත් වන අය, සහ ඔවුන්ට අවශ්‍ය දේ කරන අය, මහත් වූ අඥානකමක් පැලඳගෙන සිටින අතර, ඔවුන් කරන්නේ කුමක්ද යන්න නොදැන සිටිති. එසේ ඊළඟ දවසෙහි ඔවුන් කලින් දවසේ සිදු කළේ කුමක්ද යන්න ඔවුහු අමතක කරති. මන්ද සුඛෝපභෝගී බවට සහ රැවටිලිකාරකමට මතකයක් ඇත්තේ නැති බැවිනි. එයට හේතුව ඔවුන් ඇඳ සිටින අඥානකම නිසාය. එහෙත් දඬුවම සහ වේදනා විඳීම මනුෂ්‍යයින් වෙත එක් දිනකට පැමිණි පසුව, ඔවුහු වසරක් උදෙසා දවම් සහ වේදනාවෙන් පීඩා විඳිති. මන්ද දඬුවමට සහ වේදනාවෙන් පීඩාවට පත් වීමට දීර්ඝ මතකයක් ඇති නිසාය. එම නිසා, වසරක් පුරාවට දඬුවම සහ පීඩාවෙන් වේදනාවට පත් කරනු ලැබ, පසුව ඔවුන්ට සුඛෝපභෝගී බව සහ රැවටිලිකාරකම මතක් වී, ඔවුන් විසින් සිදු කරන ලද නපුරු දේවල් නිසා මේ පීඩා විඳීම් පැමිණි බව තේරුම් ගනිති. එම නිසා, සුඛෝපභෝගි බවෙන් සහ රැවටිලිකාරකමේ ජීවත් වන සියලු දෙනාම, මේ ආකාරයෙන් පීඩාවට පත් කරනු ලබති. මන්ද ඔවුන්ට ජීවිතය තිබුණද, ඔවුන් තමන්ම මරණයට භාර වී සිටින බැවිනි.” මම මෙසේ කීවෙමි. “මහත්මයා, විනාශකාරී වන්නේ කුමනාකාර සුඛෝපභෝගීභාවයන්ද?” “මිනිසුන් යම් දේවල් සිදු කර ප්‍රීතියට පත් වන සැම දෙයක්ම ඔවුන් උදෙසා සුඛෝපභෝගී දෙයකි,” යයි ඔහු පැවසුවේය. “මන්ද කෝප සහගත මනුෂ්‍යයෝ ඔවුන්ගේ ආශාවන්ට නිදහසේ පාලනය කිරීමට දීමෙන් තමාම දූෂිත කර ගනිති. එසේම කාමමිථ්‍යාචාරිකයෝ සහ බේබද්දෝ සහ මිනී මරන්නෝ සහ බොරුකාරයෝ සහ කෑදර මිනිස්සු සහ කොල්ලකරුවෝ සහ මෙවන් ආකාරයේ ක්‍රියාවන් සිදු කරන සියලු දෙනාම, එම නිසා, ඔවුන්ගේම ක්‍රියා කරණකොටගෙන ඔවුන්ගේම රෝගවලට නිදහසේ පාලනය කිරීමට ඉඩ ලබා දෙති. ඔවුහු තමුන්ම වින්දනය ලබති. මේ සියලුම සුඛෝපභෝගී බව දෙවියන් වහන්සේගේ සේවකයින්ට විනාශකාරී දේවල් වේ. මන්ද මෙම තෘප්තිමත්භාවයන් නිසා, දඬුවමට පත් වන සහ වේදනාවෙන් පීඩාවට පත් වන අය දුක් විඳිති. එහෙත් මෙම සුඛෝපභෝගී බව මනුෂ්‍යයින් ගලවන සුඛෝපභෝගි බවද වේ. මන්ද යහපත් දේ කිරීමෙන් බොහෝ අය තමුන්ම වින්දනයට පත් කර ගනිති. එමගින් ඔවුන්ට ලැබෙන තෘප්තිය කරණකොටගෙන ඔවුහු අතිශයින් ප්‍රීති වෙති. එම නිසා, මේ සුඛෝපභෝගී බව දෙවියන් වහන්සේගේ සේවකයින්ට ප්‍රයෝජනවත් වන අතර, එවන් වූ මනුෂ්‍යයෙකුට ජීවනය ගෙන එන්නේය. එහෙත් ඉහතින් සඳහන් කරන ලද විනාශකාරී සුඛෝපභෝගීභාවයන් ඔවුන්ට වේදනාව සහ දඬුවම ගෙන එයි. එසේම ඔවුන් ඒ තුළ නොකඩව රැඳී සිටිමින්, පසුතැවිලි නොවනවා නම්, ඔවුහු තමුන් පිටම මරණය පමුණුවා ගන්නෝය.”

7 වන උපමාව

පීඩා විඳීම සහ පසුතැවීම

66 ටික දිනකට පසුව මා එඬේරුන් සිටිනවා දුටු එම සානුවේම, ඔහු සිටිනවා මම දුටිමි. ඔහු මට මෙලෙස කීවේය. “ඔබ බලා සිටින්නේ කුමක් දෙසද?” “මා මෙහි සිටින්නේ දඬුවම් ලබා දෙන එඬේරාට මගේ නිවසින් පිට වී යන ලෙස ඔබ අණ කරන පිණිසයි. මන්ද ඔහු මට ඉතා මහත් සේ පීඩා කරන්නේය,” යයි මම පැවසුවෙමි. ඔහු මෙසේ පැවසීය. “ඔබ පීඩා විඳීමට ලක් වීම අත්‍යවශ්‍ය වේ. මන්ද මහිමාන්විත දේව දූතයා ඔබ සම්බන්ධයෙන් නියෝග කර ඇත්තේ මේ දේ වන බැවිනි. මන්ද ඔබ පරීක්ෂා කිරීමට ඔහුට අවශ්‍ය වේ.” “ඒ ඇයි, මහත්මයා? මා මෙම දේව දූතයා වෙත භාර කිරීම පිණිස මා විසින් කරන ලද නපුරු දේ කුමක්ද?” මම ඇසුවෙමි. ඔහු මෙලෙස කීය. “මේ අහන්න, ඔබේ පාප ප්‍රමාණය ඉතා වැඩිය, එහෙත් මේ දේව දූතයාට ඔබ භාර කිරීමට තරම් ඒ පාප ප්‍රමාණය වැඩි නැත. එහෙත් ඔබගේ නිවැසියෝ මහත් පාප සහ වැරදි සිදු කළහ. එසේම මහිමාන්විත දේව දූතයා ඔවුන්ගේ ක්‍රියාවන් කරණකොටගෙන මහත් සේ කෝපයට පත් වී සිටියි. මේ හේතුව නිසා, ඔබ ටික කාලයකට දුක් පීඩා විඳීමට අවශ්‍ය බවට ඔහු නියෝග කළේය. එසේ කිරීම කරණකොටගෙන ඔවුන්ද පසුතැවිලි වන පිණිසත් මේ ලෝකයේ ඇති දේවලට ඔවුන් තුළ ඇති සියලුම ආශාවන්වලින් පවිත්‍ර කරනු ලබන පිණිසත්ය. එසේ ඔවුන් පසුතැවිලි වී පවිත්‍ර කරනු ලැබීමෙන් පසුව, දඬුවම් කිරීමේ දේව දූතයා ඔවුන් වෙතින් ඉවත් වී යනු ඇත.” මම ඔහුට මෙසේ කීවෙමි. “මහත්මයා, ඔවුන් මහිමාන්විත දේව දූතයා කෝප ගන්වන තරමට එවන් ආකාරයේ වැරදි ක්‍රියා සිදු කළ නමුත්, මා කළේ කුමක්ද?” “ගෘහ මූලිකයා වන ඔබ පීඩා විඳීමට ලක් වීමෙන් තොරව ඔවුන් පීඩාවට විඳීමට පත් කළ නොහැකිය. මන්ද ඔබ පීඩාවට පත් කරනු ලැබුවෙහි නම්, ඔවුන්ද නිසැකයෙන්ම පීඩාවට පත් වනවා ඇත. එහෙත් ඔබ සමෘද්ධිමත් නම්, ඔවුන් කිසිම පීඩාවක් අත්නොදකිනු ඇත,” යනුවෙන් ඔහු පැවසීය. “ඒත්, මේ බලන්න මහත්මයා, ඔවුන් ඔවුන්ගේ මුළු හදවතින්ම පසුතැවිලි වී ඇත” මම පැවසුවෙමි. “මා ඒ ගැන හොඳින් දන්නවා. ඔවුන් තමුන්ගේ මුළු හදවතින්ම පසුතැවිලි වී තිබෙන බව මා දන්නවා. ඉතින් ඔබ සිතනවාද පසුතැවිලි වන අයගේ පාපවලට ඉක්මනින්ම සමාව ලැබෙනවා කියා? ඇත්තෙන්ම නැහැ! එහෙත් පසුතැවිලි වන අය තමාගේම ප්‍රාණයට වේදනාව ලබා දිය යුතු වන අතර, ඔවුන් කරන සියලු දේවලදී අතිශයින්ම යටත් පහත් විය යුතුය. එසේම විවිධ වූ ආකාරයේ වේදනාවන්ගෙන් පීඩාවට පත් විය යුතුය. එසේ ඔවුන් තමා වෙත පැමිණෙන පීඩාවන් දරා ගන්නේ නම්, නිසැක ලෙසම සියලු දේ මැවූ තැනැන් වහන්සේ සහ ඔවුන්ට සියලු බලය ලබා දුන් තැනැන් වහන්සේ දයානුකම්පාවෙන් යුතුව ඔවුන්ට සුවය ලබා දෙනවා ඇත,” යයි ඔහු කීවේය. “නිසැක වශයෙන්ම කාරණය වන්නේ මෙයයි. පසුතැවිලි වන තැනැන්තාගේ හදවත සියලුම නපුරු දෙයින් නිදහස් වී ඇති බව උන් වහන්සේ දකින්ට ඕනෑය. එහෙත් ඔබ සහ ඔබගේ පවුලේ අය දැන් පීඩාවට පත් කරනු ලැබීම ප්‍රයෝජනවත්ය. එහෙත් මා මෙතරම් කාරණා ඔබට කියන්නේ ඇයි? ඔබ මා වෙත භාර කළ ස්වාමින් වහන්සේගේ දේව දූතයා නියෝග කළ ආකාරයටම ඔබ පීඩාවට පත් කරනු ලැබීම අත්‍යවශ්‍ය වේ. එසේම මේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේට ස්තුති කරන්න. මන්ද උන් වහන්සේ කලින්ම ඔබට වේදනාවන් එළිදරව් කරනු ලැබීමට වටිනා අයෙකු ලෙස ඔබ ගැන සැලකූ බැවිනි. එසේ ඔබ ඒ පිළිබඳ කලින්ම දැනගැනීමෙන් ඔබ ඒවා ධෛර්යෙන් යුක්තව දරා ගන්නා පිණිසය.” “මා ඔබ සමග සිටිමි. එසේම ඔබට වඩා සැහැල්ලුවෙන් පීඩාවට පත් කරන මෙන් දඬුවම් දීමේ දේව දූතයාගෙන් ඉල්ලා සිටිමි. එහෙත් ඔබ පීඩාවට පත් කරනු ලබන්නේ ඉතා කෙටි කලකටය. එසේම ඔබ නැවත වරක් ඔබගේ ස්ථානයට ප්‍රතිස්ථාපනය කරනු ලබනවා ඇත. දිගටම යටත් පහත්ව සිටින්න. එසේම ඔබගේ දරුවන් සහ ඔබගේ නිවැසියන් සමග ස්වාමින් වහන්සේට පවිත්‍ර හදවතකින් යුක්තව සේවය කරන්න. එමෙන්ම මා ඔබට ලබා දෙන නියෝගවල හැසිරෙන්න, ඒවා පිළිපදින්න. එසේ ඔබගේ පසුතැවීම ශක්තිමත් සහ පවිත්‍ර එකක් වනවා ඇත. එසේම ඔබ, ඔබගේ පවුලේ අය සමගින් මෙම ආඥා පිළිපදින්න. එවිට දුක් පීඩාව ඔබ අත්හැර යනවා ඇත. ඇත්තෙන්ම, මාගේ ආඥාවල හැසිරෙන සියලු දෙනා වෙතින්ම දුක් පීඩා ඉවත්ව යනවා ඇත,” යනුවෙන් ඔහු පැවසුවේය.

8 වන උපමාව

විලෝ ගස පිළිබඳ උපමාව

67 ඔහු මට මහත් වූ විලෝ ගසක් පෙන්වීය. එහි සෙවණැල්ල තැනිතලා සහ කඳුවල පැතිරී තිබිණි. එසේම ස්වාමින් වහන්සේගේ නාමයෙන් කැඳවනු ලැබූ සියලු දෙනාම එම විලෝ ගසේ සෙවණට පැමිණියහ. එසේ විලෝ ගස සමීපයේ ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිටගෙන සිටියේය. ඔහු ඉතා මහිමාන්විතව සහ ඉතාම උසින් යුක්ත අයෙකු විය. ඔහු වෙත කප්පාදු කිරීමේ උපකරණයක් විය. ඔහු විලෝ ගසෙහි අතු කපමින් විලෝ ගසේ සෙවණෙහි සිටි මනුෂ්‍යයින්ට දෙමින් සිටියේය. ඔහු ඔවුන්ට අඟල් දහ අටක් පමණ දිග කුඩා කෝටු දුන්නේය. ඔවුන් සියලු දෙනාටම කෝටු ලබා දුන් පසුව, දේව දූතයා කප්පාදු කිරීමේ උපකරණය පහත දැමුවේය. එසේම එම ගස එය මා කලින් දුටු ආකාරයටම ඉතාම නීරෝගී සම්පන්න විය. එවිට මම පුදුමයට පත් වීමි. මම මටම මෙසේ කියා ගතිමි. “මේ තරම් අතු ප්‍රමාණයක් කපා දැමූ පසුව, මේ ගම මෙතරම් නිරෝගී සම්පන්නව තිබෙන්නේ කෙසේද?” එඬේරා මට මෙලෙස කීවේය. “මේ තරම් අතු ප්‍රමාණයක් කපා දැමුවායින් පසුව, මේ ගස මෙතරම් නිරෝගී සම්පන්න ලෙස තිබෙන්නේ මන්ද යන්න පිළිබඳ මවිත නොවන්න. ඔබ සියල්ලම දකින තුරු මඳක් ඉන්න. එසේම මෙහි අර්ථය කුමක්ද යන්න ඔබට පැහැදිලි කර දෙනු ලබනවා ඇත.” දේව දූතයා විසින් කෝටු ලබා දෙන ලද මනුෂ්‍යයින්ගෙන් එම කෝටු නැවතත් ඉල්ලා සිටින ලදී. එසේම ඔවුන්ට ඒවා ලබා දුන් ආකාරයටම පිළිවෙළට ඔවුන් කැඳවන ලදී. එහිදී එකිනෙකා තම තමාගේ කෝටුව නැවත භාර දුන්නෝය. එසේ ස්වාමින් වහන්සේගේ දූතයා ඒවා රැගෙන ඒවා පරීක්ෂා කළේය. ඇතැම් අයගෙන් ඔහුට නැවත ලැබුණු කෝටු වියළී තිබූ අතර, ඇතැම් ඒවා කුඩා පණුවන් කා දමා තිබූ බව පෙනෙන්නට තිබිණි. එවන් වූ කෝටු නැවත භාර දුන් අයට තමන්ම නැගිට සිටින ලෙසට ස්වාමින් වහන්සේගේ දූතයා අණ කළේය. එසේම තවත් අය වියළී තිබූ නැවත කෝටු භාර දුන් අතර, ඒවා පණුවන් කා දමා නොතිබිණි. මේ අයටද නැගිට සිටින මෙන් ඔහු අණ කළේය. තවත් අය අඩක් වියළුණු කෝටු නැවත භාර දුන්නෝය. ඔවුහුද නැගිට සිටියෝය. එසේම තවත් අය අඩක් වියළුණු සහ කැඩී ගිය කෝටු නැවත භාර දුන් අතර, ඔවුහුද නැගිට සිටියෝය. එසේම තවත් අය කොළ පාටට තිබුණු කැඩී ගිය කෝටු නැවත භාර දුන්නෝය. ඔවුහුද නැගිට සිටියෝය. එසේම තවත් සමහරු අඩක් වියළුණු සහ අඩක් කොළ පැහැයෙන් තිබූ කෝටු නැවත භාර දුන්නෝය. ඔවුහුද නැගිට සිටියෝය. තවත් අය තුනෙන් දෙකක් කොළ පැහැයෙන් සහ තුනෙන් කොටසක් වියළී ගිය තමන්ගේ කෝටු නැවත භාර දුන්නෝය. ඔවුහුද නැගිට සිටියෝය. එසේම තවත් සමහරු බොහෝ දුරට කොළ පාටින් තිබූ තමුන්ගේ කෝටු නැවත භාර දුන්නෝය. එහෙත් ඒවායෙහි සුළු ප්‍රමාණයක් පමණක් වියළී තිබිණි. එහි කෙළවර පමණක් වියළී තිබිණි. එහෙත් ඒවායෙහි පැලී ගිය තැන් විය. ඒ අයද නැගිට සිටියෝය. අනෙක් අය කොළ පාටින් තිබූ තමුන්ගේ කෝටු පිළිගන්වන්නට පැමිණියහ. ඔවුන් දේව දූතයාගෙන් එම කෝටු ලද ආකාරයටම ඒවා තිබුණි. බොහෝ අය මේ තත්වයේ තිබූ තමන්ගේ කෝටු නැවත භාර දුන්නෝය. එවිට දේව දූතයා ඔවුන් කෙරෙහි මහත් සේ ප්‍රීතියට පත් විය. ඒ අයද තමුන්ම නැගිට සිටියෝය. තවත් අය කොළ පාටින් වූ සහ දලු ලා තිබූ තමුන්ගේ කෝටු නැවත භාර දුන්නෝය. මේ අයද නැගිට සිටියෝය. එසේම දේව දූතයාද ඔවුන් කෙරෙහි මහත් සේ සන්තෝෂයට පත් විය. එසේම තවත් අය කොළ පාටින් වූ සහ දලු දමා තිබූ තමුන්ගේ කෝටු නැවත භාර දුන්නෝය. එම දලු ලන ලද කෝටුවල ඇතැම් ඵල තිබූ බව පෙනෙන්නට තිබුණි. මේ ආකාර තත්වයේ තමුන්ගේ කෝටු තිබූ අය ඉතාම සන්තෝෂයට පත් වී සිටියහ. එසේම දේව දූතයාද ඔවුන් කෙරෙහි ප්‍රීතියට පත් විය. එසේම එඬේරා ඔවුන් පිළිබඳ මහත් සේ සතුටට පත් විය.

68 එවිට ස්වාමින් වහන්සේගේ දූතයා එම ඔටුනු ගෙන එන්නට නියෝග කළේය. එසේ ඔටුනු එහි ගෙන එන ලදී. එම ඔටුනු තල් කොළවලින් සැදූ ඒවා බව පෙනෙන්නට තිබුණි. එවිට ඔහු තමුන්ගේ කෝටුවල දලු දමා තිබූ සහ ඒවායෙහි යම් ඵල හටගෙන තිබූ කෝටු භාර දුන් අයට එම ඔටුනු පැලඳවීය. පසුව ඔවුන් කුලුනට පිටත් කර හරින ලදී. එසේම ඔහු තමුන්ගේ කෝටු කොළ පාටින් සහ දලු දමා තිබූ, එහෙත් ඒවායෙහි ඵල නොතිබුණු ඒවා භාර දුන් අයද කුලුනට පිටත් කර හැරියේය. ඔහු ඔවුන්ට මුද්‍රවක් ලබා දුන්නේය. එසේ එම කුලුනට ගිය සියලුම දෙනාට එකම ආකාරයේ ඇඳුම් තිබිණි. ඒවා හිම මෙන් සුදු පාට වස්ත්‍ර විය. එසේම ඔහු තමුන්ගේ කෝටු තමන් වෙත ලබා දුන් ආකාරයටම කොළ පාටින් යුතුව නැවත භාර දුන් අයට සුදු පාට වස්ත්‍ර සහ මුද්‍රා ලබා දී ඔවුන්ද පිටත් කර හැරියේය. දේව දූතයා මේ දේවල් සිදු කර අවසානයේදී ඔහු එඬේරා හට මෙලෙස පැවසුවේය. “මම දැන් පිටත් වී යමි. ඔබ මේ සිටින කවරෙකු වූවත් ජීවත් වීමට සුදුසු අය වේ නම්, ඔවුන් තාප්පය ඇතුළට යැවිය යුතුයි. ඔවුන්ගේ කෝටු ඉතා පරෙස්සමින් පරීක්ෂා කරන්න. ඒවායේ තත්වයට අනුව ඔවුන් පිටත් කර හරින්න. එහෙත් ඒවා පරීක්ෂා කිරීමේදී ඉතාම පරෙස්සම් වන්න. ඔබගෙන් කිසිවෙකුත් ගැලවී නොයන පරිදි බලා ගන්න. එහෙත් ඔබගෙන් ගැලවී යන කවරෙකු හෝ සිටී නම්, මම අල්තාරය මතදී ඔවුන් පරීක්ෂා කරන්නෙමි.” ඔහු මේ දේවල් එඬේරාට පැවසූ පසුව, ඔහු පිටත් වී ගියේය. එසේ දේව දූතයා පිටත් වී ගිය පසුව, එඬේරා මට මෙලෙස කීවේය. “අපි සියලු දෙනාගේම කෝටු රැගෙන ඒවා පැළ කරමු. එසේ කර ඒවායින් යම් කෝටු ජීවත් වනු ඇද්දැයි බලමු.” “මහත්මයා, මේ වියළී ගිය ඒවා ජීවත් වන්නේ කෙසේද?” යයි මම ඇසුවෙමි. ඔහු මට පිළිතුරු දෙමින් මෙලෙස කීවේය. “මෙය විලෝ ගසකි. මේ ගස් වර්ගය ඉතාම දැඩිය. එම නිසා, එම කෝටු පැළ කර සුළු ප්‍රමාණයක් තෙතමනය ලද විට, ඒවායින් බොහෝ කෝටු ජීවත් වනු ඇත. එසේම අපි ඒවාට යම් ප්‍රමාණයක් වතුර වත් කර බලමු. ඒවායින් යම් කිසිවකට ජීවත් වීමට හැකියාව ඇත්නම්, මම ඔවුන් සමග ප්‍රීති වන්නෙමි. එමෙන්ම එයින් කිසිවක් ජීවත් වූයේ නැතත්, මම ඒවා නොසලකා හැරි බවට වරදකාරයෙකු බවට පත් නොවන්නෙමි.” එසේ ඔවුන් සිටගෙන සිටි පිළිවෙළටම ඔවුන් ඇතුළට කැඳවන මෙන් එඬේරා මට අණ කළේය. ඔවුහු පේළියෙන් පේළිය එහි ආවෝය. ඔවුහු එහි විත් එඬේරා වෙත ඔවුන්ගේ කෝටු නැවත භාර දුන්නෝය. එඬේරා එම කෝටු රැගෙන ඒවා පේළිවලට පැළ කළේය. ඔහු ඒවා පැළ කිරීමෙන් පසුව, ඔහු ඒවාට බොහෝ ප්‍රමාණයක් වතුර වත් කළේය. වතුර නිසා එම කෝටු නොපෙනී යන තරමට ඔහු වතුර දැමුවේය. ඔහු එම කොටුවලට වතුර වත් කළ පසුව ඔහු මට මෙසේ කීවේය. “අපි දැන් යමු. ටික දිනකට පසුව අපි නැවතත් පැමිණ සියලුම කෝටු පරීක්ෂා කර බලමු. මේ ගස මැවූ තැනැන් වහන්සේට මෙම ගසෙන් ලබා ගත් මෙම සියලුම කෝටු ජීවත් වීම අවශ්‍ය වේ. එසේම දැන් යම් තරමක් තෙතමනය ලබා, වතුර වත් කරන ලද මෙම කෝටුවලින් බොහොමයක් ජීවත් වනු ඇතැයි මමද බලාපොරොත්තු වෙමි.”

විලෝ ගසෙහි උපමාව පැහැදිලි කර දීම

69 මම ඔහුට මෙසේ කීවෙමි. “මෙම ගසෙන් අර්ථවත් වන්නේ කුමක්ද යන්න මට පවසන්න, මහත්මයා. මන්ද මම එයින් ව්‍යාකූලත්වයට පත්ව සිටිමි. මන්ද බොහෝ අතු කපා දැමුවද, ගස ඉතා නිරෝගි සම්පන්නව තිබෙයි. එසේම එයින් කිසිවක් කපා දමනු ලැබ ඇති බවක් නොපෙනෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මම ව්‍යාකූලව සිටිමි.” ඔහු මෙලෙස කීය. “මේ අහන්න, මේ මහත් ගස, සියලුම සානු සහ කඳු මෙන්ම මුළු පොළොවෙහි සෙවණ පැතීරී තිබෙන මේ ගස, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවයි/නීතියයි. එය ලෝකයේ සියලුම දෙනාට ලබා දී ඇත. එසේම මෙම නීතිය යනු දෙවියන් වහන්ස්ගේ පුත්‍රයාණන් වහන්සේය. උන් වහන්සේ ලෝකයේ සීමාවන් දක්වා ප්‍රකාශ කරනු ලැබ ඇත. මෙම ගසේ සෙවණෙහි සිටින මිනිස්සු නම්, දේශනාවන් අසා උන් වහන්සේ තුළ විශ්වාස කළ මනුෂ්‍යයෝ වෙති. එසේම ශ්‍රේෂ්ඨ සහ මහිමාන්විත දේව දූතයා වූ කලි මයිකල් වේ. ඔහුට මේ මනුෂ්‍යයින් කෙරෙහි ආධිපත්‍යය ඇති අතර, ඔහු ඒ අයට මගපෙන්වයි. මන්ද විශ්වාස කරන අයගේ හදවත් තුළට නීතිය දැමූ තැනැන්තා ඔහු වන බැවිනි. එම නිසා, ඔහු තමා ඒ දේ ලබා දුන් අය පරීක්ෂා කරයි. එසේ කරන්නේ ඔවුන් එය පිළිපදිනවාද යන්න බැලීමටයි. දැන් එකිනෙකාගේ කෝටුව නිරීක්ෂණය කරන්න. මන්ද එම කෝටු නීතිය වන බැවිනි. බොහෝ කෝටු නිෂ්ප්‍රයෝජන බවට පත්ව ඇති බව ඔබට පෙනෙන විට, ඒ සියල්ලෝ නීතිය පිළිපැද නැති බව ඔබ දැනගන්නවා ඇත. එසේම ඔබ සියලු දෙනාගේම වාසය කරන ස්ථානය දැනගන්නවා ඇත.” මම ඔහුට මෙසේ පැවසුවෙමි. “මහත්මයා, ඔහු සමහර අය කුලුනට පිටත් කර හැර, තවත් අය ඔබට භාර දී ගියේ ඇයි?” ඔහු මෙසේ කීය. “උන් වහන්සේ වෙතින් ඔවුන් ලැබූ නීතිය කඩ කළ සියලුම දෙනාම පසුතැවිලි වන පිණිස ඔහු ඔවුන් සියලු දෙනා මගේ ආධිපත්‍යය යටතේ තැබුවේය. එහෙත් මේ වන විටත් නීනිය පිළිබඳ තෘප්තිමත් වී එය පිළිපැද්ද අය ඔහු තමාගේම ආධිපත්‍යය යටතේ නොකඩවම රඳවා තබයි.” එවිට මම මෙසේ ඇසුවෙමි. “එසේ නම්, ඔටුනු පලඳන ලදුව කුලුනට පිටත් කර හරින ලද අය කවුරුන්ද?” ඔහු මට පිළිතුරු දෙමින් මෙලෙස කීවේය. “ඔටුනු පලඳන ලද අය වූ කලි යක්ෂයා සමග සටන් කොට ඔහුගෙන් ජයගත් අය වෙති. ඔවුහු නම් නීතිය වෙනුවෙන් දුක් වේදනා වින්දා වූ අය වෙති. එසේම තමුන්ගේ කෝටු කොළ පැහැයෙන් යුක්තව සහ දලු සමගින්, එසේ වූවත් ඵල නැතිව නැවතත් භාර දුන් අය වනාහි, නීතිය උදෙසා දුක් පීඩා විඳීමට ලක් කරනු ලැබූ අය වෙති. එහෙත් ඔවුහු පීඩා නොවින්ඳහ. එසේම ඔවුහු ඔවුන්ගේ නීතිය අත්හැරියේද නැත. තමුන්ගේ කෝටු කොළ පැහැයෙන් යුක්තව නැවතත් භාර දුන් අය නම්, එනම් තමුන්ට ඒවා ලැබුණු තත්වයේම නැවතත් භාර දුන් අය නම්, ඉතා විශිෂ්ට ලෙසින් තමන්ගේ හදවත් පවිත්‍රව තබා ගනිමින් සහ ස්වාමින් වහන්සේගේ ආඥාවන් පිළිපදිමින් ගෞරවාන්විත සහ ධර්මිෂ්ඨ ජීවිත ගත කළ අය වෙති. එහෙත් අනෙක් අය සම්බන්ධයෙන් මා සිටෙවූ සහ වතුර වත් කළ එම කෝටු මා විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් පසුව ඔබ දැනගන්නවා ඇත.”

70 දින කිහිපයකට පසුව අපි එම ස්ථානයට පැමිණියෙමු. එහිදී එඬේරා මා ඔහු අසල සිටගෙන සිටියදී ශ්‍රේෂ්ඨ දේව දූතයාගේ ස්ථානයෙහි ඉඳගත්තේය. ඔහු මට මෙසේ කීවේය. “ඔබේ ඉණේ තුවායක් බැඳගෙන මට උදව් කරන්න.” එම නිසා මම ගෝනි රෙදිවලින් නිමවන ලද පිරිසිදු තුවායක් මගේ ඉණ වටා බැඳ ගතිමි. ඔහු මා තුවායක් ඉණ වටේ බැඳගෙන ඔහුට උපකාර කිරීමට සූදානමින් සිටින බව දුටු කල, මට මෙලෙස පැවසුවේය. “තමන්ගේ කෝටු මෙහි සිටුවන ලද අය කැඳවන්න. ඔවුන් ඔවුන්ගේ කෝටු නැවත භාර දුන් අනුපිළිවෙළ අනුව ඔවුන් කැඳවන්න.” මම තැනිතලාවට ගොස් ඔවුන් සියලු දෙනා කැඳවීමි. එසේ ඔවුහු සියලු දෙනා පේළිවලට සිටගත්හ. ඔහු ඔවුන්ට මෙසේ කීය. “ඔබ එකිනෙකා තමාගේ කෝටුව ඇද මා වෙත එය රැගෙන එන්න.” පළමුවෙන්ම ඔහු වෙතට නැවත භාර දීම පිණිස ගෙන එන ලද්දේ වියළී මැලවී විනාශ වී ගොස් තිබූ කෝටුය. එම කෝටු තවදුරටත් වේළී විනාශ වී ඇති බව දුටු කල, ඔවුන්ට නැගිට සිටින ලෙස අණ කළේය. පසුව තමුන්ගේ කෝටු වියළී තිබූ එහෙත් ඒවා විනාශ වී නොතිබුණු අය තමුන්ගේ කෝටු නැවත භාර කළෝය. පසුව ඇතැම් අය තමුන්ගේ කෝටු කොළ පැහැයෙන් යුක්තව නැවත භාර දුන්නෝය. එසේම තවත් අය වේළී තිබූ සහ විනාශ වී තිබූ කෝටු එනම් පණුවන් විසින් විනාශ කළා වැනි කෝටු නැවත භාර දුන්හ. එවිට ඔහු තමාගේ කෝටු කොළ පැහැයෙන් භාර දුන් අයට නැගිට සිටීිමට අණ කළේය. එහෙත් විනාශ වී තිබූ කෝටු භාර දුන් අයට ඔහු පළමුවන කණ්ඩායම සමග නැගිට සිටින ලෙස අණ කළේය. පසුව තමුන්ගේ කෝටු අඩක් වේළී කැඩී තිබුණු අය ඒවා නැවත භාර දුන්නෝය. එසේම තවත් අය කොළ පාටින් යුක්තව සහ පලුදු සහිතව තිබූ කෝටු භාර දුන්හ. බොහෝ අය තමුන්ගේ කෝටු කොළ පාටින් යුක්තව සහ පලුදුවලින් තොරව භාර දුන්හ. තවත් අය කොළ පාටින් යුත් සහ දලු ලන ලද කෝටු භාර දුන්හ. තවත් අය කොළ පාටින් සහ දලු ලා තිබූ මෙන්ම ඵල හට ගත් කෝටු නැවත භාර දුන්හ. ඒ කෝටු ඔටුනු පලඳවන ලදුව කුලුනට පිටත් කර හැරියවුන්ගේ කෝටු මෙන් විය. එහෙත් තවත් සමහරු වේළී ගිය සහ කා දමා තිබූ කෝටුද, තවත් අය වේළී තිබුණු එහෙත් කා දමා නොතිබුණු කෝටුද, තවත් අය කලින් අයගේ තිබූ ඒවා මෙන් වූ අඩක් වියළී තිබූ සහ කැඩී ගිය කෝටුද නැවත භාර දුන්හ. ඔහු ඔවුන් එකිනෙකා හට නැගිට සිටින මෙන් අණ කළේය. තවත් අය තමාගේම කණ්ඩායමේ අය සමගත් තවත් අය වෙන් වෙන්වත් සිට ගැනීමට සලස්වන ලදී.

71 පසුව තමුන්ගේ කෝටු කොළ පැහැයෙන් යුක්ත සහ කැඩී තිබූ ඒවා ඔවුහු නැවත භාර දුන්හ. මේ සියලු දෙනාම ඒවා කොළ පැහැයෙන් යුක්තව භාර දුන් අතර, ඒ සියලු දෙනාම ඔවුන්ගේ කණ්ඩායම්වල සිටගත්හ. ඒ සම්බන්ධයෙන් එඬේරා ප්‍රීතියට පත් විය. මන්ද ඒවා සියල්ලම වෙනස් වී තිබූ අතර, ඒවායෙහි පලුදුවලින් නිදහස් වී තිබූ බැවිනි. එසේම තමන්ගේ කෝටු අඩක් කොළ පැහැයෙන් සහ අඩක් වියළී තිබුණු අයද ඒවා නැවතත් භාර දුන්හ. ඇතැම් අයගේ කෝටු සම්පූර්ණයෙන්ම පාහේ කොළ පැහැයෙන් තිබූ බව දක්නට ලැබුණි. ඇතැම් අයගේ කෝටු අඩක් වියළී ගොස් තිබිණි. ඇතැම් අයගේ කෝටු වියළී මෙන්ම කා දමා තිබිණි. එසේම තවත් ඒවා කොළ පැහැයෙන් සහ දලුවලින් යුක්තව තිබිණි. මේ සියලු දෙනාම ඔවුන්ගේම කණ්ඩායම්වලට නැවතත් යවනු ලැබිණි. පසුව තමුන්ගේ කෝටුවලින් තුනෙන් දෙපංගුවක් කොළ පාටින් යුක්ත සහ තුනෙන් පංගුවක් වියළී තිබූ අය එම කෝටු නැවත භාර දුන්හ. බොහෝ අය කොළ පැහැයට හැරී තිබූ කෝටු භාර දුන්හ. එහෙත් බොහෝ අය අඩක් වියළී තිබූ කෝටු භාර දුන්හ. එසේම තවත් අය වියළී ගිය සහ කා දමා තිබූ කෝටු භාර දුන්හ. මේ සියලු දෙනාම තම තමුන්ගේ කණ්ඩායම්වල සිටගත්හ. පසුව තවත් අය තුනෙන් දෙපංගුවක් වියළී ගොස් තිබූ සහ තුනෙන් පංගුවක්  කොළ පැහැයෙන් තිබූ කෝටු රැගෙන ආ අය නැවතත් ඒවා භාර දුන්හ. බොහෝ ඒවා බාගයක් වියළී තිබූ කෝටු නැවතත් භාර දුන්හ. තවත් අය වියළී සහ කා දමා තිබූ ඒවා භාර දුන්හ. තවත් අය අඩක් වියළී සහ පලුදු වී ඇති කෝටු නැවතත් භාර දුන්හ. එසේම තවත් අය වියළී සහ කා දමා තිබූ ඒ වා භාර දුන් අතර, තවත් අය අඩක් වියළී ගොස් තිබූ සහ පලුදු වී තිබූ ඒවා නැවත භාර දුන්හ. එහෙත් සුළු පිරිසක් ඒවා කොළ පැහැයෙන් යුක්තව භාර දුන්හ. එසේම තමුන්ගේ කෝටු කොළ පැහැයෙන් තිබූ අය, එහෙත් එයින් කුඩා කොටසක් පමණක් වියළී සහ කැඩී තිබූ අය ඒවා නැවත භාර දුන්හ. ඒවායින් ඇතැම් අය ඒවා කොළ පාටින් භාර දුන්හ. තවත් අය කොළ පාටින් යුක්තව සහ දලු දමා තිබූ කෝටු භාර දුන්හ. ඔවුහුද ඔවුන්ගේ කණ්ඩායම්වලට ගියහ. පසුව තමුන්ගේ කෝටුවලින් සුළු ප්‍රමාණයක් කොළ පැහැයෙන් තිබූ අනෙක් කොටසම වියළී තිබූ අය තමුන්ගේ කෝටු නැවතත් භාර දුන්හ. මෙම කෝටුවලින් වැඩි කොටසක් කොළ පැහැ ගැන්වී තිබූ අතර, ඒවායෙහි දලු දමා තිබූ බව දක්නට විය, එසේම ඒවායෙහි ඵලද දක්නට ලැබිණි. එසේම අනෙක් සියල්ලම සම්පූර්ණයෙන්ම කොළ පැහැ ගැන්වී තිබිණි. මේ කෝටු සම්බන්ධයෙන් එඬේරා මහත් සේ ප්‍රීතියට පත් විය. මන්ද එම කෝටු මේ ආකාර තත්වයේ දක්නට වූ බැවිනි. මොවුහුද තම තමුන්ගේම කණ්ඩායම්වලට ගියහ.

72 ඔවුන් සියලු දෙනාගේම කෝටු එඬේරා විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් පසුව ඔහු මට මෙසේ කීවේය. “මේ ගස ඉතාම තද ගසක් බව මම ඔබට කීවෙමි. කෙතරම් දෙනෙකු පසුතැවිලි වී ඇත්ද සහ ගැලවීම ලබා ඇත්ද යන්න ඔබට පේනවද?” “මට එය පේනවා මහත්මයා,” යයි මම කීවෙමි. ඔහු මෙසේ කීය. “එයට අමතරව ස්වාමින් වහන්සේගේ බහුල වූ දයානුකම්පාව ඉතා මහත් සහ මහිමාන්විත බව ඔබට පෙනෙනවා ඇත. පසුතැවිලි වීමට වටිනා අය හට උන් වහන්සේ ආත්මයාණන් වහන්සේද ලබා දී ඇති සේක” මම මෙසේ ඇසුවෙමි. “එසේ නම් ඔවුන් සියල්ලන්ම පසුතැවිලි වන්නේ නැත්තේ ඇයි, මහත්මයා?” ඔහු මෙසේ කීය. “ඔවුන්ගේ හදවත් පවිත්‍ර වීමට යන බව ස්වාමින් වහන්සේ දුටු අය සහ තමුන්ගේ මුළු හදවතින්ම උන් වහන්සේට සේවය කිරීමට යන අය හට උන් වහන්සේ පසුතැවිලි වීම ලබා දුන් සේක. එහෙත් ඔවුන්ගේ රැවටිලිකාරකම සහ දුෂ්ටකම තිබෙනු උන් වහන්සේ දුටු අය සහ වංචා සහගත ලෙස පසුතැවිලි වීමට යන බව උන් වහන්සේ දුටු අය හට උන් වහන්සේ පසුතැවිලි වීම ලබා නොදුන් සේක. එසේ කිරීමෙන් ඔවුන් නැවතත් උන් වහන්සේගේ නාමය අපවිත්‍ර බවට පත් නොකරන පිණිසය.” මම ඔහුට මෙලෙස කීවෙමි. “මහත්මයා, දැන් මට පැහැදිලි කරන්න, තමුන්ගේ කෝටු නැවතත් භාර දුන් අය, එනම් ඒ එකිනෙක පුද්ගලයා කුමනාකාරයේ පුද්ගලයෙකුද යන්න සහ ඔවුන් ජීවත් වන්නේ කොහේද යන්න පවසන්න. එසේ විශ්වාස කර ඔබගෙන් මුද්‍රාව ලබා ගත් අය එය කඩා දමා ඒවා නොපවත්වා සිටි අය මෙය හොඳින් අසනු ඇත. ඔවුන් තමුන් සිදු කරන්නේ කුමක්ද යන්න වටහාගන්නා පිණිස සහ එසේ දැනගැනීම කරණකොටගෙන පසුතැවිලි වන පිණිසත්, ඔබ වෙතින් මුද්‍රාවක් ලබා ගන්නා පිණිසත්ය. එසේම ඔවුන් කෙරෙහි කරුණාව දක්වා ඔවුන්ගේ ආත්ම නැවතත් අලුත් කරන පිණිස ඔබ එවූ බැවින් ඔවුන් ස්වාමින් වහන්සේ මහිමයට පත් කරන පිණිසත්ය.” ඔහු මෙසේ කීය. “මේ අහන්න, තමුන්ගේ කෝටු වියළී ගොස් සහ පණුවන් කා දමා තිබූ ඒවා තිබූ අය ඇදහිල්ල අත් හළ අය සහ සභාවට ද්‍රෝහී වූ අය වෙති. ඔවුන්ගේ පව් කරණකොටගෙන ඔවුහු ස්වාමින් වහන්සේට අපහාස කර ඇති අයයි. එසේම එයට අමතරව ඔවුන් කැඳවන ලද නාමය වන ස්වාමින් වහන්සේගේ නාමය සම්බන්ධයෙන් ලජ්ජාවට පත් වූ අයයි. එම නිසා, මේ අය දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම විනාශ වූ අය වෙති. එසේම එයින් එක් කෙනෙකු හෝ පසුතැවිලි නොවූ බව ඔබ දුටුවෙහිය. ඔවුන්ට ඔබ පැවසූ වචන ඇසුණු නමුත්, මා ඔබට අණ කළ දේවල් ඇසුණු නමුත් ඔවුන් පසුතැවිලි වුණේ නැත. මේ ආකාරයේ මනුෂ්‍යයින් වෙතින් ජීවනය ඉවත් වී ගොස් ඇත. එහෙත් වියළී තිබූ එහෙත් පණුවන් කා දමා නැති කෝටු නැවත භාර දුන් අය, ඔවුන්ට ඉතා සමීප අයයි. මන්ද ඔවුන් වංචාකාරයින් වූ අතර, අමුතු ධර්ම ගෙනා අයයි. එසේ කිරීමෙන් දෙවියන් වහන්සේගේ සේවකයින් නිවැරදි මගින් හැරවූ අයයි. විශේෂයෙන්ම පව් කර තිබෙන අය, ඔවුන්ට පසුතැවිලි වීමට ඉඩ නොදී, ඒ වෙනුවට ඔවුන්ගේ අඥාන ධර්මවලින් ඔවුන්ට පසුතැවිලි නොවන ලෙස ඒත්තු ගැන්වූ අයයි. ඒ නිසා මේ අයට පසුතැවිලි වීම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තිබේ. එසේම ඔබ මාගේ ආඥා ඔවුන්ට කතා කළ දවසේ පටන්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඇත්තෙන්ම පසුතැවිලි වී ඇති බව ඔබට පෙනෙයි. එසේම තවත් බොහෝ දෙනා පසුතැවිලි වනු ඇත. එහෙත් පසුතැවිලි නොවූ අය ඔවුන්ගේ ජීවනය අහිමි කරගෙන ඇත. අනෙක් අතට පසුතැවිලි වූ අය, යහපත් අය බවට පත් වී ඇත. එසේම ඔවුන්ගේ නිවස මුල් අය හා සමාන ලෙස මුල් තාප්ප ඇතුළත ඔවුන් සමග ලබා ඇත. එසේම තවත් අය කුලුනටද නැග ඇත. එම නිසා, පාපයෙන් පසුතැවිලි වීම ජීවනය ගෙන එන බව ඔබට පෙනෙයි. එහෙත් පසුතැවිලි වීමට අසමත් වීම මරණය ගෙන එන බව ඔබට පෙනෙයි,” යයි ඔහු කීවේය.

73 “තමුන්ගේ කෝටු අඩක් වියළී සහ ඒවායෙහි කැඩීම් සහිතව නැවත භාර දුන් අය සම්බන්ධයෙන්ද අසන්න. අඩක් වියළුණු කෝටු සහිත අය වනාහි දෙබිඩි සිත් ඇති අයයි. එම නිසා ඒ අය ජීවනය ඇති අය හෝ මළ අය නොවෙති. එහෙත් තමුන්ගේ කෝටු අඩක් වියළුණු සහ අඩක් කැඩී ගිය අය වූ කලි දෙබිඩි සිත් ඇති අය මෙන්ම අපහාස කරන්නෝ වෙති. ඔවුහු ඔවුන් අතර කිසි විටෙකත් සමාදානයෙන් නොසිටිති. එහෙත් ඔවුහු සැම විටම භේද ඇති කරති. එසේ වූවද, මේ අය හටද පසුතැවිලි වීමට හැකිය. ඔවුන්ගෙන් ඇතැම් අය දැනටමත් පසුතැවිලි වී ඇති බව ඔබට පෙනෙයි. එසේම ඔවුන් පසුතැවිලි වනු ඇතැයි තව දුරටත් ඔවුන් පිළිබඳ බලාපොරොත්තුවක් තිබේ,” යයි ඔහු කීවේය. “එම නිසා ඔවුන්ගෙන් පසුතැවිලි වූ අයට ඔවුන්ගේ නිවහන කුලුන ඇතුළත තිබේ. එහෙත් ඔවුන්ගෙන් වඩාත් සෙමින් පසුතැවිලි වූ අය තාප්ප ඇතුළත ජීවත් වනු ඇත. එසේ වූවත්, ඔවුන් අතරින් පසුතැවිලි නොවූ අය, තමුන් සිදු කරන දේවල්වලට නොකඩව පැවතෙන අය නිසැක ලෙසම මිය යනු ඇත. එහෙත් තමුන්ගේ කෝටු කොළ පාටින් යුක්තව සහ කැඩී තිබූ ඒවා භාර දුන් අය සැම කාලයකදීම විශ්වාසවන්ත සහ යහපත් අය වෙති. එහෙත් ඔවුන්ට යම් ආකාරයක ඊර්ෂ්‍යාවක් එකිනෙකා කෙරෙහි තිබුණි. ඒ ප්‍රමුඛත්වය සහ යම් ආකාරයක උසස් වීම් සම්මාන උදෙසාය. එහෙත් ප්‍රමුඛත්වය සම්බන්ධයෙන් එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට ඔවුහු සියලු දෙනාම අඥාන අය වෙති. එසේම මේ අයද, ඔවුන් යහපත් නිසා, ඔවුන් මාගේ ආඥාවන් ඇසූ විට ඔවුන්ම පවිත්‍ර කරගෙන ඉක්මනින්ම පසුතැවිලි වූහ. එම නිසා ඔවුන්ගේ නිවහන කුලුන තුළ පවතියි. එහෙත් ඔවුන්ගෙන් ඕනෑම අයෙකු නැවතත් භේද ඇති කරන්නෝ නම්, ඔවුන් කුලුනෙන් පිටතට නෙරපා හරිනු ඇත. එසේම ඔවුන්ට ඔවුන්ගේ ජීවනයද අහිමි වනු ඇත. ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වන සියලුම දෙනා හට ජීවනය ඇත. එහෙත් ආඥාවල කිසිම ආකාරයක ප්‍රමුඛත්වය හෝ ඕනෑම ආකාරයක භේදයක් සම්බන්ධයෙන් දක්වා නැත. එහෙත් එහි ඇත්තේ මනුෂ්‍යයෙකුගේ ඉවසීම, දරාගැනීම සහ යටත් පහත් බව පිළිබඳවය. එම නිසා එවන් වූ මනුෂ්‍යයින් තුළ ස්වාමින් වහන්සේගේ ජීවනය තිබේ. එහෙත් භේද ඇති කරන සහ අවනීතිය අනුව ජීවත් වන ඇයට මරණය ඇත.”

74 “තමුන්ගේ කෝටු අඩක් කොළ පැහැයෙන් යුක්තව සහ අඩක් වියළුණු ස්වභාවයෙන් නැවතත් භාර දුන් අය, ව්‍යාපාරවල ගිලී සිට අය සහ ශුද්ධවන්තයින් ඇසුරු නොකළ අය වෙති. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ජීවත් වන්නේත්, අනෙක් දෙකෙන් කොටස මිය ගොස් ඇත්තේත් මේ නිසාය. එම නිසා බොහෝ දෙනා, ඔවුන් මාගේ ආඥා ඇසූ කල, ඔවුහු පසුතැවිලි වූහ. එසේ පසුතැවිලි වූ අයට කුලුන ඇතුළත ඔවුන්ගේ නිවහන තිබේ. එහෙත් ඇතුම් අය සම්පූර්ණයෙන්ම ඉවතට හැරී වැටී ගියහ. මේ නිසා, මේ අය පසුතැවිලි වූයේ නැති අය එසේ කළේ තමුන්ගේ ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටීම හේතුවෙන් සහ ස්වාමින් වහන්සේට අපහාස කර උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ නිසාය. එම නිසා ඔවුන් කළ නපුරු වැඩ හේතුවෙන් ඔවුන්ට තමුන්ගේ ජීවනය අහිමි විය. එහෙත් ඔවුන්ගෙන් බොහෝ අය දෙබිඩි සිත් ඇති අය වූහ. මේ අයට තව දුරටත් පසුතැවිලි වීමට අවස්ථාවත් තිබේ. ඔවුහු ඉක්මනින් පසුතැවිලි වන්නෝ නම්, ඔවුන්ට තමුන්ගේ නිවහස කුලුන ඇතුළත ලැබෙනවා ඇත. එහෙත් ඔවුහු ඉතා සෙමෙන් පසුතැවිලි වන්නෝ නම්, ඔවුහු තාප්ප ඇතුළත ජීවත් වනු ඇත. එහෙත් ඔවුහු කොහෙත්ම පසුතැවිලි නොවන්නෝ නම්, ඔවුහුද ඔවුන්ගේ ජීවිත අහිමි කරගෙන ඇත. එසේම තමුන්ගේ කෝටු තුනෙන් දෙකක් කොළ පැහැයෙන් සහ තුනෙන් එකක් වියළි බවින් යුක්තව නැවත භාර දුන් අය නැවත නැවතත් ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළ අය වෙති. බොහෝ දෙනා පසුතැවිලි වී කුලුන ඇතුළත ජීවත් වන පිණිස ගොස් ඇත. එහෙත් බොහෝ අය දෙවියන් වහන්සේ කෙරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී වැටී ගොස් ඇත. මොවුහු අවසානයේ තමුන්ගේ ජීවනය අහිමි කරගෙන සිටිති. එසේම ඔවුන්ගෙන් ඇතැම් අය දෙබිඩි සිත් ඇති අය වූ අතර, භේද ඇති කළහ. එසේ නම් මේ අය උදෙසා, ඔවුහු ඉක්මනින් පසුතැවිලි වන්නෝ නම් සහ ඔවුන්ගේ තෘප්තිමත් වීමේ ක්‍රියාවල රඳා නොපවතිනවා නම් පසුතැවිල්ල තිබේ. එහෙත් ඔවුහු තමුන්ගේ ක්‍රියාවල නොකඩව රඳා පවතින්නෝ නම්, ඔවුහුද තමුන්ටම මරණය නිර්මාණය කර ගනිති.”

75 “තමුන්ගේ කෝටුවලින් තුනෙන් දෙකොටසක් වියළිව සහ තුනෙන් එක් කොටසක් කොළ පැහැතිව නැවතත් භාර දුන් අය විශ්වාසවන්තව සිටි අය වූහ. එහෙත් ඔවුහු පොහොසත් වී පසුව පිටත සිටින්නන් අතර හොඳ නමක් දිනාගත්හ. ඔවුහු ඔවුහු මහත් අහංකාරයකින් තමන්ම පලඳවාගෙන, මුරණ්ඩු බවට පත් වී සත්‍යය අත්හැරියහ. එසේ ධර්මිෂ්ඨ අය සමග ආශ්‍රය නොකළහ. තෘප්තිමත් වූවක් විය. එහෙත් පිටත සිටින්නන්ගේ ප්‍රමිතීන්ට අනුව ජීවත් වූහ. ඒ ආකාරයෙන් ජීවිතය ඔවුන්ට වඩාත් එසේ වූවද, ඔවුහු දෙවියන් වහන්සේ වෙතින් වැටී මුළාව ගියේ නැති අතර, ඇදහිල්ලෙහි නොකඩව පැවතුණහ. එසේ වූවද ඔවුහු ඇදහිල්ලේ ක්‍රියාවන් සිදු නොකළහ. එම නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුතැවිලි වූහ. එසේ ඔවුන්ගේ නිවහන කුලුන ඇතුළත විය. එහෙත් අනෙක් අය, සම්පූර්ණයෙන්ම බාහිර පුද්ගලයින් අතර ජීවත් වෙමින්, පිටත සිටින්නන්ගේ නොවටිනා අදහස්වලින් දූෂිත බවට පත් වී දෙවියන් වහන්සේ වෙතින් අහකට හැරී වැටී ගියහ. එසේම පිටත සිටින්නන් හා සමාන ලෙස හැසුරුණහ. මේ නිසා, මේ අය, පිටස්තරයින් හා සමග ගණන් ගනු ලැබ සිටිති. එහෙත්, ඔවුන්ගෙන් අනෙක් පිරිස දෙබිඩි සිත් අති අය වූහ. ඔවුන් කරන ලද ක්‍රියාවන් හේතුකොටගෙන තව දුරටත් ගැලවීම ලැබීම උදෙසා බලාපොරොත්තුවක් නැතිව සිටින අයයි. එසේම තවත් අය දෙබිඩි සිත් ඇතිව සිට ඔවුන් අතරම භේද ඇති කළහ. මේ අයට, එනම් තමුන්ගේ ක්‍රියාවන් කරණකොටගෙන දෙබිඩි සිත් ඇති කරගත් අයට තවමත් පසුතැවිලි වීමට හැකිය. එහෙත් ඔවුන්ගේ නිවහන කුලුන ඇතුළත තිබෙන්නට නම්, ඔවුන්ගේ පසුතැවිලි වීම ඉතාම වේගවත් විය යුතුය. එහෙත් පසුතැවිලි නොවන අයට, තමුන්ගේම තෘප්තියේ නොකඩව ගැලී සිටින අයට, මරණය සමීපව ඇත.”

76 “තමුන්ගේ කෝටු කොළ පැහැයෙන් යුක්තව සහ පලුදු වූ සහ කැඩුණු ස්වභාවයෙන් යුක්තව නැවතත් භාර දුන් අය, දෙවියන් වහන්සේගේ ඇස් හමුයෙහි සැම විටම යහපත්, විශ්වාසවන්ත සහ මහිමාන්විත අය වූහ. එහෙත් ඔවුහු සුළු ප්‍රමාණයක් පමණක් පව් කළහ. එයට හේතුව සුළු ආශාවන් සහ ඔවුන් වෙත එකිනෙකාට විරුද්ධව තිබූ සුළු කාරණාවන් නිසාය. එහෙත් ඔවුන් මාගේ වචන ඇසූ කල, බොහෝ පිරිසක් ඉක්මනින් පසුතැවිලි වූහ. එසේම ඔවුන්ගේ නිවහස කුලුන තුළ විය. එහෙත් ඇතැම් අය දෙබිඩි සිත් ඇතිව සිටියහ. තවත් අය දෙබිඩි සිත් ඇතිව සිටියදීම මහත් බෙදීම් ඇති කළහ. මේ අය සම්බන්ධයෙන් තව දුරටත් ඔවුන් පසුතැවිලි වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබේ. එයට හේතුව වන්නේ ඔවුන් සැම විටම යහපත්ව සිටි බැවිනි. ඔවුන්ගෙන් කෙනෙකු මිය යන්නේ කලාතුරකිනි. එහෙත් තමුන්ගේ කෝටු වියළී ගොස් තිබී එහෙත් එහි රක් කොටසක් කොට පාටින් යුක්තව නැවතත් භාර දුන් අය, විශ්වාස කළ අය වෙති. එහෙත් ඔවුහු අවනීතියට අනුව ජීවත් වූ අයයි. එසේ වූවද ඔවුන් කිසි විටකත් දෙවියන් වහන්සේ වෙතින් ඉවත්ව වැටී ගියේ නැත. ඔවුහු උන් වහන්සේගේ නාමය සතුටින් දැරූහ. එසේම දෙවියන් වහන්සේගේ සේවකයින් ඔවුන්ගේ නිවෙස්වලට සතුටින් පිළිගත්හ. එම නිසා, ඔවුහු මෙම පසුතැවිලි වීම සම්බන්ධයෙන් ඇසූ කල, ඔවුහු කිසි පැකිළීමකින් තොරව පසුතැවිලි වූහ. එසේම ඔවුහු සියලුම ගුණධර්ම සහ ධර්මිෂ්ඨකම පවත්වති. එසේම ඔවුන්ගෙන් ඇතැම් අය පීඩාද වින්දහ. එසේම ඔවුන් සිදු කළ ක්‍රියාවන් දැනගෙන, ඔවුන්ගේ පීඩාව සතුටින් දරාගනිති. එම නිසා, ඔවුන්ගේ නිවහන වූ කලි, කුලුන වනු ඇත.”

77 සියලුම කෝටු සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කර දීමෙන් පසුව, ඔහු මට මෙසේ කීවේය. “යන්න, මනුෂ්‍යයින් පසුතැවිලි වන පිණිසත්. ඔවුන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසත් ගොස් මනුෂ්‍යයින්ට කතා කරන්න. මන්ද ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ දයානුකම්පාවෙන් යුක්තව සියලු දෙනාටම පසුතැවිලි වීම දෙන පිණිස මා එවූ සේක. එසේ වූවත්, ඇතැම් අය ඔවුන්ගේ ක්‍රියාවන් හේතුකොටගෙන ගැලවීම ලැබීමට සුදුසු අය නොවෙති. එහෙත් උන් වහන්සේ ඉවසිලිවන්ත නිසා, උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ තුළින් කැඳවනු ලැබූ අය ගැලවීම ලබනවාට ස්වාමින් වහන්සේට අවශ්‍යය.” මම ඔහුට මෙසේ පැවසුවෙමි. “මහත්මයා, ඒවා අසන සියලු දෙනාම පසුතැවිලි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මන්ද ඔවුන් සියලු දෙනාම ඔවුන් විසින් සිදු කරන ලද දේවල් අවබෝධ කරගත් පසුව සහ දෙවියන් වහන්සේට ගරු බිය දක්වන විට, ඔවුන් පසුතැවිලි වනු ඇත.” ඔහු මට පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “තමුන්ගේ මුළු හදවතින්ම පසුතැවිලි වන අය සහ මෙහි විස්තර කර තිබෙන තමුන්ගේ සියලුම නපුරු ක්‍රියාවලින් පවිත්‍ර කරගන්නා අය, සහ තමුන්ගේ පාපවලට අලුතින් කිසිවක් එකතු කර නොගන්නා අය, ඔවුන් කලින් සිදු කළ පාපවලට ස්වාමින් වහන්සේගෙන් සුවය ලබනු ඇත. ඒ ඔවුන් මේ අණ පනත් සම්බන්ධයෙන් දෙබිඩි සිතක් ඇතිව නොසිටියහොත්ය. එසේ ඔවුන් දෙවියන් වහන්සේට උන් වහන්සේ උදෙසා ජීවත් වනු ඇත. එහෙත් තමුන්ගේ පාපවලට තවත් එකතු කරගන්නා අය, සහ මේ ලෝකයේ ආශාවන්වලට අනුව ජීවත් වන අය තමුන්ම මරණයට පත් කරගනිති. එහෙත් ඔබට මා පවසන්නේ මාගේ ආඥාවලට අනුව ජීවත් වන්න, එවිට ඔබ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනු ඇත. යනුවෙනි. ඇත්තෙන්ම, ඒ නියෝග අනුව ජීවත් වන සහ නිවැරදිව ක්‍රියා කරන කවරෙකු නමුත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනු ඇත.” මේ සියලු දේම මට පෙන්වීමෙන් පසුව සහ මට කීමෙන් පසුව ඔහු මට මෙලෙස පැවසුවේය. “තව ටික දිනකින් ඔබට මා ඉතිරි කාරණා පෙන්වන්නම්.”

9 වෙනි උපමාව

කඳු දොළහ

78 මා එඬේරාගේ ආඥාවන් සහ උපමාවන් ලියූ පසුව, පසුතැවිලි වීමේ දූතයා, ඔහු මා වෙත ඇවිත් මට මෙසේ කීවේය. “සභාවේ ස්වරූපයෙන් ඔබ සමග කතා කළ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට එළිදරව් කළ දේ පිළිබඳ ඔබට පැහැදිලි කිරීමට මට අවශ්‍යයි. මන්ද එම ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ වන සේක. ඔබ මාංසයෙහි ඉතාම දුර්වල නිසා, එය ඔබට දේවදූතයෙකු කරණකොටගෙන එළිදරව් කරනු නොලැබීය. එහෙත් ඔබට ආත්මයාණන් වහන්සේ කරනකොටගෙන බලය දෙන ලදුව, සහ ඔබ ශක්තියෙන් වර්ධනය වූ කල, එසේ වීමෙන් ඔබට දේවදූතයෙකු දැකිය හැකි වන පිණිස, එවිට කුලුනෙහි ගොඩනැගිල්ල ඔබට සභාව තුළින් නිරූපණය කරනු ලැබිණි. ඔබ සියලු දේම ඉතා හොඳින් සහ ගරු බියෙන් යුක්තව දුටුවෙහිය. කුඩා දැරියක කෙරෙන් එන්නාක් මෙන්, එහෙත් දැන් ඔබ එය දේවදූතයෙක් වෙතින් දකින්නෙහිය. එය එම ආත්මයාණන් වහන්සේම තුළිනි. එසේ වූවත්, ඔබ සියලු දේම ඉතා නිරවද්‍ය ලෙස කෙරෙන් දැකිය යුතුව ඇත. ඔබගේ නිවසේ ජීවත් වීම උදෙසා එම මහිමාන්විත දේවදූතයා විසින් මා පත් කරනු ලැබීමට හේතුව වන්නේ එයයි. එසේ කිරීම කරණකොටගෙන ඔබ සියලු දේම ඉතාම පැහැදිලි ලෙස දකින පිණිසය, ඔබට කලින් තිබූ කිසිම වර්ෂයක දකින්නට නොලැබුණු ආකාරයෙන් දකින පිණිසය.” එසේ ඔහු මා ආකේඩියාවට යොමු කළේය. එනම් එය යම් යම් ආකාරයේ වූ වටකුරු වූ කන්දකි. එහි ඔහු මා එම කඳු මුදුනෙහි අසුන් ගැන්වීය. පසුව ඔහු මට මහත් වූ තැනිතලා තැනිතලාවක් පෙන්වීය. එම තැනිතලාව වටෙකර කඳු දොළහක් තිබිණි. එම එකිනෙක කන්දෙහි පෙනුම එකිනෙකට වෙනස් විය. පළමුවැන්න ඉතාම කළුය. දෙවැන්න හිස්ව පාළුව තිබිණි. එහි කිසිම වගාවක් තිබුණේ නැත. තෙවැන්න සම්පූර්ණයෙන්ම කටු සහ පඳුරුවලින් යුක්ත විය. හතරවැනි කන්දෙහි බාගෙට වියළුණු වගාවක් තිබිණි. එම පැළෑටිවල උඩ කොටස කොළ පැහැති විය. එහෙත් මුල්වල කොටසක් වියළී තිබිණි. ඇතැම් පැළෑටි හිරු රශ්මිය වැදුණු කල මැලවී යමින් තිබිණි. පස්වන කන්දෙහි කොළ පැහැති තණකොළ තිබූ අතර, එය කන්ද පුරාම පැතිරී තිබිණි. එසේම හය වැනි කන්ද බෑවුම්වලින් පිරී පැවතුණු මිටියාවතක් විය. එම බෑවුම් ඇතැම් ඒවා කුඩා වූ අතර, ඇතැම් ඒවා විශාල විය. එසේම එම බෑවුම් මිටියාවත්වල වගාවක් තිබිණි. එහෙත් එම වගාව ඉතා හොඳ මට්ටමේ නොතිබිණි. ඒවා මැලවී තිබුණාක් මෙන් පෙනුණි. හත්වන කන්දෙහි මල් පිපෙමින් තිබූ සාරවත් වගාවක් විය. එසේම මුළු කන්දම ඉතා හොඳින් සරු වී තිබිණි. එම කන්දෙහි සැම වර්ගයකම සිවුපාවුන්ට සහ කුරුල්ලන්ට කෑම තිබිණි. එම සිවුපාවුන් සහ කුරුල්ලන් වැඩි වැඩියෙන් කෑ තරමට, එම කන්දෙහි වූ වගාව තව තවත් සරුවට වැඩිණි. අට වන කන්ද සම්පූර්ණයෙන්ම උල්පත්වලින් පිරී තිබිණි. එම කන්දෙහි වූ උල්පත්වලින් ස්වාමින් වහන්සේගේ මැවිල්ලේ සියලුම සත්තු වතුර බීවෝය. නව වන කන්දෙහි මඳක් හෝ වතුර නොවීය. එය සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් තිබිණි. එහි මිනිසුන් විනාශයට පත් කළ වන මෘගයෝ සහ විෂඝෝර සර්පයෝ සිටියෝය. දහ වන කන්දෙහි ඉතා විශාල ගස් තිබූ අතර, එය සම්පූර්ණයෙන්ම සෙවණ සහිත විය. එහි සෙවණෙහි බැටළුවෝ විවේක ගනිමින් සහ ඔවුන්ගේ වමාරා කමින් සිටියෝය. එකොළොස්වන කන්ද සැම තැනම ඝනකම් දැවයෙන් පිරී පැවතිණි. එම ගස් ඉතාම ඵලදායී විය. එකිනෙක ගස්වල විවිධ ආකාරයේ පලතුරු විය. එසේ වූයේ ඒවා දකින ඕනෑම අයෙකුට ඒවායෙහ් පලතුරු කෑමට අවශ්‍ය වන පිණිසය. එසේම දොළොස්වන කන්ද සම්පූර්ණයෙන්ම සුදු පැහැති විය. එසේම එහි පෙනුම ඉතාම දීප්තිමත් විය. එම කන්දත්, එහි පෙනුමත් අතිශයින්ම අලංකාර විය.

කුලුන ගොඩනැගීම

79 තැනිතලාව මධ්‍යයෙහි තැනිතලාව කෙරෙන් මහත් වූ සුදු පර්වතයක් නැගී එන ආකාරය ඔහු මට පෙන්වීය. එසේම එම පර්වතය සියලුම කඳුවලට වඩා උසින් වැඩි වූ අතර, එය කොටුවක ආකාරයේ විය. එසේ වූයේ එයට මුළු ලෝකයම දරාගත හැකි වන පිණිසය. එසේම පර්වතය පැරණි එකක් විය. එයින් කැපූ දොරක් මතු වී පැමිණියේය. එහෙත් එම දොර මට පෙනුණේ එය ළඟකදී කැපූ දොරක් ලෙසය. එසේම එම දොර ඉරටත් වඩා ඉතාම දීප්තිමත්ව බැබළිණි. එම නිසා මම එම දොරෙහි දීප්තිමත් බව පිළිබඳ විස්මයට පත් වුණෙමි. එම දොර වටා කන්‍යාවෝ දොළොස් දෙනෙක් සිටගෙන සිටියෝය. කොන්වල සිටි හතර දෙනා වඩා මහිමාන්විත (අනෙක් අයද මහිමාන්විත වූ නමුත්) අය වූ බව මට පෙනුණි. ඔවුහු දොරෙහි හතර පැත්තෙහි සිටිගෙන සිටියෝය. ඔවුන් සිටියේ ඔවුන් එකිනෙකා අතර තවත් කන්‍යාවන් දෙදෙනෙකු සමගය. ඔවුහු හණ රෙදිවලින් සැරසී සිටි අතර, එම ඇඳුම් ඔවුන් වටා ඉණ පටි මෙන් එතී තිබිණි. ඔවුන්ගේ දකුණු උරහිස වැසී නොතිබිණි. එය ඔවුන් යම් බරක් ඔසවාගෙන යන්නට නියමිතව තිබුණාක් මෙන් විය. එම ආකාරයෙන් ඔවුන් සූදානම්ව සිටි අතර, ඔවුහු ඉතාම ප්‍රසන්න සහ උද්යෝගයෙන් යුක්තව සිටියෝය. දේවල් දැකීමෙන් අනතුරුව මම පුදුමයට පත් වීිමි. මන්ද මා ඉතාම ශ්‍රේෂ්ඨ සහ මහිමාන්විත දේවල් දකිමින් සිටි බැවිනි. පසුව නැවතත් කන්‍යාවන් හේතුකොටගෙන අවුල් සහගත බවට පත් වීමි. මන්ද ඔවුන් ඉතාම විශිෂ්ට වූවත්, ඔවුන් සම්පූර්ණ ස්වර්ගයම ඔසවන්නට අභිප්‍රාය කරන්නාක් මෙන් ඔවුහු නිර්භීත ලෙස සිටගෙන සිටියහ. එවිට එඬේරා මට මෙසේ පැවසුවේය. “ඔබ ඔබ තුළම විවාද කරන්නෙත් අවුල් සහගත බවට පත්ව සිටින්නේත්, ඔබ කරදරයට පත් කරගෙන සිටින්නේත් මන්ද? ඔබ බුද්ධිමත් කෙනෙකු මෙන් ඔබට අවබෝධ කරගැනීමට නොහැකි කාරණා පිළිබඳ අවබෝධ කරගැනීමට උත්සහා නොකරන්න. එහෙත් ඒවා අවබෝධ කරගැනීමට ඔබට බුද්ධිය ලබා දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින්න. ඔබට පිටුපසින් තිබෙන්නේ කුමක්දැයි දැනගැනීමට ඔබට නොහැකිය. එහෙත් ඔබ ඉදිරියෙහි ඇති දේ ඔබට පෙනෙයි. ඔබට නොපෙනෙන දේ සම්බන්ධ සිතීම අතහැර දමන්න. ඔබ ඒ පිළිබඳ කරදර නොවන්න. එහෙත් ඔබට පෙනෙන් දේවල් සම්බන්ධයෙන් උනන්දුවෙන් දැනගන්න. අනිකුත් සියලු කාරණා පිළිබඳ සැලකිල්ලක් නොදක්වන්න. එහෙත් මා ඔබට පෙන්වූ සියලු දේම මා ඔබට පැමැදිලි කර දෙන්නම්. එම නිසා, ඉතා සැලකිල්ලෙන් අවදිව සිට විවේක ගන්න.”

80 මිනිසුන් හය දෙනෙකු පැමිණ සිටින බව මම දුටුවෙමි. ඔවුහු ඉතා උස, මහිමාන්විත අය වූ අතර, ඔවුන්ගේ පෙනුම එකිනෙකාට සමාන විය. ඔවුහු මහත් වූ සංඛ්‍යාවක් මනුෂ්‍යයින් කැඳවූහ. එසේම එහි පැමිණි අයද උස, කඩවසම් සහ බලවත් මනුෂ්‍යයෝ වූහ. එවිට කලින් පැමිණි මිනිස්සු හය දෙනා පර්වතය මත කුලුනක් ගොඩනගන්නට එම මිනිසුන්ට නියෝග කළහ. එවිට කුලුන ඉදි කරන්නට පැමිණි අය වෙතින් මහත් ඝෝෂාවක් ඇති විය. එයට හේතු වූයේ ඔවුන් දොර අසලින් ඒ අතටත් මේ අතටත් දිය ගිය හෙයිනි. එසේම දොර අසල සිටගෙන සිටි කන්‍යාවෝ ඔවුන්ට කුලුන ගොඩනැගීම ඉක්මනින් සිදු කරන්නට පවසමින් සිටියහ. එසේම කන්‍යාවෝ එම මනුෂ්‍යයින්ගෙන් යමක් ලබන්නට යන අය මෙන් තමුන්ගේ අත් ඔවුන් දෙසට විදහාගෙන සිටියෝය. මිනිස්සු හය දෙනා ගල්වලට යම් ගැඹුරු ස්ථානයක සිට එහි පැමිණීමටත්, පසුව ඒවා කුලුනෙහි නිසි ව්‍යුහය තුළ තැන්පත් වීමටත් අණ කළහ. එහිදී කොටු හැඩය ඇති, පිරිමැද තිබූ සහ නොකපන ලද ගල් දහයක් එහි පැමිණියේය. එවිට මිනිස්සු හය දෙනා කුලුනෙහි ව්‍යුහයට යාමට නියමිත සියලුම ගල් එකතු කර රැස්කරගන්නා මෙන් සහ ඒවා දොර තුළින් අනෙක් අයට යැවීමටත්, ඒවා කුලුන ගොඩනගන්නට සිටින මිනිසුන්ගේ අතට පත් කිරීමටත් කන්‍යාවන්ට අණ කළහ. එවිට කන්‍යාවෝ ඉතා ගැඹුරු ස්ථානයකින් මතු වූ ගල් දහය රැගෙන ඒවා එක මත එක තබා සියලු දෙනාම එක ගලින් ගල ඔසවාගෙන ගියහ.

81 ඔවුන් දොර වටා සිටගෙන සිටි එම අනුපිළිවෙළටම, එයින් ශක්තිමත්ම කෙනා මෙන් පෙනුණු කෙනා ගල් ඔසවාගෙන එහි කෙළවරට රැගෙන ගියේය. එවිට අනෙක් අය ගල් ඔසවාගෙන එහි පැතිවලට රැගෙන ගියහ. ඔවුන්ට අණ කර තිබූ ආකාරයටම ඔවුහු එම ගල් දොරටුව තුළින් ඔසවාගෙන ගියහ. පසුව ඒවා කුලුන සැදීම සඳහා මනුෂ්‍යයින්ට භාර දුන්හ. එම මනුෂ්‍යයෝ ඒවා රැගෙන කුලුන ගොඩනැගූහ. කුලුන මහත් පර්වතය මත සහ දොරට ඉහළින් ගොඩනගන ලද්දේය. එම නිසා, එම ගල් දහය එකිනෙකට ඉතා හොඳින් ගැළපුණි. එසේම ඒවා සම්පූර්ණ පර්වතයම ආවරණය කළේය. එම ගල්වලින් කුලුන ගොඩනැගීම උදෙසා වන අත්තිවාරම සකස් කෙරිණි. පර්වතය සහ දොරටුව සමස්ත කුලුන දරාගෙන එයට උපකාරයක් ලෙස සිටියේය. මෙම ගල් දහයට පසුව, තවත් ගල් විසි පහක් ගැඹුරින් මතු වී ආයේය. එම ගල් කුලුනෙහි ව්‍යුහයට හොඳින් ගැළපුණි. ඒවා කලින් ගල් රැගෙන ගිය ආකාරයටම කන්‍යාවන් විසින් ඔසවාගෙන එන ලදී. ඒවාට පසුව තවත් ගල් තිස් පහක් මතු වී පැමිණි අතර, ඒවාද කුලුනට ඉතාම හොඳින් ගැළපුණි. මේවාට පසුව තවත් ගල් හතළිහක් මතු වී ආවේය. මේ ගල් සියල්ලම කුලුනෙහි ව්‍යුහයට එක් කරන ලදී. ඒ ආකාරයට ස්ථර හතරක් කුලුනෙහි අත්තිවාරමට දමන ලදී. එයින් පසුව ගැඹුරු ස්ථානයෙන් ගල් මතු වී පැමිණීම නතර විය. එසේම ගොඩනගන්නෝද මඳ කලකට ඉදිකිරීම් නතර කළෝය. එයට පසුව මිනිස්සු හය දෙනා බොහොමයක් වූ අනෙක් මනුෂ්‍යයින් කැඳවා, කුලුන ඉදි කිරීම පිණිස කඳුකරයෙන් ගල් රැගෙන එන ලෙස අණ කළහ. එසේ විවිධ වර්ණවලින් යුත් ගල් සියලුම කඳුවලින් ගෙනෙන ලද්දේය. ඒවා මනුෂ්‍යයින් විසින් කැණීම් කර, නියමිත ආකාරයට කපන ලදුව කන්‍යාවන් වෙත භාර දෙන ලදී. කන්‍යාවෝද ඒවා ඔවුන්ගෙන් රැගෙන ඔසවාගෙන දොර තුළින් ගොස් ඒවා කුලුන ඉදිකිරීම පිණිස භාර දුන්හ. ඒ ආකාරයට විවිධ වූ ගල් එම ගොඩනැගිල්ලට සම්බන්ධ කරන ලද කල, ඒවායෙහි විවිධ පැහැයන් නැති වී ගොස් ඒවා සියල්ලම සුදු පැහැයට හැරුණි. එහෙත් ගොඩනැගිල්ලට මිනිසුන් විසින් ගෙන එන ලද ඇතැම් ගල් දීප්තිමත් පැහැයට හැරුණේ නැත. ඒවා එම ගොඩනැගිල්ලට සවි කරන ලද පසුවත් ඒ පැහැයෙන්ම පැවතිණි. එයට හේතුව ඒවා කන්‍යාවන් විසින් භාර දෙනු නොලැබූ බැවිනුත්, ඒවා දොරටුව තුළින් ගෙන එනු නොලැබූ බැවිනුත්ය. ඒ නිසා මෙම ගල්, කුලුන ගොඩනැගීම උදෙසා භාවිත කිරීමට නොගැළපෙන තත්වයේ තිබිණි. කුලුනට නොගැළපෙන ගල් ගොඩනැගිල්ලෙහි තිබෙන බව මිනිසුන් හය දෙනා දුටු කල, ඒවා එතැනින් ඉවත් කර, ඒවා එම ගල්වලට නියමිත ස්ථානයට, එනම් ඒවා රැගෙන ආ ස්ථානයටම නැවතත් ඒවා ගෙන යන මෙන් ඔවුහු අණ කළහ. එසේම ගල් රැගෙන එන මිනිසුන් හට ඔවුහු මෙසේ පැවසූහ. “ඔබ මෙම ගොඩනැගිල්ල තුළට ඕනෑම ආකාරයේ ගලක් රැගෙන කිසිසේත්ම නොපැමිණිය යුතුය. ඔබ ඒවා තැබිය යුත්තේ කුලුන සමීපයේ පමණි. එවිට කන්‍යාවන්ට ඒවා ඔසවාගෙන දොර තුළින් ගොස් ගොඩනැගිල්ල වෙත භාර දීමට හැකි වනු ඇත. මන්ද ඒවා කන්‍යාවන්ගේ අත්වලින් ඔසවාගෙන දොරටුව තුළින් නොයන්නේ නම්, ඒවාට ඒවායෙහි වර්ණය වෙනස් කර ගැනීමට නොහැකිය. එම නිසා නිකරුණේ ශ්‍රමය නොවෙහෙසන්න,” යයි ඔවුහු අණ කළහ.

82 එසේ එදිනට කුලුනෙහි ඉදිකිරීම් අවසන් කරන ලදී. එසේ වූවද, කුලුන සම්පූර්ණයෙන්ම සාදා නිම වී නොතිබිණි. එය තව දුරටත් ඉදි කළ යුතුව පැවතිණි. එම ඉදිකිරීම් කටයුතු කලකට නතර කරන ලදී. එසේම මිනිස්සු හය දෙනා ගොඩනගන්නන් සියලු දෙනාට ඉදිකිරීම් මඳ කලකට නවතා දමා විවේක ගන්නා පිණිස අණ කළහ. එහෙත් ඔවුහු කන්‍යාවන්ට එම කුලුනෙන් ඉවත් නොවී සිටින මෙන් අණ කළහ. ඒ කුලුන මුර කිරීම පිණිස යයි මට පෙනුණි. ඔවුන් සියලු දෙනාම වැඩ නතර කළ පසුව සහ විවේකයෙන් පසු වන කල, මම බැටළු එඬේරාට කතා කළෙමි. “මහත්මයා, මෙම කුලුනේ ඉදිකිරීම් කටයුතු අවසන් වී නැත්තේ ඇයි?” ඔහු මෙසේ කීවේය. “කුලුනෙහි ස්වාමියා පැමිණෙන තුරු සහ ඔහු එම ගොඩනැගිල්ල පරීක්ෂා කර බලන තුරු එය සම්පූර්ණ කිරීමට නොහැකිය. එවිට එක් ගලක් හෝ කැඩී බිඳී පලුදු වී ඇති බව පෙනුණොත් ඔහු ඒවා වෙනුවට වෙනත් ගල් යොදනු ඇත. මන්ද කුලුන ගොඩනගනු ලබන්නේ ඔහුගේ කැමැත්තට අනුව වන බැවිනි.” මම මෙසේ කීවෙමි. “මෙම කුලුන ගොඩනැගීමෙන් අර්ථවත් වන්නේ කුමක්ද කියා මා දැනගන්නට කැමතියි මහත්මයා. එසේම පර්වතය සහ දොරටුව පිළිබඳවත්, කඳු සහ කන්‍යාවන් පිළිබඳවත් දැනගන්නට කැමතියි. එහෙත් ඒ ආකාරයෙන්ම ගොඩනැගිල්ලට සවි කරන ලද අතින් නොකැපූ ගල් පිළිබඳවත් දැනගන්නට කැමතියි. එමෙන්ම පළමුවෙන්ම පැමිණි ගල් දහය අත්තිවාරමට සවි කළේ මන්ද යන්නත්, පසුව ගල් විසි පහක්, එයට පසුව ගල් තිසි පහක් සහ හතළිහක් ලෙස එහි පැමිණි ගල් පිළිබඳවත්, එසේම ගොඩනැගිල්ලට සවි කරන ලද, එහෙත් නැවත ඉන් ගලවා ඉන් ඉවත් කරන ලද සහ තිබූ ස්ථානයටම නැවතත් ගොස් දමන ලද ගල් පිළිබඳවත් එසේ කළේ මන්ද යන්න දැනගැනීමට මා කැමතියි. මගේ ප්‍රාණය ඒ සියලු දේ සම්බන්ධයෙන් දැනගෙන විවේකයක් ලබන පිණිස ඒවා මට පැහැදිලි කර දෙන්න, මහත්මයා.” ඔහු මෙසේ කීවේය. “ඔබගේ මේ දැනගැනීමට ඇති ආශාව හුදෙක් කුතුහලයකට වඩා වැඩි දෙයක් නම්, ඔබ සියල්ලම දැනගන්නවා ඇත. මන්ද තව ටික දිනකින් අපි මෙහි පැමිණෙන්නෙමු. එහිදී මේ කුලුනට සිදු වන්නට යන අනෙක් කාරණා සියල්ල ඔබ දැනගන්නවා ඇත.” එසේ ටික දිනකට පසුව අප හිඳගෙන හුන් එම ස්ථානයටම අපි නැවත පැමිණියෙමු. එහිදී ඔහු මට මෙලෙස පැවසුවේය. “අපි කුලුනට යමු. මන්ද කුලුනෙහි හිමිකරුවා එය පරීක්ෂා කිරීම පිණිස පැමිණෙන්නේය.” එසේ අපි කුලුන වෙත ගියෙමු. ඒ අසල කන්‍යාවන් හැරුණුකොට වෙන කිසිවෙකු සිටියේ නැත. කුලුනෙහි හිමිකරුවා පැමිණ ඇත්දැයි එඬේරා ඔවුන්ගෙන් විමසුවේය. ඔහු දැන් කුලුන පරීක්ෂා කිරීම පිණිස පැමිණීමට ආසන්න බව ඔවුහු අපට කීවෝය.

83 බලව, ටික වේලාවකට පසුව බොහෝ වූ මිනිසුන් කණ්ඩායමක් පැමිණෙනු මම දුටුවෙමි. ඔවුන් අතර ඉතා උසින් යුත් මනුෂ්‍යයෙකු සිටි අතර, ඔහුගේ උස කුලුනටත් වඩා වැඩිය. ගොඩනැගිල්ල අධීක්ෂණය කළ මිනිස්සු හය දෙනා ඔහු සමග ඔහුගේ දකුණු පසින් සහ වම් පසින් ගමන් කරමින් සිටියෝය. එසේම ඔහු සමග ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සියලුම දෙනා සිටියෝය. එමෙන්ම ඔහු වටා වෙනත් බොහෝ වූ මහිමාන්විත පැවැත්මවල් සිටියෝය. එසේම කුලුන රැක බලාගෙන සිටි කන්‍යාවෝ ඔහු වෙතට දුවගෙන විත් ඔහු සිම්ඹෝය. පසුව ඔහු පසුපසින් කුලුන වටේට ඇවිදින්නට වූහ. එම මිනිසා ඉතාම පරෙස්සමින් ගොඩනැගිල්ල අධීක්ෂණය කළේය. එසේ කරන විට ඔහුට එම එකිනෙක ගල හොඳින් දැනුණේය. එසේම ඔහු තමාගේ අතේ සැරයටියක් තබාගෙන සිටියේය. එයින් එම ගොඩනැගිල්ලට සවි කර තිබූ එකිනෙක ගලට ගැසුවේය. එසේ ඔහු ගල්වලට ගසන කල, ඇතැම් ඒවා තද කළු පාටට හැරුණි. ඇතැම් ඒවා රළු විය. ඇතැම් ඒවා කැඩී පලුදු විය. ඇතැම් ඒවා ඉතාම කොට විය. ඇතැම් ඒවා සුදු පාට හෝ කළු පාට නොවී වෙනස් පැහැයක් ගත්තේය. එසේම ඇතැම් ගල් එහි තිබූ අනෙක් ගල්වලට නොගැළපෙන ආකාරයේ වෙනස් ඒවා විය. ඇතැම් ඒවායෙහි ඉතා නරක ලෙස කැළැල් ඇති වී තිබිණි. මේවා ගොඩනැල්ලෙහි හමු වූ ගල්වල විවිධාකර වූ පලුදුවීම් සහ කැළැල් තත්වයන් විය. එම නිසා එම ගල් සියල්ල කුලුනෙන් ගලවා ඉවත් කර කුලුන සමීපයේ තබන ලෙස සහ වෙනත් ගල් ගෙනැවිත් කලින් තිබූ ගල් වෙනුවට සවි කිරීමට ඔහු නියෝග කළේය. එවිට කුමන කඳුකරයෙන් ගල් ගෙනැවිත් එහි සවි කරනවාට ඔහුට අවශ්‍යද යන්න ගොඩනගන්නෝ ඔහුගෙන් ඇසුවෝය. එහෙත් ඔහු ඔවුන්ට කඳුවලින් ගල් ගෙන එන්නට නියෝග නොකළේය. ඒ වෙනුවට එහි සමීපයේ වූ තැනිතලාවකින් ගල් ගෙනෙන්නට ඔහු ඔවුන්ට නියෝග කළේය. එම තැනිතලාව කැණීම් කරන ලදී, ඉතාම වටිනා කොටු හැඩයේ ගල් එහි තිබී හමු විය. එහෙත් ඇතැම් ගල් රවුම් හැඩැති ඒවා විය. තැනිතලාවෙන් හමු වූ සියලුම ගල් එහි ගෙනෙන ලදුව කන්‍යාවන් විසින් දොර තුළින් ඒවා ගෙන යන ලදී. කොටු හැඩැති ගල් සකස් කර ඉවත් කරන ලද ගල් තිබූ ස්ථානවලට සවි කරන ලදී. එහෙත් රවුම් හැඩැති ඒවා ගොඩනැගිල්ලේ සවි නොකරන ලදී. එයට හේතුව වූයේ ඒවා හැඩගැන්වීමට බොහෝ අපහසු වූ බැවින් සහ එයට දීර්ඝ කාලයක් ගත වූ බැවිනි. එසේ ඒවා හැඩගන්වන ලදුව ගොඩනැගිල්ලට සවි කරන්නට මෙන් කුලුන සමීපයේ තබන ලදී. මන්ද ඒවා අතිශයින්ම වටිනා ඒවා විය.

84 එසේ, සමස්ත කුලුනෙහිම ස්වාමියා වූ මහිමාන්විත මනුෂ්‍යයා මේ දේවල් සිදු කර අවසාන වීමෙන් පසුව, ඔහු එඬේරාට කතා කොට ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලද සියලුම ගල් සහ කුලුන සමීපයේ තබා ඇති සියලුම ගල් ඔහුට භාර දී ඔහුට මෙසේ පැවසුවේය. “මෙම ගල් ඉතා පරෙස්සමින් පිරිසිදු කරන්න. අනෙක් ඒවා සමග ගැළපෙන ගල් කුලුන ඉදිකිරීමට භාවිත කරන්න. එහෙත් නොගැළපෙන ඒවා කුලුනෙන් එපිටට බොහෝ ඈතට විසි කර දමන්න.” එඬේරාට මේ අණ දුන් පසුව, ඔහු තමන් සමඟ පැමිණි සියල්ලන් සමඟ කුලුනෙන් පිටව ගියේය; කන්‍යාවෝ කුලුන වටේ සිටගෙන ඒ දෙස බලා සිටියහ. මම එඬේරා හට මෙසේ කීවෙමි. “මෙම ගල් ඒවා ප්‍රතිතික්ෂේප වීමෙන් පසුව නැවතත් කුලුනට සවි කිරීමට යන්නේ කෙසේද?” ඔහු මට පිළිතුරු දෙමින් මෙසේ කීවේය, ” ඔබට මේ ගල් පේනවාද,? ” “මට ඒවා පේනවා, මහත්මයා,” මම කීවෙමි. “මම,” මෙම ගල්වලින් බහුතරයක් කපා සකස් කර ගොඩනැගිල්ලට දමන්නෙමි, එවිට එම ගල් අනෙක් ගල්වලට හොඳින් ගැළපෙයි.” “ඒ කොහොමද මහත්මයා, ඒවා කපා සකස් කළ පසුවත් එම හිඩැස පුරවන්නේ කොහොමද? ” මම ඇසුවෙමි.  ඔහු මට පිළිතුරු දෙමින් මෙලෙස කීය. “කුඩා යැයි පෙනෙන ඒවා ගොඩනැගිල්ල මැද තබනු ලබනවා ඇත. එහෙත් විශාල ඒවා පිටත සවි කරනු ලබන අතර, ඒවා කුඩා කල්වලට ආධාරකයක් වනු ඇත. ” මේ දේවල් මට පැවසීමෙන් අනතුරුව, ඔහු මට මෙසේ කීවේය. “අපි දැන් යමු. දවස් දෙකකින් පැමිණ අපි නැවත පැමිණ එම ගල් පිරිසිදු කර, ඒවා ගොඩනැගිල්ලට සවි කරමු. මන්ද ස්වාමියා අනපේක්ෂිත ලෙස පැමිණ කුලුන අවට ඇති දේවල් අපිරිසිදු බව දැක එයින් කෝපයට පත් නොවන පිණිස කුලුන අවට ඇති සියල්ල පිරිසිදු කළ යුතුය.  එවිට මෙම ගල් කුලුන ඉදිකිරීමට නොගනු ඇත. එසේම මා මාගේ ස්වාමියාගේ ඇස් හමුවේ නොසැලකිලිමත් අයෙකු බව පෙනෙනු ඇත.” දින දෙකකට පසු අපි කුලුන වෙත පැමිණියෙමු. ඔහු මට කතා කොට මෙසේ කීය. “අපි සියලුම ගල් පරීක්ෂා කර බලමු, ගොඩනැගිල්ලට ඇතුළු විය හැකි ඒවා බලමු. එසේ ඒවායින් කුමන ගල් කුලුනට සවි කිරීිමට හැකිදැයි බලමු.” මම ඔහුට මෙසේ කීවෙමි. , “අපි ඒවා පරීක්ෂා කර බලමු, මහත්මයා.”

ගල් පරීක්ෂා කිරීම

85 එසේ අපි මුලින්ම කළු පැහැති ගල්වලින් පටන්ගෙන ගල් පරීක්ෂා කළෙමු. ඒවා ගොඩනැගිල්ලෙන් රැගෙන යන විට තිබූ තත්ත්වයේම තිබූ බව පෙනී ගිය අතර, එඬේරා ඒවා කුලුනෙන් ඉවත් කර පිටතට රැගෙන යාමට නියෝග කළේය. ඉන්පසු ඔහු රළු ඒවා පරීක්ෂා කර බැලුවේය. ඒවායින් බොහොමයක් රැගෙන කපා සකස් කර, ඒවා රැගෙන ගොඩනැගිල්ලේ සවි කරන ලෙස කන්‍යාවන්ට අණ කළේය. කන්‍යාවෝ ඒවා රැගෙන කුලුන මැද, ගොඩනැගිල්ලේ සවි කළෝය. එහෙත් ඉතිරි ඒවා කළු පැහැති ගල් සමග තැබීමට ඔහු නියෝග කළේය. එයට හේතුව මේවාද කළු පාට බව පෙනුණු නිසාය. ඉන්පසු ඔහු ඉරිතලා ගොස් ඇති ගල් පරීක්ෂා කර, ඒවායින් බොහොමයක් කප සකස් කර, කන්‍යාවන්ට ඒවා ගොඩනැගිල්ලට ගෙන යන ලෙස නියෝග කළේය. තවද ඒවා වඩා ශක්තිමත් බව පෙනී ගිය නිසා ඒවා පිටතින් තබන ලදී. එහෙත් ඉරිතැලීම් විශාල සංඛ්‍යාවක් තිබූ නිසා ඉතිරි කොටස කපා සකස් කිරීමට නොහැකි වූ අතර, මේ හේතුව නිසා කුලුන ඉදිකිරීම සඳහා ගැනීමෙන් ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව ඔහු ඉතා කෙටි ඒවා පරීක්‍ෂා කළ අතර, ඒවා අතර කළු පැහැති බොහෝ ගල් තිබුණි. එමෙන්ම සමහර ඒවායෙහි විශාල ඉරිතැලීම් ඇති වී ඇති තිබූ අතර, ඒවා ද ඉවත දැමූ ඒවා සමග තැබීමට ඔහු නියෝග කළේය. එහෙත් ඔහු ඉතිරි වූ ඒවා පිරිසිදු කර කපා සකස් කළේය. පසුව ඒවා ගොඩනැගිල්ලේ තැබීමට නියෝග කළේය. එබැවින් කන්‍යාවෝ ඒවා ඔසවාගෙන ගොස් ඒවා තරමක් දුර්වල බැවින් කුලුනේ ව්‍යුහය මැදට සවි කළෝය. ඉන්පසු ඔහු අඩක් සුදු සහ අඩක් කළු පැහැති ඒවා පරීක්ෂා කළේය. ඒවායින් බොහෝ ගල් දැන් කළු පැහැති බව පෙනෙන්නට විය. ඉවත දැමූ ඒවා සමග මේවාද රැගෙන යන ලෙස ඔහු නියෝග කළේය. එහෙත් ඉතිරි ඒවා සියල්ලම කන්‍යාවන් විසින් රැගෙන යන ලදී, මන්ද ඒවා සුදු පැහැති වූ අතර, කන්‍යාවන් විසින්ම ඒවා ගොඩනැගිල්ලට සවි කරන ලදී. ඒවා පිටතින් තබන ලද අතර, එයට හේතුව ඒවා හොඳ බව ඔප්පු වූ නිසාත්, මැදින් සවි කළ කුඩා ගල්වලට ඒවාට ආධාර කළ හැකි නිසාත්ය. මන්ද ඒවායින් එකක්වත් ඉතා කෙටි නොවීය. ඉන්පසු ඔහු දැඩි, අසමාන ගල් පරීක්ෂා කළේය. ඒවායින් කිහිපයක්, ඒවා ඉතා තද බව ඔප්පු වූ නිසා ඒවා කපා සකස් කළ නොහැකි නිසා ඉවතට විසි කරන ලදී. එහෙත් ඉතිරි ඒවා තරමක් දුර්වල ගල් වූ බැවින් කන්‍යාවන් විසින් කපා සකස් කරන ලදුව, ඒවා කුලුනෙහි ව්‍යුහයේ මැදට සවි කරන ලදී. ඉන්පසු ඔහු කැළැල් සහිත ගල් පරීක්ෂා කළේය. ඉන් කිහිපයක් කළු පැහැයට හැරුණු අතර, ඉතිරි ඒවා සමග ඉවතට විසි කරන ලදී. එහෙත් ඉතිරි ගල් දීප්තිමත් හා හොඳ ඒවා වූ අතර, ඒවා කන්‍යාවන් විසින් ගොඩනැගිල්ලට සවි කරන ලදී. ඒවායෙහි වූ ශක්තිමත් බව නිසා ඒවා පිටත සවි කරන ලදී.

86 අවසානයේදී වටකුරු සුදු ගල් පරීක්ෂා කිරීමට ඔහු පැමිණියේය. ඔහු මෙසේ කීවේය. “මේ ගල්වලට අප කුමක් කළ යුතුද?” “මා එය දන්නේ කොහොමද, මහත්මයා?” මම පැවසුවෙමි. “එසේ නම් ඔබට එහි කිසි දෙයක් පෙනෙන්නේ නැහැ නේද? ” “මහත්මයා, මට මේ කුසලතාව නැහැ, මම ගල් කපා හැඩකරන්නෙකු නොවෙමි, එසේම එය මට තේරුම් ගැනීමටද නොහැකිය,” යයි මම කීවෙමි. “ඒවා ඉතා වටකුරු බව ඔබට පෙනෙන්නේ නැද්ද? මට ඒවා හතරැස් හැඩයට පත් කිරීමට අවශ්‍ය නම්, ඒවායින් විශාල ප්‍රමාණයක් කපා දැමිය යුතුයි නේද? එහෙත් ඒවායින් සමහරක් අවශ්‍යයෙන්ම ගොඩනැගිල්ලේ තැබිය යුතුය,” යයි ඔහු කීවේය. “මහත්මයා ඒවා එහි තැබීම අවශ්‍ය දෙයක් නම්, ඔබ ඔබටම පීඩා කරගන්නේ ඇයි? ගොඩනැගිල්ල සඳහා ඔබට අවශ්‍ය ඒවා ඔබ තෝරා ගෙන එයට සවි නොකරන්නේ මන්ද? ” මම කීවෙමි. ඔහු ඒවායින් විශාල සහ දීප්තිමත් ඒවා තෝරාගත්තේය. පසුව ඒවා කපා සකස් කළේය. කන්‍යාවෝ ඒවා රැගෙන ගොඩනැගිල්ලේ පිටත කොටසෙහි සවි කළෝය. එහෙත් ඉතිරි ගල් රැගෙන ඒවා ගෙනා තැනිතලාවේම නැවතත් තබන ලදී. කෙසේ වෙතත්, ඒවා විසි කර ඉවත දැමුවේ නැත. “මන්ද, තවමත් කුලුනෙහි කොටසක් ඉදි කිරීමට ඉතිරිව ඇත. තවද කුලුනෙහි ස්වාමියා මෙම ගල් ගොඩනැගිල්ලට සවි කිරීමට වඩාත් උත්සුක වන්නේය. එයට හේතුව ඒවා ඉතා දීප්තිමත් වන නිසාය,” ඔහු පැවසීය කළු වස්ත්‍ර හැඳ, බඳ පටි බැඳ, උරහිස් නිරුවත්, හිසකෙස් නිදහසේ කඩා දමා තිබූ අසාමාන්‍ය ලෙස රූමත් වූ ස්ත්‍රීහු දොළොස් දෙනෙකු කැඳවනු ලැබූහ. මේ කාන්තාවන් ඉතාම බිහිසුණු ආකාරයට මට පෙනිණි. ගොඩනැගිල්ලෙන් ඉවත ලන ගල් රැගෙන ඒවා ගෙනෙන ලද කඳුකරයටම නැවතත් ගෙන යන ලෙස එඬේරා ඔවුන්ට අණ කළේය. ඔව්හු ප්‍රීතියෙන් ගල් සියල්ල ගෙන එයින් ඉවත් කර ඒවා ගෙන ආ ස්ථානයටම නැවතත් ගෙන ගොස් තැබුවෝය. ගල් සියල්ලම ආපසු ගෙන ගියපසුව, එක ගලක්වත් කුලුන වටා නොතිබූ අතර, එඬේරා මට කතා කොට මෙසේ කීවේය. “අපි කුලුන වටේට ගොස්, එහි යම් දෝෂයක් තිබේදැයි බලමු.” එසේ මම ඔහු සමග කුලුන වටේට ගියෙමි. එඬේරා කුලුනෙහි ව්‍යුහය අලංකාර බව දුටු විට ඔහු අතිශයින්ම සතුටට පත් විය. මන්ද කුලුන කෙතරම් හොඳින් ගොඩනගා ඇත්ද යන්න තිවහොත්, එය දුටු විට මම එහි ඉදිකිරීම් අගය කළෙමි. එය එක් ගලකින් කපනු ලැබුවාක් සේ එක බද්ධ කිරීමක් හෝ නොමැතිව එය ගොඩනගා තිබිණි. එසේම එම ගල පර්වතයෙන් මතුව ආ අතින් නොකැපූ ගලක් මෙන් පෙනුණි. මට පෙනුණේ ඒ සියල්ල එක ගලක් ලෙසය.

හර්මස් සහ කන්‍යාවන්

87 මා ඔහු සමග ගමන් කරන කල, ඉතා සුන්දර දසුනක් දැකීම පිළිබඳ මම සතුටට පත් වීමි. එඬේරා මට මෙසේ කීවේය: “යන්න, ගොස් බදාමයක් සහ සිහින් කැඩුණු වළං කැබැල්ලක් ගෙන එන්න, එවිට ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති ගල්වල සලකුණු පුරවා, ඒවා ගොඩනැගිල්ලට සවි කිරීමට ගැනීමට මට හැකි වනු ඇත. මන්ද කුලුන වටේට සුමට විය යුතුය.” ඔහු අණ කළ පරිදි මම ඒවා ඔහු වෙතට ගෙන ආවෙමි. “මට උදව් කරන්න, එවිට ඉක්මනින් වැඩ අවසන් වනු ඇත,” යයි ඔහු පැවසුවේය. එසේ ඔහු ගොඩනැගිල්ලට සවි කර ඇති ගල්වල සලකුණු පුරවා, කුලුන අවට ප්‍රදේශය අතුගා පිරිසිදු කිරීමට නියෝග කළේය. කන්‍යාවෝ කොසු රැගෙන අතුගා, කුලුනෙහි තිබූ සියලුම කුණු ඉවත් කර දැමුවෝය. පසුව වතුර ටිකක් ඉස්සෝය. එවිට කුලුන තිබූ ස්ථානය දර්ශනීය හා ආකර්ෂණීය විය. එඬේරා මට කතා කොට මෙසේ කීවේය. “දැන් සියල්ලම පිරිසිදු කර ඇත. ස්වාමින් වහන්සේ කුලුන දෙස බැලීමට පැමිණියහොත්, අපට දොස් පැවරීමට උන් වහන්සේට කිසිවක්ම නැත.” මේ කාරණා පැවසීමෙන් අනතුරුව ඔහු පිටත් වීමට සිතුවේය. එහෙත් මා ඔහුගේ උරහිසේ තිබූ බෑගය අල්ලාගෙන, ස්වාමින් වහන්සේ කරණකොටගෙන ඔහු මට පෙන්වූ දේ මට පැහැදිලි කරන ලෙස අයැදින්නට පටන් ගතිමි. ඔහු මට මෙසේ කීවේය. කාර්යබහුලයි, එහෙත් මම ඔබට සියල්ල පැහැදිලි කරන්නම්. මා එනතුරු මෙහි රැඳී සිටින්න.” මා ඔහුට කතා කොට මෙසේ කීවෙමි. “මහත්මයා, මා මෙහි තනිව සිටින විට කුමක් කරන්නද?” “ඔබ සිටින්නේ තනියම නොවේ. මන්ද මේ කන්‍යාවන් ඔබ සමග සිටිනවා ඇත,” කියා ඔහු කීවේය. එසේ නම් මා ඔවුන්ට භාර කරනන,” යයි මම කීවෙමි. එඬේරා ඔවුන් කැඳවා, ඔවුන්ට මෙසේ කීවේය. “මා ආපසු එනතුරු මේ මිනිසා ඔබට භාර කරමි.” තවද, මම කන්‍යාවන් සමග තනිව සිටියෙමි, ඔවුහු, විශේෂයෙන්ම පෙනුමෙන් වඩා තේජාන්විත සේ පෙනුණු හතර දෙනා මට වඩාත් ප්‍රසන්නව හා කරුණාවන්තව සැලකූහ.

88 “ එඬේරා අද මෙහි එන්නේ නැහැ” යයි කන්‍යාවෝ මට කීහ. “ඉතින් මා කුමක් කළ යුතුද?” මම ඇසුවෙමි. “ ඔහු එනතුරු සවස් වන තුරු රැඳී සිටින්න, ඔහු පැමිණියහොත් ඔහු ඔබ සමග කතා කරනු ඇත. එහෙත් ඔහු නොපැමිණියහොත්, ඔහු එන තුරු අප සමග රැඳී සිටින්න” ඔවුහු පැවසූහ. “මා සවස් වන තුරු ඔහු එනතුරු බලා සිටින්නම්; ඔහු නොපැමිණියේ නම්, මා ගෙදර ගොස් නැවත උදේට ආපසු එන්නම්”“ යයි ඔවුන්ට කීමි. එහෙත් ඔවුහු මට පිළිතුරු දෙමින් මෙසේ කීවෝය. “ ඔබ අපට භාර දෙනු ලැබ ඇත; ඔබට අප හැර යා නොහැකියි.” “එසේ නම් මා නවතින්නේ කොහේද?” මම ඇසුවෙමි. “ඔබ අප සමග නිදාගන්නවා ඇති.  ස්වාමිපුරුෂයෙකු ලෙස නොව, සහෝදරයෙකු ලෙස, මන්ද ඔබ අපේ සහෝදරයා නිසා, මෙතැන් සිට අපි ඔබ සමග ජීවත් වෙමු, අපි ඔබට බොහෝ සේ ආදරය කරමු.” ඔවුහු කීවෝය. එහෙත් ඔවුන් සමග සිටීමට මම ලජ්ජා වීමි. එවිට ඔවුන්ගේ නායිකාව ලෙස පෙනුණු තැනැත්තිය මා සිපගෙන මා වැලඳගන්නට පටන් ගත් අතර, ඇය මා වැලඳ ගන්නවා දුටු අනෙක් අයද මා සිපගෙන, මා කුලුන වටා ගෙන ගොස් මා සමග ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. මට ඔවුන් සමග සිටින විට තරුණ වූවාක් මෙන් පෙනිණි. පසුව මමද ඔවුන් සමග ක්‍රීඩා කරන්නට පටන් ගතිමි. එහි සමහරු ගායනා කරමින් එකට නැටූහ, සමහරු නටමින් සිටි අතර, තවත් සමහරු ගායනා කරමින් සිටියහ. එහෙත් මම ඔවුන් සමග කුලුන වටා ඇවිදිද්දී මම නිහඬව සිටියෙමි. සවස් වූ විට, මට ගෙදර යාමට අවශ්‍ය විය, එහෙත් ඔවුන් මට යාමට ඉඩ නොදී මා රඳවාගෙන සිටි අතර, මම ඔවුන් සමග රාත්‍රිය ගත කර, කුලුන අසල නිදා ගතිමි. තවද කන්‍යාවෝ ඔවුන්ගේ හණ රෙදි ඇඳුම් බිම අතුරා මා ඔවුන් මැද නිදා ගැනීමට සැලැස්සූහ. එසේම ඔවුහු යාච්ඤා කිරීම හැරුණු කල වෙන කිසිවක්ම නොකළෝය. එසේ මමත් ඔවුන් සමග ඔවුන් යාච්ඤා කළ තරමට නොඅඩු ලෙසින්, නොනවත්වාම යාච්ඤා කළෙමි. මම එසේ යාච්ඤා කිරීම සම්බන්ධයෙන් කන්‍යාවෝ සතුටු වූහ. මම පසුදා උදේ අට පමණ වන තුරු කන්‍යාවන් සමග එහි සිටියෙමි. එවිට එඬේරා පැමිණ, කන්‍යාවන්ට මෙසේ කීවේය. “ඔබ ඔහුට යම් හානියක් කළාද?” “ඔහුගෙන් අසන්න,” යයි ඔවුහු කීහ. එවිට මම ඔහුට මෙසේ කීවෙමි, “මහත්මයා, මම ඔවුන් සමග නැවතී සිටීම සම්බන්ධයෙන් සතුටට පත් වෙමි.” ඔහු මෙසේ ඇසීය. “ඔබ රාත්‍රී ආහාරය සඳහා ගත්තේ මොනවාද?” “මහත්මයා, මම මුළු රාත්‍රිය පුරාම ස්වාමීන් වහන්සේගේ වචන අනුභව කළෙමි,” මම කීවෙමි. “ඔවුන් ඔබට හොඳින් සැලකුවාද?” ඔහු ඇසුවේය. “ඔව් මහත්මයා,” මම කීවෙමි. “දැන් ඔබට පළමුවෙන් ඇසීමට අවශ්‍ය කුමක්ද?” යයි ඔහු ඇසුවේය. “මහත්මයා, මට මුල සිට කාරණා පෙන්නූ ආකාරයටම, මා ඔබෙන් අසන ආකාරයටම මට ඒවා පැහැදිලි කරන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා,” මම කීවෙමි. “ඔබ කැමති පරිදි, මම ඒවා ඔබට පැහැදිලි කරන්නෙමි, මා ඔබෙන් කිසිවක්ම සඟවන්නේ නැහැ.”

කුලුන සහ කන්‍යාවන් පිළිබඳ පැහැදිලි කිරීම

89 “පළමුවෙන්ම, මට මෙය පැහැදිලි කරන්න මහත්මයා,: පර්වතය සහ දොර යනු කවුරුන්ද?” මම කීවෙමි. “මේ පර්වතය සහ දොර දෙවියන් වහන්සේගේ පුත්‍රයායි” ඔහු කීවේය. “එහෙනම් පර්වතය පරණ එකක්, එහෙත් දොර අලුත් එකක් වන්නේ කොහොමද, මහත්මයා?” මම කීවෙමි. “අඥාන මනුෂ්‍යයා, සවන් දී, තේරුම්ගන්න, දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමාගේ මැවිලි සියල්ලටම වඩා වයසින් වැඩිය. පියාණන් වහන්සේගේ මැවිල්ලේ නිර්මාණයේ උපදේශකයා උන් වහන්සේ වීම එහි ප්‍රතිඵලය විය. පර්වතය පැරණි වන්නේ එබැවිනි,” යයි ඔහු පැවසීය. “ඒත් ඇයි මහත්මයා දොර අලුත් වන්නේ?” මම ඇසුවෙමි. “එයට හේතුව, උන් වහන්සේ එළිදරව් වූයේ සම්පූර්ණ වීමේ අවසාන දවස්වලදීය; ගැලවීමට පැමිණීමට යන අයට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන පිණිස දොර අලුත් වන්නේ එබැවිනි. දොරෙන් ඇතුළට ආ ගල් කුලුන ඉදිකිරීමට ලබා ගෙන ඇති අතර, දොර තුළින් නොපැමිණි ඒවා කලින් ඒවා තිබූ ඕවා පැමිණි ස්ථානයටම ගෙන ගොස් දමා ඇති බව ඔබ දුටුවාද?” ඔහු කීවේය. “මම දැක්කා, මහත්මයා,” මම කීවෙමි. “ඒ හා සමාන ලෙසම, කිසිවෙක් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය ලබා නොගත් කිසිවෙකු දේව රාජ්‍යයට ඇතුළු නොවනු ඇත. මක්නිසාද ඔබට යම් නුවරකට ඇතුළු වීමට අවශ්‍ය නම්, සහ ඒ සම්පූර්ණ නගරය වටකර පවුරක් බැඳ තිබේ නම්, එසේම එහි ඇත්තේ එක දොරටුවක් පමණක් නම්, එහි ඇති දොරටුවෙන් මිස ඔබට ඒ නගරයට ඇතුළු විය හැකිද?” ඔහු පැවසුවේය. මම එවිට මෙසේ ඇසුවෙමි. “එසේ නම් එහි ඇතුළු වන වෙනත් ක්‍රමයක් තිබේද?” “එබැවින් ඔබට එහි දොරටුවෙන් මිස නගරයට ඇතුළු විය නොහැකිය,” ඔහු කීවේය. “එසේම යමෙකුට තමා විසින් ආදරය කරන ලද උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් මිස දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු විය නොහැකිය. කුලුන ගොඩනගන මහත් සමූහයා ඔබ දුටුවාද” යයි ඔහු ඇසීය. “මහත්මයා, මම ඔවුන් දුටුවෙමි,” මම කීවෙමි. “ඒ සියල්ලෝම තේජාන්විත දේවදූතයෝය. ඔවුන් කරණකොටගෙන ස්වාමින් වහන්සේ පවුරකින් මෙන් වට කරනු ලැබ ඇත. එහෙත් දොර දෙවියන් වහන්සේගේ පුත්‍රයාය; ස්වාමීන් වහන්සේ වෙතට ඇතුළු වීමට ඇත්තේ මේ එකම ප්‍රවේශය පමණි. එබැවින් කිසිවෙකු උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ මාර්ගයෙන් මිස වෙන කිසිම මාර්ගයකින් උන් වහන්සේ වෙතට ඇතුළු වන්නේ නැත. මිනිසුන් හය දෙනා සහ ඔවුන් මධ්‍යයේ සිටි තේජාන්විත හා බලවත් මිනිසා, කුලුන වටා ඇවිද ගොස් ගොඩනැගිල්ලේ ගල් ප්‍රතික්ෂේප කළ බව ඔබ දුටුවාද?” “මා ඔහු දුටුවා, මහත්මයා,” මම කීවෙමි. “මහිමාන්විත මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේයි. එසේම මනුෂ්‍යයින් හය දෙනා උන් වහන්සේගේ දකුණු පසින් සහ වම් පසින් ඔහු වටකරගත් තේජාන්විත දේවදූතයෝය. මෙම තේජාන්විත දේවදූතයන්ගෙන් කිසිවෙක් උන් වහන්සේ නොමැතිව දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුළු වන්නේ නැත. උන් වහන්සේගේ නාමය නොලබන තැනැත්තා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු නොවනු ඇත,” යයි ඔහු පැවසීය.

90 “එසේ නම් කුලුන කවුද?” යනුවෙන් මම ඇසීමි. “ මේ කුලුන සභාවයි,” ඔහු කීවේය. “තවද මේ කන්‍යාවන් කවරහුද?” “ඔවුහු ශුද්ධ ආත්මයෝ වෙති. තවද, ඔවුන්ගේ වස්ත්‍ර ඔවුන් පැලඳු මනුෂ්‍යයින් හැරුණුකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මනුෂ්‍යයෙකු සොයා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත. ඔබට නම පමණක් ලැබී, ඔවුන්ගෙන් ඇඳුම් ලබා නොතිබුණේ නම්, එයින් ඔබට ප්‍රයෝජනයක් ඇත්තේ නැත. කන්‍යාවන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ බලයන්ය. ඔබ උන් වහන්සේගේ නම දරන නමුත් උන් වහන්සේගේ බලය නොදරන්නෙහි නම්, ඔබ උන් වහන්සේගේ නාමය නිෂ්ඵලයේ දරන්නෙහිය. එසේම ප්‍රතික්ෂේප වූ බව ඔබ දුටු ගල් වූ කලි, උන් වහන්සේගේ නාමය දැරූ නමුත්, කන්‍යාවන්ගේ වස්ත්‍රවලින් සැරසී නොසිටි අයයි,” ඔහු කීවේය. “ඔවුන්ට ඇත්තේ කුමනාකාර වස්ත්‍රද, මහත්මයා?” මම ඇසුවෙමි. “ඔවුන්ගේ වස්ත්‍ර නම් ඔවුන්ගේ නාමයන්මය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය දරන තැනැත්තා ඔවුන්ගේ නාමයන්ද දැරිය යුතුය, මක්නිසාද පුත්‍රයාණන් වහන්සේම පවා මෙම කන්‍යාවන්ගේ නම් දරන සේක. ඔවුන්ගේ අතින් ගෙන යනු ලැබ ගොඩනැගිල්ලේ කුලුනේ ව්‍යුහයට ඇතුළු වී තිබෙනු ඔබ දුටු සියලු ගල්, මේ කන්‍යාවන්ගේ බලයෙන් සැරසී තිබේ. කුලුන පර්වතය සමග තනි ගලක් බවට පත් වී ඇති බව ඔබට පෙනෙන්නේ එබැවිනි. එසේම ස්වාමින් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ තුළින් උඅන් වහන්සේ තුළ අදහාගෙන මේ ආත්මයන් පැලඳගෙන සිටින අයද එක ආත්මයක් හා එකම ශරීරයක් බවට පත් වනු ඇත. එසේම ඔවුන්ගේ වස්ත්‍රද එක වර්ණයක් වනු ඇත. කන්‍යාවන්ගේ නම් දරන අයගේ නිවස ඇත්තේ කුලුනෙහිය.” “දැන් මහත්මයා, ප්‍රතික්ෂේප කරන ලද ගල් සම්බන්ධයෙන්, ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඇයි? මන්ද, ඒවා දොර තුළින් රැගෙන ගොස් කන්‍යාවන්ගේ අතින් කුලුනෙහි ව්‍යුහය තුළ තැන්පත් කරන ලද ඒවායි,” මම ඇසුවෙමි. “සියල්ල පිළිබඳ ඔබ උනන්දු වන බැවින්, ඔබ සැලකිල්ලෙන් විමසන බැවින්, ප්‍රතික්ෂේප කරන ලද ගල් ගැන මේ දෙයට සවන් දෙන්න. මේ සියල්ලෝම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය ලැබූහ. එමෙන්ම මේ කන්‍යාවන්ගේ බලයද ලැබූහ. එබැවින්, මෙම ආත්මයන් ලැබීමෙන් පසු, ඔවුන් ශක්තිමත් වී, දෙවියන් වහන්සේගේ සේවකයන් සමග සිටි අතර, ඔවුන් සියල්ලන්ට එක ආත්මයක් සහ එක ශරීරයක් සහ එක වස්ත්‍රයක් තිබුණි. මන්ද, ඔවුන් සියල්ලන්ම එකම මනසින් සිටි අතර, ඔවුහු නිවැරදි දේ කළෝය. ටික වේලාවකට පසු, කළු වස්ත්‍ර හැඳ, උරහිස් නිරාවරණය කර, හිසකේ කඩා දමාගෙන සිටි සහ සහ ආකර්ෂණීය රූප සම්පන්න බවින් යුත් ඔබ දුටු ස්ත්‍රීහු ඔවුන් වසඟ කළෝය. ඔවුහු ඔවුන් දුටු විට ඔවුන්ට ආශාවෙන් ඔවුන්ගේ බලය පැලඳගෙන, කන්‍යාවන්ගේ ඇඳුම් සහ බලය පසෙකට දැමූහ. එබැවින් මොවුන් දෙවියන් වහන්සේගේ මාලිගාවෙන් ඉවතට විසි කරනු ලැබ ඒ ස්ත්‍රීන්ට භාර දෙනු ලැබ ඇත. එහෙත් මේ කාන්තාවන්ගේ රූ සපුවට නොරැවටුණු අය දෙවියන් වහන්සේගේ නිවසේ රැඳී සිටියහ. “‍ප්‍රතික්ෂේප කරන ලද ගල් පිළිබඳ පැහැදිලි කිරීම දැන් ඔබට ඇත,” ඔහු පැවසීය.

91 “එසේ නම් කුමක් සිදු වනු ඇද්ද, මහත්මයා, මේ මිනිස්සු, තමන් මොන වගේ වුණත්, පසුතැවිලි වී, මේ ස්ත්‍රීන් කෙරෙහි ඇති ආශාව ඉවත දමා, කන්‍යාවන් වෙතට නැවත හැරී ඇවිත්, ඔවුන්ගේ බලයෙන් හා ඔවුන්ගේ ක්‍රියාවල යෙදුණොත්, ඔවුහු දෙවියන් වහන්සේගේ නිවසට ඇතුළු නොවන්නෝද?” මම ඇසුවෙමි. “ඔවුහු මෙම කාන්තාවන්ගේ වැඩ අත්හැර දමා නැවත කන්‍යාවන්ගේ බලය අල්ලාගෙන ඔවුන්ගේ වැඩවල යෙදෙන්නෝ නම් ඔවුන් එහි ඇතුළු වනු ඇත. ඔවුන් පසුතැවිලි වන ලෙස ඉදිකිරීම් කටයුතුවල විරාමයක් ඇති වූයේ එබැවිනි. ඔවුන් පසුතැවිලි වුවහොත් ඔවුන්ට නැවත් කුලුනෙහි ව්‍යුහයට යාමට හැකිය. එහෙත් ඔවුහු පසුතැවිලි නොවන්නෝ නම්, අනෙක් අය ඇතුළු වනු ඇත, එහෙත් අවසානයේදී මොවුන් නෙරපා හරිනු ලබනවා ඇත.” මේ සියලුම දේ සම්බන්ධයෙන් මම ස්වාමින් වහන්සේට ස්තුති කළෙමි. මන්ද උන් වහන්සේ ස්වකීය නාමයට අයැදින සියල්ලන්ට අනුකම්පා කළ සේක, ඒ නිසා උන් වහන්සේට විරුද්ධව පව් කළ අප වෙත පසුතැවිලි වීමේ දූතයා එවා, අපගේ ආත්මය අලුත් කළ සේක. එසේම අප දැනටමත් විනාශ වී තිබෙන විටත් අපගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබුණු කල උන් වහන්සේ අපගේ ජීවිතය ප්‍රතිස්ථාපනය කළ සේක. “දැන්, මහත්මයා, කුලුන ගොඩනගා ඇත්තේ බිම නොව පර්වතය සහ දොර මතයි. ඒ මන්දැයි මට පහදා දෙන්න,” යැයි මම කීවෙමි. “ඔබ තවමත් අඥාන සහ තේරුම් නැති අයෙකුද?” ඔහු ඇසීය. “මහත්මයා,” මම කීවෙමි, “සියල්ල ගැන ඔබගෙන් ඇසීමට මම බැඳී සිටිමි, මන්ද මට කිසිවක් තේරුම් ගැනීමට කිසිසේත්ම නොහැකි බැවිනි; මන්ද මේ සියලුම කාරණා අතිවිශිෂ්ට හා තේජාන්විත වන අතර මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු ඒවාය.” “සවන් දෙන්න, “ ඔහු කීවේය. “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය ශ්‍රේෂ්ඨෙය, තේරුම්ගැනීමට නොහැකිය, එසේම එය මුළු ලෝකයම නඩත්තු කර පවත්වාගෙන යයි. එබැවින්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන සියලු මැවිල්ල නඩත්තු කර පවත්වාගෙන යන්නේ නම්, උන් වහන්සේ විසින් කැඳවනු ලැබූ අය සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය දරන අය ගැන සහ උන් වහන්සේගේ ආඥා අනුව ගමන් කරන අය පිළිබඳ ඔබ සිතන්නේ කුමක්ද? එසේ නම්, උන් වහන්සේ නඩත්තු කර පවත්වාගෙන යන්නේ කෙබඳු මිනිසුන්ද යන්න ඔබට නෛනවාද? ඒ උන් වහන්සේගේ නාමය මුළු හදවතින්ම දරන අයයි. එම නිසා, උන් වහන්සේම ඔවුන්ගේ අත්තිවාරම බවට පත් වී, සතුටින් ඔවුන් උසුලන සේක. එයට හේතුව ඔවුන් ලජ්ජා නොවී උන් වහන්සේගේ නාමය දරන පිණිසය.”

92 “මහත්මයා, කන්‍යාවන්ගේ සහ කළු වස්ත්‍ර හැඳගත් ස්ත්‍රීන්ගේ නම් මට පවසන්න,” මම කීවෙමි. “සවන් දෙන්න,” යයි ඔහු පැවසුවේය. කොන්වල නැවතී සිටින ශක්තිමත් කන්‍යාවන්ගේ නාමයන් මේවාය. පළමුවැන්න ඇදහිල්ල වන අතර දෙවැන්න ආත්ම දමනයයි. එසේම තෙවැන්න බලය සහ හතරවැන්න ඉවසීමය. ඔවුන් අතර සිටගෙන සිටි අයට ඇති නාමයන් මේවාය: අවංකකම, අහිංසකකම, පාරිශුද්ධත්වය, ප්‍රීතිමත් බව, සත්‍යය, අවබෝධය, සමගිය සහ ප්‍රේමයයි. මේ නාමයන් සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙද දරන තැනැත්තාට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට හැකි වනු ඇත. කළු වස්ත්‍ර හැඳගත් කාන්තාවන්ගේ නාමයන්ද අසන්න. මෙයින් හතරක්ද වඩා බලවත්ය. පළමුවැන්න අවිශ්වාසය, දෙවැන්න ස්වයං වින්දනය, තෙවැන්න අකීකරුකම සහ හතරවැන්න වංචාවයි. තවද ඒවා අනුගමනය කරන අය දුක, නපුර, අමනාපකම, සල්ලාලකම, කෝපය, බොරුව, මෝඩකම, අපහාස කිරීම සහ වෛරය ලෙස හැඳින්වේ. මේ නම් දරන දෙවියන් වහන්සේගේ සේවකයා දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින නමුත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නේ නැත,” ඔහු පැවසුවේය. “එසේ නම් ගැඹුරු ස්ථානයෙන් මතු වී පැමිණ ගොඩනැගිල්ලට සවි වූ ගල් යනු කවුරුන්ද, මහත්මයා?” මම ඇසුවෙමි. ඔහු මෙසේ කීවේය. “අත්තිවාරම මත තබන ලද පළමුවන ගල් දහය වන්නේ පළමුවන පරම්පරාවයි. එසේම විසි පස්දෙනා ධර්මිෂ්ඨ මිනිසුන්ගේ දෙවන පරම්පරාව වේ. තිස් පස්දෙනා දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ උන් වහන්සේගේ සේවකයින්ය. එසේම හතළිස් දෙනා නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ ප්‍රකාශයේ ප්‍රේරිතයන් සහ ගුරුවරුන්ය.” 5 “එසේ නම්, මහත්මයා, කන්‍යාවන්ද මේ ගල් දොර තුළින් රැගෙන ගොස් කුලුන ඉදිකිරීමට භාර දුන්නේ මන්ද?” මම කීවෙමි. 6 “එයට හේතුව, මේ ආත්මයන් දරාගත් පළමුවැන්නෝ මොවුහුය, ඔව්හු කිසි කලෙකත් කමන ආකාරයෙන්වත් එකිනෙකාගෙන් වෙන් නොවුණෝය. එම මිනිසුන්ගෙන් ආත්මයන්වත්, ආත්මයන් මිනිසුන්ගෙන්වත් වෙන් නොවුණේය. එහෙත් ආත්මයෝ ඔවුන් සදා නින්දට යන තුරු ඔවුන් සමග සිටියහ. එසේ ඔවුන් සමග මෙම ආත්මයන් නොතිබුණේ නම්, ඔවුන් මෙම කුලුන ඉදිකිරීමට සුදුසු අය නොවනු ඇත,” ඔහු පැවසීය.

93 “මහත්මයා, මට තව දෙයක් පැහැදිලි කර දෙන්න,” මම පැවසීමි. “ඔබට තව දැනගන්න අවශ්‍ය මොනවද?” ඔහු ඇසීය. “ඔවුන් මේ පීඩනයන් දරා සිටියත්, එම ගල් ගැඹුරින් මතු වී ආවේත්, ඒවා ගොඩනැගිල්ලට දැමුවේත් ඇයි ඇයි මහත්මයා?” මම ඇසුවෙමි. “එය අවශ්‍යම දෙයක් විය. මන්ද ඔවුන් ජීවමාන අය බවට පත් වන පිණිස ජලය තුළින් ගොඩට පැමිණීම අවශ්‍ය වූ බැවිනි. ඔවුන්ගේ පැරණි ජීවිතයේ මළ ස්වභාවය පසෙක දැමුවේ නැතිනම් ඔවුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නොහැකි වනු ඇත. එබැවින් නින්දට වැටුණු අය පවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ මුද්‍රාව ලබාගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වූහ. මන්ද මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය දරන්නට පෙර, ඔවුහු මිය ගිය අය වූහ. එහෙත් මුද්‍රාව ලැබූ විට, ඔවුහු තම මළ ස්වභාවය පසෙක තබා ජීවනය ලබන්නෝය. එබැවින් මුද්‍රාව යනු ජලය වේ; ඒ නිසා ඔවුහු මැරුණු අය ලෙස වතුරට බැස ජීවමාන අය ලෙස ගොඩට එති. එබැවින් මේ මුද්‍රාව ඔවුන්ටත් ප්‍රකාශ කරනු ලැබිණි. එසේ ඔව්හු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන පිණිස එය ප්‍රයෝජනයට ගත්හ,” යයි ඔහු පැවසීය. “එසේ නම්, එම ඔවුන් සමග අනෙක් ගල් හතළිහත්, ඔවුන්ට ඒ වන විටත් මුද්‍රාව ලැබී තිබූ බැවින්, ගැඹුරේ සිට මතු වී ආවේ ඇයි, මහත්මයා?” මම ඇසුවෙමි. “මන්ද යත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය දේශනා කළ මේ අපෝස්තුළුවරුන් සහ ගුරුවරුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ බලයෙන් හා ඇදහිල්ලෙන් නින්දට වැටුණු කල, ඔවුහු තමුන්ට කලින් නිදාගෙන සිටි අයටද දේශනා කළහ. එසේම ඔවුහුම ඔවුන්ට දේශනා කිරීමේ මුද්‍රාවද ලබා දුන්හ. එබැවින් ඔව්හු ඔවුන් සමග වතුරට බැස නැවත ගොඩට නැගී ආවෝය. එහෙත් මේ අය ජීවමාන ලෙස වතුරට බැස ජීවමාන ලෙස වතුරෙන් ගොඩට පැමිණියහ. මොවුන්ට කලින් නිදාගෙන සිටි අය මැරුණු අය ලෙස වතුරට බැස ජීවමාන අය ගෙස වතුරෙන් ගොඩට පැමිණියහ. එබැවින් ඔව්හු ඔවුන් කරණකොටගෙන ජීවමාන කරනු ලැබ, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය ගැන සම්පූර්ණ දැනගැනීමට පැමිණියහ. ඔවුන්ද මේ අය සමග පැමිණ ඔවුන් සමගම කුලුනෙහි ව්‍යුහයට සවි කිරීමට යෙදුණේ මේ හේතුව නිසාය. එසේම කපා සකස් කිරීමෙන් තොරව ඔවුන් එකට එකතුව සම්බන්ධ වූයේ මේ නිසාය. මන්ද ඔවුන් ධර්මිෂ්ඨ ලෙස හා මහත් පාරිශුද්ධභාවයෙන් නිදාගත් නිසා, ඔවුහු පමණක් මෙම මුද්‍රාව නොලැබූහ. මේ දේවල් ගැනත් දැන් ඔබට පැහැදිලි කිරීමක් තිබේ,” ඔහු කීවේය. එවිට මම, “ඔව්, මහත්මයා,” කීවෙමි.

කඳු දොළහ පිළිබඳ පැහැදිලි කිරීම

94 “එසේ නම්, මහත්මයා, කඳු ගැන මට පැහැදිලි කරන්න. ඒවායේ පෙනුම එකිනෙකට වෙනස් වන්නේ සහ ඒවා විවිධාකාර වන්නේ මන්ද?” “සවන් දෙන්න,” ඔහු පැවසීය. “මේ කඳු දොළහ නම් මුළු ලෝකයේම වාසය කරන ගෝත්‍ර දොළහ වේ. එබැවින් ප්‍රේරිතයන් විසින් ඔවුන්ට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ප්‍රකාශ කරන ලදී.” “එහෙත්, මහත්මයා, කඳු මෙතරම් විවිධාකාර වන්නේ සහ පෙනුමෙන් එකිනෙකට වෙනස් වන්නේ මන්දැයි මට පැහැදිලි කරන්න.” “සවන් දෙන්න, මුළු ලෝකයේම වාසය කරන මෙම ගෝත්‍ර දොළහ ජාතීන් දොළහක් වන අතර, ඔවුහු සිතුවිලිවලින් සහ මනසින් විවිධාකාර අය වෙති. එබැවින් කඳු විවිධාකාර බව ඔබ නිරීක්ෂණය කළා සේම, ජාතීන් අතර මනසෙහි සහ සිතුවිලිවල විවිධත්වයන් ඇත. ඒවගේම මම එක එක ජාතියේ ක්‍රියාකාරීත්වය ඔබට පැහැදිලි කරන්නම්,” ඔහු පැවසීය. “මහත්මයා, මුලින්ම මට මෙය පවසන්න: කඳුවල මෙතරම් විවිධත්වයක් ඇති නිසා, ඒවායින් ගෙන එන ලද ගල් ගොඩනැගිල්ලට දැමූ විට, ඒවා ගැඹුරින් මතු වූ ගල්වලට සිදු වූ ආකාරයටම දීප්තිමත් සහ එකම වර්ණයක් බවට පත් වූයේ මන්ද?” මම ඇසුවෙමි. “මක්නිසාද, අහස යට වාසය කරන සියලු ජාතීන් එය අසා, විශ්වාස කළ විට, ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් කැඳවන ලද අය බැවිනි. එබැවින් ඔවුන්ට මුද්‍රාව ලැබුණු විට, ඔවුන්ට එක් සිතුවිල්ලක් සහ එකම මනසක් ඇති වූ අතර, එක් ඇදහිල්ලක් සහ එකම ආදරයක් ඔවුන් සතු විය. එසේම ඔවුහු එම නාමය සමග කන්‍යාවන්ගේ ආත්මයන්ද දරා සිටියහ. කුලුනේ ඉදිකිරීම සූර්යයා මෙන් එක් වර්ණයකින් දීප්තිමත්ව බැබළුණේ මේ නිසාය. එහෙත් ඔවුන් එක්ව එයට ඇතුළු වී එක ශරීරයක් වූ පසුව, ඔවුන්ගෙන් සමහරෙක් තමන්ම දූෂ්‍ය කරගත් අතර, ඔවුහු ධර්මිෂ්ඨයන්ගේ ජාතියෙන් නෙරපා හරිනු ලැබූහ. එසේ ඔවුහු නැවතත් ඔවුන් පෙර සිටි ආකාරයටම හෝ ඊටත් වඩා නරක අතට හැරුණෝය,” ඔහු කීවේය.

95 “දෙවියන් වහන්සේ හඳුනාගෙන දැනගත් පසුව ඔවුන් වඩාත් නරක අතට හැරුණේ කෙසේද, මහත්මයා,” යයි මම කීවෙමි. “දෙවියන් වහන්සේ නොදන්නා අය, සහ නපුරු දේවල් කරන අය ඔවුන්ගේ නපුරු ක්‍රියා උදෙසා යම් ආකාරයක දඬුවම් ලබති. එහෙත් දෙවියන් වහන්සේ දැන හඳුනාගැනීමට පැමිණීමෙන් පසුව ඒ අය තව දුරටත් නපුරු දේවල් නොකළ යුතුය, ඔවුන් යහපත කළ යුතුය. එසේ නම් යහපත කළ යුතු අය නපුර කරන්නෝ නම්, ඔවුන් දෙවියන් වහන්සේ නොදන්නා අයට වඩා විශාල නපුරක් කරන බව නොපෙනේද? දෙවියන් වහන්සේ නොහඳුනන නපුර කරන අය මරණයට නියම කරනු ලබන්නේ සහ දෙවියන් වහන්සේ හඳුනාගෙන උන් වහන්සේගේ බලවත් ක්‍රියා දැක, එසේ වූවත් නපුරුකම් කරන අයට දෙගුණයක් දඬුවම් ලැබෙන්නේ සහ සදාකාලිකවම මරණයට පත් වන්නේ එබැවිනි. එබැවින්,මේ ආකාරයෙන්, දෙවියන් වහන්සේගේ සභාව ශුද්ධවත් කරනු ලබනවා ඇත. කුලුනෙන් ගල් ඉවත් කර දුෂ්ට ආත්මයන්ට භාර දී එතැනින් ඉවතට විසි කරනු ඔබ දුටුවාක් මෙන්, පවිත්‍ර කරනු ලැබූ අය එක ශරීරයක් බවට පත් වනු ඇත. කුලුන පවිත්‍ර කරනු ලැබූ පසුව එය එක ගලකින් සාදන ලද්දක් මෙන්ම, දෙවියන් වහන්සේගේ සභාවද පවිත්‍ර කරන ලද පසුව එසේම වනවා ඇත. එවිට දුෂ්ටයන්, කුහකයන්, අපහාස කරන්නන්, දෙබිඩි අදහස් ඇති අය සහ විවිධ නපුරුකම් කරන අය නෙරපා දමනු ලබනවා ඇත. ඔවුන් නෙරපා හරින ලද විට, දෙවියන් වහන්සේගේ සභාව එක ශරීරයක්, එක සිතුවිල්ලක්, එක මනසක්, එක ඇදහිල්ලක්, එක ප්‍රේමයක් වනු ඇත. එවිට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ තමන් වහන්සේගේ සෙනඟව පවිත්‍ර ලෙස නැවතත් ලබාගත් බැවින් ඔවුන් පිළිබඳ ප්‍රීතියටත් සතුතටත් පත් වනවා ඇත,” ඔහු පැවසුවේය. “මහත්මයා, මේ සියල්ල ශ්‍රේෂ්ඨය, තේජාන්විතය. එහෙත් මට තව එක දෙයක් පවසන්න,” මම කීවෙමි. “ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සෑම ප්‍රාණයක්ම ඒවා ගැන අසන විට උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා ආශ්චර්යමත් හා තේජාන්විත නාමය මහිමයට පත් කරන පිණිස, එක් එක් කඳුකරයේ බලය සහ ක්‍රියාකාරකම් ගැන මට පවසන්න.” “කඳුවල විවිධත්වය සහ ජාතීන් දොළොස් දෙනා පිළිබඳ මා පවසන දෙයට සවන් දෙන්න,” යනුවෙන් ඔහු පැවසුවේය.

96 “පළමුවන පර්වතයෙන් පැමිණි අය, කළු පැහැය නම්, මෙබඳු ආකාරයේ ඇදහිලිවන්තයෝ වෙති: එනම් ඇදහිල්ල අත්හැර දැමූ අය, දේව අපහාස කරන්නෝද, දෙවියන් වහන්සේගේ දාසයන් පාවා දෙන්නෝද වෙති. මේ අයට පසුතැවිලි වීමක් ඇත්තේ නැත. එහෙත් ඔවුන්ට මරණය ඇත, ඔවුන් කළු පැහැති මේ නිසාය. මන්ද මක්නිසාද ඔවුන්ගේ වර්ග නීති විරෝධී වන බැවිනි. එසේම දෙවන කන්දේ සිට පැමිණි, එනම් හිස් වූ කන්ද වනාහි මෙවැනි ආකාරයේ ඇදහිලිවන්තයෝය: එනම් වංචාකාරයෝ සහ නපුර උගන්වන ගුරුවරු වෙති. එසේ නම්, මොවුහුද ධර්මිෂ්ඨකමේ ඵල රහිත වූ පළමුවන අය මෙන් වෙති. මන්ද ඔවුන්ගේ කන්ද ඵල රහිත වූ බැවින්, මෙවන් මිනිසුන්ට නාමය ඇත, එහෙත් ඇදහිල්ලෙන් තොර අයයි, එසේම ඔවුන් තුළ සත්‍යයේ ඵලයක් නැත. මෙවැනි අය උදෙසා ඔවුන් ඉක්මනින් පසුතැවිලි වුවහොත්, පසුතැවිල්ල පිරිනමනු ලැබේ; එහෙත් ඔවුන් ප්‍රමාද වුවහොත්, ඔවුන්ගේ මරණය පළමු කණ්ඩායම සමගම සිදු වනු ඇත.” “මේ අයට පසුතැවිල්ලි වීම තිබෙන්නේ සහ පළමුවන කණ්ඩායමට පසුතැවිලි වීම නොලැබෙන්නේත් ඇයි, මහත්මයා? මන්ද ඔවුන්ගේ ක්‍රියායාවන් බොහෝ දුරට සමානය,” මම කීවෙමි. “ඔවුන්ට පසුතැවිලි වීම පිරිනමා ඇත්තේ මේ හේතුව නිසාය. ඔවුන් තම ස්වාමියාට අපහාස කර නැත, දෙවියන් වහන්සේගේ සේවකයන් පාවා දී නැත, එසේ වූවත් ඔවුන් ලාභ ලැබීමේ ආශාව නිසා වංචා සහගත ලෙස ක්‍රියා කළ අතර, පව්කාර මිනිසුන්ගේ ආශාවන් හා ගැළපෙන ලෙස ඉගැන්වූහ. එහෙත් ඔවුන්ට දඬුවමක් තිබේ. එසේ වූවත් ඔවුන්ට පසුතැවීම පිරිනමනු ලැබේ, මන්ද ඔවුන් අපහාස කරන්නන් හෝ පාවා දෙන්නන් නොවූ බැවිනි.”

97 කටු හා ගොකටු තුන්වෙනි කන්දෙන් පැමිණි අය මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: ඔවුන්ගෙන් සමහරෙක් ධනවත්ය, සමහරු බොහෝ ව්‍යාපාරික කටයුතුවල පැටලී සිටිති. ගොකටු යනු ධනවතුන් වන අතර කටු යනු විවිධ ව්‍යාපාරික කටයුතුවල පැටලී සිටින අයයි. එබැවින් නොයෙකුත් ව්‍යාපාරික කටයුතුවල පැටලී සිටින මොවුහු දෙවියන් වහන්සේගේ සේවකයන් සමඟ ඇසුරු නොකරති. එහෙත් ඔවුන්ගේ කටයුතුවලින් හිර වී ඔවුහු නොමග යති. මේ අතර, ධනවතුන් දෙවියන් වහන්සේගේ සේවකයන් සමග ඇසුරු කරන්නේ දුෂ්කර ලෙස පමණි. මන්ද දේව සේවකයින් තමන්ගෙන් යමක් ඉල්ලා සිටිනු ඇතැයි ඔවුහු බිය වෙති. එබැවින් එවැනි අය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නේ දුෂ්කර ලෙස පමණි. මක්නිසාද පාවහන් නොමැතිව ගොකටු මත ඇවිදීම දුෂ්කර වන්නා සේම, එබඳු මිනිසුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම දුෂ්කර වේ. එහෙත්, මේ සියලු දෙනාට පසුතැවිලි විය හැකිය, එහෙත් එය ඉක්මනින් සිදු විය යුතුය, එවිට ඔවුන් පෙර කාලවල ඔවුන් කිසිවත් කිරීමට අසමත් වූ නිසා, දැන් ඔවුන් යහපත් දේවල් කළ යුතුය. එබැවින්, ඔවුන් පසුතැවිලි වී යහපත් දෙයක් කරන්නේ නම්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත ජීවත් වනු ඇත; එහෙත් ඔවුන් දිගටම ඔවුන්ගේ ක්‍රියාවල නිරත වුවහොත් ඔවුඒ එම කාන්තාවන්ට භාර දෙනු ලබනවා ඇත, ඔවුන් ඒ අය මරණයට ගෙන යනු ඇත.”

98 “සතරවන කන්දෙන් ගෙනා ඒවා එනම් බොහෝ වගාවන් තිබූ, මුදුනෙන් හරිත වර්ණ වූ, එහෙත් මුල් මැලවී ගියා වූ, සහ සමහර ඒවා හිරු රශ්මියෙන් වියළී ගිය ඒවා නම් මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: ඔවුහු දෙබිඩි සිත් ඇත්තෝය. ස්වාමින් වහන්සේ තම තොල්වල ඇති නමුත් ඔවුන්ගේ හදවත් තුළ උන් වහන්සේ නොමැති අය වෙති. ඔවුන්ගේ අත්තිවාරම් වියළී ගොස් ඇත්තේත්, බලයක් නැත්තේත් එබැවිනි. ඔවුන්ගේ වචන පමණක් ජීවමාන වන නමුත් ඔවුන්ගේ ක්‍රියා මිය ගොස් ඇත. එවැනි අය ජීවත්ව සිටින අය නොවෙති, මිය ගොස්ද නැත. එහෙයින් ඔවුන් දෙබිඩි සිත් ඇති අය හා සමානය. මන්ද යත්, දෙබිඩි සිත් ඇති අය කොළ පාට නොවන අතර, මැලවී ගොස්ද නැත. මන්ද ඔවුන් ජීවත්ව සිටින අය හෝ මිය ගොස් ඇති අය නොවන නිසාය. මන්ද සූර්යයා දුටු විට මෙම ශාක වියළී ගියාක් මෙන්, දෙබිඩි හදවත් ඇති අයද, පීඩාවක් ගැන ඇසූ ඕනෑම අවස්ථාවක, ඔවුන්ගේ බියගුලුකම නිසා පිළිමවලට නමස්කාර කරති, එසේම තම ස්වාමින් වහන්සේගේ නාමය ගැන ලජ්ජා වෙති. එබැවින් එවැනි අය ජීවත්ව සිටින අය හෝ මිය ගොස් ඇති අය නොවෙති. එහෙත්, මොවුන්ද ඉක්මනින් පසුතැවිලි වුවහොත් ඔවුන්ට ජීවත් වීමට හැකි වනු ඇත. එහෙත් ඔවුහු පසුතැවිලි නොවන්නෝ නම්, ඔවුන් දැනටමත් ඔවුන්ගේ ජීවිතය නැති කර දමන කාන්තාවන්ට භාර දෙනු ලැබ ඇත.”

99 “පස්වන කන්දේ සිට පැමිණි ඒවා, හරිත වර්ණයෙන් යුතු තණකොළ ඇති රළු ස්ථානයෙන් ආ අය මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: ඔවුහු විශ්වාසවන්ත අය වෙති, එහෙත් ඉගෙන ගැනීමට ප්‍රමාද අයයි, අහංකාර සහ ස්වයං තෘප්තිමත් ඇති කර ගන්නා අයයි. ඔවුන්ට සියල්ල දැන ගැනීමට අවශ්‍ය වුවද, ඔවුහු කිසිවක් නොදනිති. ඔවුන්ගේ මේ අහංකාරකම නිසා තේරුම්ගැනීම ඔවුන් හැර ගොස් ඇති අතර, අඥාන මෝඩකමක් විසින් ඔවුන් අත්පත් කර ගනු ලැබ ඇත. එහෙත් ඔවුන් ප්‍රඥාව තිබීම ගැන තමන්ටම ප්‍රශංසා කර ගන්නා අතර ඔවුන් අඥාන වුවත් ස්වේච්ඡාවෙන්ම ගුරුවරුන් වීමට කැමති වෙති. එහෙයින්, උඩඟුකම සහ අධිවිශ්වාසය බලවත් යක්‍ෂයෙකු වන බැවින්, උඩඟුකම නිසා බොහෝ මිනිසුන් තමන්ම උසස් කර ගැනීමට උත්සාහ කර ගනිමින් විනාශයට පත් වී ඇත. ඒ නිසා මොවුන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එහෙත් ඇතැම් අය තමන්ගේම අඥානකම තේරුම් ගෙන පසුතැවිලි වී විශ්වාස කර අවබෝධය ඇති අයට යටත් වූහ. තවද මේ මිනිසුන්ගෙන් ඉතිරි අයට පසුතැවිලි වීමේ හැකියාවක් පවතී. මන්ද ඔවුහු නපුරු අය නොවෙති. එහෙත් අඥාන සහ තේරුම් ගැනීම මඳ අය වන බැවිනි. එබැවින් ඔවුන් පසුතැවිලි වුවහොත්, දෙවියන් වහන්සේට ජීවත් වනු ඇත, එහෙත් ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, ඔවුන් ඔවුන්ට හානි කරන කාන්තාවන් සමග වාසය කරනු ඇත.”

100 “සයවන කන්දේ සිට පැමිණි, විශාල සහ කුඩා මිටියාවත් ඇති, එසේම මිටියාවතෙහි වියළුණු පැළෑටි ඇති අය මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: කුඩා මිටියාවත ඇති අය එකිනෙකාට විරුද්ධව යම් කාරණයක් ඇති අය වෙති. ඔවුන්ගේ නින්දා අපහාස කිරීම් නිසා ඔවුහු ඇදහිල්ල තුළ වියළී ගොස් ඇති අයයි. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පසුතැවිලි වී ඇත. එසේම ඉතිරි අය මගේ ආඥා ඇසෙන විට පසුතැවිලි වනු ඇත. මන්ද ඔවුන්ගේ නින්දා අපහාස කිරීම් සාපේක්ෂව සුළු ඒවා වන බැවින් ඔවුන් ඉක්මනින් පසුතැවිලි වනු ඇත. එහෙත් විශාල මිටියාවතෙන් ආ අය නම්, එකිනෙකා කෙරෙහි කෝපයෙන් අමනාපකම් ඇති සහ ඒ පිළිබඳ නොකඩවා කතා කරමින් සිටින අය වෙති. එබැවින් ඒවා කුලුනෙන් ඉවතට විසි කර දමන ලද අතර, එහි ඉදිකිරීම් සඳහා ගැනීමෙන් ප්‍රතික්ෂේප කරන ලදී. එවැනි අයට ජීවත් වීම දුෂ්කර කාර්යක් වනු ඇත. සියල්ල පාලනය කරන, තමාගේ මුළු මැවිල්ල කෙරෙහි ආධිපත්‍යය බලය ඇති අපගේ දෙවියන් වහන්සේද ස්වාමින් වහන්සේද, තමන්ගේ පව් පාපොච්චාරණය කරන්නන් කෙරෙහි අමනාප නොවන සේක් නම්, ඔවුන් වෙත දයාන්විතව සිටින සේක් නම්, මනුෂ්‍යයෙකුට, එනම් මරණීය සහ පාපයෙන් පිරුණු මනුෂ්‍යයෙකුට, ඔහුට එම පුද්ගලයා විනාශ කිරීමට හෝ ගැලවීමට හැකි අයෙකු සේ, තවත් මනුෂ්‍යයෙකු සමග අමනාප විය හැකිද? එහෙත් පසුතැවිලි වීමේ දූතයා වන මම ඔබට කියමි, මෙම මතය දරන ඕනෑම අයෙකු එය පසෙක දමා පසුතැවිලි විය යුතු අතර, ඔබ මෙම යක්ෂයාගෙන් ඔබම පිරිසිදු වුවහොත් ස්වාමින් වහන්සේ ඔබේ පෙර පාප සුව කරන සේක. එහෙත් ඔබ එසේ නොකරන්නෙහි නම්, ඔබ මරණයට පත් කිරීම සඳහා ඔහුට භාර දෙනු ලබනවා ඇත.”

101 “සත්වෙනි පර්වතයෙන්, හරිත වර්ණය සහිත වගාවන්වල මල් පිපෙන, එමෙන්ම මුළු පර්වතයම සශ්‍රීක වූ, සියලු වර්ගවල ගවයෝද, අහස් කුරුල්ලෝද, ඒ කන්දෙහි භවභෝග අනුභව කරන්නාවුද, ඔවුන් විසින් පෝෂණය කරන ලද වඩාත් සාරවත් වෘක්ෂලතා ආදියද සියල්ලම තිබුණු කන්ද වූ කලි මෙවැනි ඇදහිලිවන්තයෝ වෙති: ඔවුන් සෑම විටම අවංක, අහිංසක සහ ආශීර්වාද ලත්, එකිනෙකාට විරුද්ධව කිසිවක් නොමැති වූ, එහෙත් සෑම විටම දෙවියන් වහන්සේගේ සේවකයන් තුළ ප්‍රීතිමත් වූ අතර, මෙම කන්‍යාවන්ගේ ශුද්ධාත්මයෙන් සැරසී සිටින්නා වූ, සෑම විටම සෑම කෙනෙකුටම අනුකම්පා කරන්නා වූ. ඔවුන්ගේ ශ්‍රමය කරණකොටගෙන ඔවුන් අධෛර්යට පත් නොවී සහ පැකිලීමකින් තොරව අන් අය සැමගේ අවශ්‍යතා සැපිරුවා වූ අය වෙති. එබැවින් ස්වාමින් වහන්සේ ඔවුන්ගේ අවංකකම සහ සම්පූර්ණ ළමයෙකුගේ ස්වභාවය දැක, ඔවුන්ගේ දෑත්වල වැඩය තුළ ඔවුන් සමෘද්ධිමත් කර, ඔවුන් කරන සෑම දෙයකදීම ඔවුන්ට අනුග්‍රහය දැක්වූ සේක. පසුතැවිලි වීමේ දූතයා වන මම, මෙවැනි අය කවුරුන්ද යන්න ප්‍රකාශ කරන්නෙමි: දිගටම මේ ආකාරයට ක්‍රියා කරන්න, එවිට ඔබේ පරම්පරාව කිසිදා මකා නොදමනු ඇත. මන්ද ස්වාමින් වහන්සේ ඔබ පරීක්‍ෂා කර ඇත., එමෙන්ම අපගේ සංඛ්‍යාව අතරට ඔබ ඇතුළත් කර ඇත. එමෙන්ම ඔබ උන් වහන්සේගේ ආත්මයට පංගුකාර වූ බැවින් ඔබගේ පරම්පරාව දෙවියන් වහන්සේගේ පුත්‍රයා සමග ජීවත් වනු ඇත.”

102 “බොහෝ උල්පත් ඇත්තාවූද, දෙවියන් වහන්සේගේ සියලුම මැවිල්ල එම දිය උල්පත්වලින් පානය කරන ලද්දාවූද, අටවෙනි පර්වතයෙන් පැමිණි ගල් මෙවැනි ඇදහිලිවන්තයෝ වෙති: මුළු ලොවටම දේශනා කළා වූ සහ ගෞරවනීය ලෙස හා පිරිසිදු ලෙස ස්වාමින් වහන්සේගේ වචනය ඉගැන්වූ ප්‍රේරිතයෝද, ගුරුවරුද වෙති. එසේම ඔවුහු ඔවුන්ගේ නපුරු ආශාව සඳහා කිසිවක් අයථා ලෙස පරිහරණය නොකළ අය වෙති, එහෙත් සැම විටම ඔවුන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ අය මෙන්, සෑම විටම ධර්මිෂ්ඨකමින් හා සත්‍යයේ ගමන් කළ අය වෙති. එබැවින් එවැනි අය දේවදූතයන් සමග එහි ඇතුළු වනු ඇත.”

103 “මිනිසුන් විනාශ කරන උරගයන්ද වන මෘගයන්ද සිටි, පාළු වූ නව වන කන්දෙන් පැමිණි ගල් මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: ලප ඇති අය වූ කලි තම සේවය නරක ලෙස කරගෙන ගොස් වැන්දඹුවන්ගේ සහ අනාථ දරුවන් ජීවනෝපාය කොල්ලකා ගත් උපස්ථායකයෝය. එසේම ඔවුන් තමුන්ට ඉටු කිරීමට ලබා දී ඇති දේව සේවය කරණකොටගෙන තමන්ම ලාභ ලැබූ අය වෙති. එම නිසා, ඔවුහු එම නපුරු ආශාවේම දිගටම පවතින්නෝ නම්, ඔවුන් මිය ගොස් ඇති අතර ඔවුන්ට ජීවනය පිළිබඳ බලාපොරොත්තුවක් ඇත්තේ නැත. එහෙත් ඔවුහු නැවතත් හැරී තම සේවය පවිත්‍ර ලෙස ඉටු කරන්නෝ නම්, ඔවුන්ට ජීවනය ලැබීමට හැකි වනු ඇත. තවද රළු ගල් වූ කලි, තම ස්වාමියා ප්‍රතික්ෂේප කළ අය සහ ඔවුන්ගේ ස්වාමින් වහන්සේ වෙත ආපසු නොගොස් වඳ වී හිස් බවට පත් වූ අයයි. මන්ද, ඔවුන් දෙවියන් වහන්සේගේ සේවකයන් සමග ඇසුරු නොකර තනිව සිටින නිසා, ඔවුහු තමන්ගේම ප්‍රාණයන් විනාශ කර ගනිති. මන්ද, වැටක් දිගේ යවන ලද මිදි වැලක් කප්පාදු නොකළ විට, එය විනාශ වී, වල් පැළෑටිවලින් වට වී, අවසානයේ වල් ගසක් බවට පත් වී, එහි අයිතිකරුට තවදුරටත් ප්‍රයෝජනවත් නොවන්නාක් මෙන්, මෙවන් මිනිසුන් තමන් ගැනම බලාපොරොත්තු සුන් බවට වී තම ස්වාමියාට නිෂ්ඵල අය බවට පත් වී ඇත. එසේ නම්, ඔවුන් පසුතැවිලි වීම තමුන්ගේම සිතින් ප්‍රතික්ෂේප කරන්නේ නම් හැරුණුකොට, ඔවුන්ට පසුතැවිලි වීම ඇත. එහෙත් යමෙක් හදවතින් පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී ගියහොත්, එම පුද්ගලයාට ජීවනය ලැබිය හැකිද යන්න මම නොදනිමි. තවද, පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරන කෙනෙකුට පසුතැවිලි විය හැකි බවට මා මේ දේවල් පවසන්නේ මේ දවස් පිළිබඳ නොවේය. මන්ද මෙතැන් සිට ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකුට ගැලවීම ලැබීමට නොහැකිය. එහෙත් බොහෝ කලකට පෙර උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අයට පසුතැවිලි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඕනෑම කෙනෙකු පසුතැවිලි වීමට සූදානම් වන්නේ නම්, කුලුන සාදා නිම කිරීමට පෙර ඔවුන් එය ඉක්මනින් කළ යුතුය. නැතහොත් ඔවුන් කාන්තාවන් විසින් විනාශ කර මරා දමනු ලබනවා ඇත. මිටි අය වූ කලි ද්‍රෝහිකම් කරන්නෝය; මේ කන්දේදී දුටු ඔබ සර්පයෝ මොවුහුය. මන්ද, සර්පයන් තම විසෙන් මිනිසෙකු මරා දමන්නාක් මෙන්, එබඳු අයගේ වචනද වස වී මිනිසෙකු මරා දමයි. එහෙයින් මොවුහු එකිනෙකා කෙරෙහි වන ඔවුන්ගේ හැසිරීම නිසා ඇදහිල්ල අඩු අයයි, එහෙත් එයින් සමහරු පසුතැවිලි වී ගැලවීම ලැබූහ. එසේම මෙවැනි වූ අනෙකුත් අයටද ඔවුහු පසුතැවිලි වන්නෝ නම් ගැලවීම ලබාගත හැකිය. එහෙත් ඔවුහු පසුතැවිලි නොවන්නෝ නම්, ඔවුන්ට ඇති බලය ඔවුන් ලබා ඇති කාන්තාවන් අතින් ඔවුන්ගේ මරණය සිදුවනු ඇත.”

104 “එසේම දස වන කන්දේ සිට, එනම් ඇතැම් බැටළුවන්ට නවාතැන් ලබා දුන් ගස් තිබූ කන්දෙන් පැමිණි ගල් නම් මෙවැනි ඇදහිලිවන්තයෝ වෙති: එනම් කුහකකමින් තොරව තම නිවෙස්වලට දෙවියන් වහන්සේගේ සේවකයන් පිළිගැනීමට සැම විටම සතුටු වූ රදගුරුවරු සහ ආගන්තුක සත්කාරයට ලැදි වූ මිනිස්සු වෙති. රදගුරුවරු සෑම විටම අවශ්‍යතා ඇති අයට රැකවරණය ලබා දුන්හ. එසේම වැන්දඹුවන්ට තම දේව සේවය කරණකොටගෙන නොනැවතී රැකවරණය දුන්හ. එමෙන්ම අතර සෑම විටම පාරිශුද්ධභාවයෙන් යුතුව කටයුතු කළහ. එබැවින් මේ සියල්ලන්ම ස්වාමින් වහන්සේ විසින් සදහටම ආරක්ෂා කරනු ලැබෙනු ඇත. මේ දේවල් කළ අය දෙවියන් වහන්සේ ඉදිරියෙහි තේජාන්විත අය වෙති. එසේම ඔවුහු අවසානය දක්වා ස්වාමින් වහන්සේට සේවය කරන්නෝ නම්, ඔවුන්ගේ ස්ථානය දැනටමත් දේවදූතයන් සමග වේ.

105 “එකොළොස්වන පර්වතයෙන්, එනම් නොයෙක් ඵලවලින් පිරුණු ගස් ඇති, එකිනෙක ගස විවිධ ආකාරයේ ඵලවලින් සරසන ලද පර්වතයෙන් පැමිණි ගල් නම්, මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: එනම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය උදෙසා දුක් විඳි අය, තමුන්ගේ මුළු සිතින් කැමැත්තෙන් දුක් විඳි අය සහ ඔවුන්ගේ ජීවිත අත්හැරියා වූ අය වෙති.” “මහත්මයා, සියලු ගස්වල ගෙඩි තිබෙන නමුත්, සමහර ගස්වල ගෙඩි අනෙක් ඒවාට වඩා ලස්සන ඇයි?” මම කීවෙමි. “අහන්න” ඔහු කීවේය. “ඒ නාමය නිසා සැමකල්හිදීම දුක් විඳි සියල්ලෝම දෙවියන් වහන්සේ ඉදිරියෙහි තේජාන්විත අය වෙති, එසේම ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ නාමය උදෙසා දුක් වින්ද බැවින්, ඔවුන් සියල්ලන්ගේ පාප පහ කර දමනු ලැබ ඇත. එහෙත් ඔවුන්ගේ ඵල විවිධ වන්නේ සහ සමහර ඒවා අනෙක් ඒවාට වඩා උසස් වන්නේ මන්දැයි අසන්න. බලධාරින් ඉදිරියට පමුණුවන ලදුව වධහිංසා පැමිණවීමෙන් ප්‍රශ්න කරන ලදුව, උන් වහන්සේ ප්‍රතික්ෂේප නොකර, කැමැත්තෙන්ම දුක් විඳි බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි වඩා තේජාන්විත අය වෙති. උසස් ඵල ඔවුන්ගේය. එහෙත්, බියගුලු හා පැකිලීමක් ඇති බොහෝ දෙනෙක්, ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතුද, පාපොච්චාරණය කළ යුතුද යන්න ගැන තම හදවත් තුළ වාද කර, එසේ වූවත් දුක් විඳි අයගේ ඵල එයට වඩා විශිෂ්ටත්වයෙන් අඩු ඵල වේ. මන්ද මෙම සිතුවිල්ල ඔවුන්ගේ හදවතේ ඇති වූ බැවිනි. මන්ද සේවකයෙකු තම ස්වාමියා ප්‍රතික්ෂේප කළ යුතුය යන මෙම සිතුවිල්ල නපුරු සිතුවිල්ලකි. එබැවින් මේ අදහස් ප්‍රකාශ කරන අයවලුනි, මේ සිතිවිල්ල ඔබේ සිත්වල නොපවතින පිණිසත්, ඔබ දෙවියන් වහන්සේ උදෙසා මරණයට පත් වන අයෙකු වීමටත් වගබලා ගන්න. එහෙත් එම නාමය නිසා දුක් විඳින ඔබ දෙවියන් වහන්සේ මහිමයට පත් කළ යුතුය. මන්ද ඔබ මෙම නාමය දැරීමට සුදුසු අයෙකු ලෙසත්, ඔබේ සියලු පාප සුවපත් කරනු ලැබීමට සුදුසු අයෙකු ලෙසත් දෙවියන් වහන්සේ ඔබ පිළිබඳ සැලකූ බැවිනි. 6 එබැවින් ඔබ ආශීර්වාද ලද්දෝ යයි සලකන්න; ඇත්ත වශයෙන්ම, ඔබගෙන් යමෙකු දෙවියන් වහන්සේ උදෙසා දුක් විඳිනවා නම්, ඔබ විශාල කාර්යක් කර ඇති බව තේරුම් ගන්න. ස්වාමින් වහන්සේ ඔබට ජීවනය ලබා දෙන නමුත්, ඔබ එය තේරුම් නොගන්නෙහිය, මක්නිසාද ඔබේ පාප ඔබට බරක් විය. එසේම ඔබ ස්වාමින් වහන්සේගේ නාමය නිසා දුක් නොවිඳ සිටියේ නම්, ඔබේ පාප නිසා ඔබ දෙවියන් වහන්සේට මිය යනු ඇත. ප්‍රතික්ෂේප කිරීමට හෝ පාපොච්චාරණය කිරීමට පසුබට වන ඔබට මම මේ දේවල් කියමි. ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබ සිරගෙට දමනු නොලබන පිණිස, ඔබට ස්වාමීන් වහන්සේ සිටින බවට පාපොච්චාරණය කරන්න. 8 මක්නිසාද තම ස්වාමියා ප්‍රතික්ෂේප කිරීම නිසා බාහිර අය තම වහලුන්ට දඬුවම් කරන්නෝ නම්, සියල්ල කෙරෙහි ආධිපත්‍යය බලය ඇති ස්වාමීන් වහන්සේ ඔබට කුමක් කරයි කියා ඔබ සිතන්නෙහිද? ඔබ දෙවියන් වහන්සේ උදෙසා සදහටම ජීවත් වන පිණිස, මෙම සිතුවිලි ඔබගේ හදවත්වලින් ඉවත් කර දමන්න.”

106 “තවද දොළොස්වන කන්දෙන්, එනම් සුදු පැහැති කන්දෙන් පැමිණි අය මෙබඳු ඇදහිලිවන්තයෝ වෙති: ඔව්හු සැබෑ ළදරුවන් මෙන් වෙති. ඔවුන්ගේ සිතට කිසි නපුරක් ඇතුළු නොවේ. දුෂ්ටකම කුමක්ද යන්න පවා ඔවුහු නොදනිති. ඔවුහු දරුවෙකුගේ මෙන් නිර්දෝෂීභාවයෙන් යුක්ත වූවාහුය. එම නිසා, මෙබඳු අය කිසි සැකයකින් තොරවම දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි වාසය කරති. එයට හේතුව ඔවුන් කිසි ලෙසකින්වත් දෙවියන් වහන්සේගේ ආඥා නොකෙළෙසූ බැවින් සහ ඔවුන්ගේ ජීවිත කාලය මුළුල්ලේම එකම මානසිකත්වයෙන් යුතුව දරුවන් මෙන් නිදොස්ව සිටි බැවිනි. එබැවින්, මේ දේ නොකඩව පවත්වන අය, ළදරුවන් මෙන්, දුෂ්ටකමකින් තොර වූ අය වෙති. පෙර සඳහන් කළ සියල්ලන්ටම වඩා, ඔවුහු වඩාත් මහිමාන්විත වෙති. මන්ද සියලුම ළදරුවන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි තේජාන්විත වන අතර, උන් වහන්සේ සමග ප්‍රමුඛවම සිටිනු ඇත. එබැවින් ඔබ වෙතින් නපුරු දේ බැහැර කර නිර්දෝෂීභාවයෙන් සැරසුණු ඔබ භාග්‍යවන්තයෝය. ඔබ ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන්නෙහිය,” යයි ඔහු පැවසුවේය. ඔහු කඳු පිළිබඳ උපමා කියා නිම කළ පසුව මම ඔහුට මෙසේ කීමි: “මහත්මයා, තැනිතලාවෙන් ගෙන ගොස් ගොඩනැගිල්ලට දැමූ ගල්, එනම් පසුව කුලුනෙන් ඉවත් කරනු ලැබ නැවත ගෙන ගිය ගල් සහ ගොඩනැගිල්ලේ තබා ඇති වටකුරු ගල් ගැන සහ තවමත් වටකුරුව තිබෙන ගල් පිළිබඳ මට පහදා දෙන්න.”

වටකුරු පාෂාණ පිළිබඳ පැහැදිලි කිරීම

107 “මේ සියලු දේ ගැනත් ඔබ අසන්න” යනුවෙන් ඔහු පැවසීය. මෙම සුදු කන්දෙහි මූලයෙන් ගෙනෙන ලද ගල් ඉවත් කර ඒ වෙනුවට තැනිතලාවෙන් රැගෙන ගොස් එම කුලුනෙහි ව්‍යුහයට සවි කළ ගල් පිළිබඳ අසන්න. සුදු කන්දේ සිට අදහාගත් සියල්ලෝම නිර්දෝෂී අය බව පෙනී ගිය බැවින්, කුලුනේ ස්වාමින් වහන්සේ මේ කන්දේ මුල්වල ඇති මේවා කුලුනෙහි ව්‍යුහය තුළට දැමීමට අණ කළ සේක. එසේ කළේ මේ ගල් කුලුනේ ව්‍යුහයට සවි කළ විට ඒව දීප්තිමත්ව පවතිනු ඇති බවත්, ඒවායින් එකක්වත් කළු නොවනු ඇති බවත් උන් වහන්සේ දැන සිටි බැවිනි. එහෙත් ඔහු අනෙක් කඳුවලින් ගත් ගල් ව්‍යුහයට සවි කළේ නම් ඔහුට නැවත නැවතත් කුලුනට ගොස් එය පිරිසිදු කිරීමට සිදු වනු ඇත. එහෙත් විශ්වාස කළ සියල්ලන්ම සහ විශ්වාස කරන්නට යන සියල්ලන්ම, ඔවුන් සියල්ලෝම එකම වර්ගයට අයිති වන බැවින්, ඒ සියල්ල සුදු පැහැති බව දක්නට ලැබෙයි. මේ ආකාරයේ අය භාග්‍යවන්තයෝය. මන්ද ඔවුහු නිදොස් අය වන බැවිනි. වටකුරු හා දීප්තිමත් ගල් ගැනත් දැන් අසන්න. මේ සියල්ලද එම සුදු පැහැති කන්දෙන් ගත් ඒවාය. ඒවා වටකුරුව තිබුණේ මන්දැයි දැන් අසන්න. ඔවුන්ගේ ධනය මගින් ඔවුන් සත්‍යයෙන් මඳක් ගලවා අඳුරු කළ නමුත්, ඔවුන් කිසිදා දෙවියන් වහන්සේගෙන් ඉවත් වූයේවත්, ඔවුන්ගේ මුවින් කිසි නපුරු වචනයක්වත් පිට වූයේවත් නැත. එහෙත් ඔවුන් වෙත වූයේ සියලු යුක්තිය සහ සැබෑ ගුණධර්ම පමණි. එබැවින් ස්වාමින් වහන්සේ ඔවුන්ගේ මනස් සත්‍යයට කරුණාව දැක්වීමටත්, යහපත්ව සිටිය හැකි බවත් වටහාගත් විට, උන් ්වහන්සේ ඔවුන්ගේ ධනය කපා දැමීමට නියෝග කළ සේක. එහෙත් එය සම්පූර්ණයෙන්ම පැහැර නොගන්නා ලෙස අණ කළ සේක. එවිට ඔවුන්ට ඉතිරි වී ඇති දෙයින් යම් යහපතක් කිරීමට ඔවුන්ට හැකි වන අතර, ඔවුන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනු ඇත. මන්ද ඔවුහු හොඳ වර්ගයේ අයයි. එබැවින් ඔවුන් මඳක් කපා දමනු ලැබ, මෙම කුලුනෙහි ව්‍යුහයෙහි තබන ලදී.”

108 “එහෙත්, ඒ වන විටත් මුද්‍රාව නොලැබීම හේතුවෙන්, තවමත් වටකුරුව තිබෙන සහ ව්‍යුහයට සවි කිරීමට නොගැළපෙන අනෙකුත් අය, ඔවුන් ඉතා වටකුරු වූ බැවින්, ඔවුන්ගේ ස්ථානයටම නැවත පැමිණියෝය. මන්ද මේ ලෝකය සහ ඔවුන්ගේ වස්තුවෙහි නිෂ්ඵල බව ඔවුන්ගෙන් ඉවත් කර දැමිය යුතුව ඇත. එවිට ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු අය වනු ඇත. මන්ද ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම අවශ්‍ය වේ. මන්ද ස්වාමින් වහන්සේ මේ නිර්දෝෂි වර්ගයට ආශීර්වාද කර ඇති බැවිනි. එබැවින් මේ වර්ගයේ එක් අයෙකු හෝ විනාශයට පත් නොවනු ඇත. ඇත්තෙන්ම, ඔවුන්ගෙන් එක් කෙනෙකු හෝ ඉතාම දුෂ්ට යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවත්, යම් කිසි වරදක් සිදු කළත්, එම පුද්ගලයා ඉක්මනින්ම ස්වාමින් වහන්සේ වෙතට හැරී එනු ඇත. ඇත්තෙන්ම, පසුතැවිලි වීමේ දූතයා වන මම, ළදරුවන් මෙන් නිර්දෝෂී වූ අය සියලු දෙනාම ආශීර්වාද ලත් අය බවට ප්‍රකාශ කරමි. මන්ද, ඔබේ කොටස දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් හා ගෞරවනීය වන බැවිනි. එබැවින් මෙම මුද්‍රාව ලබා ඇති ඔබ සැම දෙනාටම මම මෙසේ කියමි: ඔබේ අවංකකම දිගටම පවත්වා ගන්න, අමනාප නොවන්න, ඔබේ දුෂ්ටකමේ හෝ තික්තකමේ පැකිළීම්වල මතකයේ රැඳී නොසිටින්න. එහෙත් එක ආත්මයක් බවට පත් වී, මේ නපුරු බෙදීම් සුව කර, ඒවා ඔබ අතරෙන් ඉවත් කරන්න. එසේ කිරීම කරණකොටගෙන බැටළු රැළේ ස්වාමියා ඔවුන් ගැන ප්‍රීතියට පත් වනු ඇත. මක්නිසාද සියල්ලෝම නිරුපද්‍රිතව සිටියහොත් සහ ඔවුන්ගෙන් කිසිවෙක් විසිරී නොයා සිටියහොත්, ඔහු ප්‍රීතියට පත් වනු ඇත. එහෙත් ඔවුන්ගෙන් කිසිවෙක් විසිරී ගොස් ඇති බව දුටුවොත්, එඬේරුන්ට දුක් වේ. ඔවුන් රැළේ ස්වාමියාට බැටළුවන් පිළිබඳ කුමක් කියන්නද? ඔවුන් බැටළුවන් විසින් විසුරුවා හරිනු ලැබ ඇති බව කියන්නද? එය පැවසුවහොත් ඔවුන්ව විශ්වාස නොකරනු ඇත. මන්ද බැටළුවන් විසින් එඬේරාට තුවාල කරනු ලැබිම වු කලි අදහාගත නොහැකි දෙයක් වන නිසාය. ඒ වෙනුවට ඔවුන්ගේ බොරුව නිසා ඔවුන්ට දඬුවම් කරනු ලබනවා ඇත. මමත් එඬේරෙක්මි, එසේම නිසැක වශයෙන්ම මා ඇත්තෙන්ම ඔබ වෙනුවෙන් ගණන් දිය යුතුයි.”

අවසාන අනුශාසනා

109 “එබැවින් කුලුන ඉදිකරන මේ කාලය අතරතුරම ඔබේ මාර්ග සකස් කර ගන්න. ස්වාමින් වහන්සේ සමාදානයට ප්‍රේම කරන මිනිසුන් අතර වාසය කරන සේක. මන්ද සමාදානය උන් වහන්සේට සැබවින්ම ප්‍රිය වන නිසාය. එහෙත් උන් වහන්සේ කලහකාරී අයගෙන් සහ දුෂ්ටකමෙන් විනාශ වූ අයගෙන් දූරස්ථව සිටින සේක. එබැවින් ඔබේ ආත්මය ඔබට ලැබුණු ආකාරයටම උන් වහන්සේ වෙත සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙන්න. ඔබ පවිත්‍ර කරන කෙනාට පලුදු නොවූ වස්ත්‍රයක් ලබා දුන්නෙහි යයි සිතන්න. එය නැවතත් ඔබට භාර දෙන කල පලුදු නොවී තිබීමට ඔබට අවශ්‍ය විය. එහෙත් පවිත්‍ර කරන්නා ඔබට ආපසු දුන්නේ ඉරුණු වස්ත්‍රයකි. ඔබ එය පිළිගන්නවාද? ඔබ එකෙණෙහිම කෝපයෙන් යුක්තව අපහාස කරමින්, ‘මා ඔබට දුන් ඇඳුම පලුදු වී තිබුණේ නැහැ. ඔබ එය ඉරා දැමුවේත්, ප්‍රයෝජනයක් නැති එකක් බවට පත් කළේත් ඇයි?, ඔබ එය ඉරා දැමූ නිසා, එය භාවිත කළ නොහැකිය!’ යයි කියනු ඇත. ඔබේ ඇඳුමේ ඉරීමක් ඇති වූ නිසා පමණක් ඔබ මේ සියල්ල පිරිසිදු කරන්නෙකුට කියනවා නොවේද? එබැවින්, ඔබ ඔබගේ වස්ත්‍රය පලුදු නොවී නැවතත් නොලැබීම හේතුවෙන් ඔබ හිත අසතුටට පත් කරගෙන පැමිණිලි කරන්නෙහි නම්, ඔබට නොකැළැල් වූ ආත්මය දුන් තැනැන් වහන්සේ වන ස්වාමින් වහන්සේ, එය එහි ස්වාමින් වහන්සේ කිසි සේත්ම ප්‍රයෝජනයක් නොවන පරිදි ඔබ එය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ලෙස ආපසු භාර දෙන විට, ඔබට එය කරන සේක්ද? මන්ද ඔබ එය දූෂිත බවට පත් කළ විට එහි ප්‍රයෝජනවත් බව අඩු විය. මේ ආත්මයේ ස්වාමින් වහන්සේ ඔබේ මේ ක්‍රියාව නිසා ඔබට මරණ දඩුවම නොදී සිටින සේක්ද?” ”ඒකාන්තයෙන්ම, උන් වහන්සේ දිගටම නපුරුකම් කරන සියල්ලන්ටම දඬුවම් කරන සේක,” යයි මම කීවෙමි. ”උන් වහන්සේගේ දයාව පාගා නොදමන්න, එහෙත් උන් වහන්සේට ගෞරව කරන්න; මන්ද උන් වහන්සේ ඔබගේ පාප පිළිබඳ ඉතාම ඉවසිලිවන්තව සිටින සේක. උන් වහන්සේ ඔබ මෙන් නොවේය. එබැවින් ඔබට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් පසුතැවිලි වන්න,” ඔහු කීවේය.

110 ඉහත ලියා ඇති මේ සියල්ල, එඬේරා, පසුතැවිලි වීමේ දූතයා වන මම දෙවියන් වහන්සේගේ සේවකයන්ට ප්‍රකාශ කර පැවසුවෙමි. ඔබ ඒවා විශ්වාස කර මාගේ වචන ඇසුවොත්, සහ ඒවා අනුව ගමන් කර ඔබේ මාර්ග සකස් කරගත්තොත් ඔබට ජීවනය ලැබීමට හැකිය. එහෙත් ඔබ දිගටම දුෂ්ටකමේ සහ ද්වේෂසහගත ක්‍රියාවල නියැලෙන්නෙහි නම්, මේ ආකාරයේ කිසිවෙක් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන්නේ නැත. මට කියන්නට තිබූ සියල්ල මම දැන් ඔබට කීවෙමි.” එඬේරා මට කතා කොට මෙසේ කීවේය, “ඔබ මගෙන් සියල්ල ඇසුවෙහිද?” “ඔව්, මහත්මයා,” මම කීවෙමි. “එසේ නම්, ගොඩනැගිල්ලට දැමූ ගල්වල සලකුණු, අප විසින් පුරවන ලද සලකුණු පිළිබඳද ඔබ මගෙන් නොවිමසුවේ ඇයි?” ඔහු ඇසීය. “මට අමතක වුණා, මහත්මයා,” මම කීවෙමි. “දැන් ඒවා ගැන අහගන්න. ඔව්හු නම් දැන් මාගේ ආඥා අසා මුළු සිතින් පසුතැවිලි වූ අය වෙති. ස්වාමින් වහන්සේ ඔවුන්ගේ පසුතැවීම යහපත් හා පිරිසිදු බවත්, ඔවුන්ගේ පසුතැවිල්ලෙහි දිගටම පැවතීමට ඔවුන්ට හැකි බවත් දුටු විට, උන් වහන්සේ ඔවුන්ගේ පෙර පාපයන් අතුගා දැමීමට නියෝග කළ සේක. මක්නිසාද මෙම ලකුණු ඔවුන්ගේ පාප විය; එබැවින් ඒවා තවදුරටත් නොපෙනෙන ලෙස සුමට කරන ලදී,” ඔහු කීය.

10 වන උපමාව

නිගමනය

111 මා මෙම පොත ලිවීමෙන් අනතුරුව, මා මෙම එඬේරා වෙත භාර දුන් දේව දූතයා මා සිටි ගෙදර සෝපාවක වාඩි වී සිටින කල මා වෙත පැමිණියේය. එවිට එඬේරා ඔහුගේ දකුණුපසින් සිටගත්තේය. පසුව ඔහු මා කැඳවා මට මෙසේ කීවේය. “මම ඔබ සහ ඔබේ පවුගේ අය මේ එඬේරා වෙත භාර කළෙමි. එසේ කළේ ඔහු විසින් ඔබ ආරක්ෂා කරනු ලබන පිණිසය,” ඔහු කීවේය. “ඔව්, මහත්මයා,” මම කීවෙමි. “එම නිසා, ඔබට සියලුම කරදර සහ නපුරුකම්වලින් ආරක්ෂා වීමට අවශ්‍ය නම්, සියලුම යහපත් ක්‍රියාවකම සහ වචනයකදීම සාර්ථක වීමට අවශ්‍ය නම්, එසේම ධර්මිෂ්ඨකමේ සියලුම ගුණධර්ම ලැබීමට අවශ්‍ය නම්, මා විසින් ඔබට ලබා දෙන ලද උන් වහන්සේගේ ආඥාවලට අනුව ජීවත් වන්න. එවිට ඔබට සියලුම දුෂ්ටකම්වලින් ජයගැනීමට හැකි වනු ඇත. මන්ද ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද්දහොත්, සියලුම නපුරු ආහාවන් සහ මේ ලෝකයේ ප්‍රියතාවයන් ඔබට යටත් වනු ඇත. එමෙන්ම ඔබ ගන්නා සැම යහපත් පියවරකදීම ඔබට සාර්ථකත්වය ලැබෙනු ඇත. උන් වහන්සේගේ පරිණත බව සහ ස්වයං දමනය වැලඳගන්න. උන් වහන්සේ ස්වාමින් වහන්සේ සමග අතිමහත් ගෞරවයෙන් සහ උත්කෘෂ්ඨ ලෙස වැඩවසන බව සහ උන් වහන්සේ තමන් වහන්සේගේ නිලයේ මහත් බලයෙන් සහ ආධිපත්‍යයෙන් යුක්තව වැඩවාසය කරන බවත් සියලු මනුෂ්‍යයින්ට පවසන්න. පසුතැවිලි වීම ලබා දීම පිණිස මේ මුළු ලෝකයෙන්ම ආධිපත්‍යය ඇත්තේ උන් වහන්සේ වෙත පමණි. උන් වහන්සේ බලවන්ත අයෙකු මෙන් ඔබට නොපෙනේද? එසේ වූවත් ඔබ උන් වහන්සේගේ ඔබ කෙරෙහි පෙන්වන ලද උන් වහන්සේගේ පරිණත බව සහ මධ්‍යස්ථ බව නොසලකා හරින්නෙහිය,” කියා ඔහු පැවසුවේය.

10.2

112 මම ඔහුට මෙසේ පැවසුවෙමි. “මහත්මයා, ඔහු මාගේ නිවහනෙහි සිටි බැවින්, මා ඔහු පැකිළීමට පත් කරන ආකාරයෙන් ඔහුගේ ආඥාවන්ට පටහැනි ලෙස යම් දෙයක් කර ඇත්දැයි ඔහුගෙන් අසන්න.” ඔහු මෙසේ කීය. “ඔබ ආඥාවලින් බැහැරව කිසිවක් සිදු නොකළ බව මම දනිමි. එසේම එවන් දෙයක් සිදු නොකරන බවද දනිමි. ඒ නිසා මා මේ දේවල් ඔබට පවසන්නේ, එසේ කිරීමෙන් ඔබ ආරක්ෂා කරන පිණිසය. මන්ද ඔහු ඔබ සම්බන්ධයෙන් යහපත් වාර්තාවක් මට ලබා දුන්නේය. එම නිසා, ඔබ අන් අයට මේ දේවල් පැවසිය යුතුය. එසේ කිරීමෙන් පසුතැවිලි වූ සහ පසුතැවිලි වන්නට යන අය වෙතද ඔබගේ ආකල්පය ඇති වනු ඇත. එවිට ඔහුට ඔවුන් සම්බන්ධයෙන්ද මට යහපත් වාර්තාවක් ලබා දීමට හැකි වනු ඇත. මටද එවිට ස්වාමින් වහන්සේට ඔවුන් ගැන යහපත් වාර්තාවක් ලබා දිය හැකිය.” මම මෙසේ කීවෙමි. “මහත්මයා, මම ස්වාමින් වහන්සේගේ බලවත් ක්‍රියාවන් අන් අයට ප්‍රකාශ කරමි. මන්ද පසුගිය කාලයෙහි පාපයෙහි ජීවත් වූ අය සතුටින් පසුතැවිලි වන බවට සහ ඔවුන් මේ කාරණා ඇසුවහොත් ඔවුන්ට නැවතත් ජීවිතය ලැබෙන බවත් මා බලාපොරොත්තු වන බැවිනි.” “එසේ නම් මේ සේවයෙහි නොකඩව පැවතෙමින් එය සම්පූර්ණ කරන්න. උන් වහන්සේගේ ආඥාවන් ඉටු කරන සියලු දෙනාටම ජීවනය ලැබෙනු ඇත. එසේම ඒවා පවත්වන අයට ස්වාමින් වහන්සේගෙන් මහත් ගෞරවයක් ලැබෙනු ඇත. එහෙත් උන් වහන්සේගේ ආඥාවන් නොපිළිපදින අය, ඔවුන්ගේම ජීවනයෙන් ඉවතට දුව යන අතර, උන් වහන්සේ ප්‍රතික්ෂේපද කරති. එහෙත් එවැනි අයට දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්තේ ඔවුන්ගේම ගෞරවයයි. එම නිසා, උන් වහන්සේ ප්‍රතික්ෂේප කරන අය සහ උන් වහන්සේගේ අණ පනත් නොපිළිපදින අය තමුන්ම මරණයට භාර වෙති. එසේම ඒ සියලු දෙනාම ඔහුගේම හෝ ඇයගේම ලේවලට වරදකාරයෝ වෙති. එහෙත් මේ ආඥාවන්ට කීකරු වන ලෙස මම ඔබට පවසමි. එසේ කිරීමෙන් ඔබගේ පාපවලට සුවයක් ඔබට තිබෙනු ඇත.”

10.3

113 “තවදුරටත්, මා මේ කන්‍යාවන් ඔබ වෙත එව්වේ ඔවුන් ඔබ සමග ජීවත් වන පිණිසයි. මන්ද ඔවුන් ඔබ හා මිත්‍රශීලීව සිටින බව මම දුටුවෙමි. ඔබගේ උපකාරකරුවන් ලෙස ඔබට ඔවුහු සිටිති. එම නිසා, ඔබට උන් වහන්සේගේ ආඥාවන් වඩා හොඳින් පිළිපැදීමට හැකි වනු ඇත. මන්ද මේ කන්‍යාවන්ගේ උපකාරවලින් තොරව එම ආඤාවන් පිළිපැදීමට නොහැකි වන බැවිනි. එසේම ඔවුන් ඔබ හා සමග සිටීමට සතුටු වන බවද මම දුටුවෙමි. කෙසේ වූවත්, ඔබගේ නිවහන කිසි විටකත් හැර නොයන මෙන් මම ඔවුන්ට අවවාද කරන්නෙමි. ඔබගේ නිවහන පවිත්‍රව තබා ගත යුත්තේ ඔබම පමණි. මන්ද ඔවුන් පවිත්‍ර නිවහනක සතුටින් වාසය කරනු ඇත. එයට හේතුව ඔවුන් පවිත්‍ර, නිර්මල බ්‍රහ්මචාරී අය සහ කඩිසර ලෙස මහන්සි වී වැඩ කරන අය වන නිසාය. එසේම ඒ සියලු දෙනාම දෙවියන් වහන්සේගේ කරුණාව ලැබූ අය වෙති. එම නිසා, ඔබගේ නිවහන පවිත්‍රව තිබෙන බව ඔවුන් දකිනවා නම්, ඔවුන් ඔබ සමග දිගටම වාසය කරනු ඇත. එහෙත් ඉතාම සුළු අපවිත්‍ර බවක් ඒ තුළ ඇති වී නම්, ඔවුන් ඔබගේ නිවහනින් එවේලෙහිම පිට වී යනු ඇත. මන්ද මේ කන්‍යාවන් කිසිම ආකාරයේ අපවිත්‍රකමකට ප්‍රේම නොකරන අය බව බැවිනි.” මම ඔහුට මෙලෙස කීවෙමි. “මා ඔවුන් සතුටට පත් කරනු ඇති බවට මම බලාපොරොත්තු වෙමි, මහත්මයා, එවිට ඔවුන් මාගේ නිවසෙහි සැම විටම සතුටින් වාසය කරනු ඇත. එසේම ඔබ විසින් මා යොමු කරන ලද තැනැන් වහන්සේ මා තුළ කිසිම වරදක් නොදකින්නා සේ ම, ඔවුන්ද මා තුළ කිසිම වරදක් නොදකිනු ඇත.” ඔහු එඬේරාට මෙසේ කීවේය. “දෙවියන් වහන්සේගේ සේවකයාට ජීවත් වීමට අවශ්‍ය බව සහ මේ ආඥා පිළිපැදීමට අවශ්‍ය බවත්, මේ කණාවන්ට පවිත්‍රතාවය රැක ගැනීමෙන් උපකාර කරනු ඇති බවත් මම දනිමි.” මේ දේවල් පවසා නිම වීමෙන් අනතුරුව, ඔහු නැවතත් මා එඬේරා වෙත යොමු කළේය. එසේම කන්‍යාවන් කැඳවා ඔහු ඔවුන්ට මෙලෙස පැවසුවේය. “ඔබ මේ මිනිසාගේ නිවහනෙහි ජීවත් වීමට කැමති බව මට පෙනෙන නිසා, මම ඔබට ඔහු සහ ඔහුගේ නිවහන භාර දෙමි. ඔහුගේ නිවහන කිසිම විටක හැර නොයන්න.” එසේ ඔවුහු මේ වචන ඇසීමෙන් සතුටට පත් වූහ.

114 එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔබගේ සේවය ධෛර්යවත් ලෙස සිදු කරගෙන යන්න; සැම මනුෂ්‍යයෙකුටම දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාවන් ප්‍රකාශ කරන්න. එලෙස කිරීමෙන් ඔබට සේවයෙහිදී කරුණාව ලැබෙනවා ඇත. එම නිසා, මේ ආඥාවන් පිළිපදින කවරෙකු වූවත්, ජීවත් වනවා ඇත, එසේම සතුටුදායක ජීවිතයක් ලබනවා ඇත.; එහෙත් මේවා ප්‍රතික්ෂේප කරන කවරෙකු වූවත්, ජීවත් නොවන අතර, අසතුටුදායක ජීවිතයක් ගත කරනවා ඇත. නිවැරදි දේ කරන්නට හැකියාව ඇති සියලු දෙනාටම ඒවා නොනවත්වන ලෙස පවසන්න. මන්ද යහපත් ක්‍රියාවල නිරත වීම ඔවුන්ට ප්‍රයෝජනවත් වනවා ඇත. තවදුරටත්, සැම මනුෂ්‍යයෙකුම පීඩාවට පත් වීමෙන් නිදහස් කරනු ලැබීම අවශ්‍යව ඇත. මන්ද අවශ්‍යතාවන් සහිතව සිටින පුද්ගලයා සහ දිනපතාම පීඩා විඳින තැනැත්තා මහත් වේදනාවෙන් සහ බරකින් ජීවත් වනවා ඇත. එම නිසා, එවන් වූ තැනැන්තෙකු දුක්ඛිත බවින් නිදහස් කරන තැනැත්තා, තමාම මහත් ප්‍රීතියක් භුක්ති විඳිනවා ඇත. මන්ද මේ ආකාරයේ වේදනාවෙන් පීඩාවට පත් වී ඇති තැනැත්තා, බැඳුම්වල සිටින කෙනෙකු හා සමාන ලෙසම වේදනාවෙන් පීඩාවට පත් වී සිටින නිසාය. මන්ද බෝහෝ මනුෂ්‍යයෝ, මේ ආකාරයේ කරදර හේතුවෙන්, ඔවුන්ට ඒවා තවදුරටත් දරා ගැනීමට නොහැකි වන විට, සිය දිවි හානි කර ගනිති. එම නිසා, මේ ආකාරයේ දුක්ඛිත බවකින් සිටින තැනැත්තෙකුගේ දුක්ඛිත බව දන්නා ඕනෑම අයෙකු, එම තැනැත්තා නිදහස් කර නොගන්නේ නම්, මහත් පාපයක් සිදු කරන අතර, එම පුද්ගලයාගේ ලේ සම්බන්ධයෙන් වරදකාරයෙකු බවට පත් වනවා ඇත. එම නිසා, යහපත් ක්‍රියාවන් සිදු කරන්න. ස්වාමින් වහන්සේ වෙතින් යහපත් ක්‍රියාවන් ලබා ඇති ඔබ, ඒවා සිදු නොකර සිටීමෙන් කුලුන ගොඩනැගීම අසම්පූර්ණත්වයට පත් නොවන පිණිස ඒවා සිදු කරන්න. මන්ද ගොඩනැගීමේ ක්‍රියාව නතර කරනු ලැබුවහොත් එය ඔබගේ ගණනට වැටෙන යෙක් වන නිසාය. එම නිසා, ඔබ නිවැරදි දේ කිරීමට ඉක්මන් වූයේ නැත්නම්, කුලුන සාදා සම්පූර්ණත්වයට පත් කරනු ලබනවා ඇත. එසේම ඔබ එයින් ඉවත් කරනු ලැබ සිටිනවා ඇත.” දැන් ඔහු මට කතා කර අවසන් කළ පසුව, ඔහු අසුනෙන් නැගිට තමා සමග එඬේරා සහ කන්‍යාවන් රැගෙන පිටත් වී ගියේය. කෙසේ වෙතත් ඔහු එඬේරා සහ කන්‍යාවන් නැවතත් මාගේ නිවසට එවන බව පවසා ගියේය.


<Part 1 දර්ශන <Part 2 ආඥා