නැති වූ අය (The Lapsed)

Cyprian of Carthage, The Lapsed, in Sinhala


1 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරවරුනි, මෙය බලන්න. සභාවෙහි සාමය ප්‍රතිස්ථාපිත වී ඇත. එසේම අවිශ්වාස කරන සහ ද්‍රෝහී අයට කළ නොහැකි යයි වර්තමානයේ පෙනෙන දේ වන්නේ, අපගේ ආරක්ෂාව දිව්‍යමය උපකාරය සහ විපාකයක් ලෙස ප්‍රතිස්ථාපිත වී තිබීමයි. අපගේ මනස ප්‍රීතිය කරා ආපසු පැමිණෙමින් තිබෙන අතර, පීඩාකාරී ස්වභාවය නමැති වලාකුළු පහව ගොස් පීඩනය සමථයකට පත් වෙමින් සන්සුන්භාවය යළිත් බැබළෙන්නට පටන්ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ යුතුය. එසේම ස්තුති දීමෙන් යුක්තව උන් වහන්සේගේ ආශිර්වාද හා ත්‍යාගයන් සැමරිය යුතුය. මන්ද පීඩාකාරී අවස්ථාවලදී පවා අපගේ ස්තුති දීමේ හඬ නතර නොවීය. මන්ද අපගේ අපගේ මුළු හදවතින්ම, ආත්මයෙන් හා බලයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන, උන් වහන්සේගේ ආශිර්වාද හා ප්‍රශංසා සැම විටම හා සැම තැනකම මහිමයෙන් යුක්තව ප්‍රකාශ කිරීමෙන් අප වළක්වා ලීමට සතුරෙකුට පවා නොහැකි වී ඇත. අප සියලු දෙනා යාච්ඤාවෙන් යුක්තව මහත් ආශාවෙන් බලා සිටි දවස පැමිණ ඇති අතර, බිහිසුණු හා පිළිකුල්සහගත අන්ධකාරයෙන් යුත් දිගු රාත්‍රියකට පසු, ලෝකය ස්වාමින් වහන්සේගේ ආලෝකයෙන් ප්‍රභාවත් වී තිබේ.

2 වන පරිච්ඡේදය

යහපත් ගුණධර්ම සහ ඇදහිල්ල රක්ෂා කිරීම සමගින් යහපත් සහ මහිමාන්විත ප්‍රශංසාවේ නාමයක් ප්‍රකාශ කරන්නන් දෙස අපි ප්‍රීතිමත් මුහුණුවරකින් බලමු. ශුද්ධ වූ සිඹීම්වලින් ඔවුන් හා සමඟ බැඳී සිටිමින්, දිව්‍යමය හා නොඉවසිල්ලෙන් අප මහත් ආශාවෙන් බලා සිටි ඔවුන් අපි වැලඳ ගනිමු. සුදු ලෝගුව හැඳි ක්‍රිස්තුස් වහන්සේගේ සෙබළ සේනාංකය මෙහි සමීපයේම සිටිති. ඔවුහු ස්ථීර ලෙසම කැලඹිලි සහිත පහර කෑමේ හිංසනයෙහි රුදුරු බව බිඳ දමා ඇති අතර, සිරගත වීමට සූදානම්ව, මරණය විඳ දරාගැනීමට සන්නද්ධව කැප වී සිටිති. ඔබ නිර්භීතව ලෝකයට එරෙහි වී ඇත්තෙහිය. ඔබ දෙවියන් වහන්සේට තේජාන්විත දර්ශනයක් වී ඇත්තෙහිය. ඔබ අනුගමනය කරන ඔබගේ සහෝදරයන්ට ඔබ ආදර්ශයක් වෙී ඇත්තෙහිය. ඔබේ ආගමික හඬ, ක්‍රිස්තුස් වහන්සේගේ නාමය විශ්වාස කරන්නවුන් විසින් පවසනු ලබන ක්‍රිස්තුස් වහන්සේගේ නාමය උච්චාරණය කළේය. දිව්‍ය ක්‍රියාවලට පමණක් හුරු වී ඇති ඔබේ කීර්තිමත් දෑත්, කෙළෙසීම් සහිත අපරාධ පූජාවලට විරුද්ධ වී ඇත. සමිඳාණන් වහන්සේගේ ශරීරය හා රුධිරය ලැබීමෙන් පසු ස්වර්ගික ආහාරවලින් විශුද්ධ වූ ඔබේ මුඛයන්, පිළිමවල පූජා කිරීමෙන් අපවිත්‍ර වූ ආහාර ප්‍රතික්ෂේප කර තිබේ. ඔබේ හිස නපුරු හා කාලකන්නි හිස් වැස්මෙන් තොරව නිදහසේ පවතී. පූජාවන් සිදු කිරීම සඳහා වහල්කමට පත් වූ අයගේ හිස් එසේ හිස් වැස්මෙන් ආවරණය වී ඇත. දෙවියන් වහන්සේගේ ලකුණෙන් පවිත්‍ර වී ඇති ඔබේ නළල මත යක්ෂයාගේ ඔටුන්න තබාගත නොහැකි වී ඇත. එය සමිඳාණන් වහන්සේගේ ඔටුන්න දැරීම සඳහා වෙන් වී ඇත. ඔබ ස්වර්ගයෙන් ආපසු පැමිණෙන විට මව් සභාවෙන් ඔබට ලැබෙන පිළිගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වනු ඇද්ද! එක්සත් බලවේග සමඟින්, සම්පූර්ණයෙන් වැටී ගිය සතුරෙකුගෙන් කුසලාන ආපසු ගෙන ඒමේදී සභාව කෙතරම් සතුටින් සහ ප්‍රීතියෙන් යුක්තව ඇගේ දොරටු විවෘත කරනු ඇද්ද! ජයග්‍රාහී පුරුෂයා සමඟ කාන්තාවෝද පැමිණෙති. ඔවුහු ලෝකය සමඟ ඔවුන්ගේ අරගලයේදී ද ඔවුන්ගේ ලිංගිකත්වය ජයගත් අය වෙති. කන්‍යාවන් ඔවුන්ගේ යුද්ධයේ තේජස දෙගුණයකින් දරා පැමිණෙන අතර, පිරිමි ළමයින්ගේ සුචරිතභාවය ඔවුන්ගේ වයස ඉක්මවා යයි. තව දුරටත්, ඔබගේ මහිමය අනුගමනය කරමින් ඔබ පසුපස සිටින සෙසු පිරිස, ඔබේ අඩිපාරේ යමින් එවැනිම ප්‍රශංසාවක් ඔබගේ මහිමයට සම්බන්ධ වී සිටිති. එවැනිම වූ අවංකභාවයක් ඔවුන්ගේ හදවතේද ඇත. එසේම එවැනිම වූ ස්ථිර ඇදහිල්ලෙහි අඛණ්ඩව පැවතීම ඔවුන් තුළ දක්නට ඇත. ස්වර්ගීය ශික්ෂාවල නොසැලෙන අත්තිවාරම මත විශ්වාසය තැබීම සහ එවැන්ජලිස්ත සම්ප්‍රදායන් මගින් ශක්තිමත් වීම, නියම කරන ලද පිටුවහල්භාවය, නියම කරන ලද වධ හිංසා කිරීම්, දේපළ හෝ ශරීරය සම්බන්ධයෙන් කිසිදු දඬුවමක් යන කාරණා කිසිවකින් ඔවුන් බියට පත් වූයේ නැත. ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමේ දිනය නියම කරන ලදී. එහෙත් තමා දැන් ලෝකය අතහැර දමා ඇති බව දැනගෙන ඒ අවබෝධයෙන් සිටින තැනැත්තා ලෝකයේ කිසිම දවසක් ගැන දන්නේ නැත. එසේම දෙවියන් වහන්සේගෙන් සදාකාලිකත්වය බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා භූමික කාලපරිච්ඡේදයන් ගණන් නොගනියි.

3 වන පරිච්ඡේදය

සහෝදරයෙනි, කිසිවෙකු මේ මහිමයෙන් හීන නොවේවා. එලෙස ජීවත් වන අයගේ නොසැලෙන ස්ථීරභාවය කිසිවෙකු විසින් ද්වේෂසහගත ලෙස දුර්වල නොකෙරේවා. කිතුනුවන්ට ආගම අත්හැරීම සඳහා වන නියෝගය සම්මත වූ විට, එම අවස්ථාව වන විට කිතුනුවෙකු ලෙස ප්‍රකාශ කර නොසිටි අය පවා තමා කිතුනුවෙක් බව ප්‍රකාශ කළේය. ඔහුට ජයග‍්‍රහණය සඳහා පළමු හිමිකම වන්නේ අන්‍යජාතීන් අතට පත්වූ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ ප්‍රකාශ කිරීමයි. මහිමය සඳහා දෙවන පියවර වන්නේ, පරීක්ෂාකාරී ලෙස ඉවත්ව ගොස් දෙවියන් වහන්සේ වෙනුවෙන් තමාම ආරක්ෂා කරගැනීමයි. එයින් පළමුවැන්න ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටීමයි. දෙවැන්න පෞද්ගලික වූවකි. මෙහි දක්වා ඇති පළමුවැන්නා, ලෝකයේ විනිශ්චයකරුගෙන් ජය ගනී; දෙවැන්නා, දෙවියන් වහන්සේ ඔහුගේ විනිශ්චයකරු ලෙස සෑහීමකට පත්ව හෘදයසාක්ෂියට එකඟව හදවතේ ඒකාග්‍රතාවය ආරක්ෂා කරගනියි. පළමුවැනි අවස්ථාවේදී, ස්ථිරභාවය වඩා ඉක්මන් එකකි. දෙවැනි අවස්ථාවේදී මහත් සැලකිල්ලකින් පසුවීම වඩාත් ආරක්ෂිත වේ. පළමුවැන්නාගේ කාලය ළගා වන විට ඔහු සූදානම්ව සිටින බව පෙනිණි. අනෙක් තැනැත්තා ඇතැම් විට තම තත්වය අත්හැර දමා ඇති නිසා සහ හුදෙකලා වී ඇති නිසා ප්‍රමාදය. මන්ද ඔහු ප්‍රතික්ෂේප නොකරනු ඇත. නිසැක වශයෙන්ම ඔහු එය ප්‍රකාශ කර සිටි අතර, ඔහු අල්ලාගනු ලැබ ඇත.

4 වන පරිච්ඡේදය

මෙම ප්‍රාණ පරිත්‍යාගිවරයන්ගේ ස්වර්ගික ඔටුනු, මෙම ඇදහිල්ල ප්‍රකාශ කරන්නන්ගේ ආත්මික මහිමයන්, මෙම ඉතා විශාල හා කීර්තිමත් ගුණදම් ඇති අපගේ සහෝදරයන්, එනම් අපගේ වැදගත්ම දේවලින් කොටසක් ඉරා දමා පිටතට විසි කර ඇති ප්‍රචණ්ඩ සතුරා ඉදිරියේ සිටිමින්, ඔහුගේ විනාශයේ අංග බවට පත් වීම පිළිබඳ යමෙක් ඉතා ශෝකයට පත් වන්නට හැකිය. ආදරණීය සහෝදරවරුනි, මේ තත්වය තුළ මා කුමක් කළ යුතුද? වෙනස් වන්නා වූ චිත්තවේගීය රැල්ල තුළ මා තැතිගැන්මෙන් සිටින කල, මා කුමක් පවසන්නද? නොඑසේ නම් මා කෙසේ කතා කළ යුතුද? අපගේ ශරීරයට එල්ල වූ පහර පිළිබඳ වැලපීම සඳහා ශෝකය ප්‍රකාශ කිරීමේ වදන්වලට වඩා කඳුළු සැලීම අවශ්‍ය වේ. ඒ සමඟම අප සමග සිටි බොහෝ දෙනෙකුගේ අහිමි වීම ගැන විලාප තැබිය යුතුය. මක්නිසාද යත්, තම සෙනඟගේ විනාශය දකිමින් ඒ මධ්‍යයේ සිටින විට, එතරම් රළු ලෙස හා හැඟීමකින් තොරව සිටින්නේ කවරෙක්ද, සහෝදර ප්‍රේමය අමතක කරන්නේ කවුද, ඔවුන්ගේ දුක්ඛිත දේහය මහත් දුෂ්ටකම කරණකොටගෙන විකෘති වී ඇති විට තමාගේ ඇස්වලින් කඳුළු නොහෙළා සිටිය හැකි කවරෙකුටද? හදිසියේම හඬා වැලපීමෙන් ඔහුගේ විලාපය වචනවලින් නොව කඳුළු සලමින් ප්‍රකාශ නොකරන්නේ කවරෙකුද? මම ශෝක වෙමි, සහෝදරවරුනි, මම ඔබ සමඟ ශෝක වෙමි. මගේ ශෝකය සමනය කර ගැනීමට මාගේ අවංකභාවය හා සිහිබුද්ධිය පෙලඹවීමක් නොකරයි. එයට හේතු වන්නේ තම රැළේ තුවාල කරණකොටගෙන එඬේරා වැඩි වශයෙන් තුවාල වී ඇති බැවිනි. මම එකිනෙකා සමඟ මගේ හදවත සම්බන්ධ කරගනිමි; මම මහත් ශෝකයේ සහ මරණයේ බරපතල කාරණයට ඔවුන් හා සමග හවුල් වෙමි. වැලපෙන අය සමඟ මම වැලපෙන්නෙමි. මම හඬන අය සමඟ හඬන්නෙමි. හෙළා දමන ලද අය සමඟ මා හෙළා දමන ලද අයෙකු ලෙස විශ්වාස කරමි. ඒ සමඟම කෝපාවිෂ්ට සතුරාගේ තියුණු උල්වලින් මගේ අත් පා සිදුරු වී ඇත. ඔවුන්ගේ කුරිරු කඩු මාගේ ප්‍රාණය හරහා ගොස් ඇත. ප්‍රතිශක්තිය ඇතිව සිටීමට හෝ පීඩාකාරී ප්‍රහාරවලින් නිදහස්ව සිටීමට මගේ මනසට නොහැකි වී ඇත. මගේ වේදනාවෙන් වෑරී ගිය සහෝදරයන් අතර, මාගේ දයානුකම්පාවෙන් මා වෑරී ගොස් ඇත.

5 වන පරිච්ඡේදය

ඒ කෙසේ වුවත්, බොහෝ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සත්‍යයෙහි කාරණය අප රඳවාගත යුතුය. එමෙන්ම දිව්‍යමය නියමයන් අප තුළ දැකීමට හැකි වන පිණිස, ආලෝකය සහ පැහැදිලි බව සම්බන්ධ වූ කිසිවක් ලබා නොගන්නා පිණිස, කෲර වූ පීඩාවේ ඝනාන්ධකාරය විසින් අපගේ මනස අඳුරු කර නොගෙන තබාගත යුතුය. ව්‍යසනයට හේතුව දැනගතහොත් තුවාලයට පිළියමක්ද සොයාගත හැකිය. ස්වාමින් වහන්සේ තම පවුලේ අය පෙන්නුම් කිරීම අපේක්ෂා කළ සේක. එසේ දිව්‍යමය වශයෙන් අපට ලබා දී තිබූ දීර්ඝකාලීන සමාදානය මගින් විනයානුකූලභාවය දූෂිත බවට පත් කර ඇති බැවින්, ස්වර්ගීය තරවටු කිරීමක් ඇති වී තිබේ. එසේ මා පවසන්නේ, නිද්‍රාගත ඇදහිල්ල සහ අපගේ පාපවලට මෙයට වඩා ගණන් දීමක් සිදු කිරීමට සුදුසු වන නිසා, වඩාත් දයානුකම්පික ස්වාමින් වහන්සේ සියල්ල අලුත් කර ඇති අතර, සිදුවී ඇති සියල්ල පීඩාවලට වඩා පරීක්ෂා කිරීමක් ලෙස පෙනේ.

6 වන පරිච්ඡේදය

සියලු දෙනාම තම තත්වය උසස් කර ගැනීමට මහත් උනන්දුවක් දක්වති. එසේම ඔවුන් අපෝස්තුළුවරුන්ගේ සමයෙහි සිටි ඇදහිලිවන්තයින් විසින් කලින් සිදු කරන ලද දේවල් හෝ සැම විටම පාහේ සිදු කරන ලද දේවල් හෝ යන කාරණා දෙකම අමතක කර දමා, තණ්හාව නිසා නොඉවසිල්ලෙන්ඔ වුහු තම ධනය හා සම්පත් වැඩි කර ගැනීමට උත්සාහ කළහ. පූජකයන් අතර භක්තිමත් ආගමක් නොවීය. ඔවුන්ගේ සේවාවන්වල මහත් ඇදහිල්ලක් නොවීය. ඔවුන්ගේ ක්‍රියාවල කිසි දයාවක් නොතිබිණි. ඔවුන්ගේ සදාචාරය හික්මවීමෙන්, විනයානුකූල බවින් තොර වූවකි. පිරිමින් රැවුල අවලක්ෂණ ලෙස හැඩගන්වා තිබිණි. කාන්තාවෝ මුහුණු පින්තාරු කර තිබිණි. දෙවියන් වහන්සේගේ දෑතින් සම්පූර්ණ කළ ඇස් විකෘති ආකාරයට දක්වා තිබිණි. රැවටිලිකාර ලෙස හිසකෙස් වර්ණවත් කර තිබිණි. එහි සිටි සරල මනුෂ්‍යයින්ගේ සිත් කපටි සහ වංචා සහගත ආකාරයට රවටන ලදී. සහෝදරයන් මග හැරීම සඳහා සියුම් උපාය ක්‍රම යෝජනා කෙරුණි. ඔවුහු මිථ්‍යාදෘෂ්ටිකයින් සමග විවාහ ගිවිසුම්වලින් බැඳුණෝය. ඔවුහු ක්‍රිස්තුස් වහන්සේගේ අවයවයන්අ න්‍යජාතිකයන් සමග ගණිකා වෘත්තියේ යෙදවූහ . ඔවුහු අපරීක්ෂාකාරී ලෙස දිවුරුවා පමණක් නොව, අසත්‍ය සාක්ෂිද දිවුරමින් පැවසූහ. ඔවුහු තමන්ට ඉහළින් සිටි අය පහත් කොට සලකා ඔවුන්ට අහංකාර අයුරින් සැලකූහ. ඔවුහු එකිනෙකාට විෂ සහිත දිවක් සහිතව හිංසා කිරීමේ අදහසින් නින්දා අපහාස කළෝය. ඔවුහු මුරණ්ඩු බවින් සහ වෛරයෙන් යුක්තව එකිනෙකා සමග කලහ කළහ. අනෙක් අයට ධෛර්යක් සහ ආදර්ශයේ මූලාශ්‍රයක් විය යුතුව තිබූ බොහෝ රදගුරුවරු, ඔවුන්ගේ දිව්‍යමය භාරකාරත්වය හෙළා දැක, ලෞකික රජවරුන්ගේ භාරකාරත්වයට යටත් වූහ. ඔවුන්ගේ තනතුරු අත්හැර දමා, ජනතාව අතහැර ගොස්, ඔවුහු විදේශීය පළාත්වල සැරිසරමින් තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා ලාභදායී ව්‍යාපාර සඳහා වෙළඳපොළවල්සො යා ගියහ. ඔවුන්ගේ සභාවල සහෝදරයින් කුසගින්නෙන් පෙළෙන විට ඔවුහු වැඩි වැඩියෙන් මුදල් ළඟ තබා ගැනීමට අපේක්ෂා කළහ. ඔවුහු කපටිකමින් සහ වංචාවෙන් දේපළ අත්පත් කර ගත්හ. ඔවුහු අධික ලෙස පොළී අය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රාග්ධනය වැඩි කර ගත්හ. එවැනි පාප සිදු කිරීමෙන් දුක් විඳීම අපට සුදුසු නැති බැවින්, මීට බොබෝ කලකට පෙර දිව්‍යමය ආකාරයකින් එවැනි දේ තහනම් කරමින් අපට අනතුරු අඟවමින් මෙසේ පවසා ඇත. ‘ඔවුන් මාගේ අණ පනත්වලට එකඟව සහ මාගේ නියෝගයන්ට එකඟව ගමන් නොකරන විටත්, ඔවුන් මාගේ ආඥාවන් ශික්ෂා පද නීති උල්ලංඝනය කරන විටත්, මම ඔවුන්ගේ අපරාධවලට යෂ්ටියකින් දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ පාපවලට පහර දීමෙන් දඬුවම් කරන්නෙමි.’

7 වන පරිච්ඡේදය

මේ දේවල් පිළිබඳ අපට කලින් සලකුණු ලැබී ඇති අතර, ඒ ගැන අනාවැකි පළ කර ඇත. එහෙත් අප අප වෙත ලබා දී ඇති ව්‍යවස්ථාව, සහ එය පිළිපැදීම පිළිබඳ නොදැනුවත් බවින්, අපගේ පාප කරණකොටගෙන උන් වහන්සේගේ ආඥා උල්ලංඝනය කරන විට, අපගේ පාප නිවැරදි කරන පිළිවෙත් ඉටු කරමින් අපගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් කරමින් සිටිමු. එසේ ඇත්ත වශයෙන්ම අපගේ ඇදහිල්ල පරීක්ෂා කිරීම වන මෙම තරවටු කිරීම සහ දිව්‍යමය පරීක්ෂා කිරීමේදී අප ඉවසිලිවන්ත හා නිර්භීත ලෙස ස්වාමින් වහන්සේ කෙරෙහි ගරු බියෙන් යුක්තව අවසානයේදී උන් වහන්සේ වෙත හැරී නැත. තර්ජනාත්මක සතුරාගේ වචන ඇසුණු පළමු අවස්ථාවේදීම, සහෝදරයන්ගෙන් ඉතා විශාල සංඛ්‍යාවක් තම ඇදහිල්ල අත්හැර දමා ප්‍රතික්ෂේප කළහ. එසේ පීඩා කරනු ලැබීමෙන් පහත් කරනු ලැබුවා නොව, තමන්ගේ ක්‍රියාවන් හේතුකොටගෙන ඔවුන් කැමැත්තෙන්ම පහත් කරනු ලැබ අවලංගු කරනු ලැබූහ. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ක්ෂණිකව විසුරුවා හැරීම උදෙසා අප විසින් දැන නොසිටි සහ අනපේක්ෂිත තත්වයන් මෙන් පොරොන්දු නොවූ දෙයක්, මීට කලින් නොඅසන ලද, මීට කලින් සිදු නොවූ දෙයක් පැමිණ ඇද්දැයි මම අසමි. පළමුවෙන්ම අනාගතවක්තෘවරුන් සහ පසුව ප්‍රේරිතයන් යන දෙපිරිසම විසින් මෙම සිදුවීම් ප්‍රකාශ නොකරන ලද්දේද? ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ වී, ධර්මිෂ්ඨයින්ට පීඩා කරනු ලබන බවත්, අන්‍ය ජාතීන් විසින් සැම විටම තුවාල කරනු ලබන බවත් අනාවැකිවලින් පැවසුවේ නැද්ද? ශුද්ධලියවිල්ල සැම විටම අපගේ ඇදහිල්ල සන්නද්ධ කරමින් දෙවියන් වහන්සේගේ සේවකයින් ශක්තිමත් කරමින් උන් වහන්සේගේ ස්වර්ගීය හඬින් මෙසේ පවසන්නේ නැද්ද? එනම් ‘ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේට පමණක් නමස්කාර කරවා. උන් වහන්සේට පමණක් සේවය කරව’ යනුයි. දිව්‍යමය උදහස සහ දඬුවමට ඇති බිය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කරමින් ශුද්ධලියවිල්ල නැවතත් මෙසේ නොපවසන්නේද? ‘ඔවුහු තමන්ගේ ඇඟිලිවලින් සැදූ දෙය අගය කරති. මනුෂ්‍යයා ඒවා ඉදිරියේ හිස නමා වැඳ වැටෙමින් දූෂ්‍ය වී පහත් කරනු ලැබ සිටියි. මම ඔවුන්ට සමාව නොදෙන්නෙමි. එසේම නැවතත් දෙවියන් වහන්සේ මෙසේ පවසන සේක. ‘අන්‍ය දෙවිවරුන්ට පූජා පවත්වන අය මරණයට පත් කළ යුතුය, ස්වාමින් වහන්සේට පමණක් සේවය කරව.’ පසුව ශුභාරංචියේ පවා ස්වාමින් වහන්සේ එනම්, වචනවලින් ගුරුවරයෙකු හා ක්රියාවන් තුළ ක්‍රියාවෙන් ඒවා පිළිපදින තැනැන් වහන්සේ ලෙස, කුමක් සිදු කළ යුතුද යන්න ඉගැන්නුවේ නැද්ද? උන් වහන්සේ ඉගැන්වූ සියලු දේම පැවැත්වීමට පවසමින් දැන් සිදු වන දේවල් පළමුවෙන්ද, ඉන්පසුව අනාගයේ සිදු වන දේවල් සම්බන්ධයෙන්ද කලින් අනතුරු ඇඟෙව්වේ නැද්ද? උන් වහන්සේ ප්‍රතික්ෂේප කරන අයට සදාකාලික දඬුවම හා උන් වහන්සේ ප්‍රකාශ කරන අයට ආශිර්වාද සහ විපාක ස්ථාපිත කිරීමත් උන් වහන්සේ කලින් සිදු කළේ නොකළ සේක්ද?

8 වන පරිච්ඡේදය

සමහරුන්ට, එය මහත් අවාසනාවකි! මේ සියලු අහකට හැරී ඇති අතර, මතකයෙන් බොඳ වී ගොස් තිබේ. අත්අඩංගුවට ගත් විට නැගී සිටීමට හෝ ප්‍රශ්න කිරීමේදී ප්‍රතික්ෂේප කිරීමට හෝ ඔවුන් අවම වශයෙන් කල්ගත්තේ නැත. සටනට පෙරම බොහෝ දෙනෙකු පරාජයට පත් කරනු ලැබූහ. ගැටුමකින් තොරවම බොහෝ අය වැටී ගියහ. අකමැත්තෙන් පිළිමවලට පූජා කරන බව පෙන්නුම් කරමින්, ඔවුන් මෙය තමන් වෙනුවෙන්ම අත්හැරියේ නැත. ඒ වෙනුවට ඔවුන්ම වෙළෙඳපොළට දුවගෙන ගොස් මරණයට කලින්ම ආශාවෙන් සිටි අය මෙන්, ඔවුන්ට ලැබුණු අවස්ථාව මහත් ඕනෑකමින් වැලඳගන්නා අය මෙන්, ඔවුන් ඉතා ප්‍රීතියෙන් ආශා කළ දෙයක් ලබා ගන්නාක් මෙන් ඉක්මනින්ම මරණයට ළඟා වූහ. සවස් වන විට මහේස්ත්‍රාත්වරුන් විසින් එම අවස්ථාවේදී කොපමණ දෙනෙකු මගහැර දමා තිබුණිද? ඔවුන්ගේ විනාශය කල් නොදමන ලෙස කොපමණ දෙනෙක් ඉල්ලා සිටියෝද! තමාගේ අපරාධය ඉවත් කිරීම උදෙසා, ඔහුගේ විනාශය ගෙන එන ප්‍රචණ්ඩත්වය ඔහු විසින්ම ඉල්ලා සිටින විට, එවැනි කෙනෙකු නිදහසට කරුණක් ලෙස ඉල්ලා සිටින්නේ කුමනාකාර ප්‍රචණ්ඩත්වයක්ද? ඔවුන්ගේ ස්ව කැමැත්තෙන්ම අගනුවරට පැමිණි විට, ඔවුන් දරුණු අපරාධවලට ලක් වීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වූ කල, ඔවුන්ගේ පාද දුර්වල වූයේ නැත්ද, ඔවුන්ගේ ඇස් අඳුරු වූයේ නැත්ද, ඔවුන්ගේ අස්ථි වෙවුලුවේ නැත්ද, ඔවුන්ගේ අත් පා දුර්වල වූයේ නැත්ද, ඔවුන්ගේ සිහිකල්පනාව අඳුරු වූයේ නැත්ද, ඔවුන්ගේ දිවඟ සිඳී ගියේ නැත්ද, ඔවුන්ගේ කථාව දුර්වල වූයේ නැත්ද? දැනටමත් යක්ෂයා සහ ලෝකය අතහැර දමා ඇති දෙවියන් වහන්සේගේ සේවකයාට, එහි සිටගෙන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කර කතා කළ හැකිද? ඔහු මිය යෑමට ළඟා වූ එම පූජාසනය ඔහුට දැවෙන චිතකයක් නොවන්නේද? දුමාරයක් හා දුගඳක් සහිත යක්ෂයාගේ පූජාසනය ඔහු දුටු විට, ඔහු තම ජීවිතයේ අවමංගල්‍යය හා සොහොන් ගෙය දුටුවාක් මෙන් බියෙන් වෙවුලමින් එයින් පලා යා යුතු නොවේද? අවාසනාවන්ත අයවලුනි, ඔබ එන විට පූජාවක් රැගෙන එන්නේ මන්ද? පූජා කිරීම උදෙසා ගොදුරක් ගෙන එන්නේ මන්ද? ඔබම පූජාසනය වෙත පූජාවක් මෙන් පැමිණ ඇත්තෙහිය. ඔබම ගොදුරක් බවට පත් වී ඇත්තෙහිය. ඔබ ඔබේ ගැලවීම එහි තබා දවා දමා ඇත. එහි ඔබ, ඔබේ බලාපොරොත්තුව; ඔබේ ඇදහිල්ල එම ගින්නෙන් දවා දමා ඇත.

9 වන පරිච්ඡේදය

එහෙත් බොහෝදෙනෙකුට ඔවුන්ගේම විනාශය ප්‍රමාණවත් නොවීය. අන්‍යෝන්‍ය අනුශාසනා මගින් මිනිස්සු ඔවුන්ගේ විනාශය කරා තල්ලු කරනු ලැබූහ. මාරාන්තික කුසලානයෙන් එකිනෙකාට මරණය යෝජනා කෙරුණි. අපරාධය මැඬපැවැත්වීම කිසිවකින් සිදු කළ නොහැකි වූ අතර, ළදරුවන්ද දෙමව්පියන්ගේ අත්වල තබාගෙන හෝ ඔවුන් විසින් හෝ ගෙන යනු ලැබූහ. ඔවුන්ගේ උපතේ ආරම්භයේදීම ඔවුන් ලබා ගත් දේ කුඩා දරුවන්ට මෙන් ඔවුන්ට අහිමි විය. විනිශ්චය දිනය පැමිණි කල ඔවුහු මෙසේ නොපවසන්නෝද? එනම්, ‘අපි කිසිවක් සිදු නොකළෙමුව; අපි සමිඳාණන් වහන්සේගේ රොටි සහ කුසලානය ප්‍රතික්ෂේප නොකළෙමුව. අප විසින්ම අපවිත්‍ර වී දූෂිත වීම ඉක්මනින් ප්‍රතික්ෂේප කළෙමුව. අන් අයගේ ද්‍රෝහීකම මගින් අප විනාශ කර දමා ඇත. අපි අපේ දෙමව්පියන්ගේ ඝාතකයින් දනිමු. ඔවුහු සභාව මවක මෙන් සහ දෙවියන් වහන්සේ පියෙකු මෙන් අත්හැර දමා ඇත. ඒ නිසා තවමත් කුඩා හා නොසැලකිලිමත් මෙන්ම මේවා මහත් අපරාධ යයි නොදන්නා අපි, අන් අය සමගින් මේ මහත් අපරාධවලට හවුල් වී ඇත්තෙමු’ යනුවෙන් පැවසිය හැකිද?

10 වන පරිච්ඡේදය

අහෝ, මෙතරම් විශාල අපරාධයක් සඳහා නිදහසට කරුණක් වන සාධාරණ හා බැරෑරුම් හේතුවක් නොමැත. මාතෘ භූමිය අතහැර දැමිය යුතුව තිබුණි. පෞද්ගලික දේපළ අහිමි වීම විඳින්නට සිදු විය. ඉපදී මිය යන මිනිසාට, යම් කලෙක තම මව්බිම අතහැර දමා යාමටත්, තම පෞද්ගලික දේපළ අහිමි වීමත් සිදු නොවන්නේද? අපි ක්‍රිස්තුස් වහන්සේ අත් නොහරිමු. කෙනෙකුගේ ගැලවීම හා කෙනෙකුගේ සදාකාලික නිවස අහිමි වීම බියට හේතුව විය යුතුය. බලන්න, ශුද්ධාත්මයාණන් වහන්සේ අනාගතවක්තෘවරයා තුළින් මොරගසන සේක: ‘පිටත්ව යන්න, පිටත්ව යන්න, එතැනින් පිටත්ව යන්න, අපවිත්‍ර දෙයක් ස්පර්ශ නොකරන්න, ඇයගෙන් ඉවත් වී පිටතට යන්න. වෙන්ව සිටින්න.’ තවද, සමිඳාණන් වහන්සේගේ භාජන හා දේව මාලිගාව වන අය, ඒ මධ්‍යයෙන් පිටතට ගොස් අහකට හැරී අපවිත්‍ර දේ ස්පර්ශ කිරීමට හා මාරාන්තික ආහාරවලින් දූෂිත වීමට බල නොකෙරේවා. තවත් ස්ථානයක, දෙවියන් වහන්සේගේ සේවකයන් විසින් කළ යුතු දේ ගැන අවවාද කරමින් ස්වර්ගයෙන් හඬක් මෙසේ පවසයි. ‘මාගේ සෙනඟෙනි, ඇයගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වසංගත ඔබ පිට නොපැමිණෙන ඇය වෙතින් ඉවත්ව යන්න.’ පිටතට ගොස් ඉවත්ව යන තැනැත්තා පාපයේ හවුල්කරුවෙකු වන්නේ නැත, එහෙත් ඇත්ත වශයෙන්ම අපරාධයේ සහකරුවෙකු ලෙස හඳුනාගෙන ඔහුද වසංගතයෙන් අල්ලා ගනු ලැබේ. එසේ පීඩා කාලය තුළ ආපසු හැරී ඉවත්ව පළා යා යුතු බව ස්වාමින් වහන්සේ වචනයෙන් ඉගැන්වූවා පමණක් නොව, ක්‍රියාවෙන්ද කර පෙන්වූ සේක. මක්නිසාද දෙවියන් වහන්සේගේ යහපත් ප්‍රසාදයට අනුව ඔටුන්න අප මත පැමිණෙන නිසා, එය මේ මොහොතේ පැමිණ ඇතැයි උපකල්පනය කිරීමට නොහැකි බැවින්, ක්‍රිස්තුස් වහන්සේ තුළ රැඳී සිටින තැනැත්තා යම් කාලයක් සඳහා ඉවත්ව යන්නේ නම් ඔහු ඇදහිල්ල ප්‍රතික්ෂේප නොකරනු ඇත. ඔහු එය සිදු කරන්නේ නියමිත කාලය බලාපොරොත්තුවෙනි; එහෙත්, යමෙක් ඉවතට හැරී පලා නොයන්නේ නම් ඔහු වැටෙන අතර, එය ප්‍රතික්ෂේප කරන්නේය.

11 වන පරිච්ඡේදය

සහෝදරයෙනි, සත්‍යය සැඟවිය යුතු නැත. එසේම අපගේ තුවාලයට හේතුව නොපවසා නිහඬව සිටීම අවශ්‍ය නැත. කෙනෙකුගේ පෞද්ගලික දේපළ කෙරෙහි ඇති අන්ධ ආදරය කරණකොටගෙන බොහෝ දෙනෙකු රැවටීමට පත් වී ඇත; ඔවුන්ගේ දේපළ මගින් ඔවුන් විලංගුවලින් මෙන් බැඳ තබා ඇති නිසා ඔවුන්ට පිටත්ව යාමට සූදානම් වීමට අවකාශයක් නොතිබුණි. ඉතිරිව සිටි අයට එ්වා විලංගු වී තිබිණි. තිබුණේ උදෙසාය. එම විලංගුවලින් ගුණධර්ම පිරිහි ගියේය. එමෙන්ම ඇදහිල්ල දැඩි ලෙස පීඩනයට ලක් විය. මනස බැඳ දැමුණි. ආත්මය සිරගත කරන ලදී. එසේ භූමික දේවලට ඇලීගැලී සිටින අය සර්පයාට කොල්ලයක් හා ආහාරයක් බවට පත් විය. දෙවියන් වහන්සේගේ වචනවලට අනුව සර්පයා පොළොව ගොදුරු කරගෙන කා දමයි. එම නිසා ස්වාමින් වහන්සේ වන යහපත් දේවල ගුරුවරයාණන් වහන්සේ, අනාගතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කරමින් මෙසේ පවසන සේක: ”ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමති නම්, ඔබ සන්තක සියලු දේ විකුණා දිළිඳුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගයෙහි වස්තු ඇති වන්නේය; මා අනුව එන්න.’ ධනවතුන් මෙසේ කළේ නම්, ඔවුන්ගේ ධනය කරණකොටගෙන ඔවුන් විනාශ නොවනු ඇත. ස්වර්ගයේ නිධානයක් තැබීමෙන් ඔවුන්ට වර්තමානයේ සතුරෙකු හා ඔහු යටත් කරගන්නෙකු නොසිටිනු ඇත. ඔවුන්ගේ වස්තුව ස්වර්ගයේ තිබේ නම් ඔවුන්ගේ හදවත, මනස හා හැඟීම ස්වර්ගය පිළිබඳ වනු ඇත. ඔවුන්ගේ වස්තුව ස්වර්ගයේ තිබේ නම් ලෝකයෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි වනු ඇත. ලෝකයේ කිසිවක් නැති අයෙක් කුමකින් පරාජයට පත් කරන්නද? ඔහු නිදහසේ සහ බැඳීම්වලින් තොරව ස්වාමින් වහන්සේ අනුගමනය කරනු ඇත. අපෝස්තලික කාලවලදී අපෝස්තුළුවරු සහ තවත් අය බොහෝ විට සිදු කළාක් මෙන්, ඔවුහු දේපළ සහ දෙමාපියන් අතහැර දමා ක්‍රිස්තුස් වහන්සේගේ කෙරෙහි නොබෙදුණු බැඳීම්කින් ඇලී සිටිනු ඇත.

12 වන පරිච්ඡේදය

එහෙත් ඔවුන්ගේ පෞද්ගලික දේපළ විසින් දම්වල්වලින් මෙන් බඳිනු ලැබ සිටින ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නේ කෙසේද? එසේත් නැතිනම්, භූමික ආශාවන්ගෙන් බර වී සිටින ඔවුන් උත්කෘෂ්ට හා උසස් වූ ස්වර්ගය සොයන්නේ කෙසේද? උත්කෘෂ්ට හා උසස් වූ ස්වර්ගය වෙතට නගින්නේ කෙසේද? ඔවුන් තමන්ට දේපළ සතු බව සිතුවද, ඇත්තෙන්ම ඔවුහු තමන්ගේම දේපළවල වහලුන් වී සිටිති. එසේ වන්නේ තමන් සතු මුදල්වල ස්වාමීත්වය දරන අය මෙන් නොව, ඔවුන්ගේ මුදල්වල වහලුන් බවට පත්ව ඇති නිසාය. අපොස්තුළු තුමන් මේ කාලය සම්බන්ධයෙන්, සහ මේ මිනිසුන් සම්බන්ධයෙන් සඳහන් කරමින් මෙසේ පවසයි. ‘එහෙත් ධනවත් වීමට උත්සාහ කරන අය පරීක්ෂාවට හා උගුලට හසු වී මිනිසුන් විනාශයට හා දඬුවමට ඇද දමන බොහෝ හානිකර තෘෂ්ණාවන්ට වැටේ. මක්නිසාද තණ්හාව සියලු දුෂ්ටකමේ මුල වන අතර ධනය සොයන සමහරු ඇදහිල්ලෙන් මුළා වී ගොස් බොහෝ කරදරවලින් තුමූම විනාශ වුණෝය.’ එහෙත් පෞද්ගලික ධනයට ආශා නොවීමට කිරීමට ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරන්නේ කුමන විපාක ඇති නිසාද? වර්තමාන කාලයේ සිදු වන මෙම සුළු හා නොවටිනාසුලු අලාභයන්ට උන් වහන්සේ වන්දි ගෙවන්නේ කුමනාකාරයෙන්ද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා ගෙයක්, ඉඩමක්, දෙමව්පියන්, සහෝදරයන්, භාර්යාවක් හෝ පුතුන් හැර යන තැනැත්තා හට ‘හත් ගුණයක්’ ලැබෙන බවත්, මේ වර්තමාන ලෝකයේදී එසේ ලැබෙන අතර, මතු පැමිණෙන්නට තිබෙන ලෝකයේ සදාකාල ජීවනයද හිමි වනු ඇති’ බවත් උන් වහන්සේ පවසන සේක. මේ දේවල් අපි දන්නා නිසාත්, පොරොන්දුව දෙන දෙවියන් වහන්සේගේ සත්‍යය දැනගෙන සිටින නිසාත්, එය නිසැක නිසාත්, මේ ආකාරයේ අලාභයක් බිය නොවීම පමණක් නොව, එවැන්නක් අපේක්ෂා කිරීමද කළ යුතුය. මන්ද ස්වාමින් වහන්සේම නැවත වරක් මෙසේ ප්‍රකාශ කරමින් අනතුරු හඟවන සේක. ‘මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට පීඩා කර, ඔබව වෙන් කොට, ඔබ ප්‍රතික්ෂේප කර, ඔබ සිරගෙයි දමන කල, සහ ඔබේ නාමය නපුරක් ලෙස ප්‍රතික්ෂේප කරන විට ඔබ භාග්‍යවන්තයෙකි. ඒ දවසේදී ප්‍රීති සන්තෝෂ වන්න. මන්ද ස්වර්ගයෙහි ඔබේ විපාකය මහත්ය.’

13 වන පරිච්ඡේදය

එහෙත් පසුකාලීනව ඊට විරුද්ධ වූවන්ට එරෙහිව වධ හිංසා පැමිණි අතර දරුණු දුක් වේදනා මගින් ඔවුන් තර්ජනයට ලක් කෙරුණි. වධ හිංසාවලින් ජයගත් තැනැත්තාට වධහිංසා පිළිබඳ විවේචනය කළ හැකිය; වේදනාවෙන්ජ යගත් තැනැත්තා හට වේදනාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට හැකිය. එවැනි කෙනෙකුට මෙසේ අසන්නට හා මෙසේ පැවසීමට හැකිය: ‘නිසැක වශයෙන්ම මම නිර්භීතව සටන් කිරීමට සිතුවෙමි, මගේ දිවුරුම සිහියේ තබාගෙන මම භක්තියේ සහ ඇදහිල්ලේ ආයුධ අතට ගත්තෙමි. එහෙත් තරගයේදී මා දුටු ආකාරයට විවිධ වූ වධහිංසා සහ නොනවත්වාම සිදු වූ දඬුවම් කරණකොටගෙන මම පරාජයට පත් වීමි. මගේ මනස ස්ථීරව පැවති අතර, මගේ ඇදහිල්ල ශක්තිමත්ව පැවතුණි. මගේ ආත්මය දීර්ඝ කාලයක් නොකඩව පැවති දරාගත නොහැකි වේදනාවේදී නොසෙල්වී පැවතිණි. එහෙත්, ඉතා දරුණු විනිශ්චයකාරවරයකුගේ කෘෘරත්වය මා ඉදිරියේ වූ විට, මම වෙහෙසට පත් වී බිඳ වැටුණෙමි. එවිට පළමු වරට එම පහර කෑම්වලින් මා ඇද වැටුණෙමි. පහරවලින් මම තුවාල ලදිමි. මගේ දරාගැනීමේ ශක්තිය නැති වී ගියේය. වේදනාව මාගේ ඇතුළාන්තයේ ගැඹුරටම පැමිණියේය. එවිට ගින්නෙන් මා දවනු ලැබිණි. මගේ මාංසය එම අරගලය තුළ මා අතහැර තනි කර දැමීය. මා තුළ වූ ප්‍රාණවත් බව දුර්වල විය. මගේ ආත්මය නොව මගේ ශරීරය දුක් විඳීමේදී යටත් කෙරුණි.’ එවැනි ආයාචනයකට සමාව දීමට ඉක්මනින් යොමු විය හැකිය; මේ ආකාරයේ නිදහසට කාරණයක් අනුකම්පාව ලැබීමට වටින්නේය. එම නිසා, මේ තත්වයන් තුළ ස්වාමින් වහන්සේ වරක් සෙස්ටස්ට හා එමිලියස්ට සමාව දුන් සේක. මේ අනුව, පළමු හමු වීමේදී ඔහු ජයග‍්‍රහණය කළද, දෙවන සටනේදී ඔහු ඔවුන් ජයග‍්‍රාහකයින් බවට පත් කළේය. එසේ කලින් ගින්නට යටත් වූ අය මෙහිදී ගින්නට වඩා ශක්තිමත් අය බවට පත් වූ අතර, ඔවුන් ජය ගනු ලැබූ දෙයින් එනම්, ගින්න කරණකොටගෙන ඔවුහු ජයගත්තෝය. ඔවුන් සිය ආයාචනාවන් සිදු කළේ අනුකම්පාව ලබා ගැනීමේ කඳුළුවලින් නොව තුවාල කරණකොටගෙනය. හඬා වැලපීමෙන් පමණක් පමණක් නොව, ශරීරයට පහර ලැබීමෙන් හා ශාරීරික වේදනාව කරණකොටගෙනය. විලාප වෙනුවට රුධිරය පිට වූ අතර, කඳුළු වෙනුවට ඔවුන්ගේ බාගෙට පිලිස්සුණු ශරීරයේ තුවාලවලින් ලේ ගලා ගියේය.

14 වන පරිච්ඡේදය

එහෙත් දැන්, ඇදහිල්ල සටන අතරතුරදී අසමත් වීම නොව, සටනට පෙරම ද්‍රෝහී බව ඇති වූ විට, ජයග්‍රාහකයාට පෙන්විය හැකි තුවාල කවරේද? ශරීරයේ ඇති තුවාල කවරේද? අස්ථිවල හා අත් පාවල වධහිංසා නිසා වූ වේදනා කවරේද? අපරාධය අභිමතය පරිදි වූ කල, එසේ අල්ලා ගන්නා ලද තැනැත්තාට අපරාධයේ අවශ්‍යතාවය නිදහසට කරුණක් වන්නේ නැත. මා මෙය කියන්නේ සහෝදරයන්ට පීඩනයක්, බරක් පැටවීමට නොවේ. එහෙත් සහෝදරයන් තෘප්තිමත් බවේ යාච්ඤාවන් කිරීම උදෙසා පෙලඹවීම උදෙසාය. මක්නිසාද මෙසේ ලියා ඇත ‘ඔබ ආශිර්වාද ලත් අය ලෙස හඳුන්වන්නෝ, ඔබ මුළා කර, ඔබ ගමන් ගන්නා මාර්ගය විනාශ කරති. යමෙක් පව්කාරයා පැසසුමට ලක් කරන්නේද, ඔහුට ධෛර්ය ලබා දෙන්නේද, එවිට ඔහු එම පුද්ගලයා තව දුරටත් පව් කිරීම උදෙසා පොලඹවන්නේය. එසේම එම වැරදි සෝදිසි නොකර ඒවා පෝෂණය කරන්නේය. එහෙත්, දැඩි ලෙස අනුශාසනාවලින් ඔහුට අවවාද කරන තැනැත්තා, තරවටු කරන තැනැත්තා ගැලවීම සඳහා සහෝදරයෙකු පොලඹවන්නේය. ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක ‘මම ප්‍රේම කරන තැනැත්තා, මම තරවටු කොට දඬුවම් කර හික්මවන්නෙමි.’ මේ නිසා, ස්වාමින් වහන්සේගේ පූජකයා විසින්ද කූට කරුණු ඉදිරිපත් කිරීමෙන් රැවටීම් සිදු නොකර, යහපත් ආචාරයකින් ප්‍රතිචාර දැක්විය යුතුය. නුපුහුණු අදක්ෂ වෛද්‍යවරයෙක් තුවාලයකට ප්‍රතිකාර කිරීමේදී, තුවාලයක් සහිත ස්ථානයක ඉදිමුමට පරෙස්සමින් ප්‍රතිකාර නොකර, එම තුවාලයට සම්බන්ධ වැදගත් අවයව තවදුරටත් හානි වන ආකාරයට විෂ සහිත දේ යොදා ගැඹුරට තුවාලය වර්ධනය කරයි. ඇත්තෙන්ම එයට ප්‍රතිකාර කළ යුතුව ඇත්තේ එම තුවාලය කපා විවර කර, එහි ඇති දූෂිත වූ අවයව කොටස් කපා ඉවත් කර විෂ ඉවත් කිරීමෙනි. එසේ සිදු කිරීමේදී අසනීපයෙන් සිටින මිනිසා, ඔහුගේ වේදනාව නිසා නොඉවසිලිමත්ව, කෑ ගැසුවත්, හැඬුවත්, පැමිණිලි කළත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසුව ඔහු ස්තුතිවන්ත වනු ඇත.

15 වන පරිච්ඡේදය

මක්නිසාද යත්, ඉතාම ආදරණීය සහෝදරවරුනි, නව ආකාරයක විනාශයක් මතු වී ඇත. එසේම පීඩාවේ කුණාටුව ඉතා සුළු වශයෙන් පෙනෙන ආකාරයට, දයාව යන්නෙන් රැවටිලිකාර නපුරක් සහ සිත් ඇදගන්නාසුලු විනාශයක් පීඩාවට අමතරව එකතු වී තිබේ. ශුභාරංචියේ නිරවද්‍යතාවට පරස්පරව, ස්වාමින් වහන්සේගේ හා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට පටහැනිව, ඇතැම් පුද්ගලයන් විසින් නිර්භීතව සන්නිවේදනය කරන අඥාන කාරණා හේතුකොටගෙන, ඒවා ප්‍රකාශ කරන අයට මහත් භයානක තත්වයක් සහ එය ලබා ගන්නා අයට කිසිම ප්‍රයෝජනයක් නැති ආකාරයේ හිස් වූ සහ ව්‍යාජ සමාදානයක් ඇති වී ඇත. ඔවුහු යහපත් සෞඛ්‍ය තත්වයක් සඳහා වැදගත් වන්නේ ඉවසිලිමත් බව ලෙස හෝ සැබෑ ඖෂධය වන්නේ තෘප්තිමත් බව ලෙස නොදකිති. ඔවුන්ගේ හදවත්වලින් දඬුවම බැහැර කර ඇත; අතිශය බරපතල හා මහත් පාපයක මතකය ඉවත් කරනු ලැබ ඇත. මරණාසන්න අයගේ තුවාල සැඟවී ඇති අතර, ගැඹුරු හා රහසිගත අවයවවල තැන්පත්ව ඇති මාරාන්තික ප්‍රහාරවල වේදනාව කරණකොටගෙන සැඟවී ඇත. යක්ෂයාගේ පූජාසනයේ සිට දූෂ්‍ය වූ සහ පිළිකුල් සහගත ගඳ ගසන අත් සහිතව ආපසු විත්, ඔවුන් ස්වාමින් වහන්සේගේ ශුද්ධ ස්ථානයට ප්‍රවිශ්ට වී ඇත. තවදුරටත්, පිළිමවලට පූජා කළ ආහාරවල දුම් ඔප්පු කරමින්, දැන් පවා ඔවුන්ගේ අපරාධයෙන් පිරි අත් දිගු කරමින්, දූෂ්‍ය ලෙස ඔවුහු ස්වාමින් වහන්සේගේ ශරීරය ආක්‍රමණය කරති. දිව්‍යමය ශුද්ධලියවිල්ල ඔවුන්ට විරුද්ධව සිට මොර ගසමින් මෙසේ පවසයි. ”පවිත්‍ර වූ සියලු දෙනා මාංසය අනුභව කරාවා. එහෙත් ස්වාමින් වහන්සේගේ ගැලවීමේ පූජාවේ මාංසයෙන් කන අපවිත්‍ර වූ යම් කෙනෙක් වේද, ඔහුගේ අපවිත්‍රකම ඔහු පිටට පැමිණේවා. එම තැනැත්තා සෙනග කෙරෙන් සිඳිනු ලබන්නේය.’ අපෝස්තුළු තුමාද එයට සාක්ෂි දරමින් මෙසේ පවසයි. “ස්වාමින් වහන්සේගේ කුසලානෙන් හා යක්ෂයන්ගේ කුසලානෙන් පානය කිරීමට ඔබට නොහැකිය. ඔබට ස්වාමින් වහන්සේගේ මේසයේ සහ යක්ෂයන්ගේ මේසයේ හවුල්කරුවෙකු විය නොහැකිය.’ ඔහු එලෙසම මුරණ්ඩු හා හිතුවක්කාර අයට තර්ජනය කර ඔවුන් හෙළා දකිමින් මෙසේ පවසයි: ‘යමෙක් ස්වාමින් වහන්සේගේ රොටි නුසුදුසු ලෙස අනුභව කොට ස්වාමින් වහන්සේගේ කුසලානය නුසුදුසු ලෙස පානය කරන්නේ නම් ඔහු ස්වාමින් වහන්සේගේ ශරීරය හා රුධිරය ගැන වරදකරුවෙකු වී සිටියි.’

16 වන පරිච්ඡේදය

මේ සියලු අනතුරු ඇඟවීම් නොතකා හරිමින්, ඔවුන්ගේ පව්වලට සමාව ලැබීමට පෙර, ඔවුන්ගේ අපරාධ පාපොච්චාරණය කිරීමට පෙර, පූජාව සහ පූජකයාගේ දෑත් කරණකොටගෙන ඔවුන්ගේ හෘදය සාක්ෂිය පවිත්‍ර කරනු ලැබීමට පෙර, උදහස් වී හා තර්ජනය කරන ස්වාමින් වහන්සේ හා සමග සමගි වීමට පෙර, ඔවුන් ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කරන විට, උන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධව ප්‍රචණ්ඩ ලෙස ක්‍රියා කර, ඔවුන්ගේ දෑත්වලින් හා මුඛයෙන් ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කරති. ඇතැම් රැවටීමේ වචන පවසමින් සමාදානය ඇති කළ යුතු බව ඇතැම් අය සිතති. එය සාමය නොව යුද්ධයකි. ශුභාරංචියෙන් වෙන් වී සිටින තැනැත්තා සභාව සමග බැඳී සම්බන්ධ නොවන්නේය. ඔවුන් තුවාලයක් කරුණාවක් ලෙස හඳුන්වන්නේ මන්ද? ඔවුන් අභක්තිය භක්තිමත් බව ලෙස හඳුන්වන්නේ මන්ද? ඔවුන් දඬුවම් විඳීමේ ඇති වන විලාපයට බාධා කර, අඛණ්ඩව හඬා වැලපෙමින් ස්වාමින් වහන්සේගෙන් ආයාචනා කළ යුතු බව පෙන්නුම් කරමින් එය ඔවුන්ට සන්නිවේදනය කරන්නේ මන්ද? මෙම සවභාවය අසමත්ව හැරී ගිය අයට, අස්වැන්නට හිම කැට වැටෙන්නාක් මෙනි, ගස්වලට කුණාටුවක් වැනිය, ගවයන්ට විනාශකාරී වසංගතයක් වැනිය, නැව්වලට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් වැනිය. ඔවුන්ගේ විනාශකාරී වචනවලින් ඔවුහු මාරාන්තික විෂ හෙළමින්, ඔවුහු බලාපොරොත්තුවේ සැනසීම විනාශ කර දමති. එය මුලිනුපුටා දමති. නැව වරායට සේන්දු නොවන පිණිස ඔවුහු නැව ගල් මතට තල්ලු කරති. එවැනි වූ ව්‍යක්තභාවයක් මගින් සාමය ඇති නොවන අතර, ඇත්තෙන්ම සාමය උදුරා දමනු ලැබේ. එයින් එක්සිත් බව ඇති නොවන අතර, එය ගැලවීමට එරෙහිව නැගී සිටිනවා ඇත. මෙය සියුම් ආකාරයට සතුරෙකු විසින් ඉවත්ව ගිය අයට සැඟවී සිට විනාශය කරා යාමට තව දුරටත් පහර දීමේ තවත් පීඩාවක් සහ තවත් පරීක්ෂාවක් වේ. එම නිසා විලාපය නිහඬව සිදු කළ යුතුය. ශෝකය නිහඬව විඳගත යුතුය. පාපය සම්බන්ධ මතකයන් ඉවත් වූ පසුව, හදවතේ ගාවිනාව නතර වී පසුව, ඇස්වල කඳුළ නැවතුණු පසුව, ‘ඔබ වැටී ඇත්තේ කොතැනින්දැයි සිහි කර පසුතැවිලි වන්න’ යනුවෙන් ලියා තිබුණද, ලජ්ජාවෙන් සහ සම්පූර්ණ පසුතැවිල්ලෙන් යුතුව ස්වාමින් වහන්සේට ආයාචනා කිරීම සිදු නොවේ.

17 වන පරිච්ඡේදය

කිසිවෙකු තමාම පාවා නොදේවා. කිසිවෙකු තමාම රවටා නොගනීවා. ස්වාමින් වහන්සේට පමණක් දයාව දැක්විය හැකිය. දෙවියන් වහන්සේට විරුද්ධව සිදු කරන ලද පාපවලට සමාව දීමට හැකි උන් වහන්සේට පමණය. උන් වහන්සේ පමණක්ම අපගේ පාප දැරූ සේක. අප වෙනුවෙන් දුක් වූ සේක. උන් වහන්සේ අපගේ පාප වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් පූජා කරනු ලැබූ තැනැන් වහන්සේ වන සේක. මිනිසාට දෙවියන් වහන්සේට වඩා උතුම් විය නොහැකිය. එසේම සේවකයාට තම ස්වාමියාට විරුද්ධව සිදු කර ඇති වඩාත් බරපතල පාපයක් තමාගේම හැකියාවෙන් අත්හැර දැමීමට හෝ එයට ප්‍රතිකර්මයක් සිදු කිරීමට හැකියාවක් නැත. ඔහු මෙසේ ලියා ඇති බව නොදන්නේ නම්, තවදුරටත් ඔහු එසේ කරන්නේ නම් වඩා මහත් අපරාධයක් සිදු කරනවා ඇත. ‘මිනිසා කෙරෙහි බලාපොරොත්තු වන මිනිසාට ශාප වේවා.’ මිනිසා ස්වාමින් වහන්සේට අයැදිය යුතුය; අපගේ තෘප්තිය ඇති වන පිණිස ස්වාමින් වහන්සේගෙන් සමාව ලැබිය යුතුය. උන් වහන්සේ ඔහු ප්‍රතික්ෂේප කරන තැනැත්තේ ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව පැවසූ සේක. උන් වහන්සේ පමණක්ම පියාණන් වහන්සේ වෙතින් සැම විනිශ්චයක්ම ලබා න්නා සේක. වේද සාක්ෂිකයින්ගේ විපාකය සහ ධර්මිෂ්ඨ අයගේ ක්‍රියාවන්ට විනිශ්චයේදී විශාල බලයක් ඇති බව අපි විශ්වාස කරමු. එහෙත්, විනිශ්චය දිනය පැමිණෙන විට, මේ යුගයෙහි සහ මෙම ලෝකයෙහි අවසානය සිදු වූ පසු, උන් වහන්සේගේ සෙනග ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.

18 වන පරිච්ඡේදය

එහෙත්, ඕනෑම කෙනෙකු ක්ෂණයකින් සියල්ලන්ටම පව් සමාව ලබා දීමට තමාට හැකි යැයි සිතන්නේ නම් හෝ ස්වාමින් වහන්සේගේ ශික්ෂා පද උල්ලංඝනය කිරීමට එඩිතරව කටයුතු කරන්නේ නම් හෝ එමගින් ඉවත්ව ගිය අයට කිසි ප්‍රයෝජනයක් නොවනවා පමණක් නොව, ඔවුන්ට එය බාධාවක්ද වේ. ස්වාමින් වහන්සේගේ විනිශ්චය පිළිපැදීමෙන් තොරව, එසේ උන් වහන්සේගේ දයාව ලබාගැනීම උදෙසා පළමුවෙන්ම ආයාචනා කිරීම, යමෙකු ළ යුතු නොහැකි බවට සිතීම, තමාගේම බලය ගැන විශ්වාස කරමින් ස්වාමින් වහන්සේට අවනත වීමට උත්සහා ගැනීමකි. එසේ කිරීමෙන් ඔහු උන් වහන්සේගේ උදහස අවුස්සයි. දෙවියන් වහන්සේගේ පූජාසනය යට වේදසාක්ෂිකයින්ගේ ආත්ම මහ හඬින් මොරගසමින් මෙසේ පවiයි: ‘ශුද්ධ වූ හා සැබෑ වූ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ කොපමණ කලක් විනිශ්චය කිරීමෙන් හා පොළොවෙහි වාසය කරන අය කෙරෙහි අපගේ රුධිරය ගැන පලිගැනීමෙන් වැළකී සිටින සේක්ද?’ තවද ඔවුන්ට නිශ්ශබ්දව සිටීමටත් ඉවසීමෙන් කටයුතු කිරීමටත් අණ කරනු ලැබේ. ඕනෑම කෙනෙකුට අහඹු ලෙස පව් සමාව ලැබීමෙන් හා පාප ඉවත් කරනු ලැබීමෙන් යහපත් වීමට අපේක්ෂා කළ හැකි බව හෝ ඔහුම නිදොස් කරනු ලැබීමට පෙර අන් අය ඔහු විස්න නිදොස් කරනු ලැබිය හැකි බව යමෙකු සිතන්නේද? වේදසාක්ෂිකයෝ යමක් ඉටු කරනු ලැබිය යුතු බවට නියෝග කරති. යමක් සාධාරණ නම්, යම් දෙයක් නීත්‍යනුකූල නම්, ස්වාමින් වහන්සේට පටහැනි නොවේ නම්, එවැනි දේවල් දෙවියන් වහන්සේගේ පූජකයා විසින් ඉටු කළ යුතුය. ඒවා පැවැත්වීමට බලාපොරොත්තු වන යමෙකු ආගමික මධ්‍යස්ථ මතයක් දරන්නේ නම්, කීකරු වන තැනැත්තාගේ පාර්ශ්වයෙන් ගිවිසුම සූදානම්ව සහ පිළිපැදීමට පහසු ලෙස පවතීවා. වේදසාක්ෂිකයෝ යමක් ඉටු කරනු ලැබිය යුතු බවට නියෝග කරති. ඔවුන් අණ කරන දේ ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා නොමැති නම්, ඔවුන් පවසන දෙය ස්වාමින් වහන්සේගෙන් ඔවුන් ලබාගෙන ඇති බව අප පළමුව දැනගත යුතුය. එසේ ඔවුන් අණ කරන දේ කළ යුතුය. මක්නිසාද මිනිසාගේ පොරොන්දුව මගින් සහතික කර ඇති දේ දිව්‍යමය මහිමාන්විතභාවයෙන් ලබා දී ඇති බවක් එකවරම නොපෙනෙන බැවිනි.

19 වන පරිච්ඡේදය

මක්නිසාද මෝසෙස්ද ජනතාව පව් කරන අවස්ථාවේදී එසේ පව් කරන අයගේ පව්වලට දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටියද, එය නොලැබුණි. ඔහු මෙසේ පැවසීය. ‘ස්වාමින් වහන්ස, මම ඔබ වහන්සේ සොයන්නෙමි. මේ සෙනඟ දරුණු පාපයක් සිදු කර ඇත. දැන් ඔබ වහන්සේ ඔවුන්ගේ පාපයට සමාව දුන මැනව. එසේ ඔබ වහන්සේ සමාව නොදෙන සේක් නම්, ඒ වෙනුවට මට පහර දී ඔබගේ ජීවන පොතෙන් මාගේ නම මකා දැමුව මැනව.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”යමෙක් මට විරුද්ධව පව් කළේ නම්, මම ඔහුගේ නාමය මාගේ පොතෙන් ඉවත් කරන්නෙමි” යයි පැවසූ සේක. දෙවියන් වහන්සේගේ එම මිතුරා, බොහෝ විට සමිඳාණන් වහන්සේ සමඟ මුහුණට මුහුණ ලා කථා කළ තැනැත්තා හට, තමා බලාපොරොත්තු වූ දේ ලබා ගැනීමට නොහැකි විය. එසේම ඔහුගේ මැදිහත් වීම කරණකොටගෙන උදහස් වූ දෙවියන් වහන්සේගේ අප්‍රසාදය ඉවත් කර දැමීමට ඔහුට හැකි වූයේද නැත. දෙවියන් වහන්සේ යෙරමියාට ප්‍රශංසා කරමින් මෙසේ ප්‍රකාශ කරන සේක. ‘මම ඔබ මව් කුසයේ පිහිටුවීමට පෙර මම ඔබ දැන සිටියෙමි. ඔබ ගර්භාෂයෙන් පිටතට පැමිණීමට පෙර, මම ඔබ විශුද්ධ කර, ජාතීන්ට අනාගතවක්තෘවරයෙකු ලෙස ඔබ පත් කළෙමි.’ යෙරමියා නිතරම මැදහත්කාරකම් කරමින් ජනතාවගේ පව් උදෙසා යාච්ඤා කරමින් සිටියදී, දෙවියන් වහන්සේ ඔහුට මෙසේ පැවසූ සේක. ‘නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් වෙනුවෙන් විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤා කරන කාලයේදී මම ඔවුන්ගේ වදන නොඅසන්නෙමි.’ නෝවාට ධර්මිෂ්ඨ මනුෂ්‍යයා කවරෙක්ද? පොළොව පව්වලින් පිරී තිබියදී ඔහු පමණක්ම පොළොවේ ධර්මිෂ්ඨ අයෙකු ලෙස සිටියේය. දානියෙල්ට වඩා තේජවත් අන් කවරෙක්ද? ඔහු ප්‍රාණ පරිත්‍යාගී වීම විඳ දරාගැනීම සඳහා ඇදහිල්ලේ ස්ථීරභාවයෙන් ශක්තිමත් ලෙස සිටියේය. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදවලින් තෘප්තිමත් විය. ඔහුට විරුද්ධව සිදු වූ සටන්වලදී බොහෝ විට ජයගත්, එසේම ඔහුගේ ජයග්‍රහණවලදී නොසැලී සිට ඔහු මෙන් වූ අන් කවරෙක් වීිද? යෝබ්ට වඩා ඉතා උනන්දුවෙන් යහපත් ක්‍රියා වල පැවති අන් කවරෙක් වීද? එසේම පරීක්ෂාවන්වලදී ස්ථිරව සිටි, ශක්තිමත්, දුක් විඳීමේ වඩා ඉවසිලිවන්ත වූ, බියෙන් යුක්තය යටත් පහත් වූ, සැබෑ ඇදහිල්ලේ පැවතියාවූ අන් කවරෙක් වීද? එහෙත් දෙවියන් වහන්සේ පැවසුවේ, ඔවුන් එසේ ඉල්ලා සිටියද, උන් වහන්සේ එය ලබා නොදෙන බවය. අනාගතවක්තෘ එසකියෙල් ජනතාවගේ පාප වෙනුවෙන් මැදහත්කම් කරන විට, දෙවියන් වහන්සේ මෙසේ කී සේක: ‘ඉතා මහත් පාප සිදු කරමින් ව්‍යවස්ථාව දරුණු ලෙස උල්ලංඝනය කරමින් මට විරුද්ධව කුමන දේශයක් පව් කළත්, මම ඒ පිට මාගේ අත දිගු කර, ආහාර නමැති සැරයටිය බිඳ දමා සාගතය එම දේශය පිට යවා, ඒ දේශයෙහි මනුෂ්‍යයින් සහ මෘගයින් විනාශ කර දමන්නෙමි. නෝවා, දානියෙල් සහ යෝබ් යන මන්ෂ්‍යයින් තිදෙනා එහි සිටියේ වූවද, මම ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ගලවා නොගන්නෙමි. එහෙත් ඔවුන් පමණක්ම ගැලවෙනු ඇත.’ එම නිසා, සමාව ලැබෙන්නේ එය සොයන්නාගේ පූර්ව විනිශ්චය අනුව නොව, එය ලබා දෙන්නාගේ තීරණයට අනුව වන නිසා, දිව්‍යමය කැමත්ත මගින් සහතික නොකරන්නේ නම් මිනිස් මතයෙන් හෝ මිනිසා සිතන දෙයින් කිසිවක් සිදු වන්නේ නැත.

20 වන පරිච්ඡේදය

ශුභාරංචියේ ස්වාමින් වහන්සේ කතා කොට මෙසේ කියන සේක: ‘මිනිසුන් ඉදිරියෙහි මා පිළිගන්නා සියලුම දෙනා, ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි මමද පිළිගන්නෙමි. එහෙත් මිනිසුන් ඉදිරියෙහි මා ප්‍රතික්ෂේප කරනයමෙක් වේද, මමත් ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.’ තමා ප්‍රතික්ෂේප කරන්නා ප්‍රතික්ෂේප නොකරන්නේ නම්, ඔහු තමා පිළිගන්නා තැනැත්තා පිළිගන්නේද නැත. ශුභාරංචියේ කොටසක් ස්ථීරව හා ශුභාරංචියේ තවත් කොටසක් අස්ථීරව තිබීම විය නොහැකිය. ශුභාරංචියේ කොටස් දෙකම ශක්තිමත් විය යුතුය. නැතිනම් කොටස් දෙකම සත්‍යයෙන් තොර විය යුතුව ඇත. එය ප්‍රතික්ෂේප කරන අය අපරාධයක් සම්බන්ධයෙන් වැරදිකරුවෝ නොවන්නේ නම්, එය පිළිගන්නා අයට යහපත්කමේ විපාකයක්ද නොලැබෙනු ඇත. තවදුරටත්, ජයගන්නා ලද ඇදහිල්ලට ඔටුනු පලඳවනු ලබන්නේ නම්, පරාජය වූ ද්‍රෝහියාට දඬුවම් කිරීමද සිදු කළ යුතුය. මේ අනුව, ශුභාරංචිය බිඳ දැමිය හැකි නම්, වේදසාක්ෂිකයින් හට කිසිදු ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. නොඑසේ නම්, ශුභාරංචිය බිඳ දැමිය නොහැකි නම්, ශුභාරංචියට අනුව වේදසාක්ෂිකයින් බවට පත් වූ අයට ශුභාරංචියට පටහැනිව ක්‍රියා කළ නොහැකිය. ආදරණීය සහෝදරවරුනි, කිසිවෙකු වේදසාක්ෂිකයින්ගේ ගෞරවය කෙලෙසීම නොකළ යුතුය. කිසිවෙකු ඔවුන්ගේ තේජස හා ඔටුනු විනාශ නොකළ යුතුය. දූෂිත නොවූ ඇදහිල්ලක ශක්තිය, ඉතා ශක්තිමත්ව පවතින අතර, ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව කිසිවක් කීමට හෝ කිරීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැත. එසේම තමාගේ බලාපොරොත්තුව, ඇදහිල්ල, ගුණවත්කම හා මහිමය මුළුමනින්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති අයෙකුට විරුද්ධව කිසිවක් කීමට හෝ කිරීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැත. එසේ, දෙවියන් වහන්සේගේ නියෝගයන් ඉටු කළ අයට, දෙවියන් වහන්සේගේ නියෝගයන්ට විරුද්ධව බිෂොප්වරුන් විසින් සිදු කරනු ලබන නියෝග ඉටු කිරීම කළ නොහැකිය. දෙවියන් වහන්සේට වඩා උතුම් අයෙකු හෝ දිව්‍යමය යහපත්කමට වඩා දයානුකම්පිත වන කෙනෙකු හෝ සිටින්නේද? නැතිනම් දෙවියන් වහන්සේ විසින් කරනු ලැබීමට අපේක්ෂා කරන දේ අහෝසි කිරීමට ප්‍රාර්ථනා කරන කෙනෙකු සිටින්නේද? නැතහොත්, උන් වහන්සේ සභාව ආරක්ෂා කිරීමට උන් වහන්සේට ඇත්තේ සුළු බලයක් සේ සිතමින්, අපගේම උපකාරයෙන් අපට ගැලවීම ලැබිය හැකි යැයි සිතන කෙනෙකු සිටින්නේද?

21 වන පරිච්ඡේදය

එහෙත්, මේ දේවල් දෙවියන් වහන්සේගේ දැනුම ඇතිව ඉටු කර තිබේ නම්, නැතිනම් මේ සියල්ල උන් වහන්සේගේ අවසරයකින් තොරව සිදු වී ඇත්නම්, ඉගෙනගත නොහැකි අයට දිව්‍යමය ශුද්ධලියවිල්ලෙන් උගන්වනු ලබන සේක්වා. එසේම මෙම වචන කරණකොටගෙන අමතක වී ඇති අයට අවවාද කරනු ලැබේවා: ‘යාකොබ් ‍කොල්ලයක් පිණිසද ඉශ්‍රායෙල් කොල්ලකාරයන්ටද දුන්නේ කවුද? ස්වාමින් වහන්සේ නොවේද? අප පව් කළේ උන් වහන්සේට විරුද්ධවය. ඔවුන් යන්ට අකමුති වුණේ උන් වහන්සේගේ මාර්ගවලය. ඔවුන් අකීකරු වුණේ උන් වහන්සේගේ ව්‍යවස්ථාවයඒ නිසා උන් වහන්සේ තමන්ගේ බලවත් උදහසේ සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරවූ සේක.’ තවද, වෙනත් ස්ථානයකදී එය මෙලෙස දක්වමින් සාක්ෂි දරයි. ‘නිබලව, ගලවන්ට බැරි ලෙස ස්වාමින් වහන්සේගේ අත කොට වෙලාවත්, නෑසෙන ලෙස උන් වහන්සේගේ කන බිහිරි වෙලාවත් නැත. නුමුත් නුඹලාගේම අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන් වීමක් කළේය. උන් වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන් වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙව්වේය.’ අපි අපගේ පව් ගැන සලකා බලමු, අපගේ ක්‍රියාවෙහි සහ මනසෙහි රහස් විමසා බලා අපගේ හෘදයසාක්ෂියේ ගුණාංග කිරා මැන බලමු. අපගේ හදවත්වලට නැවත හැරී විමසා බලා අප ස්වාමින් වහන්සේගේ මාර්ගවල ගමන් කර නැති බවත්, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවත්, කිසි විටෙකත් උන් වහන්සේගේ ශික්ෂා පද පිළිපැදීමට අකමැති වූ බවත් සහ ගැලවීමට අවශ්‍ය උපදේශන පිළිපැදීමට අකමැති වූ බවත් සිහි කරමු.

22 වන පරිච්ඡේදය

ඔහු කෙරෙහි ඇති යහපත ලෙස ඔබට හැඟෙන්නේ කුමක්ද, ඔහු ඔහු තුළ කුමන බියක්, කුමන ඇදහිල්ලක් ඇතැයි ඔබ විශ්වාස කරනවාද? නිවැරදි කිරීමට නොහැකි වූ ඔහුගේ බිය, නැවත ප්‍රතිස්ථාපිත නොකරන ලද ඔහුගේ පීඩාවන් පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහිද? ඔහු වැටී ඇති නිසා ඔහුගේ උස් හා ඍුජු බෙල්ල නැමී ගොස් නැත; ඔහුගෙන් ජය ගනු ලැබූ නිසා ඔහුගේ උසස් වූ හා ආඩම්බර වූ මනස බිඳී ගොස් නැත. ඔහුගේ තුවාලවලින් සහ ශක්තියෙන් ඔහුට විරුද්ධව නැගී සිටින සහ ශක්තිමත් අයට තර්ජනය කළේය. ඔහු ක්ෂණයකින් තම විනාශ වූ අත්වලින් ස්වාමින් වහන්සේගේ ශරීරය ලබා ගත්තේ හෝ දූෂිත වූ මුඛයකින් ස්වාමින් වහන්සේගේ රුධිරය පානය කළේ හෝ නැත. ඔහු පූජකයන් එරෙහිව භක්තිමත් ආකාරයෙන් ක්‍රියා කළේය. අනේ, ඔබගේ අධික උමතුව විසින් මම මහත් සේ කලබලයට පත් වීමි. දෙවියන් වහන්සේගේ කෝපය ඔබෙන් වළක්වා ලීමට අරගල කරන තැනැත්තා කෙරෙහි ඔබ කෝප වූයෙහිය. ඔබ වෙනුවෙන් ස්වාමින් වහන්සේගේ දයාව ඉල්ලා සිටින තැනැත්තා හට ඔබ තර්ජනය කරන්නෙහිය. ඔබටම නොදැනෙන්නා වූ ඔබගේ තුවාලය දැනෙන තැනැත්තා හට ඔබ තර්ජනය කරන්නෙහිය. ඔබ වෙනුවෙන්ම ඔබ කඳුළු නොසලන නමුත්, ඔබ වෙනුවෙන් කඳුළු වගුරුවන තැනැත්තාට ඔබ තර්ජනය කරන්නෙහිය. ඔබගේ අපරාධ තව තවත් වැඩි කර එකතු කරගත්තෙහිය. ඔබ දෙවියන් වහන්සේගේ රදගුරුවරුන් හා පූජකයන් කෙරෙහි අනුකම්පා විරහිත වන විට, ස්වාමින් වහන්සේට ඔබට සමාව දිය හැකි යැයි ඔබ සිතන්නෙහිද?

23 වන පරිච්ඡේදය

අප කියන දේ සිතට ගෙන එය පිළිගන්න. අප විසින් ඔබට දෙන යහපත් උපදෙස් හා ශික්ෂා ඔබේ බිහිරි කන්වලට නෑසෙන්නේ මන්ද? අප විසින් ඔබ ඉදිරියේ තබන පසුතැවිල්ල ඔබේ අන්ධ දෑස්වලට නොපෙනෙන්නේ මන්ද? අප විසින් ස්වර්ගයේ ශුද්ධලියවිලිවලින් ඉගෙනගනු ලබන එමෙන්ම උගන්වනු ලබන කාරණා ඔබගේ වැසුණු සහ උමතුවෙන් බර වූ මනසට නොවැටහෙන්නේ මන්ද? සමහර නොඇදහිලිවන්ත අයට අනාගත සිදුවීම් කෙරෙහි මඳ විශ්වාසයක් තිබේ නම්, අවම වශයෙන් වර්තමානය කෙරෙහිවත් ඔවුන්ට බියක් ඇති වේවා. ‘බලව, ප්‍රතික්ෂේප කර ඇත්තන් කෙරෙහි වන අප දකින දඬුවම් පැමිණවීම කෙතරම් ශෝකජනකද, අප වැලපෙන ඔවුන්ගේ මරණ කෙතරම් ශෝකජනකද!’ දඬුවමේ දවස තවම පැමිණ නැති වූවද, මෙහිදීද ඔවුන් දඬුවම්වලින් ගැලවී සිටිය නොහැකිය. ඒ සමගම සමහර අයට දඬුවම් ලැබී ඇත්තේ අනෙකුත් සියලු දෙනාට මගලෙන්වීමක් ලැබෙන පිණිසය. කිහිප දෙනෙකුගේ වධ වේදනා සියලු දෙනාටම උදාහරණ වේ.

24 වන පරිච්ඡේදය

තමන්ගේම කැමැත්තෙන් අගනුවරට ගොස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කළ අයෙකු, එසේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ගොළුවෙකු බවට පත් විය. අපරාධය ආරම්භ වූ තැනම දඬුවම් දීමද ආරම්භ විය. එසේ ඔහුට තවදුරටත් දයාවේ යාච්ඤා කිරීමට ඉල්ලීමට නොහැකි වනු ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු නිරුත්තර වනු ඇත. තවත් අයෙක්, ඇයගේ අපරාධ සහ නපුරු ක්‍රියා අවසන් වූ ක්ෂණයකින් නාන ස්ථානයට ගිය අවස්ථාවේදී මරණයට පත් වූවාය. ඇය ජීවනය දෙන තැනැන් වහන්සේගේ අනුග්‍රහය අහිමි කර ගත්තාය. අපවිත්‍ර ආත්මයක් කරණකොටගෙන ඇය විසින් තමාගේ මුඛයෙන් පිට කරන ලද අපවිත්‍ර සහ අභක්තික වචන හේතුකොටගෙන විනාශයට පත් වූවාය. දූෂිත බවට පත් වූ ආහාර ගැනීමෙන් පසුව උමතුවට පත් වූ මුඛය එහි විනාශයට ක්‍රියා කළේය. ඇයගේ ඝාතකයා ඇයම වූ අතර, එම ක්‍රියාවෙන් පසු බොහෝ කලක් ජීවත් වීමට ඇයට නොහැකි විය. ඇයගේ කුසයේ සහ ඒ ආශ්‍රිත අවයවයන්ගේ දරුණු වේදනා හේතුවෙන් ඇය මරණයට පත් වූවාය.

25 වන පරිච්ඡේදය

මගේ ඇස් ඉදිරියේම සිදු වූ දේවල් සහ මා සාක්ෂිකාරයේ වන මේ දේවල් අසන්න. එක් දෙමව්පිය යුවලක් ඔවුන්ගේ බිය නිසා, එතරම් සැලකිල්ලක් නොදක්වා තම කුඩා දියණිය හෙදියකගේ රැකවරණයට පත් කර කඩිමුඩියේ වෙනත් රටකට ගියහ. හෙදිය අතහැර දමන ලද දැරිය මහේස්ත්‍රාත්වරුන්ට භාර දුන්නාය. ජනයා එක්රැස් වූ පිළිමය ඇති ස්ථානයේදී, එම ළදැරිය කුඩා බැවින් ඇයට මස් අනුභව කළ නොහැකි නිසා ඇයට වයින්වල පෙඟවූ පාන් ලබා දුන් අතර, එම වයින් බිලි පූජා සිදු කිරීමෙන් විනාශ වූ අය ඉතිරි කළ ඒවා විය. එම දැරියගේ මවට ඇගේ දියණිය සොයා ගැනීමට හැකි වී ඇත. එහෙත් මෙම තරුණියට තමා කළ අපරාධය ගැන සඳහන් කිරීමට හා එය පෙන්වා දීමට ඇයට නොහැකි වී ඇත. මන්ද ඇය විසින් කලින් කළ දේ වළක්වාලීමට හෝ එය අවබෝධ කරගැනීමට ඇයට හැකියාවක් නොවූ බැවිනි. එම නිසා, ඒ පිළිබඳ වූ නොදැනුවත්කම හේතුවෙන්, අප පූජා ඔප්පු කරමින් සිටියදී මව දරුවා අප වෙත රැගෙන ආවාය. එපමණක්ද නොව, දැරිය ශුද්ධ වූ ජනයා සමඟ එක් වී සිටි අතර, අපගේ යාච්ඤාවන් සහ ඉල්ලීම්වලදී නොඉවසිලිමත්ව, ඒ අවස්ථාවේදී හඬා වැලපෙමින් වෙව්ලමින් සිටියාය. එසේ ඇගේ මනසෙහි වෙනස්වීමක් සිදු විය. ඇයගේ ප්‍රාණයට වධහිංසා කරන්නෙකුගේ බල කිරීම යටතේ තවමත් ළා බාල වයසේ සිටින දැරියක වූ ඇය විසින් සිදු කරන ලද දේ සම්බන්ධ අවබෝධය ලැබ, එම සලකුණු පිළිබඳ ප්‍රකාශ කිරීමට සහ පාපොච්චාරණය කළාය. එහෙත්, එහි වැඩ අවසන් වූ පසු, උපස්ථායකයා පැමිණ සිටි අයට කුසලානය පිරිනැමීමට පටන් ගත් අතර, සෙසු අය ඒවා ලබා ගන්නා විට, ඇයගේ වාරය එලඹුණි. එවිට එම කුඩා දැරිය දිව්‍යමය මහිමාන්විතභාවය පිළිබඳ අවබෝධයෙන් යුක්තව ඇගේ මුහුණ ඉවතට හරවා, මුඛය සහ තොල් තදින් තද කර ගනිමින් කුසලානය ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත්, උපස්ථායකයා ඇය පූජාව ලබා ගැනීමට විරුද්ධ වෙද්දී ශුද්ධ වූ කුසලානයෙන් දැරියගේ කටට නොකඩවා වත් කළේය. ඉන්පසු ඇයට වමනය හා වමනය ඇති විය. සත්ප්‍රසාදය උල්ලංඝනය කර ඇති ශරීරයට සහ මුඛයට පැවතිය නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ කැප කරන ලද රුධිරයේ ස්පර්ශයෙන් දූෂිත වූ අවයවවලින් පුපුරා ඉවතට විසි වී යයි.

සමිඳාණන් වහන්සේගේ බලය එතරම්ම උසස්ය. උන් වහන්සේගේ මහිමය එතරම්ම උතුම්ය. උන් වහන්සේගේ ආලෝකය යටතේ සෙවනැලිවල රහස් අනාවරණය වේ. දෙවියන් වහන්සේගේ පූජකයා සැඟවුණු අපරාධවලින් රැවටීමට නොහැකිය.

26 වන පරිච්ඡේදය

තමාට එරෙහිව අන්‍යයන් විසින් සිදු කරන ලද අපරාධයක් ගැන කතා කිරීමට තරම් වයසක් තවමත් එම ළදැරියට නොවීය. එහෙත් ජීවිතයේ බොහෝ අවුරුදු ගණනක් ගත කළ එම වයස්ගත කාන්තාව, අප පූජාව පවත්වන විට හොර රහසේ පැමිණ නිහඬව සිටිමින් ආහාර ගැනීමෙන් ඇය මතම කඩුවක් ලබා ගත්තාය. එසේ ඇගේ හකු සහ ශරීරය තුළ යම් ආකාරයක මාරාන්තික විෂ වර්ගයක් ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර උමතුවෙන් පීඩා විඳීමට පටන් ගත්තාය. එසේ වූයේ පීඩාව කරණකොටගෙන නොව ඇයගේම පාපය කරණකොටගෙන වෙව්ලන්නට හා කම්පනයට පත් වීි මහත් වේදනාවක් විඳීමටත් සිදු විය. ඇගේ හෘදයසාක්ෂියේ පැවති සැඟවුණු අපරාධය දිගු කලක් දඬුවම් නොලබා සැඟවී නොතිබුණි. මිනිසා රැවටූ ඇයට දෙවියන් වහන්සේගේ දඬුවම දැනුණි. එසේම එක් ස්ත්‍රියක් අපවිත්‍ර දෑතින් ස්වාමින් වහන්සේගේ ශුද්ධ ශරීරය මත වූ ඇගේ පෙට්ටිය විවෘත කිරීමට උත්සාහ කළ විට, එය ස්පර්ශ කිරීමට ඉඩ නොලබා ගින්නක් මතු වී ඇය එය සපර්ශ කිරීමෙන් වළක්වන ලදී. එසේම අපවිත්‍ර වූ තවත් මිනිසෙක්, දිව්‍ය පූජාව සැමරීමෙන් පසුව ඉතිරි වූ කො‍ටසක් රහසේම ගෙන යාමට නිර්භීත වූ අතර, ස්වාමින් වහන්සේගේ ශුද්ධකම ඉදිරියේ ඔහුට එය කෑමට හෝ හැසිරවීමට නොහැකි විය. ඔහු තම දෑත් විවර කළ විට, ඔහුගේ අතේ අඟුරු කැබැල්ලක් ගෙන යන බව දුටුවේය. යමෙකු ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළ විට එම තැනැත්තාද ප්‍රතික්ෂේප කරනු ලබන බව මේ ආකාරයෙන් සාක්ෂියක් මගින් පෙන්නුම් කෙ‍රුණි. එසේ යමක් ලබාගැනීමට නුසුදුසු පුද්ගලයා හට එය ලැබුණු කල, එයින් ඔහුට කිසි යහපතක් සිදු නොවන්නේය. එය ගැලවීමේ වරප්‍රසාදය වෙනස් වූ විට ශුද්ධ දෙය අඟුරු බවට පත් වීම වැනිය. දිනපතා කී දෙනෙක් අපිරිසිදු ආත්මයන්ගෙන් පිරෙන්නෝද? කී දෙනෙකුගේ මනස කෝපයේ පිස්සුවෙන් උමතුවක් දක්වා ගෙන ගෙස් ඇත්ද! එකිනෙක පුද්ගලයා මැරැණු ආකාරය පිළිබඳ පැවසීම මෙහිදී අනවශ්‍යය. ලෝකයේ විවිධ ආකාරයේ පාප සිදු කරන පව්කාර මනුෂ්‍යයින්ගේ ප්‍රමාණය වැඩි වන විට, එම පාපවලට දඬුවම් දෙන ආකාරයද වෙනස් වේ. එක් එක් පුද්ගලයා අනෙක් තැනැත්තා විඳි වේදනා පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු නැත. ඒ වෙනුවට තමා විසින් විඳිනු ලැබිය යුතු දඬුවම ගැන සලකා බැලිය යුතුව ඇත. එසේම තමා එම දඬුවමින් පලා ගොස් ඇති බව නොසිතිය යුතුය. එසේම ඔහුට දඬුවම් ලැබී තිබේ නම්, ඔහුට විනිශ්චයකරුවාණන් වන දෙවියන් වහන්සේගේ උදහසේ දඬුවම ලැබී ඇති හෙයින් ඔහු වැඩි වැඩියෙන් බිය විය යුතුය.

27 වන පරිච්ඡේදය

ඔවුන් විසින් දඬුවම් නොවිඳිය යුතු බවට ඒත්තු ගැන්වීමට ඉඩ ඔවුන්ට නොදෙන්න. ඔවුන් අභක්තික ලෙස පූජාවන් ඔප්පු කිරීම නිසා ඔවුන්ගේ දෑත් අපවිත්‍ර කර නොගත්තද, ඔවුන්ගේ හෘදයසාක්ෂිය ඒවා සහතික කිරීමෙන් අපවිත්‍ර කරගෙන ඇත. එය ප්‍රතික්ෂේප කරනු ලබන්නෙකුගේ තත්වය වේ; එය තමා කිතුනුවෙකු ලෙස සිටි බවට ප්‍රතික්ෂේප කරන ඔහුගේ සාක්ෂිය වේ. ‘ඔබට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට නොහැකිය’ යනුවෙන් ලියා තිබුණද, සැබවින්ම වෙනත් අයෙකු කළ දෙයක් තමා කළ බවට ඔහු පැවසුවේය. එසේම ඔහු ලෞකික ස්වාමියාට සේවය කළේය, ඔහු එම ස්වාමියාගේ ආඥාවට යටත් වූයේය, ඔහු දෙවියන් වහන්සේට වඩා මිනිස් අධිකාරියට කීකරු වූයේය. ඔහු කළ දේ මිනිසුන් අතර අඩු අපකීර්තියක් සේ හෝ අඩු වරදක් සේ දක්වා ප්‍රකාශයට පත් කළ දැයි ඔහු දැනගත යුතුය. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේට තම විනිශ්චයකරුවාණන් වහන්සේ ලෙස ඉන් ඉවත් වී පලා යාමට ඔහුට නොහැකි වනු ඇත. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ ගීතාවලියෙහි මෙසේ පවසන සේක: ‘ඔබ වහන්සේගේ ඇස් මාගේ අසම්පූර්ණකම දැක ඇති අතර, ඔබගේ පොතේ ඒ සියල්ල ලියනු ලබනවා ඇත.’ එසේම නැවතත් මෙසේ දක්වා ඇත: ‘මිනිසා බාහිර පෙනුම දෙස බලයි. එහෙත් දෙවියන් වහන්සේ හදවත දෙස බලන සේක.’ එසේම දෙවියන් වහන්සේම ඔබට කලින් අනතුරු හඟවා, උපදෙස් දෙමින් මේ වචන පවසා ඇත. ‘හදවත්වල ඇති ආශාවන් දන්නා තැනැන් වහන්සේ මා බව සියලු සභාවන් දැනගනීවා.’ උන් වහන්සේ හදවත්වල සැඟවුණු දේවල් හා රහස් වටහාගන්නා සේක. සැඟවී ඇති දේවල් සලකන සේක. දෙවියන් වහන්සේගේ ඇස්වලින් පලා යාමට කිසිවෙකුට නොහැකිය. උන් වහන්සේ මෙසේ පවසන සේක. ‘මම ළඟ සිටින දෙවියන් වහන්සේ මිස දුර සිටින දෙවියන් වහන්සේ නොවෙමි. රහස් තැන්වලට ගොස් මා වෙතින් සැඟවී මනුෂ්‍යයෙකුට සිටිය හැකිද?’ උන් වහන්සේ සැම කෙනෙකුගේම හදවත් දකින අතර, අපගේ ක්‍රියාවන් ගැන පමණක් නොව, අපගේ වචන හා සිතුවිලි පිළිබඳ පවා විනිශ්චය කිරීමට සූදානම් වන විට, උන් වහන්සේ මනස දෙස හා නිශ්චල වැසුණු හදවතක අභිමතයන් දෙස බලන සේක.

28 වන පරිච්ඡේදය

අවසාන වශයෙන්, කිසිම පූජාවක් හේතුවෙන් අපරාධයකට සම්බන්ධ වී නැති හෝ කිසි නපුරු වාර්තාවක් නොමැති අය වෙත කෙතරම් මහත් වූ ඇදහිල්ලක් සහ වඩා යහපත් බියක් තිබේද? කෙසේ වූවත්, ඔවුන් මේ ගැන පවා සිතා ඇත. එනම් දෙවියන් වහන්සේගේ පූජකයන් අබියස මේ කාරණය මහත් ශෝකයෙන් යුතුව පාපොච්චාරණය කර ඇත. ඔවුන්ගේ ප්‍රාණයෙහි බර ඉවත් කරන, ඔවුන්ගේ තුවාල ඉතාම කුඩා වූවත් ඒවා සම්බන්ධයෙන් ගැලවීමේ පිළියම සඳහා, ඉතා සැලකිල්ලෙන් ප්‍රකාශයක් සිදු කර ඇත. මන්ද ඔවුහු මෙසේ ලියා ඇති බව දනිති. ‘දෙවියන් වහන්සේට සරදම් කරන්නට මනුෂ්‍යයා‍ට නොහැකිය.’ දෙවියන් වහන්සේට සරදම් කිරීමට හා උන් වහන්සේ රැවටීමට නොහැකිය. එසේම කිසිම ද්‍රෝහී කපටි ක්‍රියාවකින් උන් වහන්සේ රැවටීමට නොහැකිය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස සලකමින්, තමාගේ අපරාධයට දඬුවම් නොලබනු ඇතැයි සිතන තැනැත්තා, විවෘතව තමාගේ අපරාධය පිළිගන්නේ නැත්නම්, වඩා වැඩි පාපයක් සිදු කරන්නේය. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ශික්ෂාවලදී මෙසේ පවසන සේක: ‘මා ගැන ලජ්ජා වන යම් කෙනෙක් වේද, මනුෂ්‍ය පුත්‍රයා ඔහු ගැනද ලජ්ජා වනු ඇත.’ ක්‍රිස්තියානි අයෙකු වීම ලජ්ජාවට හෝ බියට කාරණයක් ලෙස සිතන අයෙකු තමා කිතුනුවෙකු බව සිතනවාද? ක්‍රිස්තුස් වහන්සේට අයිති වීමට බියෙන් සිටින තැනැත්තා ක්‍රිස්තුස් වහන්සේ සමඟ සිටින්නේ කෙසේද? පැහැදිලි ලෙසම ඔහු පිළිම දෙසට නොහැරී, හා ඒවා දෙස නොබලා හා අපහාස කරන ජනතාව ඉදිරිපිට ඇදහිල්ලේ පාරිශුද්ධභාවය නොකෙලෙසීමෙන්, මාරාන්තික පූජා ඔප්පු කිරීමෙන් තමාගේ දෑත් දූෂණය කර නොගැනීමෙන් සහ ඔහුගේ මුඛය අපවිත්‍ර කර නොගැනීමෙන් ඔහු අඩුවෙන් පව් කර ඇති බව පැහැදිලිය. එය යම් පමණකට ප්‍රයෝජනවත් වනු ඇත. මන්ද වරද අවම බැවිනි. එහෙත් එහිදී හෘදයසාක්ෂිය වරදකාරී බවකින් තොර වන්නේ නැත. ඔහුට වඩා පහසුවෙන් තමාගේ අපරාධයට සමාව ලබාගැනීමට ළඟා විය හැකිය. එහෙත් ඔහු අපරාධයෙන් තොර අයෙකු නොවේ. ඔහු පාපොච්චාරණය කිරීමෙන් සහ ස්වාමින් වහන්සේගේ දයාව ඉල්ලා සිටීමෙන් නතර නොවේවා. ඔහුගේ පාපයෙහි ස්වභාවය අඩු බව ඒ සම්බන්ධයෙන් තෘප්තිමත් වන දේ කිරීමට අපොහොසත් වීම නිසා එම පාපය වැඩි නොවේවා.

29 වන පරිච්ඡේදය

සැම කෙනෙකුම තම පාපය පාපොච්චාරණය කරත්වා, සහෝදරවරුනි, පව් කළ තැනැත්තා මේ ලෝකයෙහි තවමත් ජීවත්ව සිටින කාලයේදීම, ඔහුගේ පාපොච්චාරණය පිළිගත හැකි අවස්ථාවේදී, පූජකයා තුළින් පාපොච්චාරණය කිරීම තුළින් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න වන ලෙස තෘප්තිමත් කිරීම හා පාපයට සමාව දී එය ඉවත් කරනු ලැබීම සිදු කරන මෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි. අපි අපගේ මුළු මනසින් සමිඳාණන් වහන්සේ වෙතට හැරෙමු, එසේම අපගේ පාපය ගැන සැබෑ ශෝකයෙන් පසුතැවිලි වෙමු, අපි දෙවියන් වහන්සේගේ දයාව ඉල්ලා සිටිමු. අපගේ ප්‍රාණය උන් වහන්සේ ඉදිරියේ වැඳ වැටේවා; අපගේ ශෝකය උන් වහන්සේ තෘප්තිමත් කරනු ලැබේවා; අපගේ සැම බලාපොරොත්තුවක්ම උන් වහන්සේ මත රැඳේවා. අප විසින් ඉල්ලා සිටිය යුතු කෙසේද යන්න උන් වහන්සේම පවසන සේක. උන් වහන්සේ මෙසේ පවසන සේක. ‘ඔබේ වස්ත්‍ර නොව ඔබේ හදවත් ඉරාගෙන, නිරාහාරව සිටීමෙන් සහ ශෝකයෙන් හඬා වැලපෙමින්, ඔබේ මුළු හදවතින්ම මා වෙතට හැරෙන්න.’ අපි සම්පූර්ණ වූු හදවතකින් ස්වාමින් වහන්සේ වෙතට නැවත හැරෙමු. අපි උන් වහන්සේම අවවාද කරන පරිදි නිරාහාරව සිටීමෙන්, හැඬීමෙන් සහ වැලපීමෙන් උන් වහන්සේගේ උදහස හා අප්‍රසාදය නැති කර දමා උන් වහන්සේ සමග සමගි වෙමු.

30 වන පරිච්ඡේදය

තමාගේ අපරාධය කළ පළමු දිනයේ සිට දිනපතා ස්නානය කරන තැනැත්තා, පොහොසත් භෝජන සංග්‍රහවලින් පෝෂණය වන තැනැත්තා, සම්පූර්ණ භෝජන සංග්‍රහවලින් පොහොසත්ව සිටින තැනැත්තා, ඊ ළඟ දවසේ ජීරණය නොවන පරිදි උගුර ළඟටම එන තෙක් ආහාර ගන්නා තැනැත්තා, ඉතිරි වූ ආහාර කෑම, බීම අවශ්‍යතා ඇති දුප්පතුන් සමඟ බෙදා නොගන්නා තැනැත්තා, මුළු හදවතින්ම වැලපෙමින්, නිරාහාරව සිටීමෙන්, හැඬීමෙන් සහ වැලපීමෙන් වැනි දේවලින් ස්වාමින් වහන්සේට ආයාචනා කරන බව අපි සිතමුද? ප්‍රීතියෙන් හා සතුටින් ඉදිරියට යන ඔහු, ‘ඔබේ රැවුලේ කොන් නොකැපිය යුතුය’ යනුවෙන් ලියා තිබුණද, ඔහුගේ රැවුල කපා ඔහුගේ මුහුණ අලංකාර කරන තැනැත්තා, ඔහුගේ මරණය ගැන හඬා වැලපෙන්නේ කෙසේද? තමාගේ දෙවියන් වහන්සේ අප්‍රසන්න කරන තැනැත්තා අනෙක් ඕනෑම කෙනෙකු සතුටු කිරීමට උනන්දු වේද? එසේත් නැතිනම් තමාට අහිමි වූ ක්‍රිස්තුස් වහන්සේගේ සළුව පිළිබඳ නොසිතා, මිල අධික අලංකාර වස්ත්‍ර පැලඳීමට කාලය ගත කරන ඇය, කෙඳිරිගාමින් හා විලාප නගමින් සිටින්නීද? වටිනා ආභරණ සහ මිල අධික මාල ලබා ගැනීමට සිතන නමුත් ඇය දිව්‍යමය හා ස්වර්ගීය ආභරණ නැතිවීම ගැන හඬා වැලපෙනු ඇද්ද? ඔබ විදේශීය සළු සහ සේද ඇඳුම් ඇඳගෙන සිටියත් ඔබ නිරුවත්ය. ඔබ රන් හා මුතු හා මැණික්වලින් සැරසී සිටියද, ක්‍රිස්තුස් වහන්සේගේ අලංකාරය නොමැතිව ඔබ වෙත කිසි ආකර්ශනයක් ඇත්තේ නැත. ඔබේ කොණ්ඩය සායම් කරන ඔබ, දැන් අවම වශයෙන් ඔබේ ශෝක වීම අතරතුර එසේ කිරීම නවත්වන්න, ඔබේ ඇස්වල අඳුන් ගා කළු පාටින් පින්තාරු කරන ඔබ, අවම වශයෙන් දැන් ඔබේ දෑස් කඳුළින් සෝදා හරින්න. ඔබගේ ආදරණීය කෙනෙකු මරණය නිසා ඔබගෙන් වෙන් වීමෙන් ඔබට අහිමි වී ඇත්නම්, ඔබ මහත් ශෝකයෙන් හඬා වැලපෙනු ඇත. එවිට විරූපි වූ මුහුණකින්, වෙනස් වූ ඇඳුමකින්, නොපීරු හිස කෙස්වලින්, අඳුරු මුහුණකින්, කලකිරුණු මුහුණකින් යුක්තව ඔබ ශෝකයේ ලකුණු පෙන්වනු ඇත. අවාසනාවන්ත ස්ත්‍රිය, ඔබට ඔබේ ආත්මය අහිමි වී ඇත; ආධ්‍යාත්මිකව මිය ගිය ඔබ මෙහි වාසය කිරීමට පටන්අගෙන ඇති අතර, ඔබ එහෙ මෙහෙ ඇවිද ගියද, ඔබේම මරණය රැගෙන යාමට පටන්ගෙන තිබේ. ඔබ ශෝකයෙන් කෙඳිරිගාමින් පසු නොවන්නනෙහිද; ඔබ නොකඩවා හඬා වැලපෙන්නේ නැද්ද? ඔබේ අපරාධය නිසා ලජ්ජාවට පත් නොවන්නෙහිද; ඒ නිසා ඔබ දිගින් දිගටම විලාප නගමින් සැඟවී නොසිටින්නෙහිද? බලන්න, පාපයේ තුවාල ඊටත් වඩා භයානකය. බලන්න, පාපයේ නිරත වීමෙන් පසුව එයට තෘප්තිමත් පූජාවක් සිදු නොකිරීම හේතුවෙන් පාපය තවත් වැඩි වේ. පාපය සිදු කර වැරදි ගැන දුක් නොවීම හේතුවෙන් පාපය තවත් වැඩි වේ.

31 වන පරිච්ඡේදය

අනනියස්, අසරියා සහ මිෂායෙල් කීර්තිමත් හා උතුම් තරුණයින් ලෙස දක්වා ඇත. ඔවුහු දැවෙන ගිනි උදුනෙහි ගිනි ජාලාවක් මධ්‍යෙය් පවා දෙවියන් වහන්සේට පාපොච්චාරණය කිරීමෙන් වැළකී නැත. ඔවුහු යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටියද, බොහෝ විට ඇදහිල්ල හා බියෙන් යුක්තව කීකරු වීමෙන් ස්වාමින් වහන්සේට සුදුසු අය වුවද, ඔවුන්ගේ නිහතමානිකම පවත්වා ගැනීමටත්, ඔවුන්ගේ මහිමාන්විත වේදසාක්ෂික දිවි පිදීමේදී පවා ඔවුන්ගේ ගුණදහම් පවත්වා ගනිමින්, දෙවියන් වහන්සේට තෘප්තියක් ලබා දීමටත් ඔවුහු සමත් වූහ. දිව්‍යමය ශුද්ධලියවිල්ලේ මේ වචන පවසා ඇත. ‘අසරියා නැගිට සිට යාච්ඤා කරමින්, ඔහුගේ මුඛය විවෘත කර ගිනිමය පීඩාව මධ්‍යෙය් පවා ඔහුගේ මිතුරන් සමග එක්ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.’ දානියෙල් ඔහුගේ ඇදහිල්ලේ හා නිර්දෝෂීභාවය නිසා විවිධාකාර වරප්‍රසාද ලත් පසුව, බොහෝ විට ඔහුගේ ගුණධර්ම හා ප්‍රශංසා සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේගේ ගෞරවය නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් පසුව, දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා නිරාහාරව සිටීමෙන් තව දුරටත් ඒවා පැවැත්වීය. ඔහු ගෝණි රෙදි හැඳගෙන, අළුවල හිඳ ශෝකයෙන් පාපොච්චාරණය කරන විට මෙසේ කියයි; ‘ස්වාමි වූ දෙවියන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රේම කරන සහ ඔබේ ආඥා පිළිපදින අයට, ගිවිසුම හා කරුණාව පවත්වන ශ්‍රේෂ්ඨ, ශක්තිමත් හා භයානක දෙවියන් වහන්ස, අපි පව් කර ඇත්තෙමු, අප අයුතුකම් කර ඇත්තෙමු. අපි අභක්තික ක්‍රියා සිදු කර ඇත්තෙමු, ඔබගේ ව්‍යවස්ථාවෙන් හා විනිශ්චයන්ගෙන් අපි ඉවත් වී පව් කර ඇත්තෙමු. ඔබේ සේවකයන් විසින් ඔබගේ නාමයෙන් අපේ රජවරුන්ට, සියලු ජාතීන්ට හා මුළු ලෝකයටම පවසන ලද කාරණාවලට අපි ඔවුන්ට ඇහුම්කන් නොදුන්නෙමු. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ යුක්තිට ඉටු කරන සේක. අපි ව්‍යාකූල බවට පත් වීි ඇත්තෙමු.’

32 වන පරිච්ඡේදය

මේ දේවල් නිහතමානී, සරල, අහිංසක අය දෙවියන් වහන්සේගේ මහිමාන්විතභාවය දැනගෙන මැනවින් සිදු කර ඇත. ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළ අය ස්වාමින් වහන්සේ තෘප්තිමත් කිරීම හා උන් වහන්සේට අයැදීම ප්‍රතික්ෂේප කරති. සහෝදරවරුනි, ගැලවීමට ඔබින කාරණා පිළිගන්නා ලෙසත්, වඩා යහපත් උපදෙස්වලට කීකරු වන ලෙසත්, ඔබේ කඳුළු අපගේ කඳුළු සමඟ එක් කරන ලෙසත්, ඔබේ කෙඳිරිගෑම අපගේ කෙඳිරිගෑම හා සමග ලියන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබ වෙනුවෙන් ස්වාමින් වහන්සේගෙන් අයැද සිටීිමට අපට හැකි වන ලෙස අපි ඔබෙන් අයැද සිටිමු . අපගේ යාච්ඤාවන් අපි මුලින්ම ඔබට යොමු කරමු. එසේ කරන්නේ අපි දෙවියන් වහන්සේට ඔබ උදෙසා යාච්ඤා කරන කල, දෙවියන් වහන්සේගෙන් ඔබට දයානුකම්පාව ලැබෙන පිණිසය. සම්පූර්ණ පාපොච්චාරණයක් සිදු කරන්න. ශෝක වීමෙන් හා වැලපීමෙන් යුක්තව ආත්මයේ ශෝකය ඔප්පු කරන්න.

33 වන පරිච්ඡේදය

සමහරුන්ගේ අඥාන වැරැද්ද හෝ නිෂ්ඵල මෝඩකම හෝ කරණකොටගෙන ඔබ පෙලඹවීමට ඉඩ නොදෙන්න. ඔවුන් මෙතරම් බරපතල අපරාධයකට සම්බන්ධ වී සිටියද, ඔවුන්ගේ ආත්මයේ අන්ධභාවයට ඔවුන් ගොදුරු වූ අතර, ඔවුන්ගේ පාප අවබෝධ කර ගැනීමට හෝ ඒ ගැන වැලපීමට ඔවුන්ට නොහැකි වී ඇත. මෙය කෝපාවිෂ්ඨ දෙවියන් වහන්සේ කෙනෙකුගෙන් වන මහත් වූ වසංගතය වන්නේය. ඒ සම්බන්ධයෙන් මෙසේ ලියා ඇත. ‘දෙවියන් වහන්සේ ඔවුන්ට කැරලිගැසීමේ ආත්මයක් ලබා දුන් සේක.’ එසේම නැවතත්, මෙසේ දක්වා ඇත. ‘ඔවුන්ට ගැලවීම ලැබෙන පිණිස ඔවුන් සත්‍ය වූ ප්‍රේමය ලබාගෙන නැත. එම නිසා, ඔවුන් වැරදි දේ විශ්වාස කරන පිණිස දෙවියන් වහන්සේ ඔවුන් වෙත නොමග යැවීමේ බලපෑමක් යවන සේක. සත්‍යය විශ්වාස නොකරන සහ අයුක්තිය කිරීමෙන් තෘප්තියට පත් වන සියල්ලන්ම විනිශ්චයට පත් කරනු ලැබේ.’ අයුක්ති සහගත දෙය කෙරෙහි තෘප්තිමත් වී සහ හානියට පත් මනසක් සහිතව හුදෙකලා වීමෙන් උමතු වී, ස්වාමින් වහන්සේගේ ශික්ෂා සහ ආඥාවන් හෙළා දකිති. ඔවුන්ගේ තුවාලය සඳහා ඖෂධ නොසලකා හරින ඔවුහු, ඔවුන්ගේ පාප ගැන පසුතැවිලි වීමට අකමැති වෙති. ඔවුන්ගේ පාපය සිදු කිරීමට පෙර නොසැලකිලිමත් බවින් සිටි ඔවුහු, ඔවුන්ගේ පාපය සිදු කිරීමෙන් පසුව මුරණ්ඩු වී, කලින් ස්ථිරව නොසිටියාක් මෙන්ම, පසුව යාච්ඤාවෙන් යුක්තව අයැද නොසිටියහ. ඔවුහු ස්ථිරව නැගී සිටිය යුතු අවස්ථාවේ ඔවුහු වැටී ගියහ. ඔවුහු දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිය යුතු අවස්ථාවේ, ඔවුහු තමා නැගිට සිටින බව සිතති. ඔවුන්ට කිසිවෙකු සාමය ලබා නොදුන්නද, තමන් වෙත සාමය ඇති බව ඔවුන්ගේම කැමැත්තෙන් ඔවුහු උපකල්පනය කරති. බොරු පොරොන්දු කරණකොටගෙන නොමඟ යවන ලදුව, රුවටිලිකාරයන් හා වංචාකාරයින් හා සම්බන්ධ වී වැරදි සහ දෝෂ සහිත දේ සත්‍යය යයි පිළිගනිති. සම්බන්ධතාවන් පැවැත්විය යුතු නැති අය හා සමග ඔවුහු සබඳතා පවත්වති. එම සම්බන්ධතාවය වලංගු යැයි ඔවුහු සලකති. මිනිසුන්ට එරෙහිව මිනිසුන් වෙනුවට දෙවියන් වහන්සේ විශ්වාස නොකළ ඔවුහු දෙවියන් වහන්සේට එරෙහිව මිනිසුන් විශ්වාස කරති.

34 වන පරිච්ඡේදය

ඔබේ මුළු ශක්තියෙන් එවැනි මිනිසුන් වෙතින් පලා යන්න; එසේම එවැනි දුෂ්ට සබඳතාවලට සම්බන්ධ වී සිටින අයගෙන් මුළුමනින්ම පරෙස්සම් වන්න. ඔවුන්ගේ කථාව පිළිකාවක් මෙන් පැතිරී යයි; ඔවුන්ගේ කථාව වසංගතයක් මෙන් බාධක ඉක්මවා පැතිර යයි; ඔවුන්ගේ හානිකර හා විෂ සහිත ඒත්තු ගැන්වීම පීඩාවෙන් සිදු වන මරණයට වඩා දරුණු වේ. තෘප්තිය ලබා දීම උදෙසා පසුතැවිල්ල පවතී. අපරාධ උදෙසා පසුතැවිලි නොවී ඉවත්ව යන අය තෘප්තිය උදෙසා වන මාර්ගය වසා දමති. එම නිසා සමහරුන්ගේ අඥානකම කරණකොටගෙන ව්‍යාජ ගැලවීමක් පොරොන්දු වීම හෝ විශ්වාස කිරීම සිදු වන අතර, එහිදී සැබෑ ගැලවීමේ බලාපොරොත්තුව උදුරා ගනු ලැබේ.

35 වන පරිච්ඡේදය

එහෙත්, සහෝදරයෙනි, දෙවියන් වහන්සේ කෙරෙහි බියෙන් උන් වහන්සේ දෙසට නැඹුරු වී ඇති සිත් ඇති ඔබ, විනාශ වෙමින් සිටියද, ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන අවබෝධයෙන් යුතුව, ඔබේ පව් ගැන පසුතැවිලි වෙමින් හා දුක් වීමෙන්, ඔබගේ හෘදයසාක්ෂියේ ඉතා බරපතල අපරාධය හඳුනාගෙන, ඔබගේ අඩුපාඩු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හදවත නමැති ඇස් විවෘත කර, ස්වාමින් වහන්සේගේ දයාව පිළිබඳ බලාපොරොත්තුවෙන් උන් වහන්සේගෙන් තවමත් සමාව ඉල්ලා සිටීමට යොමු වී නැත. දෙවියන් වහන්සේ උන් වහන්සේ අපගේ පියාණන් වහන්සේ ලෙස ඇති සෙනෙහස නිසා සැම විටම කරුණාවන්ත සහ යහපත් වන සේක. එම නිසා උන් වහන්සේ විනිශ්චයකරුවාණන් වහන්සේ ලෙස උන් වහන්සේ සතු මහිමාන්විත බව හේතුවෙන් උන් වහන්සේට බිය විය යුතුය. අපි අපගේ පාපයේ මහත්කමේ තරමට හඬා වැලපෙමු. ගැඹුරු තුවාලයකට පරෙස්සමින් දිගු කාලයක් සැලකිල්ලෙන් ප්‍රතිකාර නොකළහොත් සුවයක් නොලැබේ. එම නිසා අපරාධයේ ප්‍රමාණයට වඩා පසුතැවිල්ල කිසි ලෙසකින් අඩු නොවේවා. ඔබ විසින් දෙවියන් වහන්සේ රැවටිලිකාර වචනවලින් ප්‍රතික්ෂේප කරන ලදී. උන් වහන්සේට ඉහළින් ඔබේ දේපළ තබාගත්තෙහිය, උන් වහන්සේගේ දේව මාලිගය ඔබ අභක්තික දේ සිදු කරමින් දූෂිත බවට පත් කර ඇත. මේ දේවල් සිදු කර දෙවියන් වහන්සේ පහසුවෙන්ම සමාදානයට පත් කළ හැකි යැයි ඔබ සිතන්නෙහිද? උන් වහන්සේ ඔබගේ නොවන බව පැවසූ ඔබ කෙරෙහි උන් වහන්සේ පහසුවෙන්ම දයාව දක්වනු ඇතැයි ඔබ සිතන්නෙහිද? ඔබ වඩාත් ඕනෑකමින් යාච්ඤාවෙන් යුක්තව උන් වහන්සේ සෙවිය යුතුව තිබිණි. මහත් ශෝකයෙන් දවස ගත කළ යුතුව තිබිණි. රාත්‍රී කාලවලදී අවදිව හඬා වැලපිය යුතුව තිබිණි. වැලපීමෙන් යුක්තව ඔබේ මුළු කාලයම දුක් වෙමින් ගත කළ යුතුව තිබිණි. ඔබ අළුවල බිම වැතිරී සිටිය යුතුව තිබිණි. ගෝණි රෙදි හැඳගත යුතුව තිබිණි. ක්‍රිස්තුස් වහන්සේගේ සළුව අහිමි වී ගිය පසු දැන් කිසිදු වස්ත්‍රයක් ලබා ගැනීමට ප්‍රාර්ථනා නොකළ යුතුව තිබිණි. යක්ෂයාගේ ආහාර ලබාගත් පසුව නිරාහාරව සිටීමට කැමැත්තක් දැක්විය යුතුව තිබිණි. පාපයෙන් පවිත්‍ර කරනු ලබන්නා වූ සාධාරණ ක්‍රියාවන් සඳහා කැපවිය යුතුව තිබිණි. නිරන්තරයෙන් දානමය ක්‍රියාවන් කළ යුතුව තිබිණි. එසේ කිරීම කරණකොටගෙන ඔබේ ප්‍රාණය මරණයෙන් නිදහසු කරනු ලැබෙනු ඇත. සතුරා පැහැර ගැනීමට උත්සාහ කළ දේ, ක්‍රිස්තුස් වහන්සේට ලැබේවා; ඔබේ දේපළ දැන් රඳවා තබාගැනීම හෝ ඒ ගැන ප්‍රීති වීම සිදු නොවේවා. මන්ද ඔහු රවටනු ලැබ පරාජයට පත් කර ඇති බැවිනි. ධනය සොරෙකු මෙන් ඉවත් කළ යුතුව ඇත. සොරෙකු වෙතින් පලා යන්නාක් මෙන් එයින් පලා යා යුතුය. කඩුවක් ළඟ තබා ගන්නා ඒ ගැන බිය වන්නාක් මෙන් ඒ ගැන බියක් දැක්විය යුතුය. විෂට බිය වන්නාක් මෙන් එයට බිය දැක්විය යුතුය. ඉතිරි වූ අයට ප්‍රයෝජන ලැබිය හැකි වන්නේ මේ දේවලින් පමණි. එලෙස ක්‍රියා කිරීම කරණකොටගෙන අපරාධයෙන් සහ පාපයෙන් මුදනු ලැබිය හැකිය. ඔබේ වැඩ ප්‍රමාදයකින් තොරව හා බහුල ලෙස සිදු කරනු ලැබේවා. කරනු ලබන සියලු දේම තුවාලය සුව කිරීම සඳහා සිදු කරනු ලැබේවා. අපගේ විනිශ්චයකරුවාණන් වන ස්වාමින් වහන්සේ අපගේ සම්පත් හා හැකියාවන්වල අඩු තැන්වලට ලබා දෙන සේක්වා. ප්‍රේරිතයන් යටතේ ඇදහිල්ල වර්ධනය වූයේ මේ ලෙසිනි, පළමු ඇදහිලිවන්තයන්ගේ ජනතාව ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවන් පිළිපැද්දේ මේ ලෙසිනි. ඔවුහු සූදානම්ව සිටියහ. ඔවුහු ත්‍යාගශීලීව සිටියහ. ඔවුහු සියලු දේම බෙදා හැරීම උදෙසා අපෝස්තුලුවරුන්ට ලබා දුන් අතර ඔවුන් එවැනි පාපයන් තබා ගත්තේ නැත.

36 වන පරිච්ඡේදය

යම් කෙනෙකු ඔහුගේ මුළු හදවතින්ම යාච්ඤා කරන්නේ නම්, ඔහු සැබෑ ලෙසම පසුතැවිලි වී වැලපෙමින් කඳුළු සලන්නේ නම්, ඔහු තමාගේ පාපයට සමාව ලැබීම උදෙසා නොකඩව ධර්මිෂ්ඨකමේ ක්‍රියාවන් සිදු කරමින් ස්වාමින් වහන්සේ වෙතට හැරී එන්නේ නම්, එවැනි වූ අයෙකුට උන් වහන්සේගේ දයාව ලැබිය හැකිය. උන් වහන්සේ මෙම වචනවලින් තමන් වහන්සේගේ දයාව දක්වා ඇත. ‘ඔබ හැරී ඇවිත් හඬා වැටෙමින් වැලපෙන කල, ඔබ ගලවනු ලබනවා ඇත. එසේම ඔබ සිටි ස්ථානය කුමක්දැයි දැනගන්නවා ඇත.’ නැවත වතාවක් උන් වහන්සේ මෙසේ පවසන සේක. මම විනාශ වන්නන්ගේ මරණයට කැමති නොවෙමි. ස්වාමින් වහන්සේම මෙම වචන ප්‍රකාශ කරන සේක. හැරී එන්න. මන්ද ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ දයාවන්ත, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත හා දයාවෙන් පොහොසත් අයෙකු වන අතර, උන් වහන්සේට විරුද්ධව සිදු කර ඇති නපුරු ක්‍රියාවලට කමා කරන සේක. උන් වහන්සේගෙන් ඉල්ලන තැනැත්තාට කරුණාව දීමට උන් වහන්සේට පුළුවන. උන් වහන්සේගේ විනිශ්චය ඉවත් කර දැමිය හැකිය. පසුතැවිලි වන, යහපත් ක්‍රියා කරන, උන් වහන්සේ සොයන, උන් වහන්සේගෙන් අයැදින තැනැත්තාට සමාව දීමට උන් වහන්සේට පුළුවන. එවැනි දේ සිදු කළ වේදසාක්ෂිකය්න සහ පූජකයන් පිළිගැනීමට හා ඔවුන් ගැන සැලකිලිමත් වීමට උන් වහන්සේට පුළුවන. එසේ නැතිනම්, යමෙක් තමාගේ පූජාවන් කරණකොටගෙන උන් වහන්සේ තව දුරටත් පෙලඹවූයේ නම්, උන් වහන්සේගේ උදහස ඉවත් කළේ නම්, සාධාරණ ලෙස අයැදීමෙන් උන් වහන්සේගේ උදහස සමනය කර තිබේ. උන් වහන්සේ පරාජය වූ තැනැත්තා සන්නද්ධ වන පිණිස නැවතත් ආයුධ ලබා දෙන සේක. ඔහුගේ ඇදහිල්ල සමෘද්ධිමත් වන පිණිස උන් වහන්සේ ඔහු ප්‍රතිස්ථාපිත කර, යථා තත්වයට පත් කර ඔහුගේ ශක්තිය අලුත්වැඩියා කර ශක්තිමත් කරන සේක. එවිට සොල්දාදුවා නැවත ඔහුගේ තරගය සොයනු ඇත; ඔහු එහි නැවත සටන කරනු ඇත. ඔහු සතුරා කුපිත කරනු ඇත. ඔහු තමාග් දුක් විඳීම තුළින් සටන උදෙසා වඩා ශක්තිමත් වී ඇත. තමාගේ ක්‍රියාව ගැන පසුතැවිලි වීමෙන්, තමාගේ පාපය ගැන ලජ්ජාවට පත් වීමෙන්, දෙවියන් වහන්සේ තෘප්තිමත් කළ තැනැත්තා, ස්වාමින් වහන්සේ ඔහුගේ හඬ අසා, උන් වහන්සේගේ උපකාරය ලබා දීමෙන් පසුව, තමාට අහිමි වීම නිසා ඇති වූ ශෝකයෙන් යහපත්කම හා ඇදහිල්ල යන දෙකම පිළිසිඳ ගත් විට, සභාවට ප්‍රීතියට පත් වීමට හේතුවක් වනු ඇත. ඔහු කලකට ඉහතදී දුක් වූ කාරණාව, දෙවියන් වහන්ගේ සමාව ලැබීමට පමණක් නොව ඔටුන්නක් ලැබීමටද ප්‍රයෝජනවත් වනු ඇත.