ඉවසීමේ යහපත්කම (The Good of Patience)

Cyprian of Carthage, The Good of Patience, in Sinhala


සිප්‍රියන් තුමාගේ නිබන්ධන

නමවන පොත: ඉවසීමේ යහපත්කම (The Good of Patience)

1 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරවරුනි, ඉවසීම සම්බන්ධයෙන් කතා කරන කල, සහ එහි ප්‍රයෝජන සහ වාසි සම්බන්ධයෙන් දේශනා කරන කල, මේ මොහොතේදී ඔබ මා හට ඇහුම්කන් දීමට නම්, ඉවසීම ඉතාම අවශ්‍ය බව මම දකිමි. ඉවසීම නැතුව ඔබට මේ දේවල් සිදු කළ නොහැකිය. එනම් ඉවසීම නැතුව ඔබට සවන් දී ඉගෙන ගැනීම පවා සිදු කළ නොහැකිය, යන මේ කාරණය දක්වමින් හැරෙන්නට මෙයට වඩාත් යහපත් ස්ථානයකින් එය මා ආරම්භ කරන්නේ කෙසේද? මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය සහ ගැලවීමේ මාර්ගය සඵලවත් ලෙසත් කාර්යක්ෂ්ම ලෙසත් ඉගෙනගන්නට හැකි වන්නේ, යම් කිසි කෙනෙකු පවසන දෙයට ඉවසීමෙන් යුක්තව සවන් දුන් විට පමණි. ආදරණීය සහෝදරවරුනි, දෙවියන් වහන්සේ විසින් දෙන ලද අපගේ බලාපොරොත්තුව සහ ඇදහිල්ල වෙනුවෙන් වන විපාකය සොයන පිණිස යොමු වී සිටින කිතුනුවන් වන අපට, ස්වර්ගීය විනයානුකූල කිරීමේ සියලුම මාර්ග අතරින්, ස්වාමින් වහන්සේගේ ශික්ෂා පනත්වලට කීකරු වීම සහ ගරුබිය පැවැත්වීම සහ ඒවා භක්තිවන්ත පිළිපැදීම සහ මහත් සැලකිල්ලෙන් යුතුව පිළිපැදීම සම්බන්ධයෙන් ඉවසීම පවත්වාගැනීම හැරෙන්නට, ආශා විය යුතු වෙනත් කිසිම දෙයක් හෝ ජීවිතය උදෙසා මීට වඩා වැදගත් වන හෝ මෙයට වඩා ප්‍රයෝජනවත් වන හෝ එනම්, තේජස, මහිමය ලැබීම උදෙසා මෙයට වඩා වැදගත් වන දෙයක් හෝ නැති බව මම දනිමි.

2 වන පරිච්ඡේදය

දර්ශනවාදීහු ඔවුන්ද මෙම ඉවසීමේ ගුණය පවත්වාගෙන යන බවට ප්‍රකාශ කරති. එසේ වූවත් ඔවුන්ගේ ඉවසීම වූ කලි ඔවුන්ගේ ප්‍රඥාවන්ත බව මෙන්ම මුසාවකි. මක්නිසාද යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සහ ඉවසීම දැනගන්නේ නැතිව, ඔහු ප්‍රඥාවන්ත වන්නේ හෝ ඉවසිලිවන්ත වන්නේ කෙසේද? මක්නිසාද උන් වහන්සේම අනතුරු අඟවමින් මේ ලෝකයේ ප්‍රඥාවන්ත යැයි සිතන අය පිළිබඳ ප්‍රකාශ කරමින් මෙසේ පවසන සේක: “මම ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි. අහංකාරයින්ගේ උඩඟු බව බිඳ දමන්නෙමි.”[1] ඒ හා සමාන ලෙසම, අන්‍ය ජාතීන් කැඳවනු ලැබීමටත් ඔවුන් ඇදහිල්ලෙහි පිහිටුවීමටත් යවන ලද ආශිර්වාද ලත් අපෝස්තුළු පාවුල් තුමා ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණව, මෙසේ ප්‍රකාශ කරමින් අපට උගන්වයි: “ක‍්‍රිස්තුස් වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප‍්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න. මක්නිසාද උන් වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය.”[2] එසේම තවත් ස්ථානයක ඔහු මෙසේ පවසයි: “කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප‍්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප‍්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා. මක්නිසාද මේ ලෝකයේ ප‍්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන් වහන්සේ ප‍්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නා සේකැයි ලියා තිබේ. නැවතද: ස්වාමින් වහන්සේ ප‍්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නා සේකැයි ලියා තිබේ.”[3] එම නිසා, ඔවුන්ගේ ප්‍රඥාවන්තකම සැබෑවක් නොවේ නම් ඔවුන්ගේ ඉවසීමද සැබෑවක් විය නොහැකිය. මක්නිසාද නිහතමානී සහ යටත්පහත් තැනැත්තා ඉවසිලිවන්ත තැනැත්තා වේ. එසේ වූවත් දාර්ශනිකයන් යටත්පහත් හෝ නිහතමානී අය නොවන බව අපි දකිමු. ඔවුන් තමන් ගැනම ප්‍රසන්න වන නමුත්, දෙවියන් වහන්සේ ඔවුන් ගැන ප්‍රසන්න නොවන සේක. එයට හේතුව වන්නේ ඔවුන් තමන් සම්බන්ධයෙන්ම ප්‍රසන්න වී සිටීමයි. අහංකාර වූ නිර්භීතකම ඇති තැන ඉවසිලිවන්ත බව නොමැති බවත්, එසේම නිදහසට බාධාවක් ඇති තැන සහ නිර්ලජ්ජිත අය තමන්ගේ අහංකාරකම ගැන කතා කියන අතර, තමන්ගේ අඩ නිරුවත් බව ගැන කතා පවසන විට, එහි ඉවසිලිවන්තකම නොමැති බවත් ඔප්පු වේ.

3 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරවරුනි, කෙසේ වෙතත් අපි, වචනයෙන් නොව ‍ක්‍රියාවෙන් දර්ශනවාදීහු වෙමුව. ඇඳුම්වලින් නොව එහෙත් සත්‍යයෙන් යුතුව අපි අපගේ ප්‍රඥාව ප්‍රදර්ශනය කරමුව. අපි ඔවුන්ගේ උඩඟු කතා තුළින් නොව ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන්ගේ පැවැත්ම ගැන දනිමු. අපි උසස් කාරණා කතා නොකරන නමුත්, උතුම් ලෙස ජීවත් වන්නෙමු. එම නිසා දෙවියන් වහන්සේගේ සේවකයන් සහ උන් වහන්සේට නමස්කාර කරන්නන් ලෙස, ස්වර්ගීය ඉගැන්වීම් කරණකොටගෙන උගත්තා වූ ඉවසිලිවන්තකම පෙන්නුම් කරමින් අපි ආත්මික ගෞරවය පවත්වමුව. මක්නිසාද එම ගුණය දෙවියන් වහන්සේ සමග පොදුවේ අපට ඇත්තේය. ඉවසීමේ ආරම්භය ඇත්තේ උන් වහන්සේ තුළය. එසේම ඉවසීමේ මූලාශ්‍රය වන උන් වහන්සේ තුළින් උන් වහන්සේ කෙරෙන් ඉවසීම, එහි මහිමය සහ එහි ගෞරවාන්විත බව ලබා ගන්නේය. ඉවසිලිවන්තකමේ මූලය සහ එහි උතුම්කම පැමිණෙන්නේ එහි කර්තෘවරයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ කෙරෙන් වේ. දෙවියන් වහන්සේට ආදරණීය වූ එම ගුණාංගය මනුෂ්‍යයන් විසින් ප්‍රේම කරනු ලැබිය යුතු වූ ගුණාංගයකි. උන් වහන්සේ ප්‍රේම කරන යහපත සිදු වන කල දිව්‍යමය මහිමාන්විතභාවය ප්‍රකාශයට පත් කරන සේක. දෙවියන් වහන්සේ අපගේ ස්වාමියා සහ අපගේ පියාණන් වහන්සේ නම්, අපි උන් වහන්සේගේ ඉවසිලිවන්තකම දෙසට උනන්දුවෙන් යොමු වෙමුව. මක්නිසාද දෙවියන් වහන්සේ අපගේ ස්වාමියා සහ අපගේ පියාණන් වහන්සේ වන නිසා උන් වහන්සේගේ සේවකයන් කීකරු වීම සුදුසු වන අතර, පුත්‍රයන් උන් වහන්සේට නුසුදුසු අය ලෙස ක්‍රියා කිරීම නොවටිනා දෙයකි.

4 වන පරිච්ඡේදය

එහෙත් දෙවියන් වහන්සේගේ ඉවසිලිවන්තකම කෙතරම් යහපත්ද, කෙතරම් උතුම්ද! උන් වහන්සේ ඉතාම ඉවසිලිවන්තකමෙන් යුතුව සියල්ල, එනම් මනුෂ්‍යයන් විසින් උන් වහන්සේගේ තේජසට සහ ගෞරවයට නින්දාවක් වන පරිදි ඇති කරන ලද, දේව අපහාස සිදු කරන දේවාල, ලෞකික පිළිම, සහ දේවතා වන්දනාවේ සම්ප්‍රදායන් ඉවසා දරා ගත් සේක. “මක්නිසාද උන් වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන සේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක.”[4] උන් වහන්සේ වර්ෂාව කරණකොටගෙන පොළොවට වතුර එවන කල, කිසිවෙක් උන් වහන්සේ වෙතින් ලැබෙන ප්‍රයෝජන නොැබී යන ලෙස අහක් කර තබන්නේ නැත. එහෙත් උන් වහන්සේ ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් එක හා සමාන ලෙසම උන් වහන්සේගේ වර්ෂාව ලබා දෙන සේක. දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ, වරද කරන අයට සහ නිර්දෝෂී අයට යන දෙපාර්ශ්වයටම, ආගමික සහ අභක්තික දෙපාර්ශ්වයටම, කෘතඥ සහ අකෘතඥ යන දෙපාර්ශ්වයටම, එසේම කීකරු වන කාලවලදී සහ සේවය කරන භාජනවලට යන සියලු අවස්ථාවන්වලදීම, හමා එන සුළඟ, ගලා එන උල්පත්, බහුල ලෙස අස්වැන්න වර්ධනය වීම, මිදි වැල්වල ඵලදාව දීම, ඵලවලින් බර වූ ගස්, කොළ පැහැ ගැන්වුණු තණ බිම්, මල් පිපී පිරී පවතින තැනිතලා යන සියල්ල මගින් සියලු දෙනාටම එක හා සමාන ලෙසටම උන් වහන්සේගේ ඉවසිලිවන්තකමේ අදෘශ්‍යමාන ඒකත්වයක් පවතින බව අපි දකිමු. නිරන්තරයෙන් සහ අඛණ්ඩ ලෙස සිදු කරන වැරදිවලින් දෙවියන් වහන්සේ කෝපයට පත් වූවද, උන් වහන්සේ තමන් වහන්සේගේ කෝපය සංසිඳුවා ගන්නා අතර, උන් වහන්සේ විසින් වරක් පූර්වයෙන් නියම කරන ලද පළිගැනීමේ දිනය එනතුරු ඉවසීමෙන් බලා සිටින සේක. එසේම උන් වහන්සේට පළිගැනීම උදෙසා බලය තිබුණද, උන් වහන්සේගේ බොහෝ කාලයක් ඉවසිලිවන්ත ලෙස බලා සිටීමට කැමැත්තක් දක්වන සේක. එනම්, උන් වහන්සේගේ දයාව කරණකොටගෙන දඬුවම ප්‍රමාද කර, ස්ථිරව බලා සිටින සේක. එසේ කරන්නේ, යම්කිසි කාලයකදී මනුෂ්‍යයාගේ ද්වේශසහගත ස්වභාවය වෙනස් විය හැකි බැවිනි. මිනිසා, ඔහු කෙතරම් ගැඹුරින් වැරැද්දට හා අපරාධයට කිඳා බැස තිබුණද, ප්‍රමාද වී පවා යම් කිසි වේලාවකදී ඔහුට දෙවියන් වහන්සේ වෙතට සංවර්තනය විය හැකිය. උන් වහන්සේම අනතුරු අඟවමින් මෙසේ පවසන සේක: “නසින්නාගේ මරණය ගැන මට කිසි ප‍්‍රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත් වෙන්නැයි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන සේක.”[5] [නැවතත්: “මා වෙතට ආපසු හැරී එන්න, යයි ස්වාමින් වහන්සේ වදාරන සේක.”][6] එසේම නැවතත් වරක්: “එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගෙන, නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන් වහන්සේ දයාවන්ත වූ, අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවසිලිවන්ත වූ ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය. උන් වහන්සේ විපත්තිය ගැන තැවෙන සේක.”[7] ආශිර්වාද ලත් අපෝස්තුළු පාවුල් තුමා, පව්කාරයාට මේ කාරණය මතක් කර දෙමින් ඔහු නැවත කැඳවමින් මෙසේ ප්‍රශ්න කරයි: “නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන් වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන් වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළු කොට සිතා, නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ වූ විනිශ්චය එළිදරව් වන උදහසේ දවසට නුඹ උදහස රැස්කර ගන්නෙහිද? උන් වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාක දී, ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණීයභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙන සේක.”[8] දෙවියන් වහන්සේගේ විනිශ්චය යුක්තිසහගත බව සාධාරණ බව සම්බන්ධයෙන් ඔහු පැවසුවේ එය ප්‍රමාද වන බැවිනි. මක්නිසාද යත්, මිනිසාගේ සදාකාල ජීවනය ගැන සැලකිලිමත් වන නිසා සහ ඒ ගන සිතන නිසා, නැවත නැවතත් හා දීර්ඝ කාලයක් පුරාවට දෙවියන් වහන්සේගේ දීර්ඝකාලීන ඉවසීම කරණකොටගෙන දඬුවම කල් දමා ඇත. අශිෂ්ට තැනැත්තා හා පව්කාරයා හට පාපය උදෙසා පසුතැවිලි වීම තවදුරටත් ප්‍රයෝජනයට නොගන්නා විට දඬුවම් ලැබේ.

5 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරවරුනි, ඉවසිලිවන්තකම දෙවියන් වහන්සේගේ ගුණාංගයක් බවත්, මෘදු, ඉවසිලිවන්ත හා නිහතමානී වූ යමෙක් ඇද්ද, ඒ තැනැත්තා පියාණන් වන දෙවියන් වහන්සේ අනුකරණය කරන්නෙකු බවත් දක්වමු. මෙය තව වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැකි වන පිණිස, ස්වාමින් වහන්සේ සිය ශුභාරංචියේදී ශික්ෂා සම්බන්ධයෙන් උගන්වන විට සහ දිව්‍යමය උපදේශයන් එළිදරව් කිරීමේදී තම ගෝලයින් පරිපූර්ණත්වයට පත් කිරීම උදෙසා උගන්වමින් උන් වහන්සේ මේ ප්‍රකාශය කළ සේක. “නුඹේ අසල්වාසියාට ප්‍රේම කරව, නුඹේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න, නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත‍්‍රයෝ වන්නෝය. මක්නිසාද උන් වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන සේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක. නුඹලාට ප්‍රේම කරන්නන්ටම නුඹලා ප්‍රේම කරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාර කරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.”[9] දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පරිපූර්ණභාවයට පත් වන්නේ මේ ආකාරයට බව උන් වහන්සේ පැවසූ සේක. අපගේ ඉලක්කය කරා අප ළඟා වන්නේ මේ ආකාරයෙන් බව උන් වහන්සේ පෙන්වා දුන් සේක. එසේම පියාණන් වන දෙවියන් වහන්සේගේ ඉවසීම අප තුළ පවතින්නේ නම්, ආදම් පාපය කරණකොටගෙන අහිමි කරගත් දිව්‍යමය ස්වරූපය,[10] අපගේ ක්‍රියාවන් කරණකොටගෙන අප තුළ ප්‍රකාශ වී බැබළෙන්නේ නම්, ස්වර්ගීය උපතකින් අප යථා තත්වයට පත් කර තිබෙන බවට උන් වහන්සේ ඉගැන්වූ සේක. දෙවියන් වහන්සේ මෙන් වීම කුමනාකාර මහිමයක්ද! දිව්‍යමය කුසලතාවන් සහ විපාකවලට සමාන්තරව තැබිය හැකි කාරණා අපගේ ගුණධර්ම අතර තිබීම මොන තරම් යහපත් දෙයක්ද, මොන තරම් ප්‍රීතිමත් කාරණයක්ද!

6 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරයනි, මෙය අපගේ ස්වාමින් වහන්සේ සහ අපගේ දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වචනවලින් පමණක් නොව, උන් වහන්සේගේ ක්‍රියාවලින්ද එය ඉටු කරමින් ඉගැන්වූ සේක. උන් වහන්සේ මේ කාරණය ඉටු කිරීම සඳහා පැමිණි බව, එනම් උන් වහන්සේ පැමිණියේ තමන් වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම[11] පිණිස යයි පැවසූ සේක. උන් වහන්සේගේ දිව්‍යමය මහිමාන්විතභාවය පිළිබඳ අනෙකුත් ප්‍රාතිහාර්යයන් කරණකොටගෙන ඔප්පු කළ අතර, පියාණන් වහන්සේගේ ඉවසිලිවන්තභාවයද උන් වහන්සේගේ සුපුරුදු පැවැත්ම මගින් ආරක්ෂා කර ආදර්ශයක් වූ සේක. ඒ අනුව, උන් වහන්සේගේ පැමිණිමේ සිටම, උන් වහන්සේගේ ආරම්භයේ සිටම, උන් වහන්සේගේ සැම ක්‍රියාවක් මගින්ම ඉවසීම පෙන්නුම් කෙරේ.[12] මක්නිසාද උන් වහන්සේ ස්වර්ගීය උසස්භාවයේ සිට භූමික දේ දක්වා පහතට බැස ඒමේ පළමු මොහොතේ සිට, දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුවද, මනුෂ්‍යයාගේ මාංසය පැලඳ ගැනීම උන් වහන්සේ සුළු කොට නොසිතූ සේක. එසේම උන් වහන්සේ පව්කාරයෙකු නොවූවද, අන් අයගේ පාප දරාගැනීම පිළිකුල් නොකළ සේක.[13] උන් වහන්සේගේ අමරණීයභාවය කලක් පසෙකට දමා, උන් වහන්සේ නිර්දෝෂී අයෙකු වූවද, වැරදිකරුවන්ගේ ගැලවීම උදෙසා මරණයට පත් වන පිණිස, උන් වහන්සේ මනුෂ්‍යයෙකු බවට පත් වී දුක් විඳි සේක.[14] ස්වාමින් වහන්සේ තම සේවකයා විසින් බෞතීස්ම කරනු ලැබූ සේක. උන් වහන්සේ පාපවලට සමාව දෙන තැනැන් වහන්සේ ලෙස නියම කරනු ලද තැනැන් වහන්සේ වූවද, උන් වහන්සේගේ ශරීරය නැවත උත්පාදනය කරනු ලැබීමේ ජලයෙන් පවිත්‍ර කර ගැනීම උන් වහන්සේ සුළු කොට නොතැකූ සේක.[15] උන් වහන්සේ අන් අය පෝෂණය කරන තැනැන් වහන්සේ වූවද, දින හතළිහක් නිරාහාරව සිටි සේක. දෙවියන් වහන්සේගේ වචනය හා අනුග්‍රහය උදෙසා සාගතයෙන් පෙළෙන අය ස්වර්ගීය රොටිවලින් පූර්ණ කරන පිණිස උන් වහන්සේට කුසගින්න හා සාගින්න දැනුණි. තමන් වහන්සේ පරීක්ෂාවට ලක් කළ යක්ෂයා සමඟ උන් වහන්සේ සටනක නිරත වූ සේක. එතරම් බලසම්පන්න සතුරෙකු පරාජය කිරීමෙන් සෑහීමට පත් වූ උන් වහන්සේ වචනවලින් ඔබ්බට සටන ගෙන නොගිය සේක.[16] ස්වාමියා තම වහලුන් පාලනය කරන ආකාරයට උන් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන් පාලනය නොකළ සේක. ඒ වෙනුවට, කරුණාවන්ත හා මෘදු කෙනෙකු වූ උන් වහන්සේ සහෝදරයෙකු මෙන් ඔවුන්ට ප්‍රේම කළ සේක. තවද, තමන් වහන්සේගේ ගෝලයින්ගේ පාද සේදීමට පවා උන් වහන්සේ කැමති වූ සේක. එසේ කිරීම කරණකොටගෙන, උන් වහන්සේගේ සේවකයන්ට උන් වහන්සේ ස්වාමියෙකු ලෙස සිටියද, තමන්ගේ සෙසු සේවකයන් සහ සගයන් කෙරෙහි ඒ හා සමාන ආකල්පයක් ඇතිව ක්‍රියා කළ යුතු බවට උන් වහන්සේගේ ආදර්ශයෙන් ඉගැන්වූ සේක.[17] එසේ නම්, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අතර එවැනි කෙනෙකු වූ බවත්, යූදස් සම්බන්ධයෙන් ඉවසා දරාගත් බවත්, අවසානය දක්වාම දරා ගැනීමෙන් යුක්තව ඉවසිලිවන්තව කටයුතු කළ බවත්, උන් වහන්සේට සතුරා සමඟ ආහාර ගත හැකි වූ බවත්, උන් වහන්සේගේ නිවසේ සිටින සතුරා කවුද යන්න දැනගත හැකි වූවත් එය එළිදරව් නොකර සිටීමට හැකි බවත්,[18] උන් වහන්සේ පාවා දෙන්නාගේ සිඹීම් දීම ප්‍රතික්ෂේප නොකරන බවත්[19] දැන අප පුදුමයට පත් විය යුතු නැත. එහෙත්, යුදෙව්වන් සමඟ කටයුතු කිරීමේදී උන් වහන්සේ වෙත වූ ශාන්තභාවය මොන තරම් අපූරුද! එසේම නොඇදහිලිවන්තයන් ඇදහිල්ල පිළිගැනීමට පොලඹවා ගැනීමේදී ඇති ඉවසිල්ල, අකෘතඥ අය කරුණාවෙන් දිනා ගැනීම, උන් වහන්සේට විරුද්ධ වූවන් වෙත මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම, උඩඟුකම දයාවෙන් විඳ දරාගැනීම, පීඩා කරන්නන් කෙරෙහි නිහතමානීව කටයුතු කිරීම, අනාගතවක්තෘවරුන්ගේ මිනීමරුවන් පරාජය කිරීමට අපේක්ෂා කරමින් සහ දෙවියන් වහන්සේට විරුද්ධව අහංකාරී ලෙස කැරලි ගසන අය ගලවා ගැනීම උදෙසා උන් වහන්සේගේ දුක් විඳීම සහ කුරුසියේ මරණය දක්වා ඉවසා දරාගෙන සිටීම කෙතරම් අපූරුද!

7 වන පරිච්ඡේදය

එහෙත් උන් වහන්සේගේ දුක් විඳීමේ සහ කුරුසියේ එම පැයේදීම, උන් වහන්සේ මරා දැමීමේ සහ උන් වහන්සේගේ ලේ වැගිරවීමේ කුරිරු ක්‍රියාව සිදු කිරීමට මත්තෙන්, උන් වහන්සේ කෙතරම් කෘෘර අපචාරයන්ට ඉවසීමෙන් සවන් දුන් සේක්ද, කෙතරම් නම් නින්දා අපහාස විඳ දරාගත් සේක්ද! උන් වහන්සේගේ විරුද්ධවාදීන් විසින් උන් වහන්සේට කෙළ ගසන ලද අතර,[20] ඉන් මඳ කලකට පෙර උන් වහන්සේ තමන් වහන්සේගේම කෙළවලින් මඩ සාදා අන්ධ මිනිසාගේ දෑස් සුව කළ සේක.[21] උන් වහන්සේම පහර ලැබූ සේක. අද උන් වහන්සේගේ සේවකයෝ යක්ෂයාට සහ ඔහුගේ දූතයන්ට පහර දීමට උන් වහන්සේගේ නාමය භාවිත කරති.[22] උන් වහන්සේ දැන් ප්‍රාණ පරිත්‍යාගී වූවන් හට සදාකාලික මල් මාලා ඔටුනු පලඳන තැනැන් වහන්සේ වන අතර, උන් වහන්සේ කටු ඔටුන්න පැලඳ සිටි සේක.[23] දැන් ජයග්‍රාහකයන්ට සැබෑ ලෙස අත දෙන තැනැන් වහන්සේ සතුරන්ගේ අත්වලින් පහර දෙනු ලැබූ සේක.[24] අන් සියල්ලන්ම අමරණීය වස්ත්‍රයෙන් පලඳන තැනැන් වහන්සේගේ භූමික වස්ත්‍රය ගලවා දමනු ලැබීය.[25] ස්වර්ගීය ආහාරය ලබා දෙන තැනැන් වහන්සේට කෑමට කාඩි ලබා දෙන ලදී.[26] අපට ගැලවීමේ කුසලානය පිරි නැමූ තැනැන් වහන්සේට බීම පිණිස විනාකිරි ලබා දෙන ලදී.[27] නිර්දෝෂී වූ තැනැන් වහන්සේ, යුක්තිසහගත තැනැන් වහන්සේ, සැබවින්ම, නිර්දෝෂී සහ සාධාරණ බව වන තැනැන් වහන්සේම අපරාධකරුවන් අතර ගණන් ගනු ලැබූ සේක.[28] එසේම සත්‍යය වන තැනැන් වහන්සේ බොරු සාක්ෂි මගින් සඟවනු ලැබ ඇත. විනිශ්චයකරුවාණන් වහන්සේ වන උන් වහන්සේ විනිශ්චයට පත් කරනු ලැබූ සේක. නිශ්චල වූ දේව වාක්‍යයාණෝ කුරුසියට ගෙන යනු ලැබූ සේක. ස්වාමින් වහන්සේගේ කුරුසිපත් කිරීමේදී තාරකාවන් ව්‍යාකූල වූවද, මූලද්‍රව්‍යයන් චංචලභාවයට පත් වූවද, පොළොව වෙවුලුවද, දිවා කාලයේ රාත්‍රිය උදා වූවද,[29] යුදෙව්වන්ගේ අපරාධය දෙස නොබැලීමට බල කරමින් සූර්යයා තම කිරණ[30] සහ ඇස් වළක්වා ගත්තද, උන් වහන්සේ එකල පවා, උන් වහන්සේගේ දුක් විඳීමේදී පවා, කතා කරන්නේවත්, සෙලවෙන්නේවත්, උන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නේවත් නැත. සියලු දේම අවසානය දක්වාම නොපසුබට උත්සාහයෙන් උන් වහන්සේ විඳ දරාගන්නා සේක. එසේ කිරීම කරණකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පූර්ණ හා පරිපූර්ණ ඉවසීම අවබෝධය ඇති වනු ඇත.

8 වන පරිච්ඡේදය

එවැනි දුක් ගැහැට විඳීමෙන් පසුව, හැරී තමන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නම්, උන් වහන්සේ ඝාතනය කළ අය පවා උන් වහන්සේ පිළිගන්නා සේක. මිනිසා ගලවා ගැනීම උදෙසා ඉවසීමේ උපකරණයක් ලෙස, මේ කාරුණික ස්වාමියා තමන් වහන්සේගේ සභාව කිසිවෙකුට වසා දමන්නේ නැත. එම විරුද්ධවාදීන්, එම අපහාස කරන්නන්, උන් වහන්සේගේ නාමයට නොනැවතී ප්‍රහාර එල්ල කරන එම සතුරන්, ඔවුන් කළ වරද සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි වූවා නම්, ඔවුන් කළ අපරාධය ඔවුන් පිළිගන්නේ නම්, උන් වහන්සේ ඔවුන්ට සමාව දී පිළිගන්නවා පමණක් නොව, ස්වර්ග රාජ්‍යයේ විපාකය ඔවුන්ට ලබා දීමට ඔවුන් එයට පිළිගන්නා සේක. මෙයට වඩා ඉවසිලිවන්ත ලෙස හැඳින්විය හැක්කේ වෙන කුමක්ද? මෙයට වඩා කරුණාවන්ත යයි හැඳින්විය හැක්කේ වෙන කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය වැගිරෙන්නට සැලැස්වූ තැනැත්තාට පවා ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය තුළින් ජීවනය දෙනු ලබන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ පුදුමාකාර ඉවසීම ඒ ආකාර වේ. ඒ ආකාරයේ ඉතා යහපත් චරිතයක් ඇතිව නොසිටියේ නම්, සභාවෙහි අපෝස්තුළු පාවුල් තුමා වැනි උතුම් අයෙකු නොසිටිනු ඇත.

9 වන පරිච්ඡේදය

එහෙත් ප්‍රේමණීය සහෝදරවරුනි, අපිද ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නෙමු නම්, අපි උන් වහන්සේ පැලඳ ගන්නෙමු නම්, උන් වහන්සේම අපගේ ගැලවීමේ මාර්ගය වන සේක් නම්, ක්‍රිස්තුස් වහන්සේගේ ආචාර ධර්මවල අඩි පාරේ ගමන් කරන අය වන අපි, අපොස්තුළු යොහන් තුමා උගන්වන පරිදි, ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුව හැසිරෙමු: “උන් වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන් වහන්සේ හැසුරුණාක් මෙන් හැසිරිය යුතුය.”[31] එලෙසම තම සභාව ඔහු මත පිහිටුවීම සුදුසු යැයි ස්වාමින් වහන්සේ විසින් සලකනු ලැබූ පේතෘස් තුමා සිය හසුනෙහි මෙසේ ලියමින් අපට මෙලෙස පවසයි: “එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක‍්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වධ විඳ, නුඹලා උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගිය සේක. උන් වහන්සේ කිසි පාපයක් නොකළ සේක, උන් වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බ වුණෙත් නැත, උන් වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකළ සේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනන් වහන්සේට කාරණය භාර දුන් සේක.”[32]

                                                         10 වන පරිච්ඡේදය

ඒ අනුව, අපගේ ආදි පීතෘවරුන් හා අනාගතවක්තෘවරුන් මෙන්ම සියලු ධර්මිෂ්ඨයන්, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය පූර්ව රූපාකාරයක් ලෙස ඔවුන්ගේ පුද්ගලභාවයන්හි ක්‍රියාත්මක කළ අතර, ඔවුන්ගේ ගුණාංග තක්සේරු කිරීමේදී පෙනී යන්නේ, ඔවුන් ශක්තිමත් හා ස්ථාවරභාවයකින් යුක්තව ඉවසීම ආරක්ෂා කර ගත් බවත්, වෙන කිසිම දෙයක් වටිනා සේ නොසැලකූ බවත්ය. එබැවින් ප්‍රාණ පරිත්‍යාගී වීමේ සහ ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳීමේ ආරම්භකයා සහ එයට කැප කළ පළමු තැනැත්තා ලෙස, ආබෙල්, ඝාතකයෙකු වූ ඔහුගේ සහෝදරයාට එරෙහි වීමට හෝ ඔහු සමග අරගල කිරීමට නොගියේය. ඒ වෙනුවට, නිහතමානී ලෙස හා මෘදු ඉවසීමෙන් යුක්තව තමා මරා දැමීමට ඉඩ හැරියේය.[33] එසේම ආබ්‍රහම්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇදහිල්ලේ මූලය හා අත්තිවාරම ස්ථාපිත කළ පළමු තැනැත්තා වූ අතර, තම පුත්‍රයා සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලැබූ විට, පසුබට නොවී ප්‍රමාද නොවී දෙවියන් වහන්සේගේ ආඥාවලට සම්පූර්ණ ලෙස හා භක්තිමත් ඉවසීමෙන් යුක්තව කීකරු විය. එසේම ඊසාක්, ස්වාමින් වහන්සේගේ දුක් විඳීම සම්බන්ධයෙන් පූර්වයෙන් දක්වා ඇති තැනැත්තා වන අතර, තම පියා විසින් පූජා කරනු ලැබීමට ඉදිරිපත් කළ විට ඉවසිලිවන්තව සිටි බව දැකිය හැකිය.[34] තම සහෝදරයා නිසා යාකොබ් තමාගේම භූමියෙන් පන්නා දමනු ලැබූ කල, ඔහු ඉවසිලිවන්තව පිටත්ව ගියේය. ඉන් පසුව, වඩා මහත් ඉවසීමකින් යුක්තව, සාමකාමී බවින් යුතුව තෑගි රැගෙන විත්, නිහතමානී ලෙස ආයාචනා කරමින්, ඒ වන විටත් කෝපයෙන් පසු වූ පීඩා කරන්නා වූ සහෝදරයා හා සමඟ සමගිය ඇති කළේය.[35] ඔහුගේ සහෝදරයන් විසින් විකුණනු ලැබූ, පිටුවහල් කරනු ලැබූ යෝසෙප්, සහෝදරයින් ඔහු වෙතට පැමිණි කල, ඔවුන්ට ඉවසිලිවන්ත ලෙස සමාව දුන්නා පමණක් නොව, ඔවුන්ට නොමසුරු ලෙස හා කාරුණික ලෙස නොමිලයේ ධාන්‍යද ලබා දුන්නේය.[36] මෝසෙස්ට බොහෝ විට අකෘතඥ වූ සහ නොඇදහිලිවන්ත ජනතාවක් විසින් නින්දා කරනු ලැබූ අතර, ඔහු ගල් ගසා මරා දැමීමට පවා ඔවුහු සූදානම් වූහ. එසේ වූවත් මෝසෙස් මෘදුකමින් හා ඉවසීමෙන් යුක්තව ඔවුන් වෙනුවෙන් ස්වාමින් වහන්සේට යාච්ඤා කළේය.[37] එසේම මාංසය අනුව ක්‍රිස්තුස් වහන්සේ පොළොවට බැස පැමිණි වංශයේ වූ දාවිත් තුළ මොන තරම් ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර ක්‍රිස්තියානි ඉවසීමක් වීද! තමාගේ පීඩකයා වූ, තමා විනාශ කිරීමට මහත් ඕනෑකමින් සිටියා වූ, සාවුල් රජු විනාශ කිරීම උදෙසා දාවිත්ට බොහෝ විට අවස්ථාව ලැබුණි. එසේ වූවද, සාවුල් ඔහුට සහ ඔහුගේ බලයට යටත් වූ විට, දාවිත් ඔහුගේ ජීවිතය බේරා දීමට කැමැත්තක් දැක්වූ අතර, සතුරාගෙන් පළිගැනීමට අකමැති විය. පළිගන්නවා වෙනුවට, සාවුල් මරනු ලැබූ විට, සාවුල්ගේ මරණය සම්බන්ධයෙන් පවා ඔහු පළිගත්තේය.[38] කෙටියෙන් කිවහොත්, බොහෝ අනාගතවක්තෘවරුන් ඝාතනයට පත් කරනු ලැබ ඇත. බොහෝ ප්‍රාණ පරිත්‍යාගී අය මහිමාන්විත මරණ කරණකොටගෙන ගෞරවයට පාත්‍ර වී ඇත. ඒ සියලු දෙනාම ඉවසීමේ කුසලතාව තුළින් ඔවුන්ගේ ස්වර්ගික ඔටුනු ලබාගෙන ඇත. මක්නිසාද දුක් විඳීමේදී සහ වේදනා විඳීමේදී ඉවසීමෙන් දරාගන්නේ නැතිනම්, ශෝකය හා දුක් වේදනා සඳහා ඔටුන්නක් ලබා ගත නොහැකිය.

11 වන පරිච්ඡේදය

එහෙත්, ආදරණීය සහෝදරවරුනි, එය වඩාත් පැහැදිලිව හා වඩාත් හොඳින් දැනගත හැකි වන පරිදි, ඉවසීම කෙතරම් ප්‍රයෝජනවත් හා අවශ්‍ය දෙයක්ද? ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේදීම ආදම් කෙරෙහි වූ දෙවියන් වහන්සේගේ විනිශ්චය සලකා බලමු. ආදම් දෙවියන් වහන්සේගේ ආඥාව නොසලකා හැර, නීතිය උල්ලංඝනය කළ බැවින් ඔහු කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කරන ලදී.[39] ඒ අනුව, මේ ලෝකයේ පීඩා සහ ගැටුම්වලදී අප මෙහි අරගල කළ යුතුය යන කොන්දේසිය යටතේ උපත ලැබූ අපි, මේ ලෝකයේදී කොතරම් ඉවසිලිවන්ත විය යුතුද යන්න අපි දැන ගනිමු. දෙවියන් වහන්සේ මෙසේ පැවසූ සේක. “උන් වහන්සේ ආදම්ට කථා කොට: ඔබේ භාර්යාවගේ හඬට ඇහුම්කන් දී නොකන්ට මා අණ කළ ගහෙන් කෑ බැවින් ඔබ නිසා භූමිය ශාප ලද්දීය; ඔබේ ජීවිතයේ සියලු දවස්වලම ඔබ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය ඔබට කටුද ගොකටුද උපදවන්නේය; ඔබ වනයේ පලා කන්නෙහිය; ඔබ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් ඔබේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නේය; මක්නිසාද ඔබ දූවිලිය, දූවිල්ලට හැරී යන්නේ යයි කී සේක.”[40] මරණයේ ණය ගෙවා අප මෙලොව හැර දමා යන තුරු අප සියලු දෙනාම මෙම දඬුවමට බැඳී සිටිමු. අපගේ ජීවිතයේ සැම දිනකම අප ශෝකය හා විලාපය සහිතව ගත කළ යුතුය. එසේම අප දහඩියෙන් හා මහන්සියෙන් යුක්තව අපගේ ආහාර ලබාගත යුතුය.

12 වන පරිච්ඡේදය

එබැවින් යමෙකු උපත ලබා මෙලොව වාසස්ථානයට ඇතුළු වන කල, ඔහු එය ආරම්භ කරන්නේ කඳුළු සලමිනි. ඔහු ඒ වන විට අද්දැකීම් නැතිව සහ සැම දෙයක්ම පිළිබඳ නොදැනුවත්කමින් සිටියද, ඔහුගේ උපතේදී හැඬීම හැරෙන්නට ඔහුට කළ හැකි වෙන කිසිවක් ඇත්තේ නැත. ස්වාභාවික දූරදක්නා නුවණින් ඔහු මේ මරණීය ජීවිතයේ කරදර සහ වෙහෙස පිළිබඳ විලාප කියන අතර, එම ජීවිතයේ ආරම්භයේදීම හඬා වැලපීම කරණකොටගෙන ඔහුගේ කුඩා ආත්මය ඔහු ඇතුළු වන්නට යන ලෝකයේ පීඩාවලට සාක්ෂි දරයි. මක්නිසාද යත්, ඔහු මෙම ලෝකයේ ජීවත් වන තාක් කල් ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන බැවිනි. ඉවසීමෙන් ලැබෙන සැනසිල්ලට වඩා, වෙහෙස මහන්සි වී වැඩ කරන අයට සහනයක් ලබා දීමට හැකි වෙන කිසිවක් ඇත්තේ නැත. මෙම ඉවසීම මේ ලෝකයේ සැම කෙනෙකුටම සුදුසු වන සහ අවශ්‍ය කාරණයක් පමණක් නොව, යක්ෂයාගේ පහරදීම් තුළින් වඩාත් හිරිහැරයට ලක් වන අපට ඊටත් වඩා වැදගත් වේ. පැරණි හා ඉතා හොඳින් පුහුණු වූ සතුරෙකු සමඟ දිනපතා සටන් බිමෙහි සිටින, අපගේ සටන්වලින් වෙහෙසට පත් වන තැනැත්තන්ට මෙය වැදගත් වේ. එසේම විවිධාකාර හා නිරන්තර පරීක්ෂාවන් හා පීඩාවලට අරගලවලට අමතරව, අපගේ වස්තුව විනාශ කර දමන කල, සිර ගෙවල්වල සිටීම විඳ දරාගත යුතු වන විට, දම්වැල්වලින් බැඳ තබන කල, අපේ ජීවිත අත්හැරිය යුතු වන විට, කඩුවෙන්, වන මෘගයින්ගෙන්, ගින්නෙන්, කුරුසිපත් වීමෙන්, සහ කෙටියෙන් පැවසුවහොත්, සියලුම ආකාරයේ වධ වේදනා සහ දඬුවම් විඳ දරාගැනීමට සිදු වන කල, අපගේ ඇදහිල්ල සහ ඉවසීමේ ගුණාංගය මත රඳා පැවතිය යුතුය. ස්වාමින් වහන්සේම අපට මෙය උගන්වමින් මෙසේ පවසන සේක: “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජය ගතිමියි කී සේක.”[41] කෙසේ වෙතත්, යක්ෂයා සහ ලෝකය අතහැර දමා ඇති අපි, යක්ෂයාගේ හා ලෝකයේ පීඩාවන් සහ ප්‍රහාරයන් හේතුවෙන් නිතර නිතර හා වඩාත් ප්‍රචණ්ඩකාරී ලෙස පීඩා විඳින්නෙමු නම්, ඉවසීම කරණකොටගෙන, අපගේ සහායකයා සහ හවුල්කාරයා වශයෙන් අපට ඇති වන සියලු පීඩා විඳ දරාගත හැකි වන පරිදි, අප තව කොපමණ වැඩියෙන් ඉවසීම පවත්වා ගැනීම කළ යුතුව තිබේද?

13 වන පරිච්ඡේදය

එය අපගේ ස්වාමින් වහන්සේ හා ස්වාමියාගෙන් වන ආචාරයේ පනතකි: “අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැලවෙන්නේය.”[42] එසේම නැවත වරක් මෙසේ පවසා ඇත: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කී සේක.”[43] ආදරණීය සහෝදරවරුනි, අපි මේ දේවල් විඳ දරාගනිමින් නොපසුබස්නා උත්සාහයක් ඇතිව සිටිය යුතු වෙමු. එසේ කිරීම කරණකොටගෙන, සත්‍යය හා නිදහස පිළිබඳ බලාපොරොත්තුව පිළිගැනීමෙන්, අපට අවසානයේදී එම සත්‍යයම හා එම නිදහසම ලබා ගත හැකි වනු ඇත. මන්ද අප කිතුනුවන් වීම යන කාරණය ඇදහිල්ලේ හා බලාපොරොත්තුවේ ප්‍රභවයක් වන බැවිනි. කෙසේ වෙතත්, බලාපොරොත්තුව සහ ඇදහිල්ල එහි ඵලදායිතාවයට ළඟා වීමට නම්, ඉවසීම අවශ්‍ය වේ. මක්නිසාද අප උත්සහා කරන්නේ වර්තමාන මහිමය ලබාගැනීම සඳහා නොව, අනාගතයේ මහිමයක් ලබාගැනීම උදෙසාය. අපෝස්තුළු පාවුල් තුමා අපට උගන්වමින් පවසන ආකාරයට එය මෙයාකාර වේ: “මක්නිසාද අප ගලවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ කවරෙක්ද? නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.” [44] අප වීමට ආරම්භ කර ඇති දේ සම්පූර්ණ කිරීමටත්, දෙවියන් වහන්සේගේ උපකාරය තුළින්, අප බලාපොරොත්තුවෙන් සිටින දේ සහ විශ්වාස කරන දේ අප ලබා ගන්නා පිණිසත්, ඉවසිලිවන්තව බලා සිටීම අවශ්‍ය වේ. ඒ අනුව, වෙනත් ස්ථානයක, අපොස්තුළු පාවුල් තුමාම ධර්මිෂ්ඨ අයට සහ ක්‍රියා කරන අයට සහ දිව්‍යමය උනන්දුව වැඩි වීමෙන් ඉවසීමෙන් යුක්තව කටයුතු කරමින්, තමන් උදෙසා ස්වර්ගීය වස්තුව රැස් කර ගන්නා අයට, උපදෙස් දෙමින් මෙසේ උගන්වයි: “තවද යහපත්කම් කිරීමට මැළි නොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපා ගන්නෙමුව. එබැවින් අපට ප‍්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප‍්‍රධාන කොට ඇදහිල්ලේ පවුලට අයිති වූවන්ට, යහපත්කම් කරමු.”[45] ඉවසීම නැතිකම නිසා කිසිවෙකුත් තමාගේ යහපත් වැඩවලින් වෙහෙසට පත් නොවන ලෙසට ඔහු අනතුරු අඟවයි. අවධානයට බිඳී වෙනස් අතකට ගිය හෝ, පරීක්ෂාවන්ගෙන් ජයගත් ඕනෑම අයෙකු, ඔහුගේ ප්‍රශංසාව හා මහිමය මධ්‍යයේ මඳක් නතර විය යුතුය. එසේ ඔහුගේ අතීත ක්‍රියා නැති වී යන අතරම, පරිපූර්ණ වීමට පටන් ගෙන තිබූ දේවල් නවතා දමනු ලැබ ඇත: එහි මෙසේ ලියා ඇත: “ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැලවෙන්නේය; ධර්මිෂ්ඨයා පව් කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත් වෙන්ට ඔහුට පුළුවන් වෙන්නෙත් නැත.”[46] එසේම නැවතත් වරක් මෙසේ පවසා ඇත: “කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න.”[47] මේ වචන ඉවසිලිවන්තව සිටීමට හා අධිෂ්ඨානශීලී වීමට තදින් ඉල්ලා සිටියි. එසේ කිරීම කරණකොටගෙන, ඔටුන්නක් ලබා ගැනීම සඳහා වෙහෙසෙන තැනැත්තාට, ප්‍රශංසාව දැනටමත් ලැබී ඇත. මන්ද ඔහු ඉවසීමෙන් යුක්තව දරාගත් නිසා, ඔහුට ඔටුන්න හිමි වනු ඇත.

14 වන පරිච්ඡේදය

කෙසේ වෙතත්, ආදරණීය සහෝදරවරුනි, ඉවසීම යහපත් දේ ආරක්ෂා කරනවා පමණක් නොව, නපුරු දේද ප්‍රතික්ෂේප කරන්නේය. ශුද්ධාත්මයාණන් වහන්සේට කැපවී ස්වර්ගීය හා දිව්‍යමය දේවලට ඇලුම් වී සිටින එය, මාංසයේ හා ශරීරයේ ක්‍රියාවන්ට එරෙහිව, ආත්මයට කුණාටු පැමිණෙන කල සහ ආත්මය අල්ලා ගන්නා කල, එවැනි ක්‍රියාවන්ට එරෙහිව එහි ගුණධර්ම සමගින් අරගල කරයි. ඒ අනුව, අපි බොහොමයක් වූ මෙම ක්‍රියාවන්ගෙන් කිහිපයක් මෙහිදී විමසා බලමු. එවිට එම ක්‍රියාවන් කිහිපය මගින් අනෙකුත් සියල්ල තේරුම්ගත හැකි වනු ඇත. කාමමිථ්‍යාචාරය, වංචාව, මිනී මැරීම මරණීය පාප වේ. හදවත තුළ ශක්තිමත්ව හා ස්ථාවර ලෙස ඉවසීම පවතීවා. එවිට දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ හා දේවමාලිගාව වන ශරීරය කාමමිථ්‍යාචාරය කරණකොටගෙන දූෂිත තත්වයට පත් නොවනු ඇත. යුක්තිය වෙනුවෙන් කැප වූ නිර්දෝෂී අය, වංචාවේ පැතිරීම නිසා විනාශ නොවනු ඇත. එසේම දිව්‍ය සත්ප්‍රසාදය[48] අතින් ඇල්ලූ තැනැත්තා ලේ තැවරුණු කඩුවක් සමග නොසිටිනු ඇත.

15 වන පරිච්ඡේදය

ප්‍රේමය යනු සහෝදරත්වයේ බැඳීම වේ. සාමයේ පදනම වේ. එකමුතුකමේ ස්ථිරභාවය සහ නිශ්චිතභාවය වේ. එය බලාපොරොත්තුව හා ඇදහිල්ල යන දෙකටම වඩා ශ්‍රේෂ්ඨ වේ.[49] එය යහපත් ක්‍රියා සහ ඇදහිල්ල නිසා දුක් වේදනා විඳ දරාගැනීම යන දෙකටම වඩා විශිෂ්ටය. සදාකාලික ගුණාංගයක් ලෙස, එය ස්වර්ග රාජ්‍යය තුළ සදහටම අප සමඟ රැඳෙනු ඇත. ප්‍රේමයෙන් ඉවසීම ඉවත් කරන්න. එවිට ප්‍රේමය අත්හැරී යනු ඇත. එවිට ප්‍රේමය පවතින්නේ නැත. ප්‍රේමයෙන් විඳ දරාගැනීමේ සහ ඉවසීමේ සාරය ඉවත් කරන්න. එවිට එය මුල් හෝ ශක්තියක් නොමැතිව පැවතීමට උත්සාහ කරයි. ඒ අනුව, අපොස්තුළු තුමා ප්‍රේමය සම්බන්ධයෙන් කතා කරන විට එයට ඉවසීම හා විඳ දරාගැනීම හා සම්බන්ධ කරමින් මෙසේ පවසයි: “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යා වෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත, උඩඟු‍ වෙන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝප වෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත; සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය.”[50] මෙමගින් ඔහු පෙන්වා දුන්නේ, ප්‍රේමය සියල්ල විඳදරා ගන්නේ කෙසේද යන්න ඉගෙනගෙන ඇති හෙයින්, එයට ස්ථිරව පැවතිය හැකි බවය. එසේම තවත් ස්ථානයක ඔහු මෙසේ සඳහන් කරයි: “සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා, සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන්න.”[51] සහෝදරයන් එකිනෙකා අන්‍යෝන්‍ය ලෙස ඉවසීමෙන් දරාගන්නේ නම් සහ අතරමැදියා ලෙස ඉවසීමෙන් සමගියේ බැඳීම ආරක්ෂා කරගන්නේ නම් පමණක් මිස, එක්සත්කම හෝ සාමය ආරක්ෂා කළ නොහැකි බව ඔහු ඔප්පු කළේය.

16 වන පරිච්ඡේදය

එසේ නම්, ඔබට මේ දේවල් – දිවුරුම් දීමකින් හෝ ශාප කිරීමෙන් හෝ තොරව, ඔබෙන් උදුරා ගත් දේ නැවත නොසොයා,[52] ඒවා විඳ දරාගැනීමට හැකි වන්නේ කෙසේද? එසේම ඔබට පහර දෙනු ලැබූු කල අනෙක් කම්මුලද හැරවීම,[53] ඔබට වරද කරන ඔබගේ සහෝදරයාට, සත්වරක් නොව ඔහු ඔබට සිදු කරන සියලුම වරදවලට සමාව දීම,[54] ඔබේ සතුරන්ට ප්‍රේම කිරීම, ඔබේ විරුද්ධවාදීන් සහ ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කිරීම,[55] යන කාරණා, ඔබට ඉවසීම සහ විඳ දරාගැනීමේ ස්ථිර බව නොමැති නම් ඔබ එ්වා සිදු කරන්නේ කෙසේද? ස්තේපන්ගේ සිදු වීමේදී කුමක් සිදු වූවාද යන්න අපි දකිමු. ඔහු යුදෙව්වන්ගේ ප්‍රචණ්ඩත්වය හමුවේ ගල්වලින් ගසා මරණයට පත් කරන ලද අවස්ථාවේදී, ඔහු තමා ඝාතනය කරන අයට විරුද්ධව ඔවුන්ගෙන් පළිගන්නා ලෙස නොව, ඔවුන්ට සමාව දෙන මෙන් ඉල්ලා සිටිමින්: “ස්වාමින් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගසා කීවේය.”[56] එම නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ පළමුවැනි ප්‍රාණ පරිත්‍යාගිවරයා, ඔහුට පැමිණීමට නියමිත මහිමාන්විත ප්‍රාණ පරිත්‍යාගි වීමේ මරණය සිදු වන කල, ස්වාමින් වහන්සේගේ දුක් වේදනා දේශනා කරන්නෙකු වූවා පමණක් නොව, උන් වහන්සේගේ මහත් ඉවසිලිවන්ත මෘදුකම අනුකරණය කරන්නෙකු වීම වඩාත් ගැළපෙන්නකි. කිතුනුවෙකුට නොතිබිය යුතු නපුරුකම්, අසමගිය, වාද විවාද, දුෂ්ටකම් ගැන මා කුමක් කියන්නද? ඔබේ හදවතේ ඉවසීම තිබේවා. එවිට මෙම මෙම නපුරු දේවලට එහි ස්ථානයක් නොලැබෙනු ඇත. නැතහොත් ඒවා ඇතුළු වීමට උත්සාහ කළහොත්, ඒවා ඉතා ඉක්මනින් පලවා හරින බැවින්, එවා ඉක්මනින් ඉවත්ව යනු ඇත. එවිට හදවත සාමයේ දෙවියන් වහන්සේ රැඳී සිටීමට ප්‍රසන්න වන ආකාරයේ සාමකාමී වාසස්ථානයක් ලෙස නොකඩවම පවතිනු ඇත. ඒ අනුව, අපොස්තුළු තුමා අවවාද කර උගන්වමින් මෙසේ පවසයි: “දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන් වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.”[57] මක්නිසාද යත්, කිතුනුවෙකු මුහුදේ කුණාටුවලින් ඉවත් වී සිටින්නාක් මෙන් මාංසයේ කෝපයෙන් හා වාද විවාදවලින් ඉවත් වී, දැන් ක්‍රිස්තුස් වහන්සේගේ සන්සුන් හා මෘදු වරායේ නැවතී එ් අනුව හැසිරීම ආරම්භ කර ඇත්නම්, ඔහු තමාගේ හදවත තුළට කෝපය හෝ අසමගිය ඇතුළු වීමට ඉඩ නොතැබිය යුතුය. මක්නිසාද නපුරට නපුර සිදු කිරීම හෝ වෛර කිරීම හෝ ඔහුට සුදුසු නැත.

17 වන පරිච්ඡේදය

ඒ හා සමාන ලෙස, මාංශයේ විවිධ දුෂ්කරතා සහ මිනිස් සංහතිය දිනපතා වෙහෙසට හා පීඩාවට පත් වන ආකාරයේ ශරීරයේ නිරන්තර හා කුරිරු වධ හිංසා සම්බන්ධයෙන්ද ඉවසීම අවශ්‍ය වේ. මක්නිසාද යත්, දෙවියන් වහන්සේගේ ආඥාව පළමු වර උල්ලංඝනය කිරීමේ සිට ශරීරයේ ශක්තිය එහි අමරණීයභාවය සමගින් ඉවත් වූ අතර, මරණය කරණකොටගෙන ශරීරයට දුර්වලතාවය ඇතුළු විය. එසේම අමරණීයභාවය නැවත ලබා ගැනීමකින් තොරව ශරීර ශක්තිය නැවත ලබාගත නොහැකි නිසාත්, මෙම ශාරීරික දුර්වලතාවය සහ දුබලකමේ තත්වය තුළ දිගටම අරගල කිරීම හා පොරබැදීම අවශ්‍ය වේ. එසේම මෙම අරගලය හා පීඩා විඳීම ඉවසීමේ ශක්තියෙන් තොරව දරාගැනීමට නොහැකිය. එහෙත් අප පරීක්ෂා කරනු ලබන පිණිස සහ අප කවුරුන්ද යන්න ඔප්පු කිරීම සඳහා විවිධාකාර දුක් වේදනා අප කෙරෙහි ඇති වීමට සලසා ඇත. ඒ අතර, ධනය අහිමි වීම, අධික උණ රෝගය, තුවාලවලින් වේදනා විඳීම, ආදරණීය අයගේ මරණ හේතුවෙන් වේදනා විඳීම ආදිය සිදු වනු ඇත. ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ අය වෙන් කර දක්වන මේ කාරණය හැරුණුකොට වෙනත් කිසිවක් ඇත්තේ නැත. එනම්, විපත් කාලයේදී අධර්මිෂ්ඨ මනුෂ්‍යයා පැමිණිලි කරමින් දෙවියන් වහන්සේට අපහාස කරන්නේය. එයට හේතුව වන්නේ නොඉවසිලිවන්ත බවයි. එහෙත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයා ඉවසිල්ල කරණකොටගෙන ඔප්පු කරනු ලැබේ. එහි මෙසේ ලියා ඇත: “ඔබට විපත් පැමිණෙන විට ඒවා දරාගන්න. ඔබට වේදනා ඇති වන විට ඉවසීමෙන් සිටින්න. මක්නිසාද රන් සහ රිදී ගින්නෙන් සෝදිසි කරනු ලැබේ.”[58]

18 වන පරිච්ඡේදය

මේ අනුව, යෝබ් පරීක්ෂා කරනු ලැබ, ඔහුගේ චරිතය ඔප්පු වීමෙන් පසු, ඔහු ප්‍රශංසාවේ හිණි පෙත්තටම උසස් කරනු ලැබීය. එසේ වූයේ ඔහු වෙත වූ ඉවසිලිවන්තකමේ ගුණාංගය නිසාය. ඔහුට විරුද්ධව යක්ෂයා කොපමණ ආයුධ ප්‍රමාණයක් එල්ල කළේද! ඔහු කොපමණ වධ හිංසාවලට පමුණුවා ඇත්ද! ඔහුගේ දේපළ අහිමි වීමෙන් ඔහු පීඩා වින්දේය. ඔහුගේ දරුවන් අහිමි වීම නිසා ඔහු කිසිවෙකු නැති අයෙකු බවට පත් විය. ධනයෙන් පොහොසත් ස්වාමියෙකු සහ දරුවන්ගෙන් පොහොසත් පියෙකු වූ ඔහු හදිසියේම තවදුරටත් ස්වාමියෙකු හෝ පියෙකු හෝ නොවීය. කුරිරු තුවාලවලින් ඔහුගේ සිරුරට පහර දෙන ලද අතර, ඔහුගේ දියර ගලන තුවාල හා දිරාපත් වූ අත් පා පණුවන් ආහාරයට ගැනීමෙන් විනාශ විය. යෝබ්ගේ පීඩාවලදී ඔහු අත්විඳ නැති කිසිම දෙයක් තිබුණේ නැත. යක්ෂයා ඔහුගේ භාර්යාව පවා ඔහුට විරුද්ධව සන්නද්ධ කෙළේය. ඔහුගේ දුෂ්ටකමේ එම පැරණි උපකරණය භාවිත කරමින්, ඔහු ආරම්භයේදී සිදු කළාක් මෙන්ම, ස්ත්‍රියක තුළින් සියලු පුරුෂයන් රවටා ඔවුන් වංචාවට ලක් කළ හැකිය. කෙසේ වෙතත්, යෝබ් මෙම දරුණු හා අඛණ්ඩ පහරදීම්වලින් බිඳී නොගිය අතර, මෙම පීඩා සහ වේදනාවන් මධ්‍යයේ වුවද, ඔහු වෙත වූ ජයග්‍රාහී ඉවසීම කරණකොටගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේය. ටොබියාස්ද, යුක්තිය සහ දයාව පිළිබඳ ඔහුගේ අපූරු වැඩ කිරීමෙන් පසු, ඔහුගේ ඇස් පෙනීම නැති වීම නිසා වූ ඔහුගේ අන්ධභාවය මහත් ඉවසීමෙන් විඳ දරාගත්තේය. එසේ ඔහුගේ ඉවසීමේ කීර්තිය තුළින් දෙවියන් වහන්සේගෙන් කැපී පෙනෙන විපාකයක් ලබා ගත්තේය.

19 වන පරිච්ඡේදය

තවද, ආදරණීය සහෝදරවරුනි, ඉවසීමේ යහපත්කම වඩාත් දීප්තිමත්ව බබළන පිණිස, අනෙක් අතට, නොඉවසිලිමත්කම ඇති කරන නපුර කුමක්දැයි සලකා බලමු. මක්නිසාද ඉවසීම ක්‍රිස්තුස් වහන්සේගේ යහපත්කම වන බැවින්, ඊට පටහැනිව, නොඉවසිලිමත්කම යක්ෂයාගේ නපුරක් වේ. එසේම ක්‍රිස්තුස් වහන්සේ ඔහු තුළ වැඩවසන හා ජීවත් වන මිනිසා ඉවසිලිවන්ත මිනිසෙකු වන හෙයින්, යක්ෂයාගේ දුෂ්ටකම ආවේශ වී ඇති අයෙකුගේ මනස නිතරම නොඉවසිලිමත් වේ. ඒ අනුව, නොඉවසිලිමත්කමේ මූලාරම්භය පිළිබඳ අපි සලකා බලමු. මිනිසා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බවට වන කාරණය යක්ෂයා නොඉවසිලිමත්කමින් දරා සිටියේය. මේ හේතුව නිසා ඔහු මුලින්ම විනාශ වූ තැනැත්තා මෙන්ම විනාශ වීමට හේතු වූ තැනැත්තාද විය. ආදම් ස්වර්ගීය ආඥාව උල්ලංඝනය කරමින්, මාරාන්තික ආහාරයට ඇති ආශාවට එරෙහි වීමට අසමත් වූ අතර, පාපයේ මරණයට වැටුණේය. ඔහු ඉවසීමේ භාරකාරත්වය යටතේ දෙවියන් වහන්සේගෙන් ලද වරප්‍රසාදය ආරක්ෂා කළේ නැත. කායින් තම සහෝදරයාගේ පූජාව හා තෑග්ග ගැන නොඉවසිලිමත් වී ඔහු මරා දැමුව්ය. [59] ඒසව් පහත් දේ ඉහළට ඔසවා තැබූ නිසා, කොල්ලු කෑමට තිබූ නොඉවසිලිමත්භාවය නිසා ඔහුට ඔහුගේ උපතේදී වූ අයිතිය අහිමි කර ගත්තේය.[60] දිව්‍යමය ආශිර්වාද පිළිබඳ යුදෙව් ජනතාව අවිශ්වාසවන්තව සිටින්නේ සහ අකෘතඥව සිටින්නේ මන්ද?

ඔවුන් මුලින්ම දෙවියන් වහන්සේගෙන් ඉවත්ව ගියේ මෙම නොඉවසිලිමත්කමේ අපරාධය හේතුවෙන් නොවේද? ඔවුන්ට මෝසෙස් දෙවියන් වහන්සේ සමඟ කථා කිරීම නිසා ඇති වූ ප්‍රමාදය දරාගත නොහැකි වූ විට, නින්දිත දෙවි දේවතාවන් ඉල්ලා සිටීමටත්, වසු පැටවෙකුගේ හිස හා භූමික රූපයක් ඔවුන්ගේ ගමනේ නායකයා ලෙස ප්‍රකාශ කිරීමටත් ඔවුහු නිර්භීත වූහ.[61] මෙම නොඉවසිලිමත්කමේ එකම වැරැද්ද ඔවුන් කිසි විටෙකත් අත්හැරියේ නැත. ඒ වෙනුවට ඔවුහු සැම විටම දිව්‍යමය ඉගැන්වීම් හා මඟ පෙන්වීම් පිළිබඳ නොඉවසිලිමත් වූහ. ඔවුන්ගේ සියලුම අනාගතවක්තෘවරුන් සහ සියලුම ධර්මිෂ්ඨ මිනිසුන් ඝාතනය කිරීම කරණකොටගෙන, ඔවුහු කුරුසියට හා ස්වාමින් වහන්සේගේ රුධිරය වැගිරවීමටත් ඉක්මන් වූහ. නොඉවසිලිමත්කම සභාව තුළ මිථ්‍යාදෘෂ්ටිකයන් බිහි කරන අතර, යුදෙව්වන්ගේ ක්‍රමයට අනුව එය, එනම්, සතුරු ක්‍රියාවන් සිදු කිරීම සහ කෝපයෙන් වෛර කිරීම, ක්‍රිස්තුස් වහන්සේගේ සාමයට හා ප්‍රේමයට එරෙහිව කැරලි ගැසීමක් වන්නේය. කිසිම විකල්පයකින් තොරවම, ඉවසීම ඇතිව සිදු කරන ක්‍රියාවන් සියල්ලම මහිමය උදෙසා වන්නක් වන අතර, නොඉවසිලිමත්කම විනාශයට පත් කරන්නක් වන බවට කරන විස්තර ලබා දීමෙන් වෙහෙසට පත් නොවිය යුතුය.

20 වන පරිච්ඡේදය

එබැවින්, ආදරණීය සහෝදරවරුනි, ඉවසීමේ වාසි සහ නොඉවසිලිමත්කමේ නපුර පරෙස්සමින් සෝදිසි කර බැලීමෙන් අනතුරුව, අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ හා ක්‍රිස්තුස් වහන්සේ සමග බැඳී සිටිමින් දෙවියන් වහන්සේ වෙතට පැමිණිය හැකි වන පිණිස සම්පූර්ණ ලෙසම ඉවසීම පවත්වා ගනිමු. එම පොහොසත් මෙන්ම විද්‍යමානව පවතින්නා වූ ඉවසීම, පටු දෙයක් තුළ හෝ සුළු කාරණාවලින් හෝ සීමා වී නොපවතී. ඉවසීමේ ගුණාංගය පුළුල් ලෙස ව්‍යාප්ත වන අතර, එයින් ඇති වන ප්‍රයෝජන සහ එහි බහුලත්වය පැමිණෙන්නේ සැබවින්ම එකම නමක් සහිත ප්‍රභවයකිනි. එහෙත් එයින් සම්පූර්ණයෙන් ගලා යන ධාරාවන් හරහා එය බොහෝ තේජාන්විත කාරණාවලට විසුරුවා හරිනු ලබන්නේය. එමෙන්ම එම ප්‍රභවය කරණකොටගෙන ගලා එන බලය ලබාගන්නේ නැතිව, අපගේ ක්‍රියාවන්ගෙන් කිසිවකට ඉවසීමෙන් ලැබෙන විපාකය මුළුමනින්ම අවබෝධ කරගැනීමට නොහැකි වේ. අප දෙවියන් වහන්සේ වෙතට උසස් කරන්නේත්, අප දෙවියන් වහන්සේ උදෙසා ගලවනු ලබන්නේත් යන කාරණා දෙකම සිදු වන්නේ ඉවසීම මගිනි. කෝපය ඇවිස්සීම පාලනය කිරීම, දිව පාලනය කිරීම, මනස පාලනය කිරීම, සාමය ආරක්ෂා කිරීම, විනය පාලනය කිරීම, රාග තෘෂ්ණාවේ ප්‍රහාර බිඳ දැමීම, උඩඟුකමේ ප්‍රචණ්ඩත්වය මැඬපැවැත්වීම, විරුද්ධවාදයේ ගින්න නිවා දැමීම, ධනවතුන්ගේ බලය සීමා කිරීම, දුප්පතුන් ඔවුන්ගේ කොටස ආරක්ෂා කර ගැනීම උදෙසා ඔවුන්ගේ ඉවසා දරාගැනීම අලුත් කිරීම, කන්‍යාවන්ගේ ආශිර්වාද ලත් අවංකකම රැකගැනීම, වැන්දඹුවන්ගේ දුෂ්කර නිර්මලකම ආරක්ෂා කිරීම සහ ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් අතර ඇති නොබිඳිය හැකි ආදරය ආරක්ෂා කිරීම යන සියලු දේම සිදු කරන්නේ එම ඉවසීම වේ. එය පුරුෂයින් සමෘද්ධියේදී නිහතමානී අය කිරීමත්, විපත්තියේදී නිර්භීත අය කිරීමත්, තුවාල හා අපහාස හමුවේ නිහතමානී අය කිරීමත් සිදු කරන්නේය. අපට වැරදි කරන අපගේ සිත් රිදවන අයට ඉක්මනින් සමාව දීමට එය අපට උගන්වයි; ඔබම අමනාපයට හේතුවක් වී ඇත්නම්, එය නිතරම සමාව ඉල්ලා සිටීමට සහ විඳ දරාගැනීමට ඔබට උගන්වයි. එය පරීක්ෂාවන් මැඬපවත්වයි, පීඩාවන් විඳ දරා ගනියි, දුක් වේදනා සහ ප්‍රාණ පරිත්‍යාගී වීම අවසානය දක්වාම විඳ දරා ගනියි. අපගේ ඇදහිල්ලේ අත්තිවාරම දැඩි ලෙස ශක්තිමත් කරන්නේ මෙම ඉවසීමයි. අපගේ බලාපොරොත්තුවේ වර්ධනය උත්කර්ෂවත් ලෙස වර්ධනය කරන්නේ මෙම ඉවසීමයි. ක්‍රිස්තුස් වහන්සේගේ ඉවසීම නිසා අප ප්‍රගතියක් ලබන අතරම, ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයෙහි දිගටම ගමන් කළ හැකි වන පිණිස එය අපගේ ක්‍රියාව මෙහෙයවන්නේය. අප පියාණන් වහන්සේගේ ඉවසීම අනුකරණය කරන අතරම, එය දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වශයෙන් අපගේ විඳ දරාගැනීම සහතික කරන්නේය.

21 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරවරුනි, බොහෝ දෙනෙක්, ඔවුන්ගේ තදබල තුවාල නිසා හෝ ඔවුන්ට පහර දී ඔවුන්ට විරුද්ධව කෝප වන අය කෙරෙහි ඇති අමනාපය නිසා, ඉක්මනින් පළිගැනීමට කැමති බව මම දනිමි. එබැවින්, මෙය අවසාන කිරීමට ප්‍රථමයෙන් මා ඔබට අනතුරු ඇඟවිය යුතුව ඇත. කැලඹිලි සහිත ලෝකයක මෙම කුණාටුවලදී සහ යුදෙව්වන්ගේ හෝ අන්‍යජාතීන්ගේ හෝ මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ පීඩාවන් මධ්‍යයේදී, පළිගැනීමේ දවස එනතුරු අපි ඉවසීමෙන් බලා සිටිය යුතු වෙමු. අපගේ වේදනාව නිසා කෝපයෙන් යුතුව ඉතා වේගයෙන් පළිගැනීමට අප ඉක්මන් නොවිය යුතුය. මන්ද එහි මෙසේ ලියා ඇත: “සාක්ෂියක් පිණිස මාගේ නැවත නැඟිටුවනු ලැබීමේ දවසේදී, මාගේ විනිශ්චය ජාතීන් රැස් කර සිදු වන බැවින්, එහිදී රජවරුන් පැමිණෙනු ඇත. මම ඔවුන් කෙරෙහි මාගේ උදහස වගුරුවන්නෙමි. මා බලාපොරොත්තුවෙන් සිටින්න, යයි ස්වාමින් වහන්සේ වදාරන සේක.”[62] අනාගතයේ සිදු වන පළිගැනීමේ දවස එන තෙක් බලා සිටිමින් දැඩි ඉවසීමෙන් කටයුතු කරන ලෙස ස්වාමින් වහන්සේ අපට අණ කර ඇති සේක. එසේම උන් වහන්සේ එළිදරව්වෙහි කථා කරමින් මෙසේද පවසන සේක: “මේ පොතේ අනාගතවාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න; මක්නිසාද කාලය ආසන්නය. අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත‍්‍ර තැනැත්තා මතුත් අපවිත‍්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා. මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක‍්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.”[63] එම නිසා, ප්‍රාණ පරිත්‍යාගීන් පවා ඔවුන්ගේ දුක් වේදනාවේ දැඩි බවින් මොරගසන කල සහ ඔවුන් දඬුවම් කිරීමට ඉක්මන් වන විටත්, තවදුරටත් නියම කරන ලද කාලය සම්පූර්ණ වන තුරු සහ ප්‍රාණ පරිත්‍යාගීන් ගණන සම්පූර්ණ වන තෙක් බලා සිටීමට මෙන්ම ඉවසීමෙන් සිටීමටත් එය ප්‍රකාශ කිරීමටත් නියෝග කර ඇත. උන් වහන්සේ මෙසේ වදාළ සේක: “උන් වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි. ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධ වූ සැබෑ වූ තැනන් වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප‍්‍රමාද වන සේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය. ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේය. ඔවුන් ලෙසම මරනු ලබන්ට සිටින්නා වූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වන තුරු, තව ස්වල්ප කාලයක් නවතින්ට කියා ඔවුන්ට කියන ලද්දේය.”[64]

22 වන පරිච්ඡේදය

එහෙත් ධර්මිෂ්ඨ අයගේ රුධිරය සඳහා දිව්‍යමය පළිගැනීම පැමිණෙන කල, සිදු වන දේ ශුද්ධාත්මයාණන් වහන්සේ මලාකි අනාගතවක්තෘවරයා මාර්ගයෙන් මෙසේ ප්‍රකාශ කරන සේක: “මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු‍ අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක.” [65]  එසේම අපි ඒ හා සමාන කාරණයක් ගීතාවලියෙහි කියවමු. එහිදී විනිශ්චයකරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ පැමිණීම උන් වහන්සේගේ විනිශ්චයේ මහිමය නිසා ගෞරවයට පාත්‍ර විය යුතු බව ප්‍රකාශ කර ඇත: “අපේ දෙවියන් වහන්සේ වඩින සේක, නිශ්ශබ්ද නොවන සේක. උන් වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශ කරන්නේය, උන් වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධික වන්නේය. උන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසන සේක. පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළා වූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්. අහස උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප‍්‍රකාශ කරන්නේය; මක්නිසාද දෙවියන් වහන්සේම විනිශ්චයකාරයාණෝය.”[66]  එසේම යෙසායාද ඒ කාරණයම පවසමින් දිවැස්වැකි පැවසීය: “මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනි දැල්වලින්ද ඉෂ්ට කරන පිණිස ගිනි සහිතවද උන් වහන්සේගේ රථ සුළි හුළඟ මෙන්ද එනවා ඇත. එසේය, ස්වාමින් වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමය වූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමින් වහන්සේගෙන් මැරුම් කනවා ඇත.[67] එසේම නැවතත් වතාවක් මෙසේ දක්වා ඇත: “ස්වාමින් වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එන සේක; උන් වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවන සේක; උන් වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරන සේක. මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑ ගසන්නෙමි; එක විටම කට ඇර හති දමන්නෙමි.” [68]

23 වන පරිච්ඡේදය

එහෙත් උන් වහන්සේ පෙර නිශ්ශබ්දව සිටියද, සැම විටම නිශ්ශබ්දව නොසිටින බව පැවසූ තැනැන් වහන්සේ කවුරුන්ද? ඒ නිසැක වශයෙන්ම, මරන්නට ගෙන යන බැටළුවෙකු සහ බැටළු පැටවෙකු උගේ ලොම් කපන්නා ඉදිරියෙහි නිහඬව සිටින්නාක් මෙන් තමන්නේ මුඛය නෑර සිටිය තැනැන් වහන්සේම වන සේක.[69] නියත වශයෙන්ම ඒ මොර නොගසන්නා වූ, ස්වකීය හඬ නොනගන්නා වූ, වීථියෙහි එය ඇසෙන්ට නොදුන්නා වූ තැනැන් වහන්සේමය. මුරණ්ඩු නොවූ තැනැන් වහන්සේමය.[70] නිසැක ලෙසම ඒ, කැරලිකාර වුණේවත් පස්සට හැරුණේවත් නැති, තමාගේ පිට තළන්නන්ටත් තමාගේ කම්මුල් රැවුල් උදුරන්නන්ටත් දුන් තැනැන් වහන්සේමය. තමාගේ මුහුණ නින්දාවෙනුත් කෙළ ගැසීමෙනුත් සඟවා නොගත් තැනැන් වහන්සේමය.[71] ඒ පූජකයන් හා වැඩිමහල්ලන් විසින් චෝදනා කරනු ලැබූ විට පිළිතුරු කිසිවක් නොදුන් තැනැන් වහන්සේමය.[72] එසේම පිලාත් පුදුමයට පත් කරමින්, උන් වහන්සේගේ පුදුම ඉවසිලිවන්ත නිහඬතාවය රැකගත් තැනැන් වහන්සේමය.[73] උන් වහන්සේගේ දුක් විඳීමේදී නිහඬව සිටියද, ගණන් ගැනීමේ දවසේදී නිහඬව නොසිටින තැනැන් වහන්සේ උන් වහන්සේ වන සේක. උන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ වන සේක. එනම් සියල්ලන් විසින් හඳුනානොගත් නමුත් ඇදහිලිවන්තයන් සහ විශ්වාස කරන්නන් විසින් පමණක් පිළිගන්නා ලද දෙවියන් වහන්සේ වන සේක. එසේම උන් වහන්සේ සිය දෙවන පැමිණීමේදී තමන් ප්‍රකාශ වෙමින් පෙනී සිටින කල, උන් වහන්සේ නිහඬව නොසිටිනු ඇත. මක්නිසාද උන් වහන්සේ කලින් නිහතමානීව සැඟවී සිටියද, උන් වහන්සේ බලයෙන් යුක්තව ප්‍රකාශ වෙමින් පැමිණෙනු ඇත.

24 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරවරුනි, උන් වහන්සේ විනිසුරුවරයාණන් වහන්සේ සහ පළිගන්නා තැනැන් වහන්සේ වන සේක. උන් වහන්සේ තමා ගැනම පළිගන්නා විට, උන් වහන්සේගේ සභාවේ ජනයාගෙන් සහ ලෝකයේ ආරම්භයේ සිටම ධර්මිෂ්ඨ කරනු ලැබූවන්ගේ සංඛ්‍යාවෙන් පළිගැනීමට අපේක්ෂා කරන්නේ කවුරුන්ද යන්න අප විසින් බලා සිටිය යුතුය. තමා සම්බන්ධයෙන්ම පළිගැනීමට ඉක්මන් වී ක්ෂණයකින් ක්‍රියා කරන තැනැන් වහන්සේ, පළිගන්නා තැනැන් වහන්සේම, උන් වහන්සේ වෙනුවෙන් පළිගත්තේ නැති බව අපි කල්පනා කරමු. [පියාණන් වන දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාට නමස්කාර කරන ලෙස අණ කර තිබෙන අතර, දිව්‍යමය ශික්ෂා පදය ගැන සිහියෙන් සිටින ප්‍රේරිත පාවුල් තුමා එය ප්‍රකාශ කරමින් මෙසේ පවසයි: “එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ ඉතා උසස් කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන් වහන්සේට දුන් සේක. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, … ”[74]] එළිදරව් පොතෙහි, යොහන් තුමා දේවදූතයාට නමස්කාර කිරීමට සූදානම් වූ කල, දේවදූතයා ඔහුගේ එම ක්‍රියාව ප්‍රතික්ෂේප කරමින් ඔහුට මෙසේ පැවසුවේය. “එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදර වූ ප්‍රොපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂා කරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. ස්වාමි වූ යේසුස් වහන්සේට නමස්කාර කරන්න.”[75] එසේ නම්, අපගේ ස්වාමින් වන යේසුස් වහන්සේ කෙතරම් පුදුමාකාරද? එසේම ස්වර්ගයෙහි වැඳුම් පිදුම් ලබන තැනැන් වහන්සේ ලෙස සිටියදීත්, තවමත් පොළොවෙන් පළිනොගෙන සිටීම තෙතරම් ඉවසිලිවන්ත බවක්ද! ආදරණීය සහෝදරවරුනි, අපගේ පීඩාවන් සහ දුක් වේදනාවන්වලදී උන් වහන්සේගේ ඉවසීම ගැන සිතා බලමු. උන් වහන්සේගේ පැමිණීම පිළිබඳ අපගේ අපේක්ෂාවෙන් ආනුභාවය ලත් සම්පූර්ණ කීකරුකම අපි පෙන්වමු. එසේම ස්වාමින් වහන්සේ ඉදිරියෙහි අපම ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයෙකුගේ නින්දිත හා නිර්ලජ්ජිත ඉක්මන්කාරකමකින් ඉක්මන් නොවෙමු. වෙනුවට අපි විඳ දරාගැනීමෙන් යුක්තව සේවය කරමු. එසේම මුළු හදවතින්ම බලා සිටිමින්, සම්පූර්ණයෙන්ම පළිගැනීමෙන් ඉවත් වීමට පවා ශක්තිමත් වෙමින්, අපි ස්වාමින් වහන්සේගේ ආඥා රක්ෂා කරමු. එසේ උදහසේ සහ පළිගැනීමේ දවස පැමිණි විට, අභක්තිකයින් සහ පව්කාරයන් සමග අපත් දඬුවම් නොලබන පිණිසත්, ධර්මිෂ්ඨ අය සහ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන අය සමඟ ගෞරවයට පාත්‍ර විය හැකි වන පිණිසත් අපි ස්වාමින් වහන්සේගේ ආඥා රක්ෂා කරමු.


[1] 1 කොරි. 1.19 (යෙසායා 29.14)

[2] කොලොස්සි 2.8,9.

[3] 1 කොරි. 3.18-20 (යෝබ්. 5.13; ගීතා 93.11)

[4] යොමුව. මතෙ. 5.45.

[5] එසකි. I8.32.

[6] මලාකි 3.7.

[7] යෝවෙල් 2.13.

[8] රෝම 2.4-6.

[9] මතෙ. 5.43-48

[10] යොමුව. උත්. 3

[11] යොමුව. යොහන් 6.38

[12] යොමුව. මතෙව් 1.18

[13] යොමුව. 1 පේදුරු 2.24.

[14] යොමුව. මතෙ. 1.21.

[15] යොමුව. මතෙ. 3.13-17; මාක් 19. 11; ලූක් 3.21-23.

[16] යොමුව. මතෙ. 4.1-10; මාක් 1.12,13; ලූක් 4.1-13.

[17] යොමුව. යොහන් 13.1-20.

[18] යොමුව. යොහන් 13.1-30; මතෙ. 26.20-25.

[19] යොමුව. මතෙ. 26.48,49; මාක් 14.44,45; ලූක් 22.47,48.

[20] යොමුව. මතෙ. 26.67: 2.7,30; මාක් 15.19.

[21] යොමුව. මාක් 8.23; යොහන් 9.6.

[22] යොමුව. මතෙ. 27.26; මාක් 15.15; යොහන් 19.1

[23] යොමුව. මතෙ. 27.29; මාක් 15.17; යොහන් 19.2.

[24] යොමුව. මතෙ. 26.67; මාක් 14.65; ලූක් 22.64; යොහන් 19.3

[25] යොමුව. මතෙ. 27.35; මාක් 15.24; ලූක් 23.34; යොහන් 19.23.

[26] යොමුව. මතෙ. 27.34.

[27]යොමුව. ලූක් 23.36; මතෙ. 27.48.

[28] යොමුව. මතෙ. 27.38; මාක් 15.27; යොහන් 19.18

[29] යොමුව. මතෙ. 27.45; මාක් 15.33; ලූක් 23.44.

[30] යොමුව. මතෙ. 23.45.

[31] 1 යොහන් 2.6.

[32] 1 පේදුරු 2.21-23.

[33] යොමුව. උත්. 4.

[34] යොමුව. උත්. 22.

[35] යොමුව. උත්. 28,33.

[36] යොමුව. උත්. 87.45

[37] යොමුව. ගණන් කතා 14.9.

[38] යොමුව. 1 රාජාවලිය 26.

[39] යොමුව. උත්. 3.17.

[40] උත්. 3.17-19.

[41] යොහන් 16.33.

[42] මතෙ. 10.22.

[43] යොහන් 8.31,32.

[44] රෝම 8.24-25.

[45] ගලා. 6.9,10.

[46] එසකි. 33.12

[47] එළිදරව් 3.11.

[48] සභාවේ මුල් යුගවලදී ඇදහිලිවන්තයන්ට ශුද්ධ වූ රොටි, ස්වාමින් වහන්සේගේ ශරීරය ඔවුන්ගේ අත්වලින් ලබා ගැනීම සිරිතක්ව පැවතිණි. එසේ කිරීමෙන් දිව්‍ය සත්ප්‍රසාදය ඔවුන් විසින් ලබා ගන්නා ලදී. සයිප්‍රියන් තුමා මෙම චාරිත්‍රය De lapsis 16.22.26, Epist. 58.9. ග්‍රන්ථවලද සඳහන් කරයි; මේ සම්බන්ධ සවිස්තරාත්මක විස්තරයක් සඳහා J. A. Jungmann, S. J., The Mass of the Roman Rite, Its Origins and Developments (translated by F. A. Brunner, C. SS. R. [New York 1955]) බලන්න. විශේෂයෙන් 2 878-386; H. Leclercq, ‘Communion; DA.CL S.2428-2438; H. Moreau, ‘Communion,’ DTC 3.418-514, බලන්න.

[49] යොමුව. 1 කොරි. 13.13.

[50] 1 කොරි. 13.4,5,7.

[51] එපීස 4.2.3.

[52] යොමුව. ලූක් 6.30.

[53] යොමුව. මතෙ. 5.39; ලූක් 6.30.

[54] යොමුව. මතෙ. 18.21,22.

[55] යොමුව. මතෙ. 5.44; ලූක් 62: 7,28

[56] යොමුව. ක්‍රියා 7.58-60.

[57] එපීස 4.30,31.

[58] දේශනාකාරයා පොත 2.4,5.

[59] යොමුව. උත්. 4. 4.

[60] යොමුව. උත්. 25.29-34.

[61] යොමුව. නික්මයාම. 2.

[62] ප්‍රඥාව 3.8.

[63] එළිදරව් 22.10 -12.

[64] එළිදරව් 6.9-II.

[65] මලාකි 4.1.

[66] ගීතා. 50.3-6.

[67] යෙසායා 66.15,16.

[68] යෙසායා 42.13,14.

[69] යොමුව. යෙසායා 53.7.

[70] යොමුව. යෙසායා 42.2.

[71] යොමුව. යෙසායා 50.5,6.

[72] යොමුව. මතෙ. 26.63; මාක් 14.61.

[73] යොමුව. මතෙ. 27.14; මාක් 15.5.

[74] පිලි. 2.9,10

[75] එළිදරව් 22.9.