Eusebius, The Church History in Sinhala, book 3. Translated with permission from Paul L. Meier, Eusebius, The Church History: A New Translation with Commentary, 1999. Sinhala translation is Public Domain.
තෙවන වන පොත: දූතනය සහ පීඩාවන්
ගල්බා (GALBA) සිට ට්‍රෝජන් (TRAJAN) දක්වා
අපෝස්තලික ගමනාන්තයන් සහ ලේඛන
1. යුදෙව්වන්ගේ තත්වය එය විය. ඒ අතරම අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ශුද්ධ වූ අපෝස්තුළුවරුන්ද මුළු ලෝකය පුරාම විසුරුවනු ලැබ තිබුණි. තෝමස්, සම්ප්‍රදායට අනුව, පාර්තියාවටද, අන්දෘ ස්කිතියාවට සහ යොහන් ආසියාවටද යවන ලද අතර, ඔහුගේ මරණය දක්වා ඔහු එපීසයේ රැඳී සිටියේය. පේදුරු පොන්තස්, ගලාතිය, බිතිනිය, කපදෝකිය සහ ආසියාවේ විසිරසිටි යුදෙව්වන් හට දේශනා කළ බව පෙනේ. 1 අවසානයේ ඔහු රෝමයට පැමිණ හිසපහළට සිටින පරිදි කුරුසියේ ඇණ ගසනු ලැබුවේ ඔහුගේම ඉල්ලීම පරිදිය. 2 යෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ශුභාරංචිය ප්‍රකාශ කර, පසුව නීරෝ යටතේ රෝමයේදී ප්‍රාණ පරිත්‍යාගිවරයෙකු කරනු ලැබු පාවුල් ගැන කිව යුත්තේ කුමක්ද? මෙය ඔරිගන් ඔහුගේ Commentary on Genesis 3 වැනි වෙළුමේ විශේෂයෙන් සඳහන් කර ඇත.
2. පාවුල් සහ පේදුරුගේ ප්‍රාණ පරිත්‍යාගි දිවි පිදීමෙන් පසුව, රෝමයේ රදගුරු පදවියට මුලින්ම පත් වූයේ ලිනස්ය. පාවුල් රෝමයේ සිට තිමෝතිට ලියන විට අවසානයේ ආචාර කිරීමේදී ඔහු ගැන සඳහන් කරයි [2 තිමෝ. 4:21].
3. පේදුරු සම්බන්ධයෙන් ඔහුගේ පළමු ලිපිය ලෙස නම් කරන ලද එක් ලිපියක් පිළිගනු ලබන අතර, මුල් පියවරුන් අවිවාදිතවම ඔවුන්ගේ ලේඛනවල භාවිත කර ඇත. එහෙත් [පේදුරුගේ] ඊනියා දෙවන හසුන කැනොනිකරණය වූ එනම් සම්මත පොතක් ලෙස අපි සලකා නැත්තෙමු. එහෙත් බොහෝ දෙනෙක් එය ප්‍රයෝජනවත් යැයි සිතා වෙනත් ශුද්ධලියවිලි සමග එය අධ්‍යයනය කර ඇත. කෙසේ වෙතත්, ක්‍රියා පොතෙහි සහ ශුභාරංචියෙහි ඔහුගේ නම සඳහන් වන අතර, දේශනාවන් සහ එළිදරව් කිරීම්වල ඔහුගේ නම කියැවේ.
අපගේම කාලයේ සිටින හෝ මුල්කාලීන ලේඛකයින්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ සාක්ෂිය භාවිත කර නොමැති හෙයින් සාම්ප්‍රදායික කතෝලික ලියවිලිවල එය තිබේද යන්න අපි කොහෙත්ම නොදනිමු. මාගේ ආඛ්‍යානය අතරතුර, එක් එක් කාල පරිච්ඡේදය තුළ කුමන සභාවක කතුවරුන් විසින් මතභේදයට ලක් වූ පොත් භාවිත කළේද, කැනොනිකරණය වූ සහ පිළිගත් ශුද්ධලියවිලි පිළිබඳ ඔවුන් පැවසූ කාරණා සහ කැනොනිකරණය නොවූ සහ නොපිළිගත් ශුද්ධලියවිලි සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස් ප්‍රවේශමෙන් සඳහන් කරමි. මේවා පේදුරුට ආරෝපණය කරන ලද පොත් වන අතර, ඒවා අතරින් මුල් පියවරුන් විසින් අව්‍යාජ සහ පිළිගත් ලිපියක් ලෙසට එක් ලිපියක් පමණක් මම හඳුනාගනිමි.
පාවුල් තුමා පැහැදිලිවම හසුන්පත් දහහතරේම කතුවරයා විය. එහෙත් ඇතැමුන් හෙබ්‍රෙව්වරුන්ට ලියූ හසුන පාවුල් තුමාගේ ක්‍රියාවක් බව රෝමානු සභාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය විවාදයට ලක් කරන අතර, අපගේ පූර්වගාමීන් ඒ ගැන පවසා ඇති දේ නියමිත වේලාවට මම විස්තර කරමි. ඔහුගේ ඊනියා ක්‍රියා පොත අව්‍යාජ පොත් අතර නැත. එහෙත් රෝම හසුනෙහි අවසානයේ ඇති ආචාරයේදී එම අපොස්තුළුවරයාම The Shepherd ග්‍රන්ථයේ කීර්තිමත් කතුවරයා වන හර්මාස් ගැන සඳහන් කරන බැවින්, එම පොතද ඇතැමුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් එය පිළිගත් පොත් අතරට නොගත යුතුය. කෙසේ වෙතත්, අනෙක් අය විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා මූලිකාංග ලෙස එය අත්‍යවශ්‍ය යැයි සලකති. ඒ අනුව, එය පොදු නමස්කාරයේදී භාවිත කර ඇති අතර, එය පැරණිතම ලේඛකයින් කිහිප දෙනෙකු විසින් උපුටා දක්වන ලද බව මට හමු වීඇත.
4· පාවුල් තුමා අන්‍යජාතීන්ට සහ පේදුරු චර්මච්ඡේදනය ලත් අයට කලින් සඳහන් කළ නගරවල සහ පළාත්වල දේශනා කළහ. එහෙත් පාවුල් තුමා සහ ලූක් තුමා විසින් නම් කරන ලද පාවුල් තුමාගේ අසංඛ්‍යාත ගෝලයින්ගේ නම් ලැයිස්තුගත කිරීම හැරුණු කල ඔවුන් විසින් ආරම්භ කරන ලද සභාවල කී දෙනෙකු ජ්වලිත සහ හැකියාව සහිත දේවගැතිවරුන් වීමට තරම් සමත් වූවාද යන්න තීරණය කිරීම පහසු නැත. නිදසුනක් වශයෙන්, තිමෝති, එපීසයේ දේවස්ථානයට පත් කරන ලද පළමු බිෂොප්වරයා මෙන්ම තීතස් ක්‍රීතයෙහි සභාවලට පත් කරන ලද පළමු බිෂොප්වරයා යැයි කියනු ලැබේ.
උපතින් අන්තියෝකියානු ජාතිකයෙකු සහ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ ලූක් තුමා දිගු කලක් පාවුල්තුමාගේ හවුල් සේවකයෙකු වූ අතර අනෙකුත් අපෝස්තුළුවරුන් සමගද සමීපව ඇසුරු කළේය. දිව්‍යමය ආනුභාව ලත් පොත් දෙකක, එනම් ලූක් ශුභාරංචිය සහ අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොත යන දෙකෙහි ඔහු ඔවුන්ගෙන් ඉගෙන ගත් ආත්ම සුව කිරීම පිළිබඳ උදාහරණ අපට ඉතිරි කර ඇත. පළමුවැන්න, ඔහු ප්‍රකාශ කරන්නේ, ඔහු මුලින්ම ලියා ඇත්තේ දේවවචනයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දේවසේවකයන් වූ අයගෙන් තමාට ලැබුණු තොරතුරු පදනම් කරගෙන බවයි. දෙවැන්න ඔහු රචනා කළේ ඔහු විසින් අසන ලද සාක්ෂිවලින් පමණක් නොව ඔහුගේම ඇස්වලින් දැක බලාගෙනය. පාවුල් තුමා “මාගේ ශුභාරංචියට අනුව” යන වාක්‍ය ඛණ්ඩය භාවිත කරන සැම විටම ලූක්ගේ ශුභාරංචිය ගැන සඳහන් කිරීමට පුරුදුව සිටි බව ඔවුහු පවසති.
පාවුල් තුමාගේ අනෙකුත් අනුගාමිකයන්ගෙන්, ඔහු විසින් ක්‍රෙසන්ස් නමැත්තා ගෝල් දේශය වෙත යවන ලදී [2 තිමෝ. 4:10]. එසේම කලින් සඳහන් කළ පරිදි 2 තිමෝති පොතෙහි පාවුල් සමග රෝමයේ සිටි බව දක්වා ඇති ලිනස් නමැත්තා පේදුරුට පසුව රෝමයේ රදගුරු පදවියට පත් වූ පළමු පුද්ගලයා විය.
ප්‍රේරිතවරයා විසින්ම සාක්ෂි දෙන පරිදි [පිලිප්පි 4:3], රෝමයේ තුන්වන බිෂොප්වරයා බවට පත් වූ ක්ලෙමන්ට්ද, පාවුල්ගේ හවුල්සේවකයා සහ සහකරු විය. මේවාට අමතරව, ක්‍රියා [17:34] පොතෙහි ලූක් පවසන පරිදි, ඇරියෝපගස්හිදී ඇතැන්ස් වැසියන් වෙත වූ පාවුල්ගේ ආමන්ත්‍රණයෙන් පසුව පළමුව ආගමට හැරුණු ඇරියෝපගයෙහි ඩයොනිසියස්, ඇතැන්ස්හි ප්‍රථම බිෂොප්වරයා බවට පත් වූ බව කොරින්ති සභාවේ දේවගැතිවරයෙකු වන තවත් ඩයොනිසියස් නමැත්තෙක් පවසයි. අපෝස්තුළුවරුන්ගේ පදවි ප්‍රාප්තවීම් පිළිබඳ කාලානුක්‍රමික විස්තර නියමිත වේලාවට ඉදිරිපත් කරනු ඇත.
රෝමය විසින් යෙරුසලම වටලනු ලැබීම
ක්‍රි.ව. 68
5. අවුරුදු දහතුනක නීරෝගේ පාලනයෙන් පසුව, ගල්බා සහ ඕතෝ වසර එකහමාරක් පාලනය කළහ. පසුව යුදෙව්වන්ට එරෙහි ව්‍යාපාරවල කැපී පෙනෙන කාර්යක් සිදු කළ වෙස්පේසියන් යුදයේ සිටියදීම, එහි හමුදාවන් විසින් බලධාරියෙකු ලෙස ප්‍රශංසා කරන ලදුව, අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. යුදෙව්වන්ට එරෙහි යුද්ධය ඔහුගේ පුත් ටයිටස්ට හට භාර දෙමින් ඔහු වහාම රෝමය බලා පිටත් විය.
දැන් අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව, යුදෙව්වරු අපෝස්තුළුවරුන්ට එරෙහිව නොයෙකුත් කුමන්ත්‍රණ සිදු කරමින් උන් වහන්සේට එරෙහිව ඔවුන්ගේ අපරාධය ක්‍රියාත්මක කළහ. මුලින්ම ඔවුහු ස්තේපන්ට ගල් ගසා මරා දැමූහ. ඉන්පසුව සෙබදීගේ පුත් සහ යොහන්ගේ සහෝදරයා වන යාකොබ්ගේ හිස ගසා දැමූහ. අවසානයේ, යෙරුසලමේ රදගුරු පදවියට පත් වූ ප්‍රථම යාකොබ් පෙර විස්තර කළ ආකාරයටම මිය ගියේය. එසේම බොහෝ මාරාන්තික කුමන්ත්‍රණ මගින් අනෙකුත් අපෝස්තුළුවරුන් යුදයෙන් පලවා හරින ලදී. එහෙත් ඔව්හු, “යන්න, මාගේ නාමයෙන් සියලු ජාතීන් ගෝලයන් කරන්න” [මතෙ. 28:19] කියා ඔවුන්ට පැවසූ ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් ගොස් ඔවුන්ගේ පණිවුඩය උගන්වමින් සෑම දේශයකටම ගමන් කළෝය. මේ අතරම, යුද්ධය ආරම්භ වීමට පෙර, සුදුසු අයට වචනයෙන් සිදු කරන ලද එළිදරව්ව මගින් යෙරුසලමේ සභා සාමාජිකයින්ට නගරය හැර ගොස් පෙලා නම් වන පෙරියා නගරයේ පදිංචි වීමට නියෝග කරන ලදී. මෙහිදී ඔවුහු යෙරුසලමෙන් සංක්‍රමණය වූහ. එය ශුද්ධ මිනිසුන් යුදෙව්වරුන්ගේ රාජකීය අගනුවර සහ මුළු යුදා දේශයම හැර ගිය පසුව, ක්‍රිස්තුස් වහන්සේට සහ උන් වහන්සේගේ අපෝස්තුළුවරුන්ට එරෙහිව ඔවුන් කළ අපරාධ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ විනිශ්චය ඔවුන් මත පතිත වූවාක් මෙන් ඒ සියලු දුෂ්ට පරම්පරාව විනාශ කරමින් එය සම්පූර්ණයෙන්ම විනාශ විය.
මේ සම්බන්ධයෙන් දැනගැනීමට කැමති අයට ජොසීෆස්ගේ ඉතිහාසයෙන් නිශ්චිතවම මුළු ජාතියම යටපත් කළ ව්‍යසනයන්, විශේෂයෙන්ම යුදයේ වැසියන් දුක්ඛිත සීමාවන්ට තල්ලු කරන ලද ආකාරය, මිනිසුන්, ගැහැනුන් සහ ළමයින් කොපමණ දහස් ගණනක් කඩුවෙන්, සාගතයෙන් සහ ගණන් කළ නොහැකි වෙනත් ආකාරයේ මරණයකින් මිය ගියාද යන්න, ප්‍රසිද්ධ යුදෙව් නගර කීයක් වැටලීම් යටතේ සිදු වූ භීෂණයට ලක් වීද යන්න, සහ විශේෂයෙන්ම “අපරාජිත බලකොටුවක්” ලෙස යෙරුසලමට රැකවරණය පතා පලා ආ අයට සිදු වූ භීෂණය සොයාගත හැකිය.
ඔවුන්ට සමස්ථ යුද්ධයේ සියලු විස්තර සහ එහි අවසානයේදී සිදු වූ අනාගතවක්තෘවරුන් විසින් ප්‍රකාශ කරන ලද පාළු කරන පිළිකුළ පුරණ කාලයේ සිට සමරන ලද දෙවියන් වහන්සේගේ දේවමාලිගය තුළ සිදු වූයේ කෙසේද, එය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු ඉගෙනගත හැකිය. කෙසේ වෙතත්, ජොසීෆස් විසින් දක්වන ලද පාස්කු උත්සවයේදී මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් සිර ගෙදරකට එක් වන්නාක් මෙන් යෙරුසලම වෙත රොක් වූ මුළු යුදයේ ජනතාව ගැන මා පෙන්වා දිය යුතුයි. ඔවුන් විසින් ගැලවුම්කරුවාණන් වහන්සේගේ දුක්විඳීමට සැලැස්වූ දිනවලදී ඔවුන් සිරගෙයක් තුළ වසා දමා තිබීම ඇත්තෙන්ම සුදුසු විය. එය දිව්‍යමය යුක්තිය කරණකොටගෙන විනාශය ලැබීමක් මෙන් විය. ඔවුන්ගේ විපත්ති කඩුවෙන් සහ වෙනත් උපක්‍රමවලින් මඟහරිමින්, මම ඔවුන් සාගතයෙන් වින්ද දුක් වේදනා ගැන පවසන්නෙමි. එවිට ක්‍රිස්තුස් වහන්සේට එරෙහිව ඔවුන් කළ අපරාධය උදෙසා වූ දෙවියන් වහන්සේගේ දඬුවම කෙතරම් ඉක්මනින් පැමිණියාද යන්න පාඨකයන්ට වටහාගත හැකිය.
6. අපි දැන් ජොසීෆස්ගේ Jewish War පස්වන ග්‍රන්ථයේ සඳහන් සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් බලමු:
ධනවතුන්ට යෙරුසලමෙහි රැඳී සිටීම එක හා සමානව අනතුරුදායක විය, මන්ද, නගරය හැර යාමට බලකරන මුවාවෙන්, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුදල් සඳහා මරා දමන ලදහ. එහෙත් සාගතයත් සමග කැරලිකරුවන්ගේ උමතුව වැඩි වූ අතර ප්‍රචණ්ඩත්වය සහ භීෂණය සෑම දිනකම වඩාත් දරුණු ලෙස ඇවිලී ගියේය. කිසිම තැනක ධාන්‍ය පෙනෙන්නට නොතිබූ නිසා, ඔවුහු ගෙවල් බිඳ ඒවා කොල්ලකෑහ. යමක් සම්බ වී නම් කිසිවක් නොමැති බව පවසමින් ඔව්හු නිවැසියන්ටද දුන්හ. කිසිවක් සම්බ නොවූයේ නම්, ඔවුන් එය හොඳින් සඟවා තබා ගත්තේ යයි පවසමින් ඔවුන්ට වධ හිංසා කළහ. ඔවුන්ට යමක් සම්බ වීද නැද්ද යන්න වෙනසකින් තොරව දුක්ඛිත කාලකන්නියන්ගේ සිරුරු සැම තැනකම දක්නට විය. එහිදී ඔවුන් සතුව ඕනෑ තරම් ආහාර ඇතැයි සලකනු ලැබීය. ඒ වන විටත් ක්ෂය වී ඇති අය හැර දමා යන ලදී. මන්ද, ඉක්මනින්ම කුසගින්නෙන් මිය යනු ඇති නිසා ඔවුන් මරා දැමීම අසාධාරණ ලෙස පෙනෙන්නට තිබුණි. බොහෝ දෙනෙක් ඔවුන් පොහොසත් නම් තිරිඟු ප්‍රමාණයක් සඳහා හෝ දුප්පත් නම් බාර්ලි ප්‍රමාණයක් සඳහා රහසිගතව තම දේපළ හුවමාරු කර ගත්හ. ඉන්පසුව, ඔවුන්ගේ නිවෙස්වල අභ්‍යන්තරම කොටසෙහි ඔවුහු තමන්ම සැඟවී ගත්හ. ඇතැමෙක් බඩගින්න නිසා ධාන්‍ය අමුවෙන් අනුභව කළ අතර අනෙක් අය අවශ්‍යම නිසා හෝ බිය නිසා පාන් පුළුසාගෙන කෑහ. කිසිම කෑම මේසයක් සකස් කරනු නොලැබිණි. ඔවුහු ගින්නෙන් ආහාර අහුලාගෙන කෑ අතර, නොපිසූ ආහාර කැබලිවලට ඉරා දමමින් කෑහ.
බලගතු අය කොල්ලකනු ලබන විටත් දුර්වලයන් කෙඳිරිගාන විටත් එවැනි දුක්ඛිත දසුන් කඳුළු ඇති කරන සුලු විය. සාගතය සැබවින්ම දුක් විඳීමේ නරකම ආකාරය සහ විනීතභාවය එහි විශාලතම ගොදුර විය. කාන්තාවන් තම ස්වාමිපුරුෂයන්ගේ මුඛයෙන්, දරුවන් තම පියවරුන්ගේ මුඛයෙන්, සහ වඩා බිහිසුණු ලෙස, සියලුම මව්වරුන් තම ළදරුවන්ගෙන් ආහාර උදුරා ගන්නා බැවින් සියලු සංයමය අත්හැර දමා තිබුණි. එසේම ඔවුන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ අත්වලම මිය යමින් සිටියදී, ඔවුන් ජීවත් කරවීමට තිබූ අන්තිම ආහාර කැබැල්ල ඔවුන්ට අහිමි කිරීම ගැන ඔවුන් තුළ කිසිදු චකිතයක් නොතිබුණි. එවැනි අහුලාගත් දේවල් පවා සෑම තැනකම සිටින යුධ හමුදා භටයින් විසින් ඔවුන්ගෙන් කොල්ලකනු ලබනවා ඇත.
එසේම ඔවුහු අගුලු දමා ඇති දොරක් දුටු විට, නිවස ඇතුළේ සිටින අය කෑම කමින් සිටින බව උපකල්පනය කර ඔවුන් දොරවල් කඩා, වේගයෙන් ඇතුළට ගොස්, සියල්ලන්ගෙන්ම ඔවුන්ගේ උගුරේ වූ ආහාර කැබැල්ලක් පවා උදුරා ගැනීමට ක්‍රියා කළහ. මහලු මිනිසුන්ට ඔවුන්ගේ ආහාර අල්ලාගෙන සිටීම නිසා පහර දුන් අතර, එය අතේ සඟවා ගැනීම නිසා කාන්තාවන් කොණ්ඩයෙන් ඇදගෙන යන ලදහ. ඔවුහු පැසුණු හිසකෙස් ඇති අයට හෝ ළදරුවන්ට කිසිදු අනුකම්පාවක් නොපෙන්වූ අතර, තමන්ගේ අත්වල කෑම කැබලි තිබූ ළදරුවන් ඔසවා බිමට ඇද දැමුවෝය. ඔවුන්ගේ පැමිණීම අපේක්ෂා කරමින්, ආහාර ගිල දමමින් සිටි අය ඔවුන්ට වංචා කළ අය මෙන් සලකා වඩාත් ම්ලේච්ඡ ලෙස ක්‍රියා කළහ.
ආහාර සොයා යාමේ ඔවුන්ගේ ක්‍රියාන්විතයේදී ඔවුහු වඩා බිහිසුණු ලෙස වධහිංසා පැමිණවීමේ ක්‍රියාමාර්ග ක්‍රම නිර්මාණය කර අනුගමනය කළහ. එහිදී ඔවුන්ගේ ගොදුරු වූවන්ගේ ලිංගේන්ද්‍රිය තුළට තිත්ත ද්‍රව්‍ය පුරවා, ඔවුන්ගේ පිටුපස තියුණු කොටස් ඇතුළු කළහ. මිනිසුන්ට සඟවා ඇති රොටියක් හෝ බාර්ලි අතලොස්සක් පිළිබඳ හෙළි කිරීමට සිදු කළ බිහිසුණු වධ හිංසා ඇසීමට පවා අපහසු ඒවා විය.එසේ කළේ වධකයන්ට බඩගිනි වූ නිසා නොවේය – ඇත්ත වශයෙන්ම, අවශ්‍යතාවය නිසා ඔවුන්ගේ කෲරත්වය පැන නැඟුණේ නම් ඔවුන්ගේ ම්ලේච්ඡත්වය අවම වනු ඇත – එහෙත් ඔවුහු තම උමතුවට යම් අභ්‍යාසයක් ලබා දී ඉදිරි දින සඳහා තමන්ගේ සැපයුම් ගබඩා කරමින් සිටියහ. ඇතැමෙක් රාත්‍රියේදී වල් පැළෑටි සහ තණකොළ එකතු කිරීමට රෝම [වටලාගත්] සීමාවන් දක්වා බඩගාගෙන ගිය විට, ඔවුන් සතුරාගෙන් බේරී ඇතැයි සිතා, පීඩකයෝ ඔවුන් අල්ලාගෙන ඔවුන් රැගෙන ගිය දේ උදුරා ගත්හ. ඔවුන් මෙතරම් අවදානමකට ලක්ව රැස් කරගත් දේ බෙදා ගන්නා ලෙස දෙවියන් වහන්සේගේ භයානක නාමයෙන් ඔවුන් සියලු දෙනාම ආයාචනා කළත්, ඔවුන් ඔවුන්ට කිසිවක් ලබා දුන්නේ නැත. එසේම සොරකම් කළ අයද මරණයට පත් නොවීමට වාසනාවන්ත වූහ.
තවත් සමහර විස්තරවලින් පසුව, ජොසීෆස් තවදුරටත් මෙසේ පවසයි:
දැන් නගරයෙන් පිටව යාමට නොහැකිව, යුදෙව්වෝ පැවැත්ම පිළිබඳ සියලු බලාපොරොත්තු නැති කර ගත්හ. එසේම සාගතය ගෙයින් ගෙයට, පවුලෙන් පවුල ගිල දමමින් වඩාත් නරක අතට හැරුණි. මෙලෙස විනාශ වූ කාන්තාවන්ගෙන් සහ දරුවන්ගෙන් අප නිවාස පුරවා ඇති අතර, ඒ සමග මහලු අයගේ සමකාලීනයන් සහිත මෘත දේහද විය. තරුණ පිරිමි සහ පිරිමි ළමයි, බඩගින්නෙන් පෙළෙමින්, හොල්මන් අවතාර මෙන් වෙළඳපොළ දෙසට ගොස් ඔවුන් ගමන්ගත් මාර්ගයේම මිය ගියහ. රෝගීන්ට තම ඥාතීන් භූමදාන කිරීමට නොහැකි විය. එය කිරීමට හැකි අය පවා මළ අයගේ සංඛ්‍යාව වැඩි බැවින් සහ ඔවුන්ගේම අවිනිශ්චිත ඉරණම නිසා එම කාර්යය මගහැරියහ. මන්ද බොහෝ දෙනෙක් අන් අය භූමදාන කිරීමේදී මිය ගිය බැවිනි. එසේම ඔවුන්ට හැකියාව තිබියදීම බොහෝ දෙනෙක් ඔවුන්ගේම සොහොන් සකස් කරගත්හ. කුසගින්න විසින් හැඟීම් ජයගත් බැවින් හඬා වැලපීමක් හෝ විලාපයක් නොතිබිණි. එසේම මිය යමින් සිටි අය වියළි ඇස්වලින් දැනටමත් මිය ගොස් ඇති අය දෙස බලා සිටියහ. ගැඹුරු නිහඬ බවකින් සහ මාරාන්තික අන්ධකාරයකින් නගරය වැසී ගියේය.
ඊටත් වඩා නරකම දෙය වූයේ ගෙවල්වලට කඩා වැදී, මළවුන්ගේ සිරුරුවලින් ඇඳුම් ගලවා, ඒවා දෙස බලමින් සිනාසෙමින් සිටි කොල්ලකරුවන්ය. ඔව්හු මළ සිරුරු මත ඔවුන්ගේ කඩුවල උල් වූ කොන් දුවවමින්, තවමත් ජීවතුන් අතර සිටින්නේද යන්න ලෝහ ඇසුරින් පවා පරීක්ෂා කළහ. එහෙත් දරුණු තුවාල හා වේදනාවන් නිසා තමා මරා දැමීමට ඉල්ලා සිටි අය නොමරා අවඥා සහගත ලෙස සාගතයෙන් පීඩා විඳින්නට අත්හැර ගියහ. මේ සෑම කෙනෙකුම මිය ගියේ ඔහු ජීවතුන් අතර සිටින්නට ඉඩ හැර අත්හැරගිය යුධ හමුදා භටයින් දෙස නෙත් යොමු කරනවාට වඩා දේවමාලිගය දෙසට නෙත් යොමු කරමිනි. මොවුහු මුලදී නොඉවසිය හැකි දුර්ගන්ධය නිසා පොදු වියදමින් මළවුන් මිහිදන් කිරීමට නියෝග කළහ. එහෙත් පසුව, මෙය කළ නොහැකි බව ඔප්පු වූ විට, ඔවුහු මෘත දේහ පවුරුවලින් පිටත නිම්නවලට විසි කළහ. ටයිටස් නගර වටා සක්මන් කරමින් සිටියදී, නගර මළවුන්ගෙන් පිරී තිබෙනු, කුණු වූ සිරුරුවලින් දියර ගලා යමින් තිබෙනු දුටු විට, ඔහු කෙඳිරිගාමින්, තම අත් ඔසවා, මෙය තමා සිදු කළ දෙයක් නොවන බවට සාක්ෂි දරන පිණිස දෙවියන් වහන්සේට කතා කළේය.
වැඩිදුර අදහස් දැක්වීමෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පවසයි:
මට මගේ හැඟීම් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය නොහැකිය: රෝමවරු මෙම දුෂ්ට පාහරයන්ට එරෙහිව සටන් කිරීම ප්‍රමාද කළෝ නම්, පෘථිවිය විවෘත වී නගරය ගිල දැමීමට හෝ ජලගැල්මකින් එය යට වීමට හෝ සොදොම මෙන් එය අකුණු සැර වැදීමෙන් විනාශ වන්නට ඉඩ තිබුණු බව මම සිතමි. මන්ද, එහි දුක් විඳි අයට වඩා බොහෝ දේව භක්තික නොවන පරම්පරාවක් එයින් බිහි වූ බැවිනි. සියලුම මිනිසුන් විනාශයට පත් වූයේ ඔවුන්ගේ උමතුව නිසාය.
6 වන පොතේ ඔහු මෙසේ ලියයි:
හොඳම යහළුවෝ කෑම බීම සඳහා පවා එකිනෙකා සමග පොර බැදුහ. තවත් සමහරු පිස්සු බල්ලන් මෙන් කුසගින්නෙන් කටවල් ඇරගෙන, එකතැන පල්වෙමින්, බීමත් මිනිසුන් මෙන් දොරවල්වලට පහර දෙමින්, එකම පැයකදී දෙතුන් වතාවක් එකම නිවසටම කඩා වැදෙමින්, ඔවුන්ගේ අවාසනාවන්ත තත්වයෙන් සිටිති. ඔවුහු සෑම දෙයකටම කට දමා, අපිරිසිදුම සතුන් පවා ස්පර්ශ නොකරන දේ ගිල දමති. අවසානයේදී ඔවුහු ඔවුන්ගේ බඳ පටි සහ සපත්තු හෝ ඔවුන්ගේ පළිහවලින් ගලවා දමන ලද හම් පවා ගිල දැමූහ. පිදුරු එකතු කර කුඩා පොකුරක් සාදා ඇටික් ඩ්‍රැක්මා මිල හතරකට විකුණන අය සිටි නිසා තවත් සමහරු පරණ පිදුරුවලින් පෝෂණය වූහ. 7
එහෙත් ඔවුන්ට කෑමට පොලඹවන අජීවී දේවල් ගැන කතා කරන්නේ ඇයි? මම දැන් සමාන්තර නොවන අයුරින් ග්‍රීසියේ හෝ වෙනත් ඕනෑම රටක සිදු වූ කීමට බිහිසුණු සහ ඇසීමට විශ්වාස කළ නොහැකි ක්‍රියාවක් දෙයක් ගැන පවසන්නම්. මා විසින් එය ගොතන ලද බවට සැක කරන මේ ඛේදවාචකය මට සතුටින් මඟහරින්නට තිබිණි. එහෙත් මගේම පරම්පරාවේ අසංඛ්‍යාත බුද්ධිමත්තු මේ සිදුවීම් පිළිබඳ මට සහාය දක්වති. යොර්දාන් ගඟෙන් ඔබ්බෙහි බෙතෙසෝර් ගම්මානයේ (“හිසොප් නිවස”) ජීවත් වූ එලියාසර්ගේ දියණිය වූ මරියා නම් කාන්තාවක් සිටියාය. ඇයගේ පවුල සහ ධනවත්කම නිසා සියලු දෙනාම ඇය හොඳින් සිටියෝය.
සෙසු ජනතාව සමග යෙරුසලම වෙත පලා ගොස් සිටි ඇය වටලෑම නිසා කොටු වී සිටියාය. යුද්ධ හමුදා ප්‍රධානීන් ඇය පෙරියාවෙන් ගෙන ආ බොහොමයක් භාණ්ඩ අත්පත් කර ගත් අතර, ඔවුන්ගේ ආරක්ෂකයෝ දිනපතා වැටලීම්වලදී ඇයගේ සෙසු දේපළ සහ ආහාර කොල්ල කෑහ. කෝපයෙන් යුක්තව ඇය කොල්ලකරුවන්ට ශාප කළාය. එහෙත් ඔවුන්ගෙන් කිසිවෙක් කෝපය හෝ අනුකම්පාව නිසා ඇය මරා නොදැමූහ. ඇය කෝපයට පත් වූ අතර කුසගින්නෙන් පෙළුණාය. ස්වභාවධර්මයට පිටුපා ඇයගේ කිරි බොමින් සිටි තමන්ගේම පිරිමි දරුවා රැගෙන මෙසේ කීවාය. “දුප්පත් කුඩා මයිටා, මා ඔබ යුද්ධය, සාගතය සහ කැරැල්ල තුළ තබා ගන්නේ ඇයි? අප ජීවත් වුවහොත්, අප රෝම වහලුන්ය. එහෙත් කුසගින්න වහල්භාවය ඉක්මවා යනු ඇත. එසේම යුද්ධ හමුදා භටයින් ඒ දෙකටම වඩා නරකය! එන්න, මගේ ආහාරය වන්න. මෙය ලෝකයා විසින් තවමත් ඇසිය යුතු වූ කැරලිකරුවන්ගේ පළිගැනීමේ කෝපය සහ යුදෙව්වන්ගේ දුක් විඳීම පිළිබඳ එක් කතාවකි.” මේ වචනවලට පසුව ඇය තම පුතා මරා, පසුව ඔහු පුලුස්සා, ඉන් කොටසක් කෑවාය. ඉතිරි කොටස සඟවා ගත්තාය.
ඒ මොහොතේ හමුදා භටයෝ පැමිණ එම දුර්ගන්ධය ආඝ්‍රාණය කර, ඇය සූදානම් කළ දේ ඔවුන්ට ලබා නොදුන්නොත්, ක්ෂණිකව ඇය මරා දමන බවට ඇයට තර්ජනය කළහ. ඔවුන් වෙනුවෙන් හොඳ කොටසක් ඉතිරි කරගත් බවට පිළිතුරු දෙමින් ඇය තම දරුවාගේ දේහයේ ඉතිරි කොටස නිරාවරණය කළාය. එය දැකීමෙන් භීතියෙන් යුක්තව ඔවුහු තූෂ්ණිම්භූත වූහ. එහෙත් ඇය ඔවුන් හට මෙසේ පැවසුවාය. “මේ දරුවා මගේම දරුවායි. එසේම මේ ක්‍රියාව කළේත් මායි. කන්න, මාත් කෑවා. ගැහැනියකට වඩා දුර්වල නොවන්න. මවකට වඩා මෘදු හදවතක් ඇත්තෙකු නොවන්න! එහෙත් ඔබ මගේ පරිත්‍යාගය පිළිබඳ නොසන්සුන් වී එය අනුමත නොකරන්නේ නම්, මා ඉන් අඩක් කෑ නිසා අනෙක් කොටසත් මට ඉතිරි කර තබා ඔබට යන්න පුළුවන්.” ඔවුහු වෙව්ලමින්, බියෙන් යුක්තව පලමු වරට ආහාරය පවා යන්තම් අත්හැර දමා ගියහ. එහෙත් භයංකාර තත්වයෙන් ක්ෂණයකින් මුළු නගරයම පාහේ පිරී ගියේය. සෑම කෙනෙක්ම තම දෑස් ඉදිරිපිට ඛේදවාචකය දකින අතර, අපරාධය තමන් විසින්ම කළ දෙයක්ද යන්න සිතා වෙවුලුවෝය. කුසගින්නෙන් පෙළෙන අය මරණය සොයා ගිය අතර මෙම සාහසික කුරිරුකම් නැවත දැකීමට හෝ ඇසීමට පෙර එය වටහාගත් අයට ඊර්ෂ්‍යා කළෝය. 8
යේසුස් වහන්සේගේ අනාවැකි
7. දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේට එරෙහිව යුදෙව්වන්ගේ වරද සහ අධර්මිෂ්ඨකම සඳහා වූ විපාකය එසේ විය. මෙම අනාවැකියේ මෙම කරුණු සම්බන්ධයෙන් අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ නොවරදින අනාවැකිය එයට එකතු කිරීම වටී:
නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරි දෙන ස්ත්‍රීන්ටත් දුක්වේ. නුඹලාගේ පලා යාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤා කරපල්ලා. මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයි කලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය [මතෙ. 24: J 9- 21].
නැති වූ සමස්ත ජීවිත සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීමේදී ඉතිහාසඥයා [ජොසීෆස්] පවසන්නේ මිලියන 1.1 සංඛ්‍යාවක් සාගතයෙන් සහ කඩුවෙන් මිය ගිය බවත්, නගරය අල්ලා ගැනීමෙන් පසු ත්‍රස්තවාදීන් එකිනෙකාට එරෙහිව තොරතුරු සපයන විට, උසම සහ කඩවසම්ම තරුණයින් නොමරා ජයග්‍රාහී පෙළපාලිය සඳහා ඔවුන් ඉතිරි කර ගන්නා ලද බවත් දක්වයි. ඉතිරි අයගෙන් අවුරුදු දහහතට වැඩි අය සිරකරුවන් ලෙස ඊජිප්තුවේ බර වැඩ සඳහා ශ්‍රමිකයන් ලෙස යැවූ බවත්, ඊටත් වඩා වැඩි පිරිසක් කඩුවෙන් හෝ වන මෘගයන්ගෙන් රංග ශාලාවලදී මරා දමන පිණිස යවන ලද බවත් දැක්වේ. වයස අවුරුදු දහහතට අඩු අය වහල්භාවයට විකුණනු ලැබූ අතර, මොවුන්ගේ සංඛ්‍යාව පමණක් අනූ දහසකි.
ක්‍රිස්තු වර්ෂ 70
ක්‍රිස්තුන් වහන්සේගේ අනාවැකිවලට අනුව මේ සියල්ල සිදු වූයේ වෙස්පේසියන්ගේ පාලන සමයේ දෙවන වසර තුළය. උන් වහන්සේ ඒ සියල්ල දිව්‍යමය බලයෙන් කලින් දැක, දැනටමත් පැමිණ ඇති දෙයක් සේ ඒ පිළිබඳ වැලපුණු සේක. ශුද්ධ වූ එවැන්ජලිස්තවරයා යෙරුසලම පිළිබඳ උන් වහන්සේගේ [ක්‍රිස්තුස් වහන්සේගේ] සැබෑ වචන එකතු කරයි:
අහෝ තිගේ සමාදානයට අයිති කාරණා මේ දවසේදී වත් දැනගෙන සිටියා නම් යහපත! එහෙත් දැන් ඒවා තීගේ ඇස්වලින් සැඟවී තිබේ. තී විමසා බලන කාලය තී නොදැන සිටි බැවින්, තිගේ සතුරන් විසින් තී වටේට පස්වැටියක් නගා, තී වටකොට, සියලු දිසාවෙන්ම තී කොටුකරගෙන, තී සහ තී තුළ සිටින තිගේ දරුවන්ද පොළොවේ ගසා, තී තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේ යයි කීසේක [ලූක් 19:42-44].
තවත් අවස්ථාවක උන් වහන්සේ මෙසේ කී සේක:
දවස්වලදී ගර්භිණීන්ටත් කිරි දෙන ස්ත්‍රීන්ටත් දුක් වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය. ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙන යනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය [ලූක් 21.23-24].
එසේම නැවතත් මෙලෙස දැක්වේ:
එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගනිල්ලා! [ලූක් 21.20].
අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ වචන ඉතිහාසඥයින්ගේ යුද්ධය පිළිබඳ ඉතිරි වාර්තාව සමග සංසන්දනය කරන ඕනෑම කෙනෙකුට පුදුම නොවී සිටීමට හෝ ගැලවුම්කරුවාණන් වහන්සේගේ අනාවැකියේ දිව්‍යමය ස්වභාවය ප්‍රකාශ කිරීමට අසමත් වීමට හෝ නොහැකිය.
ගැලවුම්කරුවාණන් වහන්සේගේ දුක් විඳීම සහ සමූහයා මංකොල්ලකාර මිනීමරුවා නිදහස් කර ජීවනයේ කතුවරයා මරා ඉවත් කිරීමට ආයාචනා කිරීමෙන් පසුව මුළු ජාතියටම සිදු වූ දේ පිළිබඳ වාර්තාවලට එකතු කිරීම අවශ්‍ය නොවේය. එහෙත් යුදෙව්වන් ක්‍රිස්තුස් වහන්සේට එරෙහි අපරාධය සිදු කිරීමෙන් පසුව වසර හතළිහක් පුරාවට යුදෙව්වන් විනාශ කිරීම ප්‍රමාද කිරීමට කරුණාවන්ත අනුග්‍රහයේ රැකවරණය පෙන්නුම් කරන කරුණු එකතු කිරීම මෙහිදී නිවැරදිය. ඒ කාලය මුළුල්ලේම, පළමු බිෂොප්වරයා වූ, ස්වාමින් වහන්සේගේ සහෝදරයා ලෙස හැඳින්වූ යාකොබ් ඇතුළු බොහෝ අපෝස්තුළුවරුන් තවමත් ජීවතුන් අතර සිටි කාලය පුරාම ඔවුන් නගරයේ රැඳී සිටීම එම ස්ථානයට බලවත් ආරක්ෂාවක් සැපයීය. මක්නිසාද දෙවියන් වහන්සේ තවමත් ඉවසිලිවන්තව සිටි අතර, අවසානයේ ඔවුන් ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් ගැන පසුතැවිලි වී සමාව සහ ගැලවීම සොයා ගනු ඇතැයි බලාපොරොත්තු වූ අතර, ඔවුන් පසුතැවිලි වීමට අපොහොසත් වුවහොත් කුමක් සිදුවේද යන්න පිළිබඳ ආශ්චර්යමත් අනතුරු ඇඟවීම්ද කළ සේක.
8. The Jewish War (යුදෙව් යුද්ධය) හයවන පොතේ ජොසීෆස් මෙසේ සටහන් කරයි:
වංචනිකයෝ සහ බොරු අනාගතවක්තෘවරු අසරණ මිනිසුන් රැවටූහ. සිතන්නට බැරි, අන්ධ, සහ හැඟීමක් නැති, සමීප අනාගතයේ සිදු වන පාළු වී පිළිබඳ දෙවියන් වහන්සේගේ පැහැදිලි පෙරනිමිති සහ විපත්තිවලට කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ඔවුහු අනුකම්පාවට ලක් විය යුතු මිනිසුන්ය. තාරකාවක් කඩුවක් මෙන් නගරයට ඉහළින් තිබූ අතර, වල්ගා තරුවක් වසරක් පුරා එහි පැවතුණි. ඉන්පසුව, යුද්ධයට පෙර, මුහුන් නුමුසු රොටි කන මංගල්‍යය සඳහා සැන්තිකස් (Xanthicus ) 9 වන මස අට වන දින අලුයම 3.00ට ජනතාව රැස්ව සිටි විට, දේවමාළිගාව සහ පූජාසනය මත ආලෝකයක් බැබළුණේය. එසේ එය දහවල් කාලය මෙන් දිස් වූ අතර මෙය පැය භාගයක් පැවතුණි. අද්දැකීම් අඩු අයට මෙය හොඳ පෙර නිමිත්තක් ලෙස පෙනුණද, ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ ලියන්නෝ සත්‍යය අර්ථකථනය ඉදිරිපත් කළහ. එම මංගල්‍යයේදීම උත්තම පූජකයා විසින් පූජා කිරීම සඳහා ගෙනා එළදෙනක් දේවමාළිගාව මැදදී බැටළු පැටවෙකු බිහි කළ අතර මධ්‍යම රාත්‍රියේදී අභ්‍යන්තර ශුද්ධ භූමියේ නැඟෙනහිර දොරටුව නිකම්ම විවෘත විය – එය වූ කලි ලෝකඩ දොරටුවක් වූ අතර, යකඩ පොලුවලින් සවි කර දිගු බෝල්ට් ඇණවලින් සවි කර ඇති නිසා වඩා විශාල දොරටුවක් වූ බැවින් සෑම සවසකම එය වසා දැමීමට මිනිසුන් විසි දෙනෙකු අවශ්‍ය විය.
මංගල්‍යයෙන් වැඩි කල් නොගොස්, ආටෙමිසියස් මස (Artemisius) විසිඑක්වන දින, ඇදහිය නොහැකි තරම් විශාල යක්ෂමය දර්ශනයක් දක්නට ලැබුණි. ඇසින් දුටු සාක්‍ෂි මගින් එය සහතික කර නොගන්නා ලද්දේ නම් සහ එම පෙර නිමිතිවලට අනුරූප වන ව්‍යසනයන් පසුකාලීනව සිදු නොවූයේ නම් එය සුරංගනා කතාවක් ලෙස පෙනෙන්නට ඉඩ තිබුණි. ඉර බැස යාමට පෙර නැවතත් අහස පුරාම මුළු දේශයේම අශ්ව කරත්ත සහ ආයුධ සන්නද්ධ හමුදා වලාකුළු හරහා වේගයෙන් ගමන් කරමින් නගර වට කරන ආකාරය දිස් විය.
එසේම පෙන්තකොස්ත මංගල්‍යයේදී, පූජකයන් රාත්‍රියේ ඔවුන්ගේ සුපුරුදු පූජා චාරිත්‍ර සඳහා දේවමාළිගාවට ඇතුළු වූ විට, ඔවුන්ට කැලඹීමක්, මහා ශබ්දයක් සහ පසුව ගිගුරුම් සහිත මොරගැසීමක් ඇසිණි, “අපි මෙතැනින් පිටත් වෙමු!”
යුද්ධයට වසර හතරකට පෙර, සාමය සහ සමෘද්ධිය පැවති කාලය තුළ ඊටත් වඩා භයානක දෙයක් සිදු විය. සාමාන්‍ය ගොවියෙකු වූ, අනනියස්ගේ පුත් යේසුස් කූඩාරම් මංගල්‍යයට පැමිණ, දේවමාළිගාවේ මළුවෙහි සිටගෙන, හදිසියේම මෙසේ මොරගැසුවේය: “නැගෙනහිර දෙසින් හඬක්, බටහිර දෙසින් හඬක්, පොළොවෙහි සතර දිශාවෙන් හඬක්, යෙරුසලමට සහ දේවමාළිගාවට විරුද්ධව හඬක්, මනාලයන්ට සහ මනාලියන්ට විරුද්ධව හඬක්, මුළු සෙනඟට විරුද්ධව හඬක්!” දිවා රෑ දෙකෙදීම ඔහු මෙසේ මොරගසමින් පටු වීදි දිගේ ගමන් කළේය. මෙම අශුභ වදන්වලින් කෝපයට පත් සමහර ප්‍රභූ නගරවාසීහු මෙම මිනිසා අල්ලාගෙන ම්ලේච්ඡ ලෙස පහර දුන්හ. කෙසේ වෙතත්, ඔහු තමාගේම ආරක්ෂාව වෙනුවෙන් වචනයක්වත් ප්‍රකාශ නොකළ අතර, එම දේම පවසමින් කෑගසමින් සිටියේය. බලධාරීහු, මිනිසාගේ හැසිරීම අධිස්වාභාවික දෙයක් විසින් සිදු කරනු ලබන දෙයක් බව නිවැරදිව උපකල්පනය කර, ඔහු රෝම ආණ්ඩුකාරයා [ඇල්බිනස්] වෙත ගෙන එන ලදී. එහිදී, ඔහුට කසයෙන් පහර දුන්නද, ඔහු දයාව ඉල්ලා කිසිම අයැදීමක් නොකළ අතර කඳුළු හෙළුවේද නැත. එහෙත් ඔහු තම කටහඬ උපරිමයෙන් උස් කොට, සෑම පහරක් වදින විටම, “අහෝ, යෙරුසලමට දුක් වේ!” යයි මොරගැසීය.
එම ලේඛකයාම ඊටත් වඩා කැපී පෙනෙන කතන්දරයක් කියයි. එනම් ඔවුන්ගේ පූජනීය ලේඛනවල වාචිකව ලැබුණු පණිවිඩයක් දක්වා ඇති බව එනම් ඔවුන්ගේ දේශයේ මිනිසෙක් එකල මුළු ලෝකයම පාලනය කරනු ඇති බව ප්‍රකාශ කරයි. එසේම එම ඉතිහාසඥයා මෙය වෙස්පේසියන් තුළින් ඉටු වූ බව සිතූ බව දක්වයි. එහෙත් ඔහු මුළු ලෝකයම පාලනය කළේ නැත. ඔහු පාලනය කළේ රෝම පාලනය යටතේ කොටසක් වන එම පළාත පමණි. එය වඩාත් යුක්ති සහගත ලෙස ක්‍රිස්තුස් වහන්සේට අදාළ වනු ඇත. “මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි” [ගීතා. 2:8]. ඒ කාලයේ උන් වහන්සේගේ ශුද්ධ වූ අපෝස්තුළුවරුන් මගින් “ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය” [ගීතා. 19:4].
ජොසීෆස් සහ ඔහුගේ ලේඛන
9. ජොසීෆස් මෙම ඉතිහාසය සඳහා මෙතරම් තොරතුරු සැපයූ බැවින්, ඔහුගේ සම්භවය සහ පරම්පරාව ගැන පැවසීම සුදුසු විය හැකිය. ඔහු විසින්ම මෙම තොරතුරු සපයයි:
මතියස්ගේ පුත්‍ර, ජොසීෆස් වන මම, යෙරුසලමේ පූජකයෙක් වන අතර (යුද්ධයේ), මුල් අවධියේදී රෝමවරුන්ට එරෙහිව සටන් කළෙමි. එසේම පසුකාලීන සිදුවීම් පිළිබඳ අකමැත්තෙන් පෙනී සිටි සාක්ෂිකරුවෙක් වීමි.
ඔහු ඔහුගේ සෙසු රටවැසියන් අතර පමණක් නොව, රෝමවරුන් අතරද ඔහුගේ කාලයේ සිටි වඩාත්ම ප්‍රසිද්ධ යුදෙව් ජාතිකයා විය. එබැවින් රෝම නගරයේ ඔහුගේ ප්‍රතිමාවක් ඉදිකරන ලද අතර, ඔහුගේ කෘති රෝම නගරයේ පුස්තකාලයට ඇතුළත් කිරීම මගින් ගෞරවයට පාත්‍ර කරන ලදී. ඔහු යුදෙව් සම්පූර්ණ ඉතිහාස කතාව (Jewish Antiquities) පොත් විස්සකින් ලියූ අතර ඔහුගේම කාලයේ රෝමවරුන් සමග සිදු වූ යුද්ධය පිළිබඳ වාර්තාව (The Jewish War) පොත් හතකින් ලිවීය. ඔහු විසින්ම සාක්ෂි දෙන පරිදි The Jewish War ග්‍රන්ථය ග්‍රීක භාෂාවෙන් පමණක් නොව, ඔහුගේ මව් භාෂාවෙන්ද ප්‍රකාශයට පත් කරන ලද අතර, වෙනත් හේතූන් මතද ඔහු විශ්වාස කිරීමට සුදුසු තැනැත්තෙකි. ඔහුගේ තවත් පොත් දෙකක් දැනටත් පවතින අතර, එයින් Against Apion නම් වූ කෘති යුදෙව්වන්ට එරෙහිව ප්‍රහාරයක් ලෙස ප්‍රකාශයට පත් කළ පොතක කතුවරයා වූ සහ ව්‍යාකරණඥයෙකු වූ ඇපියන්ට සහ යුදෙව් ජනතාවගේ පාරම්පරික සිරිත් විරිත් අපකීර්තියට පත් කිරීමට උත්සාහ කළ වෙනත් අයට පිළිතුරු ලෙස ලියා ඇත. මේවායින් පළමුවැන්නෙහි, ඔහු පැරණි ගිවිසුම සකස් වී ඇති ඊනියා කැනොනිකල් ලියවිලි එකිනෙක සඳහන් කරන අතර, ඒවායින් කවරක් හෙබ්‍රෙව්වරුන් අතර අවිවාදිතව පාරම්පරික ලෙස මුල් බැස ගෙන ඇත්දැයි පෙන්වයි:
10. අප සතුව නොගැළපෙන සහ පරස්පර විරෝධී පොත් විශාල සංඛ්‍යාවක් ඇත්තේ නැත. එහෙත් ඇත්තේ සර්වකාලීන හා යුක්තිසහගත ලෙස දිව්‍යමය වශයෙන් සලකන ලද වාර්තා අන්තර්ගත පොත් විසි දෙකක් පමණි. මේවායින්, මෝසෙස්ගේ පොත් පහක් ඇති අතර, එහි නීතිය සහ ඔහුගේ මරණය දක්වා වූ මානව ඉතිහාසයේ සම්ප්‍රදායන් ඇතුළත්ව ඇත. මෙහි දැක්වෙන කාලය වසර තුන්දහසකට ආසන්න කාලයක් ආවරණය කරයි. මෝසෙස්ගේ මරණයේ සිට අර්තක්ෂස්තා, එනම් සෙරේසෙස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස පර්සියාවේ රජු ලෙස පත් වූ තැනැත්තා දක්වා, මෝසෙස්ට පසුව සිටි දිවැසිවරුන් විසින් ඔවුන්ගේම කාලයේ සිදු වූ සිදුවීම් පොත් දහතුනක වාර්තා කරන ලදී. ඉතිරි පොත් හතරෙහි දෙවියන්වහන්සේට ගීතිකා සහ මිනිස් හැසිරීම් සඳහා වන නියෝග ශික්ෂා පද අන්තර්ගත වේ. අර්තක්ෂස්තාගේ කාලයේ සිට අපේ කාලය දක්වා ඉතිහාසය වාර්තා කර ඇත. එහෙත් එහිදී නොකඩව දිවැසිවරුන්ගේ අනුප්‍රාප්තිකයින් නොවූ බැවින් එය අනෙක් පොත් හා සමාන ආකාරයේ විශ්වසනීයත්වයක් නොලබයි. අපගේ ක්‍රියාවන් ශුද්ධලියවිල්ල කෙරෙහි අපගේ ආකල්පය පිළිබිඹු කරන්නේය. මන්ද මෙතරම් කාලයක් ගත වී ඇතත්, කිසිවෙකුත් ඒවාට කිසිවක් එකතු කිරීමට, එයින් කිසිවක් අඩු කිරීමට හෝ ඒවා වෙනස් කිරීමට එඩිතර වී නැති බැවිනි. එහෙත් ඒවා තුළ ජීවත් වීම පිණිස දෙන ලද දෙවියන් වහන්සේගේ ආඥා ලෙස සහ අවශ්‍ය නම් ඒවා වෙනුවෙන් සතුටින් මිය යාමට ඇති ආඥා ලෙස යුදෙව්වරු ඔවුන්ගේ උපතේ සිටම සලකති.
ඔහු The Supremacy of Reason, (තර්කයේ උතුම් බව) නම් තවත් උසස් කෘතියක්ද නිර්මාණය කළේය. එය සමහරු The Maccabaikon ලෙස හඳුන්වති. එයට හේතුව දෙවියන් වහන්සේට නමස්කාර කිරීම සඳහා එතරම් නිර්භීතව කටයුතු කළ මැකබිවරුන්ගේ පොත්වල සඳහන් කර ඇති හෙබ්‍රෙව්වරුන්ගේ ගැටුම් ගැන දක්වන බැවිනි. Antiquities 20 වන පොතේ අවසානයේදී, ජොසීෆස් දෙවියන් වහන්සේගේ ස්වභාවය සහ නීතිය සමහර දේවල් අනුමත කරන්නේ මන්ද සහ වෙනත් සමහර දේවල් තහනම් කරන්නේ මන්ද යන්න ගැන වන යුදෙව් විශ්වාසයන් සම්බන්ධයෙන් පොත් හතරක් ලිවීමට ඔහු සැලසුම් කළ බව නිවේදනය කරයි. ඔහු සිය ලේඛනවල සඳහන් කරන වෙනත් කෘතිද නිර්මාණය කළේය.
අවසාන වශයෙන්, මා ඔහුගෙන් ණයට ගත් පාඨවල ඇති සාක්ෂි අවධාරණය කිරීම පිණිස ඔහුගේ Antiquities පොතෙහි අවසානයට එකතු කරන වචන උපුටා දැක්වීම සුදුසු යැයි මම සිතමි. තිබේරියස් ජස්ටස්ට අසත්‍ය ප්‍රකාශයක් කිරීම පිළිබඳ චෝදනා කරමින් – ඔහු එම කාලපරිච්ඡේදයේදීම සිදු වූ ඉතිහාස සිදු වීමක් වාර්තා කිරීමට උත්සාහ කර ඇත – එසේම එහිදී ඔහුට එරෙහිව තවත් බොහෝ චෝදනා ඉදිරිපත් කරමින්, ඔහු පහත සඳහන් කරුණු එකතු කරයි:
ලිවීම සම්බන්ධයෙන් වන ඔබේ බිය මම බෙදා නොගතිමි. සිදුවීම් තවමත් නැවුම්ව තිබියදීම මම මගේ පොත් අධිරාජ්‍යවරුන්ටම ඉදිරිපත් කළෙමි. මන්ද, මගේ වාර්තාවේ සත්‍යය ප්‍රමුඛ වූ බැවින්, මගේ නිරවද්‍යතාවය පිළිබඳ තහවුරු කිරීමක් ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කළ අතර, මා අධෛර්යට පත් වූයේ නැත. යුද්ධයේ කොටස්කරුවන් වූ අග්‍රිපා රජු [II] සහ ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙකුට මෙන්ම තවත් බොහෝ දෙනෙකුට මම මගේ ඉතිහාසය ලබා දුන්නෙමි. ඇත්ත වශයෙන්ම, ටයිටස් අධිරාජ්‍යයා ඒ පිළිබඳ කොතරම් සැලකිල්ලක් දැක්වූවාද යත්, මගේ පොත්වලින් පමණක් මහජනතාව මෙම සිදුවීම් ගැන තොරතුරු ලබා ගත යුතු බවට ඒවා පළ කිරීම සඳහා ඔහු ඔහුගේම අතින් නියෝගයක් ලිවීය. අග්‍රිපා රජු විසින් එහි වූ සත්‍යය සහතික කරමින් ලිපි හැට දෙකක් ලිවීය.
ඔහු ඒවායින් ලිපි දෙකකින් උපුටා දැක්වීම් සිදු කරයි. එහෙත් ජොසීෆස් සම්බන්ධයෙන් මෙය ප්‍රමාණවත් වන අතර අපි ඉදිරියට යමු.
අගරධගුරුවරුන්ගේ අනුප්‍රාප්තිය
11. යාකොබ්ගේ ප්‍රාණ පරිත්‍යාගී මරණයෙන් පසුව සහ ඉන් ඉක්බිතිව ඉතාම ඉක්මනින් සිදු වූ යෙරුසලම අල්ලා ගැනීම, සම්ප්‍රදායට අනුව, තවමත් ජීවතුන් අතර සිටින ස්වාමින්වහන්සේගේ අපොස්තුළුවරු සහ ගෝලයෝ එහි සිටි අය සමගින් සෑම තැනකින්ම එක්රැස් වූහ. මානුෂීය ලෙස කථා කරන්නේ නම්, ස්වාමින් වහන්සේගේ ඥාතීහු සියලු දෙනාම, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් ජීවත්ව සිටි බැවින් එහි රැස් වූහ. යාකොබ්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන් විය යුතුද යන්න පිළිබඳ ඔවුන් සියලු දෙනාම සාකච්ඡා කළ අතර, සියලු දෙනාම ශුභාරංචි පොත්වල සඳහන් ක්ලෝපස්ගේ පුත් සිමියොන් [යෙරුසලමෙහි] අගරධගුරු නිලයට සුදුසු බව ඒකමතිකව තීරණය කළහ.
ඔහු ගැලවුම්කරුවාණන් වහන්සේගේ පළමුවන ඥාති සහෝදරයෙක් බව කියනු ලැබේ. මන්ද ක්ලෝපස් යෝසප්ගේ සහෝදරයා බවට හෙගෙසිපස් පවසන නිසාය.
12. යෙරුසලම ජයගැනීමෙන් පසුව, රාජකීය පවුලේ කිසිදු සාමාජිකයෙකු ජීවත් නොවන පිණිස, දාවිත්ගේ පරම්පරාවෙහි සියලු දෙනාම සොයන ලෙසට වෙස්පාසියන් නියෝග කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස යුදෙව්වන්ට එරෙහිව තවත් විශාල පීඩාවක් ඇති වූ බවත් හෙගෙසිපස් වාර්තා කරන්නේය.
ක්‍රි.ව. 79
13. වෙස්පාසියන් වසර දහයක් පාලනය කළ පසුව, ඔහුගේ පුත් ටයිටස් අධිරාජ්‍යයා ලෙස පත් විය. ටයිටස්ගේ පාලන සමයේ දෙවන වසරේදී, රෝමයේ බිෂොප්වරයා වසර දොළහක් එම පදවියෙහි සිටීමෙන් පසුව සිය තනතුර ඇනෙන්ක්ලීටස්ට ලබා දුන්නේය. ටයිටස් බලයට පත් වී වසර දෙකක් සහ මාස දෙකකින් පසුව ඔහුගේ සොහොයුරු ඩොමීෂියන් අධිරාජ්‍යයා ලෙස පත් විය.
14. දැන් ඩොමීෂියන්ගේ පාලන සමයෙහි සිව්වන වසරේදී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ දේවස්ථානයේ පළමුවැන්නා වූ අනනිඅනස් (Annianus) වසර විසිදෙකක සේවා කාලයක් සම්පූර්ණ වූ පසු මිය ගිය අතර, ඔහුගෙන් පසු දෙවැනියා ලෙස අබිලියස් (Abilius) පත් විය.
(මෙය එවැනි වූ බොහෝ අගරධගුරුවරුන්ගේ අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් ඇති බොහෝ ඡේද සඳහා වන නිදසුනකි. යෙරුසලමෙහි, අන්තියෝකියෙහි, ඇලෙක්සැන්ඩ්‍රියාවෙහි සහ රෝමයේ අගරධගුරුවරුන්ගේ අනුප්‍රාප්තිය සම්බන්ධ සම්පූර්ණ ලැයිස්තුවක් ඇමුණුම 2 දක්වා ඇති බැවින්, කියවන්නා ඉතා ඉක්මනින් ඒවා කියවිය යුතුය).
15. එම පාලකයාගේම දොළොස් වන වසරෙහිදී, ඇනෙන්ක්ලීටස් රෝමයේ රදගුරු පදවියෙහි වසර දොළහකට පසුව ක්ලෙමන්ට් පත් විය. පිලිප්පි [4:3] පොතෙහි, ප්‍රේරිතවරයා ඔහු විස්තර කරන්නේ ” ජීවන පොතේ නම් ඇති ක්ලෙමන්ට් සහ මගේ හවුල් සේවකයන් සමග,” යන වචනවලිනි.
16. රෝමයේ සභාවේ නාමයෙන්, ක්ලෙමන්ට් විසින් පිළිගත් දීර්ඝ හා අපූරු ලිපියක් රචනා කරන ලදුව එය මතභේද පැවති කොරින්තියේ සභාවට යවනු ලැබීය. මෙම ලිපිය පැරණි කාලයේදී මෙන්ම අපගේම කාලයේදීද බොහෝ සභාවල ප්‍රසිද්ධියේ කියවන ලදී. ක්ලෙමන්ට්ගේ කාලයේදී කොරින්තියේ මතභේද පැවති බව හෙගෙස්සිපස්ගේ සාක්ෂියෙන් පැහැදිලි වේ.
ඩොමිෂින්ගේ පීඩා කිරීම සහ යේසුස් වහන්සේගේ ඥාතීන්
ක්‍රි.ව. 95
17. පවුලෙන් සහ වෘත්තීය ජීවිතයෙන් කැපී පෙනුණු රෝමයේ සිටි පිරිමින් දරුණු කෲර ක්‍රියා මගින් ඩොමීෂීයන් විසින් නඩු විභාගයකින් තොරව මරණයට පත් කරන ලදී. තවත් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් හේතුවක් නොමැතිව පිටුවහල් කර ඔවුන්ගේ දේපළ රාජසන්තක කළේය. අවසානයේදී, ඔහු දෙවියන් වහන්සේට සතුරුකම් කරන්නන්ගෙන් නීරෝගේ අනුප්‍රාප්තිකයා බව පෙන්වීය. ඔහුගේ පියා වන වෙස්පේසියන් හට එවැනි නපුරු සැලසුම් නොතිබුණද අපට එරෙහිව පීඩාවක් සංවිධානය කළ දෙවැන්නා ඔහුය.
18. සම්ප්‍රදායට අනුව, ප්‍රේරිත සහ එවැන්ජලිස්ත යොහන් මේ වන විටත් ජීවතුන් අතර සිටි අතර දිව්‍යමය වචනය පිළිබඳ ඔහුගේ සාක්ෂිය නිසා පත්මොස් දූපතේ ජීවත් වීමට ඔහු පිටුවහල් කරන ලදී. එළිදරව් පොතේ අන්ත ක්‍රිස්තුස්ට ලබා දී ඇති නමේ අංකය ගැන ලියමින් [666, 13.8 පදය], ඉරේනියස් ඔහුගේ Against Heresies (මිථ්‍යාදෘෂ්ටීන්ට එරෙහිව) 5 වන පොතේ යොහන් ගැන මෙසේ පවසයි:
මේ මොහොතේ ඔහුගේ නම පැහැදිලිව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූයේ නම්, එය එළිදරව්ව දුටු තැනැත්තා විසින් එය ප්‍රකාශ කරනු ලබනවා ඇත. මක්නිසාද එය බොහෝ කලකට පෙර නොව, ඩොමිෂියන්ගේ පාලන සමයේ අවසානයේ අපගේම කාලය තුළ දක්නට ලැබුණු බැවිනි.
ක්‍රි.ව. 96
ඇත්ත වශයෙන්ම, අපගේ ඇදහිල්ලේ ඉගැන්වීම එකල කෙතරම් දීප්තිමත් ලෙස බැබළුණේද යත්, අපගේ ඇදහිල්ලට ප්‍රතිවිරුද්ධ ඇදහිල්ල සහිත පිටස්තර ලේඛකයෝ පවා ඔවුන්ගේ ඉතිහාස පොත්වල පීඩාව සහ වේදසාක්ෂික ප්‍රාණ පරිත්‍යාගි ක්‍රියා උපුටා දැක්වූහ. ඔවුහු ඔවුන්ගේ නිශ්චිත නිල කාලය ගැන පවා සඳහන් කරමින්, ඩොමිෂියන් අධිරාජ්‍යයාගේ පහළොස්වන වසරේ, එම වසරේදී ආණ්ඩුකාර ධූරය දැරූ රෝමානු ජාතිකයෙකු වූ ෆ්ලේවියස් ක්ලෙමන්ස්ගේ ඥාති දියණිය වූ ෆ්ලේවියා ඩොමිටිල්ලා, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කිරීම හේතුවෙන් තවත් බොහෝ දෙනා සමග පොන්තියා දූපතට පිටුවහල් කොට යවන ලද බව දක්වති.
19. දාවිත්ගේ පරම්පරාවට අයිති සියලු දෙනාම ඝාතනය කරන ලෙසද එම ඩොමීෂියන්ම නියෝග කළේය. පැරණි සම්ප්‍රදායක් සඳහන් කරන්නේ, මානුෂික මට්ටමෙන් කතා කිරීමේදී, ඔවුන් දාවිත්ගේ පවුල සහ ක්‍රිස්තුස් වහන්සේටම නෑකම් කියන බව දක්වමින් මිථ්‍යාදෘෂ්ටිකයින් ගැලවුම්කරුවාණන් වහන්සේගේ සහෝදරයා වන යූද්ගෙන් පැවතෙන්නන්ට චෝදනා කළ බවයි. හෙගෙසිපස් පහත සඳහන් පරිදි මෙය වාර්තා කරයි:
20. තවමත් ස්වාමින් වහන්සේගේ පවුලෙන් දිවි ගලවාගෙන සිටියේ මාංසයට අනුව උන් වහන්සේගේ සහෝදරයා යැයි කියනු ලැබූ යූද්ගේ මුනුබුරන්ය.
දාවිත්ගෙන් පැවත එන අය ලෙස ඔවුන් පිළිබඳ දන්වා ඇත. චෝදනා කරන අය (The Evocātus) ඔවුන් රැගෙන එන ලද්දේ හෙරොද් මෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන බියෙන් සිටි ඩොමිෂියන් සීසර් ඉදිරියටය. ඔවුන් දාවිත්ගෙන් පැවත එන අයද යන්න ඩොමිෂියන් ඔවුන්ගෙන් ඇසූ අතර, ඔවුහු එය එසේ බවට පිළිගත්හ. එවිට ඔවුන් සතුව දේපළ හා මුදල් කොපමණ ඇත්දැයි ඔවුන්ගෙන් විමසූ අතර, ඩිනාරි නවදහසක් පමණක් ඔවුන් සතුව ඇති බවත්, ඔවුන්ගෙන් එක් අයෙකුට ඉන් අඩ බැගින් අයිති බවත් ඔවුහු පිළිතුරු දුන්හ. එසේම එය ඔවුන් අතර ඇත්තේ මුදල් ආකාරයෙන් නොව, ඔවුන් බදු ගෙවා තම ශ්‍රමයෙන් ජීවත් වූ ඉඩම් කැබලි තිස් නවයක (plethra of land) පමණ ඇස්තමේන්තුගත වටිනාකමක් ඇති දේපළක් ලෙස බව ඔවුහු පැවසූහ.
පසුව [හෙගෙසිපස් ඒ සම්බන්ධයෙන් මෙලෙස පවසයි], ඔවුන්ගේ වෙහෙසට සාක්ෂියක් වශයෙන්, ඔවුහු තම අත්වල ඇති කැක්කුම සහ නොනවතින වෙහෙස වීම නිසා ඔවුන්ගේ සිරුරේ තද බව ඔහුට පෙන්වූහ. ඔවුන්ගෙන් ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ රාජ්‍යය – එහි ස්වභාවය, ආරම්භය සහ නැවත ප්‍රකාශ වන කාලය පිළිබඳ විමසන ලදී. එය මෙලොව හෝ භෞමික නොවන දෙයක් බවත් , එහෙත් දේවදූත හා ස්වර්ගීය දෙයක් වන බවත්, උන් වහන්සේ ජීවත්ව සිටින අය සහ මළවුන් විනිශ්චය කිරීමටත්, සෑම කෙනෙකුටම තමාගේ ක්‍රියාවන්ට අනුව විපාක දීමටත් මහිමයෙන් පැමිණෙන විට එය ලෝකාන්තිමයේදී පිහිටුවනු ලබන බවත් පවසමින් ඔවුහු පිළිතුරු දුන්හ. මෙම අවස්ථාවේදී ඩොමිෂියන් ඔවුන් හෙළා නොදැමූ නමුත්, ඔවුන් සරල අය ලෙස අවමන් කරමින්, ඔවුන්ට නිදහස් වීමට ඉඩ දී සභාවට එරෙහි වධ හිංසා නතර කරන ලෙසට නියෝග කළේය. ඔවුන් නිදහස් කිරීමෙන් පසුව ඔවුන්ගේ සාක්ෂිය නිසා මෙන්ම ඔවුන් ස්වාමීන් වහන්සේගේ පවුලට අයත් වූ නිසාත් ඔවුහු සභාවල නායකයෝ බවට පත් වූහ. ඔවුහු සාමය ඇති වූ නිසා ට්‍රාජන්ගේ කාලය දක්වා ජීවත් වූහ. ඒ දක්වා හෙගෙසිපස් ලියා ඇත.
ඩොමිෂියන් පිළිබඳ ටර්ටූලියන් ඒ හා සමාන ප්‍රකාශයක් සිදු කරයි:
කෲරත්වයෙන් නීරෝ, ඩොමිෂියන් වරක් ඔහු සිදු කළාක් මෙන් සිදු කරන්නට උත්සහා කළේය, එහෙත් එය ඉතාම ඉක්මනින්ම නැවැත්වීය. පසුව ඔහු විසින් පිටුවහල් කරන ලද අය නැවතත් ගෙන්වීය. මා සිතන්නේ ඔහුට ඒ පිළිබඳ යම් හැඟීමක් වූ බවයි.
ක්‍රි.ව.96
ඩොමීෂියන් වසර පහළොවක් පාලනය කළ පසුව, නර්වා අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. රෝමානු සෙනෙට් ආඥාව අනුව, ඩොමීෂියන්ගේ ගෞරවය අවලංගු කරන ලද අතර, අසාධාරණ ලෙස පිටුවහල් කරන ලද අය ආපසු පැමිණි අතර ඔවුන්ගේ ඉඩම් දේපළ නැවත ඔවුන්ට ලබා දෙන ලදී. එම කාලය තුළද, මුල් ක්‍රිස්තියානි සම්ප්‍රදාය දක්වන්නේ, අපෝස්තුළු යොහන් ඔහු දූපතට පිටුවහල් කාලයෙන් පසුව, නැවත එපීසයේ පදිංචියට ගිය බවයි.
අගරධගුරුවරුන්
ක්‍රි.ව. 98
21. නර්වා වසරකට වඩා මඳක් වැඩි කාලයක් පාලනය කිරීමෙන් පසුව ට්‍රාජන් අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඔහුගේ පළමු වසර තුළ, අබිලියස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ වසර දහතුනක සභා නායකත්වයෙන් පසුව, එහි පළමුවැන්නා වූ අන්නිඅනාස්ගෙන් පසුව එහි තුන්වැනි අනුප්‍රාප්තිකයා ලෙස සර්ඩෝ (Cerdo) පත් කරන ලදී. මේ වන විට ක්ලෙමන්ට් තවමත් රෝමයේ සභාවේ ප්‍රධානියා වූ අතර, පාවුල් සහ පේදුරු අනුගමනය කළ අයගෙන් රෝමයේ අගරධගුරුවරුන්ගේ ලැයිස්තුවේ තුන්වැන්නා විය: පළමුවැන්නා ලිනස් වූ අතර දෙවැන්නා ඇනෙක්ලීටස් විය.
22. එවෝඩියස් පළමුවන අගරධගුරුවරයා වූ අන්තියෝකියේදී, ඉග්නේෂස් දෙවන අගරධගුරුවරයා ලෙස මේ වන විට ප්‍රසිද්ධ වෙමින් සිටියේය. ඒ හා සමානවම, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ සහෝදරයාට පසුව යෙරුසලමේ සභාව භාරව සිටි සිමියොන් දෙවැනියා විය.
යොහන් පිළිබඳ කතාන්දරයක්
23. මේ කාලයේදී, යේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා – අපෝස්තුළු සහ එවැන්ජලිස්ත යොහන්, – තවමත් [සුළු] ආසියාවේ ජීවත් වූ අතර, ඔහු පිටුවහල් කරනු ලැබ ආපසු පැමිණීමෙන් පසුව එහි සභා මෙහෙයවීය. ඔහු මෙතරම් කලක් දිවි ගලවාගෙන ජීවත් වූ බව විශ්වසනීය සහ සාම්ප්‍රදායික සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් සනාථ කරනු ලැබේ: ඒ ඉරේනියස් සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් යන දෙදෙනායි. ඉරේනියස් ඔහුගේ Against Heresies (මිථ්‍යාදෘෂ්ටියට එරෙහිව) 2 වන පොතේ මෙසේ ලියයි:
ස්වාමින් වහන්සේගේ ගෝලයා වන යොහන් හා සම්බන්ධ ආසියාවේ සියලුම වැඩිමහල්ලන් සාක්ෂි දෙන්නේ යොහන් ඔවුන්ට සත්‍යය ඉගැන්වූ බවයි. මන්ද ඔහු ට්‍රාජන්ගේ කාලය දක්වා ඔවුන් සමග සිටි බැවිනි.
එතුමා 3 පොතේද එයම පවසයි:
දැන්, එපීසයේ සභාව පාවුල් තුමා විසින් ආරම්භ කරන ලද්දකි. එහෙත් ට්‍රාජන්ගේ කාලය දක්වා යොහන් එහි සිටියේය. එසේ එය අපෝස්තලික සම්ප්‍රදායේ සැබෑ සාක්ෂියකි.
ක්ලෙමන්ට්, The Rich Man Who ls Saved නමැති සිය නිබන්ධනයෙහි මෙම ප්‍රබෝධමත් ආඛ්‍යානය එකතු කරයි:
කතාවකට නොව, මතකයේ සුරැකී ඇති අපොස්තුළු යොහන් තුමාගේ සැබෑ වාර්තාවට සවන් දෙන්න. කෲරතර පාලකයාගේ මරණයෙන් පසුව, ඔහු පත්මොස් දූපතේ සිට එපීසය වෙත ගොස්, ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවලදී අසල්වාසී අන්‍යජාතික දිස්ත්‍රික්කවලට අගරධගුරුවරුන් පත් කිරීමට, සභා සමගි කිරීමට හෝ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පත් කරන ලද අය පැවිදි කිරීමට ගියේය. [ස්මර්ණා] අසල නගරයකට පැමිණි ඔහු, සහෝදරයන් අතර ආරවුල් සමථයකට පත් කළේය. පසුව, අතිවිශිෂ්ට ශරීරයක් සහ කඩවසම් පෙනුමක් ඇති උද්යෝගිමත් තරුණයෙකු දුටු ඔහු, පත් කරන ලද අගරධගුරුවරයාට ඔහු පිළිබඳ ප්‍රශංසා කළේ මෙම වචන්වලිනි: ” ක්‍රිස්තුස් වහන්සේ මගේ සාක්ෂිකරුවා ලෙස ගෙන, මම මේ තරුණයා ඔබගේ රැකවරණයෙහි තබමි.”
යොහන් නැවත එපීසයට පැමිණි විට, සභා සේවකයා ඔහුට භාර දුන් තරුණයා ගෙදර ගෙනැවිත්, ඔහු ඇති දැඩි කර, අවසානයේ ඔහු බෞතිස්ම කළේය. මෙයින් පසුව ඔහු තම අධීක්ෂණය ලිහිල් කළ අතර, පරිපූර්ණ ආරක්ෂාව ලෙස ස්වාමින් වහන්සේගේ මුද්‍රාව ඔහු මත තැබීය. එහෙත් සමහර අලස සහ සල්ලාල තරුණයන් ඔහු සුඛෝපභෝගී විනෝදාස්වාදයෙන් දූෂිත තත්වයට පත් කළ අතර පසුව ඔවුහු මංකොල්ලකෑම් හෝ දරුණු අපරාධ සිදු කිරීමට රාත්‍රි කාලයේ පිටතට යන විට ඔහු ඔවුන් සමග රැගෙන ගියහ. ඔහු ඔවුන් සමග එකතු වී,වැඩි කල් යන්නට මත්තෙන් දරුණු සතෙකු ගොදුරක් ඩැහැගන්නාක් මෙන්, ඔහු කෙළින්ම මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයට බැස්සේය. දෙවියන් වහන්සේගේ ගැලවීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු කුඩා වැරදි සිදු කිරීමෙහි සිට මහා අපරාධ දක්වා සිදු කරමින් ගොස්, ප්‍රචණ්ඩත්වයෙන් සහ ලේ වැකි කෲරත්වයෙන් ඔවුන් සියල්ලන්ම අබිබවා යමින් ඔහු ප්‍රධානියා ලෙස තරුණ කැරලිකරුවන් කොල්ලකරුවන්ගේ කල්ලියක් බවට පත් කළේය.
කාලය ගෙවී ගියේය. යොහන් නැවතත් ඒ ප්‍රදේශයට සංචාරය කළේය. ඔහුගේ මෙහෙවර අවසන් වූ විට, යොහන් මෙසේ පැවසුවේය. “රදගුරුතුමනි, දැන් එන්න, සභා සාක්ෂිකරුවන් ලෙස තබා ක්‍රිස්තුස් වහන්සේ සහ මා ඔබ සතුව තබා ගිය තැන්පතුව ආපසු දෙන්න.” මුලදී අගරධගුරුවරයා ගොළු විය. එසේ ඔහුට කිසිදා නොලැබුණු මුදල් සම්බන්ධයෙන් ඔහුගෙන් ඉල්ලන බව සිතුවේය. එහෙත් යොහන් මෙසේ පැවසුවේය. “මම තරුණයා සහ ඔහුගේ ආත්මය ඉල්ලා සිටිමි.”
“ඔහු මැරිලා,” මහලු මිනිසා කඳුළු සලමින් කෙඳිරුවේය.
“ඔහු මැරුණේ කොහොමද?”
“ඔහු දෙවියන් වහන්සේට මිය ගොස් ඇත. ඔහු නීච හා නින්දිත ලෙස හැරී ගියේය: ඔහු අවනීතියෙහි ජීවත් වන්නෙකි. දැන් ඔහු සිටින්නේ සභාවෙහි නොව ඔහු වැනි සන්නද්ධ කල්ලියක් සමග කඳුකරයේය.”
ප්‍රේරිතවරයා තමාගේ ඇඳුම් ඉරාගෙන, ඔහුගේ හිසට ගසාගනිමින්, කෙඳිරිගාමින් මෙසේ කීය. “අපේ සහෝදරයාගේ ආත්මය මම හොඳ ආරක්ෂකයෙකුට භාර දී ඇත්තෙමි! එහෙත් මට මාර්ගය පෙන්වීමට කෙනෙක් සමග අශ්වයෙකු ලබා දෙන්න.” ඔහු සිටි ආකාරයටම සභාවෙන් පිටත්ව ගියේය. ඔහු ඔවුන් සැඟවී සිටින ස්ථානය වෙත පැමිණි විට, නීතිවිරෝධී මුරකරුවන් විසින් අල්ලා ගන්නා ලද අතර, ඔහු මෙසේ කෑගැසුවේය. “මම ආවේ මේ සඳහාය: මා ඔබේ නායකයා වෙත ගෙන යන්න!”
යොහන් සහ ඔහු ළඟට පැමිණි විට, තරුණ නායකයා ඔහු හඳුනාගත් අතර, ඔහු ලජ්ජාවට පත් වී ඔහු ඉවතට පළා ගියේය. එහෙත් යොහන් ඔහුගේ වයස අමතක කර දමා ඔහුට හැකි පමණින් ඔහු පසුපස දිව ගොස් මෙසේ ඇමතුවේය. “දරුවා, නිරායුධ සහ මහලු, ඔබේම පියාගෙන් ඔබ පලා යන්නේ ඇයි? මට අනුකම්පා කරන්න, දරුවා, මට බය වෙන්න එපා! අවශ්‍ය නම්, මම ඔබ වෙනුවෙන් ක්‍රිස්තුන් වහන්සේට ගණන් දෙන්නම්. ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් මරණය වින්දා සේ ඔබ වෙනුවෙන් සතුටින් දුක් විඳ, මගේ ජීවිතය වුවද දෙන්නෙමි. නවතින්න! විශ්වාස කරන්න! ක්‍රිස්තුන් වහන්සේ මා එවූ සේක.
තරුණයා නැවතුණේය. බිම බලාගෙන, ආයුධ බිම හෙළුවේය. පසුව දැඩි ලෙස අඬන්නට විය. මහලු මිනිසා වටා දෑත් දමමින්, ඔහු සමාව අයැදුවේය. තමාගේම කඳුළුවලින් දෙවන වරටත් බෞතිස්ම වූයේය. එහෙත් ඔහුගේ දකුණු අත සඟවාගෙනය. කෙසේ වෙතත්, යොහන් ඔහුට ස්වාමින් වහන්සේගෙන් සමාව ලැබුණු බවට සහතික විය. ඔහු යාච්ඤා කර, දණින් වැටී, ඔහුගේ දකුණු අත සිපගත්තේ පසුතැවිල්ල තුළින් පවිත්‍ර වූ බව පෙන්වමිනි. ඉන්පසු ඔහු තරුණයා ආපසු කැඳවාගෙන ගොස්, යාච්ඤාව, නිරාහාරව සිටීම සහ උපදෙස් ලබා දෙමින් ඔහු නැවත සභාවට ප්‍රතිස්ථාපනයවන තුරු ඔහු අත්හැරියේ නැත: සැබෑ පසුතැවිලි වීම සහ නැවත උත්පාදනය සම්බන්ධ උසස් නිදර්ශනයක්, දෘශ්‍යමාන උත්ථානයේ ජයග්‍රාහී පදක්කමක්.
මම ක්ලෙමන්ට්ගෙන් ගත් මෙම උපුටා ගැනීම එහි ඓතිහාසික සහ සන්නද්ධ කිරීමේ ප්‍රතිලාභ සඳහා උපුටා දක්වමි.
යොහන්ගේ ලේඛන
24. දැන් මෙම අපොස්තුළුවරයාගේ අවිවාදිත ලියවිලි දැක්වීමට මට ඉඩ දෙන්න. අහසට යටින් ඇති සියලුම සභා විසින් කියවන ලද ඔහුගේ ශුභාරංචිය මුලින්ම හඳුනාගත යුතුය. මුල් පියවරුන් එය අනෙක් පොත් තුනට පසුව සිව්වන ස්ථානයෙහි තැබූ බව තේරුම්ගත හැකිය. ක්‍රිස්තුස් වහන්සේගේ ආනුභාවය ලත් අපෝස්තුළුවරුන් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරගෙන ඇති අතර, සෑම යහගුණයක්ම වගා කරගෙන ඇතත් වචනයෙහි සරල මිනිස්සු වූහ. ගැලවුම්කරුවාණන් වහන්සේගේ බලය තුළ නිර්භීතව සිටි ඔවුන්ට, ගුරුවරයාණන් වහන්සේගේ ඉගැන්වීම් වාචාල ලෙස කුසලතාවලින් ඉදිරිපත් කිරීමට හැකියාවක් හෝ ආශාවක් හෝ නොවූ අතර, ඔවුන් තුළින් ක්‍රියා කරන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ මත පමණක් රඳා සිටියහ. මෙසේ ඔවුහු ස්වර්ග රාජ්‍යය මුළු ලොවටම ප්‍රකාශ කළ අතර පොත් ලිවීම ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. උදාහරණයක් වශයෙන්, තර්කයෙන් සහ කථිකත්වයෙන් අන් සියල්ලන්ම අබිබවා ගිය පාවුල්තුමා, ලියා ඇත්තේ ඉතා කෙටි ලිපි පමණක් වන නමුත්, ගණන් කළ නොහැකි වචනවලින් ප්‍රකාශ කිරීමට හෝ විස්තර කිරීමට නොහැකි තරම් උසස් බවක් ඒවායෙහි ඇත. ඔහු තුන්වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබ දර්ශනය දුටු බවත්, කිව නොහැකි ආකාරයේ වචන ඇසූ බවත් දක්වා ඇත. [2 කොරි. 12:2]
අපෝස්තුළුවරුන් දොළොස්දෙනා, ගෝලයන් හැත්තෑ දෙනා සහ තවත් ගණන් කළ නොහැකි අය එක්ව අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ අනෙකුත් ශිෂ්‍යයන්ටද එවැනිම අත්දැකීම් තිබුණි.
එහෙත් ස්වාමින් වහන්සේ සමග සිටි සියලු දෙනාගෙන්, මතෙව් සහ යොහන් පමණක් ඔවුන්ගේ මතක සටහන් අපට ඉතිරි කර තබා ඇති අතර, සම්ප්‍රදායට අනුව, ඔවුන් එසේ කළේ අවශ්‍යතාවය මත බව දක්වයි. මතෙව් මුලින්ම හෙබ්‍රෙව්වරුන්ට දේශනා කළ අතර, ඔහු අන් අය වෙතටද යාමට සැලසුම් කළ විට, ඔහු හැරදමා යන අය සඳහා ඔහුගේම මව් භාෂාවෙන් ඔහුගේ ශුභාරංචිය ලිවීය. එසේ ලියුවේ ඔහුගේ ලියවිල්ල ඔහුගේ නික්මයාමෙන් ඇති වූ හිඩැස පුරවන පිණිසය. මාර්ක් සහ ලූක් ඒ වන විටත් ඔවුන්ගේ ශුභාරංචි ප්‍රකාශයට පත් කර තිබුණි. එහෙත් යොහන් අවසානයේදී පහත සඳහන් හේතුව නිසා ලිවීමට පටන් ගන්නා තෙක්ම ඔහු කතා කරන වචනය පමණක් භාවිත කර ඇති බව කියනු ලැබේ. සාමාන්‍ය සංසරණයේ තිබූ ලිඛිත ශුභාරංචි තුනද යොහන් අතට පත් විය. ඔහු ඒවා පිළිගෙන, ඒවායෙහි නිරවද්‍යතාවය තහවුරු කළේය. එහෙත්, ක්‍රිස්තුන් වහන්සේ සිය දූතන මෙහෙවර ආරම්භයේදී කළ දේ පිළිබඳ වාර්තාව පමණක් එම ආඛ්‍යානයෙහි නොමැති බව දුටුවේය.
එය සත්‍යයකි. යොහන් බෞතීස්ත සිරගත කිරීමෙන් පසුව වසරක් පමණේදී ස්වාමින් වහන්සේ සිදු කළ දේ එවැන්ජලිස්තවරුන් තිදෙනා වාර්තා කර ඇති අතර, ඔවුහු මෙය ඔවුන්ගේ ආඛ්‍යාන කතාවේ ආරම්භයේදී දැක්වූහ. දින හතළිහක නිරාහාරයෙන් සිටීම සහ පසුව ඇති වූ පරීක්ෂාවෙන් පසුව, මතෙව් පැහැදිලිවම කාලය නියම ලෙස දක්වන්නේ මෙසේය. “යොහන් අත්අඩංගුවට ගත් බව යේසුස් වහන්සේට ආරංචි වූ විට, උන් වහන්සේ ගලීලයට ඉවත්ව ගිය සේක” [මතෙ. 4:12]. ඒ හා සමානවම, මාර්ක් පවසන්නේ, “යොහන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, යේසුස් වහන්සේ ගලීලය වෙත පැමිණි සේක” [මාර්ක් 1:14] යනුවෙනි. ලූක්ද යේසුස් වහන්සේගේ ක්‍රියාවන් ගැන ප්‍රකාශ කිරීමට පෙර ඒ හා සමාන ප්‍රකාශයක් කරයි. හෙරොද් “යොහන් සිරගෙදර දැමීමෙන්” තවත් මහත් අපරාධයක් ඔහුගේ ගණනට එකතු කරගත් බව ප්‍රකාශ කරයි [ලූක් 3:19-20].
ඔවුන් පවසන්නේ, මේ හේතුව නිසා කලින් එවැන්ජලිස්තවරුන් නිහඬව සිටින කාලය තුළ ගැලවුම්කරුවාණන් වහන්සේගේ ක්‍රියා තමන්ගේම ශුභාරංචියක සටහන් කරන ලෙස යොහන්ට බල කරන ලද බවයි. එනම්, යොහන් බෞතීස්තගේ සිරගත කිරීමට පෙර සිදුවීම් දක්වන ලෙසය. මෙය ඔහුගේමෙම වචනවලින් ඇඟවුම් කෙරෙයි. “යේසුස් වහන්සේ තමන්වහන්සේගේ ලකුණුවලින් පළමුවැන්න වන මෙය සිදු කළ සේක” [2:11]. පසුව, යේසුස් වහන්සේගේ ක්‍රියාවන් පිළිබඳ ඔහුගේ වාර්තාව මධ්‍යයේ, බෞතීස්ත තවමත් සාලිම් අසල ඒනොන්හි බෞතීස්ම කරමින් සිටි බව සඳහන් කිරීමේදී, ඔහු තව දුරටත් පැහැදිලි කරන්නේ, ” ඇත්ත වශයෙන්ම, ඒ වන විටත් යොහන් සිරගෙයි දමනු නොලැබ සිටියේය” [3:24] යනුවෙනි.
මෙලෙස බෞතීස්තගේ සිරගත වීමට පෙර ක්‍රිස්තුස් වහන්සේ සිදු කළ කාරණා යොහන් වාර්තා කරන අතර අනෙක් තිදෙනා ඔහුගේ සිරගත වීමට පසුව සිදුවීම් ගැන කියති. මෙය තේරුම්ගත් පසු, ශුභාරංචි තවදුරටත් එකිනෙකට එකඟ නොවන ඒවා නොවන බව පෙනේ. මන්ද යොහන් ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාලයේ ක්‍රියා සහ අනෙක් අය උන් වහන්සේගේ පසුකාලීන ක්‍රියාවන් ආවරණය කරන නිසාය. මනුෂ්‍යයෙකු ලෙස අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ පෙළපත මතෙව් සහ ලූක් විසින් ඒ වන විටත් ලියා තිබූ නිසා උන් වහන්සේගේ දේවත්වය ප්‍රකාශ කිරීමත් සමග ඔහු ආරම්භ කරයි. මන්ද ඔවුන්ට වඩා උසස් කෙනෙකු වූ බැවින් දිව්‍යමය ආත්මයාණන් වහන්සේ විසින් මෙය ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණේය.
යොහන්ගේ ශුභාරංචියේ සංයුතිය සම්බන්ධයෙන් මෙය ප්‍රමාණවත් වන අතර මාර්ක්ගේ ශුභාරංචිය පිළිබඳ දැනටමත් පැහැදිලි කර ඇත. ලූක් ඔහුගේ පෙරවදනෙහි ඔහුගේ කෘතියේ මූලාරම්භය පැහැදිලි කරයි:
ඔහු තමාට සම්පූර්ණයෙන් දැනුම් දී ඇති දේවල් පිළිබඳ වාර්තාවක් ලිවීමට තරමක් කඩිමුඩියේ උත්සාහ කර ඇති අතර, පාවුල් සමග වූ ඔහුගේ ඇසුර සහ අනෙකුත් ප්‍රේරිතයන් සමග කළ සංවාද මත පදනම්ව නිවැරදි වාර්තාවක් සපයමින් අනෙක් අයගේ සැක සහිත උත්සාහයවලින් අප නිදහස් කිරීමට ඔහුගේ යුතුකම බව ඔහුටහැඟුණේය.
ශුභාරංචියට අමතරව යොහන්ගේ ලේඛනවලින්, ඔහුගේ ලිපිවලින් පළමුවැන්න අතීතයේදී මෙන්ම වර්තමානයේදීද අව්‍යාජ වූවක් ලෙස පිළිගෙන ඇත. එහෙත් අනෙක් හසුන් දෙක මතභේදාත්මකය. එළිදරව් පොත සම්බන්ධයෙන්, අදහස් එකාකාරව බෙදී ඇත. මෙම සියලු කාරණා සම්බන්ධයෙන් මුල් ලේඛකයින් පසුව උපුටා දක්වනු ඇත.
කැනොනිකරණය (සම්මත) වූ සහ කැනොනිකරණය නොවූ ලේඛන
25. මෙම අවස්ථාවේදී දැනටමත් සඳහන් කර ඇති නව ගිවිසුමේ ලේඛන ලැයිස්තුගත කිරීම සුදුසු විය හැකිය. ශුභාරංචිවල ශුද්ධ චතුර්ථය (සතර) පළමුවැන්නයි. එයින්පසුව අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා. ඊළඟට පාවුල්තුමාගේ ලිපි, 1 යොහන් සහ 1 පේදුරු . යොහන්ගේ එළිදරව්ව එකතු කළ හැකිය. මේ සම්බන්ධ තර්කයන් මම නියම වේලාවට සාකච්ඡා කරන්නෙමි. මේවා පිළිගත් පොත්ය. මතභේදයට තුඩු දී ඇති ඒවා නම්, යාකොබ්, යූද්, 2 පේදුරු සහ ඉහත සඳහන් කළ 2 සහ 3 යොහන් නම් වූ ලිපි එවැන්ජලිස්තවරයාගේම හෝ එම නමම ඇති වෙනත් කෙනෙකුගේ කෘති වේ.
ව්‍යාජ පොත් අතර, පාවුල්ගේ ක්‍රියා, [හර්මාස්හි] එඬේරා, පේදුරුගේ එළිදරව්ව, බාර්ණබස්ගේ යැයි කියනු ලබන ලිපිය, අපෝස්තුළුවරුන්ගේ යයි පවසන ඉගැන්වීම් [ඩිඩාකේ] මෙන්ම යොහන්ගේ එළිදරව්ව ඒවා වේ. මෙහිදී සඳහන් කිරීම සුදුසු නම්: පෙර සඳහන් කළ පරිදි සමහරු එය ප්‍රතික්ෂේප කරති, තවත් සමහරු එය පිළිගනිති. ඊට අමතරව, සමහරුන් හෙබ්‍රෙව්වරුන්ගේ ශුභාරංචියද ලැයිස්තුවට ඇතුළත් කර ඇත. එයට හේතුව ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් හෙබ්‍රෙව්වරුන් එයට විශේෂ කැමැත්තක් දක්වන නිසාය. මේ සියල්ල මතභේදයට තුඩු දී ඇති පොත් සමග වර්ගීකරණය කරනු ලැබේ. ඒවා තවමත් කැනොනිකරණය නොවන ඒවා වන නමුත් බොහෝ සභා ලේඛකයින්ට හුරුපුරුදු ලේඛන වේ. ඒවා සත්‍ය, අව්‍යාජ සහ සභා සම්ප්‍රදාය තුළ පිළිගත් එම ලේඛනවලින් වෙන්කර හඳුනාගැනීම සඳහා මම වෙන් වෙන් වශයෙන් ලැයිස්තුගත කර ඇත්තෙමි.
පේදුරු , තෝමස්, මත්තියස් සහ වෙනත් අයගේ ශුභාරංචි, හෝ අන්දෘ, යොහන් සහ අනෙකුත් ප්‍රේරිතයන්ගේ ක්‍රියා වැනි අපෝස්තුළුවරුන්ගේ නම්වලින් මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලේඛන, සභා ලේඛකයින් අතරින් කිසිවෙකුත් උපුටා දක්වා නොමැත. ඒවායෙහි භාවිත කරන ලද වාක්‍ය ශෛලිය අපෝස්තලික ශෛලියට ප්‍රතිවිරුද්ධ වන අතර, ඒවායේ අන්තර්ගතයේ අදහස් සහ යොමුව සැබෑ ඕතොඩොක්ස්වාදයෙන් (සාධම්මිකවාදයෙන්) කෙතරම් වියුක්තද කිවහොත්, ඉන් ඒවා මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ව්‍යාජ ලේඛන බව පෙන්නුම් කෙරෙයි. ඒ අනුව, ඒවා ව්‍යාජ පොත් අතර පවා නොසැලකිය යුතු වන අතර අභක්තක හා විකාර ඒවා ලෙස සලකා ලෙස ඉවත දැමිය යුතුය.
ව්‍යාජ කලාකරු මෙනන්ඩර් (Menander the Charlatan)
26. අපි දැන් ඉතිහාසය දිගටම කතා කරගෙන යමු. මෙනන්ඩර් සයිමන්ට පසු අනුප්‍රාප්තිකයා වූ අතර, ඔහුගේ පූර්වගාමියා වන සයිමන් මැගස් මෙන්ම යක්ෂයාගේ දෙවන මෙවලම විය.
ඔහුද සමාරිය ජාතිකයෙකු වූ අතර, ඔහු තම ස්වාමියා හා සමාන ලෙසම මායා මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඉහළටම නැගී ගොස්, තව වඩා ආශ්චර්යවත් මවාපෑම් සිදු කර ප්‍රීති විය. අදෘශ්‍යමාන ලෝකවල සිට මිනිසුන්ගේ ගැලවීම සඳහා ඉහළින් එවන ලද ගැලවුම්කරුවා තමා වන බව ඔහු කියා සිටි අතර, ඔහුගේ මැජික් කුසලතා සහ බෞතිස්මය තුළින් මුදාගනු නොලැබුවහොත් කිසිවෙකුට – ලෝකය මැවූ දේවදූතයන්ට පවා – නොනැසී පැවතිය නොහැකි බව ඔහු ඉගැන්වීය. එවැනි අය මේ වර්තමාන ජීවිතයේදී සදාකාලික අමරණීයභාවය ලබා ගනු ඇත, ඔවුහු තවදුරටත් මරණීය අය නොවන අතර, සදාකාලිකව හා වයස්ගත නොවී සිටීමට නියම කර ඇත. ඉරනේයස් තුමාගේ (Irenaeus) ලේඛන මෙය වාර්තා කරන අතර, ජස්ටින් තුමාද සයිමන් පිළිබඳ ඔහුගේ වාර්තාවට පහත සඳහන් දේ එකතු කරයි:
කපරාතියා ගමේ විසූ සමාරිය ජාතිකයෙකු වූ එක්තරා මෙනන්දර් නමැති කෙනෙක් සයිමන්ගේ ගෝලයෙකු බවට පත් වූ අතර, සයිමන් හා සමාන ලෙසම යක්ෂයන් විසින් මගපෙන්වන ලදී. ඔහු අන්තියෝකියේදී පෙනී සිටි අතර ඉන්ද්‍රජාලික කලාවෙන් බොහෝ දෙනෙකු මුළා කළේය. ඔහු තම අනුගාමිකයන් මිය නොයන බවට පවා ඒත්තු ගැන්වීිය. එසේ මෙය විශ්වාස කරන ඔහුගේ බැතිමත්තු කිහිප දෙනෙක් තවමත් සිටිති.
ඉන්ද්‍රජාලික මැජික් මගින් ආගමේ මහා අබිරහස අපකීර්තියට පත් කිරීමට සහ ආත්මයේ අමරණීයභාවය සහ මළවුන්ගේ නැවත නැඟිටීම පිළිබඳ සභාවේ ඉගැන්වීම විනාශ කිරීමටත් එවැනි වංචාකරුවන් ක්‍රිස්තියානි නාමය බලහත්කාරයෙන් පැහැරගෙන ඇත්තේ සැබැවින්ම යක්ෂයාගේ පෙලඹවීමෙනි. එහෙත් මෙම මිනිසුන් “ගැලවුම්කාරයන්” ලෙස හැඳින්වූ අය සැබෑ බලාපොරොත්තුවෙන් ඉවත් වී ඇත.
එබියෝනිස්, සෙරින්තස් සහ නිකෝලොස්
(Ebionites, Cerinthus and Nicolaus)
27. ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් දුෂ්ට යක්ෂයාට සෙලවිය නොහැකි වූ වෙනත් අය, ඔහු තමාගේම වූ වෙනත් උගුලකින් ඔහු නතු කර ගත්තේය. මොවුන් මුල් ක්‍රිස්තියානි අය විසින් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ඔවුන්ගේ දුර්වල සහ නපුරු අදහස් සැලකිල්ලට ගනිමින් යෝග්‍ය පරිදි එබියෝනිස් (Ebionites) ලෙස නම් කරන ලදී. ඔවුන් ඔහු [ක්‍රිස්තුස් වහන්සේ] සැලකුවේ මිනිසෙකු සහ මරියා අතර සංසර්ගයෙන් උපත ලැබූ, චරිත වර්ධනය තුළින් ධර්මිෂ්ඨකම ලබා ගත් සරල, සාමාන්‍ය මිනිසෙකු ලෙසය. ඔවුන් ව්‍යවස්ථාවේ සැම විස්තරාත්මක කරුණක්ම පිළිපැදි අතර ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන හා ඊට අනුරූප ජීවිතයක් ගත කිරීමෙන් පමණක් ගැලවීම ලැබෙනු ඇතැයි ඔවුන් සිතුවේ නැත.
කෙසේ වෙතත්, එම නමම තිබුණද, තවත් අය ඉහත සඳහන් කළ මෝඩකමෙන් ගැලවී ගියහ. ස්වාමින් වහන්සේ කන්‍යාවක සහ ශුද්ධාත්මයාණන් වහන්ස් කරණකොටගෙන උපත ලැබූ බව ඔවුහු ප්‍රතික්ෂේප නොකළහ. එහෙත්, වාක්‍යාණෝ සහ ප්‍රඥාව වන දෙවියන් වහන්සේ ලෙස උන් වහන්සේගේ පූර්ව පැවැත්ම ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ වූ අසමත්කම බෙදා ගත්හ. මෙයද ඒ හා සමාන වූ අභක්තිකකම වේ. ඔවුහුද ව්‍යවස්ථාව වචනානුසාරයෙන් පිළිපැදීමට උද්‍යෝගිමත් අය වූ අතර අපෝස්තුළුවරයාගේ [පාවුල්ගේ] හසුන් ඔහු ව්‍යවස්ථාව අත්හැර ගිය අයෙකු බව හඳුන්වා දෙමින්, ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බව සිතූහ.
ඔවුන් භාවිත කළේ හෙබ්‍රෙව්වරුන්ගේ යයි පවසන ශුභාරංචිය පමණක් වූ අතර, අනෙක් ඒවාට එතරම් ගෞරවයක් දැක්වූයේ නැත. කලින් අය මෙන්ම, ඔවුහුද සබත් සහ සමස්ත යුදෙව් චාරිත්‍ර පිළිපැදි නමුත්, ස්වාමින් වහන්සේගේ දිනවලදී ඔවුන් ගැලවුම්කරුවාණන් වහන්සේගේ නැවත නැඟිටීමේ සිදුවීම අනුස්මරණය කිරීම සඳහා අපගේ වැනි චාරිත්‍ර පැවැත්වූහ. මෙම චාරිත්‍ර පිළිපැදීම හේතුවෙන්, ඔවුන් එබියෝනයිට්වරුන් ලෙස හඳුන්වා ඇත. එම නාමයෙන් බුද්ධියේ දුප්පත්කම පෙන්නුම් කෙරෙයි. මන්ද මෙම යෙදුමෙහි අරුත හෙබ්‍රෙව් භාෂාවෙන් “දුප්පත්” යන්න වන බැවිනි.
28. මේ කාලයේදී සෙරින්තස් තවත් මිථ්‍යාදෘෂ්ටියක් ආරම්භ කළ බව සම්ප්‍රදාය අපට පවසන්නේය. මා කලින් උපුටා දැක්වූ ගායස්, මෙම වචන ඔහුට ආරෝපණය කරන ලද සංවාදයේදී The Dialogue) ඔහු ගැන මෙසේ ලියයි:
එපමණක් නොව, මහා අපොස්තුළුවරයෙකු විසින් රචනා කරන ලද එළිදරව් කිරීම් තුළින් සෙරින්තස්, දේවදූතයන් විසින් ඔහුට පෙන්වන ලද බව කියන අරුමපුදුම කාරණා පිළිබඳ ව්‍යාජ කථාන්දර අපට ඉදිරිපත් කරයි. නැවත නැඟිටීමෙන් පසුව, ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය මිහිපිට පවතිනු ඇති බවත්, යෙරුසලමේ ජීවත් වන මනුෂ්‍ය වර්ගයා නැවතත් තෘෂ්ණාවන්ට සහ විනෝදයට වහල් වනු ඇති බවත් ඔහු පවසයි. ඔහු දෙවියන් වහන්සේගේ ශුද්ධලියවිල්ලේ සතුරා වන අතර, රැවටීමට ඇති ඔහුගේ නොසන්සුන් බවින්, විවාහ මංගල්‍යයන් වසර දහස් ගණනක් පවතිනු ඇති බව කියා සිටියි.
මගේම කාලයේදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ අගරදගුරුවරයාව සිටි ඩයොනිසියස්ද, ඔහුගේ පොරොන්දු (Promises) 2 වන පොතේ යොහන්ගේ එළිදරව්ව පිළිබඳ පුරාණ සම්ප්‍රදායෙන් අදහස් දක්වමින් පහත සඳහන් වචනවලින් සෙරින්තුස් ගැන සඳහන් කරයි:
සෙරින්තස් (Cerinthus) ඔහුගේ නිර්මාණයට අධිකාරීත්වයේ සටහනක් එක් කිරීමට ඔහුට අවශ්‍ය වූ බැවින්, ඔහු වෙනුවෙන් නම් කරන ලද සෙරින්තියන් මිථ්‍යාදෘෂ්ටියෙහි නිර්මාතෘවරයා ආරම්භකයාය. ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය මිහිපිට පවතිනු ඇති බව ඉගැන්වූ අතර, ඔහුගේම ශරීරයට ප්‍රේම කරමින් සහ අධික කාමුකත්වයට බර වූ ඔහු, තමාගේම තෘෂ්ණාවන් සඳහා පාරාදීසයක් පිළිබඳ සිහින මැව්වේය. එහිදී නිමක් නැති කෑදරකමෙන් කමින්, බීමෙන් සහ විවාහ වීමෙන් හෝ සුහද කතාවල නිරත වීමෙන් උත්සව, පූජා පැවැත්වීමෙන් සහ වින්දිතයින් ගිනි තැබීමෙන් තෘෂ්ණාවන් පූර්ණ කළේය.
මෙතෙක් ඩයොනිසියස් මේ පිළිබඳ දක්වයි. Agaist Heresies (මිථ්‍යාදෘෂ්ටියට එරෙහිව) 1 වන පොතේ ඉරනේයස් (Irenaeus) ඔහුගේ [සෙරින්තස්ගේ] වඩාත් පිළිකුල් සහගත වැරදි කිහිපයක් උපුටා දැක්වූ අතර, 3 වන පොතේ අමතක නොවන සිදුවීමක් වාර්තා කරයි. ඔහු ප්‍රකාශ කරන්නේ, පොලිකාප් තුමාට (Polycarp) අනුව, ප්‍රේරිත යොහන් තුමා ස්නානය කිරීම පිණිස දිනක් නාන කාමරයකට ගිය අතර, සෙරින්තස් නාන කාමරය ඇතුළත සිටිනු දුටු විට, ඔහු එම ස්ථානයෙන් ඉවතට පැන දොර වෙත දිව ගියේ සෙරින්තස් සමග එකම වහළක් යට සිටීම ඔහුට ඉවසා සිටීමට නොහැකි වූ බැවිනි. ” සත්‍යයේ සතුරා වන සෙරින්තස් ඇතුළේ සිටියි. මෙම ස්ථානය නොවැටෙන පරිදි අපි මෙතැනින් පිටත් වී යමු!” යනුවෙන් මොරගසමින් ඔහු තම සගයන්ගෙන්ද එයින් පිටත්ව යන ලෙස ඉල්ලා සිටියේය.
29. මේ කාලයේදී යොහන්ගේ එළිදරව්වේ [2:15] සඳහන් වන නිකොලයිතයින්ගේ මිථ්‍යාදෘෂ්ටිය කෙටි කාලයක් පැවතුණි. දුප්පතුන්ට සැලකීම සඳහා ප්‍රේරිතයන් විසින් (ක්‍රියා 6:51) ස්ටීවන් සමග පත් කරන ලද උපස්ථායකයෙකු වූ නිකොලස් එම මිථ්‍යාදෘෂ්ටියට හිමිකම් පෑවේය.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් Miscellanies 6 වන පොතේ, ඔහු ගැන මෙම විස්තරය ඉදිරිපත් කරයි:
මෙම මිනිසාට රූමත් තරුණ බිරිඳක් සිටි බව ඔවුහු පවසති, එහෙත් ප්‍රේරිතයන් ඔහුට ඊර්ෂ්‍යාව ඇති බවට චෝදනා කළ විට, ගැලවුම්කරුවාණන් වහන්සේගේ ඔසවා ගැනීමෙන් පසු, ඔහු ඇය ඉදිරියට ගෙනැවිත් කවුරුන් හෝ ඇයට කැමති නම් ඇය ලබා ගන්නා ලෙසයි. මෙම අභිනය, ඔවුන් පවසන පරිදි, “මාංශය අවඥාවෙන් සලකන්න” යන ආඥාවෙහි ප්‍රතිඵලයක් විය. විකෘතියකින් නොව සරල ආකාරයෙන් සිදු කළ හා කී දේ මේ මිථ්‍යාදෘෂ්ටියේ සාමාජිකයන් අතර අසීමිත සල්ලාලකමක් බවට පත් විය. එහෙත් නිකොලස් ඔහුගේ බිරිඳ හැර වෙනත් කිසිම කාන්තාවක් සමග සම්බන්ධයක් නොතිබූ බවත් ඔහුගේ දියණියන් මහලු විය දක්වා කන්‍යාවන් ලෙස සිටි බවත් ඔහුගේ පුතා බ්‍රහ්මචාරීව ගත කළ බවත් මම දැනගත්තෙමි. ඒ අනුව, ඔහු ඊර්ෂ්‍යාවෙන් ආදරය කළ භාර්යාව අපොස්තුළුවරුන් මැදට ගෙන ඒම රාගය අත්හැරීම වූ අතර, “මාංශය අවඥාවෙන් සලකන්න” යන නීතියට හේතු ඔහු සෙවූ සැප සම්පත් පාලනය කිරීම විය. ගැලවුම්කරුවාණන් වහන්සේගේ අණට කීකරු වෙමින්, සතුට සහ ස්වාමීන් වහන්සේ යන ස්වාමිවරුන් දෙදෙනාටම සේවය කිරීමට ඔහු කැමති නොවීය. මත්තියස් මෙයද ඉගැන්වූ බව ඔවුහු පවසති. එනම් මාංසයට එරෙහිව සටන් කරන්න; කිසි විටක සතුටට යටත් නොවන්න, එහෙත් ඇදහිල්ල හා දැනුම තුළින් ආත්මය පෝෂණය කරගන්න.
එසේ නම්, මේ කාලයේදී සත්‍යයට විරුද්ධ වීමට ගත් උත්සාහයන් නිසා, එය කීමට ගත වන කාලයට වඩා අඩු කාලයකින් ඒවා සම්පූර්ණයෙන්ම නිවී ගියේය.
විවාහ වූ ප්‍රේරිතයන්
30. විවාහය ප්‍රතික්ෂේප කළ අය ප්‍රතික්ෂේප කරමින්, ක්ලෙමන්ට් තුමා විවාහ වූ ප්‍රේරිතයන් ලැයිස්තුගත කරයි:
නැතහොත් ඔවුන් ප්‍රේරිතයන් පවා ප්‍රතික්ෂේප කරයිද? මක්නිසාද පේදුරුට සහ පිලිප්ට දරුවන් සිටි අතර, පිලිප් ඔහුගේ දියණියන් විවාහ කර දුන්නේය. පාවුල් ඔහුගේ එක් ලිපියකින් තම භාර්යාව ඇමතීමට පසුබට නොවීය. ඔහුගේ සේවයට සහාය වීම උදෙසා ඔහු ඇය ඔහු හා සමග රැගෙන ගියේ නැත.
මෙම තේමාව පිළිබඳ ක්ලෙමන්ට්ගේ Miscellanies 7 වන පොතෙන් තවත් රසවත් ආඛ්‍යානයක් උපුටා දැක්වීම සුදුසුය:
ආශීර්වාද ලත් පේදුරු තුමා තම බිරිඳ මරණයට ගෙන යනු දුටු විට, ඇයගේ කැඳවීම පැමිණ ඇති බවත්, ඇය තමාගේ නිවසට නැවත යන බවත් දැක ඔහු ප්‍රීති වූ බව ඔවුහු පවසති.
ඔහු ඇය දිරිගැන්වීමට සහ සැනසීමට ඇයේ නම කියමින්, “ස්වාමීන් වහන්සේ සිහිතබා ගන්න!” යයි හඬනගා කීවේය. ආශීර්වාද ලත් අයගේ විවාහය සහ ඔවුන්ගේ පරිපූර්ණ වූ ආදරය එවැනි විය.
යොහන් සහ පිලිප්ගේ මරණ
31. පේදුරු සහ පාවුල් මිය ගියේ කවදාද සහ කෙසේද යන්නත්, ඔවුන්ගේ සිරුරු තැන්පත් කළ ස්ථාන මොනවාද යන්නත් මම දැනටමත් සඳහන් කර ඇත්තෙමි. යොහන්ගේ මරණය සිදු වූ කාලයද සඳහන් කර ඇති අතර, “ඔහුගේ දේහය තැන්පත් කර ඇත්තේ කොතැනද යන්න එපීසයේ අගරදගුරු පොලික්‍රේටස් (Polycrates), රෝමයේ අගරදගුරු වික්ටර් වෙත ලිපියක් මගින් පෙන්වා ඇත. එහිදී ඔහු යොහන්, ප්‍රේරිත පිලිප් සහ පිලිප්ගේ දියණියන් පිළිබඳ පහත සඳහන් පරිදි සඳහන් කරයි:
ආසියාවේ මහා ප්‍රභූවරු නිදාගෙන සිටින අතර, ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීමේදී අවසාන දවසේ උන් වහන්සේ ස්වර්ගයේ සිට තේජසින් පැමිණෙන අවස්ථාවේදී, උන් වහන්සේගේ සියලු සාන්තුවරයන් ආපසු කැඳවන විට හියෙරාපොලිසයෙහි නිදා සිටින අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගෙන් කෙනෙකු වන පිලිප් සහ ඔහුගේ වයෝවෘද්ධ, කන්‍යා දියණියන් දෙදෙනෙකුත්, ශුද්ධාත්මයාණන් තුළ ජීවත් වූ එපීසයේ විවේක ගන්නා ඔහුගේ තුන්වන දියණියත් සමගින් නැවත නැගිටිනු ඇත. ස්වාමින් වහන්සේගේ ළයට හේත්තු වී සිටි සහ පසුව හිස් වැස්ම පැලඳි පූජකයෙකු වූ, වේදසාක්ෂිකයෙකු වූ, එමෙන්ම ගුරුවරයෙකු වූ යොහන් නැවත නැගිටිනු ඇත. ඔහුද එපීසයෙහි නිදාගෙන සිටියි.
මීට කලින් සඳහන් කරන ලද Dialogue of Gaius (ගායස්ගේ සංවාදයේ) ඔහු වාද කරමින් සිටි ප්‍රොකොලස් (Proclus) පිලිප් සහ ඔහුගේ දියණියන්ගේ මරණ ගැන ඒ හා සමාන ලෙසම කතා කරයි:
ඔහුගෙන් පසුව දිවැසිවරියන් වූ පිලිප්ගේ දියණිවරු සතරදෙනා, ආසියාවේ හිරාපොලිසයෙහි සිටියහ. ඔවුන්ගේ සොහොන් කොත් මෙන්ම ඔවුන්ගේ පියාගේ සොහොනද මෙහි තිබේ.
ක්‍රියා පොතේ, ලූක් පිලිප්ගේ දියණියන් ගැන සඳහන් කරන්නේ එවකට යුදයේ කායිරියේ ඔවුන්ගේ පියා සමග ජීවත් වූ දිවැසිවර දීමනාව ලත් අය වශයෙනි.
පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමග නැවතී සිටියෙමුව. ප්‍රොපේත වාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.
මේවා අපෝස්තුළුවරුන් සහ ඔවුන්ගේ කාලය සම්බන්ධ දත්ත තොරතුරු වේ. මා ඔවුන් දන්නා බැවින් මෙන්ම, ඔවුන්ගේ පූජනීය ලියවිලි විවාදාත්මක වූවද බොහෝ සභාවල භාවිත වූ බැවින්, ඒවා සියල්ලම මනඃකල්පිත ඒවා බැවින් අපි දැන් ආඛ්‍යානය නැවත ආරම්භ කරමු.
යෙරුසලමේ අගරදගුරු සිමියොන්ගේ වේදසාක්ෂික මරණය (ප්‍රාණ පරිත්‍යාගය)
32. නීරෝ සහ ඩොමීෂියන් යන දෙදෙනාට පසුව, මා දැන් මෙහි විස්තර කරන කාලයේ [ට්‍රාජන්] අධිරාජ්‍යයා යටතේ, ජනප්‍රිය කැරලි කෝලහාලවල ප්‍රතිඵලයක් ලෙස සමහර නගරවල අපට එරෙහිව වරින් වර හිංසා පීඩා සිදු කරන ලද බව සම්ප්‍රදාය පවසයි. ඒ අතරතුර, කලින් සඳහන් කළ පරිදි, යෙරුසලමේ දෙවන බිෂොප්වරයා වූ ක්ලෙයෝපස්ගේ පුත් සිමියොන් සිය ජීවිතය ප්‍රාණ පරිත්‍යාගියෙකු ලෙස අවසන් කළේය. මෙය ඇතැම් මිථ්‍යාදෘෂ්ටිකයන් ගැන ලියමින්, ඔවුන් සිමියොන්ට චෝදනා කළ ආකාරය සහ කිතුනුවෙකු වීම නිසා බොහෝ දවසක් පුරාවට විවිධ වූ වධ හිංසාවලට ලක් කරන ලද වූ ආකාරය පිළිබඳ විස්තර කරන හෙගෙසිපස්ගේ විස්තරයකි. එහදී විනිසුරුවරයා සහ ඔහුගේ සගයින් වන තක්සේරුකරුවන් මවිතයට පත් කරමින්, ඔහු ස්වාමින් වහන්සේගේ අවසානය මෙන් වූ අවසානයකට ගොදුරු වූ ආකාරය දක්වයි. කෙසේ වෙතත්, ඉතිහාසඥයාටම සවන් දීම වඩා යෝග්‍ය වේ:
මෙම මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් සමහරෙක් දාවිත්ගෙන් සහ කිතුනුවෙකුගෙන් පැවත එන ක්ලෙයෝපස්ගේ පුත්‍ර වූ සිමියොන්ට 35 චෝදනා කළහ. එබැවින් ඔහු වයස අවුරුදු 120දී වේදසාක්ෂකයෙකු ලෙස පත් විය. එකල ට්‍රාජන් අධිරාජ්‍යයා වූ අතර ඇටිකස් එහි ආණ්ඩුකාරයා විය.
ඔහුගේ චෝදනා කරන්නන්ද යුදා රාජකීය නිවසේ සාමාජිකයන් වීම නිසා විවේක එවැනි අය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබ ඇති බව එම ලේඛකයාම පවසයි.
ඔහුගේ දීර්ඝකාලීන ජීවිත කාලය දෙස බලන විට සහ ක්ලෝපාස්ගේ බිරිඳ වන මරියා පිළිබඳ ශුභාරංචියෙහි දක්වා ඇති සඳහන දෙස බලන විට, සිමියොන් ස්වාමින් වහන්සේ දුටු බව සහ උන් වහන්සේසේ හඬ ඔහුට ඇසුණු බවට යමෙකුට තර්කානුකූලව නිගමනය කළ හැකිය. මන්ද ඔහු කලින් සඳහන් කළ පරිදි ක්ලෙයෝපස්ගේ පුත්‍රයා විය.
කලින් සඳහන් කළ පරිදි, ගැලවුම්කරුවාණන් වහන්සේගේ සහෝදරයෙකු වන ජූඩ් නමැත්තෙකුගෙන් පැවත එන්නන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කරමින් ඩොමීෂියන් අධිරාජ්‍යයාට පෙර මෙම පාලන සමය තුළම ජීවත් වූ බව එම ලේඛකයාම පවසයි. ඔහු මෙසේ ලියයි:
එම නිසා, ඔවුහු එහි පැමිණ සාක්ෂිකරුවන් සහ ස්වාමීන් වහන්සේගේ පවුලේ සාමාජිකයන් ලෙස සෑම සභාවකම මුලසුන දැරූහ. ට්‍රාජන්ගේ කාලය වන තුරු සෑම සභාවකම පූර්ණ සාමයක් පැවති බැවින් ඔවුහු දිවි ගලවා ගත්හ. ස්වාමින් වහන්සේගේ මාමාගේ පුතා වන කලින් කී සිමියොන්,37 ක්ලෝපස්ගේ පුත්‍රයාට, පළාත් ආණ්ඩුකාරවරයා වූ ඇටිකස් ඉදිරියෙහිදී, මිථ්‍යාදෘෂ්ටික නිකායවාදීන් විසින් එම කාරණාම පවසමින් චෝදනා කරන ලදී. ඔහුගේ සාක්ෂිය දීමේදී ඔහුට දින ගණනාවක් වධ හිංසා පමුණුවනු ලද අතර, වයස අවුරුදු 120දී ඔහු ඒ සියල්ල විඳ දරාගත් ආකාරය ගැන සියලුදෙනාම, ආණ්ඩුකාරයා පවා මවිතයට පත් වූහ. ඔහු කුරුසියේ ඇණ ගැසීමට නියම කරන ලදී.
හෙගෙසිපස් තවදුරටත් පවසන්නේ එතෙක් සභාව කන්‍යාවක ලෙස, නිර්මල හා දූෂිත නොවූ තත්වයක සිටි බව සහ ඇය කෙළෙසීමට උත්සාහ කළ හැකි අය අපැහැදිලි අන්ධකාරයේ සැඟවී සිටි බවයි. එහෙත් අපෝස්තුළුවරුන්ගේ ශුද්ධ වූ විශ්වාස කණ්ඩායම සහ දිව්‍යමය ප්‍රඥාව ඔවුන්ගේම කන්වලින් ඇසූ අයගේ පරම්පරාවමිය ගිය පසුව, බොරු ගුරුවරුන්ගේ වංචාව තුළින් අභක්තික වැරදි කාරණා ආරම්භ විය. එසේ දැන් අපෝස්තුළුවරුන් මිය ගොස් ඇති බැවින්, එම බොරු ගුරුවරු සත්‍යයට ප්‍රතිවිරුද්ධ ලෙස දැනුම (gnosis) වැරදි ලෙස ප්‍රකාශ කිරීමට උත්සහා දැරූහ.
ට්‍රාජන් කිතුනුවන් දඩයම් කිරීම නතර කරයි
33. බොහෝ තැන්වලදී අපට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය කෙතරම් විශාල වීද යත්, වඩාත්ම කීර්තිමත් ආණ්ඩුකාරවරුන්ගෙන් කෙනෙකු වූ තරුණ ප්ලිනී (Pliny the Younger) ඔහු විසින් අධිරාජ්‍යයා වෙත වාර්තා කරන ලද වේදසාක්ෂිකයන්ගේ සංඛ්‍යාව දැක ඒ ගැන මහත් සැලකිල්ලක් දැක්වීය. කළේ ඔවුන් නපුරු හෝ අයහපත් නීතියට විරුද්ධ වූ කිසිවක් සිදු නොකළ බව එම ලිපියේම ඔහු සඳහන් කළේය: ඔවුහු හුදෙක් දෙවියෙකුට කරන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේට ගායනා කිරීමට අලුයම නැඟිට්ටෝය. එසේම ඔවුහු අනාචාරය, මිනීමැරුම් සහ ඒ හා සමාන අපරාධ තහනම් කළ අතර, සැම ආකාරයකින්ම නීතියට අනුකූල වූහ. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රාජන් විසින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එමගින් කිතුනුවන් දඩයම් කිරීම නොකළ යුතු බවත්, කිතුනුවෙකු හමු වුවහොත් දඬුවම් දීම කළ යුතු බවත් දැන්වීය. මෙයින් අදහස් කරන්නේ පීඩාවෙහි තර්ජනය යම් ප්‍රමාණයකට මැඩපවත්වා ඇති බව වන අතර, අපට තුවාල කිරීමට කැමති අයට අවස්ථා තවමත් තිබුණු බවය. විටෙක සාමාන්‍ය ජනතාව, තවත් විටෙක බලධාරීහු අපට විරුද්ධව කුමන්ත්‍රණ කළෝය.
එසේ විවෘත ලෙස පීඩා කිරීමකින් තොරව පවා, විසිරී ඇති අය සිටි පළාත්වලට වරින් වර ප්‍රහාර එල්ල විය. එසේ බොහෝ ඇදහිලිවන්තයෝ විවිධ ආකාරවලින් ප්‍රාණ පරිත්‍යාගී වේදසාක්ෂික මරණය විඳගත්හ. මෙම තොරතුරු කලින් උපුටා දක්වන ලද ටර්ටූලියන්ගේ ලතින් Defense පොතෙන් උපුටා ගන්නා ලදී. එය පහත පරිදි පරිවර්තනය වේ:
[බිතිනියාවෙහි] ආණ්ඩුකාරයා වූ තරුණ ප්ලිනි, සමහර කිතුනුවන් හෙළා දැක ඔවුන්ගේ තරාතිරම අඩු කිරීමෙන් පසුව, ඔවුන්ගේ සංඛ්‍යාව ගැන තැතිගත් නිසා අප සෙවීමද තහනම් කරන ලදී. අනාගතයේදී කුමක් කළ යුතුදැයි නොදැන, පිළිමවලට වන්දනා කිරීමට ඇති අකමැත්ත හැර ඔවුන්ගේ හැසිරීම්වල දුෂ්ට වූ කිසිවක් තමාට හමු නොවූ බව ඔහු ට්‍රාජන් අධිරාජ්‍යයාට ලියා යැවීය. කිතුනුවන් අලුයම නැඟිට, ක්‍රිස්තුස් වහන්සේට දෙවියෙකුට මෙන් ගීතිකා ගායනා කළ බවත්, මිනීමැරුම්, අනාචාරය, වංචාව, මංකොල්ලකෑම වැනි දේ තහනම් කරමින් ඔවුන්ගේ ඉගැන්වීම් තහවුරු කළ බවත්, ඔහු තවදුරටත් අධිරාජයාට දන්වා සිටියේය. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රාජන් කිතුනුවන් දඩයම් කිරීම නොකළ යුතු බවත්, එහෙත් ඔවුන් හමු වුවහොත් දඬුවම් කළ යුතු බවටත් පිටපතක් යවා ඇත.
අගරධගුරුවරුන්ගේ අනුප්‍රාප්තිය
34. ට්‍රාජන්ගේ පාලන සමයේ තුන්වන අවුරුද්දේදී, වසර නවයක් පුරා දිව්‍යමය වචනය ඉගැන්වීම අධීක්ෂණය කරමින් සිටි ක්ලෙමන්ට් රෝමයේ අගරදගුරු පදවිය එවරස්ටස් වෙත පවරා මේ ජීවිතයෙන් සමුගත්තේය.
35. දැනටමත් විස්තර කර ඇති ආකාරයටම සිමියොන් (වේදසාක්ෂිකයෙකු ලෙස මරණයට පත් වී) පරිපූර්ණත්වය පත් වූ විට, ඒ කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කර චර්මඡේදනය වූ අතිමහත් සංඛ්‍යාවකි අයෙකු වූ ජස්ටස් නම් යුදෙව්වෙක්, යෙරුසලමෙහි බිෂොප්වරයාගේ සිංහාසනයට පත් විය.
අන්තියෝකියේ ඉග්නේෂස්
ක්‍රි.ව.110
36. එකල ආසියාවේ සමරනු ලැබූ අයෙකු වූයේ අපෝස්තුළුවරුන් සමග ඇසුරු කළ අයෙකු වූ පොලිකාප් තුමාය. එතුමා ස්වාමින් වහන්සේගේ ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දේවසේවකයන් විසින් ස්මර්ණයෙහි අගරදගුරු පදවියට පත් කරනු ලැබීය. එතුමාගේ කීර්තිමත් සමකාලීනයන් වූයේ හිරාපොලිසයෙහි අගරදගුරු වූ පාපියස්, සහ පේදුරුට පසුව දෙවැනියා ලෙස අන්තියෝකියේ අගරදගුරු පදවියට පත් වූ තවමත් ප්‍රසිද්ධ නමක් ඇති ඉග්නේෂස් තුමා යන අයයි. සම්ප්‍රදායට අනුව ඔහු [ඉග්නේෂස්] සිරියාවේ සිට රෝමයට යවන ලදුව, ක්‍රිස්තුස් වහන්සේ උදෙසා වන ඔහුගේ සාක්ෂිය නිසා වන සතුන්ගේ ආහාර බවට පත් වූ බව පැවසේ. දැඩි ආරක්ෂාව යටතේ ඔහු ආසියාව හරහා ගෙන එන ලද්දේය. ඔහු නැවතී සිටි සෑම නගරයකදීම කතා කිරීමෙන් සහ දිරිගැන්වීමෙන් ක්‍රිස්තියානි ප්‍රජාව ශක්තිමත් කරමින් පැමිණියේය. එකල මුලින්ම මතු වීමට පටන් ගත් මිථ්‍යාදෘෂ්ටීන්ට එරෙහිව සිටීමට ඔහු විශේෂයෙන් ඔවුන්ට අනතුරු ඇඟවීය. ආරක්ෂාව සඳහා ලියා තැබීමට අවශ්‍ය යැයි ඔහු සිතූ අපෝස්තලික සම්ප්‍රදාය තදින් අල්ලාගෙන සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අනුව, ඔහු පොලිකාප් තුමා සිටි ස්මර්ණාහි සිටියදී, ඔහු එපීසයේ සභාවට ඔවුන්ගේ දේවගැති ඔනේසිමස් වෙත යොමු කරමින් එක් ලිපියක් ලිවීය. තවත් ලිපියක් ඔහු අගරදගුරු දේමස්ට යොමු කරන අතර එය මීන්ඩර්හි පිළිබඳ සඳහන් කරන මීන්ඩර්හි මැගිනීසියාවෙහි වූ සභාවට යැවීය. එසේම තවත් ලිපියක් ඔහු ප්‍රකාශ කරන පරිදි, පසුව පොලිබියස්ගේ පාලනය යටතේ පැවති ට්‍රෝල්ස්හි සභාවට යැවීය. ඔහු රෝමයේ සභාවටද ලිපියක් යවමින්, වේදසාක්ෂික මරණයෙන් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ඔහුගේ අපේක්ෂාවෙන් සුන් නොකරන ලෙස ඉල්ලා සිටියේය. මෙම ලිපිවලින් කෙටි ඡේද උපුටා දැක්වීම යොමු වෙමු:
සිරියාවේ සිට රෝමය දක්වා, මම දිවා රෑ දෙකෙහි ගොඩබිම සහ මුහුදේ වන සතුන් සමග සටන් කරමි. දම්වැල් දමා ඇති දිවියන් දස දෙනෙකු – සොල්දාදුවන් කණ්ඩායමක් සමග – ඔවුන්ගේ කරුණාව තව වඩාත් නරක දේ සිදු කරයි. ඔවුන්ගේ නින්දිත ක්‍රියා නිසා මගේ ගෝලත්වය වැඩි කරයි. එහෙත් මෙය මා සාධාරණීකරණය නොකරයි. මා වෙනුවෙන් සූදානම්ව සිටින එම වන මෘගයන්ගෙන් මට ප්‍රයෝජන ලැබේවා. ඔවුන් ඉක්මනින් එය ලබා දෙන ලෙස මම යාච්ඤා කරමි. ඔවුන් ස්පර්ශ කිරීමට බිය වූ සමහරුන් මෙන් නොව ඉක්මනින් මා ගිල දැමීමට මම ඔවුන් පොලඹවන්නෙමි. ඔවුන් අකමැති නම්, මම ඔවුන්ට එය කිරීමට බල කරන්නෙමි. මට සමාවෙන්න, එහෙත් මට හොඳම දේ කුමක්දැයි මම දනිමි:
දැන් මම ගෝලයෙකු වීමට පටන් ගනිමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලබා ගැනීම තුළ මට පෙනෙන හෝ නොපෙනෙන හෝ කිසිම දෙයකට ඊර්ෂ්‍යා කරන්නද? යේසුස් වහන්සේ මට ලබා ගැනීම උදෙසා පමණක් ගින්දර සහ කුරුසිය, තිරිසනුන් සමග අරගල කිරීම, ඇටකටු ඉරා දැමීම, අත් පා කපා කොටා දැමීම, මගේ මුළු ශරීරයම තලා පෙළා විනාශ කිරීම, සහ යක්ෂයාගේ වධ හිංසනයන් මා වෙතට පැමිණේවා.
මෙය ඔහු සමර්ණාවෙහි සිට ලිවීය. පසුව ඔහුගේ ගමනේදී ඔහු පිලඩෙල්පියා සභාවෙහි කිතුනුවන් හට ත්‍රෝවසයේ සිට ලිවීය. එසේම ස්මර්ණාවෙහි සභාවට, විශේෂයෙන්ම සභාවෙහි ප්‍රධානියා වූ පොලිකාප් හට ලිවීය. පොලිකාප් අපෝස්තලික මිනිසෙකු බව දැනගෙන, ඔහු සැබෑ එඬේරෙකු මෙන් අන්තියෝකියෙහි සිටින රැළ ඔහු හට භාර දෙමින් එය ඉතාම දැඩි සැලකිල්ලෙන් රැකබලාගන්නා ලෙස ඉල්ලුවේය. සමර්ණය වෙත යැවන ලද ඔහුගේ ලිපියේ ඔහු ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් නොදන්නා මූලාශ්‍රයක් උපුටා දක්වයි:
නැවත නැඟිටීමෙන් පසුව පවා උන් වහන්සේ මාංසයේ සිටි බව මම දනිමි, එසේම එය විශ්වාස කරමි. උන් වහන්සේ පේදුරු සහ ඔහුගේ සගයන් වෙතට පැමිණි විට, උන් වහන්සේ “ධෛර්යවත් වන්න. මා ස්පර්ශ කර, මා ශරීරයක් නැති ආත්මයක් නොවන බව දැන ගන්න” යයි ඔවුන්ට පැවසූ සේක. ඔවුහු එකවරම උන් වහන්සේ ස්පර්ශ කර විශ්වාස කළහ.
ඉරනේයස් තුමා එතුමාගේ වේදසාක්ෂික මරණය දැන සිටි අතර, එතුමාගේ ලිපිවලින් උපුටා දක්වයි:
දෙවියන් වහන්සේ වෙනුවෙන් වේදසාක්ෂික මරණයට පත් කිරීමට තිරිසනුන් යෙදවූ කල, අපගෙන් එක් අයෙකු පැවසුවේ මෙසේය: “මම මෘගයන්ගේ දත්වලින් අඹරනු ලැබීම උදෙසා වූ දෙවියන් වහන්සේගේ තිරිඟු වෙමි. එවිට මට පිරිසිදු රොටි බව දැනගත හැකි වනු ඇත.
පොලිකාප් තුමාද පිලිප්පිවරුන්ට ලියූ තම ලිපියේ මේ දේවල් සඳහන් කරයි:
ආශීර්වාද ලත් ඉග්නේෂස්, රූපස් සහ සෝසිමස් තුළ පමණක් නොව, ඔබ අතර සිටින වෙනත් අය තුළද, පාවුල් තුමා තුළ සහ අනෙකුත් අපෝස්තුළුවරුන් තුළද ඔබ දුටු කීකරුකම සහ ඉවසා දරා ගැනීම පුරුදු කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. ඔවුහු නිෂ්ඵල ලෙස නොව ඇදහිල්ලෙන් හා ධර්මිෂ්ඨකමෙන් දුවගෙන ගියෝය. ඔවුහු ස්වාමින් වහන්සේගේ පැත්තේ තමන්ට සුදුසු ස්ථානයේ සිටින අය වන අතර, ඔවුහු ස්වාමින් වහන්සේගේ දුක් විඳීම බෙදාගත්හ. මක්නිසාද, ඔවුහු මේ වර්තමාන ලෝකයට ප්‍රේම නොකළ අතර, අප වෙනුවෙන් මැරුණු සහ දෙවියන් වහන්සේ විසින් අප වෙනුවෙන් උත්ථාන කරනු ලැබූ තැනැන් වහන්සේ උදෙසා ජීවත් වූහ. ඔබ සහ ඉග්නේෂස් යන දෙදෙනාම යමෙකු සිරියාවට යන්නේ නම් ඔහු ඔබගේ ලිපිද රැගෙන යා යුතු බව මට ලියා ඇත. මම පෞද්ගලිකව හෝ අප වෙනුවෙන් නියෝජිතයෙකු යැවීමෙන් ඒ කාරණය ඉටු කරන්නෙමි. මෙම ලිපිය සමගින්, ඉල්ලා සිටි පරිදි සහ මා ළඟ ඇති අනෙකුත් ලිපි සහ ඉග්නේෂස් තුමා අපට එවූ හසුන් මම අමුණා එවමි. ඔබ ඒවායින් බොහෝ සෙයින් ප්‍රයෝජන ලබනු ඇත. මන්ද ඒවා ඇදහිල්ල, ඉවසීම සහ සන්නද්ධ කිරීම ලබා දෙන බැවිනි.
ඉග්නේෂස් තුමා සම්බන්ධ වූ ලේඛන එසේ විය. එතුමාගෙන් පසුව අන්තියෝකියේ අගරදගුරු ලෙස හීරෝ පත් විය.
එවැන්ජලිස්ත ධර්මදූතවරුන්
37. සම්ප්‍රදායට අනුව, පිලිප්ගේ දියණියන්ට මෙන් දිවැසිවර දීමනාව තිබූ අයෙකු වූ ක්වාඩ්‍රාටස්ද මෙම ගෞරවනීය අය අතර විය. ඔහු හැරුණු විට තවත් බොහෝ දෙනෙක් අපෝස්තලික අනුප්‍රාප්තියේ පළමු ශ්‍රේණියේ කීර්තිමත් සාමාජිකයෝ වූහ; ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ උත්සහාවන්ත ගෝලයෝ වූහ. ඔවුහු අපෝස්තුළුවරුන් විසින් දමන ලද පදනම මත සැම ස්ථානයකම සභාවන් ගොඩනැගූහ. එහිදී මුළු [දන්නා] ලෝකය පුරා ගැලවීමේ බීජය වැපිරුවෝය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, දිව්‍යමය වචනයෙන් පහර දෙනු ලදුව, පළමුවෙන්ම තමාගේ දේපළ අවශ්‍යතා ඇති අයට බෙදා දීමෙන් ගැලවුම්කරුවාණන් වහන්සේ අණ ඉටු කළහ. පසුව ඔවුහු තම නිවෙස් හැර ගොස් එවැන්ජලිස්තවරුන්ගේ වැඩකටයුතුවල නියැලුණහ. ඔවුහු ඇදහිල්ලෙහි පණිවුඩය එය කෙදිනකවත් අසා නැති අයට දේශනා කිරීමට සහ ඔවුන්ට ආනුභාවය ලත් ශුභාරංචි ලිඛිතව ලබා දීමට කටයුතු කළහ. ඔවුහු කිසියම් විදේශීය ස්ථානයක ඇදහිල්ලේ අත්තිවාරම් දැමූ වහාම, ඔවුහු වෙනත් අය එඬේරුන් (සභා පාලකවරුන්) ලෙස පත් කරමින් නවකයින් ලෙස ගෙන එන ලද අය රැක බලාගැනීමට යෙදෙව්වෝය; පසුව වෙනත් රටවලට සහ ජනතාව වෙතට නැවත පිටත් වූහ. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය සහ සහයෝගී බව ඔවුන්ට සහාය විය. මන්ද ඒ කාලය වන විට පවා දිව්‍යමය ආත්මයාණන් වහන්සේගේ බොහෝ ප්‍රාතිහාර්ය ක්‍රියාවන් ඔවුන් තුළින් ක්‍රියා කළ බැවිනි.
එසේ පළමුවන ඇසීමෙන්ම මුළු ජනතාවම ඉතාම උනන්දුවෙන් විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේට නමස්කාර කිරීම වැලඳ ගත්හ.
අපෝස්තුළුවරුන්ගෙන් පසුව ලොව පුරා සභාවල දේවගැතිවරුන් හෝ එවැන්ජලිස්තවරුන් ලෙස ප්‍රථමයෙන් පත් වූ සියල්ලන්ගේ නාමයන් සහ ඔවුන්ගේ සංඛ්‍යාවන් ලබා දීම කළ හැකි දෙයක් නොවේය. එබැවින් මා නම් වශයෙන් සටහන් කර ඇත්තේ අපෝස්තලික ඉගැන්වීමේ සම්ප්‍රදාය අනුව තවමත් අපගේ කාලය දක්වා ඔවුන්ගේ ලේඛනවල නම් ඇති අය පමණි.
ක්ලෙමන්ට් තුමාගේ ලේඛන
38. එවැනි ලේඛනවල, ඇත්ත වශයෙන්ම, කලින් ලැයිස්තුගත කර ඇති ඉග්නේෂස් තුමාගේ ලිපි සහ සියලු දෙනා විසින් පිළිගන්නා ලද ක්ලෙමන්ට් තුමාගේ ලිපිය අන්තර්ගත වේ. එය එතුමා රෝමයේ සභා නාමයෙන් කොරින්තිවරුන් වෙත ලියා ඇත. මෙයින් ඔහු හෙබ්‍රෙව්වරුන්ට ලියූ හසුනෙන් බොහෝ සිතුවිලි පිළිබිඹු කරන අතර, ඇත්ත වශයෙන්ම එයින් වාචික උපුටා දැක්වීම් සිදු කරයි. එහිදී ඔහු එය මෑත සම්භවයක් ඇති එකක් නොවන බව පැහැදිලිව ඔප්පු කරයි. එසේ මේ හේතුව නිසාද එය ප්‍රේරිතයාගේ අනෙකුත් ලේඛන අතරට ඇතුළත් කිරීම ස්වාභාවික කාරණයක් බව පෙනේ. මක්නිසාද පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් ලියුවේය. සමහරුන් පවසන්නේ මෙම ලේඛනය පරිවර්තනය කළේ එවැන්ජලිස්ත ලූක් නැතිනම් තවත් සමහරුන් එය පරිවර්තනය කළේ ක්ලෙමන්ට් බවත්ය. දෙවැන්නෙහි සත්‍යය ක්ලෙමන්ට්ගේ ලේඛන සහ හෙබ්‍රෙව් යන දෙකෙහි ඇති සමාන වාක්‍ය ඛණ්ඩ රටාවන් සහ කෘති දෙකෙහි චින්තනයේ විශාල වෙනසක් නොමැතිකම මගින් පෙන්නුම් කෙරෙයි.
දෙවන ලිපියේද ක්ලෙමන්ට් තුමාට ආරෝපණය කර ඇත. එහෙත් එය පළමු ලිපිය මෙන් හොඳින් දැනසිටි එකක් නොවන අතර මුල් සභා පියවරුන් එය භාවිතා කළේද යන්න පවා මම නොදනිමි. මෑතකදී පේදුරු සහ ඒපියන්, අතර [චෝදනාවන්) සිදු වූ දෙබස් සහිත වෙනත් දිගු හා වාචික නිබන්ධන ක්ලෙමන්ට්ගේ යැයි ප්‍රකාශ කර ඇත. එහෙත් මුල් ලේඛකයින් විසින් ඒවා කිසිවක් පිළිබඳ සඳහනක් නොකරන ලද අතර, එය අපෝස්තලික සාධම්මික සම්ප්‍රදායේ ශුද්ධතාවයද ආරක්ෂා නොකරයි.
පේපියස්ගේ ලේඛන
39. ක්ලෙමන්ට්, ඉග්නේෂස් සහ පොලිකාප්ගේ පිළිගත් ලේඛන සඳහා බොහෝ කාරණා ඇත. පේපියස්ගේ ලේඛන පහක් තවමත් පවතියි. ඒවා The Sayings of the Lord Interpreted (අර්ථකථනය කර ඇති ස්වාමින් වහන්සේගේ කියමන්) නම් වෙයි. ඔහුගේ එකම කෘති මේවා බව ඉරනේයස් විසින්ද සඳහන් කර ඇත:
මේ කාරණාවලටද පුරාණ ලේඛකයෙකු වූ පේපියස්, යොහන්ට සවන් දී ඇත. එසේම ඔහු පොලිකාප් තුමාගේ සගයෙක්ද වෙයි. ඔහුගේ හතරවන පොතෙන් ලිඛිත සාක්ෂි සපයයි. මන්ද ඔහු පොත් පහක් රචනා කළේය.
ඉරනේයස් පවසන්නේ එසේය. එහෙත් පේපියස්ම, ඔහුගේ පෙරවදනෙහි, තමා ශුද්ධ වූ අපෝස්තුළුවරුන්ට ඇහුම්කන් දුන් අයෙකු බව සහ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ බව කිසිසේත් ප්‍රකාශ නොකරයි. එහෙත් ඔහු ඒ අය දැන සිටි අයගෙන් ඇදහිල්ලේ මූලික කරුණු ඉගෙනගත් බව පවසයි:
අර්ථකථනයන් සමග, මා කෙදිනක හෝ වැඩිමහල්ලන්ගෙන් ඉගෙනගත් සහ පරෙස්සමෙන් මතකයේ තබාගත් කරුණු ඇතුළත් කිරීමට මම පසුබට නොවෙමි. එයට හේතුව නම් එහි සත්‍යතාව මට විශ්වාස නිසාය. බොහෝ දෙනා මෙන් නොව, මා බොහෝ දේ පවසන අය ගැන නොව සත්‍යය උගන්වන අය ගැන මම ප්‍රසන්න වෙමි; වෙනත් අයගේ ආඥාවන් මතකයෙන් කියන අය ගැන නොව, ස්වාමින් වහන්සේ දුන් ආඥාවන් පුනරුච්චාරණය කරන අය කෙරෙහි මම ප්‍රසන්න වෙමි. වැඩිමහල්ලන්ගේ අනුගාමිකයෙකු වූ කිසිවෙකු හෝ පැමිණි සැම විටම, මම ඔහුගෙන් ඔවුන්ගේ වචන විමසුවෙමි: අන්දෘ හෝ පේදුරු පැවසුවේ කුමක්ද, පිලිප් හෝ තෝමස් හෝ යාකොබ් හෝ යොහන් හෝ මතෙව් හෝ ස්වාමින් වහන්සේගේ වෙනත් ගෝලයෙකු හෝ පැවසුවේ කුමක්ද යන්න අසමි. එසේම අරිස්ෂන් සහ වැඩිමහල්ලා වන යොහන්, ස්වාමින් වහන්සේගේ ගෝලයන් තවමත් පවසන්නේ කුමක්ද යන්න අසමි. මන්ද ජීවත් වන සජීවී හඬවල්වලින් මෙන් පොත්වලින් ලැබෙන තොරතුරුවලින් මට උපකාරයක් වේ යයි මා නොසිතන බැවිනි.
යොහන්ගේ නම දෙවරක් පේපියස්ගේ ඇතුළත් කරන බව සැලකිල්ලට ගත යුතුය. පේදුරු , යාකොබ්, මතෙව් සහ අනෙකුත් අපෝස්තුළුවරුන් සමග මුලින්ම ලැයිස්තුගත කර ඇති අතර, දෙවනුව අපෝස්තළුවරුන් නොවන කණ්ඩායම සමග අරිෂන ප්‍රථමයෙන් දක්වමින් යොහන් වැඩිමහල්ලෙකු ලෙස පැහැදිලිව හඳුන්වමින් දක්වා ඇත. ආසියාවේ මිනිසුන් දෙදෙනෙකුට එකම නම තිබූ බවත්, එපීසයේ සොහොන් දෙකක් ඇති බවත්, ඒ දෙකම අද දක්වාම යොහන්ගේ ලෙස හඳුන්වන බවටත් වන කතාවේ සත්‍යතාව මෙයින් සනාථ වේ. මෙය වැදගත් කාරණයකි. මන්ද, යමෙකු පළමුවැන්නාට කැමති නම් මිස, නැතිනම් යොහන් යන නම දරන එළිදරව්ව දෙවැන්නා දුටුවා විය හැකිය. එමනිසා තමන් අපෝස්තුළුවරුන්ගේ වදන් ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් ඉගෙනගත් බව පේපියස් පිළිගනියි. එහෙත් ඔහු අරිෂන් සහ වැඩිමහල්ලා වන යොහන්ගෙන් පෞද්ගලිකව කරුණු අසා ඇති බව පවසයි. ඔහු බොහෝ විට ඔවුන්ගේ නම්වලින් ඔවුන් උපුටා දක්වන අතර ඔහුගේ ලේඛනවල ඔවුන්ගේ සම්ප්‍රදායන් ඇතුළත් කරයි.
පේපියස් පෙනෙන පරිදි සම්ප්‍රදායෙන් ඔහු වෙත ළඟා වූ ඇතැම් ආශ්චර්යමවත් සිදුවීම් සහ වෙනත් කරුණුද වාර්තා කරයි. පිලිප් අපොස්තුළුවරයා තම දියණියන් සමග හිරාපොලිසයෙහි ජීවත් වූ බව දැනටමත් සඳහන් කර ඇත. එහෙත් ඔවුන් දැන සිටි පේපියස්, පිලිප්ගේ දියණියන්ගෙන් අපූරු කතාවක් දැනගත්තේ කෙසේද යන්න දැන් කිව යුතුය. ඔහු තම ජීවිත කාලය තුළදී සිදු වූ මෘත ශරීරයක් නැවත නැඟිටීම ගැන පවසයි. එසේම බර්සබස් නම් වාසගම ඇති ජස්ටස් සම්බන්ධ තවත් ආශ්චර්යයක් ගැන, එනම් ඔහු වස පානය කළ නමුත් දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් ඔහුට කිසි හානියක් සිදු නොවූ බවත් දක්වයි. ගැලවුම්කරුවාණන් වහන්සේගේ ඔසවා ගැනීමෙන් පසුව, යූදස් වෙනුවට පත් කිරීම සඳහා දාදු දැමීමෙන් කෙනෙකු පත් කර ගැනීම සඳහා මත්තියස් සමග ශුද්ධ වූ අපෝස්තුළුවරුන් විසින් නම් කරන ලද ජස්ටස් මොහුය.
ක්‍රියා [1:23] පොතට අනුව, “එවිට ඔව්හු යුස්තස් කියන ලද බර්සබ්බස් නම් යෝසෙප්ද මත්තියස්ද යන දෙදෙනෙක් ඉදිරිපිට සිටෙවුවෝය.”
පේපියස් තමා වෙත වෙනත් අයම පැවසූ වචනවලින් වන වෙනත් කථා අපට සපයයි. ඒ හා සමගින් සමහර අමුතු උපමා සහ ගැලවුම්කරුවාණන් වහන්සේගේ නොදන්නා ඉගැන්වීම් මෙන්ම තවත් ජනප්‍රවාද වාර්තාද ඇත. ඒවා අතර, මළවුන්ගෙන් නැවත නැඟිටීමෙන් පසුව ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය මේ පොළොවේ භෞතික ලෙස ස්ථාපිත වන විට අවුරුදු දහස් ගණනක් පවතින බව ඔහු පවසයි. ඔහු මෙම සංකල්ප ලබා ගත්තේ අපෝස්තලික වාර්තාවන් පිළිබඳ වැරදි ලෙස වටහා ගැනීමෙන් බවත්, ඔවුන් භාවිත කර ඇති අබිරහස්මය සහ සංකේතාත්මක භාෂාව නොදැන සිටීම නිසා යැයි මම සිතමි. මන්ද ඔහුගේ පොත්වලින් පැහැදිලි වන පරිදි, ඔහු ඉතා සීමිත බුද්ධියක් ඇති අයෙකු විය. කෙසේ වෙතත්, ඔහු නිසා, ඔහුගෙන් පසුව බොහෝ සභා ලේඛකයෝ ඔහුගේ මුල් කාලය මත විශ්වාසය තබා එම මතයම දැරූහ: ඉරනේයස් සහ එම මතයන්ම භාවිත කළ තවත් අය එයට නිදසුන්ය.
පේපියස් ඉහත සඳහන් කරන ලද අරිෂන් හෝ වැඩිමහල්ලා වන යොහන් විසින් දෙන ලද ස්වාමීන් වහන්සේගේ කියමන් පිළිබඳ වෙනත් අර්ථකථන උපුටා දක්වයි. ශුභාරංචි ලේඛකයා වන මාර්ක් සම්බන්ධයෙන් ඔහු මෙසේ ප්‍රකාශ කරයි:
වැඩිමහල්ලා මෙසේද කීමට පුරුදු වී සිටියේය: “මාර්ක් පේදුරුගේ පරිවර්තකයා බවට පත් වූ අතර, ස්වාමින් වහන්සේ විසින් කළ කී දේ ගැන ඔහුට මතකයේ ඇති සියල්ල ඔහු නිරවද්‍ය ලෙස ලියා තැබුවේය. එහෙත් ඒවා පිළිවෙළට ලියුවේ නැත. මන්ද ඔහු ස්වාමන් වහන්සේ කතා කරනවා අසා තිබුණේ හෝ උන් වහන්සේගේ අනුගාමිකයන්ගෙන් කෙනෙකු වූයේ නැති බැවිනි.
එහෙත් පසුව මා සඳහන් කළ ආකාරයට, ඔහු පේතෘස්ගේ අනුගාමිකයෙක් විය. පේදුරු ස්වාමින් වහන්සේගේ කියමන් ක්‍රමානුකූල පිළිවෙළක් ඇතිව නොව අවස්ථාව ලැබුණු කල, අවස්ථාවට අනුව ඉගැන්වීමට පුරුදුව සිටියේය. ඒ අනුව මාර්ක් සමහර දේවල් මතකයේ තබා ගත් ආකාරයටම ලිවීමේදී වරදක්සිදු නොකළේය. මන්ද ඔහුට එක් අබිබවා යන අරමුණක් තිබුණු බැවිනි: එනම් ඔහු අසා ඇති කිසිවක් ඉවත් කර නොතිබීම සහ ඔහුගේ වාර්තාවේ කිසිම අසත්‍ය ප්‍රකාශයක් නොකිරීමය.
මාර්ක් ගැන පේපියස්ගේ සඳහන එවැන්නකි. මතෙව් ගැන ඔහු පැවසුවේ මෙයයි:
මතෙව් හෙබ්‍රෙව් භාෂාවෙන් [ක්‍රිස්තුස් වහන්සේගේ ලොගියා/logia] කියමන් සම්පාදනය කළේය. එසේම ඒවා එකිනෙක ඔහුට හැකි උපරිමයෙන් අර්ථකථනය කළේය.
පේපියාස් 1 යොහන් සහ 1 පේදුරුගේ සාක්ෂිද භාවිත කළ අතර, ඔහු හෙබ්‍රෙව් ශුභාරංචියේ අන්තර්ගත පව් බොහොමයක් සිදු කළා යැයි ස්වාමින් වහන්සේ ඉදිරියෙහි ස්ත්‍රියකට වැරදි ලෙස චෝදනා කිරීමම පිළිබඳ තවත් කතාවක් ඉදිරිපත් කරයි. මෙය ප්‍රමාණවත් වේ.
යුසේබියස්ගේ මූලාශ්‍ර
මූලාශ්‍රයෙන් මූලාශ්‍ර උපුටා දැක්වීමට යුසේබියස් පුරුදුව සිටි බව මේ වන විට ඉතාම පැහැදිලි අතර, ඔහුගේම ඉතිහාස ලේඛන ඉතා අල්පයක් සහිත දිගු උපුටා දැක්වීම් එකට එකතු කිරීම සම්බන්ධයෙන් සමහර විද්වතුන් ඔහුට දෝෂාරෝපණය කර ඇත. ඔහු නූතන ඉතිහාසඥයෙකු නම්, මෙම විවේචනය – විශේෂයෙන්ම 3 වන පොතේ – වර්තමාන පරිච්ඡේදයේදී යුක්ති සහගත වනු ඇත. එහෙත් ඔහු වෙනුවෙන් කරුණු කිහිපයක් පැවසිය හැකිය. ක්‍රම ක්‍රමයෙන් යුසේබියස් ඔහුගේ කාලයට ආසන්න සිදුවීම් වාර්තා කරන විට, ඔහු අඩුවෙන් මෙය සිදු කරන අතර, 303න් පසුව සිදු වූ මහා පීඩා කාලය සම්බන්ධ කාරණා වැනි සමකාලීන කරුණු සමග කටයුතු කරන විට, ඔහු ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස වාර්තා කරන අතයි. එහිදී පෙර මූලාශ්‍ර අවශ්‍ය වන්නේ අඩුවෙනි.
කෙසේ වෙතත්, සිදු වූ ආකාරයට, යුසේබියස් ඔහුගේ මූලාශ්‍ර පුළුල් වශයෙන් උපුටා දැක්වීම වාසනාවකි. මන්ද ඒවායින් බොහොමයක් නැති වී ගොස් තිබෙන අතර, යුසේබියස් ඒවා ඔහුගේ ඉතිහාසයට ඇතුළත් නොකළේ නම් කොටස් වශයෙන් පවා ඒවා නොනැසී පවතින්නට ඉඩ නොතිබෙන්නට පුළුවන. මෙය අප සතුව කිසිදු ආකාරයෙන් හානි සිදු නොවී පාහේ පවතින ජොසීපස් සම්බන්ධයෙන් හෝ ක්ලෙමන්ට්වරුන් දෙදෙනා, ඉග්නේෂස්, පොලිකාප්, ජස්ටින්, ඉරේනියස් හෝ ටර්ටූලියන්ගේ සමහර කෘතීන් සම්බන්ධයෙන් සත්‍යය වන්නක් නොවේය. එහෙත් පේපියස්, ක්වාඩ්‍රාටස්, මෙලිටෝ, හෙගෙසිපස්, රෝඩෝ, ඇපොලිනාරියස් සහ අනෙකුත් මුල් කතුවරුන්ගේ වැදගත් සාක්ෂි මෙන්ම වෙනත් ආකාරයකින් නැති වී යාමට තිබූ වැදගත් ආඥාපනත් සහ ලේඛන සම්බන්ධයෙන්ද එය සත්‍යය වේ.
යුදෙව්වන්ගේ “ක්‍රිස්තුස් වහන්සේට එරෙහි අපරාධය” හේතුවෙන් යෙරුසලම විනාශ කිරීම මගින් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කිරීම ගැන යුසේබියස්ගේ පුන පුනා සඳහන් කිරීම සම්බන්ධයෙන් සමකාලීන පාඨකයන්ට පසුබැසීමක් ඇති වන්නට හැකිය. අවාසනාවකට මෙන්, මෙම මතය සභාව සහ සිනගෝගය අතර අරගලයේ මුල්කාලීන කිතුනු මතභේදාත්මක විවාදවලට වඩා සාමාන්‍ය කාරණයක් වූ අතර, යුසේබියස් ඔහුගේ කාලයේ සිටි වෙනත් සමහර ලේඛකයින්ට මේ සම්බන්ධයෙන් වඩා සංයමයෙන් කටයුතු කරයි. බොහෝ මුල් ක්‍රිස්තියානි ලේඛකයන් යුදෙව් විරෝධී අය වූයේ නම්, බොහෝ මුල් යුදෙව් ලේඛකයින් ක්‍රිස්තියානි විරෝධී අය වූ බව මෙන්ම, එසේම ඇතැම් ප්‍රදේශවල සිටි යුදෙව්වන් කිතුනුවන්ට එරෙහිව හිංසා පීඩා කිරීමට උදව් කළ බවද එක සේ සත්‍යයකි. මෙය, ඇත්ත වශයෙන්ම, දෙපැත්තෙන්ම අතිරික්තයන් සහ අන් මත ඉවසීමට ඇති අකමැත්ත සම්බන්ධ කාරණය යුක්තිසහගත කිරීමක් නොවේය.
අපෝස්තුළුවරුන්ගේ සහ මුල් සභා පියවරුන්ගේ ඉරණම පිළිබඳ තොරතුරු එළිදරව් කිරීමට යුසේබියස් දක්වන සැලකිල්ල, ඒ දෙයම සිදු කිරීමට නූතන අයගේ ආශාව සහ අවශ්‍යතාව මනාව පිළිබිඹු කරන අතර, ඔහු තමාගේ විනිශ්චයන්හිදී ඔහු විවේචනාත්මක නොවන්නේද නැත. නිදසුනක් වශයෙන්, මුල්කාලීන අපෝස්තලික සම්ප්‍රදාය පිළිබඳ පේපියස්ගේ වෙනස් අදහස් අගය කරන අතරම, ඔහු පේපියස්ගේ සහස්‍රය සම්බන්ධ අදහස් කෙරෙහි ඔහුගේ පිළිකුල සඟවන්නේ නැත. ඒ හා සමානවම, ඔහු කැනොනය තුළ මතභේදයට තුඩු දී ඇති පොත් පිළිබඳ ඔහුගේ සැකයන් පිට කරන අතරම, ඒවා කැනොනිකරණය වූ (සම්මත) පොත් ලෙස සලකන අයට සාධාරණ වීමට උත්සාහ කරයි.
යේසුස් වහන්සේගේ දේවසේවයේ කාලසීමාව සම්බන්ධයෙන් යොහන් සමදර්ශක ශුභාරංචිවලට වඩා වෙනස් වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ඔහුගේ උත්සාහය – එනම් යොහන් යේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ දේවසේවය යොහන් බෞතීස්ත සිරගත කිරීමට පෙර කාලය ආවරණය කරන අතර, සමදර්ශක ශුභාරංචිවල අවධානය යොමු කරන්නේ යේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ දේවසේවයේ යොහන් බෞතීස්තගේ සිරගත වීමට පසුකාලීන සිදුවීම් බව – මෙය අර්ධ වශයෙන් සත්‍යයක් වන අතර, සම්පූර්ණ පැහැදිලි කිරීමක් ලෙස පිළිගත හැකි එකක් නොවේය. මෙය සාමාන්‍යයෙන් බයිබලීය අර්ථකථනය සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් සහගත වන යුසේබියස්ගේ අමුතු අතපසුවීමකි.
යුසේබියස් ඔහුගේ ඉතිහාසයේ මුල් කාලයේ භාවිත කළ පද (උදා: “රෝමයේ අගරදගුරු” හෝ “අන්තියෝකියේ අගරදගුරු”, “යෙරුසලමේ රදගුරු,” “ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු පදවිය”) බොහෝ දුරට කාලානුරූපී වන අතර, සභා වර්ධනයේ පසුකාලීන ධූරාවලිය යුසේබියස්ගේ දවසට සමීප වන අවස්ථා පිළිබිඹු කරයි. නිදසුනක් වශයෙන්, රෝමයේ ක්ලෙමන්ට්, පසුකාලීන අර්ථයෙන් අගරදගුරු නොවූවත්, කොරින්තියේ ඇදහිලිවන්තයන්ට රෝම සභාවේ ගැටලු සන්නිවේදනය කිරීම භාරව සිටි වැඩිමහල්ලෙකු විය.
යුසේබියස්ගේ සභා ඉතිහාසය (Eusebius’s Church History) පොත පොත නව ගිවිසුමේ කැනොනය සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වේ. මෙම පිටුවල පැහැදිලි වන පරිදි, මුල්කාලීන කිතුනු සභාවක කිසිදු තීරණයක් හරහා කැනොනය ඇති නොවූ බව පැහැදිලි වේ. ඒ වෙනුවට, මුල් ක්‍රිස්තියානි ලෝකයේ විවිධ මධ්‍යස්ථානවල භාවිත වූ නව ගිවිසුමේ ලියවිලි මගින් අවසානයේ කැනොනිකභාවය තීරණය විය. කැනොනයේ වර්ධනය ගැන යුසේබියස්ට තවත් බොහෝ දේ පැවසීමට තිබේ.
මේ කාලයේ රෝම ඉතිහාසයේ, නීරෝ ස්පාඤ්ඤයේ රෝමානු ආණ්ඩුකාරයා වන ගල්බා (68-69) විසින් පෙරලා දමන ලදී. පසුව “සතර අධිරාජ්‍යයන්ගේ වසර” යන වාක්‍ය ඛණ්ඩයට අනුව, ඔතෝ (69), විටෙලියස් (69) සහ වෙස්පේසියන් (69-79) යන අයගේ ක්ෂණික අනුප්‍රාප්තියන් සිදු විය. වෙස්පේසියන්, යුද්ධ තුවාලකරුවෙකු ලෙස කැඳවන තෙක්, යුදෙව් යුද්ධයේ (Jewish War) රෝමානු අණ දෙන නිලධාරියා විය. ඔහු ෆ්ලේවියන් රාජවංශයේ නිර්මාතෘවරයා වූ අතර, ඔහු නැවතත් රෝම රජයට පිළිවෙළ, ගෞරවය සහ ආර්ථික ශක්තිය ගෙන ආවේය. හොඳ හාස්‍යජනක හැඟීමක් සහිත විකාරරූපී නොවූ අන්දමේ අයෙකු වූ වෙස්පේසියන් ඔහුගේ සිංහාසනාරූඪ වීමේදී වයස අවුරුදු හැටක තට්ටයෙකු විය. එසේම බොහෝ රෝම යුද්ධවලින් දැඩි බවට පත් වූ අයෙකු මෙන්ම හමුදාව විසින් ආදරය කරන ලද්දෙකු විය. ගණිතය පිළිබඳ විචක්ෂණශීලී අයෙකු වූ ඔහු පොත් අයවැය සමබර කිරීමට සහ එවන් සොයාගැනීම්වලින් නව ආදායම් මාර්ග ඇති කිරීමටත් සමත් විය (අද දක්වා රෝමයේ වෙස්පේසියානි ලෙස හැඳින්වේ). ඔහුගේ පොදු කටයුතුවලට රෝමයේ ශ්‍රේෂ්ඨ ෆ්ලේවියන් ඇම්පිතියටර්/ෆ්ලේවියන් නෘත්‍යාගාරය (කොලෝසියම) අයත් වේ. ඔහු හෝ ඔහුගේ පුත් ටයිටස් නීරෝගේ මර්දන ප්‍රතිපත්තිය නැවත ආරම්භ නොකළ බැවින් ඔහු එය කිතුනුවන්ට පීඩා කිරීමේ අභිප්‍රායෙන් ගොඩනැගුවේ නැත.
වෙස්පේසියන් විසින් යුදෙව් යුද්ධය භාර කළ ටයිටස් (79-81), ක්‍රි.ව. 70දී යෙරුසලම යටත් කර ගත්තේය. ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහු ඉතා ජනප්‍රිය අධිරාජ්‍යයෙකු බවට පත් විය. ටයිටස් අග්‍රිපාගේ II (ක්‍රියා 25) සොහොයුරිය වන බර්නිස් නම් යුදෙව් කුමරිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේය. එහෙත් පසුව දේශපාලන හේතූන් මත ඇය හැර ගියේය. ඔහුගේ පාලනයේ මුල් කාලය තුළ විසුවියස් කන්ද පුපුරා ගියේය. එයින් හර්කියුලානියුම් සහ පොම්පේ යට විය. එසේම ඔහුගේ කෙටිකාලීන පාලනය 81දී උණ වැලඳීම නිසා අවසන් විය.
ටයිටස්ගේ අනුප්‍රාප්තිකයා වූ ඔහුගේ සොහොයුරු ඩොමිෂියන් (81-96) දරුණු ඒකාධිපතියෙකි. ඔහු කිතුනුවන් මර්දනය කිරීම උදෙසා වන දෙවන රෝමානු පීඩාව දියත් කළ බව පෙනේ. මෙහිදී රෝමානු වංශාධිපතීන් වන, ඩොමීෂියන්ගේ ඥාතීන් වන ක්ලෙමන්ස් සහ ඩොමිෂිලාද ගොදුරු වූවන් අතර විය. යුසේබියස් ප්‍රේරිත යොහන් පත්මොස් වෙත පිටුවහල් කිරීම ගැන පවසන බැවින් එහිදී නැගෙනහිරද සම්බන්ධ වන්නට ඇත. ක්ලෙමන්ට්ගේ පළමුවන ලිපිය (c. 95) මගින් මෙම පීඩාව සම්බන්ද මනාව පිළිබිඹු වෙයි. මෙම පීඩාව 96දී ඩොමීෂියන් ඝාතනය කිරීමෙන් සහ ෆ්ලේවියන් රාජවංශයේ අවසානය සිදු වීමෙන් ඔබ්බට දිගටම සිදු නොවීය.
ඉන්පසුව 96 සිට 180 දක්වා ඊනියා යහපත් අධිරාජ්‍යයන් පස්දෙනා අනුප්‍රාප්තිකයින් බවට පත් විය. ඔවුන්ගෙන් හතරදෙනෙකු අනුප්‍රාප්තිකයන් ලෙස තෝරා ගත්තේ පුතුන් නිසා නොව (ඔවුන්ට පුතුන් කිසිවෙකු නොසිටි නිසා), එහෙත් ඔවුන්ට සොයාගත හැකි වඩාත්ම වටිනා යටත් නිලධාරීන් වූ බැවිනි. නර්වා (96-98) දක්ෂ මහලු නීතිවේදියෙකු වූ අතර, ඔහු සෙනෙට් සභාවට ගරු කළ සහ රෝමය උදෙසා යහපත් අයෙකු විය. ඔහු ඩේසියා සහ මෙසපොතේමියාවේ ජයග්‍රහණ නිසා රෝම අධිරාජ්‍යයේ සීමාවන් විශාල ප්‍රමාණයට පුළුල් කළ ට්‍රාජන් (98-117) තම පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා ලෙස හදා වඩා ගත්තේය. ට්‍රාජන්ගේ කිතුනුවන් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය, බිතිනියාවේ ආණ්ඩුකාර ප්ලිනි සමග ඔහුගේ කීර්තිමත් ලිපි හුවමාරුවේදී මතු විය (112 පමණ). එහිදී නිසි ලෙස අධිචෝදනා ලබා ඇති අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවලදී පවා කිතුනුවන් සොයා නොයන ලෙස අධිරාජ්‍යයා ඔහුට උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, අන්තියෝකියේ අගරදගුරු ඉග්නේෂස් ඔහුගේ පාලනය යටතේ රෝමයේදී අත්අඩංගුවට ගෙන මරා දමන ලදී (බොහෝ විට C. 110 දශකයදී සිදුවන්නට ඇති බවට විශ්වාස කරති).
