යුසේබියස් ලියනලද සභා ඉතිහාසය (Eusebius, Church History 10)

Eusebius, The Church History in Sinhala, book 10. Translated with permission from Paul L. Meier, Eusebius, The Church History: A New Translation with Commentary, 1999. Sinhala translation is Public Domain.


දසවන පොත: කොන්ස්ටන්ටයින් සහ සාමය

1.  විශ්වයේ සර්වබලධාරී රජතුමාණන් වහන්සේ වන දෙවියන් වහන්සේට සහ අපගේ ආත්මයන්ගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ මිදුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා. උන් වහන්සේ තුළින් බාහිර හා අභ්‍යන්තර කරදරවලින් අපට සාමය ලැබී, අප සම්පූර්ණයෙන්ම සහ බාධාවකින් තොරව ආරක්ෂා වන ලෙස අපි යාච්ඤා කරමු.

මගේ වඩාත්ම ශුද්ධවන්ත වූ පෝලිනස්, මගේ යාච්ඤාවන් සමගින් මම දැන් සභා ඉතිහාසය 10 වන පොත එකතු කර එය ඔබට කැප කරමි. එසේම මෙම මුළු කාර්යයේ මුද්‍රාව ලෙස ඔබ හඳුන්වමි. අප පොලඹවන දිව්‍යමය ආත්මයට කීකරු වෙමින්, සභා ප්‍රතිස්ථාපනය සැමරීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මා මෙහි ඉතාම හොඳින් ඉදිරිපත් කිරීම සුදුසුය:

ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනා කරව්;

මක්නිසාද උන් වහන්සේ ආශ්චර්යයන් කළ සේක.

ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන් වහන්සේට ගැලවීම ඉෂ්ට කරගත් සේක.

ස්වාමීන් වහන්සේ ස්වකීය ගැලවීම දැන්වූ සේක.

ස්වකීය ධර්මිෂ්ඨකම ජාතීන්ගේ ඇස් හමුයෙහි එළිදරව් කළ සේක (ගීතාවලිය 98.1-2) 

ඒ අනුව, මට දැන් නව ගීය ගායනා කිරීමට ඉඩ දෙන්න. මන්ද, එම බිහිසුණු හා කුරිරු දර්ශන සහ කථාවලින් පසුව, මට පෙර ජීවත් වූ බොහෝ දැහැමි මිනිසුන් සහ දෙවියන් වහන්සේගේ වේදසාක්ෂිකයින්ගෙන් බොහෝ දෙනෙකු දැකීමට කැමති වූ නමුත් ඔවුන් විසින් නොදකින ලද, ඇසීමට කැමති වූ එහෙත් ඔවුන් විසින් නොඅසන ලද දේ දැකීමට සහ එය සැමරීමට මට දැන් වරප්‍රසාදයක් ලැබී ඇති බැවිනි. එහෙත් ඔවුහු දිව්‍යමය ප්‍රීතියේ පාරාදීසයකට හසුව, ස්වර්ගයේ මීට වඩා හොඳ දේවල් වෙත ඉක්මනින් ගියහ. වර්තමාන තත්වයන් පවා මට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි බව මම පිළිගන්නා අතරම, උන් වහන්සේ විසින් ලබා දෙන ලද කරුණා අනුග්‍රහයේ මහත්කය ගැන මම මුළුමනින්ම විස්මයට පත් වී සිටිමි. එසේ ප්‍රකාශ කරන ලද අනාවැකිවල සත්‍යතාව තහවුරු කරමින්, උන් වහන්සේට මාගේ සම්පූර්ණ ගෞරවය සහ නමස්කාරය පුද කරමි:

එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්,

එනම් උන් වහන්සේ පොළොවෙහි සිදු කළ විනාශයන් බලව්.

උන් වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන සේක;

දුන්න බිඳ, හෙල්ලය කපා දමා, රථ ගින්නෙන් දවන සේක (ගීතාවලිය 46.89)

මේ සියල්ලම පැහැදිලිවම ඉටු වූ බවට ප්‍රීති වෙමින්, මගේ ආඛ්‍යානය ඉදිරියට ගෙන යාමට මට ඉඩ දෙන්න.

පෙර සඳහන් කළ පරිදි, දෙවියන් වහන්සේගේ සතුරන්ගේ මුළු ජාතියම විනාශ කර දමනු ලැබ ඇත. එසේ තවත් දිව්‍යමය කියමනක් ඉටු කරමින් මොහොතකින් ඔවුහු අතුරුදහන් වූහ.

දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාල වෙනවා දුටිමි.

එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි,

නුමුත් මට සම්බ නොවීය (ගීතාවලිය 37.35-36) 

මෙතැන් සිට, වලාකුළු රහිත දවසක්, ස්වර්ගීය ආලෝක කිරණවලින් බැබළෙමින්, ලොව පුරා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ සභාවන් මත බැබළුණේය. එසේම එක හා සමාන දිව්‍යමය ආශිර්වාදයන් නොවේ නම්, අවම වශයෙන් ඔවුන්ගේ බලපෑම්වලින්, අපගේ සමාජයෙන් පිටත සිටින අය සමග පවා එම ප්‍රීතිය බෙදා ගැනීමට අකැමැත්තක් නොතිබුණි.

සභාවන් ප්‍රතිතිසංස්කරණය කිරීම

2. එවිට සියලු මිනිසුන්, කුරිරු පාලකයාගේ මර්දනයෙන් නිදහස් වූ අතරම, ඔවුන්ගේ පෙර වූ දුක්ඛිත තත්වයෙන් මුදා ගන්නා ලදී. දේව භක්තිකයින්ගේ ශූරයා වන්නේ එකම සැබෑ වූ දෙවියන් වහන්සේ බව ඔවුහු විවිධාකාරයෙන් පිළිගත්හ. එහෙත් විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වී සිටි අපට කියාගත නොහැකි ආකාරයේ සතුටක් ඇති වූ අතර, මඳ වේලාවකට පෙර, කුරිරු පාලකයාගේ ද්වේෂසහගත බවින් විනාශ වී ගිය ස්ථාන, දිගු හා මාරාන්තික තුවාලයකින් සුව වන්නාක් මෙන් දැන් ප්‍රබෝධවත් වන ආකාරය දුටු විට සහ කඩා බිඳ දමා තිබූ ආසන දෙව්මැදුරු ඒවා කඩා දැවමීමට පෙර එහි වූ තේජසට වඩා බොහෝ සෙයින් වැඩි වූ තේජසක් සමගින් ඒවායේ අත්තිවාරමේ සිට උසට ගොඩනැගෙන කල අපගේ මුළු හදවත් තුළ දිව්‍යමය ප්‍රීතියක් ඇති විය.

තවද, අති උත්තරීතර අධිරාජ්‍යවරුන්ද, කිතුනුවන්ට පක්ෂව අණපනත් නිකුත් කිරීම මගින් අප කෙරෙහි වන දෙවියන් වහන්සේගේ ආශීර්වාද තවදුරටත් තහවුරු කළ අතර, රදගුරුවරුන්ට අධිරාජ්‍යයාගෙන් බොහෝ පෞද්ගලික ලිපි, ගෞරව සහ මුදල් තෑගි ලැබුණි. ලතින් භාෂාවෙන් ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන ලද මෙම ලේඛන අපෙන් පසුව එන සියල්ලන් වෙනුවෙන් සුරැකෙන පරිදි මම එම ලේඛන මෙහි නියමිත ස්ථානයෙහි ඇතුළත් කරමි.

සෑම තැනකම සභා දේවස්ථාන කැප කිරීම්

3. ඊළඟට පැමිණියේ අප සියලු දෙනාම යාච්ඤා කර අයැද සිටි සහ දැකීමට ආශා කළ දර්ශනයයි: ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණ එකඟතාවයකින් සම්බන්ධ වූ විට නගරවල කැප කිරීමේ උත්සව සහ නව නමස්කාර මධ්‍යස්ථාන කැපකිරීම්, රදගුරුවරුන්ගේ සම්මන්ත්‍රණ, දුර බැහැර රටවල සිට පැමිණි නියෝජිතයින්ගේ රැස්වීම් පැවැත්වුණු අතර, ගිහියන් අතර මිත්‍රත්වය සහ සාමාජිකයන් අතර සමගිය ඇති විය. කුමක් විය යුතුද යන්න පිළිබඳ අබිරහස්මය ලෙස පුරෝකථනය කළ අනාවැකියට අනුකූලව, දිව්‍යමය වාක්‍යවල පුරෝකථනය කර ඇති සියල්ලම, එනම් අස්ථි එකිනෙකට බැඳී, සන්ධි සමග ඒකාබද්ධ විය. ඇදහිල්ල සඳහා එක සමාන උද්‍යෝගයක් පෙන්නුම් කරමින් සියලු දෙනාගේ තොල් මත එකම ප්‍රශංසා ගීතයක්, එකම ආත්මයක සිටි සියලුම සාමාජිකයෝ දිව්‍යමය ආත්මයේ එකම බලයකින් සම්පූර්ණ වූහ. ඇත්ත වශයෙන්ම, අපගේ නායකයෝ දෝෂ රහිත උත්සව පැවැත්වූහ. පැවිදි පූජකවරු සභාවේ පූජනීය, ශුද්ධ වූ චාරිත්‍ර පවත්වමින්, ගීතිකා ගායනා කරමින්, යාච්ඤා කරමින්, දිව්‍යමය පුද පූජා පවත්වමින්, සියල්ල ගැලවුම්කරුවාණන් වහන්සේගේ දුක් විඳීමේ සංකේත යටතේ සිදු කළහ. සෑම වයස් කාණ්ඩයකම ස්ත්‍රී පුරුෂයෝ එක්ව ඔවුන්ගේ ප්‍රීතියේ කතුවරයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේට ඔවුන්ගේ මුළු හදවතින්, ආත්මයෙන් සහ මනසින් මහිමය දුන්හ.

(මෙහිදී යුසේබියස් සාමාන්‍ය ක්‍රිස්තියානි සැමරුම්වල සිට තීර්හි විශේෂිත උත්සවයක් ගැන කීමට හදිසි සංක්‍රමණයක් සිදු කරයි. පහත දැක්වෙන්නේ ඉතිහාසය නොව යමෙකුට ප්‍රශංසා කරමින් ප්‍රසිද්ධ කථාවක් හෝ ප්‍රකාශිත පෙළක් (Panegyric) වන අතර, එම සාහිත්‍ය ආකෘතිය මේ කාලයේ පුරාණ ලෝකයේ ජනප්‍රිය වූවද තවදුරටත් භාවිත නොකළ ආකෘතියක් විය. බොහෝ පාඨකයන්ට එය දිගු, ප්‍රශංසනීය හෝ නවීන රුචි අරුචිකම් සඳහා සම්පූර්ණයෙන්ම කම්මැලි විය හැකි ආකෘතියක් විය හැකිය. ඒ අය 5 වන වගන්තිය වෙත යොමු වන ලෙසට ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටිමි.) 

පැමිණ සිටි සෑම සභාවකම ප්‍රභූහු ඔහුට හැකි පමණින් සභාව ප්‍රබෝධවත් කරමින් ප්‍රශංසාත්මක දේශනයක් ඉදිරිපත් කළහ.

4.       සාමාන්‍ය වශයෙන් හැකියාව ඇති අයගෙන් එක් අයෙකු සූදානම් කරන ලද කතාවක් සමගින් ඉදිරිපත් වූ අතර, පැමිණ සිටි බොහෝ දේවගැතිවරු සභාවේ රැස්වීමකදී මෙන් නිහඬව, පිළිවෙළකට එයට සවන් දුන්හ. තීර්හි ෆීනීසියාවේ අතිවිශිෂ්ටතම ආසන දෙව්මැදුර ඉදිකරන ලද, දෙවියන් වහන්සේ විසින් ආදරය කරන ලද අති විශිෂ්ටතම මිනිසෙකු වූ තනි රදගුරු තුමා අමතා, ඔහු පහත සඳහන් වන දේශනය ඉදිරිපත් කළේය:

තීර්හි රදගුරු පෝලිනස් වෙත ආමන්ත්‍රණය කරන ලද දේවස්ථාන ගොඩනැගීම සම්බන් ප්‍රශංසා කිරීම.

පූජනීය වස්ත්‍රයෙන් සහ ස්වර්ගීය ඔටුන්නෙහි මහිමයෙන් සැරසී සිටින, ශුද්ධාත්මයාණන් වහන්සේගේගේ ආලේපය ලත් දෙවියන් වහන්සේගේ මිත්‍රවරුන් සහ පූජකවරුනි, ඔබ, දෙවියන් වහන්සේගේ ශුද්ධ මාලිගාවේ තාරුණ්‍යයේ අභිමානය සහ දෙවියන් වහන්සේගෙන් පරිණත ප්‍රඥාවෙන් ගෞරවයට පාත්‍ර වී ඇති අතරම තරුණයන්ගේ ගුණවත් ක්‍රියාවන් සඳහා ප්‍රසිද්ධියට පත් වී ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ ඒක ජාතක සහ කුළුඳුල් වචනයාණෝ වන ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්ද, ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ මනාලිය (සභාව) සඳහාද සියල්ල අවබෝධ කරගන්නා තැනැත්තා හට මිහිමත උන් වහන්සේගේ සභාව ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා සුවිශේෂී වරප්‍රසාදය ලබා දී ඇත. මා ඔබට නව බෙශලෙල් (නික්මයාම 35.30) එනම් දිව්‍යමය මණ්ඩපයේ ඉංජිනේරුවාගේ නම, නැත්නම් නව සහ වඩා යහපත් යෙරුසලමක රජ කෙනෙකු ලෙස සලමොන්, නැත්නම් දෙවියන් වහන්සේගේ මාලිගාවට පැරණි දේට වඩා වැඩි තේජසක් ගෙනා අලුත් සෙරුබ්බාබෙල් කෙනෙකු ලෙස අමතන්නද? එසේම ඔබත්, ක්‍රිස්තුස් වහන්සේගේ පූජනීය රැළේ කිරි දරුවන් වන අතර, යහපත් ක්‍රියා, ආත්ම දමනය සහ දේව භක්තිය සඳහා ප්‍රසිද්ධය:

දෙවියන් වහන්සේගේ ආශ්චර්යවත් ලකුණු සහ ස්වාමින් වහන්සේ විසින් බොහෝ කලකට පෙර සිදු කරන ලද ආශ්චර්යයන් ගැන පවසන ශුද්ධලියවිල්ලේ කොටස් කියවීමට අප සවන් දුන් විට, අපට උගන්වන ලද වචනවලින් දෙවියන් වහන්සේට ගීතිකා ගායනා කිරීමට අපට පුළුවන:

දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය. (ගීතාවලිය 44.1)

එහෙත් දැන් අප දෙවියන් වහන්සේගේ දකුණු අත ගැන ඉගෙන ගන්නේ ඇසීමෙන් නොව, බොහෝ කලකට පෙර පැවති සම්ප්‍රදායන් විශ්වාසදායක හා සත්‍ය බව අපගේම දෑසින් දකින පරිදි උන් වහන්සේගේ ක්‍රියාවලිනි. එබැවින් අපට ජයග්‍රහණයේ දෙවන ගීතයක් වචන වලින් ගායනා කළ හැකිය:

අප විසින් ඇසූ ලෙසම සේනාවල ස්වාමීන්ගේ නුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී, දුටිමුව. (ගීතාවලිය 48.8)

“එම්බා දෙවියන්වහන්සේගේ නුවර, තී ගැන කීර්තිමත් දේ කියා තිබේ දෙවියන් වහන්සේගේ නගරය, ඔබ ගැන මහිමාන්විත දේ කථා කරනු ලැබේ” (ගීතාවලිය 87.3) යනුවෙන් ශුද්ධලියවිල්ලේ පවසන පරිදි, දෙවියන් වහන්සේ විසින් ගොඩනඟන ලද සත්‍යයේ කුලුන සහ භූමිය වන මෙම නව නගරය උන් වහන්සේගේ සභාව නොවේ නම් ඒ නගරය වෙන කවරක්ද? සියලු දයානුකම්පාවේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් අප මේ නගරයට කැඳවා ඇති බැවින්, සෑම අමුත්තෙකුම මෙසේ ගායනා කෙරේවා. නැහැ, ශබ්ද නගාවා. “ස්වාමීන්ගේ ගෘහයට යමු යයි ඔවුන් මට කී විට මම සන්තෝෂ වීමි.” (ගීතාවලිය 122.1) සහ “ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේම කරමි.” (ගීතාවලිය 26.8)

තනි තනිව පමණක් නොව, අපි සියල්ලෝම එකට එක්ව, එක ආත්මයකින් යුක්තව, මහිමය හා ප්‍රශංසාව ලබාදෙමින්, “ස්වාමීන් වහන්සේ උතුම්ය, උන් වහන්සේගේ ශුද්ධ කන්දෙහි අපගේ දෙවියන් වහන්සේගේ නුවරේදී ප්‍රශංසාවට ලක්විය යුතුය” (ගීතාවලිය 48.1) යයි කියමුව. උන් වහන්සේ සැබැවින්ම ශ්‍රේෂ්ඨ වන සේක, එසේම උන් වහන්සේගේ ගෘහයද ශ්‍රේෂ්ඨය, එය උසස් වූ, විස්තීර්ණ වූ, මනරම් වූ ගෘහයකි. අසංඛ්‍යාත තේජාන්විත මෙන්ම විස්මිත දේ කරන, කාලය හා ඍතු වෙනස් කරන, රජවරුන් ඉවත් කර, රජවරුන් පත් කරන, දුප්පතුන් පොළොවෙන් නැඟිටුවන, කුමාරවරුන් ඔවුන්ගේ සිහසුන්වලින් පහත හෙළන, සාගින්නෙන් පෙළෙන අය පෝෂණය කරන, උඩඟු අයගේ දෑත් බිඳ දමන ස්වාමින් වහන්සේ උතුම්ය. උන් වහන්සේ ඇදහිලිවන්ත අයට පමණක් නොව, ඇදහිල්ල නැති අයටද පුරාණ කථාවන් සත්‍ය බව ඔප්පු කර ඇති සේක. අපි පුදුම කරන තැනැන්වහන්සේට විශ්වයේ ස්වාමින් වහන්සේට, ලෝකයේ මැවුම්කරුවාණන් වහන්සේට, සර්වබලධාරි, සර්ව දයාන්විත, එකම දෙවියන් වහන්සේට නව ගීතය ගායනා කරමු:

මහත් ආශ්චර්යයන් කරන එකම තැනැන් වහන්සේට ප්‍රශංසා වේවා.

මක්නිසාද උන්වහන්සේගේ දයාවන්තකම සදහටම පවතින්නේය.

ශ්‍රේෂ්ඨ රජවරුන් මැරූ තැනැන් වහන්සේට ප්‍රශංසා වේවා.

මක්නිසාද උන්වහන්සේගේ දයාවන්තකම සදහටම පවතින්නේය.

මක්නිසාද උන්වහන්සේ අපගේ පහත් තත්වයේදී අප සිහි කරන සේක. 

එසේම අපේ සතුරන්ගෙන් අප නිදහස් කළ සේක.

විශ්වයේ පියාණන් වහන්සේට මෙවන් ඝෝෂාකාරී ප්‍රශංසාවක් පිරිනැමීම අපි කිසි විටකත් අත් නොහරිමු. යේසුස් වහන්සේ වන අපගේ ආශීර්වාදවල දෙවන මූලාශ්‍රය, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම පිළිබඳ ගුරුවරයාණන් වහන්සේ, දුෂ්ටයන් විනාශ කරන තැනැන් වහන්සේ, කුරිරු අයගේ මිනීමරුවා, මනුෂ්‍යත්වයේ ප්‍රතිනිර්මාණය කරන තැනැන් වහන්සේ, බලාපොරොත්තු සුන්වීමෙන් ගලවන ගැලවුම්කරුවාණන් වහන්සේ හට අපගේ තොල්වලින් නැගෙන ප්‍රශංසාවලින් උන් වහන්සේගේ නාමය ගෞරවයට පත් කරමු. මක්නිසාද පියාණන් වහන්සේ අපට ඇති ප්‍රේමය නිසා කැමති වූ ආකාරයට, පියාණන් වහන්සේගෙගේ එකම පුත්‍රයාණන් වහන්සේ වන උන් වහන්සේ පමණක්ම අපගේ දූෂිත ස්වභාවය කැමැත්තෙන්ම භාරගත් සේක. උන් වහන්සේ රෝගීන් සුව කිරීම පිණිස ඉතාම හොඳ වෛද්‍යවරයා මෙන්, “භයානක රෝග තවමත් අපිරිසිදු ස්ථාන ස්පර්ශ කරන බව උන් වහන්සේ දකින නමුත්, වෙනත් කෙනෙකුගේ කරදර නිසා තමන් වහන්සේ මතටම දුක් වේදනා ගෙනා සේක.” එබැවින් උන් වහන්සේ හුදෙක් රෝගාතුරව සිටි හෝ වණ සහ පැසුණු තුවාල ඇතිව දරුණු ලෙස පීඩාවට පත්ව සිටි පමණක් නොව, එහෙත් මළවුන් අතර වැතිර සිටී අප බේරා ගත් සේක. මන්ද ස්වර්ගයේ වෙනත් කිසිවෙකුට මෙතරම් විශාල පිරිසකගේ ගැලවීම ලබා ගත නොහැකි වූ නිසාය. එසේ අප අඩක් මිය ගොස් සිටියදී නොව, එහෙත් සොහොන් ගෙවල්වල දිරාපත්ව යද්දී, අපගේ පාප උදෙසා වන වන්දිය උන් වහන්සේ පිටට ගනිමින්, උන් වහන්සේ පමණක්ම අපගේ වේදනාවන් දරාගත් සේක. එසේ උන් වහන්සේ අප නැගුටුවා දැන් අප ගලවා ගත් සේක. අතීතයේ මෙන්ම, මනුෂ්‍ය වර්ගයාට ඇති දැඩි ආදරය නිසා පියාණන් වහන්සේගේගේ ආශිර්වාදය අප සමග බෙදා ගෙන්නා සේක. උන් වහන්සේ අපගේ ජීවනදායකයාණන් වහන්සේ, ආලෝකවත් කරන්නා, ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණන් වහන්සේ, රජෙතුමාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ මෙන්ම දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ වන සේක. උන් වහන්සේ මුළු මිනිස් සංහතියම යක්ෂ ආනුභාවයෙන් අඳුරේ ගිලී සිටිනු දුටු විට, උන් වහන්සේගේ පෙනුමෙන් පමණක් හිරු එළියේ ඉටි දියව යන්නා සේ ඉතා පහසුවෙන් පාපයේ දම්වැල් ඉරා දැමීය.

එහෙත් නපුරට ආදරය කරන යක්ෂයා, මේ මහා කරුණාව නිසා කෝපයට පත් වීමෙන්, අපට එරෙහිව ඔහුගේ මාරාන්තික බලවේගවලින් පහර දුන් විට, ඔහු මුලින්ම, ඔහු එලවා දැමීමට උත්සාහ කරන අය කෙරෙහි කෝපයෙන් යුක්තව පණ නැති මිසයිලවලට පහර දෙමින්, ඔහුට එල්ල කරන ලද ගල් සපා කෑ පිස්සු බල්ලෙකු මෙන් විය: ඔහු සිතූ පරිදිම සභා විනාශ කරමින් යාච්ඤාවේ නිවාසවල ගල්වලට එරෙහිව ඔහුගේ දරුණු බව එල්ල කළේය. ඉන්පසුව ඔහු සර්පයෙකු මෙන් අභක්තික කුරිරු පාලකයන්ගේ තර්ජන සහ අභක්තික පාලකයන්ගේ දේවාපහාස ආඥාවන් තුළින් රහසිගතව ක්‍රියා කළේය මරණය වමනය කරමින්, ඔහුගේ ආත්මය විනාශ කරන විෂවලින් උගුලට හසු වූ ආත්මයන් ආසාදනය කරමින්, මිය ගිය පිළිමවලට පූජා කිරීමෙන් ඔවුන් ඔහුගේ මරණයෙන් මරණයට පත් කරන තරම් කාරණා සිදු කළේය. එසේ ඔහු මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින සෑම තිරිසනෙකුම සහ සෑම ආකාරයකම ම්ලේච්ඡත්වය අපට එරෙහිව නිදහස් කළේය.

කෙසේ වෙතත්, නැවත වරක්, දෙවියන් වහන්සේගේ සේනාවේ ශ්‍රේෂ්ඨ සේනාධිනායකයා හදිසියේම පෙනී සිටි අතර, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම සෙබළු විශ්වාසවන්ත ලෙස විඳ දරාගැනීම තුළින් ඔවුන්ගේ පුහුණුව ඔප්පු කළහ. එසේ සියලු සතුරුකම නම් රහිතව අමතක වී යාමට සැලැස්වූහ. එහෙත් උන් වහන්සේට සමීප සහ හිතවත් අය සියල්ලන්ම ඉදිරියේ උන් වහන්සේ සියලු තේජසින් ඔබ්බට ඉදිරියට ගෙන ගිය සේක: මිනිසුන්, ඉර, සඳ, තරු – මුළු අහස සහ පොළොව. දැන් අති උත්තරීතර අධිරාජ්‍යවරු උන් වහන්සේගෙන් ඔවුන් ලද ගෞරවය ගැන දැනගෙන, මිය ගිය පිළිමවල මුහුණුවලට කෙළ ගසති, යක්ෂයින්ගේ අශුද්ධ චාරිත්‍ර පාගා හෙළා දමති, තම පියාගෙන් උරුම වූ පැරණි බොරුවලට සිනාසෙති – මෙය පෙර කිසි දිනෙක සිදු නොවූ දෙයකි. එහෙත් ඔවුහු එකම දෙවියන් වහන්සේ, සියල්ලන්ගේම ප්‍රතිලාභ දෙන තැනැන් වහන්සේ ලෙසත්, ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සහ විශ්වයේ සර්ව බලධාරී රජතුමාණන් වහන්සේ ලෙසත් පිළිගනිති. එසේ ස්මාරකවල උන් වහන්සේ “ගැලවුම්කරු” ලෙස නම් කරමින්, නගර මධ්‍යයේ අධිරාජ්‍යවරුන්ගේ චරිත ලක්ෂණ ලියා ඇත. එය වූ කලි ලෝකයේ නගරවල දුෂ්ටයන්ට එරෙහිව උන් වහන්සේ ලැබූ ජයග්‍රහණ පිළිබඳ නොමැකෙන වාර්තාවකි.

මේ අනුව අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණක්ම – පෘථිවියේ ශ්‍රේෂ්ඨතමයා විසින් පවා – ඉතිහාසයේ පිළිගත යුතු වූ එකම පුද්ගලයා වන සේක. සාමාන්‍ය මිනිස් රජෙකු ලෙස නොව විශ්වයේ දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයාණන්වහන්සේ ලෙස සහ උන් වහන්සේම දෙවියන් වහන්සේ ලෙස නමස්කාර කරනු ලැබිය යුතු වන තැනැත් නහන්සේ වන සේක. 

කුඩා ආශ්චර්යය. මක්නිසාද මුළු මිනිස් වර්ගයාගේම කන් සහ මුඛය තමන් වහන්සේ නාමයෙන් පුරවා ගැනීමට තරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ අන් රජතුමා කවරෙක්ද? මුළු ලෝකයටම ප්‍රකාශ කිරීමට තරම් ප්‍රඥාවන්ත නීති සකස් කළේ කුමන රජතුමාද? තමාගේ ශිෂ්ට සම්පන්න සහ මානුෂීය නීති මගින් අශිෂ්ට ජාතීන්ගේ ම්ලේච්ඡ සිරිත් විරිත් අවලංගු කළේ කවරෙක්ද? වසර ගණනාවක් පුරාවටම සෑම කෙනෙකුගේම පහර කෑමට ලක් වූ නමුත් ඔහුගේ තරුණ වියේ රැඳී සිටින්නේ කවුරුන්ද? ආරම්භයේ සිටම අසන්නට නොලැබුණු ජනතාවක් වූ නමුත්, දැන් පෘථිවියේ කොනක සැඟවී නැති එහෙත් ඉර යට සෑම තැනකම දක්නට ලැබෙන ජනතාවක් බිහි කළේ කවුරුන්ද? සතුරන් සමග සටන් කිරීමේදී තම සෙබළුන් ඔවුන්ගේ ආත්මයන් ඇදහිල්ලෙන් නොසෙල්වවෙන ශක්තිමත් බව ඔප්පු කිරීමට තරම් ඇදහිල්ලේ ආයුධවලින් ඔවුන් සන්නද්ධ කළේ කවුරුන්ද? මරණින් පසු තම හමුදාවන් මෙහෙයවන, තම සතුරන්ට කුසලාන තබා යන, ග්‍රීක හා විදේශීය සෑම ස්ථානයක්ම, දිස්ත්‍රික්කයක්ම සහ නගරයක්ම, මෙම ආසන දෙව්මැදුර සහ එහි විශිෂ්ට ආභරණ සහ පූජා වැනි උන් වහන්සේගේ රාජකීය නිවාස සහ දිව්‍යමය දේවස්ථාන,යාච්ඤාමය දිව්‍ය පූජාවලින් පුරවන රජවරුන් අතර එවැනි බලයක් ඇති අයෙකු සිටීද? මේ දේවල් අතිවිශිෂ්ට සහ විස්මය ජනක වන අතර අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සර්ව ආධිපත්‍ය ඇති අයෙකු බවට පැහැදිලි සාක්ෂි වේ. මන්ද දැන්ද “උන් වහන්සේ කතා කළ සේක, ඒවා සාදන ලද්දේය; උන් වහන්සේ අණ කළ සේක, ඒවා මවන ලද්දේය” (ගීතාවලිය 33.9, 148.5). 

දෙවියන් වහන්සේගේම වචනයේ කැමැත්තට විරුද්ධ විය හැක්කේ කුමකටද? ඒ සඳහා වෙනම කතිකාවක් අවශ්‍ය වේ. වඩා වැදගත් වන්නේ ප්‍රේරිතයන්ගේ සහ දිවැසිවරුන්ගේ අත්තිවාරම මත ස්ථිරව පිහිටුවා ඇති ජීවමාන ගල්වලින් සෑදුණු අප සැමගෙන්ම සමන්විත ජීවමාන දේවමාළිගාව දෙස දෙවියන් වහන්සේ බලන ආකාරයයි, එහි ප්‍රධාන කොණේ මුල්ගල වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය (එපීස 2.20). එක් එක් තාර්කික ආත්මයේ අබිරහස් සෙවීමට විශ්වයේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයාණන් වහන්සේට පමණක් ඇතුළු විය හැකි, සැබෑ ශුද්ධස්ථානයක් ලෙස මනුෂ්‍ය වර්ගයාගෙන් සැඟවී ඇති අභ්‍යන්තර අති ශුද්ධස්ථානය වන ශ්‍රේෂ්ඨතම ශුද්ධස්ථානය මෙය වේ.

එහෙත් සමහර විට සමානයන් අතර සිටින තවත් කෙනෙකුට ඔහුගෙන් පසුව දෙවන ස්ථානය ගැනීමට හැකි වන්නට පුළුවන. එනම් පළමුවන හා ශ්‍රේෂ්ඨතම උත්තම පූජකයාණන් වහන්සේ විසින් මෙහි සේවයේ දෙවන ස්ථානයේ සිටින කෙනා ලෙස ගෞරව කරන ලද, ඔබේ සෙනඟ කෙරෙහි පියාණන් වහන්සේ විසින් පත් කරන ලද ඔබේ ආධ්‍යාත්මික රැළේ පාලකයා වන, නව ආරොන් හෝ මෙල්කිසදෙක් වන, ඔබේ යාච්ඤා තුළින් දෙවියන් වහන්සේ විසින් නඩත්තු කරනු ලබන, මෙම හමුදාවේ අණදෙන නිලධාරියා වන [පෝලිනස්ය]. එසේ නම්, ඔහුගේ දීර්ඝකාලීන අත්දැකීම්, උද්යෝගය, සැලකිල්ල සහ ආගමික උපදෙස් ඔහු සුදුස්සෙකු බවට පත් කරන බැවින්, පළමුවන සහ ශ්‍රේෂ්ඨතම උත්තම පූජකයාණන් වහන්සේගෙන් පසුව, ඔබේ ආත්මයේ අභ්‍යන්තර කඩාවැටීම් පරීක්ෂා කිරීමට ඔහුට පමණක් ඉඩ දෙන්න.

අපගේ පළමුවන ශ්‍රේෂ්ඨතම උත්තම පූජකයාණන් වහන්සේ අපට පවසන්නේ පියාණන් වහන්සේ කරන ඕනෑම දෙයක් උන් වහන්සේ දකින බවත්, ඒවා උන් වහන්සේද කරන බවත්ය (යොහන් 5.19). උන් වහන්සේ පළමුවැන්නා දෙස ගුරුවරයෙකු ලෙස බලයි, එසේ පියාණන් වහන්සේ කරන ඕනෑම දෙයක් උන් වහන්සේ දකින රටා, කලාකරුවෙකු මෙන් උන් වහන්සේ තමන් වහන්සේගේ හැකියාවෙන් උපරිමයෙන් සමීපතම සමානකම් සකස් කරගන්නා රටාවන් බවට පත් වේ. එවිට උන් වහන්සේ බෙසලෙල්ට වඩා පහත් අයෙකු නොවේය, උන් වහන්සේ දෙවියන් වහන්සේම ශිල්ප හා විද්‍යාවන් පිළිබඳ ප්‍රඥාවෙන් අවබෝධයෙන් සහ දැනුමෙන් පුරවන ලදුව, ස්වර්ගීය දේවමාළිගාවේ සංකේතයේ [මණ්ඩපය ලෙස] ගෘහ නිර්මාණ ශිල්පියා වීමට උන් වහන්සේ කැඳවා ඇත. එලෙසම, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිරූපය තම ආත්මය තුළ දරා සිටින මෙම මිනිසා, එම වඩා වඩා හොඳ, අදෘශ්‍යමාන තැනැත්තාගේ රටාවට සමානව, අතිඋත්තම දෙවියන් වහන්සේ සඳහා මෙම විශිෂ්ට ව්‍යුහය ඉදි කර ඇත. උන් වහන්සේගේ ත්‍යාගශීලීභාවය සහ අධිෂ්ඨානය හෝ මේ සම්බන්ධයෙන් උන් වහන්සේට සමාන කිරීම සඳහා අතිවිශිෂ්ට ලෙස දායක වීමට ඔබ සැම දෙනාම දැක්වූ උනන්දුව වචනවලින් විස්තර කළ නොහැකිය.

අපගේ සතුරන්ට පින්සිදු වන්නට නොයෙකුත් අපිරිසිදු කුණු කසළවලින් වැසී තිබූ මෙම දර්ශනය, උන් වහන්සේට වෙනත් දසුනක් තෝරා ගත හැකි වුවද, උන් වහන්සේ ඔවුන්ගේ සතුරුකමට අත්හැරියේ නැත –  උත්සාහයෙන් සහ කරදරවලින් වැළකී සිටීමට නගරයෙහි ගණන් කළ නොහැකි තවත් අය සිටිති. ඒ වෙනුවට, උන් වහන්සේ තම උද්යෝගයෙන් ජනතාව පොලඹවා එක්සත් කළ සේක. මන්ද සතුරාගේ ප්‍රහාරයට ලක් වූ [සභාව] අපට පෙර සිටි අය විඳි ඒ හා සමාන පීඩාවන්ට ලක් වූ බවත්, තම දරුවන් අහිමි වූ මවක මෙන් උන් වහන්සේට දැනුණු බැවින් සියලු කරුණාවේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට හවුල් විය යුතුය. මක්නිසාද ශ්‍රේෂ්ඨ එඬේරාණන් වහන්සේ වන මෘගයන් හා වෘකයන් පලවා හැර, සිංහයන්ගේ දත් කඩා දැමූ බැවින්, උන් වහන්සේ සතුරා ලජ්ජාවට පත් කරමින් ඔහුගේ අපරාධ හෙළා දකිමින් බැටළු රැළ නිවැරදි මාර්ගයේ ගෙන යාමද වඩාත් සුදුසුය.

දැන් මෙම දෙවියන් වහන්සේට වෛර කරන්නෝ, ඔවුන්ම, ඔවුන්ගේ මිතුරන් සහ ඔවුන්ගේ පවුල් විනාශ කිරීම නිසා වන දඬුවම සාධාරණ ගෙස ගෙවා, දිව්‍යමය වචනය පවසන පරිදි, බොහෝ කලකට පෙර පූජනීය අනාවැකි සත්‍ය බව ඔප්පු කරමින්, තවදුරටත් නොපවතිති:

දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංක ලෙස හැසිරෙන්නන් මරන පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත් කැවුවෝය. ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල් වන්නේය. ඔවුන්ගේ දුනුද බිඳිනු ලබන්නේය. (ගීතාවලිය 37.14-15)

නැවතත් මෙසේ සඳහන් වේ: “සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය; ඔවුන් ගැන සිහිවීම පවා නැති විය.” එමෙන්ම “ඔවුන්ගේ නාම ඔබ විසින් සදහටම මකා දමා ඇත.” (ගීතාවලිය 9.6, 5 LXX) මන්ද ඇත්ත වශයෙන්ම ඔවුන් කරදරයක සිටින විට:

ඔවුහු ස්වාමින් වහන්සේට මොරගැසුවෝය (එහෙත් ගලවාගැනීමට කිසිවෙකු සිටියේ නැත).

උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත.

ඔවුන්ගේ අත් පා බඳිනු ලැබ වැටී සිටිති; එහෙත් අපි නැඟිට කෙළින් සිටගත්තෙමුව (ගීතාවලිය 18.41; 20.8) 

තවද, “ස්වාමීනි, ඔබගේ නගරයේදී ඔබ ඔවුන්ගේ රූපය මකා දමන සේක” (ගීතාවලිය 73.20) යන්න සියලු දෙනා ඉදිරියේ සත්‍ය බව පෙන්වා දෙනු ලැබ ඇත.

යෝධයන් මෙන් දෙවියන් වහන්සේට එරෙහිව සටන් කරමින් ඔවුන් තම ජීවිතය දුක්ඛිත අවසානයකට ගෙනැවිත් ඇත. මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද [සභාව] අප දැක ඇති පරිදි සියල්ල විඳ දරාගෙන ඇත. එසේ යෙසායාගේ අනාවැකිය ඇයට පහත පරිදි ආමන්ත්‍රණය කරයි:

වනාන්තරයද වියළි දේශයද ප්‍රීති වන්නේය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝ සේ මල් දරා ප්‍රීතිමත් වන්නේය;

ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනු ලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.

බෙලහීන අත් බලවත් කර, වෙවුලන දණහිස් සවි කරපල්ලා. භය සිත් ඇත්තන්ට කථා කොට: භය නොවී ශක්තිමත් වෙයල්ලා. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එන සේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවන සේකැයි කියාපල්ලා. එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.

එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳ එන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය. (යෙසායා 35.1-7)

බොහෝ කලකට පෙර පුරෝකථනය කර ඇති පරිදි, අපට මේ දේවල් පැමුණුනේ ඇසූ දෙයක් ලෙස නොව එහෙත් සත්‍ය කරුණු ලෙසටය. ඔවුහු මේ අනාරක්ෂිත වැන්දඹුව, මේ කාන්තාරයේ දොරටු පොරොවෙන් කපා දමති, එසේ පොරොවකින් හා මිටියකින් ඇය ඉරා දමා, ඇගේ පොත්පත් විනාශ කර, දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානයට ගිනි තබා, උන් වහන්ස්ගේ වාසස්ථානය වන භූමිය අපවිත්‍ර කළහ. ඒ අසලින් ගිය සියල්ලෝම ඇගේ වැටවල් කඩා දමා ඇගේ ඵල නෙළාගත්හ. ඌරා ඇය විනාශ කළේය, වන මෘගයා ඇය ගිල දැමුවේය. දැන්, ක්‍රිස්තුස් වහන්සේගේ ආශ්චර්යවත් බලයෙන්, උන් වහන්සේ කැමති වන පරිදි, ඇය ලිලී මලක් මෙන් වී ඇත.

සැලකිල්ලක් දක්වන පියෙකු මෙන් ඇය උන් වහන්සේගේ අණ පරිදි විනයානුකූල කරනු ලැබුවාය. ” පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරන සේක.” (හිතෝපදේශ 3.12) යෝග්‍ය ලෙස නිවැරදි කරන ලදුව, ඇය දැන් නැවතත් ප්‍රීති වීමට කැඳවා ඇති අතර, ඇය සියලු මනුෂ්‍ය වර්ගයා මත ඇගේ සුවඳ විහිදුවමින් මානෙල් මලක් මෙන් පිපෙන්නීය. මන්ද බෞතිස්ම තුළින් දිව්‍යමය පුනර්ජීවනයේ ප්‍රවාහය වන, කාන්තාරයෙන් ඇත්තෙන්ම ජලය මතු විය. මෙම විචිත්‍රවත් ව්‍යුහය සාක්ෂි දරන ආකාරයට, දුර්වල දෑත් ශක්තිමත් වී ඇති ඇත, දුර්වල දණහිස් දෙවියන්වහන්සේගේ දැනුම කරා යන මාවතේ ගමන් කිරීමට ස්ථිර වී ඇත. කෲර පාලකයන්ගේ තර්ජන සමහර ආත්මයන් මොට කර තිබේ නම්, ගැලවීමේ වචනයාණෝ ඔවුන් අත්හැර නොදමා දිව්‍යමය බලයෙන් ඔවුන් සුවපත් කරමින් මෙසේ පවසන සේක: “ක්ලාන්ත සිත් ඇති අය ධෛර්යවත් වන්න, ශක්තිමත් වන්න, නොබියව සිටින්න.”

කාන්තාරයේ සිටි ඇය කටුක වහල්භාවයෙන් පසුව ආශීර්වාද ලබන ආකාරය පුරෝකථනය කළ වචනය අපගේ නව සහ විශිෂ්ට සෙරුබ්බාබෙල් තේරුම් ගත්තේය. උන් වහන්සේ ශරීරයෙන් මළවුන් ලෙස එය පසු කර නොගිය නමුත්, ඔබ සැමගේ අනුමැතිය ඇතිව උන් වහන්සේ පියාණන් වහන්සේ සමග මැදිහත්කම් කරන සේක. මළවුන්ගෙන් නැවත නැඟිටුවන්නා වන එකම සගයා සමග, උන් වහන්සේ ඇය පවිත්‍ර කිරීමෙන් සහ සුව කිරීමෙන් පසුව ඇය නැඟිටෙවූ සේක. එසේ ඇගේ පැරණි ඇඳුම්වලින් නොව, දිව්‍යමය උපදෙස්වලට අනුව සරසන සේක: “නව නිවසෙහි මහිමය පෙර පැවති නිවසේ මහිමයට වඩා වැඩි වනු ඇත” (හග්ගයි 2.9). 

ඒ අනුව, ඔහු විසින් වට කරන ලද ප්‍රදේශය වඩා විශාල වූ අතර, උන් වහන්සේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත තාප්පයකින් ඒ සියල්ල වට කළේය. ඉන්පසුව, ඔහු පූජනීය පරිශ්‍රයෙන් පිටත සිටින අයට පවා අභ්‍යන්තරය පිළිබඳ පුළුල් දර්ශනයක් සපයමින්, ඇදහිල්ලට ආගන්තුක වූවන්ගේ පවා අවධානය ආකර්ෂණය කර ගනිමින්, නටබුන් වූ සහ ඇතුළත ආකාර්ෂණීය දේවල් ආශ්චර්යවත් ලෙස පරිවර්තනය වීමේදී ඔවුන් විස්මයට පත් විය හැකි ලෙස උදා වන සූර්යයාගේ කිරණ අල්ලා ගැනීම සඳහා ඔහු පුළුල් හා උස් වූ ද්වාර මණ්ඩප බරාදයක් තැබුවේය. ගේට්ටු තුළින් යන ඕනෑම කෙනෙකුට පිරිසිදු නොකළ හා නොසේදූ පාද සමග ඇතුළත ඇති ශුද්ධ ස්ථානවලට වහාම ගමන් කළ නොහැකිය: ඔහු ඇතුළුවීම් සහ සභාව අතර ඉතාම පුළුල් ඉඩක් තබා, තීරු හතරකින් පරිමිතිය අලංකාර කරමින් තීරු හතරක හිඩැසක් සාදා ඇත. මේවා අතර දැව තිර සහිත ලෑලිවලින් සැදූ නිර්මාණ ඇත. එසේම එය මැද හිරුට සහ අහසට විවෘත වූ ප්‍රදේශයක් ඇත. එහි, ආසන දෙව්මැදුර ඉදිරිපිට කෙළින්ම, ඔහු ඇතුළු වන්නන්ට පිරිසිදු වීම පිණිස නැවුම් ජලය ගලා යන උල්පත් තැබීය. ඇතුළු වන අය සඳහා වන පළමුවන නැවතුම් ස්ථානය මෙය වන අතර, එය තේජස වැඩි දියුණු කිරීම සහ උපදෙස් අවශ්‍ය අයට පළමුවන උපදෙස් දීමේ ලක්ෂ්‍යයක් ලෙස සේවය කරන්නේය.

ආසන දෙව්මැදුරට යන ද්වාර මණ්ඩප බරාද අතර, ඔහු දොරටු තුනක් එනම් එකක් පැත්තක, එකක් මැද සහ පිටත යුගලයට වඩා උසින් සහ පළලින් වැඩි එකක් වශයෙන් තබා, එය ආරක්ෂක භටයින් දෙදෙනෙකුගෙන් වට වූ රැජිනකට සමාන වන පරිදි එය යකඩ හා සවිස්තරාත්මක සහනවලින් ලෝකඩවලින් එය ආලේප කළේය. ව්‍යුහයේ දෙපස ඇති බරාදවලට එක සමාන ද්වාර ඇත, ඒවායෙහි බරාද මත විවරයන් ඇති අතර, අලංකාර ලී කැටයම්වලින් සරසා ඇත, එසේම එහි වැඩි ආලෝකයක් ඇති වන ආකාරයට නිමවා ඇති බව පිළිගත යුතුය.

ඔහු විසින් මුළු බැසිලිකාවම කිසිදු වියදමක් ඉතිරි නොකර වඩා මිල අධික ද්‍රව්‍යවලින් ශක්තිමත් ලෙස ඉදිකරන ලදී. මෙහිදී මට ගොඩනැගිල්ලේ මානයන් ලබා දීමට හෝ එහි දීප්තිමත් අලංකාරය, විස්තර කළ නොහැකි විශාලත්වය, විස්මිත කිර්මාණකරණය, අහස ස්පර්ශ කරන තරම් උස් බව හෝ සිවිලිම සාදන ලද ලෙබනනයේ මිල අධික කිහිරි ගැන හෝ විස්තර කිරීමට අවශ්‍ය නොවේ. පරිශුද්ධ වචනය ඒවාගැන පවා අපට පවසයි: “ස්වාමීන් වහන්සේගේ ගස්ද ඔහු රෝපණය කළ ලෙබනොන්හි කිහිරි ගස්ද සතුටු වන්නේය” (ගීතාවලිය 104.16). 

මට දැන් නිර්මාණයේ පරිපූර්ණත්වය සහ එහි එක් එක් කොටස්වල අසාමාන්‍ය අලංකාරත්වය විස්තර කිරීමට අවශ්‍ය නැත. මන්ද ඇසට දැනෙන සාධක කනට මග හැරෙන බැවිනි. ව්‍යුහය නිම කිරීමෙන් පසු, ඔහු එය රදගුරුවරුන්ට ගෞරව කිරීම සඳහා උස් සිංහාසනවලින් සහ එය ඇතුළත පුරාම සුවපහසු බංකුවලින් එය වඩාත් අලංකාර කළේය. ඒ මධ්‍යයේ ඔහු මෙම ප්‍රදේශයෙන් සභාවේ එක් රැස් වන ජනතාව සිටින ස්ථානය අත්හැර අතිශුද්ධස්ථානය – පූජාසනය තැබුවේ පුදුමාකාර කලාත්මක බවකින් යුත් ලී දැලිස්වලින් එය වට කරමිනි.

බිම පවා ඔහුගේ අවධානයට ලක් නොවී නොතිබුණු අතර, ඔහු එය සෑම වර්ගයකම කිරිගරුඬවලින් දීප්තිමත් කළේය. ගොඩනැගිල්ලෙන් පිටත, ඔහු බැසිලිකාවේ දෙපැත්තට දක්ෂ ලෙස සවි කර ඇති දෙපස විශාල ශාලා සහ කාමර ඉදිකළ අතර, බැසිලිකාවේ ආලෝකය එයට විහිදෙන ආකාරයට තැනුවේය. අපගේ වඩාත් සාමකාමී සාලමොන් තවමත් ජලය සහ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් ඉසීමට අවශ්‍ය වූ අය උදෙසා මේවා ගොඩනැඟීය. එසේ කළේ කලින් සඳහන් කළ අනාවැකිය තවදුරටත් වචනයක් නොව සත්‍ය කරුණක් වන පිණිසය. මන්ද මෙම ගෘහයේ තේජස ඇත්ත වශයෙන්ම පෙර ගෘහයෙහි තේජසට වඩා විශාලය.

(සභාව), ඇගේ ස්වාමියා ඇය වෙනුවෙන් මරණයට පත් වූ බැවින්, උන් වහ්සේ තමන් වහන්සේ තේජවත් ශරීරය භාරගත් පසුව, සහ උන් වහන්සේ මාංසය දූෂණය වන ස්වභාවයෙන් නොදිරන ස්වභාවයට පරිවර්තනය කළ පසුව, ගැලවුම්කරුවාණන් වහන්සේගේ ශ්‍රමයෙන් ප්‍රයෝජන ලැබීම සුදුසුය. මේවාට වඩා බොහෝ යහපත් දේ පිළිබඳ උන් වහන්සේගේ පොරොන්දුව ලැබූ ඇය, ඇගේ ශ්‍රේෂ්ඨ දානපතියා සහ ගැලවුම්කරුවාණන් වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග, දේව රාජ්‍යයේ දේවදූතයන්ගේ ගායන කණ්ඩායම සමග, නොදිරන ශරීරයක නැවත නැඟිටීමේ නව උපත ලැබීමට ආශා කරන්නීය. දිගුකලක් වැන්දඹුව සහ පාළුවට ගොස් සිටි ඇය අනාවැකිවල සඳහන් කර ඇති ආකාරයට, වර්තමානයේදී මානෙල් මලක් බවට පත් වීමට දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් සැරසී ඇති අතර, නැවත වරක් මනමාල ඇඳුමකින් සැරසී සිටින ඇයට යෙසායා විසින් නැටීමට උගන්වනු ලැබ ඇත. එය ප්‍රශංසාවේ වචනවලින් රජ්ජුරුවන් වූ දෙවියන් වහන්සේට ස්තුති කිරීම වැනිය:

මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝ සේ ප්‍රීති වන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂ වන්නේය;

මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක් මෙන්ද මනමාලී ඇගේ ආභරණ පැළලඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැලවීම නමැති වස්ත්‍ර මට පැලඳෙවුසේක,

ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත. (යෙසායා 61.10-11)

මෙම වචන සමගින් ඇය නටන්නීය. මනාලයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේම ඇයට පිළිතුරු දෙන්නේ කෙසේද? ස්වාමින් වහන්සේ පවසන වචනවලට සවන් දෙන්න:

භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය.

මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.

කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේ යයි උන්වහන්සේට කියනු ලැබේ.

මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහකරන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත් සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියන සේක.

මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි. මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවාගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පා කරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියන සේක.

ස්වාමීන්වහන්සේගේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරා බීවාවූ යෙරුසලම, පිබිදියන්න, පිබිදියන්න, නැගිටියන්න.

ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇති කළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත. මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?

නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටු කිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති. එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසාපන්න. නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය. නුමුත්: අප විසින් නුඹ පාගා යන පිණිස වැටී ඉඳින්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගා යන්නන්ට වීථිය මෙන්ද තැබුවෙහිය.

සියොන්, පිබිදියන්න, පිබිදියන්න, නුඹේ බලය පැලඳගනින්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැලඳගනින්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍ර අයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය. යෙරුසලම, නුඹ ධූලි ගසා දමා, නැගිට වාඩිවෙයන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගලවා දමාපන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය, මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය

නුඹේ ඇස් ඔසවා වටකර බලාපන්න. මොවුන් සියල්ලෝම එකතුව නුඹ ළඟට එති. මා ජීවත් වෙනවා සැබෑවා සේම, නුඹ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැලඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියන සේක. මක්නිසාද නුඹේ නටබුන් තැන්ද පාළු ඉඩම්ද විනාශ කරන ලද නුඹේ දේශයද සැබවින් එහි වැසියන්ට මදි වන්නේය, නුඹ ගිලගත්තෝද දුරුවන්නෝය.

නුඹේ දරුවන් නැතිවුණායින් පසු නුඹට ලැබෙන දරුවෝ: මේ ඉඩම මට මදිය, මට වාසය කරන්ට ඉඩ දියන්නැයි නැවත කියනවා නුඹට ඇසෙනවා ඇත. එවිට නුඹේ සිතින් නුඹ කල්පනා කොට: මොවුන් මට ඉපදෙවුවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.

යෙසායා මේ සියල්ල දිවැසිවැකි මගින් පුරෝකථනය කළ නමුත්, අප කවදා හෝ ඒවායෙහි සත්‍යතාවය කරුණු තුළින් ඉගෙනගත යුතුව ඇත. මනාලයා- මනාලිය- දේව වචනය – ශුද්ධ වූ සභාවට වන ඔහුගේ මනාලියට මේ ආකාරයෙන් කතා කරන බැවින්, මෙම මනාලියගේ සේවකයා පොදු යාච්ඤාවෙහිදී ඔබේ දෑත් දිගු කිරීම කෙතරම් සුදුසුද, එසේම දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන් පාළුවට ගොස් මිය ගොස් සිටි ඇය අවදි කර ඔබේ මනාලියට කතා කිරීම කෙතරම් සුදුසුද? එසේ ඇය ඇති දැඩි කිරීමෙන් පසුව, පූජනීය වචනවල සඳහන් කර ඇති නියමයන්ට අනුව ඔහු ඇය යථා තත්වයට පත් කළේය.

මෙම [ආසන දෙව්මැදුර] බලවත්, විස්මයජනක සිත් ඇදගන්නා සුලු ආශ්චර්යයකි, විශේෂයෙන්ම බාහිර දේ කෙරෙහි පමණක් අවධානය යොමු කරන අයට එය එසේය. එහෙත් ඊටත් වඩා පුදුම සහගත වන්නේ ද්‍රව්‍යමය දේවල රූපයන් හෝ දිව්‍යමය රටාය; මා එයින් අදහස් කරන්නේ අපගේ ආත්මයේ ආධ්‍යාත්මික ගොඩනැඟිල්ල අලුත් කිරීම ගැනයි. මෙම ගොඩනැගිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේම තමාගේම ස්වරූපයෙන් සහ දිව්‍යමය ස්වරූපයකින් නිර්මාණය කළ සේක: එනම් නොදිරන ස්වභාවයක්, භෞමික ද්‍රව්‍යයට ආගන්තුක ආධ්‍යාත්මික සාරයක් සහිත සහ බුද්ධිමත් බවෙන් යුක්ත එකකි. උඅන් වහන්සේ එයට පැවැත්මක් ඇති කර එය ශුද්ධ මනාලිය සහ තමන් වහන්සේට සහ පියාණන් වහන්සේට පූජනීය දේවමාළිගාවක් බවට පත් කළ සේක. මෙය ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලිව එළිදරව් කෙරෙයි: “මම ඔවුන් තුළ වාසය කරන්නෙමි, ඔවුන් තුළ ඇවිදින්නෙමි; මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔවුහු මාගේ සෙනඟ වන්නෝය” (2 කොරින්ති 6.16). ස්වර්ගීය දේව වචනයේ ස්වරූපය දැරීමට ආරම්භයේ සිටම නිර්මාණය කරන ලද පරිපූර්ණ, පවිත්‍ර වූ ආත්මය එවැන්නකි.

එහෙත් නපුරට ප්‍රිය කරන යක්ෂයාගේ ඊර්ෂ්‍යාව නිසා ඇය ඇගේම කැමැත්තෙන් කාමුකත්වයෙහි හා නපුරෙහි පෙම්වතියක් වූ විට, ආරක්ෂක දේවතාවා ඇයගෙන් ඉවත්ව ගිය අතර, ඇයට ඊර්ෂ්‍යා කළ අයගේ උගුල්වලට ඇය ගොදුරු වූවාය. ඇගේ ආධ්‍යාත්මික සතුරන්ගේ කුළු හරකුන්ගේ ප්‍රහාරවලින් පෙරළී ගිය ඇය, දෙවියන් වහන්සේ පිළිබඳ සහජ සිතිවිලිවලින් තොරව මිය ගොස් සිටින විට, ඇගේ ගුණාංගවල එකම ගලක් හෝ එක මත එක නොසිට බිමට කඩා වැටුණේ ඇය ගුණාංගවලින් මිය ගොස් සිටි බැවිනි. ඇය බිම වැතිරී වැඳ වැටී සිටින විට, දෙවියන් වහන්සේගේ දිව්‍යමය අභයභූමියට ගිනි තැබූ දුෂ්ටකමේ ගිනිමය ඊතල මෙන්, උන් වහන්සේගේ නාමයේ වාසස්ථානය මුළුමනින්ම අපකීර්තියට පත් කළ ආත්මික වන මෘගයන් විසින් ඇය තෘෂ්ණාවෙන් අවුලුවන ලැබුවාය. ඉන්පසුව ඇය කිසිම ගැලවීමේ බලාපොරොත්තුවකින් තොරව මහා පස් කන්දක් යට වැළලී ගියාය.

එහෙත් ඇය ඇගේ පව්වලට නියමිත දඬුවම ගෙවීමෙන් පසුව, ගැලවීමේ ආරක්ෂකයා- දේව වචනය- උන් වහන්සේගේ පියාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය තුළින් ඇය නැවත වරක් යථා තත්ත්වයට පත් කළ සේක. පළමුවෙන්ම, උන් වහන්සේ තමා වඩාත්ම ආදරය කරන උත්තරීතර අධිරාජ්‍යයන්ගේ ආත්මයන් තෝරා ගත් අතර, ඔවුන් තුළින් උන් වහන්සේ සියලු දුෂ්ට හා හානිකර සහ බියකරු දෙවියන් වහන්සේට වෛර කරන කෲර පාලකයන්ගෙන් මුළු ලෝකයම පිරිසිදු කළ සේක. ඉන්පසුව උන් වහන්සේ ඔවුන්ගේ මුළු ජීවිතයම තමාට කැප කර ඇති නමුත්, උන් වහන්සේගේ රැකවරණය පිළිබඳ සැලකිල්ලෙන් යුතුව නපුරු කුණාටුවෙන් සැඟවී සිටි තමන් වහන්සේ ගෝලයන් එළිමහනට ගෙනා අතර, උන් වහන්සේ ඔවුන්ට තමන් වහන්සේගේ පියාණන් වහන්සේගේ ත්‍යාගය සමග වටිනා විපාකයක් ලබා දුන් සේක. ඔවුන් තුළින් උන් වහන්සේ උන් වහන්සේගේ විනිවිද යන ඉගැන්වීම් වන පිරිසිදු කිරීමේ උපකරණ භාවිත කර සියලු වර්ගවල කසළවලින් සහ අශුභ නියෝගවල කුණු කසළවලින් අපිරිසිදු වූ ආත්මයන්, පිරිසිදු කළ සේක. උන් වහන්සේ මෙම ස්ථානය දීප්තිමත් හා පැහැදිලි කළ පසුව, උන් වහන්සේ මෙම සියලු ප්‍රඥාවන්ත හා දෙවියන් වහන්සේට ආදරය කරන නායකයාට, උන් වහන්සේගේ රැකවරණය සඳහා කැප වූ ආත්මයන් සම්බන්ධයෙන් එතරම් වෙන් කර හඳුනාගැනීමේ හැකියාව සහ විචක්ෂණශීලී බවක් දක්වන තැනැත්තාට එය භාර දුන් සේක. ආරම්භයේ සිටම උන් වහන්සේ ගොඩනැඟීම නතර කළේ නැත, බැබළෙන රන්, පිරිසිදු රිදී සහ වටිනා ගල් ඔබ සියලු දෙනා අතරේ නියමිත ස්ථානයේ පිහිටුවා, ශුද්ධ අනාවැකියෙහි පවසා ඇති දේ ඉටු වන පරිදි ක්‍රියා කරන සේක:

බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.

නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.

නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත්වන්නේය. නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත.

නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය. (යෙසායා 54.11-14)

සත්‍ය වශයෙන්ම ධර්මිෂ්ඨකමින් ගොඩනඟමින්, ඔහු මිනිසුන්ගේ හැකියාව අනුව ඔවුන් බෙදුවේය. 12 එහිදී සමහරුන්, එනම් බහුතරයක් පිරිසක්, ඔහු නොසැලෙන ඇදහිල්ලේ පවුරකින් පිටත වටේට පමණක් වැට බැඳගත්තේය. සභාවට ඇතුළු වන අයට මඟපෙන්වීම සඳහා සභාවට ඇතුළු වන දොරටු ඔහු අන් අයට භාර දුන්නේය. තවත් සමහර දෙනෙකු ඔහු මළුව වටා ඇති හතරැස් කොටුව වටා ඇති පළමුවන කුලුනු සඳහා ආධාරක ලෙස පිහිටෙවූ අතර, ඒවා ශුභාරංචි හතරේ අකුරු සමග ඔවුන්ගේ පළමුවන ස්පර්ශයට ගෙන ආවේය. තවත් සමහරුන් ඔහු දෙපස බැසිලිකාවට සම්බන්ධ කළේය. ඔවුන් උපදෙස් යටතේ ඉදිරියට යන අතර ඇදහිලිවන්තයන්ගේ අභ්‍යන්තර දිව්‍යමය දර්ශනයෙන් නුදුරින් ඔවුන් පිහිටුවන ලදී. දිව්‍යමය සේදීමෙන් රත්‍රන් මෙන් පිරිසිදු කරන ලද පවිත්‍ර ආත්මයන් ඔවුන් අතරින් තෝරාගෙන, ශුද්ධලියවිල්ලේ අභ්‍යන්තර අබිරහස්මය ඉගැන්වීම් භාවිත කරමින්, පිටතින් වඩා විශාල කුලුනු සඳහා ආධාරක බවට පත් කරන අතර, අනෙක් අය ආලෝකය දෙසට විවරයන් මගින් ආලෝකවත් කරයි. ඔහු මුළු දේවමාළිගාවම එක් බලවත් දොරටුවකින් සරසා ඇත: එනම් අපගේ එකම දෙවියන් වහන්සේට සහ රජ්ජුරුවන් වහන්සේට කරන ප්‍රශංසාවයි, ක්‍රිස්තුස් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලෝකයේ ද්විතියික කදම්භවලින් පියාණන් වහන්සේගේ උත්තරීතර බලය දෙපසට විහිදුවන්නේය. ඉතිරි අය සම්බන්ධයෙන් ගත් කල, ව්‍යුහය පුරාවටම ඔහු මනුෂ්‍ය ආත්මයන්ගේ ජීවමාන සහ ආරක්ෂිත ගල් ඇතුළු කිරීමෙන් සෑම කෙනෙකු තුළම පවතින සත්‍යය පැහැදිලිව පෙන්වයි. මෙසේ ඔවුන්ගේ ආත්මයන් සහ මනස පමණක් නොව ඔවුන්ගේ ශරීරයන් පවා නිර්මලකමේ සහ ස්වයං සංයම බවේ බොහෝ මල් පිපුණු අලංකාර බවින් උත්කර්ෂයට නංවා ඇති බැවින්, ඔහු ඔවුන් සියල්ලන්ගෙන් පිරුණු ඇතුළත හා පිටත දීප්තියෙන් යුත් ශ්‍රේෂ්ඨ හා රාජකීය නිවසක් ඉදිකර ඇත.

මෙම දේව මාලිගයේ සිංහාසන සහ ගණන් කළ නොහැකි තරම් ආසන ද තිබේ. එනම් බොහෝ කලකට පෙර ශුද්ධ වූ ප්‍රේරිතයන් සහ ඔවුන්ගේ සගයින් මත බෙදී ගිය ගිනි දිව් ලෙස දර්ශනය වූවාක් මෙන් වූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා මත රැඳී සිටින ආත්මයන් වේ. ඔවුන් සියල්ලන්ගේම පාලකයා වන [පෝලිනස්] තුළ, සම්පූර්ණ ක්‍රිස්තුස්වහන්සේ වාසය කරන සේක. එසේම ක්‍රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ලබාගැනීමට එක් එක් පුද්ගලයාගේ තිබෙන හැකියාවට සමානුපාතිකව ඔහුට දෙවනුව සිටින අය තුළද එසේ වාසය කරන සේක. සමහරුන්ගේ ආත්මයන් ඉගැන්වීමට සහ එක් එක් අය ආරක්ෂා කිරීමට කැප වූ දේවදූතයන්ගේ ආසන විය හැකිය. ශ්‍රේෂ්ඨ හා අද්විතීය පූජාසනය සම්බන්ධයෙන් ගත් කල, එය සියල්ලන්ගේම පොදු පූජකයාණන් වහන්සේ වන [ක්‍රිස්තුස් වහන්සේගේ] නිකැළැල් අති ශුද්ධස්ථානය හැරුණුකොට එය අන් කුමක් විය හැකිද? එහි දකුණු පසින් සිටගෙන, විශ්වයේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයාණන් වහන්සේ වන යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේ, සියලු දෙනාගේම මිහිරි සුවඳවත් වූ සුවඳ දුම් සහ යාච්ඤාවන් ප්‍රීතියෙන් ලබාගෙන ඒවා ස්වර්ගීය පියාණන් වහන්සේ සහ විශ්වයේ දෙවියන් වහන්සේ වෙත ඉදිරිපත් කරන සේක. පියාණන් වහන්සේට නමස්කාර කරමින්, උන් වහන්සේට පමණක් ලැබිය යුතු ගෞරවය උන් වහන්සේ පිරිනමන අතර, සදහටම අපට හිතකර ලෙස පවතින පිණිස උන් වහන්සේගෙන් අයද සිටින සේක. 

විශ්වයේ ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන් වහන්සේ වන වාක්‍යාණෝ, තමන් වහන්සේගේ පියාණන් වහන්සේට ගෞරවය හා නමස්කාරය පිණිස ලොව පුරා ගොඩනඟා ඇති මහා දේවස්ථානය එබඳුය. එහෙත් අහසට ඉහළින් ඇති රාජධානිය සම්බන්ධයෙන් ගත් කල, එය හැඳින්වෙන පරිදි ඉහළින් ඇති යෙරුසලම, සහ ස්වර්ගීය සියොන් කන්ද සහ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මික නගරය, එනම් දේවදූතයන් සහ ස්වර්ගයට ඇතුළත් වූ පළමුවන සේනාවන් ඔවුන්ගේ මැවුම්කරුවාණන් වහන්සේට විස්තර කළ නොහැකි ප්‍රශංසාවක් පුද කරන ස්ථානය, – මේ පිළිබඳ කිසිම මරණීය අයෙකුට වටිනා ආකාරයෙන් ගායනා කළ නොහැකි වේ. මන්ද සැබවින්ම, දෙවියන් වහන්සේ තමන් වහන්සේට ප්‍රේම කරන අය සඳහා සූදානම් කර ඇති දේ “කිසි ඇසකට නොපෙනුණු සහ කිසිම කනකට නොඇසුණු ” (1 කොරින්ති 2.9) බැවිනි. මේ දේවල් සඳහා අර්ධ වශයෙන් සුදුසු යැයි සලකන, කුඩා හා ලොකු පිරිමි, ගැහැනු සහ දරුවෝ සියල්ලලෝම, එකම ආත්මයකින් යුක්තව, අපගේ සියලු ආශිර්වාදවල කතුවරයාණන් වහන්සේට සදාකාලික ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනමමු. උන් වහන්සේ අපගේ වැරදිවලට අනුකම්පා කරන සේක, අපගේ රෝග සුව කරන සේක, අපගේ ජීවිතය විනාශයෙන් මුදා ගන්නා සේක, දයානුකම්පාවෙන් අපට ඔටුනු පලඳවන සේක, යහපත් දේවලින් අපගේ ආශාවන් තෘප්තිමත් කරන සේක. උන් වහන්සේ අපගේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි කටයුතු නොකළ සේක. එහෙත් නැගෙනහිර බස්නාහිරෙන් දුරුව තිබෙන්නාක් මෙන්ම උන් වහන්සේ අපගේ අයුතුකම් අපගෙන් පහ කළ සේක. පියෙකු තම පුතුන්ට අනුකම්පා කරන්නාක් මෙන්, ස්වාමින් වහන්සේ තමා කෙරෙහි ගරුබිය ඇති අයට අනුකම්පා කළ සේක.”

දැන් සහ පැමිණෙන්නට තිබෙන සැම කාලයකදීම, අපි මේ දේවල් පිළිබඳ මතකය නැවත නැවතත් අවදි කරමු. වර්තමාන රැස්වීමේ කතුවරයාණන් වහන්සේ සහ මෙම ප්‍රීතිමත්, තේජාන්විත දවසේ කතුවරයාණන් වහන්සේ වන ස්වාමින් වහන්සේම – දිවා රෑ දෙකෙහිදීම, සෑම පැයකදීම සහ සෑම හුස්මක් තුළම අපගේ මනසෙහි සදාකාලිකව පවතින සේක්වා. අපගේ ආත්මයේ සියලු බලයෙන් අපි උන් වහන්සේට ගරු කරමු. දැන් අපි නැඟිට, උන් වහන්සේගේ ගාල තුළ අවසානය දක්වා අපට නවාතැන් දෙන ලෙස සහ ආරක්ෂා කරන ලෙසත්, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ උන් වහන්සේගේ සදාකාලික, නොබිඳිය හැකි සාමය අපට ලබා දෙන ලෙසත්, මහ හඬින් උන් වහන්සේට කන්නලව් කරමු. උන් වහන්සේ තුළින් සදාකාලයටම දෙවියන් වහන්සේට මහිමය වේවා! ආමෙන්.

අධිරාජ්‍යවරුන්ගේ නියෝග

5. ලතින් භාෂාවෙන් පරිවර්තනය කර ඇති කොන්ස්ටන්ටයින් සහ ලිසීනියස්ගේ අධිරාජ්‍යවරුන්ගේ ආඥාපනත් අපි මෙහි උපුටා දක්වමු.

ලතින් භාෂාවෙන් පරිවර්තනය කරන ලද අධිරාජ්‍යවරුන්ගේ ආඥාපනත්වල පිටපතක්

නමස්කාරයේ නිදහස ප්‍රතික්ෂේප කිරීමට නොව, එහෙත් සෑම කෙනෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබිය යුතු බවට අපි බොහෝ කලක සිට අභිප්‍රාය කළෙමුව. ඒ අනුව, කිතුනුවන්ට සහ [අනෙක් සියලු දෙනාටම] තමන්ගේම නිකායේ ඇදහිල්ලෙහි පැවතීමට හා නමස්කාර කිරීමට අවසර දිය යුතු බවට අප විසින් නියෝග ලබා දී තිබුණි. එහෙත් මෙම පුද්ගලයින් වෙතම එවැනි අයිතිවාසිකම් ලබා දී ඇති එම පිටපතට සියලු ආකාරයේ කොන්දේසි පැහැදිලිවම එකතු කර ඇති බැවින්, ඔවුන්ගෙන් සමහර අය ඉන් ටික කලකට පසුව එවැනි කාරණා පිළිපැදීමෙන් වැළකී සිටියා විය හැකිය.

ලිසීනියස් ඔගස්ටස් වන මම මිලානෝ වෙත පැමිණ, ප්‍රීතිමත් අනුග්‍රහය යටතේ කොන්ස්ටන්ටයින් ඔගස්ටස් සමග මහජන යහපතට අදාළ සියලු කරුණු සාකච්ඡා කරමින් සිටියෙමු. එහිදී පොදු ජනතාවගේ සුබසාධනයට ප්‍රතිලාභ සැලසෙන අනෙකුත් කරුණු අතර, නොඑසේ නම් ඔවුන්ගේ ඉහළම ප්‍රමුඛතා ප්‍රශ්න ලෙස, දෙවියන් වහන්සේට ගෞරවය සහ ගරුබිය සහතික කෙරෙන එවැනි නියෝග නිකුත් කිරීමට අපි තීරණය කළෙමු. එනම්, පවතින සියලුම දිව්‍යමය හා ස්වර්ගීය බලයන් අපට සහ අපගේ අධිකාරිය යටතේ ජීවත්වන සියලු දෙනාට හිතකර වන පරිදි, කිතුනුවන්ට සහ අනෙකුත් සියලුම දෙනාට ඔවුන් කැමති ඕනෑම නමස්කාර ක්‍රමයක් අනුගමනය කිරීමට නිදහස ලබා දීමයි. එබැවින්, යහපත් සහ විචක්ෂණශීලී තර්කනයකින් අප ගත් තීරණය මෙයයි: කිතුනු නමස්කාරයේ හෝ පිළිවෙත් හෝ පිළිපැදීමේ ක්‍රමය අනුගමනය කිරීමට හෝ තෝරා ගැනීමට කිසිවෙකුට ඇති අයිතිය කිසිසේත්ම ප්‍රතික්ෂේප නොකළ යුතුය. තවද සෑම කෙනෙකුටම තමාට සුදුසු යැයි සිතන එම නමස්කාර ක්‍රමයට තම මනසෙහි කැමැත්ත ලබා දීමට අයිතිය ලබා දිය යුතුය. එවිට දෙවියන් වහන්සේ සෑම දෙයකදීම උන් වහන්සේගේ සුපුරුදු සැලකිල්ල සහ ත්‍යාගශීලී බව අපට පෙන්වනු ඇත. ක්‍රිස්තියානි අය පිළිබඳ අධිරාජ්‍යයා වෙත කලින් යවන ලද ලිපියේ සියලු කොන්දේසි අවලංගු කර, මෙම ආඥාව යැවීම සුදුසු මෙන්ම එය අපගේ සතුට වේ. අසාධාරණ සහ අපගේ කරුණාවට ආගන්තුක යැයි පෙනෙන ඕනෑම දෙයක් ඉවත් කළ හැකි අතර, දැන් කිතුනුවන්ගේ නමස්කාර ක්‍රමය පැවැත්වීමට කැමති සෑම කෙනෙකුටම කිසිදු බාධාවකින් තොරව එය සිදු කිරීමට අවසර දිය යුතුය.

 අපි මෙම ක්‍රිස්තියානි අයට ඔවුන්ගේම නමස්කාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නිදහස සහ අසීමිත අවසරයක් ලබා දී ඇති බව ඔබට දැන ගැනීමට හැකි වන පරිදි, අධිරාජ්‍යයාණෙනි, ඔබට මෙය ඉතා හොඳින් පැහැදිලි කිරීමට අපි තීරණය කළෙමු. අධිරාජ්‍යයාණෙනි, අපි ඔවුන්ට මෙම අවසරය අසීමිත ලෙස ලබා දී ඇති බව ඔබ සැලකිල්ලට ගන්නා විට, අපගේ කාලයේ සන්සුන්භාවයට අනුකූලව පැහැදිලිවම යමක් කළ බව – අන් අයටද ඔවුන් කැමති වන ආකාරයේ නමස්කාර ක්‍රමයක් පැවැත්වීමට හා පිළිපැදීමට අවසර ලබා දී ඇති බව ඔබ තේරුම් ගනු ඇත. එබැවින් සෑම කෙනෙකුටම තමා කැමති වන ඕනෑම ආකාරයක තෝරා ගැනීමක් සිදු කිරීමට සහ භාවිත කිරීමට බලය තිබෙනු ඇත. අප එසේ කළේ කිසිදු චාරිත්‍රයක් හෝ නමස්කාර ක්‍රමයක් කිසිදු අයුරකින් අප විසින් හෑල්ලු වට ලක් නොකිරීම පිණිසය.

කිතුනුවන් සම්බන්ධයෙන් ගත් කල, අධිරාජ්‍යයාණෙනි, ඔබ වෙත යවන ලද පෙර ලිපියේ, ඔවුන්ගේ රැස්වීම් පවත්වන ස්ථාන සම්බන්ධයෙන් නිශ්චිත උපදෙස් නිකුත් කර ඇත. යමෙකු අපගේ භාණ්ඩාගාරයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් මෙම ස්ථාන මිලදී ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ නම්, ඔවුන් ඒවා ගෙවීමකින් හෝ වන්දි ඉල්ලීමකින් තොරව මෙම කිතුනුවන්ටම නැවත ලබා දිය යුතුය. එසේම එය පැහැර නොහැර මෙන්ම පැකිලීමකින් තොරව සිදු කිරීමට අපි තවදුරටත් තීරණය කරමු. යමෙකුට ඒවා තෑග්ගක් ලෙස ලැබී තිබුණේ නම්, ඔවුන් එම ස්ථාන මිලදී ගත් අය හෝ අපගේ අධිරාජ්‍යයාගෙන් තෑග්ගක් ලෙස තමාට එම ස්ථානය ලැබුණු අය, ඔවුන් දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයාට යොමු කළ යුතුය. ඔවුන් ඒවා එම කිතුනුවන්ටම ප්‍රමාදයකින් තොරව නැවත ලබා දිය යුතුය. එසේ කිරීමෙන් අපගේ කරුණාවෙන් ඔවුන්ටද ප්‍රයෝජන ලැබෙනු ඇත. මෙම සියලු දේපළ ඔබේ පැත්තෙන් ජ්වලිත ක්‍රියාවෙන් සහ ප්‍රමාදයකින් තොරව වහාම කිතුනුවන්ගේ ශරීරයට භාර දිය යුතුය.

මෙම කිතුනුවන්ටම ඔවුන්ගේම රැස්වීම් ස්ථාන අයිතිව තිබුණා පමණක් නොව, තනි පුද්ගලයන්ට නොව කිතුනුවන්ගේ එකමුතුවට අයත් වෙනත් ස්ථානද තිබූ බව දන්නා බැවින්, එවන් වූ සියලුම ස්ථාන ඉහත නීතියේ විධිවිධාන යටතේ, ඔබ විසින් කිසිදු ප්‍රශ්නයකින් තොරව එම කිතුනුවන් හටම ප්‍රතිසංස්ථාපනය කර නැවත ඔවුන්ට ලබා දීමට නියෝග කරනු ලැබේ. එනම්, ඔවුන්ගේ සංස්ථාව සහ සමාගම් කුමක් වූවත් ඉහත සඳහන් කළ පරිදි වන්දි ගෙවීමකින් තොරව ඒවා ප්‍රතිස්ථාපනය කරන අයට අපගේ ත්‍යාගශීලීභාවයෙන් ඔවුන්ගේ පාඩුවට වන්දි ගෙවීමට උත්සාහ කළ හැකි බව නියෝග කරමුව. 

මේ සියලු කාරණාවලදී ඔබ ඉහත කී කිතුනුවන්ගේ සමාගම වෙනුවෙන් හැකි සෑම උත්සාහයක්ම යෙදිය යුතුය. එසේ කිරීම මගින් අපගේ ආඥාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව, මෙහිදී අපගේ කරුණාව පොදු මහජන සාමය ප්‍රවර්ධනය කරනු ඇත. මේ ආකාරයෙන්, පෙර සඳහන් කළ පරිදි, අප පෙර අවස්ථා ගණනාවකදී දැන සිටි දිව්‍යමය සැලකිල්ල අප තුළ ස්ථිරව පවතිනු ඇත. එසේම අපගේ ත්‍යාගශීලී බව සහ පනත් කෙටුම්පත සියලු දෙනාටම දැන ගැනීමට හැකි වන පරිදි, අප විසින් ලියා ඇති දේ ඔබේ නියෝගයෙන් ප්‍රකාශ කර, සෑම තැනකම ප්‍රකාශයට පත් කර, සියලු දෙනාගේ අවධානයට යොමු කළ යුතුය. එවිට අපගේ ත්‍යාගශීලීභාවය ඇතුළත් පනත කිසිවෙකුගේ අවධානයට ලක් නොවී නොපවතිනු ඇත.

කතෝලික සභාවට පමණක් අනුග්‍රහය ලබා දී ඇති බව පෙන්වමින් නිකුත් කරන ලද වෙනත් අධිරාජ්‍ය ප්‍රඥප්තියක පිටපතක්

අපගේ ගෞරවනීය අනුලිනස් වෙත සුබ පැතුම්. අපගේ කාරුණිකත්වයට අනුකූල වෙමින්, අනෙකාට අයිතිවාසිකම් මගින් අයිති ඕනෑම දෙයකට හානියක් නොවනවාට පමණක් නොව ඒවා ප්‍රතිස්ථාපනය කර නැවත ලබා දිය යුතු බවට අපි ආශා කරමු. එබැවින් මෙම සභාවලටම අයත්ව තිබූ ඕනෑම දෙයක් සාධාරණ ලෙස ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවට අප තීරණය කර ඇති බැවින්, ඔබට මෙම ලිපිය ලැබුණු පසුව, කිතුනුවන්ගේ කතෝලික දේවස්ථානයට අයත්ව තිබූ කිසියම් නගරයක හෝ ප්‍රදේශයක තිබූ යම් දේපළක් දැන් වෙනත් පුරවැසියෙකුගේ හෝ වෙනත් කෙනෙකුගේ සන්තකයේ තිබේ නම්, ඒවා මෙම සභාවලටම ඉතාම ඉක්මනින් නැවත ලබා දීමට කටයුතු කිරීම අපගේ ප්‍රාර්ථනාවයි. එසේ ඒවා එම සභාවලටම වහාම ප්‍රතිසංස්කරණය කළ යුතුය. එබැවින්, අධිරාජයාණෙනි, අපගේ මෙම නියෝගයේ අභිප්‍රාය ඉතා පැහැදිලි බව ඔබට පෙනෙන බැවින්, මෙම සභාවලටම අයත්ව තිබූ උද්‍යාන, ගොඩනැගිලි හෝ ඕනෑම දෙයක් – හැකි ඉක්මනින් ඔවුන්ට ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඔබ උනන්දුවෙන් වග බලා ගත යුතුය. එසේ කිරීම මගින් අපගේ මෙම විධානය සමග ඔබ වඩාත් ප්‍රවේශමෙන් අනුකූල වීම ගැන අපට දැනගත හැකි වනු ඇත. වඩාත්ම ගෞරවනීය සහ ගෞරවනීය අනුලිනස්ගෙන් සමුගනිමු.

සභාවල එකමුතුකම සහ ඒකත්වය උදෙසා රෝමයේ පැවැත්වීමට නියමිත රදගුරුවරුන්ගේ එකමුතුව (සිනොඩය) නියම කරන අධිරාජ්‍ය ලිපියක පිටපතක්

කොන්ස්ටන්ටයින් ඔගස්ටස් වෙතින් රෝමයේ රදගුරු වන මිල්ටියාඩ්ස් සහ මාර්ක් වෙත. අප්‍රිකාවේ කීර්තිමත් ආණ්ඩුකාරයා වන අනලිනස් විසින් මා වෙත එවන ලද බොහෝ ලියකියවිලි සැලකිල්ලට ගනිමින්, කාර්තේජ්හි රදගුරු වන සිසිලියන් හට අප්‍රිකාවේ සිටින ඔහුගේ සමහර සගයන් විසින් බොහෝ වාර්තා සම්බන්ධයෙන් චෝදනා කරන බව පෙනෙන්නට ඇත. එය ඉතා බරපතල කාරණයක් ලෙස මම සලකමි. එම පළාත්වල එම දිව්‍යමය දේවසේවය මගේ අධිරාජ්‍යයා හට භාර දී ඇති බව සහ විශාල පිරිසක් සිටින ස්ථානයක් ලෙස, බොහෝ පිරිසක් බෙදී යාමේ වැරදි මාර්ගයක් ගන්නා බව දැනගත යුතුය. එසේම රදගුරුවරුද එකිනෙකා අතර බෙදීම් ඇති කරගෙන සිටිති. සිසිලියන්ද, ඔහුට චෝදනා කරන රදගුරුවරුන් දස දෙනෙකු සහ ඔහුගේ නඩුවට අවශ්‍ය යැයි ඔහු සිතන තවත් දස දෙනෙකු සමගින් රෝමය බලා යාත්‍රා කිරීම යහපත් යයි මට පෙනේ. එහිදී මේ කාරණය සඳහා රෝමයට ඉක්මනින් පැමිණීමට මා යොමු කළ ඔබ සහ ඔබේ සගයන් වන රෙටිසියස්, මාටර්නස් සහ මැරිනස් ඉදිරියේ අති පූජනීය නීතියට අනුකූල යැයි ඔබ සිතන ක්‍රියා පටිපාටියක් හරහා ඔහුට නඩු විභාගයක් ලබා දිය හැකිය. මේ සියලු කරුණු පිළිබඳ ඔබට සම්පූර්ණ තොරතුරු දැන ගැනීමට එවිට හැකි වන පරිදි, මම අනලිනස් විසින් මා වෙත එවන ලද වාර්තාවල පිටපත් මගේ ලිපිවලට අමුණා ඇති අතර, ඒවා ඉහත සඳහන් කරන ලද ඔබේ සගයන් වෙතද යවා ඇත්තෙමි. අධිරාජ්‍යයාණෙනි, ඔබ ඒවා කියවූ විට, සාධාරණ තීන්දුවක් ලබා ගැනීම සඳහා ඉහත සඳහන් කළ නඩුව වඩාත් පරිස්සමින් විමර්ශනය කරන්නේ කෙසේදැයි ඔබේ ස්ථාවරය තීරණය කරනු ඇත. මන්ද අධිරාජ්‍යයාණෙනි, ඔබ හොඳින් දන්නා පරිදි, නීත්‍යනුකූල කතෝලික සභාව කෙරෙහි මගේ ගෞරවය කෙතරම්ද යත්, . ඕනෑම තැනක ඕනෑම ආකාරයක බෙදීමක්, භේදයක් ඇති වීම මට අවශ්‍ය නොවේ. ගෞරවනීය මහත්වරුනි, උතුම් වූ දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලය ඔබ වසර ගණනාවක් පුරා ආරක්ෂා කරන සේක්වා.

රදගුරුවරුන් අතර ඇති සියලුම බෙදීම් සුව කිරීම සඳහා දෙවන රදගුරුවරුන්ගේ එකමුතුවක් (සිනොඩයක්) පැවැත්වීමට නියෝග කරන අධිරාජ්‍ය ලිපියක පිටපතක්

කොන්ස්ටන්ටයින් ඔගස්ටස් වෙතින් සිරාකූස්හි රදගුරු වන ක්‍රෙස්ටස් වෙත. කලින් අවස්ථාවක නින්දා සහගත සහ විකෘති චේතනාවන් නිසා ඇතැමුන් ශුද්ධ වූ සහ ස්වර්ගීය බලයට සහ කතෝලික ආගමට නමස්කාර කිරීම සම්බන්ධයෙන් බෙදීම් ඇති කිරීමට හේතු වූ විට, ඔවුන් අතර එවැනි මතභේද අඩු කිරීමට මම අදහස් කළෙමි. සමහර රදගුරුවරුන් ගෝල්වලින් එවිය යුතු බවත්, මුරණ්ඩු ලෙස රණ්ඩු වන විරුද්ධ පාර්ශ්වයන් අප්‍රිකාවෙන් ගෙන්වා ගත යුතු බවත්, රෝමයේ රදගුරුතුමාද එහි සිටින ලෙසත් මම නියෝග කළෙමි. එවිට ඔවුන්ගේ සෑම විශේෂ කාරණයක්ම හොඳින් පරීක්ෂා කර බැලීමෙන් ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා දීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, එය සිදු වූ පසුව, ඇතැමෙකුට ඔවුන්ගේම ගැලවීම සහ ඔවුන්ගේ අතිශුද්ධ වූ ආගමට ඇති ගෞරවය යන දෙකම අමතක වී ඇති අතර ඔවුන්ගේ පෞද්ගලික සතුරුකම් පෝෂණය කිරීම මේ වන විට පවා නතර කර නැත. පුද්ගලයන් කිහිප දෙනෙකු පමණක් තම මත හා අදහස් ඉදිරිපත් කළ බව පවසමින් හෝ සියලු කරුණු හොඳින් විමර්ශනය නොකර තීන්දුවක් දීමට ඔවුන් මහත් සේ ඉක්මන් වූ බව පවසමින් ඔවුහු දැනටමත් ලබා දී ඇති තීන්දුව පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සහෝදර එකඟතාවයෙන් එකමුතු විය යුතු මිනිසුන්ම නින්දිත, නැත, පිළිකුල් සහගත ලෙස එකිනෙකාගෙන් වෙන් වී ඇත. එසේ කිරීමෙන් මෙම අතිශුද්ධ වූ ආගමට ආගන්තුකයන්ට සමච්චල් කිරීමට පූර්ව නිමිත්තක් සපයති. එබැවින් දැනටමත් සම්මත වී ඇති තීන්දුවෙන් පසුව ස්වේච්ඡා එකඟතාවයකින් අවසන් කළ යුතුව තිබූ දේ, හැකි නම්, බොහෝ පුද්ගලයන් ඉදිරියේදී එකවරක් තීන්දුවටම විසඳා ගැනීමට කටයුතු කිරීමට මම බැඳී සිටියෙමි.

එබැවින්, බොහෝ ස්ථානවලින් රදගුරුවරුන් විශාල ප්‍රමාණයකට අගෝස්තු මාසයේ [පළමුවන දා] කැලෙන්ඩ්ස් අසල පිහිටි ආර්ල්ස් වෙත රැස් වන ලෙස අපි අණ කර ඇත්තෙමු. එය ඔබටත් ලියා යැවීම හොඳ යැයි අපි සිතුවෙමු. ඔබ සිසිලියේ නිවැරදිකරු වන කීර්තිමත් ලැට්‍රෝනියන් වෙතින් පොදු කරත්තයක් ලබාගෙන, ඔබ කැමති පරිදි දෙවන ශ්‍රේණියේ [වැඩිමහල්ලන්] වන තවත් දෙදෙනෙකු ඔබේ සමාගමට එක් කරගත යුතුය. ගමනේදී ඔබ රැක බලාගැනීමට හැකි සේවකයන් තිදෙනෙකු රැගෙන, ඉහත නම් කර ඇති ස්ථානයට එම දිනයේදී පැමිණෙන්න. ඔබගේ සහ රැස් වූ අන් අයගේ ඒකාබද්ධ ප්‍රඥාවෙහි ඒකාබද්ධ බව යන දෙකම මගින්, ඉතා නින්දිත හා දුක්ඛිත ලෙස දිගු වූ මෙම ආරවුල විසඳිය හැකිය – කෙසේ වෙතත්, ප්‍රමාද වී, සියල්ලන්ගේම කාරණා අසා, සැබෑ ආගම, ඇදහිල්ල සහ සහෝදර එකඟතාවයෙන් ප්‍රතිස්ථාපනය විය හැකිය. එකිනෙකා සමග අමනාපයෙන් සිටින අයටද එහි පැමිණෙන ලෙස අණ කර ඇත. සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබට වසර ගණනාවක් නිදුක් නිරෝගී සුවයෙන් සිටීමට සලස්වන සේක්වා. 

සභාවලට මුදල් ප්‍රදානය කරන අධිරාජ්‍ය ලිපියක පිටපතක්

6. කොන්ස්ටන්ටයින් ඔගස්ටස් වෙතින් කාර්තේජ් රදගුරු සිසිලියන් වෙත. අප්‍රිකාව, නුමිඩියාව සහ මොරේටානියා යන සියලුම පළාත්වල නීතිමය හා ශුද්ධ වූ කතෝලික ආගමේ නිශ්චිත දේව සේවකයින් වියදම් සඳහා යම් දායකත්වයක් ලබා ගැනීම අපගේ සතුටට කරුණක් බැවින්, මම අප්‍රිකාවේ මූල්‍ය සම්බන්ධ වඩාත් ප්‍රමුඛතම නිලධාරියා වන උර්සුස් වෙත ලිපියක් යවමින්, රදගුරුවරයාට ෆොල්ලා (මුදල් ඒකකය) තුන්දහසක් ගෙවන ලෙස නියෝග කර ඇත්තෙමි. ඔබට මෙම මුදල ලැබුණු පසුව, හෝසියස් විසින් ඔබට එවන ලද කාලසටහනට අනුව එය ඉහත නම් කර ඇති සියලුම පුද්ගලයින් අතර බෙදා හැරීමට ඔබ විසින් කටයුතු කළ යුතුය. පසුව ඔවුන් සම්බන්ධයෙන් මගේ අභිප්‍රාය ඉටු කිරීමට ඔබට කිසිවක් නොමැති බව ඔබට පෙනී ගියහොත්, ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සඳහා අපගේ ආණ්ඩුකාරවරයා වන හෙරක්ලයිඩ්ස්ගෙන් ඒවා ඉල්ලීමට පසුබට නොවන්න. රදගුරුතුමනි, ඔබ ඔහුගෙන් යම් මුදලක් ඉල්ලා සිටියහොත් එය ප්‍රශ්න කිරීමකින් තොරව භාර දෙන ලෙස ඔහු මෙහි සිටින විට මම ඔහුට නියෝග කළෙමි.

අස්ථායී මානසිකත්වයකින් යුතු ඇතැම් අය ඔවුන් මෙහි සිටින විට නොමනා පෙලඹවීම් මගින් කතෝලික සභාවේ ගිහියන් නොමඟ යැවීමට උත්සුක වන බව මා දැනගත් බැවින්, විශේෂයෙන්ම මේ කාරණයේදී ඔවුන් එවැනි සිදුවීම් නොසලකා හැරිය යුතු නොවන බවට ආණ්ඩුකාරවරයා සහ සීසර් (Patricius) මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ පූජකයා වන අනුලිනස් හට මම උපදෙස් දුනිමි. එම නිසා, එවැනි මිනිසුන් මෙම පිස්සුවෙහි දිගටම පවතින බව ඔබ දුටුවහොත්, ඔවුන් මෙහි සිටින විට මා ඔවුන්ට උපදෙස් දුන් පරිදි, මෙම පුද්ගලයින් ඔවුන්ගේ වැරදිවලින් නැවත හරවා ගත හැකි වන පරිදි ඉහත සඳහන් කළ විනිසුරුවන් ඉදිරියට මේ කාරණය ඉදිරිපත් කිරීමට ඔබ පසුබට නොවිය යුතුය. උතුම් දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලය වසර ගණනාවක් ඔබ ආරක්ෂා කරන සේක්වා. 

සභාවල ප්‍රධානීන් සියලු මහජන රාජකාරිවලින් නිදහස් කරන ලෙසට නියෝග කරන අධිරාජ්‍ය ලිපියක පිටපතක්

7. අපගේ ගෞරවනීය අනුලිනස් හට සුබ පැතුම්.

ඉහළම ගෞරවය ලැබිය යුතු අති පූජනීයත්වය සඳහා, ස්වර්ගීය [බලය] සඳහා වෙන් කර ඇති ආගමික නමස්කාරය කෙලෙසීමෙන් මහජන කටයුතු විශාල වශයෙන් අනතුරේ හෙළනු ලැබ ඇති බවත්, එසේම ආගමික නමස්කාරය නීත්‍යනුකූල ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සංරක්ෂණය කිරීම මගින් රෝම නාමයට විශාලතම වාසනාව ලැබී ඇති බවත්, එමගින් සියලු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අසාමාන්‍ය සමෘද්ධිය – දිව්‍යමය කරුණා අනුග්‍රහයෙන් පිරිනමන ලද ආශීර්වාද ලැබී ඇති බවත් බොහෝ කරුණුවලින් සනාථ වී ඇත. එබැවින් අති ගෞරවනීය අනුලිනස්, මෙම නීතියට අනුව නිසි පරිදි විශුද්ධිභාවයෙන් හා වතාවත් පිළිපැදීමෙන් යුක්තව දිව්‍යමය නමස්කාරය සඳහා තම සේවය ලබා දෙන මිනිසුන්ට තම ශ්‍රමයේ විපාකය ලැබිය යුතු බව පෙනෙන්නට තිබේ. එම නිසා, සිසිලියන් නායකත්වය දරන, ඔබේ පළාතේ තිබෙන කතෝලික සභාවල සිටින, මෙම පූජනීය නමස්කාරයට තම සේවාවන් කැප කරන අය – ඔවුන් චාරිත්‍රානුකූලව පූජකයන් ලෙස හඳුන්වන අය – එක් වරක් සහ සම්පූර්ණයෙන්ම සියලු පොදු රාජකාරිවලින් නිදහස් විය යුතු වීමට මම කැමත්තෙමි. එවිට ඔවුන් පූජාවකින් දේවත්වයට කළ යුතු නමස්කාරයෙන් කිසියම් වරදකින් ඈත් නොවනු ඇත. ඒ වෙනුවට ඔවුන්ගේම නීතියට අනුව නිර්මාණාත්මක බවින් යුතුව දැඩි ලෙස සේවය කරනු ඇත. එසේ කරමින් දෙවියන් වහන්සේට සම්පූර්ණ සේවයක් ඉටු කිරීමේදී, ඔවුන් පැහැදිලිවම රාජ්‍ය කටයුතු සඳහා අතිමහත් ප්‍රතිලාභ ලබා දෙනු ඇත. අපගේ ගෞරවනීය සහ ගෞරවනීය අනුලිනස්. සමුගනිමි.

ලිසීනියස්ගේ අඥානකම සහ ඉරණම

8. එසේ නම්, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ පෙනී සිටීමෙන් අපට ලබා දුන් දිව්‍යමය සහ ස්වර්ගීය කරුණාව එබඳු විය. එසේම සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා සාමය විසින් සලසන ලද යහපත් දේවල බහුලත්වය එතරම්ම විශාල විය. එසේ අපි අපේ සතුට ප්‍රීතිමත් උත්සව පවත්වමින් සැමරුවෙමු. එහෙත් යහපතට ද්වේෂ කරන ඊර්ෂ්‍යාව, නපුරු දෙයට ප්‍රිය කරන යක්ෂයාට එම දර්ශනය දරාගත නොහැකි වූ අතර, ඉහතින් සඳහන් කළ [මැක්සෙන්ටියුස් සහ මැක්සිමින්] කුරිරු පාලකයන්ගේ ඉරණම ලිසීනියස් තුළ හැඟීමක් ඇති කිරීමට ප්‍රමාණවත් නොවීය. මහා කොන්ස්ටන්ටයින්ට දෙවනුව, ඔහු සමෘද්ධිමත් කාලයක අධිරාජ්‍යත්වයෙන් ගෞරවාදරයට පාත්‍ර වූ අතර, මෙම උසස්ම පුද්ගලයා වීම උදෙසා ඔහු විවාහයෙන් ඥාතියෙකු බවට පත් විය. එහෙත් ඔහු යහපත් මිනිසුන්ගේ ආදර්ශය අත්හැර දුෂ්ට පාලකයන්ගේ දුෂ්ට අඥානකම අනුකරණය කළේය. එසේ තම උසස් පුද්ගලයා සමග මිත්‍රත්වයෙන් හා ගෞරවයෙන් සිටීමට වඩා තමාගේම දෑසින් ඔවුන්ගේ අවසානය දුටු අයගේ ආදර්ශය අනුගමනය කිරීමට කැමති විය. පොදු අනුග්‍රහය දක්වන්නා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පිරුණු ඔහු ස්වභාවධර්මයේ නීතිවලට, දිවුරුම් දුන් ගිවිසුම්වලට, ලේ බැඳීම්වලට හෝ ප්‍රතිඥාවලට ගරු නොකර ඔහුට එරෙහිව අශුද්ධ සහ සම්පූර්ණ යුද්ධයක් සිදු කළේය. කොන්ස්ටන්ටයින් සම්බන්ධයෙන් ගත් කල, ඔහු සර්ව කරුණාවන්ත අධිරාජ්‍යයෙකු වූ අතර, ඔහුට යහපත් දේවල සැබෑ සංකේත ලබා දී ඇති අතර, ඔහු සමග ඥාතිත්වයට අකැමැති නොවී හෝ ඔහුගේ සහෝදරිය සමග දීප්තිමත් සම්බන්ධතාවයක් ප්‍රතික්ෂේප නොකර එය සිදු කළේය. ඒ වෙනුවට, ඔහුගේ මුතුන් මිත්තන්ගේ වංශවත්භාවය සහ ඔහුට උරුම වූ අධිරාජ්‍යයේ රුධිරය බෙදා ගැනීමට සිතුවේය. මස්සිනා සහ හවුල් අධිරාජ්‍යයෙකු ලෙස, ස්වෛරී බලයේ කොටසක් සහ රෝම පාලනය යටතේ ඇති ඉඩම්වල සමාන පාලනයක් ඔහුට පිරිනැමීමට ඔහු සිතුවේය.

කෙසේ වෙතත්, ලිසිනියස් හැසිරුණේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයටය: දිනෙන් දින 317-3: ඔහු තම උසස් නිලධාරියාට විරුද්ධව නපුරු දේවලින් ප්‍රතිඵල දීමට එකකට පසුව එකක් ලෙස සැලසුම් නිර්මාණය කරමින් ඔහුට එරෙහිව සැලසුම් දියත් කළේය. මුලදී ඔහු තම කුමන්ත්‍රණ සැඟවීමට උත්සාහ කළ අතර ද්‍රෝහිකමෙන් සහ වංචාවෙන් තම ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂාවෙන් මිතුරෙකු ලෙස පෙනී සිටියේය. එහෙත් දෙවියන් වහන්සේ කොන්ස්ටන්ටයින්ගේ මිතුරා, ආරක්ෂකයා සහ භාරකරුවා බවට පත් වී ඔහු රහසිගතව සැලසුම් කරන ලද කූටෝපායන් එළිදරව් කර ඔවුන් කලකිරීමට පත් කළ සේක. එවැනි බලයට සතුරාගෙන් බේරීමට සහ තමන්ගේම දෑ ආරක්ෂා කර ගැනීමට දේව භක්තියේ මහා ආයුධය ඇත. එසේ ආරක්ෂා කරනු ලැබ, දෙවියන් වහන්සේගෙන් වඩාත්ම ආදරය ලැබූ අපේ අධිරාජ්‍යයා, මෙම කුප්‍රකට කුමන්ත්‍රණකරුවාගේ කුමන්ත්‍රණ මග හැරියේය. ඔහුගේ රහසිගත කුමන්ත්‍රණ සැලැස්මට අනුව සිදු නොවන බව ඔහු දුටු විට දෙවියන් වහන්සේ තම ආදරණීය අධිරාජ්‍යයාට සෑම උපක්‍රමයක්ම සහ උපද්‍රවයක්ම එළිදරව් කරනු ඔහු දුටු විට – ඔහුට තවදුරටත් සැඟවීමට නොහැකිව විවෘතවම යුද්ධ කළේය. කොන්ස්ටන්ටයින් සමග සටන් කිරීමට තීරණය කිරීමේදී, ඔහු ඒ වන විටත් [ඔහුගේ ප්‍රතිවාදියා] නමස්කාර කරන බව ඔහු දැන සිටි විශ්වයේ දෙවියන් වහන්සේ සමගද සටනට වේගයෙන් දිව ගියේය. එම නිසා ඔහු ඔහුගේ දේවභක්තික යටත්වැසියන් තම පාලනයට කිසි විටෙක ද්‍රෝහිකමක් නොපෙන්වා තිබුණද, ඔහුගේ දේවභක්තික යටත්වැසියන්ට එරෙහිව ප්‍රථමයෙන් නිහඬව සහ සූක්ෂ්ම ලෙස ප්‍රහාරයක් සැලසුම් කළේය. ඔහු එසේ කළේ ජන්ම දූෂණයක් මගින් ඔහු දරුණු අන්ධභාවයක් ඇති කළ නිසා ඔහු ඉදිරියේ කිතුනුවන්ට පීඩා කළ අය සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසා ඔහු විසින්ම විනාශ කළ අය සම්බන්ධයෙන් හෝ මතකය ඔහුගේ ඇස් ඉදිරිපිටට නොපැමිණි බැවිනි. විචක්ෂණශීලීත්වයේ සහ තර්කයේ මාර්ගයෙන් ඉවතට හැරී, ඔහු සම්පූර්ණයෙන්ම උමතු වී, ආරක්ෂා කරන ලද කොන්ස්ටන්ටයින් වෙනුවට, කොන්ස්ටන්ටයින්ගේ ආරක්ෂකයා වූ දෙවියන් වහන්සේට එරෙහිව යුද්ධ කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.

පළමුවෙන්ම, දුප්පත් අඥානයා වූ ඔහු සෑම කිතුනුවෙකුම තම නිවසින් නෙරපා හරිමින්, ඔහු වෙනුවෙන් සහ සියල්ලන් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාච්ඤාවන් කිරීමට ඔවුන්ගේ පියවරුන් උගන්වා ඇති අය සියලු දෙනා ඔවුන්ගේ නිවෙස්වලින් නෙරපුවේය. ඊළඟට, සැම නගරයකම සිටින සොල්දාදුවන් යක්ෂයන්ට පූජා කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් වෙන් කර ඔවුන්ගේ නිලයෙන් ඉවත් කරන ලෙසට ඔහු අණ කළේය.

එහෙත් වඩාත් දැඩි පියවරයන් සමග සසඳන විට මේවා සුළු ඒවා විය. මෙම දෙවියන් වහන්සේට වෛර කරන පුද්ගලයාගේ ක්‍රියාවන් එකින් එක සඳහන් කිරීම නැතහොත් මෙම නීති විරෝධී මිනිසුන් විසින් නීති විරෝධී නීති සකස් කරන ලද ආකාරය සඳහන් කිරීම අවශ්‍ය නොවේ. සිරගෙවල්වල දුක් විඳින අයට කෑම දීමෙන් ඔවුන්ට මානුෂීය ලෙස සැලකීම හෝ කුසගින්නෙන් පෙළෙන දම්වැල්වලින් බැඳ සිටින අයට අනුකම්පා කිරීම හෝ නොකළ යුතු බවට ඔහු සැබවින්ම නියෝග කළේය. අසල්වාසීන්ට අනුකම්පා කිරීමට ස්වාභාවික නැඹුරුවක් ඇති වුවද, කිසිවෙකු කිසිම ආකාරයක කරුණාවක් දැක්වීමට සිටියේ නැත. ඔහුගේ නීති අතුරින්, සෑම ශිෂ්ට හැඟීමක්ම යටපත් කරන එක් නීතියක් ඉතාම නිර්ලජ්ජිත හා කුරිරු විය: එනම් අනුකම්පා කරන අය, ඔවුන් අනුකම්පා කළ අය හා සමාන දඬුවමක් විඳිය යුතු බවත්, මානුෂීය ආධාර ලබා දුන් අය දම්වැල්වලින් බඳින ලදුව ඔවුන්ද එසේ දඬුවම විඳ දරාගන්නා අයගේ දඬුවම බෙදා ගැනීමට සිරගත කරගත කළ යුතු බවත් එහි සඳහන් විය. ලිසීනියස්ගේ අණපනත් එබඳු විය.

විවාහය සම්බන්ධයෙන් හෝ මේ ජීවිතය හැර ගිය අය සම්බන්ධයෙන් ඔහුගේ නවෝත්පාදනයන් හෝ ඔහුගේ විප්ලවීය වෙනස්කම් මා ලැයිස්තුගත කිරීම අවශ්‍යද? ඔහු ඉපැරණි සහ හොඳින් පදනම් වූ රෝම නීති අවලංගු කිරීමට තරම් නිර්භීත වූ අතර, ඒවා වෙනුවට ම්ලේච්ඡ, ශිෂ්ට නොවන සහ සැබවින්ම නීති විරෝධී වූ සමහර නීති ඇති කළේය. ඔහුගේ යටත් වැසියන්ට හානි වන ආකාරයේ තක්සේරු කිරීම්, එනම් රන් රිදී සඳහා බොහෝ ඉල්ලීම්, ඉඩම් නැවත තක්සේරු කිරීම් සහ ගම්බද වැසියන්ට දඩ මුදල් ගෙවීම් සිදු කිරීම, ජීවත් වන අයට පමණක් නොව මිය ගොස් බොහෝ කලක් ගත වූ අයට පවා දඩ ගෙවීමට නියම කළේය. එසේම මනුෂ්‍ය සංහතියට එරෙහි වූ මේ ද්‍රෝහියා පිටුවහල් කළ අහිංසකයින් විය. ඔහු වංශාධිපතියන් සහ ගෞරවනීය මිනිසුන් අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගේ විවාහක භාර්යාවන් ඔවුන්ගෙන් වෙන් නොට ඔවුන්ට නින්දා සහ අපහාස කිරීම සඳහා ඔහුගේ නිවසේ සමහර නපුරු සාමාජිකයන්ට භාර දුන්නේය. බොහෝ විවාහක කාන්තාවන් සහ අවිවාහක ගැහැනු ළමයින් සමග මෙම මහලු බීමත් සල්ලාලයා ඔහුගේ අසීමිත ආශාව තෘප්තිමත් කිරීමට යොදා ගත්තේය. ඔහුගේ අවසාන කාලයේ සිදු කළ දේවල් සසඳන කල කලින් ඒවා සුළු හා නොසැලකිලිමත් ලෙස පෙනෙන විට මා මේ දේවල් විස්තර කළ යුත්තේ ඇයි?

ඔහුගේ උමතුවේ අවසාන අදියරේදී ඔහු උත්තරීතර දෙවියන් වහන්සේගේ සේවකයන් ලෙස ඔහුගේ ක්‍රියාවන්ට විරුද්ධ බවට උපකල්පනය කරමින් රදගුරුවරුන්ට එරෙහිව පියවර ගත්තේය. ඔහු ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමට පටන් ගත්තේය. එසේ මුලින්ම තම ප්‍රධානියාට ඇති බිය නිසා විවෘතව නොව, රහසිගත කපටිකමෙන් කුමන්ත්‍රණ කළේය: ආණ්ඩුකාරවරුන් සමග කුමන්ත්‍රණය කරමින්, ඔහු මොවුන්ගෙන් ඉහළම පිළිගැනීමට ලක්වූ අය මරණයට පත් කළේය. ඔවුන් ඝාතනය කරන ලද ආකාරය විකාර සහගත සහ අසා නොතිබූ ආකාරයේ වූ අතර, ඇමේසියාවෙහි සහ පොන්තස්හි අනෙකුත් නගරවල සිදු කරන ලද දේවල් සෑම සිදුවීමකම කුරිරුකම ඉක්මවා ගියේය. එහි තිබූ සමහර දේවස්ථාන යළිත් ඉහළ සිට පහළට කඩා බිඳ දමන ලද අතර, තවත් සමහර දේවස්ථාන නමස්කාර කරන අයගෙන් කිසිවෙකුත් හමුවීමට සහ දෙවියන් වහන්සේට ලැබිය යුතු සේවය ලබා දීම වැළැක්වීම සඳහා අගුලු දමා වසා දමන ලදී. වරදකාරී හෘදයසාක්ෂියක් නිසා ඔවුන්ගේ යාච්ඤාවන් තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ බව ඔහු නොසිතුවේය – එහෙත් අපගේ සියලු කන්නලව් දෙවියන් වහන්සේ ප්‍රේම කළ අධිරාජ්‍යයා වෙනුවෙන් බව ඔහු සිතුවේය. ඔහු අප කෙරෙහි කෝපය පිට කළේ මේ නිසාය . කාලකන්නියාට අවශ්‍ය දේ ඔවුන් කරන බව ඒත්තු ගැන්වූ ආණ්ඩුකාරවරුන් අතර සිටි වාසි ලබන්නෝ සම්පූර්ණයෙන්ම අහිංසක රදගුරුවරුන් අපරාධකරුවන් මෙන් අත්අඩංගුවට ගෙන මිනීමරුවන් මෙන් නිදහසට කරුණක් කීමට ඉඩ නොතබා මරා දැමූහ. සමහරු ඊටත් වඩා නව්‍ය ආකාරයේ මරණයකට ගොදුරු වූහ: ඔවුන්ගේ සිරුරු කඩුවකින් බොහෝ කැබලිවලට කපා දමන ලදුව, පසුව මෙම කුරිරු, බිහිසුණු දර්ශනයෙන් පසු, ඔවුන් මාළු ආහාර ලෙස මුහුදේ ගැඹුරට විසි කරන ලදී. මෙය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට නැවත පලා යාමට හේතු විය. එසේම නැවත වරක් කෙත්වතු, කාන්තාර, නිම්න සහ කඳු ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් පිළිගත්තේය.

දුෂ්ට පුද්ගලයාගේ මෙම පියවරයන් සාර්ථක වූ විට, ඔහු සියලු දෙනාටම පොදු පීඩාවක් අලුත් කිරීමට සැලසුම් කළේය. ඔහුට මෙය කිරීමට බලය තිබූ අතර, ඔහුට එය ඉදිරියට ගෙන යාමට කිසිවක් බාධා නොකළේය- උන් වහන්සේගේ ප්‍රාණවල ශූරයා වූ දෙවියන් වහන්සේ, ඉදිරියේදී සිදුවීමට නියමිත අනතුර ඉක්මනින්ම කලින් දැක තිබුණි. අඳුරු සහ මීදුමේ රාත්‍රියෙන්, උන් වහන්සේ ඔවුන් සියල්ලන්ටම විශාල ආලෝකයක් සහ ගැලවුම්කරුවෙකු බැබළෙන්නට සැලැස්වූ අතර, උන් වහන්සේගේ ඔසවන ලද හස්තය ඔහුගේ සේවක කොන්ස්ටන්ටයින් එම ස්ථානයට ගෙන ගියේය. 9. ඔහුගේ භක්තියේ වටිනා ඵලය ලෙස, දෙවියන් වහන්සේ ඔහුට ස්වර්ගයේ සිට දුෂ්ටයන්ට එරෙහිව ජයග්‍රහණයේ කුසලාන ලබා දුන් සේක. එහෙත් උන් වහන්සේ වැරදිකරුවා, ඔහුගේ සියලු උපදේශකයින් සහ මිතුරන් සමග කොන්ස්ටන්ටයින්ගේ පාදවලට යට කර පහර දී හෙළා දැමූ සේක. 

කොන්ස්ටන්ටයින් ජයග්‍රහණය කරයි

ලිසීනියස් ඔහුගේ උමතුව උච්චතම සීමාවට ගෙන ගිය විට, දෙවියන් වහන්සේගේ මිතුරා වූ අධිරාජ්‍යයා මෙය තවදුරටත් විඳ දරා නොගනු ඇත. සාධාරණ හේතුවකින් යුක්තව සහ සාධාරණ බව පිළිබඳ ඉල්ලීම් මනුෂ්‍යත්වය සමග සමනය කරමින්, කෲර පාලකයා විසින් ම්ලේච්ඡත්වයට පත් කරන ලද අය බේරා ගැනීමට ඔහු අධිෂ්ඨාන කර ගත් අතර, විනාශ කරන අය කිහිප දෙනෙකු මාර්ගයෙන් ඉවතට ඇද දමා මිනිස් සංහතියේ වැඩි කොටසක් ගලවා ගැනීමට ඔහු ඉක්මන් විය. මීට පෙර, ඔහුගේ මනුෂ්‍යත්වයෙන් පමණක් ලිසිනියස් හට ලැබීමට නොවටිනා දයාව පෙන්වූ විට, එම මිනිසා දියුණු වූයේ නැත: ඔහු තම දුෂ්ටකම අත්හැරියේ නැත. එහෙත් ඔහු තම යටත්වැසියන් කෙරෙහි ඔහුගේ උමතු කෝපය තවත් වේගවත් කළේය. ඔහුගේ ගොදුරු වූවන් ඔවුන් වෙත බලහත්කාරයෙන් පැමිණෙන මෘගයෙකුගෙන් බේරී යාමේ කිසිදු බලාපොරොත්තුවක් ඔහු ඉතිරි නොකළේය.

එහෙයින්, යහපතෙහි ඇල්මක් නපුරෙහි ද්වේෂයක් සමග මුසු කරමින්, යහපතෙහි ශූරයා, ඔහුගේ පුත් ක්‍රිස්පස් නම් වූ එම මානුෂීය කුමාරයා සමග “විනාශ වන සියල්ලන්ටම ගලවා ගැනීමේ අතක් දිගු කරමින්” පිටත්ව ගියේය. පසුව, උත්තරීතර රජ්ජුරුවන් වහන්සේ වන දෙවියන් වහන්සේ සහ සියලු දෙනාගේම ගැලවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ පුත්‍රයා මඟ පෙන්වන්නා සහ මිත්‍රයා ලෙසින්, පියා සහ පුතා සෑම පැත්තකින්ම දෙවියන් වහන්සේට වෛර කරන්නන්ට එරෙහිව තම හමුදාවන් බෙදාගෙන පහසුවෙන් ජයග්‍රහණය ලබා ගත්හ. දෙවියන් වහන්සේ තමන් වහන්සේ අරමුණට අනුව සියල්ලන්ටම පහසුකම් සලසා දුන් සේක. හදිසියේම, පසුගියදා හුස්ම ගැනීමේ සහ මරණයේ තර්ජන කළ තවදුරටත් ජීවතුන් අතර නොවූහ: ඔවුන්ගේ නම් පවා අමතක වූ අතර, ඔවුන්ගේ පුවරු චිත්‍ර සහ ගෞරවය නිසි පරිදි අපකීර්තියට පත් කරන ලදී. ලිසීනියස් තමාට පෙර සිටි දුෂ්ට කුරිරු පාලකයන්ට සිදු වූ බවට ඔහුගේම දෑසින් දුටු දේ ඔහුටම සිදු විය. ඔහු තම අසල්වාසීන්ට එල්ල වූ පහරවල්වලින් නිවැරදි වූයේ හෝ එය අවබෝධ කර ගත්තේ හෝ නැත. ඔහු ඔවුන් ගමන් ගත් අධර්මයේ මාර්ගයම අනුගමනය කළ අතර එම ප්‍රපාතයටම පෙරළීමට සුදුසු අයෙකු විය.

ඔහුගේ සතුරා මුහුණන් වැඳ වැටුණේය. දේව භක්තිය ලබා දෙන සෑම ගුණයකින්ම කැපී පෙනෙන බලවත් ජයග්‍රාහී කොන්ස්ටන්ටයින් මෙන්ම දෙවියන් වහන්සේට වඩාත්ම ආදරණීය සහ සෑම ආකාරයකින්ම තම පියාට සමාන පාලකයෙකු වූ ඔහුගේ පුත් ක්‍රිස්පස්, ඔවුන්ගේම නැඟෙනහිර පළාත් නැවතත් ජයගෙන, කලින් තිබුණාත් මෙන්ම රෝම අධිරාජ්‍යය ඒකාබද්ධ කළේය. එය උතුරේ සිට දකුණට පුළුල් කවයක් තුළ නැගී එන හිරුගේ සිට ඈතම සැඳෑව දක්වා සියල්ල ඔවුන්ගේ සාමකාමී පාලනය යටතට ගෙන ආහ. මිනිස්සු දැන් ඔවුන්ගේ කලින් පීඩකයන් කෙරෙහි ඇති බිය පහව ගොස් දීප්තිමත් උත්සව සැමරූහ – සෑම තැනකම ආලෝකය විය – වරක් කලකිරුණු මිනිස්සු සිනහමුසු මුහුණින් සහ දිදුලන ඇස්වලින් යුතුව එකිනෙකාට ආචාර කළහ. නගරයෙහිත් රටෙහිත් නැටුම් ගැයුම් සමගින්, ඔවුහු ඔවුන්ට උපදෙස් ලබා දුන් පරිදි පළමුව උත්තරීතර දෙවියන් වහන්සේටත්, පසුව දෙවියන් වහන්සේට ප්‍රිය වූ ශ්‍රද්ධාවන්ත අධිරාජ්‍යයාට සහ ඔහුගේ පුත්‍රයන්ටත් ගෞරව කළහ. පැරණි කරදර අමතක කරනු ලැබිණි, සියලු දුෂ්ටකම් අතුරුදහන් විය; පවතින යහපත් දේ ඔවුහු භුක්ති වින්දහ. තවමත් පැමිණීමට නියමිත ඒවා බලාපොරොත්තු වූහ. ජයග්‍රාහී අධිරාජ්‍යයා සෑම තැනකම ලිබරල් (නිදහස්) බව සහ සැබෑ භක්තිය පිළිබිඹු කරන මානුෂීය අණපනත් සහ නීති ප්‍රකාශයට පත් කළේය. එබැවින් සියලු කුරිරු පාලනය මුලිනුපුටා දමන ලදී. ඔවුන්ගේ රාජධානිය කොන්ස්ටන්ටයින් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා පමණක් සුරක්ෂිත ලෙස අවිවාදිතවම ආරක්ෂා විය. ඔවුන්, පළමුවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි ද්වේෂයෙන් සිටි ලෝකය පිරිසිදු කර, උන් වහන්සේ ඔවුන්ට ලබා දුන් සියලු යහපත් දේ දැනගෙන, සියලු දෙනාට පෙනෙන පරිදි ඔවුහු ඔවුන්ගේ ක්‍රියාවෙන්, ඔවුන්ගේ ගුණවත්භාවය හා දෙවියන් වහන්සේට ඇති ආදරය, සර්වබලධාරි දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ භක්තිය සහ කෘතඥතාව පෙන්නුම් කළහ.

යුසේබියස් සහ කොන්ස්ටන්ටයින්

යුසේබියස් ඔහුගේ ජයග්‍රාහී බව සහ ඔහු කොන්ස්ටන්ටයින් කෙරෙහි දක්වන ප්‍රශංසාව සඳහා නිතිපතා අවමානයට ලක් වී ඇත. සියලු වාද විවාදවලින් ඔබ්බට, “දෙවියන් වහන්සේ විසින් ආදරය කරන ලද අධිරාජ්‍යයා” වැනි මල් වැනි අන්වර්ථ නාම පද සමකාලීන පාඨකයාට සමීප වේ. 337දී අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසු යුසේබියස් විසින් ප්‍රකාශයට පත් කරන ලද කොන්ස්ටන්ටයින්ගේ ජීවිතය (Life of Constantine) නමැති චරිතාපදානය එම අංශයෙහිම දිගටම පවතිනු ඇත. විවේචනයේ ගායනයට එකතු කරනවාට වඩා, ඒ වෙනුවට යුසේබියස් බලන ආකාරයෙන් ඒ දෙස බැලීම වඩා හොඳය. මේ මිනිසා අතීතයේ සිදු වූ පීඩා ගැන පමණක් නොව, සමකාලීන ඉතිහාසයේ ඔහුම සිරගතව සිටියදී දුටු සහ අත්විඳින ලද කාරණා සහ කිතුනුවන්ට එරෙහි වධ හිංසා සහ මර්දනයන් පිළිබඳ ඔහුගේ සභා ඉතිහාසයේ අවසාන පොත්වලින්ද පිළිබිඹු කරන්නේය. වින්දිතයින් අතර ඔරිජන්ට හෝ කොන්ස්ටන්ටයින්ට වඩා ඉහළින් ඔහු අගය කළ එක් මිනිසෙකු ඇතුළත් විය: ඔහු පැම්ෆිලස් නමැති සිසේරියාවෙහි ඔහුගේ ආදරණීය ගුරුවරයායි. ඇතැම් සාමකාමී අණපනත් කිහිපයකින් පසු නැඟෙනහිර දිගින් දිගටම මතු වෙමින් තිබූ මේ සියලු බිහිසුණු- අමුතු පීඩාවන් අවසානයේ කවුරුන් හෝ අවසන් කළ විට – යුසේබියස් විස්මයෙන් යුතුව කොන්ස්ටන්ටයින් වටකර ගැනීමට පෙලඹීම පුදුමයක් නොවේය.

සම්පූර්ණයෙන් සහතික කරන ලද පළමු ක්‍රිස්තියානි අධිරාජ්‍යයා වන කොන්ස්ටන්ටයින්, යුසේබියස් විසින් උපුටා නොදක්වන ලද සමහර නිෂේධාත්මක ගති ලක්ෂණ ඇතුළත් සංකීර්ණ පෞරුෂයකින් යුක්ත විය. 361 සිට 363 දක්වා අධිරාජ්‍යයා වූ ඔහුගේ බෑණනුවන් වූ ඇදහිල්ල අත් හළ ජූලියන්ගෙන් ආරම්භ වී පසුකාලීනව පරම්පරාවල සිටි විවේචකයින් කොන්ස්ටන්ටයින්ගේ නිෂේධනාත්මක ගති ලොකු කර පෙන්වා ඇත. ජූලියන්රෝම මිථ්‍යාදෘෂ්ටිකවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අසාර්ථක උත්සාහයක් දැරූවෙකි. ඔහුගේ මාමා පිළිබඳ ඔහුගේ තුච්ඡ ඉඟි සාර්ඩිස්හි යුනාපියස් විසින් විශාල කරන ලදී. එහිදී එඩ්වඩ් ගිබන්ට බොහෝ කලකට පෙර වු රෝම අධිරාජ්‍යයේ පරිහානියට කොන්ස්ටන්ටයින් හට දොස් පැවරීම සිදු කර ඇත. 500දී පමණ, මිථ්‍යාදෘෂ්ටික බයිසැන්තියානු ඉතිහාසඥයෙකු වූ සොසිමස්, මේ සම්බන්ධයෙන් කොන්ස්ටන්ටයින්ගේ ආලේඛ්‍ය චිත්‍රය තව දුරටත් විකෘති කිරීමට යුනාපියස්ගේ ලේඛන භාවිත කළ අතර, පුනරුද සමයේදී ඔහුගේ විකෘති කරන ලද චිත්‍රයට යම් සහයෝගයක් ලැබුණි.

වඩාත් මෑතකදී, පසුගිය ශතවර්ෂයේදී ජේකබ් බර්ක්හාර්ඩ් (Jacob Burckhardt) වැනි සමහර ඉතිහාසඥයින්, කොන්ස්ටන්ටයින්ගේ පරිවර්තනය ගැන විවාද කළ අතර, ඔහුගේ ක්‍රිස්තියානි ධර්මයට වූ සංවර්තනය වූ කලි, ඔහුගේ ක්‍රියාවන් හෘදයසාක්ෂියට එකඟව ධර්මය විශ්වාස කිරීමට වඩා සීතල දේශපාලන ගණනය කිරීම් මත සිදු වූ බව පවසමින්, එය ඔහුගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කරන පිණිස සභාවෙහි පක්ෂග්‍රාහී සහයෝගය සඳහා භාවිත කරන ලද උපාය මාර්ගයක් බව දක්වා ඇත. ඒ සඳහා කොන්ස්ටන්ටයින් රෝමානු මිථ්‍යාදෘෂ්ටිකවාදයේ පොන්ටිෆෙක්ස් මැක්සිමස් ලෙස රඳවාගෙන සිටින තනතුර, එනම් ද සෝල් ඉන්වික්ටස් (the Sol Invictus/ “ජය නොගත්තා වූ සූර්යයා”) යන ඔහුගේ කාසිවල සලකුණ, රෝමයේ පුරාණ මිථ්‍යාදෘෂ්ටික ඇදහිලිවලට ඔහුගේ මහජන සහනාධාර, ඔහුගේම නිවසේ අයට මරණ දණ්ඩනය ලබා දීම සහ ඔහුගේ බෞතිස්මයේදී ඔහුගේ මරණ මංචකය දක්වා ප්‍රමාද කිරීම යන කාරණා ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, බොහෝ ඉතිහාසඥයින් නිගමනය කරන්නේ කොන්ස්ටන්ටයින්ගේ සංවර්තනය සැබෑ බවයි. උපුටා දක්වන ලද නිෂේධනාත්මක සාක්ෂි සම්බන්ධයෙන් ගත් කල, මිථ්‍යාදෘෂ්ටික බහුතරය ඇතුළුව සියලුම රෝමානු පුරවැසියන් සඳහා තමා අධිරාජ්‍යයා විය යුතු බවට කොන්ස්ටන්ටයින්ට හැඟී ගිය අතර, ඔහු උත්තම පූජකයා ලෙස ඔහුගේ භූමිකාවට කිසිදු දායකත්වයක් ලබා දුන්නේ නැත. ඔහුගේ කාසිවල මිථ්‍යාදෘෂ්ටික ලාංඡන වසර කිහිපයකට පසු නතර විය. ඔහුගේ පුත් ක්‍රිස්පස්ගේ මරණ දණ්ඩනය සහ ඔහුගේ බිරිඳ ෆවුස්ටාගේ (සමහර විට උපකාර කළ) සියදිවි නසාගැනීම් කිසිදා නොවිසඳුණු අබිරහස්මය ඛේදවාචකයන් වේ. එහෙත් පළමුවැන්නා සම්බන්ධයෙන් දෙවැන්නාගේ බොරු චෝදනාව එයට සම්බන්ධ වී ඇති බව පෙනේ. කොන්ස්ටන්ටයින්ගේ පෞද්ගලික සහ ගෘහ ජීවිතය සෑම විටම ක්‍රිස්තියානි පරමාදර්ශයන් පිළිබිඹු නොකළ බව පැහැදිලිය. එහෙත් එය මිථ්‍යාදෘෂ්ටිකවාදයේ සිට ක්‍රිස්තියානි ආගමට සංක්‍රමණය වීමට සම්බන්ධ පාලකයෙකුගෙන් අප බලාපොරොත්තු විය හැකි ප්‍රමාණයට වඩා වැඩි දෙයක් නොවේ. එමෙන්ම පෙර කළ සියලු පාපයන් ඉවත් කිරීම සඳහා කෙනෙකුගේ බව්තීස්මය ජීවිතයේ අවසානය දක්වා ප්‍රමාද කිරීම දේවධර්මානුකූලව වැරදි ලෙස සැලකුවද, එය එකල පැවති සම්මුතියක් විය.

කොන්ස්ටන්ටයින් ඔහුගේ ක්‍රිස්තියානි ධර්මය තුළ අවංකව සිටි අයෙකු බවට සාක්ෂි අතිමහත්ය. පුරාණ ලෝකයේ සෑම කෙනෙකුම පාහේ යම් ආකාරයක ආගමක් ඇදහූ බව මුලින්ම මතක තබාගත යුතුය: එය වර්තමානයේ පවතිනවා මෙන් ආගමට ලෞකික විකල්පයක් නොතිබූ තරම්ය. මිථ්‍යාදෘෂ්ටික බහුදේවවාදය රෝම රාජ්‍යය අසාර්ථක වූයේ නම් – එය නිසැකවම සිදු විය – සිවිල් කැලඹීම් සහ අධිරාජ්‍යයේ පරිහානිය සැලකිල්ලට ගෙන – ක්‍රිස්තියානි ඒකදේවවාදය කොන්ස්ටන්ටයින්ට පමණක් නොව, සිව්වන සියවසේ බොහෝ රෝමවරුන්ට උසස් ආගමික ආදේශකයක් බවට පත් විය.

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා බවට පත් වූ පසුව, ක්‍රිස්තියානි ධර්මය වෙනුවෙන් කොන්ස්ටන්ටයින් දැක්වූ අනුග්‍රහය, විශේෂ කාරණා කිහිපයක් හැරුණුකොට ඉන් ඔබ්බට මෙහි ලැයිස්තුගත කිරීමට නොහැකි තරම්ය. ඒවායින් සමහරක් යුසේබියස්ගේ පාඨවලින් පැහැදිලි වේ.

කොන්ස්ටන්ටයින් රෝම රාජ්‍යයේ ක්‍රිස්තියානි පූජකයන්ට නාටකාකාර නීතිමය වාසි, ප්‍රතිශක්තිය සහ රෝම රාජ්‍යයේ විශේෂ වරප්‍රසාද ලබා දුන් අතර, රදගුරුවරු නිතිපතා ඔහුගේ මේසයේ ආහාර ගනිමින් සහ ඔහුගේ පිරිවර සමග ගියහ. ඔහු සභාවලින් රාජසන්තක කරන ලද දේපළ ප්‍රතිස්ථාපනය කළා පමණක් නොව, පෙරදිග සහ අපරදිග (ඔහුගේ මව, හෙලේනා විසින් පොලඹවන ලදුව) ඔලිව් කන්දේ සහ බෙත්ලෙහෙමේ ක්‍රිස්තියානි බැසිලිකා, මෙන්ම යෙරුසලමේ ශුද්ධ සෙපුල්චර් දේවස්ථානයද ඇතුළුව දේවස්ථාන ඉදිකර හෝ නැවත ගොඩනඟා ඇත. ඔහු ක්‍රිස්තියානි දානමය ක්‍රියා උදෙසා සහයෝගය දැක්වීය. ඉරු දින ශුද්ධ දිනයක් ලෙස නියම කළේය. විවාහ බන්ධනය ශක්තිමත් කළේය. මිථ්‍යාදෘෂ්ටික පේන කීම, කුරුසියේ ඇණ ගැසීම, සහ ග්ලැඩියේටර් සටන් හෙළා දුටුවේය. සියල්ලටම වඩා, ඔහු සිය ජීවිත කාලය පුරාම ක්‍රියාශීලී ගිහි කිතුනුවෙකු ලෙස ජීවත් විය. ඔහුගේ දායකත්වය සහ ක්‍රියාකාරකම් පෙන්නුම් කිරීමට වඩා වැඩිය.

ඔහු 314දී ඩොනාටිස්ට් මතභේදය සමථයකට පත් කිරීම සඳහා ආර්ල්ස් කවුන්සිලය කැඳවූ අතර, 325දී නයිසියාහි කීර්තිමත් කවුන්සිලයේ පවා මුලසුන දැරුවේය. එය ඒරියන් මිථ්‍යාදෘෂ්ටිය සමග කටයුතු කර නයිසීනූ ඇදහිලි ප්‍රකාශය සකස් කළේය.

කිතුනුවන්ට පීඩා නොකරන ලෙස අධිරාජ්‍ය සගයන්ට ඔහු අනතුරු ඇඟෙවුවේය. එසේම සභාවෙහි ශූරයෙකු ලෙස මෙම අධිරාජ්‍යයන්ට එරෙහිව ඔහුගේ ව්‍යාපාර එවැනි පීඩා නතර කිරීමට බව කියා සිටියේය. එය නිදහසට කරුණකට වඩා වැඩි වූ දෙයක් බවත් කියා සිටියේය.

 ඔහු බොස්පෝරස් මත ඔහුගේ නව නගරය වන නෝවා රෝමා (නව රෝමය, පසුව කොන්ස්ටන්ටිනෝපල් ලෙස නම් කරන ලද) “වේදසාක්ෂිකවරුන්ගේ දෙවියන් වහන්සේ ” වෙත කැප කර එහි විශිෂ්ට දේවස්ථානයක් ඉදි කළේය. අධිරාජ්‍යයේ උතුරු හා නැගෙනහිර මායිම් පිළිබඳ ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය පවා ක්‍රිස්තියානි මූලධර්ම පිළිබිඹු කරන අතර, ඔහු නයිසියා කවුන්සිලයෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහය දී රදගුරුවරුන් සමග විහිළු කරමින් ඔහුද “සභාවෙන් පිටත සිටින අයගේ” රදගුරුවරයකු බව පැවසුවේය. ඔහුගේ විශිෂ්ට අධ්‍යයනය අවසානයේ තිමෝති ඩී. බාන්ස් කොන්ස්ටන්ටයින්ගේ වෘත්තීය ජීවිතය සාරාංශගත කරයි:

312න් පසුව, අධිරාජ්‍යයා ලෙස ඔහුගේ ප්‍රධාන රාජකාරිය වූයේ තම යටත්වැසියන් තුළ ගුණධර්ම ඇති කිරීම සහ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට ඔවුන් පෙලඹවීම බවට කොන්ස්ටන්ටයින් සැලකුවේය. … ඔහුගේ සියලු වැරදි සමගින් සහ පෞද්ගලික බලය සඳහා දැඩි අභිලාෂයක් තිබියදීත්, රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා දෙවියන් වහන්සේ ඔහුට විශේෂ මෙහෙවරක් ලබා දී ඇති බවට ඔහු අවංකවම විශ්වාස කළේය.

යුසේබියස් කිසි විටෙකත් කොන්ස්ටන්ටයින්ගේ සමබර, විවේචනාත්මක ආලේඛ්‍ය චිත්‍රයක් සැපයීමට අදහස් කළේ නැත- ඒ වෙනුවට ඔහු එදා සමුළුවේදී ප්‍රශංසනාත්මක ලිපියක් ලිවීය. එබැවින් බර්ක්හාඩ්ගේ සංශයවාදයට අවශ්‍ය ප්‍රතිවිරෝධය ලෙස එයින් වටිනා අරමුණක් ඉටු කරන්නට ඇත. එහෙත්, යුසේබියස් විසින් ලියන ලද කිතුනුවෙකු වන කොන්ස්යටන්ටයින් නියෝජනය කිරීම බර්ක්හාඩ්ගේ නිරූපණයට වඩා බොහෝ සේ සත්‍ය වන අතර, ක්‍රිස්තියානි රජවරුන් සහ අධිරාජ්‍යයන් මින් ඉදිරියට ඔවුන්ගේ සාර්ථකත්වය මනිනු ලබන මිම්ම කොන්ස්ටන්ටයින් බැවින් කොන්ස්ටන්ටයින් අනාගතය ග්‍රහණය කරන ප්‍රතිරූපය වේ.

මේ අනුව යුසේබියස්ගේ සභා ඉතිහාසය ජයග්‍රාහී සටහනකින් අවසන් වන්නේ සතුටුදායක හිතෝපදේශයේ අවසානයක් සමගිනි. කෙසේ වෙතත්, පළමුවන සභා ඉතිහාසඥයා හුදු ජයග්‍රාහීවාදියෙකු ලෙස බැහැර කිරීම වූ කලි, පුරාණ ලෝකයේ කිතුනුවන් හිංසා පීඩා යටතේ විඳ දරාගත් දේ කෙරෙහි දැඩි අසංවේදී බවකින් පාවා දීමක් වනු ඇත. කොන්ස්ටන්ටයින් නිසා දිවි ගලවා ගත් එම භීෂණයෙන් දිවි ගලවා ගත් අය, එම අධිරාජ්‍යයාට කාරුණික නොවීම ගැන යුසේබියස්ට දොස් කපවරන්නට පවා ඇත. කෙසේ වෙතත්, යුසේබියස් ඒ සියල්ල තුළ දිව්‍යමය ඉරණම පිළිබඳ සැලැස්මක් දුටුවේය – ක්‍රිස්තුස් වහන්සේගේ සිට කොන්ස්ටන්ටයින් දක්වා වූ මේ කතාව – පසු ශතවර්ෂවල පාඨකයෝද ඔහුගේ දර්ශනය අල්ලා ගත්හ. එසේ නොවුවහොත් සභා ඉතිහාසය, මුද්‍රණ යුගයට පෙර පැහැදිලිවම සිදු වූවාක් මෙන්, බොහෝ අත්පිටපත් පිටපත් කිරීම් හරහා වචනයෙන් වචනය නොනැසී නොපවතිනු ඇත.