දෙවන ක්ලෙමන්ට් තුමා (Second Clement)

Second Clement, in Sinhala


පෙරවදන: යේසුස් වහන්සේ පිළිබඳ සිතීම

1 සහෝදර සහෝදරියනි, අප දෙවියන් වහන්සේ පිළිබඳ සිතන ආකාරයටම, ජීවත් වන්නන් සහ මළවුන්ගේ විනිශ්චයකරුවාණන් වහන්සේ ලෙසට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳවද සිතිය යුතුය. අපගේ ගැලවීම වන තැනැන් වහන්සේ අප විසින් සුළු කොට නොසැලකිය යුතුය. 2 මන්ද අප උන් වහන්සේ සුළු කොට සලකන කල, අප ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේද සුළු වශයෙන් වන බැවිනි. මේවා කුඩා කාරණා යයි සිතාගෙන, ඒවා අසන අය සිදු කරන්නේ වරදකි. එසේම, අප කැඳවනු ලැබ ඇත්තේ කොහෙන්ද, කවුරුන් විසින්ද සහ කුමන ස්ථානයකටද යන්නත්, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කෙතරම් දුක් වින්ද සේක්ද යන්නත් තේරුම් ගැනීමට අප අසමත් වන කල අපද සිදු කරන්නේ වරදකි. 3 එසේ නම් අප උන් වහන්සේට කුමන දෙයක් නැවත දිය යුතුද, නැතිනම්, උන් වහන්සේ අප වෙනුවෙන් ලබා දුන් දේ උදෙසා වටිනා ඵලය වන්නේ කුමක්ද? එසේම අප උන් වහන්සේට කෙතරම් ප්‍රමාණයක ශුද්ධ ක්‍රියාවන් ණයගැතිව සිටිමුද? 4 මක්නිසාද උන් වහන්සේ අපට ආලෝකය ලබා දුන් සේක. පියාණන් වහන්සේ ලෙස උන් වහන්සේ අපට දරුවන් කියා අමතා ඇති සේක. අප විනාශ වෙමින් සිටින කල උන් වහන්සේ අප ගැලෙවූ සේක. 5 එසේ නම් කුමන ප්‍රශංසාවක් අප උන් වහන්සේට ලබා දිය යුතුද? නැතිනම් අපට ලැබුණු දේ උදෙසා අප කුමන දෙයක් නැවත ලබා දිය යුතුද? 6 අපගේ මනසවල් අන්ධ වී තිබිණි. එසේම අපි මනුෂ්‍යයින් විසින් සාදන ලද දේවල් වන ගල්වලට සහ ලීවලටත්, රන් සහ රිදී සහ පිත්තලවලටත් නමස්කාර කළෙමුව. ඇත්තෙන්ම, අපගේ සමස්ත ජීවිතයම මරණය මිස අන් කිසිවක් නොවීය. එම නිසා, අප තවදුරටත් අන්ධකාරයේ එතී සිටින කල, සහ අපගේ දැක්ම මෙම ඝන මීදුමෙන් වැසී තිබූ කල, අප වටා එතී තිබූ වලාකුළ උන් වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ඉවත් කරන ලදුව, අපි අපගේ පෙනීම නැවත ලබාගතිමුව. 7 මන්ද උන් වහන්සේ අප කෙරෙහි කරුණාව දැක්වූ සේක. එසේම උන් වහන්සේ වෙතින් පැමිණෙන ගැලවීම හැරුණු කොට අපට වෙන බලාපොරොත්තුවක් නොමැති අවස්ථාවේදී, උන් වහන්සේ අප තුළ තිබෙන මහත් රැවටිලිකාරකම සහ විනාශය දැක තිබියදී විට පවා, උන් වහන්සේගේ දයානුකම්පාව කරණකොටගෙන උන් වහන්සේ අප ගැලෙවූ සේක. 8 මක්නිසාද අපට පැවැත්මක් නොමැති අවස්ථාවේදී උන් වහන්සේ අප කැඳවා, කිසිම දෙයක් නැති ස්ථානයකින් උන් වහන්සේ අපගේ පැවැත්ම ඇති කිරීමට කැමති වූ සේක.

ශුද්ධලියවිලි පාඨයක් සහ එහි අර්ථය

2 “දරුවන් නොවැදූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න. විළිරුජාව නොවිඳි තැනැත්තිය, ප්‍රීතියෙන් හඬ නගන්න. මන්ද ස්වාමි පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝය.” දැන් “දරුවන් නොවැදූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න” යයි ඔහු පැවසූ විට ඔහු එය අප සම්බන්ධයෙන් පවසා ඇත. මන්ද අපගේ සභාව එයට දරුවන් ලබා දීමට පෙර වඳ සභාවක් විය. 2 එසේම, “විළිරුජාව නොවිඳි තැනැත්තිය ප්‍රීතියෙන් හඬ නගන්න” යයි ඔහු පැවසූ කල ඔහු ඉන් අදහස් කළේ මෙයයි. අප අපගේ යාච්ඤාවන් අවංක ලෙස දෙවියන් වහන්සේ වෙත ඔප්පු කළ යුතුය. එසේම විළිරුජාවෙන් පසු වන කාන්තාවන් මෙන් අප විඩාබර නොවිය යුතුය. 3 එසේම, “මන්ද ස්වාමි පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝය” යනුවෙන් ඔහු පවසයි. මන්ද අපගේ ජනතාව දෙවියන් වහන්සේ විසින් අත්හරිනු ලැබ ඇති බව පෙනෙන්නට විය. එහෙත් දැන් අප විශ්වාස කළ නිසා, දෙවියන් වහන්සේ සිටින බව පෙනෙන්නට ඇති අයට වඩා අප දැන් ගණනින් වැඩි බවට පත් වී ඇත. 4 එසේම තවත් ශුද්ධලියවිල්ලක මෙසේ පවසයි. “මා ආවේ පව්කරුවන් මිස ධර්මිෂ්ඨයින් කැඳවීමට නොවේය.” 5 උන් වහන්සේ මෙහිදී අදහස් කරන්නේ මෙයයි. විනාශ වන අය ගලවනු ලැබීම අවශ්‍ය වේ. 6 මන්ද සිටගෙන සිටින්නන් නොව වැටී යන්නන්ට උපකාර කිරීම මහත් දෙයක් මෙන්ම පුදුමාකාර දෙයක්ද වන බැවිනි. 7 එම නිසා ක්‍රිස්තුස් වහන්සේද විනාශ වන දේ ගැලවීමට කැමති වූ සේක. එසේම උන් වහන්සේ පැමිණ, දැනටමත් විනාශ වෙමින් සිටි අප කැඳවා අපට ගැලවීම ලබා දුන් සේක.

දෙවියන් වහන්සේ පිළිගැනීම

3 එසේ නම්, උන් වහන්සේ අපට මෙතරම් මහත් කරුණාවක් පෙන්වා ඇති බව දැකීමෙන්, පළමු කොටම, ජීවත් වන්නාවූ අපි මැරුණු දෙවිවරුන්ට පූජා නොපවත්වමු. ඒවාට නමස්කාරද නොකරමු. එහෙත් උන් වහන්සේ තුළින් අපි සත්‍යයේ පියාණන් වහන්සේ දැනගැනීමට පැමිණ සිටිමු. අප උන් වහන්සේ දැන හඳුනාගැනීමට පැමිණි තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකර සිටීම මිස, අපට උන් වහන්සේ පිළිගෙන ගෞරව කිරීමට ඇති ආකාරය අන් කුමක්ද? 2 ඇත්තෙන්ම උන් වහන්සේම මෙසේ පවසන සේක. “මනුෂ්‍යයින් ඉදිරියේදී මා පිළිගන්නා කවරෙක් නමුත්, පියාණන් වහන්සේ ඉදිරියේදී මම ඔහු පිළිගන්නෙමි.” 3 එසේ නම් අප ගැලවීම ලබා ඇත්තේ කුමන තැනැන් වහන්සේ තුළින්ද, අපි උන් වහන්සේ පිළිගන්නෙමු නම්, එය, අපගේ ප්‍රතිවිපාකය වේ. 4 එහෙත් අප උන් වහන්සේ පිළිගන්නේ කෙසේද? උන් වහන්සේ පවසා ඇති දේවල් ඉටු කිරීමෙන් සහ උන් වහන්සේගේ අණ පනත්වලට අකීකරු නොවීම මගිනි. එසේම අපගේ තොල්වලින් පමණක් නොව, අපගේ මුළු හදවතින් සහ අපගේ මුළු මනසින් උන් වහන්සේට ගෞරව කිරීම මගිනි. 5 එසේම යෙසායා පොතේ ඔහුද මෙසේ පවසයි.“මේ සෙනග මට තොල්වලින් ගෞරව කරති, එහෙත් ඔවුන්ගේ හදවත් මාගෙන් බොහෝ දුරස්ව තිබේ.

4 එම නිසා අපි, හුදෙක් උන් වහන්සේට ස්වාමින් වහන්සේ යයි කතා නොකරමු. මන්ද එසේ කිරීමෙන් අප ගැලවීම ලබන්නේ නැත. 2 මන්ද උන් වහන්සේ මෙසේ පවසන සේක. “මට ස්වාමිනි, ස්වාමිනි, කියන සියල්ලෝ ගලවනු නොලබන්නෝය, එහෙත් නිවැරදි දේ කරන අයම ගලවනු ලබන්නෝය.” 3 එසේ නම්, සහෝදර සහෝදරියනි, එකිනෙකාට ප්‍රේම කිරීම මගින් අපි අපගේ ක්‍රියාවලින් උන් වහන්සේ පිළිගනිමු. කාමමිථ්‍යාචාරය නොකර, අන් අයට විරුද්ධව බොරු නොකියා, ඊර්ෂ්‍යා නොකර සිටිමු. එහෙත් ස්වයං පාලනයෙන් යුතුව, දයානුකම්පාවෙන් යුක්තව සහ කරුණාවන්තව ක්‍රියා කරමු. එසේම අප එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව, කෑදර නොවී, වස්තු තෘෂ්ණාව නැතිව සිටිය යුතුය. මෙවැනි ක්‍රියා මගින් මිස ඒවායෙහි ප්‍රතිවිරුද්ධ දේ නොකර, අපි උන් වහන්සේ පිළිගනිමු. 4 තවදුරටත්, අප බිය විය යුතු වන්නේ දෙවියන් වහන්සේට මිස මිනිසුන්ට නොවේය. 5 මේ හේතුව නිසා, ස්වාමින් වහන්සේ විසින් පවසන ලද මේ කාරණා ඔබ ඉටු කරන්නෙහි නම්, “ඔබ මාගේ හදවතට සමීපව ළං කරනු ලැබ සිටියද, ඔබ මගේ අණ පනත් පිළිපදින්නේ නැතිනම්, මම ඔබ ඉවතට විසි කර දමා ඔබට මෙසේ පවසමි.” “මගෙන් ඉවත්ව යනු, වැරදි දේවල් කරන්නෙනි, ඔබ කොහෙන් පැමිණියේද යන්න මම නොදනිමි.”

මේ ලෝකය තුළ තාවකාලික අය මෙන් ජීවත් වීම

5 එම නිසා, සහෝදර සහෝදරියනි, අපි අපගේ තාවකාලික වාසය කරන්නන් මෙන් මේ ලෝකය තුළ ජීවිතවලින් හැරී, අප කැඳෙවූ තැනැන් වහන්සේගේ කැමැත්ත ඉටු කරමු. එසේම අපි මේ ලෝකයෙන් වෙන් වීමට බිය නොවෙමු. 2 මන්ද ස්වාමින් වහන්සේ මෙසේ පවසන සේක. “ඔබ වෘකයන් අතර සිටින බැටළුවන් හා සමාන වන්නෙහුය.” 3 එහෙත් පේදුරු උන් වහන්සේට කතා කොට මෙසේ පිළිතුරු දුන්නේය. “වෘකයන් බැටළුවන් කැබලිවලට ඉරනු ලැබුවහොත් ඒ පිළිබඳ කුමක් කියන්නෙහිද?” 4 යේසුස් වහන්සේ පේදුරුට මෙසේ කී සේක, “බැටළුවන් මැරුණු පසුව, ඔවුන්ට තව දුරටත් වෘකයින්ට බිය වන්නට ඉඩ නැත. එසේම ඔබට කියමි, ඔවුන්ට ඔබ මරන්නට හැකි වූවත්, ඔබට වෙනත් කිසිම දෙයක් කරන්නට නොහැකි ඔවුන්ට බිය නොවන්න. එහෙත් ඔබ මිය යාමෙන් පසුව ඔබගේ ප්‍රාණය සහ ශරීරය නිරයේ ගිනි දැල්වලට හෙළන්නට හැකි තැනැන් වහන්සේට බිය වන්න.” 5 තවදුරටත් සහෝදර සහෝදරියනි, අපගේ මාංසයෙන් මේ ලෝකයේ ජීවත් වීම නොවැදගත් සහ තාවකාලික බව ඔබ දනිති. එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ පොරොන්දුව අතිමහත් සහ පුදුමාකාර වේ. පැමිණෙන්නාවූ දේවරාජ්‍යය සහ සදාකාල ජීවනය තුළ විවේක ගන්න! 6 එසේ නම් ශුද්ධ සහ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අමතරව මේ දේවල් අත්පත් කරගැනීම උදෙසා අප කළ යුත්තේ කුමක්ද? එසේම මේ ලෝකයේ දේවල් අපට විදේශික බව සැලකීමට සහ ඒවාට ආශා නොවී සිටීමට අප කළ යුත්තේ කුමක්ද? 7 මක්නිසාද අප මේ දේවල් අත්පත් කරගැනීමට ආශා වන විට, අප ධර්මිෂ්ඨකමේ මාර්ගයෙන් වැටී යන නිසාය.

විකල්ප දෙකකින් එකක් තෝරාගැනීම

6 දැන් ස්වාමින් වහන්සේ මෙසේ පවසන සේක, “ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිම සේවකයෙකුට නුපුළුවන.” අප දෙවියන් වහන්සේ සහ මුදල් යන දෙකටම සේවය කිරීමට සිතුවහොත්, එය අපට විනාශකාරී වේ. 2 “එහෙත් යමෙක් මුළු ලෝකයම ලබා ගත්තත් ඔහුට ඔහුගේ ජීවිතය නැති වුවහොත් කුමන ප්‍රයෝජනයක්ද?” 3 මේ යුගය සහ පැමිණෙන්නට තිබෙන යුගය සතුරන් දෙදෙනෙකි. 4 මේ යුගය කාමමිථ්‍යාචාරය සහ දූෂිත බව සහ කෑදරකම සහ රැවටිලිකාරකම පිළිබඳ කතා කරයි. එහෙත් පැමිණෙන්නට ඇති යුගය ඒ කාරණා අත්හරියි. 5 එම නිසා මේ දෙකම හා සමග මිත්‍ර වීමට අපට නොහැකිය. අප ඒ යුගය අත්දැකීම උදෙසා මේ යුගය අත්හැරීම කළ යුතුව ඇත. 6 මේ ලෝකයේ ඇති දේවල් නොවැදගත්, තාවකාලික සහ විනාශ වන දේවල් වන නිසා ඒ දේවලට වෛර කිරීම යහපත් බවත්, අනෙක් ලෝකයේ ඇති දේවලට, ඒවා යහපත් සහ විනාශ නොවන දේවල් නිසා ඒවාට ප්‍රේම කිරීම යහපත් බවත් අපි සිතමු. 7 මන්ද අපි ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නෙමු නම්, අපට විවේකය ලැබෙනු ඇත. එහෙත් අපි එසේ නොකරන්නෙමු නම්, අපි උන් වහන්සේගේ අණ පනත්වලට අකීකරු වන්නෙමු නම්, එවිට කිසිම දෙයක් සදාකාල විනාශයෙන් අප ගලවනු ලබන්නේ නැත. 8 එසේම එසකියෙල් පොතේ ශුද්ධලියවිල්ල මෙසේද පවසයි. “නෝවා, දානියෙල් සහ යෝබ් නැගිට පැමිණියත්, ඔවුන් තමන්ගේ ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ වහල්භාවයෙන් ගලවන්නේ නැත.” 9 දැන් මෙවන් වූ ධර්මිෂ්ඨ මනුෂ්‍යයින්ට පවා ඔවුන්ගේම ධර්මිෂ්ඨ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ දරුවන් ගලවනු ලබන්නට නොහැකි වන්නේ නම්, අපට අපගේ බෞතීස්මය පවිත්‍රව සහ කැළැල් රහිතව තබා නොගතහොත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම උදෙසා අපට ඇති සහතිකය කුමක්ද? නොඑසේ නම් අප වෙත ශුද්ධ සහ ධර්මිෂ්ඨ ක්‍රියා නොතිබේ නම්, අපගේ මැදහත්කරුවාණන් වන්නේ කවරෙක්ද?

ක්‍රීඩාවල තරග කිරීම

7 එසේ නම්, මාගේ සහෝදරයෙනි, සහෝදරියනි, අපගේ තරගය සමීප බව දැන අප ක්‍රීඩාවල තරග වදිමු. බොහෝ දෙනා මේ ලෝකයේ තරග සඳහා ඇතුළු වීමට පැමිණ ඇති නමුත්, සියලු දෙනාම ඔටුන්න ලබන්නේ නැත. එහෙත් ඔටුන්න ලබන්නේ මහන්සි වී පුහුණු වූ සහ හොඳින් තරග කළ අය පමණි. 2 එම නිසා අපි සියලු දෙනාම ඔටුන්න ලබන පිණිස තරග වදිමු. 3 අපි ඍජු දිවීමෙහි එනම් ස්වර්ගීය තරගයෙහි දුවමු. එසේම අපි බොහෝ දෙනෙක් එයට ඇතුළු වීමට පැමිණ, අපද ඔටුන්න දිනා ගන්නා පිණිස තරග වදිමු. අප සියලු දෙනාටම ඔටුන්න ලබාගත නොහැකි වන්නේ නම්, අවම වශයෙන් එහි සමීපත්වයට අපි ළඟා වෙමුව. 4 මේ ලෝකයේ තරග වදින අයෙකු වංචාවක් කොට අසු වුවහොත්, ඔහු අල්ලාගෙන තරගයට නුසුදුස්සෙකු බවට පත් කර, ක්‍රීඩා පිට්ටනියෙන් ඉවතට නෙරපා හරිනු ලබන බව අපි අවබෝධ කර ගනිමු. 5 ඔබ සිතන්නේ කුමක්ද? ස්වර්ගීය තරගයෙහිදී වංචා කරන තැනැත්තා හට කුමක් සිදු කරනු ලැබේද? 6 ජ්වලිතභාවය පවත්වා නොගත් අය සම්බන්ධයෙන්, උන් වහන්සේ මෙසේ පවසන සේක. “ඔවුන්ගේ පණුවා මැරෙන්නේවත්, ඔවුන්ගේ ගින්න සංසිඳී නවතින්නේවත් නැත. එසේම ඔවුන් සියලුම දෙනාට ප්‍රදර්ශනය කරනු ලබනවා ඇත.”

පසුතැවිලි වීමට කැඳවීමක්

8 එසේ නම්, අප තවමත් මේ පොළොවෙහි සිටියදී අපි පසුතැවිලි වෙමුව. 2 මන්ද අපි නිර්මාණකරුවාගේ දෑතෙහි මැටි වෙමුව. නිදසුනක් ලෙස, කුම්භකරුවා භාජනයක් සාදන විට, එය වාකෘති හැඩයක් ගත්තේ නම් හෝ ඔහුගේ අතේ කැඩී ගියේ නම්, ඔහු සරල ලෙස එය නැවතත් සකස් කරයි. එහෙත් ඔහු එය දැනටමත් පෝරණුවට දමා ඇත්තම් ඔහුට කිසි විටකත් එය නැවත සකස් කිරීමට නොහැකි වනු ඇත. එම නිසා අප මේ පොළොවෙහි සිටින තාක් කල්, අප මාංසයෙහි සිදු කරන ලද ක්‍රියාවන් පිළිබඳ අපගේ මුළු හදවතින්ම පසුතැවිලි වීම අප වෙත ඇත්තේය. එසේ වූ විට අප ස්වාමින් වහන්සේ කරණකොටගෙන ගලවනු ලබන පිණිස අපට තවමත් පසුතැවිලි වීමට කාලය ඇති අවස්ථාවේදී පසුතැවිල්ලට පැමිණෙමු. 3 මන්ද අප මේ ලෝකය අත්හැර ගිය පසුව, අපට තවදුරටත් පාපොච්චාරණය කිරීමට හෝ පසුතැවිලි වීමට හෝ නොහැකි වනු ඇත. 4 එම නිසා, සහෝදරයෙනි, සහෝදරියනි, අප පියාණන් වහන්සේගේ කැමැත්ත සිදු කර ඇත්නම්, සහ අපගේ මාංසය පවිත්‍රව තබාගෙන, ස්වාමින් වහන්සේගේ අණ පනත් පවත්වා ඇත්නම්, අපි සදාකාල ජීවනය ලබමුව. 5 මන්ද ස්වාමින් වහන්සේ ශුභාරංචියෙහි මෙසේ පවසන සේක. “ඔබ කුඩා දෙයක් ආරක්ෂා කරගත්තේ නැතිනම්, ඔබට මහත් දෙයක් ලබා දෙන්නේ කවරෙක්ද? මක්නිසාද මම ඔබට කියමි, කුඩා දෙය පිළිබඳ විශ්වාසවන්ත තැනැත්තා මහත් දේ කෙරෙහිත් විශ්වාසවන්තව සිටින්නේය.” 6 උන් වහන්සේ මෙහි අදහස් කරන්නේ මෙයයි: අප ජීවනය ලබන පිණිස, මාංසය පවිත්‍රව තබාගන්න, ජ්වලිතකම නොකැළැල්ව පවත්වා ගන්න.

9 එසේම මෙම ශරීරය විනිශ්චයට ලක් වන්නේ නැත කියාත් එය නැවත නැගිටින්නේ නැත කියාත් ඔබගෙන් කිසිවෙකුත් නොකියන්න. 2 මේ ගැන සිතා බලන්න: ඔබ ගැලවීම ලැබුවේ කුමන තත්වයේ සිටියදීද? ඔබ ඔබගේ පෙනීම ලැබුවේ කුමන තත්වයේ සිටියදීද? එසේ වූයේ ඔබ මේ ශරීරයේ සිටින විට නොවේද? 3 එම නිසා අපි අපගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගයක් ලෙස රැකගැනීම කළ යුතු වෙමු. 4 මන්ද ඔබ මෙම ශරීරයේ සිටියදී කැඳවනු ලැබූ සේම, ඔබ මේ ශරීරයෙන්ම පැමිණෙනු ඇත. 5 ක්‍රිස්තුස් වහන්සේ, එනම් අප ගැලවූ ස්වාමින් වහන්සේ මාංසවත් වූ සේක් නම් (උන් වහන්සේ මුලින්ම ආත්මයක් වූයේ නමුත්) සහ එම තත්වයේදී අප කැඳවනු ලැබූ සේක් නම්, අපි අපගේ විපාකය මෙම හරීරය තුළදී ලබමුව. 6 එමනිසා, අපි එකිනෙකාට ප්‍රේම කරමුව, එවිට අප සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට හැකි වනු ඇත. 7 අපට තවමත් සුව වීමට කාලය තිබියදී, අපි වෛද්‍යවරයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ හස්තයෙහි අපගේ ජීවිත තබා, උන් වහන්සේට ගෙවිය යුතු නිසි දේ දෙමු. 8 එය කුමක්ද? අවංක, හදවතින්ම නැගෙන පසුතැවිල්ලයි. 9 මන්ද සියල්ලම කලින්ම දන්නා තැනැන් වහන්සේ උන් වහන්සේය. එසේම උන් වහන්සේ අපගේ හදවතේ ඇති දෙයද දන්නා සේක. 10 එම නිසා, උන් වහන්සේ අප උන් වහන්සේගේ පුත්‍රයන් සහ දියණිවරුන් ලෙස පිළිගන්නා පිණිස, අපි කටෙන් පමණක් නොව, හදවතින්ද උන් වහන්සේට සදාකාල ප්‍රශංසාව දෙමුව. 11 මන්ද ස්වාමින් වහන්සේ මෙසේද පවසා ඇති සේක. “මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා වූ මාගේ සහෝදර සහෝදරියනි.”

දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් උන් වහන්සේට සේවය කරන්න

10 එම නිසා, මගේ සහෝදරයෙනි, සහෝදරියනි, අප ජීවත් වන පිණිස, අප කැඳවූ තැනැන් වහන්සේගේ කැමැත්ත අපි ඉටු කරමු. එසේම අපි කලින් කළාට වඩා ගුණවත්භාවය හඹා යමුව. අපගේ පාපවල මුලින් ඇති අපි නපුරු මනස අත්හැර දමා, නපුරු දේවල් අපට ඉහළින් නැගී නොඑන පිණිස අභක්තිකකමින් දුරු වෙමු. 2 මන්ද අපි යහපත කිරීමට වීර්ය කරමු නම්, සමාදානය අප කරා හඹා එනු ඇත. 3 කිසිවෙකුට සමාදානය සොයාගත නොහැකි හේතුව මෙයයි: ඔවුහු මනුෂ්‍ය උපකල්පනයන් ඇතුළු කරති, අනාගතයේ පොරොන්දුවට වඩා වර්තමානයේ සංතෘෂ්ටියට කැමති වෙති. 4 මක්නිසාද වර්තමාන සංතෘෂ්ටිය ගෙන එන මහත් වේදනාව ඔවුන් නොදන්නා බැවිනි. 5 දැන් මේ දේවල් කරන්නේ ඔවුන් පමණක් නම්, එය දරාගැනීමට හැකි වනු ඇත. එහෙත් දැන් ඔවුහු අහිංසක ප්‍රාණයන්ට නපුර ඉගැන්වීමට ක්‍රියා කරති. ඔවුන් සහ ඔවුන්ට සවන් දෙන්නන් යන දෙපිරිසම දෙගුණයක දඬුවම ලබන බව නොදැන සිටිති.

11 එම නිසා අප දෙවියන් වහන්සේට පවිත්‍ර හදවතකින් සේවය කරමු. එසේ අපි ධර්මිෂ්ඨ අය වනු ඇත. එහෙත් අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස නොකරන නිසා, අපි උන් වහන්සේට සේවය නොකරමු නම්, අප විනාශ වනු ඇත. 2 මන්ද දිවැසිමය වචනය මෙසේ පවසයි: “දෙසිත් ඇත්තා විනාශ වනු ඇත. ඔවුන්ගේ හදවත්වලින් අවිශ්වාස කරමින්, ‘අපගේ පියවරුන්ගේ දවස්වලදී පවා අපි මේ සියලු දේ ඇසිමුව. අපි දවසින් දවස බලා සිටි නමුත් කිසිවක් සිදු වූයේ නැත’ යනුවෙන් පවසන අය විනාශයට පත් වනු ඇත. 3 අඥානයෙනි! ඔබම ගසකට සංසන්දනය කර බලන්න. නැත්නම් මිදි වැලක් දෙස බලන්න: පළමුවෙන් එහි කොළ ඇති වේ. පසුව එහි අතු ඇති වේ, ඊටත් පසුව එහි ඇඹුල් මිදි ඇති වේ. ඉන්පසුව සම්පූර්ණයෙන්ම ඉදුණු පොකුරක් ඇති වේ. 4 එසේම මාගේ සෙනග විපත්තිය සහ පීඩාව වින්දහ. එහෙත් එයට පසුව ඔවුන් යහපත් දේවල් ලබනවා ඇත.” 5 එම නිසා මාගේ සහෝදරයෙනි, සහෝදරියනි, අප දෙසිත් ඇති අය නොවෙමු. එහෙත් අපද විපාකය ලබන පිණිස බලාපොරොත්තු සහිතව ඉවසීමෙන් දරා ගනිමුව. 6 මන්ද එකිනෙක පුද්ගලයාගේ ක්‍රියාවෙහි ප්‍රකාරයට ගෙවීම් කිරීමට පොරොන්දු වූ තැනැන් වහන්සේ විශ්වාසවන්තව සිටින බැවිනි. 7 එම නිසා, අපි දෙවියන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරන්නෙමු නම්, අපි උන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වී කිසි කනකින් නොඇසුවාවූ, ඇස්වලින් නොදැක්කාවූ මනුෂ්‍ය හදවතින් සිතා ගැනීමටවත් නොහැකි වූ පොරොන්දු ලබන්නෙමුව.

දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි පැමිණීම

12 එම නිසා, අපි දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දවස අප නොදන්නා නිසා, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා ප්‍රේමයෙන් සහ ධර්මිෂ්ඨකමින් යුක්තව බලා සිටිමුව. 2 මන්ද ස්වාමින් වහන්සේම, කෙනෙක් උන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන්නේ කවරදාකදැයි ඇසූ විට මෙසේ පැවසූ සේක: “දෙදෙනෙකු එක් කෙනෙකු මෙන් වන අවස්ථාවේදී, එසේම බාහිර දේ ඇතුළත මෙන් වන අවස්ථාවේදී, එසේම පුරුෂයෙකු හෝ කාන්තාවක නැතිව පුරුෂයා කාන්තාවක සමග සිටින අවස්ථාවේදීය.” 3 දැන් “දෙදෙනෙකු එක් කෙනෙකු” වීම යන්න, අප අතර අප සැබෑව කතා කරන කල, රැවටීමකින් තොරව ශරීරයන් දෙකක එක ප්‍රාණයක් ඇති වේ. 4 එසේම “බාහිර දේ ඇතුළත මෙන්” යන්නෙන් ඔහු අදහස් කරන්නේ මෙයයි: “ඇතුළත” යන්න ප්‍රාණය පෙන්නුම් කරන අතර, “බාහිර දේ” යන්නෙන් ශරීරය අදහස් කරයි. එම නිසා, ඔබගේ ශරීරය දෘශ්‍යමාන දෙයක් වන ආකාරයටම, ඔබගේ ප්‍රාණයන්ද යහපත් ක්‍රියාවලින් පෙන්නුම් වීමට ඉඩ හරින්න. 5 එසේම “පුරුෂයෙකු හෝ කාන්තාවක නැතිව පුරුෂයා කාන්තාවක සමග සිටීම” යන්නෙන් ඔහු අදහස් කරන්නේ මෙයයි: සහෝදරයෙකු සහෝදරියක් දකින අවස්ථාවේදී, ඔහු ඇය කාන්තාවක සේ සිතීම නොකළ යුතුය. ඇයද ඔහු පුරුෂයෙකු ලෙස සිතීම නොකළ යුතුය. 6 ඔබ මේ දේවල් සිදු කරන කල, මාගේ පියාණන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙයි යනුවෙන් උන් වහන්සේ පවසන සේක.

පසුතැවිලි වීම උදෙසා දෙවන කැඳවීමක්

13 එම නිසා සහෝදරයෙනි, සහෝදරියනි, අපි ක්ෂණිකව පසුතැවිලි වෙමුව. යහපත් දේ සම්බන්ධයෙන් අපි පැහැදිලි මනසක් ඇතිව සිටිමු. මන්ද අපි බොහෝ අඤාන බවකින් සහ දුෂ්ට බවකින් සිටින අය වන බැවිනි. අපි අපගේ කලින් වූ පාපවලින් ඉවත් වී, අපගේ පැවැත්මෙහි ප්‍රාණයන්ගෙන් පසුතැවිලි වී, ගැලවීම ලබමු. එසේම අපි මනුෂ්‍යයින් සතුටු කිරීමට උත්සහා නොකරමු. අපගේම ධර්මිෂ්ඨකම මගින් අපම පමණක් තෘප්තිමත් කර ගැනීමට ආශා නොවී, පිටස්තර අයද තෘප්තිමත් කරමු. එසේ අප නිසා උන් වහන්සේගේ නාමය දේව අපහාසයට පත් නොවන පිණිස ක්‍රියා කරමු. 2 මන්ද “මාගේ නාමය නොකඩවා සියලු ජාතීන් අතර දේව අපහාසයට පත් වෙයි” යනුවෙන් ස්වාමින් වහන්සේ පවසන සේක. එසේම නැවතත්, “යමෙකු නිසා මාගේ නාමයට දේව අපහාස පැමිණෙයිද ඔහුට දුක් වේ” යයිද පවසන සේක. එය දේව අපහාසයක් වන්නේ මන්ද? මක්නිසාද මා ආශා කරන දේ ඔබ නොකරන නිසාය. 3 මන්ද අන්‍ය ජාතීන් අපගේ මුඛයෙන් දෙවියන් වහන්සේගේ වචන අසන කල, ඔවුහු ඒවායෙහි අලංකාර බව සහ උතුම් බව පිළිබඳ මවිතයට පත් වෙති. එහෙත් අප කතා කරන වචන හා සමග අපගේ ක්‍රියාවන් නොගැළපෙන බවට ඔවුන් දකින කල, ඔවුහු මවිත වීමෙන් හැරී, එය මිථ්‍යාවක් සහ මායාවක් යයි පවසමින් දේව අපහාස කිරීමට යොමු වෙති. 4 මන්ද, දෙවියන් වහන්සේ “ඔබට ප්‍රේම කරන්නන්ටම ඔබ ප්‍රේම කරනවා නම් ඔබට එයින් විපාකයක් ඇත්තේ නැත. එහෙත් ඔබේ සතුරන්ට සහ ඔබට වෛර කරන අයට ඔබ ප්‍රේම කරනවා නම් ඔබට ඉන් විපාකයක් ඇත,” යයි පවසන බව ඔවුන් අපගෙන් ඇසූ කල, ඔවුහු එවන් වූ අසාමාන්‍ය වූ යහපත්කම පිළිබඳ විස්මයට පත් වෙති. එහෙත් අපට වෛර කරන අයට අප ප්‍රේම නොකරන බව පමණක් නොව, අපට ප්‍රේම කරන අයට පවා අප ප්‍රේම නොකරන බව ඔවුන් දකින කල, ඔවුහු අපට අගෞරව කරමින් සිනාසෙති, එසේම දෙවියන් වහන්සේගේ නාමය දේව අපහාසයට ලක් වෙයි.

ක්‍රිස්තුස් වහන්සේ සහ ආත්මික සභාව

14 එසේ නම්, සහෝදරවරුනි, සහෝදරියනි, අපි අපගේ පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නෙමු නම්, ඉර සහ සඳ මැවීමට පළමුවෙන් මවන ලද පළමු සභාවට, ආත්මික සභාවට අපි අයත් වන්නෙමු. එහෙත් අපි ස්වාමින් වහන්සේගේ කැමැත්ත නොකරමු නම්, ශුද්ධලියවිල්ල පවසන පරිදි, අපි “මාගේ ගෘහය සොරුන්ගේ ගුහාවක් බවට පත් වී තිබේ” යන පිරිසට අයිති වෙමුව. එම නිසා, අපි ගැලවීම ලබන පිණිස, ජීවනයේ සභාවට අයිති වීමට තෝරාගනිමු. 2 දැන් ඔබ ජීවමාන සභාව යනු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන බව නොදැනුවත් යයි මම නොසිතමි. මන්ද ශුද්ධලියවිල්ල මෙසේ පවසයි. “දෙවියන් වහන්සේ මනුෂ්‍යයා පුරුෂයා සහ ස්ත්‍රිය ලෙස මැවූ සේක.” පුරුෂයා නම් ක්‍රිස්තුස් වහන්සේය; ස්ත්‍රිය නම් සභාවය. තවදුරටත්, සභාව පවතින්නේ දැන් පමණක් නොව, ආරම්භයේ සිටම එය පැවති බවට ලියවිලි සහ අපොස්තුළුවරු ප්‍රකාශ කරති. මන්ද ඇය ආත්මික වූ බැවින්, අපගේ යේසුස් වහන්සේද ආත්මික වූ සේක. එහෙත් ඇය විසින් අප ගලවනු ලබන පිණිස අවසාන දවස්වලදී එළිදරව් කරනු ලැබීය. 3 දැන් සභාව ආත්මික වන නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය තුළ එළිදරව් කරනු ලැබීය. ඒ කරණකොටගෙන මාංසය තුළ අප කවරෙකු හෝ ඇය ආරක්ෂා කරන්නේ නම්, සහ ඇයගේ කැමැත්ත දූෂිත නොකරන්නේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ අපට ඇය නැවත ලැබෙනු ඇත. මක්නිසාද මෙම ශරීරය ආත්මයාණන් වහන්සේගේ පිටපතක් වන බැවිනි. එම නිසා පිටපත දූෂිත කරන කිසිවෙකුත් සැබෑ දෙයෙහි පංගුකාරකම නොලබනවා ඇත. එම නිසා සහෝදරයෙනි, සහෝදරියනි, උන් වහන්සේ අදහස් කළේ මෙයයි: ඔබ ආත්මයාණන් වහන්සේ ලබන පිණිස ශරීරය ආරක්ෂා කරගන්න. 4 දැන් අපි ශරීරය සභාව වන බවත්, ආත්මයාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ වන බවත් පවසන්නෙමු නම්, ශරීරය අපයෝජනය කරන තැනැත්තා සභාව අපයෝජනය කරන්නේය. ඒ අනුව එවන් වූ පුද්ගලයෙක් ආත්මයාණන් වහන්සේ, එනම් ක්‍රිස්තුස් වහන්සේ නොලබනවා ඇත. 5 එසේ, ශුද්ධාත්මයාණන් වහන්සේ මේ ශරීරය සමග සමීප ලෙසින් සම්බන්ධ වී ඇත්නම්, මේ ශරීරයට ලැබීමට හැකි ජීවනය සහ අමරණීය බව ඉතා විශිෂ්ටය. එවිට කිසිවෙකුට ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ තෝරාගත් අය උදෙසා සූදානම් කර ඇති දේවල් කවරේද යන්න ප්‍රකාශ කිරීමට හෝ පැවසීමට නොහැකි වනු ඇත.

කථකයාගේ අනුශාසනාවල වැදගත්කම

15 දැන් මා ආත්ම දමනය සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස නොවැදගත් යයි මම නොසිතමි. ඇත්තෙන්ම, මෙම අවවාදය පිළිපදින අය ඒ පිළිබඳ කනගාටු නොවනු ඇත. එහෙත් එමගින් ඔවුන්ම සහ මා, ඔවුන්ගේ අනුශාසකයා ලෙස යන දෙපාර්ශ්වයම රැකගන්නවා ඇත. මන්ද වැරදි මාර්ගයේ ගිය අයෙකු සහ විනාශ වන ප්‍රාණයක් ගැලවීම ලැබීම උදෙසා නැවතත් යහමගට යොමු කිරීමේ ඇත්තේ සුළු විපාකයක් නොවේය. 2 මන්ද අප නිර්මාණය කළ දෙවියන් වහන්සේට නැවත ගෙවීමට හැකි වන පිණිස වූ නැවත පැමිණීම මෙය වන බැවිනි: කතා කරන සහ අසන තැනැත්තේ එසේ කරන්නේ නම්, කතා කරන්නේ සහ අසන්නේ ඇදහිල්ල සහ ප්‍රේමය සමගිනි. 3 එම නිසා අපි, “ඔබ කතා කරද්දීම, මෙන්න මා මෙහිය, යනුවෙන් මම පවසමි” යනුවෙන් පවසන දෙවියන් වහන්සේගෙන් අපට නිර්භීත ලෙස අයදීමට හැකි වන පිණිස, ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම තුළ අප විශ්වාස කළ කාරණාවලට සත්‍යවාදී ලෙස ජීවත් වෙමු. 4 මක්නිසාද මෙම වචනය වූ කලි මහත් වූ පොරොන්දුවක සලකුණකි. මන්ද ඉල්ලන තැනැත්තා ඉල්ලන දෙයට වඩා ඉතා වැඩියෙන් ලබා දීමට උන් වහන්සේ සූදානම්ව සිටින බව ස්වාමින් වහන්සේම පවසන බැවිනි. 5 එසේ නම්, අප එවන් වූ මහත් කරුණාවක පංගුකාරයින් වන බැවින්. එවන් වූ ශ්‍රේෂ්ඨ ආශීර්වාදයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි එකිනෙකා ගැරහීම සිදු නොකරමු. මක්නිසාද මෙම වචන ඒවා පිළිපදින අයට මහත් සංතෘෂ්ටියක් ගෙන එන අතරම, ඒවාට අකීකරු වන අය හෙළා දැකීමට පත් කරනු ලැබේ.

පසුතැවිලි වීමට තුන්වැනි කැඳවීමක්

16 එම නිසා, සහෝදරයෙනි, සහෝදරියනි, අපට පසුතැවිලි වීමට ලැබී ඇති අවස්ථාව කිසිසේත්ම සුළු අවස්ථාවක් නොවන හෙයින්, අපට තවමක් කාලය තිබියදීම, අපි නැවතත් අප කැඳවන ලද තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේ වෙතට හැරෙමු. අප පිළිගන්නා කෙනෙකු අපට තවමත් සිටින විටම උන් වහන්සේ වෙත හැරෙමු. 2 මන්ද අප මෙම ආශාවන් ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ අපගේ ප්‍රාණයෙහි නපුරු ආශාවන් තෘප්තිමත් කිරීම ප්‍රතික්ෂේප කරමින් අපගේ ප්‍රාණය ජය ගන්නේ නම්, අපි යේසුස් වහන්සේගේ කරුණාවෙහි පංගුකාරයෝ වෙමුව. 3 එහෙත් ගිනි උදුනක් මෙන් විනිශ්චය දවස දැනටමත් පැමිණෙන බව ඔබ දන්නෙහිය. එහිදී ඇතැම් ස්වර්ගයන් දියවී යනවා ඇත. එසේම මුළු පොළොවම ගින්නෙහි දියවෙන ලෝහයක් මෙන් වෙනවා ඇත. ඉන්පසුව රහසේ සහ ප්‍රසිද්ධියේ සිදු කරන ලද සියලු දෙනාගේ ක්‍රියාවන් එළිදරව් කරනු ලබනවා ඇත. 4 එම නිසා ප්‍රේමයේ දීම යහපත් දෙයකි. මන්ද එය පාපයෙන් පසුතැවිලි වීම වන බැවිනි. යාච්ඤා කිරීමට වඩා නිරාහාරයෙන් සිටීම හොඳය. එසේම ඒ දෙකටම වඩා ප්‍රේමයේ දීම වඩාත්ම හොඳය. ප්‍රේමය බොහෝ වැරදි වසයි. එසේම යහපත් හෘදයසාක්ෂියකින් පැන නගින්නා වූ යාච්ඤාව කරණකොටගෙන කෙනෙක් මරණයෙන් ගැලවෙන්නේය. මේ සියලු දෙයින් සම්පූර්ණ වී ඇති තැනැත්තා ආශීර්වාද ලත් අයෙකි. මන්ද ප්‍රේමයේ දීම පාපයේ බරෙන් නිදහස් කරන බැවිනි.

17 එම නිසා අපි, කිසිවෙකුත් නිකරුණේ විනාශ නොවන පිණිස, අපගේ මුළු හදවතින්ම පසුතැවිලි වෙමුව. මනෂ්‍යයින් රූප වන්දනාවෙන් ඉවත් කිරීමට සහ ඔවුන්ට අනුශාසනා කිරීමේ කාර්යය උදෙසා අපට අණ ලබා දී ඇත්නම්, දැනටමත් දෙවියන් වහන්සේ දැනගෙන සිටින්නාවූ ප්‍රාණයක් විනාශ වී යාම එයට කොපමණ වැඩියෙන් වැරදි දෙයක්ද? 2 එම නිසා, යහපත්කම් කිරීමට දුර්වල අය නැවතත් ස්ථාපිත කිරීමට අපි එකිනෙකාට උපකාර කරමු. එවිට අප සියලු දෙනාම ගලවනු ලබනවා ඇත. එසේම අපි එකිනෙකාට අනුශාසනා කර, ඔවුන් නැවතත් හරවා ගනිමු. 3 එසේම අපි දැන් පමණක් නොව, අපට වැඩිමහල්ලන් විසින් අනුශාසනා කරන අවස්ථාවේදී අපගේ අවධානය යොමු කර විශ්වාස කරමු. එහෙත් අපි අප නැවතත් නිවසට හැරී පැමිණි පසුව, ලෞකික තෘෂ්ණාවන් කරණකොටගෙන අප ඉවතට ඇදී නොයන පිණිස, ස්වාමින් වහන්සේගේ ආඥාවන්ද සිහි තබාගනිමු. අපි මෙහි නිතර නිතර පැමිණ, එසේ කිරීමෙන් අප සියලු දෙනාම එකම මනසකින් යුක්තව සිට, ජීවනයට එකතු කිරීම පිණිස ස්වාමින් වහන්සේගේ ආඥාවන් වඩා හොඳින් පිළිපැදීමට උනන්දුවෙන් ක්‍රියා කරමු. 4 මක්නිසාද ස්වාමින් වහන්සේ මෙසේ පැවසූ සේක. “මම සියලුම ජාතීන්, ගෝත්‍රයන් සහ භාෂාවන් එක්රැස් කිරීමට පැමිණෙන්නෙමි.” දැන් උන් වහන්සේ මෙයින් අදහස් කරන්නේ උන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දවසෙහිදී, උන් වහන්සේ අපගේ ක්‍රියාවන්වලට අනුව අප එකිනෙකා උන් වහන්සේම පැමිණ මුදනු ලබන අවස්ථාවයි. 5 එසේම නොඇදහිලිවන්තයෝ උන් වහන්සේගේ මහිමය සහ බලය දකිනවා ඇත. එසේම ඔවුන් ලෝකයේ රාජධානිය යේසුස් වහන්සේට අයිති බව දැනගෙන මවිතයට පත් වී මෙසේ පවසනු ඇත. “අපට දුක් වේ. ඒ ඔබ වහන්සේයි. අප එය තේරුම් ගත්තේ නැහැ. අප එය විශ්වාස කළේ නැහැ. අපගේ ගැලවීම ගැන කතා කළ විට අප අපගේ වැඩිමහල්ලන්ට සවන් දුන්නේ නැහැ.” එසේ ඔවුන්ගේ පණුවා මැරෙන්නේ නැත. එසේම ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත. ඔවුන් සියලු දෙනාටම ප්‍රදර්ශනයක් වනවා ඇත. 6 උන් වහන්සේ පවසන්නේ විනිශ්චය දවස පිළිබඳයි. එම දවසේදී අප අතර සිටිමින් අභක්තික ජීවිත ගත කළ අය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවන් විකෘති කළ අය මනුෂ්‍යයින් දකිනවා ඇත. 7 එහෙත් ධර්මිෂ්ඨ අය, ඉතාම හොඳින් නිම කර සහ වේදනාවන් ඉවසා දරාගෙන, ප්‍රාණය තෘප්තිමත් කරන කාරණාවලට වෛර කළ අය, ඔවුන් අයහපත් මාර්ගයේ ගිය අය සහ ඔවුන්ගේ වචනයෙන් හෝ ඔවුන්ගේ ක්‍රියාවලින් යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කළ අය නොනිවෙන්නාවූ ගින්නෙහි මහත් වූ වේදනාවන් විඳින බව දකින කල, ඔවුන් දෙවියන් වහන්සේට මහිමය දෙමින් මෙසේ පවසනවා ඇත. “දෙවියන් වහන්සේට මුළු හදවතින්ම සේවය කළ අයට බලාපොරොත්තුවක් ඇත.”

18 එම නිසා අපිද උන් වහන්සේට ස්තුති කරන්නන් අතර සිටිමු, එනම් දෙවියන් වහන්සේට සේවය කළ අය අතර සිටිමු. විනිශ්චයට ලක් වන අභක්තිකයින් අතර නොසිටිමු. 2 මන්ද මම ඉතාම දැඩි පාපී ස්වභාවයක් ඇති අයෙකු වන අතර, තවමත් පරීක්ෂාවෙන් ගැලවී නැත. එහෙත් මා යක්ෂයාගේ උපක්‍රමවලින් වට වී සිටියද, ධර්මිෂ්ඨකම හඹා යාම උදෙසා මම සැම උත්සහායක්ම දරමි. එවිට මා අවම වශයෙන් එයට සමීප වීමට සමත් වනවා ඇත. මන්ද මම පැමිණෙන්නාවූ විනිශ්චයට බිය වෙමි.

19 එම නිසා, සහෝදරයෙනි, සහෝදරියනි, සත්‍යතාවේ දෙවියන් වහන්සේ අනුගමනය කරමින් මම ඔබට අවධානය යොමු කිරීම උදෙසා වන ලියා තිබෙන අනුශාසනාවක් කියවමි. එවිට ඔබට ඔබම සහ ඔබගේ පාඨකයා යන දෙදෙනාම ගැලවීමට හැකි වනු ඇත. වන්දියක් වශයෙන් ඔබ ඔබගේ මුළු හදවතින්ම පසුතැවිලි වන ලෙසට මම ඔබෙන් ඉල්ලා සිටිමි. එවිට ඔබට ගැලවීම සහ ජීවනය ලැබෙනවා ඇත. එසේ කිරීමෙන් භක්තිවන්තකමට සහ දෙවියන් වහන්සේගේ යහපත්කමට තමන්ම කැප කරගැනීමට ආශාවෙන් සිටින සියලුම යෞවනයින් හට ඉලක්කයක් අප තබනවා ඇත. 2 තවදුරටත්, අප යම් අයෙකු අපට අනුශාසනා කරන කල සහ අප අධර්මිෂ්ඨකමින් හරවා ධර්මිෂ්ඨකමට යොමු කිරීමට උත්සහා කරන කල, අප අඥාන අය මෙන්, අපි ඒ ගැන අප්‍රසන්න බවට සහ කෝපයට පත් නොවෙමු. මක්නිසාද අපි ඇතැම් විට ඒ ගැන තේරුම් නොගෙන නපුරු දේවල් කරමු. එයට හේතුව නම්, අප තුළ පවතින අපගේ දෙසිත් ඇතිකම සහ අවිශ්වාසවන්තකමයි. එසේම අඳුරු ආශාවන්ගෙන් අපගේ අවබෝධය අඳුරු වී ඇති නිසාය. 3 එම නිසා, අපි, අවසානයේ අප ගලවනු ලබන පිණිස ධර්මිෂ්ඨකම පිළිපදිමු. මේ වාරණ නියෝග පිළිපදින අය ආශිර්වාද ලද්දෝය. මන්ද ඔවුන් මේ ලෝකයේදී කෙටි කලකට දුක් කරදර දරාගත්තද, ඔවුන් උත්ථාන වීමේ අමරණීය ඵලය රැස් කරගන්නවා ඇත. 4 එම නිසා, මේ වර්තමාන කාලයේදී දුක්ඛිත ජීවිත ගත කරන භක්තිවන්ත මනුෂ්‍යයින් සිටී නම් ඔවුන් දුක් විය යුතු නැත. ආශිර්වාද ලත් කාලයක් ඔවුන් වෙනුවෙන් බලා සිටියි. ඔවුන් නැවත වරක් ඉහළ සිටින පියවරුන් සහග ජීවත් වනු ඇත. එසේම ශෝකයක් ළඟා නොවන සදාකාලයෙහි ප්‍රීතිය භුක්ති විඳිනු ඇත.

විශ්වාසවන්ත වන්න සහ ඉවසිලිමත් වන්න

20 එහෙත්  දෙවියන් වහන්සේගේ සේවකයින් දුෂ්කරතාවන්ට මුහුණපාන කල අධර්මිෂ්ඨ අය වස්තුව ලබා ගන්නා බව දකින කල ඔබගේ මනස වියවුල් කර නොගන්න. 2 සහෝදරයෙනි, සහෝදරියනි, අපි ඇදහිල්ල ඇතුව සිටිමු! අප ජීවමාන දෙවියන් වහන්සේගේ තරගයෙහි තරග කරමින් සිටිමු. එසේම පැමිණෙන්නාවූ ලෝකයේදී අප ඔටුනු දරන පිණිස මේ වර්තමාන ජීවිතයේදී අපි පුහුණු කරනු ලබන්නෙමු. 3 ධර්මිෂ්ඨ වූ කිසිවෙකුත් ඔහුගේ විපාකය ක්ෂණිකව ලබා ගත්තේ නැත. එහෙත් ඒ වෙනුවෙන් බලා සිටියේය. 4 මන්ද දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ අයගේ ගෙවීම ඉක්මනින් සිදු කළ සේක් නම්, අප ඉක්මනින්ම භක්තිවන්තකමෙහි නොව ව්‍යාපාරයක නිරත වනවා ඇත. අප ධර්මිෂ්ඨ අය මෙන් පෙනී සිටියද, අප සැබවින්ම හඹා යන්නේ ලාභය මිස භක්තිවන්තකම නොවේය. ධරිමිෂ්ඨ නොවන ආත්මයක් දිව්‍යමය විනිශ්චයේදී දඬුවම් ලබන්නේ සහ බොහෝ දම්වැල්වලින් බඳිනු ලබන්නේ මේ හේතුව නිසාය.

දෙවියන් වහන්සේට අවසාන ප්‍රශංසාව

5 අදෘශ්‍යමාන වූ එකම දෙවියන් වහන්සේට, සත්‍යතාවේ පියාණන් වහන්සේට, අපට ගැලවුම්කරුවාණන් වහන්සේ සහ අමරණීයභාවයේ කර්තෘවරයාණන් වහන්සේ එවූ තැනැන් වහන්සේට, සත්‍යය සහ ස්වර්ගීය ජීවිතය උන් වහන්සේ තුළින් අපට එළිදරව් කරන ලද තැනැන් වහන්සේට, උන් වහන්සේටම සදාකාලයෙන් සදාකාලයට මහිමය වේවා. ආමෙන්