Ambrose of Milan, On the Mysteries, in Sinhala.
හැඳින්වීම.
බෞතීස්ම වීමට නියමිත අයගේ ප්රයෝජනය සඳහා එම සක්රමේන්තුවේ චාරිත්ර හා අර්ථය මෙන්ම ස්ථිර කිරීම සහ ශුද්ධ වූ සත්ප්රසාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම තම අරමුණ බව ලේඛකයා මෙම නිබන්ධනය ආරම්භයේදීම පැහැදිලි කරයි. මන්ද, අන්යජාතිකයන් විසින් කෙළෙසනු ඇතැයි යන බිය නිසා, මුල් සභාවේ මෙම සියලු කාරණා මහත් වූ භක්තියෙන් සලකනු ලැබිණි. එසේම යෙරුසලමේ ශාන්ත සිරිල්ගේ සුප්රසිද්ධ සක්රමේන්තු පිළිබඳ දේශනවන් මෙන්, චතාරික සමයේ අවසාන භාගයේදී නවක ඇදහිලිවන්තයින්ට ඒවා පැහැදිලි කිරීම සිරිතක් විය.
මේ ආකාරයේ නිබන්ධන මහත් වැදගත්කමක් උසුලයි. එයට හේතුව ඒවායෙහි අපගේ කාලය දක්වා පැවත එන සභාවේ සම්පූර්ණ ඉගැන්වීම පැහැදිලිව සඳහන් කර ඇති බව අපට පෙනෙන නිසාය.
ශාන්ත ඇම්බ්රෝස් ඒවායින් වැඩි කොටස පැහැදිලි කර දෙයි. බෞතීස්ම වන අවස්ථාවේදී සාමාන්යයෙන් සිදු කරනු ලබන මෙම බාහිර චාරිත්රවලට යටින් පවතින ගැඹුරු සත්යයන් සහ අබිරහස් පෙන්වා දෙමින් එම චාරිත්රවලින් පළමුවැන්න වන බෞතීස්මය පැහැදිලි කරයි. ඉන්පසුව ඔහු ස්ථිර කිරීම පීලබඳ දක්වමින්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා හත ගැන සඳහන් කරයි; එසේම අවසාන වශයෙන්, විශේෂයෙන්ම සැබෑ අබිමුඛය පිළිබඳ මූලධර්මය ඉදිරිපත් කරමින් ශුද්ධ වූ දිව්ය සත්ප්රසාදය ගැන කතා කරයි.
දහසයවන සියවසේ සහ ඉන්පසුව ඇතැම් ලේඛකයින් මෙම නිබන්ධනය ශාන්ත ඇම්බ්රෝස්ට ව්යාජ ලෙස ආරෝපණය කර ඇති බව ඔප්පු කිරීමට උත්සාහ කර ඇත, එසේ වූවත්, බෙනඩික්ටයින් සංස්කාරකවරුන් නිශ්චිත ලෙසම පෙන්වා දී ඇති පරිදි සහ මේ වන විට විශ්වීය වශයෙන් පිළිගෙන ඇති පරිදි, මෙම නිබන්ධනය ඇම්බ්රෝස් ලියූ බවට සැකයක් නැත. මෙම නිබන්ධනය චතාරික සමයේදී භාවිත කිරීම උදෙසා රචනා කර ඇතත්, එය රචනා කරන ලද්දේ කුමන වසරේද යන්න නොදනී. ඩි පැට්රියාර්කිස් නිබන්ධනයට කරන ලද යොමුව මගින්, සමහර විට, එය ක්රි.ව. 387 පමණ බව දැක්විය හැකිය.
1 වන පරිච්ඡේදය
ශුද්ධ ජීවිතය පිළිබඳ ඔහු දැනටමත් ලබා දී ඇති පැහැදිලි කිරීම්වලින් අනතුරුව, මෙහිදී ඔහු අබිරහස් පැහැදිලි කරන බව ශාන්ත ඇම්බ්රෝස් ප්රකාශ කරයි. ඉන්පසුව මීට පෙර ඒවා පැහැදිලි නොකිරීමට හේතු දැක්වීමෙන් පසුව, ඔහු කන් විවෘත කිරීමේ අබිරහස පැහැදිලි කරන අතර, මෙය පුරාණ කාලයේ ක්රිස්තුස් වහන්සේ විසින්ම සිදු කරන ලද ආකාරය පෙන්වා දෙයි.
1. ආදි පීතෘවරුන්ගේ ක්රියාවන් හෝ හිතෝපදේශවල ශික්ෂා පද කියවන විට, අපි දිනපතා සදාචාරයට සම්බන්ධ විෂයයන් ගැන කතා කර ඇත්තෙමු. එසේ කළේ ඔබට ඒවායින් ඉගෙනගෙන උපදෙස් ලබා ගැනීමෙන්, පුරාණයේ ජීවත් වූ අයගේ මාර්ගවලට ඇතුළු වී ඔවුන්ගේ මාර්ගවල ගමන් කිරීමට සහ දිව්යමය ආඥාවලට කීකරු වීමට පුරුදු විය හැකි වන පිණිසය. එසේ කිරීමෙන් බෞතීස්මයෙන් නැවතත් අලුත් කරනු ලැබ, සෝදනු ලැබූ අයට ගැළපෙන ජීවන රටාවට යොමු වී සිටිය හැකි වන පිණිසය.
2. මෙම කාලය අපට අනතුරු අඟවන්නේ අබිරහස් ගැන කතා කිරීමට සහ සක්රමේන්තුවල අරමුණ පැහැදිලි කිරීමටයි. බෞතීස්ම වීමට පෙර තවමත් මෙම ගමන ආරම්භ නොකළ අයට ඉගැන්වීමට අප සිතුවේ නම්, අබිරහස් නිරූපණය කිරීමට වඩා අප ඒවා පාවා දුන් අය ලෙස සැලකිය යුතුය. ඊට අමතරව, තවත් හේතුවක් නම්, අබිරහස්වල ආලෝකය ඒවා කුමක්දැයි නොදන්නා අය කෙරෙහි, කිසියම් කතිකාවක් කලින් පැමිණ තිබුණාට වඩා වැඩි බලපෑමක් ඇති කරමින් වැගිරෙනු ඇති බැවිනි.
3. එබැවින්, ඔබේ කන් විවෘත කර, සක්රමේන්තුවල කරුණා අනුග්රහයෙන් ඔබ මත හෙළන ලද සදාකාල ජීවනයේ හුස්මෙහි යහපත් සුවඳ ආශ්වාස කරන්න; එසේ විවෘත කිරීමේ අබිරහස සමරමින්, අපි, එප්පාතා, එනම්, විවෘත වේවා, මාර්ක් 7:34 යනුවෙන් පවසමින් ඔබට සංකේතවත් කර දැක්වූවෙමු. එසේ කළේ සාමය සොයා එන ඕනෑම කෙනෙකුට තමාගෙන් ඉල්ලා සිටි දේ දැන ගැනීමටත් , ඔහු පිළිතුරු දුන් දේ මතක තබා ගැනීමටත් බැඳී සිටින බව දැනගන්නා පිණිසය.
4. ක්රිස්තුස් වහන්සේ මෙම අබිරහස ශුභාරංචියේ භාවිත කළ සේක. අපි එය බිහිරි සහ ගොළු වූ තැනැත්තා සුව කළ අවස්ථාවේදී කියවමු. එහෙත් උන් වහන්සේ මුඛය ස්පර්ශ කළේ, සුවය ලැබූ තැනැත්තා ගොළු කෙනෙකු වූ නිසාත් ඔහු පුරුෂයෙකු වූ නිසාත්ය. එක් හේතුවක් වූයේ, ඔහුට ලබා දුන් හඬේ ශබ්දය සමග ඔහුගේ මුඛය විවෘත කිරීමටය; අනෙක් හේතුව නම්, එම ස්පර්ශය පුරුෂයෙකු කෙරෙහි සුදුසු යයි පෙනුණද, කාන්තාවකට එය නුසුදුසු වීමට ඉඩ තිබුණු බැවිනි.
2 වන පරිච්ඡේදය
සභාවට ඇතුළු වන විට පැවිදි වීමට නියමිතව සිටි අය පොරොන්දු වූ දේ, එම පොරොන්දුවලට සාක්ෂිකරුවන් වන අය සහ ඔවුන් නැගෙනහිර දෙසට හැරුණේ මන්ද යන්න පිළිබඳ.
5. මෙයින් පසුව අතිශුද්ධස්ථානය ඔබට විවෘත කරන ලදී, ඔබ පුනර්ජීවනයේ අභයභූමියට ඇතුළු වුණෙහුය; ඔබෙන් අසන ලද දේ නැවත මතක් කර ගන්න, එසේම ඔබ පිළිතුරු ලෙස කී දේ මතක තබා ගන්න. ඔබ යක්ෂයා සහ ඔහුගේ ක්රියාවන්, ලෝකය සහ එහි සුඛෝපභෝගීත්වය ඇතුළු සැප සම්පත් අත්හැරියෙහුය. ඔබගේ එම ප්රකාශය මළවුන්ගේ සොහොන් ගෙවල්වල නොව ජීවමාන අයගේ පොතේ සංරක්ෂණය කර ඇත.
6. ඔබ එහි උපස්ථායකයා දුටුවෙහුය, ඔබ එහි පූජකයා දුටුවෙහිය, ඔබ ප්රධාන පූජකයා [එනම් රදගුරුවරයා] දුටුවෙහුය. ඒ ශාරීරික ස්වරූපයන් නොව, අබිරහස්වල කරුණා අනුග්රහයෙන් බව සලකන්න. ඔබ දේවදූතයන් අබිමුඛයෙහි කතා කළෙහුය, ලියා ඇති පරිදි එය මෙසේය: මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන් වහන්සේගේ පණිවිඩකාරයෙක්ය. මලාකි 2:7 එහි රැවටීමට හෝ ප්රතික්ෂේප කිරීමට තැනක් නැත. ඔහු ක්රිස්තුස් වහන්සේගේ රාජ්යය සහ සදාකාල ජීවනය ප්රකාශ කරන දේවදූතයෙකි. ඔබ ඔහු අගය කළ යුත්තේ ඔහුගේ පෙනුම අනුව නොව, ඔහුගේ තනතුරට අනුවය. ඔහු ලබා දුන් දේ සලකා බලන්න, ඔහු ඔබට දුන් ජීවිතයේ පාලන නීති මෙනෙහි කරන්න, ඔහුගේ ස්ථානය, තත්වය හඳුනා ගන්න.
7. එවිට ඔබ ඔබගේ විරුද්ධවාදියා, ඔහුගේ මුහුණටම ප්රතික්ෂේප කළ යුතු බව දැන ගැනීමට පිණිස ඇතුළු වී සිටින්නෙහුය. ඉන්පසුය ඔබ නැගෙනහිර දෙසට හැරුණෙහුය; මන්ද යක්ෂයා ප්රතික්ෂේප කරන තැනැත්තා ක්රිස්තුස් වහන්සේ දෙසට හැරී උන් වහන්සේ මුහුණට මුහුණ දකින බැවිනි.
3 වන පරිච්ඡේදය
ශාන්ත ඇම්බ්රෝස් අප ජලයේ දිව්යමය අබිමුඛය සහ වැඩ කිරීම මෙන්ම පූජනීය දේවසේවකයන් සලකා බැලිය යුතු බවත් පෙන්වා දෙන්නේය. ඉන්පසුව බෞතීස්මය පිළිබඳ බොහෝ පැරණි ගිවිසුමේ රූපක ඉදිරිපත් කරන්නේය.
8. ඔබ දුටුවේ කුමක්ද? නිසැකවම ජලයයි, එහෙත් ජලය පමණක් නොවේ; ඔබ උපස්ථායකයන් එහි සේවය කරන ආකාරය සහ රදගුරුවරයා ප්රශ්න අසමින් හා ආශීර්වාද කරමින් සිටිනු ඔබ දුටුවෙහුය. පළමුවෙන්ම, අපෝස්තුළුවරයා ඔබට ඉගැන්වූයේ අප දකින දේවල් නොව අපට නොපෙනෙන දේවල් සලකා බැලිය යුතු බවයි, මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය. 2 කොරින්ති 4:18 ඔබ වෙනත් ස්ථානයක මෙසේ කියවා ඇත: මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය. රෝම 1:20 එබැවින් ස්වාමින් වහන්සේම මෙසේ පවසන සේක: නුඹලා මා විශ්වාස නොකරතත්, අවම වශයෙන් ක්රියා විශ්වාස කරන්න. යොහන් 10:38 එසේ නම්, දේවත්වයේ අබිමුඛය එහි ඇති බවට විශ්වාස කරන්න. ඔබ ක්රියා කිරීම විශ්වාස කර, එහෙත් අබිමුඛය විශ්වාස කරන්නේ නැද්ද? අබිමුඛය ඉදිරියෙන් ගියහොත් මිස ක්රියා කිරීම සිදු වන්නේ කොහෙන්ද?
9. කෙසේ වෙතත්, ලෝකයේ ආරම්භයේදී පවා කලින්ම රූපයක් ලෙස දක්වන ලද අබිරහස කෙතරම් පැරණිද යන්න සලකා බලන්න. ආරම්භයේදීම, දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ විට, ආත්මයාණන් වහන්සේ ජලය මත හැසිරෙමින් සිටි බව කියනු ලැබේ. උත්පත්ති 1:2 ජලය මත හැසිරෙමින් සිටි එම තැනැන් වහන්සේ, ජලය මත ක්රියා නොකළ සේක්ද? එහෙත් මා ක්රියා කරමින් යනුවෙන් පැවසිය යුතු මන්ද? උන් වහන්සේගේ අබිමුඛය සම්බන්ධයෙන් උන් වහන්සේ හැසිරෙමින් සිටි සේක. හැසිරෙමින් සිටි තැනැන් වහන්සේ ක්රියා කරමින් නොසිටි සේක්ද? අනාගතවක්තෘවරයා පහත කාරණය පවසන කල, උන් වහන්සේ ලෝකය නිර්මාණය කිරීමේදී උන් වහන්සේ ක්රියා කරමින් සිටි බව හඳුනා ගන්න: ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය. සෑම ප්රකාශයක්ම අනාගතවක්තෘවරයාගේ සාක්ෂිය මත රඳා පවතියි. එනම් උන් වහන්සේ හැසිරෙමින් සිටි බව සහ උන් වහන්සේ ක්රියා කරමින් සිටි බව යන ප්රකාශ දෙකම එසේ වේ. මෝසෙස් පවසන්නේ උන් වහන්සේ හැසිරෙමින් සිටි බවය, දාවිත් සාක්ෂි දෙන්නේ උන් වහන්සේ ක්රියා කරමින් සිටි බවය.
10. තවත් සාක්ෂියක් බලන්න. සියලු මාංසය එහි අයුතුකම් නිසා දූෂිත වී ඇත. ස්වාමීන්වහන්සේද: මාගේ ආත්මය මනුෂ්යයා හා සමග සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. උත්පත්ති 6:3 ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්රහය මාංසමය අපිරිසිදුකම සහ බරපතල පාපයේ දූෂණය මගින් ඉවතට හරවන බව දෙවියන් වහන්සේ පෙන්වා දෙන සේක. ඒ මත, දෙවියන් වහන්සේ, අඩුව තිබුණු දේ නැවත ලබා දීමට කැමතිව, ගංවතුර යවා නෝවාට පමණක් නැවට නැගීමට අණ කළ සේක. ගංවතුර පහව යන කල, ඔහු මුලින්ම කපුටෙකු පිටතට යැවීය. ඌ ආපසු නොපැමිණියේය. පසුව පරෙවියෙකු යවන ලදුව ඌ ඔලිව් අත්තක් සමග ආපසු පැමිණියේය. ඔබ ජලය දකින්නෙහුය. ඔබ [නැවේ] ලී දකින්නෙහුය, ඔබ පරෙවියා දකින්නෙහුය, එසේ නම් ඔබ අබිරහස ගැන පැකිළී පසුබට වන්නෙහිද?
11. එසේ නම්, ජලය යනු මාංසය ගිල්වන ලද දෙයයි, එසේ කිරීමෙන් සියලුම ලෞකික පාපයන් සෝදා හරිනු ලැබේ. සියලුම දුෂ්ටකම් එහි වළ දමනු ලැබේ. අප වෙනුවෙන් දුක් වින්ද විට ස්වාමින් වන යේසුස් වහන්සේ සවි කරන ලද දැවය එයයි. පරෙවියා යනු, ඔබ නව ගිවිසුමේ කියවා ඇති පරිදි, ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ ස්වරූපයයි. උන් වහන්සේ ඔබ තුළ ආත්මයේ සාමය සහ මනසේ සන්සුන් බව ඇති කරන සේක. කපුටන් යනු පාපයේ රූපයයි. ඔබ තුළද අභ්යන්තරව සහ බාහිරව ධර්මිෂ්ඨකම ආරක්ෂා වුවහොත්, පාපය පිටතට ගොස් නැවත නොඑනු ඇත.
12. අපොස්තුළු තුමා අපට උගන්වන පරිදි තුන්වන සාක්ෂියක්ද ඇත: මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්, සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසෙස්ට බව්තීස්මකරනු ලැබූ බවත්ය. 1 කොරින්ති 10:1-2 තවද, මෝසෙස්ම ඔහුගේ ගීතයේ මෙසේ පවසයි: ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය. නික්මයාම 15:10 හෙබ්රෙව් කොටසෙහි පවා, ඊජිප්තු ජාතිකයින් මිය ගිය හෙබ්රෙව් ජාතිකයින් බේරුණු ශුද්ධ බව්තීස්මය පූර්ව නිරූපණය කර තිබෙනු ඔබ නිරීක්ෂණය කරන්නෙහුය. මන්ද, වරදකාරීත්වය ගිල දමනු ලැබ, වරද දුරු කර ඇති බවත්, එසේ වූවත් ගුණවත්කම සහ අහිංසකත්වයට හානියක් නොවී පවතින බවත් හැරුණුකොට මෙම සක්රමේන්තුව තුළ අපට දිනපතා උගන්වන්නේ වෙන කුමක්ද?
13. අපගේ පියවරුන් වලාකුළ යට සිටි බවත්, එය ලෞකික ආශාවන්ගේ උණුසුමෙන් සිසිල් කළ කරුණාවන්ත වලාකුළක් බවත් ඔබට අසන්නට ලැබේ. ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණ වසාගන්නා අය එම කරුණාවන්ත වලාකුළෙන් ආවරණය වේ. අවසානයේදී එය කන්යා මරියතුමිය මතට පැමිණි අතර, ඇය මනුෂ්ය වර්ගයා සඳහා වන මිදීම පිළිසිඳ ගත් විට, මහෝත්තමයාණන් වහන්සේගේ බලය ඇය වසාගත්තේය. ලූක් 1:35 එම ආශ්චර්යය මෝසෙස් තුළින් රූපයකින් පෙන්නුම් කරන ලදී. එසේ නම්, ආත්මයාණන් වහන්සේ රූපයේ සිටි සේක් නම්, උන් වහන්සේ යථාර්ථයේ නොසිටින සේක්ද? මන්ද ශුද්ධලියවිල්ල අපට මෙසේ පවසයි: මක්නිසාද ව්යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙන ලද්දේය; අනුග්රහයද සත්යයද පැමුණුණේ යේසුස් ක්රිස්තුස් වහන්සේ කරණකොටගෙනය. යොහන් 1:17
14. මාරා යනු ඉතා කටුක වතුර උල්පතක් විය: මෝසෙස් එයට ලීය දැමූ විට එම වතුර මිහිරි බවට පත් විය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ කුරුසිය දේශනා නොකර ජලය අනාගතයේ ගැලවීම සඳහා ප්රයෝජනයක් නැත. එසේ වූවත් එය ගැලවීමේ කුරුසියේ අබිරහස මගින් පවිත්ර කර කැප කළ පසුව, එය ආත්මික සෝදා හැරීම සහ ගැලවීමේ කුසලානය භාවිත කිරීමට සුදුසු වේ. එසේ නම්, මෝසෙස්, එනම් අනාගතවක්තෘවරයා, එම උල්පතට ලීය විසි කළ ආකාරයටම, පූජකයාද මෙම බෞතීස්මයේ ළිඳ මත ස්වාමින් වන්වහන්සේගේ කුරුසිය ප්රකාශ කරන අතර, කරුණා අනුග්රහයේ අරමුණ සඳහා ජලය මිහිරි බවට පත් කරනු ලැබේ.
15. එබැවින් ඔබ ඔබේ ශාරීරික ඇස් කෙරෙහි සම්පූර්ණයෙන්ම විශ්වාසය නොතැබිය යුතුය; නොපෙනෙන දේ වඩාත් සැබෑ ලෙස පෙනෙන්නේය. මන්ද දෘශ්යමාන දේ තාවකාලිකය, එහෙත් ඇසට හසු නොවන නමුත් මනසින් සහ ආත්මයෙන් වටහා ගත හැකි අදෘශ්යමාන දේ සදාකාලික දෙයයි.
16. අවසාන වශයෙන්, රජවරුන් මෑතකදී ඉගෙනගත් පාඩම්වලින් ඔබ ඉගෙන ගන්න. නාමන් සිරියානු ජාතිකයෙක් වූ අතර ඔහු ලාදුරු රෝගයෙන් පෙළුණේය. එසේ කිසිවෙකුට ඔහු පවිත්ර කළ නොහැකි විය. එවිට වහලුන් අතර සිටි තරුණියක් පැවසුවේ ලාදුරු රෝගයෙන් ඔහු පවිත්ර කළ හැකි අනාගතවක්තෘවරයෙකු ඉශ්රායෙලයෙහි සිටින බවයි. රිදී සහ රත්තරන් රැගෙන ඔහු ඉශ්රායෙලයෙහි රජු වෙත ගිය බව පවසනු ලැබේ. එසේ රජු ඔහු පැමිණීමට හේතුව අසා, තමාගේ ඇඳුම් ඉරාගෙන, රජවරුන්ගේ බලයට අදාළ නොවන දේවල් තමාගෙන් ඉල්ලා සිටි බැවින්, තමාට විරුද්ධව යුද්ධ කිරීමට එම අවස්ථාව සොයමින් සිටි බව පැවසීය. කෙසේ වෙතත්, එලිෂා රජුට පණිවිඩයක් යවමින්, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකු සිටින බව දැන ගැනීමට හැකි වන පරිදි සිරියානු ජාතිකයා තමා වෙත එවන ලෙස රජුට දන්වා යැවීය. එසේ ඔහු පැමිණි විට, ඔහු යොර්දාන් ගඟේ හත් වරක් ගිලෙන ලෙස ඔහුට කීවේය.
17. ඉන්පසු ඔහු තමාගේම රටේ වඩා හොඳ ජලය ඇති බවත්, එහි ඔහු බොහෝ අවස්ථාවලදී ස්නානය කර තිබෙන නමුත් ඔහුගේ ලාදුරු රෝගයෙන් කිසිදා පිරිසිදු නොවූ බවත් තමා තුළම තර්ක කර ගැනීමට පටන් ගත්තේය; එබැවින් මෙය සිහිපත් කරමින්, ඔහු අනාගතවක්තෘවරයාගේ අණට කීකරු නොවීය. එසේ වූවද ඔහුගේ සේවකයන්ගේ උපදෙස් හා ඒත්තු ගැන්වීම මත ඔහු යටත් වී ස්නානය කළේය. එවිට ඔහු ක්ෂණයකින් පවිත්ර වීමෙන් පසු, මිනිසෙකු පවිත්ර වන්නේ ජලයෙන් නොව කරුණා අනුග්රහයෙන් බව ඔහු තේරුම් ගත්තේය.
18. වහලුන් අතර සිටින ඒ තරුණ සේවිකාව කවුදැයි දැන් තේරුම් ගන්න. ඇය අන්යජාතීන්ගෙන් එක්රැස් වූ සභාවයි, එනම්, පුරාණ කාලයේ සිට පාපයේ වහල්භාවයෙන් බැඳ තබා අල්ලාගෙන සිටි දෙවියන් වහන්සේගේ සභාවයි, ඒ වන විටත් එයට කරුණා අනුග්රහයේ මිදීම නොතිබුණි, ඇගේ උපදෙස් මගින් අන්යජාතීන්ගේ අඥාන ජනතාව කලින් සැකයෙන් සිටි අනාවැකියේ වචනය අසා ඇත. කෙසේ වෙතත්, පසුව, එය කීකරු විය යුතු බව ඔවුන් විශ්වාස කළ විට, ඔවුන් පාපයේ සියලු අපිරිසිදුකම්වලින් සෝදා හරින ලදී. ඔහු සුව වීමට පෙර සැබවින්ම ඔහු සැක කළේය; ඔබ දැනටමත් සුව වී ඇත, එබැවින් සැක නොකළ යුතුය.
4 වන පරිච්ඡේදය
ආත්මයාණන් වහන්සේ නොමැතිව ජලය පිරිසිදු නොවන බව යොහන්ගේ සාක්ෂියෙන් සහ සක්රමේන්තුව ලබා දෙන ආකාරයෙන්ම පෙන්නුම් කෙරේ. තවද මෙය ශුභාරංචියේ පොකුණ සහ එහි සිටි මිනිසා සුවපත් කිරීමෙන්ද සංකේතවත් වන බව ප්රකාශ කර ඇත. එම පාඨයේම, ශුද්ධාත්මයාණන් වහන්සේ ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මයේදී සැබවින්ම උන්වහන්සේ මතට බැස ගිය ආකාරයත්, එසේම එම අබිරහසෙහි අර්ථයත් පැහැදිලි කර ඇත.
19. ඔබ දකින දේ පමණක් විශ්වාස නොකරන්නැයි ඔබට කලින් පැවසීමට හේතුව මෙයයි. ඇතැම් විට ඔබ මෙසේ නොකියන පිණිසය. එම මහත් වූ අබිරහස මෙයයි. ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්යයාගේ සිතට නොපැමිණියේය. 1 කොරින්ති 2:9 මා දිනපතා දැකීමට පුරුදු වී සිටින ජලය මට පෙනේ. මා බොහෝ විට ස්නානය කර තිබෙන එහෙත් කිසිදා පවිත්ර නොවූ ඒ ජලය දැන් මා පවිත්ර කරන්නේද? ආත්මයාණන් වහන්සේ නොමැතිව ජලය පවිත්ර නොකරන බව මෙයින් ඔබට හඳුනාගත හැකිය.
20. එම නිසා, බෞතීස්මයේදී සාක්ෂිදරන තුන්දෙනෙතු ඇති බව කියවන්න, ආත්මයාණන් වහන්සේය, වතුරය, ලේය. 1 යොහන් 5:7 මේ ත්රිත්වයම එකකි. මන්ද ඔබ මේවායින් එකක් ඉවත් කළහොත් බෞතීස්මයේ සක්රමේන්තුව නොපවතී. මක්නිසාද ක්රිස්තුස් වහන්සේගේ කුරුසිය නොමැතිව ජලය යනු කුමක්ද? එය කිසිදු සක්රමේන්තුමය බලපෑමක් නොමැතිව පවතින සාමාන්ය අංගයකි. නැවතත්, ජලය නොමැතිව පුනර්ජීවනයේ සක්රමේන්තුවක් නොමැත: යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්යයට ඇතුල්වෙන්ට බැරිය. යොහන් 3:5 දැන්, නවක ඇදහිලිවන්තයා පවා ස්වාමින් වන යේසුස් වහන්සේගේ කුරුසිය කෙරහි ඇදහිල්ල තබා ඇත, එමගින් ඔහුද සලකුණු කර ඇත. එහෙත් ඔහු පියාණන් වහන්සේගේ, පුත්රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන් බෞතීස්ම නොවන්නේ නම්, ඔහුට පව් සමාව ලබා ගැනීමට හෝ ආත්මික කරුණා අනුග්රහයේ දීමනාව ලබා ගැනීම හෝ නොහැකිය.
21. ඉතින් සිරියානු ජාතිකයා ව්යවස්ථාව යටතේ හත් වරක් ගිලුණේය. එහෙත් ඔබ ත්රිත්වයේ නාමයෙන් බෞතීස්ම කරන ලදී, ඔබ පියාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්රකාශ කළෙහිය. ඔබ කළ දේ සිහියේ තබා ගන්න: ඔබ පුත්රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්රකාශ කළෙහිය. ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්රකාශ කළෙහිය. මෙම ඇදහිල්ලේ කාරණාවල අනුපිළිවෙළ හොඳින් සිහි තබා ගන්න: ඔබ ලෝකයට මිය ගොස් දෙවියන් වහන්සේ වෙත නැවත නැඟිට්ටෙහිය. එම මූලද්රව්යය තුළ ලෝකයට වළලනු ලැබුවාක් මෙන්, පාපයට මිය ගොස්, ඔබ නැවත සදාකාල ජීවනයට නැඟී සිටියෙහිය. එබැවින්, මෙම ජලය බලයෙන් තොර නොවන බව විශ්වාස කරන්න.
22. එබැවින් මෙසේ කියනු ලැබේ: ස්වාමින් වහන්සේගේ දූතයෙක් කාලයට අනුව පොකුණට බැස්සේය. එවිට ජලය කැලඹිණි. ජලය කැලඹීමෙන් පසුව මුලින්ම පොකුණට බැස ගිය තැනැත්තා ඔහුට වැලඳී සිටි ඕනෑම රෝගයකින් සුවය ලැබීය. යොහන් 5:4 මෙම පොකුණ යෙරුසලමේ තිබුණි. එහි සෑම වසරකදීම එක් අයෙකු සුව කරනු ලැබීය, එහෙත් දේවදූතයා පොකුණට බැසීමට පෙර කිසිවෙකු සුව නොවීය. විශ්වාස නොකළ අය නිසා දේවදූතයා එහි බැස ගිය බවට ලකුණක් ලෙස ජලය කැලඹිණි. ඔවුන්ට ලකුණක් තිබුණි, ඔබට ඇදහිල්ල තිබේ; ඔවුන් වෙනුවෙන් දේවදූතයෙක් බැස ගියේය, ඔබ වෙනුවෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ බැස ආ සේක; ඔවුන් වෙනුවෙන් මැවිල්ල කැලඹිණි, ඔබ වෙනුවෙන් මැවිල්ලේ ස්වාමින් වහන්සේ වන ක්රිස්තුස් වහන්සේම ක්රියා කරන සේක.
23. එවිට එක් අයෙකු සුවය ලැබීය. දැන් සියල්ලන්ම සම්පූර්ණත්වයට පත් කරනු ලැබ ඇත. නැතහොත් වඩාත් නිවැරදිව කිවහොත්, කිතුනු ජනතාව පමණි, මන්ද සමහර අය තුළ ජලය පවා රැවටිලිකාරය. යෙරෙමියා 15:18 නොඇදහිලිවන්තයන්ගේ බෞතීස්මය සුව කරන්නේ නැත, එහෙත් එයින් දූෂිත බවට පත් කරයි. යුදෙව්වා භාජන සහ කෝප්ප සෝදන්නේ හැඟීම් දැනීම් නැති දේවල් වරදකාරීත්වයට හෝ කරුණා අනුග්රහයට සුදුසු හැකියාව ඇති ලෙසටය. එහෙත් ඔබේ යහපත් ක්රියා එහි බැබළෙන පිණිසත්, ඔබේ කරුණා අනුග්රහයේ මහිමය දීප්තිමත් වන පිණිසත් ඔබ ඔබගේ මෙම ජීවමාන කුසලානය සෝදා ගන්නෙහිද? මන්ද, එම පොකුණ වර්ගයක් ලෙස දී ඇත. එසේ කළේ දෙවියන් වහන්සේගේ බලය මෙම බෞතීස්මයේ ළිඳ මතට බැස යන බව ඔබට විශ්වාස කළ හැකි වන පිණිසය.
24. අන්තිමේදී, ඒ අංශභාග රෝගියා මිනිසෙකු එනතුරු බලා සිටියේය. කන්යාවගෙන් උපන් ස්වාමින් වන යේසුස් වහන්සේ හැරුණුකොට ඔහු බලා සිටියේ වෙනත් කවර මිනිසෙකු එන තුරුද? උන් වහන්සේගේ පැමිණීමේදී සෙවණැල්ල මගින් මිනිසුන් එකිනෙකා සුව කළ යුතු වන්නේ නැත. එහෙත් සත්යය මගින් මුළුමනින්ම සුව කරනු ඇත. එසේ නම්, උන් වහන්සේගේ බැස ඒම බලා සිටි කරුණක් විය, උන් වහන්සේ පිළිබඳ පියාණන් වහන්සේ යොහන් බෞතීස්තට මෙසේ කී සේක: ආත්මයාණන් යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්මකරන්නේ උන් වහන්සේය. යොහන් 1:33 යොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින් මෙසේ පැවසීය: ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි; එය උන් වහන්සේ පිට නැවතුණේය. යොහන් 1:32 ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන් බැස ආවේ ඇයි? එයට හේතුව නම් නෝවා නැවෙන් පිටතට යැවූ පරෙවියා මෙම පරෙවියාගේ සමාන රූපයක් බව ඔබට දකින්නට හැකි වන පිණිසත්, ඔබට එය පිළිගැනීමට හැකි වන පිණිසත්, ඔබට සක්රමේන්තුවේ වර්ගය හඳුනාගත හැකි වන පිණිසත්ය.
25. සමහර විට ඔබ මෙයට විරුද්ධ විය හැකිය: යවන ලද්දේ සැබෑ පරෙවියෙකු නිසාත්, ආත්මයාණන් පරෙවියෙකු මෙන් බැස ආ නිසාත්, එහි සමානකම ඇති බව සහ මෙහි යථාර්ථය ඇති බව අප පවසන්නේ කෙසේද? ග්රීක භාෂාවෙන් ආත්මයාණන් වහන්සේ පරෙවියෙකුගේ ස්වරූපයෙන් බැස ආ බව ලියා තිබේ. එහෙත් සදහටම පවතින දේවත්වය තරම් සැබෑ දෙය වෙන කුමක්ද? දැන් මැවිල්ල යථාර්ථය විය නොහැකිය, එහෙත් එය පහසුවෙන් විනාශ විය හැකි වෙනස් කළ හැකි සමානකමක් පමණි. එසේ නම්, නැවතත්, බෞතීස්ම වූ අයගේ සරල බව පෙනුමෙන් නොව යථාර්ථයෙන් විය යුතුය. ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක: එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. මතෙව් 10:16 එසේ නම්, උන් වහන්සේ පරෙවියෙකු මෙන් බැස ආවේ අපට පරෙවියාගේ සරල බව තිබිය යුතු බව අපට අවවාද කිරීම සඳහාය. තවද ක්රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් යථාර්ථය සඳහා සමානකම තැබීම පිළිබඳ අපි තවදුරටත් මෙසේ කියවමු: මනුෂ්යයන්ගේ සමානත්වයට පැමිණිසේක. පිලිප්පි 2:7 එසේම පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් මෙසේ දක්වා ඇත: තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත. යොහන් 5:37
5 වන පරිච්ඡේදය
බෞතීස්ම තුළ ක්රිස්තුස් වහන්සේම වැඩසිටින සේක, එම නිසා අප උන් වහන්සේගේ දේවසේවකයන්ගේ පුද්ගල තරාතිරම සලකා බැලිය යුතු නැත. බෞතීස්ම වීමට යන අය විසින් සාමාන්යයෙන් ප්රකාශ කරන ත්රිත්වයේ පිළිබඳ ඇදහිල්ල ප්රකාශ කිරීම සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක්.
26. එසේ නම්, ශුභාරංචි කතාවේ පියාණන් වහන්සේ ස්වර්ගයේ සිට පැහැදිලිව කතා කර මෙසේ පවසන විට, සැක කිරීමට අපට ඉඩක් ඉතිරිව තිබේද? මොහු මාගේ ප්රේමවන්ත පුත්රයාය, මොහු කෙරෙහි ඉතා ප්රසන්නව සිටිමි. මතෙව් 3:17 පුත්රයාණන් වහන්සේද කතා කරන විට, ශුද්ධාත්මයාණන් වහන්සේ පරෙවියෙකුගේ ස්වරූපයෙන් තමන් වහන්සේ පෙන්නුම් කළේ කා හටද? ශුද්ධාත්මයාණන් වහන්සේ ද කතා කරන විට, පරෙවියෙකුගේ ස්වරූපයෙන් බැස ආවේ කවුරුන්ද? දාවිත්ද කතා කරන විට මෙසේ පවසයි: ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක. ජෙරුබ්බාල්ගේ යාච්ඤාව අවස්ථාවේදී ස්වර්ගයෙන් ගින්න බැස ආ බවට ශුද්ධලියවිල්ල සාක්ෂි දෙන විටත්, විනිශ්චයකාරයන්ගේ පොත 6:21 එසේම නැවතත්, එලියා යාච්ඤා කළ විට, ගින්නක් යවා පූජාව ශුද්ධ කොට කැප කරන ලදී.
27. පූජකයන්ගේ කුසලතා නොසලකන්න. එහෙත් ඔවුන්ගේ පූජක තනතුර සලකා බලන්න. එසේ නැතහොත්, ඔබ ඔවුන්ගේ කුසලතා දෙස බැලුවහොත්, පූජකයා එලියා ලෙස සලකන්න. පේදුරුගේ කුසගතාද සලකා බලන්න. එසේත් නැතිනම් ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේගෙන් ඔවුන්ට ලැබුණු මෙම අබිරහස අපට භාර දුන් පාවුල්ගේ කුසලතා දෙස බලන්න. [පැරණි] අයට විශ්වාස කිරීම පිණිස දෘශ්යමාන ගින්නක් එවන ලදී; විශ්වාස කරන අපට, ස්වාමින් වහන්සේ අදෘශ්යමානව ක්රියා කරන සේක; ඔවුන් උදෙසා එය ආදර්ශ රූපයක් විය. අප උදෙසා එය අනතුරු ඇඟවීමකි. එසේ නම්, පූජකයාගේ ආයාචනයේදී ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේ සිටින බව විශ්වාස කරන්න. උන් වහන්සේ මෙසේ පැවසූ සේක: මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි. මතෙව් 18:20 එසේ නම්, සභාව ඇත්තේ කොතැනද, උන් වහන්සේගේ අබිරහස් ඇත්තේ කොතැනද, එම ස්ථානයෙහි උන් වහන්සේ තමන් වහන්සේගේ අබිමුඛය ලබා දීමට කොතරම් දුරට සහතික නොවන සේක්ද!
28. එසේ ඔබ (වතුර තුළට) බැස ගියෙහිය, ගිලුණෙහිය, ඔබ පියාණන් වහන්සේ විශ්වාස කරන බවත්, ඔබ පුත්රයාණන් වහන්සේ විශ්වාස කරන බවත්, ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේ විශ්වාස කරන බවත් යනුවෙන් ඔබ ප්රශ්නවලට පිළිතුරු ලෙස කී දේ මතක තබා ගන්න. එහි මම උතුම්, අඩු සහ පහත් පුද්ගලයෙකු විශ්වාස කරමි, යනුවෙන් ප්රකාශයක් ඇත්තේ නැත: එහෙත් ඔබ ඔබේම හඬේ එම සහතිකයෙන් බැඳී සිටින්නෙහිය, එනම් ඔබ පියාණන් වහන්සේ විශ්වාස කරන ආකාරයටම පුත්රයාණන් වහන්සේ විශ්වාස කිරීමටත්, පුත්රයාණන් වහන්සේ විශ්වාස කරන ආකාරයටම ශුද්ධාත්මයාණන් වහන්සේ විශ්වාස කිරීමටත් ඔබ බැඳී සිටින්නෙහිය. එහිදී මෙම එක් ව්යතිරේකය ඇත්තේය. එනම් ඔබ ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේගේ කුරුසිය පමණක් විශ්වාස කරන බව ඇදහිලි ප්රකාශයක් සිදු කිරීමය.
6 වන පරිච්ඡේදය
බෞතීස්මයෙන් සෝදන ලදුව පිටතට එන අයගේ හිස මත ආලේප කරන්නේ ඇයි; බව්තීස්මයෙන් පසු ඔවුන්ගේ පාද සෝදා ගන්නේ ඇයි සහ එක් එක් අවස්ථාවේදී කුමන පාපවලට සමාව ලැබේද?
29. මෙයින් පසුව, ඔබ පූජකයා වෙත ගියෙහිය. ඉන්පසුව සිදු වූ දේ සලකා බලන්න. දාවිත් කතා කළේ ඒ ගැන නොවේද: එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය; සලමොන්ද පවසන විලවුන් මෙයයි: නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්යාවෝ නුඹට ප්රේමකෙරෙති. සලමොන්ගේ ගීතිකාව 1:3 යේසුස් ස්වාමින් වහන්ස, අද දින නැවත නැඟිටුවනු ලැබූ ආත්මයන් කී දෙනෙකු ඔබට ප්රේම කර ඇත්ද? එසේම මෙලෙස පවසා ඇත: මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. සලමොන්ගේ ගීතිකාව 1:4 එසේ වන්නේ ඔබ වහන්සේගේ නැවත නැඟිටීමේ සුවඳ ඔවුන් පානය කරන පිණිසය.
30. මෙය සිදු කරන්නේ මන්දැයි දැන් සලකා බලන්න. ප්රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය. දේශනාකාරයා 2:14 එබැවින්, යෞවනයේ අලංකාරය උදෙසා අනර්ඝ විලවුන් රැවුල දිගේ ගලා යයි; එබැවින්, ආරොන්ගේ රැවුල දිගේ අනර්ඝ විලවුන් ගලා යයි. එසේ වන්නේ අපටද තෝරාගත් ජාතියක්, පූජක සහ වටිනා ජනතාවක් බවට පත් විය හැකි වන පිණිසය, මන්ද අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ රාජ්යයේ සහ පූජකත්වයේ කොටසක් සඳහා ආත්මික කරුණා අනුග්රහයෙන් අභිෂේක කර ඇත්තෙමු.
31. ඔබ බෞතීස්මයේ ළිඳෙන් ගොඩට පැමිණියෙහිය. ශුභාරංචියේ පාඩම මතක තබා ගන්න. මන්ද, අපගේ ස්වාමින් වන යේසුස් ක්රිස්තුන් වහන්සේ ශුභාරංචියේ තමන් වහන්සේගේ ගෝලයන්ගේ පාද සේදූ සේක. උන් වහන්සේ සයිමන් පේදුරු වෙත පැමිණි විට, පේදුරු මෙසේ කීවේය: ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමි. යොහන් 13:8 ඔහු මෙම අබිරහස තේරුම් නොගත් අතර, එබැවින් ඔහු සේවය ප්රතික්ෂේප කළේය, මන්ද ඔහු ඉවසිලිවන්තව ස්වාමින් වහන්සේට සේවය කිරීමට ඉඩ දුනහොත් සේවකයාගේ නිහතමානිකමට රිදවනු ඇතැයි ඔහු සිතුවේය. ස්වාමින් වහන්සේ ඔහුට මෙලෙස පිළිතුරු දුන් සේක: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක. සීමොන් පේදුරු : ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත්ද හිසද (සේදුව මැනවයි) උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්රය, නුමුත් සියල්ලෝම නොවේය. යොහන් 13:9-10
32. පේදුරු පවිත්රව සිටියේය, එහෙත් ඔහුගේ තම පාද සේදිය යුතු විය, මන්ද සර්පයා පළමුවන මිනිසා පෙරළා දමා පාපයට පෙලඹවූ විට ඇති වූ පළමුවන මිනිසාගෙන් උරුම වූ පාපය ඔහුට තිබුණි . එබැවින් ඔහුගේ පාද සෝදනු ලැබුවේ එමගින් පාරම්පරික පාප ඉවත් වන පිණිසය, මන්ද අපගේම පාප බෞතීස්මය තුළින් කමා කරනු ලැබේ.
33. ඒ සමගම පූජනීය අබිරහස නිහතමානීකමේ භූමිකාව තුළම පවතින බව සලකන්න. මන්ද ක්රිස්තුස් වහන්සේ මෙසේ පවසන සේක: ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මන්ද, ගැලවීමේ කතුවරයාණන් වහන්සේ වන උන්වහන්සේගේම කීකරුකම තුළින් අප මුදා ගත් බැවින්, උන් වහන්සේගේ සේවකයන් වන අප අපගේ නිහතමානීකමේ සහ කීකරුකමේ සේවය කොපමණ වැඩියෙන් පිරිනැමිය යුතුද?
7 වන පරිච්ඡේදය
නවක ඇදහිලිවන්තයින්ගේ සුදු සළුවලින් පව් සෝදා ඉවත් කිරීම පෙන්නුම් කෙරේ, එතැන් සිට සභාව ඇය කළු හා ප්රීතිමත් අයෙකු ලෙස කථා කරයි. ස්වාමින් වහන්සේගේ මාංසයේ දීප්තිය මෙන් ඇගේ දීප්තිය ගැන දේවදූතයෝ මවිත වෙති. එපමණක් නොව, ක්රිස්තුස් වහන්සේම තමන් වහන්සේගේ අලංකාරය තම කලත්රයාට බොහෝ රූප යටතේ දැක්වූ සේක. එකිනෙකා කෙරෙහි ඇති අන්යෝන්ය සෙනෙහස විස්තර කර ඇත.
34. මෙයින් පසුව, ඔබ පව් ආවරණය ඉවත් කර, අහිංසකත්වයේ නිර්මල වැස්ම පැලඳ සිටින බවට ලකුණක් ලෙස සුදු සළු ඔබට ලබා දෙන ලදී. ඒ ගැන අනාගතවක්තෘවරයා හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි. මක්නිසාද බෞතීස්ම වන තැනැත්තා ව්යවස්ථාවට අනුව සහ ශුභාරංචියට අනුව පවිත්ර කරනු ලැබේ: ව්යවස්ථාවට අනුව, මෝසෙස් බැටළු පැටවාගේ රුධිරය හිසොප් මිටියක් ගෙන ඉසින බැවිනි; නික්මයාම 12:22 ශුභාරංචියට අනුව, ක්රිස්තුස් වහන්සේගේ ඇඳුම් හිම මෙන් සුදු වූ බැවිනි. ශුභාරංචියේ උන් වහන්සේ තමන් වහන්සේගේ නැවත නැඟිටීමේ මහිමය ප්රකාශ කළ අවස්ථාවේදී එය සිදු විය. එසේ නම්, වරද දුරු කරන ලද තැනැත්තා හිමට වඩා සුදු කරනු ලැබ ඇත. එබැවින් දෙවියන් වහන්සේ යෙසායා කරණකොටගෙන මෙසේ වදාළ සේක: නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය. යෙසායා 1:18
35. පුනර්ජීවනයේ සේදීම තුළින් ගොස් මෙම ඇඳුම් පැලඳගත් සභාව පිළිබඳ සලමොන්ගේ ගීතිකාවෙහි මෙසේ පවසයි: යෙරුසලමේ දියණියනි, යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි. සලමොන්ගේ ගීතිකාව 1:4 ඇගේ මිනිස් තත්වයේ දුර්වලතාවයෙන් කළුය, ඇදහිල්ලේ සක්රමේන්තුවෙන් ශෝභනය. යෙරුසලමේ දියණිවරු මෙම ඇඳුම් දෙස බලා පුදුමයෙන් මෙසේ කියති: සුදු පැහැයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? සලමොන්ගේ ගීතිකාව 8:5 ඇය කළු පැහැතිව සිටියාය, දැන් ඇය හදිසියේම සුදු පැහැයට හැරුණේ කෙසේද?
36. ක්රිස්තුස් වහන්සේ උත්ථාන වූ විට දේවදූතයෝද සැක කළහ. මාංසය ස්වර්ගයට නැඟී යන බව දුටු විට ස්වර්ගයේ බලවතුන්ද සැක කළහ. එවිට ඔවුහු මෙසේ කීහ: මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? එසේම ඇතැම් අය මෙසේ පැවසූහ, ද්වාරයෙනි, ඔබ සැමගේ හිස් ඔසවව්; සදාකාලික පුරාණ. ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක. යෙසායා පොතෙහිද, ස්වර්ගයේ බලවතුන් සැක කර මෙසේ පැවසූ බව අපට පෙනේ: ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? යෙසායා 63:1
37. අනාගතවක්තෘ සෙකරියාගේ පොතේ ඔබට පෙනෙන පරිදි, අපිරිසිදු ඇඳුම් ඇඳගෙන, සිටියා වූ සභාව දැන් සුදු වස්ත්රවලින් සැරසී, එනම් පිරිසිදු ආත්මයක් සහ නැවත උත්පාදනයේ සේදීමෙන් සෝදාගත් බව දැක, තමන් වහන්සේගේ සභාව දෙස බලමින් මෙසේ පවසන සේක: බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය නුඹ රුව ඇත්තීය; නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ ඇස් පරෙවියන් වැනිය. සලමොන්ගේ ගීතිකාව 4:1 ශුද්ධාත්මයාණන් වහන්සේ ස්වර්ගයෙන් බැස ආවේ පරෙවියෙකුගේ ස්වරූපයෙනි. ඇස් පරෙවියෙකුගේ ඇස් මෙන් ලස්සනය, ශුද්ධාත්මයාණන් වහන්සේ ස්වර්ගයෙන් බැස ආවේ පරෙවියෙකුගේ ස්වරූපයෙනි.
38. තව දුරටත් මෙසේ පවසා ඇත: නුඹේ දත් වනාහි තනිවූ එකෙක්වත් නැතුව, සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, ලොම් කපා නාවනු ලැබ නැගීඑන්නාවූ බැටළු රැළකට සමානය. උන්ගෙන් එකෙකුවත් වඳ නැත. නුඹේ තොල් රතු නූලක් මෙන්ය. සලමොන්ගේ ගීතිකාව 4:2-3 මෙය සුළු ආකාරයේ ප්රශංසාවක් නොවේ. පළමුවෙන්ම ලොම් කපන ලද බැටළු රැළකට ප්රසන්න සංසන්දනයක් කර ඇත. මන්ද එළුවන් අවදානමකින් තොරව උස් ස්ථානවල පෝෂණය වන බවත්, රළු ස්ථානවල ආරක්ෂිතව තම ආහාර සොයා ගන්නා බවත්, පසුව ලොම් කපන විට අතිරික්ත දේවලින් නිදහස් වන බවත් අපි දනිමු. සභාව මේ ආකාරයේ රැළකට සමාන කර ඇති අතර, එම ආත්මයන්ගේ බොහෝ ගුණාංග තමන් තුළම ඇති අතර, එම ආත්ම තුළම සෝදනු ලැබීම තුළින් පාපවල අතිරික්තය පසෙකලා, ස්වාමින් වන යේසුස් වහන්සේගේ කුරුසිය ගැන කතා කරන අබිරහස්මය ඇදහිල්ල සහ යහපත් ජීවිතයේ කරුණා අනුග්රහය ඔවුහු ක්රිස්තුස් වහන්සේට පූජා කරති.
39. ඔවුන් නිසා සභාව අලංකාර වේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වාක්යාණන් වහන්සේ ඇයට මෙසේ කියන සේක: මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැළලක් නැත්තීය. මන්ද වරදකාරිත්වය සෝදා හරිනු ලැබ ඇත. මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමග එන්න. මන්ද ඇදහිල්ලේ ආරම්භයේ සිට ඔබ පසුකර ගොස් ඉදිරියට යනු ඇත. සලමොන්ගේ ගීතිකාව 4:7-8 එයට හේතුව, ලෝකය අත්හැර දමා, ඇය ලෞකික දේවල් පසුකර ගොස් ක්රිස්තුස් වහන්සේ වෙතට ගිය නිසාය. නැවතත්, දෙවියන් වහන්සේගේ වාක්යාණන් වහන්සේ ඇයට මෙසේ කියන සේක: එම්බා, සොඳුරිය, ප්රීතිය වඩවන්ට නුඹ කොපමණ ලක්ෂණද! කොපමණ ප්රියකරුද! මේ නුඹේ උස ප්රමාණය තල් ගසකටත් නුඹේ පියයුරු මිදි පොකුරුවලටත් සමානය. සලමොන්ගේ ගීතිකාව 7:6-7
40. සභාව උන් වහන්සේට පිළිතුරු දෙයි: නුඹ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි! එවිට පිටතදී නුඹ මට සම්බවූ කල සිඹගත්තත්, කිසිවෙක් මා හෙළා නොදක්නේය. මම නුඹ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි, නුඹ මට උගන්වන්නෙහිය. සලමොන්ගේ ගීතිකාව 8:1-2 මෙහිදී කරුණා අනුග්රහයේ දීමනාවලින් සතුටු වන ඇය අභ්යන්තර අබිරහස් වෙත ළඟා වීමට සහ ඇගේ සියලු ආශාවන්, සෙනෙහස ක්රිස්තුස් වහන්සේට කැප කිරීමට ආශා කරන ආකාරය ඔබට පෙනේ. ඇය තවමත් සොයමින් සිටින්නීය, ඇය තවමත් ඔහුගේ ප්රේමය අවදි කරන්නීය, ඇය වෙනුවෙන් එය අවදි කරන ලෙස යෙරුසලමේ දියණියන්ගෙන් ඇය ඉල්ලා සිටින අතර, විශ්වාසවන්ත ආත්මයන්ගේ අලංකාරය වන ඔවුන්ගේ අලංකාරයෙන්, ඇගේ කලත්රයා ඇය කෙරෙහි වැඩි වැඩියෙන් ආදරය කිරීමට පෙලඹෙනු ඇතැයි අපේක්ෂා කරන්නීය.
41. බෞතීස්ම වූ තැනැත්තා දැන් කිසිදු වරදකින් අපවිත්ර නොකරන බැවින්, එවන් වූ දැඩි ප්රේමයෙන් හා අලංකාරයේ සහ කරුණා අනුග්රහයේ අලංකාරයෙන් යුක්තව ස්වාමින් වන යේසුස් වහන්සේම සභාවට මෙසේ කියන සේක: මුද්රාවක් කොට නුඹේ සිතෙහිද මුද්රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. සලමොන්ගේ ගීතිකාව 8:6 එනම්, ඔබ අලංකාරයි, මාගේ සොඳුරිය, ඔබ ඉතා රුව ඇත්තීය, ඔබට කිසිවක් අවශ්ය නැත. ඔබේ හදවතේ මුද්රාවක් ලෙස මා තබා ගන්න, එවිට ඔබේ ඇදහිල්ල සක්රමේන්තුවේ පූර්ණත්වයෙන් බැබළෙනු ඇත. ඔබේ ක්රියාද බැබළෙන්නට ඉඩ හරින්න, ඔබ මැවූ දෙවියන් වහන්සේගේ ප්රතිරූපය තුළ දෙවියන් වහන්සේගේ ප්රතිරූපය ඔබෙන් ඉදිරිපත් කරන්න. බොහෝ ජලයට නිවා දැමිය නොහැකි, බොහෝ ගංගාවලින් ගිලෙන්නට නොහැකි ආකාරයට, කිසිදු පීඩාවකට ඔබේ ප්රේමය අඩු කිරීමට ඉඩ නොදෙන්න.
42. එසේම ඔබ ආත්මයාණන් වහන්සේගේ මුද්රාව ලබා ඇති බව මතක තබා ගන්න. ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්රඥාව හා නුවණේ ආත්මයද මන්ත්රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය. යෙසායා 11:2 එලෙසම ඔබට ලැබුණු දේ ඔබ ආරක්ෂා කර ගත්තෙහිය. පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ ඔබ මුද්රා කළ සේක, ස්වාමින් වහන්සේ වන ක්රිස්තුස් වහන්සේ ඔබ ශක්තිමත් කළ සේක, ඔබ අපොස්තුළු තුමාගෙන් ඉගෙන ගත් පාඩමට අනුව, උන්වහන්සේ ආත්මයාණන් නැමති අත්තිකාරම අපට දුන්සේක. 2 කොරින්ති 5:5.
8 වන පරිච්ඡේදය
ස්වාමින් වහන්සේගේ පූජාසනයේ අබිරහස්මය මංගල්යය පිළිබඳ. කිසිවෙකු ඒ ගැන සැහැල්ලුවෙන් නොසිතන පිණිස, එය යුදෙව්වන්ගේ පූජනීය චාරිත්රවලට වඩා ඉහළ පෞරාණිකත්වයක් ඇති බව ශාන්ත ඇම්බ්රෝස් පෙන්වා දෙන්නේය. මන්ද එය මෙල්කිසදෙක්ගේ පූජාවෙන් පුරෝකථනය කරන ලදී. එසේම එය මන්නාවලට වඩා බොහෝ සෙයින් යහපත් වන ක්රිස්තුස් වහන්සේගේ ශරීරය වන බැවිනි.
43. මෙම සැරසිලිවලින් පොහොසත්, පිරිසිදු කරන ලද ජනතාව, ක්රිස්තුස් වහන්සේගේ පූජාසනය වෙත ඉක්මනින් පැමිණ මෙසේ කියති: මම දෙවියන් වහන්සේගේ පූජාසනය වෙත යන්නෙමි, මාගේ යෞවනය සතුටු කරන දෙවියන් වහන්සේ වෙත යන්නෙමි; මක්නිසාද රාජාලියෙකුගේ යෞවනයෙන් අලුත් කරන ලදුව, පුරාණ දෝෂයේ මඩ ඉවත් කරන ලදුව, එය එම ස්වර්ගීය මංගල්යයට ළඟා වීමට ඉක්මන් වන්නේය. එය පැමිණේ, ශුද්ධ පූජාසනය සකසා ඇති බව දැක, එය මෙසේ මොර ගසයි: ඔබ මාගේ ඇස් ඉදිරිපිට මේසයක් පිළියෙළ කර ඇත. දාවිත් ජනතාව කතා කරන ලෙස හඳුන්වා දෙයි, එහිදී ඔහු මෙසේ පවසයි: ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය; මට කිසි හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වන සේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙන යන සේක. ඉන්පසුව මෙසේ දැක්වේ: එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරන සේක. මාගේ හිස තෙලින් ආලේප කළ සේක; මාගේ කුසලාන උතුරා යයි. එය කෙතරම් විශිෂ්ටද!
44. දැන් අප පහත කාරණයට අවධානය යොමු කළ යුතුයි, (අදෘශ්යමාන දේවල් මිනිස් ඇසට නොපෙනෙන දේවල් හෝ තේරුම් ගත නොහැකි කාරණා තිබෙන නිසා) දෘශ්යමාන දේ දකින කිසිවෙකු මෙසේ පැවසිය හැකිය: දෙවියන් වහන්සේ යුදෙව්වන්ට මන්නා වැටෙන්නට සැලැස්සූ සේක. එසේම වටුවෝ පැමිණෙන්නට සැලැස්සූ සේක. නික්මයාම 16:13 එහෙත් උන්වහන්සේට ප්රේම කරන සභාව උදෙසා උන්වහන්සේ සූදානම් කළ දේවල් තබා තිබේ. ඒ ගැන මෙසේ දැක්වේ: උන් වහන්සේට ප්රේම කරන සභාව සඳහා උන් වහන්සේ සූදානම් කර ඇති දේ ගැන කියනු ලැබේ: දෙවියන්වහන්සේ විසින් තමන් ප්රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්යයාගේ සිතට නොපැමින්නේය. 1 කොරින්ති 2:9 එබැවින්, එසේ වූයේ, සභාවේ සක්රමේන්තු සිනගෝගයේ සක්රමේන්තුවලට වඩා පැරණි බවත් මන්නාවලට වඩා විශිෂ්ට බවත් ඔප්පු කිරීමට අපි බොහෝ වෙහෙසක් ගනිමු, යයි කිසිවෙකුත් නොකියන පිණිසය.
45. දැන් කියෙවූ උත්පත්ති පොතේ පාඩමෙන් පෙනී යන්නේ ඒවා වඩාත් පැරණි බවයි, මන්ද සිනගෝගය එහි අආරම්භය ලබා ගත්තේ මෝසෙස්ගේ ව්යවස්ථාවෙන් වූ බැවිනි. එහෙත් ආබ්රහම් එයට බොහෝ කලකට පෙර සිටියේය. ඔහු සතුරා පරාජය කළ පසුව, ඔහුගේම බෑණාගේ දේවල් නැවත අත්පත් කර දීමෙන් පසුව, තම ජයග්රහණය භුක්ති විඳිමින් සිටියදී, ඔහුට මෙල්කිසදෙක් මුණගැසුණේය. ආබ්රහම් ගෞරවාන්විතව පිළිගත් දේවල් ඉදිරිපත් කළේ ඔහුය. ඒවා ඉදිරිපත් කළේ ආබ්රහම් නොවේය. තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්රයාට සමාන කරනු ලැබූ මෙල්කිසදෙක්ය. පාවුල් ඔහු පිළිබඳ හෙබ්රෙව්වරුන්ට මෙසේ පවසයි: ඔහු සදහටම පූජකයෙක්ව පවතින්නේය. ලතින් අනුවාදයේ ඔහු සම්බන්ධයෙන්, ධර්මිෂ්ඨකමේ රජු සහ සමාදානයේ රජු ලෙස හඳුන්වා ඇත.
46. ඒ කවුරුන්දැයි ඔබ හඳුනා ගත්තෙහිද? මිසිසෙකුට තමාම ධර්මිෂ්ඨ වීමට හැකි නොවී තිබියදී ධර්මිෂ්ඨකමේ රජු විය හැකිද? ඔහුටම සමාදානයෙන් ජීවත් වීම අපහසු නම්, ඔහුට සමාදානයේ රජු විය හැකිද? උන්වහන්සේගේ දේවත්වය අනුව මවක නොමැති තැනැත්තා ඔහුය, මන්ද උන්වහන්සේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් උපත ලබා ඇත, පියාණන් සමග එක සාරයකින් උපත ලැබූ සේක; උන්වහන්සේගේ මාංසවත් වීම අනුව පියෙකු නොමැතිව උපත ලැබූ සේක, මක්නිසාද උන්වහන්සේ කන්යාවකගෙන් උපත ලැබූ බැවිනි; ආරම්භයක් හෝ අවසානයක් නොමැති බැවින් උන්වහන්සේම සියලු දේවල ආරම්භය සහ අවසානය වන සේක, පළමුවැන්නා සහ අන්තිමයා වන සේක. එසේ නම්, ඔබට ලැබුණු සක්රමේන්තුව මිනිසාගේ නොව දෙවියන් වහන්සේගේ දීමනාව වන අතර එය ඇදහිල්ලේ පියා වන ආබ්රහම්ට ආශීර්වාද කළ තැනැත්තා විසින් ඉදිරිපත් කරන ලද්දකි, උන් වහන්සේගේ කරුණා අනුග්රහය සහ ක්රියාවන් අපි අගය කරමු.
47. සභාවේ සක්රමේන්තු වඩාත් පැරණි බව අපි ඔප්පු කර ඇත්තෙමු. දැන් ඒවා උසස්ම ඒවා බව අපි හඳුනාගනිමු. ඇත්ත වශයෙන්ම, දෙවියන් වහන්සේ පියවරුන් කෙරෙහි මන්නා වැස්සක් වැස්සවීම සහ ඔවුන්ට ස්වර්ගයෙන් දිනපතා ආහාර ලබා දීම පුදුම සහගත කාරණයකි; එබැවින් එසේ මිනිසා දේවදූතයන්ගේ ආහාර අනුභව කළ බව කියනු ලැබේ. එහෙත් එම ආහාර අනුභව කළ සියල්ලෝම පාළුකරයේදී මිය ගියෝය. එසේ වූවද ඔබට ලැබෙන එම ආහාරය, ස්වර්ගයෙන් බැස ආ ජීවමාන කෑම, සදාකාල ජීවනයේ සාරය සපයන්නේය; මෙම ආහාර අනුභව කරන ඕනෑම කෙනෙකු කිසිදාක මිය නොයනු ඇත, එම ආහාරය නම් ක්රිස්තුස් වහන්සේගේ ශරීරයයි.
48. එසේ නම්, දේවදූතයන්ගේ ආහාර වඩා උතුම්ද නැතහොත් ජීවමාන ශරීරය වන ක්රිස්තුස් වහන්සේගේ මාංසය වඩා උතුම්ද යන්න සලකා බලන්න. ඒ මන්නා ස්වර්ගයෙන් පැමිණියේය, ක්රිස්තුස් වහන්සේගේ මාංසය ස්වර්ගයට ඉහළින් පැමිණියේය; මන්නා ස්වර්ගයෙන් විය, ක්රිස්තුස් වහන්සේගේ මාංසය ස්වර්ගයේ ස්වාමින් වහන්සේගෙන් විය; මන්නා දෙවන දිනය සඳහා තබා ගතහොත්, එය කුණු වීමට ලක් විය හැකි විය, ක්රිස්තුස් වහන්්සේගේ මාංසය කුණු වීමෙන් තොරය, මන්ද එය ශුද්ධ ලෙස රස බලන ඕනෑම කෙනෙකුට කුණු වීම දැනෙන්නේ නැත. ඔවුන් උදෙසා පර්වතයෙන් ජලය ගලා ආවේය, ඔබ උදෙසා ක්රිස්තුස් වහන්සේගෙන් රුධිරය ගලා ගියේය; ජලය ඔවුන් යම් කාලයකට පමණක් තෘප්තිමත් කළේය, රුධිරය ඔබ සදාකාලිකවම තෘප්තිමත් කරන්නේය. යුදෙව්වා පානය කළ පසුව නැවතත් පිපාසය ඇති වේ, ඔබ පානය කිරීමෙන් පසුව ඔබට පිපාසය ඇති වීමක් සිදු නොවේ. එය සෙවණැල්ලක තිබුණි, මෙය සත්යයේ පැවතෙයි.
49. ඔබ පුදුම වන දෙය සෙවණැල්ලක් පමණක් නම්, ඔබ පුදුම වන සෙවණැල්ල අයිති තැනැත්තා කෙතරම් ශ්රේෂ්ඨ විය යුතුද? පියවරුන් සම්බන්ධයෙන් සිදු වූ දෙය සෙවණැල්ලක් පමණක් බව දැන් සලකා බලන්න: සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්රිස්තුස්වහන්සේය.එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කෙරෙහි දෙවියන් වහන්සේ ප්රසන්න නොවූ සේක. එසේ ඔවුහු පාළුකරයේ හෙළා දමනු ලැබූහ. දැන් අප සම්බන්ධයෙන් මේ දේවල් උපමාවකින් දක්වන ලදී. 1 කොරින්ති 10:4 වඩා ශ්රේෂ්ඨ දේවල් මොනවාද යන්න ඔබ දැන් දන්නෙහිය. මක්නිසාද ආලෝකය සෙවණැල්ලට වඩා යහපත්ය, රූපයකට වඩා සත්යය යහපත්ය, ස්වර්ගයෙන් එන මන්නාවලට වඩා ඒවා දෙන තැනැන් වහන්සේගේ ශරීරය යහපත්ය.
9 වන පරිච්ඡේදය
බාහිර පෙනුම දැකීමෙන් කිසිවෙකු ඇදහිල්ලෙන් පසුබට නොවන පිණිස, බාහිර ස්වරූපය වෙනස් කර ඇති බොහෝ නිදසුන් දක්වා ඇත. එමගින් රොටි ක්රිස්තුස් වහන්සේගේ සැබෑ ශරීරය බවට පත්වන බව පෙන්වා දී ඇත. ඉන්පසු සක්රමේන්තුවේ බලපෑම්, එය ලබන අයගේ ආකල්පය සහ ඒ හා සමාන කරුණු පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් දක්වා සාකච්ඡාව අවසන් කර ඇත.
50. සමහර විට ඔබ මෙසේ කියනු ඇත, මට වෙනස් දෙයක් වැටහේ, එසේ නම් ක්රිස්තුස් වහන්සේගේ ශරීරය මට ලැබෙන බව ඔබ මට පවසන්නේ කෙසේද? තවමත් අපට ඔප්පු කිරීමට ඉතිරිව ඇති කාරණය මෙයයි. අප කුමන සාක්ෂි භාවිත කළ යුතුද? මෙය ස්වභාවධර්මය නිපදවූ දේ නොව, ආශීර්වාදය කැප කර ඇති දෙයක් බවත්, ආශීර්වාදයේ බලය ස්වභාවධර්මයට වඩා විශාල බවත් අපි ඔප්පු කරමු. මන්ද ස්වභාවධර්මයට ආශීර්වාද කිරීමෙන් ස්වභාවධර්මයම වෙනස් වේ.
51. මෝසෙස් සැරයටියක් අල්ලාගෙන සිටි අතර, ඔහු එය බිම හෙළූ විට එය සර්පයෙකු බවට පත් විය. නික්මයාම 4:3-4 නැවතත්, ඔහු සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත් අතර එය සැරයටියක ස්වභාවයට නැවතත් හැරුණේය. අනාවැකිමය තනතුරේ බලයෙන් සර්පයාගේ සහ සැරයටියේ ස්වභාවයේ වෙනස්කම් දෙකක් ඇති බව ඔබට පෙනේ. ඊජිප්තුවේ ගංගා පිරිසිදු ජල ධාරා සහිතව ගලා ගියේය; හදිසියේම උල්පත්වල නාලිකාවලින් රුධිරය ගලා යාමට පටන් ගත් අතර කිසිවෙකුට ගඟෙන් ජලය පානය කිරීමට නොහැකි විය. නැවතත්, අනාගතවක්තෘවරයාගේ යාච්ඤාවෙන් රුධිරය නතර වූ අතර, ජලයේ ස්වභාවය යථා තත්ත්වයට පත් විය. හෙබ්රෙව් ජනයා සෑම පැත්තකින්ම වටකරන ලදී. මෙසේ එක් පැත්තකින් ඊජිප්තුවරුන් විසින් වට කරන ලද අතර අනෙක් පැත්තෙන් මුහුදෙන් වට කරන ලදී. මෝසෙස් තම සැරයටිය එසෙවූ විට, ජලය බෙදී තාප්ප මෙන් ස්ථිරව පැවති අතර, රළ පහර අතර ඇවිදගෙන යාමට මාර්ගයක් දිස් විය. යොර්දානය පසුපසට තල්ලු කරන ලදුව, ස්වභාවධර්මයට එරෙහිව එහි ගංගාවේ ප්රභවය දෙසට ගලා ගියේය. යෝෂුවා 3:16 මුහුදේ රළවල සහ ගංගා ධාරාවේ ස්වභාවය වෙනස් වී ඇති බව පැහැදිලි නොවන්නේද? පියවරුන්ගේ ජනතාව පිපාසයෙන් සිටියහ, මෝසෙස් පර්වතයට පහර දුන් අතර, පර්වතයෙන් ජලය ගලා ගියේය. නික්මයාම 17:6 කරුණා අනුග්රහය ස්වභාවධර්මයට පටහැනි දේ ඉටු කළේ නැත්ද, ඒ නිසා, පර්වතය ස්වභාවයෙන්ම එහි අන්තර්ගත නොවන ජලය නිපදවූයේ නැද්ද? මාරා යනු අතිශයින් කටුක දිය පහරක් වූ අතර, පිපාසිත ජනතාවට එයින් පානය කළ නොහැකි විය. මෝසෙස් ජලයට ලීය දැමූ අතර, ජලයේ තිත්තකම එයින් නැති විය. එය හදිසියේම මෘදු වූ කරුණා අනුග්රහයයි. නික්මයාම 15:25 අනාගතවක්තෘ එලිෂාගේ කාලයේදී අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෙකුට ඔහුගේ පොරවේ යකඩ හිස දියේ ගිලී ගොස් අහිමි විය. යකඩ හිස නැති වූ තැනැත්තා එලිෂාට ආයාචනා කළේය. එලිෂා ලී කැබැල්ලක් ගඟට විසි කළ අතර යකඩ වතුර මත පා වන්නට විය. මෙයද සොබාදහමට පටහැනිව සිදු වූ බව අපට පැහැදිලිව වැටහේ, මන්ද යකඩ ජලයට වඩා ස්වභාවයෙන්ම බර බැවිනි.
52. එසේ නම්, කරුණා අනුග්රහයට ස්වභාවධර්මයට වඩා බලයක් ඇති බව අපි නිරීක්ෂණය කරමු, එහෙත් මෙතෙක් අප කතා කර ඇත්තේ අනාගතවක්තෘවරයෙකුගේ ආශිර්වාදයේ කරුණා අනුග්රහය ගැන පමණි. එහෙත් මිනිසාගේ ආශීර්වාදයට ස්වභාවධර්මය වෙනස් කිරීමට තරම් බලයක් තිබුණේ නම්, ස්වාමින් වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වහන්සේගේ වචනම ක්රියාත්මක වන එම දිව්යමය කැප කිරීම ගැන අප කුමක් කියමුද? මන්ද, ඔබට ලැබෙන එම සක්රමේන්තුව ක්රිස්තුස් වහන්සේගේ වචනයෙන් එය බවට පත් වේ. එහෙත් එලියාගේ වචනයට ස්වර්ගයෙන් ගින්නක් ගෙන ඒමට තරම් බලයක් තිබුණේ නම්, ක්රිස්තුස් වහන්සේගේ වචනයට මූලද්රව්යවල ස්වභාවය වෙනස් කිරීමට බලයක් නැද්ද? මුළු ලෝකයම මැවීම ගැන ඔබ කියවා ඇත: උන් වහන්සේ කතා කළ අතර ඒවා සාදන ලද්දේය, උන් වහන්සේ අණ කළ අතර ඒවා නිර්මාණය මවන ලද්දේය. සාදන ලද දේ කිසිවක් නොමැතිව නිර්මාණය කිරීමට සමත් වූ ක්රිස්තුස් වහන්සේගේ වචනයට දැනටමත් පවතින දේවල් ඒවා නොපවතින දේ බවට පත් කිරීමට හැකි නොවේද? මක්නිසාද යත් දේවල්වලට නව ස්වභාවයක් ලබා දීම ඒවා වෙනස් කිරීමට වඩා අඩු දෙයක් නොවේ.
53. එහෙත් අප තර්ක භාවිත කළ යුත්තේ ඇයි? උන් වහන්සේ සපයන නිදසුන් භාවිත කර, මාංසවත් වීමේ නිදර්ශනයෙන් අබිරහසෙහි සත්යය පෙන්නුම් කරමු. යේසුස් ස්වාමින් වහන්සේ මරියාගෙන් උපත ලැබූ විට ස්වභාවධර්මයේ සිදුවීමේ ගමන් මග සාමාන්ය ආකාරයෙන් සිදු වූවාද? අප සාමාන්ය සිදුවීම සලකා බැලුවහොත්, කාන්තාවක් සාමාන්යයෙන් පිළිසිඳ ගන්නේ පුරුෂයෙකු සමඟ එක්වීමෙන් පසුවය. අප කැප කරන මෙම ශරීරය කන්යාවගෙන් උපත ලැබූ ශරීරයයි. යේසුස් වහන්සේ ස්වභාවධර්මයට අනුව නොව කන්යාවකින් උපත ලැබූ බැවින්, ඔබ ක්රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ ස්වභාවධර්මයේ පිළිවෙළ සොයන්නේ මන්ද? එය කුරුසියේ ඇණ ගසා තැන්පත් කරනු ලැබූ ක්රිස්තුස් වහන්සේගේ සැබෑ මාංසයයි; එබැවින් මෙය සැබවින්ම උන් වහන්සේගේ ශරීරයේ සක්රමේන්තුවයි.
54. ස්වාමින් වන යේසුස් වහන්සේම ප්රකාශ කරන්නේ මෙසේය: මේ මාගේ ශරීරයයි. මතෙව් 26:26 ස්වර්ගීය වචනවල ආශිර්වාදයට පෙර තවත් ස්වභාවයක් ගැන කථා කර ඇත. එයින් කැප කිරීමෙන් පසු ශරීරය සංකේතවත් කෙරේ. උන් වහන්සේම උන් වහන්සේගේ රුධිරය ගැන කථා කරන සේක. කැප කිරීමට පෙර එයට වෙනත් නමක් තිබුණි. කැප කිරීමෙන් පසු එය රුධිරය ලෙස හැඳින්වීය. ඔබ ආමෙන් කියන්නෙහිය, එනම්, එය සත්යය යයි පවසන්නෙහිය. මුඛය කතා කරන දේ හදවත තුළ පිළිගැනීමට ඉඩ දෙන්න, කටහඬ ප්රකාශ කරන දේ ආත්මයට වටහා ගැනීමට ඉඩ දෙන්න.
55. එබැවින්, ක්රිස්තුස් වහන්සේ තම සභාව මෙම සක්රමේන්තුවලින් පෝෂණය කරන සේක, එමගින් ආත්මයේ සාරය ශක්තිමත් වන අතර, ඇගේ කරුණා අනුග්රහයේ අඛණ්ඩ වර්ධනය දකිමින්, උන් වහන්සේ ඇයට නිවැරදිව මෙසේ කියන සේක: මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්රේමය කොපමණ මිහිරිද! නුඹේ ප්රේමය මුද්රිකපානයටත්, නුඹේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්රව්යවලටත් වඩා කොපමණ හොඳද! මාගේ මනමාලිය, නුඹේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. නුඹේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; නුඹේ වස්ත්රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය. මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්රාකර තිබෙන උල්පතක්ය. එයින්, අබිරහස ඔබ තුළ මුද්රා තබා තිබිය යුතු බවත්, එවිට එය නපුරු ජීවිතයක ක්රියාවන්ගෙන් සහ නිර්මලකමේ දූෂණයෙන් උල්ලංඝනය නොකළ යුතු බවත්, එය සුදුසු නොවන අයට එළිදරව් නොවන බවත්, නොසැලකිලිමත් කතා තුළින් නොඇදහිලිවන්තයන් අතර පැතිර නොයන බවත් උන් වහන්සේ පෙන්වා දෙන සේක. එබැවින් ඇදහිල්ලේ ඔබේ භාරකාරත්වය යහපත් විය යුතු අතර, එවිට ජීවිතයේ පාරිශුද්ධ අවංකභාවය සහ නිශ්ශබ්දතාවය නොකැළැල්ව පැවතිය හැකිය.
56. මේ හේතුව නිසාම, සභාව, ස්වර්ගීය අබිරහස්වල ගැඹුර ආරක්ෂා කරමින්, දරුණු කුණාටු පලවා හරින්නීය. එමෙන්ම වසන්තයේ කරුණා අනුග්රහයේ මිහිරි බව ඇය කැඳවන්නීය. ඇගේ උයනට ක්රිස්තුස් වහන්සේ අසතුටට පත් කළ නොහැකි බව දැනගෙන, ඇය මනාලයාට ආරාධනා කරන්නේ මෙසේය: එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න; දකුණු හුළඟ, එන්න; මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට හමාඑන්න. මාගේ ප්රේමවන්තයා තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ඝ ඵල කෑවාවේ. මක්නිසාද එහි හොඳ ගස් ඇති අතර සාරවත්, පූජනීය වසන්තයේ ජලයේ මුල් බැස ඇත. එමෙන්ම නැවුම් වර්ධනයක් සමග ඒවා හොඳ පලතුරු බවට පත් වී ඇත, එබැවින් දැන් අනාගතවක්තෘවරයාගේ පොරවෙන් කපා නොදමන පිණිසත්, එහෙත් ඒ වෙනුවට ශුභාරංචියේ ඵලදායිතාවයෙන් බහුල වීමටත් හැකි වී ඇත.
57. අවසාන වශයෙන්, ඔවුන්ගේ සශ්රීකත්වය ගැන සතුටු වූ ස්වාමින් වහන්සේද මෙසේ පිළිතුරු දෙන සේක: මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමග රැස්කර ගතිමි, මාගේ මීවදේ සමග මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමග මාගේ මුද්රිකපානය බීවෙමි. සලමොන්ගේ ගීතිකාව 5:1 විශ්වාසවන්ත තැනැත්තෙනි, උන් වහන්සේ ආහාර සහ බීම ගැන කතා කළේ මන්දැයි තේරුම් ගන්න. තවද, ඔබ කියවා ඇති පරිදි, උන් වහන්සේම අප තුළ අනුභව කර පානය කරන බවට කිසිදු සැකයක් නැත, මන්ද උන්වහන්සේ අපගේ පුද්ගලයින් තුළ සිරගතව සිටින බව උන්වහන්සේ පවසන බව ඔබ කියවා ඇත. මතෙව් 25:36
58. එබැවින්, සභාවද මෙතරම් මහත් කරුණා අනුග්රහය දැක, ඇගේ දරුවන්ට සහ ඇගේ මිතුරන්ට සක්රමේන්තු සඳහා එක්වන ලෙස අවවාද කරයි: මිත්රයෙනි, කන්න; ප්රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න. සලමොන්ගේ ගීතිකාව 5:1 අප කන දේ සහ අප බොන දේ ශුද්ධාත්මයාණන් වහන්සේ වෙනත් තැනක අනාගතවක්තෘවරයා කරණකොටගෙන පැහැදිලි කර ඇත, එනම්: ස්වාමින් වහන්සේ යහපත් බව රස බලා දැනගන්න; උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තා භාග්යවන්තයෙකි. එම සක්රමේන්තුව තුළ ක්රිස්තුස් වහන්සේ සිටින සේක, මන්ද එය ක්රිස්තුස් වහන්සේගේ ශරීරය වන බැවින්, එය ශාරීරික ආහාරය නොව ආත්මික ආහාරය වේ. එබැවින් අපොස්තුළු තුමා එහි රූපය ගැන මෙසේ කියයි: අපගේ පියවරුන් සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත්, සියල්ලන්ම එම ආත්මික බීම බී බවත් අපි දනිමුව. 1 කොරින්ති 10:3 මන්ද දෙවියන් වහන්සේගේ ශරීරය ආත්මික ශරීරයකි; ක්රිස්තුස් වහන්සේගේ ශරීරය දිව්යමය ආත්මයේ ශරීරයයි, මන්ද ආත්මය ක්රිස්තුස් වහන්සේය, අප කියවන පරිදි එය මෙසේය: අපගේ මුහුණ ඉදිරියෙහි ආත්මය ස්වාමින් වන ක්රිස්තුස් වහන්සේය. විලාප ගී 4:20 පේතෘස්ගේ ලිපියේ අප කියවන්නේ මෙසේය: ක්රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් දුක් වින්ද සේක. 1 පේදුරු 2:21 අවසාන වශයෙන්, අනාගතවක්තෘවරයා වාර්තා කර ඇති පරිදි, එම ආහාර අපගේ හදවත ශක්තිමත් කරන අතර, එම පානය මිනිසාගේ හදවත සතුටු කරයි.
59. එමනිසා, සියල්ල ලැබීමෙන් පසුව, අපි නැවත ඉපදුණු බව තේරුම් ගනිමු, එහෙත් අප නැවත ඉපදෙන්නේ කෙසේද? අප නැවත අපේ මවගේ ගර්භාෂයට ඇතුළු වී නැවත ඉපදුණාද? මම මෙහි ස්වභාවධර්මයේ සාමාන්යෙයන් සිදු වන කාරණය හඳුනා නොගනිමි. එහෙත් මෙහි ස්වභාවධර්මයේ අනුපිළිවෙළක් ඇත්තේ නැත, එහි කරුණා අනුග්රහයේ විශිෂ්ටත්වය පවතී. නැවතත්, සැමවිටම පිළිසිඳ ගැනීම ඇති කරන්නේ ස්වභාවධර්මයේ ගමන් මග නොවේය, මන්ද අප ස්වාමින් වන ක්රිස්තුස් වහන්සේ කන්යාවකගෙන් පිළිසිඳ ගත් බව ප්රකාශ කරන අතර, එසේ අපි ස්වභාවධර්මයේ අනුපිළිවෙළ ප්රතික්ෂේප කරන්නෙමු. මක්නිසාද මරියා පිළිසිඳ ගත්තේ මිනිසෙකු කරණකොටගෙන නොව, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමෙනි. මතෙව් පවසන පරිදි එය මෙසේය: ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නා ලදී. මතෙව් 1:18 එබැවින්, කන්යාව මතට පැමිණෙන ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිසිඳ ගැනීම ඉටු කර පරම්පරාවේ කාර්යය සිදු කළේ නම්, නිසැකවම, බෞතීස්මයේ ළිඳ මතට හෝ බෞතීස්මය ලබන අයට මතට පැමිණීමෙන්, උන් වහන්සේ නව උපතේ යථාර්ථය ඇති කරන බවට අප සැක නොකළ යුතුය.
