Eusebius, The Church History in Sinhala, book 8. Translated with permission from Paul L. Meier, Eusebius, The Church History: A New Translation with Commentary, 1999. Sinhala translation is Public Domain.
අටවන වන පොත: මහා පීඩාව
ඩයොක්ලීෂියන්ගේ සිට ගැලේරියස් දක්වා
ප්‍රේරිතයන්ගේ සිට වූ අනුප්‍රාප්තිය පොත් හත තුළ ආවරණය කිරීමෙන් පසුව, අටවන පොතෙහි අනාගත පරම්පරාවට වැදගත් වන ආකාරයට මගේම කාලයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ඉතාම පරෙස්සමින් දැක්වීම ඉතා වැදගත් වේ.
ක්‍රිස්තියානි ධර්මයේ වර්ධනය
මගේ කාලයේ සිදු වූ පීඩාවට පෙර, දෙවියන් වහන්සේට ගෞරව කරන ලෝකයට ක්‍රිස්තුස් වහන්සේ තුළින් ලබා දුන් පණිවුඩය, ග්‍රීක සහ ග්‍රීක නොවන සියලුම මිනිසුන් විසින් එක හා සමාන ලෙසම ගෞරවයෙන් සහ නිදහසේ පිරිනමන ලදී. පාලකයෝ අපේ ජනතාවට උපකාරය ලබා දුන්හ. එසේම [මිථ්‍යාදෘෂ්ටික] පූජාවල වේදනාකාරී ප්‍රශ්නයෙන් ඔවුන් නිදහස් කරන අතරතුරම ඔවුන්ට පළාත් පාලනය කිරීමට පවා අවසර දී ඇත. අධිරාජ්‍ය මාලිගාවල, අධිරාජ්‍යවරු තමන්ගේම සාමාජිකයන්ට එනම්, භාර්යාවන්, දරුවන් සහ ගෘහ සේවකයන්ට විවෘතව ඇදහිල්ල පැවැත්වීම පිණිස ඉඩ දුන්හ. එහිදී විශ්වාසවන්ත ඩොරෝතියස් සහ කීර්තිමත් ගොර්ගෝනියස් වැනි මිනිසුන්ට ඔවුන්ගේ සෙසු සේවකයන්ට හෝ නිලධාරීන්ට වඩා ඉහළ අනුග්‍රහයක් දක්වන ලදී. සියලුම ආණ්ඩුකාරවරු සභා නායකයින්ට ගෞරව කළහ. සෑම නගරයකම විශාල මහජන රැස්වීම් පවත්වන ලද අතර, පැරණි සභා වෙනුවට ඉදි කළ නව ඉඩකඩ සහිත දේවස්ථානවල සභාව නමස්කාර කළහ. මේ සියල්ල දිනෙන් දින දියුණු විය. දිව්‍යමය හස්තය තම ජනතාව ඔවුන් එසේ ලැබීමට සුදුසු වන තාක්ම ඊර්ෂ්‍යාවෙන් හෝ කුමන්ත්‍රණවලින් ඔවුන් ආරක්ෂා කරමින් සිටි සේක.
එහෙත් වැඩි නිදහසක් සමගම උඩඟුකම සහ අලසකමද පැමිණියේය. අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීමට හා වචනවලින් සාදන ලද ආයුධවලින් එකිනෙකාට පහර දීමට පටන් ගත්තෙමුව. සභාවේ නායකයන් සභා නායකයින්ට පහර දුන් අතර ගිහියෝ අනෙක් ගිහියන්ට විරුද්ධව බෙදී සිටියහ. ඒ අනුව කිව නොහැකි කුහකකම සහ මවාපෑම එහි නපුරුකමේ සීමාව කරා ළඟා විය. අවසානෙය්දී, සෙනඟ එක්රැස්වීම් තවමත් පිරී ඉතිරී තිබියදීත්, දිව්‍යමය විනිශ්චය, එහි හුරුපුරුදු දයාව සමග, ක්‍රමයෙන් මැදිහත් වීමට පටන් ගත්තේය. එසේ හමුදාවේ අපේ සහෝදරයන්ගෙන් පීඩා ආරම්භ විය. කෙසේ වෙතත්, අපගේ අන්ධභාවය තුළ, අපි දෙවියන් වහන්සේ හා සමගි වීමට කිසිදු උත්සාහයක් නොගත්තෙමුව. එහෙත්, අදේවවාදීන් මෙන්, අපගේ කටයුතු අවධානයට ලක් නොවූ බව උපකල්පනය කරමින් ජීවත් වීමු. එසේ අපි එක් දුෂ්ටකමක් සිදු කර තවත් දුෂ්ටකමක් කිරීමට යොමු වුණෙමු. දේවගැතිවරුන් වීමට සුදුසු අය දෙවියන් වහන්සේ කෙරෙහි බිය නැතිකම නිසා, එකිනෙකා සමග දැඩි ලෙස රණ්ඩු ඇති කරගෙන, එයට තව වඩා ආරවුල්, තර්ජන, ඊර්ෂ්‍යාව සහ වෛරය වැඩි කරගත්හ. එසේ වියරුවෙන් යුක්තව ඔවුන්ගේ ඒකාධිපති බලයට හිමිකම් කීමට ආශා කළහ. එවිට ස්වාමින් වහන්සේ කෝපයෙන් යුතුව යෙරෙමියාගේ වචනවලින් උන් වහන්සේගේ සියොන් දියණිය නින්දාවට පත් කර, ඉශ්‍රායෙල්හි තේජස ස්වර්ගයෙන් පහළට විසි කළ සේක. (විලාප ගී 2.1-2) එසේම ගීතාවලියෙහි කලින් කියා ඇති පරිදි, උන් වහන්සේ තම සේවකයා සමග ඇති කරගත් ගිවිසුම ප්‍රතික්ෂේප කර, ඔහුගේ ශුද්ධස්ථානය බිමට කෙළෙසා – සභාවන් විනාශ කිරීම තුළින් ඔහුගේ සේවකයාගේ සතුරන්ගේ දකුණු අත ඔසවා, සටනේදී ඔහුට උදව් නොකර, ලජ්ජාවෙන් ඔහු වැසූ සේක.
සභාවන් විනාශ කිරීම
මේ සියල්ලම මගේ කාලය තුළ ඉටු විය. ඒවා මගේම දෑසින් දුටිමි. නමස්කාරයේ දේවස්ථාන ඒවායෙහි අත්තිවාරම් දක්වා කඩා දමන ලදී. දේවානුභාවයෙන් හා පූජනීය ලියවිලි පොදු ස්ථානවලට එක් වූ සෙනග මැද ගිනි තබා විනාශ කරන ලදී. එසේම සභාවල දේවගැතිවරු ලජ්ජාවෙන් යුක්තව එක් ස්ථානයක හෝ වෙනත් ස්ථානයක සැඟවී සිටියහ. නැතහොත් ඔවුන්ගේ සතුරන් විසින් සමච්චලයට ලක් කිරීම පිණිස අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඔවුන්ගේ කාලකන්නි අවාසනාවන්ත තත්වයන් හෝ පීඩාවට පෙර ඔවුන්ගේ තිබූ ආරවුල් සහ එක් එක් අයට කළ අමානුෂිකකම් පිළිබඳ වාර්තා කිරීම හෝ විස්තර කිරීම මම නොකරමි. ඒවා දිව්‍යමය විනිශ්චය යුක්තිසහගත කිරීමට ප්‍රමාණවත් වේ. එසේම පීඩා සමයේදී ඔවුන්ගේම ගැලවීමේ නැව බිඳගත් අය පිළිබඳ හෝ ඔවුන්ගේම නිදහස් කැමැත්තෙන් මුහුදේ ගැඹුරට විසි වී ගිය අය ගැන පවා මම කිසිවක් නොකියමි. ඒ වෙනුවට, මුලින්ම අපටම සහ පසුව එන පරම්පරාවන්ට ප්‍රතිලාභ ලැබිය හැකි දේවල් පමණක් මම මගේ ඉතිහාසයට ඇතුළත් කරමි. අපි ඉදිරියට යමින් මෙහිදී, දිව්‍යමය වචනයේ වේදසාක්ෂිකයින්ගේ පූජනීය වූ පීඩාවන් කෙටියෙන් විස්තර කරමුට.
ඩයොක්ලීෂියන්ගේ පාලන සමයේ දහනව වන වසරේ මාර්තු මාසයේදී ගැලවුම්කරුවාණන් වහන්සේගේ දුක් විඳීමේ උත්සවය [පාස්කුව] ළං වෙමින් තිබුණි. එවිට දේවස්ථාන කඩා බිඳ දමා ශුද්ධලියවිලි ගින්නෙන් විනාශ කරනු ලැබීම උදෙසා වූ අධිරාජ්‍ය ආඥාවක් සෑම තැනකම ප්‍රකාශයට පත් කරන ලදී.
උසස් තනතුරු දැරූ [කිතුනු] අයට ඒවා අහිමි වනු ඇත, එසේම ඔවුන් දිගටම කිතුනු ඇදහිල්ල ප්‍රකාශ කළහොත් නිවෙස්වල සිටින අය සිරගත කෙරෙනු ඇත. අපට විරුද්ධව දුන් පළමු නියෝගය එවැනි විය. කෙසේ වෙතත් ඉතා ඉක්මනින්ම තවත් නියෝග ඉදිරිපත් විය. එනම් සෑම තැනකම සභාවල නායකයින් සිරගෙට දමනු ලැබිය යුතු බවයි. පසුව සෑම ආකාරයකම පූජා කිරීමට බලහත්කාරයෙන් බල කරනු ලැබේ.
පීඩා සහ වේදසාක්ෂිකයින්
එවිට බොහෝ සභා නායකයෝ දරුණු ලෙස වධ හිංසා පමුණුවන ලද විට ඒවා වීරෝදාර ලෙස විඳ දරාගත්හ. තවත් ගණන් කළ නොහැකි තරම් පිරිසක් ඔවුන්ගේ ආත්මයන් හිරිවැටීම නිසා බියගුලුකමින් යුතුව පළමු පහරදීමේදීම එයට යටත් වූහ. ඉතිරි අය ගැන පවසන්නේ නම්, එක් එක් අය විවිධ ආකාරයේ වධ හිංසා මාලාවකට යටත් වූහ: එක් කෙනෙකුට අනුකම්පා විරහිතව කස පහර දෙන ලද අතර, තවත් අයෙකු හිංසාවට ලක් කර මරා දමනු ලැබිණි. විවිධ ආකාරවලින් පීඩා කිරීමට මිනිස්සු මතු වූහ: එක් මිනිසෙකු පිළිකුල්සහගත, අශුද්ධ පූජාවලට තල්ලු කර දමා, ඔහු ඒවාට පූජාවන් සිදු නොකළද ඒවාට පූජා කළ අයෙකු සේ ඔහු නෙරපා හරින ලදී. එවැනි පිළිකුල් සහගත කිසිවක් කිරීමට ඒ සමීපයට හෝ නොපැමිණි නමුත් පූජා කළ බවට පවසා බොරු කියා නිහඬව පිටව යනු ඇත. තවත් විටක, බාගෙට මැරුණු අයෙකු මළ සිරුරක් ලෙස සලකනු ලැබ පිටත දමනු ලබයි. කෙසේවෙතත් කැමැත්තෙන් පූජා ඔප්පු කළ මිනිසෙකු ඔහුගේ පාදවලින්ම බොහෝ දුරක් ඇදගෙන යනු ඇත. එක මිනිසෙකු ඔහු පූජා ඔප්පු නොකළ බවත් කිසිදා එසේ පූජා ඔප්පු නොකරන බවත් ඔහුට හැකි පමණ උස් හඬින් පවසමින් කෑ ගසනු ඇත. තවත් කෙනෙක් ඔහු කිතුනුවෙකු බව සහ ගැලවුම්කරුවාණන් වහන්සේගේ නාමයට මහිමය වේවා යයි ප්‍රකාශ කරති. ඔවුන් විශාල පිරිසකගෙන් සමන්විත වූ සොල්දාදුවන් කණ්ඩායමක් විසින් නිහඬ කරන ලදී. ඔවුහු ඔවුන්ගේ කටවල්වලට පහර දී ඔවුන්ගේ මුහුණුවලට පහර දුන්හ. දේව භක්තියේ සතුරන්ගේ ප්‍රධාන ඉලක්කය සපුරාලමින් ඔවුන්ගේ අරමුණ ඉටු වී ඇති බවක් පෙනෙන්නට විය. කෙසේ වෙතත්, එවැනි උපක්‍රම ශුද්ධ වූ වේදසාක්ෂිකයින්ට එරෙහිව අසාර්ථක විය. මා ඒවා ප්‍රමාණවත් ලෙස විස්තර කරන්නේ කෙසේද?
4. ඔවුන්ගෙන් ගණන් කළ නොහැකි තරම් සංඛ්‍යාවක් අපට එරෙහිව පීඩා ඇති වූ විට පමණක් නොව, එහෙත් අපට සාමය තිබූ කාලයේ පීඩා ඇති වීමට බොහෝ කලකට පෙර සිටම විශ්වයේ දෙවියන් වහන්සේට නමස්කාර කිරීම සඳහා පුදුමාකාර උද්යෝගයක් පෙන්නුම් කළහ. ඩේෂියස් සහ වැලේරියන් යන [අධිරාජ්‍යවරුන්ගේ] කාලය තුළ, අධිකාරිය ලබා ගත් ඔහු සභාවලට එරෙහිව රහසිගතව උත්සාහ කළ නමුත්, දැන් එය ගැඹුරුම නින්දෙන් අවදි වූවාක් මෙන් විය. මුලින්ම ඔහු ඔවුන්ට කඳවුරු තුළ සිටි අයට පහර දුන්නේය. එයට හේතුව ඔහු එහි ජයග්‍රහණය කළහොත් ඉතිරි අය පහසුවෙන් පරාජය කළ හැකි යැයි සිතූ බැවිනි. දැන් විශාල සොල්දාදුවන් පිරිසක් මැවුම්කරුවාණන් වහන්සේට ඔවුන්ගේ ඇති ගෞරවය අත් නොහරින පිණිස සිවිල් වැසියන් බවට පත්වීම ගැන සතුටු වූහ. සේනාධිනායකයා, ඔහු කවුරුන් වුවත්, මුලින්ම සොල්දාදුවන්ට පීඩා කරන්නට පටන් ගත්තේය. එහිදී සොල්දාදුවන් ඔවුන් වර්ග කර ඔවුන්ට ඇදහිල්ල හෝ තම තනතුර අත්හැරීම තෝරා ගැනීමට ඉඩ දීමෙන් හෝ ආඥාවට අකීකරු වී එය දරාගැනීමට හෝ දන්වන ලදී. ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයේ බොහෝ සෙබළු තමන්ට පෙනෙන්නා වූ තේජස හා සමෘද්ධිය අල්ලාගෙන සිටිනවාට වඩා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කිරීම පැකිලීමකින් තොරව තෝරා ගත්හ. මේ අය අතරින් කිහිපදෙනෙකුට ඒ වන විටත් ගෞරවය අහිමි වීම පමණක් නොව, ඔවුන්ගේ පක්ෂපාතී භක්තිය නිසා මරණය පවා ලැබෙමින් පැවතිණි. මන්ද තවමත් කුමන්ත්‍රණයේ උසිගැන්වීම් කරන්නා ලේ වැගිරීම් අවදානම කලාතුරකින් දැරූ බැවිනි. පෙනෙන විදිහට ඇදහිලිවන්තයන්ගේ සංඛ්‍යාවට බිය වී සහ ඔවුන් සියල්ලන්ටම එකවරම යුද්ධ කිරීමට පසුබට වීම නිසා එසේ සිදු කරන ලදී. එහෙත් ඔහු සූදානම් වූ පසුව, සෑම නගරයකම සහ ප්‍රදේශයකම මිනිසුන් විසින් සාක්ෂි දරන ලද පරිදි, දෙවියන් වහන්සේගේ වේදසාක්ෂිකයින්ගේ දුක් විඳීම් හෝ උදාරත්වය විස්තර කිරීමට වචන ප්‍රමාණවත් නොවේ.
සුළු ආසියාවේ පළමුවන වේදසාක්ෂිකවරුන්
5. නිකොමීඩියාහිදී සභාවලට එරෙහි ආඥාව ප්‍රකාශයට පත් කර එය සහ පොදු ස්ථානයක පළ කළ විට, කීර්තිමත් මිනිසෙක් ඔහුගේ ජ්වලිත ඇදහිල්ල නිසා ඔහු එය ගෙන එය කැබලිවලට ඉරා දැමුවේය. එසේ සිදු කළේ අධිරාජ්‍යයන් දෙදෙනෙකු [ඩයොක්ලීෂියන් සහ ගැලේරියස්] සිටින එම නගරයේදීමය. එහෙත් එබඳු නිර්භීත ක්‍රියාවක ප්‍රතිවිපාක සතුටු සිතින් යුතුව අවසන් හුස්ම දක්වා විඳි එකල ජීවත් වූ කැපී පෙනුණු අයගෙන් ඔහු පළමුවැන්නා පමණි.
6. ග්‍රීකයන් සහ ග්‍රීක් නොවන අය අතර හක සමාන ලෙස ගුණවත්කම සහ ධෛර්යය සඳහා පැසසුමට ලක් වූ සියල්ලන් අතර, ඩොරතියස් සහ ඔහු වැනි වූ අධිරාජ්‍ය සේවකයන්ට වඩා කැපී පෙනෙන අන් කිසිවෙකු නොවීය. මෙම කණ්ඩායම ඔවුන්ගේ ස්වාමිවරුන්ට තමන්ගේම දරුවන්ට මෙන් සැලකූ නිසා ඔවුන් විසින් ඉතා ගෞරවයට පාත්‍ර කරන ලද අය වූහ. එහෙත් ඔවුහු දුක් විඳීම සහ මරණය සැලකුවේ ලෞකික කීර්තියට හා සුඛෝපභෝගීත්වයට වඩා විශාල ධනයක් ලෙසය. අන් සියලුම දෙනාට සිදු වූයේ කුමක්දැයි එක් උදාහරණයකින් පැහැදිලි කරගනිමු.
ඉහත කී පාලකයන් යටතේ, එක්තරා මිනිසෙකු පොදු ස්ථානයකට ගෙන එන ලදුව, පූජා ඔප්පු කිරීමට නියෝග කරන ලදී. ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළ විට, ඔහු නිරුවතින් ඔසවමින් ඔහුට යටත් වන තෙක් කසවලින් පහර දෙන ලදී. මෙයින් පවා ඔහු නම්මවා ගැනීමට අපොහොසත් වූ බැවින්, ඔවුහු විනාකිරි සමග ලුණු මිශ්‍ර කර ඔහුගේ ශරීරයේ දැනටමත් නෙරා ඇති අස්ථි ස්ථානවල ඉරිතැලීම් මත වත් කළහ. ඔහු මේ දුක් ගැහැටද නොතකා හළ විට, දැල්වූ උදුනක් භාවිත කරන ලද අතර, ඔහුගේ ශරීරයේ ඉතිරි කොටස සියල්ලම එක වරම නොව ටිකින් ටික කෑමට ගන්නා මස් මෙන් ගින්නෙන් පුළුස්සා දමන ලදී. එසේ කළේ ඔහු ටිකෙන් ටික මිස ඉක්මනින් අවසානය කරා ළඟා නොවන පිණිසය. එසේද වූවත් ඔහුගේ වධහිංසා මධ්‍යයේ ජයග්‍රාහී ලෙස ඔහු නොසැලෙමින් ඔහුගේ අරමුණෙහි රැඳී සිටියේය. පීටර් නම් වූ ඔහුගේ නමට සැබවින්ම වටින අයෙකු වූ අධිරාජ්‍ය සේවකයකුගේ වේදසාක්ෂික මරණය එබඳු විය.
දිවි පිදූ අනෙකුත් වේදසාක්ෂිකවරු අනෙක් අයගෙන් කිසිම ආකාරයකින් අඩු නොවූහ. එහෙත් මෙම පොතේ ඇති ඉඩ සීමාවන් හේතුවෙන් මගේ වාර්තාව සඳහා අධිරාජ්‍ය මාලිගයේ තවත් බොහෝ අය සමගින් ඩොරෝතියස් සහ ගොර්ගෝනියස් ගැන ලිවීමට පමණක් අවසර ලබා දෙයි. ඔවුහු දුක් ගැහැට ගණනාවක් විඳීමෙන් පසු ගෙල මිරිකා දමනු ලැබ මෙලොව හැර ගියහ.
එකල නිකොමීඩියා සභාවේ මුලසුන දැරූ ඇන්තිමස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සාක්ෂි දැරූ අතර, ඔහුගේ හිස ගසා දමන ලදී. විශාල වේදසාක්ෂිකවරු සංඛ්‍යාවක් ඔහු අනුගමනය කළහ. මන්ද නිකොමීඩියාහි මාලිගාවේ ගින්නක් හටගත් නිසා – එයට හේතුව මම නොදනිමි – එයට අපේ මිනිසුන් වගකිය යුතු බවට ව්‍යාජ කටකතාවක් පැතිර ගියේය. අධිරාජ්‍ය ආඥාවෙන් සමස්ත පවුල් සහ කණ්ඩායම් කඩුවෙන් මරා දමන ලද අතර, අනෙක් අය, දිව්‍යමය උද්යෝගයෙන් දර සෑය මත පනින පිරිමි සහ කාන්තාවෝ ගින්නෙන් සම්පූර්ණත්වයට පත් වූහ. අලුගෝසුවෝ තවත් බොහෝ අය බැඳ බෝට්ටුවලින් ගෙන ගොස් මුහුදට විසි කළහ. දැනටමත් සුදුසු ගෞරව සහිතව මිහිදන් කර ඇති අධිරාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ සිරුරුද හාරා ගොඩ ගෙන මුහුදට විසි කරන ලදී. එසේ නොමැති නම් ඔවුන්ගේ සොහොන්වල සිටියදීම ඔවුන්ට දෙවිවරුන් ලෙස නමස්කාර කරනු ලැබේය යන අභූත විශ්වාසය නිසා එසේ කරන ලදී!
පීඩා ආරම්භයේදී නිකොමීඩියාහි සිදු වූ සිදුවීම් එවැනි විය. එහෙත් ඉක්මනින්ම, මෙලිටීන්හි සහ සිරියාවෙහි අධිරාජ්‍යය පෙරලා දැමීමට උත්සාහයන් ආරම්භ කරන ලදී අතර, අධිරාජ්‍ය ආඥාවකින් සෑම තැනකම සභා නායකයන් දම්වැල්වලින් බැඳ සිරගත කරන ලෙසට නියෝගය නිකුත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස විස්තර කළ නොහැකි දර්ශනයක් ඇති විය. සෑම තැනකම සිටි ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් සිරගත කරනු ලැබිණි. මිනීමරුවන් සහ දරුණු මංකොල්ලකරුවන් සඳහා සූදානම් කරන ලද බන්ධනාගාර දැන් රදගුරුවරුන්, වැඩිමහල්ලන් සහ උපස්ථායකයන්, පාඨකයින් සහ යක්ෂාත්ම දුරු කරන්නන්ගෙන් පිරී ගියේය. අපරාධකරුවන්ට තවදුරටත් ඒවායෙහි ඉඩක් නොතිබුණි.
පළමු නියෝගයට පසුව තවත් නියෝග නිකුත් කරන ලදී. ඒ අනුව සිරගත කරන ලද අය පූජා ඔප්පු කළහොත් ඔවුන් නිදහස් කළ යුතු බවටත්, එහෙත් ඔවුන් පූජා ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කළහොත් නිරන්තර වධ පීඩාවලින් හිංසා කරනු ලැබිය යුතු බවටත් නියෝග නිකුත් විය. දැන්, නැවතත්, එක් එක් පළාතේ, විශේෂයෙන්ම අප්‍රිකාවේ, මොරේටානියාවේ, තීබන් ප්‍රදේශයේ සහ ඊජිප්තුවේ යන පළාත්වල වේදසාක්ෂිකයින්ගේ ගණන කෙනෙකුට කෙසේ නම් ගණන් කළ හැකි වීද? ඊජිප්තුවේ සිට මෙවර ඇතැමෙක් වෙනත් නගරවලට සහ පළාත්වලට ගිය අතර එහිදී ඔවුන් වේදසාක්ෂික මරණය විඳීමෙන් කැපී පෙනුණි.
ෆීනීසියාවේ වේදසාක්ෂිකයින්
7. පලස්තීනයේ ප්‍රසිද්ධව සිටි අය සහ ෆීනීසියාවේ තීර්හි සිටි අය අපි දනිමුව. ඔවුහු මෙම විශිෂ්ට දේව භක්තික ශූරයන් විසින් ප්‍රදර්ශනය කරන ලද අසංඛ්‍යාත කස පහරවල් විඳිද්දී සහ එයට පසුව සිදු කරන ලද මිනිසුන් කන මෘගයන් සමග තරග කිරීමේදී නොපසුබට උත්සාහය දැකීමෙන් පුදුමයට පත් නොවූහ. ඔවුන් දිවියන්ගේ, සියලු වර්ගවල වලසුන්ගේ, වල් ඌරන්ගේ සහ උණු යකඩවලින් සරසන ලද ගොනුන්ගේ ප්‍රහාරවලට ලක් වූ විට සහ ඒ එක් එක් තිරිසන් සතුන්ට මුහුණදීමේදී එම උතුම් මිනිසුන්ගේ ඇදහිය නොහැකි ධෛර්යය කෙතරම් උසස් වීද?
මේවා සිදු වන විට මමද එහි සිටියෙමි. එසේ ඔවුන්ගේ සාක්ෂියෙහි පරමාර්ථය වන, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම දිව්‍යමය බලය පැහැදිලිවම එහි තිබෙන සහ එය වේදසාක්ෂිකයින් එය එළිදරව් කෙරෙනු මම දුටුවෙමි: මනුෂ්‍යයින් කන අය ටික කලක් දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්තයන් ස්පර්ශ කිරීමට හෝ ළං වීමට එඩිතර වූයේ නැත. එහෙත් බාහිරව සිටිමින් ඔවුන් ඇවිස්සූ අනෙක් අයට අයට පහර දුන්හ. කෙසේ වෙතත්, ශුද්ධ ශූරයෝ ඔවුන්ට කිරීමට අණ කරන ලද පරිදි නිරුවතින් සිටගෙන, සතුන් එහි පැමිණවීමට අතින් සංඝා කළද, ඔවුහු ස්පර්ශ නොකරන ලදහ. එසේත් නැත්නම් තිරිසන්නු ඔවුන් වෙත වේගයෙන් දිව ගිය විට, ඔවුහු යම් දේව බලයකින් මෙන් නතර කරනු ලදහ, නැතිනම් පසුබැස ගියහ. දිගු කලක් නරඹන්නන් පුදුමයට පත් කරමින් මෙය සිදු විය, සහ පළමු මෘගයා කිසිවක් නොකරන ලද විට, දෙවන සහ ඒ තුන්වැනි මෘගයන්ද එම වේදසාක්ෂිකවරයාටම එරෙහිව නිදහස් කරන ලදී.
මෙම පීඩා හමුවේ මෙම ශුද්ධවන්තයන්ගේ නිර්භීත ධෛර්යය සහ තරුණ සිරුරු තුළ වූ දැඩි ස්ථාවරත්වය විස්මයජනක විය. තවමත් වයස අවුරුදු විස්සක් හෝ නැති තරුණයෙක් දම්වැල්වලින් බඳිනු නොලැබ සිටගෙන සිටිනු, කුරුසියක ස්වරූපයෙන් දෑත් විහිදුවාගෙන ඔහුගේ මනස සැහැල්ලුවෙන්, දෙවියන් වහන්සේට විවේකීව යාච්ඤා කිරීමේදී මෙන් සිටිනු ඔබ දකිනු ඇත. වලසුන් සහ දිවියන් කෝපයෙන් ඔහු වෙත පැමිණි අතර, මරණය ඔහු ස්පර්ශ කරන තරම් සමීප විය. එහෙත් ඔහු අඟලක්වත් පසුබැස්සේ නැත. එසේ වූවත් දිව්‍යමය, අද්භූත බලයකින් එම මෘගයන්ගේ මුඛයන් වැසුණු බවක් පෙනෙන්නට වූ අතර, ඔවුහු නැවතත් පසුබැස ගියහ. ඔබ තවත් පස් දෙනෙකු එකටම පිස්සු හැදුණු ගොනෙකු දෙසට විසි කරන ලද ආකාරයද දකින්නට ඇත. අනෙක් අය ඌට ළං වූ විට ඌ තම අංවලින් ඔවුන් උඩු ගුවනට විසි කර දැමූ අතර, ඔවුහු බාගෙට මැරී පහළට පතිත වූහ. එහෙත් ඌ අනාරක්ෂිත වේදසාක්ෂිකවරුන් දෙසට කෝපයෙන් දිව ගිය විට, ඌට තම අං එහාට මෙහාට වනමින් කුර ඉදිරියට තල්ලු කළද, ඌට ඔවුන් වෙත ළඟා වීමට පවා නොහැකි විය. උණුසුම් යකඩවලින් ඇති කරන ලද කෝපයක් ඇතිව සිටි ඌ දිව්‍යමය අනුග්‍රහයෙන් පසුපසට ඇද දමන ලදී. එසේම හානිකර නොවන ගොනා වෙනුවට ඔවුන්ට විරුද්ධව වෙනත් තිරිසනුන් නිදහස් කිරීමට ඔවුන්ට සිදු විය. අවසාන වශයෙන්, මෙම සතුන්ගේ දරුණු විවිධ පහරදීම්වලින් පසුව, ඔවුන් සියල්ලන්ම කඩුවෙන් මරා දමන ලදී. එසේම භූමදාන කරනවා වෙනුවට ඔවුන් මුහුදේ රළවලට හෙළනු ලැබීය.
ඊජිප්තුවේ වේදසාක්ෂිකයින්
8. තීර්හි ඇදහිල්ල වෙනුවෙන් ඉතා තේජාන්විතව සටන් කළ ඊජිප්තුවේ වැසියන්ගේ පීඩාව එබඳු විය. එහෙත් ඔවුන්ගේම දේශයේදී වේදසාක්ෂිකයින් ලෙස දිවි පිදූ අයද ප්‍රශංසනීය වේ. එහිදී ගණන් කළ නොහැකි පිරිමි, ගැහැනු සහ ළමයි සංඛ්‍යාවක්, මෙම ගෙවී යන ජීවිතය පිළිකුල් කරමින් අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ඉගැන්වීම් වෙනුවෙන් විවිධ ආකාරයේ මරණ විඳ දරාගැනීමට ඉදිරිපත් වූහ. ඔවුන්ගෙන් සමහරෙකු සීරීමටත්, හිංසනයටත්, අනුකම්පා විරහිත ලෙස කසයෙන් තළා, විස්තර කිරීමට ඉතා භයානක අන්දමේ වධ හිංසාවලටත් පමුණුවන ලදී. අවසානයේ ඔවුන් ගිනිවලින් පිළිස්සීම හෝ දියේ ගිලී මිය යාමට මුහුදට දැමීම හෝ සිදු කෙරිණි. තවත් සමහරු අලුගෝසුවන්ට ධෛර්යවත්ව තම ගෙල පෙන්වූහ. නැතිනම් වධ හිංසාවලින් හෝ කුසගින්නෙන් මිය ගියහ. තවත් සමහරුන් සාමාන්‍යයෙන් අපරාධකරුවන් මෙන් නැවත කුරුසියේ ඇණ ගසනු ලැබූහ. අනෙක් අය, ඊටත් වඩා කුරිරු ලෙස, ප්‍රතිවිරුද්ධ දිශාවට – හිස පහළට තබා – කුරුසියේ ඇණ ගසා- ඔවුන් කුරුසියේදී කුසගින්නෙන් මිය යන තෙක් පණපිටින් තැබූහ.
9. කෙසේ වෙතත් තීබන්හි ප්‍රදේශයේ වේදසාක්ෂිකයින් විසින් විඳ දරා ගන්නා ලද දරුණු වේදනාවන් සියලු විස්තර පරාජය කිරීමෙහි සමත්ය. ඔවුන්ගේ මුළු සිරුරම නියපොතු වැනි වළං කැබලිවලින් ඉරා දමා ඒවා කල් ඉකුත් වන තුරු තැබූහ. කාන්තාවන්ගේ එක් පාදයකින් බැඳ හිස පහළට දමා ඉහළ යන්ත්‍ර මගින් එල්ලා තැබූහ. ඔවුන්ගේ සිරුරු කුඩා ඇඳුමකින් හෝ තොරව සම්පූර්ණයෙන්ම නිරුවත් කර තිබිණි. නරඹන්නන් සඳහා සියලු සංදර්ශනවලට වඩා නින්දිත, කුරිරු සහ අමානුෂික ආකාරයේ වධ හිංසනයක් විය. තවත් සමහරු ගස්වල සවි කරනු ලැබ මිය ගියහ: ඔවුන් යන්ත්‍ර මගින් ශක්තිමත්ම පහළට නැමීය අතු නවා වේදසාක්ෂිකවරුන්ගේ පාදයක් බැගින් ගසක බැඳ, ගස්වල අතු ඒවායෙහි ස්වාභාවික ස්ථානයට නැවත යාමට ඉඩ හැරීම පිණිස අත්ත අත්හළහ. එවිට ඔවුන්ගේ ගොදුරු වූවන්ගේ අත් පා ක්‍ෂණිකව ඉරා දැමෙයි. මෙය සිදු වූයේ දින කිහිපයක් පමණකි නොව එහෙත් වසර කිහිපයක් පුරාම මෙලෙස සිදු විය. සමහර විට දහයක් හෝ වැඩි ගණනක්, තවත් විටෙක විස්සකට වඩා වැඩි ගණනක් හෝ තිහක් හෝ හැටකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් කරන ලදී. තවත් විටෙක පිරිමින්, ගැහැනුන් සහ කුඩා ළමුන් සියයක් නොයෙකුත් දඬුවම්වලට ලක් කර එක් දිනක් තුළ මරා දමන ලදී.
මෙම සමූහ ඝාතනවලින් සමහරක් හිස ගසා දැමීමෙන් හෝ ගින්නට හෙළීමෙන් සිදු කරනු මම දුටුවෙමි. මිනීමරු පොරව දිරාපත් වී කැබලිවලට කැඩී යන තෙක් එය අඳුරු කළ ඝාතනයක් සිදු වූ අයුරු, අලුගෝසුවන් දැඩි ලෙස වෙහෙසට පත් වී ඔවුන්ට වැඩ මුරවල වැඩ කිරීමට සිදු වූ ආකාරය මම දුටුවෙමි. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ අය තුළ පුදුමාකාර ජ්වලිත බවක් සහ දිව්‍යමය බලයක් සහ උද්‍යෝගයක්ද මම නිරීක්ෂණය කළෙමි: පළමු කෙනා දඬුවමට නියම කරන ලද වහාම, අනෙක් අය විනිශ්චයකාරවරයා ඉදිරියේ විනිශ්චය සභාවේ උඩ පනිමින් තමන් ක්‍රිස්තු භක්තිකයින් බවට ප්‍රකාශ කළහ. ඔවුහු එහි වූ බිහිසුණු ආකාරයේ වධහිංසා පැමිණවීම ගැන නොසැලකිලිමත් වූ අතර, ඒ වෙනුවට විශ්වයේ දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ භක්තිය නිර්භීතව ප්‍රකාශ කළහ. මරණයේ අවසාන දඬුවම සතුටෙන්, සිනහවෙන් හා ප්‍රීතියෙන් යුක්තව පිළිගනිමින්, ඔවුන්ගේ අවසන් හුස්ම හෙළන තෙක් දෙවියන් වහන්සේට ස්තුති කිරීමේ ගීතිකා ගායනා කළහ.
මොවුන් කෙතරම් පුදුම සහගත වුවත්, ඊටත් වඩා ප්‍රශංසනීය වන්නේ ඔවුන්ගේ ධනය, උපත සහ කීර්තිය සඳහා මෙන්ම, ඉගෙනීම සහ දර්ශනවාදය, යන කාරණා සම්බන්ධයෙන් කැපී පෙනුණු අය, තවමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තිබෙන සැබෑ භක්තියට සහ ඇදහිල්ලට ඒ සියල්ලම දෙවැනි කොට සැලකීමයි. එවන් වූ එක් අයෙකු වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ අධිරාජ්‍ය පරිපාලනයේ වැදගත් නිලධාරියෙකු වූ ෆිලෝරොමස්ය. ඔහු දිනපතා අධිකරණ පරීක්ෂණ පැවැත්වූ අතර ඔහුගේ රෝම නිලයට සරිලන ආකාරයේ හමුදා ආරක්ෂකයෙකු ඔහුට සිටියේය. තවත් කෙනෙකු වූයේ තමූයිස්හි රදගුරු වූ ෆිලෙස්ය. ඔහු ඔහුගේ දේශප්‍රේමය සහ රාජ්‍ය සේවය සඳහා මෙන්ම දර්ශනවාදය පිළිබඳ දැනීම උදෙසාද ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි. නෑදෑ හිතමිතුරන් පිරිසක් තමන්ට අනුකම්පා කර තම භාර්යාවන් සහ දරුවන් ඉතිරි කරන ලෙස කන්නලව් කරන ලද අතර, ඉහළ පෙළේ නිලධාරීහු සහ විනිශ්චයකරුවෝ පිරිසක්ද එසේ කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. එහෙත් අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ උන් වහන්සේ ප්‍රකාශ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අනතුරු ඇඟවීමට වඩා ජීවිතයට ආදරය කිරීමට ඔවුන්ට මේ සියලු පීඩනය ප්‍රමාණවත් නොවීය. එබැවින් නිර්භීත හා දාර්ශනික අධිෂ්ඨානයකින් හෝ ඒ වෙනුවට ගෞරවාන්විත හා දෙවියන් වහන්සේට ආදරය කරන ආත්මයකින් – විනිසුරුවරයාගේ සියලු තර්ජන සහ අපහාසවලට එරෙහිව ඔවුහු ස්ථිරව සිටියහ. දෙදෙනාගේම හිස ගසා මරා දමන ලදී.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ වේදසාක්ෂික මරණ පිළිබඳ ෆිලේස්
10. ෆිලේස් ඔහුගේ ලෞකික උගත්කම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියට පත් වූවෙකු බව මා කී බැවින්, ඔහුගේ චරිතය හෙළි කිරීමට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිදු වූ වේදසාක්ෂික මරණ සම්බන්ධයෙන් මට වඩා නිවැරදිව විස්තර කිරීමට ඔහුටම සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට ඔහුට ඉඩ දෙන්න.
ෆිලේස්ගේ සිට තිමියුට්ස්ගේ ලේඛන දක්වා
ඔවුන්ට පෙර සිටි ශුද්ධ වූ ශුද්ධලියවිලිවල සියලුම නිදසුන් සහිතව, ආශීර්වාද ලත් වේදසාක්ෂිකවරු පසුබට නොවූහ. එහෙත් ආත්මයේ ඇස දෙවියන් වහන්සේ වෙත යොමු කරමින්, ඔවුන්ගේ ඇදහිල්ල වෙනුවෙන් මිය යාමේ අධිෂ්ඨානය ඔවුහු තදින් අල්ලාගෙන සිටියහ. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මනුෂ්‍යයෙකු වූ බව සහ පාපය විනාශ කිරීමට සහ සදාකාල ජීවනයට ඇතුළු වීමට අපට හැකියාව ලබා දුන් බව දැනගෙන, ඔවුහු ඔවුන්ගේ කැඳවීමට විශ්වාසවන්තව බැඳී සිටියහ. දෙවියන් වහන්සේ හා සමානව සිටියද, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය හිස් කරගෙන සේවකයෙකුගේ ස්වරූපය ගෙන, මරණය දක්වා, කුරුසියේ මරණය දක්වා යටත් වූසේක (පිලිප්පි 2.6-11). එබැවින්, මහත් වූ ත්‍යාග සඳහා උනන්දුවෙන් ආශා කරමින් ක්‍රිස්තුස් වහන්සේ දරා සිටින වේදසාක්ෂිකවරු දුක් වේදනා සහ සෑම වර්ගයකම වධ හිංසා විඳ දරා ගත්හ. එසේ එක් වරක් නොව ඇතැම් සිද්ධීන්වලදී දෙවරක් එම දුක් විඳ දරා ගත්හ. ඔවුන්ගේ මුරකරුවන් ක්‍රියාවෙන් සහ වචනයෙන්ද ඔවුන්ට එරෙහි ඔවුන්ගේ සියලු තර්ජන සමග තරග කළේ වී නමුත්, ඔවුන් කිසි විටෙකත් නොසැලී සිටියේ පරිපූර්ණ ආදරය බිය දුරු කරන බැවිනි (1 යොහන් 4.18).
ඔවුන්ට අපහාස කරන පිණිස සියල්ලන්ටම නිදහස ලබා දුන් අවස්ථාවේදී, සමහරු පොලුවලින් ඔවුන්ට ගැසූහ, තවත් අය කසවලින් හා සැරයටිවලින් ගැසූහ, එසේම තවත් සමහරු ලීවලින් පහර දුන්හ. මෙම දිනෙන් දින වෙනස් වන පිළිකුල් සහගත වධ හිංසා දර්ශනයන් තුළ, සමහර අය ඔවුන්ගේ අත් පිටුපසට බැඳ එල්ලා තබන ලදී. එසේ එල්ලා තබා ඔවුන්ගේ සියලුම අත් පා යන්ත්‍ර මගින් වෙන් කරන ලදී. පසුව ඔවුන් අසරණව වැතිර සිටින විට, ඔවුන්ගේ වධකයින්ට ඔවුන්ගේ පැත්තෙන් පමණක් නොව, මිනීමරුවන්ට කරන්නාක් මෙන්, ඔවුන්ගේ උදරය, කකුල් සහ කම්මුල් මත වධක උපකරණ භාවිත කරමින් පීඩා කිරීමට නියෝග කරන ලදී. තවත් අයගේ එක් අතක් කනුවට තබා බැඳ ඔවුන්ගේ සන්ධි සහ අත් පාවල ඉසිලිය නොහැකි ආකාරයේ දරුණු වේදනාවක් තිබියදී ඇදගෙන යන ලදී. තවත් සමහරු කනුවලට තබා ඒවාට මුහුණලා තබා පහර දෙන ලද අතර, ඔවුන්ගේ පාද බිමෙන් ඉවතට ගෙන ඔවුන්ගේ සිරුරේ බරින් ලනු තව තවත් තදින් ඇදී යනපිණිස තදින් බඳින ලදී. ආණ්ඩුකාරවරයා ඔහුගේ විවේකයේදී ඔවුන්ට කතා කරන අවස්ථාවේදී පමණක් නොව, එහෙත් දවසේ වැඩි කාලයක් තුළ ඔවුහු මෙය විඳ දරාගත්හ. ඔහු අන් අය වෙත ගිය ඕනෑම විටකදී, කෙනෙක් වධ හිංසාවලට යටත් වන්නේද යන්න බැලීමට ඔහු තම නියෝජිතයන් පිටත් කර හැරියේය. අන්තිම හුස්ම ගැනීමේ අවස්ථාවේදී පමණක් ඔවුන් ඉවත් කර ඇදගෙන යාම සිදු විය. ඔවුන්ට අප ගැන අවම සැලකිල්ලක් හෝ දැක්වීමට නොදෙන ලදී, එහෙත් අපට ඔවුන් සැලකුවේ අප එහි තව දුරටත් ජීවත් නොවන අය ලෙසිනි. දැනටමත් තිබෙන වධ හිංසාවලට තවත් වධ හිංසා එකතු කෙරිණි. එවැනි වධ හිංසා විඳීමෙන් පසුව පවා, සමහර අය දඬු කඳේ ගසනු ලැබ, කකුල් දෙකම හතරවන සිදුර දක්වා දිගු කර, ඔවුන්ගේ පිට පැත්තෙන් වැතිරීමට බල කරන ලදී. මන්ද ඔවුන්ගේ තුවාල හේතුවෙන් ඔවුන්ට [කෙළින් හිඳගැනීමට] නොහැකි වූ බැවිනි. තවත් අය බිම හෙළා එහි වැතිර සිටීමට ඉඩ හරින ලද අතර, ප්‍රේක්ෂකයන්ට දඬුවමට වඩා ඉන් පිළිබිඹු කරන ලද වධ හිංසා පැමිණවූ මස් ප්‍රදර්ශනය කිරීම භයානක දසුනක් විය.
සමහරු ඔවුන්ගේ විඳ දරාගැනීම හේතුවෙන් විරුද්ධවාදියා ලජ්ජාවට පත් කරමින් වධ හිංසාවලට ලක්ව මිය ගියහ. තවත් අය බාගෙට මිය ගොස් සිරගත කරන ලද අතර, එහිදී ඔවුන් විඳි දුක් වේදනා නිසා ඉක්මනින්ම මරණින් සම්පූර්ණත්වයට පත් වූහ. ඉතිරි අය කාලයාගේ ඇවෑමෙන් යථා තත්ත්වයට පත් වූ අතර ඔවුන්ගේ සිරගත වීමෙන් ආත්ම විශ්වාසය දිනා ගත්හ. එහෙත් පිළිකුල් සහගත පූජාව ස්පර්ශ කරමින් ශාප ලත් නිදහසක් ලබා ගැනීම හෝ පූජා ඔප්පු නොකිරීම නිසා මරණයට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස ඔවුන්ට නියෝග කළ විට, ඔවුහු පැකිළිමකින් තොරව මරණය සතුටින් විඳ ගැනීමට වෙත ගියහ. ශුද්ධලියවිල්ල අපට නියම කර ඇති දේ ඔවුහු දැන සිටියහ: “අන් දෙවිවරුන්ට පූජා කරන ඕනෑම කෙනෙක් විනාශ වනු ඇත” (නික්මයාම 22.20), සහ “මා හැර වෙනත් දෙවිවරුන් ඔබට නොසිටිය යුතුය” (නික්මයාම 20.3).
ප්‍රඥාව සහ දෙවියන් වහන්සේ යන දෙකටම සැබෑ ප්‍රේමයක් ඇතිව සිටි වචන එබඳු විය. එසේ පවසමින් ඔහු ඔහුගේ අවසන් දඬුවමට පෙර සිරගතව සිටියදී ඔහුගේ රදගුරු පදවියේ සහෝදරයන් වෙත යැවූ අතර, එහිදී ඔහුගේම තත්වයන් විස්තර කරමින් ඔහුගේ ආසන්නයේ සිදු වීමට නියමිත මරණයෙන් සම්පූර්ණ වීමෙන් පසුව පවා ඇදහිල්ලේ ස්ථිරව සිටීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
සුළු ආසියාවේ, සිරියාවේ සහ වෙනත් තැන්වල වේදසාක්ෂිකයින් ලෙස දිවි පිදූ අය
එහෙත් ලෝකය පුරා දිව්‍යමය වේදසාක්ෂිකයින් සම්බන්ධයෙන් වූ, විශේෂයෙන් සාමාන්‍ය නීතිය යටතේ තවදුරටත් පහර නොදී යුද්ධයේදී සතුරන් ලෙස ප්‍රහාරයට ලක් වූ අයගේ තරග පිළිබඳ මා නිදසුන් පැවසිය යුතු මන්ද?
11. නිදසුනක් වශයෙන්, ෆ්‍රිජියාහි කුඩා නගරයක සියලු වැසියෝ කිතුනුවෝ වූහ. එය සන්නද්ධ පාබල සෙබළුන් විසින් එය වට කරන ලදී. එහි මිනිසුන්, ගැහැනුන් සහ කුඩා දරුවන් ගින්නෙන් පුළුස්සා මරා දමන ලදී. ඒ ඔවුන් සර්වබලධාරී දෙවියන් වහන්සේට යාච්ඤා කළ නිසාය. හේතුව කුමක්ද? සියලුම නගර වැසියන්, නගරාධිපතිවරයා සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සිට සමස්ත ජනතාව දක්වාම ඔවුන්ගේ ක්‍රිස්තියානි ධර්මය ප්‍රකාශ කළ නිසාත්, රූප වන්දනාව ප්‍රතික්ෂේප කළ නිසාත්ය.
ඇඩෝක්ටස් නම් උසස් රෝම නිලධාරියෙක්ද සිටියේය. ඔහු ප්‍රකට ඉතාලි පවුලකින් පැමිණි කෙනෙකි. අධිරාජ්‍යවරුන් යටතේ ඇති සියලුම ගෞරවනීය තරාතිරම්වල උසස් ලෙස ඉදිරියට ගිය අයෙකි. එසේ සාමාන්‍ය පරිපාලනයේ මහේස්ත්‍රාත් සහ මුදල් අමාත්‍යංශය යනුවෙන් ඔවුන් විසින් හඳුන්වනු ලබන අංශයේ සේවාවක් සපයයි. එයට අමතරව, ඔහුගේ දේවභක්තික හැසිරීම සහ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ඇදහිල්ල නිසා ඔහු ගෞරවයට පාත්‍ර වූ බැවින්, ඒ වන විටත් මුදල් ඇමති ලෙස කටයුතු කරමින් සිටියදීම, ඔහු ඔහුගේ දුක්විඳීමට මුහුණ දුන් අතර වේදසාක්ෂික මරණයේ කිරුළෙන් සරසෙන ලදී.
12. ඔවුන්ගේ වේදසාක්ෂික මරණ විඳි අනෙකුත් අයගේ නම් හෝ සංඛ්‍යවන් මා විසින් පැවසිය යුතුද? සමහර විට ඔවුන් අරාබියේ සිදු වූවාක් මෙන් පොරවකින් කොටා මරා දමන ලදී. නැතහොත් කපදෝසියාවෙහි සිදු කළාක් මෙන් ඔවුන්ගේ කකුල් කඩනු ලැබ ඇත. වෙනත් අවස්ථාවලදී මෙසපොතේමියාවේ මෙන් ඔවුන් කුඩා ගින්නක් යටින් දමා, හිස පහළට සිටින සේ තබා එල්ලනු ලැබ ඇත. එසේ කිරීමෙන් දැවෙන දැවයෙන් නැගෙන දුමාරයෙන් ඔවුන්ගේ හුස්ම හිර වන පිණිසය. සමහර විට ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිදුවීමේදී මෙන් නාසය, කන් සහ අත් විකෘති කරන ලද අතර ශරීරයේ අනෙකුත් කොටස් කපා දමන ලදී.
අන්තියෝකියේදී ඔවුන් දිගුකාලීන වධ හිංසා කරනු ලැබීමෙන් පසුව උණු ග්‍රිල් මත තබා පුළුස්සා දමන ලදී. ඔවුහු මරණයට බිය නොවූහ. ඒ වෙනුවට ශාප ලත් පූජාව ස්පර්ශ කරනවා වෙනුවට ඇතැමෙක් තම දෑත් කෙළින්ම ගින්නට හෙළුහ. තවත් සමහරු, එවැනි පරීක්ෂණවලින් බේරීම සඳහා, මරණය දුෂ්ටයන්ගෙන් උදුරාගැනීම ත්‍යාගයක් ලෙස සලකමින්, ඔවුන් අල්ලා ගනු ලැබීමට පෙර උස ගෙවල්වල වහලවලින් බිමට පැන්නෝය.
එක්තරා සාන්තුවරයෙකුගේ ස්ත්‍රියගේ ශරීරයේ ප්‍රශංසනීය ආත්මයක් විය. ඇගේ ධනය, උපත සහ හොඳ විනිශ්චයක් නිසා ඇය අන්තියෝකියේ පුළුල් ලෙස ප්‍රසිද්ධ වූ අයෙකි. ඇය තාරුණ්‍යයේ රූ සපුවෙන් පිපුණු කන්‍යා දියණියන් දෙදෙනකු දැහැමි ප්‍රතිපත්ති මත ඇති දැඩි කළේ ඔවුන්ගේ සැඟවුණු ස්ථානය සොයා ගැනීමට මහත් ආශාවක් ඇති කරමිනි. ඔවුන් විදේශ රටක ජීවත් වන බව දැනගත් විට, ඔවුන්ට සොල්දාදුවන්ගේ අනුකම්පාව ලැබුණු අන්තියෝකියට හිතාමතාම ආපසු කැඳවනු ලැබිණි. තමා සහ ඇගේ දියණියන් දැඩි අනතුරකට ලක්ව සිටින බව දුටු කාන්තාව, සියල්ලටම වඩා භයානක දේ වන වේශ්‍යාකමේ තර්ජනය ඇතුළුව ඔවුන්ට ඇති වන්නට යන භයානක දේවල් ගැන ඔවුන් දැනුවත් කළාය. එවැනි දෙයක් අවම වශයෙන් රහසින් පවසන විට පවා ඔවුන්ගේ කන් වසා ගැනීමට සහ ඔවුන්ගේ ආත්මය යක්ෂයාගේ වහල්භාවයට යටත් කිරීම ඕනෑම ආකාරයක මරණයකට වඩා නරක බව ඇය තම ගැහැනු ළමයින්ට සහ තමාට ඒත්තු ගැන්වූවාය. ඒ සියල්ලෙන් ගැලවීමට ඇති එකම මාර්ගය වූයේ ස්වාමින් වහන්සේ වෙතට පලා යාමයි. මෙයට එකඟ වූ ඔවුහු තම ඇඳුම් සකස් කර ගත් අතර, ඔවුන්ගේ ගමනේ මැදට පැමිණි විට, ඔවුන් නිහතමානීව මුරකරුවන්ගෙන් මොහොතකට සමාව දෙන ලෙස ඉල්ලා, ගලා බසින ගඟට පැන්නෝය.
කීර්තිමත් උපතක්, ප්‍රශංසනීය ජීවිතයක්, තාරුණ්‍යයේ චමත්කාරයක්, භක්තිමත් හැසිරීමක් සහ විශිෂ්ට භක්තියක් ඇති සැබෑ දේවභක්තික සහෝදරියන් වන තවත් ගැහැනු ළමයින් දෙදෙනෙක් අන්තියෝකියේ ජීවත් වූහ. මහපොළොවට එබඳු පරිපූර්ණත්වයක් දරා ගැනීමට නෙහැකි වූවා සේ, එම යක්ෂ වන්දනාකරුවෝ ඔවුන් මුහුදට විසි කරන ලෙස නියෝග කළහ.
පොන්තස්හි, ඇසීමට පවා බිහිසුණු ආකාරයේ කාරණාවලින් අන් අය දුක් වින්දෝය: ඔවුන්ගේ ඇඟිලිවල නියපොතු යටින් තියුණු බට ඇතුළු කරන ලදී. නොඑසේ නම් ඔවුන්ගේ ශරීරවල වැදගත් කොටස් පුළුස්සා දමමින් රත් කළ යකඩ කූරු පසුපසින් ශරීරය තුළට ඇතුළු කරන ලදී. තවත් අය ඔවුන්ගේ පෞද්ගලික කොටස් සහ බඩවැල් ආශ්‍රිතව ලජ්ජා සහගත, කනගාටුදායක, සඳහන් කළ නොහැකි ආකාරයේ වේදනාවන් විඳ දරාගත්හ. ඒවා ත්‍යාගයක් ලබා ගැනීමට මෙන් නව ආකාරයේ වධ බන්ධන යොදා ගනිමින් ඔවුන් සහමුලින් නැති කර දැමීමට උත්සහා කරමින් උසස්, නීත්‍යනුකූල විනිසුරුවන් විසින් ඉතාම උනන්දුවෙන් සොයා ගන්නා ලද කාරණාය.
ඔවුන්ගේ දරුණු දුෂ්ටකම විසින් ඔවුන් වෙහෙසට පත් කරන ලද විට මේ පීඩාවන් කෙළවර විය. ඝාතනය කිරීමෙන් සහ ලේවලින් තෘප්තිමත් වීමෙන් හෙම්බත් වී ඔවුහු තවදුරටත් අපට හානියක් නොකරන ලෙස ඔවුන්ගේ දයාව සහ මනුෂ්‍යත්වය ලෙස සලකන දෙයට හැරුණහි – නොඑසේ නම් ඔවුහු එසේ සිතූහ. එම නගරයේම පුරවැසියන්ගේ රුධිරයෙන් නගර දූෂණය කිරීමෙහි එතරම් හොඳ රසයක් නොතිබුණු බව ඔවුන්ට දැනුණි, නැතහොත් උත්තරීතර පාලකයන් කෲරත්වයේ චෝදනාවකට ගොදුරු කිරීමට නොදී මෘදු සහ සැමට හිතකර රජයක් ඇති කිරීමට සිතූහ. ඒ වෙනුවට මානුෂීය අධිරාජ්‍ය අධිකාරියේ කරුණාව සෑම කෙනෙකුටම ලබා දිය යුතු අතර, මරණීය දණ්ඩනය එයින් ඉදිරියට නොපමුණුවන ලදී. පාලකයන්ගේ මනුස්සකමට ස්තුතිවන්ත වේවා, දැන් පීඩා කිරීම නවතා තිබිණි.
ඒ වෙනුවට, ඔවුන්ගේ ඇස් උගුලා දමා ඔවුන්ගේ එක කකුලක් ආබාධිත කිරීම උදෙසා දැන් නිකුත් කළ නියෝගවලින් ආඥා කෙරිණි – ඔවුන්ගේ අදහසට අනුව “මනුෂ්‍යත්වය,” සහ “එම සුළුම ආකාරයේ දඬුවම්.” දේව අභක්තික ජනතාවකගේ එවැනි කරුණාවක ප්‍රතිඵලය ලෙස වාර්තා කිරීමට තරම් අපහසු මහත් සංඛ්‍යාවකගේ පළමුවෙන්ම දකුණු ඇස කඩුවෙන් පෙති ගසා උගුලා දමා ගින්නෙන් දවා තිබුණු අතර, ඒ සමගින් වම් කකුලේ සන්ධිවලට දැවෙන යකඩවලින් පහර දීම නිසා එයින් කිසිත් කරගත නොහැකි තත්වයට පත් කර තිබුණි. මෙයින් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයේ තඹ පතල්වලට යවන ලදුව, එහි වැඩ කිරීමටත්, වැඩි වශයෙන් එහි ඇති දුෂ්කර තත්වය නිසා පීඩා විඳීමට හා අපයෝජනය කිරීමටත් අත්හැර දමන ලදීි. එමන්ම එහි සිදු වූ තවත් විශාල සංඛ්‍යාවක් වූ වධ හංසා වාර්තා කිරීමට ඉතාම වැඩිය. ඔවුන්ගේ නිර්භීත ක්‍රියාවන් මේ සැම සෑම ගණනය කිරීම් සංඛ්‍යාවක්ම ඉක්මවයි.
මෙම සියලුම පරීක්ෂාවන්හිදී ක්‍රිස්තුස් වහන්සේගේ අතිවිශිෂ්ට වේදසාක්ෂිකයින් ලොව පුරා කෙතරම් කැපී පෙනුණාද යත්, ඔවුන්ගේ ධෛර්යය ඇසින් දුටු සාක්ෂිකරුවෝ මවිතයට පත් වූහ. අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ බලය සැබවින්ම දිව්‍යමය සහ විස්තර කළ නොහැකි බවට ඔවුන් විසින්ම පැහැදිලි සාක්ෂි සපයා ඇත. ඒ එක් එක් නම සඳහන් කර ලැයිස්තුගත කිරීම දිගු එකක් වනවා මෙන්ම එය කළ නොහැකි කාර්යයක් වනු ඇත.
රුධිරයෙන් ඔප්පු කරන ලද සභාවේ සාමාජිකයන්
13. සුප්‍රසිද්ධ නගරවල වේදසාක්ෂකයින් ලෙස මරණයට පත් වූ සභාවේ නායකයින් අතර, ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයේ වේදසාක්ෂිකවරයෙකු ලෙස සාන්තුවරයන්ගේ ස්මාරකවල අප සටහන් කළ යුතු පළමු නම වූයේ හිස ගසා දමන ලද නිකොම්බියාවෙහි රදගුරු ඇන්තිමස් තුමාය. අන්තියෝකියේ වේදසාක්ෂිකයින්ගෙන්, ඔහුගේ ජීවිත කාලය පුරාවටම උතුම්ම තැනැත්තා වූයේ ලුසියන් තුමාය. ඔහු අධිරාජයාම නිකොමීඩියාහි සිටින විට, ඇදහිල්ල වාචිකව ප්‍රකාශ කිරීමෙන් සහ පසුව ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ රජකම එහි ප්‍රකාශ කළ වැඩිමහල්ලෙකි. ෆීනීසියාවේ දිවි පිදූවන් අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රැළේ ආදරණීය දේවගැතිවරුන වෙති: තීර්හි රදගුරු ටිරානියන්, සීදොන්හි වැඩිමහල්ලෙකු වූ සෙනොබියස්, සහ එමේසාවේ ඒ අවට රදගුරු සිල්වානස්ය. ඔහු එමෙසාවල අනෙක් අය මෙන්ම වන මෘගයන්ට ආහාර බවට පත් වූ අවසාන කෙනා විය. එසේ වේදසාක්ෂිකයින්ගේ ගායනයට ඇතුළත් විය. අනෙක් දෙදෙනා අන්තියෝකියේදී දෙවියන් වහන්සේගේ වචනය මහිමයට පත් කළහ. එසේ කිරීමෙන් අවසානය දක්වා විඳ දරාගැනීමෙන්, රදගුරුවරයා මුහුදේ ගැඹුරට විසි කරන ලදී. හොඳම වෛද්‍යවරයා වූ සෙනෝබියස් ඔහුගේ පැතිවලට කරන ලද වධහිංසා යටතේ නිර්භීතව මිය ගියේය.
පලස්තීනයේ වේදසාක්ෂිකයින්ගෙන්, ගාසාවේ රදගුරු සිල්වානස්, තවත් තිස් නව දෙනෙකු සමගින්, ෆීනෝහි තඹ පතලේදී හිස ගසා මරා දමන ලදී. එහිදී ඊජිප්තු රදගුරුවරුන් වන පෙලීටස් සහ නිලස් සහ අනෙකුත් අයද දරුණු අවසානයකට මුහුණ දුන්හ. මෙහිදී අප සිසේරියා ප්‍රජාවගේ මහා තේජසද සඳහන් කළ යුතුය. මගේ කාලයේ සිටි අසාමාන්‍ය මිනිසා වන වැඩිමහල්ලෙකු වූ පැම්ෆිලස් සම්බන්ධයෙන්, ඔහුගේ නිර්භීත ජයග්‍රහණ නියමිත වේලාවට මම විස්තර කරමි.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ, තීබන් ප්‍රදේශයේ සහ ඊජිප්තුවේ සෙසු ප්‍රදේශවල තේජාන්විත ලෙස මරණයෙන් සම්පූර්ණත්වයට පත් වූ අය අතරින්, මුලින්ම වාර්තා කරනු ලබන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු පේතෘස්ය. ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුළ දේව භක්තියේ ගුරුවරුන්ගේ භක්තිමත් ආදර්ශයක් වන අතර ඔහු සමග සිටි වැඩිමහල්ලෝද – ෆවුස්ටස්, ඩයස් සහ ඇමෝනියස් සහ ඊජිප්තුවේ සභාවල රදගුරුවරුන් වන සහ ෆිලේස්, හෙසිකියස්, පැචිමියස් සහ තියඩෝර් ක්‍රිස්තුස් වහන්සේගේ වේදසාක්ෂිකයින් ලෙස සම්පූර්ණත්වයට පත් වූහ. එසේම ගණන් කළ නොහැකි සංඛ්‍යාවක වෙනත් කීර්තිමත් පුද්ගලයින්ද ඔවුන්ගේ ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් අනුස්මරණය කරනු ලැබේ.
දෙවියන් වහන්සේට ඇති ගරු බිය නිසා ලොව පුරා සටන් කළ අයගේ දුක්විඳීම් විස්තරාත්මකව සටහන් කිරීම පිළිබඳ නම්, මට වඩා එය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ කාර්යයක් වනු ඇත. එහෙත් මා දවිසින්ම දකින ලද අය පිළිබඳ අනාගත පරපුරට වෙනත් පොතක මම සඳහන් කරමි. කෙසේ වෙතත්, මෙම පොතෙහි, අපගේ පාඨකයන්ට වඩාත් වැදගත් වන, අපට එරෙහි ආඥාවන් නැවත ප්‍රතික්ෂේප වීම සහ පීඩාවේ ආරම්භයෙන් පසුව සිදු වූ දේ ඉහත සඳහන් දේට මම එකතු කරමි.
ඩයොක්ලීෂියන්, කොන්ස්ටන්ටියස් ක්ලෝරස් සහ කොන්ස්ටන්ටයින්
රෝම රජය අපට එරෙහිව යුද්ධයට පැමිණිමට පෙර සහ අධිරාජ්‍යවරුන් අප සමග මිත්‍රශීලීව හා සාමකාමීව කටයුතු කළ සෑම අවස්ථාවකදීම, අධිරාජ්‍යය කිව නොහැකි තරම් යහපත් දේවල්වලින් යුක්ත බහුල වූ අස්වැන්නක් භුක්ති වින්දේය. ලෝක ව්‍යාප්ත වූ අධිරාජ්‍යයේ පාලකවරු ඔවුන්ගේ දහවන හෝ විසිවන වසරට ළඟා වෙමින් උත්සවශ්‍රීයෙන් දින ගෙවූහ. එහිදී පොදු ක්‍රීඩා, වඩාත්ම ප්‍රීතිමත් භෝජන සංග්‍රහ සහ සම්පූර්ණ, සුරක්ෂිත සාමය තුළ ප්‍රීතිය වින්දහ. එහෙත් ඔවුන්ගේ අධිකාරී බලය පරීක්ෂාවකින් හෝ බාධාවකින් තොරව දිනෙන් දින ඉහළ යද්දී, ඔවුහු හදිසියේම අප කෙරෙහි ඔවුන්ගේ සාමකාමී ආකල්පය අවලංගු කර නොනවතින යුද්ධයක් ආරම්භ කළහ. වසර දෙකක් යන්නට මත්තෙන් මුළු ආණ්ඩුවම පෙරලූ ආකාරයේ විප්ලවයක් සිදු විය. කලින් සඳහන් කළ අධිරාජ්‍යයන්ගෙන් ප්‍රමුඛතමයෙකු [ඩයොක්ලීෂියන්] හට අවාසනාවන්ත රෝගයකින් පහර වැදුණු අතර එය ඔහුගේ මනස ව්‍යාකූල කළේය, එබැවින් ඔහු ඔහුගෙන් පසුව දෙවන ස්ථානයේ සිටි [මැක්සිමියන්] සමගින් සාමාන්‍ය පෞද්ගලික ජීවිතයක් ගත කිරීමට යොමු විය. මුළු අධිරාජ්‍යයම දෙකට කැඩෙන විටත් මෙය සිදු වී නොතිබුණි. එය පෙර කිසිදා සිදු නොවූ දෙයක් විය.
වැඩි කල් නොගොස්ම, තම යටත්වැසියන් කෙරෙහි සැමවිටම කරුණාවන්තව හා දිව්‍යමය වචනයට මිත්‍රශීලීව ජීවත් වූ කොන්ස්ටන්ටියස් (ක්ලෝරස්) අධිරාජ්‍යයා මිය ගියේය. ඔහුගේ නීත්‍යනුකූල පුත් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා සහ ඔගස්ටස් ඔහු වෙනුවට පාලනය කළහ. ඔහු (කොන්ස්ටන්ටියස් ක්ලෝරස්) [ටෙට්‍රාක්වරුන්ගෙන්] දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රකාශ කරන ලද පළමුවන තැනැත්තා විය. එසේම කාරුණික හා මෘදු අයෙකු ලෙස මරණින් පසු අධිරාජ්‍යයෙකුට පිරිනැමිය හැකි සෑම ගෞරවයකටම සුදුසු අයෙකු යැයි නිශ්චය කරන ලද අයෙකු විය. සියලු දෙනාට අනුග්‍රහය සහ කරුණාව පෙන්වමින්, ඔහුගේ උසස් තනතුරට සුදුසු හැසිරීමෙන් ඔහුගේ මුළු පාලන කාලයම ගත කළ එකම තැනැත්තා ඔහු පමණි. ඔහු අපට එරෙහි යුද්ධයට කිසිසේත්ම සහභාගි වූයේ නැත – ඇත්ත වශයෙන්ම, ඔහු තම යටත්වැසියන් අතර භක්තිවන්ත අය තුවාල වීමෙන් හා අපයෝජනවලින් පවා ගලවා ගත්තේය – ඔහු සභාවේ ගොඩනැගිලි කඩා බිඳ දැමුවේ හෝ අපට වෙනත් හානියක් සිදු කළේ හෝ නැත. එබැවින් ඔහු ප්‍රීතිමත් සහ තෙවරක් ආශීර්වාද ලත් ජීවිත අවසානයක ජය ගත්තේය. මන්ද ඔහු පමණක් අධිරාජ්‍යයා ලෙස සිටියදීම මිය ගියේය, සෑම ආකාරයකින්ම ප්‍රඥාවන්ත හා භක්තිවන්ත, ඔහුගෙන් පසු පාලනය භාර ගැනීමට නීත්‍යනුකූල පුතෙකු සිටියේය.
ඔවුන්ට බොහෝ කලකට පෙර සියල්ලන්ගේම රජු වන දෙවියන් වහන්සේම සිදු කළ පරිදි, හමුදා නිලධාරිහු ක්ෂණයකින්ම ඔහුගේ පුත් කොන්ස්ටන්ටයින් උත්තරීතර අධිරාජ්‍යයා සහ ඔගස්ටස් ලෙස ප්‍රකාශ කළහ. තවද ඔහු [කොන්ස්ටන්ටයින්] අපගේ විශ්වාසයන් කෙරෙහි තම පියාගේ ගරු බිය අනුකරණය කිරීමට තීරණය කළේය.
පසුව, පාලකයන්ගේ පොදු ඡන්දයෙන්, ලිසීනියස් අධිරාජ්‍යයා සහ ඔගස්ටස් ලෙස පිළිගන්නා ලදී – එය සීසර් ලෙස පමණක් පිළිගන්නා ලද මැක්සිමින් [ඩෙයියාට] සිදු වූ කටුක පහරක් විය. එබැවින්, සම්පූර්ණයෙන්ම කුරිරු පාලකයෙකු ලෙස, ඔහු උඩඟු ලෙස ගෞරවය උදුරා ගෙන ඔගස්ටස් ලෙස තමාම පත් කර ගත්තේය. මේ අතර, ධූරයෙන් ඉවත් වී නැවත තනතුරට පත් වූ පුද්ගලයා [මැක්සිමියන්] කොන්ස්ටන්ටයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කළේය. එහෙත් එය සොයා ගන්නා ලුව ඉතා නින්දිත ආකාරයක මරණයක් අත් වින්දේය. දුෂ්ට හා අභක්තිකයෙකු ලෙස සිහි කරමින් ඔහුගේ ප්‍රශංසනීය සෙල්ලිපි සහ ප්‍රතිමා පෙරළා දමන ලද පළමු පුද්ගලයා ඔහුය.
මැක්සෙන්ටියස්
14. ඔහුගේ පුත් මැක්සෙන්ටියස්, රෝමයේ කෲර පාලකයෙකු ලෙස පෙනී සිටි අතර, ඔහු මුලින්ම රෝම ජනතාව සතුටු කිරීම සඳහා අපගේ ඇදහිල්ල ඇති බවට මවා පෑවේය. කිතුනුවන්ට හිංසා පීඩා කිරීම නවත්වන ලෙස ඔහු තම යටත්වැසියන්ට අණ කළේය. එයට හේතුව ඔහුගේ පූර්වගාමීන්ට වඩා මිත්‍රශීලී හා මධ්‍යස්ථ ලෙස පෙනී සිටීම සඳහා භක්තිවන්තකම පෙන්වීම උදෙසා විය. එහෙත් ඔහුගේ ක්‍රියාකලාපය මිනිසුන්ගේ බලාපොරොත්තු කඩ කළේය. ඔහු සෑම ආකාරයකම දුෂ්ටකම්වලට ඇද වැටුණු අතර, කාමමිථ්‍යාචාරය සහ සියලු ආකාරයේ ස්ත්‍රී දූෂණ ඇතුළු කිසිදු පිළිකුල් සහගත, දූෂිත ක්‍රියාවක් ඔහු සිදු නොකර හැරියේ නැත. ඔහු නීත්‍යනුකූලව විවාහක කාන්තාවන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගෙන් ලබාගෙන, ඔවුන්ට චේතනාන්විතව නින්දා අපහාස කර, ඔවුන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් වෙත ආපසු යවනු ඇත. ඔහුගේ අභිමත හැසිරීම්වල ඉලක්ක වූයේ නොදන්නා හෝ අපැහැදිලි අය නොව සෙනෙට් සභාවේ ඉහළම ස්ථානයට පත් වූ අයගෙන් වඩාත්ම කැපී පෙනෙන අයයි. ඔහුගේ බිහිසුණු කුරිරු පාලනයෙන් වෙහෙසට පත් වූ සාමාන්‍ය ජනතාව සහ මහේස්ත්‍රාත්වරු, සියල්ලන් විසින් සමරන ලද අය හා නොපැහැදිලි වූ සියල්ලෝම ඔහු ඉදිරියෙහි ආයාචනා කළහ. ඔවුන් නිහඬව යටහත්පහත්ව සිටියද කුරිරු ඒකාධිපතියාගේ මාරාන්තික කුරිරුකම්වලින් ඔවුන්ට ගැලවීමක් තිබුණේ නැත. සුළු මවාපෑමක් කරමින් ඔහු වරක් තම ආරක්ෂකයාන්ට ජනතාව සමූලඝාතනය කරන ලෙස අණ කළ අතර, දහස් ගණනක් රෝමානු පුරවැසියන් නගර මධ්‍යයේ මරා දමනු ලැබුවේ සිතියන්වරුන් හෝ ම්ලේච්ඡයන් විසින් හෙල්ල සහ ආයුධවලින් නොව ඔවුන්ගේම සෙසු පුරවැසියන් විසිනි. ඔවුන්ගේ ධනවත් බව නිසා සෙනෙට් සභිකයින් කී දෙනෙකු ඝාතනය කරන ලද්දේද යන්න පැවසිය නොහැකිය: විවිධ ව්‍යාජ හේතු නිසා ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් ඉවත් කර දමන ලදී. එහෙත් ඒකාධිපතියාගේ සියලු අපරාධවල පදනම වූයේ මායා කර්මය සඳහා වූ ඔහුගේ පිහිට විය: මායාකර්මවලින් උමතු වූ ඔහු යුද්ධ නතර කිරීම උදෙසා ගැබිනි කාන්තාවන් ඉරා දමා, අලුත උපන් බිළිඳුන්ගේ බඩවැල් පරීක්ෂා කිරීම සිදු කරයි, සිංහයන් මරා දමයි හෝ යක්ෂයන් ආමන්ත්‍රණය කිරීම සඳහා බිහිසුණු චාරිත්‍ර නිර්මාණය කරයි. ඒවා සිදු කිරීමෙන් ඔහු ජයග්‍රහණය ලබා ගැනීමට බලාපොරොත්තු වූ බව අදහස් කෙරෙයි.
මෙම කුරිරු පාලකයා තම යටත්වැසියන් වහල්භාවයට පත් කිරීම පිණිස රෝමයේදී කළ දේ ගැන කතා කිරීමට පවා කෙනෙකුට නොහැකිය. මගේ සමකාලීනයන්ට අනුව, රෝමයේ හෝ වෙනත් තැනක මින් පෙර කිසි දිනෙක නොදැන සිටි අත්‍යාවශ්‍ය ආහාර පවා අවශ්‍ය වූ දැඩි ආහාර අවශ්‍යතාවයට, එනම් ආහාර හිඟයකට ඔවුහු පත් වූහ.
මැක්සිමින් ඩෙයියා
නැගෙනහිර ප්‍රදේශයේ කුරිරු පාලකයා වූ මැක්සිමින්, -දුෂ්ටකමේ සහෝදරයෙකු වූ – රෝමයේ කුරිරු පාලකයා සමගින් රහසිගත සන්ධානයක් ඇති කර ගත්තේය. එය කවුරුන් හෝ දැන නොගන්නා බවට ඔහු බොහෝ කාලයක් තිස්සේ සිතාගෙන සිටියේය. (ඇත්ත වශයෙන්ම, පසුව ඔහු පිළිබඳ දැනගෙන සාධාරණ දඬුවමක් ගෙවීමට සිදු විය.) රෝම ඒකාධිපතියා සමග අපරාධයක ඥාති සහෝදරයෙකු වූ ඔහු ඇත්ත වශයෙන්ම ඔහුද අබිබවා ගොස් දූෂණය සඳහා වන පළමුවන ත්‍යාගය දිනා ගත්තේය. ප්‍රමුඛ වංචනිකයින් සහ ඉන්ද්‍රජාලිකයින් ඔහුගේ ඉහළම ගෞරවය ලබා ගත් අතර, ඔහුගේ මිථ්‍යා විශ්වාසය නිසා සෑම ශබ්දයකින්ම බියට පත් විය. පිළිම සහ යක්ෂයින් සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම දෝෂයකට ඔහු බිය විය. පේන කීම සහ මන්ග්‍ර ගුරුකම්වලින් තොරව, ඔහු නියපොත්තක් සෙලවීමට පවා එඩිතර නොවනු ඇත. මේ හේතුව නිසා, ඔහු තම පූර්වගාමීන්ට වඩා වැඩි බලයකින් හා නොපසුබට උත්සාහයකින් යුක්තව අපට පීඩා කළේය. සෑම නගරයකම [මිථ්‍යාදෘෂ්ටික] විහාරස්ථාන ඉදි කිරීමට සහ කාලයාගේ ඇවෑමෙන් විනාශ වී තිබූ පූජනීය ස්ණාන ප්‍රවේශමෙන් ප්‍රතිසංස්කරණය කරන ලෙස ඔහු නියෝග කළේය. ඔහු සෑම නගරයකම සහ දිස්ත්‍රික්කයකම පිළිම සඳහා පූජකයන් පත් කළ අතර, සෑම පළාතකම ඔවුන් කෙරෙහි උත්තම පූජකයන් ලෙස ඔහු හමුදා ආරක්ෂකයෙකු සමග රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයකම වඩාත්ම කැපී පෙනෙන අය තෝරා ගත්තේය. ඔහු නොසැලකිලිමත් ලෙස වංචනිකයින්ට ආණ්ඩුකාර ධුර සහ ඉහළම වරප්‍රසාද ලබා දුන්නේ ඔවුන් එම දෙවිවරුන්ට ආදරය කරන අය වූ බැවිනි.
මෙතැන් සිට ඔහු නගරයක් හෝ දිස්ත්‍රික්කයක් නොව මුළු පළාත්ම දැඩි ලෙස රන්, රිදී සහ භාණ්ඩ තක්සේරු කිරීම් මෙන්ම විවිධ දඩ මුදල් ගෙවීමට නියම කිරීම මගින් පීඩාවට පත් කළේය. ධනවතුන්ට ඔවුන්ගේ පාරම්පරික දේපළ අහිමි කරමින්, ඔහු චාටු බස් පවසන්නන්ගේ කණ්ඩායමට ධනය උපයා ගත්තේය. ඔහු කෙතරම් අධික ලෙස මත්පැන් පානය කළේද යත්, ඔහු බීමත්ව සිටියදී වියවුල් වූ අතර, පසුදින සන්සුන් වූ විට පසුතැවිලි වන ආකාරයේ ආඥාවන් නිකුත් කළේය. නොහික්මුණු අශිෂ්ටත්වයේදී ඔහු කිසිවකුටත් තමා අබිබවා යාමට ඉඩ නොදුන් නමුත් ඔහු අවට සිටින අයට දූෂණය පිළිබඳ ගුරුවරයෙකු ලෙස තමාම පත් විය. ඔහු සෑම ආකාරයකම අනවසර දේ කිරීම පිණිස දුෂ්ට ක්‍රියාවන් හරහා හමුදාව අලසකමට නැඹුරු කළ අතර ආණ්ඩුකාරවරුන් සහ අණ දෙන නිලධාරීන් තමා අනුගමනය කළ කුරිරු පාලකයන් මෙන් කොල්ලකෑම් හා කප්පම් ගැනීමෙන් තම යටත් වැසියන්ට පහර දීමට දිරිමත් කරන ලදී. යමෙකුට ඔහුගේ නින්දිත තණ්හාව සිහිපත් කිරීමට අවශ්‍යද, නැතහොත් ඔහු දූෂණය කළ අයගේ සංඛ්‍යාව ගණන් කළ යුතුද? ස්ත්‍රීන් රවටා කන්‍යාවන් රැගෙන නොගොස් ඔහුට නගරයක් හරහා යාම කළ නොහැකි විය.
ඔහු එක් විකල්පයක් හැරුණු කොට මේ සියල්ලෙන් සාර්ථක විය: එනම් මරණය පිළිකුල් කළ සහ ඔහුගේ පිළිකුල් සහගත කුරිරු පාලනය අහෝසි කළ ක්‍රිස්තියානි අය. මේ මිනිස්සු ගින්න, කඩුව සහ ඇණ ගැසීම විඳ දරාගත්හ; වන මෘගයන්ට ගොදුරු වීම සහ මුහුදේ ගිල්වනු ලැබීම විඳ දරාගත්හ; හංවඩු ගසනු ලැබීම සහ අත් පා කපා දමනු ලැබීම; පිහියෙන් ඇනීම, ඇස් උගුල්ලා ඉවතට ගැනීම සහ මුළු ශරීරයම විකෘති කිරීම විඳ දරාගත්හ; එමෙන්ම, ඊට අමතරව, කුසගින්න, දම්වැල්වලින් බඳිනු ලැබීම සහ පතල්වල සිටීම විඳ දරාගත්හ. දෙවියන් වහන්සේට ඇති ගරු බිය නිසා පිළිමවලට මාරු වෙනවාට වඩා ඇදහිල්ල වෙනුවෙන් දුක් විඳීමට ඔවුහු කැමති වූහ. දිව්‍යමය වචනයෙන් ආනුභාවය ලත් ස්ත්‍රීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු පිරිමින් මෙන්ම පිරිමින් හා සමාන ලෙසම සියලු වේදනා දරාගත්හ. ඇතැමෙක් පිරිමින් හා සමාන ආකාරයේ දුක්විඳීම්වලට ලක් වූ අතර නිර්භීතකම සඳහා එම ත්‍යාගම දිනා ගත්හ. තවත් සමහරු වසඟ කිරීමට ඇදගෙන යන අතරම, ඔවුන්ගේ ශරීරයට අගෞරව සිදු වනවාට වඩා ඔවුහු ආත්මය මරණයට භාර දුන්හ.
මේ අය අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේදී කුරිරු පාලකයා විසින් විනාශ කරන ලද, වඩාත්ම ගෞරවනීය ක්‍රිස්තියානි කාන්තාවක් වූවාය. ඇය එකම ව්‍යතිරේකය ලෙස නිර්භීතව මැක්සිමින්ගේ තෘෂ්ණාව ජය ගත්තාය. ඇයගේ උපත, ධනය සහ උගත්කම වෙනුවෙන් සමරනු ලැබුවද ඇය නිහතමානී බව මුල් තැනෙහි ලා කටයුතු කළාය. ඔහු නැවත නැවතත් ඇයට යෝජනා කළද, – ඇය මිය යාමට කැමති වුවද- ඔහුට ඇය මරණයට පත් කිරීමට නොහැකි විය. මන්ද ඔහුගේ තෘෂ්ණාව ඔහුගේ කෝපයට වඩා බලවත් වූ බැවිනි. එම නිසා ඔහු ඇය පිටුවහල් කර ඇගේ දේපළ රාජසන්තක කළේය. පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වේශ්‍යාකමේ තර්ජනයට සවන් දීම පවා ප්‍රතික්ෂේප කළ තවත් ගණන් කළ නොහැකි තරම් පිරිසක්, සෑම ආකාරයකම වධ හිංසාවලට, පහර දීම්වලට සහ මරණීය දණ්ඩනයට ලක් වූහ.
මේවා අපූරු වුවත්, සියල්ලටම වඩා අපූරු වූයේ මැක්සිමින් වැනි කුරිරු පාලකයෙකු වූ මැක්සෙන්ටියස්ගේ ගොදුර වූ උතුම්ම හා නිර්මල වූ රෝමයේ කාන්තාවක්ය. ඇයද කිතුනුවකු වූ අතර, කුරිරු පාලකයාගේ ගනුදෙනුකරුවන් තම නිවසේ සිටින බවත්, ඇගේ ස්වාමිපුරුෂයා රෝම ජනතා නායකයෙකු වුවද, බිය නිසා ඇය රැගෙන යාමට ඔවුන්ට අවසර දී ඇති බවත් දැනගත් විට, ඇය මොහොතකට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය. ඒ ඇය අලංකාර කර ගැනීමට වේලාවක් ලබා ගන්නා ලෙසිනි. ඇගේ කාමරයේ තනිවම සිටි ඇය කඩුවකින් ඇනගෙන ඉක්මනින්ම මිය ගියාය. ඇයගේ මෘත දේහය මිලදී ගන්නන් වෙත තැබුවාය. එහෙත් ඕනෑම වචනයකට වඩා චතුර ලෙස ක්‍රියාවෙන් ඇය සියල්ලන්ටම ප්‍රකාශ කළේ පරාජය කළ නොහැකි සහ නොබිඳිය හැකි එකම සන්තකය වන්නේ කිතුනුවකුගේ යහගුණය බවයි. පෙරදිග හා බටහිර තමන් අතර බෙදාගත් කෲර පාලකයෝ එවැනි ආකාරයේ සමාන්තර දුෂ්ටකමේ ගැඹුරට ගිලී ගියහ. මෙම අපරාධ සඳහා හේතුවක් සොයන ඕනෑම කෙනෙකුට එය අපට එරෙහි හිංසා පීඩා තුළ වූ බව සොයාගත හැකිය. විශේෂයෙන්ම කිතුනුවන්ට ඔවුන්ගේ නිදහස නැවත ලැබෙන තුරු මෙම දරුණු අවුල් සහගත තත්වය නතර නොවූ බැවිනි.
සිවිල් යුද්ධය
15. පීඩා කාලය වූ දශකය පුරාවටම, ඔවුනොවුන්ට එරෙහිව කුමන්ත්‍රණ සහ යුද්ධ නොනැසී පැවතුණි. මුහුදේ යාත්‍රා කළ නොහැකි වූ අතර, ඔවුන් කොතැනක යාත්‍රා කළත් කිසිවකුටත් සෑම ආකාරයකම වධ හිංසාවලින් මිදීමට නොහැකි විය: පහර දීම්, ඔවුන්ගේ ශරීර කොටස් ඉරා දැමීම, සතුරාගේ නියෝජිතයන් විය හැකි යයි සලකා වධහිංසා පැමිණවීම සහ අවසානයේ කුරුසිපත් කිරීම හෝ ගිනිමය දඬුවම් ලබා දීම සිදු කෙරුණි. පලිහ සහ සන්නාහ, හෙල්ල සහ වෙනත් යුධ ආයුධ නිෂ්පාදනය මෙන්ම යුද්ධ රුවල් නැව් ගොඩනැගීම සහ නාවික ආයුධ නිෂ්පාදනයද වේගයෙන් වර්ධනය වූ අතර සියල්ලෝම ආසන්නයේ සිදු විය හැකි සතුරු ප්‍රහාරයක් අපේක්ෂා කළහ. පසුව, සාගතය සහ වසංගතයද ඔවුන් විනාශ කළේය. එය මම නියමිත වේලාවට විස්තර කරමි.
පීඩාවල අවසානය
16. අට වන අවුරුද්දෙන් පසුව ක්‍රමයෙන් අඩු වීමට පටන් ගත් පීඩාව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් දස වැනි අවුරුද්දේදී සම්පූර්ණයෙන්ම අවසන් විය. මක්නිසාද දිව්‍යමය වරප්‍රසාදය අප දෙස බලා සිටින බව පෙන්නුම් කළ විට, අපගේ පාලකයෝ ඔවුන්ගේ මනස වෙනස් කර ගනිමින් පුදුමාකාර ලෙස ආපසු හැරී ගියහ – දිගු කලක් පුරාවට අපට එරෙහිව සතුරුකම් කළ මිනිසුන් – ඔවුහු මානුෂීය අණපනත් සහ ආඥා හරහා පීඩාවේ ඇවිළෙන ගින්න නිවා දැමූහ. කෙසේ වෙතත්, මෙය සිදු වූයේ යමෙකු උපකල්පනය කළ හැකි පරිදි මානව මුලපිරීම හෝ පාලකයන්ගේ දයාව හෝ මනුෂ්‍යත්වය නිසා නොවේය. ඊට හාත්පසින්ම වෙනස් හේතුවකිනි. ආරම්භයේ සිටම ඔවුහු දිනපතාම අපට එරෙහිව වඩාත් දැඩි ක්‍රියාමාර්ග, විවිධ යෝජනා ක්‍රම හරහා නැවුම් ප්‍රහාර දියත් කළහ. මිනිසුන් සමග සමාදාන වීම දිව්‍යමය අනුශාසනාව නිසා විය. එහෙත් මුළු නපුරු පීඩාවේ ප්‍රධාන උසිගැන්වීම් සිදු කර කෝපයට පත් වූ මෙම අපරාධවල අපරාධකරුට [ගැලේරියස්ට] පහර දෙන ලදී. එය දිව්‍යමය විනිශ්චයක් ලෙස සිදු විය යුතු යැයි නියම කර තිබුණද, ශුද්ධලියවිල්ල පවසන්නේ මෙසේය. “පීඩාව යම් අයෙකු වෙතින් පැමිණෙද ඔහුට දුක් වේ,” යනුවෙනි.
දිව්‍යමය දඬුවම [ගැලේරියස්] කෙරෙහිස ක්‍රියාත්මක විය. එය ඔහුගේ මාංසයෙන් ආරම්භ වී ඔහුගේ ආත්මය දක්වා ගියේය. ඔහුගේ ලිංගේන්ද්‍රිය මධ්‍යයේ හදිසියේම තුවාලයක් මතු වූ අතර, පසුව ගැඹුරු වණ සහිත වැඩීමක් සුව කළ නොහැකි ලෙස ඔහුගේ අභ්‍යන්තර බඩවැල් තුළට නෙරා ගියේය. රෝගයට පෙර සිටම කෑදරකම ඔහුගේ මුළු ශරීරයම, නරක් වූ මේදය සහිත විශාල තලයක් බවට පරිවර්තනය කර ඇති නිසා, ඒවායින් විශාල පණුවන් සමූහයක් ඇති වූ අතර, මාරාන්තික දුර්ගන්ධයක් ඇති විය. එය පිළිකුල් සහගත හා බිහිසුණු දර්ශනයක් ඇති කළේය. ඇතැම් වෛද්‍යවරුන්ට අධික, අමුතු දුර්ගන්ධය ඉවසාගත නොහැකි වූ නිසා ඔවුන් මරණයට පත් කරන ලදී. සුවය ලැබීමේ බලාපොරොත්තුවකින් තොරව ස්කන්ධය ඉදිමී තිබූ නිසා කිසිදු උපකාරයක් කළ නොහැකි තවත් අය අනුකම්පාවකින් තොරව මරණයට පත් කරන ලදී.
අධිරාජ්‍යයා ප්‍රතික්ෂේප කරනු ලැබීම
17. මෙම භයානක රෝගය සමග පොරබදමින්, දේවභක්තිකයන්ට එරෙහිව ඔහු කළ කුරිරුකම් ගැන ඔහුට හෘදයසාක්ෂියේ වේදනාවක් දැනුණි. තමා විසින්ම රචනා කිරීමෙන් පසුව, ඔහු මුලින්ම විශ්වයේ දෙවියන් වහන්සේට ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කළ අතර, පසුව ක්‍රිස්තියානීන්ට එරෙහි හිංසා පීඩා වහාම නතර කරන ලෙස ඔහුගේ නිලධාරීන්ට නියෝග කළේය. අධිරාජ්‍ය නීතිය සහ ආඥාව අනුව, ඔවුන් දැන් ඔවුන්ගේ දේවස්ථාන ගොඩනඟා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරමින්, අධිරාජ්‍යයා වෙනුවෙන් යාච්ඤා කරමින් සිටියහ. ක්‍රියාමාර්ගය වහාම සිදු කරන ලද අතර, පහත සඳහන් ප්‍රතිනිර්මාණය සමග සෑම නගරයකම අධිරාජ්‍ය ආඥාපනත ප්‍රකාශයට පත් කරන ලදී. (පැහැදිලිව හඳුනාගැනීම උදෙසා එක් එක් අධිරාජ්‍යයාගේ නම් ලැයිස්තුවේ වඩාත්ම හඳුනාගත හැකි ආකාරයට දක්වා ඇත.)
අධිරාජයා සීසර් ගැලේරියස් වැලේරියස් මැක්සිමියානස් ඉන්වික්ටස් ඔගස්ටස්, පොන්ටිෆෙක්ස් මැක්සිමස්, ජර්මනිකස් මැක්සිමස්, ඊජිප්ෂිකස් මැක්සිමස්, තෙබයිකස් මැක්සිමස්, සර්මැටිකස් මැක්සිමස් පස් වතාවක්, පර්සිකස් මැක්සිමස් දෙවතාවක්, කාර්පිකස් මැක්සිමස් හය වතාවක්, ආර්නේනියස් මැක්සිමස්, මෙඩිකස් මැක්සිමස්, අඩියේබෙලනිකස් මැක්සිමස්, පාලන බලය විසි වන වරටත් දරමින්, දහනවවැනි වතාවට බලධාරියා ලෙස, අටවන පළාත් පාලකවරයා, පැටර් පැට්‍රියා, පළාත් පාලකවරයා.
එසේම අධිරාජ්‍යයා වන සීසර් ෆ්ලේවියස් වැලේරියස් කොන්ස්ටන්ටයින් පෙයස් ෆීලික්ස් ඉන්වික්ටස් ඔගස්ටස්, පොන්ටිෆෙක්ස් මැක්සිමස්, පාලන බලය දරමින්, පස්වන වරටත් බලධාරියා ලෙස, පළාත් පාලකවරයා, පැටර් පැට්‍රියා, පළාත් පාලකවරයා, එසේම අධිරාජ්‍යයා වන සීසර් වැලේරියස් ලිසිනියානස් ලිසිනස් පයස් ෆීලික්ස් ඉන්වික්ටස් ඔගස්ටස්, පොන්ටිෆෙක්ස් මැක්සිමස්, සිව්වන වරටත් පාලන බලය දරමින්, තුන්වන වරටත් පාලකවරයා ලෙස, පළාත් පාලකවරයා, පැටර් පැට්‍රියා, ඔවුන්ගේ පළාත්වල පළාත් පාලකවරයා – ඔවුන්ගේ පළාත්වල ජනතාවට, සුබ පැතුම්.
රාජ්‍යයේ භාවිතය සහ ප්‍රයෝජනය සඳහා අප ගන්නා අනෙකුත් ක්‍රියාමාර්ග අතර, රෝමවරුන්ගේ පුරාණ නීතිවලට සහ මහජන සාමයට නොගැළපෙන ඕනෑම දෙයක් නිවැරදි කිරීමට අපි මීට පෙර ආශාවෙන් සිටියෙමු. ඒ නිසා ඔවුන්ගේම මුතුන් මිත්තන්ගේ විශ්වාසයන් අත්හැර දැමූ කිතුනුවන්ටද එම යහපත් මතවලට නැවතත් හැරී යාම උදෙසා අපි විධිවිධාන සලසා ඇත්තෙමු. සමහර අමුතු තර්ක මගින්, එවැනි උඩඟුකම සහ මෝඩකම ඔවුන් තුළ ඇති කර, ඔවුන්ගේම මුතුන් මිත්තන් විසින් ඇති කර තිබෙන පුරාණ ප්‍රතිපත්ති අනුගමනය නොකර, ඔවුන් තම තමන්ගේ කැමැත්තට ගැළපෙන පරිදි නීති සාදාගෙන, ඒවා එක එක්කෙනාට අවශ්‍ය පරිදි පවත්වමින්, විවිධ ස්ථානවල සෙනඟ රැස් කරමින් ඔවුහු ජීවත් වූහ.
එම නිසා, ඔවුන් පැරැන්නන්ගේ පිළිවෙත්වලට ආපසු යා යුතු බවට අප විසින් ආඥාවක් නිකුත් කරන ලද අවස්ථාවේ, ඔවුන්ගෙන් විශාල පිරිසක් අනතුරට පත් වූ අතර, බොහෝ දෙනෙක් හිරිහැර හා විවිධ ආකාරයෙන් මරණය විඳ දරාගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එකම මෝඩකම සිදු කළ අතර, ඔවුහු ස්වර්ගයේ සිටින දෙවිවරන්ට ඔවුන්ට ලැබිය යුතු නමස්කාරය නොකර හෝ කිතුනුවන්ගේ දෙවියන් වහන්සේට ගෞරව නොකර හැරියහ. මේ අනුව, අපගේ දයාව සහ සියලු මිනිසුන්ට සමාව ලබා දීමේ අපගේ නිරන්තර පිළිවෙත සැලකිල්ලට ගනිමින්, වඩාත් සතුටු සිතින් ඔවුන්ට සමාව දීම මේ අවස්ථාවේදී සුදුසු යැයි අපි සිතුවෙමු. එසේ කිරීමෙන් කිතුනුවන්ට නැවත ජීවත් වීමට සහ ඔවුන් රැස්ව සිටි නිවාසවල නැවතත් රැස්වීමට හැකි වනු ඇත. ඔවුන් මහජන සාමයට එරෙහිව කිසිවක් නොකරන බව සිතීමුව. වෙනත් ලිපියකින් අපි විනිසුරුවන්ට මේ කාරණා ඉදිරියට කරගෙන යා යුතු ආකාරය පෙන්වමු. ඒ අනුව, මෙම අපගේ සහනය සැලකිල්ලට ගෙන, [ක්‍රිස්තියානි අය] අපගේ සහ රාජ්‍යයේ සහ ඔවුන්ගේම සුබසාධනය සඳහා ඔවුන්ගේම දෙවියන් වහන්සේගෙන් අයැදීමට බැඳී සිටීති. එවිට රාජ්‍යයේ සුබසාධනය සෑම ආකාරයකින්ම ආරක්ෂා වී ඔවුන්ට තමන්ගේම නිවෙස්වල බරකින් තොරව ජීවත් වීමට හැකි වනු ඇත.
එබැවින් [මුල්] ලතින් භාෂාවෙන් මට හැකි උපරිමයෙන් ග්‍රීක භාෂාවට පරිවර්තනය කර ඇති ආඥාව කියවන්න. දැන් පසුව සිදු වූයේ කුමක්ද යන්න සලකා බැලීමට කාලයයි.
816 වන පොත සඳහා වන උපග්‍රන්ථය
මෙම ප්‍රකාශයෙන් පසුව, ආඥාවේ කතුවරයා ඔහුගේ වේදනාවෙන් නිදහස් වූ නමුත් ටික කාලයකට පසු මිය ගියේය. ඔහු විපත්තිදායක පීඩාවේ ප්‍රධාන ආරම්භකයා විය: අනෙකුත් අධිරාජ්‍යයන් ක්‍රියා කිරීමට බොහෝ කලකට පෙර ඔහු තම නිවසේ සාමාජිකයන්ගෙන් පටන් ගෙන හමුදාවේ සිටි කිතුනුවන්ද සහමුලින් නැති කිරීමට බලය යොදා ගත්තේය. සමහර අය ඔහු නිලයෙන් පහත් කර ඇත, තවත් සමහරුන්ට නින්දිත ලෙස අපහාස කර හෝ මරණ තර්ජනය කර හෝ ඇත. අවසාන වශයෙන්, ඔහු තම සම-අධිරාජ්‍යයන් සියල්ලන්ම පොදු පීඩාවක් ඇති කිරීම උදෙසා උසි ගැන්වීය.
ඔවුන්ගේ මරණ පිළිබඳ සඳහන් නොකර හැරීම නුසුදුසුය. උත්තරීතර බලය බෙදාගත් හතර දෙනාගෙන්, වයසින් හා ගෞරවයෙන් වඩා උසස් වූ දෙදෙනා [ඩයොක්ලීෂියන් සහ මැක්සිමියන්], මා දැනටමත් පවසා ඇති පරිදි පීඩාව ආරම්භ වී වසර දෙකකටත් වඩා අඩු කාලයකදී පාලනයෙන් විශ්‍රාම ගත්තෝය. එසේ ඔවුන්ගේ ඉතිරි කාලය ගත කළේ පෞද්ගලික පුරවැසියන් ලෙස වන අතර පහත සඳහන් ලෙස ඔවුන්ගේ අවසානයන් සිදු විය. ගෞරවයෙන් සහ වයසින් පළමුවැන්නා [ඩයොක්ලීෂියන්] දිගු හා වේදනාකාරී අසනීපයකට ගොදුරු විය. ඔහුට දෙවැන්නා [මැක්සිමියන්] ඔහුගේ බොහෝ වූ අපරාධ නිසා ගෙල සිරකරගෙන මිය ගොස් යක්ෂමය අනාවැකියක් ඉටු කළේය. ඉතිරි අයගෙන්, අවසාන ස්ථානයේ සිටි [ගැලේරියස්] – සමස්ත පීඩාවේ ආරම්භකයා – ඉහතින් සඳහන් කළ ඉරණමට ගොදුරු විය. එහෙත් ඔහුගේ ආසන්නතම ප්‍රධානියා වූ කොන්ස්ටන්ටියස් [ක්ලෝරස්] ඔහුගේ මුළු රාජ්‍ය කාලයම ගත කළේ ඔහුගේ උසස් නිලයට සුදුසු අයුරින්, ඉතාමත් කරුණාවන්ත සහ සැමට හිතකර ලෙසය. ඔහු අපට එරෙහි යුද්ධයෙන් ඉවත් වූ අතර, ඔහුගේ දේවභක්තික යටත්වැසියන් තුවාලවලින් සහ අපයෝජනවලින් ගලවා ගත්තේය. ඔහු සභාවේ කිසිදු ගොඩනැගිල්ලක් විනාශ කළේ හෝ කිසි අයුරකින් අපට කරදර කළේ හෝ නැත. එබැවින් ඔහු සැබවින්ම ප්‍රීතිමත් සහ තෙවරක් ආශීර්වාද ලත් ජීවිත අවසානයක් ලබා ගත්තේය. ඔහු අධිරාජ්‍යයා ලෙස සිටියදීම තේජාන්විත ලෙස මිය ගියේය. ඔහුට පසුව සෑම අතින්ම විචක්ෂණශීලී හා භක්තිවන්ත නීත්‍යනුකූල පුත්‍රයෙකු අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඔහු [කොන්ස්ටන්ටයින්] ඉතා පරිපූර්ණ පාලක අධිරාජ්‍යයා සහ ඔගස්ටස් ලෙස හමුදාවන් විසින් වහාම ප්‍රකාශයට පත් කරන ලදී. එසේ ඔහු අපගේ ඇදහිල්ල කෙරෙහි ඔහුගේ පියාගේ තිබූ ගරු බිය අනුකරණය කිරීමට තීරණය කළේය.
ඒ හතර දෙනාගේ ඉරණම එසේ විය. අන්තිමට දිවි ගලවා ගත්තේ මා කලින් සඳහන් කළ [ගැලේරියස්ය]. එසේම ඔහු ඉහත සඳහන් කළ ලේඛනය ප්‍රකාශයට පත් කළේය.
අධිරාජ්‍යයන් හතර දෙනා
අනෙක් ඒවාට සාපේක්ෂව මෙම පොතේ ඇති ශෛලීය වෙනස ඉතාම පැහැදිලිය. ඔහුගේ ඉතිහාසය සඳහා අතීත මූලාශ්‍රවලට තවදුරටත් නැංගුරම් නොදැමූ යුසේබියස්, මෙම පිටුවල ඔහු වාර්තා කරන බොහෝ දේ පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් විය. ඒවා ඔහුගේ පෙර පොත්වල සමහර විට අතුරුදහන් වූ ස්වභාවයක් ගනී. මෙහිදී ඔහු සමකාලීන ඉතිහාසඥයා වේ. ඔහු ඔහුගේම නිරීක්ෂණ වාර්තා කිරීම හෝ ඊජිප්තුවේ පීඩා වාර්තාවල මෙන් නිසි ගෞරවය සහිතව වෙනත් අයගේ වාර්තා භාවිත කිරීම සිදු කරයි. මේ සියවස් ගණනාව තුළම මීට පෙර බිහිසුණු හිංසා පීඩා පැවති බවට මෙතරම් දුර පැමිණි ඕනෑම පාඨකයකුට පැහැදිලිය. එහෙත් 8 වන පොතේ ඇති බිහිසුණු වධ හිංසාවලට එකතු කරන ලද වර්ණය, තීව්‍රතාවය සහ දීප්තිමත් විස්තර මගින් යක්ෂයික අධිරාජ්‍යයන්ගේ අවසාන බලාපොරොත්තු සුන්වීම සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ අබිමුඛය යන දෙකම උදෙසා සාක්ෂි දරයි.
සියලු භීෂණය වාර්තා කිරීමට, යුසේබියස් අධිරාජයන්ගේ ප්‍රධානියාට බල කර ඇතැයි කෙනෙකුට සිතෙන්නට ඇත. ඔහු ගැලේරියස්ගේ මරණය පිළිබඳ විකාර වෛද්‍යමය තොරතුරු වාර්තා කිරීමට ප්‍රිය කරයි (එසේම ඔහු මැක්සිමින් ඩෙයියාගේ මරණයද වාර්තා කරයි) – එය හෙරොද්ගේ අවසාන අසනීපය පිළිබඳ ජොසීෆස්ගේ වාර්තාවෙන් ඔහු ඉගෙන ගත් රටාවක් බව පෙනෙන්නට ඇත. එහෙත් ඔහු අධිරාජ්‍යයන්ගේ ම්ලේච්ඡත්වයට ඔබ්බෙන් වූ උසස්, ඊටත් වඩා විස්මයජනක හේතුවක්ද සොයා ගනී: එය ස්ව-තෘප්තිමත්භාවයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන් සිටීම නිසා සහ සභාව තුළ ඇති ආරවුල් නිසා පීඩාවට ඉඩ හැරීමට දිව්‍යමය යුක්තිය ක්‍රියාත්මක වීමක් විය. මෙය සාමාන්‍යයෙන් ඔහුගේ උද්යෝගිමත් ජයග්‍රාහීත්වය සඳහා වරදක් කරමින් ලේඛකයෙකු විසින් කරන ලද කැපී පෙනෙන පිළිගැනීමක් විය.
යුසේබියස් ඔහුගේ කාලයේ දේශපාලන ඉතිහාසයක් සැපයීමට අදහස් කළේ නැත. එහෙත් රෝමය පිළිබඳ සැලකූ විට, අධිරාජ්‍ය ප්‍රතිපත්ති සභවට සම්බන්ධ වූ එම කරුණු පිළිබඳ වාර්තාවක් පමණක් ඔහු ලිවීය. කෙසේ වෙතත්, ඒවා මගින් බටහිර ශිෂ්ටාචාරයේ ගමන් මග වෙනස් කරන ආකාරය අනුව, මේ අවස්ථාවේදී අධිරාජ්‍ය දේශපාලනය ඉතා වැදගත්, සිත් ඇදගන්නා සුලු සහ සියල්ලටත් වඩා සංකීර්ණ වූවක් විය. යුසේබියස්ගේ සමකාලීනයන්ට මෙහි සහ ඊ ළඟ පොත් දෙකෙහි ඇති දේශපාලන පසුබිම තේරුම් ගැනීමට අපහසුවක් නොතිබුණද, නූතන පාඨකයින්ට එය ව්‍යාකූල වන්නට ඉඩ ඇත. පහත සඳහන් කාරණා ඒ උදෙසා උපකාර විය හැකිය.
අශ්වාරෝහක හමුදාවේ නැඟී සිටි නිහතමානී සම්භවයක් ඇති දල්මාතිය ජාතික ඩයොක්ලීෂියන් (284-305) අධිරාජ්‍යය ඉරා දැමූ අර්ධ සියවසේ සිවිල් යුද්ධය අවසන් කළේය. ඔහු ද්‍රෝහී හමුදා සෙබළු ඉවත් කර දමා, රෝමයේ පරිපාලනය ප්‍රතිසංස්කරණය කර, ආර්ථිකය ස්ථාවර කළේය. සියල්ලටත් වඩා, ඔහු පසුගිය දශකවල අවුල් සහගත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා නිර්මාණය කරන ලද යෝජනා ක්‍රමයක් හරහා අධිරාජ්‍ය අනුප්‍රාප්තික ගැටලුව විසඳීමට උත්සාහ කළේය. මීළඟ අධිරාජ්‍යයන් කවුරුන්ද යන්න රෝමවරුන් බොහෝ කලකට පෙර දැන සිටිය යුතු අතර, එසේ කිරීිමෙන් තරගකරුවන් ඉවත් කිරීමෙන් සාමකාමී අනුප්‍රාප්තිකයක් සිදු වනු ඇත. තවද, අධිරාජ්‍යය තනි පාලකයෙකුට පාලනය කළ නොහැකි තරම් විශාල බව ඒත්තු ගැන්වූ ඩයොක්ලීෂියන් දැන් එහි පරිපාලනය බටහිර හා නැගෙනහිර කොටස්වලට බෙදීය. එහි බෙදුම් ස්ථානය ලෙස ඇඩ්‍රියාටික් මුහුද ඇත. ඉතාලිය, ගෝල්, බ්‍රිටැනියාව, ස්පාඤ්ඤය සහ බටහිර උතුරු අප්‍රිකාව ඔහුගේ සගයෙකු වූ මැක්සිමියන් යටතේ මිලාන්හි සිට පාලනය කිරීමට නියමිතව තිබූ අතර, ග්‍රීසිය සහ සියලුම නැඟෙනහිර පළාත් ඩයොක්ලීෂියන් විසින්ම ඔහුගේ නව අගනුවර වන නිකොමීඩියා (නූතන ඉස්මිත්, තුර්කියේ මාමොරා මුහුදේ නැගෙනහිර කෙළවරේ)) සිට පාලනය කරනු ඇත.
ඔගස්ටස් ලෙස හඳුන්වනු ලබන අධිරාජ්‍යවරුන් දෙදෙනා, සීසර් ලෙස හඳුන්වනු ලැබූ එක් යටත් නිලධාරියෙකු බැගින් තෝරා ගත් අතර, ඔහු ඍජුවම අර්ධයෙන් කොටසක් පරිපාලනය කළේය. ඔගස්ටස් විශ්‍රාම ගිය විට හෝ මිය ගිය විට, සීසර්වරුන් දෙදෙනා නව ඔගස්ටස් බවට පත් වනු ඇත. අනෙක් අතට ඔවුහු නව සීසර්වරුන් තෝරා ගනිති. මෙම චක්‍රය දිගටම පවතිනු ඇත. ඩයොක්ලීෂියන් තම සීසර් ලෙස ගැලේරියස් තෝරා ගත් අතර මැක්සිමියන් කොන්ස්ටන්ටයින්ගේ පියා වන කොන්ස්ටන්ටියස් ක්ලෝරස් තෝරා ගත්තේය. මේ අනුව, රටාව පහත පරිදි ආරම්භ විය:
බටහිර
ඔගස්ටි: මැක්සිමියන්
සීසර්: කොන්ස්ටන්ටියස් ක්ලෝරස්
(ගෝල්, බ්‍රිතාන්‍යය පාලනය කළේය)
නැගෙනහිර
ඔගස්ටි: ඩයොලේෂියන්
සීසර්: ගැලේරියස්
(සිරියාව, පලස්තීනය, ඊජිප්තුව පාලනය කළේය)
සෑම සීසර් කෙනෙකුම ඔගස්ටස්ගේ දියණිය සමග විවාහ වූ අතර ඔහු එක්දිනකදී අනුප්‍රාප්තිකයා වනු ඇත. එබැවින් අධිරාජ්‍යය මෙම පාලකයන් හතර දෙනා අතර බෙදී ගියේය.
කොන්ස්ටන්ටියස්ට ආකර්ෂණීය ගුණාංග තිබුණි. ඔහු ක්‍රිස්තියානි ධර්මයට අනුකම්පා කළ මධ්‍යස්ථ මිනිසෙකු වූ අතර ඔහු පාලනය කළ වසම්වල පීඩාවේ බලය මොට කිරීමට උත්සාහ කළේය. පීඩාවෙහි ආඥාවෙහි ලිපියට අනුකූල වීම සඳහා ඔහු සංකේතමය දේවස්ථාන කිහිපයක් පහතට ඇද දැමීය – යුසීබියස් මේ ගැන නොදැන සිටියා විය හැකිය – එහෙත් ඔහුගේ පාලනය යටතේ ඇති ප්‍රදේශවල මරණ දණ්ඩනය සිදු කිරීමට ඔහු ඉඩ දුන්නේ නැත. ඊට හාත්පසින්ම වෙනස්ව, ගැලේරියස්, කුරිරු, ම්ලේච්ඡ, සහ අධිෂ්ඨානශීලී, විශාල ශරීිරයක් සහිත මිනිසෙක් විය. කිතුනුවන්ට විශාල පීඩාවක් ඇති කළේ ඔහුය. ඩයොක්ලේටියානුවෙකු උසිගන්වා, ඔහුට බොහෝ විට ඒවා ඉවසා සිටිය හැකි විය. යුසේබියස් එහි ප්‍රතිඵල වාර්තා කළේ ඉතා වේදනාකාරී විස්තර ලෙසිනි.
ගැලේරියස් නව සීසර් දෙදෙනාම – නැගෙනහිර සඳහා ඔහුගේ බෑනනුවන් වන මැක්සිමින් ඩෙයියා සහ බටහිර සඳහා ඔහුගේ මිතුරා වන සෙවේරස් තෝරා ගත්තේය. මෙය බටහිර සඳහා කොන්ස්ටන්ටියස්ගේ පුත් කොන්ස්ටන්ටයින් හෝ මැක්සිමියන්ගේ පුත් මැක්සෙන්ටියස් තෝරා ගැනීමට ඉඩ තිබූ විටකය.
305 මැයි 1 වන දින, පීඩාව ආරම්භ වී වසර දෙකකට පසු, රෝගාතුර වූ ඩයොක්ලීෂියන්, ගැලේරියස්ගේ මහත් වූ පීඩනය යටතේ, කඳුළු සලමින් තම නිලය අතහැර දමා ඩල්මාතියාව වෙත විශ්‍රාම ගියේය. මීට පෙර, ගැලේරියස් මැක්සිමියන්ද විශ්‍රාම ගැනීම සඳහා පොලඹවා ඇත. නව ඔගස්ටස් වන ගැලේරියස් සහ කොන්ස්ටන්ටියස් ක්ලෝරස් සැලසුම් කළ පරිදි සිදු කළ නමුත් පසුව සියල්ල වැරදී ගියේය. ගැලේරියස් නව සීසර්වරුන් දෙදෙනාම තෝරා ගත්තේය: නැගෙනහිර සඳහා ඔහුගේ බෑනනුවන් වන මැක්සිමින් ඩෙයියා සහ බටහිර සඳහා ඔහුගේ මිතුරා සෙවේරස් පත් කෙරුණි. මෙසේ බටහිරට කොන්ස්ටන්ටියුස්ගේ පුත් කොන්ස්ටන්ටයින් හෝ මැක්සිමියන්ගේ පුත් මැක්සෙන්ටියස් තෝරා ගැනීමට ඉඩ තිබුණි.
කොන්ස්ටන්ටයින් නිකොමීඩියාවෙහි ඩයොක්ලීෂියන්ගේ උසාවියට අනුයුක්ත කර තිබිණි. එහෙත් පසුව ඔහු විශ්‍රාම ගිය විට, කොන්ස්ටන්ටයින් බටහිරට තම පියා සමග එකතු වීමට ගැලේරියස්ගෙන් අවසර ඉල්ලා සිටියේය. එය ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත් කොන්ස්ටන්ටයින් පළා ගොස් දුෂ්කර අශ්වාරෝහක ගමනකින් පසුව ගෝල් වෙත ගොස් තම පියා සමග එක් වීමට සමත් විය. ඔවුන් බ්‍රිතාන්‍යයට ඇතුළු වූ විට සහ කොන්ස්ටන්ටියස් පසුව යෝර්ක්හිදී මිය ගිය පසුව, 306 ජූලි මාසයේදී ඔහුගේ හමුදා ඉක්මනින්ම කොන්ස්ටන්ටයින් ඔගස්ටස් ලෙස ප්‍රකාශයට පත් කළහ. ගැලේරියස් කෝපාවිෂ්ට විය. එහෙත් අකමැත්තෙන් ඔහුට සීසර් යන පදවිය ලබා දුන්නේය. ඒ වෙනුවට, ඔහුගේ මිතුරා වන සෙවේරස් සම-ඔගස්ටස් තනතුරට ඔසවා තැබීය.
කෙසේ වෙතත්, ඔක්තෝම්බර් මාසයේදී රෝමයේදී, මැක්සිමියන්ගේ ප්‍රවීණයන් ඔහුගේ පුත් මැක්සෙන්ටියස් යටතේ කැරලි ගැසූ අතර, ඔහු තම පියා නැවත සිංහාසනයට කැඳවීය. පසුව සෙවේරස් ඔවුන්ට පහර දුන් නමුත් ඔහු අල්ලාගෙන මරා දමන ලදී. මැක්සිමියන් දැන් කොන්ස්ටන්ටයින් සමගින් සන්ධානයක් ගොඩනගාගෙන, ඔහුට ඔගස්ටස් යන පදවි නාමය පිරිනැමූ අතර, 307 මාර්තු 31 දින ඔහුගේ දියණිය ෆවුස්ටා ඔහුට විවාහ කර දුන්නේය. ඔහුගේම පුතා සමග දබර වීමෙන් පසුව, මැක්සිමියන් කොන්ස්ටන්ටයින්ගේ සරණ පැතුවේය. එහෙත් පසුව ඔහු නොමැති විට ඔහුගේ හමුදාව පාලනය කිරීමට උත්සාහ කළේය. ඔහු 310දී මිය ගියේය. එය බොහෝ විට සිය දිවි නසා ගැනීමක් විය හැකිය.
මේ අතර නැඟෙනහිර ප්‍රදේශයේ ගැලේරියස් මිය ගිය සෙවේරස් වෙනුවට ලිසිනියස් පත් කළේය. එසේම මැක්සිමින් ඩෙයියා, ඔහු නොසලකා හැරීම පිළිබඳ අමනාප වූ අතර, ඔගස්ටස් යන පදවි නාමය තමාටම හිමි කරගත්තේය. 311දී ගැලේරියස් රෝගයකින් මිය ගිය විට සමගාමී පාලකයන් පස් දෙනා හතර දෙනෙකු දක්වා අඩු වූ අතර, එම අවස්ථාවේ රෝම අධිරාජ්‍යයේ බලය පහත පරිදි බෙදී ගියේය:
බටහිර
කොන්ස්ටන්ටයින්: ගෝල්, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය
මැක්සෙන්ටියස්: •ඉතාලිය සහ අප්‍රිකාව
නැගෙනහිර
ලිසිනියස්: බෝල්කන් අර්ධද්වීපය
මැක්සිමින් ඩෙයියා: සුළු ආසියාව, සිරියාව, ඊජිප්තුව
රෝම අධිරාජ්‍යයන්ගේ සාමාන්‍ය අභිලාෂයන් අනුව, මෙම විධි විධාන වැඩි කල් පවතිනු ඇතැයි කෙනෙකුට සැක කළ හැකිය.
