ප්‍රාණ පරිත්‍යාගී වීම උදෙසා ධෛර්යවත් කිරීම, ෆෝචුනේටස් වෙත (Exhortation to Martyrdom, To Fortunatus)

Cyprian of Carthage, Exhortation to Martyrdom, To Fortunatus, in Sinhala


තුන්වන පොත: ප්‍රාණ පරිත්‍යාගී වීම උදෙසා ධෛර්යවත් කිරීම, ෆෝචුනේටස් වෙත

1 වන පරිච්ඡේදය

මගේ ආදරණීය ෆෝචුනේටස්[1], අප මත පීඩා සහ කරදරවල බර මහත් සේ පැටවී ඇති හෙයින්, අවසානයේදී හා ලෝකය සමාප්තියට පත් වීමේදී, අන්ත ක්‍රිස්තුස්ගේ සතුරු කාලය ළං වීම දැනටමත් ආරම්භ වී ඇති හෙයින්, මා විසින් සහෝදරයන්ගේ මනස ධෛර්යවත් කිරීම සහ ශක්තිමත් කිරීම උදෙසා, ශුද්ධලියවිල්ලෙන් අනුශාසනා ගෙන එනු ලැබීමට ඔබ කැමති විය. මා එසේ කිරීමෙන් ආධ්‍යාත්මික හා ස්වර්ගීය අරගලය සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ හේවායින් සජීවිකරණය කළ හැකි වනු ඇත. ඔබගේ බලවත් කැමැත්තට කීකරු වීම උදෙසා මා බැඳී සිටින බව මට හැඟී ගොස් තිබෙන අතර, අපගේ මධ්‍යස්ථභාවය අනුව හැකි තාක් දුරට, දිව්‍යමය ආනුභාවයෙහි උපකාරය ඇතිව, සටන් කරන්නට සූදානම් වන සහෝදරයන් උදෙසා ස්වාමින් වහන්සේගේ ශික්ෂා පදවලින් ඇතැම් ආයුධ සහ ආරක්ෂක විධිවිධාන ඉදිරිපත් කළ යුතුය. මක්නිසාද යත්, ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල සහ දෙවියන් වහන්සේ වෙනුවෙන් භක්තිමත් ලෙස කැපවී සිටින ඔවුන්ගේ ධෛර්යය දිව්‍යමය ඇදහිල්ලේ කියවීමෙන් තහවුරු නොකරන්නේ නම්, අපගේ හඬ නමැති හොරණෑ හඬින් දෙවියන් වහන්සේගේ සෙනඟ අවදි කිරීම සුළු කාරණයක් පමණි.

2 වන පරිච්ඡේදය

අප වෙනුවෙන් දිව්‍යමය වශයෙන් කැපවී සිටින ජනතාව සහ ස්වර්ගීය කඳවුරේ පිහිටුවා ඇති හමුදාව, යක්ෂයාගේ ආයුධ හා උපායන්වලට එරෙහිව නිරන්තරයෙන් අවවාද කරමින් ධෛර්ය දෙමින් සූදානම් කිරීම පිණිස මිස, වඩාත් සුදුසු සහ සම්පූර්ණ ලෙස අපගේ රැකවරණය හා සැලකිල්ල යොමු කිරීම ප්‍රයෝජනවත් වන්නේ අන් කුමකටද? 

 මක්නිසාද යත්, කලින්ම යුද්ධ ක්ෂේත්‍රයේ පුහුණුව ලබා නැති අයෙකු හට යුද්ධයට සුදුසු ආකාරයේ ශක්තිමත් හේවායෙකු විය නොහැකිය. එසේම තරගකරුවෙකු ලෙස ඔහු සිය පුහුණුව හා කුසලතාවන්ගේ බලය පිළිබඳ මුලින්ම සිතුවේ නම් මිස, ඔටුන්න ලබා ගැනීමට උත්සාහ කරන තැනැත්තාට ක්‍රීඩාංගණයේදී කිරුළු පලඳවනු ලබන්නේ නැත. අප සටන් කරන්නේ පැරණි සතුරෙකු සමගිනි, එසේම ඔහු පරණ විරුද්ධවාදියෙකි. යක්ෂයා මිනිසාට මුලින්ම පහර දුන් දා සිට දැන් අවුරුදු හයදහසකට ආසන්න කාලයක් සම්පූර්ණ වී තිබේ. සතුරා අප වෙත එල්ල කරන සියලු ආකාරයේ පෙලඹවීම්, කලාවන් සහ කුමන්ත්‍රණ ඔහු දිගු කලක් තිස්සේ පුරුදු පුහුණු කර ඇත. ඔහු සූදානම්ව නොසිටින ක්‍රිස්තුස් වහන්සේගේ හේවායෙකු දුටු කල, හේවායා පුහුණු වී නැතිනම්, හේවායා සිහිකල්පනාවෙන් හා මුළු හදවතින්ම සෝදිසියෙන් නොසිටින බව සතුරා දන්නේ නම්, ඔහුගේ නොදැනුවත්කම කරණකොටගෙන සතුරා පහර දෙයි, ඔහුගේ නොසැලකිලිමත් බවින් රවටනු ලබයි, ඔහු අත්දැකීම් අඩු අය පොලඹවයි. එහෙත් යමෙක් ස්වාමින් වහන්සේගේ ශික්ෂා පද රක්ෂා කරන්නේ නම්, නිර්භීතව ක්‍රිස්තුස් වහන්සේට අනුගත වෙමින් යක්ෂයාට විරුද්ධ වන්නේ නම්, ඔහු සතුරා පරාජය කළ යුතුය. මන්ද අප දේශනා කරන ක්‍රිස්තුස් වහන්සේ පරාජයට පත් කළ නොහැකි තැනැන් වහන්සේ වන නිසාය.

3 වන පරිච්ඡේදය

ආදරණීය සහෝදරයා, මගේ සාකච්ඡාව තවදුරටත් දීර්ඝ නොකර, මට සවන් දෙන තැනැත්තා හෝ මගේ පාඨකයා දීර්ඝ කතා ශෛලියකින් තෙහෙට්ටුව පත් නොකර, මම මෙහිදී සාරාංශයක් සකස් කළෙමි. එසේ එකිනෙක පුද්ගලයා විසින් දැනගත යුතුව තිබෙන කාරණා සහ මගහැරිය යුතු කාරණා සම්බන්ධයෙන් මුලින්ම ශීර්ෂ පාඨ දැක්වීමෙන් පසුව, මට ස්වාමින් වහන්සේ පිළිබඳ විස්තර ඇතුළත් කළ හැකි වන පිණිසය. එසේම එවිට මට දිව්‍යමය වචනවල අධිකාරය සහිතව මා විසින් පවසන ලද කාරණා විස්තර කිරීමට මට හැකි වනු ඇත. එසේ මගේ නිබන්ධයෙන් වැඩි දුරටත් කාරණා යැවීම අනවශ්‍ය බව දැන, නිබන්ධයන් සකස් කරන අය වෙනුවෙන් යම් ආකාරයේ නිබන්ධයක් සකස් කළෙමි. මෙම සැලැස්ම ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වන පුහුණු වන පුද්ගලයන්ට වඩාත් ප්‍රයෝජනවත් වේ. මක්නිසාද මම දැනටමත් මසා නිම කර ඇති සහ සූදානම් කර ඇති වස්ත්‍රයක් ලබා දුන්නෙම් නම්, එය අන් අය විසින් භාවිත කරනු ලබන මගේ වස්ත්‍රයක් වනු ඇත. එසේම අන්‍යයෙකුගේ ශරීරයේ මිනුම්වලට අදාළව මසා ඇති ඇඟලුම වෙනත් කෙනෙකුට ගැළපෙන්නේ මඳ වශයෙනි. එහෙත් දැන් මම අප මුදාගත් සහ වේගවත් කරනු ලැබූ තැනැන් වහන්සේ තුළින් බැටළු ලොම් සහ දම් පාට එවීමි. ඔබට එය ලැබුණු විට, ඔබට කැමති ආකාරයේ ඇඟලුමක් එයින් සාදනු ඇත. එසේම එය ඔබගේම පෞද්ගලික සහ ඔබට අයත් ඇඟලුමක් වන නිසා ඔබ ඒ කරණකොටගෙන වඩා වඩාත් ප්‍රීතියට පත් වන්නෙහිය. එසේම අප විසින් ඔබට එවන ලද එය අන්‍යයන් හටද පෙන්වීමට ඔබට හැකි වනු ඇත. එසේ කිරීමෙන් ඔවුන් හටද ඔවුන්ගේ විනිශ්චයේ ආකාරයට ඇඟලුම් සැදීමට හැකියාව ලැබෙනු ඇත. මේ අනුව එම පැරණඅ නිරුවත් බව ආවරණය වන පරිදි, ඔවුන් සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ සළුව පලඳිනු ඇත. දිව්‍ය අනුග්‍රහය කරණකොටගෙන වන පාරිශුද්ධකරණයේ ඇඟලුම පැලඳ සිටිනු ඇත. 

  4 වන පරිච්ඡේදය

තව දුරටත්, ඉතා ආදරණීය සහෝදරයා, මම එම සැලැස්ම ප්‍රාණ පරිත්‍යාගී වන අය උදෙසා ධෛර්යය ලබා දීම පිණිස ප්‍රයෝජනවත් සහ වැඩදායක ලෙස දුටිමි. අපගේ සියලුම ප්‍රමාදයන් සහ අපගේ වචනවල ඇති ප්‍රමාදයන් කපා ඉවත දැමිය යුතුය. එසේම මනුෂ්‍යමය මානව කතාවේ නොගැළපෙන තැන් පසෙකට දැමිය යුතුය. එසේ දෙවියන් වහන්සේ කථා කරන එම වචන පමණක්, ක්‍රිස්තුස් වහන්සේ තම සේවකයන්ට ප්‍රාණ පරිත්‍යාගය උදෙසා ධෛර්යවත් කරන එම වචන පමණක් නියම කළ යුතු වේ. සටන් කරන අයට ආයුධ පිණිස දිව්‍යමය ශික්ෂා පද සැපයිය යුතුය. හමුදාවේ හොරණෑව එයින් පෙලඹෙනු ලැබේවා. සටන් කරන අයගේ පැහැදිලි කැඳවීම ඒ මගින් සිදු වේවා. එමගින් කන්වල ඇසීම ඍජු වේවා. ඒවා කරණකොටගෙන මනස සූදානම් කරනු ලැබේවා. මේවා කරණකොටගෙන සැම දුක් වේදනාවක්ම විඳ දරාගැනීම සඳහා මනසෙහි හා ශරීරයෙහි බලයන් ශක්තිමත් වේවා. ස්වාමින් වහන්සේගේ අවසරය ඇතිව ඇදහිලිවන්තයන්ට ලබා දුන් පළමු බෞතීස්මය ලබා දුන් අපි, එකිනෙකා තවත් බෞතීස්මයක් උදෙසාද සූදානම් කරමු. එසේ මෙම බෞතීස්මයෙහි අනුග්‍රහය වඩා උතුම් බව, බලයෙන් වඩා උදාර බව, ගෞරවයෙන් වඩා වටිනා බව, දේව දූතයන් මෙම බෞතීස්මය කරණකොටගෙන බෞතීස්ම කරන ලද බව, දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ උසස් කරනු ලබන බෞතීස්මය බව, මෙම බෞතීස්මයට පසුව කිසිවෙක් නැවතත් පාපයෙහි නොයෙදෙන බව, අපගේ ඇදහිල්ල වර්ධනය කිරීම උදෙසා සම්පූර්ණත්වය ලබා දෙන බෞතීස්මය එය බව, අපි ලෝකයෙන් ඉවත් වූ වහාම දෙවියන් වහන්සේ සමග එක් වී සම්බන්ධ වන බෞතීස්මය මෙය බව උවමනාවෙන් ඉල්ලමින් උගන්වමු. වතුරෙන් බෞතීස්ම කරනු ලැබීමේදී පාපවලට සමාව ලැබේ. එහිදී ගුණධර්මවල ඔටුන්න රුධිරය මගින් ලැබේ. මේ දේ කිරීමට අප මහත් ආශා විය යුතු අතර, එය වැලඳගත යුතු වේ. එය මහත් වුවමනාවෙන් අපගේ සියලු යාච්ඤාවන් කරණගොටගෙන ඉල්ලා සිටිය යුතුය. එසේ කිරීම කරණකොටගෙන දෙවියන් වහන්සේගේ සේවකයන් වන අපට උන් වහන්සේගේ මිත්‍රයන් වීමටද හැකි වනු ඇත.

5 වන පරිච්ඡේදය

මේ අනුව අපගේ සහෝදරයන්ට අවවාද කිරීම ධෛර්ය දීම සහ සූදානම් කිරීම මෙන්ම ඔවුන් ස්වාමින් වහන්සේගේ කාරණා ප්‍රකාශ කිරීම සහ පීඩා හා දුක් විඳීමේ සටන සඳහා යහපත්කමේ සහ ඇදහිල්ලේ ශක්තියෙන් සන්නද්ධ කිරීමේදී එය මුලින්ම කිව යුතුය:

I. මිනිසා විසින් තමා උදෙසා නිර්මාණය කරන ලද පිළිම දෙවියන් නොවේ. මක්නිසාද ඔවුන්ගේ මුවුම්කරුවාණන් වහන්සේ සහ ඔවුන් නිර්මාණය කළ තැනැන් වහන්සේට වඩා උතුම් වූ යමක් ඔවුන්ට සැදීමට නොහැකිය. එම පිළිමවලට කිසිවෙකු ආරක්ෂා කිරීමට හෝ ගැලවීමට හෝ නොහැකිය. ඔවුන් මිනිසා විසින් ආරක්ෂා කරනු නොලැබුවේ නම්, එම පිළිම දෙවිවරුන් ඔවුන්ගේම දේවාලවලදී විනාශයට පත් වේ. එම පිළිමවලට හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයකට නමස්කාර නොකළ යුතුය. මන්ද ඒවා දෙවියන් වහන්සේගේ ආකල්ප හා ශික්ෂා පදවලට අනුව මිනිසාට සේවය කරන ඒවා වේ.

II. එනම්, පිළිම විනාශ වීමෙන් පසුව, එම උපකරණවල සැලසුම් ප්‍රකාශයට පත් වූ කල, එයින් දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු බව පෙන්විය යුතුය.

III. පිළිමවලට පූජා කරන අයට දෙවියන් වහන්සේ ලබා දෙන අනතුරු ඇඟවීම කුමක්ද යන්න එයට එකතු කළ යුතුය.

IV. දේවතා රූපපිළිම නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ පහසුවෙන් සමාව නොදෙන බවද ඒ සමගම ඉගැන්විය යුතුය.

V. රූප වන්දනාව සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කෙතරම් උදහසට පත් වී ඇත්ද යන්න පෙන්නුම් කිරීම උදෙසා, දේවතා රූප පිළිමවලට පූජා කිරීමට හා සේවය කිරීමට පෙලඹවූ අය මරා දැමීමට පවා උන් වහන්සේ අණ කර තිබෙන බව දැක්විය යුතුය.

VI. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන මුදනු ලැබ, ඉක්මන් කරන ලද අප, ක්‍රිස්තුස් වහන්සේට පෙර කිසිවක් නොතැබිය යුතු බව මේ කාරණයට පසුව එකතු කළ යුතුය. මක්නිසාද උන් වහන්සේ අපට කලින් වෙන කිසිවක් සැලකුවේ හෝ තැබුවේ හෝ නැත. අප වෙනුවෙන් උන් වහන්සේ නපුරු දේ යහපත් දේ මෙන්, දුප්පත්කම ධනය මෙන් වහල්භාවය ආධිපත්‍යය මෙන්, මරණය අමරණීයභාවය මෙන් සැලකීමට කැමති වූ සේක. එසේම අපත් අනෙක් අතට අපගේ දුක්විඳීම්වලදී ලෝකයේ දුප්පත්කමේදී පාරාදීසයේ ධනය හා ප්‍රීතියත්, මේ කාලයෙහි වහල්භාවයේ පාලනය කිරීමේදී, සදාකාලික ස්වෛරීභාවයත්, මරණයේදී අමරණීයභාවයත්, යක්ෂයා හා අන්ත ක්‍රිස්තුස් වෙනුවට දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේටත් කැමති විය යුතුය.

VII. යක්ෂයාගේ ග්‍රහණයෙන් මුදාගෙන, ලෝකයේ උගුල්වලින් නිදහස් කිරීමෙන් පසුව, ඔවුන් නැවතත් අමාරු තත්වයන් සහ කරදරවල ජීවත් වීම ආරම්භ කරන්නේ නම්, ඔවුන් අලුතින් ලෝකයට නැවත පැමිණීමට අපේක්ෂා නොකළ යුතු වන අතර, මුදා ගනු ලැබීමේ ප්‍රයෝජනය ලබන්නේද නැති බව අවධාරණය කළ යුතුය.

VIII. ඔවුන් තමන්ගේ විපාකයට හා ඔටුන්නලබා ගැනීම උදෙසා ළඟා වන පිණිස, ඇදහිල්ලෙන් හා ගුණවත්කමෙන් මෙන්ම ස්වර්ගීය සම්පූර්ණත්වය හා ආධ්‍යාත්මික වරප්‍රසාදයෙහි පැවතීම උදෙසා නොපසුබට උත්සහායක් දැරිය යුතු වන බවට ඉල්ලා සිටිය යුතුය.

IX. එම දුෂ්කරතා හා පීඩාවන් ඇති වන්නේ අප ශක්තිමත් කර ඔප්පු කරන පිණිසය.

X. යක්ෂයාගේ පහර දීමට වඩා ස්වාමින් වහන්සේ ආරක්ෂා කිරීම උතුම් වන බැවින්, පීඩාවන්වල තුවාල හා දඬුවම්වලට බිය නොවිය යුතුය.

XI. මේ ලෝකයේ අප විඳින දුෂ්කරතා හා පීඩාවන් ගැන කිසිවෙකු බියට හා කලබලයට පත් නොවේවා. මක්නිසාද ලෝකය අප දෙස වෛරයෙන් බලන බවත්, අපට විරුද්ධව පීඩා සිදු කරනු ඇති බවත් කලින් පුරෝකථනය කර ඇති කාරණා ඔප්පු විය යුතුය. 

මේ දේවල් සිදු වීම කරණකොටගෙන දිව්‍යමය පොරොන්දුවේ ඇදහිල්ල, එයින් පසුව ලැබෙන ප්‍රතිලාභ හා විපාක තුළින් ප්‍රකාශයට පත් වන්නේය. එසේ කිතුනුවන්ට සිදු වන ඕනෑම දෙයක් අලුත් දෙයක් නොවේ. මන්ද යත් ලෝකයේ ආරම්භයේ සිටම යහපත් අය වෙහෙස මහන්සි වූහ, එමෙන්ම ධර්මිෂ්ඨ අය පීඩාවට පත් කරනු ලැබ, අධර්මිෂ්ඨයින් විසින් මරා දමනු ලැබ ඇත.

XII. මේ කාලයේ ඇති වූ ගැටුම් හා දුක් වේදනාවලින් පසුව ධර්මිෂ්ඨ අය සහ ප්‍රාණ පරිත්‍යාගී වූ අය හට ලැබෙන බලාපොරොත්තුව සහ ප්‍රතිලාභ මොනවාද යන්න අවසාන කොටසේ සඳහන් කළ යුතුය.

XIII. තවද, අප විඳින දුක් වේදනාවලට වඩා එම දුක් විඳීම්වලට ලැබෙන විපාක ඉතාම වැඩිය.

I. දේවතා පිළිම දෙවිවරුන් නොවන බවත්, දෙවිවරුන් ලෙස එම උපකරණ සහ අංගවලට නමස්කාර නොකළ යුතු බව.[2]

ගීතාවලිය 134 මෙසේ දැක්වේ: “ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය. ඒවාට කටවල් ඇත, එහෙත් කථා නොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත. ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාස කරන සියල්ලොත් ඒවාට සමාන වන්නෝය.”[3] එලෙසම සලමොන්ගේ ප්‍රඥාවේදී මෙසේ පවසා ඇත: “මක්නිසාද යත්, ඔවුහු අන්‍ය ජාතීන්ගේ සියලු පිළිම දෙවිවරුන් ලෙස සැලකූහ. ඒවාට ඇස් තිබුණද එයින් දැකීමට නොහැකිය, නාසය ඇතත් හුස්ම ගැනීමට නොහැකිය, කන්වලට ඇසීමට නොහැකිය, අතෙහි ඇඟිලිවලින් කිසිවක් කළ නොහැකිය, ඔවුන්ගේ පාද තිබුණද ඇවිදීමට ප්‍රමාදය, ඇවිදීමට නොහැකිය. මක්නිසාද මිනිසා ඒවා සැදුවේය, තමාගේම හුස්ම ණයට ගන්නා තැනැත්තා ඒවා නිර්මාණය කළේය. මක්නිසාද කිසිවෙකුට තමා හා සමාන දෙවියෙකු සැදිය නොහැකිය. මක්නිසාද ඔහු මනුෂ්‍යයෙකු බැවින්, ඔහු තම දුෂ්ට දෑතින් මළ දෙයක් සාදයි. මක්නිසාද ඔහු විසින් නමස්කාර කරනු ලබන අයට වඩා ඔහු යහපත්ය. මන්ද ඔහු සැබවින්ම ජීවත් වූ අයෙකු වන අතර, එම පිළිමවලට ජීිවයක් නොවීය.”[4] නික්මයාම පොතෙහිදීද ඒ හා සමාන ලෙසම දක්වා ඇත: “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදා නොගනුව.”[5] එලෙසම සාලමොන්ගේ ප්‍රඥාවෙහි (මූලිකාංග සම්බන්ධයෙන්) මෙසේ දක්වා ඇත: “වැඩවලට සහභාගී වීමෙන් ඔවුන් නිර්මාණකරුවා කවුරුන්දැයි පිළිගත්තේ නැත, එහෙත් ගින්න හෝ, සුළඟ හෝ, වේගවත් වාතය හෝ තාරකා සමූහය හෝ, මහා ජලය හෝ සූර්යයා හෝ සඳ හෝ දෙවිවරුන් බවට උපකල්පනය කළහ. ඒවායෙහි ඇති අලංකාරය නිසා ඔවුන් මෙය සිතුවා නම්, ස්වාමින් වහන්සේ ඒවාට වඩා කෙතරම් අලංකාරදැයි ඔවුන්ට දන්වන්න. නැතහොත්, ඒවායෙහි බලය හා ඒවායේ ප්‍රතිඵල ඔවුන් අගය කරන්නේ නම්, ඔවුන් බලවත් කළ තැනැන් වහන්සේ ඒවාට වඩා බලවත් බව ඔවුන් තේරුම් ගත යුතුය.”[6]

II. නමස්කාර කළ යුත්තේ දෙවියන් වහන්සේට පමණි.

“ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේට ඔබ නමස්කාර කරන්න. උන් වහන්සේට පමණක් සේවය කරන්න”[7] ලියා තිබේ. ඒ හා සමානව දී නික්මයාම පොතේ මෙසේ දක්වා ඇත: “මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටින්න.”[8] ද්විතීය කථාවේද මෙසේ දැක්වේ: “ඉතින් මා පමණක්ම උන් වහන්සේ බවත්, මා මිස අන් දෙවි කෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත් කරන්නෙත් මමය; මම තුවාල කෙළෙමි, මම සුව කරමි. මාගේ අතින් ගලවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.”[9] එලෙසම එළිදරව් පොතෙහිද මෙසේ සඳහන්ය: “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත‍්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප‍්‍රකාශ කරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසර කරනවා දුටිමි; ඔහු මහත් ශබ්දයකින් කථා කරමින්: දෙවියන් වහන්සේට භය වී, උන් වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන් වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන් වහන්සේට නමස්කාර කරන්නැයි කීය.” [10] ස්වාමින් වහන්සේ මේ සම්බන්ධයෙන්ද පළමුවන සහ දෙවන ආඥාවන් පිළිබඳ සඳහන් කරන අවස්ථාවේදී ශුභාරංචියෙහි සඳහන් කළ සේක: “යේසුස් වහන්සේ උත්තර දෙමින්: ප‍්‍රධාන එක නම්, අහෝ ඉශ‍්‍රායෙල්, අසන්න; අපේ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේය. උන් වහන්සේ එකම (දෙවියන් වහන්සේ)ය.” [11] එසේම මෙයද දක්වා ඇත: “උන් වහන්සේ ඔහුට කථා කොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළමුවෙනි වූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් පිහිටා තිබේ යයි කී සේක.”[12] නැවතත්: “සදාකාල ජීවනය නම් මේය- එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය” [13] යයි දක්වා ඇත.

 

III. පිළිමවලට පූජා කරන අයට දෙවියන් වහන්සේ දෙන අනතුරු ඇඟවීම කුමක්ද?

නික්මයාම පෙතෙහි මෙසේ ඇත: “ස්වාමින් වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජා කරන තැනැත්තා සිඳ දමනු ලැබිය යුතුය.”[14] එලෙසම ද්විතීය කථාවෙහි මෙසේ දැක්වේ: “ඔවුන් පූජා ඔප්පු කරන්නේ යක්ෂයන්ට මිස දෙවියන් වහන්සේට නොවේය.”[15] නැවතත් යෙසායා පොතෙහි මෙසේ දක්වා තිබේ: “ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔවුහු වඳිති. මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමා නූව මැනව. මම ඔවුන්ට සමාව නොදෙන්නෙමි.”[16] නැවතත් මෙසේ ලියා ඇත: “නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පු කළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද? ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක.”[17] එලෙසම යෙරෙමියා පොතෙහිද මෙසේ සඳහන් වේ. “අන් දෙවිවරුන්ට සේවය කිරීමටද ඔවුන්ට නමස්කාර කිරීමටද ඔවුන් පස්සේ නොයන්න, නුඹලාගේ අත්වැඩවලින් මා කෝප නොකරන්න; එවිට මම නුඹලාට අනතුරු නොකරන්නෙමියි කියා එවූ සේක.”[18] එළිදරව් පොතෙහිද මෙසේ දැක්වේ: “තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස්: යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද, ඔහුත් දෙවියන් වහන්සේගේ කෝපය නැමති කුසලානට අමිශ‍්‍රව වත්කරන ලද උන් වහන්සේගේ උදහස නමැති මුද්‍රිකපානය බොන්නේය; ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියෙහිද බැටළු පැටවාණන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වධ කරනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝ යයි මහත් ශබ්දයකින් කීය.”[19]

IV. දේවතා පිළිම නමස්කාර කරන්නන්ට සමාව දීම දෙවියන් වහන්සේට පහසු නැත.

නික්මයාමෙහි සිටින මෝසෙස් ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන අතර, ඔහුගේ යාච්ඤාවට පිළිතුරු නොලැබිණි. “මෝසෙස් ස්වාමින් වහන්සේ වෙතට හැරී ගොස්: අහෝ, මේ සෙනඟ මහත් පාපයක් කර තමුන්ට රනින් දෙවිවරුන් සාදා ගත්තෝය. එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමති වන සේක් නම් (යහපත); නැතහොත් ඔබ වහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකා දැමුව මැනවයි කීවේය. එවිට ස්වාමින් වහන්සේ: මට විරුද්ධව පව් කළ කවරෙකු නුමුත් මාගේ පොතෙන් මකා දමන්නෙමි.”[20] එලෙසම යෙරමියා ජනතාව වෙනුවෙන් මැදිහත් වන විට ස්වාමින් වහන්සේ ඔහුට කතා කොට මෙසේ කී සේක: “ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤා කරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.”[21] එසකියෙල්ද දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන අයට ඇති දෙවියන් වහන්සේගේ මෙම උදහස හෙළා දකියි. ඔහු මෙසේ පවසයි: “තවද ස්වාමින් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත‍්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධව පව් කරන නිසා මා ඊට විරුද්ධව මාගේ අත දිඟු‍ කොට එහි කෑම නමැති යෂ්ටිය නැති කර, ඊට විරුද්ධව සාගතය යවා, එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳ දමන විට, නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප‍්‍රාණ පමණක් ගලවා ගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන් වහන්සේ කියන සේක.”[22] එලෙසම, පළමුවන රාජාවලිය පොතෙහි මෙසේ දැක්වේ: “මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව් කළොත් දෙවියන් වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමින් වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව් කළොත් ඔහු වෙනුවට මැදහත් වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔවුහු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමින් වහන්සේ ඔවුන් නසන්ට අභිප‍්‍රා කළ සේක.”[23]

V. රූප වන්දනාව සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කෙතරම් උදහස් වී ඇත්ද යත්, අන් අයට පූජා කිරීමට හා දේවතා පිළිමවලට යටත් වීමට පෙලඹවූ අයද මරා දැමීමට අණ කර ඇති සේක.

ද්විතීය කථාවෙහි මෙසේ දැක්වේ: “ඔබ සැම අවට ඔබට කිට්ටුව හෝ ඔබෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන් වූ, ඔබවත් ඔබේ පියවරුන්වත් දැන නොගත්: අන් දෙවිවරුන්ට අපි ගොස් සේවය කරමු යයි ඔබේ මවුගේ පුත‍්‍ර වූ ඔබේ සහෝදරයාවත් ඔබේ පුත‍්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ ළයෙහි හොත් භාර්යාවවත් ඔබේම ප‍්‍රාණය වැනි වූ මිත‍්‍රයාවත් ඔබට රහසින් කියා ඔබ පොලඹවන්ට උත්සහා කරන්නේ වී නම්, ඔබ ඔහුට එකඟ නොවෙන්න, ඔහුට ඇහුම්කන් නොදෙන්න; ඔබේ ඇස ඔහුට දයා නොකෙරේවා, ඔහු ඉතුරු කරන්නේවත් සඟවන්නේවත් නැතුව, ඔබ විසින් ඔහු මැරිය යුතුමය; ඔහු මරන පිණිස පළමුකොට ඔබේ අතද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. වහල්කමේ ගෙය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවා වූ ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේ කෙරෙන් ඔබ අහක් කරන්ට සෙවූ බැවින්, ඔහු මැරෙන පිණිස ඔහුට ගල් ගසන්ට ඕනෑය.”[24] එසේම ස්වාමින් වහන්සේ නැවතත් කතා කරමින් මෙසේ පැවසූ සේක: “ඔබේ දෙවි වූ ස්වාමීන් වහන්සේ ඔබ වාසය කරන්ට දෙන නුවරකදී සමහර අධමයන් ඔබ සැම අතරෙන් නික්ම ගොස්: ඔබ සැම දැන නොගත්තා වූ අන් දෙවිවරුන්ට සේවය කරන්ට යමු යයි කියමින් තමුන්ගේ නුවරවාසීන් අහක් කර ගන්නා ලදැයි කියනවා ඔබ ඇසුවොත්, ඔබ හොඳාකාර සොයා විභාග කර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් ඔබ සැම අතරෙහි කරන ලද බව සැබෑවක් නම්, කාරණය සත්තක නම්, ඒ නුවර වාසීන්ට කඩු මුවහතින් පහර දී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩු මුවහතින් සහමුලින් විනාශ කරන්න. එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස් කර, ඔබේ දෙවිවූ ස්වාමීන් වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සා දමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා. විනාශයට කැප කරන ලද දේවලින් කිසිවක් ඔබේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද ඔබට අණ කරන ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ සියලු ආඥා ඔබ පවත්වමින් උන් වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස, ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන කල්හි, ස්වාමීන් වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී ඔබට කරුණාව පෙන්වා, ඔබට අනුකම්පා කර ඔබේ පියවරුන්ට දිවුළ ලෙස ඔබ වැඩි කරනවා ඇත.”[25] මෙම ශික්ෂා පදය සහ එහි බලය ගැන සිහි කරමින් මතේතියස් පූජා ඔප්පු කිරීමට පූජාසනය අසලට පැමිණි තැනැත්තා මරා දැමීය.[26] එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර දෙවියන් වහන්සේට නමස්කාර කිරීම හා දේවතා පිළිම විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙම ශික්ෂා පද පිළිපදිනු ලැබුවේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් පසු එයට තවත් කොපමණ වැඩියෙන් ඒවා පිළිපැදීම කළ යුතුද; මක්නිසාද උන් වහන්සේ පැමිණ අපට අවවාද කළේ වචනවලින් නොව ක්‍රියාවෙන් වන නිසා, දුක් වේදනා විඳීමෙන් හා සියලු තුවාල හා අපහාස ලැබීමෙන් පසුව කුරුසියේ ඇණ ගසනු ලැබූ නිසා, උන් වහන්සේගේ ආදර්ශය කරණකොටගෙන අපට දුක් විඳීමට හා මැරෙන පිණිස උගන්වනු ලැබූ සේක. එසේ කළේ උන් වහන්සේ අප උදෙසා දුක් විඳි නිසා, උන් වහන්සේ උදෙසා දුක් විඳිනු නොලැබීම පිණිස මිනිසාට කිසිම නිදහසට කරුණක් නොමැති වන පිණිසය. තවද, උන් වහන්සේ අන් අයගේ පාප උදෙසා දුක් විඳ ඇති බැවින්, ඊට බොහෝ වැඩියෙන් සැම කෙනෙකුම තමන්ගේම පාප වෙනුවෙන් දුක් විඳිය යුතුය. එබැවින් උන් වහන්සේ ශුභාරංචියෙහි අනතුරු අඟවමින් මෙසේ පවසන සේක: “එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.”[27] එලෙසම ප්‍රේරිත පාවුල් තුමා මෙසේ පවසයි: “මේක විශ්වාස වූ කීමක්ය: අපි උන් වහන්සේ සමඟ මැරුණෙමු නම් උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමුව. අපි ඉවසමු නම් උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමුව. අපි උන් වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියන සේක.” [28] යොහන් තුමා මෙසේ පවසයි: “යමෙක් පුත‍්‍රයාණන් වහන්සේ පිළිගන්නේද, ඔහුට පියාණන් වහන්සෙත් ඇත්තේය.”[29] එබැවින්, මරණය හෙළා දකින්නට ස්වාමින් වහන්සේ අපගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටින අතර, මෙසේ පවසමින් අප ශක්තිමත් කරන සේක: “ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන් වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශ කරන්ට පුළුවන් තැනැන් වහන්සේටම භය වෙන්න.”[30] නැවතත් මෙසේ ලියා ඇත: “තමාගේ ජීවිතයට ප‍්‍රිය වන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛර කරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂා කර ගන්නේය.”[31]

VI. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් මුදාගන්නා ලද සහ වේගවත් කරන ලද අප ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි උන් වහන්සේට පෙර කිසිවක් නොතැබිය යුතුය.

ස්වාමින් වහන්සේ ශුභාරංචියේ කථා කොට මෙසේ පවසන සේක: “මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ.”[32] ද්විතීය කථාවෙහි මෙසේ ලියා ඇත: “තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවා වූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියා වූ, ඔබේ ප‍්‍රිය තැනැත්තා බලනු. මක්නිසාද ඔවුහු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂා කෙරෙති.”[33] එලෙසම ප්‍රේරිත පාවුල් තුමා මෙසේ පවසයි: “ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත‍්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමු යයි ලියා තිබේ. නුමුත් අපට ප්‍රේම කළා වූ තැනැන් වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.”[34] නැවතත් මෙසේ ලියා ඇත: “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.”[35] නැවතත් මෙසේ ලියා ඇත: “උන් වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණා වූ තැනැන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය කියාත්, අපි නිශ්චය කොට කියමුව.”[36]

 VII. යක්ෂයාගේ හකුවලින් උදුරාගෙන ලෝකයේ උගුල්වලින් නිදහස් කරන ලද අය, එම නිදහස් කිරීමේ ප්‍රයෝජනය සහ විපාකය ඔවුන්ට අහිමි නොවන පිණිස, නැවත වරක් අලුතින් ලෝකයට ආපසු නොයා යුතුය.

නික්මයාම පොතෙහි යුදෙව් ජනයා අපගේ සෙවණැල්ල හා ප්‍රතිරූපය තුළ පූර්වගාමී වූ අතර, දෙවියන් වහන්සේ ඔවුන්ගේ ආරක්ෂකයාණන් වහන්සේ හා පළිගැනීම සිදු කරන්නා ලෙස, පාරාවෝ සහ ඊජිප්තුවේ දරුණු වහල්භාවයෙන් බේරී පැමිණියහ. එනම් යක්ෂයාගේ හා ලෝකයේ වහල්භාවයෙන් මිදීම වේ. දෙවියන් වහන්සේ කෙරෙහි නොඇදහිල්ලෙන් හා කෘතවේදී බවින් තොරව සිටින අය, පාළුකරයෙහි හා ඔවුන්ගේ ශ්‍රමයේ කරදර දෙස ආපසු හැරී බලමින් මෝසෙස්ටද විරුද්ධව මැසිවිලි නැඟූහ. එසේම නිදහසේ හා ගැලවීමේ දිව්‍යමය ප්‍රතිලාභ තේරුම් නොගෙන, ඔවුහු ඊජිප්තුවේ වහල්භාවයට, එනම් ඔවුන් මුදා ඉවත් කරගන්නා ලද, ලෝකයේ වහල්භාවයට ආපසු යාමට පවා උත්සාහ කළහ. ඒ වෙනුවට ඔවුන්ට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුව තිබිණි. මක්නිසාද යක්ෂයාගෙන් හා ලෝකයෙන් තමන් වහන්සේගේ සෙනඟ නිදහස් කරන තැනැන් වහන්සේ, නිදහස් වූ විට ඔවුන් ආරක්ෂා කරන බැවිනි. “ඔවුහු මෝසෙස්ට කථා කොට: කාන්තාරයෙහි මැරෙන්ට ඔබ අප ගෙනාවේ මිසරයෙහි මිනී වළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? මිසරවරුන්ට මෙහෙ කරන්ට අප අත් හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙ කිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය. මෝසෙස්ද: භය නොවන්න, නිශ්චලව සිට ස්වාමින් වහන්සේ අද ඔබ සැමට සිදු කර දෙන ගැලවීම බලන්න. මක්නිසාද ඔබ සැම අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය. ස්වාමින් වහන්සේ ඔබ සැම උදෙසා සටන් කරන සේක, ඔබ සැම නිශ්ශබ්දව සිටිය යුතු යයි සෙනඟට කීවේය.”[37] ස්වාමින් වහන්සේ සිය ශුභාරංචියේ මේ ගැන අපට අනතුරු අඟවන්නේ, අප යක්ෂයා වෙතට සහ අප අතහැර දමා පැමිණි ලෝකයට නැවත නොපැමිණෙන පිණිසය: “නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කී සේක.”[38] නැවතත් මෙසේ පවසන සේක: “ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙන යන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා. ලොත්ගේ භාර්යාව සිහි කරන්න.”[39] මේ හේතුව නිසාම ධනය සඳහා යම් ආශාවක් හෝ තමාගේම කැමැත්ත අනුව යම් අයෙක් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් අහක්ව හැරී යන්නේ නම් උන් වහන්සේ ඔවුන්ට මෙසේ කියමින් මේ කාරණයද එකතු කළ සේක: “එසේම නුඹලා අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය.”[40]

 VIII. අපගේ විපාකය සහ ඔටුන්න වෙත අප පැමිණෙන පිණිස අප නොකඩවා ඇදහිල්ලෙහි සහ සදාචාර ගුණාංගවල ඉතා උනන්දුවෙන් පිහිටා සිටිය යුතුය. එසේම ස්වර්ගීය සහ ආධ්‍යාත්මික කාරණාවල සම්පූර්ණ ලෙස යෙදී සිටිය යුතුය.

අතිරේකයක් ලෙස එකතු කරන ලද පැරලිපොමිනන් පොතෙහි මෙසේ දැක්වේ: “ඔබ උන් වහන්සේ සමඟ සිටින තාක් කල් ස්වාමින් වහන්සේ ඔබ සමඟ සිටින සේක. එහෙත් ඔබ උන් වහන්සේ අත්හැරියහොත් උන් වහන්සේද ඔබ අත්හරින සේක.”[41] එසේම එසකියෙල් පොතෙහිද මෙසේ දැක්වේ: “ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැලවෙන්නේය;… ධර්මිෂ්ඨයා පව් කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත් වෙන්ට ඔහුට පුළුවන් වෙන්නෙත් නැත.”[42] නැවතත් ශුභාරංචියේ ස්වාමින් වහන්සේ කථා කොට මෙසේ පවසන සේක: “නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛර කරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැලවෙන්නේය.”[43] තවද නැවතත් වරක් මෙසේ දක්වා ඇත: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කී සේක.”[44] අප සැම විටම සූදානම් වී සිටිය යුතු බවට සහ යුද්ධය සඳහා දැඩි ලෙස සන්නද්ධ වී සිටිය යුතු බවට අනතුරු අඟවමින් තවදුරටත් උන් වහන්සේ මේ කාරණයද එයට එකතු කළ සේක: “නුඹලාගේ ඉඟටි බැඳ නුඹලාගේ පහන්ද දල්වා තිබේවා. නුඹලාද තමුන්ගේ ස්වාමියා සරණ මංගල්‍යයෙන් හැරී ඇවිත් තට්ටු කරන වහාම ඔහුට දොර අරින පිණිස ඔහුගේ ඊම බලා සිටින මනුෂ්‍යයන්ට සමාන වෙන්න. ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔවුහු වාසනාවන්තයෝය.”[45] ඒ ආකාරයෙන්ම, ආශිර්වාද ලත් පාවුල් තුමා, අපේ ඇදහිල්ල සමෘද්ධිමත් වී, වැඩි වන පිණිසත්, එහි උපරිමයට රැගෙන යන පිණිසත් අනුශාසනා කරමින් මෙසේ පවසයි: “දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න. දිනන පිණිස වීර්ය කරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නා වූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය.”[46] තවද, නැවතත් ඔහු මසේ පවසයි: “හේවාකම් කරන්නා වූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස, මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත. තවද යමෙක් ක‍්‍රීඩාවන්හි පොරට යන්නේද, ඔහු නියම ලෙස නොයන්නේ නම් ඔටුන්න පැලඳගන්ට ලැබෙන්නේ නැත.”[47] නැවතත් වරක් මෙසේ දක්වා ඇත: “එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත් කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.”[48] නැවතත් වරක් මෙසේ ලියා ඇත: “අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙන සේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන් වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන් වහන්සේ සමඟ දුක් විඳිමු නම්, මෙසේ වන්නේය.”[49] එළිදරව් පොතෙහි දිව්‍යමය දේශනා කිරීමේ අනුශාසනාවන් මෙසේ සඳහන් වේ: “කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න.”[50] නොපසුබස්නා උත්සාහය හා විඳ දරාගැනීම නික්මයාම පොතෙහි පෙන්වා දී ඇති අතර, එහිදී මෝසෙස් යක්ෂයාගේ රූපය දරා සිටි අමලෙක් පරාජය කිරීම පිණිස තමාගේ අත, එනම් සලකුණ සහ සක්‍රමේන්තුව වන කුරුසිය එසෙව්වේය. එහිදී දිගටම ඔහුගේ අත් වන සලකුණ ඔසවාගෙන නොපසුබට ලෙස විඳ දරාගෙන සිටීමෙන් මිස, ඔහුට ජය ගැනීමට නොහැකි විය. “මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඉශ‍්‍රායෙල්වරු ජය ගත්තෝය. ඔහුගේ අත පහත හෙළූ විට අමලෙක්වරු ජය ගත්තෝය. එහෙත් මෝසෙස්ගේ අත් බර වුණේය; එවිට ඔවුහු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය, ඔහු ඒ පිට හිඳගත්තේය; ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය; එවිට ඔහුගේ අත් ඉර බස්නා තෙක් ස්ථිරව තිබුණේය. මෙසේ යෝෂුවා අමලෙක් හා ඔහුගේ සෙනඟ කඩු මුවහතින් පරාජය කෙළේය. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කථා කොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකා දමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියා දෙවයි කී සේක.”[51]

IX. අප කවුරුන්ද යන්න තහවුරු කර ඔප්පු කිරීමේ අරමුණ ඉටු කරගන්නා පිණිස, මේ කරදර හා පීඩාවන් ඇති වේ.

ද්විතීය කථාව පොතෙහි මෙසේ සඳහන් වේ: “මක්නිසාද ඔබ සැමගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද ඔබ සැම ප්‍රේම කරනවාදැයි දැනගන්ට ඔබ සැමගේ දෙවිවූ ස්වාමින් වහන්සේ ඔබ සැම සෝදිසි කරන සේක.” [52] නැවතත් සාලමොන්හිදී මෙසේ දැක්වේ: “උදුන මගින් කුඹල්කරුගේ භාජන පරීක්ෂා කරන්නා සේම, පීඩා කාලයන්හිදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයා පරීක්ෂා කරනු ලැබේ.”[53] පාවුල් තුමාද ඒ හා සමාන සාක්ෂියක් දෙමින් මෙසේ පවසයි: “අප පිහිටා සිටින මේ අනුග‍්‍රහයට උන් වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟා වී සිටිමුව; තවද දෙවියන් වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප‍්‍රීතිමත් වෙමු. එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තු වීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප‍්‍රීතිමත් වෙමු. බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේය.”[54] පේතෘස් තුමා සිය ලිපියේ මෙසේ සඳහන් කරයි: “ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නාක් මෙන් පුදුම නොවෙන්න. නුමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඉතා මහත් ප‍්‍රීතියකින් ප‍්‍රීති වන පිණිස උන් වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප‍්‍රමාණයට ප‍්‍රීති වන්න. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් නුඹලා ආශිර්වාද ලද්දහුය; මක්නිසාද මහිමයේ ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක.”[55]

X. පීඩාවන්වල තුවාල සහ දඬුවම්වලට බිය නොවිය යුතුය, මන්ද යක්ෂයාගේ පහර දීමට වඩා ආරක්ෂා කිරීම උදෙසා ස්වාමින් වහන්සේ උතුම් වන සේක.

යොහන් තුමා සිය ලිපියේ මේ කාරණය ඔප්පු කරමින් මෙසේ පවසයි: “මාගේ ප‍්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන් වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔවුහු ලෝකයෙන් වෙති.”[56] එලෙසම ගීතාවලිය 118 මෙසේ දැක්වේ: “ස්වාමින් වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?”[57] නැවතත් වරක් මෙසේ ලියා ඇත: “ සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාස කරති. නුමුත් අපි අපේ දෙවි වූ ස්වාමින්ගේ නාමය සඳහන් කරන්නෙමුව. ඔවුහු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.”[58] තව දුරටත් ශුද්ධාත්මයාණන් වහන්සේ, යක්ෂයාගේ හමුදාවට බිය විය යුතු නැති බව ඉගැන්වීම සහ පෙන්වීම උදෙසා, සතුරා අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නේ නම්, අපගේ බලාපොරොත්තුව සමන්විත වන්නේ එම යුද්ධයේම වන බවත්, ධර්මිෂ්ඨ අයගේ මෙම ගැටුම දිව්‍යමය වාසස්ථානයේ හා සදාකාලික ගැලවීමේ විපාකය වෙත පැමිණෙන බවත්, 27 වන ගීතිකාවේ මෙසේ සඳහන් කර ඇත: “සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි. ස්වාමින්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිසත් උන් වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමින්ගේ ගෘහයෙහි වාසය කිරීමය.”[59] එලෙසම ශුද්ධලියවිල්ලේ නික්මයාම පොතෙහි ප්‍රකාශ කරන්නේ අප වර්ධනය වී වැඩි වී සිටින බවයි බවයි. “නුමුත් ඔවුන්ට පීඩා කරන්ට කරන්ට ඔවුහු වඩ වඩා බෝ වී වඩ වඩා පැතිර ගියෝය.”[60] තවද අප විඳින දුක් වේදනාවලදී දිව්‍යමය ආරක්ෂාව අපට එළිදරව් පොතෙහි පොරොන්දු වී ඇත: “නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න.”[61] එසේම යෙසායා දිවැසිවරයා මගින් උන් වහන්සේ කතා කරමින් වෙනත් ඕනෑම පොරොන්දුවකට වඩා උන් වහන්සේ අපට ආරක්ෂාව හා රැකවරණපොරොන්දු වෙමින් මෙසේ පවසන සේක: “එම්බා යාකොබ්, නුඹ මැවුවා වූද එම්බා ඉශ‍්‍රායෙල්, නුඹ සෑදුවා වූද ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය. මක්නිසාද මම නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේය, නුඹේ ගැලවුම්කාරයා වන ඉශ‍්‍රායෙල්ගේ ශුද්ධ තැනන් වහන්සේය.”[62] තවද දෙවියන් වහන්සේගේ සේවකයන්ට හිංසා පීඩාවලදී දිව්‍යමය ආධාරය නොඅඩුව ලැබෙන බවට උන් වහන්සේ ශුභාරංචියේදී පොරොන්දු වී මෙසේ පවසන සේක: “නුමුත් ඔවුන් නුඹලා පාවා දෙන කල, නුඹලා කථා කරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කථා කරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථා කරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය.”[63] නැවතත් මෙසේ දක්වා ඇත: “එබැවින් උත්තර දිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියම කරගන්න. මක්නිසාද නුඹලාගේ සියලූ‍ එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරි වූ මුඛයක්ද ප‍්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.” [64] නික්මයාම පොතෙහි දෙවියන් වහන්සේ මෝසෙස් ජනතාව වෙත යාමට ප්‍රමාද වී බිය වූ විට, උන් වහන්සේ ඔහුට කථා කළ ආකාරය මෙසේය: “මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධ වෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමින් වහන්සේ වන මම නොවේද? එබැවින් දැන් යව, මම ඔබේ මුඛය සමඟ සිට ඔබ විසින් කිය යුතු දේ ඔබට උගන්වන්නෙමියි ඔහුට කී සේක.”[65] දෙවියන් වහන්සේට තමා වෙනුවෙන් කැප වූ මිනිසෙකුගේ මුඛය විවෘත කිරීම අපහසු නැත. එසේම උන් වහන්සේ ප්‍රකාශ කරන තැනැත්තා හට කිරීමේදී නිසැක බවත් සහ විශ්වාසවන්තභාවයත් ඇති කිරීමට පෙලඹවීමට උන් වහන්සේට පුළුවන. ගණන් කථාව පොතෙහි උන් වහන්සේ දිවැසිවර බාලාම්ට විරුද්ධව කථා කිරීමට බූරු දෙනකට පවා හැකියාව දුන් සේක. එම නිසා පීඩාවලදී යක්ෂයා අපට විරුද්ධව ගෙන එන අනතුර කුමක්ද යන්න නොසලකා හරිමු. ඒ වෙනුවට, දෙවියන් වහන්සේ අපට ගෙන එන ආධාරය උපකාරය ඔහු මතක් කර ගනීවා. එසේම මිනිසුන්ගේ බාධාවන් කරණකොටගෙන මනස කැලඹීමට පත් නොවේවා. ඒ වෙනුවට දිව්‍යමය ආරක්ෂාව කරණකොටගෙන ඇදහිල්ල ශක්තිමත් කරනු ලැබේවා. මන්ද, සැම කෙනෙකුම ස්වාමින් වහන්සේ පොරොන්දු හා තමන්ගේම ඇදහිල්ලේ ගුණාංග අනුව, දෙවියන් වහන්සේ තමාට ලැබෙනු ඇතැයි ඔහු සිතන තරමට බොහෝ උපකාර ලබා ගන්නේය. ලබන්නාගේ දුර්වල ඇදහිල්ල නිසා ඔහුට අඩුවෙන් ලැබෙනවා නම් හැර, සර්වපරාක්‍රමයාණන් වහන්සේට ලබා දිය නොහැකි කිසිවක් නැත්තේය.

XI. අප ලෝකයාගේ වෛරයට පාත්‍ර වන බවත්, ලෝකය අපට විරුද්ධව හිංසා පීඩා ඇති කරන බවත්, එම නිසා කිතුනුවන්ට අලුත් දෙයක් සිදු නොවන බවත් කලින් පුරෝකථනය කර තිබූ හෙයින්, ලෝකයේ ආරම්භයේ සිටම, යහපත් අය වෙහෙස මහන්සි වී පීඩාවට පත්ව ඇති අතර, ධර්මිෂ්ඨ අය අධර්මිෂ්ඨ අය විසින් මරා දමනු ලැබ ඇත. ශුභාරංචියේ ස්වාමින් වහන්සේ අනතුරු අඟවා පුරෝකථනය කරමින් මෙසේ පවසන සේක:

“ලෝකයා නුඹලාට වෛර වෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛර වුණ බව නුඹලා දනිහුය. නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති. දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ යයි නුඹලාට මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම් නුඹලාටත් පීඩා කරන්නෝය; මාගේ වචනය රක්ෂා කළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂා කරන්නෝය.”[66] නැවතත් උන් වහන්සේ මෙසේ පවසන සේක: “ඔවුහු සිනගෝගවලින් නුඹලා අහක් කරන්නෝය. එසේය, නුඹලා මරන්නා වූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන් වහන්සේට කරන මෙහෙයක් යයි සිතන කාලය පැමිණෙන්නේය. ඔවුන් පියාණන් වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත. තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක් වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.”[67] නැවතත් උන් වහන්සේ මෙසේ පවසන සේක: “සැබැවක් සැබැවක් නුඹලාට කියමි-නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප‍්‍රීති වන්නෝය. නුඹලා ශෝක වන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප‍්‍රීතියට හැරෙන්නේය.”[68] නැවතත් උන් වහන්සේ මෙසේ පවසන සේක: “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජය ගතිමියි කීසේක.”[69]

එහෙත්, උන් වහන්සේගේ ගෝලයෝ උන් වහන්සේගේ පැමිණීම සහ ලෝකයේ සමාප්තියට පත් වීම පිළිබඳ ලකුණක් උන් වහන්සේගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. යුද්ධ සහ යුද්ධ ප‍්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝ කම්පාද සිදු වෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය. එකල ඔවුහු නුඹලා පීඩා විඳීමට පාවා දී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නහුය. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය, ඔවුනොවුන්ට වෛර වන්නෝය. නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වන්නේය. නුමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැලවෙන්නේය. රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප‍්‍රකාශ කරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය. එබැවින් අනාගතවක්තෘ වූ දානියෙල් විසින් කියනලද පාළු කරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද, එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලා යෙත්වා. ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත‍්‍රය ගන්ට ආපසු හැරී නොඒවා. නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත‍්‍රීන්ටත් දුක් වේ. නුඹලාගේ පලා යාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤා කරන්න. මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණා වූ, මතු කොයි කලෙකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. ඒ දවස් ලුහුඬු නොකරන ලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැලවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬු කරනු ලබන්නේය. එකල යමෙක් කථා කොට: බලව, ක්‍රිස්තුස් වහන්සේ මෙතනය නොහොත් එතන යයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. බලව, මම නුඹලාට කලින් කීවෙමි. එබැවින් ඔවුහු නුඹලාට කථා කොට: අන්න, උන් වහන්සේ වනාන්තරයෙහි සිටින සේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන් වහන්සේ ඇතුල් ගෙවල සිටින සේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න. මක්නිසාද යම් සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත‍්‍රයාගේ ඊමත් එසේම වන්නේය. යම් තැනක මළකුණ ඇත්තේද එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය. තවද ඒ දවස්වල පීඩා පසු වූ කෙනෙහිම, ඉර අඳුරු වන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක‍්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍ය පුත‍්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලූ‍ ගෝත‍්‍රයෝ වැලපෙන්නෝය, ඔවුහු මනුෂ්‍ය පුත‍්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය. උන් වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවන සේක, ඔවුහු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන් වහන්සේගේ තෝරා ගත්තවුන් රැස්කරන්නෝය.”[70] දැන් කිතුනුවන්ට සිදුවෙමින් පවතින මේ කාරණා අලුත් දේවල් හෝ හදිසියෙන් සිදු වන කාරණා හෝ නොවේ. මන්ද, යහපත් සහ ධර්මිෂ්ඨ අය, නිර්දෝෂි බවේ ව්‍යවස්ථාවට සහ සැබෑ ආගමට ඇති බිය අනුව දෙවියන් වහන්සේට සැම විටම භක්තිමත් අය, සැම විටම පීඩා සහ තුවාල සහ පටු මාර්ගයක දුෂ්කරතාවයේදී පහර දෙන්නන්ගේ දරුණු හා විවිධාකාර වූ දඬුවම් තුළින් ගමන් කරති. මේ අනුව ලෝකයේ ආරම්භයේදීම, තමාගේ සහෝදරයා විසින් මරා දමනු ලැබූ ධර්මිෂ්ඨයා ආබෙල්ය. එසේම යාකොබ් පිටුවහල් කරනු ලැබිණි, යෝසෙප් විකුණනු ලැබිණි, දයානුකම්පිත දාවිත් හට සාවුල් රජතුමා පීඩා කරයි, නිරන්තරයෙන් හා ධෛර්යයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කළ එලියා හට ආහබ් රජතුමා පීඩා කිරීමට උත්සාහ කරයි. දේවමාලිගාව සහ පූජාසනය අතරතුරදී පූජක සෙකරියාස් මරා දමනු ලැබිණි. එහිදී දෙවියන් වහන්සේට පූජා ඔප්පු කිරීමට පුරුදුව සිටි ඔහුම එහි පූජාවක් බවට පත් වනු ඇත. අවසානයේ ධර්මිෂ්ඨ ප්‍රාණ පරිත්‍යාගී මනුෂ්‍යයින් බොහෝ විට සමරනු ලැබේ. ඇදහිල්ල හා ගුණවත්කම පිළිබඳ උදාහරණ බොහොමයක් පසුව පැමිණෙන පරම්පරාව සඳහා ඉදිරිපත් කර ඇත. එකම වයසේ පසු වූ, ප්‍රේමයෙන් එකඟ වී සිටියා වූ, ඇදහිල්ලෙහි ස්ථාවර ලෙස පිහිටියා වූ, ගුණධර්මවල නිරන්තරයෙන් පැවතියා වූ, ඔවුන්ට පීඩා කළ ගිනිදැල් සහ දඬුවම්වලට වඩා ශක්තිමත් වූ, අනනියාස්, අසාරියා, මිෂායෙල් යන යෞවනයන් තිදෙනා, ඔවුන් දෙවියන් වහන්සේට පමණක් සේවය කරන බවත්, උන් වහන්සේ පමණක් දැනසිටින බවත්, උන් වහන්සේට පමණක් නමස්කාර කරන බවත් ප්‍රකාශ කරමින් මෙසේ පැවසූහ: “නෙබුකද්නෙශර් රජ්ජුරුවෙනි, මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. ඇවිළෙන ගිනි උදුනෙන් ගලවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන් වහන්සේ ඔබගේ අතින් අප ගලවන සේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය.”[71] දෙවියන් වහන්සේට කැපවී ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ වී සිටි දානියෙල් මෙසේ පවසයි: “අහසත් පොළොවත් සැදූ මාගේ දෙවියන් වහන්සේ වන ස්වාමින් වහන්සේට හැරෙන්නට වෙන කිසිවකුට මම නමස්කාර නොකරමි.”[72] තෝබියස්, රාජකීය හා කෲර පාලනයක් යටතේ වහල් සේවයේ පසු වූවත්, නිදහස් හැඟීමක් හා ආත්මයක් සහිතව, දෙවියන් වහන්සේට ඔහුගේ ප්‍රකාශයන් දක්වමින්, උන් වහන්සේගේ දිව්‍යමය බලය හා තේජස පිළිබඳ දක්වමින් මෙසේ ප්‍රකාශ කරයි: “මගේ වහල්භාවයෙන් දේශයේදී මම උන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි. එසේම උන් වහන්සේගේ බලය පව්කාර ජාතියක් තුළදී ප්‍රදර්ශනය කරන්නෙමි.”[73] මකබිවරුන්ගේ පොතෙහි සඳහන් උපතින්ම ඔවුන්ගේ ස්වභාවය සහ ගුණධර්මවලින් එක හා සමානව සිටි, සහෝදරයන් හත්දෙනා, සම්පූර්ණත්වයේ සක්‍රමේන්තුව වන සර්ව සම්පූර්ණ ඉටු වීම පිළිබඳ අංක හත යනුවෙන් කිව හැකිද? එසේ එම සහෝදරයින් සත් දෙනා ප්‍රාණ පරිත්‍යාගී වීමේදී එක්සිත්ව සිටියහ. දිව්‍යමය සැලැස්මෙහි ප්‍රථම දින හතට අවුරුදු සත් දහසක් අයත්ව ඇත්තාක් මෙන්, ආත්මයාණන් සත් දෙනා සහ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඇතුළට සහ පිටතට නැගී යන දේව දූතයින් සත් දෙනා මෙන්, එළිදරව් පොතෙහි සඳහන් සාක්ෂි මණ්ඩපයයෙහි ඇති පහන් රුක් සත මෙන්, රන් පහන් වැටවල් සත මෙන්, ප්‍රඥාව විසින් ඇගේ නිවස ගොඩනගනු ලබන සලමොන්ගේ මණ්ඩප හත මෙන්, මෙම සහෝදරයින් සත් දෙනාගේ අංකයෙන්ද එය සභා සත වැලඳ ගනියි. වඳ ස්ත්‍රිය හත්දෙනෙකු බිහි කළ බව පළමුවන රාජාවලිය පොතෙහි අපි කියවමු. යෙසායා පොතෙහි ස්ත්‍රීන් හත්දෙනෙක් එක් පුරුෂයෙකු අල්ලාගෙන සිටිති, ඔවුන් ඔහුගේ නම ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිති, යයි පැවසේ. එසේම ප්‍රේරිත පාවුල් තුමා මෙම ව්‍යවස්ථාමය හා නිශ්චිත සංඛ්‍යාව ගැන සැලකිලිමත් වෙමින්, සභා හතට ලියයි. එළිදරව් පොතෙහි ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ දිව්‍යමය ආඥාවන් සහ ස්වර්ගික ශික්ෂා පද සභා හතට සහ ඒවායෙහි දූතයන්ට යොමු කරන සේක. ව්‍යවස්ථානුකූල සම්පූර්ණත්වය ඉටු වන පිණිස මෙම අංකය මෙහිදී මෙම සහෝදරයන් සම්බන්ධයෙන්ද දක්නට ලැබේ. දරුවන් හත්දෙනා සමඟ පැහැදිලිවම මවද[74] එකතු කර ඇත. එනම් ඔවුන්ගේ මූලය සහ මුල වන මව, පසුව සභා සතක් ඇති කළ මව, එසේම ස්වාමින් වහන්සේගේ හඬ විසින්ම එහි පළමුවැන්න පර්වතයක් මත ස්ථාපිත කරන ලද මවයි. මව ඇයගේ දරුවන් සමඟ ඔවුන්ගේ දුක් වේදනාවලදී සිටීම පමණක් වැදගත් නොවේ. මන්ද, තමන්ගේ දුක් විඳීම්වලදී දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස තමන් ගැන සාක්ෂි දරන, ප්‍රාණ පරිත්‍යාගී අය, දෙවියන් වහන්සේ හැර වෙන කිසිම කෙනෙකු පියෙකු ලෙස නොසැලකූහ. ස්වාමින් වහන්සේ ශුභාරංචියෙහි මෙය උගන්වමින් ප්‍රකාශ කරන සේක: “පොළොවෙහි කාටවත් පියාණෝ යයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන් වහන්සේමය.”[75] ඔවුන් ලබා දී ඇති ප්‍රකාශයන් සහ කීම් මොනවාද! ඔවුන්ට තිබුණේ කෙතෙරම් මහිමාන්විත වූ සහ තෙරරම් උතුම් වූ ඇදහිල්ලෙහි ඔප්පු කිරීම්ද! ඇන්ටියෝකස් නම් සතුරු රජතුමා, නැති නම් අන්ත් ක්‍රිස්තුස් නියෝජනය කරන ඇන්ටියෝකස් රජතුමා, ප්‍රාණ පරිත්‍යාගී වූ අයගේ මුඛයන් අපවිත්‍ර කිරීමට උත්සාහ කළේය. මහිමාන්විත සහ පරාජයට පත් කළ නොහැකි වූ ප්‍රකාශ කිරීමේ ආත්මය, ඌරු මාංසය කරණකොටගෙන දූෂිත කිරීමට උත්සහා කළේය. ඔහු ඔවුන්ට දරුණු ආකාරයෙන් පොලුවලින් පහර දුන් පසුව පවා, ඔවුන් කෙසේවත් වෙනස් කිරීමට නොහැකි වූ නිසා, ඔහු යකඩ රත් කිරීමට නියෝග කළේය. මේවා රත් කළ පසුව දිලිසෙන විට, පළමුවෙන් කථා කළ තැනැත්තා, එනම් තමාගේ ගුණධර්ම හා ඇදහිල්ලෙහි ස්ථිරභාවය කරණකොටගෙන රජු තව තවත් කුපිත කරවන ලද තැනැත්තා මුලින්ම පුලුස්සා දමන්නට අණ කළේය. එසේ සිදු කළේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ දිව එළියට ඇද දමා දිව කපා දැමූ පසුය. මෙය වඩාත් මහිමාන්විත ලෙස ප්‍රාණ පරිත්‍යාගී වූ අයට සිදු විය. මක්නිසාද මුලින්ම දෙවියන් වහන්සේ වෙතට යා යුතුව තිබුණේ දෙවියන් වහන්සේගේ නාමය ප්‍රකාශ කළ දිව වන නිසාය. දෙවන අවස්ථාවේදී, වඩාත් දැඩි දඬුවම් පනවන ලදී. එහිදී ඔහු අනෙක් සාමාජිකයන්ට වධ හිංසා කිරීමට පෙර, හිසෙහි සම කොණ්ඩයත් සමග ඇද දැමුවේය. වෛරයෙන් යුක්තව, එනම් මේ සම්බන්ධ නිශ්චිතභාවයකින් යුක්තව එසේ කළේය: මක්නිසාද යත්, මනුෂ්‍යයාගේ හිස ක්‍රිස්තුස් වහන්සේ වන අතර, ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේ වන නිසාය. ප්‍රාණ පරිත්‍යාගිකයෙකුගේ හිස ඇද දැමූ දැමූ තැනැත්තා දෙවියන් වහන්සේට හා ක්‍රිස්තුස් වහන්සේට හිසට පීඩා කරන්නේය. එහෙත් ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය කෙරෙහි විශ්වාසය තබා දෙවියන් වහන්සේගේ විපාකය වන නැවත උත්ථාන වීමේ විපාකය තමාටම පොරොන්දු වෙමින් ඔහු මෙසේ කීවේය: “අමනුස්ස යක්ෂයා, නුඹට මේ ජීවිතයෙන් අප ඉවත් කරන්නට පුළුවන. එහෙත් ලෝක පරමොත්තමයාණන්ගේ නීති සඳහා අප මැරෙන බැවින් සදහටම ජීවත් වීම සඳහා උන් වහන්සේ අප නැගුටුවාලන සේක.”[76] තුන්වැන්නා, රැගෙන ඒමට අණ කළ විට ඔහු වහා ඔහුගේ දිව දිගු කළේය. මක්නිසාද යත්, ඔහුගේ දිව කපා දැමීමේ දඬුවම හෙළා දැකීමට ඔහු මේ වන විට තමාගේ සහෝදරයාගෙන් ඉගෙනගෙන තිබූ බැවිනි. ස්වාමින් වහන්සේගේ දුක් විඳීම අනුකරණය කිරීම ඔහුගේ කාර්ය බැවින් මේ ආකාරයේ දඬුවම් ලැබීම ගැන සතුටු වී, කපා දැමීම උදෙසා ඔහුගේ දෑත්ද ඍජුව දිගු කළේය. සිව්වැන්නාද ඒ හා සමාන ගුණාංගයකින් යුතුව, වධ වේදනා හෙළා දකිමින්, රජු මැඩපැවැත්වීම සඳහා ස්වර්ගික හඬකින් පිළිතුරු දෙමින් මෙසේ පැවසීය: “මිනිසුන්ගේ අතින් අපට මරණය පැමිණීම යස තෝරාගැනීමකි. එහෙත් දෙවියන් වහන්සේ විසින් අපි යළින් නැගුටුවනු ලබමු යන දේව පොරොන්දුව පිට විශ්වාසය තබමු. එහෙත් ඔබට නම් උත්ථානයක් නැත. නව ජීවනයක්ද නැත.”[77] පස්වැන්නා, ඔහුගේ ඇදහිල්ලේ ශක්තිය නිසා පාගා දැමීමට අමතරව, රජු දරුණු හා විවිධාකාර වූ වධ හිංසා පැමිණවීමේදී, දේවත්වයේ ආත්මය මගින් වූ දේවානුභාවයෙන් යුක්තව අනාගතය පිළිබඳ දැනුමක්ද, සහිතව දෙවියන් වහන්සේගේ උදහස සහ පළිගැනීම වේගයෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රජුට අනාවැකි කීවේය. ඔහු මෙසේ පැවසීය : “ඔබ මැරෙන සුලු කෙනෙකු බැවින් මැරෙන සුලු මිනිසුන් කෙරෙහි බලය ඔබට ඇත. ඔබට කැමති පරිදි ඔවුන්ට කළ හැකිය. එහෙත් අපේ ජාතිය දෙවියන් වහන්සේ විසින් අත්හැර දමන ලද්දේ යයි නොසිතන්න. මඳක් නවතින්න, ඔබේ වාරය පැමිණි විට උන් වහන්සේගේ බල පරාක්‍රමය ඔබටත් ඔබේ ජාතියටත් පීඩා කරන සැටි ඔබට පෙනෙනු ඇත.”[78] ප්‍රාණ පරිත්‍යාගිකයාට එය මොන තරම් නම් සැනසීමක්ද! ඔහුගේ දුක් විඳීම්වලද ඔහු විඳින දුක් වේදනා ගැන නොසලකා හැර, ඔහුගේ වධකයන්ගේ දඬුවම් පිළිබඳ අනාවැකි කීම කෙතරම් සැනසීමක්ද! එහෙත් හයවෙනියා ගෙන ආ අවස්ථාවේදී ගුණවත්කම පමණක් නොව නිහතමානිකමද ප්‍රකාශ කළ යුතු විය. ප්‍රාණ පරිත්‍යාගිකයා තමා වෙනුවෙන්ම කිසිවක් ප්‍රකාශ නොකළ අතර, අහංකාර වචනවලින් ඔහුගේ ප්‍රකාශ කිරීම්වල ගෞරවය ඉදිරිපත් නොකළේය. ඒ වෙනුවට රජු අතින් තමාට සිදු වූ පීඩා තමාගේම පාප නිසා සිදු වූ බවට ඔහු චෝදනා කළේය. එහෙත් පසුව ඔහු පළිගැනීම දෙවියන් වහන්සේට ආරෝපණය කළේය. ප්‍රාණ පරිත්‍යාගිවරු නිහතමානී අය බවත්, ඔවුන් වෙනුවෙන් පළිගැනීම සම්බන්ධයෙන් නිසැක විශ්වාසයක් ඇතිව සිටින බවත්, ඔවුන් තමන්ගේම සන්තක දේවල් ගැන පුරසාරම් දෙඩුවේ නැති බවත් ඔහු ඉගැන්වීය. ඔහු මෙසේ පැවසීය: “ඔබ නොරැවටෙන්න. අපේ දෙවියන් වහන්සේට විරුද්ධව අප පව් කළ බැවින්, අපගේම වැරැද්දෙන් අපි මෙසේ දුක් විඳිමු. විපාකය බිය ජනකය. ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කරන්නට උත්සහා කළ නිසා ඔබ දඬුවම් නොලබන්නෙහි යයි කියා නොසිතන්න.”[79] ඔවුන්ගේ මවද ප්‍රශංසනීයය, ඇගේ ලිංගිකත්වය නිසා දුර්වලතාවට පත් වූයේවත්, ඇගේ ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසු මහලු ඇය සැලුණේවත් නැත. මිය යන දරුවන් දෙස සතුටු සිතින් බැලූ ඇය, දරුවන්ගේ දඬුවම් විඳීම නොව ඔවුන්ගේ මහිමාන්විතභාවය දුටුවාය. ඇගේ පුතුන් ඔවුන්ගේ ශාරීරික අවයවවල වධ වේදනා හා දුක් විඳීම් කරණකොටගෙන ලබා දී ඇති පරිදි, ඇගේ ඇස්වලින් දෙවියන් වහන්සේට උතුම් වූ ප්‍රාණ පරිත්‍යාගී වීමක් පිදුවාය. හය දෙනෙකුට දඬුවම් කර පසුව ඝාතනය කළ පසුව, ඔවුන්ගෙන් එක් සහෝදරයෙකුගේ ජීවිතය බේරුණි. ඔහුගේ කුරිරුකම සහ දරුණුකම සම්බන්ධයෙන් අනුග්‍රහය දැක්වීමට,  අවම වශයෙන් එක් අයෙකු යටත් කර ගැනීමෙන්, ඔහු ධනය, බලය සහ බොහෝ දේ ඔහුට පොරොන්දු විය. මව විසින් පුතාගෙන් ඉල්ලා සිටින්නේ තමා සමඟ අයැද සිටින ලෙසයි. එහෙත් ප්‍රාණ පරිත්‍යාගී වූ අයගේ චේතනාවන්ට ගැළපෙන පරිදි ඇය අයැද සිටියාය. ඇය එසේ කළේ නීතිය සහ දෙවියන් වහන්සේ පිළිබඳ සිහි කරන තැනැත්තියක් ලෙසයි. එසේම තම දරුවන්ට මඳ වශයෙන් නොව ඉතා මහත් සේ ආදරය කළ මවක ලෙසයි. මන්ද, ඇය අයැද සිටියේ ඔහු දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන පිණිසය. ඇය අයැද සිටියේ එම සහෝදරයා ප්‍රශංසාව හා මහිමය යන කාරණාවලින් අනෙකුත් සහෝදරයන්ගෙන් වෙන් නොවී එකට බැඳී සිටින පිණිසයි. පුතුන් හත් දෙනෙකුගේ මවක ලෙස සලකමින්, ඇය පුතුන් හත්දෙනෙකු බිහි කළේ දෙවියන් වහන්සේට මිස ලෝකයට නොවන බව සැලකුවාය. ඒ නිසා ඔහු සන්නද්ධ කර, ශක්තිමත් කර ඇගේ පුත්‍රයා ප්‍රසූත කරමින්, ප්‍රීතිමත් උපතක් ලබා දෙමින් ඇය මෙසේ පැවසුවාය: “මාගේ පුතුනි. මට අනුකම්පා කරන්න. මම නව මසක් ඔබ මාගේ කුසයේ උසුලාගෙන ගියෙමි. අවුරුදු තුනක් කිරි දුනිමි. ඔබට කවා පොවා අද ඔබ සිටින මේ තත්වයට මම ඔබ ගෙනාවෙමි. මාගේ දරුව, අහස සහ පොළොව දෙස බලන මෙන් මම ඔබගෙන් ඉල්‍ලමි. ඒවායේ ඇති සියල්ල ගැන මෙනෙහි කොට කලින් නොතිබුණු දෙයකින් දෙවියන් වහන්සේ මේ සියල්ල මැවූ බවත්, එලෙසම මනුෂ්‍ය වර්ගයා ජීවිතය ලබාගන්නා බවත් පිළිගන්න. මේ අලුගෝසුවාට බිය නොවන්න. ඔබත් ඔබේ සහෝදරයන්ගෙන් කෙනෙක් බව ඔප්පු කරන්න. එබැවින් දයාවේ දවසේදී මා ඔබද ඔබේ සහෝදරයන් ද සමග පිළිගන්නා ලෙස මරණය සාදරයෙන් පිළිගන්න.”[80] ගුණධර්ම සම්බන්ධයෙන් අනුශාසනා කිරීමේදී මව ඉතාම උසස් ප්‍රශංසාවක් ලබන්නීය. එහෙත් ඊට වඩා වැඩියෙන් ඇය ස්වාමින් වහන්සේ කෙරෙහි දැක්වූ ගරුබිය සහ ඇදහිල්ලේ සත්‍යය වැඩිය. මන්ද ඇය හය දෙනෙකුගේ ප්‍රාණ පරිත්‍යාගී වීම නිසා වූු ගෞරවය කරණකොටගෙන තමාට හෝ තම පුත්‍රයාට කිසිම දෙයක් ඉල්ලුවේ කළේ නැති නිසාය. එසේම සහෝදරයන්ගේ යාච්ඤාවලින්  ප්‍රතික්ෂේප කරන තැනැත්තාගේ ගැලවීම ඉටු වන්නේ නැති බවද ඇය විශ්වාස කළාය. ඒ වෙනුවට ඔවුන්ගේ දුක් විඳීමට හවුල්කාරයෙකු වීම උදෙසා ඇය ඔහු උනන්දු කළාය. එසේ කිරීම කරණකොටගෙන ඔහු විනිශ්චය දිනයේදී ඔහුගේ සහෝදරයන් සමඟ දකින්නට හැකි වනු ඇත. මෙයින් පසුව මවද ඇගේ දරුවන් සමඟ මිය ගියාය; මක්නිසාද යත්, ඇය ප්‍රසූත කළ සහ ප්‍රාණ පරිත්‍යාගී වීම පිණිස සැදූ දරුවන් සමග ඇයද මහිමයට එකතු වන පිණිසය. එසේ කිරීම කරණකොටගෙන ඇයට පෙර දෙවියන් වහන්සේ වෙතට යවන ලද ඔවුන් අනුගමනය කරන පිණිසය.

එසේම කිසිවෙකුත් තමා රවටනු ලබන පිණිස ඔහු වෙත ඉදිරිපත් කර ඇති  සහතිකයක් හෝ යම් දෙයක් ඇති විට,  රැවටිලිකාරයන්ගේ නපුරු භූමිකාව වැලඳගැනීම නොකළ යුතු අතර, එලෙයාසර් අමතක නොකළ යුතුය. මේ මිනිසා, රජුගේ සේවකයන් විසින් මස් එනම් ඒවා අනුභව කිරීම ඔහුට තීන්‍යනුකූල වන නිසා, ආහාරයට ගැනීමට ඔහුට අවස්ථාව ලබා දුන් කල, සහ රජු මඟහැරීමට අවස්ථාව දුන් කල, ඔහුට ලබා දී ඇති ආහාර පූජාවන් සඳහා පිදූ ඒවා බවත්, තහනම් කරන ලද ආහාර බවත් ව්‍යාජ ලෙස දැක්වීමට පැවසූ කල, මෙම රැවටීමට එකඟ වීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු එසේ කිරීම ඔහුගේ වයසට හෝ ගෞරවයට හෝ නොගැළපෙන්නක් බවත්, එසේ කිරීමෙන් අනෙක් අයගේ සිත් එම දූෂිත ක්‍රියාව කරණකොටගෙන දුකට වේදනාවට පත් වන බවත්, ඔවුන් නොමග යාමට හේතු වන බවත් පැවසුවේය. වයස අවුරුදු අනූවක් වූ එලෙයාසර්, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අතහැර දමා, එය පාවා දීමෙන් පසුව  ආගන්තුකයන්ගේ සිරිත් පිළිපැදීමට යොමු වී ඇති බව ඔවුන් සිතන්නට පුළුවන. එම නිසා මේ ජීවිතයේ ඉතා කෙටි වේදනාවන්, දෙවියන් වහන්සේ අමනාප කිරීම සහ සදාකාලික දඬුවම්වලට යටත් වීම උදෙසා හුවමාරු කරගැනීම වටිනා දෙයක් නොවන්නේය. එසේ ඔහු දීර්ඝ කාලයක් පුරා වධ වේදනා විඳීමෙන් පසුව, දැන් ඔහුගේ ජීවිතයේ අවසාන කාලයට ළඟා වී ඇති ඔහු, පහර දීම් සහ විධ වේදනා විඳිමින් මිය යන කල, ඔහු හඬ නඟා සුසුම්ලමින් මෙසේ පැවසුවේය. “මට මරණයෙන් ගැලවෙන්නට ඉඩ තිබුණත්, පහර පිට පහර ලැබීම නිසා මා ඇඟපතේ ්වේදනා වින්දත්, ස්වාමින් වහන්සේ මා තුළ හටගන්වන ගරුබිය නිසාම මා ඉතා ප්‍රීතියෙන් වේදනා විඳින බව ශුද්ධ වූ දැනුම ඇති උන් වහන්සේ පැහැදිලි ලෙස දකින සේක.”[81] නියත වශයෙන්ම එය අන්තියෝකස් රජු නොව විනිශ්චයකාරයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ ගැන සැලකීම, එසේම  අපගේ හෘදයසාක්ෂියේ විනිශ්චයකරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේට පමණක් ගරුබිය දැක්විය යුතු බව,  උන් වහන්සේ කිසි අන්දමකින් හෝ සමච්චලයට ලක් කළ නොහැකි බව, ගැලවීම ලැබීම උදෙසා මිනිසුන් රැවටීම මගින් ඔහුට ප්‍රයෝජන ගත නොහැකි බව වටහා ගැනීම, අවංක ඇදහිල්ලක් හා යහපත් නිර්මල ගුණාංගයක් වේ.

එසේ නම් අපත් ඒ හා සමාන මාර්ගයේ ගමන් කරන්නෙමු නම්, අපිද දෙවියන් වහන්සේට කැපවී භක්තියෙන් යුක්තව ජීවත් වෙමු. එනම් පෞරාණික සහ ශුද්ධ වූ, ධර්මිෂ්ඨ අයගෙන් වූ, එම ආකාරයේම ඔප්පු වන දඬුවම් තුළින් අපිත් ගමන් කරමු. ඒ ආකාරයේම දුක් විඳීම් පිළිබඳ සාක්ෂි තුළින් ගමන් කරමු. මේ මගින් අපගේ කාලයේ මහිමය වඩා මහත් බව සලකා බලමු. ඔබේ උදාහරණ ගණන් කර ඇත, පසුකාලීනව ගුණවත්කම හා ඇදහිල්ල බහුල වන හෙයින්, එළිදරව් පොතෙහි සාක්ෂි දරමින් මෙසේ පවසයි: “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත‍්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැලඳ, තමුන්ගේ අත්වල තාල පත‍්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි; ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන් වහන්සේටත් බැටළු පැටවාණන්ටත් ගැලවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථා කොට: සුදු සළු පැලඳ සිටින මොවුහු කවුරුද? කොතැනින් ආවෝදැයි මාගෙන් ඇසුවේය. මමද: මාගේ ස්වාමිනි, ඔබ දන්නෙහි යයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොවුහු මහත් පීඩා මැදින් එන්නෝය, ඔවුහු තමුන්ගේ සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. එබැවින් ඔවුහු දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති; උන් වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන් වහන්සේට සේවය කරති. සිංහාසනයෙහි වැඩහිඳින තැනන් වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහන සේක.”[82] එහෙත් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ එක් රුස්වල කල ඔවුන්ගේ ගණන එතරම් විශාල බව පෙන්නුම් වී, ඔප්පු වී ඇත්නම්, ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ සංඛ්‍යාව ගණන් කළ නොහැකි බව දුටු විට, ප්‍රාණ පරිත්‍යාගිවරයෙකු වීම දුෂ්කර හෝ අපහසු යැයි කිසිවෙකු විසින් නොසිතිය යුතුය.

XII. මෙම කාලයේ ගැටුම් හා දුක් වේදනාවලින් පසුව ධර්මිෂ්ඨ අයට සහ ප්‍රාණ පරිත්‍යාගී වූවන්ට ඇති බලාපොරොත්තුව සහ විපාකය කුමක්ද?

ශුද්ධාත්මයාණන් වහන්සේ සලමොන් තුළින් මෙය පෙන්වමින් පුරෝකථනය කරමින් මෙසේ පවසන සේක: “මිනිසුන් ඉදිරියෙහි ඔවුන් වධ හිංසාවලට ලක් වුවද, ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීයභාවයෙන් පිරී තිබේ. බොහෝ කාරණාවලින් කිහිපයකදී පමණක් ඔවුන් පීඩා විඳ ඇති ඔවුන් ඉතා මහත් විපාක ලබන ඇත. මන්ද දෙවියන් වහන්සේ ඔවුන් පරීක්ෂා කර, ඔවුන් උන් වහන්සේට සුදුසු අය බවට දැනගත් බැවිනි. උදුනේදී රත්තරන් පරීක්ෂාවට ලක් වන්නා සේ උන් වහන්සේ ඔවුන් තහවුරු කොට ඔප්පු කරගෙන ඇත. සමූල ඝාතනයේ ගොදුරක් වූ ඔහු උන් වහන්සේගෙන් ඒවා ලබාගෙන ඇත. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ගෞරවය ලැබෙනු ඇත. ඔවුහු ජාතීන් විනිශ්චය කොට සෙනඟ පාලනය කරන්නෝය. ඔවුන්ගේ ස්වාමින් වහන්සේ සදහටම රජකම් කරන සේක.”[83] එලෙසම එම පොතෙහිම අපගේ නිර්දෝෂීභාවයද විස්තර කර ඇත. එසේම අපට හිංසා පීඩා කරන හා හිරිහැර කරන අයගේ පසුතැවිල්ල ගැනද ප්‍රකාශයට පත් කර ඇත. ඔහු මෙසේ පවසයි: “එවිට තමන්ට පීඩා කළ තැනැත්තාටද, තමන්ගේ දුක වේදනාව ගැන නොසැලකූ අයටද විරුද්ධව, නිර්භීතව මුහුණපෑමට ධර්මිෂ්ඨයා නැගිටිනු ඇත. ධර්මිෂ්ඨයා බලාපොරොත්තු නොවූ ලෙස ගැලවී ඇති බව ඒ අය දැක මවිත වී ඔහු ඉදිරියෙහි බියසුල්ලන් මෙන් වෙවුලන්නෝය. කනගාටුවෙන් මිරිකී සුසුම්ලමින්ද, හිත් වේදනාවෙන්ද, ඔවුන් එකිනෙකාට මෙසේ කියනු ඇත. කලක් අප සිනහ වූයේ මොහු ගැනය. අපේ ඇනුම් පදවලට ගොදුරු වූයේ මොහුය. අපි කෙතරම් අනුවණයෝද? අප ඔහුගේ ජීවිතය සැලකුවේ පිස්සුවක් ලෙසය. දෙවියන් වහන්සේගේ පුත්‍රයකු මෙන් ඔහු ගණන් ගනු ලැබූයේ කෙසේද? ශුද්ධවන්තයන් අතර තැනක් ලැබූයේ කෙසේද? අපි නම් ඇත්තටම සත්‍යයේ මාර්ගයෙන් මං මුළා වී ගියෙමු. යුක්තියේ ආලෝකය අප කෙරෙහි නොබැබළිණි. කිසි දිනක අප මත ඉර උදා නොවූයේය. නීති විරෝධී වූ ද, විනාශකාරී වූ ද මාවත් සියල්ලකම අපි ගමන් කළෙමු. පාරක් තොටක් නැති මරු කතරක් හරහා අපි ගියෙමු. එහෙත් අපි කිසිදා සමිඳුන් නුදුටුවෙමු. අපි අහංකාර වුයෙමු. ඉන් අප ලබාගත් වාසිය කිමෙක්ද? සම්පත හා පාරට්ටුව අපට තිබිණි. ඒවායින් අපට ලැබුණේ කිමෙක්ද? ඒවා සියල්ලම ගෙවී යන සෙවනැල්ලක් මෙන් ද නැතිවී යන දූෂමාන ආරංචියක් මෙන් ද අතුරුදහන් වී ඇත.”[84] දුක් විඳීමේ මිල හා විපාකය 116 වන ගීතිකාවේද සඳහන් වී ඇත. එහි මෙසේ සඳහන් වේ: “ස්වාමින්ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන් වහන්සේ ඉදිරියෙහි අනර්ඝය.”[85] එලෙසම 125 වන ගීතිකාවේ ගැටුමේ දුක සහ ප්‍රතිවිපාකවල ප්‍රීතිය ප්‍රකාශ වේ. එහි මෙසේ සඳහන් වේ: “ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප‍්‍රීතියෙන් එන්නේය.”[86] නැවතත් 119 වන ගීතිකාවේ: නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. උන් වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන් වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.”[87] එලෙසම, ශුභාරංචියේ ස්වාමින් වහන්සේ, අපගේ පීඩාවලට පළිගන්නා සහ දුක් විඳීමට විපාක දෙන තැනැන් වහන්සේ, මෙසේ පවසන සේක: “ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.”[88] එසේම නැවතත් මෙසේ දක්වා ඇත: “මනුෂ්‍ය පුත‍්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛර කරන කලද තමුන්ගේ සමාගමෙන් නුඹලා වෙන් කර, නුඹලාට නින්දා කර, නුඹලාගේ නාමය නපුරු යයි පහකරන කලද නුඹලා ආශිර්වාද ලද්දෝය. ඒ දවසේදී ප‍්‍රීති වෙන්න, ප‍්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය.”[89] නැවතත් මෙසේ ලියා ඇත: “මක්නිසාද තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමති අයට එය නැති වේ; නුමුත් මා නිසා තමාගේ ජීවිතය නැති කරගන්න අය එය ගලවාගන්නේය.”[90] දිව්‍යමය පොරොන්දුවේ විපාක ඇත්තේ පීඩා විඳින්නන්ට සහ මරණයට පත් වූ අයට පමණක් නොවේ. එහෙත්, දුක් විඳීමේදී විශ්වාසවන්ත වීමට අවශ්‍ය අයට, දුක් විඳීම්වලදී ඇදහිල්ල යහපත් ලෙස පැවති සහ පරාජයට පත් නොවන අයට, එසේම ඔහුගේ සියලු දේපළ අත්හැර දමා ක්‍රිස්තුස් වහන්සේ නොකඩවම අනුගමනය කරන අයට, යන මේ අය ප්‍රාණ පරිත්‍යාගී වූ අය මධ්‍යයේ ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වනු ඇත. උන් වහන්සේම මේ පිළිබඳ පොරොන්දු වෙමින් මෙසේ පවසන සේක: “සැබවක් නුඹලාට කියමි-දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිසා ගෙය හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමවුපියන් හෝ දරුවන් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, මේ කාලයේදී ඊට බොහෝ වැඩියෙන්ද පරලොවදී සදාකාල ජීවනයද නොලැබ නොසිටින්නේ යයි කී සේක.”[91] ඒ ආකාරයෙන්ම, එළිදරව් පොතේ මේ කාරණයම උන් වහන්සේ පවසන සේක: “තවද යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන් වහන්සේගේ වචනය නිසාද හිස් කපා දමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔවුහු ජීවත්ව ක්‍රිස්තුස් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළෝය.”[92] ඝාතනයට ලක් වූ අය පමණක් නොව, තමන්ගේ ඇදහිල්ලේ ස්ථීරව හා දෙවියන් වහන්සේට ගරුබිය ඇතිව සිටින ඕනෑම අයෙකු, මෘගයාගේ රූපයට නමස්කාර නොකළාවූ අය සහ ඔහුගේ මාරාන්තික පූජනීය නියෝග නොපිළිපැද්දාවූ සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවත් වන අතර, උන් වහන්සේ සමග රජකම් කරනු ලබන බව උන් වහන්සේ පවසන සේක.

XIII. මේ ලෝකයේදී අපට විඳ දරාගැනීමට තිබෙන දුක් විඳීම්වලට වඩා අපට මහත් වූ විපාකයක් ලැබෙන්නේය. ආශිර්වාද ලත් ප්‍රේරිත පාවුල් තුමා මෙය සනාථ කරයි. ඔහු දිව්‍යමය කැමත්ත ප්‍රකාරයට තුන්වන ස්වර්ගයට හා පාරාදීසයට පවා ගෙන යනු ලැබූ විට, තමාගේ කටින් කිව නොහැකි වචන ඇසුණු බවට සාක්ෂි දරයි. දෘශ්‍යමය වූ ඇදහිල්ලක් මගින් ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුටු බවට ප්‍රකාශ කරන්නේය. ඔහු වඩා මහත් වූ හෘදයසාක්ෂියක් ඇතිව සත්‍යය ඉගෙනගෙන එය දුටුවේය. ඔහු මෙසේ පවසයි: මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටී යයි සිතමි.[93] එසේ නම්, දෙවියන් වහන්සේගේ මිතුරෙකු වීම පිණිස, ක්‍රිස්තුස් වහන්සේ සමග එක් වරම ප්‍රීති වීම පිණිස, භූමික වධ හිංසාවලට හා දඬුවම්වලින් පසු දිව්‍යමය විපාක ලැබීම පිණිස, එවන් වූ ආකාරයට මහිමයකට පැමිණීම පිණිස මහත් වෙහෙසකින් උත්සාහ නොකරන්නේ කවුරුන්ද? මේ ලෝකයේ සොල්දාදුවන් සතුරා පරාජය කිරීමෙන් පසුව තම මව්බිම වෙත ජයග්‍රාහකයින් ලෙස නැවත පැමිණීම මහිමාන්විත කාරණයක් වන්නේ නම්, යක්ෂයා පරාජය කිරීමෙන් පසුව, කලින් අප රැවටීමට හසු කරගෙන සිටි සතුරා පහත හෙළීමෙන් සහ පහත් කිරීමෙන් පසුව, ආදම් නමැති පව්කාරයා කෙරෙන් පැහැර ගන්නා ලද ජයග්‍රහණයේ කුසලාන ගෙන ඒමට ලැබීම, ජයග්‍රාහී ලෙස ස්වර්ගයට ආපසු යාම කරණකොටගෙන ලැබෙන මහිමය එයට වඩා කෙතරම් මහත් සහ උතුම් මහිමයක් වන්නේද? ස්වාමින් වහන්සේ වෙත පිළිගත හැකි ත්‍යාග ලෙස දූෂිත නොවූ ඇදහිල්ල, නොසෙලවෙන මනසෙහි භක්තිය සහ භක්තිමත් ලෙස ප්‍රදර්ශනය වන ප්‍රශංසාව සමගින් උන් වහන්සේ හමු වීම කෙතරම් මහිමයක්ද? උන් වහන්සේ තමන් වහන්සේගේ සතුරන්ගෙන් පළිගැනීමට පැමිණීමට පටන් ගන්නා විට, උන් වහන්සේ සමග පැමිණීමට, උන් වහන්සේ විනිශ්චය කිරීම උදෙසා අසුන් ගන්නා විට උන් වහන්සේගේ පැත්තකින් සිටගෙන සිටීමට, ක්‍රිස්තුස් වහන්සේගේ සමග හවුල් උරුමක්කාරයා වීමට, දේවදූතයන් හා සමග සමාන අය වීමට, ආදී පියවරුන් සමග, ප්‍රේරිතයන් සමග සහ දිවැසිවරුන් සමග ස්වර්ග රාජ්‍යයෙහි හිඳිමින් ප්‍රීති වීමට හැකි වීම කෙතරම් මහත් සහ උතුම් මහිමයක් වන්නේද? මෙම සිතුවිලි ජයගත හැකි පීඩාවන් මොනවාද? එම සිතුවිලි ජයගත හැක්කේ කුමන වධ වේදනාවලටද? ආගමික භාවනා මත පදනම් වූ නිර්භීත හා ස්ථාවර මනස සියල්ල විඳ දරාගෙන නොනැසී පවතියි. එසේම යක්ෂයාගේ සියලු භීෂණයන්ට හා ලෝකයේ තර්ජනයන්ට එරෙහිව නොනවත්වාම ආත්මය රැඳී සිටියි. එමෙන්ම එයින් නිසැක සහ ශක්තිමත් ඇදහිල්ල අනාගතයේ ශක්තිමත් වෙයි. පීඩා කාලවලදී දේශයන් වසා දමා ඇත, එහෙත් ස්වර්ගය විවර වී ඇත; අන්ත ක්‍රිස්තුස් තර්ජනය කරන අතර, ක්‍රිස්තුස් වහන්සේ ආරක්ෂා කරන සේක; මරණය පැමිණෙයි, එහෙත් පසුව අමරණීයභාවය ඇති වේ; මරණයට පත් කළ තැනැත්තාගෙන් ලෝකය උදුරා ගනු ලැබේ, එහෙත් ප්‍රතිස්ථාපනය කරන ලද තැනැත්තාට පාරාදීසය ප්‍රදර්ශනය වේ; තාවකාලික ජීවිතය නිවා දමනු ලැබ අවසන් වේ, එහෙත් සදාකාලිකත්වය ප්‍රදර්ශනය කෙරේ. එම නිසා දුෂ්කරතා සහ පීඩාවන් මධ්‍යයේ තේජාන්විතව ඉදිරියට ගමන් කිරීම කෙතරම් ගෞරවයක්ද වන්නේද, කෙතරම් සතුටක් වන්නේද? මිනිසුන් සහ ලෝකය දුටු දෑස්, ඇසි පිය හෙළන ක්ෂණයකින්, ඇස් පියාගෙන එය ක්ෂණයකින් විවර කරන කල, දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ දකින්නට ලැබීම කෙතරම් ගෞරවයක්ද වන්නේද, කෙතරම් සතුටක් වන්නේද? එවන් වූ ඉවත්ව යාමක ඇති සතුට කෙතරම් වේගවත්ද! ඔබ ස්වර්ග රාජ්‍යයට සිටින පිණිස ඔබ හදිසියේම පොළොවෙන් ඉවත් කරනු ලැබේ. මේ කාරණා ඔබේ මනසින් හා චින්තනයෙන් වටහාගත යුතුය; මෙම කාරණා ඔබ දිවා රෑ මෙනෙහි කළ යුතුය. එවැනි වූ දෙවියන් වහන්සේගේ හේවායෙකුට එම පීඩාවන් පැමිණේ නම්, යුද්ධයට සූදානම් වූ ගුණවත්කම කරණකොටගෙන මිස ජයගත නොහැකිය. නැතහොත් කල්තියාම කැඳවීම් පැමිණේ නම්, ප්‍රාණ පරිත්‍යාගී වීම උදෙසා සූදානම් කරන ලද ඇදහිල්ලට එහි විපාකය නොලැබී නොයනු ඇත. විනිශ්චයකාරයාණන් වහන්සේ ලෙස දෙවියන් වහන්සේ සමඟ කාලය නැති නොවී විපාකය ලැබෙනු ඇත; පීඩා කාලවලදී පක්ෂපාතී හමුදා සේවය, සාමයේ කාලයේදී හෘදයසාක්ෂියේ පාරිශුද්ධභාවය ඔටුනු දිනා ගනු ඇත.

 


[1] ෆෝචුනේටස් යන නම සහිත ටකාහි බිෂොප්වරයෙකු පිළිබඳ කාතේජ් මන්ත්‍රණ සභාවෙහි (256) සඳහන් කර ඇත.

[2] තාරකා විද්‍යාත්මක පිළිම මිනිසා විසින් මුලින්ම පිළිගන්නා ලද ඒවා ලෙස පෙනෙන්නට ඇත(යොමුව. යෝබ් 31.27). එහෙත් ආත්මය ඉතා ඉක්මනින් පහත් ස්වරූපයන් දක්වා පිරිහිණි (යොමුව. රෝම 1.21,23).

[3] ගීතා. 134 (5).15-18.

[4] සලමොන්ගේ ප්‍රඥාව 15. 15-17.

[5] නික්මයාම. 20.4.

[6] යොමුව. සලමොන්ගේ ප්‍රඥාව 13. 14.

[7] ද්වි. 6.13.

[8] නික්මයාම. 20.3.

[9] ද්වි. 32.39.

[10] එළිදරව් 14.6,7.

[11] මාක් 12.29.

[12] යොමුව. මාක් 12.29; මතෙ. 22.37-40.

[13] යොහන් 17.3.

[14] නික්මයාම. 22.20.

[15] ද්වි. 32. 17.

[16] යෙසා. 2.8,9

[17] යෙසා. 57.6.

[18] යෙරෙ. 25.6.

[19] එළිදරව් 14. 9-11.

[20] නික්මයාම. 32.31 – 33.

[21] යෙරෙ. 11.14.

[22] එසකියෙල් 14.12-14.

[23] 1 සාමුවෙල්. 2.25.

[24] යොමුව. ද්වි. 13. 6-10.

[25] යොමුව. ද්වි. 13.12-18.

[26] යොමුව. 1 මකබිවරු. 2.24.

[27] මතෙව් 10.32-33

[28] 2 තිමෝ. 2.11.

[29] 1 යොහන් 2.23.

[30] මතෙ. 10.28.

[31] යොහන් 12. 25

[32] මතෙ. 10.37,38

[33] යොමුව. ද්වි. 33.9.

[34] රෝම. 8.35-37.

[35] 1 කොරි. 6.19,20

[36] 2 කොරි. 5.15.

[37] නික්මයාම. 14.11-14.

[38] ලූක් 9.62.

[39] ලූක් 17.31,32.

[40] ලූක් 14.33.

[41] යොමුව. පැරලිපොමිනන් 15.2.

[42] එසකියෙල් 33.12.

[43] මතෙ. 10.22.

[44] යොහන් 8.31,32.

[45] ලූක් 12.35, 37.

[46] 1 කොරි. 9.24,25

[47] යොමුව. 2 තිමෝ. 2.4,5

[48] රෝම. 12.1,2.

[49] රෝම. 8.16,17.

[50] එළිදරව් 3.11.

[51] යොමුව. නික්මයාම. 17.11-14.

[52] ද්වි. 13.3.

[53] සිරාක් 27.6.

[54] රෝම. 5.2-5

[55] යොමුව. 1 පේදුරු 4.12-14.

[56] 1 යොහන් 4.4.

[57] ගීතා. 118.6,7

[58] ගීතා. 20.8,9

[59] ගීතා. 27.3,4.

[60] නික්මයාම. 1.12.

[61] එළිදරව් 2.10.

[62] යෙසා. 43.1-3.

[63] මතෙ. 10.19,20

[64] ලූක් 21.14,15.

[65] නික්මයාම. 4.11,12.

[66] යොහන් 15.18-20.

[67] යොහන් 16.2-4.

[68] යොහන් 16. 20

[69] යොහන් 16.33.

[70] මතෙ. 24.4-31.

[71] දානි. 3.16-18.

[72] යොමුව. දානි. 14.4.

[73] යොමුව. ටොබ්. 13.7.

[74] මෙහිදී මව යන්න කතෝලික සභාවට (Ecclesia Catholica) යන්නට දක්වා ඇත.

[75] මතෙව් 23.9.

[76] 2 මකබිවරු. 7.9.

[77] 2 මකබිවරු. 7.14

[78] 2 මකබිවරු. 7.16,17.

[79] 2 මකබිවරු. 7.18,19.

[80] 2 මකබිවරු. 7. 27 – 29.

[81] 2 මකබිවරු. 6.30.

[82] එළිදරව් 7.9,10,13-15.

[83] සලමොන්ගේ ප්‍රඥාව 3.4-6,8.

[84] සලමොන්ගේ ප්‍රඥාව 5.1-9.

[85] ගීතා. 116.15.

[86] යොමුව. ගීතා. 125.5,6

[87] ගීතා. 119.1,2.

[88] මතෙ. 5. 10.

[89] ලූක් 6.22,23.

[90] ලූක් 9.24.

[91] ලූක් 18.29,30.

[92] යොමුව. එළිදරව් 20.4. 

[93] රෝම 8.18