Eusebius, The Church History in Sinhala, book 7. Translated with permission from Paul L. Meier, Eusebius, The Church History: A New Translation with Commentary, 1999. Sinhala translation is Public Domain.
හත්වන වන පොත: ඩයොනිසියස් සහ ප්‍රතිවිරෝධතාව (විසම්මුතිය)
ගාලස් සිට ඩයොක්ලීෂන්දක්වා
7වන පොත
ඩයොනිසියස් සහ ප්‍රතිවිරෝධතාව (විසම්මුතිය)
ගාලස් සිට ඩයොක්ලීෂන් දක්වා
සභා ඉතිහාසය 7 වන පොත ලිවීමේදී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශ්‍රේෂ්ඨ රදගුරු ඩයොනිසියස්ගේ ලිපි නැවතත් මගේ කාර්යයේදී මට උපකාරයක් වනු ඇත. මගේ වාර්තාවෙහි ආරම්භයක් ලෙස මම ඒවා සමගින් ආරම්භ කරමි.
ගාලස්ගේ අනුවණකම
- ඩේසියස් වසර දෙකකට ආසන්න කාලයක් පාලනය කරන කල, ඔහු සහ ඔහුගේ පුතුන් 251 දෙනා ඝාතනය කරන ලද අතර ඔහුගෙන් පසුව ගාලස් අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. වයස අවුරුදු හැට නවයේදී ඔරිජන් මිය ගියේ මේ වකවානුවේදීය. හර්මමොන් (Hermammon) වෙත ලිපියක් යවමින් ගාලස් පිළිබඳ ඩයොනිසියස් මෙසේ පවසයි:
ගාලස් ඩේසියස්ගේ වැරැද්ද අවබෝධ කරගැනීමට හෝ ඔහුගේ වැටීමට හේතු වූ කාරණය වළක්වා ගැනීමට අසමත් විය. එසේ ඔහු එම වැරැද්දම සිදු කරමින්, ඇස් ඇරී තිබුණද එම ගල මතම පැකිළී වැටුණේය. ඔහුගේ පාලනය සමෘද්ධිමත් වන විට සහ කාරණා ඔහුගේ අභිමතය පරිදි සිදු වන විට, ඔහු ඔහුගේ සාමය සහ සෞඛ්‍ය සම්පන්න බව උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කළ ශුද්ධ මිනිසුන් නෙරපා හැරියේය. ඔවුන් නෙරපා හැරීමේදී ඔහු තමා වෙනුවෙන් ඔවුන්ගේ යාච්ඤාවන්ද පිටුවහල් කළේය.
කලින් සිටි මිථ්‍යාදෘෂ්ටිකයින් නැවත බෞතීස්ම කිරීම (නැවත ගෙන ඒම); සෙබලියන්වාදය
- රෝම නගරයේ, කොර්නේලියස් වසර තුනක් පමණ කාලයක් රදගුරු ලෙස සිටියදී, ලුසියස් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගන්නා ලදී. එහෙත් මාස අටකටක් අඩු කාලයක් සේවය කිරීමෙන් පසුව ඔහු මිය ගියේය. ඔහුගේ තනතුරට ස්ටීෆන් පත් විය. ඩයොනිසියස් බෞතීස්මය පිළිබඳ ඔහුගේ පළමුවන ලිපිය ඔහු වෙත ලිවීය. එහිදී ඕනෑම ආකාරයක මිථ්‍යාදෘෂ්ටියක් හේතුවෙන් ඇදහිල්ලෙන් ඉවත් වූ අය [නැවත] බෞතීස්ම කිරීමෙන් පවිත්‍ර කිරීම අවශ්‍යද යන්න පිළිබඳ සැලකිය යුතු මතභේදයක් පැන නැගී ඇත. එවැනි අවස්ථාවලදී යාච්ඤා කිරීම සහ අත් තැබීම පමණක් ප්‍රමාණවත් බවට පැරණි චාරිත්‍රයක් පැවතුණි.
- එහෙත් කාර්තේජ්හි දේවගැතිවරයා වන සයිප්‍රියන්, බෞතීස්ම කිරීම මගින් පවිත්‍ර කිරීමෙන් පසුව පමණක් ඔවුන් නැවත භාර ගත යුතු බව අවධාරණය කළ ඔහුගේ කාලයේ සිටි පළමුවැන්නා විය. කෙසේ වෙතත්, ස්ටීවන් ආරම්භයේ සිට ස්ථාපිත සම්ප්‍රදායට පටහැනිව ඕනෑම නව තත්වයක් ඇති කිරීම වැරදි බව සිතූ අතර, ඔහු ඒ පිළිබඳ ඉතා කෝපයට පත් විය.
- එබැවින් ඩයොනිසියස් ඔහුට මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලිපියක් ලිවීය. පීඩාවන් පහව යාමත් සමග සෑම තැනකම සභාවන් නොවාටස් (Novatus) ආරම්භ කළ නව තත්වයන් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඔවුන් අතර සාමය නැවත ආරම්භ වී ඇති බවත් එහි අවසානයේදී ඔහු පෙන්වා දුන්නේය. ඔහු පහත සඳහන් ආකාරයට ලිවීය:
- මගේ සහෝදරයා, නැගෙනහිර සහ ඉන් ඔබ්බෙහි ඇති කලින් බෙදී තිබූ සියලුම සභාවන් දැන් නැවතත් සමගි වී ඇත. ඔවුන්ගේ සියලු රදගුරුවරුන් එක්සිත් වී ඇත. ඔවුහු විස්මිත සාමයේ පැමිණීම පිළිබඳ අතිශයින් ප්‍රීතියට පත් වී සිටිති: අන්තියෝකියේ ඩිමෙට්‍රියන්, සිසේරියාවේ තියෝක්ටිස්ටස්, ඒලියාවේ මැසබේන්ස්, තීර්හි මේරිනස් (ඇලෙක්සැන්ඩර් මිය ගිය බැවින්), ලවෝදීසියාවෙහි හීලියෝඩෝරස් (තිලනිඩ්‍රස් මිය ගිය දින සිට), තාර්සස්හි හෙලේනස් සහ සිසිලියාවෙහි, ෆර්මිලියන්හි සහ සියලුම කපදෝසියාවෙහි සභාවන්. මගේ ලිපිය දිග වැඩි වීම සහ උදාසීන වීම මග හැරීම සඳහා වඩාත් ප්‍රමුඛ රදගුරුවරුන් පමණක් මම නම් කරමි. තවමත්, ඔබ නිරතුරුවම උපකාර කරන සහ ඔබ ලිපි ලියා ඇති මුළු සිරියාවම සහ අරාබිය මෙන්ම මෙසපොතේමියාව, පොන්තස් සහ බිතිනියාව – එක් වදනකින් පවසනවා නම් – සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ප්‍රීතියට පත් වී ඇත. ඔවුහු සාමය සහ සහෝදර ප්‍රේමය පිළිබඳ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරති.
ස්ටීවන් වසර දෙකක් දේවසේවය ඉටු කළ පසුව සිස්ටස් [II] ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඩයොනිසියස් ස්ටීවන් සහ අනෙකුත් රදගුරුවරුන් දැරූ අදහස් පෙන්නුම් කරමින් සහ ස්ටීවන් පිළිබඳ පහත සඳහන් ආකාරයට කතා කරමින් බෞතීස්මය පිළිබඳ දෙවන ලිපියක් ඔහුට ලිවීය:
හෙලේනස්, ෆර්මිලියන් සහ සිලිසියාවෙහි, කපදෝසියාවෙහි සහ ගලාතියෙහි සියලු දෙනා සම්බන්ධයෙන් සහ යාබද සියලුම පළාත්වල අය පිළිබඳ දක්වමින් ඔවුන් මිථ්‍යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම කළ බැවින් ඔවුන් සමග අනාගතයේදී ඔහු සමග ඇසුරු නොකරන බව ඔහු මීට පෙර ලියා ඇත. මෙය කෙතරම් බරපතල කාරණයක්ද යන්න සලකා බලන්න. මිථ්‍යාදෘෂ්ටික මත දරා නැවත පැමිණි අයට පළමුව උපදෙස් දෙනු ලැබ, පසුව පැරණි මුහුන්වල අපිරිසිදුකමෙන් නැවත පිරිසිදු කර සෝදා හරිනු ඇත, යනුවෙන් රදගුරුවරුන්ගේ විශාලතම සිනොඩයන් (සභා නායක මණ්ඩල) විසින් යෝජනා සම්මත කරනු ලැබ ඇත. ඒ නිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් අභියාචනයකින් මම ඔහුට ලිව්වෙමි … මම මීට පෙර සිටි මගේ ආදරණීය සහෝදර වැඩිමහල්ලන් වන ඩයොනිසියස් සහ පිලෙමොන් වෙතද ලිව්වෙමි. පිලෙමොන් ස්ටීවන්ගේ අදහස බෙදාගෙන ඒ සම්බන්ධයෙන් මට ලියූ අයෙකි.
- එම ලිපියේම ඔහු සෙබෙලියන් මිථ්‍යාදෘෂ්ටිකයන් පිළිබඳ සඳහන් කරන අතර, ඔහුගේ කාලයේ බොහෝ ඔවුන්ගෙන් දෙනෙකු සිටි බව සඳහන් කරයි:
පෙන්තපොලිසයෙහි ටොලමයිස්ගෙන් දැන් ආරම්භ වන ධර්ම නියාමකය අභක්තික, සර්වබලධාරී දෙවියන් වහන්සේට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේට එරෙහිව නිර්දය අපහාසයකි; මුළු මැවිල්ලේ කුලුඳුලා වන, මිනිසා සෑදු වාක්‍යාණෝ වන පියාණන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා කෙරෙහි සම්පූර්ණ අවිශ්වාසයකි; එසේම ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි උදාසීනත්වයකි. පළමුව ලේඛන මගින් සහ පසුව සහෝදරයන් ප්‍රශ්නය විවාද කිරීමට සූදානම්ව, දෙපාර්ශ්වයෙන්ම ප්‍රශ්නය මා වෙත පැමිණි කල, මම ප්‍රශ්නය සමග කටයුතු කරමින් දෙවියන් වහන්සේගේ උපකාරයෙන් මට හැකි උපරිමයෙන් තරමක් උපදේශාත්මක ආකාරයකින් ලිපි ලිව්වෙමි. මම ඔබට ඒවායෙහි පිටපත් එවමි.
වෙනත් මිථ්‍යාදෘෂ්ටිකයන් සම්බන්ධයෙන් ඩයොනිසියස්
- බෞතීස්මය පිළිබඳ ඔහුගේ තුන්වන ලිපියේ, ඩයොනිසියස් රෝම වැඩිමහල්ලා වන පිලෙමොන්ට පහත සඳහන් කාරණා ලියයි:
මම මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ලියවිලි සහ ඉගැන්වීම් ඔවුන්ගේ පිළිකුල් සහගත සංකල්ප සමග ටික වේලාවක් මගේ ආත්මය අපවිත්‍ර කරමින් කියවා ඇත්තෙමි. එසේ වූවද මෙම ප්‍රතිලාභය ලබා ගත්තෙමි: මටම ඒවා ප්‍රතික්ෂේප කිරීමට හැකි වූ අතර, ඒවා තව තවත් පිළිකුල් කිරීමට මට හැකි විය. ඇත්ත වශයෙන්ම, වැඩිමහල්ලෙකු වන එක් සහෝදරයෙක්, මගේ ආත්මයට හානියක් නොවන පිණිස ඔවුන්ගේ දුෂ්ටකමේ මඩ ගොහොරුවේ ගිලීමෙන් මා වළක්වා ගැනීමට උත්සාහ කළේය. ඔහු නිවැරදි විය. එහෙත් දෙවියන් වහන්සේගෙන් පැමිණි දර්ශනයක් මගින් මා ශක්තිමත් වූ අතර, හඬකින් මට මෙසේ අණ කරන ලදී: “ඔබට සෑම දෙයක්ම පරීක්ෂා කිරීමට හැකි බැවින් ඔබ අතට ලැබෙන සෑම දෙයක්ම කියවන්න. ඔබ ඇදහිල්ලට පැමිණියේ ඒ නිසාය.” මම දර්ශනය පිළිගත්තෙමි. මන්ද එය ශක්තිමත් අයට ආමන්ත්‍රණය කරන ලද අපෝස්තලික ශික්ෂා පදයට අනුකූල වන බැවිනි: “දක්ෂ මුදල් මාරු කරන්නන් වන්න.
ඉක්බිතිව සියලු මිථ්‍යාදෘෂ්ටීන් පිළිබඳ අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේ පවසයි:
අපගේ ආශීර්වාද ලත් හෙරක්ලස් පාප් වහන්සේ වෙතින්ම මා ලැබූ රීතිය සහ පිළිවෙත මෙය වේ. මිත්‍යාදෘෂ්ටිය අත්හැරිය අය සභාවේ සාමාජිකයන් ලෙස සැලකේ. එසේම සභාවේ සිටියදීම මිථ්‍යාදෘෂ්ටික ගුරුවරුන්ගෙන් ඉගෙනීම ලැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අය ඔහු සභාවෙන් නෙරපා හැරියේය. එසේම ඔවුන් තම විරුද්ධවාදීන්ගෙන් ඇසූ සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තෙක් ඔවුන්ගේ සියලු ආයාචනාවලට ඇහුම්කන් නොදී සිටියේය. එවිට ඔහු ඔවුන් නැවත බෞතීස්ම කිරීමේ අවශ්‍යතාවය නොදක්වා නැවත ඔවුන් සභාවට පිළිගත්තේය. මන්ද ඔවුන් කලින් ඔහුගෙන් ශුද්ධ වූ [බෞතීස්මය] ලබා තිබූ බැවිනි.
මෙම ප්‍රශ්නය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඔහු තවදුරටත් මෙසේ පවසයි: අප්‍රිකානුවන් මෙම පුරුද්ද හඳුන්වා දුන්නේ නැත. බොහෝ කලකට පෙරදී මගේ පූර්වගාමී රදගුරුවරුන්ගේ කාලයේදී, වඩාත්ම ජනාකීර්ණ සභා සහ සිනොඩයන්, ඉකෝනිය, සිනැන්ඩා සහ තවත් බොහෝ ස්ථානවල සභාවන් මෙම කරුණ පිළිගෙන ඇත. මම ඔවුන්ගේ තීරණ අවලංගු කිරීමට එඩිතර නොවෙමි. එසේම ඔවුන් ආරවුල් සහ මතභේදයට ඇද දමන්නට නොයමි. “… නුඹේ උරුමයෙහි පුරාතනයන් විසින් නියම කළාවූ නුඹේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.” (ද්විතිය කතාව 19.14)
ඔහුගේ ලිපිවලින් හතරවන ලිපිය බෞතීස්මය පිළිබඳය. එය රෝමයේ ඩයොනිසියස්ට ලියා ඇති අතර, ඔහු එවකට වැඩිමහල්ලා ලෙස පත් කර තිබූ අතර, ඉතා ඉක්මනින්ම රදගුරු බවට පත් විය. එහි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනිසියස් නොවාටස් සම්බන්ධයෙන් මෙසේ පවසන කල, ඔහුගේ උගත්කමට සහ ප්‍රශංසනීය චරිතයට උපහාර දක්වයි.
- මා නොවාෂියන් පිළිබඳ අමනාප වන්නේ හොඳ හේතුවක් ඇතුවයි: ඔහු සභාව දෙකඩ කර ඇත, අසභ්‍ය වචන සහ දේවාපහාසයට සහෝදරයන් පොලඹවා ඇත, දෙවියන් වහන්සේ පිළිබඳ අභක්තික ඉගැන්වීම් හඳුන්වා දී ඇත, එසේම අපගේ දයාවන්ත ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුකම්පා විරහිත යැයි බොරුවට චෝදනා කර ඇත. මේ සියල්ලට අමතරව ඔහු ශුද්ධ වූ බෞතීස්මය පසෙකට දමා, එය ඇදහිල්ල සහ එයට පාදක වන ඇදහිලි ප්‍රකාශයන් පෙරළා දමයි. එමෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ නැවතීම හෝ නැවත පැමිණීම පිළිබඳ යම් බලාපොරොත්තුවක් එහි ඇති විට සම්පූර්ණයෙන්ම උන් වහන්සේ නෙරපා හරියි.
- ඔහුගේ පස්වන ලිපිය ලියා ඇත්තේ රෝමයේ රදගුරු සිස්ටස් (සිස්ටස්) [II] වෙතය. එහිදී ඔහු මිථ්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව බොහෝ චෝදනා නගන අතර පහත සඳහන් සිදුවීම වාර්තා කරයි: ඇත්ත වශයෙන්ම, මගේ සහෝදරයා, මා මුහුණපාන ගැටලුවක් සම්බන්ධයෙන් මට ඔබේ උපදෙස් අවශ්‍යය. මන්ද මට වරදියි කියා මට බියක් ඇති බැවිනි. මගේ තේරී පත්වීමට පෙර සහ මා සිතන ආකාරයට ආශීර්වාද ලත් හෙරක්ලාස් පත් කිරීමට පෙර, සභාවේ විශ්වාසවන්ත සාමාජිකයෙක් මෑතකදී පැවති බෞතීස්මයකට සහභාගී විය. එහිදී ඔහු ප්‍රශ්න සහ පිළිතුරුවලට සවන් දුන්නේය. පසුව ඔහු කඳුළු සලමින් මා වෙත පැමිණ මගේ පාමුල වැටී, ඔහු මිථ්‍යාදෘෂ්ටිකයින්ගෙන් ලබාගත් බෞතීස්මය අපගේ බෞතීමය මෙන් නොවන බවට පාපොච්චාරණය කළේය. මන්ද එය අසභ්‍ය වචන සහ දේවාපහාස කිරීම්වලින් පිරී තිබූ බැවිනි. එය ඔහුගේ හදවතේ හැඟීම් තදින්ම රිදවා තිබිණි. ඔහු මෙසේ කීවේය. එසේම එවන් වූ අශුද්ධ වචන සහ ක්‍රියා සමගින් ආරම්භ කිරීමෙන් පසු දෙවියන් වහන්සේ දෙසට ඇස් එසවීමටවත් එඩිතර වූයේ නැත. එසේ නම්, ඔහු මෙම පිරිසිදු වූ පවිත්‍ර කිරීමේ, පිළිගනු ලබන සහ කරුණා අනුග්‍රහයේ [නැවත බෞතීස්මය] අයැද සිටියේය. මෙයට මා ඔහු අප සමග ඇති දිගුකාලීන ඇසුර ප්‍රමාණවත් බව පවසමින් එසේ බෞතීස්ම කිරීමට එඩිතර වූයේ නැත. ඔහු දිව්‍ය සත්ප්‍රසාද යාච්ඤාවන් අසා ඊට සම්බන්ධ වී සිට ආමෙන් යයි එකඟ විය; ඔහු අපගේ ස්වාමීන් වහන්සේගේ ශරීරය සහ රුධිරයට පංගුකාර වෙමින් දිගු කාලයක් ඔහු මේසය අසල සිටගෙන ඔහුගේ අතින් ශුද්ධ වූ ආහාරය ලබා ගත්තේය. ඒ නිසා මුල සිටම ඔහු ගොඩගන්නට මා එඩිතර වූයේ නැත. ධෛර්යවත් වී ස්ථිර විශ්වාසයකින් හා ස්ථිර බලාපොරොත්තුවකින් ශුද්ධ දේවලට පංගුකාරයෙකු වන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. එහෙත් ඔහු දිගටම වැලපෙමින් සිටි අතර, මේසයට ළං වීමට වෙව්ලමින් සිටියේය. ඔහුට එයට සහභාගි වන මෙන් ආරාධනා කළද, යාච්ඤාවන්හිදී “අනෙක් නරඹන්නන්” සමග සිටිමින් ඔහු එයට සහභාගි නොවීය.
ඉහත සඳහන් කළ ලිපිවලට අමතරව, ඔහු සහ ඔහුගේ රදගුරු පදවිය විසින් බෞතීස්මය පිළිබඳ තවත් ලිපියක් සිස්ටස් සහ රෝමයේ සභාව වෙත ලියන ලදී. එහි ඔහු මෙම විෂය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරයි. ලුසියන් සම්බන්ධයෙන් දක්වමින් රෝමයේ ඩයොනිසියස් වෙත ලියන ලද ඔහුගේ තවත් ලිපියක් තවමත් පවතී.
වැලේරියන්ගේ පීඩා කිරීම
- ගාලස් සහ ඔහුගේ සහචරයින් විසින් වසර දෙකකට අඩු කාලයක් පාලනය කිරීමෙන් අනතුරුව, ඔවුන් වැලේරියන් සහ ඔහුගේ පුත්‍රයා වූ ගැලියේනස් (Gallienus) පත් කිරීමට ඉවත් කර දමන ලදී. ඩයෝනිසියස් විසින් හර්මමොන් වෙත ලියන ලද ඔහුගේ ලිපියෙන් පහත විස්තරය ලබා දෙයි:
එළිදරව් පොතේ යොහන් මෙසේ පවසයි: ” අහංකාර දේවල්ද දේව අපහාසද කථා කරන මුඛයක් ඌට දෙන ලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙන ලද්දේය.” වැලේරියන්ගේ අංශ දෙකම පුදුම සහගතය. දෙවියන් වහන්සේගේ සෙනඟ වෙත වූ ඔහුගේ පෙර හැසිරීම මෘදු හා මිත්‍රශීලී විය: ඔහුට පෙර සිටි කිසිම අධිරාජ්‍යයෙකු ඔවුන් කෙරෙහි එතරම් කාරුණිකව සැලකුවේ නැත. ඔහුට පෙර සිටි කිතුනු යයි පවසන ලද අධිරාජ්‍යවරු පවා එසේ නොකළහ. මන්ද ඔහු ආරම්භයේදී පැහැදිලිවම ඔවුන් සමීපව මිත්‍රත්වය පාමින් පිළිගත්තේය. ඇත්ත වශයෙන්ම, ඔහු තම මුළු මාලිගයම දෙවියන් වහන්සේගේ සභාවක් බවට පත් කරමින්, එය දේව භක්තික සෙනගගෙන් පිරෙව්වේය. එහෙත් ඊජිප්තු ඉන්ද්‍රජාලිකයන්ගේ කණ්ඩායමේ ගුරුවරයා සහ නායකයා [මැක්‍රියන්] ඔහුගේ පිළිකුල් සහගත මන්ත්‍රවලට බාධා කළ ප්‍රතිවාදීන් ලෙස පිරිසිදු හා ශුද්ධ මිනිසුන්ට පීඩා කර මරා දමන්නට ඔහුට ඒත්තු ගැන්වීය. (මන්ද දුෂ්ට යක්ෂයන් හුදෙක් ඔවුන්ගේ වචනයෙන් සහ හුස්මෙන් විසුරුවා හැරීමට ඔවුහු සමත්ව සිටියෝය.) ඔහු අශුද්ධ චාරිත්‍ර, පිළිකුල් සහගත උපක්‍රම මෙන්ම පිරිමි ළමයින්ගේ බෙල්ල කැපීම, අලුත උපන් බිළිඳුන්ගේ අත්‍යවශ්‍ය අවයව කපා දැමීම ආදී අශුභ පූජාවන් එසේ කපා දැමීම මගින් දෙවියන් වහන්සේගේ අත්වැඩ ඔවුන්ට සතුට ගෙන එනු ඇත්තාක් මෙන් සිදු කිරීමට ඔහු පෙලඹෙව්වේය. …
මැක්‍රියන් අධිරාජ්‍ය ගිණුම් සම්බන්ධයෙන් කළමනාකරු ලෙස සිටියදී, ඔහු තාර්කික හෝ කතෝලික මනසක් පෙන්වූයේ නැත. දැන් ඔහු අනාවැකිමය ශාපයට වැටී ඇත, “සමස්තය නොදකින සහ ඔවුන්ගේම හදවතේ ඇති දෙයින් අනාවැකි පවසන අයට දුක් වේ.” මන්ද ඔහු දේව දීමනාවෙහි විශ්වීයත්වය හෝ ඔහුට පෙර සිටි අයගේ සහ සමස්තයක් ලෙස විනිශ්චය තේරුම් නොගත් බැවිනි. එබැවින්, ඔහු ඔහුගේ කතෝලික සභාවේ සතුරෙකු, දෙවියන් වහන්සේගේ දයාවෙන් ඈත් වූ අයෙකු බවට පත් වී ඇත. එසේම ඔහුගේ නාමයේ සත්‍යතාව ඔප්පු කරමින්, තමාගේම ගැලවීමෙන් හැකිතාක් දුරට තමාම නෙරපා හැර ඇත. 7 ඔහු විසින් මෙයට පොලඹවනු ලැබ ඇති බැවින්, යෙසායා පැවසූ පරිදි වැලේරියන් අපහාස කිරීමට හා අපයෝජනය කිරීමට ලක් විය. “එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරා ගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රිය වේ. මමත් ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් භය වන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි.” (යෙසායා 66.3-4)
අධිරාජ්‍යයා බවට පත් වීමට උමතුවෙන් සිටි නමුත් ඔහුගේ ආබාධිත ශරීරය අධිරාජ්‍ය සළු පිළිවලින් අලංකාර කිරීමට නොහැකි විය. [මැක්‍රියන්] ඔහුගේ පුතුන් දෙදෙනා ඉදිරිපත් කළේය. එබැවින් එවුහු අනාවැකිය ඉටු කරමින්, තම පියාගේ පාපයන් උරුම කරගත්තෝය. “මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම, මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්ෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ දෙවියන් වහන්සේය.” (නික්. 20.5) ඔහුගේම නපුරුකම පැටවීමේදී අසාර්ථක වුවද, ඔහුගේ පුතුන්ගේ හිස මත එම අභිලාෂයන් පටවා, ඔහු තමාගේම දුෂ්ටකම සහ දෙවියන් වහන්සේ කෙරෙහි වෛරය නිසා ඔවුන් අතුගා දැමා ඔවුන්ගෙන් නිදහස් විය.
- ඔහුගේ කාලයේ දරුණු ලෙස පැතිර ගිය පීඩා සම්බන්ධයෙන්, ඩයොනිසියස් සහ ඔහුගේ සගයන් දෙවියන් වහන්සේ වෙත වූ ඔවුන්ගේ භක්තිය නිසා විඳ දරාගත් දේ ඔහු විසින් ජර්මානුස්ට එරෙහිව ලියන ලද ඔහුගේ දීර්ඝ ලිපියෙන් පැහැදිලි වේ. ජර්මානුස් වූ කලි ඔහු අපකීර්තියට පත් කිරීමට උත්සාහ කළ ඔහුගේ කාලයේ සිටි රදගුරුවරයෙකි:
මා උදෙසා වන දෙවියන් වහන්සේගේ පුදුමාකාර කරුණාව වාර්තා කිරීමට මට බල කිරීම නිසා මම මෝඩකම සහ අඥාන බව අවදානමට ලක් කරමි. එක් ” රජ කෙනෙකුගේ රහස ආරක්ෂා කිරීම යහපත් නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රියා එළිදරව් කිරීමට තේජවත්ය.” මම ජර්මානුස්ගේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වන්නම්. මම ඇමිලියේනස් ඉදිරියේ පෙනී සිටියෙමි. එහෙත් ඒ තනිවම නොව, මගේ සෙසු සගයන් වන වැඩිමහල්ලා වන මැක්සිමස් සහ උපස්ථායකයන් වන ෆවුස්ටස්, යුසීබියස් සහ චේරෙමන් මෙන්ම රෝමයේ සිට පැමිණි සහෝදරයන්ගෙන් එක් අයෙකුද සමගිනි. ඇමිලියේනස් “රැස්වීම් පවත්වන්න එපා” යන වචන නොපැවසීය. මන්ද එසේ පැවසීම කාරණයේ මූලයට යමින් සිටි අයෙකුට ප්‍රයෝජනවත් නොවන බැවිනි. ඒ වෙනුවට ගේ ක්‍රිස්තියානි ධර්මය අත්හරින්න යය ඔහු මට නියෝග කළේය. එහිදී මා වෙනස් වුවහොත් අනෙකුත් දියලු දෙනාද මා අනුගමනය කරමින් වෙනස් වනු ඇති බවට ඔහු උපකල්පනය කළේය. එහෙත් මම මෙසේ පිළිතුරු දුන්නෙමි. “අප මිනිසුන්ට වඩා දෙවියන් වහන්සේට කීකරු විය යුතුයි ” (ක්‍රියා 5:295.29) එසේ මා එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන බවත් අන් කිසිවෙකුට නමස්කාර නොකරන බවත්, කිසි විටෙකත් කිතුනුවෙකු වීමෙන් නතර නොවන බවත් පැවසීමි. එසේ කීමත් සමග ඔහු අපට කාන්තාරය අසල සෙෆ්රෝ නම් ගමකට යන ලෙස අණ කළේය. එහෙත් නිල වාර්තාවෙන් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න:
ඩයොනිසියස්, ෆෝස්ටස්, මැක්සිමස්, මර්සෙලස් සහ චෙරීමන් උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී, නියෝජ්‍ය ආණ්ඩුකාර ඇමිලියේනස් (ඇමිලියේනස්) මෙසේ පැවසීය. “අපේ ස්වාමිවරුන්ගේ [වැලේරියන් සහ ගැලියේනස්] ත්‍යාගශීලීත්වය ඔබට දක්වා ඇති බව මම ඔබට කීවෙමි: ඔබ ස්වාභාවික දේ කරන්නේ නම් සහ ඔවුන්ගේ පාලනය ආරක්ෂා කරන නමුත් අස්වාභාවික කාරණා අමතක කරන දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නම් නිදහස් වීමට අවස්ථාවෙ තිබේ. ඔබ එයට කියන්නේ කුමක්ද? ඔබේම යහපත සඳහා ඔවුන් ඔබට උපදෙස් දෙන බැවින් ඔබ ඔවුන්ගේ කරුණාවට අකෘතඥ වනු ඇතැයි මම සැක කරමි.”
ඩයොනිසියස්: සැම මනුෂ්‍යයෙක්ම සැම දෙවි කෙනෙකුටම නමස්කාර නොකරන අතර තමා දෙවියන් යයි සලකන අයට නමස්කාර කරති. අප නමස්කාර කරන්නේ එකම දෙවියන් වහන්සේ සහ සියලු දේවල මැවුම්කරුවාණන් වහන්සේටය. උන් වහන්සේ තමන් වහන්සේගේ වඩාත්ම ආදරණීය ඔගස්ටි, වැලේරියන් සහ ගැලියේනස් හට අධිරාජ්‍යය භාර දී ඇති සේක. එසේ ඔවුන්ගේ පාලනය නොසැලී පවතින පිණිස අපි උන් වහන්සේට නොකඩවම යාච්ඤා කරන්නෙමු. වැඩබලන ආණ්ඩුකාරවරයා වන ඇමිලියේනස්: ඔහු දෙවි කෙනෙකු නම් ස්වාභාවික දෙවිවරුන් සමග මේ දෙවියන්ටත් නමස්කාර කිරීමෙන් ඔබ වළක්වන්නේ කවුද? දෙවිවරුන්ට නමස්කාර කරන ලෙසත්, සියල්ලන් දන්නා දෙවිවරුන්ට නමස්කාර කිරීමටත් ඔබට අණ කර ඇත.
ඩයොනිසියස්: අපි වෙන කිසිවෙකුටත් නමස්කාර නොකරන්නෙමුව.
ඇමිලියේනස්: අපේ ඔගස්ටිගේ සමාව ලැබීමට ඔබ අකෘතඥ මෙන්ම සංවේදී නොවන බව මට පෙනේ. එබැවින් ඔබ මෙම නගරයේ නොසිට, ලිබියාවේ සෙෆ්රෝ නම් ස්ථානයට පිටත් වනු ඇත. එම ස්ථානය අපගේ ඔගස්ටිගේ අණ පරිදි තෝරා ගන්නා ලදී. කිසිම තත්වයක් යටතේ ඔබට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට රැස්වීම් පැවැත්වීමට හෝ ඊනියා සුසාන භූමිවලට ඇතුළු වීමට අවසර නොලැබේ. යමෙකු නියමිත ස්ථානයට යාමට අපොහොසත් වුවහොත් හෝ කිසියම් රැස්වීමකදී හමු වුවහොත්, ඔබ ගැන නිරීක්ෂණය කරනු ලබන බැවින්, ඔහු තමාටම අනතුරක් කර ගන්නේය. එසේ නම්, ඔබට නියම කරන ලද ස්ථානයට යන්න.
මා අසනීපයෙන් පසු වූවද, ඔහු එක දවසක්වත් ප්‍රමාද වීමට මට කරුණාව නොදක්වා මා ඉක්මනින් පිටත් කර හැරියේය. එසේ වූ කල රැස්වීමක් පැවැත්වීමට හෝ නොපැවැත්වීමට මට කාලයක් තිබුණේද? … එසේ වුවද, අපි ස්වාමින් වහන්සේ සමග විවෘතව එක්රැස් වීමෙන් වැළකී සිටියේ නොසිටියෙමු. එහෙත් මා ඔවුන් සමග සිටියාක් මෙන් [ඇලෙක්සැන්ඩ්‍රියාවේ] නගරයේ සිටි අයට රැස්වීමට වඩා වෙහෙස මහන්සි වී උත්සාහ කළෙමි – “ශරීරයෙන් ඈත්ව සිටින නමුත් ආත්මයෙන් ඔවුන් සමග සිටීමින්” [1කොරි. 53]. සෙෆ්‍රෝහි විශාල සභාවක් පිහිටුවා ඇත. නගරයෙහි සමහරු එයට පැමිණෙන අතර, තවත් සමහරු ඊජිප්තුවේ ඉතිරි පෙදෙස්වලින් අප හා එක් වෙති. එහිදී, දෙවියන් වහන්සේ දේව වචනය උදෙසා අපට දොරක් විවෘත කළ සේක (කොලොස්සි 4.3) මුලදී අපට පීඩා කරන ලද අතර, ගල් ගසන ලදී. එහෙත් පසුව සමහර අන්‍යජාතිකයෝ තම පිළිම අත්හැර දමා දෙවියන් වහන්සේ වෙත හැරුණෝය. අප කරණකොටගෙන ඔවුන් අතර මුල් වරට දේව වචනය වපුරනු ලැබ ඇත. එසේම මේ කාරණය උදෙසා දෙවියන් වහන්සේ අප ඔවුන් වෙත පිටුවහල් කළ බවත්, අපගේ මෙහෙයුම අවසන් වීමෙන් පසු අප නැවත ගෙන්වා බවත් පෙනෙන්නට ඇත.
ඇමිලියේනස් ඔහු වඩාත් රළු සහ ලිබියානු යයි සිතූ ස්ථානවලට අප ගෙන යාමට සැලසුම් කළ අතර, ඔහු (විසිර ගිය කිතුනුවන්) විවිධ කණ්ඩායම්වලට ගම්මාන පවරමින් මැරෝෂියන් දිස්ත්‍රික්කයට යන ලෙස නියෝග කළේය. ඔහු අධිවේගී මාර්ගයට වඩාත් සමීපව අප ස්ථානගත කළේය. එසේ කිරීමෙන් අප මුලින්ම අත්අඩංගුවට ගන්නට හැකි වන පිණිසය. පෙනෙන විදිහට ඔහු එය සකස් කරමින් සිටියේය. එසේ කළේ ඔහු අප අල්ලා ගැනීමට තීරණය කරන සෑම විටම අප සියල්ලන්ම අල්ලා ගැනීමට පහසු වන පරිදිය. මා සම්බන්ධයෙන් පවසන කල, මට සෙෆෝරෝ වෙත යාමට පැවසූ කල, මා එහි පිහිටීම පිළිබඳ කිසි අදහසක් නොතිබූ අතර, එම නම පවා අසා තිබුණේ නැත. කෙසේ වෙතත්, මම හොඳ මනෝභාවයකින් පිටත්ව ගිය අතර, කිසිම කරදරයක් සිදු නොකළෙමි. එහෙත් මට කොලුතියන් දිස්ත්‍රික්කය වෙත ඉදිරියට යාමට නියෝග කළ විට, මා අමනාපයට පත් වූ අතර දැඩි ලෙස කෝප වීමි. මෙම ස්ථාන මා ඉතා හොඳින් දැන සිටි අතරම, එහි සහෝදරයන් හෝ කීර්තිමත් පුද්ගලයින් නොසිටි බව මම දැන සිටියෙමි. එපමණක් නොව, එහි සංචාරකයින් වැටලූ කොල්ලකරුවන් වූ බවත් දැන සිටියෙමි. එහෙත් එය [ඇලෙක්සැන්ඩ්‍රියාවට] ආසන්න බවත්, සෙෆ්රෝහිදී ඊජිප්තුවේ සහෝදරයන් සමග අපට වඩා සමීප ඇසුරක් ඇති බවත්, එම නිසා අපේ සභාවෙහි පුළුල් ප්‍රදේශයකින් පැමිණි අය සිටින බවත්, අප දැන් අපගේ සමීපතම සහ ආදරණීය අයට සමීප බවත් සහෝදරයන් මට සිහිපත් කළ බැවින් මම ධෛර්යවත් වුණෙමි. ඔවුන් පැමිණ රාත්‍රියේ එහි රැඳී සිටිනු ඇත. එසේම පිටත තදාසන්න ප්‍රදේශවල මෙන්, එහි ප්‍රාදේශීය රැස්වීම් තිබෙනු ඇත. එලෙසම ඒ කාරණා සිදු විය.
ඔහුගේ සූරාකෑම් පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීමෙන් පසුව, ඔහු පහත පරිදි නැවත ආරම්භ කරයි:
නිසැකවම ජර්මානුස්, බොහෝ ඇදහිල්ල ප්‍රකාශ කිරීම් පිළිබඳ සහ ඇදහිල්ල නිසා ඔහුට විඳ දරාගැනීමට සිදු වූ බොහෝ දේ පිළිබඳ ආඩම්බර වෙයි – දඬුවම්, දේපළ රාජසන්තක කිරීම්, දේපළ තහනම් කිරීම්, දේපළ කොල්ලකෑම, වරප්‍රසාද අහිමි කිරීම්, ලෞකිකත්වයට මහිමය සහ ප්‍රශංසා කිරීම පිළිකුල් කිරීම; නැතිනම් ආණ්ඩුකාරවරයාගෙන් සහ කවුන්සිලයෙන් නොවන දේ කිරීම: තර්ජන, කෑගැසීම්, අන්තරායන්, පීඩාවන්, පිටුවහල් කිරීම, දුක් වේදනා සහ සෑම ආකාරයකම දුක්විඳීම් – ඔහුට කළ හැකි සියලුම දේවල් මගේම කාරණයේදී ලැයිස්තුගත කළ හැකිය. මේ සියලුම දේවල් මට ඩේසියස් සහ සැබිනස් යටතේ සිදු විය. එසේම තවමත් ඇමිලියේනස් යටතේ ඒ දේවල් සිදුවෙමින් පවතී. එහෙත් ජර්මානුස් පෙනී සිටියේ කොහේද? ඔහු පිළිබඳ පවසා ඇත්තේ මොනවාද? එහෙත් ජර්මානුස් නිසා මා වැටෙන්නට යන සම්පූර්ණ අඥානකම අත්හැරිය යුතුය. එවිට දැනටමත් ඒ සම්බන්ධයෙන් දන්නා සහෝදරයන් උදෙසා වැඩිදුර විස්තර මගහරින්නට මට හැකි වනු ඇත.
ඩොමිෂියස් සහ දිදිමුස් වෙත ලිපියක් යවමින් ඔහු නැවතත් පීඩා කාලයේදී සිදු වූ සිදුවීම් සඳහන් කරයි:
අපේ මිනිසුන් බොහෝ බැවින් සහ ඔබ ඔවුන් නොදන්නා බැවින් ඔවුන්ගේ නම් සඳහන් කිරීම අනවශ්‍යය. පිරිමි සහ ගැහැනු, පිරිමි දරුවන් සහ කුලදෙටුවන්, දැරියන් සහ මහලු කාන්තාවන්, සොල්දාදුවන් සහ සිවිල් වැසියන්, සෑම ජන වර්ගයකම සහ සෑම වයසකම අය එහි සිටි බව පමණක් දැනගන්න. සමහරු කසයෙන් හා ගින්නෙන්ද තවත් සමහරු කඩුවෙන්ද පීඩා විඳිති – ඔවුහු සියල්ලෝම අරගලයෙන් ජයගෙන, ඔවුන්ගේ ඔටුනු ලබාගත්හ. පෙනෙන විදිහට, මෙතෙක් මගේ කාරණයේදී මෙන්, තවත් සමහරුන්ට ස්වාමින් වහන්සේට පිළිගත හැකි පරිදි තමන්ම ඉදිරිපත් කිරීමට දිගු කාලයක් ප්‍රමාණවත් නොවීය. ” පිළිගත හැකි කාලයකදී මම ඔබට ඇහුම්කන් දුනිමි, ගැලවීමේ දවසේදී මම ඔබට උපකාර කළෙමි” (2 කොරි. 6.2, යෙසා. 49.8) යයි දක්වා ඇති ආකාරයට, උන් වහන්සේ දන්නා එම යෝග්‍ය වූ කාලය දක්වා මා ප්‍රමාද කරනු ලැබ ඇත. දැන් ඔබ අප පිළිබඳ විමසූ බැවින්, ඇත්ත වශයෙන්ම, අප ඔවුන් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ විට, මාරෙෂස් වෙතින් වූ කණ්ඩායමක් – ශතාධිපතියෙකු සහ මහේස්ත්‍රාත්වරුන් විසින් ඔවුන්ගේ සොල්දාදුවන් සහ සේවකයින් සමග සිරකරුවන් ලෙස ගායස්, ෆවුස්ටස්, පීටර්, පාවුල් සහ මා බලහත්කාරයෙන් ඇදගෙන යන ලද බව ඔබ අසා ඇත. දැන් ගායස්, පීටර් සහ මම පමණක්, අනෙක් සහෝදරයන් නොමැතිව, හුදෙකලා, ලිබියාවේ වියළි ස්ථානයක සිර කරනු ලැබ ඇත. එය පැරටෝනියම් සිට දින තුනක ගමනක් යා යුතු දුරින් පිහිටා ඇති ස්ථානයකි ….
වැඩිමහල්ලන් වූ මැක්සිමස්, ඩයොස්කොරස්, දිමෙත්‍රියස් සහ ලුසියස් රහසිගතව නගරයේ සහෝදරයන් බැලීමට රහසින් ගොස් ඇත. වඩාත් හොඳින් දන්නා ෆවුස්ටිනස් සහ අකිලා ඊජිප්තුවෙහි සැරිසරති. දිවයිනේ මිය ගිය අයගෙන් දිවි ගලවා ගත් උපස්ථායකයෝ ෆවුස්ටස්, යුසේබියස් සහ චෙරේමොන් වෙති. – මේ යුසේබියස් වූ කලි සිරගතව සිටි ඇදහිල්ල ප්‍රකාශ කරන්නන්ට උපකාර කිරීමට සහ ආශීර්වාද ලත් වේදසාක්ෂිකයින්ගේ දේහයන් භූමදානය කිරීමේ අවදානම් කර්තව්‍යය ඉටු කිරීමට දෙවියන් වහන්සේ බලගැන්වූ තැනැත්තාය. මන්ද මේ වන විටත් ආණ්ඩුකාරවරයා කුරිරු ලෙස කටයුතු කරමින් ඔහු ඉදිරියට ගෙන එන සමහරුන් මරණයට පත් කරන අතර තවත් සමහරුන්ට ඔහු වධ හිංසා පමුණුවයි. නැතහොත් සිරගෙදරට බැලීමට එන ඕනෑම අමුත්තෙකු ප්‍රතික්ෂේප කරමින් සහ ඕනෑම කෙනෙකු අල්ලා ගැනීමට සූදානමින් සිටියි. එහෙත් සහෝදරවරුන්ගේ නොපසුබට උත්සාහය තුළින් දුෂ්කරතා ඇති අයට දෙවියන් වහන්සේ සහනයක් ලබා දෙන සේක.
උපස්ථායකයා වූ යුසේබියස් ඉක්මනින්ම සිරියාවේ ලවෝදිසිය් රදගුරු ලෙස පත් කරන ලද අතර, වැඩිමහල්ලා වූ මැක්සිමස් ඩයොනිසියස්ගෙන් පසුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු ලෙස පත් විය. කෙසේ වෙතත් දිගු කාලයක් ජීවත් වීමෙන් පසුව අවසානයේදී, ඇදහිල්ල උතුම් ලෙස ප්‍රකාශ කළ ෆවුස්ටස්, ඩයොනිසියස් මෙන්, අපේම කාලයේ සිදු වූ පීඩාවලදී හිස ගසා දැමීමෙන් වේදසාක්ෂික මරණයෙන් සම්පූර්ණත්වයට පත් විය.
සිසේරියාවේ වේදසාක්ෂිකයින්
- වැලේරියන්ගේ පීඩාව අතරතුර, ප්‍රමුඛ පෙළේ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල ප්‍රකාශ කරන්නන් තිදෙනෙකු වූ ප්‍රිස්කස්, මැල්කස් සහ ඇලෙක්සැන්ඩර් යන අයද තිරිසනුන්ට ආහාර බවට පත් වීමෙන් පලස්තීනයේ සිසේරියාවේදී වේදසාක්ෂිකයින් ලෙස මරණයට පත් වීමෙන් ඔටුනු ලබා ගත්හ. මෙරට පදිංචිව සිටි මේ මිනිසුන් මුලදී ඔවුන්ගේ උදාසීනත්වය සහ අලසකම පිළිබඳ ඔවුන්ටම චෝදනා කරගෙන ඇති බව පැවසේ: වේදසාක්ෂික මරණයට පත් වී කිරුළ ලබා ගැනීමට යුහුසුළු වීම වෙනුවට ඔවුහු එකල පැවති ත්‍යාග පිළිකුල් කළහ. එහෙත් ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කළ පසුව ඔවුහු සිසේරියාවට පිටත් වී, විනිසුරුවරයා ඉදිරියේ පෙනී සිට, කලින් විස්තර කර ඇති අවසානය ළඟා කර ගත්හ. මේ හැරුණු විට එම නගරයේම සිටි වෙනත් කාන්තාවක්ද ඒ හා සමාන ආකාරයේ පීඩාවකට මුහුණ දුන් අතර, ඇය මාර්සියන්ගේ නිකායට අයත් කෙනෙකු බව ඔවුහු කියා සිටිති.
ගැලියේනස් පීඩා කිරීම අවසන් කරයි
- කෙසේ වෙතත්, වැඩි කල් නොගොස් වැලේරියන් ම්ලේච්ඡයන් විසින් වහල්භාවයට පත් කරනු ලැබීය. දැන් තනි අධිරාජ්‍යයා වන ඔහුගේ පුත්‍රයා, වඩාත් විචක්ෂණශීලීව පාලනය කළ අතර, මෙම වචන සහිත ආඥාවක් ප්‍රකාශයට පත් කිරීම මගින් අපට එරෙහිව තිබූ පීඩාව වහාම අවසන් කළේය:
සීසර් පබ්ලියස් ලිසීනියස් ගැලියේනස් පෙයස් ෆීලික්ස් ඔගස්ටස් අධිරාජ්‍යයා විසින් ඩයොනිසියස්, පින්නස්, දෙමෙත්‍රියස් සහ අනෙකුත් රදගුරුවරුන්ට ලියන කාරණයයි. මම මාගේ ත්‍යාගයේ ප්‍රයෝජනය ලෝකය පුරා ප්‍රකාශ කරන ලෙස අණ කළෙමි. ඔවුන් [ක්‍රිස්තියානි නොවන අය] [කිතුනු] නමස්කාර ස්ථාන සියල්ල හැර දමා යා යුතුය. එබැවින් ඔබට කරදර කරන ඕනෑම කෙනෙකුට එරෙහිව මෙම නියෝගයේ විධිවිධාන ඔබටද භාවිත කළ හැකිය. මෙය, ක්‍රියා කිරීමට ඇති ඔබගේ නිදහස, දිගු කාලීනව මා විසින් ලබා දී ඇත. එබැවින් මාගේ මහ ඇමති වන අවුරේලියස් ක්විරිනියස් මගේ ආඥාපනත වන මෙය බලාත්මක කරනු ඇත.
මෙය වඩා පැහැදිලි වීම උදෙසා ලතින් භාෂාවෙන් පරිවර්තනය කර ඇත. තවත් එම අධිරාජ්‍යයා විසින්ම අනෙකුත් රදගුරුවරුන් අමතා ලියන ලද ආඥාපනත පවතින අතර, එයින් ඔවුන්ට ඔවුන් එය හඳුන්වන ආකාරයට සුසාන භූමි නැවත ඇති කිරීමට අවසර දී ඇත.
- ඒ කාලය වන විට සිස්ටස් [II] තවමත් රෝම සභාව පාලනය කරමින් සිටියේය; ෆේබියස්ට පසුව දෙමෙත්‍රියන්, අන්තියෝකියේ සභාව පාලනය කරමින් සිටියේය; ෆර්මිලියන් කපදෝසියාවේ සිසේරියාව; එමෙන්ම ඔරිජන්ගේ සිසුන් වන ග්‍රෙගරි සහ ඔහුගේ සහෝදරයා වන ඇතනෝඩෝර් පොන්තස්හි සභා පාලනය කරමින් සිටියහ. පලස්තීනයේ සිසේරියාවේ, තියෝක්ටිස්ටස්ගේ මරණයෙන් පසුව ඩොම්නස් රදගුරු පදවියට පත් විය. ඔහු කෙටි කාලයක් පමණක් පදවිය දැරෑ අතර ඔහුගෙන් පසුව අපේ සමකාලීනයෙකු වන තියොටෙක්නස් අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඔහුද ඔරිජන්ගේ ගුරුකුලයෙන් පැමිණි අයෙකි. යෙරුසලමේ මැසබන් මිය ගිය පසුව, හයිමෙනියස් ඔහුගේ සිහසුනට පත් වූ අතර, ඔහු මගේම කාලයේ බොහෝ දෙනෙකු අතර කැපී පෙනුණු මිනිසෙකි.
සිසේරියාවේ මැරිනස් සහ ඇස්ටිරියස්
- සෑම තැනකම වූ සභාවන් ඔවුන්ගේ කාලය තුළ සාමය භුක්ති වින්දහ. කෙසේ වෙතත්, පලස්තීනයේ සිසේරියාවෙහි, මාරිනස්, හමුදාවේ ඉහළ නිලයක් සමග ගෞරවයට පාත්‍ර වූ, එමෙන්ම උපතින් මෙන්ම ධනයෙන්ද කැපී පෙනුණු අයෙකි. පහත දැක්වෙන ආකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා වූ ඔහුගේ සාක්ෂිය හේතුවෙන් ඔහු හිස ගසා දමා මරණයට පත් කරන ලදී. රෝමවරුන් අතර ගෞරවයෙහි ලකුණක් වන්නේ වැල් සැරයටයයි (the vine switch) එසේ එය දිනා ගන්නා අය ශතාධිපති තනතුරට පත් වෙති. තනතුරක් පුරප්පාඩු වූ අතර, ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව මාරිනස් ඊළඟට සිටියේය. එහෙත් ඔහු එම ගෞරවය ලැබීමට ආසන්නව තිබියදී තවත් අයෙක් විනිශ්චය මණ්ඩලයට ඇතුළු වී දිගු කලක් තිස්සේ ස්ථාපිත නීති මගින්, මාරිනස් තනතුරට නුසුදුස්සකු බව ඔහු ප්‍රකාශ කළේය. එනම් ඔහු කිතුනුවෙකු වූ බැවින් සහ අධිරාජ්‍යයන්ට පූජා නොකළ බැවින් ඕනෑම ආකාරයේ රෝමානු නිලයක් ලබා දීමෙන් වළක්වන ලදී. එසේ එම නිලය ඔහුටම ලැබිණි. විනිසුරු වූ ඇචේයස් මාරිනස් දරන අදහස් මොනවාද යන්න මුලින්ම විමසුවේය. එහිදී ඔහු තම ක්‍රිස්තියානි ධර්මයෙහි ඇදහිල්ල ස්ථිරව ප්‍රකාශ කරන බව දුටු විට, ඔහු ඒ පිළිබඳ නැවත සලකා බැලීමට ඔහුට පැය තුනක කාලයක් ලබා දුන්නේය.
ඔහු උසාවියෙන් පිටතට ගිය පසුව, ප්‍රාදේශීය රදගුරුවරයා වූ තියෝටෙක්නස් ඔහු අතින් අල්ලාගෙන ඔහු දේවස්ථානයට රැගෙන ගියේය. ඇතුළට ගිය පසුව ඔහු පූජාසනය ඉදිරිපිට සිටුවා, ඔහුගේ සළුව ඔසවමින්, ඔහු තමාගේ පැත්තක තිබූ කඩුව පෙන්වීය. ඉන්පසු ඔහු දිව්‍යමය ශුභාරංචි පොත ගෙනැවිත්, එය ඔහු ඉදිරියෙහි තබා, ඒ දෙකෙන් ඔහු තෝරා ගැනීමට කැමති කවර එකද යන්න ඇසුවේය.
පැකිළීමකින් තොරව ඔහු තම දකුණු අත දිගු කර දිව්‍යමය පොත අතට ගත්තේය. “එසේ නම් තදින් අල්ලාගන්න,” තියෝටෙක්නස් ඔහුට පැවසුවේය. “දෙවියන් වහන්සේ තදින් අල්ලාගෙන සිටින්න. උන් වහන්සේගේ ශක්තියෙන් ඔබ තෝරාගත් දේ ඔබට ලැබේවා. සමාදානයෙන් යන්න.” ඔහු ආපසු යද්දී, පණිවිඩකරුවෙක් කාලය අවසන් වී ඇති බව නිවේදනය කර ඔහු උසාවියට කැඳවාගෙන ගියේය. ඔහු විනිශ්චයකරු ඉදිරියෙහි සිට, ඇදහිල්ල උදෙසා තව තවත් දැඩි උද්යෝගයක් පෙන්නුම් කළේය. ඔහු ක්‍ෂණිකව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යොමු කරන ලද අතර එමගින් ඔහු සම්පූර්ණත්වයට පත් විය.
- එහි [සිසේරියාවේ], ඇස්ටිරියස්ද ඔහුගේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන නිර්භීතකම වෙනුවෙන් සිහිපත් කරනු ලැබේ. ඔහු රෝමානු සෙනෙට් සභාවේ සාමාජිකයෙකු වූ අතර අධිරාජ්‍යයන්ගේ අනුග්‍රහය ලැබූ අයෙකි. ඔහු ඔහුගේ උපත සහ ධනවත්කම සඳහා ප්‍රසිද්ධ විය. වේද සාක්ෂිකවරයා සම්පූර්ණත්වයට පත් වන විට ඔහු එහි සිටියේය. එසේ ඔහු ඔහුගේ උරහිස් දේහය, අලංකාර, මිල අධික සළුවක් මත තබාගෙන ගොස් ඒවා මිල අධික හා සුදුසු ලෙස භූමදානය කළේය. මගේ ජීවිත කාලය දක්වා ජීවිත ගැලවුණු ඔහුගේ මිතුරෝ මේ මිනිසා පිළිබඳ තවත් බොහෝ කතා පවසති. පහත සඳහන් ආශ්චර්යවත් කථාංගය එවැනි වූවකි.
- ෆිනීෂියානුවන් පැනීස් ලෙස හඳුන්වන සිසේරියා පිලිප්පියේ පැනීයන් නම් කන්දක බෑවුමක, යොර්දානයේ උල්පත වන උල්පත් පෙනෙන්නට ඇත. මේවාට යම් කෙනෙකු ගොදුරක් ලෙස කිසියම් උත්සවයකදී තල්ලු කරන බවත්, එය ආශ්චර්යවත් ලෙස යක්ෂයාගේ බලයෙන් අතුරුදහන් වන බවත් ඔවුහු පවසති. මෙය නිරීක්ෂකයින් විසින් පුදුමයක් ලෙස සලකනු ලබන සංසිද්ධියකි. මෙය සිදුවෙමින් පවතින අතරතුරදී එක් දිනක් ඇස්ටිරියස් එහි සිටියේය. ඔහු සමූහයා විස්මයට පත් වූ ආකාරය දුටු විට ඔවුන් රැවටී තිබීම පිළිබඳ ඔවුන්‍ට අනුකම්පා කළ අතර, ස්වර්ගය දෙස බලා, ජනතාව රවටමින් සිටි යක්ෂයා මර්දනය කර එම රැවටීම නවත්වන්න යයි ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඔහු යාච්ඤා කළ පසුව, පූජාව හදිසියේම උල්පත් මතුපිටට පාවී ගිය බව කියනු ලැබේ. මේ අනුව, ඔවුන්ගේ ආශ්චර්යය නතර විය. එසේ නැවත කිසි දිනක එහි ආශ්චර්යයක් සිදු නොවීය.
යේසුස් වහන්සේගේ ප්‍රතිමාව
- මම මේ නගරය පිළිබඳ සඳහන් කර ඇති නිසා, අප අනුගමනය කරන අය සඳහා වාර්තා කළ යුතු ඒ කතාව මා විසින් මගහැරිය යුතු නැත. අප ඉගෙන ගන්නා පරිදි ශුද්ධ වූ ශුභාරංචියෙහි (මාක් 5.24-34) අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ විසින් සුව කරන ලද ලේ වහනය වීමක් තිබූ කාන්තාව පැමිණියේ මෙහි සිට බව ඔවුහු පවසති. ඇගේ නිවස නගරයේ පෙන්වා දී ඇති අතර ගැලවුම්කරුවාණන් වහන්සේගේ ඇයට වූ ප්‍රතිලාභ සම්බන්ධ විස්මිත ස්මාරක තවමත් තිබේ. උස් ගලක් [පාදම] මත ඇගේ නිවසේ දොරටුව ඉදිරිපිට දණින් නැමුණු ආයාචනා කරන අයෙකු සේ ඇගේ දෑත් දිගු කරන කාන්තාවකගේ ලෝකඩ පිළිමයක් විය. මෙයට විරුද්ධ පැත්තේ එම ද්‍රව්‍යයෙන්ම නිමවන ලද තවත් ප්‍රතිමාවකි. එය මිනිසෙකුගේ හිටගෙන සිටින ඉරියව්වේ රූපයක් විය. ඔහු කඩවසම් ද්විත්ව සළුවකින් සැරසී කාන්තාව වෙත අත දිගු කරයි. ස්මාරකය මත ඔහුගේ පාද අසල විදේශීය ඔසු පැළයක් වර්ධනය වී ලෝකඩ ද්විත්ව සළුවේ වාටිය දක්වා යමින් සිටිමින් සෑම ආකාරයකම රෝග සඳහා ප්‍රතිරෝධකයක් ලෙස නැගී සිටියේය. මෙම පිළිමය යේසුස් වහන්සේගේ ලක්ෂණවලට සමාන වූ බව ඔවුහු පැවසූහ. එය තවමත් මා ජීවත් වන කාලය තුළද පවතී: මා නගරයේ නැවතී සිටින විට එය මම මගේම දෑසින් දුටුවෙමි. බොහෝ කලකට පෙර එම විජාතීන්ට අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගෙන් ප්‍රයෝජන ලැබීම නිසා මේ දේවල් සෑදිය යුතුව තිබීම පුදුමයක් නොවේය. මන්ද මා උන් වහන්සේගේ ප්‍රේරිතයන් වන පේදුරු සහ පාවුල්ගේ මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේම සමානකම් සහිත වර්ණ ආලේපිත සංරක්ෂණය කර ඇති චිත්‍ර පරීක්ෂා කර ඇත්තෙමි. ඒ අනුව මේ ආකාරයේ ක්‍රියාවන් මගින් පුරාණ අන්‍යජාතිකයන් චාරිත්‍රානුකූලව ඔවුන්ට ගෞරව කළ බැවින් මේ දේවල් අපේක්ෂා කළ යුතුය.
රදගුරු යාකොබ්ගේ කිරුළ
- දිව්‍යමය ග්‍රන්ථ පෙන්වන පරිදි ගැලවුම්කරුවාණන් වහන්සේගෙන් සහ ප්‍රේරිතයන්ගෙන් යෙරුසලමේ සභාවෙහි රදගුරු පදවිය ලැබූ පළමු තැනැත්තා සහ ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෙකු ලෙස හඳුන්වනු ලබන යාකොබ්ගේ කිරුළ අද දක්වා සංරක්ෂණය කර ඇත. එහි අනුප්‍රාප්තික සහෝදරයෝ දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරන ලද ශුද්ධ වූ මිනිසුන්ට ගරු කිරීමක් ලෙස එයට ගරු කරති. පැරණි සහ අපේම කාලයේ අය විසින් තවමත් එය පවත්වනු ලැබේ.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආරවුල් සහ වසංගතය
දැනටමත් සඳහන් කර ඇති ලිපිවලට අමතරව, ඩයොනිසියස් “උත්සව ලිපි” රචනා කර ඇත. එහි ඔහු පාස්කු මංගල්‍යය [පාස්කුව] පිළිබඳ බරපතල ලෙස ලියයි. මෙයින් එකක් ෆ්ලේවියස් වෙතද, තවත් එකක් ඩොමිෂියස් සහ දිදිමුස් වෙතද ආමන්ත්‍රණය කර ඇත. එහිදී ඔහු අට අවුරුදු චක්‍රය පදනම් වූ රීතියක් ලබා දෙයි. එනම් වසන්ත විෂුවයට (vernal equinox) (මෙය දිවා රාත්‍රි ආසන්න වශයෙන් සමාන දිගකින් පවතින දවසකි) පසුව හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක පාස්කු උත්සවය නොපැවැත්විය යුතු බව ඔප්පු කර ඇත. මේවාට අමතරව ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටින වැඩිමහල්ලන්ට සහ අනෙකුත් අයට තවත් ලිපියක් ලිවීය. මේ සියල්ල ලියුවේ පීඩාව සිදුවෙමින් පවතින කාලයේදීය.
සාමය මූලික වශයෙන් ස්ථාපිත වූ විට, ඔහු නැවත ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණියේය. එහෙත් එහි නැවතත් කණ්ඩායම් ගැටුමක් ඇති වූ විට, ඔහුට නගරය තුළ සිටින සියලු සහෝදරයන් අධීක්ෂණය කිරීමට නොහැකි විය. ඔවුහු සතුරු කඳවුරු දෙකකට බෙදී සිටියහ. ඉතින් පාස්කු උත්සවයේදී ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට ඔහු විදේශ රටක සිටින ආකාරයට ලිපියක් මගින් ඔවුන් සමග සන්නිවේදනය කළේය. මෙයින් පසුව ඔහු තවත් උත්සව ලිපියක් ඊජිප්තුවේ රදගුරුවරයෙකු වන හයිරැක්ස් වෙත ලිවීය. එහි ඔහු ඇලෙක්සැන්ඩ්‍රියානුවන්ගේ බෙදීම පිළිබඳ පහත පරිදි කතා කරයි:
එය මට මා සමග පවා කතා කිරීමට හෝ මෙනෙහි කිරීමට නොහැකි බැවින් එය ලිපියක් මගින් සන්නිවේදනය කිරීමට පවා අපහසු වීම පුදුමයක් නොවේය. නියත වශයෙන්ම මා එකම නිවසේ, සභාවේ සහ මනසින් මා සමග සිටින සහෝදරයන් පිළිබඳ ලිවිය යුතුයි. එහෙත් එවැනි ලිපි ලබා ගැනීමට ක්‍රමයක් නොමැති බව පෙනේ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ නැගෙනහිර සිට බටහිරට ඇලෙක්සැන්ඩ්‍රියාව ඇතුළත ගමන් කිරීමට වඩා විදේශ රටකට යාමට වඩා පහසු වනු ඇත. නගරය මැදින් දිවෙන වීදිය තුළ ගමන් කිරීම ඉශ්‍රායෙල්වරුන් පරම්පරා දෙකකදී මාර්ග රහිත කාන්තාරයේ ගමන් කළාට වඩා දුෂ්කර කාර්යකි! අපේ වරායන් ඔවුන් වෙනුවෙන් ඊජිප්තුවරුන් දියේ ගිල්වීම උදෙසා බෙදී ගිය මුහුද පිළිබිඹු කරයි. මන්ද ඒවා තුළ සිදු වන මිනීමැරුම් රතු මුහුදට සමානය. එසේම නගරය පසු කරමින් ගලා යන [නයිල්] ගඟ එක් වරක් ඉශ්‍රායෙලයේ කාන්තාරයට වඩා වියළි බව පෙනෙන්නට විය. එහෙත් තවත් වරක් එය නෝවාගේ දවස්වල මෙන් ජලගැල්මක් පිළිබඳ තර්ජනය ගෙන එමින් මාර්ග සහ කෙත්වතු යට කරමින් පිටාර ගැලුවේය. එසේම එය සැම විටම රුධිරයෙන්, මිනීමැරුම් සහ දියේ ගිලීම් මගින් දූෂිත වේ. ඒ මෝසෙස් අතින් පාරාවෝ උදෙසා එය ලේ සහ දුර්ගන්ධය බවට පත් වූවාක් මෙනි. ගොඩබිමෙන්, මුහුදෙන්, ගංගාවලින්, සහ වරාය මීදුමෙන් ගලා එන්නේ එබඳු නීච ප්‍රශ්වාසයන් වේ. එය පිනි වැටීමෙන් සංරචක මූලද්‍රව්‍ය දිරාපත් වන මළ සිරුරුවලින් නිකුත් වන දුර්ගන්ධයයි. එහෙත් නිරන්තර වසංගත, බරපතල රෝග සහ විවිධාකාරයේ මරණවලට හේතු වන මූලාශ්‍රය නැතිනම් මෙම අතිවිශාල නගරය ජනශූන්‍ය වී ඇත්තේ මන්ද යන්න පිළිබඳ මිනිසුන්ට ඇත්තේ ප්‍රහේළිකාවකි. කලින්, වයස අවුරුදු හතළිහ සිට හැත්තෑව දක්වා වූ අය දැන් දාහතරේ සිට අසූව දක්වා වයසේ සිටින අයට වඩා ගණනින් වැඩි විය. පොදු ආහාර සලාකයට ලියාපදිංචි වූවන් සහ ලාබාලම ලෙස පෙනෙන අය සලකන කල, දැන් බොහෝ කලකට පෙර වයස්ගතම අයගේ වයසට සමාන ලෙස සලකනු ලැබේ. එහෙත් මානව වර්ගයා අඩුවෙමින් තිබියදීත්, එහි වඳවීම ආසන්න වන බව දැක ඔවුහු ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වති.
පසුව, වසංගතයට පසුව යුද්ධය පැමිණි විට සහ උත්සවය ඉතා ආසන්න වෙමින් තිබියදී, ඔහු නැවතත් විපත සම්බන්ධයෙන් සහෝදරයන්ට මෙසේ ලිවීය:
මෙය සැමරීම සඳහා සුදුසු කාලයක් නොවේය. අහෝ! මෙහි ඇත්තේ මිය ගිය සහ දිනෙන් දින මිය යන අය වෙනුවෙන් වැලපීම සහ දුක් වීම පමණි. පරිදි ඊජිප්තුවේ කුලුඳුල් දරුවන් සම්බන්ධයෙන් ලියා ඇති දේ හා සමාන ආකාරයට දැන් සිදු වේ: කෙනෙක් මිය නොගිය නිවසක් ඇත්තේ නැත. එසේම ඒ මිය ගොස් ඇත්තේ එක් කෙනෙකු පමණක් විය හැකිද!
මීට පෙරත් අපට බොහෝ භයානක දේවල් සිදු වී ඇත. මුලදී, අප නෙරපා හරින ලදී. අපට පීඩා කරන ලදී, මරා දමන ලදී, එහෙත් ඒ අවස්ථාවලදීත් අපි අපේ උත්සවය පැවැත්වූයෙමු. අපට පීඩා කරන ලද සෑම ස්ථානයක්ම, එනම් කෙත, කාන්තාරය, නැව, තානායම හෝ බන්ධනාගාර වේවා, අපගේ සැමරීමේ ස්ථානයක් බවට පත් විය. එහෙත් සියල්ලටම වඩා දීප්තිමත්ම උත්සවය පවත්වනු ලැබුවේ ස්වර්ගයේ මංගල්‍යය පවත්වන සම්පූර්ණත්වයට පත් වූ වේදසාක්ෂිකවරුන් විසිනි. ඉන්පසුව අපට මෙන්ම අන්‍යජාතිකයන්ටද යුද්ධය හා සාගත ඇති විය. . එකිනෙකාගේ දෑතින් ඔවුන් විඳපු දෙයින් අපට ප්‍රයෝජන ලැබුණත් ඔවුන් කළ තුවාල අපටම විඳ දරාගැනීමට සිදු විය. එසේ නැවත වරක් අපට පමණක් ලබා දී ඇති ක්‍රිස්තුස් වහන්සේගේ සාමය තුළ අපට අපගේ ප්‍රීතිය හමු විය. එහෙත් ඉතාම කෙටි කලකට පසුව, ඕනෑම භීෂණයකට වඩා ඔවුන් බිය ගැන්වූ භයානක රෝගයක් අපට වැලඳුණි. ඔවුන්ගේම ඉතිහාසඥයෙකු ප්‍රකාශ කළ පරිදි,”අපේක්ෂා කළ දේට වඩා නරක බව ඔප්පු වූ එකම දෙය” සිදු විය. කෙසේ වෙතත්, අපට නම් එය වෙනත් පරීක්ෂාවලට වඩා අඩු නොවන ආකාරයේ වූ විනයානුකූල කිරීමක් සහ පරීක්ෂණයක් විය. මන්ද එයින් අන්‍යජාතිකයින් හට වඩාත් දැඩි ලෙස පහර වැදුණද අපද එයින් ගැලවී නොසිටි හෙයිනි. …
අපේ සහෝදරයන් බොහෝ දෙනෙක් ඔවුන් එකිනෙකාට උදව් කිරීමෙන්, රෝගීන්ට උපස්ථාන කිරීමෙන් තමන්ට අනතුරක් වේ යයි සිතා තමන්ම වළක්වා නොගෙන ආදරය සහ පක්ෂපාතිත්වය පෙන්වූහ. එසේම ඔවුන්ට රෝගය වැලඳීමෙන් පසුට ඔවුන් සමග සතුටින් මෙලොව හැර ගියහ. අන් අයගේ රෝගී අවස්ථාවේදී සාත්තු කළ බොහෝ දෙනෙක් මිය ගියහ. එසේ අනුන්ගේ මරණය ඔවුන් වෙතටම මාරු කරගත්හ. අපගේම ඉතාම හොඳම සහෝදරයෝ මේ ආකාරයෙන් ජීවිතය නැති කරගත්හ. – ඇතැම් වැඩිමහල්ලන්, උපස්ථායකයන්, ගිහියන් – එය සෑම ආකාරයකින්ම වේදසාක්ෂික මරණය හා සමාන ලෙස පෙනෙන ශක්තිමත් ඇදහිල්ල සහ භක්තිය මත පදනම් වූ මරණයකි. ඔවුහු ශුද්ධවන්වන්තයන්ගේ සිරුරුද ගෙන, ඒවායෙහි ඇස් වසා, ඒවායෙහි කටවල් වසා, ඔවුන්ගේ උරහිස් මතින් ගෙන යති. ඔවුහු ඔවුන් වැලඳගෙන, සෝදා පිරිසිදු කර භූමදාන කිරීමේ ඇඳුම් අන්දනු ඇත. එසේ ඔවුහුද එම සේවාවම ඔවුන් වෙනුවෙනුත් ඉක්මනින්ම ලබා ගත්හ.
අන්‍යජාතිකයන් ඊට හාත්පසින්ම විරුද්ධ අයයි. ඔවුහු රෝගයේ පළමුවන රෝග ලක්ෂණ මතු වන අතරම ඔවුන්ගේ ආදරණීයයන් ඉවත් කර දමා ඔවුන්ගෙන් ඉවතට පලා ගියහ. ඔවුහු බාගෙට මැරී සිටි අය වීදිවලට විසි කර දමා, මිහිදන් නොකළ මළ සිරුරුවලට කුණු කසළ මෙන් සැලකූහ. එයින් ඔවුන් අපේක්ෂා කළේ මරණයේ වසංගතයෙන් බේරීමයි. කෙසේ වෙතත් ඔවුන්ගේ සියලු උත්සාහයන් මැද ඔවුන්ට මරණයෙන් පළා යාම දුෂ්කර විය.
මෙම ලිපියෙන් පසුව, නගරයේ සාමය යථා තත්ත්වයට පත් වූ විට, ඔහු නැවතත් ඊජිප්තුවේ සහෝදරයන්ට උත්සව ලිපියක් යැවූ අතර පසුව තවත් අයට ලිපි යැවීය. මෙය. සබත් දවස සම්බන්ධ ඔහුගේ ලිපියක් සහ තවත් පුහුණුවක් පිළිබඳ ලිපියක් අදටත් පවතී.
ගැලියේනස්ගේ සාර්ථකත්වය
හර්මමන් සහ ඊජිප්තුවේ සහෝදරයන්ට ලියන ලද ලිපියක් මගින් ඔහු ඩේෂියස්ගේ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ දුෂ්ටකම පිළිබඳ බොහෝ කාරණා කතා කරයි. එසේම ගැලියේනස් යටතේ පැවති සාමය පිළිබඳ සඳහන් කරයි.
ඔහුගේ එක් අධිරාජ්‍යයෙකු කෝප ගන්වා, අනෙකාට පහර දීමෙන් පසු, ඔහු හදිසියේම ඔහුගේ මුළු පවුල සමගම අතුරුදහන් විය. එසේ ගැලියේනස් සියල්ලන් විසින් අධිරාජ්‍යයා බව ප්‍රකාශ කර හඳුනා ගන්නා ලදී. ඔහු පැරණි මෙන්ම නව අධිරාජ්‍යයා යන දෙකම විය: ඔහු ඔවුන්ට පෙර සිටි අතර ඔවුන්ට පසුව පැමිණියේය. වලාකුළ පා වී ගිය පසුව හෝ දිය වී ගිය පසුව නැවත දර්ශනය වන පරිදි හිරු කිරණ වළාකුලකින් අවහිර වූවාක් මෙන්, ගැලියේනස් පෙර සිටි ආකාරයටම සිටියේය. මැක්‍රියන්, ගැලියේනස්ගේ අධිරාජ්‍ය බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව මරණයට පත් විය. එසේම රාජාණ්ඩුව, එහි පෙර පැවති දුෂ්ටකම ඉවත් කර, දැන් සෑම තැනකම සමෘද්ධිමත් වේ.
මෙයින් පසුව, ඔහු මෙය ලියූ කාලය පිළිබඳවද දක්වයි:
විවිධ පාලන සමයන්වල කාලයන් දෙස බලන විට මට පෙනෙන්නේ වරක් ප්‍රසිද්ධියට පත් වූ ඒ දුෂ්ට [අධිරාජ්‍යවරුන්], ඉක්මනින් අමතක කරන ලද බවයි. දෙවියන් වහන්සේ කෙරෙහි වැඩි ගෞරවයක් හා ආදරයක් ඇති තැනැත්තා දැන් නව වන වසර සම්පූර්ණ කරමින් සිටියි. එම වසරේදී අපි ඇත්ත වශයෙන්ම අපගේ උත්සවය පවත්වන්නෙමු.
නේපෝස්ගේ භේදය
මේ සියලුම ලිපිවලට අමතරව, ඔහු පොරොන්දු සම්බන්ධයෙන් නිබන්ධන දෙකක් රචනා කළේය. එය ඊජිප්තුවේ රදගුරුවරයෙකු වූ නෙපෝස් විසින් පොලඹවන ලදුව ලියූවකි. මන්ද ඔහු දිව්‍යමය ශුද්ධලියවිල්ලේ ශුද්ධවන්තයන්ට දුන් පොරොන්දු වඩාත් යුදෙව් ආකාරයෙන් අර්ථකථනය කළ යුතු අතර, මේ මිහිතලය මත සහස්‍රයකට අධික කාලයක් ශාරීරික සමාව පවතිනු ඇති බව ඉගැන්වීය. යොහන්ගේ එළිදරව්ව් පොතෙන් ඔහුගේ අමුතු මතයට සහාය දීමට සිතා ඔහු මෙම විෂය පිළිබඳ Refutation of the Allegorists (දෘෂ්ටාන්තයන් ප්‍රතික්ෂේප කිරීම) යයි පොතක් ලිවීය. ඩයොනිසියස් ඔහුට පොරොන්දු සම්බන්ධ ග්‍රන්ථවලින් පිළිතුරු දුන් අතර, එහි පළමුවැන්නෙහි ඔහු ධර්ම නියාමකය සම්බන්ධයෙන් ඔහුගේම මතය පැහැදිලි කරයි. දෙවැන්නෙහි යොහන්ගේ එළිදරව්ව සමග ගනුදෙනු කරන අතර, එහි නෙපෝස් පිළිබඳ පහත පරිදි සඳහන් කරයි:
ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය පොළොවේ ඇති වන බවට ඔවුහු නේපෝස්ගේ නිබන්ධනයක් අවිවාදිත සාක්ෂියක් ලෙස සලකා ඒ මත දැඩි ලෙස විශ්වාසය තබති. දැන් පොදුවේ ඔහුගේ ඇදහිල්ල සහ ශුද්ධලියවිල්ල අධ්‍යයනය කිරීම පිළිබඳ ඔහුගේ කර්මාන්තය සම්බන්ධයෙන් මම නෙපෝස් අනුමත කරන අතර, ඔහුට ප්‍රේම කරමි. එසේම තවමත් සහෝදරයන්ගේ හද දනවන ඔහුගේ විශිෂ්ට ගීතිකාව නිසා ඔහු අගයමි. එසේම මම ඒ මිනිසාට විශේෂයෙන්ම දැන් ඔහු ඔහුගේ විවේකය ලබා ඇති බැවින් සම්පූර්ණයෙන්ම ගරු කරමි. එහෙත් සත්‍යය ඉතා වැදගත් වන අතර යමෙකු නිවැරදි දෙයට ගරු කළ යුතුය, එසේම වැරදි ලෙස පෙනෙන දේ නිවැරදි කර විවේචනය කළ යුතුය. [නෙපෝස්] දැන් ජීවතුන් අතර සිට ඔහුගේ අදහස් ලිඛිතව නොව වාචිකව ප්‍රකාශ කරන්නේ නම්, අපගේ විරුද්ධවාදීන්ට ඒත්තු ගැන්වීම උදෙසා සංවාදය – ප්‍රශ්න සහ පිළිතුරු පමණක් ප්‍රමාණවත් වනු ඇත. එහෙත් සමහරුන්ට ඒත්තු ගැන්වෙන පොතක් ප්‍රකාශයට පත් කර ඇත. සමහර ගුරුවරුන් ශුද්ධලියවිල්ල නොසලකා හරින අතර මෙම ග්‍රන්ථය සඳහා උසස් ප්‍රකාශයන් සිදු කරන්නේ එහි ශ්‍රේෂ්ඨ සහ සැඟවුණු අබිරහසක් ඇත්තාක් මෙන්ය. ඒවායින් අපගේ සරල සහෝදරයන්ට අපගේ ස්වාමින් වහන්සේගේ මහිමාන්විත ප්‍රකාශ වීම පිළිබඳ හෝ අප උන් වහන්සේ හා සමාන වන අපේම මළවුන්ගෙන් නැවත නැඟිටීම හෝ පිළිබඳ උසස් හා උතුම් සිතුවිලි ඇති කර ගැනීමට ඉඩ නොදේ. එහෙත් නොවැදගත්, මරණීය දේ උදෙසා සහ වර්තමානයට ප්‍රේම කිරීම සඳහා දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි බලාපොරොත්තු තැබීමට ඔවුන් පොලඹවති. ඒ නිසා අපේ නේපෝස් සහෝදරයා ජීවත් වනවා මෙන් සලකා වාද කරනවා හැර වෙන විකල්පයක් අපට ඇත්තේ නැත. …
මා ආසිනෝ (Arsinoe) වෙත පැමිණි විට, ඔබ දන්නා පරිදි, මෙම ඉගැන්වීම දිගු කලක් තිස්සේ එහි පැවති අතර එමගින් සමස්ත සභාවලම භේද සහ වෙන්වීම් ඇති කර තිබිණි. මම ගමේ සභාවල වැඩිමහල්ලන්ගේ සහ ගුරුවරුන්ගේ (සහ කැමති වූ ඕනෑම සහෝදරයෙකුගේ) රැස්වීමක් කැඳවා, ප්‍රශ්නය ප්‍රසිද්ධියේ කතා කරන මෙන් ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියෙමි. ඔවුන් පරාජය කළ නොහැකි බලකොටුවක් ලෙස මේ පොත මා වෙත ගෙනා කල, එහි ලියා ඇති දේ විවේචනය කරමින් ඔවුන් සමග එක දිගට උදේ සිට රාත්‍රිය දක්වා දින තුනක් වාඩි වී සිටියෙමි. එසේ අප ක්‍රමානුකූලව සහ සංයමයකින් යුතුව එකඟ වීමේ කාරණයේ දුෂ්කරතා සහ කරුණු සාකච්ඡා කරන විට සහෝදරයන්ගේ අවබෝධය, අවංකභාවය, තර්කනය සහ බුද්ධිය පිළිබඳ මම මහත් සේ පැහැදුණෙමි. අපි අන්ධ ලෙස පෙර දැක්වූ අදහස්වලට ඇලී සිටීම හෝ ගැටලු මඟහරවා ගැනීම ප්‍රතික්ෂේප කළ අත, ගැටලු සමග ගනුදෙනු කරමින් ඒ පිළිබඳ හොඳින් අවබෝධ කරගැනීිමට දැඩි ලෙස අපේ උපරිමයෙන් උත්සහා කළෙමු. අපට යමක් ඒත්තු ගැන්විණි නම් අපි අපේ අදහස වෙනස් කිරීමට ලජ්ජා නොවීමුව. එහෙත් අවංකව සහ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින්, අපි ශුද්ධලියවිල්ලෙන් ඔප්පු කර ඇති ඕනෑම කාරණයක් පිළිගත්තෙමු. අවසානයේදී, මෙම ඉගැන්වීමේ ආරම්භකයා වන කොරේෂියන් (Coracion), ප්‍රතිවිරෝධී වාදවලින් ඔහුට ඒ පිළිබඳ ඒත්තු ගිය බැවින් එය පිළිපැදීම, වාද කිරීම, සඳහන් කිරීම, නැතහොත් ඉගැන්වීම තවදුරටත් සිදු නොකරන බව සියලු සහෝදරයන් ඉදිරියේ එකඟ වී පොරොන්දු විය. අනෙක් අය ගැන් දක්වන්නේ නම්, සම්මන්ත්‍රණය සහ එකඟතාවය සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් සමහරු සතුටු වූහ.
යොහන්ගේ එළිදරව්ව
තවදුරටත්, ඔහු යොහන්ගේ එළිදරව්ව පිළිබඳ මෙසේ පවසයි:
අපගේ සමහර පූර්වගාමීහු මෙම පොත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් එය තේරුම්ගත නොහැකි, තර්කානුකූල නොවන සහ එහි මාතෘකාව වැරදි බව පරිච්ඡේදයෙන් පරිච්ඡේදය විවේචනය කළහ. ඔවුහු එය යොහන්ගේ හෝ කිසිසේත්ම “එළිදරව් කිරීමක්” හෝ නොවන බව පවසති. එයට හේතුව එය තේරුම්ගත නොහැකි ඝන තිරයෙන් වැසී ඇති නිසාත්, එහි කතුවරයා අපෝස්තුළුවරයෙකු හෝ ශුද්ධවන්තයෙකු හෝ සභාවේ සාමාජිකයෙකු හෝ නොවන සෙරින්තස් නිසාත්ය. සෙරින්තස් “සෙරින්තියන්” නිකාය ආරම්භ කළ තැනැත්තා වන අතර, ඔහුගේම ව්‍යාජ දේකට ගෞරවය ලබා දුන් නමක් සම්බන්ධ කිරීමට ඔහුට අවශ්‍ය විය. ඔහු මෙම ධර්ම නියාමකය ඉගැන්වූ බවට ඔවුහු පවසති: ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය මිහිමත පවතිනු ඇති අතර එයින් ඔහුගේ සිහිනවල ආශාවන් පිරිනැමෙනු ඇත: නිමක් නැති කෑදරකම සහ භෝජන සංග්‍රහවල ලිංගික තෘප්තිය, සල්ලාල බීමත්කම සහ මංගල උත්සව හෝ (ඔහු වඩා ගෞරවනීය යයි සිතූ දේවල නම්) උත්සව, පූජා සහ ගින්නෙහි බිලි පූජාවන් කිරීම.
කෙසේ වෙතත්, බොහෝ සහෝදරයන් එය ගෞරවයෙන් සලකන නිසා මම එම පොත ප්‍රතික්ෂේප කිරීමට එඩිතර නොවෙමි. එහෙත් මගේ බුද්ධියට එය නිවැරදිව විනිශ්චය කළ නොහැකි නිසා, එහි අර්ථ නිරූපණය ආශ්චර්යවත් අබිරහසක් ලෙස මම සලකමි. මට එය වැටහෙන්නේ නැති නමුත් එහි වචනවල ගැඹුරු අර්ථයක් ඇතැයි මම සැක කරමි. තර්කයට වඩා ඇදහිල්ල මත වැඩි විශ්වාසය තබා ඒවා මට තේරුම් ගන්න බැරි තරම් ඉහළ යයි මම නිගමනය කළෙමි. මට තේරුම් ගැනීමට නොහැකි වූ දෙය මම ප්‍රතික්ෂේප නොකරමි. එහෙත් එය මට තේරුම් ගැනීමට අසමත් වීම පිළිබඳ මට ප්‍රහේළිකාවක් ඇත. එළිදරව්ව සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුවඑය වචනාර්ථයෙන් අවබෝධ කරගත නොහැකි බව ඔප්පු කරමින් ඔහු තවදුරටත් මෙසේ පවසයි:
අනාගතවක්තෘවරයා තම අනාවැකිය සම්පූර්ණ කිරීමෙන් පසුව, තමා ඇතුළුව එය පවත්වන අයට ආශීර්වාද කරයි: “මේ පොතේ අනාගත වාක්‍යයේ වචන රක්ෂා කරන්නා ආශීර්වාද ලද්දෙකැයි කීයේය. මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය.” (එළිදරව් 22.7-8) එම නිසා ඔහුට යොහන් යන නම තැබූ අතර මෙම පොත ඇතැම් ශුද්ධ, දේවානුභාවයෙන් යුත් ලේඛකයෙකු විසින් ලියන ලද පොතක් බවට මම ප්‍රතික්ෂේප නොකරමි. එහෙත් ඔහු යොහන් ශුභාරංචිය සහ සාමාන්‍ය යැවුම් පත්‍ර ලියූ යාකොබ්ස්ගේ සහෝදරයා වූ සෙබදීගේ පුත් ප්‍රේරිතයා බවට මම එකඟ නොවෙමි. එම එක් එක් පොතෙහි ලක්ෂණ අනුව සහ [එළිදරව් පොතෙහි] ශෛලිය සහ ආකෘතිය අනුව, කතුවරයා එකම කෙනා නොවන බවට මම නිගමනය කරමි. මන්ද එවැන්ජලිස්තවරයා ශුභාරංචියෙහි හෝ හසුනෙහි යන දෙකෙහිම උත්තම පුරුෂ හෝ ප්‍රථම පුරුෂයෙන් තමාගේ නම සඳහන් නොකරයි. එසේ වූවත් එළිදරව්වේ කතුවරයා ආරම්භයේදීම තමා කවුද යන්න ප්‍රකාශ කරයි: ” … යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය. උන් වහන්සේ තමන් දූතයා කරණකොටගෙන තමන් මෙහෙකරුවූ යොහන්ට එය දන්වා එවූ සේක” (එළිදරව් 1.1-2) ඉන්පසුව ඔහු ලිපියක් ලියයි: “යොහන් වන මා විසින් ආසියාවෙහි තිබෙන සභා සතට ලියා එවන වග නම්: … නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා” (එළිදරව් 1.4) එහෙත් එවැන්ජලිස්තවරයා සාමාන්‍ය ලිපියේ ආරම්භයේදී පවා ඔහුගේ නම සඳහන් නොකරන අතර, දිව්‍යමය එළිදරව්වේ අබිරහස සමගින් ආරම්භ කරයි: “පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන …” (1 යොහන් 1.1) යොහන්ගේ තවමත් පවතින දෙවන හෝ තුන්වන ලිපිවල පවා, ඒවා කෙටි වුවද, යොහන්ගේ නම සඳහන් කර නැත: ඔහු හුදෙක් නමක් නැති “වැඩිමහල්ලෙකි.” එහෙත් මෙම පොතේ ලේඛකයා ඔහුගේ නම එක් වරක් දැක්වීමෙන් සෑහීමකට පත් නොවීය. ඔහුගේ තමාගේ වාර්තාව දිගටම ලියන අතර, නැවතත් වරක් මෙසේ දක්වයි: “නුඹලාගේ සහෝදරයාද, … පංගුකාරයාද වූ යොහන් නම් මම, … පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි ” (එළිදරව් 1.9) අවසානයේදී පවා ඔහු මෙසේ පවසයි. “මේ පොතේ අනාගත වාක්‍යයේ වචන රක්ෂා කරන්නා ආශීර්වාද ලද්දෙකැයි කීයේය. මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය.” (එළිදරව් 22.7)
ලේඛකයා යොහන් බවට විශ්වාස කළ හැකිය. එහෙත් ඒ කුමන යොහන්ද යන්න ප්‍රශ්නයකි. ඔහු ශුභාරංචියේ දැක්වූ ආකාරයට ස්වාමින් වහන්සේ විසින් ප්‍රේම කරන ලද ගෝලයා, උන් වහන්සේගේ ළයට හේත්තු වී සිටි තැනැත්තා, යාකොබ්ගේ සහෝදරයා, ස්වාමින් වහන්සේගේ ඇසින් දුටු සහ කන්වලින් ඇසූ සාක්ෂිය බව ඔහු නොකියයි. ඔහුට තමා හඳුනා ගැනීමට අවශ්‍ය වූයේ නම්, ඔහු නිසැකවම මෙම විස්තරවලින් එකක් භාවිත කරනු ඇත. එහෙත් ඔහු ඒවායින් කිසිවක් භාවිත නොකරයි. ඔහු හුදෙක් අපගේ සහෝදරයා, හවුල්කරුවා, යේසුස් වහන්සේගේ සාක්ෂිකරුවෙකු සහ එළිදරව් කිරීම්වලින් ආශීර්වාද ලත් අයෙකු ලෙස ඔහු හඳුන්වයි. බොහෝ දෙනා අපෝස්තුළුවරයා කෙරෙහි ආදරය හා ඔහු අගය කිරීම පිණිස යොහන් යන නම ගෙන ඇත. ඒ පාවුල් සහ පේදුරු යන නම්ද ඇදහිලිවන්තයන්ගේ දරුවන් සඳහා පොදු නම් වන ආකාරයටම වේ. ක්‍රියා පොතේ තවත් යොහන් කෙනෙකු සඳහන් වන අතර,ඔහුගේ වාසගම මාක්ය. බාර්ණබස් සහ පාවුල් ඔවුන් සමග රැගෙන තැනැත්තා ඔහුය. ඔහු ලේඛකයාද? එසේ වීමට අවස්ථා විරලය. මන්ද ශුද්ධලියවිල්ලෙහි පවසන පරිදි ඔහු ඔවුන් සමග ආසියාවට ගියේ නැති බැවිනි: “පාවුල්ද ඔහු සමග සිටියෝද පාපස් කෙරෙන් නැව් නැගී ගොස්, පම්පිලියේ පර්ගායට පැමුණුණෝය. එවිට යොහන් ඔවුන් කෙරෙන් අහක්වී යෙරුසලමට හැරී ගියේය.” (ක්‍රියා 13.13) තවත් යොහන් කෙනෙකු ආසියාවේ සිට බව මම සිතමි. මන්ද එපීසයේ “යොහන්” හය සොහොන් ගෙවල් දෙකක් තිබූ බව කියනු ලැබේ.
මෙහි ඇති සංකල්ප, වචන සහ වාක්‍ය ඛණ්ඩය වෙනස් ලේඛකයින් දෙදෙනෙකු පෙන්වයි. ශුභාරංචිය සහ හසුන් අතර පූර්ණ එකඟතාවයක් ඇත. ඒවා සමානව ආරම්භ කර ඇත. එකක මෙසේ පවසයි: “ආරම්භයේදී වාක්‍යාණෝ සිටි සේක”; අනෙක් එකෙහි, “ආරම්භයේ සිට ිටි තැනැත්තා” යයි පවසයි. එකක මෙසේ පවසයි: “වාක්‍යාණෝ මාංසවත් වී අප අතර ජීවත් වූ සේක.” අනිත් එතෙහි එම දෙයම තරමක් වෙනස් වචනවලින් දක්වා ඇත: ” ජීවනයේ වාක්‍යාණන් සම්බන්ධයෙන් අප අසා ඇති, දැක ඇති, සහ ස්පර්ශ කර ඇති, ජීවනය ප්‍රකාශ පත් විය.” මෙම පූර්විකාව මගින් අරමුණු කරන්නේ අපගේ ස්වාමින් වහන්සේගේ මාංසවත් වී පැමිණීම ප්‍රතික්ෂේප කළ අයයි. ප්‍රවේශමෙන් කියවන්නාට එම පොත් දෙකෙහිම සඳහන් පොදු [වචන සහ වාක්‍ය ඛණ්ඩ] සොයාගත හැකිය: ජීවිතය, ආලෝකය, අන්ධකාරයෙන් හැරීම, සත්‍යය, කරුණා අනුග්‍රහය, ප්‍රීතිය, ස්වාමින් වහන්සේගේ මාංසය සහ රුධිරය, විනිශ්චය, පාපයට සමාව, අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය, එකිනෙකාට ප්‍රේම කිරීමේ ආඥාව, සියලු ආඥා පිළිපැදීම, ලෝකයා ඒත්තු ගැන්වීම, යක්ෂයා, අන්තක්‍රිස්තුස්, ශුද්ධාත්මයාණන් වහන්සේගේගේ පොරොන්දුව, දෙවියන් වහන්සේගේ පුත්‍රකමට ගෙන හදා ගැනීම, ඇදහිල්ල සහ පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ යන වචන මුල සිට අගටම ඇත. සාරාංශයක් ලෙස, ශුභාරංචිය සහ හසුන යන දෙකෙහිම ඇත්තේ එකම ලක්ෂණ වේ.
එහෙත් එළිදරව් පොත මෙම ලේඛනවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර ඒ සම්බන්ධයෙන් පවසන විට ඒවායෙහි පොදු අක්ෂරයක් හෝ ඇත්තේ නැත. එසේම හසුනෙහි හෝ ශුභාරංචියෙහි එළිදරව් පොතේ ඇති කිසිම සංකල්පයක් අන්තර්ගත වන්නේද නැත. එසේ වූවත් පාවුල් ඔහුගේ ලිපිවලදී එළිදරව් පොත පිළිබඳ ඉඟි කරයි. එය ඔහු ලියූ වාර්තාවක් නොවේය.
ශෛලියද එම වෙනස පෙන්නුම් කරන්නේය. ශුභාරංචිය සහ හසුන ලියා ඇත්තේ දෝෂ රහිත ග්‍රීක භාෂාවෙන් වනවා පමණක් නොව උසස් සාහිත්‍යය ලක්ෂණ වන වාක්‍ය ඛණ්ඩය, තර්කය සහ වාක්‍ය ඛණ්ඩයේ නිපුණත්වය සහිතවය. ඒවායෙහි පහත් යෙදුමක්, වරදක් හෝ නුසුදුසු වදන් ඇත්තේ නැත. මන්ද පෙනෙන ආකාරයට, ඒවායේ කතුවරයාට ස්වාමින් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන්, දැනුමේ දීමනාව සහ කථනයේ දීමනාව ලැබී ඇති හෙයිනි. අනෙක් තැනැත්තා එළිදරව් කිරීම් දුටු බව සහ අනාවැකිය ලැබුණු බව මම ප්‍රතික්ෂේප නොකරමි. එහෙත් ඔහුගේ ශෛලිය හා ග්‍රීක භාවිතය සාවද්‍යය. එසේම ඔහු පහත් රූපක සහ ඉඳහිට වැරදි වචන භාවිත කරයි. මා මෙය උපහාසය පිණිස නොපවසන බැවින්, දැන් මේවා කොහෙත්ම උපුටා දැක්විය යුතු නැත. එහෙත් ලේඛනවල අසමානතාවය ඔප්පු කිරීමට පමණක් මෙසේ දක්වා ඇත.
ඩයොනිසියස්ගේ ලිපි
මේවාට අමතරව, ඩයොනිසියස්ගේ තවත් බොහෝ ලිපි තිබේ. නිදසුනක් ලෙස, අම්මොන්ට, බර්නිස්හි රදගුරුවරයාට සැබෙලියස්ට එරෙහිව ලියූ ලිපි සහ ටෙලෙස්ෆොරස්, යුෆ්‍රනෝර්, නැවතත් අම්මොන් වෙත, සහ යුප්‍රෝස් වෙත ලියූ ලිපි ඇත. ඔහු රෝමයේ ඔහුගේ නම පැවතීම පිණිස එම විෂය සම්බන්ධයෙන්ම නිබන්ධන හතරක් ලිවීය. ඔහුගේ තවත් බොහෝ ලිපි සහ පොත් මා සතුව ඇත. ස්වභාවධර්මයේ සිටින අය ඔහුගේ පිරිමි ළමයා වන තිමෝතිට ආමන්ත්‍රණය කළ නිබන්ධය සහ යුෆ්‍රනෝර්ට කැප කර ඇති පරීක්ෂාවන් පිළිබඳ තවත් නිබන්ධයක් වේ. වෙනත් ලිපි අතර පෙන්තපොලිස්හි රදගුරු වූ බැසිලිඩස්ට ලිවීමේදී, ඔහු දේශනාකාරයා පොතේ ආරම්භය පිළිබඳ විවරණයක් ලියා ඇති බව ඔහු පවසයි. ඩයොනිසියස් පිළිබඳ බොහෝ දේපැවසීමට ඇත. අපි අපේම පරම්පරාව පිළිබඳ සඳහන් කිරීමට යොමු වෙමු.
සමෝසාටාහි පාවුල්
සිස්ටස් [II] රෝම සභාව භාරව එකොළොස් වසරක් සිටි පසුව, ඔහුගෙන් පසුව ඩයොනිසියස් රදගුරුවරයා ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරුවරයාගේ නාම මාත්‍රය සඳහා පත් කරන ලදී. ඉන්පසුව, ඩිමෙට්‍රියන් අන්තියෝකියේදී මේ ජීවිතයෙන් සමු ගත් විට, සමෝසාටාහි පාවුල්ට රදගුරු පදවිය ලැබුණි. ඔහු සභාවේ ඉගැන්වීම්වලට පටහැනිව ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ පහත් දැක්මක් ඇතිව සිටි බැවින්, ඔහු සාමාන්‍ය මිනිසෙකු ලෙස සලකා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනිසියස්ට සිනොඩ්වලට (සභාවේ රදගුරු හා දේවගැතිවරුන්ගේ රැස්වීම්) සහභාගී වීමට ආරාධනා කරන ලදී. කෙසේ වෙතත් වයස සහ දුර්වලකම නිසා එයට සහභාගි නොවීමට අවසර ගෙන ඔහු තමා රැස්වීමට යාම පසුවට කල් දමා, එම ගැටලුව සම්බන්ධයෙන් ඔහු ලිපියක් යැවීය. ප්‍රශ්නයේ ප්‍රශ්නය. එහෙත් වෙනත් දේවගැතිවරු ක්‍රිස්තුස් වහන්සේගේ රැළ විනාශ කරන්නා සමග කටයුතු කිරීමට සියලු දිශාවලින් අන්තියෝකියට පැමිණීමට ඉක්මන් වූහ.
අන්තියෝකියේ සිනොඩය
මේ අතරින් වඩාත් කැපී පෙනෙන අය වූයේ කපදෝසියාවේ සිසේරියාවෙහි රදගුරු ෆර්මිලියන්; පොන්තස්හි දේවගැතිවරුන්, සහෝදරයන් වන ග්‍රෙගරි සහ ඇතෙනෝඩර්; තාර්සස්හි [රදගුරු] හෙලේනස්; ඉකෝනියෙහි නිකොමාස්, යෙරුසලමේ හයිමේනියස්, අසල්වැසි සිසේරියාවෙහි තියෝටෙක්නස්, සහ බොස්ට්‍රාහි සහෝදරයන්ට විශිෂ්ට ලෙස නායකත්වය දෙමින් සිටි මැක්සිමස් යන අයයි. මෙම කාරණය සඳහා වැඩිමහල්ලන් සහ උපස්ථායකයින් මෙන්ම තවත් බොහෝ දෙනෙක් අන්තියෝකියේ රැස් වූහ. එහෙත් ඔවුන් අතරින් වඩාත්ම කීර්තිමත් අය මොවුහුය. ඔවුන්ගේ බොහෝ සැසිවාරවලදී මතු කරන ලද තර්ක සහ ප්‍රශ්න අතරතුර, සමෝසටීන් සහ ඔහුගේ පාර්ශ්වය ඔහුගේ විෂමභාවය සැඟවීමට එසේත් නැතිනම් වසා ගැනීමට උත්සාහ කළ අතර අනෙක් අය ක්‍රිස්තුස් වහන්සේට එරෙහි ඔහුගේ මිථ්‍යාදෘෂ්ටික අපහාස එළිදරව් කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට උපරිම උත්සාහයක් ගත්හ.
එකල, ගැලියේනස්ගේ දොළොස්වන අවුරුද්දේදී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරුවරයා ලෙස වසර දාහතක් මුලසුන හොබවමින් සිටි ඩයොනිසියස් මිය ගියේය. මැක්සිමස් ඔහුගේ අනුප්‍රාප්තිකයා විය. ගැලියේනස් අධිරාජ්‍යයා ලෙස වසර පහළොවක් පාලනය කිරීමෙන් පසු, ක්ලෝඩියස් [ගොතිකස්] අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඔහු වසර දෙකක පාලනයෙන් පසු අවුරේලියන් හට රාජ්‍ය පැවරීය.
පාවුල්ගේ නෙරපා හැරීම
ඔහුගේ පාලන සමයේදී, රදගුරුවරුන් ඉතා විශාල සංඛ්‍යාවක් සහභාගි වූ අවසන් සිනොඩයක් පවත්වනු ලැබූ අතර අන්තියෝකියේ මිථ්‍යාදෘෂ්ටියේ නායකයා කවුරුන්දැයි හෙළි විය. ඔහු විෂමවාදය හේතුවෙන් හෙළා දකින ලදුව, ලොව පුරා කතෝලික සභාවෙන් නෙරපා හරින ලදී. ඔහුගේ වෙස්මුහුණු ගැලවීමට වඩාත්ම වගකිව යුතු පුද්ගලයා වූයේ අන්තියෝකියේ ග්‍රීක තර්ක ශාස්ත්‍රය පිළිබඳ පාසලක ප්‍රධානියා වූ උගත් මැල්චියන්ය. එසේම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ නිරපේක්ෂ ඇදහිල්ල නිසා එම ප්‍රජාවේ වැඩිමහල්ලෙකුව සිටියෙකි. ඔහු පාවුල් සමග සිදු කළ ඔහුගේ වාද විවාද කෙටියෙන් සටහන් කරගෙන තිබු අතර, ඒවා දක්වාම පවතියි. එසේම එම කපටි වංචාකාරයා හෙළි කිරීමට හැකි වූයේ ඔහුට පමණි.
පසුව රැස්ව සිටි දේවගැතිවරු ඒකමතිකව රෝමයේ රදගුරු ඩයොනිසියස් සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු මැක්සිමස් වෙත තනි ලිපියක් කෙටුම්පත් කර එය සියලුම පළාත්වලට යැවූහ. එහි ඔවුන් ඔවුන්ගේ ජ්වලිත උත්සාහයන්, පාවුල්ගේ විකෘති විෂමඉගැන්වීම, ඔහු සමග ඔවුන් සිදු කළ වාද විවාද, සහ ඔහුගේ ජීවිතය සහ හැසිරීම පිළිබඳ සාරාංශයක් විය. ඒ පහත පරිදිය:
ස්වාමින් වහන්සේ තුළ අපගේ ආදරණීය සහෝදරයන් වන ඩයොනිසියස්, මැක්සිමස් සහ ලොව පුරා සිටින අපගේ සියලුම සගයන් වන රදගුරුවරුන්, වැඩිමහල්ලන් සහ උපස්ථායකයන් සහ මුළු කතෝලික සභාවට – හෙලේනස්, හයිමේනස්, තියෝෆිලස්, තියෝටෙක්නස්,මැක්සිමස්ථ ප්‍රෝක්ලස්ථ නිකොමස්,ඒලියන්ථ පාවුල්, බොලානස්, ප්‍රොටෝජෙනස්,හයිරැක්ස්, යුටිචියස් තියඩෝර්, මැල්චියන්, ලුසියස් සහ අපගේ සියලුම සාමාජිකයින්ගෙන් සුබපැතුම්!
ඉතා දුරබැහැර සිටින රදගුරුවරුන්ටද පැමිණ මෙම මාරාන්තික ඉගැන්වීම සුව කරන්න යයි අපි ආරාධනා කළෙමු. නිදසුනක් ලෙස, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනිසියස් සහ කපදෝසියෙහි ෆර්මිලියන් යන ආශීර්වාද ලත් අය සිහි කරමු. කලින් සඳහන් කළ තැනැත්තා මිථ්‍යාදෘෂ්ටියෙහි නායකයා – ඔහු පෞද්ගලික ලිපි හුවමාරුවට නුසුදුසු යැයි සලකමින් – ඔහුට නොව අන්තියෝකියේ මුළු ප්‍රජාවටම ලිවීය. අපි එහි පිටපතක් අමුණන්නෙමු. කෙසේ වෙතත්, ෆර්මිලියන් දෙවතාවක් පැමිණ පෝගේ නවො සංකල්ප හෙළා දුටු අතර, එයට අප සහ තවත් බොහෝ අය සාක්ෂිය. එහෙත් පාවුල් වෙනස් වීමට පොරොන්දු වූ විට, ඔහු [රැස්වීම] විසුරුවා හැරියේ, දේව, වචනයට කිසිදු වරදක් නොකර කාරණය සමථයකට පත් වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි – එසේ වූවත් දෙවියන් වහන්සේ, ඔහුගේ ස්වාමින් සහ ඔහු කලින් දැරූ ඇදහිල්ල ප්‍රතික්ෂේප කළ අයෙකු විසින් ඔහු රැවටීමට ලක් කරන ලදී. ෆර්මිලියන් නැවතත් අන්තියෝකිය වෙත ගමන් කරන්නට සිතා සිටියේය – දැන් මෙම මිනිසාගේ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන නපුර තාර්සස් දක්වාම දුරදිග ගොස් ඇත. එහෙත් අපි රැස්වී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියදී ඔහු ජීවිතයේ අවසානය කරා ළඟා විය.
ඔවුහු තවදුරටත් [පාවුල්ගේ] ජීවන රටාව විස්තර කරති:
ඔහු කැනනය අතහැර ව්‍යාජ සහ අවජාතක ධර්ම නියාමකයන් වෙත හැරී ගොස් ඇති බැවින්, අප සභාවෙන් පිටත සිටින කෙනෙකුගේ හැසිරීම විනිශ්චය කළ යුතු නැත. මින් පෙර සතයක් හෝ නොමැතිව, තම මුතුන් මිත්තන්ගෙන් ජීවනෝපාය මාර්ගයක් නොලබා නැතිනම් යම් කුසලතාවක් හෝ රැකියාවක් නොමැතිව සිටි ඔහු දැන් නීති විරෝධී ක්‍රියාවන්, සභා කොල්ලකෑමෙන් සහ සහෝදරයන්ගේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගනිමින් ඔහු දැන් විශාල ධනයක් හිමි කරගෙන ඇත. තුවාලකරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින්, ඔහුගේ වචනය කඩ කරමින් මුදල් උදෙසා ඔවුන්ට උපකාර කිරීමට ඔහු පොරොන්දු වේ. එසේ ඔහු නඩුවලට හසු වූ අයගෙන්, තමන්ට හිරිහැර කරන අයගෙන් සහන ලබා ගැනීමට කැමති වූ අයගෙන් පහසුවෙන් මුදල් උපයා ගනී. එහිදී දේව භක්තිය යනු ලාභය ලැබීම යැයි උපකල්පනය කරයි. අධික අභිලාෂකාමී සහ උඩඟු අයෙකු වන ඔහු ලෞකික ගෞරවයෙන් සැරසී සිටින අතර රදගුරුවරයා යයි හඳුන්වනු ලබනවාට වඩා අධිරාජ්‍යයා යැයි හඳුන්වනු ලබනවාට කැමති අයෙකි. එසේම වෙළඳපොළවල්වල සැරිසරමින්, විශාල ආරක්ෂක පිරිසක් විසින් වට කරන ලදුව ප්‍රසිද්ධියේ ගමන් කරන විට ලිපි කියවීම හෝ නියම කිරීම සිදු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ පිම්බුණු අහංකාරය සහ උඩඟුකම නිසා ශ්‍රද්ධාව අපකීර්තියට හා පිළිකුලට ලක් වී ඇත.
මෙම ව්‍යාජ මිනිසා ඔහු වේදිකාවේ වාඩි වී සිටින විට සරල ආත්මයන් අන්ධ කිරීම පිණිස සභාවේ රැස්වීම්වලදී අන් අයට පෙනෙන පිණිස දේවල් සිදු කරයි. ” ඔහු තමාටම නිර්මාණය කර ගත් උත්තම සිංහාසනය ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකුට කොතරම් නුසුදුසුද! එසේත් නැතිනම් ඔහු මේ ලෝකයේ පාලකයන් අනුකරණය කරමින් රහසින් සිහසුන නිර්මාණය කළ දේ කෙතරම් නුසුදුසුද! ඔහු තම කලවයට ගසා වේදිකාවට ගසයි. ඇතැම්හු රඟහලකදී මෙන් අත්පුඩි ගැසීමට හෝ තම ලේන්සුව වැනීමට අසමත් වෙති. නැත්තම් ඔහුගේ පාර්ශ්වකරුවන් වන අවුල්සහගත ගැහැනු පිරිමි මෙන් කෑ ගසමින් උඩ පනින්නට අසමත්ව, ඒ වෙනුවට දෙවියන් වහන්සේගේ ගෘහයේදී සිටින්නාක් මෙන් පිළිවෙළට ගෞරවයෙන් සවන් දීම සිදු කරති, මේවාට ඔහු නින්දා අපහාස කරයි. මෙලොව හැර ගිය දේව වචනය අර්ථකථනය කරන්නන්ට එරෙහිව ඔහු ප්‍රසිද්ධියේ අසභ්‍ය ලෙස ප්‍රහාර එල්ල කරයි. ඒ අතරම තමන් විශාරදයෙකුට හෝ බුද්ධිමතෙකුට වඩා විචක්ෂණවාදියෙකු ලෙස පුරසාරම් දොඩමින් ක්‍රියා කරයි.
අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වන සියලුම ගීතිකා ඔහු මෑතදී රචනා කළ ඒවා යයි තහනම් කර ඇත. එහෙත් ඔහු මහා පාස්කු දිනයේ සභාව මැද තමාට ගීතිකා ගායනා කිරීමට කාන්තාවන්ට උපදෙස් දෙයි. ඒවා කෙනෙකු ඇමෙන් පවා වෙව්ලනු ඇත! යාබද දිස්ත්‍රික්කවල සහ නගරවල රදගුරුවරුන් සහ වැඩිමහල්ලන්ට ඔවුන්ගේ දේශනාවලට ඇතුළත් කිරීමට ඔහු අවසර දෙන කාරණා එබඳුය. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ස්වර්ගයෙන් බැස පැමිණි බවට ඇදහිල්ල ප්‍රකාශ නොකරනු ඇත (එය අමුණා ඇති බොහෝ සටහන්වල ඉක්මනින්ම ලේඛනගත වනු ඇත. විශේෂයෙන් ඔහු යේසුස් ක්‍රිස්තුස් “පහළ සිට” පැමිණෙන බව පවසන කාරණය). එහෙත් ඔහුට ගීතිකා ගායනා කරන අය සහ ප්‍රශංසා කරන අය ඔවුන්ගේ දුෂ්ට ගුරුවරයා ස්වර්ගයෙන් බැස ආ දේවදූතයෙකු බව පවසති. ඔහු මෙය වළක්වන්නේද නැත. එහෙත් එවැනි දේ පවසන විට පවා ඔහුගේ උද්දච්චකම තුළ ඔහු එහි සිටියි.
එසේම අන්තියෝකියවරුන් සහ ඔහුගේ වැඩිමහල්ලන් සහ උපස්ථායකයන් අනුකරණය කරන පරිදි ඔහුගේ “ආත්මික මනාලියන්” පිළිබඳ කුමක් කිව හැකිද? ඔහු ඔවුන් සමග එකතු වන්නේ මෙය සහ ඔවුන්ගේ සුව කළ නොහැකි වෙනත් පාපයන් සඟවා ගැනීම පිණිසය. එම නිසා, ඔහුට ණයගත් බවින් යුක්තව, ඔහු වචනයෙන් සහ ක්‍රියාවෙන් කළ අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා කිරීමට ඔවුහු ඉතා බිය වී ඇත. ඔහු ඔවුන් ධනවත් බවට පවා පත් කර ඇති අතර, එමගින් ඔවුන්ගේ පක්ෂපාතී බව සහ පැහැදීම අගය කිරීම ලබාගෙන ඇත. කෙසේ වෙතත්, ප්‍රේමවන්තයෙනි, රදගුරුවරයා සහ මුළු පූජක මණ්ඩලයම මිනිසුන්ට යහපත් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සියල්ලන්ටම ආදර්ශයක් විය යුතු බව අපි දනිමු. කොපමණ සංඛ්‍යාවක් මිනිසුන් තමන් වෙනුවෙන් “ආත්මික මනාලියන්” ලබා ගැනීමමේ තත්වයට වැටී ඇත්ද යන්න සහ එසේ කරන බවට සැක ඇති තවත් අය ඇති බව අපි දැන සිටිමුව. (පාවුල්) සදාචාරවත් නොවන කිසිවක් සිදු නොකරන බවට අප පිළිගත්තත්, ඔහු අනුකරණය කිරීමෙන් ඇතැමෙක් නොමග නොයන පිණිස ඔහු අවම වශයෙන් එවැනි ක්‍රියාවන් නිසා ඇති වන සැකයෙන්ගෙන් වැළකී සිටිය යුතුය. ලියා ඇති පරිදි, ඔහු දැනටමත් එක්කෙනෙකු ඉවත් කර දමා ඇති අතර දැන් තරුණ, ලස්සන අය දෙදෙනෙකු ඔහු සමග ජීවත් වේ. ඔහු යන සෑම තැනකටම ඔහු ඔවුන් තමා සමග රැගෙන යන්නේය. සුඛෝපභෝගී සහ අතිරික්ත ජීවිතයක් ගත කරන්නේය. තවදුරටත් කාන්තාවක් සමග ඇසුරු කිරීමෙන් ලිස්සා වැටී නොයන ලෙස ඔහු යමෙකුට තරවටු කරන්නේ හෝ ඔහුට උපදෙස් දෙන්නේ කෙසේද? සියලු දෙනාම මේ සම්බන්ධයෙන් කෙඳිරි ගෑවත් සහ රහසින් මේ පිළිබඳ ඇඬුවත්, ඔවුන් ඔහුගේ ඒකාධිපති කෲරත්වයට ස බලය බොහෝ බිය වන අතර ඔවුහු ඔහුට චෝදනා කිරීමට එඩිතර නොවෙති. එහෙත්, අප කලින් කී පරිදි, අපගෙන් කෙනෙකු මෙන් කෙනෙකුට කතෝලික මනසක් ඇත්නම් යම් මිනිසෙකුට මේ දේවල්වලට වගකිව හැකිය. ගණන්දිය හැකිය. එහෙත් අබිරහස විහිළුවකට ලක් කළ අයෙකුට, ආටෙමාස්ගේ මිථ්‍යාදෘෂ්ටිය වෙනුවෙන් පෙළපාලි ගිය කෙනෙකුට, ඔහුගේ පියාගේ නම අප විසින් නොදැමිය යුත්තේ මන්ද? එවැනි අයගෙන් ගණන් දීමක් සිදු කිරීමක් අවශ්‍ය වීමේ කිසිදු යුතුකමේ බැඳීමක් අපට දැනෙන්නේ නැත. …
ඔහු දෙවියන් වහන්සේට විරුද්ධ වූ නිසාත්, යටත් වීම ප්‍රතික්ෂේප කළ නිසාත් ඔහු නෙරපා හැර ඔහු වෙනුවට වෙනත් රදගුරුවරයෙකු කතෝලික සභාවට පත් කිරීම උදෙසා අපට බල කෙරුණි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්, [අප තෝරා ගත්තේ] අපට නිසැකව දැනෙන ආශීර්වාද ලත් ඩිමෙට්‍රියන්ගේ පුත්‍රයා වන ඩොම්නස්ය. ඔහු වරක් එම ප්‍රජාවටම විශිෂ්ට ලෙස මුලසුන දැරූ අයෙකි. ඔහු රදගුරුවරයෙකුට අවශ්‍ය සියලුම විශිෂ්ට ගුණාංගවලින් සැරසී සිටින්නේය. එසේ [ඔහුගේ පත් කිරීම] පිළිබඳ අපි ඔබට දන්වන්නෙමු. එවිට ඔහුට ලිපි ලිවීමට ශුද්ධ වූ සහභාගීකම ඔහු සමග (ස්ථාපිත) කර ගනිමින් ඔහුගෙන් ලිපි ලැබීමට ඔබට හැකි වනු ඇත. එහෙත් මේ සගයාට අර්ටෙමාස්ට ලියන්නට ඉඩ දෙන්න. එසේම ඔහුගේ පාර්ශ්වයේ අයට ඔහු සමග සහභාගීත්වය පවත්වන්නට ඉඩ හරින්න.
ලියා ඇති පරිදි, පෝල්ට ඔහුගේ සම්ප්‍රදායිකත්වය මෙන්ම රදගුරු පදවියද අහිමි වූ විට, ඩොම්නස් අන්තියෝකියේ සේවය භාර ගත්තේය. එහෙත් සභා ගොඩනැගිල්ල සන්තකයේ තබාගන එය භාර දීම පාවුල් තරයේ ප්‍රතික්ෂේප කළේය. එබැවින් අවුරේලියන් අධිරාජ්‍යයාට අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර, ඔහු මෙම කාරණය සම්බන්ධයෙන් ඉතා සාධාරණ තීරණයක් දුන්නේය: ඉතාලියේ සහ රෝමයේ ආගමේ රදගුරුවරුන් හට පවරා ඇති පවරා ඇති ගොඩනැගිලි ලිඛිතව දක්වා ඇති කරුණුවලට අනුරූප විය යුතු බවට ඔහු නියෝග කළේය. ඒ අනුව අදාළ පුද්ගලයා ලෞකික අධිකාරිය මගින් ඉතාමත් නින්දිත ආකාරයෙන් සභාවෙන් නෙරපා හරින ලදී.
ඒ කාලයේදී අවුරේලියන් අප කෙරෙහි දැක්වූ ආකල්පය එයයි. එහෙත් ඔහුගේ පාලන සමයේදී ඔහුගේ ආකල්ප වෙනස් වූ අතර, දැන් ඔහුගේ සමහර උපදේශකයින් විසින් අපට එරෙහිව පීඩාවක් ඇති කිරීම පිණිස ඔහුට පීඩනයක් එල්ල විය. ඒ සම්බන්ධයෙන් සෑම තැනකම බොහෝ අදහස් ප්‍රකාශ විය. එහෙත් ඔහු අපට විරුද්ධව ආඥාවන් අත්සන් කිරීමට ආසන්නව සිටි අවස්ථාවේදී කුමක් සිදු වීද යත්, ඔහුගේ සැලැස්ම අධෛර්ය කර, දිව්‍යමය යුක්තිය විසින් ඔහුගේ අත් වළකන ලදී. අපට ජයග්‍රහණය දෙන හස්තය විසින් එය දිව්‍යමය විනිශ්චයක් ලෙස තෝරාගත් අවස්ථාවලදී අපට දඬුවම් කිරීමට සහ අප ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ දුන්නේ නම් මිස, මේ ජීවිතයේ පාලකයන්ට කිසිදාක ක්‍රිස්තුස් වහන්සේගේ සභාවලට පහර දීම පහසු නොවනු ඇති බවට එය පැහැදිලි සාක්ෂියකි. කුමන කාරණයක් නිසා හෝ වේවා, අවුරේලියන් වසර හයක් පාලනය කළ පසුව, ප්‍රෝබස් ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා ලෙස බලයට පත් විය. ඔහු දිගු කාලයක් රජකම් කළ අතර, ඔහුට පසුව කේරස් සහ ඔහුගේ පුත්‍රයන් වන කේරිනස් සහ නමේරියන් පත් වූහ. ඔවුන්, වසර තුනකට අඩු කාලයක් පාලනය කිරීමෙන් පසුව, රාජ්‍ය බලය ඩයොක්ලීෂියන් සහ ඔහු සමග ගෙනා අය අතට පත් විය. මගේම කාලයේදී ඔවුන් යටතේ සභාවට පීඩාවන් හා විනාශය ඇති විය. මෙයට ටික කලකට පෙර, රෝමයේ ඩයොනිසියස් රදගුරු වසර නවයක් පාලනය කිරීමෙන් පසුව, ෆීලික්ස් අනුප්‍රාප්තිකයා ලෙස පත් විය.
මැනිචියන් මිථ්‍යාදෘෂ්ටිය
එවිට, දෙවියන් වහන්සේගේ විරුද්ධකාරයා වන සාතන් බොහෝ දෙනෙකුගේ විනාශය සඳහා ඔහු ඉදිරිපත් කර තිබූ බැවින් (මනි) යන නමින් පිළිබිඹු වන පරිදි උන්මන්තකයා වන තැනැත්තෙකු ඔහුගේ යක්ෂාවේශ වූ මිථ්‍යාදෘෂ්ටිය සමගින් මානසික මායාවෙන් සන්නද්ධ වී කටයුතු කළේය. ඔහුගේ ජීවන රටාව සහ ඔහුගේ කථාව සහ හැසිරීම්වලින් හෙළි වූ පරිදි ම්ලේච්ඡයෙකු වන ඔහු, ස්වභාවයෙන්ම යක්ෂාවේශ වූ අයෙකු සහ උමතු වූවෙකු වූ ඔහු ක්‍රිස්තුස් වහන්සේ ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමේදී එසේ ක්‍රියා කළේය. තවත් අවස්ථාවකදී ඔහු තමා ශුද්ධාත්මයාණන් වහන්සේ වන පැරක්ලීට් (Paraclete/ සහනදායකයාණන් වහන්සේ) බව ප්‍රකාශ කළේය. ඔහුගේ මොළය උඩඟ බවින් විකෘති වී තිබිණි. තවත් අවස්ථාවකදී ඔහු ක්‍රිස්තුස් වහන්සේ කළාක් මෙන් ගෝලයන් දොළොස් දෙනෙකු තෝරා ගත්තේ ඔහුගේ නව සංකල්පවල සහකරුවන් වීම පිණිසය. ගණන් කළ නොහැකි, දිගු කලක් වඳ වී තිබූ මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් ගත් ව්‍යාජ සහ අභක්තික ධර්ම නියාමක එකට එකතු කරමින් පර්සියාවෙන් ආනයනය කරන ලද මාරාන්තික විෂකින් ඔහු අපේ ලෝකය ආසාදනය කළේය. ඔහුගෙන් මනිචේන් යන අශුද්ධ නාමය ව්‍යුත්පන්න වී ඇත. එය තවමත් පොදු භාවිතයේ පවතී. මෙම ඊනියා දැනුම සඳහා පදනම එසේ විය.
සමකාලීන සභාවේ අය
වසර පහක් පුරා රෝම සභාවේ ප්‍රධානියා වූ ෆීලික්ස්ට පසුව යුටිචියන් පත් විය. ඔහු පාලනය කළේ මාස දහයකට වඩා අඩු කාලයකි. පසුව මගේ සමකාලීනයෙකු වන ගායස් ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා බවට පත් වී වසර පහළොවක් පමණ පාලනය කළේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ පීඩා කාලයේ ගොදුරක් බවට පත් වූ මාර්සෙලිනස්ය.
ඔවුන්ගේ කාලයේ අන්තියෝකියේදී, රදගුරු පදවිය ඩොම්නස්ගේ සිට ටිමේයස් වෙත භාර විය. ඔහුට පසුව මගේ සමකාලීනයෙකු වන සිරිල් පත් විය. ඔහුගේ කාලයේදී මම අන්තියෝකියේ උගත් වැඩිමහල්ලෙකු වූ ඩොරෝතියස් දැන හඳුනා ගත්තෙමි. ඔහු තුළ වූ දේවධාර්මික උද්යෝගය නිසා ඔහු හෙබ්‍රෙව් භාෂාව හොඳින් ප්‍රගුණ කළේය. එසේ හෙබ්‍රෙව් ශුද්ධලියවිලි කියවා තේරුම් ගැනීමට ඔහුට හැකි විය. එසේම ඔහු ලිබරල් කලාව සහ ග්‍රීක ප්‍රාථමික අධ්‍යාපනය හොඳින් දැන සිටියෙකි. කෙසේ වූවත් ඔහු ඔහුගේ උපතේ සිටම ස්වභාවයෙන්ම නපුංසකයෙකි. අධිරාජ්‍යයාම මෙය යම් ආකාරයක හාස්කමක් සේ සලකමින්, ඔහුගේ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර, තීර්හි දම් පාට සායම් වැඩ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ලෙස ඔහු පත් කළේය. ඔහු සභාවේදී ශුද්ධලියවිලි පිළිබඳ ඒත්තු ගැන්වෙන පැහැදිලි කිරීමක් සිදු කරනු මට ඇසිණි.
සිරිල්ගෙන් පසුව, ටිරානස් අන්තියෝකියේ රදගුරු බවට පත් වූ අතර, ඔහුගේ කාලයේදී සභාවලට එල්ල වූ ප්‍රහාරවල උච්චතම අවස්ථාවට දක්නට විය.
ලවෝදිසියෙහි, ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපන් යුසේබියස්, සොක්‍රටීස්ට පසුව රදගුරුවරයා ලෙස පත් විය. ඔහුගේ පැමිණීමට හේතුව පාවුල් සම්බන්ධ ප්‍රශ්නයයි. ඒ නිසා ඔහු සිරියාවට පැමිණ ඇති අතර එහිදී උද්යෝගිමත් දේවධර්මාචාර්යවරු ඔහු ආපසු නිවසට යාමෙන් වැළැක්වූහ. අප අතර සිටින අයගෙන් ඔහු භක්තිය පිළිබඳ හොඳම උදාහරණවලින් කෙනෙකි. ඒ බවට ඩයොනිසියස්ගේ කලින් උපුටා දක්වන ලද ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වේ. ඇනටෝලියස් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ අතර එක් යහපත් මිනිසෙකුට පසුව තවත් යහපත් මිනිසෙක් පත් විය. එසේම, උපතින් ඇලෙක්සැන්ඩ්‍රියානු ජාතිකයෙකු වන ඔහු ලෞකික අධ්‍යයනය සහ දර්ශනය පිළිබඳ – අංක ගණිතය, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව සහ වෙනත් විද්‍යාවන්, තර්ක ශාස්ත්‍රය, භෞතික විද්‍යාව සහ වාද ශාස්ත්‍රය පිළිබඳ ඉහළම ස්ථානයට ළඟා වෙමින් ඔහුගේ උගත්කම සම්බන්ධයෙන් අපගේ වඩාත්ම කීර්තිමත් සමකාලීනයන් අතර පළමු ස්ථානය ගත්තේය.
මේ හේතුව නිසා, එහි සිටි පුරවැසියෝ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇරිස්ටෝටලියානු සම්ප්‍රදාය පිළිබඳ පාසල පිහිටුවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිරුචේයම් වටලෑමේදී ඔහුගේ ගණන් කළ නොහැකි තරම් ජයග්‍රහණ වාර්තා වී ඇත – එය නිලධාරීන් අතර අසාමාන්‍ය වරප්‍රසාදයකි. මම මෙයින් එකක් පමණක් උපුටා දක්වන්නෙමි. වටලාගැනීමට ලක් වූවන්ගේ ධාන්‍ය අවසන් වූ විට දැඩි කුසගින්න දැන් සතුරාට වඩා නරක විය. (ඇනටෝලියස්), පහත යෝජනා සැලැස්ම නිර්මාණය කළේය. රෝමයේ පැත්තෙන් සටන් කරමින් සිටි නගරයේ අනෙක් කොටස වටලනු ලැබුවේ නැත. තවමත් සිරියාවට නොගිය යුසේබියස් මෙහි සිටිමින් රෝම ජෙනරාල් වෙත පවා ඔහු පිළිබඳ සඳහන් කරන තරමට ඉහළ කීර්තියක් දිනාගෙන සිටියේය. ඇනටෝලියස් මිය යන අය පිළිබඳ ඔහුට දැනුම් දුන් විට ඔහු රෝම අණ දෙන නිලධාරියාගෙන් විශාල උපකාරයක් ඉල්ලා සිටියේය. එනම් සතුරාගෙන් පලා ගිය අයට ප්‍රතිශක්තිය ලබා දෙන ලෙසයි. මෙය අනුමත වූ බව දැනගෙන, ඇනටෝලියස් විසින් කවුන්සිලයක් කැඳවා එහිදී ඇලෙක්සැන්ඩ්‍රියානුවන්ගෙන් මුලින්ම ඉල්ලා සිටියේ රෝමවරුන් සමග මිත්‍රත්වය ඇති කරගන්නා ලෙසයි. ඔවුන් මෙම යෝජනාව නිසා කෝපයට පත් වූ විට, ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “අපි අපට වැඩක් නැති වයසක මිනිස්සුන්ට, කාන්තාවන්ට, කුඩා දරුවන්ට යන්නට ඉඩ හැරියොත් එයට ඔබ එපා නොකියනු ඇතැයි මා සිතනවා. මැරෙන මොහොතේ සිටින අප සමග මේ මිනිසුන් තියාගන්නේ ඇයි? නගරය ආරක්ෂා කරන පිරිමින්ට සහ තරුණයින්ට තිරිඟු සලාකයට ලබා දිය යුතු විට, ආබාධිත හා අබ්බගාත අය සාගින්නෙන් මිය යාමට ඉඩ දෙන්නේ ඇයි?”
එවැනි තර්ක සමග ඔහු සභාවට එම කාරණය ඒත්තු ගැන්වීය. හමුදාවට අවශ්‍ය නොවන සියලු දෙනාට පිටව යාමට අවසර දෙන ලද අතර, වටලනු ලැබූ සියල්ලන්ම පාහේ බේරා ගැනීමට ඔහුට හැකි විය. සභාවට අයත් අයට මුලින්ම පළා යාමටත් පසුව ඔවුන්ගේ වයස කුමක් වුවත් ඉතිරි අයට පළා යාමටත් ඔහු කටයුතු කළේය. එහිදී ඡන්ද ලේඛනයේ සඳහන් කර ඇති අය පමණක් නොව එසේ මවා පෙන්වන තවත් විශාල පිරිසකට පළා යාමට ඔහු කටයුතු කළේය. කාන්තා ඇඳුම් ඇඳ වෙස්වලාගෙන, ඔහුගේ සැලැස්මට අනුව ඔවුහු රාත්‍රියේදී ගේට්ටුවෙන් පිටව ගියහ. රෝම හමුදාව වෙත යාමට ඉක්මන් කළහ. එහිදී යුසේබියස් ඔවුන් පිළිගත්තේය. ඔහු පියෙකු සහ වෛද්‍යවරයෙකු මෙන් වැටලීමට ගොදුරු වූවන්ට මෘදු රැකවරණය ලබා දුන්නේය. ලවෝදිසියෙහි සභාවෙහි එක් අයෙකුට පසුව අනෙක් කෙනා ලෙස අනුක්‍රමිකව සේවය කළ දේවගැතිවරු දෙදෙනාද එවැන්නෝය. යුද්ධයෙන් පසු එහි පැමිණීම පිණිස දිව්‍යමය අනුශාසනාවෙන් ඔවුහු ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිටව ගියහ.
ඇනටෝලියස් විශාල පොත් සංඛ්‍යාවක් ලියා නැත. එහෙත් ඔහුගේ විශිෂ්ට කථිකත්වය සහ උගත්කම එළිදරව් වන තරම් කෘතීන් අප වෙත ළඟා වී ඇත. මේවායේ ඔහු විශේෂයෙන් පාස්කු උත්සවය පිළිබඳ ඔහුගේ අදහස් ඉදිරිපත් කරයි. මම මෙය එයින් උපුටා දක්වමි:
ඇනටෝලියස්ගේ කැනන්වලින් (සම්මත පොත්වලින්) පාස්කු උත්සවය සම්බන්ධව
දහනව වසර චක්‍රය ආරම්භයේදී, පළමු වසරේ පළමු මාසයේ නව සඳ ඇති දිනය, ඊජිප්තුවරුන්ට අනුව ෆාමෙනොත් 26, මැසිඩෝනියානුවන්ට අනුව ඩිස්ට්‍රස් 22, නැතිනම් රෝමවරුන් පවසන පරිදි අප්‍රේල් (මාර්තු 21) කැලැන්ස්වලට පෙර 11 දිනයයි. මෙම දිනයේදී, සූර්යයා දැනටමත් රාශි චක්‍රයේ පළමු ලකුණෙහි සිව්වන දිනය වෙත විත් ඇත. රාශි දොළහෙන් මෙම පළමුවැන්න සමකාලීන වේ: මාසවල ආරම්භය සහ ග්‍රහලෝකවල ආරම්භක ස්ථානය. කෙසේ වෙතත් පෙර ඇති දොළොස්වැනි අවසාන මාසය සහ රාශිය ග්‍රහලෝක චක්‍රයේ අවසානය වේ. එබැවින්, එම එහි පළමු මාසය ගෙන පාස්කු දහහතරවන දිනය ගණනය කරන අය අසාමාන්‍ය වරදක් කරති. (මෙය මගේම ප්‍රකාශයක් නොව, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමටත් පෙර සිටම යුදෙව්වන් දැන සිටි කාරණයකි. එසේම සාක්ෂිකරුවන් ලෙස ෆිලෝ, ජොසීෆස්, මියුසියස් සහ මහා ඇරිස්ටෝබුලස්ගේ ගුරුවරුන් ලෙස ප්‍රසිද්ධියට පත් වූ අගතොබුලි යන දෙදෙනා යන අය විසින් හොඳින් නිරීක්ෂණය කරන ලද සත්‍යයකි. ඔහු ටොලමි ෆිලඩෙල්ෆස් සහ ඔහුගේ පියා වෙනුවෙන් හෙබ්‍රෙව් ශුද්ධලියවිලි පරිවර්තනය කළ හැත්තෑ දෙනාගෙන් කෙනෙකි. ඔහු මෝසෙස්ගේ නීතිය පිළිබඳ විවරණ ඔවුන්ට කැප කර ඇත.)
නික්මයාම සම්බන්ධ ගැටලු ගැන සලකන කල, පළමු මාසයේ මැද වසන්ත විෂුවයට පසු සියලු දෙනා පාස්කුවේ පූජාව සිදු කළ යුතු බවත්, මෙය සිදු වන්නේ සූර්යයා සූර්යයාගේ (හෝ රාශි චක්‍රයේ) පළමු ලකුණ හරහා ගමන් කරන විට බවත් මෙම ලේඛකයෝ පවසති. ඇරිස්ටෝබුලස් මෙයට තවත් කාරණයක් එකතු කරමින් පවසන්නේ සූර්යයා පමණක් නොව චන්ද්‍රයාද සමක ලකුණක් හරහා ගමන් කළ යුතු බවයි. එකක් වසන්තයේ සහ එකක් සරත් සෘතුවේදී වශයෙන්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ එවැනි සලකුණු දෙකක් තිබේ. එසේ පාස්කු දිනය ඉර බැසීමෙන් පසු මාසයේ දහහතරවන දිනය වේ. එම නිසා චන්ද්‍රයා පුර පසළොස්වක පොහොයකදී මෙන් සූර්යයාට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි පවතිනු ඇත. එබැවින් හිරු එයි වසන්ත විෂුවයේ සහ චන්ද්‍රයා නිසැක ලෙසම සරත් සෘතුවේ සිටිනු ඇත. පාස්කු උත්සවය සහ මුහුන් නොදැමූ රොටි වළඳන උත්සවය සෑම විටම විෂුවයට පසුව සිදු විය යුතු බවට වන ඔවුන්ගේ වෙනත් තර්ක බොහොමයක් මම දනිමි. එහෙත් කැඩපතකින් මෙන් ක්‍රිස්තුස් වහන්සේ දැකීමට මෝසෙස්ගේ නීතියේ වැස්ම ඉවත් කරනු ලැබ ඇති අයගෙන් මම එවැනි සාක්ෂි ඉල්ලා නොසිටිමි. හෙබ්‍රෙව්වරුන් අතර පළමු මාසය විෂුවය ඉක්මවා යන බව ඒනොක්ගේ පොතේද පෙන්වා දී ඇත.
(ඇනාටෝලියස්ද) අපට අංක ගණිතය පිළිබඳ කොටස් දහයකින් යුතු හැඳින්වීමක් මෙන්ම දේවත්වය පිළිබඳ අධ්‍යයන තබා ගොස් ඇත. පලස්තීනයේ සිසේරියාවෙහි රදගුරු තියෝටෙක්නස් ඔහු තමාගේ මරණයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ප්‍රථමයෙන් ඔහු රදගුරු ලෙස අභිෂේක කළේය. ඇත්ත වශයෙන්ම ඔවුහු දෙදෙනාම කෙටි කලකට එකම සභාවේ මුලසුන දැරූහ. එහෙත් පාවුල් සම්බන්ධයෙන් කළ අන්තියෝකියේ සිනොඩය වෙත ඔහු කැඳවන ලදී. එසේ ලවෝදිසිය හරහා ගමන් කරන විට එහි සහෝදරයන් විසින් යුසේබියස් මිය ගොස් තිබූ බැවින්, ඔහු එහි රඳවා ගනු ලැබීය.
ලවෝදිසිය, සිසේරිය, යෙරුසලම සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ නායකයන්
ඇනටෝලියස්ද මේ ජීවිතය හැර ගිය විට, ස්ටීවන් එහි රදගුරුවරයා බවට පත් විය. ඔහු පීඩාවට පෙර සිටි අවසාන රදගුරුවරයායි. ඔහු දර්ශනවාදය සහ ලෞකික ඉගෙනීම පිළිබඳ ඔහුගේ දැනුම පිළිබඳ මහත් ගරු කටයුතු තැනැත්තෙකුව සිටියද, ඔහු පීඩාවලින් ඔප්පු වූ පරිදි, ඔහු දිව්‍යමය ඇදහිල්ලට එම ආකාරයටම කැප නොවීය. පීඩා සමයේදී ඔහු සත්‍ය වූ දාර්ශනිකයෙකුට වඩා බියගුලු කුහකයෙකු ලෙස එළිදරව් විය. එහෙත් ඔහු නිසා සභාව සහ ඇගේ ක්‍රියාකාරකම් විනාශ විය යුතු නැත. ඔවුන් ගලවනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින්ම එම ප්‍රජාවේ රදගුරු ලෙස තෝරා පත් කරගන්නා ලද අයෙකු තුළිනි: ඔහු තියෝඩෝටස්ය. ඔහුගේ ක්‍රියාවන් මගින් ඔහුගේ නමේ සත්‍යතාවය ඔප්පු කරනු ලැබිණි. ඔහු ශරීරය සුව කිරීමේ විද්‍යාවේ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට ළඟා වී සිටි අතරම, ඔහුගේ කරුණාව, අවංකභාවය සහ අව්‍යාජ බව සහ ඔහුගේ සහාය පැතූ සැමට අනුකම්පාව දැක්වීම නිසා ආත්මයන් සුව කිරීම සම්බන්ධයෙන්ද ඔහු කිසිවෙකුට නොදෙවෙනි විය.. ඔහු දේවත්වය පිළිබඳ අධ්‍යයනයටද විශාල උත්සාහයක් සහ කැපවීමක් සිදු කළේය.
තියෝටෙක්නස් පලස්තීනයේ සිසේරියේ බලවත් ලෙස රදගුරු පදවිය දැරීමෙන් පසුව, අගාපයස් ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත් විය. ඔහු ඔහුගේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, දුප්පතුන් වෙනුවෙන් නොමසුරුව ක්‍රියා කළේය. ඔහුගේ කාලයේදී, මම එම ප්‍රජාවේ වැඩිමහල්ලා බවට පත් වූ කථාවෙහි වඩාත් දක්ෂ මිනිසෙකු සහ අව්‍යාජ දාර්ශනිකයෙකු වූ පැම්ෆිලස් දැනහඳුනා ගත්තෙමි. ඔහුගේ පසුබිම සහ චරිතය පින්තාරු කිරීම වූ කලි ඉතා විශාල කාර්යයක් වනු ඇත. එහෙත් ඔහුගේ ජීවිතයේ විස්තර, ඔහු ආරම්භ කළ පාසල, පීඩා කාලය අතරතුර ඔහුගේ ඇදහිල්ලේ ප්‍රකාශ සහ වේදනා විඳීම්, මෙන්ම ඔහුගේ අවසාන වේද සාක්ෂිකවරයේ කිරුළ පිළිබඳ ඔහුට කැප කර ඇති විශේෂ කෘතියකින් වෙන වෙනම ආවරණය කර ඇත්තෙමි. ඔහු නිසැකවම එම නගරයෙහි සිටි ප්‍රශංසනීයම පුද්ගලයා විය.
මගේ දුර්ලභ සමකාලීනයන් දෙදෙනෙකු වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාවෙහි වැඩිමහල්ලෙකු වූ පීරියස්, සහ ෆොන්ටස්හි සභාවල රදගුරු වූ මෙලෙටියස්ය. කලින් සඳහන් කළ තැනැත්තා ඔහුගේ සම්පූර්ණ දරිද්‍රතාවයෙන් යුත් ජීවිතය සහ ඔහුගේ දාර්ශනික ඉගෙනීම සඳහා ප්‍රසිද්ධියට පත් විය. ඔහු දේවධර්මය ගැඹුරට උගත් අයෙකු වූ අතර, ඔහුගේ දේශනා කිරීම් සම්බන්ධයෙන් දක්ෂයෙක් විය. මෙලීටියස් (උගත් අය ඔහව ඇමතුවේ මෙලිෆ්ලුවස්, අට්කාහි මී පැණි ලෙසිනි) විශ්ව විශාරදයෙක් විය. කථිකත්වයෙහි අසාමාන්‍ය දක්‍ෂයෙකි, පාණ්ඩිත්‍යයෙහි අසමසම වූවෙකි. එමෙන්ම සාහිත්‍යයේ සියලුම අංශවල ඉතාම දක්ෂයෙකි – වරක් ඔහු හමුවීමෙන් ඔබට නිගමනය කරන පරිදි – ඔහු යහපත් ගුණධර්ම සඳහාද කැපී පෙනුණු අයෙකි. පීඩා කාලයේදී පලස්තීනය පුරා අවුරුදු හතක්ම ඔහු සොයා දඩයම් කළ බව මම දනිමි.
යෙරුසලමේ සභාවේ, සබ්දාස් හයිමේනියස්ට පසුව රදගුරුවරයා ලෙස පත් විය. ටික කාලයකට පසුව, ඔහු මිය ගිය අතර, මගේ කාලයේ පීඩා වන තෙක් සිටි රදගුරුවරුන්ගෙන් අවසාන කෙනා හර්මෝ අද දක්වා එහි ආරක්ෂා වී ඇති අපෝස්තලික සිංහාසනයෙහි රදගුරු ලෙස පත් විය.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ, ඩයොනිසියස්ගෙන් පසුව මැක්සිමස් රදගුරුවරයා ලෙස සිට වසර 18කට පසුව, තියෝනාස් රදගුරුවරයා ලෙස පත් විය. ඔහුගේ කාලයේ අචිලස් සහ ප්‍රිස්කස් වැඩිමහල්ලන් බවට පත් වී බොහෝ සෙයින් අගය කරන ලදී. දාර්ශනිකයෙකු ලෙස ඇති අසාමාන්‍ය හැකියාව සහ ශුභාරංචිය සමගාමීව චරිතය පැවතීම හේතුවෙන් පරිශුද්ධ ඇදහිල්ල පිළිබඳ පාසල ඔහුට භාර දී තිබුණි. තියෝනාස් අවුරුදු දහනවයක් පුරා ඔහුගේ උපරිම උත්සාහය දැරූ පසුව, පේදුරු ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු පදවියට පත් විය. ඔහුද දොළොස් වසරක් පුරා ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු පීඩා කාලයට පෙර වසර තුනක් සභාවට මඟ පෙන්වීය. එසේම ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය දැඩි විනයකින් සහ සභාවේ යහපත සඳහා පැහැදිලි සැලකිල්ලෙන් ගත කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පීඩා සමයේ නවවන වසරේදී ඔහු හිස ගසා දමන ලදී. එසේ වේදසාක්ෂික මරණයේ කිරුළෙන් සරසනු ලැබූවෙකි.
මෙම පොත්වල මම අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ උපතේ සිට අපගේ පූජනීය ස්ථාන විනාශ කිරීම දක්වා සිටි අනුප්‍රාප්තිකයින් සම්බන්ධ විෂයය සම්පූර්ණ කර ඇත්තෙමි. එය වසර 305ක් ආවරණය කරන්නේය. දැන්, අපෙන් පසුව එන අයට තොරතුරු දැනගැනීම සඳහා මගේම කාලයේ සැබෑ ඇදහිල්ල වෙනුවෙන් වීරයින් ලෙස සටන් කළ අයගේ පාර්ශ්වයෙන් ඔවුන්ගේ ස්වභාවය සහ ඔවුන් විඳි දුෂ්කරතා ප්‍රමාණය සටහන් කරමි.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනිසිඩ්
මෙම පරිච්ඡේදයේ ඇති බොහෝ කරුණු පැමිණෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු ඩයොනිසියස්ගේ ලිපිවලිනි. ඔහු බොහෝ විට මහා ඩයොනිසියස් ලෙස හැඳින්වේ. යුසේබියස් බොහෝ සෙයින් අගය කළ අතර කෙනෙකු වන ඔහුට, යුසේබියස් තමාගේ සභා ඉතිහාසය පොතේ දෙවැනියට වැඩි ඉඩක් වෙන් කර ඇත. මතක තබා ගත හැකි පරිදි, මෙම හසුන්වලින් පසුතැවිලි වූ මිථ්‍යාදෘෂ්ටිකයන් සඳහා නැවත බෞතීස්මය පිළිබඳ ප්‍රශ්නයේ සිට පාස්කු ආරවුල දක්වා සියල්ල ආවරණය විය.
ඇලෙක්සැන්ඩ්‍රියාව පුරා පැතිර ගිය බිහිසුණු වසංගතයකින්, ආගමික මර්දනයේදීි සිටියාට වඩා බොහෝ වින්දිතයන් පිරිසක් සිටි බව දක්වමින් සිවිල් අසමගිය උත්සන්න වූ විට ඊජිප්තුවේ නැවත නැවතත් සිදු වූ පීඩාකාරී වාතාවරණයක් තුළ ඒවා ලියා ඇත. ඩයොනිසියස් එඬේරෙකුගේ සැබෑ අර්ථයෙන් විශාල හදවතක් සහ පසුතැවිලි වන්නන් කෙරෙහි ලිබරල් ආකල්පයක් ඇති රදගුරුවරයෙකු ලෙස පෙනී සිටියි.
නිසැකවම, යුසේබියස් ඩයොනිසියස්ගේ ලිපිවලින් කොටස් විශාල ප්‍රමාණයක් අද ඉතිහාස ලේඛනයේ ප්‍රමිතීන්ට අනුව ඔහුගේ ඉතිහාසය ලිවීමේදී භාවිත කිරීම සඳහා ණයට ගෙන ඇත. එහෙත් ඔහු බුද්ධිමය දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් වැරදිකරු නොවේය. මන්ද සෑම විටම ඔහුගේ උපුටා දැක්වීම්වල කර්තෘත්වය දක්වන නිසාය. යුසේබියස්ගේ ණය ගැනීම නිසා නොවන්නට අද අපට එතරම් වැදගත් ප්‍රාථමික මූලාශ්‍රයන් නොලැබෙනු ඇත. මන්ද වර්තමානයේදී ඩයොනිසියස්ගේ ඉතිරිව ඇති බොහෝ ලේඛන සංරක්ෂණය වී ඇත්තේ යුසේබියස් සහ අතනාසියස් යන අයගේ පොත්වලින් පමණක් වන බැවිනි.
ඩයොනිසියස්ගේ ලිපි මගින් ඔහුගේ කාලයේ සභාවේ ජීවිතය ආකර්ෂණීය විස්තරවලින් පෙන්වයි. ඔහුද හොඳ විචාරශීලී විද්වතෙක් විය. එය එළිදරව් පොතේ කර්තෘත්වය පිළිබඳ ඔහුගේ සාකච්ඡාවෙන් ඔප්පු වේ. ඔහුගේ කාලය වන තුරු, අලුත් ගිවිසුමේ අවසාන පොත සාමාන්‍යයෙන් යොහන් වන අපෝස්තුළුවරයාගේ පොතක් බව සිතන ලදී. එහෙත් ඩයොනිසියස් එය සුළු ආසියාවේ වෙනත් යොහන් කෙනෙකුගේ යයි ඒත්තු ගැන්විය. එය වර්තමාන නව ගිවිසුමේ විශාරදයින් බහුතරයකගේ මතයයි. එයට හේතු වන්නේ ඩයොනිසියස් විසින් දියුණු කරන ලද හේතූන්ය.
7 වන පොතේ උපරිම වැදගත්කමක් සහිත කාරණා දෙකක් විස්තර කරයි: පිලිප්පි සිසේරියාවෙහි යේසුස් වහන්සේගේ ප්‍රතිමාව සහ යෙරුසලමේ උන් වහන්සේගේ අර්ධ සහෝදර යාකොබ්ගේ රදගුරු සිංහාසනය. කලින් සඳහන් කළ දේ සහ අපෝස්තුළුවරුන්ගේ සිතුවම් ගැන දැක්වීම විශේෂයෙන් වැදගත් වේ. මන්ද ඕනෑම ආකාරයේ කැටයම් කළ රූපවලට නමස්කාර කිරීමට එරෙහි දෙවන ආඥාව යුදෙව්වන් අතර ඕනෑම ආකාරයක තරමක් විනාශ වූ කලාවකි. එසේ වූවත් ක්‍රිස්තියානි අන්‍යජාතිකයන්ට ඒවාට නමස්කාර නොකරනවා නම්, රූප සම්බන්ධයෙන් එවැනිම සීමාවක් දැනුණේ නැත. ඒ අනුව, යේසුස් වහන්සේගේ ලෝකඩ ප්‍රතිමාව සිසේරියා පිලිප්පි වැනි අන්‍යජාතික මධ්‍යස්ථානයක සැබැවින්ම නිර්මාණය කළ හැකි වූ අතර, යුසේබියස් කමා එය දුටු බව ප්‍රකාශ කරයි. මෙම කාරණයෙන්ද මෙම ග්‍රන්ථයේ ඇති සියලුම ප්‍රතිමා හෝ මිනිසාගේ උඩුකය පිළිම අන්‍යජාතිකයන්ගේ (විශේෂයෙන් අධිරාජ්‍යයන්ගේ) මිස යුදෙව්වන්ගේ නොවන බව පැහැදිලි කෙරේ.
සමෝසාටාහි පෝල්ගේ කාරණයේදී රදගුරු පදවිය විකෘති කිරීම සදාචාරයෙන් හෝ ධර්ම නියාමකවලින් (හෝ සාමාන්‍යයෙන් දෙකෙන්ම) දූෂිත වන අතර, එම සභාවේ අනුප්‍රාප්තිකයන්ගේ දුක්ඛිත බව නොකඩව පවතියි. ඔවුන්ගේ පූර්වගාමියා සයිමන් මැගස් බව පෙනෙන්නට ඇත. නොවේෂියන් තවත් කැපී පෙනෙන උදාහරණයක් ඔප්පු කර තිබුණු අතර, පාවුල් සිටියේ රූපවාහිනී අපොස්තුළුවරුන් කිහිප දෙනෙකු අතර අද මතු වන පෙළපතක අයෙකු ලෙසයි.
රෝමානු දේශපාලන ක්ෂේත්‍රය තුළ, අනෙකුත් තාවකාලික “හමුදාව අධිරාජ්‍යයන්” පිළිබඳ 7 වන පොතෙහි ආවරණය කර ඇත. ගාලස් (251-253) ඇතැම් නායකයන් පිටුවහල් කිරීමෙන් ක්‍රිස්තියානි ලෝකයට යම් පීඩනයක් එල්ල කිරීම නොකඩව සිදු කළේය. රදගුරු ඩයොනිසියස්ගේ ප්‍රකාශය යුසේබියස් උපුටා දක්වයි. ගාලස් “ඔහුගේ සාමය සහ සෞඛ්‍ය සම්පන්න බව උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කළ ශුද්ධ මිනිසුන් නෙරපා හැරියේය. ඔවුන් නෙරපා හැරීමෙන්, ඔහු ඔහු වෙනුවෙන් ඔවුන් කළ යාච්ඤාවන්ද තහනම් කළේය” (7.1). මේ අතර රෝමයේ රදගුරු කොර්නේලියස්ද විය. එහෙත් ගාලස් විසින් සභාවට සාමාන්‍ය හිංසාවක් නැවත ආරම්භ කරන ලද බවට කිසිදු සාක්ෂියක් නොමැත. ඔහු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඇමිලියේනස් (253) යන දෙදෙනාම හමුදා කැරලිකරුවන් විසින් ඝාතනය කරන ලදී.
වැලේරියන් (253-260) සහ ඔහුගේ පුත් ගැලියේනස් (253-268) සම-අධිරාජ්‍යවරු බවට පත් වූ අතර රෝම අධිරාජ්‍යයෙහි නැගෙනහිර හා බටහිර අර්ධ පිළිවෙළින් පරිපාලනය කළහ. ඔවුන්ගේ ඒකාබද්ධ පාලනය අර්බුදවලින් පිරී තිබුණි: ජර්මානු සහ ගොතික් ගෝත්‍රිකයෝ මින් පෙර කිසිදාක නොවූ විරූ පරිදි රෝමයේ රයින්-ඩැනියුබ් දෙසින් වේගයෙන් පැමිණෙමින් සිටියහ. ආසන්න නැගෙනහිර, I ෂාපූර් යටතේ පුනර්ජීවනය වූ පර්සියාව සිරියාවට ගමන් කරමින් සිටියේය. මුහුදු කොල්ලකරුවෝ මධ්‍යධරණී මුහුදු මංතීරුවලට සහ මහාමාර්ගවලට වැදී කොල්ලකමින් ආක්‍රමණය කළහ. මේ සියල්ල ප්‍රමාණවත් නොවූවාක් මෙන්, ඊජිප්තුවේ වසංගතයක් ඇති වී ඊළඟ වසර පහළොව පුරා අධිරාජ්‍යය පුරා පැතිර ගියේය. ඩයොනිසියස්ගේ ලිපිවල ඇලෙක්සැන්ඩ්‍රියාවේ ස්වාභාවික විපත් පිළිබඳ පැහැදිලිව දක්වයි. එහෙත් ඉතා කෙටි කාලයකදී රෝමයේද දිනකට පන්දහස බැගින් මිනිස්සු මිය ගියහ.
වැලේරියන් පර්සියානුවන්ට එරෙහිව දුර්වල ජෙනරාල්වරයෙකු බව ඔප්පු විය. 260 ජුනි මාසයේදී ඔවුන් විසින් ඔහු අල්ලා ගන්නා ලදී. එය පළමු වරට රෝම අධිරාජ්‍යයෙකු සිරකරුවෙකු ලෙස අල්ලාගත් අවස්ථාව වූයේ එයයි. ජයග්‍රාහක ෂාපූර් අශ්වයෙකු පිට නැගී සිටින විට ඔහු අබියස ඔහු දම්වැල්වලින් බඳින ලදුව දණ ගසාගෙන සිටිනු අදටත් පර්සෙපොලිස් අසල ගල් පර්වතයක පෙන්නුම් වේ. එයට ටික කලකට පසුව ඔහු ලජ්ජා සහගත වහල්භාවයකදී මරණයට පත් විය. කෙසේ වෙතත්, කිතුනුවන් කිසිසේත්ම දුක් වූයේ නැත. මීට පෙර, සභාවට මිත්‍රශීලීව සිටි වැලේරියන්, ඔහුගේ ක්‍රියාවන් ආපසු හරවා, පළිගැනීමක් සමගින් සභාවට පීඩා කිරීම අලුත් කළේය. යුසේබියස් වැලේරියන් යක්ෂ නමස්කාරය සඳහා පොලඹවා ගැනීමේදී ඉන්ද්‍රජාලික මැක්‍රියන්ගේ නින්දිත භූමිකාව විස්තර කරයි. නැවතත් විශේෂ ඉලක්ක බවට පත් වූයේ රෝමයේ රදගුරු සිස්ටස් සහ කාර්තේජ්හි සයිප්‍රියන් වැනි සභාවේ නායකයන්ය.
ගැලියේනස් ඔහුගේ පියාගේ මරණයෙන් පසුව අධිරාජ්‍යයේ තනි පාලනය භාරගත්තේය. ඔහු නැගෙනහිර සහ බටහිර දෙකෙහිම රෝමයේ සතුරන්ට එරෙහිව වඩා හොඳින් ක්‍රියා කළේය. ඔහු හමුදා ප්‍රතිසංස්කරණය කර ඔවුන්ගේ සටන් උපාය මාර්ග වැඩිදියුණු කළේය. එහෙත් ඔහුද හැඩ්‍රියන් හා සමාන බුද්ධියෙන් හා සංස්කෘතියෙන් දියුණු මිනිසෙකු විය. ඔහුගේ භාර්යාව වූ සලෝනිනා අධිරාජිනිය කිතුනුවෙකු විය. ගැලියේනස් ආගමට හැරුණේ නැතද, තම පියාගේ හිංසා කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කර සමාදානයේ ආඥා පනතක් ප්‍රකාශයට පත් කළේය. සභාවේ සියලුම දේපළ නැවත ලබා දෙන ලෙස ආඥාවක් නිකුත් කළ පළමුවැන්නා ඔහුය. එය යුසේබියස් 7.13හි උපුටා දක්වයි.
සාර්ථක වසර පහළොවකට පසු – මෙම කැලඹිලි සහිත අවස්ථාවේ වාර්තාවක් ලෙස, ගැලියේනස් ඔහුගේ ඉලිරියන් කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ද්‍රෝහී ලෙස ඝාතනය කරන ලදී. ඔවුන්ගෙන් කෙනෙකු අධිරාජ්‍යයා ලෙස ස්ථාපනය කරන ලදී: ක්ලෝඩියස් II (268-270). ගොත්වරුන්ට එරෙහි ඔහුගේ ජයග්‍රහණය නිසා”ගොතිකස්” ලෙස නම් කරන ලදී. ක්ලෝඩියස් වසංගතයෙන් වසර දෙකකට පසුව මිය ගියේය.
අවුරේලියන් (270-275) තවත් ඉලිරියානු ජාතිකයෙක් ඔහුගේ ස්ථානයට පත් විය. ඔහු ඩේෂියා සිට ගොත් දක්වා යටත් වූ නමත්, ඉතාලියේ ජර්මානු ආක්‍රමණ නැවැත්විය. එමෙන්ම පැල්මයිරාහි කැරලිකාර රැජිනක් වන සෙනෝබියා අල්ලා ගත්තේය. රයින්-ඩැනියුබ් දේශසීමා යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව, ඔහු ආර්ථිකය ස්ථාවර කළ අතර, උද්ධමනය මැඩපැවැත්වීමට උත්සාහ කළේය. ඔහු රෝමය වටා ඇති සැතපුම් දොළහක් දිග සහ අඩි විස්සක් උස ප්‍රසිද්ධ අවුරේලියානු පවුර ගොඩනඟා ඇත. එහි කොටස් අදටත් පවතී. ඔහුගේ ආගමික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිවහොත්, ඔහු සෝල් ඉන්වික්ටස්, ජය නොගත් සූර්යයා, විශ්වයේ උත්තරීතර දෙවියන් ලෙස සැලකුවේය. එහෙත් ප්‍රමාණවත් තරම් සභාව සමග සාමයෙන් සිටියේය. එම නිසා සමෝසටාහි පෝල්ට එරෙහිව ඔහුට ආයාචනා කිරීමට සහ හිතකර තීරණයක් ලබා ගැනීමට සභාවට හැකි විය. කෙසේ වෙතත්, පසුව, අවුරේලියන් ප්‍රතිපත්තිය වෙනස් කර නැවත කිතුනුවන්ට හිංසා පීඩා කිරීමට සැලසුම් කළේය. එහෙත් ඔහුගේ ලේකම් විසින් කරන ලද ව්‍යාජ කුමන්ත්‍රණයකින් ඝාතනයට ලක් විය.
අධිරාජ්‍යයන් කිහිපදෙනෙකුගේම සංක්‍රාන්ති සමයක් විය. එහෙත් ඉක්මනින්ම ඔවුන් මරා දමන ලදී. පසුව තවත් අයෙකු පත් විය. ටාෂිසස් (275-276) සෙනෙට් සභාව විසින් තෝරා ගන්නා ලදී. ඉතිරි අය ඉලිරියානුවන් වූ අතර, හමුදාව විසින් තෝරා ගන්නා ලදී: ෆ්ලෝරියනස් (276), ප්‍රෝබස් (276-282), කේරස් (282-283), කේරිනස් (283-285) සහ නමේරියන් (283-284).
අවසාන ඉලිරියානු ජාතිකයා වූ ඩයොක්ලීෂියන් (284-305) තුන්වන සියවසේ දක්ෂ අධිරාජ්‍යයන්ගෙන් එක් අයෙකු විය. ඔහු රෝම සිවිල් යුද්ධ අවසන් කළ තැනැත්තාය. සභාව පිළිබඳ සැලකිලිමත් වන විට, කෙසේ වෙතත් ඔහු අප දකින පරිදි, වඩාත්ම විනාශකාරී කෙනෙක් විය.
