Eusebius, The Church History in Sinhala, book 1. Translated with permission from Paul L. Meier, Eusebius, The Church History: A New Translation with Commentary, 1999. Sinhala translation is Public Domain.
පළමුවන පොත: ක්‍රිස්තුස් වහන්සේගේ පුද්ගලභාවය සහ කාර්යය
ඔගස්ටස්තුමාගේ සිට තිබේරියස්තුමා දක්වා
මෙම පොත්වල අන්තර්ගතය
1.ශුද්ධ වූ අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ කාලයේ සිට අපගේ කාලය දක්වා සිටි අපෝස්තුළුවරුන්ගේ සිට ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින් සහ ඔවුන්ගේ කාලයන්;
සභා ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් බොහොමයක් වාර්තා කිරීම;
සභාවේ ඉතාම ජනප්‍රිය කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ නායකත්වයන් සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමක් ඉසුලූ අය;
කතාවෙන් හෝ ලියා තැබීමෙන් හෝ එකිනෙක පරම්පරාවෙහිදී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ අය;
නවතාවයට ප්‍රේමයෙන් වරදේ අන්තයටම තල්ලු වී ගොස්, තමන් දැනුමේ මූලාශ්‍ර ලෙස ප්‍රකාශ කර ඇති (ක්‍රිස්තුස් වහන්සේගේ රැළ අනුකම්පා විරහිතව, රුදුරු වෘකයන් මෙන් විනාශ කරන අතරතුර බොරුවට එසේ පවසා ගන්නා) අයගේ නම්, සංඛ්‍යාව සහ වයස;
අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේට එරෙහිව සිදු කළ කුමන්ත්‍රණයෙන් පසුව මුළු යුදෙව් ජාතියටම සිදු වූ ඉරණම;
දෙවියන් වහන්සේගේ වචනයට සහ එය ආරක්ෂා කිරීමට සටන් කළ අයගේ වීර ක්‍රියාවලට එරෙහිව, අන්‍යජාතීන්ගේ සතුරුකම, සමහර විට වධහිංසා සහ ලේ වැගිරීම් මගින් පළිගත් අවස්ථා සහ කාලය;
අපගේම කාලයේ වේදසාක්ෂිකයින් සහ මාගේ ආරම්භක ලක්ෂ්‍යය වන අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ විසින් සපයන ලද කරුණාවන්ත ගැලවීම පිළිබඳ වාර්තා කිරීම මගේ අභිප්‍රායයි.
හුදකලා සහ නොගැළපෙන මාවතක ගමන් කරන සංචාරකයෙකු මෙන් ප්‍රථම වරට එවැනි මාවතකට ප්‍රවේශ වූ තැනැත්තා ලෙස එයට ප්‍රමාණවත් සාධාරණයක් සිදු කිරීමට අපොහොසත් වන බව මට හැඟෙන බැවින් මෙම ව්‍යාපෘතියට පාඨකයාගේ කාරුණිකභාවය අවශ්‍ය වේ. එහෙත් දෙවියන් වහන්සේ මට මඟපෙන්වනු ඇතැයි සහ ස්වාමින් වහන්සේගේ බලය මට උපකාර කරනු ඇතැයි මම යාච්ඤා කරමි. ඇතැම් අය ඔවුන් ජීවත් වූ කාලය පිළිබඳ විවිධ වාර්තා අපට ඉතිරි කර ඇති සලකුණු පමණක් හැරෙන්නට මෙම මාවතේ ගිය කිසිදු පූර්වගාමියෙකුගේ පා සලකුණු පවා මට හමු නොවීය. ඈත තිබෙන මුර ටැඹකින් අමතනු ලබන්නාක් මෙන්, වැරදීම් වළක්වා ගැනීම සඳහා මෙම කාර්යයේ ගමන් මගෙහි මා ගමන් කළ යුතු ආකාරය ඔවුහු මට පවසති. මෙම ව්‍යාපෘතියට සුදුසු යැයි පෙනෙන ඕනෑම දෙයක්, සාහිත්‍යය ක්ෂේත්‍රයෙහි මල් නෙළන්නාක් මෙන් පැරණි කතුවරුන්ගේ විසිරී ඇති මතක සටහන්වලින් මම එකතු කර ඇත්තෙමි. මම ඒවා ඓතිහාසික ආඛ්‍යානයකට ඇතුළත් කරමි. එසේ අවම වශයෙන් වඩාත් ප්‍රසිද්ධ සභාවල සිටින අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයන්ගෙන් වඩාත් කැපී පෙනෙන අය අමතක වීමෙන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් සතුටු වෙමි. මෙම කෘතිය විශේෂයෙන් අවශ්‍ය යැයි මා සලකන්නේ, ඉතිහාසයේ වටිනාකම දන්නා අය වඩාත් වටිනා දෙයක් ලෙස සලකන එවැනි ලේඛන ගැන උනන්දුවක් දැක්වූ කිසිම කිතුනු කතුවරයකු පිළිබඳ මා නොදන්නා බැවිනි. මීට පෙර මම මගේ ලේඛනයෙහි මෙම තොරතුරු සාරාංශ කර ඇත්තෙමි. එහෙත් මගේ මේ වර්තමාන කාර්යයේදී මම ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර සහිතව කටයුතු කරමි.
මනුෂ්‍ය ග්‍රහණයට ගත නොහැකි තරම් උත්තරීතර වූත්, උසස් වූත් සංකල්පයකින් මම ආරම්භ කරමි: එනම් [දෙවියන් වහන්සේ විසින්] සිද්ධීන් අනුපිළිවෙළට සකස් කිරීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය සම්බන්ධයෙනි. සභා ඉතිහාසය සම්බන්ධයෙන් ලිවීමට අදහස් කරන ඕනෑම අයෙකු ක්‍රිස්තුස් වහන්සේ ගැන ලිවීමෙන්ම ආරම්භ කළ යුතුය, මන්ද අපට අපගේ නම ලැබී ඇත්තේ උන් වහන්සේගෙනි, එය බොහෝ දෙනා සිතනවාට වඩා දිව්‍යමය කාල පරිච්ඡේදයකි.
ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය
[මෙහි සඳහන් වන 2-4 දක්වා පරිච්ඡේද කොටස් සෙසු සභා ඉතිහාසය මෙන් නොව පූර්වයෙන් වැඩ සිටි ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් ගනුදෙනු කරයි. යුසීබියස්ගේ නිත්‍ය ඉතිහාසය ආරම්භ වන්නේ 5.1 කොටසෙනි.]
2. උන් වහන්සේගේ චරිතය දෙයාකාරය: ශරීරයේ හිස මෙන් උන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස සලකනු ලැබුවද, අපගේ ගැලවීම සඳහා උන් වහන්සේ මනුෂ්‍යත්වය පැලඳ සිටි හෙයින්, අපගේ හා සමාන ආශාවන්ගෙන් සමන්විත වූ මිනිසෙකු වූ හෙයින් පාදවලට සමාන කළ හැකිය. මා උන් වහන්සේගේ කතාව සලකා බැලිය යුතු ප්‍රධාන සහ මූලික කරුණුවලින් ආරම්භ කළහොත්, එය ආරම්භ වූයේ පසුගියදාක යැයි පෙනෙන්නට ඇති, සහ කිතුනු දහම මෑතකාලීන හා විදේශීය එකක් යැයි උපකල්පනය කරන අයට කිතුනු දහමේ පෞරාණිකත්වය සහ දිව්‍යමය ස්වභාවය යන දෙකම ප්‍රදර්ශනය වනු ඇත.
සැබවින්ම ශුද්ධාත්මයාණන් වහන්සේ අනාවැකියේ පවසන ආකාරයට, ක්‍රිස්තුස් වහන්සේගේ සම්භවය, සාරය සහ ස්වභාවය ප්‍රමාණවත් ලෙස විස්තර කිරීමට කිසිදු භාෂාවකට නොහැකි වී ඇත: “උන් වහන්සේගේ පරම්පරාව ප්‍රකාශ කරන්නේ කවුද?” [යෙසා. 53:8]. මක්නිසාද පුත්‍රයාණන් වහන්සේ හැරුණුකොට අන් කිසිවෙකු පියාණන්වහන්සේ හඳුනන්නේ නැත, එසේම පුත්‍රයාණන් වහන්සේ බිහි කළ පියාණන් වහන්සේ හැරුණුකොට අන් කිසිවෙකු පුත්‍රයාණන් වහන්සේ සම්පූර්ණයෙන් දැන නොසිටියේය. ලෝකය ආරම්භයට පෙර පැවති ආලෝකය, කාලයේ ආරම්භයට පෙර පැවති ප්‍රඥාව, ආරම්භයේ තිබූ ජීවමාන වචනය පිළිසිඳ ගත හැක්කේ පියාණන්වහන්සේ එනම් දෙවියන් වහන්සේ හැරුණුකොට අන් කවරෙකුටද?
දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන හෝ සියලු මැවිල්ල සහ නිර්මාණවලට පෙර, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පළමු සහ එකම වංශය වූ සේක, ස්වර්ගයේ ආත්මික සේනාවේ අණ දෙන නිලධාරියා, බලවත් උපදේශනයේ දූතයා, පියාණන් වහන්සේගේ විස්තර කළ නොහැකි සැලැස්මේ නියෝජිතයා, පියාණන් වහන්සේසේ සමග -සියලු දේවල මැවුම්කරුවාණන් වහන්සේ, පියාණන් වහන්සේගෙන් පසුව විශ්වයේ දෙවන හේතුව, දෙවියන් වහන්සේගේ සැබෑ වූ සහ එකම දරුවා, මවන ලද සියල්ලෙහි ස්වාමින් වහන්සේ සහ දෙවියන් වහන්සේ සහ රජ්ජුරුවන් වහන්සේ, පියාගෙන් වහන්සේ වෙතින්ම ස්වාමිත්වය, බලය, ගෞරවය සහ දේවත්වය ලැබූ තැනැන් වහන්සේ වන සේක. ශුද්ධලියවිල්ලෙහි උන් වහන්සේට දේවත්වය පිළිබඳ අබිරහස්මය ආරෝපණයට අනුව එය මෙසේය:
පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. … උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය
[යොහන් 1:1-3].
ඇත්ත වශයෙන්ම, මෙයද සියලු අනාගතවක්තෘවරුන් අතරින් මුලින්ම සිටියා වූ ශ්‍රේෂ්ඨ මෝසෙස්ගේ ඉගැන්වීමකි. ඔහු ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන විශ්වයේ ආරම්භය සහ පිළිවෙළ විස්තර කළ විට එසේ කීය: මැවුම්කරුවාණන් වහන්සේ මැවිල්ලෙහි යටත් වන දේවල් සෑදීම සහ මිනිසා මැවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ක්‍රිස්තුස් වහන්සේ හැරුණුකොට අන් කිසිවෙකු සමග නොවේය: “මක්නිසාද දෙවියන් වහන්සේ මෙසේ කී සේක, ‘අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයෙන් මිනිසා සාදමු’ [උත්. 1:26].
තවත් අනාගතවක්තෘවරයෙක් දේවත්වය පිළිබඳ මෙම ආරෝපණය සනාථ කරන්නේය: “මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය” [ගීතා. 33:9; 148:51]. මෙහිදී ඔහු පියාණන් වහන්සේ සහ මැවුම්කරුවාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ උත්තරීතර පරමාධිපත්‍යයක් ලෙස රාජකීය අනුමැතියකින් අණ දෙන තැනැන් වහන්සේ ලෙසින් වන අතර උන් වහන්සේට දෙවනුව සිටින්නේ, උන් වහන්සේගේ අණ ක්‍රියාත්මක කරන දිව්‍යමය වචනය හැරුණුකොට අන් කිසිවෙකු නොවන බවය.
මැවීමේ සිටම, ධර්මිෂ්ඨකම හා ගුණධර්ම සම්බන්ධයෙන් විශේෂයෙන් කැපී පෙනෙන සියලු දෙනා – තමුන්ගේ මනස නමැති ඇසින් උන් වහන්සේ හඳුනාගෙන උන් වහන්සේට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ලෙසට වන ගෞරවය පුද කළ – මෝසෙස් එමෙන්ම ඔහුට පෙර ආබ්‍රහම් සහ ඔහුගේ දරුවන්, මෙන්ම සියලු ධර්මිෂ්ඨ මිනිසුන් සහ අනාගතවක්තෘවරුන් හට – උන් වහන්සේ පියාණන් වහන්සේ පිළිබඳ සියලු මනුෂ්‍ය වර්ගයාට දැනුම ඉගැන්වූ සේක. මේ අනුව, දෙවි ස්වාමින් වහන්සේ මම්රේගේ ආලෝන ගස අසල හිඳගත් විටදී ආබ්‍රහම්ට සාමාන්‍ය මිනිසෙකු ලෙස පෙනී සිටි බව කියනු ලැබේ, එසේ වූවද ආබ්‍රහම් උන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස උන් වහන්සේට නමස්කාර කරමින් මෙසේ කීය, “මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්ද?” [උත්. 18:25]. මක්නිසාද සර්වබලධාරි දෙවියන් වහන්සේගේ නොවෙනස් වන සාරයේ ස්වභාවය මනුෂ්‍ය ස්වරූපයට, හිතලු මායාවෙන් පවා වෙනස් කිරීමට නොහැකි බැවින්, නැතිනම් ශුද්ධලියවිල්ල එවැනි කථාවක් සාවද්‍ය ලෙස නිර්මාණය කිරීමට කිසිවිටක ඉඩ නොදෙන නිසා, මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනී සිටි තැනැත්තා ලෙස විස්තර කර තිබෙන්නේ පෙර පැවති වචනයාණෝ මිස අන් කවරෙක්ද? විශ්වයේ පළමු හේතුව වන තැනැන් වහන්සේ නමකින් ඇමතීම නුසුදුසු බැවිනි. උන් වහන්සේ පිළිබඳ ගීතාවලියේ මෙසේ සඳහන් වේ.
උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක [107.20].
මෝසෙස් පියාණන් වහන්සේගෙන් පසුව දෙවන ස්වාමින් වහන්සේ ලෙස උන් වහන්සේ ගැන පැහැදිලිව කථා කරයි: “එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා ….” [උත්පත්ති. 19:24]. නැවතත් ශුද්ධලියවිල්ල උන් වහන්සේ මිනිසෙකුගේ ස්වරූපයෙන් යාකොබ්ට පෙනී සිටි විට උන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වයි. “නුඹ දෙවියන්වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක. … එවිට මෙසේද සිදු විය: “යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවියයි ඔහු කීවේය” (උත්පත්ති. 32:28-29].
Illustration 1: Mediterranean waves break against the jetty at Caesarea, where Eusebius was Bishop. යුසේබියස් බිෂොප් ලෙස සිටි සිසේරියාවේ ජැටියට ප්‍රතිවිරුද්ධව මධ්‍යධරණී මුහුදු රළ බිඳෙයි.
මෙහි වාර්තාවල සඳහන් වන දේවදූතයන් වූ කලි දෙවියන් වහන්සේගේ යටත් දේවදූතයන්ගේ සහ දේවසේවකයන්ගේ පෙනුම යැයි සිතීම නිවැරදි විය නොහැකිය. මන්ද ඔවුන් මිනිසුන්ට පෙනෙන සෑම විටම, ශුද්ධලියවිල්ල අසංඛ්‍යාත කොටස්වලින් පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් දේවදූතයන් ලෙස හඳුන්වනු ලබන බව මිස දෙවියන් වහන්සේ හෝ ස්වාමින් වහන්සේ ලෙස නොවේය.
මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා වූ යොෂුවා ස්වාමින් වහන්සේගේ සේනාවේ ප්‍රධානියා ලෙස, දේවදූතයන්, අග්‍ර දේවදූතයන් සහ ස්වර්ගීය බලවතුන්ගේ නායකයා ලෙස නම් කරන අතර, පියාණන් වහන්සේගේ බලය සහ ප්‍රඥාව ලෙස විශ්වය පාලනය කිරීමේ දෙවන ස්ථානය ලබා දුන්නේය. එහෙත් යොෂුවාද උන් වහන්සේ දුටුවේ මිනිස් ස්වරූපයෙන් පමණි. මන්ද එහි මෙසේ ලියා ඇත.
“තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.
ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාර කොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියන සේක්දැයි ඇසීය. ස්වාමීන් වහන්සේගේ සේනාපතියාද: නුඹ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගළවාපන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කෙළේය” [යොෂුවා 5:13-15].
ඒ අන් කිසිවෙක් නොව මෝසෙස් සමග කතා කළ තැනැත්තාම බව මෙම වචනම ඔබට පෙන්වයි:
“ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටු කල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහි යයි ඔහු කීවේය. උන් වහන්සේ කථාකොට: මෙතැනට ළං නොවව. නුඹේ පාදවලින් නුඹේ පාවහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි කීසේක. උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන් වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේය, යාකොබ්ගේ දෙවියන් වහන්සේ යයි කී සේක.” [නික්මයාම 3:4-6].
මේ සැබවින්ම දෙවියන් වහන්සේගේ වචනය සහ ප්‍රඥාව ලෙස නම් කර ඇති සත්තාව (තැනැන් වහන්සේ) බවට අමතර සාක්ෂි තිබේ. උන් වහන්සේ ලෝකයට ආරම්භයට පෙර සිටි සහ සියලු මැවූ දේවල් නිර්මාණය කිරීමේදී විශ්වයේ දෙවියන් වහන්සේට සහාය වූ තැනැන්වහන්සේය. ප්‍රඥාව සලමොන්ගේ මුවින් තමන්ගේම රහස පැහැදිලිව හෙළි කරයි:
ප්‍රඥාව වන මම නුවණ සමග වාසය කොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි.
මා කරණකොටගෙන රජවරු රජකම් කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති.
මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.
ස්වාමීන්වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන්වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී මා පිහිටෙවුසේක. පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි. ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි. කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්, උන්වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.
… මම උන්වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි; සෑමකල්හිම උන්වහන්සේ ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්, දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීමි. උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි.
එසේ නම් මෙය, දිව්‍යමය වචනය කලින් පැවති බවටත්, සියල්ලන්ම නොවේ නම්, සමහරුන්ට දර්ශනය වූ බවටත් වන කෙටි නිරූපණයකි.
දැන් තිබෙන ආකාරයට උන් වහන්සේ බොහෝ කලකට පෙර සියලු මිනිසුන්ට සහ සියලු ජාතීන්ට ප්‍රකාශ නොවූයේ මන්ද යන්න පහත පරිදි පැහැදිලි කෙරේ. අතීතයේදී මනුෂ්‍ය වර්ගයාට ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම එහි සියලු ප්‍රඥාව හා ගුණය සහිතව ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නොතිබුණි. ආරම්භයේදී, මුල් ආශීර්වාද ලත් තත්වයෙන් පසුව, පළමුවන මිනිසා දෙවියන් වහන්සේගේ අණ නොතකන ලද හෙයින් මෙම මරණීය තත්වයට ඇද වැටුණි. එහිදී පෘථිවියේ ශාපය වෙනුවෙන් ස්වර්ගයේ සතුට හුවමාරු කර ගත්තේය. අපේ ලෝකය පිරෙවූ ඔහුගේ පරම්පරාව, එක් අයෙකු හෝ දෙදෙනෙකු හැරෙන්නට, ම්ලේච්ඡ පැවැත්මක් සහ ජීවත්වීමට නොවටිනා තත්වයේ ජීවිතයක් තෝරාගෙන, ඊටත් වඩා නරක ලෙස ජීවත් වූහ. නගරය, රාජ්‍යය, කලාව, දැනුම, නීති, ගුණවත් බව හෝ දර්ශනය යනාදිය ඔවුන් අතර කියවුණු නම් අතර පවා නොතිබිණි.
එසේම ඔවුහු ම්ලේච්ඡ නාමිකයන් ලෙස කාන්තාරයේ ජීවත් වූ අතර, ඔවුන්ගේ අධික දුෂ්ටකම කරණකොටගෙන හේතුව සහ සංස්කෘතිය විනාශ කරමින් ජීවත් වූහ. සම්පූර්ණ පරිහානියට ලක් වීමට යටත් වී, ඔවුහු එකිනෙකා දූෂණය කර, ඝාතනය කර හෝ කපා කොටා දැමූහ. එසේම ඔවුහු ඔවුන්ගේ උමතුව කරණකොටගෙන දෙවියන් වහන්සේ සමගම යුද්ධයට සූදානම් වූ අතර, යෝධයන්ගේ කීර්තිමත් සටන්වලින් යුද්ධ කිරීමට, ස්වර්ගයට එරෙහිව පෘථිවියෙහි ශක්තිමත් පවුරක් තැනීමට සහ ඔවුන්ගේ ව්‍යාකූලත්වය තුළ උත්තරීතර පාලකයාණන් වහන්සේ සමගම සටන් කිරීමට උත්සාහ කළහ. ඊට ප්‍රතිචාරයක් වශයෙන්, දෙවියන් වහන්සේ ඔවුන්ට ගංවතුර සහ ගිනි ඇවිලීම්, සාගත සහ වසංගත, යුද්ධ සහ අකුණු ගර්ජනාවන් – ක්‍රමානුකූලව දරුණු දඬුවම් – ඔවුන්ගේ ප්‍රාණයන්ගේ හානිකර රෝග වළක්වා ගැනීම සඳහා එවූ සේක.
ඉන්පසුව, නපුරෙහි මහා ජලගැල්මෙන් මනුෂ්‍ය වර්ගයා ගිලී යාමට ආසන්න වූ විට, දෙවියන් වහන්සේගේ කුලුඳුල් සහ පළමුව මවන ලද ප්‍රඥාව, පූර්වයෙන් පැවතියා වූ වචනයම, උන් වහන්සේගේ මහා දයා කරුණාවෙන්, දේවදූත දර්ශනයක් ලෙස හෝ පෞද්ගලිකව දෙවියන් වහන්සේගේ ගැලවීමේ බලය ලෙස පුරාණයේ සිටි දේව බය ඇති මිනිසුන්ගෙන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පෙනී සිටි සේක. එසේ වූවත් සෑම විටම මිනිස් ස්වරූපයෙන් පෙනී සිටි සේක. එයට හේතුව වූයේ ඔවුන්ට වෙනත් ආකාරයකින් උන් වහන්සේ පිළිගැනීමට නොහැකි වූ බැවිනි.
අනෙක් අතට ඔවුන් බොහෝ දෙනා අතර සැබෑ ආගමේ බීජ වැපිරූ විට, හෙබ්‍රෙව්වරුන්ගෙන් පැන නැඟි, සැබෑ ආගම පිළිපදින සමස්ත ජාතියක් මතු විය. ඔවුන්ට, අනාගතවක්තෘ මෝසෙස් තුළින්, උන් වහන්සේ අබිරහස්මය සබතෙහි සහ චර්මඡේදනයේ රූප සහ සංකේත මෙන්ම වෙනත් ආත්මික මූලධර්ම පිළිබඳ උපදෙස් එළිදරව් කළ නමුත් අබිරහස් පිළිබඳ සම්පූර්ණ එළිදරව්වක් නොකළ සේක. මන්ද ඔවුන් තවමත් පැරණි පිළිවෙත්වලට බැඳී සිටි බැවිනි. එහෙත් ඔවුන්ගේ නීතිය ප්‍රසිද්ධ වී සුවඳ හමන සුළඟක් මෙන් සෑම තැනකම විනිවිද ගිය විට, බොහෝ විජාතීන්ගේ මනසවල් නීති සම්පාදකයින් සහ දාර්ශනිකයන් විසින් මධ්‍යස්ථභාවයට පත් කරනු ලැබිණි. ම්ලේච්ඡ කුරිරු බව මෘදු බව දක්වා වෙනස් වූ අතර, ගැඹුරු සාමය, මිත්‍රත්වය සහ පහසු සන්නිවේදනය පැවතුණි.
අවසානයේදී, දැන් ලොව පුරා සිටින සියලුම මනුෂ්‍ය වර්ගයා පියාණන් වහන්සේ පිළිබඳ දැනුම ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, එම දිව්‍යමය වචනයම රෝම අධිරාජ්‍යයේ ආරම්භයේදී අප හා සමාන ස්වභාවයක් ඇති මිනිසෙකුගේ ස්වරූපයෙන් දර්ශනය වූ සේක. දෙවියන් වහන්සේම වූ මිනිසෙකු විසින් අසාමාන්‍ය ක්‍රියා කරනු ලබන බවත්, පියාණන් වහන්සේට නමස්කාර කිරීම සියලු ජාතීන්ට උගන්වන බවත් අනාවැකිවලට අනුකූල දුක් වේදනා විඳිනු ලබන බවත් සම්බන්ධ කාරණා සම්පූර්ණත්වයට පත් විය. උන් වහන්සේගේ ප්‍රාතිහාර්යමය උපත, උන් වහන්සේගේ නව ඉගැන්වීම, උන් වහන්සේගේ ක්‍රියාවන්හි ආශ්චර්යය, උන් වහන්සේගේ මරණය සිදු වන ආකාරය, උන් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථාන වීම සහ අවසාන වශයෙන්, දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ ස්වර්ගයට නැවත පැමිණීම ගැනද ඔවුහු අනාවැකි පළ කළහ. ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් අනාගතවක්තෘ දානියෙල් උන් වහන්සේගේ අවසාන පරමාධිපත්‍යය මනුෂ්‍ය අර්ථයෙන් විස්තර කළේය:
මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන්වහන්සේගේ සිංහාසනය ගිනිදලුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය. ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවය කළෝය, දස දහසක් වර දස දහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරින ලද්දේය.
මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූ සේක. සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය. [දානියෙල් 7:9-10, 13-14].
පැහැදිලිවම මෙය දෙවියන් වහන්සේ සමග ආරම්භයේ සිටි දේව වාක්‍යාණන්, උන් වහන්සේගේ අවසාන මාංසවත් වීම නිසා “මනුෂ්‍ය පුත්‍රයාණන්” ලෙස හැඳින්වෙන අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේට හැරෙන්නට අන් කිසිවෙකුට අදාළ විය නොහැකි විය. එහෙත් මම අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අනාවැකි විශේෂ විවරණවල එකතු කර දක්වා ඇති බැවින්, මෙහිදී මෙය ප්‍රමාණවත් වේ.
යේසුස් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ කලින් දැනගෙන සිටි නාමයන්
3. යේසුස් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ යන නාමයන් පුරාණයේ සිටි දෙවියන් වහන්සේට ආදරය කරන අනාගතවක්තෘවරුන් කරණකොටගෙන පවා ගෞරවයට පාත්‍ර කරනු ලැබිණි. මෝසෙස් “කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගනින්න” [නික්මයාම 25:40] යනුවෙන් ඔහුට පැවසූ හඬට ප්‍රතිචාර වශයෙන් වර්ග සහ සංකේත භාවිත කරමින්, ක්‍රිස්තුන් වහන්සේගේ නාමය කෙතරම් සුවිශුද්ධ වූවක්ද තේජාන්විත වූවක්ද යන්න මුලින්ම ප්‍රකාශ කළේ මෝසෙස්මය. දෙවියන් වහන්සේගේ උත්තම පූජකයා උත්තරීතර බලය ඇති මිනිසෙකු ලෙස විස්තර කරන විට, ඔහු “ක්‍රිස්තුස් වහන්සේගේ” දිව්‍යමය චරිතය අවබෝධ කර ගනිමින් ගෞරවයේ සහ මහිමයේ සලකුණක් ලෙස උන් වහන්සේ සහ උන් වහන්සේගේ පදවි නාමය “ක්‍රිස්තුස්” ලෙස හඳුන්වයි. යේසුස් යන නිල නාමය ඉතා පැහැදිලිව දැකීමට ඔහු ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන්ද සමන්විත විය. මින් පෙර එය කිසිදා දැන නොසිටි නමුත්, මෝසෙස් නැවතත් වර්ගයක් හෝ සංකේතයක් ලෙස, නැවතත් යේසුස් යන පදවි නාමය ලබා දුන්නේ, ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වන මනුෂ්‍යයා ලෙස ඔහු දැන සිටි තැනැත්තාට පමණි. ඔහුගේ අනුප්‍රාප්තිකයා වෙනත් නමකින් එනම් හොෂෙයා යනුවෙන් හඳුන්වනු ලැබ ඇත. එය ඔහුට ඔහුගේ දෙමාපියන් විසින් ලබා දෙන ලද නාමයයි. [ගණන් කතාව 13:16]. එහෙත් මෝසෙස් ඔහු හඳුන්වන්නේ යේසුස් යනුවෙනේ හඳුන්වයි – නූන්ගේ පුත් යොෂුවා අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ රූපය දරයි. මෝසෙස්ට පසුව පමණක් සත්‍යය හා නිර්මල ආගම කෙරෙහි ආධිපත්‍යය බලය ලැබුවේ ඔහු පමණි. මේ ආකාරයට ඔහුගේ කාලයේ කුසලතාවයෙන් සහ මහිමයෙන් අන් සියල්ලන් අබිබවා ගිය මිනිසුන් දෙදෙනාට උත්තරීතර ගෞරවය ලබා දීමක් ලෙස මෝසෙස් අපගේ ගැලවුම්කරුවා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ප්‍රදානය කරයි: එනම් උත්තම පූජකයා සහ ඔහුගෙන් පසුව පාලනය කරන මිනිසාටය. පසුකාලීන අනාගතවක්තෘවරුද ක්‍රිස්තුස් වහන්සේගේ නමින් පැහැදිලිව පුරෝකථනය කරමින්, යුදෙව් ජනතාව උන් වහන්සේට විරුද්ධව කරන කුමන්ත්‍රණ සහ උන් වහන්සේ තුළින් අන්‍යජාතිකයන් කැඳවනු ලැබීම ගැනද අනාවැකි පළ කළහ. නිදසුනක් ලෙස යෙරෙමියා මෙසේ පවසයි:
“ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන් වහන්සේගේ අභිෂේකලත් නැනැත්තේ (ක්‍රිස්තුස් වහන්සේ) ඔවුන්ගේ වළවල අසුවුණේය [විලාප ගී 4:20].
දාවිත් ඔහුගේ ව්‍යාකූලත්වය තුළ මෙසේ අසයි:
මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරදේද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කෙරදේද? ස්වාමීන්ටද උන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාණන්ටද (ක්‍රිස්තුස් වහන්සේට) විරුද්ධව පොළොවේ රජවරු සැරෙසති, අධිපතියෝද එක්ව මන්ත්‍රණය කෙරෙති [ගීතාවලිය 2:1-2].
ක්‍රිස්තුස් වහන්සේම වන පුද්ගලයා තුළ කථා කරමින් ඔහු තවදුරටත් මෙසේ පවසයි.
“ස්වාමීන් වහන්සේ මට කථාකොට: නුඹ මාගේ පුත්‍රයෙහිය; අද නුඹ ජනිතකෙළෙමි. මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි” [ගීතාවලිය 2:7-8].
ඒ අනුව, හෙබ්‍රෙව්වරුන් අතර ක්‍රිස්තුස් යන නාමයෙන් නම් කරන ලද්දේ සංකේතාත්මකව තෙල්වලින් ආලේප කරන ලද උත්තම පූජකයන් පමණක් නොව, රජවරුන් එසේ ආලේප කරන ලදී. මක්නිසාද දිව්‍යමය නියෝගයෙන් ඔවුහුද අනාගතවක්තෘවරුන් විසින් සංකේතාත්මක ක්‍රිස්තුස්වරුන් ලෙස අභිෂේක කරනු ලැබූහ. එයට හේතුව ඔවුන් සියල්ලන්ම පාලනය කරනු ලබන එකම සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ, දිව්‍යමය වාක්‍යාණන්ගේ, රාජකීය සහ ස්වෛරී අධිකාරියේ රටාවන් තමන් තුළම ඇතිව සිටි බැවිනි. ඒ හා සමානවම, සමහර අනාගතවක්තෘවරුන්ම, අභිෂේක කිරීමෙන් පසුව, ක්‍රිස්තුස් වහන්සේගේ වර්ග බවට පත් වූ අතර, ඒ නිසා [එම පිරිස් තුනම] විශ්වයේ එකම උත්තම පූජකයාණන් වහන්සේ, සියලු මැවිල්ලේ එකම රජ්ජුරුවන් වහන්සේ පියාණන් වහන්සේගේ එකම ප්‍රධාන අනාගතවක්තෘ සහ දිව්‍යමය වාක්‍යාණෝ වන සැබෑ ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් යොමු වෙයි.
පූජකයා, රජ හෝ අනාගතවක්තෘ කවුරුන් හෝ වේවා පුරාණයේ සංකේතාත්මක ලෙස අභිෂේක ලත් අය, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේ -එකම සැබෑ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රදර්ශනය කළ ආකාරයේ දිව්‍යමය බලයක් ලබාගෙන නොසිටීම මෙයට සාක්ෂි වන කරුණ වේ. ඔවුන්ගෙන් කිසිවෙකුත්, පරම්පරා ගණනාවක් පුරාවටම කුමනාකාරයෙන් තමන්ගේම ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වූ නමුත්, ක්‍රිස්තුස් යන ඔවුන්ගේ සංකේතාත්මක නාමයෙන් ඔවුන්ගේ යටත්වැසියන්ට ක්‍රිස්තියානි යන නම ලබා දුන්නේ නැත. ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ යටත්වැසියන් විසින් වන්දනාමාන කරනු ලැබුවේ හෝ ගෞරවයට පාත්‍ර කරනු ලැබුවේ නැති අතර, ඔහුගේ මරණයෙන් පසුව ගෞරවයට පාත්‍ර වූ ඔහු වෙනුවෙන් මිය යාමට සූදානම් වූයේ නැත. සංකේතයේ බලයට අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ යථාර්ථය කරන්නාක් වැනි බලපෑමක් ඇති කළ නොහැකි බැවින් කිසිවෙකුත් ලොව පුරා සියලුම ජාතීන් තුළ එවැනි කැලඹීමක් ඇති කළේ නැත. උන් වහන්සේ කිසිවකුගෙන් උත්තම පූජකත්වයේ සංකේත ලබා ගත්තේ හෝ පූජකයන්ගේ පෙලපතකින් උන් වහන්සේගේ භෞතික සම්භවය ලබා ගත්තේ හෝ නැත. සන්නද්ධ හමුදාවන් උන් වහන්සේගේ පාලනය ප්‍රවර්ධනය නොකළ අතර, උන් වහන්සේ පැරණි කාලයේ සිටි මෙන් අනාගතවක්තෘවරයෙකු මෙන් වූයේද නැත. යුදෙව්වන් උන් වහන්සේට තරාතිරමක් හෝ ප්‍රමුඛත්වයක් හෝ ලබා දුන්නේ නැත. එහෙත් පියාණන් වහන්සේ විසින් උන් වහන්සේ මේ සියල්ලෙන් සරසන ලදුව, උන් වහන්සේ සංකේතවලින් නොව සත්‍යයෙන් සැරසී සිටි සේක. උන් වහන්සේ මෙහි සඳහන් කරන ලද ගෞරවයන් ලබා නොගත්තද, උන් වහන්සේ අන් සියල්ලන්ටම වඩා ක්‍රිස්තුස් වහන්සේ ලෙස හඳුන්වනු ලබන සේක. මන්ද උන් වහන්සේම උන් වහන්සේගේ කිතුනුවන්ගෙන් මුළු ලෝකයම පුරවා ඇති එකම දෙවියන් වහන්සේගේ සැබෑ ක්‍රිස්තුස් වහන්සේ වන සේක.
උන් වහන්සේ තවදුරටත් තම අනුගාමිකයින් හට රටාවන් හෝ රූප සපයන්නේ නැත. එහෙත් සම්පූර්ණයෙන් එළිදරව් කරන ලද සත්‍යයන් සපයන සේක. එසේම උන් වහන්සේට ලැබී ඇත්තේ ද්‍රව්‍යමය ආලේපයක් නැතිනම් ක්‍රිස්මයක් (Chrism) නොව, පියාණන් වහන්සේගේ උපත නොලද දිව්‍යත්වය බෙදාගැනීම තුළින් දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ලැබුණාවූ දිව්‍යමය අභිෂේකයකි.
යෙසායා මේ කාරණය උගන්වමින්, ක්‍රිස්තුස් වහන්සේ කතා කරන්නා සේ, මෙසේ පවසයි:
ස්වාමිවූ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන් වහන්සේ මා ආලේප කළ සේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශ කරන්ටද, ස්වාමීන් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, … උන් වහන්සේ මා එවූසේක [යෙසායා 61:1-2].
තවද යෙසායා පමණක් නොව, දාවිත්ද උන් වහන්සේ ගැන සඳහන් කරමින් මෙසේ පවසයි:
දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකෙම් ජයකොන්තයක්ය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂ කළ සේක. එබැවින් දෙවියන් වහන්සේ, ඔබගේ දෙවියන් වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේප කළ සේක [ගීතාවලිය 45.6-7].
මෙම පළමුවන පදය උන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වයි. දෙවැනි පදයෙන් උන් වහන්සේට රාජකීය යෂ්ටියක් ලබා දෙයි. දිව්‍යමය සහ රාජකීය ගුණාංගවලින් ගෞරවාදරයට පාත්‍ර වූ උන් වහන්සේ, තුන්වන ස්ථානයේ, ක්‍රිස්තුස් වහන්සේ බවට පත් වූවාක් මෙන්, ද්‍රව්‍යමය තෙල්වලින් නොව දිව්‍යමය වශයෙන් අභිෂේක කරන ලදුව, ශාරීරිකව අභිෂේක ලත් උන් වහන්සේට පෙර සිටි අයට වඩා බෙහෙවින් උත්කෘෂ්ඨ ලෙස ඉදිරිපත් කර ඇත. තවත් ස්ථානයක උන් වහන්සේගේ තත්ත්වය එම ලේඛකයාම මෙලෙස පැහැදිලි කරයි:
“ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනෙතක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක. ස්වාමීන් වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩුකළ මැනව. ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකෙම් අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකෙම් පිනි ඔබට ඇත්තේය. නුඹ මෙල්කිසෙදක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන් වහන්සේ දිවුරුසේක; එය වෙනස් නොකරන සේක” [ගීතාවලිය 110:1-4].
මෙම මෙල්කිසදෙක් කිසිදු ද්‍රව්‍යමය අභිෂේකයක් ලබා නොගෙන නැතිනම් හෙබ්‍රෙව් පූජක පැලැන්තියට අයත් නොවන මහෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයා ලෙස ශුද්ධ වූ ග්‍රන්ථවල අර්ථකථනය කර ඇත. සංකේත සහ රටා ලබා ගත් අන් අය මෙන් නොව අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ දිවුරුම යටතේ ක්‍රිස්තුස් සහ පූජකයා ලෙස උන් වහන්සේගේ පිළිවෙළේ නියෝගයට අනුව හඳුන්වනු ලැබූ සේක. උන් වහන්සේ යුදෙව්වන් විසින් භෞතික වශයෙන් අභිෂේක කරන ලද බවක් හෝ පූජකත්වය දැරූ අයගේ ගෝත්‍රයට අයත් වූ බවක් වාර්තාවේ සඳහන් නොවේ. එහෙත් උන් වහන්සේ පහන් තාරකාවට පෙර, එනම් ලෝකය මැවීමට පෙර දෙවියන් වහන්සේගෙන්ම උන් වහන්සේගේ පැවැත්ම ඇති වූ බවත්, උන් වහන්සේගේ පූජකත්වය සදාකාලයටම දරන බවත් සඳහන් වේ.
උන් වහන්සේගේ අභිෂේක කිරීම දිව්‍යමය බව ඔප්පු වන්නේ මෙතෙක් ජීවත් වූ සියල්ලන් අතරින්, උන් වහන්සේම පමණක්, ක්‍රිස්තුස් වහන්සේ ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති අතර, ග්‍රීකයින් සහ ග්‍රීක නොවන අය විසින් උන් වහන්සේ ක්‍රිස්තුස් ලෙස හඳුන්වනු ලබන බැවිනුත්ය. එසේම අද දක්වාම ලොව පුරා සිටින උන් වහන්සේට නමස්කාර කරන්නන් විසින් රජ්ජුරුවන් වහන්සේ ලෙස ගෞරවයට පාත්‍ර කරනු ලබන සේක, අනාගතවක්තෘවරයෙකුට වඩා මහත් භීතියකින් යුතුව සලකනු ලබන සේක, දෙවියන් වහන්සේගේ සැබෑ සහ එකම උත්තම පූජකයා ලෙසත්, උන් වහන්සේ සියල්ලටම වඩා දෙවියන් වහන්සේගේ පෙර පැවති වචනය ලෙසත් මහිමයට පත් කරනු ලබන සේක, සියලු යුගවලට පෙර උන් වහන්සේ පැවැති අතර, දෙවියන් වහන්සේ ලෙස නමස්කාරය ලද තැනැන් වහන්සේ වන සේක. උන් වහන්සේට කැපවී සිටින අපි උන් වහන්සේට කටහඬින් සහ වචනයෙන් පමණක් නොව, අපගේ මුළු ප්‍රාණයෙන්ම උන් වහන්සේට ගෞරව කරන්නෙමු, එම නිසා අපි අපගේ ජීවිතයට වඩා උන් වහන්සේට සාක්ෂි දැරීම අගය කරමු.
සැබෑ ඇදහිල්ලේ පෞරාණිකත්වය
4. අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන් වහන්සේගේ මාංසවත් වීමේ දිනය හෝ උන් වහන්සේගේ ඉගැන්වීම් මෑත කාලයේ සාමාන්‍ය මිනිසෙකු විසින් නිර්මාණය කරන ලද නව හා අමුතු ඉගැන්වීම් ලෙස සලකා උන් වහන්සේ නවකතාවක් ලෙස කිසිවෙකු නොසිතන පිණිස මෙම හැඳින්වීම අවශ්‍ය විය. උන් වහන්සේගේ මෑතකාලීන ආගමනයත් සමග, එය පිළිගත හැකි පරිදි, කුඩා, දුර්වල හෝ දූරස්ථ නොවන නමුත් දෙවියන් වහන්සේගේ සදාකාලික උපකාරය ඇතිව බොහෝමයක් වූ, භක්තිවන්ත සහ පරාජය කළ නොහැකි නව ජනතාවක් – නියමිත වේලාවට පෙනී සිටි තැනැන් වහන්සේට, ක්‍රිස්තුස් යන නාමයෙන් ගෞරව කරන ලද සේක. අනාගතවක්තෘවරුන්ගෙන් එක් අයෙක් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඇසින් අනාගතය දුටු විට මේ පිළිබඳ බොහෝ පුදුමයට පත් වී ඔහු මෙසේ පැවසීය:
මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම උපදිනවා ඇද්ද? [යෙසායා 66:8].
එම ලේඛකයාම එහි අනාගත නාමය සම්බන්ධයෙන්ද ඉඟි කරමින් මෙසේ පවසයි, “නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන් වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත. එයින් පොළොවෙහි තමාට ආශීර්වාද කරගන්න අය සත්‍යතාවේ දෙවියන් වහන්සේගේ නම කියා ආශීර්වාද කරගන්නේය” [යෙසායා 65:15-16].
එහෙත් අප අලුත් අය වුවත්, කිතුනුවන්ගේ මෙම නැවුම් නාමය මෑතක සිට සියලු ජාතීන් අතර ප්‍රසිද්ධ වී ඇතත්, අපගේ ජීවිතය, හැසිරීම සහ ආගමික මූලධර්ම අපගේ මෑතකාලීන සොයාගැනීම් නොවන අතර, අප විසින් පවත්වන ප්‍රදර්ශනයකරන එම කාරණා දෙවියන් වහන්සේගේ මිතුරන් වූ පැරණි මිනිසුන්ගේ ස්වාභාවික සංකල්පවලින් පැන නැගුණු ඒවාය. හෙබ්‍රෙව්වරු අලුත් සෙනගක් නොවන අතර ඔවුන් ඔවුන්ගේ පෞරාණිකත්වය නිසා සියල්ලන් විසින්ම හඳුනාගනු ලැබ ගෞරවයට පාත්‍ර වන අය වෙති. දැන් ඔවුන්ගේ වාචික සහ ලිඛිත වාර්තා සුළු හා සංඛ්‍යාවෙන් හිඟ නමුත් භක්තිවන්තකම, ධර්මිෂ්ඨකම සහ වෙනත් ගුණධර්මවලින් කැපී පෙනෙන මුල් යුගයේ මනුෂ්‍යයින් සමග ගනුදෙනු කරන්නේය. ඔවුන්ගෙන් සමහරෙකු, විශේෂයෙන්ම හෙබ්‍රෙව්වන් ඔවුන්ගේම නිර්මාතෘ සහ මුතුන් මිත්තෙකු ලෙස පුරසාරම් දොඩන ආබ්‍රහම් ගංවතුරට පෙර ජීවත් වූ අතර තවත් සමහරු – නෝවාගේ දරුවෝ සහ ඔහුගෙන් පැවත එන අය ගංවතුරට පසුව ජීවත් වූහ – ආබ්‍රහම්ගේ සිට පළමු මිනිසා දක්වා ආපසු යමේදී ධර්මිෂ්ඨකම හේතුවෙන් ගෞරවයට පාත්‍ර වූ මේ සියල්ලන්ම, සත්‍යය ඉක්මවා නොයෑමෙන්, එම නාමයෙන් නොවන නමුත් ඇත්ත වශයෙන්ම කිතුනුවන් ලෙස විස්තර කළ හැකිය.
මක්නිසාද කිතුනුවා, ක්‍රිස්තුස් වහන්සේගේ දැනුම හා ඉගැන්වීම තුළින්, ආත්ම දමනය හා ධර්මිෂ්ඨකම, හික්මීම සහ ගුණවත්කම සහ සියල්ලටම ඉහළින් සිටින්නේ එකම දෙවියන් වහන්සේය යන්නප්‍රකාශ කිරීමෙන් විශිෂ්ට වන අයෙකි. මේ සියල්ලෙන්ම ඔවුහු අපට වඩා කිසි ලෙසකින් හෝ අඩු නොවූ ජ්වලිත බව පෙන්නුම් කළහ. ඔවුන්ට ශාරීරික චර්මඡේදනය ගැන උනන්දුවක් තිබුණේ නැත. එසේම අපටද ඒ සම්බන්ධ උනන්දුවක් ඇත්තේ නැත. එසේම ඔවුන්ට සබත් පැවැත්වීම ගැන උනන්දුවක් තිබුණේ නැත. එසේම අපටද ඒ සම්බන්ධ උනන්දුවක් ඇත්තේ නැත. එමෙන්ම මෝසෙස් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින්ට සංකේත ලෙස පැවැත්වීම සඳහා මුලින්ම ලබා දුන් සමහර ආහාර හෝ වෙනත් වෙනස්කම්වලින් වැළකී සිටීම හෝ එවැනි දේවල් පිළිබඳ දැන් කිතුනු අය සැලකිල්ලක් නොදක්වති. එහෙත් ඔවුහු පැහැදිලිවම දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දැන සිටියහ. මන්ද උන් වහන්සේ ආබ්‍රහම්ට දර්ශනය වී, ඊසාක්ට උගන්වා, ඉශ්‍රායෙල් [යාකොබ්] සමග කතා කළ නිසා සහ මා පෙන්වා දුන් පරිදි මෝසෙස් සහ පසුකාලීන අනාගතවක්තෘවරුන් සමග කතා කළ නිසාත්ය. එම නිසා, මෙම දෙවියන් වහන්සේට ආදරය කරන මිනිසුන්ට ක්‍රිස්තුස් වහන්සේගේ නාමය පවා ලැබී ඇති බව ඔබට පෙනී යනු ඇත: “මාගේ අභිෂේක ලද්දවුන්ට (ක්‍රිස්තුස්වරුන්ට) අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව් යයි කී සේක” [ගීතාවලිය 105.15]. එසේ නම් පැහැදිලිවම, මෑතකාලීනව සියලු ජාතීන් හට ප්‍රකාශ කරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වූ කලි අන් කිසිවක් නොව, ආබ්‍රහම් සහ උන් වහන්සේ අනුගමනය කළ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් විසින් සොයා ගන්නා ලද සියලුම ආගම් අතරින් ප්‍රථම සහ පැරණිතම ආගම වේ. එයින් බොහෝ කලකට පසුව ආබ්‍රහම්ට චර්මඡේදනය සඳහා අණ ලැබුණු බවට ඔවුන් තර්ක කළද, එයට පෙර ඔහු ඇදහිල්ල තුළින් ධර්මිෂ්ඨ අයෙකු ලෙස සලකනු ලැබූ බවට මම පිළිතුරු දෙමි. එය දිව්‍යමය වචනය පවසන පරිදි මෙසේය: “ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ විශ්වාස කෙළේය; උන් වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත් සේක” [උත්පත්ති 15:6]. ඔහුට තමන් වහන්සේම එළිදරව් වූ දෙවියන් වහන්සේ විසින් ඔහුගේ චර්මඡේදනයට පෙර ඔහුට ලබා දුන් පණිවුඩය වූයේ – දෙවියන් වහන්සේගේ වචනය වන ක්‍රිස්තුස් වහන්සේම – අනාගතයේදී ඔහු කළ ආකාරයටම අදහන අය ධර්මිෂ්ඨ කරනු ලබන බවට පහත පරිදි සඳහන් වේ: “පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය” [උත්පත්ති 12:3], සහ: “ආබ්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය” [උත්පත්ති 18:18].
දැන් මෙය පැහැදිලිවම අප තුළ ඉටු වී ඇත, මන්ද දෙවියන් වහන්සේගේ වචනය, ඔහුට දර්ශනය වූ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, ඔහු ධර්මිෂ්ඨ කරනු ලැබුවේත්, සියලු දෙවිවරුන්ට ඉහළින් සිටින එකම දෙවියන් වහන්සේ ප්‍රකාශ කිරීමට තම පියවරුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය අත්හැරීමත්, පසුව පැමිණි සියල්ලෝම, මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් නොව නිවැරදි හැසිරීමෙන් උන් වහන්සේට සේවය කිරීමෙනුත්ය. එදා මෙන් ඔහු එදා සිටි අයුරින්ම, සියලු ජාතීන් ඔහු තුළ ආශීර්වාද ලබන බව කියනු ලැබේ. එමෙන්ම වර්තමානයේදී, වචනයට වඩා උස් හඬක් සහිත ක්‍රියාවලින්, ලොව පුරා සිටින කිතුනුවෝ ආබ්‍රහම් එය ක්‍රියාත්මක කළ ආකාරයටම තම ඇදහිල්ල ක්‍රියාවට නංවති. ඒ අනුව, ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් පුරාණයේ සිටි දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසුන් හා සමාන ජීවිතයක් හා ආගමක් බෙදාගන්නා අතර, එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අලුත් හෝ අමුතු දෙයක් නොව, අවංක වූ, පැරණි වූ, අද්විතීය වූ සහ සත්‍යය වූවකි.
යේසුස් වහන්සේගේ උපත සහ යුදෙව් රාජවංශයේ අවසානය
5. එසේ නම් දැන්, මගේ සභා ඉතිහාසය සම්බන්ධයෙන් වන මෙම අවශ්‍ය හැඳින්වීමෙන් පසුව, සත්‍යවාදී ආඛ්‍යානයක් නිපදවීමට අපට සහය වන ලෙස වචනයේ පියාණන් වහන්සේ වන ප්‍රථමයෙන් දෙවියන් වහන්සේව සිටි සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ මාංසවත් වීමේ පෙනුමෙන් ආරම්භ කරමු. එසේ ඔගස්ටස්ගේ පාලන සමයේ හතළිස් දෙවන වසරේ සහ ඊජිප්තුව යටත් කර ගැනීමෙන් පසුව විසිඅට වන වර්ෂයේදී සහ ටොලමියානු රාජවංශයේ අන්තිමයා වූ ඇන්ටනිගේ සහ ක්ලියෝපැට්රාගේ මරණයෙන් පසුව, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන් වහන්සේ සම්බන්ධ අනාවැකිවලට අනුකූලව යුදයේ බෙත්ලෙහෙමේදී උපත ලැබූ සේක. මෙය කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ලෙස සිටියදී සිදු වූ පළමු සංගණනය සිදු වූ අවස්ථාවේදී සිදු විය. එය හෙබ්‍රෙව් ඉතිහාසඥයන්ගෙන් වඩාත් ප්‍රසිද්ධ ෆ්ලේවියස් ජොසීෆස් විසින්ද සඳහන් කරන ලද ලියාපදිංචි සංගණනයකි. ඔහු එම කාලයේම මතු වූ ගලීලියානු නිකාය පිළිබඳ වාර්තාවක් එකතු කරයි. එය අපගේම ලූක් තුමා ක්‍රියා පොතෙහි සඳහන් කරයි:
ඔහුට පසුව ලේඛනය කරන දවස්වලදී ගලීලයේ යූදස් නැගිට සෙනඟගෙන් සමහරෙක් තමා වෙතට ඇදගත්තේය. ඔහුත් විනාශ විය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරු වූවෝද ඔව්හුත් විසුරුවනු ලැබුවෝය [ක්‍රියා 5:37].
Illustration 2: ඔගස්ටස්ගේ ප්‍රතිමාව, ක්‍රි.පූ. 27 සිට ක්‍රි.ව. 14 දක්වා අධිරාජයා, පූජකයෙකුගේ ඇඳුමින් සැරසී (Museo Nazionale, Rome).
මෙම කලින් සඳහන් කරන ලද ඉතිහාසඥයා [ජෝසෆස්] Antiquities, 18 පොතෙහි ඉහත සඳහන් කාරණයට සහාය දක්වයි:
කොන්සල් වීමට අනෙකුත් සියලුම නිලයන් පසුකර ගිය සෙනෙට් සභිකයෙකු වූ කුරේනියස්, වෙනත් ආකාරවලින් උසස් මිනිසෙක් විය. ඔහු කුඩා කාර්ය මණ්ඩලයක් සමඟ සිරියාවට පැමිණියේය.ජාතිය පාලනය කිරීමට සහ ඔවුන්ගේ දේපළ තක්සේරු කිරීමට සීසර් විසින් ඔහු යවන ලදී. … ගර්නාලා නම් නගරයේ සිට ගෝලෝනියන්වරයෙකු වූ යුදාස් නමැත්තා ඔහු සමග පරිසිවරයෙකු වූ සාදොක් රැගෙන ගොස් කැරැල්ලක් ඇති කළේය. මන්ද තක්සේරුව සම්පූර්ණ වහල්භාවයට මගපෙන්වනවා හැරෙන්නට අන් කිසිවකට තුඩු නොදෙන බව ඔවුහු කියා සිටියහ. ඔවුහු තම නිදහස ආරක්ෂා කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
ඔහු තම Jewish War (යුදෙව් යුද්ධය සම්බන්ධ) දෙවන පොතේ, ඔහු එම මිනිසා ගැන මෙසේ ලියයි:
මෙම අවස්ථාවේදී යුදාස් නම් ගලීලියානු ජාතිකයා ස්වදේශිකයන් කැරලි ගැසීමට පොලඹවා, දෙවියන් වහන්සේට සේවය කිරීමෙන් පසු මැරෙන සුලු ස්වාමිවරුන් පිළිගෙන රෝමවරුන්ට බදු ගෙවීමට යටත් වුවහොත් ඔවුන් බියගුල්ලන් ලෙස නම් කළේය.
6. මේ අවස්ථාවේදී යුදෙව් ජාතියේ රජු බවට පත් වූ පළමු විදේශිකයා හෙරොද් වූ අතර, එහිදී මෝසෙස්ගේ අනාවැකිය ඉටු විය. “ෂීලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය” [උත්පත්ති 49:10]. උන් වහන්සේ “විජාතීන්ගේ අපේක්ෂාව” වනු ඇති බවද මෝසෙස් පවසයි. යුදෙව්වන් මෝසෙස්ගෙන් පටන්ගෙන ඔගස්ටස්ගේ පාලන කාලය දක්වාම ඔවුන්ගේම ජාතියේ පාලකයන් යටතේ ජීවත් වන තුරු මෙම අනාවැකිය ඉටු කළ නොහැකි විය. කෙසේවෙතත්, ඔහුගේ කාලයේදී රෝමවරු යුදෙව්වන්ගේ රජය ප්‍රථම විදේශිකයා වූ හෙරොද්ට ප්‍රදානය කළහ. ජොසීෆස් ප්‍රකාශ කරන්නේ ඔහු තම පියාගේ පැත්තෙන් ඉඩුමියානුවෙකු බවත් තමාගේ මවගේ පැත්තෙන් අරාබි ජාතිකයෙකු බවත්ය. එහෙත් [සාමාන්‍ය ඉතිහාසඥයෙකු නොවන- අප්‍රිකානුස් කෙනෙකු වූ ජූලියස් I – හෙරොද්ගේ පියා වන ඇන්ටිපේටර්, ඇපලෝගේ දේවාලයක සේවකයෙකු වූ ඇස්කලෝන්හි එක්තරා හෙරොද් කෙනෙකුගේ පුත්‍රයෙකු බව ප්‍රකාශ කරයි. ඇපලෝ දේවාලය. කුඩා කාලයේදී, මෙම ඇන්ටිපේටර් ඉඩුමියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඔහුගේ පියා ඔහු වෙනුවෙන් කප්පම් ගෙවීමට නොහැකි තරම් දුප්පත්ව බැවින් ඔවුන් සමග නැවතී සිටියේය. ඔහු ඔවුන්ගේ සිරිත් විරිත් අනුව හැදී වැඩුණු අතර පසුව යුදෙව් උත්තම පූජක හයිකානස් සමග මිත්‍ර විය. ඔහුගේ [ඇන්ටිපේටර්ගේ] පුත්‍රයා අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේගේ කාලයේ සිටි හෙරොද්ය.
Illustration 3: ක්‍රි.පූ. 73දී මහා හෙරොද් උපත ලැබූ අෂ්කෙලෝන්හි මධ්‍යධරණී මුහුදු තීරය. පහළ වම් පසින් පුරාණ පිලිස්තිවරුන්ගේ නගරයේ නටබුන් ඇත.
එවැනි මිනිසෙකු අත යුදෙව් රජකම විමධ්‍යගත වූ විට, මෝසෙස්ගේ කාලයේ සිට ඔවුන්ගේ පාලකයන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ නිත්‍ය අනුප්‍රාප්තිය අවසන් වූ නිසා, අනාවැකියට අනුව, අන්‍යජාතිකයන්ගේ අපේක්ෂාව ඒ වන විටත් දොරකඩට පැමිණ තිබුණි. ඔවුන්ගේ බබිලෝනියේ වහල්භාවයට පෙර, ඔවුහු රජවරුන් විසින් පාලනය කරන ලදහ. එහිදී සාවුල් සහ දාවිත් පළමුවැන්නෝ වූහ. රජවරුන්ට පෙර, මෝසෙස් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවාට පසුව විනිශ්චයකරුවන් ලෙස හැඳින්වූ පාලකයෝ ඔවුන් පාලනය කළහ. බබිලෝනියෙන් ආපසු පැමිණීමෙන් පසුව, රෝමයේ සෙන්පති පොම්පේ යෙරුසලම වටලා දේවමාළිගාවේ අභ්‍යන්තර ශුද්ධභූමියට ඇතුළු වී ශුද්ධ ස්ථානය අපවිත්‍ර කරන තෙක් පූජකයන්ගෙන් සමන්විත රදල පැලැන්තියේ කිහිප දෙනෙකු යටතේ එය පාලනය විය. ඔහු එතෙක් ඔහුගේ මුතුන්මිත්තන්ගෙන් පසුව අනුප්‍රාප්තියා ලෙස පාලනය කළ රජු සහ උත්තම පූජක ඇරිස්ටෝබුලස්, ඔහුගේ දරුවන් සමගින් සිරකරුවෙකු ලෙස රෝමයට යැවීය. පසුව කරගෙන ගිය අතර, උත්තම පූජකත්වය ඔහුගේ [ඇරිස්ටෝබුලස්ගේ] සහෝදරයා වන හිර්කානස්ට ලබා දුන්නේය. එතැන් සිට මුළු යුදෙව් ජාතියම රෝමයට අතු ගංගාවක් ලෙස සම්බන්ධ කරනු ලැබිණි. පාර්තියන්වරුන් විසින් හිර්කානස් සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය පසුව, මා කලින් පැවසූ පරිදි රෝම සෙනෙට් සභාව සහ ඔගස්ටස් අධිරාජ්‍යයා විසින් යුදෙව් ජාතිය කෙරෙහි පත් කළ පළමු විදේශිකයා හෙරොද් විය. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පැහැදිලිවම ඔහුගේ කාලයේදී සිදු වූ අතර, අනාගතවාක්‍යයට අනුකූලව අන්‍යජාතිකයන්ගේ අපේක්ෂිත ගැලවීම සහ කැඳවීම සිදු විය.
Illustration 4: 63 දී යෙරුසලම යටත් කරගත් නීයස් පොම්පේගේ (Gnaeus Pompey) ප්‍රධානියා. (ග්ලයිටොටෙක් කෝපන්හේගන්/ Glyptotek, Copenhagen).
යුදෙව් පාලකයන්ගේ පෙළපත අවසන් වූ විට, පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි උත්තම පූජකයන්ගේ අනුප්‍රාප්තිය ක්ෂණික ව්‍යාකූලත්වයට පත් විය. වරක් රෝමවරුන් විසින් රජ බවට පත් කරන ලද හෙරොද් තවදුරටත් පුරාණ පෙළපතේ උත්තම පූජකයන් පත් නොකළ බවත් ඒ වෙනුවට අපැහැදිලි ආකාරයේ ක්‍රමයක් අනුගමනය කළ බවත්ය.
එසේම ඔහුට පසුව ඔහුගේ පුත්‍රයා වන ආචෙලස් සහ රෝම ආණ්ඩුකාරවරුන් යුදෙව්වන්ගේ රජය භාරගත් විට හෙරොද් අනුගමනය කළ බවත් විශ්වාස කටයුතු ජොසීෆස් වාර්තා කරයි. උත්තම පූජකයාගේ පූජනීය වස්ත්‍රය අගුලු දමා තබා පූජක පාලනය යටතේ නොව ඔහුගේම මුද්‍රාව යටතේ තමා භාරයේ තබාගත් පළමු තැනැත්තා හෙරොද් බවට එම ලේඛකයාම වාර්තා කරයි. ඔහුට පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ආචෙලස් සහ රෝමවරුද ඒ දෙයම සිදු කළහ.
අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී තවත් අනාවැකියක් ඉටු වූ බව මෙම කරුණුවලින් පෙන්නුම් කෙරේ. දානියෙල් පොතෙහි පාඨය ක්‍රිස්තුස් වහන්සේගේ පාලනය තෙක් නිශ්චිත සති ගණන සඳහන් කරයි – මම මේ විෂය සම්බන්ධයෙන් වෙනත් ස්ථානයක කතා කර ඇත්තෙමි – එසේම පවසන්නේ මෙම සතිවලින් පසුව යුදෙව්වන්ගේ අභිෂේක කිරීම නවත්වන බවට අනාවැකි දක්වා ඇත. පැහැදිලිවම මෙය අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු අවස්ථාවේදීම මේවා ඉටු විය. එම දිනයේ සත්‍යය අවධාරණය කිරීම සඳහා මෙම මූලික කරුණු අවශ්‍ය විය.
ක්‍රිස්තුස් වහන්සේගේ විවිධ වූ පෙළපත්
7. මතෙව් සහ ලූක්ගේ ශුභාරංචිවල ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත වෙනස් ලෙස සටහන් කර ඇති අතර, බොහෝ අය සිතන්නේ ඒවා එකිනෙක සමග ගැටෙන බවය. එකිනෙක ඇදහිලිවන්තයා මෙම ඡේද සම්බන්ධයෙන් නොදැනුවත්ව අනුමාන ඉදිරිපත් කිරීමට උත්සුක වී ඇති බැවින්, ඉහත සඳහන් කළ අප්‍රිකානස් ශුභාරංචි පෙළපත්වල එකඟතාවය පිළිබඳ ඇරිස්ටයිඩ්ස් වෙත ලියා ඇති ලිපියකින් ගැටලුව පිළිබඳ පැහැදිලි කිරීමක් නැවත ප්‍රතිනිෂ්පාදනය කරන්නෙමි. බලහත්කාරයෙන් සිදුකරන ලද සහ සාවද්‍ය ලෙස කරන ලද ප්‍රකාශ යයි සලකා අන් අයගේ අදහස් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඔහු තමා වෙත ලැබුණු පැහැදිලි කිරීම මෙසේ ලබා දෙයි:
ඉශ්‍රායෙලයේ පවුල්වල නම් ස්වභාවධර්මයට හෝ නීතියට අනුව ගණන් ගැනිණි: සැබෑ දරුවන් සම්බන්ධයෙන් ස්වභාවයෙන්ම සහ දරුවන් නොමැතිව මිය ගිය සහෝදරයෙකුගේ නමින් තවත් මිනිසෙකු දරුවන් බිහි කළ විට නීතියෙන් ඔවුන් නම් කෙරිණි. නැවත නැඟිටීම පිළිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් මෙතෙක් ලබා දී නොතිබූ බැවින්, මිය ගිය අයගේ නම නොනැසී පවතිනු පිණිස මැරෙන සුලු “නැවත නැඟිටීමක්” මගින් ඔවුහු අනාගත පොරොන්දුව නිරූපණය කළහ. මෙම පෙළපත්වලට ඔවුන්ගේ සැබෑ පියවරුන්ගේ අනුප්‍රාප්තිකයින් වූ සමහරුන් මෙන්ම වෙනත් පියෙකුගේ දරුවන් වූ නමුත් තවත් කෙනෙකුගේ දරුවන් ලෙස සටහන් කර ඇත. මේ අනුව සැබෑ සහ නාමික පියවරුන්ගේ මතක සටහන් යන දෙකම ආරක්ෂා විය. එබැවින් ශුභාරංචි කිසිවක් වැරදි නැත. මන්ද ඒවා ස්වාභාවික හා නීතිය යන කාරණා දෙකම සැලකිල්ලට ගන්නා බැවිනි. මක්නිසාද සලමොන්ගෙන් පැවත එන්නන්ගේ පවුල සහ නාතන්ගෙන් පැවත එන්නන්ගේ පවුල් දෙක අතර – දරුවන් නොමැති වැන්දඹුවන් නැවත විවාහ කරගැනීම සහ දරුවන්ගේ “නැවත නැඟිටීම” මගින් එකිනෙකට සම්බන්ධ වූ අතර එකම පුද්ගලයින් විවිධ කාලවලදී විවිධ දෙමව්පියන්ගේ දරුවන් ලෙස එනම් සමහර විට කීර්තිමත් පියවරුන්ගේ සහ සමහර විට සැබෑ පියවරුන්ගේ දරුවන් ලෙස නිවැරදිව සැලකිය හැකිය.
එබැවින් මෙම වාර්තා දෙකම යෝසප් වෙත පරම්පරාව ගෙන එන බැවින්, ඒවා සංකීර්ණ වුවද, නිවැරදිය.
මෙය පැහැදිලි කිරීම සඳහා, මම පවුල්වල සම්බන්ධතාවය පැහැදිලි කරමි. දාවිත්ගේ සිට සලමොන් දක්වා පරම්පරාවන් ගණනය කරන කල [මතෙව් එය දක්වන ආකාරයට] අවසානයේ සිට තුන්වැන්නා වන මාතාන්ය, ඔහුගේ පුතා යෝසෙප්ගේ පියා වන යාකොබ්ය, එහෙත් අපි ලූක් [3:23-37] සලකන්නෙමු නම් සහ දාවිත්ගේ පුත් නාතන්ගේ සිට ගණනය කළහොත්, අවසානයේ සිට අනුරූප තෙවැන්නා වන්නේ මෙල්කිය, ඔහුගේ පුතා යෝසප්ගේ පියා වන හේලිය. එබැවින් හේලි සහ යාකොබ් යන දෙදෙනාම යෝසප්ගේ පියවරුන් වන්නේ කෙසේදැයි පෙන්විය යුතු අතර, විවිධ පවුල් දෙකකට අයත් මාතාන් සහ මෙල්කි යන දෙදෙනාම මුත්තණුවන් වන්නේ කෙසේද යන්න පෙන්විය යුතු විය.
දැන් මාතාන් සහ මෙල්කි එකම භාර්යාව විවාහ කරගත් බැවින්, සුළු සහෝදරයන්ගේ පියවරුන් විය. මන්ද දික්කසාද වූ හෝ වැන්දඹු බවට පත් වූ කාන්තාවකට නැවත විවාහ වීමට නීතියෙන් අවසර ඇති බැවිනි. දැන් ප්‍රශ්නගත භාර්යාවගේ සාම්ප්‍රදායික නම වන එස්තා මුලින්ම (සලමොන්ගෙන් පැවත එන) මාතාන් සමග විවාහ වී ඔහුට දාව යාකොබ් බිහි කළාය. මාතාන් මිය ගිය විට, ඔහුගේ වැන්දඹුව එකම ගෝත්‍රයේ නමුත් වෙනත් පවුලක (නාතන්ගෙන් පැවත එන) මෙල්කි සමග විවාහ වූ අතර ඔහුට දාව හේලි බිහි කළාය.
යාකොබ්ට සහ හේලිට සිටියේ එකම මවක් වන අතර, හේලි දරුවන් නොමැතිව මිය ගිය විට, ඔහුගේ [අර්ධ] සොහොයුරා වන යාකොබ් ඔහුගේ වැන්දඹුව විවාහ කර ගෙන ඇයගෙන් ඔහුට දාව යෝසෙප් ඉපදෙව්වේය. යෝසෙප්, යාකොබ්ගේ ස්වාභාවික පුත්‍රයා වූ නමුත්, යහපත් සහෝදරයෙකු විසින් දරුවන් “හදා වඩා ගත්” හේලිගේ නීත්‍යනුකූල පුත්‍රයා විය. මතෙව් භෞතික සම්භවය සඳහා ඉපදෙව්වේය යන පදය භාවිත කරන අතර, ලූක් පවසන්නේ, “පුත්‍රයා විය, පුත්‍රයා යයි සලකන” ආදි වශයෙනි – අතිරේකය සැලකිල්ලට ගන්න – “යෝසප්ගේ පුත්, හේලිගේ පුත්, මෙල්කිගේ පුත්” (23-24). එහිදී නීත්‍යනුකූල සම්භවයක් නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි විය. එසේම ඔහු “දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ආදම්” යන පෙළපත දැක්වීමේදී කිසි විටෙකත් එවැනි දරුවන් සම්බන්ධයෙන් බිහි වූ යන යෙදුම භාවිත නොකරයි.
මෙය ඔප්පු කළ නොහැකි හෝ අනුමාන කරන දෙයක් හෝ නොවේය. ගැලවුම්කරුවාණන් වහන්සේගේ මිනිස් ඥාතීන්ද මෙම සම්ප්‍රදාය භාර දී ඇත, එනම් පුරසාරම් දෙඩීමට හෝ සරලව තොරතුරු දීම සඳහා එසේ කර ඇත. එහෙත් එම ඕනෑම අවස්ථාවකදී සත්‍යය පවසා ඇත. ඉදුමියානු කොල්ලකරුවන් පලස්තීනයේ අෂ්කෙලොන් නගරයට පහර දුන් විට, ඔවුහු දේවමාළිගාවේ සේවකයෙකු වූ එක්තරා හෙරොද්වරයෙකුගේ දරුවා ඇපලෝ ඇන්ටිපේටර්ගේ දේවාලයෙන් අල්ලා ගත්හ. එයට හේතුව පූජකයාට තම පුතා වෙනුවෙන් කප්පම් ගෙවීමට නොහැකි වූ නිසාය. ඇන්ටිපේටර් ඉදුමියානුවෙකු ලෙස හැදී වැඩුණු අතර පසුව යුදෙව් උත්තම පූජක හිර්කානස් සමග මිත්‍ර විය. හිර්කානස් වෙනුවෙන් පොම්පේ වෙත යවන ලදුව, ඔහු [හිර්කානස්] වෙනුවෙන් ඔහුගේ සහෝදර ඇරිස්ටෝබුලස් විසින් අල්ලාගෙන සිටි ඔහුගේ රාජධානිය නැවතත් ලබාගෙන ජයග්‍රහණය කළේය. ඒ අනුව [ඇන්ටිපේටර්] පලස්තීනයේ පරිපාලකයා බවට පත් විය. ඔහු ද්‍රෝහී ලෙස ඝාතනය කරනු ලැබීමෙන් පසුව, ඔහුගෙන් පසු ඔහුගේ පුත් හෙරොද් රජ බවට පත් විය. ඉන්පසුව ඇන්ටනි, ඔගස්ටස් සහ සෙනෙට් සභාවේ නියෝගය අනුව යුදෙව්වන්ගේ රජු ලෙස හෙරොද් පත් කරනු ලැබිණි. ඔහුගේ පුතුන් වූයේ හෙරොද් [ඇන්ටිපාස්] සහ අනෙකුත් ආණ්ඩුකාරවරුන්ය. ග්‍රීක ඉතිහාසඥයෝ මෙය සනාථ කරති.
එහෙත් හෙබ්‍රෙව් පවුල් සහ වෙනත් ආගමකට හැරුණු අයගෙන් පැවත එන අම්මොන් ජාතික ආචියොන්, මෝවබ් ජාතික රූත් සහ ඔවුන් සමග ඊජිප්තුවෙන් පිටව ගිය මිශ්‍ර පවුල් පිළිබඳ තවමත් පැරණි ලේඛනවල තිබුණි. එම නිසා ඉශ්‍රායෙල් සම්භවයක් නොමැති සහ ඔහුගේ මූලික සම්භවය නිසා වේදනාවට පත් වූ හෙරොද්, පොදු ලේඛනවලින් තම ලේ උරුමය සොයා ගැනීමට කිසිවෙකුට නොහැකි වුවහොත් ඔහු උතුම් උපතක් ඇත්තෙකු ලෙස පෙනී සිටිනු ඇතැයි සිතමින් පෙළපත් වාර්තා පුළුස්සා දැමීය. කෙසේ වෙතත්, ස්වල්ප දෙනෙක්, තමන්ගේම පෞද්ගලික වාර්තා තමන් භාරයේ තබා ගත්හ. එහිදී නම් මතක තබා ගනිමින් හෝ පිටපත්වල ඒවා සොයා ගනිමින්, ඔවුන්ගේ වංශාධිපති උපත පිළිබඳ මතකය ආරක්ෂා කර ගැනීම ගැන ආඩම්බර වූහ. ගැලවුම්කරුවාණන් වහන්සේගේ පවුල සමග ඇති සම්බන්ධය නිසා මොවුන් අතර යේසුස් වහන්සේගේ පෙළපතෙහි අය වූහ. නාසරෙත් සහ කොචාබා යන යුදෙව් ගම්මානවල ජීවත් වූ ඔවුහු, ඔවුන්ගේ සම්භවය පිළිබඳ ඉහත පෙළපත් විස්තර කරමින් සහ ඔවුන්ට හැකි පමණ දෛනික වාර්තා පොතෙන් උපුටා දැක්වීම් කරමින් ඉතිරි භූමිය හරහා ගොස් පදිංචි වූහ.
මෙය සත්‍ය වුවත් නැතත්, කිසිවෙකුට වඩා පැහැදිලි ආකාරයේ පැහැදිලි කිරීමක් කළ නොහැකි නිසා, කෙසේ වෙතත්, ශුභාරංචි වාර්තාව, සත්‍ය වේ. මෙම ලිපිය අවසානයේ අප්‍රිකානූස් (Africanuus) මෙසේ එකතු කරයි.
සලමොන්ගේ පරම්පරාවෙන් පැවත එන මාතාන් යාකොබ් ඉපදෙව්වේය. මාතාන් මිය ගිය විට, නේතන්ගෙන් පැවත එන මෙල්කි එම කාන්තාවගෙන්ම හේලි බිහි කළේය. එම නිසා හේලිට සහ යාකොබ්ට සිටියේ එකම මවකි. හේලි දරුවන් නොමැතිව මිය ගිය විට, යාකොබ් ඔහු වෙනුවෙන් බීජයක් ඇති කළ අතර, ඔහු යෝසෙප්ය. යෝසෙප් ඔහුගේම ස්වාභාවික පුත්‍රයා වන අතර හේලිගේ නීත්‍යනුකූල පුත්‍රයාය. මේ අනුව යෝසෙප් මේ දෙදෙනාගේම පුත්‍රයා විය.
මෝසෙස්ගේ නීතියට අනුව, විවිධ ගෝත්‍රිකයන් අතර විවාහ වීම නීති විරෝධී බැවින්, යෝසප්ගේ මෙම පෙළපත මරියා ඔහු හා සමාන ගෝත්‍රයට අයත් වූ බවට වන මූලික සාක්ෂියකි. විවාහ වන අය එකම නගරයෙන් සහ වංශයෙන් විය යුතුය යන විධානය ලබා දී ඇත්තේ [පවුලේ] උරුමය ගෝත්‍රයෙන් ගෝත්‍රයට මාරු නොවන පිණිසය.
Illustration 5: මෙම ඡායාරූපයේ වම් භාගයේ ඇති ව්‍යුහය බෙත්ලෙහෙම්හි (The Church of the Nativity) උපත දේවස්ථානයයි. ක්‍රිස්තියානි ලෝකයේ පැරණිතම දේවස්ථානය වන මෙම පූජාසනය යට ඇති ගුහාවක සලකුණක් (grotto) නිසා මෙය යේසුස් ඉපදුණු ස්ථානය ලෙස සැලකේ.
හෙරොද් සහ බෙත්ලෙහෙමේ ළදරුවන්
8. දැන් අනාවැකියට අනුව, දැනටමත් සඳහන් කර ඇති පරිදි, යුදයේ බෙත්ලෙහෙමේදී ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ විට, පෙරදිග සිට පැමිණි ශාස්ත්‍රවන්තයෝ හෙරොද්ගෙන් ඉපදුණු යුදෙව්වන්ගේ රජු සොයා ගන්නේ කොහෙන්දැයි ඇසූහ.
ඔව්හු උන් වහන්සේගේ තාරකාව දැක තිබූ අතර, එය ළදරුවාට දෙවියන් වහන්සේ ලෙස නමස්කාර කිරීමේ ආශාවෙන් ඔවුන් මෙම දිගු ගමනට අවතීර්ණ වූහ. මෙම ඉල්ලීම ඔහුට [හෙරොද්ට] මහත් කැලඹීමක් ඇති කළේය. ඔහුගේ පරමාධිපත්‍යය අනතුරේ ඇති බව ඔහු සිතුවේය. එබැවින් ඔහු ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නේ කොතැනකදැයි නීතිය උගන්වන ගුරුවරුන්ගෙන් විමසීය. එහිදී මීකාගේ අනාවැකියට අනුව එය බෙත්ලෙහෙමෙහි සිදු වන බවට ගැන දැනගත් ඔහු, ශාස්ත්‍රඥවන්තයින් පෙන්වා දුන් කාලයට අනුව, බෙත්ලෙහෙම සහ ඒ අවට අවුරුදු දෙකේ සහ ඊට අඩු සියලුම ළදරුවන් සමූලඝාතනය කිරීම සඳහා තනි ආඥාවක් නිකුත් කළේය. එහිදී යේසුස් වහන්සේටද එම ඉරණමම අත් වනු ඇතැයි ඔහු සිතීය. කෙසේ වෙතත්, දරුවා ඊජිප්තුවට ගෙන යාමෙන් කුමන්ත්‍රණය වළක්වනු ලැබිණි. මන්ද උන් වහන්සේගේ දෙමාපියන්ට දේවදූතයෙකු විසින් කලින් අනතුරු ඇඟවූ බැවිනි. මෙයද ශුද්ධ වූ [මතෙව්] ශුභාරංචියෙහි වාර්තා කර ඇත.
මේ සම්බන්ධයෙන්, හෙරොද් ක්‍රිස්තුස් වහන්සේට සහ උන් වහන්සේගේ වයසේ පසු වූ දරුවන්ට කළ අපරාධයේ ප්‍රතිඵලය සඳහන් කිරීමෙහි කිසි වටිනාකමක් නැත. කිසිම ප්‍රමාදයකින් තොරව, ඔහු ජීවත්ව සිටියදීම ඊළඟ ලෝකයේ ඔහුට සිදු වන දෙයට පෙරවදනක් වශයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඔහු කෙරෙහි ක්‍රියාත්මක විය. ඔහු තම භාර්යාව, දරුවන්, නෑදෑ හිතමිතුරන් පිළිකුල් සහගත ලෙස ඝාතනය කිරීමෙන් තම පාලන සමයේ කීර්තිමත් තත්වය අඳුරු කළ ආකාරය මෙහි සාරාංශ කිරීමට පවා පහසු නොවේ. ජොසීෆස් ඔහුගේ ඉතිහාස කතාවන්හි දීර්ඝ ලෙස විස්තර කරන පරිදි, කිසිදු ඛේදජනක නාට්‍යයකට අඳුරු සෙවණැලි නොමැත. ඔහු අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේට සහ අනෙකුත් අහිංසකයන්ට විරුද්ධව කුමන්ත්‍රණය කළ මොහොතේ සිටම, දෙවියන් වහන්සේගේ දඬුවමේ කසය ඔහු මරණය කරා ගෙන ගියේය. ඔහුගේ Jewish Antiquities (යුදෙව් පුරාවස්තු) 17 පොතේ (ජෝසීෆස්) ඔහුගේ අවසානය ගැන මෙසේ කියයි:
හෙරොද්ගේ අපරාධවලට දෙවියන් වහන්සේ දඬුවම් කළ නිසා ඔහුගේ අසනීපය ක්‍රම ක්‍රමයෙන් දරුණු අතට හැරුණි. ඔහු තුළ මන්දගාමී ගින්නක් දැවී ගියේය, එය ස්පර්ශ කිරීමෙන් තොරව පැහැදිලිව පෙනෙන්නට නොවීය. ඔහුට ආහාර සඳහා අසීමිත ආශාවක් ඇති විය, බඩවැල්වල වණ තිබිණි, මහා බඩවැලේ දරුණු වේදනාවක් සහ ඔහුගේ පාදවල ඉදිමුමක් ඇති විය. ඔහුගේ මුත්‍රාශය ඉදිමී, ඔහුගේ ලිංගික අවයව දරුණු ආසාත්මික තත්වයක් ඇති විය. එසේම පණුවන් බෝ විය. ඔහුගේ හුස්ම ගැනීම වේගවත් වූ අතර එහි දුර්ගන්ධය නිසා අතිශයින් අහිතකර විය. එසේම සෑම අවයවයක්ම නොඉවසිය හැකි ලෙස හදිසියේම ගැහෙන්නට විය. මෙය දුටු ප්‍රඥාවන්ත අය ප්‍රකාශ කළේ දෙවියන් වහන්සේ රජුගේ බොහෝ දුෂ්ට ක්‍රියා නිසා ඔහුගෙන් පළිගන්නා බවයි.
ජොසීෆස් ඔහුගේ Jewish War 2 පොතෙහි, මේ හා සමාන වාර්තාවක් සපයයි:
උණසමගින් ඔහුගේ ශරීරයේ සැම තැනකට රෝගය පැතිරී ගියේය. එහිදී සෑම ස්ථානයකම දරාගත නොහැකි කැසීම, බඩවැලේ අඛණ්ඩ වේදනාව, පාදවල ඉදිමීම, උදරයේ දැවිල්ල සහ පණුවන් සහිත ලිංගික අවයවවල ඉදිමුම සමග රෝගය ඔහුගේ ශරීරය පුරා පැතිර ගියේය. ඔහුට හුස්ම ගැනීමට අපහසු විය. විශේෂයෙන්ම ඔහු වැතිර සිටියේ නම් සහ කැක්කුම නිසා සෑම අවයවයක්ම සෙලවෙන්නට විය – දෛවඥයන්ට අනුව එය දඬුවමකි. එසේ වූවත් තවමත් ඔහු ජීවිතයට ඇලී සිටි අතර සුවය අපේක්ෂාවෙන් තමාගේම ප්‍රතිකාර සැලසුම් කළේය. ඔහු යොර්දාන් ගඟෙන් එතෙර වී කැලිරෝහි උණු වතුර ස්නානය කළේය. එය මළ මුහුදට යන ගංගාවක් නමුත් මිහිරි සහ පවිත්‍ර වූවකි.
Illustration 6: මහා හෙරොද් ඔහුගේ මාරාන්තික රෝග සුව කිරීමට උත්සාහ කළ මළ මුහුදේ ඊසානදිග වෙරළට නුදුරින් පිහිටි කැලිරෝහි උණු දිය උල්පත් අසල දිය ඇල්ලකි.
එහිදී ඔහු උණුසුම් තෙල් බඳුනක ගිල්වා තැබීමෙන් ඔහුගේ ශරීරය උණුසුම් කිරීමට වෛද්‍යවරු තීරණය කළ නමුත්, ඔහු ක්ලාන්ත වී, මිය යන්නාක් මෙන් ඇස් වසා ගත්තේය. තමාගේ පපුවලට ගසාගන්නා ඔහුගේ සහායකයින්ගේ ශබ්දය ඔහු නැවත පණ ගැන්වූ නමුත් ඔහු දැන් සුවය ලැබීමේ බලාපොරොත්තුව අතහැර දමා ඔහුගේ එක් සොල්දාදුවෙකුට ඒ රටේ භාවිතා වන මුදලින් ඩ්‍රැක්මා පනහක් බැගින් ලබා දෙන ලෙස සහ ඔහුගේ නිලධාරීන්ට සහ මිතුරන්ට විශාල මුදලක් ලබා දෙන ලෙස නියෝග කළේය.
දැඩි මානසික අවපීඩනයකින් යුක්තව යෙරිකෝව වෙත ආපසු පැමිණි ඔහු අවසාන, බිහිසුණු අපරාධයක් සැලසුම් කළේය. ඔහු මුළු යුදයේම සෑම ගමකින්ම ඉතාම කීර්තිමත් මිනිසුන් එක්රැස් කර රංගශාලාව තුළ සිර කළේය. ඉන්පසු ඔහු තම සොහොයුරිය වන සලෝමිට සහ ඇගේ සැමියා වන ඇලෙක්සාස්ට මෙසේ කීවේය.
“යුදෙව්වන් මගේ මරණය ප්‍රීතියෙන් සමරනු ඇති බව මම දනිමි. එහෙත් මා පවසන ලෙස ඔබ සිදු කරන්නෙහි නම් අනුන් වෙනුවෙන් ශෝක වන විට මා වෙනුවෙන් ශෝක වන ආකාරයට සහ විශිෂ්ට අවමංගල්‍යයක් පවත්වන්නට හැකිය. සොල්දාදුවන් සමග [රංගශාලාවේදී] මිනිසුන් වට කරගෙන සිටියදී මා මිය ගිය මොහොතේදීම ඒ සියලු දෙනාම ක්ෂණිකව මරා දමන්න. එවිට සියලු යුදා දේශය සහ සෑම නිවසක්ම මා ගැන හඬා වැලපෙනු ඇත.”
පසුව, කුසගින්නෙන් හා කම්පන සහගත කැස්සකින් වධ හිංසාවට ලක් වූ ඔහු තම ඉරණම බලාපොරොත්තුවෙන් සිටීමට උත්සාහ කළේය. ඔහු ඇපල් ගෙඩියක් ගෙන පිහියක් ඉල්ලා සිටියේය – ඔහු ඇපල් අනුභව කරන විට ඒවා කපා ගත්තේය – ඉන්පසු ඔහුට පිහියෙන් ඇනගැනීමට ඔහුගේ දකුණු අත එසවීය [එහෙත් එය වළක්වනු ලැබ ඇත].
Illustration 7: ක්‍රි.පූ. 4දී හෙරොද් මිය ගිය යෙරිකෝවෙහි හෙරොද්ගේ ශීත මාලිගයේ තටාකයක අලුතින් කැණීම් කරන ලද නටබුන්. එහි මධ්‍යයේ ඇත්තේ ඔපස් රෙටිකුලටර්න් ම් රෝමානු පෙදරේරු ශිල්පයේ “දැල්” විලාසිතාවයි.
ඔහු මිය යාමට පෙර, හෙරොද් දැනටමත් ඝාතනය කර ඇති පුතුන් දෙදෙනාට අමතරව, ඔහුගේ නීත්‍යනුකූල පුතුන්ගෙන් තුන්වැන්නා [ඇන්ටිපේටර්] මරා දැමීමට නියෝග කළ බවත්, පසුව දැඩි වේදනාවෙන් මිය ගිය බවත් ජොසීෆස්ද විස්තර කරයි. හෙරොද්ගේ අවසානය එබඳු වූ අතර, ඔහු බෙත්ලෙහෙමේදී සහ අවට ප්‍රදේශවලදී ඝාතනය කළ දරුවන් සම්බන්ධයෙන් එය සාධාරණ දඬුවමක් විය. මෙයින් පසුව, යෝසෙප් ඊජිප්තුවේ සිටියදී දේවදූතයෙකු සිහිනයකින් ඔහුට පෙනී, කුඩා දරුවාගේ ජීවිතය නසන්නට සොයමින් සිටි අය මිය ගිය බව ප්‍රකාශ කරමින්, දරුවා සහ ඔහුගේ මව සමග නැවත යුදයට පැමිණෙන ලෙස ඔහුට උපදෙස් දුන්නේය. එවැන්ජලිස්තවරයා තවදුරටත් මෙසේ කියයි: “එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම් කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන් වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්, … එහි වාසය කළේය. ” [මතෙව් 2:22]
පිලාත් සහ පූජකයන්
9. හෙරොද්ගේ කැමැත්තට සහ ඔගස්ටස්ගේ තීරණයට අනුව ජොසීෆස් අර්කෙලාවුස්ගේ අනුප්‍රාප්තිය සනාථ කරයි. එසේම වසර දහයකට පසු ඔහු බලයෙන් වැටුණු විට, ඔහුගේ සහෝදරයන් වන පිලිප් සහ බාල සහෝදර හෙරොද් [ඇන්ටිපාස්], ලිසානියස් සමග එක්ව, ඔවුන්ගේම පරිපාලන ප්‍රදේශ දිගටම පාලනය කළ ආකාරය ඔහු දක්වයි.
තිබේරියස්ගේ පාලනයේ දොළොස්වන වසරේදී පොන්තියුස් පිලාත්ට යුදයේ පාලනය ලබා දුන් බවත්, ඔගස්ටස්ගේ පනස් හත් අවුරුදු පාලනයෙන් පසුව සිහසුනට පත්ව තිබේරියස්ගේ මරණය දක්වාම අවුරුදු දහයක් පමණ පිලාත් එම තනතුරේ රැඳී සිටි බවත් ඔහුගේ Antiquities (පුරාවස්තු) 18 වන පොතේ එම කතුවරයාම සඳහන් කරයි. මෑතදී ප්‍රකාශයට පත් කරන ලද පිලාත්ගේ ක්‍රියා ව්‍යාජ ඒවා බව මින් පැහැදිලිවම ඔප්පු වේ. එයට හේතුව ගැලවුම්කරුවාණන් වහන්සේගේ මරණයේ අපරාධය තිබේරියස්ගේ පාලනයේ හත්වන වසර වූ තිබේරියස් සිව්වන වරට කොන්සල් ධූරයේ සිටියදී, එනම් පිලාත් තවමත් යුදයේ පාලනය භාරව නොසිටි කාලය තුළ සිදු වූ බව ඔවුන් ප්‍රකාශ කරන බැවිනි. තිබේරියස් යුදයේ ආණ්කාරවරයා (ප්‍රොකියුරේටර්) ලෙස පිලාත් පත් කළේ ඔහුගේ පාලන සමයේ දොළොස්වන වසරේ බව ජොසීෆස් පැහැදිලිව සඳහන් කරයි.
10. එවැන්ජලිස්ත [ලූක්ට] අනුව, තිබේරියස් සීසර් ඔහුගේ පාලන සමයේ පහළොස්වන අවුරුද්දේ සහ පොන්තියුස් පිලාත් ඔහුගේ ආණ්ඩුකාරත්වයේ හතරවන අවුරුද්දේ සිටියදී, හෙරොද්, ලිසානියස් සහ පිලිප් යුදයේ අනෙකුත් පළාත්වල ටෙට්රාක්වරුන් ලෙස සිටියදී, අපගේ ගැලවුම්කාර වූ ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ – උන් වහන්සේගේ (සේවය) ආරම්භ කරන කාලයේදී වයස අවුරුදු තිහක් පමණ වූ විට – යොහන්ගෙන් බෞතීස්මය ලබන්නට පැමිණ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය.
Illustration 8: ක්‍රි.ව. 30දී පොන්තියුස් පිලාත් C විසින් මුද්‍රණය කරන ලද ලෝකඩ කාසියක්. ඉදිරිපස, වම් පසින් ලිටූස්, වක්‍රාකාර වූ සැරයටිය රෝමානු අග්‍රර්ගේ පූජක-දේශපාලන නිලය සංකේතවත් කරන අතර, දාරයේ ඇති අකුරු ග්‍රීක් භාෂාවෙනි: එනම් ටයිබීරියු කයිසරෝස්, “ටයිබීරියස් සීසර්ගේ” යන්න වේ. ක්‍රිස්තියානි බිෂොප්වරු පසුව බිෂොප්වරයාගේ සැරයටිය හෝ ක්‍රොසියර් ඔවුන්ගේ අධිකාරියේ සංකේත ලෙස භාවිත කළහ.
උන් වහන්සේ අන්නස් සහ කායපස්ගේ උත්තම පූජකත්වය යටතේ උන් වහන්සේගේ ඉගැන්වීම සම්පූර්ණ කළ බවත්, මෙලෙස අන්නස් යටතේ උන් වහන්සේගේ දූත මෙහෙවර ආරම්භ කර කායපස් දක්වා අඛණ්ඩව සේවය කළ බවත්, ශුද්ධලියවිල්ලේ සඳහන් වේ. එය සම්පූර්ණ වසර හතරකින් සමන්විත නොවූ කාල පරිච්ඡේදයකි. නීතියට අනුව පාරම්පරික පූජකයන්ගේ ජීවිත කාලය තුළදී පූජකත්වය දරන තත්වය තවදුරටත් එසේ නොවීය, මන්ද රෝම ආණ්ඩුකාරවරු ප්‍රථමයෙන් එක් අයෙකුට උත්තම පූජක ධූරය ලබා දී පසුව තවත් අයෙකුට ලබා දුන්හ. ඔවුන් වසරකට වැඩි කාලයක් මෙම තනතුර දැරුවේ නැත. අන්නස් සහ කායපස් දක්වා අනුප්‍රාප්තික උත්තම පූජකයන් හතර දෙනෙකු සම්බන්ධයෙන් ජොසීෆස් ඔහුගේ Antiquities පොතේ වාර්තා කරයි:
වැලේරියස් ග්‍රේටස්, අනානුස්ගෙන් [අන්නස්] පූජකත්වය හැරගෙන, ෆේබිගේ පුත් ඉෂ්මායෙල් උත්තම පූජකයා ලෙස පත් කළේය. වැඩි කල් නොගොස් ඔහු ඔහු ඉවත් කර අනානුස්ගේ පුත් උත්තම පූජක එලියේසර් ලෙස නම් කළේය. වසරකට පසුව, ඔහු ඔහුද ඉවත් කර, කැමිතුස්ගේ පුත් සයිමන් වෙත උත්තම පූජකත්වය මාරු කළේය. ඔහුගේ ධූර කාලය වසරකට වැඩි කාලයක් නොතිබූ අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ කායාෆස් ලෙසද හැඳින්වෙන යෝසෙප්ය.
අන්නස්ගේ සිට කායපස් දක්වා අවුරුදු හතරක් තුළ උත්තම පූජකවරුන් හතර දෙනෙකු වසරක් බැගින් එම ධූරය දරා ඇති බැවින්, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ඉගැන්වීමේ මුළු කාලය සම්පූර්ණ වසර හතරක්වත් නොවීය. ස්වාභාවිකවම, ගැලවුම්කරුවාණන් වහන්සේගේ දුක් විඳීමේ වර්ෂයේදී උත්තම පූජකයා ලෙස ශුභාරංචිය කායාපස් නම් කර ඇත. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමේ කාලය මෙම සාක්ෂියට එකඟ වේ.
අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ සිය දේශනා කිරීම ආරම්භ වී ටික කලකට පසු ප්‍රේරිතයන් දොළොස් දෙනා කැඳවූ සේක – උන් වහන්සේ සිය සියලු ගෝලයන් අතරින් ප්‍රේරිතයන් යන නම ඔවුන්ට දුන්නේ විශේෂ වරප්‍රසාදයක් ලෙස පමණි – එසේම තවත් හැත්තෑ දෙනෙකු පත් කර ඔවුන්ද උන් වහන්සේම යාමට සැලසුම් කළ සෑම ස්ථානයකටම හෝ නගරයකටම උන් වහන්සේ කල්තියා ඔවුන් පිටත් කර හැරිය සේක.
Illustration 10: දැක්වෙන්නේ යෝසෙප් කායාපස්ගේ නම සමග කොටා ඇත 990 දී යෙරුසලමේ පැරණි නගරයට දකුණින් බෑවුමක තිබී සොයා ගන්නා ලද හුණුගල් සොහොනකි. මෙම අතිවිශිෂ්ට ලෙස කැටයම් කරන ලද අස්ථි පපුව කොටසේ විශාල කව දෙක තුළ මැද කැටයම් කළ රොසෙටාව තවත් රොසෙටා පහකින් වට වී ඇති අතර, එය බොහෝ විට පොන්තියුස් පිලාත් ඉදිරියේ යේසුස් වහන්සේට චෝදනා කළ යුදෙව් උත්තම පූජකයාගේ දේහයේ කොටස් වන්නට ඇත (Courtesy of Garo Nalbandian).
ජොසීෆස් සහ ශුභාරංචි රචකයින් කාල නීර්ණයන් සම්බන්ධයෙන් එකඟ වන නමුත් යුසේබියස්ගේ තර්කය වැරදිය. (“අන්නස් සහ කායාපස්ගේ උත්තම පූජක කාලය”) යන ලූක්තුමාගේ ප්‍රකාශය
ඔවුන් දෙදෙනා අතර කාලපරිච්ඡේදය ලෙස අර්ථකථනය කිරීමට උත්සහා කිරීමේදී, ඔහු යේසුස් වහන්සේගේ දේවසේවය සඳහා වසර හතරකට වඩා අඩු කාල පරාසයක් ගොඩනඟයි. එහෙත් ක්‍රි.ව. 15දී ග්‍රේටස් විසින් අන්නස් නෙරපා හරින ලද බවට වන කරුණ මෙමගින් ව්‍යර්ථ වේ. ලූක්ගේ කොටස පිළිබඳ වඩා හොඳ පැහැදිලි කිරීමකින්, අන්නස්ගේ “උත්තම පූජකයා” යන පදවි නාමයේ ගෞරවනීය ස්වභාවය පෙන්වා දෙනු ඇත. මන්ද ඔහු ධූරයෙන් ඉවත් වූ පසුව පවා, ඔහුගේ බලය යෙරුසලමේ ක්‍රියාත්මක වූ බව පෙනෙන බැවිනි. එසේ ඔහු තමාගේ පුත්‍රයන් පස් දෙනෙකු හා බෑනා කෙනෙකු වන කායාපස් උත්තම පූජක නිලයේ අනුප්‍රාප්තිකයින් කර තැබූ පූජක කුලදෙටුවෙකු ලෙස දැක්වේ.
යොහන් බව්තීස්ත සහ යේසුස් වහන්සේ
11. වැඩි කල් යන්නට මත්තෙන්, යොහන් බෞතිස්ත හෙරොද් ඇන්ටිපාස් විසින් හිස ගසා දමනු ලැබුවේය. එය දේවානුභාවය ලත් ශුභාරංචියෙන් අපි ඉගෙන ගනිමු [මාර්ක් 6:14-29]. ජොසීෆස් ශුභාරංචි ආඛ්‍යානය සනාථ කරයි. එසේ ඔහු හෙරෝදියස්ගේ නම සඳහන් කරමින් හෙරොද් ඇය විවාහ කරගත්තේ කෙසේදැයි පවසමින්, පෙට්‍රාහි ඇරෙටාස් [IV] රජුගේ දියණිය වූ ඔහුගේම නීත්‍යනුකූල භාර්යාව නෙරපා හැර තවමත් ජීවතුන් අතර සිටි ඔහුගේ සොහොයුරාගේ භාර්යාව වූ හෙරෝදියස් විවාහ කරගත් බව දක්වයි. ඇය වෙනුවෙන් යොහන් මරණයට පත් කොට ඇරෙටාස් සමග යුද්ධයට ගියේය. ඔහු අගෞරවයට පත් කළේ ඇරෙටාස්ගේ දියණියයි. යොහන්ට විරුද්ධව සිදු කළ ඔහුගේ කුමන්ත්‍රණයට දඬුවමක් ලෙස හෙරොද්ගේ හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ජොසීෆස් පවසයි. යොහන් විශේෂයෙන්ම ධර්මිෂ්ඨ අයෙකු සහ බෞතිස්ම කරන්නෙකු බව ශුභාරංචිවල ඔහු පිළිබඳ විස්තරය එම ජොසීෆස්ම සනාථ කරයි. එම හෙරෝදියස් නිසාම හෙරොද් තම රාජ්‍යත්වයෙන් පහකර ගෝල් නගරයක් වන වියානා නගරයට පිටුවහල් කරනු ලැබූ බව ඔහු වාර්තා කරයි. කථාව පුරාවස්තු (Antiquities) 18 වන පොතෙහි දක්නට ඇත. එහිදී ඔහු යොහන් ගැන මෙසේ සඳහන් කරයි:
දැන්, හෙරොද්ගේ හමුදාවේ විනාශය බෞතීස්ත ලෙස හැඳින්වූ යොහන්ට ඔහු කළ දෙයට දඬුවම් කිරීම් ලෙස දෙවියන් වහන්සේගෙන්ම පැමිණි සාධාරණ යුක්තියක් බව ඇතැම් යුදෙව්වෝ සිතති. මක්නිසාද හෙරොද් යොහන් යහපත් මිනිසෙකු වුවද ඔහු මැරීය. එසේම එකිනෙකා කෙරෙහි යුක්තිය කිරීමට හා රැකබලා ගැනීමට යුක්තිය ඉටු කරන ලෙසත්, එසේ කිරීමෙන්, බෞතිස්ම වීම හා සම්බන්ධ වීමටත් යුදෙව්වන්ට අවවාද කර තිබේ. මක්නිසාද, ධර්මිෂ්ඨ ලෙස හැසිරීමෙන් ප්‍රාණය දැනටමත් හොඳින් පවිත්‍ර වී ඇති අඟවමින් බෞතිස්මය ශරීරය පිරිසිදු කිරීමක් ලෙස මිස ඔවුන් කළ ඕනෑම පාපයන් සඳහා සමාව ලබා ගැනීමට එය භාවිත නොකළේ නම්, බෞතිස්ම ස්නාපනය පිළිගත හැකි බව ඔහුට පෙනුණි. අන් අයද යොහන්ගේ වචන අසා එයින් දැඩි ලෙස කැලඹීමට පත්ව ඔහු සම්බන්ධයෙන් සමූහයා සමග එකතු වූ විට, හෙරොද් කලබල විය: යොහන් අවවාද ලෙස පවසන ඕනෑම දෙයක් කිරීමටඔවුන් සූදානම් බව පෙනෙන නිසා, මනුෂ්‍යයින් කෙරෙහි වන එවන් වූ මහත් බලපෑමක් කැරැල්ලකට මගපාදනු ඇතැයි හෙරොද් සිතුවේය. ඒ අනුව, හෙරොද් තීරණය කළේ මුලින්ම ඔහුට පහර දී කිසිදු කැරැල්ලක් වර්ධනය වීමට පෙර ඔහුගෙන් මිදීම තමා කරදරයට පත්වීමට වඩා හොඳ බවයි. කැරැල්ලක් ආරම්භ කළ පසුව ඒ පිළිබඳ ක්‍රියා නොකිරීම ගැන කනගාටු වනවාට වඩා හොඳ බවයි. එබැවින් හෙරොද්ගේ සැකයන් නිසා අප කලින් සඳහන් කළ බලකොටුව වන මාචෙරස් වෙත යොහන් දම්වැලින් බැඳ ගෙන එන ලදුව මරණයට පත් කරන ලදී.
යොහන් ගැන මේ ගැන පැවසීමේදී, ඔහු එම ඓතිහාසික කෘතිය තුළම අපගේ ගැලවුම්කරුවා ගැන පහත සඳහන් කරුණු සඳහන් කරයි:
මේ කාලය වන විට යේසුස් ජීවත් විය, ඔහු ප්‍රඥාවන්ත මිනිසෙකු විය, යමෙකු ඔහු අසාමාන්‍ය ක්‍රියාවන් සාක්ෂාත් කර ගත් අයෙකු සහ සත්‍යය සතුටින් පිළිගන්නා අයගේ ගුරුවරයෙකු වූ නිසා සැබවින්ම ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස හැඳින්විය යුතු විය. උන් වහන්සේ බොහෝ යුදෙව්වන් සහ බොහෝ ග්‍රීකවරුන් දිනා ගත්තේය. උන් වහන්සේ මෙසියස් විය. අප අතර සිටි ප්‍රධානීන් විසින් ඔහුට චෝදනා එල්ල කළ විට සහ පිලාත් ඔහු කුරුසියේ ඇණ ගසන ලෙස පවසන විට, ඔහුට ආදරය කිරීමට මුලින්ම පැමිණි අය එසේ කිරීම නතර කළේ නැත. මක්නිසාද, දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් මේ සම්බන්ධයෙන් සහ ඔහු ගැන තවත් අසංඛ්‍යාත පුදුමාකාර දේවල් පුරෝකථනය කර තිබූ පරිදි, ඔහු නැවත ජීවය ලබා තුන්වන දින ඔවුන්ට දර්ශනය විය. තවද ඔහුගේ නමින් නම් කරන ලද කිතුනු ගෝත්‍රය අද දක්වා අතුරුදහන් වී නොමැත.
හෙබ්‍රෙව් ජාතිකයෙකු වන ඉතිහාසඥයෙකු, යොහන් බෞතීස්ත සහ අපගේ ගැලවුම්කාරයා සම්බන්ධයෙන් මෙම සාක්ෂි ඔහුම ලිඛිතව සපයා ඇති විට, ඔවුන් සම්බන්ධයෙන් ව්‍යාජ ක්‍රියා ඇති කළ අයගේ නිර්ලජ්ජිතභාවය හෙළා දැකීම හැර වෙනත් විකල්පයක් තිබේද?
යේසුස් වහන්සේගේ ගෝලයෝ
12. ප්‍රේරිතයන්ගේ නම් ශුභාරංචිවලින් සෑම කෙනෙකුටම පැහැදිලිය. එහෙත් ගෝලයන් හැත්තෑදෙනාගේ නම් ලැයිස්තුවක් කොතැනකවත් ඉතිරි වී නොමැත. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් එක් අයෙකු බාර්ණබස් බව කියනු ලැබේ. ප්‍රේරිතයන්ගේ ක්‍රියා පොතේ සහ පාවුල් විසින් ගලාතිවරුන්ට ලියූ හසුනෙහි ලිඛිතව උපුටා දක්වා ඇත. [2.1, 9, 13]. ඔවුන්ගෙන් තවත් අයෙකු පාවුල් සමග කොරින්තිවරුන්ට හසුන ලියූ සොස්තේනස් බව ඔවුහු පවසති [1 කොරින්ති 1.1]. ඉන්පසුව ක්ලෙමන්ට් නමැත්තා (Outlines, Book 5), කේපස් යනුවෙන් පාවුල් පවසන කතාවෙහි, “එහෙත් කේපස් අන්තියෝකියට පැමිණි විට, මම ඔහුට විරුද්ධව මුහුණට මුහුණ විරුද්ධ වීමි” [ගලාති 2:11] යනුවෙන් පවසන තැනැත්තා ප්‍රේරිත පේතෘස්ගේ නමට සමාන නමක් ඇති හැත්තෑදෙනාගෙන් කෙනෙකි. ප්‍රේරිතයන්ගේ ලැයිස්තුවේ යූදාස්ගේ ස්ථානය ගත් මත්තියස්ද, සම්ප්‍රදායට අනුව, දාදු දැමීමේදී මා ගෞරව කළ ජස්තස්ද හැත්තෑදෙනා අතර වූහ [ක්‍රියා 1: 23]. තද්දියස්ද ඔවුන්ගෙන් එක්කෙනෙකු බවද ඔවුහු ප්‍රකාශ කරති. ඔහු සම්බන්ධයෙන් මගේ අවධානය යොමු වූ අතර, මා පසුව ඒ පිළිබඳ දක්වමි.
හැත්තෑ දෙනාට වඩා ගැලවුම්කරුවාණන් හට ගෝලයෝ සිටියහ. පාවුල් තුමා පවසන්නේ උන් වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව යේසුස් වහන්සේ මුලින්ම සීපාස් විසින්ද, පසුව දොළොස් දෙනා විසින්ද දකින ලද බවයි. මෙයින් පසු සහෝදරයන් පන්සියයකට වැඩි පිරිසක් එකවරම දුටු බවත්ය. ඔහු පවසන පරිදි, ඔවුන්ගෙන් සමහරෙකු මිය ගොස් ඇති නමුත්, ඔහු මෙය ලියන අවස්ථාව වන විටත් ඔවුන් අතරින් බහුතරය ජීවතුන් අතර සිටි බවත්ය. ඉන්පසුව, ඔහු පවසන්නේ, ගැලවුම්කරුවාගේ සහෝදරයෙකු වන යාකොබ් විසින් ඔහුව දුටු බවත්, පසුව අවසානයේදී පාවුල් වැනි “සියලු ප්‍රේරිතයන් විසින්” දක්නා ලද බවත්,දොළොස් දෙනාට වඩා විශාල සංඛ්‍යාවකටඋන් වහන්සේ පෙනී සිටි බවත්ය.
තද්දෙයුස් සහ එඩෙස්සාහි කුමරු
13. උන් වහන්සේගේ ආශ්චර්යවත් බලය නිසා ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය සෑම තැනකම ප්‍රසිද්ධ වූ අතර, යුදයේ සිට දුර බැහැර රටවලින් පවා දහස් ගණනක් වූ සෙනග සියලු ආකාරයේ රෝගවලින් සුවය බලාපොරොත්තුවෙන් උන් වහන්සේ වෙත පැමිණියහ. මේ අනුව, යුප්‍රටීස් ගඟෙන් ඔබ්බෙහි සිටින ජනතාවගේ කීර්තිමත් පාලකයා වූ අබ්ගාර් VI, සුව කළ නොහැකි රෝගයකින් දරුණු ලෙස පීඩා විඳිමින් සිටින අතර, බොහෝ විට යේසුස්ගේ නම සහ උන් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් අසන විට, ඔහු උන් වහන්සේට රෝගයෙන් සහනයක් ලබා දෙන ලෙස ආයාචනා කර සිටිමින් ලිපි යවන්නෙකු හරහා ඉල්ලීමක් කළේය. යේසුස් වහන්සේ ඒ අවස්ථාවේදී ඔහුගේ ඉල්ලීමට එකඟ නොවූ අතර එවන බවට පොරොන්දු වෙමින් ඔහුට පෞද්ගලික ලිපියක් ලබා දුන්නේය. එයින් උන්වහන්සේගේ ගෝලයෙකු රෝගය සුව කිරීමට සහ ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට ගැලවීම ලබා දීම උදෙසා එවන බව පැවසූ සේක.
පොරොන්දුව ඉක්මනින්ම ඉටු විය. ඔහුගේ [යේසුස්ගේ] නැවත නැඟිටීමෙන් සහ ස්වර්ගාරෝහණයෙන් පසුව, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ තෝමස්, අපගේ ගැලවුම්කරුවාගේ පොරොන්දුවේ සියලුම නියමයන් ඉටු කළ, දේශකයෙකු සහ එවැන්ජලිස්තවරයෙකු ලෙස හැත්තෑදෙනාගෙන් එක් අයෙකු වන තද්දෙ යුස් එඩෙස්සා වෙත යැවීමට තෝමස් දිව්‍යමය ආනුභාවයෙන් යුක්ත විය. පුරාණ ඉතිහාසය මෙන්ම අබ්ගාර්ගේ කාලයේ සිදුවීම්ද ඇතුළත් එවකට රාජකීය අගනුවර වූ එඩෙස්සාහි ලේඛනාගාරයෙහි මේ පිළිබඳ ලිඛිත සාක්ෂි තිබේ. මම ලේඛනාගාරයෙන් උපුටා ගත් සහ සිරියානු භාෂාවෙන් වචනයෙන් වචනයට පරිවර්තනය කළ ලිපි මෙසේය:
ටොපාර්ච් අබ්ගාර් විසින් අනනියස් අත යේසුස් වහන්සේ යෙරුසලමේදී සිටියදී උන් වහන්සේ වෙත ලියන ලද ලිපියක පිටපතක්.
අබ්ගාර් උචාමා, ටොපාර්ච් වෙතින්, යෙරුසලමේ ප්‍රදේශයේ දර්ශනය වූ විශිෂ්ට ගැලවුම්කරුවා වන යේසුස් වහන්සේට සුබ පැතුම්.
ඔබ ගැන සහ ඖෂධ හෝ ඖෂධ පැළෑටි නොමැතිව ඔබ ඉටු කරන සුව කිරීම් ගැන මම අසා ඇත්තෙමි. ඔබ අන්ධයන්ට පෙනීම දෙන බවත් සහ කොරුන් ඇවිදීමට සලස්වන බවත්, ඔබ ලාදුරු රෝගීන් සුව කරන බවත්, අශුද්ධාත්මයන් සහ යක්ෂයන් දුරු කරන බවත්, නිදන්ගත රෝගවලින් වධ හිංසාවට ලක් වූවන් සුව කර, මළවුන් නැඟිටුවන බවත් වචනයේ සඳහන් වේ. ඔබ ගැන මේ සියල්ල ඇසූ විට, කරුණු දෙකෙන් එකක් සත්‍ය බව මම තීරණය කළෙමි: ඔබ මේ දේවල් කිරීමට ස්වර්ගයෙන් බැස පැමිණ සිටින දෙවියන් වහන්සේය. නැතහොත් ඒවා කිරීම උදෙසා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. මේ හේතුව නිසා මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මා වෙත පැමිණ මගේ දුක් වේදනා සුව කරන ලෙස ආයාචනා කිරීමටය. යුදෙව්වන් ඔබට විරුද්ධව මැසිවිලි නඟමින් ඔබට හානි කිරීමට කුමන්ත්‍රණය කරන බවත් මම අසා ඇත්තෙමි. දැන්, මගේ නගර රාජ්‍යය ඉතා කුඩා නමුත් ඉහළ පිළිගැනීමක් ඇති එකක් මෙන්ම අප දෙදෙනාටම ප්‍රමාණවත් එකකි.
(ඔහු මෙම ලිපිය ලිව්වේ දිව්‍යමය ආලෝකය ඔහු මත බැබළීම ආරම්භ වූ විටය. එම ලිපි ගෙන යන්නා අතම යේසුස් වහන්සේ ඔහුට යැවූ ලිපියද ඇසීම සුදුසුය. එය පේළි කිහිපයක් පමණක් සමන්විත වූවද ඉතා බලවත් එකකි).
ටොපාර්ච් අබ්ගාර් වෙත අනනියස් අත යවන ලද යේසුස් වහන්සේගේ පිළිතුර
මා නොදැක මා අදහාගත් ඔබ භාග්‍යවත් අයෙකි! මක්නිසාද මා දුටු අය මා අදහන්නේ නැති බවත් නොදුටු අය විශ්වාස කර ජීවත් වන බවත් ලියා ඇත. දැන් මා ඔබ වෙත පැමිණෙන ලෙසට කරන ලද ඔබේ ඉල්ලීම සම්බන්ධයෙන් මෙසේ දක්වමි. මෙහි වැඩ කිරීමට මා එවන ලද අතර මා මුලින්ම මේ සියල්ල සම්පූර්ණ කළ යුතුයි. එය සම්පූර්ණ වූ පසුව, මා එවූ තැනැන් වහන්සේ වෙත මා ඔසවාගනු ලැබිය යුතුය.
මා එසේ ඔසවාගත් විට, ඔබේ දුක් වේදනා සුව කිරීමට සහ ඔබට සහ ඔබේ ජීවිතයට ජීවය ලබා දීමට මගේ ගෝලයෙකු එවනු ලබනවා ඇත.
සිරියානු බසින් ඇති හසුන්වලට පහත දැක්වෙන දේ එකතු කර ඇත:
යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව, තෝමස් ලෙසද හැඳින්වෙන යූදස්, හැත්තෑදෙනාගෙන් කෙනෙකු වූ තද්දෙවුස් අබ්ගාල් වෙත යැවූ අතර, ඔහු ටෝබියස්ගේ පුත් ටෝබියස් සමග නැවතී සිටියේය. තද්දෙවුස් සෑම රෝගයක්ම සහ දුර්වලකමක්ම සුව කරන බව අබ්ගාර්ට ආරංචි වූ විට, යේසුස් වහන්සේ ලියා ඇත්තේ ඔහු ගැනද යන්න ඔහු සැක කළේය. එබැවින් ඔහු තෝබියස්ට තද්දෙවුස් තමා වෙත ගෙන එන ලෙස අණ කළේය. එබැවින් ටෝබියස් තද්දෙවුස්ට මෙසේ පැවසුවේය. “ඔහු සුව කරන පිණිස ඔහු වෙතට ඔබ ගෙන එන ලෙස ටොපාර්ච් අබ්ගාර් මට උපදෙස් දී ඇත.” තද්දෙවුස් පිළිතුරු දෙමින්, “මා යන්නම්.
මක්නිසාද මා බලයෙන් පුරවන ලදුව ඔහු වෙත එවා ඇත.
ටෝබියස් පසුදා උදෙන්ම නැඟිට ඔහුගේ වංශවත් අය විසින් වට කරන ලද අබ්ගාර් බැලීමට තද්දෙවුස් රැගෙන ගියේය. ඔවුන් පැමිණි විට, අබ්ගාර් තද්දෙවුස්ගේ මුහුණේ පුදුම දර්ශනයක් දැක වැඳ වැටුණේය.
ඔහු මෙසේ ඇසුවේය. “ඔබ සැබවින්ම ‘ඔබ සුව කිරීමට සහ ඔබට ජීවනය දීමට මම මාගේ ගෝලයෙකු ඔබ වෙත එවන්නෙමි’ කියා මට ලියූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන යේසුස් වහන්සේගේ ගෝලයෙක්ද?”
“මා ඔබ වෙත එවන ලද්දේ මේ හේතුව නිසාය” යනුවෙන් තද්දෙවුස් පිළිතුරු දුන්නේය. “ඔබ උන් වහන්සේ විශ්වාස කරන්නෙහි නම්, ඔබගේ ඇදහිල්ලට සමානුපාතිකව ඔබගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙනු ඇත.”
“මම උන් වහන්සේ කොතරම් තදින් විශ්වාස කළාද කියනවා නම්, රෝම බලයෙන් මා වැළැක්වයේ නැතිනම්, හමුදාවක් ගෙන ගොස් උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ යුදෙව්වන් විනාශ කිරීමට මට අවශ්‍ය විය.
“අපේ ස්වාමින් වහන්සේ තම පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කර ඇත,” කියා තද්දෙවුස් පැවසීය.
“එය ඉටු කිරීමෙන් පසු උන් වහන්සේ පියාණන් වහන්සේ වෙත ගෙන යන ලද සේක.”
“මමද උන් වහන්සේ කෙරෙහිත් උන් වහන්සේගේ පියාණන් වහන්සේ කෙරෙහිත් විශ්වාස කර ඇත්තෙමි.”
“මේ හේතුව නිසා මම උන් වහන්සේගේ නාමයෙන් ඔබ මත අත තැබුවෙමි.”
ඔහු මෙය කළ පසුව, අබ්ගාර් වහාම සුව වූ අතර ඖෂධ සහ ඖෂධ පැළෑටි නොමැතිව යේසුස් වහන්සේගේ සුව කිරීම්වලදී මෙන් සුවය ලැබුවේය.
අබ්දුස්ගේ පුත් අබ්දුස්, තද්දෙවුස්ගේ පාමුල වැටුණු අතර, ඔහුගේ රක්තවාතයද ඒ සමගව සුව වූ අතර ඔවුන්ගේ සෙසු පුරවැසියන්ගෙන් බොහෝ දෙනෙක්ද සුව වූහ. අබ්ගාර් පසුව යේසුස් වහන්සේ පිළිබඳ වැඩිදුර තොරතුරු තද්දෙවුස්ගෙන් ඇසීය.
තද්දෙවුස් පිළිතුරු දෙමින් මෙසේ කීය. “කරුණාකර හෙට ඔබේ සියලු පුරවැසියන් රැස් කරන්න, මා ඔවුන්ට යේසුස් වහන්සේගේ පැමිණීම සහ උන් වහන්සේගේ සේවය ගැන, උන් වහන්සේ එවීමේ පියාණන් වහන්සේගේ අරමුණ ගැන, උන් වහන්සේගේ ක්‍රියාවන් සහ බලය සහ දේශනා කිරීම ගැන, උන් වහන්සේගේ දේවත්වය සැහැල්ලු කළ උන් වහන්සේගේ නිහතමානිකම ගැන සහ උන් වහන්සේ කුරුසියේ ඇණ ගසා පසුව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ ආකාරය ගැන, තනිවම පාතාලයට බැස්ස නමුත් විශාල පිරිසක් සමග උන් වහන්සේගේ පියාණන් වහන්සේ වෙතට නැඟී ගිය ආකාරය ගැන කියන්නම්.”
එබැවින් අබ්ගාර් තම පුරවැසියන් තද්දෙවුස්ගේ දේශනාව ඇසීමට අලුයමේදී රැස්කර තැබුවේය. පසුව ඔහුට රන් රිදී දෙන ලෙස නියෝග කළේය. එහෙත් තද්දෙවුස් ඒවා ප්‍රතික්ෂේප කරමින්, “අපේ දේපළ අප අත්හැර ඇත්නම්, අන් අයගේ දේ අප පිළිගන්නේ කෙසේද?” කියා ඇසුවේය.
මේ සියල්ල සිදු වූයේ 340 වර්ෂයේදීය.
දැනට සිරියැක් භාෂාවෙන් ඇති මෙම ප්‍රයෝජනවත් සහ වචනාර්ථ පරිවර්තනය ප්‍රමාණවත්ය.
මෙම සිතියමේ දැක්වෙන ප්‍රදේශය වන නැගෙනහිර මධ්‍යධරණී ලෝකයට ක්‍රිස්තියානි ධර්මය වේගයෙන් ව්‍යාප්ත විය. මෙම සිතියමේ ඉහළ දකුණේ ඇති එඩෙස්සා, වයඹ දිග මෙසපොතේමියාවේ යුප්‍රටීස් ගඟේ ඉහළ වංගුව අසල පිහිටි නගරයකි. එහි පාලකයා වූ අබ්ගාර් යේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ දේවසේවයේදී උන් වහන්සේ සමග ලිපි හුවමාරු කළ බව යුසේබියස් වාර්තා කළේය.
