පූජකවරුන්ගේ යුතුකම් පිළිබඳ (Ambrose, On the Duties of the Clergy, book 2)

Ambrose of Milan, On the Duties of the Clergy, in Sinhala. Book 2.

2 වන පොත


1 වන පරිච්ඡේදය.

ජීවිතයේ සතුට ලබා ගත හැක්කේ ගුණයහපත් ලෙස ජීවත් වීමෙනි, එයට හේතුව කිතුනුවෙකු මිනිසුන්ගේ මහිමය හා අනුග්‍රහය හෙළා දකින අතරම, තමා කරන දෙයින් දෙවියන් වහන්සේ පමණක් සතුටු කිරීමට කැමති බැවිනි.

1. පළමු පොතෙන්, ගුණවත් ජීවිතයකට සුදුසු යැයි පෙනෙන එම යුතුකම් අපි සාකච්ඡා කළෙමු. ශුද්ධලියවිල්ල සදාකාල ජීවනය ලෙස හඳුන්වන එම ආශීර්වාද ලත් පැවැත්ම රඳා පවතින්නේ එවැනි ජීවිතයක් ගත කිරීමෙන් බවට කිසිවෙකු කිසිදා සැක කර නැත. භක්තිවන්ත ජීවිතයක විශිෂ්ටත්වය කෙතරම් ශ්‍රේෂ්ඨ සහ දීප්තිමත්ද යත්, සාමකාමී හෘදයසාක්ෂියක් සහ සන්සුන් අහිංසකත්වයක් ප්‍රීතිමත් ජීවිතයක් නිර්මාණය කරයි. උදාවන සූර්යයා සඳ හා තාරකාවල දීප්තිය වසා දමන්නාක් මෙන්, සත්‍ය සහ නොකැළැල් තේජසින් බැබළෙන ගුණවත් ජීවිතයක තේජස, ශාරීරික ආශාවන්ට අනුව, යහපත් යැයි සලකනු ලබන හෝ ලෝකයේ ඇස් හමුවේ ශ්‍රේෂ්ඨ හා උතුම් යැයි සලකනු ලබන අනෙකුත් සියලු දේ යටපත් කරයි.

2. පැහැදිලිවම, බාහිර පුද්ගලයින්ගේ තක්සේරුවට අනුව අගය නොකරනු ලබන, එහෙත්, තමන්ගේම අභ්‍යන්තර හැඟීම් අනුව තමන්ම විනිශ්චය කරගන්නා කෙනෙකු හඳුනා ගන්නා ජීවිතය සැබවින්ම ආශීර්වාද ලත් ජීවිතයකි. එවැනි ජීවිතයක් එහි විපාකය ලෙස මහජන අනුමැතිය ලබා නොගනී, එයට දඬුවම්වලට බියෙන් කරදර වන්නේ නැත. මේ අනුව, එය මිනිස් ප්‍රශංසාව පසුපස හඹා නොයන තරමට, එය වඩ වඩාත් ඉහළට නැඟේ. මක්නිසාද යත් මහිමය සොයන අයට වර්තමාන දේවල ස්වරූපයෙන් එම විපාකය ලැබෙන්නේය. එහෙත් එය සදාකාලිකත්වයේ සෙවනැල්ලක් සහ සදාකාල ජීවනයට බාධාවක් වන තාවකාලික විපාකයක් පමණි. ශුද්ධලියවිල්ල ප්‍රකාශ කරන පරිදි එය මෙසේය: සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. මතෙව් 6:2 මෙයින් අදහස් කරන්නේ දුප්පතුන් කෙරෙහි ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය ඔවුන් ඉදිරියේ හොරණෑවක් පිඹින්නාක් මෙන් මුළු ලෝකයටම ප්‍රකාශ කිරීමට කැමති අය ගැන කියනු ලැබේ. උපවාසය සම්බන්ධයෙන්ද එය එසේම වේ. එය බාහිර ප්‍රදර්ශනය සඳහා පමණක් සිදු කෙරේ. ඔවුන්ට ඔවුන්ගේ විපාකය ඇති බව උන් වහන්සේ පවසන සේක.

3. එබැවින් මිනිසුන්ගෙන් නොව දෙවියන් වහන්සේගෙන් පමණක් විපාකයක් අපේක්ෂා කරන බව පෙනී යන පරිදි දයාව පෙන්වීම හා රහසිගතව නිරාහාරව සිටීම ගුණ යහපත් ජීවිතයකට අයත් වේ; උපවාස කිරීම සිල්වත් ජීවිතයකට අයත් වේ. මක්නිසාද මිනිසාගෙන් එය සොයන තැනැත්තාට ඔහුගේ විපාකය ලැබී ඇත, එහෙත් දෙවියන් වහන්සේගෙන් එය සොයන තැනැත්තාට සදාකාල ජීවනය ඇත, එය සදාකාලික ස්වාමින් වහන්සේට මිස අන් කිසිවෙකුට දිය නොහැකිය, එහි මෙසේ කියනු ලැබේ: සැබවක් නුඹට කියමි-අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක. ලූක් 23:43 එබැවින් ශුද්ධලියවිල්ල පැහැදිලිවම එම ආශීර්වාද ලත් ජීවිතය සදාකාල ජීවනය ලෙස නම් කර ඇත. මෙම විෂය පිළිබඳ මිනිසාගේ අදහස් අනුව එය තක්සේරු කිරීමට ඉතිරි වී නැත, එහෙත් දෙවියන් වහන්සේගේ විනිශ්චයට භාර දී ඇත.

2 වන පරිච්ඡේදය.

සතුට පිළිබඳ විෂය පිළිබඳ දාර්ශනිකයන්ගේ විවිධ අදහස්. ඔහු මුලින්ම, එය දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම සහ යහපත් ක්‍රියා ලුහුබැඳීම මත රඳා පවතින බව ඔහු ශුභාරංචියෙන් ඔප්පු කරයි.; ඊළඟට, මෙම අදහස දාර්ශනිකයන්ගෙන් ලබා ගත් බව සිතිය නොහැකි බව දක්වන ඔහු අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂියෙන් සාක්ෂි එකතු කරයි.

4. ප්‍රීතිමත් ජීවිතයක ස්වභාවය පිළිබඳ දාර්ශනිකයෝ විවිධ මත දරති. ඇතැමුන් විශ්වාස කළේ (හයිරොනිමස්// Hieronymus දක්වන ආකාරයට) එය වේදනාවෙන් නිදහස් වීම මත හෝ (හෙරිලස්/ Herillus දක්වන ආකාරයට) එය දැනුම මත රඳා පවතින බවයි. ඇරිස්ටෝටල්/ Aristotle සහ තියෝෆ්‍රැස්ටස්/ Theophrastus දැනුම ඉතා ඉහළින් වර්ණනා කරන බව ඇසූ හෙරිලස්, ඔවුන් අන් ගුණාංග අතර එය එක් යහපත් දෙයක් ලෙස පමණක් විස්තර කර තිබුණද, දැනුම පමණක් ඉහළම යහපත බව නිගමනය කළේය. එපිකියුරස්/ Epicurus සතුට උසස්ම යහපත ලෙස සැලකුවේය.

කැලිෆෝ/ Callipho සහ පසුකාලීනව ඩයෝඩෝරස්/ Diodorus, වැනි අය ගුණාංගවල එකතු වීමක් නොමැතිව සතුට පැවතිය නොහැකි බව විශ්වාස කරමින්, සතුටෙන් සිටීම, වේදනාවෙන් නිදහස් වීම සමග ගුණවත් ජීවිතය ඒකාබද්ධ කර දැක්වූහ. ස්ටොයික්වරයෙකු වූ සිනෝ/ Zeno the Stoic කියා සිටියේ උසස්ම සහ එකම යහපත පවතින්නේ ගුණවත් ජීවිතයක බවයි. ඇරිස්ටෝටල්, තියෝෆ්‍රැස්ටස් සහ ඇරිස්ටෝටල්ගේ අනෙකුත් අනුගාමිකයින් ඉගැන්වූයේ සතුටින් පිරි ජීවිතයක් ගුණවත් ජීවිතයකින් සමන්විත වන නමුත් එහි සතුට සම්පූර්ණ වූයේ ශරීරයේ සහ අනෙකුත් බාහිර යහපත් දේවල ප්‍රයෝජන මත රඳා පවතින බවයි.

5. කෙසේ වෙතත්, ශුද්ධලියවිල්ල උගන්වන්නේ සදාකාල ජීවනය දිව්‍යමය සත්‍යයන් පිළිබඳ දැනුම සහ යහපත් ක්‍රියාවලින් ලැබෙන ඵල මත රඳා පවතින බවයි. ශුභාරංචිය මෙම ප්‍රකාශ දෙකටම සාක්ෂි දරයි. යේසුස් ස්වාමින් වහන්සේ දැනුම සම්බන්ධයෙන් මෙසේ වදාළ සේක: සදාකාල ජීවනය නම් මේය-එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය. යොහන් 17: 3 උන් වහන්සේ ක්‍රියා සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළෙ සේක: ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සිය ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය. මතෙව් 19:29

6. මෙම සත්‍යයන් ප්‍රථමයෙන් මෑත කාලයේ ඉගැන්වූ බව හෝ ශුභාරංචියෙහි මේ වා සඳහන් කිරීමට පෙර දාර්ශනිකයන් ඒවා ගැන කතා කළ බව කිසිවකු නොසිතිය යුතුය. දාර්ශනිකයන් සම්බන්ධයෙන් ගත් කල, එනම් ඇරිස්ටෝටල් සහ තියෝෆ්‍රැස්ටස් මෙන්ම සෙනෝ සහ හයිරොනිමස්ද නිසැක ලෙසම ශුභාරංචියේ කාලයට පෙර ජීවත් වූ අය වෙති. එහෙත් ඔවුන් පැමිණියේ අනාගතවක්තෘවරුන්ට බොහෝ කලකට පසුවය. ඒ වෙනුවට, මෙම දාර්ශනිකයන්ගේ නම් දැන ගැනීමට සියවස් කීයකට පෙරම, මෙම සත්‍යයන් දෙකම ශුද්ධ වූ දාවිත්ගේ මුවින් ප්‍රකාශ කර තිබේද යන්න මිනිසුන් සලකා බැලිය යුතුය. එහි මෙසේ ලියා ඇත: ස්වාමිනි, ඔබ දඬුවම් කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය. තවත් තැනක මෙසේ දක්වා ඇත: ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය. මේ අනුව, අනාගතවක්තෘවරයා දැනුමෙහි ඵල විපාකය සදාකාලික ආශීර්වාදය බව ප්‍රකාශ කර ඇති අතර, අපි දැනුම ප්‍රශංසාවට ලක් වූ බව ඔප්පු කළෙමු. එහිදී ස්වාමින් වහන්සේට ගරුබිය දක්වන සහ උන් වහන්සේගේ ආඥාවලට ප්‍රිය කරන තැනැත්තාගේ නිවසෙහි මහිමය හා ධනය ඇති බවත්, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින බවත් ඔහු එකතු කරයි. අවංක මනුෂ්‍යයෙකුගේ යහපත් ක්‍රියා ඔහුගේ සදාකාල ජීවනයට මඟපෙන්වන බව ඔහු එම ගීතිකාවේදීම උගන්වයි. එහි මෙසේ සඳහන් වේ: සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය. කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්ධ වේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ට කරගන්නේය. මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය. නැවතත් එහි මෙසේ ප්‍රකාශ කරයි: ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.

7. එබැවින් ඇදහිල්ල සදාකාල ජීවනයේ (පොරොන්දුව) දරයි, එය යහපත් පදනමක් ලෙස සේවය කරන බැවිනි. යහපත් ක්‍රියාවලටද එම පොරොන්දුව හිමි වේ, මන්ද අවංක පුද්ගලයා වචනයෙන් හා ක්‍රියාවෙන් පරීක්ෂා කර ඔප්පු කරනු ලැබේ. යමෙකු නිරන්තරයෙන් කතා කරන නමුත් ක්‍රියා කිරීමට ප්‍රමාද වන්නේ නම්, ඔහුගේ ක්‍රියාවෙන් හෙළි වන්නේ ඔහුගේ දැනගැන්ම සැබවින්ම කෙතරම් නොවටින්නේද යන්නයි. ඊට අමතරව, යමෙකු කළ යුතු දේ දැනගැනීම සහ තමා කළ යුතු බවට ඉගෙනගත් දේ නොකිරීම වඩාත් නරකය. අනෙක් අතට, හදවතෙහි සැබෑ ඇදහිල්ල නොමැතිව යහපත් ක්‍රියා සිදු කිරීම දුර්වල අත්තිවාරමක් මත විස්මයජනක හා උස් වහලක් තැනීම තරම්ම නිෂ්ඵලය. එය උස වැඩි වී ඉහළ යන තරමට එහි වැටීම විශාල වේ. ඇදහිල්ලේ රැකවරණය නොමැතිව යහපත් ක්‍රියාවලට නැගී සිටිය නොහැකිය. අනාරක්ෂිත වරායකින් නැවකට හානි වන්නා සේම, වැලි සහිත අත්තිවාරමකට ගොඩනැඟිල්ලක බර දරාගත නොහැකි වන්නා සේම, ඇදහිල්ලෙන් තොරව කරන ක්‍රියාවලට ඔරොත්තු දිය නොහැකිය. එහිදී ගුණවත් බවින් පරිපූර්ණ වූ විටත්, වචන හා ක්‍රියාවන් නිසි එකඟතාවයකින් පවතින විටත් සම්පූර්ණ විපාකය ලැබේ.

3 වන පරිච්ඡේදය.

ශුද්ධලියවිල්ලෙන් උපුටා ගන්නා ලද ආශීර්වාදය පිළිබඳ අර්ථ දැක්වීම සලකා බලා ඔප්පු කර ඇත. එය බාහිර වාසනාවෙන් වැඩි දියුණු කළ නොහැකි අතර අවාසනාවෙන් එය දුර්වල කළ නොහැකිය.

8. එසේ දාර්ශනිකයන්ගේ නිමක් නැති තර්කවලට අනුව ප්‍රමාණවත් නොවන හෝ හුදෙක් අසම්පූර්ණ කාරණයක් ලෙසින් දැනුම පසෙකට දමා හුදෙකලාව ඇති බැවින්, දාර්ශනිකයන් මෙතරම් සංකීර්ණ සහ ව්‍යාකූල න්‍යායන් ඉදිරිපත් කළ කරුණක් පිළිබඳ දිව්‍යමය ශුද්ධලියවිල්ල කෙතරම් පැහැදිලිව ඉඉදිරිපත් කරන්නේද යන්න අපි දැන් නිරීක්ෂණය කරමු. ගුණවත්කම හැරුණුකොට අන් කිසිවක් සැබවින්ම යහපත් නොවන බව ශුද්ධලියවිල්ල උගන්වන අතර, ගුණධර්ම සෑම අවස්ථාවකදීම ආශීර්වාද ලත් බව ප්‍රකාශ කරයි. එසේම එය ලෞකික සමෘද්ධියෙන් හෝ බාහිර වාසනාවෙන් වැඩි වන්නේවත් දුක් විඳීමෙන් හා විපත්තිවලින් අඩු වන්නේවත් නැත. පුද්ගලයෙකුට පාපයෙන් තොර වූ, නිර්දෝෂීභාවයෙන් පිරී, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බහුල ලෙස සැපයෙන තත්වයට වඩා ආශීර්වාදයක් තවත් නැත. මක්නිසාද යත් මෙසේ ලියා ඇත: දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය. නැවතත් එය මෙසේ කියයි: නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.

9. එබැවින් නිර්දෝෂී බව හා ආත්මික දැනුම පුද්ගලයෙකු ආශීර්වාද ලත් අයෙකු කරයි. ආශීර්වාදයේ පූර්ණත්වය වන සදාකාලික ජීවිතය යහපත් ක්‍රියාවල විපාකය බව අපි දැනටමත් පෙන්වා දී ඇත්තෙමු. සැපසම්පත්වල ආකර්ෂණය සහ දුක් වේදනාවලට තිබෙන බිය යමෙකු ප්‍රතික්ෂේප කළ විට, (මෙයින් පළමුවැන්න දුප්පත් හා නුසුදුසු ලෙසත්, අනෙක පුරුෂයන්ට නොගැළපෙන හා දුර්වල ලෙසත් සැලකේ), වේදනාව මධ්‍යයේ වුවද ආශීර්වාද ලත් ජීවිතයක් සමෘද්ධිමත් විය හැකි බව ඔප්පු කිරීමට ඉතිරිව ඇත. මෙය පහසුවෙන්ම පහත කියමනෙන් විදහා දැක්විය හැකිය: මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාද ලද්දෝය. ප්‍රීති වෙන්න, ඉතා සන්තෝෂ වෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩා කළෝය. මතෙව් 5:11-11 එලෙසම, ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක: යමෙකු මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා. මතෙව් 16:24

4 වන පරිච්ඡේදය.

බාහිර කරුණු මගින් ආශීර්වාද අඩු නොකරන බව හෝ ආශීර්වාද එකතු නොකරන බව යන තර්කයම, පැරණි මිනිසුන්ගේ නිදසුන්වලින් පැහැදිලි කර ඇත.

10. එම නිසා වේදනාවන් සහ දුක මධ්‍යයේ පවා ආශීර්වාද ලත් බවක් ඇත. ගුණවන්තකම, එහි මිහිරි බව සහ ශක්තිය තුළින්, හෘදයසාක්ෂිය සනසාලීමට සහ දිව්‍යමය කරුණා අනුග්‍රහය වැඩි කිරීමට අවශ්‍ය තරම් ස්වාභාවික සම්පත් ඇති බැවින්, එවැනි දුෂ්කරතා පාලනය කර ජය ගනී. මෝසෙස් ඊජිප්තුවරුන් විසින් වට කරන ලදුව මුහුදට කොටු වූ විට, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුළින් තමාට සහ මිනිසුන්ට ජලය හරහා මාර්ගයක් සොයාගත් විට ඔහුට මහත් ආශීර්වාදයක් ලැබුණි: නික්මයාම 14. මහත් අන්තරායන්ට මුහුණ දුන්නද, ආරක්ෂාව පිළිබඳ බලාපොරොත්තුව අත් නොහැර, ජයග්‍රහණය සොයමින් සිටි ඒ මොහොතට වඩා ඔහු නිර්භීත වූයේ අන් කවදාද?

11. ආරොන් ගැන කිව යුත්තේ කුමක්ද? ඔහු ජීවත්ව සිටින අය සහ මළවුන් අතර සිටගෙන, ඔහුගේ අබිමුඛය නිසා මිනිසුන් අතර මරණය තවදුරටත් පැතිරීම වැළැක්වූ අවස්ථාවට වඩා තමා භාග්‍යවන්තයෙකු ලෙස සැලකුවේ අන් කවදාද? ගණන් කතාව 16:48. කුසගින්නෙන් පෙළෙන සිංහයන්ගෙන් වට කරනු ලැබ සිටියත් ඔවුන්ගේ ම්ලේච්ඡ ස්වභාවයට බියක් නොදැනෙන තරමට ප්‍රඥාවන්ත තරුණ දානියෙල් ගැන මා කුමක් කියන්නද? ඔහු භීතියෙන් කෙතරම් දුරට මිදී සිටියේද යත්, ඔහුගේ ක්‍රියාවන් විසින් ඔහු ගිල දැමීමට තිරිසනුන්ට අනුබල දෙනු ඇතැයි කරදර නොවී ඔහුට ආහාර ගැනීමට හැකි විය.

12. මෙසේ දුක් විඳීම තුළ යහපත් හෘදසාක්ෂියක මිහිරියාව ප්‍රකාශ කළ හැකි ගුණවත් බවක් පවතී. එම නිසා වේදනාව නිසා ගුණවත්කමෙන් ලැබෙන සතුට අඩු නොවන බව මෙයින් සනාථ වේ. එසේ නම්, වේදනාව තුළින් ගුණධර්මයට ආශීර්වාද අහිමි වීමක් සිදු නොවනවා සේම, ශරීරයේ සතුට සහ භෞතික ප්‍රතිලාභ එයට කිසිවක් එකතු නොකරයි. එබැවින් අපොස්තුළු තුමා මේ පිළිබඳ නිවැරදිව මෙසේ පවසයි: එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභ යයි සිතීමට පැමිණියෙමි. ඔහු තවදුරටත් මෙසේ කියයි: මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභ යයි සලකමි: පිලිප්පි 3:7-8.

13. මෝසෙස්ද ඊජිප්තුවේ වස්තු ඔහුට අලාභයක් ලෙස සැලකූ අතර, එසේ කිරීමෙන් ස්වාමින් වහන්සේගේ කුරුසියේ නින්දාව ඔහුගේ ජීවිතය තුළ ප්‍රදර්ශනය කළේය. ධනය බහුල වූ විට ඔහු සැබවින්ම පොහොසත් නොවූ අතර, පාළුකරයේදී ඔහුටත් ඔහුගේ සෙනඟටත් දෛනික ආහාර හිඟ වූ විට ඔහු මඳ සතුටකින් සිටි බව යමෙකු සිතන්නේ නම් මිස, ආහාර හිඟ වූ විට ඔහු දුප්පත්ද නොවීය. එහෙත් දේවදූතයන්ගේ ආහාරය වන මන්නා ඔහුට ඉහළින් ලබා දෙන ලද අතර, එය ඔහුට ස්වර්ගයෙන් දෙන ශ්‍රේෂ්ඨතම යහපතෙහි සහ ආශීර්වාදයේ ලකුණක් බව ප්‍රතික්ෂේප කිරීමට නිසැකවම කිසිවෙකු එඩිතර නොවනු ඇත. තවද නික්මයාම 16:13 අනුව, දිනපතා ලැබුණු මස් මුළු සමූහයා පෝෂණය කිරීමට ප්‍රමාණවත් විය.

14. ශුද්ධ වූ එලියාද ආහාර පිණිස රොටියක් සෙව්වේ නම් ඔහු අසාර්ථක වන්නට තිබුණි. එහෙත් ඔහු එය නොසෙවූ බැවින් එයින් ඔහු අසාර්ථක වූ බවක් නොපෙනුණි. කපුටෝ ඔහුට සෑම උදෑසනකම රොටි සහ සෑම සවසකම මස් ගෙනාවෝය. ඔහු ද්‍රව්‍යමය වශයෙන් දුප්පත් නිසා ඔහුට තිබුණේ අඩු ආශීර්වාදයක්ද? නිසැකවම නැත. ඒ වෙනුවට, ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි පොහොසත් වූ නිසා ඔහු වඩාත්ම ආශීර්වාද ලත් තැනැත්තා විය. තමා වෙනුවෙන්ම නොව, එහෙත් අන් අය උදෙසා පොහොසත් වීම වඩා හොඳය. එලියා සාගතය අතරතුර වැන්දඹුවකගේ ත්‍යාගශීලීත්වයට ආපසු ගෙවීමට අදහස් කරමින් ඇයගෙන් ආහාර ඉල්ලා සිටි එලියා මෙය නිරූපණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර තුනකුත් මාස හයක් යනතුරු ඇගේ ආහාර අවසන් නොවූ අතර ඇගේ දෛනික අවශ්‍යතා සඳහා තෙල් කුලාවද එම සම්පූර්ණ කාලය පුරාවට නොකඩව සැපයීය. පේදුරුට නිවැරදි ලෙසම අවශ්‍ය වූයේ එලියා සහ මෝසෙස් දුටු තැනම සිටීමටය. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ සමග මහිමයෙන් කන්ද උඩ පෙනී සිටීම නිවැරදි විය. මතෙව් 17:3 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේම පොහොසත්ව සිටි නමුත්, උන් වහන්සේ දිළිඳු බවට පත් වූ සේක.

15. එබැවින් ධනය ආශීර්වාද ලත් ජීවිතයක් ගත කිරීමට උපකාරයක් වන්නේ නැත. ස්වාමින් වහන්සේම මෙම කාරණය ශුභාරංචියේ පැහැදිලිව උගන්වන සේක: දිළිඳු වූ නුඹලා ආශීර්වාද ලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගේය. දැන් බඩගිනි ඇති නුඹලා ආශීර්වාද ලද්දෝය. මක්නිසාද නුඹලා තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා සිනාසෙන්නහුය, ලූක් 6:20-21. මිනිසුන් සාමාන්‍යයෙන් නපුර ලෙස සලකන දුප්පත්කම, කුසගින්න සහ වේදනාව ආශීර්වාද ලත් ජීවිතයකට බාධාවක් නොවන බව පමණක් නොව, ඒ සඳහා බොහෝ උපකාර වන බව හැකි තරම් පැහැදිලිව සඳහන් කර ඇත.

5 වන පරිච්ඡේදය.

සාමාන්‍යයෙන් යහපත් ලෙස සලකනු ලබන දේවල් බොහෝ දුරට ආශීර්වාද ලත් ජීවිතයකට බාධාවක් වන අතර, අයහපත් ලෙස සලකනු ලබන දේවල් ගුණධර්ම වර්ධනය වන ද්‍රව්‍ය වේ. ආශීර්වාදයට අයත් දේ වෙනත් නිදසුන් මගින් පෙන්වා දී ඇත.

16. එහෙත් මිනිසුන් පොදුවේ ආශීර්වාද ලෙස සලකන ධනය, බහුලත්වය සහ වේදනාවෙන් තොර ප්‍රීතිය වැනි දේ සැබෑ ආශීර්වාදයේ ඵල ලබා ගැනීමට බාධා කරයි. මෙය ස්වාමින් වහන්සේ මෙසේ පැවසූ කල උන් වහන්සේගේම වචනවලින් පැහැදිලිව පෙන්නුම් කර ඇත: නුමුත් ධනවන්තවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලාගේ සැනසීම නුඹලාට ලැබී තිබේ. දැන් තෘප්තියට පැමිණ සිටින නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා ශෝකව අඬන්නහුය. ලූක් 6:24-25 එමනිසා, ලෞකික නැතිනම් බාහිර කාරණා පුද්ගලයෙකුට ආශීර්වාද ලත් ජීවිතයක් ලබා ගැනීමට උපකාර කිරීමට අපොහොසත් වනවා පමණක් නොව, ඇත්ත වශයෙන්ම ඔවුන්ට එය ලබා ගැනීමට බාධාවක් විය හැකිය.

17. මේ හේතුව නිසා ධනවත් මිනිසුන් විසින් ගල් ගසා මරා දමනු දැමුවද, නාබොත් සැබවින්ම ආශීර්වාද ලද්දෙකි. රජෙකුගේ සම්පත් හා සසඳන විට දුර්වල හා දුප්පත් වුවද, ඔහු විශ්වාසය, අරමුණ සහ ආගමික භක්තියෙන් පොහොසත් අයෙකු විය. ඇත්ත වශයෙන්ම, ඔහු ආත්මික වශයෙන් කොතරම් පොහොසත්ද යත්, ඔහු තම පියාගෙන් උරුම වූ මිදි වත්ත රජුගේ මුදලට හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කළේය. මේ කාරණය සම්බන්ධයෙන් ඔහු සම්පූර්ණකමින් යුක්ත අයෙකු විය. එයට හේතුව තම රුධිරයෙන් පවා වන්දි ගෙවමින් ඔහු තම මුතුන්මිත්තන්ගේ උරුමය ආරක්ෂා කළ බැවිනි. ඊට හාත්පසින්ම වෙනස්ව, ආහබ් තමාගේම දුක්ඛිත තත්වය හෙළි කළේය, ඔහු නාබොත්ගේ මිදි වත්ත තමන්ටම පවරා ගැනීම සඳහා දුප්පත් මිනිසෙකු මරණයට පත් කළේය.

18. එබැවින් ගුණවන්තකම පමණක් උත්තරීතර හා උසස්ම යහපත බව නිසැකය. එය පමණක්ම ආශීර්වාද ලත් ජීවිතයක ඵලවලින් පිරී ඇත. අවසානයේ සදාකාල ජීවනය උරුම කරගන්නා ආශීර්වාද ලත් ජීවිතය රඳා පවතින්නේ බාහිර හෝ ලෞකික ප්‍රතිලාභ මත නොව, ගණවන්තකම මත පමණක්මය. ආශීර්වාද ලත් ජීවිතයක් යනු වර්තමාන ජීවිතයේ භුක්ති විඳින විපාකය වන අතර, එහි අනාගත බලාපොරොත්තුව සදාකාල ජීවනය වේ.

19. කෙසේ වෙතත්, දුර්වල හා බිඳෙන සුලු මෙම ශරීරය තුළ ආශීර්වාද ලත් ජීවිතයක් ගත කළ නොහැකි යැයි සිතන සමහරු සිටිති. මක්නිසාද යත් එම ජීවිතයේදී වේදනාව හා ශෝකය විඳිය යුතුය, අඬා වැලපිය යුතුය, අසනීප විය යුතුය. එබැවින්, ආශීර්වාද ලත් ජීවිතයක් ශාරීරික ප්‍රීතිය මත රඳා පවතින බව මටද පැවසිය හැකිය. එහෙත් එය ප්‍රඥාවේ උච්චතම අවස්ථාව මත, හෘද සාක්ෂියේ මිහිරි බව මත හෝ ගුණධර්මයේ උච්චතම අවස්ථාව මත නොවේ. දුක් වේදනා මධ්‍යයේ ජීවත් වීම ආශීර්වාද ලත් දෙයක් නොවේ; එහෙත් එම දුක්ඛිතභාවය ජය ගැනීම සහ තාවකාලික වේදනාවේ බලයෙන් බිය නොවීම ආශීර්වාද ලත් දෙයකි.

20. අන්ධභාවය, පිටුවහල් කිරීම, කුසගින්න, දියණියකගේ හිංසනය, දරුවන් අහිමි වීම වැනි ශෝකය සම්බන්ධයෙන් භයානක ලෙස සැලකෙන දේවල් අප වෙත පැමිණේ යැයි සිතමු. ඊසාක් මහලු වියේදී අන්ධ වී, ඇස් නොපෙනී ගියත්, අන් අයට ආශීර්වාද කළ අතර, ඔහුගේ ආශිර්වාදයෙන් ආශීර්වාද ලබා දුන් බවත් ප්‍රතික්ෂේප කිරීමට එඩිතර වන්නේ කවුද? උත්පත්ති 27:28. තම පියාගේ නිවසින් පිටව ගොස්, එඬේරෙකු ලෙස වහල්භාවය විඳ දරාගත් යාකොබ් ආශීර්වාද ලත් කෙනෙකු නොවේද? උත්පත්ති 31:41 එසේම තම දියණියගේ පාරිශුද්ධ භාවය උල්ලංඝනය කිරීම ගැන වැලපෙමින්, උත්පත්ති 34:5 කුසගින්නෙන් පෙළුණු, උත්පත්ති 42:2. යාකොබ් ආශීර්වාද ලත් අයෙකු නොවේද? ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ සහ යාකොබ්ගේ දෙවියන් වහන්සේ නික්මයාම 3:6 යනුවෙන් ලියා ඇති පරිදි, ඔවුන්ගේ යහපත් ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේ සාක්ෂි දුන් ඔවුන් ආශීර්වාද ලත් අය නොවේද? වහල්භාවය සාමාන්‍යයෙන් දුක්ඛිත තත්වයක් ලෙස සලකනු ලැබේ, එහෙත් යෝසප් දුක්ඛිත අයෙකු නොවීය. ඊට පටහැනිව, ඔහු පැහැදිලිවම ආශීර්වාද ලැබුවේය, මන්ද ඔහු වහලෙකු ලෙස ජීවත් වන විට තම ස්වාමියාගේ බිරිඳගේ පව්කාර ආශාවන්ට විරුද්ධ වී ජයගත් බැවිනි. උත්පත්ති 39:7 පුතුන් තිදෙනෙකුගේ මරණය ගැන ශෝකයට පත් වූ සහ තම දියණිය අගෞරවයට පත් වීම දැකීමෙන් ඊටත් වඩා විශාල දුකක් විඳි ශුද්ධ වූ දාවිත් ගැන අප කුමක් කිව යුතුද? එහෙත්, බොහෝ මිනිසුන්ට ආශීර්වාද කළ තැනැන් වහන්සේ වන ආශීර්වාදයේ කර්තෘවරයා වන උන් වහන්සේගේම පරම්පරාවෙන් පැමිණි විට උන් වහන්සේ ආශීර්වාද නොලත් අයෙකු ලෙස සලකන්නේ කෙසේද? මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කළේ මෙසේය: නොදුටු නමුත් විශ්වාස කරන අය භාග්‍යවන්තයෝය. යොහන් 20:29 මේ සියලු මිනිසුන්ට ඔවුන්ගේ මානව දුර්වලතාවය දැනුණි. එහෙත් ඔවුහු එය නිර්භීතව ජය ගත්හ. ශුද්ධ වූ යෝබ්ගේ පීඩාවලට වඩා, එනම් ඔහුගේ නිවස ගින්නෙන් දැවී යාම, නොඑසේ නම් ඔහුගේ දරුවන් දස දෙනාගේ හදිසි මරණය, එසේත් නැත්නම් ඔහුගේ ශරීරය දරුණු ලෙස තුවාලවලින් පීඩා විඳීමට වඩා දුක්ඛිත ලෙස පෙනෙන්නේ කුමක්ද? ඔහු සැබවින්ම අනුමත කරන ලද අයෙකු බව පෙන්වූ කාරණා විඳ දරා නොගත්තේ නම් ඔහුට අඩු ආශීර්වාදයක් ලැබුණේද?

21. මෙම දුක් වේදනා තුළ කටුක බවක් ඇති බව නිසැකවම සත්‍යයකි, එසේම ශක්තිමත් මනසට පවා ඒවායින් ඇති වන වේදනාව සම්පූර්ණයෙන්ම සැඟවිය නොහැකිය. වෙරළ අසල ජලය නොගැඹුරු නිසා මුහුද ගැඹුරු බව මම ප්‍රතික්ෂේප නොකරමි, සමහර විට වලාකුළුවලින් වැසී ඇති නිසා අහස දීප්තිමත් නොවන බව මම නොකියමි. ඒ හා සමානව, පෘථිවියේ සමහර කොටස් නිසරු බැවින් පොළොව ඵලදායී නොවන බව මම නොකියමි, ඉඳහිට බෝග අතර වල් පැළෑටි වැඩෙන නිසා කෙත්වතු බහුල බෝග නිපදවන බව මම ප්‍රතික්ෂේප නොකරමි. එලෙසම, යහපත් හා සාමකාමී හෘදයසාක්ෂියක අස්වැන්නෙහි තවමත් දුක්ඛිත අත්දැකීම් කිහිපයක් අන්තර්ගත විය හැකි බව අප පිළිගත යුතුය. ආශීර්වාද ලත් හා ප්‍රීතිමත් ජීවිතයක එකතු කරන ලද මිටි පුරා, යම් අවාසනාවක් හෝ තිත්තකමක් ඇතුළත් වන්නේ නම්, එය ධාන්‍ය අතර සැඟවී ඇති වල් පැළෑටිවලට සමාන නොවේද, නැතහොත් ඒ අස්වැන්නේ ප්‍රසන්න සුවඳින් කිරිඳිවල තිත්තකම යටපත් වී ඇති ආකාරයට නොවේද? එහෙත් දැන් අපි නැවත වරක් අප කතා කළ විෂය වෙත යොමු වෙමු.

6 වන පරිච්ඡේදය.

සැබවින්ම ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද යන්න පිළිබඳ: හුදෙක් වාසිය ගෙන දෙන දේ නොව, සාධාරණ හා ගුණවත් දේ පිළිබඳ. එවැනි ප්‍රයෝජනවත් කාරණා පෙනෙන පාඩු විඳීමෙන් පවා සොයාගත හැකි අතර, ඒවා ශරීරයට ප්‍රයෝජනවත් වන දේ සහ දේවභක්තිකත්වයට ප්‍රයෝජනවත් වන දේ ලෙස බෙදා වෙන් කළ හැකිය.

22. පළමුවන පොතේ අප අපගේ සාකච්ඡාව සකස් කළේ ගුණධර්ම සහ යෝග්‍ය කාරණා යන විෂයයන් මුලින්ම තබමිනි, මන්ද සෑම යුතුකමක්ම මෙම ගුණාංගවලින් ආරම්භ වන බැවිනි. ඉන්පසු, අපි ප්‍රයෝජනවත් දේ සලකා බැලුවෙමු. ගුණවත් දේ සහ සුදුසු දේ අතර වෙනසක් ඇති බව අපි මුලදී පැහැදිලි කළෙමුව. එය කෙනෙකුට පැහැදිලි කළ හැකි ප්‍රමාණයට වඩා පහසුවෙන් කෙනෙකුට තේරුම් ගත හැකි වෙනසකි – එසේම, අප ප්‍රයෝජනවත් වන කාරණා සලකා බලන විට, වඩාත්ම ප්‍රයෝජනවත් දේ අප ප්‍රවේශමෙන් සලකා බැලිය යුතුය.

23. එහෙත් අප ප්‍රයෝජනවත් බව මනින්නේ මූල්‍යමය ලාභයෙන් නොව, දේවභක්තිය අත්පත් කර ගැනීමෙන්ය. අපොස්තුළු තුමා උගන්වන පරිදි එය මෙසේය: නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය. 1 තිමෝති 4:8 එමනිසා, අප ශුද්ධලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලුවහොත්, ගුණවත් දේ ද ප්‍රයෝජනවත් දේ ලෙස විස්තර කර ඇති බව අපට බොහෝ විට සොයා ගත හැකිය: “සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. 1 කොරින්ති 6:12 මීට පෙර, අපොස්තුළු තුමා පව්කාර ක්‍රියාවන් ගැන සාකච්ඡා කරමින් සිටි අතර, ඔහුගේ අර්ථ ගන්වන්නේ මෙයයි: කෙනෙකුට පව් කිරීමට හැකි විය හැකි නමුත් එවැනි හැසිරීම සුදුසු නොවේ. පාප පුද්ගලයෙකුගේ තෝරා ගැනීමේ බලය තුළ පවතී, එහෙත් ඒවා ගුණවත් නොවේ. තෘෂ්ණාධික නිර්ලජ්ජිත ජීවිතයක් ගත කිරීම පහසුය. එහෙත් එය නිවැරදි නොවේ. මක්නිසාද ආහාර සේවය කරන්නේ දෙවියන් වහන්සේට නොව කුසටය.

24. එබැවින්, ප්‍රයෝජනවත් දේ යුක්තිසහගතද වන බැවින්, අප මුදාගත් ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීම යුක්තියේ ක්‍රියාවක් බව එයින් කියවේ, එලෙසම, උන් වහන්සේගේ නාමය නිසා කැමැත්තෙන්ම තම ජීවිත පූජා කළ අයද යුක්තිසහගත අයයි. එසේම එවැනි පූජාවකින් වැළකී සිටීමට උත්සාහ කළ අය අසාධාරණ අයයි. එවැනි අය සම්බන්ධයෙන් ශුද්ධලියවිල්ල මෙසේ පවසයි: මාගේ රුධිරයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? එහි තේරුම මෙයයි. මාගේ යුක්තිසහගත බව අත්කරගෙන ඇති ප්‍රගතිය කුමක්ද? මේ අනුව, තවත් සමහරු මෙසේ ප්‍රකාශ කරති: යුක්ති සහගත තැනැත්තා බැඳ තබමු, මන්ද ඔහු අපට නිෂ්ඵලය. වෙනත් වචනවලින් කිවහොත්, අප ගැන පැමිණිලි කරන බැවින්, අපගේ හැසිරීම හෙළා දකින බැවින් සහ අපට තරවටු කරන බැවින් ඔහු අධර්මිෂ්ඨය. මෙම ප්‍රකාශය දුෂ්ට මිනිසුන්ගේ කෑදරකමටද අදාළ කළ හැකිය, එය වංචාව හා සමීපව සම්බන්ධ වූ කෑදරකමකි. ධන ලාභය හා මුදල් සඳහා වූ ආශාවෙන් පෙලඹී, ද්‍රෝහිකමට ඇතුළු වී අවසානයේ තමා මත විනාශය ගෙන ආ ද්‍රෝහියා වූ යූදස් තුළ අපට මෙය දැකිය හැකිය.

25. එබැවින්, අපොස්තුළු තුමා පැහැදිලිව බොහෝ වචනවලින් උගන්වන පරිදි, ගුණධර්ම සමග සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වූ එම ප්‍රයෝජනවත් බව අප සාකච්ඡා කළ යුතුය: මා මෙසේ කියන්නේ නුඹලාට මලපතක් තබන පිණිස නොව, සුදුසු දේ සඳහාත්, නුඹලා වියවුල් නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි යෙදීසිටින පිණිසත්, නුඹලාගේම ප්‍රයෝජනයටය. 1 කොරින්ති 7:35 එබැවින්, ගුණවත් දේ ප්‍රයෝජනවත් බවත්, ප්‍රයෝජනවත් දේ ගුණවත් බවත් පැහැදිලිය. එලෙසම, ප්‍රයෝජනවත් දේ යුක්ති සහගත වන අතර යුක්ති සහගත දේ ප්‍රයෝජනවත් වේ. මට මෙම ප්‍රකාශය විශ්වාසයෙන් කිව හැකිය, එයට හේතුව මා ලාභ ලැබීමේ මනසක් ඇති වෙළෙන්දන්ට නොව, මගේම දරුවන්ට ආමන්ත්‍රණය කරන බැවිනි. මා ස්වාමින් වහන්සේගේ සේවය සඳහා තෝරාගෙන ඇති ඔබට කාවැද්දීමට සහ සන්නිවේදනය කිරීමට මා කැමති යුතුකම් ගැන මම කතා කරමි, එවිට පුරුද්ද සහ පුහුණුව තුළින් ඔබේ මනස හා චරිතය තුළ දැනටමත් ගැඹුරින් රෝපණය කර ඇති කාරණා දැන් ඉගැන්වීම සහ පැහැදිලි කිරීම උපදෙස් දීම තුළින් තවදුරටත් පැහැදිලි කර ශක්තිමත් කළ හැකිය.

26. මා දැන් ප්‍රයෝජනවත් කාරණා ගැන කතා කිරීමට සූදානම් වන බැවින්, මම අනාගතවක්තෘවරයාගේ වචනවලින් ආරම්භ කරමි: ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව. මේ ආකාරයෙන්, ප්‍රයෝජනවත් යන වචනය අප තුළ ධනය සඳහා ආශාවක් අවදි නොකරනු ඇත. සමහර අය මෙම පාඨය මෙසේ පරිවර්තනය කරති: ප්‍රයෝජනවත් දේට නොව ඔබගේ සාක්ෂිවලට මාගේ සිත යොමු කළ මැනව. මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාරයේ නිරන්තරයෙන් ලාභ සොයන සහ මිනිස් පුරුදු මගින් මුදල් ලුහුබැඳීමකට විකෘති කර ඇති ප්‍රයෝජනවත් බවයි. සාමාන්‍යයෙන්, මිනිසුන් ප්‍රයෝජනවත් දෙයක් ලෙස හඳුන්වන්නේ එය ද්‍රව්‍යමය ලාභයක් ගෙන දෙන විට පමණි. කෙසේ වෙතත්, අප කතා කරන්නේ පිලිප්පි 3:8 උගන්වන පරිදි ක්‍රිස්තුස් වහන්සේ ලබා ගැනීම සඳහා භූමික පාඩුව පිළිගන්නා එවැනි ප්‍රයෝජනවත් බවක් ගැනය. සැබෑ ලාභය නම් 1 තිමෝති 6:6 අනුව ලත් පමණින් සතුටුවීම සමග භක්තිවන්තකමය. අප දේවභක්තිය ලබා ගන්නා ලාභයද ඇත්තෙන්ම විශිෂ්ටය. එය තාවකාලික දේපළවලින් නොව සදාකාලික දීමනාවලින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප පොහොසත් කරන ධනයකි. මෙම ධනය තුළ අවිනිශ්චිතතාවයක් හෝ අස්ථාවරත්වයක් නැත, එහෙත් සදහටම පවතින නොකඩව පවතින කරුණා අනුග්‍රහය ඇත.

27. එබැවින්, අපොස්තුළු තුමාගේ බෙදීමට අනුව, ශරීරය ගැන සැලකිලිමත් වන එක් ආකාරයක ප්‍රයෝජනවත් බවක් සහ දේවභක්තිය ගැන සැලකිලිමත් වන තවත් ආකාරයක ප්‍රයෝජනවත් බවක් ඇත: මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය. 1 තිමෝති 4:8 ඍජු බවට වඩා ගුණවත් විය හැක්කේ කුමක්ද? ශරීරය නොකැළැල්ව, අපිරිසිදු නොවී, දූෂණයෙන් තොරව ආරක්ෂා කර ගැනීමට වඩා සුදුසු කුමක්ද? නැවතත්, වැන්දඹුවක තම මිය ගිය ස්වාමිපුරුෂයාට දුන් පොරොන්දුවට විශ්වාසවන්තව සිටීමට වඩා වටින්නේ කුමක්ද? ස්වර්ග රාජ්‍යය ලබා ගන්නා එවැනි විශ්වාසවන්තකමට වඩා ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද? මක්නිසාද මතෙව් 19:12 අනුව, ස්වර්ග රාජ්‍යය උදෙසා තමන් නපුංසකයන් බවට පත් කරගත් අය පවා සිටිති.

7 වන පරිච්ඡේදය

ප්‍රයෝජනවත් දේ ගුණවත් දේට සමාන වේ. මෝසෙස් සහ දාවිත්ගේ ඓතිහාසික නිදසුන්වල දැක්වෙන පරිදි මෘදුකම, ආචාරශීලී බව, කරුණාව, යුක්තිය සහ අනෙකුත් ගුණධර්ම තුළින් ලබා ගන්නා ප්‍රේමයට වඩා ප්‍රයෝජනවත් කිසිවක් නැත. විශ්වාසය ඇතිවන්නේ ප්‍රේමයෙන් වන අතර, ප්‍රේමය වර්ධනය වන්නේ විශ්වාසයෙනි.

28. ගුණධර්ම සහ ප්‍රයෝජනවත් බව අතර සමීප සම්බන්ධතාවයක් පමණක් නොවේ; ඒ වෙනුවට, එකම දෙය ප්‍රයෝජනවත් සහ ගුණවත් වේ. එබැවින්, ස්වර්ග රාජ්‍යය සැම දෙනාට විවෘත කිරීමට කැමති වූ ක්‍රිස්තුස් වහන්සේ, තමන් වහන්සේගේම ප්‍රයෝජනය නොව, සියල්ලන්ටම ප්‍රයෝජනය දේ සෙවූ සේක. එලෙසම, අප සාමාන්‍ය සහ පොදු ක්‍රියාවන්ගෙන් පියවරෙන් පියවර වඩාත් විශිෂ්ට දේ වෙත ඉදිරියට යමින්, සැබෑ ප්‍රයෝජනවත් බව වර්ධනය වන ආකාරය බොහෝ නිදසුන් තුළින් පෙන්නුම් කරමින්, නිශ්චිත පිළිවෙළක් ඇතිව ක්‍රමානුකූල ප්‍රගතියක් කරා යා යුතුය.

29. පළමුවෙන්ම, ආදරය ලැබීමට වඩා කිසිවක් ප්‍රයෝජනවත් නොවන බවත්, ආදරය නොලැබීමට වඩා කිසිවක් හානිකර නොවන බවත් අප තේරුම් ගත යුතුය. ඇත්ත වශයෙන්ම, මගේ විනිශ්චයට අනුව, වෛරයට ලක්වීම විනාශකාරී හා මාරාන්තික දෙයකි. අප මේ ගැන කතා කරන්නේ අන් අයගේ යහපත් මතය උපයා ගන්නා සහ ආත්මයේ මෘදුකම සහ හදවතේ කරුණාව තුළින් ඔවුන්ගේ සෙනෙහස තුළ ස්ථානයක් ලබා ගන්නා ආකාරයෙන් ජීවත් වීමට අපට ප්‍රවේශම් විය හැකි බැවිනි. යහපත්කම සෑම කෙනෙකුම ආකර්ෂණය කර සතුටු කරන අතර එලෙසින් මිනිස් හැඟීම් පහසුවෙන් ස්පර්ශ කරන වෙනත් කිසිවක් ඇත්තේ නැත. යහපත්කම චරිතයේ මෘදුකම, උදව් කිරීමට කැමැත්ත, අධිකාරියේ මධ්‍යස්ථභාවය, කතාවේ ආචාරශීලීභාවය, වචනවල ගෞරවය, කතා කිරීමට ඇති කැමැත්ත සහ නිහතමානීකමේ කරුණාව සමග එක් වූ විට, මෙම ගුණාංග සෙනෙහස සහ ආදරය කෙතරම් විශාල ලෙස වැඩි කරනවාද යන්න පුදුම සහගතය.

30. ඉතිහාසයෙන් අපට ඉගෙන ගත හැක්කේ සාමාන්‍ය මිනිසුන් පමණක් නොව රජවරුන් පවා කැමැත්තෙන් ආචාරශීලීත්වයෙන් බොහෝ ප්‍රයෝජන ලබා ඇති අතර, උඩඟුකම සහ අහංකාර කතාවෙන් බොහෝ විට රාජ්‍යයන් අස්ථාවරත්වයට ගෙන ගොස් ප්‍රබල බලවතුන් බිඳවැටීමට හේතු වී ඇති බවයි. යමෙකු ප්‍රඥාවන්ත උපදෙස්, විශ්වාසවන්ත සේවය, මහජන රාජකාරියේ තම යුතුකම් කඩිසරව ඉටු කිරීම හෝ මුළු ජාතියේම සුබසාධනය සඳහා අනතුරකට මුහුණ දීමෙන් යමෙකු ජනතාවගේ අනුග්‍රහය ලබා ගන්නේ නම්, ජනතාව එවැනි පුද්ගලයෙකුට කොතරම් ගැඹුරින් ආදරය කරනවාද යත්, ඔහුගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ඔවුන්ගේ ආරක්ෂාවට වඩා අගය කරනු ඇති බව නිසැකය.

31. මෝසෙස් තම ජනතාවගෙන් කොපමණ පැමිණිලි සහ චෝදනා විඳ දරාගත්තේදැයි සලකා බලන්න! එහෙත් තමාට අපහාස කළ අයට දඬුවම් කිරීමට ස්වාමින් වහන්සේ සූදානම් වූ සෑම අවස්ථාවකම, දෙවියන් වහන්සේගේ උදහසින් ඔවුන් බේරා ගැනීම පිණිස මෝසෙස් නැවත නැවතත් ජනතාව වෙනුවෙන් තමාම පූජා විය. නික්මයාම 32:32 ඔවුන්ගේ අතින් අයුක්තිය අත්විඳීමෙන් පසුව පවා, ඔහු ඔවුන්ට කරුණාවෙන් හා මෘදුකමින් කතා කළේය! ඔවුන්ගේ දුෂ්කරතා අතරතුර ඔහු ඔවුන් දිරිමත් කළේය, අනාගතය පිළිබඳ අනාවැකිමය පොරොන්දුවලින් ඔවුන් සනසවා, ඔහුගේ ක්‍රියාවන් තුළින් ඔවුන් ශක්තිමත් කළේය. ඔහු නිතරම දෙවියන් වහන්සේ සමගම කතා කළද, මිනිසුන් සමග කටයුතු කිරීමේදී ඔහු මෘදු හා ප්‍රසන්නව සිටියේය. එබැවින් ඔහු අන් සියලු මනුෂ්‍යයින්ට වඩා උසස් ලෙස සැලකීම සුදුසුය. මිනිසුන්ට ඔහුගේ මුහුණ දෙස කෙලින්ම බැලීමටවත් නොහැකි විය. නික්මයාම 34:30 ඔහු භූමදාන කරන ලද ස්ථානය සොයා ගත් බව ඔවුන් විශ්වාස කළේ නැත, ද්විතීය කථාව 34:6. ඔහු මුළු ජාතියේම හදවත් දිනාගත් තරම කෙතෙක්ද යත්, ඔහුගේ බලවත් ක්‍රියා නිසා ඔවුන් ඔහු අගය කළාට වඩා ඔහුගේ මෘදුකම නිසා ඔවුහු ඔහුට ආදරය කළහ.

32. දාවිත්ද ඔහුගේ මෙම ආදර්ශය අනුගමනය කළේය. ජනතාව පාලනය කිරීම සඳහා අන් සියල්ලන් අතරින් ඔහු තෝරා ගන්නා ලදී. ඔහු කෙතරම් මෘදු, කරුණාවන්ත, අයෙකු වීද! ආත්මයෙන් නිහතමානී අයෙකුද විය. කඩිසර මෙන්ම ආදරණීය බව පෙන්වීමට සූදානම්ව සිටි අයෙකි. රජ වීමට පෙර පවා, ඔහු සෑම කෙනෙකුගේම ප්‍රයෝජනය සඳහා කැමැත්තෙන් තමාම කැප කළේය. සිංහාසනයට පත්වීමෙන් පසු, ඔහු යුද්ධයේදී තම ජනතාව සමග සමානව සිටි අතර ඔවුන්ගේ දුෂ්කරතා බෙදා ගත්තේය. ඔහු සටනේදී ධෛර්යවන්ත විය, රාජ්‍ය කිරීමේදී මෘදු විය, අපහාස හමුවේ ඉවසීය, තමාට කරන ලද වැරදිවලට ආපසු ගෙවීමට වඩා විඳ දරාගැනීමට වැඩි කැමැත්තක් පෙන්නුම් කළේය. ඔහුට ජනතාව කොතරම් ආදරය කළේද යත්, ඒ වන විටත් තරුණයෙකු වුවද, ඔහුගේම කැමැත්තට එරෙහිව පවා තමන් පාලනය කිරීමට ඔහු තෝරා ගන්නා ලදී. එසේම ඔහු එයට අකමැති වූවද රාජකාරිය භාර ගැනීමට ඔහුට සිදු විය. මහලු වූ විට ඔහුගේ ජනතාව ඔහුගෙන් ඉල්ලා සිටියේ සටනක නිරත නොවන ලෙසයි, මන්ද ඔහු ඔවුන් වෙනුවෙන් අනතුරට පත්වීමට වඩා ඔහු වෙනුවෙන් ඔවුන් සියල්ලන්ම අනතුරට පත්වීමට කැමති වූ බැවිනි.

33. පළමුවෙන්ම, දාවිත් විශ්වාසවන්ත සේවය තුළින් ජනතාවගේ ආදර භක්තිය දිනා ගත්තේය. ගෝත්‍ර අතර බෙදීම අතරතුර, ඔහු යෙරුසලමේ රජකම් කරනවාට වඩා හෙබ්‍රොන්හි පිටුවහල්ව ජීවත් වීම තෝරා ගත්තේය. එමෙක්ම සතුරෙකු තුළ පවා ඇති නිර්භීතකමට ගරු කිරීම ඔහු පෙන්නුම් කළේය. තමාගේම සොල්දාදුවන්ට මෙන්ම තමාට එරෙහිව සටන් කළ අයටද යුක්තිය එක හා සමානව පෙන්විය යුතු යැයි ඔහු විශ්වාස කළේය. මේ අනුව, අබ්නේර් ඔහුට එරෙහිව යුද්ධයේ යෙදී සිටියදී පවා, විරුද්ධ පැත්තේ ශක්තිමත්ම ශූරයා වූ ඔවුන්ග් නායකයා වූ අබ්නේර් ඔහු අගය කළේය. අබ්නේර් සාමය සොයන විට, දාවිත් ඔහු පිළිකුල් නොකර ගෞරවයෙන් පිළිගෙන භෝජන සංග්‍රහයකින් උපස්ථාන කළේය. අබ්නේර් ද්‍රෝහී ලෙස ඝාතනය කිරීමෙන් පසු, දාවිත් ඔහු වෙනුවෙන් හඬා වැටුණේය, වැලපුණේය. ඔහුගේ අවමංගල්‍යයට සහභාගී විය, එසේම ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටීමෙන් ඔහුගේ අවංකභාවය පෙන්නුම් කළේය. ඔහු එම වගකීම තම පුත්‍රයාට භාර දුන්නේය, එයට හේතුව මක්නිසාද යත්, නිර්දෝෂී මිනිසෙකුගේ මරණය ගැන පළි නොගෙන ඉතිරි නොවිය යුතු බවට කනස්සල්ල නිසාය. ඔහු තරම් කිසිවෙකු තමාගේම අය වෙනුවෙන් වැලපෙන්නේද නැත.

34. විශේෂයෙන් රජෙකුට, ඔහු තම යටත්වැසියන්ගෙන් පහත්ම තැනැත්තා මෙන් වන ආකාරයෙන් නිහතමානී රාජකාරි ඉටු කිරීම සුළුපටු ජයග්‍රහණයක් නොවේ. තවත් කෙනෙකුගේ අනතුරකින් ලබාගත් ආහාර ප්‍රතික්ෂේප කිරීම සහ විශාල අවදානමක් යටතේ ලබා ගත් ජලය ප්‍රතික්ෂේප කිරීම උතුම් දෙයකි. කෙනෙකුගේ පව් පිළිගැනීම සහ තම ජනතාව වෙනුවෙන් මිය යාමට කැමැත්තෙන් සිටීම උතුම් දෙයකි. දාවිත් දෙවියන් වහන්සේගේ දඬුවම විඳීමට තමාම ඉදිරිපත් කර විනාශකාරී දේවදූතයාට මෙසේ කීවේය: දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.

35. තවත් මට කුමක් කිව හැකිද? අන් අය ඔහුට විරුද්ධව වංචා කිරීමට සැලසුම් කළ විට, ඔහු නිහඬව සිටියේය, ඔවුන්ගේ කුමන්ත්‍රණ ඔහු නොදන්නා ලෙස ක්‍රියා කළේය. ඔහු අපහාසවලට අපහාසවලින් පිළිතුරු දුන්නේ නැත. මිනිසුන් ඔහුට නපුරු ලෙස කතා කළ විට, ඔහු යාච්ඤා කළේය; ඔවුන් ඔහුට ශාප කළ විට, ඔහු ඔවුන්ට ආශීර්වාද කළේය. ඔහු හදවතේ අවංකභාවයෙන් ජීවත් වූ අතර උඩඟු අයගේ ඇසුරෙන් වැළකී සිටියේය. ලෝකයෙන් දූෂිත නොවී පිරිසිදුව සිටි අය සමග ඔහු ඇසුරු කළේය. ඔහුගේ පාප ගැන ශෝකයෙන් ඔහු අළු ඔහුගේ ආහාර සමග සහ කඳුළු ඔහුගේ බීම සමග මිශ්‍ර කළේය. එබැවින්, සියලු ජනයා ඔහු ඔවුන්ගේ රජු පිළිගැනීම පුදුමයක් නොවේ. ඉශ්‍රායෙල්හි සියලුම ගෝත්‍ර ඔහු වෙත පැමිණ මෙසේ ප්‍රකාශ කළහ: බලන්න, අපි ඔබගේ ඇට සහ ඔබගේ මාංසය වෙමු. තවද, අතීතයේදී සහ ඊට පෙර සාවුල් ජීවත් වී රජකම් කරන විට පවා, ඉශ්‍රායෙල් ජනතාව පිටතට ගෙනාවේත් ඇතුළට ගෙනාවේත් ඔබමය එසේම ස්වාමින් වහන්සේ ඔබ මාගේ සෙනග රැකබලා ගනු ඇතැයි කී සේක. ඇත්ත වශයෙන්ම, දෙවියන් වහන්සේම දාවිත් ගැන සාක්ෂි දුන් සේක: දාවිත්, මාගේ සිතට එකඟ මනුෂ්‍යයා මට හමු විය, උන් වහන්සේම පැවසූ තැනැත්තා ගැන මා කුමක් කිව යුතුද? දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම සඳහා ඔහු මෙන් හදවතේ ශුද්ධකමෙන් හා යුක්තියෙන් ගමන් කළේ අන් කවරෙකුද? ඔහුගේ දරුවන් පව් කළ විට ඔවුන්ට සමාව ලැබුණේ දාවිත් නිසා නොවේද? ඔවුන්ගේ අයිතිවාසිකම් ඔහුගේ උරුමක්කාරයන්ට ආරක්ෂා වූයේ දාවිත් නිසා නොවේද?

36. දාවිත් තම මිතුරන්ට කොතරම් ගැඹුරින් ආදරය කරනවාද යන්න නිරීක්ෂණය කළ විට ඔහුට ප්‍රේම නොකර සිටිය හැකි වන්නේ කාටද? ඔහු තම සගයන්ට සැබවින්ම ආදරය කළ අතර එම මිත්‍රයින්ද ඔහුට එම සෙනෙහස නැවත ලබා දුන් බව විශ්වාස කළේය. දෙමව්පියන් බොහෝ විට තමන්ගේම දරුවන්ට වඩා ඔහු අගය කළ අතර, දරුවෝ තම දෙමාපියන්ට වඩා ඔහුට ප්‍රේම කළහ. මේ නිසා, සාවුල් කෝපයට පත් වූ විය. ජොනතන් දාවිත් කෙරෙහි දැක්වූ පක්ෂපාතීත්වය පුත්‍ර භක්තිය සහ පියෙකු කෙරෙහි කීකරුකම යන දෙකම ඉක්මවා ගිය බව විශ්වාස කරමින් ඔහුගේ පුත් ජොනතන්ට හෙල්ලයකින් පහර දීමට පවා උත්සාහ කළේය.

37. ලබා දුන් සෙනෙහස නැවත ලැබෙන විට සහ මිනිසුන් තමන්ට ආදරය කරන අය ප්‍රේම කරන ආකාරයට වඩා අඩුවෙන් ප්‍රේම නොකර එලෙසින්ම ප්‍රේම කරන බව පෙන්නුම් කරන විට අන්‍යෝන්‍ය ප්‍රේමය බොහෝ සෙයින් වර්ධනය වේ. විශ්වාසවන්ත මිත්‍රත්වයේ ක්‍රියාවන් මගින් එවැනි සෙනෙහස තහවුරු වන විට මෙය විශේෂයෙන් සත්‍ය වේ. කෘතඥතාවයට වඩා ඵලදායී ලෙස අනුග්‍රහය දිනා ගන්නේ අන් කුමක්ද? අපට ආදරය කරන කෙනෙකුට ආදරය කිරීමට වඩා ස්වාභාවික කුමක්ද? අප ආදරය සොයන පුද්ගලයාට අප ඔහුට ආපසු ආදරය කරන බව දැන ගැනීමට වඩා මිනිස් ස්වභාවය තුළ ගැඹුරින් මුල් බැස ඇති ආශාව කුමක්ද? එබැවින් ප්‍රඥාවන්ත මිනිසා මෙසේ පවසයි: ඔබේ සහෝදරයා සහ ඔබේ මිතුරා වෙනුවෙන් ඔබේ මුදල් නැති කර ගන්න. සිරාක් 29:10 නැවතත් ඔහු මෙසේ පවසයි: මිතුරෙකු ආරක්ෂා කිරීමට මම ලජ්ජා නොවෙමි, මම ඔහුගෙන් සැඟවී නොසිටිමි. සිරාක් 22:31 දේශනාකාරයා පොතේ, විශ්වාසවන්ත මිතුරෙකු ජීවිතයේ සහ අමරණීයත්වයේ ඖෂධය බව පවසයි. සිරාක් 6:16 උගන්වන්නේ, ප්‍රේමය අපගේ ශ්‍රේෂ්ඨතම ආරක්ෂාව බව කිසිවෙකු කිසිදා සැක කර නැත, යනුවෙනි. ප්‍රේරිත තුමා ලියන පරිදි එය මෙසේය: ප්‍රේමය සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.1 කොරින්ති 13:7–8

38. මේ අනුව, දාවිත් අසාර්ථක වූයේ නැත, මන්ද ඔහු සැම දෙනාටම ආදරණීය විය. එසේම ඔහුගේ යටත්වැසියන්ගෙන් බියට පත් කරනු ලැබීමට වඩා ආදරය ලැබීමට කැමති විය. බිය තාවකාලික ආරක්ෂාව සපයි. එහෙත් ස්ථිරවම ආරක්ෂා වන්නේ කෙසේදැයි නොදනී. එබැවින්, බිය පහව ගිය තැන, බොහෝ විට නිර්භීතකම ඇති වෙයි; මක්නිසාද යත් බිය විශ්වාසය බලෙන් ඇති නොකරයි, එහෙත් සෙනෙහස විශ්වාසය ඉල්ලා සිටියි.

39. එසේ නම්, අපට නිර්දේශයක් ලබා දිය යුතු පළමුවන දෙය ප්‍රේමයයි. එබැවින් බොහෝ දෙනෙකුගේ ප්‍රේමය තුළ අපගේ සාක්ෂිය තිබීම යහපත් දෙයකි. එවිට විශ්වාසය ඇති වේ, එවිට ආගන්තුකයන් පවා ඔබ බොහෝ දෙනෙකුට ඉතා ආදරණීය බව දකින විට ඔබේ කරුණාව නිසා විශ්වාස කිරීමට බිය නොවනු ඇත. එසේම, කෙනෙක් විශ්වාසය තුළින් ආදරය කරා ගමන් කරති, එවිට එක් අයෙකුට හෝ දෙදෙනෙකුට යහපත් විශ්වාසයක් පෙන්වූ තැනැත්තාට සියල්ලන්ගේම මනසට බලපෑමක් ඇති කර, සියල්ලන්ගේම යහපත් කැමැත්ත දිනා ග හැකි වනු ඇත.

8 වන පරිච්ඡේදය.

උපදෙස් ලබා දීමට වඩා, යහපත් කැමැත්තක් ලබා ගැනීමට වඩා ඵලදායී කිසිවක් නැත; එහෙත් යුක්තිය සහ විචක්ෂණභාවය මත පදනම් නොවන්නේ නම් උපදෙස් කිසිවෙකුට විශ්වාස කළ නොහැකිය. සලමොන්ගේ ප්‍රසිද්ධ විනිශ්චයේ නිදර්ශනයෙන් මෙම ගුණාංග දෙක ඔහු තුළ කෙතරම් පැහැදිලිව ප්‍රදර්ශනය වී ඇත්ද යන්න පෙන්නුම් කෙරේ.

40. එබැවින්, විශේෂයෙන් ආදරය සහ විශ්වාසය යන ගුණාංග දෙක අපට අන් අයගේ අනුමැතිය සහ ගෞරවය ලබා ගැනීමේ බලවත්ම මාධ්‍ය වේ. එසේම පුද්ගලයෙකුට මෙම ගුණාංගය තිබේ නම්, තුන්වන ගුණාංගයක්ද ඇත, එනම් බොහෝ අය අගය කරන සහ ගෞරවයට සුදුසු යැයි සලකන එම ලක්ෂණය: [ප්‍රඥාවන්ත, යහපත් සහ ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීමේ හැකියාවයි.]

41. යහපත් උපදෙස් දීම මිනිසුන්ගේ සෙනෙහස සහ විශ්වාසය දිනා ගැනීමේ ශ්‍රේෂ්ඨතම ක්‍රමවලින් එකක් වන බැවින්, සෑම අවස්ථාවකම විචක්ෂණභාවය සහ යුක්තිය අවශ්‍ය වේ. බොහෝ අය මෙම ගුණාංග සොයන අතර, එබැවින් ඔවුහු වහාම එම ගුණාංග සහිත කෙනෙකු කෙරෙහි විශ්වාසය තබති, මන්ද එවැනි පුද්ගලයෙකුට එය සොයන අයට ප්‍රයෝජනවත් සහ විශ්වාසදායක උපදෙස් ලබා දිය හැකි නිසාය. මක්නිසාද යත්, තමාට වඩා ප්‍රඥාවන්ත යැයි නොසලකන මිනිසෙකුගේ මඟපෙන්වීම යටතේ තමාගේ කැමැත්තෙන් සිටින්නේ කවුද? එබැවින්, උපදෙස් ලබා ගන්නා පුද්ගලයා එම උපදෙස් ඉල්ලන තැනැත්තා අබිබවා ඉහළින් සිටිය යුතුය. අපට දැනටමත් පෙනෙන ප්‍රමාණයට වඩා කරුණු පැහැදිලි කළ හැකි යැයි අප විශ්වාස නොකරන්නේ නම්, අප යමෙකුගෙන් උපදෙස් ලබා ගත යුත්තේ ඇයි?

42. එහෙත් චරිතයේ ශක්තිය, මනසෙහි ස්ථිරභාවය, බලපෑම සහ අධිකාරිය තුළින් අන් අයට වඩා කැපී පෙනෙන මෙන්ම එම පුද්ගලයා ඔහු වටා සිටින අයට වඩා විශාල අත්දැකීම් සහ ආදර්ශයකින් කැපී පෙනෙන පුද්ගලයෙකු අපට හමු වුවහොත්; එයින් වර්තමානයේ අනතුරු ඉවත් කළ හැකිය, අනාගතයේ කරදර පුරෝකථනය කළ හැකිය, ළඟම එන තර්ජන හඳුනා ගත හැකිය, දුෂ්කර කරුණු පැහැදිලිව දැක්විය හැකිය, අවශ්‍ය වේලාවේදී ආධාර ලබාගත හැකිය, එසේම උපදෙස් දීමට පමණක් නොව ප්‍රායෝගික උපකාර ලබා දීමට කැමතිය. එවන් වූ පුද්ගලයෙකු කෙරෙහි ස්වභාවයෙන්ම විශ්වාසය ඇති වේ. එවිට උපදෙස් පතන තැනැත්තාට සැබවින්ම මෙසේ පැවසිය හැකිය: ඔහු තුළින් මට නපුර සිදු වුවද, මම එය දරා ගන්නෙමි. සිරාක් 22:31

43. එවැනි පුද්ගලයෙකුට අපි අපගේ ආරක්ෂාව සහ අපගේ කීර්තිමත් නම යන දෙකම භාර දෙමු, මන්ද, අප දැනටමත් පවසා ඇති පරිදි, ඔහු යුක්තිසහගත මෙන්ම විචක්ෂණශීලී අයෙකි. යුක්තිය ඔහු අප රවටා ගනී යයි ඇති ඕනෑම බියක් ඉවත් කරන අතර, විචක්ෂණශීලී බව ඔහු වැරදි කළ හැකි බවට ඇති ඕනෑම සැකයක් ඉවත් කරයි. එහෙත්, මිනිසුන්ගේ පොදු විනිශ්චයට අනුව, අපි සාමාන්‍යයෙන් හුදෙක් විචක්ෂණශීලී කෙනෙකුට වඩා සාධාරණ පුද්ගලයෙකු විශ්වාස කිරීමට සූදානම් වෙමු. කෙසේ වෙතත්, දාර්ශනිකයන් උගන්වන්නේ එක් සැබෑ ගුණධර්මයක් පවතින තැන අනෙක් ගුණාංගද පවතින බවත්, යුක්තියෙන් බැහැරව විචක්ෂණශීලීභාවය පැවතිය නොහැකි බවත්ය. ශුද්ධලියවිලිවලද අපට එම ඉගැන්වීමම දක්නට ලැබේ. දාවිත් මෙසේ පවසයි: ධර්මිෂ්ඨ මිනිසා කරුණාව පෙන්වා ණයට දෙයි. තවත් තැනක ඔහු මෙසේ පවසයි: යහපත් මිනිසෙකු යනු දයාව පෙන්වා ණයට දෙන තැනැත්තාය; ඔහු තම වචන නුවණින් මෙහෙයවයි.

44. සලමොන්ගේ උතුම් විනිශ්චය ප්‍රඥාව සහ යුක්තිය යන දෙකටම කැපී පෙනෙන නිදර්ශනයක් නොවේද? මෙය ඇත්ත වශයෙන්ම එසේදැයි අපි පරීක්ෂා කර බලමු. සලමොන් රජු ඉදිරියට කාන්තාවන් දෙදෙනෙකු පැමිණි බව ශුද්ධලියවිල්ල අපට පවසයි. එක ස්ත්‍රියක් කියන්නී: අනේ, මාගේ ස්වාමිනි, මමත් මේ ස්ත්‍රීත් එක ගෙයක වසමුව; ඒ ගෙයි ඈ සමඟ සිටියදී මම දරුවෙකු බිහිකෙළෙමි. තවද මා බිහිකර තුන් දිනකට පසු මේ ස්ත්‍රීද බිහිකළාය. අපි එකට සිටියෙමුව; ගෙයි උන් අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමඟ එහි සිටියේ නැත. මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේදී ඇගේ ඇඟට යටවීමෙන් මළේය. ඈ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගන ඉන්දැද්දී මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, මළාවූ ඇගේ දරුවා මාගේ ළයෙහි තැබුවාය. උදය මාගේ දරුවාට කිරිදෙන්ට නැගුටුණු විට ඔහු මැරී උන්නේය. නුමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා බිහිකළ මාගේ පුත්‍රයා නොවන බව දැනගතිමියි කීවාය. අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා ඔබේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා ඔබේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය.

45. මෙය ඔවුන්ගේ ආරවුල විය. ජීවමාන දරුවා තමාගේම යයි පවසමින් මිය ගිය දරුවා තමාගේ බව ප්‍රතික්ෂේප කිරීම දක්නට විය. එවිට රජ කථාකොට: මට කඩුවක් ගෙනෙන්නැයි අණ කර, කඩුව ගෙනා පසුව ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් භාගයක් අනික් තැනැත්තියටත් දෙන්නට අණ කළේය. එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඈ රජුට කථාකොට: අනේ, මාගේ ස්වාමිනි, ජීවත්ව ඉන්න දරුවා ඈට දුනමැනවි, මරන්ට නම් එපායයි කීවාය. නුමුත් අනික් තැනැත්තී: ඔහු මටවත් ඔබටවත් නොවේවා, කපත්වයි කීවාය. එවිට රජ උත්තරදෙමින්: ජීවත්ව ඉන්න දරුවා මරන්ට එපා, අර තැනැත්තීට දෙන්න, ඈ ඔහුගේ මවුයයි කීවේය. මක්නිසාද යත්, එහි සඳහන් පරිදි, හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඇගේ පුතා කෙරෙහි ආශා කළාය.

46. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සලමොන් තුළ ක්‍රියාත්මක වූ බව විශ්වාස කිරීම වැරදි නැත. මන්ද දෙවියන් වහන්සේගෙන් සැඟවිය හැක්කේ කුමක්ද? පුද්ගලයෙකුගේ හදවත අභ්‍යන්තරයේ ගැඹුරින් ඇති රහස් සාක්ෂියට වඩා සැඟවී ඇත්තේ කුමක්ද? එහෙත් ප්‍රඥාවන්ත රජතුමා එම සැඟවුණු හැඟීම් තුළට ඇතුළු වූයේ මවකගේ හැඟීම් විනිශ්චය කර ඇගේ හදවතේ හඬ එළියට ගන්නා ආකාරයටය. තම දරුවා තමාගේම ඇස් ඉදිරිපිටම මරා දමනු දැකීමට වඩා වෙනත් කෙනෙකුගේ රැකවරණය යටතේ ජීවත් වීම තෝරා ගැනීමට කාන්තාව තීරණය කළ විට මාතෘත්වයේ සැබෑ හැඟීම් එළිදරව් විය.

47. එබැවින් හදවතේ රහසිගත සිතුවිලි අතර වෙනස හඳුනා ගැනීම, සැඟවුණු උල්පත්වලින් සත්‍යය ඇද ගැනීම සහ ආත්මයාණන් වහන්සේගේ කඩුවෙන් මෙන් ශරීරයේ අභ්‍යන්තර කොටස් පමණක් නොව මනස හා ආත්මය පවා සිදුරු කිරීම ප්‍රඥාවේ ලකුණක් විය. එසේම යුක්තියේ තවත් කොටසක් වූයේ තම දරුවා මරා දැමූ කාන්තාව තවත් කෙනෙකුගේ දරුවා පැහැර නොගත යුතු බවත්, සැබෑ මවට නැවත ඇගේම යුක්තිය ඇති බවත්ය. ඇත්ත වශයෙන්ම ශුද්ධලියවිල්ල මෙය ප්‍රකාශ කර ඇත. රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය. සලමොන්ද ප්‍රඥාව ඉල්ලා සිටියේය, එසේ ඔහුට සවන් දීමට සහ යුක්තියෙන් විනිශ්චය කිරීමට ඥානවන්ත හදවතක් ලබා දෙනු ලැබිණි.

9 වන පරිච්ඡේදය.

යුක්තිය සහ විචක්ෂණභාවය එකිනෙකෙන් වෙන් කළ නොහැකි වුවද, පොදුවේ මිනිසුන්ගේ අදහස්වලට අප ගරු කළ යුතුය. මන්ද මිනිසුන් සාමාන්‍යයෙන් විවිධ ප්‍රධාන ගුණාංග අතර වෙනස හඳුනා ගන්නා බැවිනි.

48. අනෙකුත් සියලුම ලේඛනවලට වඩා පැරණි වන පූජනීය ශුද්ධලියවිලි, යුක්තියෙන් වෙන්ව ප්‍රඥාව පැවතිය නොහැකි බව පැහැදිලිව පෙන්නුම් කරයි. මෙම ගුණාංගවලින් එකක් කොතැනක දක්නට ලැබුණත්, අනෙක් ගුණාංගයද එහි පවතී. දානියෙල් තම ප්‍රඥාවෙන් තමන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද බොරු චෝදනා ප්‍රවේශමෙන් පරීක්ෂා කිරීමෙන් සහ ප්‍රශ්න කිරීමෙන් හෙළි කළ අතර, බොරු සාක්ෂිකරුවන්ට දීමට සූදානම් පිළිතුරක් නොතිබුණි! වැරදිකරුවන් ඔවුන්ගේම සාක්ෂිය මගින් වරදකරුවන් කිරීම විචක්ෂණශීලී ක්‍රියාවක් වූ අතර, නිර්දෝෂී අය වරදකරුවන්ගෙන් ගලවා ගනිමින් වරදකරුවන්ට දඬුවම් කිරීම යුක්තියේ ක්‍රියාවක් විය.

49. එබැවින් ප්‍රඥාව සහ යුක්තිය වෙන් කළ නොහැකි බැඳීමකින් එක්සත් වේ. එහෙත් මිනිස්සු සාමාන්‍යයෙන් විශේෂිත ගුණධර්මයක් වෙන්කර හඳුනා ගනිති. මේ අනුව සතුට ප්‍රතික්ෂේප කිරීමේදී සහ ආශාවන් පාලනය කිරීමේදී සන්සුන් බව පෙන්නුම් කෙරේ; දුෂ්කරතා, ශ්‍රමය සහ අන්තරායන් විඳ දරාගැනීමේදී ධෛර්යය දක්නට ලැබේ; යහපත් දේ තෝරා ගැනීමේදී සහ හානිකර දේවලින් ප්‍රයෝජනවත් දේ වෙන්කර හඳුනා ගැනීමේදී විචක්ෂණභාවය පෙන්නුම් කෙරේ; යුක්තිය යනු අන් අයගේ අයිතිවාසිකම් විශ්වාසවන්තව ආරක්ෂා කරන අතරම තමාගේම දේ ආරක්ෂා කර ගැනීමයි, එමඟින් සෑම පුද්ගලයෙකුටම තමාට අයත් දේ ලැබෙන බව සහතික කරයි. මෙම සිව් ගුණාංග බෙදීම අපට පිළිගත හැක්කේ එය මිනිසුන් පොදුවේ දරන අදහස්වලට අනුරූප වන බැවිනි. එසේ කිරීමෙන්, සංකීර්ණ තර්කනය තුළින් සත්‍යය විමර්ශනය කරන දාර්ශනිකයන්ගේ සියුම් හා සංකීර්ණ සාකච්ඡා වළක්වා, ඒ වෙනුවට අපි මෙම යෙදුම්වල සාමාන්‍ය අවබෝධය සහ පොදු භාවිතය අනුගමනය කරමු. මෙම වෙනස පිළිගෙන, අපි අපගේ සාකච්ඡාව දිගටම කරගෙන යමු.

10 වන පරිච්ඡේදය.

මිනිස්සු සාමාන්‍යයෙන් ආරක්ෂාව භාර දෙන්නේ හුදෙක් බුද්ධිමත් විචක්ෂණශීලී කෙනෙකුට වඩා සාධාරණ පුද්ගලයෙකුට භාර දෙති. එහෙත් සෑම කෙනෙකුම යුක්තිය සහ විචක්ෂණභාවය යන ගුණාංග තමා තුළ ඒකාබද්ධව ඇති කරන මිනිසා සොයා යාමට පුරුදු වී සිටිති. සලමොන් මේ පිළිබඳ නිදර්ශන සපයයි (ෂෙබාහි රැජින ඔහු ගැන පැවසූ වචන පැහැදිලි කර ඇත.) එසේම, දානියෙල් සහ යෝසප්ද එවැනි මිනිස්සු වෙති.

50. අපි සාමාන්‍යයෙන් අපගේ ගැටලු අපට සොයා ගත හැකි ප්‍රඥාවන්තම පුද්ගලයාට භාර දී අන් අයගෙන් උපදෙස් පතනවාට වඩා පහසුවෙන් හා කැමැත්තෙන් ඔහුගෙන් උපදෙස් ලබා ගනිමු. කෙසේ වෙතත්, ධර්මිෂ්ඨ පුද්ගලයෙකුගේ අවංක සහ විශ්වාසවන්ත උපදෙස් ඊටත් වඩා වටිනා වන අතර බොහෝ විට වඩාත්ම බුද්ධිමත් පුද්ගලයාගේ කැපී පෙනෙන හැකියාවන්ට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. අන් අයගේ සිපගැනීම්වලට වඩා මිත්‍රයෙකු විසින් කරන තුවාල හොඳය. හිතෝපදේශ 27:6 එම විනිශ්චය යුක්තිසහගත පුද්ගලයෙකුගෙන් පැමිණෙන නිසා, එය ප්‍රඥාවන්ත පුද්ගලයෙකුගේ විනිශ්චයද වේ. යුක්තිය මතභේදයට තුඩු දී ඇති කාරණයකට සාධාරණ තීරණයක් ගෙන එන අතර, ප්‍රඥාව නිසි විසඳුම සොයා ගැනීමේ හැකියාව ලබා දෙයි.

51. මෙම ගුණාංග දෙක එක් පුද්ගලයෙකු තුළ එක්සත් වූ විට, ඔහු ලබා දෙන උපදෙස් ඉතා යහපත් මෙන්ම එහි විශ්වසනීයත්වයක්ද ඇත. එවැනි උපදෙස් එහි ප්‍රඥාවෙන් පෙන්වන ප්‍රඥාව නිසා මිනිසුන් අගය කරන අතර එහි අන්තර්ගත යුක්තිය නිසා මිනිස්සු එයට ආදරය කරති. එබැවින් සෑම කෙනෙක්ම මෙම ගුණධර්ම දෙකම එකට එකතු වූ පුද්ගලයෙකුගේ ප්‍රඥාව අසන්නට කැමති වෙති. සලමොන් රජතුමාගේ ප්‍රඥාව පොළොවේ රජවරුන් ආකර්ෂණය කර ගත් අතර, ඔවුහු සියල්ලෝම ඔහු දැකීමට සහ ඔහුගේ වචන ඇසීමට ආශා කළහ. ෂෙබාහි රැජින පවා ඔහු වෙත ගොස් දුෂ්කර ප්‍රශ්න අසා ඔහු පරීක්ෂා කළාය. ඇය ඇගේ හදවතේ ඇති සියල්ල ගැන ඔහු සමග කතා කළාය, ඇය සලමොන්ගේ සියලු වචනවලට සම්පූර්ණයෙන්ම සවන් දුන් අතර කිසිවක් ඇගෙන් බැහැර නොවීය.

52. ඇයගෙන් කිසිවක්ම ගැලවී ගියේ නැත. එසේම සත්‍යයට ප්‍රිය කරන සලමොන් ඇයට පිළිතුරක් ලබා නොදුන් කිසිවක්ම නොවීය. මේ කාන්තාව කවුදැයි ඉගෙන ගන්න. ඇයම මෙසේ ප්‍රකාශ කළාය: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥාවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය. එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ. ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය. 1 රාජාවලිය 10:6-8 සැබෑ සලමොන්ගේ භෝජන සංග්‍රහය හඳුනා ගන්න. එසේම ඔහුගේ මේසයේ වාඩි වී සිටින අය කවුරුන්ද යන්න තේරුම් ගන්න. එය ඥානවන්තව හඳුනාගෙන, සියලු ජාතීන් සැබෑ ප්‍රඥාවේ සහ යුක්තියේ කීර්තිය අසන්නේ කුමන දේශයකද, නොපෙනෙන දේවල් දකිමින් ඔවුන් උන්වහන්සේ දකින්නේ කුමන ඇස්වලින්ද කියා සිතා බලන්න. මක්නිසාද පෙනෙන දේවල් තාවකාලිකය, එහෙත් නොපෙනෙන දේවල් සදාකාලිකය. 2 කොරින්ති 4:18

53. දෙවියන් වහන්සේගේ වචනය අසා ඵල දරන බොහෝ දෙනෙකු සිටින බව කියනු ලබන අතර, එවන් වූ කාන්තාවන් හැරුණුකොට ආශිර්වාද ලත් කාන්තාවන් අන් කවුරුන්ද? ලූක් 11:28 නැවතත් මෙසේ දක්වා ඇත: මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්ය. මතෙව් 12:50 තවද උන්වහන්සේ ඉදිරියෙහි සිටින එම ආශිර්වාද ලත් සේවකයන් කවුරුන්ද? එහෙත් පාවුල් මෙසේ පැවසීය: අද දක්වාම මම ලොකු කුඩා දෙපිරිසටම සාක්ෂි දරමි; ක්‍රියා 26:22 එසේ නැතිනම් ඉශ්‍රායෙලයේ සැනසීම දැකීමට දේවමාළිගාවේ බලා සිටි සිමියොන් ආශීර්වාද ලත් අයෙකු නොවේද? ලූක් 2:25 සිමියොන් සාමයෙන් පිටත්ව යාමට ඉල්ලා සිටිය හැක්කේ ඔහු සැමවිටම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි නිසාත්, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව පමණක් පිටව යා හැකි නිසාත් නොවේද? සලමොන් අප ඉදිරියේ දක්වා ඇත්තේ ඔහුගේ ප්‍රඥාව අසන්නට මිනිසුන් උනන්දුවෙන් කැමති වූ නිසා ආදර්ශයක් සඳහා පමණි.

54. සිරගෙදර සිරගතව සිටියදී යෝසප්ගෙන්ද අවිනිශ්චිත කාරණා සම්බන්ධයෙන් නිතර විමසන ලදී. ඔහුගේ ප්‍රඥාවන්ත උපදෙස් මුළු ඊජිප්තු දේශයටම ප්‍රයෝජනවත් වූ අතර, සාගතයේ අවුරුදු හතෙන් බේරීමට එයින් හැකි විය. ඔහුගේ දූරදර්ශීභාවය තුළින් ඔහු ඊජිප්තුව ආරක්ෂා කළා පමණක් නොව, දැඩි කුසගින්නෙන් පෙළෙන තවත් බොහෝ ජාතීන්ට සහනයක් ලබා දුන්නේය.

55. දානියෙල් විදේශ රටක වහලෙකු වුවද, රජුගේ උපදේශකයින් අතර ප්‍රධානියා ලෙස පත් කරන ලදී. ඔහුගේ උපදෙස් තුළින් ඔහු වර්තමාන තත්වයන් වැඩිදියුණු කළ අතර, අනාගතය පුරෝකථනය කළේය, දානියෙල් 2. සෑම කාරණයකදීම ඔහු කෙරෙහි විශ්වාසය තැබුවේ ඔහු නිරන්තරයෙන් අබිරහස් නිවැරදිව අර්ථකථනය කර ඔහු සත්‍ය පැවසූ බව ඔප්පු කළ බැවිනි.

11 වන පරිච්ඡේදය.

ඕනෑම කෙනෙකුගේ විශ්වාසය දිනා ගැනීමට නැඹුරු වන තුන්වන අංගයක් මෝසෙස්, දානියෙල් සහ යෝසෙප් තුළ කැපී පෙනෙන බව පෙන්නුම් කර ඇත.

56. යෝසප්, සලමොන් සහ දානියෙල් වැනි අගය කිරීමට සුදුසු යැයි සැලකූ අය තුළ දක්නට ලැබෙන තුන්වන ගුණාංගයක්ද ඇත. මෝසෙස් සලකා බලන්න. සියලුම ඉශ්‍රායෙල්වරු නිරන්තරයෙන් ඔහුගේ උපදෙස් පැතූ අතර, නික්මයාම 18:13 ඔහුගේ විචක්ෂණශීලී විනිශ්චය කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය ඔහු කෙරෙහි ඔවුන්ගේ ගෞරවය සහ ප්‍රශංසාව වැඩි කළේය. වැඩිමහල්ලන් තමන්ගේම අවබෝධය සහ තීරණය කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගිය සෑම දුෂ්කර කාරණයක්ම මෝසෙස් වෙත ගෙන ආ විට, ඔහුගේ උපදෙස් මත විශ්වාසය නොතබන්නේ කවුද?

57. දානියෙල්ට වඩා ප්‍රඥාවන්තයා කවුද? එසකියෙල් 28:3 යනුවෙන් දෙවියන් වහන්සේම ප්‍රකාශ කළ දානියෙල්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කරන්නේ කවුද? දෙවියන් වහන්සේ මෙතරම් අනුග්‍රහයක් දැක්වූ අයගේ ප්‍රඥාව ගැන කිසිවෙකුට සැක කළ හැක්කේ කෙසේද? මෝසෙස්ගේ උපදෙස් තුළින් යුද්ධ අවසන් වූ අතර, ඔහුගේ යහපත් කුසල් නිසා ස්වර්ගයෙන් රොටි (මන්නා) බැස ආ අතර ජනතාව සඳහා පර්වතයෙන් ජලය ගලා ආවේය.

58. දානියෙල් ම්ලේච්ඡයන්ගේ හදවත් මෘදු කළ අතර සිංහයන් පවා හීලෑ කළ නිසා ඔහුගේ ආත්මය කෙතරම් පිරිසිදු වන්නට ඇද්ද! ඔහුගේ ආත්මය හා ශරීරය යන දෙකෙහිම ඔහුට තිබුණේ කෙතරම් කැපී පෙනෙන ස්වයං පාලනයක් සහ මධ්‍යස්ථභාවයක්ද! ඔහු සැමගේම ප්‍රශංසාවට ලක් වූ වස්තුවක් වීම පුදුමයක් නොවේ. රාජකීය මිත්‍රත්වයන් භුක්ති විඳිමින් සිටියද, ඔහු රත්තරන් සෙව්වේ නැත, ඔහුට ලැබුණු ගෞරවය ඔහුගේ ඇදහිල්ලට වඩා වටිනා යැයි සැලකුවේ නැත, එහෙත් සියලු මිනිසුන් මෙය අගය කරන විට ඔහු සියල්ලන්ගේම ප්‍රශංසාවට ලක් වූ වස්තුවක් බවට පත් වූයේ නුසුදුසු ලෙස නොවේ. මක්නිසාද යත්, මිනිසුන්ගේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා ඔහුගේ අරමුණෙන් ඉවතට හැරීමට වඩා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වීම වෙනුවෙන් අනතුර විඳ දරාගැනීමට ඔහු කැමති වූ බැවිනි.

59. නැවතත්, යෝසප්ගේ පාරිශුද්ධත්වය සහ යුක්තිය ගැන මා කුමක් කියන්නද? එක් අතකින් ඔහු තම ස්වාමියාගේ බිරිඳගේ ආකර්ෂණීය දියුණුවට විරුද්ධ වූ අතර ඇය ලබා දුන් විපාක ප්‍රතික්ෂේප කළේය. අනෙක් පැත්තෙන් ඔහු මරණයට සමච්චල් කළේය, ඔහුගේ බිය යටපත් කළේය එසේම සිරගෙයක් තෝරා ගත්තේය. ඔහුගේ සාරවත් මනස සහ ඵලදායි ප්‍රඥාව ඔහුගේ විචක්ෂණශීලී සැලසුම් සහ යහපත් විනිශ්චයේ බහුලත්වය තුළින් හිඟ කාලයක් සමෘද්ධිමත් කළ විට, එවැනි මිනිසෙකු පෞද්ගලික කාරණයකදී උපදෙස් දීමට සුදුසු පුද්ගලයෙකු ලෙස නොසලකන්නේ කවුරුන්ද?

12 වන පරිච්ඡේදය.

කිසිවෙකු දුෂ්චරිතයෙන් කිලිටි වූ මිනිසෙකුගෙන් හෝ අශෝභන හෝ ප්‍රායෝගික නොවන කෙනෙකුගෙන් උපදෙස් ඉල්ලන්නේ නැත, ඒ වෙනුවට ශුද්ධලියවිල්ලෙහි අපට ආදර්ශයක් ඇති කෙනෙකුගෙන් උපදෙස් පතයි.

60. එමනිසා, මිනිසුන් උපදෙස් ලබා ගත හැකි කෙනෙකු සොයන විට, ඔවුන් පුද්ගලයෙකුගේ අවංක හැසිරීම, ගුණධර්මවල විශිෂ්ටත්වය, හැසිරීමේ කරුණාව සහ චරිතයේ ප්‍රසන්නභාවය කෙරෙහි විශාල වැදගත්කමක් දරයි. මඩ වගුරු බිමක පැහැදිලි උල්පතක් සොයන්නේ කවුද? මඩ සහිත අපිරිසිදු ජලය පානය කිරීමට කැමති කවුද? එලෙසම, පුද්ගලයෙකු සුඛෝපභෝගී, අධික වියදම් සහිත ජීවිතයක් ගත කරන විට සහ බොහෝ දුෂ්චරිතයන්ගෙන් පිරී ඇති විට, එවැනි මූලාශ්‍රයකින් මඟපෙන්වීම ලැබීම සුදුසු යැයි සිතන්නේ කවුද? දූෂිත හා නින්දිත ජීවන රටාවක් පහත් කොට නොසලකන්නේ කවුද? තමාගේම ජීවිතය හොඳින් කළමනාකරණය කර ගැනීමට පැහැදිලිවම නොහැකි වූ විට, තවත් කෙනෙකුගේ කටයුතුවලට උදව් කිරීමට මිනිසෙකුට හැකියාව ඇති බව සලකන්නේ කවුද? තවද, අන් අයට හානි කිරීමට නිරන්තරයෙන් සූදානම් වන දුෂ්ට, සතුරු සහ අපහාසාත්මක පුද්ගලයෙකුගෙන් වැළකී නොසිටින්නේ කවුද? එවැනි මිනිසෙකුගෙන් ඈත්ව සිටීමට අතිශයින් උනන්දු නොවන්නේ කවුද?

61. පුද්ගලයෙකුට සමීප වීමට අපහසු නම්, ඔහු කොතරම් දක්ෂ උපදෙස් ලබා දුන්නත්, ඔහු වෙත යන්නේ කවුද? එවැනි මිනිසෙකු ජලය අවහිර කර ප්‍රවේශ විය නොහැකි උල්පතක් වැනිය. අන් අය සමග උපදෙස් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ප්‍රඥාව තිබීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? පුද්ගලයෙකු උපදෙස් දීමට ඇති සෑම අවස්ථාවක්ම කපා හරින විට, මූලාශ්‍රය වැසී ගොස් ගලා යාම නවතින අතර එමඟින් එය අන් අයට හෝ තමාටම පවා ප්‍රයෝජනවත් නොවේ.

62. මෙම සංසන්දනය ඉතා හොඳින් අදාළ වන්නේ විචක්ෂණශීලී බවක් ඇති නමුත් පව්කාර ජීවිතයක අපිරිසිදුකම තුළින් එය දූෂිත කර ඇති මෙන්ම එමඟින් ජලය එහි මූලාශ්‍රයේදීම දූෂණය කර ඇති මිනිසාටය. ඔහුගේ ජීවිතය ඔහුගේ නැවත උත්පාදනයෙන් තොර ආත්මය හෙළි කරයි. සදාචාරාත්මකව දූෂිත බව ඔප්පු කරන හැසිරීමක් ඇති පුද්ගලයෙකු උපදෙස් දීමේදී විශ්වාසදායක යැයි යමෙකු සලකන්නේ කෙසේද? මා යමෙකුගේ මඟපෙන්වීම යටතේ සිටීමට සූදානම් නම්, ඔහු මට වඩා යහපත් අයෙකු විය යුතුය. මිනිසෙකු කිසි විටෙකත් යහපත් උපදෙස් අනුගමනය නොකරන විට, ඔහු මට උපදෙස් දීමට සුදුසු යැයි මා විශ්වාස කළ යුතුද? කෙනෙකුට තමාගේම ආත්මය ගැන සැලකිලිමත් වීමට කාලයක් නොමැති විට, ඔහුගේ මනස සැප සම්පත්වලින් පිරී ඇති විට, ඔහු කාම රාගයෙන් යටපත් කරන ලද විට, ධනය සඳහා කෑදරකමට වහල් වී සිටින විට, තණ්හාවෙන් පිරුණු ආශාවන්ගෙන් මෙහෙයවනු ලබන විට සහ බියෙන් කම්පා වන විට මගේ ගැටලු ගැන සැලකිලිමත් වීමට ඔහුට කාලය ඇති බව මට සිතිය හැකිද? සාමය, සන්සුන් භාවය නොමැති තැනක යහපත් උපදෙස් දීම පවතින්නේ කෙසේද?

63. මා අගය කළ යුතු සහ ගෞරව කළ යුතු වන්නේ, අනුග්‍රහයේ ස්වාමින් වහන්සේ අපගේ මුතුන් මිත්තන් වෙත ලබා දුන්, අපහාසාත්මක සහ නුසුදුසු සියල්ල තමාගෙන් ඉවත් කළ මිනිසායි. ඔහුගේ අනුගාමිකයෙකු වීමට කැමති ඕනෑම අයෙකු ඔහු අනුකරණය කළ යුත්තේ, දුෂ්ටකමේ දූෂණයෙන් තවත් පුද්ගලයෙකුගේ විචක්ෂණභාවය ආරක්ෂා කරමින්, ප්‍රඥාවන්ත උපදෙස් ලබා දීමට හැකි වීමෙනි, මන්ද අපිරිසිදු කිසිවක් සැබෑ විචක්ෂණභාවය සමග ඒකාබද්ධ කළ නොහැකිය.

13 වන පරිච්ඡේදය.

ප්‍රඥාවේ සුන්දරත්වය දිව්‍යමය සාක්ෂියෙන් පැහැදිලි කර ඇත. මෙයින් ඔහු අනෙකුත් ගුණධර්ම සමග එහි සම්බන්ධතාවය ඔප්පු කර දක්වා ඇත.

64. ලස්සන මුහුණක් හිමි කර ගන්නා අතරම, වන මෘගයෙකුගේ මෙන් වූ ශරීරයෙන් සහ භයානක නියපොතුවලින් කෙනෙකුගේ ආකර්ශනීය බව කර ගැනීමට කැමති කෙනෙකු සිටීද? එලෙසම, සියලු ශුද්ධලියවිලි සාක්ෂි දරන පරිදි ගුණධර්මවල පෙනුම අතිශයින් අපූරු හා තේජාන්විතය, විශේෂයෙන් ප්‍රඥාවේ සුන්දරත්වය මහිමාන්විතය. ප්‍රඥාව සූර්යයාට වඩා දීප්තිමත්ව බබළන අතර, එය තාරකා හා සසඳන විට ඕනෑම තාරකා මණ්ඩලයක් අබිබවා යයි. රාත්‍රිය තාරකාවල ආලෝකය ඉවත් කරය, එහෙත් ප්‍රඥාව පොත ප්‍රකාශ කරන පරිදි, දුෂ්ටකමට ප්‍රඥාව ජය ගත නොහැකිය. ප්‍රඥාව 7:29-30

65. දැනටමත් ප්‍රඥාවේ සුන්දරත්වය ගැන අප කතා කර ඇති අතර, ශුද්ධලියවිල්ලේ සාක්ෂිය තුළින් අපි එය තහවුරු කර ඇත්තෙමු. ශුද්ධලියවිල්ලේ අධිකාරිය මත, ප්‍රඥාව 7:22-23 ප්‍රඥාවට දුෂ්චරිතය සමග හවුල්කාරිත්වයක් තිබිය නොහැකි බවත්, එහෙත් ප්‍රඥාව අනෙකුත් සියලුම ගුණධර්ම සමග වෙන් කළ නොහැකි ලෙස ඒකාබද්ධ වී ඇති බවත් දැන් පෙන්නුම් කිරීමට ඉතිරිව ඇත. ප්‍රඥාවට බුද්ධිමත්, නිර්මල, විශ්වාසදායක, ශුද්ධ, යහපත් දේට ආදරය කරන, ක්‍රියාවෙන් වේගවත්, කරුණාවන්ත ක්‍රියාවක් කිසිදා ප්‍රතික්ෂේප නොකරන, මෘදු, ස්ථිර, කාංසාවෙන් තොර, සෑම අතින්ම බලවත් සහ සියල්ල කෙරෙහි විමසිලිමත් වන ආත්මයක් ඇත. ප්‍රඥාව 8:7 නැවතත්, ශුද්ධලියවිල්ල පවසන්නේ ප්‍රඥාව ස්වයං පාලනය, යුක්තිය සහ ගුණධර්ම උගන්වන බවයි.

14 වන පරිච්ඡේදය.

විචක්ෂණභාවය සියලු ගුණධර්ම සමග ඒකාබද්ධ වේ, විශේෂයෙන් ධනය නොසලකා හැරීම සමග සම්බන්ධ වේ.

66. එබැවින්, විචක්ෂණභාවය ජීවිතයේ සෑම අංශයකම ක්‍රියාත්මක වන අතර යහපත් සියල්ල සමග ඇයට සහභාගිකමක් ඇත. මක්නිසාද යත්, යුක්තිය ඇය සතු කර නොගෙන, ඇයට යහපත් උපදෙසක් දිය හැක්කේ කෙසේද? එසේ වන්නේ ලෝකය ප්‍රඥාවන්තයාගේ මව්බිම බව දැන සිටීමෙන් ඇයට මරණයට බිය නොවී, කිසිදු කනස්සල්ලකින්, බියකින් වැළකී සිටීමට හැකි වනු ඇත. නැතහොත් කිසිදු ප්‍රශංසාවකින් සත්‍යයෙන් ඈත් වීම සුදුසු යැයි සිතීමට හෝ පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හැකි වනු ඇත. විචක්ෂණශීලීත්වය දුප්පත්කමට බිය නොවේ, මන්ද එය ප්‍රඥාවන්ත පුද්ගලයාට කිසිවක් හිඟයක් නොමැති බව දන්නා බැවිනි, මන්ද ලෝකයේම සියලු ධනය ඔහුගේ නිසාය. මුදල් පිළිබඳ සිතුවිලිවලින් නොසැලී සිටින, ධනය සම්බන්ධයෙන් සෑහීමට පත් වන, සහ ඉහළ උසකින් සිටිමින් මිනිස් වර්ගයාගේ ආශාවන් සහ අභිලාෂයන් දෙස බලන මිනිසෙකුට වඩා උතුම් විය හැක්කේ කුමක්ද? මිනිස්සු එවැනි පුද්ගලයෙකු හුදෙක් මිනිසෙකුට වඩා වැඩි කෙනෙකු ලෙස සලකමින් මෙසේ පවසති: මේ මිනිසා කවුද? අපි ඔහුට ප්‍රශංසා කරමු, මක්නිසාද ඔහු තම ජීවිත කාලය තුළ අපූරු දේවල් ඉටු කර ඇත. සිරාක් 31:9 නිසැකවම, ධනය හෙළා දකින එවැනි පුද්ගලයෙකු ප්‍රශංසාව ලැබිය යුතුය, මන්ද බොහෝ අය තමන්ගේ ආරක්ෂාවට වඩා ධනය අගය කරන බව පෙනෙන නිසාය.

67. ආර්ථිකයේ පාලනය සහ ස්වයං සංයමයේ අධිකාරිය සියල්ලන්ටම සුදුසුය. එසේම සියල්ලටම වඩා ගෞරවයෙන් ඉහළම ස්ථානයේ සිටින තැනැත්තාට එය සුදුසුය; එවිට ඔහුගේ වස්තු කෙරෙහි ඇති ආදරයට එවැනි මිනිසෙකු අල්ලා ගත නොහැකි වනු ඇත. එසේම නිදහස් මිනිසුන් පාලනය කරන තැනැත්තා කිසි විටෙකත් මුදලට වහලෙකු නොවිය යුතුය. ආත්මයෙන් ඔහු වස්තුවලට වඩා උසස් විය යුතු අතර, කැමැත්තෙන් සේවය කිරීමේදී ඔහුගේ මිතුරන්ට යටත් විය යුතුය. මක්නිසාද යත් නිහතමානීකම කෙනෙකු කෙරෙහි තබා ඇති ගෞරවය වැඩි කරයි. සිරියානු වෙළඳුන් සහ ගිලියද් වෙළෙන්දන් සමග පොදුවේ අපිරිසිදු ලාභ සඳහා ආශාවක් නොතිබීම, ඔවුන්ගේ සියලු බලාපොරොත්තු මුදල් මත තැබීම හෝ දෛනික ඉපැයීම් ගණන් කිරීමට සහ කුලී කම්කරුවන් මෙන් ඉතුරුම් ගණනය කිරීමට කාලය ගත නොකිරීම ගෞරවනීය හා නිවැරදි දෙයකි.

15 වන පරිච්ඡේදය.

නිදහස්භාවය/ ලිබරල්භාවය පිළිබඳ. එය ප්‍රධාන වශයෙන් පෙන්විය යුතු කාටද, සහ ඔවුන්ගේ සේවය සහ උපදෙස් ලබා දීමෙන් සිහින් මිනිසුන්ට එය පෙන්විය හැකි ආකාරය.

68. පුද්ගලයෙකු තම ආත්මය කෑදරකමේ දුෂ්චරිතයෙන් නිදහස් කර ගැනීම ප්‍රශංසා කිරීම වටී නම්, නුසුදුසු අයට ඕනෑවට වඩා නිදහසේ නොපෙන්වන හෝ අවශ්‍යතා ඇති අයට ඕනෑවට වඩා අරපිරිමැස්මෙන් ලබා නොදෙන ත්‍යාගශීලීත්වයෙන් ජනතාවගේ ආදරය ලබා ගැනීම කොතරම් තේජාන්විතද?

69. බොහෝ ආකාරයේ නිදහස්භාවයන් තිබේ. ආහාර අවශ්‍ය අයට ජීවිතය පවත්වා ගැනීම සඳහා බෙදා හැරීම පිණිස අපගේම දෛනික සැපයුමෙන් ආහාර ලබා දීමට පමණක් නොව; අවශ්‍යතා ඇති අයගේ සාමාන්‍ය ජීවිතයේ අවශ්‍යතා ඇති තාක් කල්, ඔවුන්ගේ අවශ්‍යතා විවෘතව පෙන්වීමට ලජ්ජා වන අයට අපට උපදෙස් සහ උපකාර ලබා දිය හැකිය. මා දැන් කතා කරන්නේ යම් තනතුරක් භාරව සිටින කෙනෙකු ගැනය. ඔහු පූජකයෙකු හෝ දානපතියෙකු නම්, ඔහු ඔවුන් ගැන රදගුරුවරයාට දැනුම් දිය යුතුය. කෙනෙකුට කිසියම් අවශ්‍යතාවයක් ඇති බව හෝ ඔවුන්ගේ ධනය අහිමි වී දැන් හිඟකමට පත්ව ඇති බව දන්නේ නම් හෝ එසේ අවශ්‍යතාවන් ඇති බව ඔහු දන්නා ඕනෑම කෙනෙකුගේ නම වසන් නොකළ යුතුය. විශේෂයෙන්ම ඔවුන් තරුණ වියේදී නාස්ති කළ නිසා මෙම කරදරයට පත් වී නොමැති නම්, එසේ වූවත් වෙනත් අයෙකු ඔවුන්ගේ ධනය සොරකම් කළ නිසා හෝ ඔවුන්ගේම වරදකින් ඔවුන්ගේ උරුමය අහිමි වූ නිසා, ඔවුන්ට දැන් ඔවුන්ගේ දෛනික ආහාර උපයා ගත නොහැකි නම් රදගුරුවරයාට දැන්විය යුතුය.

70. ඉහළම ආකාරයේ නිදහස්භාවය නම්, වහලුන් මුදාගැනීම, ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගලවා ගැනීම, මිනිසුන් මරණයෙන් ගලවා ගැනීම සහ, සියල්ලටම වැඩියෙන් කාන්තාවන් ලජ්ජාවෙන් ගලවා ගැනීම, දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ටත්, දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ටත් නැවත ලබා දීම, එමෙන්ම පුරවැසියෙකු ඔහුගේම රටට ආපසු ලබා දීමයි. ත්‍රේස් සහ ඉලීරියා ඉතා දරුණු ලෙස විනාශයට පත් වූ විට මෙය හඳුනා ගන්නා ලදී. එවකට ලොව පුරා වහලුන් කී දෙනෙකු විකිණීමට සිටියාද! ඔවුන් එකට කැඳවිය හැකි නම්, ඔවුන්ගේ සංඛ්‍යාව මුළු පළාතකම වසන ජනතාවගේ සංඛ්‍යාව ඉක්මවා යනු ඇත. එහෙත් සභාව විසින් මුදා ගන්නා ලද අය ආපසු වහල්භාවයට යවන සමහරු සිටියහ. ඔවුන්ම වහල්භාවයට පත් වීමට වඩා අනෙකාගේ දයාව දෙස විමසිල්ලෙන් බැලීම දුෂ්කර විය. (ඔවුන් පැවසූ පරිදි) ඔවුන්ම වහල්භාවයට පැමිණියේ නම්, ඔවුන් නිදහසේ වහලුන් වනු ඇත. ඔවුන් විකුණනු ලැබුවේ නම්, ඔවුන් වහල්භාවයේ සේවය ප්‍රතික්ෂේප නොකරනු ඇත. ඔවුන්ට අන් අයගේ නිදහස අහෝසි කිරීමට අවශ්‍ය විය, එහෙත් සමහර විට එය ගැනුම්කරුට ඔහුගේ මිල නැවත ලබා ගැනීමට සතුටු විය යුතු නම් මිස, ඔවුන්ට තමන්ගේම වහල්භාවය අහෝසි කළ නොහැකි විය, කෙසේ වෙතත්, වහල්භාවය සරල ලෙස අහෝසි කළ නොහැකිය. එහෙත් මුදා ගැනීමක් සිදු විය යුතුය.

71. එමනිසා, වහලුන් මුදා ගැනීම, විශේෂයෙන්ම ස්වාභාවික අනුකම්පාවක් නොමැති සහ කෑදරකම ඔවුන්ට කප්පම් ලැබීමේ බලාපොරොත්තුවක් ලබා දෙන විට පමණක් දයාව පෙන්වන ම්ලේච්ඡ සතුරන් විසින් රඳවාගෙන සිටින වහලුන් මුදා ගැනීම නිදහස්භාවයේ විශේෂිත වූ ක්‍රියාවකි. ණයගැතියාට ගෙවීම මුදල් නොමැති වූ විට, සහ දැඩි පීඩනයකට ලක්ව සිටින විට, විශේෂයෙන් නීත්‍යනුකූලව ණය වී ඇති නමුත් දුප්පත්කම නිසා පමණක්ම ණය නොගෙවා ඇති විට, තවත් පුද්ගලයෙකුගේ ණය ගෙවීමද ත්‍යාගශීලීත්වයේ උතුම් ක්‍රියාවකි. ඒ හා සමානව, දරුවන් රැකබලා ගැනීම සහ අනාථ දරුවන්ට ආරක්ෂාව සහ සහයෝගය ලබා දීම කැපී පෙනෙන විවෘත මනසකින් යුක්ත වීමේ ලකුණකි.

72. දෙමව්පියන් අහිමි වූ තරුණියන් සඳහා විවාහයන් සංවිධානය කරන, එමඟින් ඔවුන්ගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කරන සහ කරුණාවන්ත කැමැත්තෙන් පමණක් නොව මූල්‍යමය ආධාරවලින්ද ඔවුන්ට සහාය වන අයද සිටිති. අපොස්තුළු තුමා උගන්වන තවත් ආකාරයක ත්‍යාගශීලීත්වයක්ද තිබේ: යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා, 1 තිමෝති 5:16.

73. මේ ආකාරයේ ත්‍යාගශීලීත්වය නිසැකවම වටින්නේය, එහෙත් එය සෑම කෙනෙකුටම පොදු නොවේ. මක්නිසාද යත්, ඉතා සුළු වත්කම් ඇති, තමන්ගේම ප්‍රයෝජනය සඳහා සුළු දෙයකින් සෑහීමකට පත් වන සහ අන් අයගේ දුප්පත්කම සැහැල්ලු කිරීමට උදව් කිරීමට නොහැකි බොහෝ යහපත් මිනිස්සු සිටිති. කෙසේ වෙතත් තවත් ආකාරයක කරුණාවක් ඔවුන්ට පෙපන්විය හැකි අතර, එමඟින් ඔවුන්ට තමන්ටත් වඩා දුප්පත් අයට උපකාර කළ හැකිය. මක්නිසාද ත්‍යාගශීලීත්වය ආකාර දෙකකි: එකක් මුදල් සහ දේපළ තුළින් සෘජු ආධාර සැපයීමයි; අනෙක ප්‍රායෝගික උපකාර සහ සේවය සඳහා කැපවීමයි, එසේ මෙම දෙවන ආකාරය බොහෝ විට බෙහෙවින් ශ්‍රේෂ්ඨ සහ උතුම් වේ.

74. සතුරන් විසින් අල්ලා ගනු ලැබූ තමන්ගේ බෑණා හමුදා ජයග්‍රහණයකින් බේරා ගැනීම ආබ්‍රහම්ට හුදෙක් ඔහු වෙනුවෙන් මිදීමේ මිලයක් ගෙවීමට වඩා කොතරම් උතුම් වීද! උත්පත්ති 14:16 ශුද්ධ වූ යෝසෙප් පාරාවෝ රජුට මුදල් ලබා දුන්නාට වඩා අනාගතය සඳහා ඔහුගේ උපදෙස් මගින් ඔහුට උදව් කිරීම කොතරම් ප්‍රයෝජනවත් වීද! මක්නිසාද යත් මුදල්වලින් කිසිදු රාජ්‍යයක ඵලදායිතාවය ආපසු මිලදී ගැනීමට නොහැකිය; ඔහු වසර පහක් පුරා පැවති සාගතයක බලපෑම්වලින් මුළු ඊජිප්තු ජාතියම කොතරම් ඵලදායී බ්රා ගත්තේද? උත්පත්ති 41:53-57

75. මුදල් පහසුවෙන් වියදම් කළ හැකිය, එහෙත් ප්‍රඥාවන්ත උපදෙස් කිසි විටෙකත් අවසන් කළ නොහැකිය. ඇත්ත වශයෙන්ම, ඒවා නිතරම භාවිත කරන තරමට එය ශක්තිමත් වේ. ධනය අඛණ්ඩව අඩු වන අතර ඉක්මනින් අවසන් වේ. එසේම සම්පත් නොමැතිකම නිසා ත්‍යාගශීලීත්වය පවා සීමා කළ හැකිය. මූල්‍යමය වශයෙන් උදව් කිරීමට කැමති පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වන තරමට, අවසානයේ උදව් කිරීමට හැකි වන පුද්ගලයින් සංඛ්‍යාව අඩු විය හැකිය. එසේ බොහෝ විට කෙනෙකුට අන් අයට දිය යුතු යැයි සිතන දේ ලැබී නැත. ඊට වෙනස්ව, උපදෙස් සහ ප්‍රායෝගික සහාය සම්බන්ධයෙන් ගත කල, ඒවා ලබා ගන්නා පුද්ගලයින් වැඩි වන තරමට, ඔවුන් බහුල වන බව පෙනේ, ඔවුහු ඔවුන්ගේම මූලාශ්‍රයට නැවත පැමිණෙති. විචක්ෂණශීලීත්වයේ පොහොසත් ප්‍රවාහය අඛණ්ඩව තමා තුළටම නැවත ගලා එන අතර, එය අන් අයට විහිදෙන තරමට, එය ඇති පුද්ගලයා තුළ එය වඩාත් ක්‍රියාශීලී බවින් වැඩි වේ.

16 වන පරිච්ඡේදය.

ත්‍යාගශීලීභාවය තුළ නිසි සමබරතාවය පවත්වා ගත යුතු අතර, එය නුසුදුසු පුද්ගලයින් කෙරෙහි නාස්ති නොකරන පරිදි, එය වඩාත් සුදුසු පුද්ගලයින්ට අවශ්‍යතාවයට අනුව දක්වන බවටත් වගබලා ගත යුතුය. ඒ සමගම, එසේම දානපති දීම කිසි විටෙකත් ඕනෑවට වඩා ප්‍රවේශම් සහගතව හෝ අකමැත්තෙන් සිදු නොවිය යුතුය. ප්‍රඥාව සහ විචක්ෂණභාවය පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශංසාවට ලක් වූ ආශීර්වාද ලත් යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.

76. එබැවින්, අප පිරිනමන තෑගිවල වටිනාකම නැති නොවන පරිදි, ත්‍යාගශීලීත්වය සැමවිටම නිසි විනිශ්චයකින් ක්‍රියාත්මක කළ යුතු බව පැහැදිලිය. විශේෂයෙන් පූජකයන්, මධ්‍යස්ථභාවය ප්‍රවේශමෙන් පුරුදු කළ යුතුය, මන්ද ඔවුන් යුක්තිය සඳහා ඇති ආශාවෙන් නොව ප්‍රශංසාව ලබා ගැනීම සඳහා පමණක් ලබා දීමට ඉඩ ඇති බැවිනි. යාචකයන්ගේ කෑදරකම අදට වඩා කිසිදා විශාල බවක් පෙනෙන්නට නැත. බොහෝ දෙනෙකු පූර්ණ ශක්තියෙන් පැමිණෙන්නේ සැබෑ අවශ්‍යතාවය නිසා නොව, තැනින් තැනට ඇවිද යන බැවිනි. ඔවුහු දුප්පතුන්ගේ මුදල් පසුම්බි හිස් කිරීමට සහ ඔවුන් සතුව ඇති කුඩා සහයෝගය අහිමි කිරීමට උත්සාහ කරති. කුඩා තෑගිවලින් සෑහීමකට පත් නොවී, ඔවුහු තව වැඩියෙන් ඉල්ලා සිටිති. ඔවුන් තම ඇඳුම්වල දුර්වල තත්ත්වය පවා තම ඉල්ලීම් වැඩි කර ගැනීම සඳහා තර්කයක් ලෙස භාවිත කරන අතර, ඔවුන්ගේ ජීවිත පිළිබඳ බොරු කථා නිර්මාණය කිරීමෙන් ඔවුහු විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලති. එවැනි කතා යමෙකු ඉක්මනින් විශ්වාස කරන්නේ නම්, සැබවින්ම දුප්පතුන්ගේ උපකාරය සඳහා අදහස් කරන සම්පත් ඉක්මනින් අවසන් වනු ඇත. එබැවින්, අපගේ පරිත්‍යාගය ඥානවන්ත පිළිවෙළකට සිදු කළ යුතු අතර, එවිට සැබවින්ම දුප්පතුන් හිස් අතින් නොයවනු ලබන අතරම, අවශ්‍යතා ඇති අය සඳහා අදහස් කරන ප්‍රතිපාදන වංක පුද්ගලයින් විසින් සොරකම් කරනු නොලැබෙනු ඇත. කරුණාව කිසි විටෙකත් අත් නොහරින ලෙසත් සැබෑ අවශ්‍යතාවය කිසි විටෙකත් නොසලකා නොහරින ලෙසත් ත්‍යාගශීලීත්වය ඥානවන්තව සුදුසු ලෙස තිබිය යුතුය.

77. බොහෝ අය මවා පාන්නේ ඔවුන් ණය බරින් මිරිකී සිටින බවයි. එවැනි ප්‍රකාශ සත්‍යයද යන්න පරීක්ෂා කළ යුතුය. තවත් සමහරුන් පැමිණිලි කරන්නේ මංකොල්ලකරුවන් ඔවුන් සතු සියල්ල පැහැරගෙන ගොස් ඇති බවයි. මෙම තත්වයන් තුළ, අවාසනාවන්ත බව පැහැදිලිව පෙනෙන විට හෝ පුද්ගලයා හොඳින් දන්නා විට පමණක් මුදල් ලබා දිය යුතුය; පසුව ත්‍යාගශීලීව උදව් කළ යුතුය. සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අයට පවා කුසගින්නෙන් පෙළෙනවා නම් ආහාර ලබා දිය යුතුය. එබැවින්, නිසි විනිශ්චයකින් දෙන පුද්ගලයා කිසිවෙකු කෙරෙහි රළු නොවී සෑම කෙනෙකුටම ත්‍යාගශීලීව දෙයි. අයැදින අයගේ හඬ ඇසීමට අපගේ කන් පමණක් නොව, ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට අපගේ ඇස් ද විවෘත කළ යුතුය. දුර්වලකම බොහෝ විට යාචකයෙකුගේ ඝෝෂාකාරී කෑගැසීම්වලට වඩා විශ්වාසවන්ත භාරකරුවෙකුට වඩාත් බලවත් ලෙස කථා කරයි. යාචකයෙකුගේ නොනවතින ඉල්ලීම්වලට වැඩි විපාක ලබා ගැනීමට ඉඩ දීම සැමවිටම නිවැරදි නොවේ, එසේම අපි සැමවිටම නිර්භීතකමට යටත් නොවිය යුතුය. අප ඉදිරියට පැමිණිය නොහැකි තැනැත්තා අප බැලිය යුතුය. තමාගේ දිළිඳු බව පෙන්වීමට ලජ්ජා වන තැනැත්තා අප සොයා බැලිය යුතුය. ඔබ සිරකරුවාද මතක තබා ගත යුතුය. උපකාර ඉල්ලා සිටීමට පෞද්ගලිකව පැමිණිය නොහැකි රෝගී පුද්ගලයාද ඔබ මතක තබා ගත යුතුය.

78. දයාව පෙන්වීමට ඔබ දක්වන උනන්දුව වැඩි වැඩියෙන් මිනිසුන් දකින තරමට, ඔවුන් ඔබට දක්වන ආදරය හා ගෞරවය වැඩි කරනු ඇත. ඔවුන් දුන් දෙයට සමානුපාතිකව සම්පත් වැඩි වූ බොහෝ පූජකවරුන් මම දනිමි. මක්නිසාද යත්, විශ්වාසවන්ත භාරකරුවෙකු තම රාජකාරි ක්‍රියාවේදී බෙදා හැරීමට යමක් දෙන බව දකින අය, දයාවේ ක්‍රියාවන් සැබවින්ම දුප්පතුන් වෙත ළඟා වන බවට සහතික වෙති. එහෙත් ඔහු නාස්තිකාර ලෙස හෝ ඉතා අරපිරිමැස්මෙන් දෙන බව ඔවුන් දුටුවහොත්, ඔවුහු මේ අන්ත දෙකම අනුමත නොකරති. එක් අවස්ථාවකදී ඔහු අනවශ්‍ය වියදම් මගින් අන් අයගේ ශ්‍රමයේ ඵල නාස්ති කරන නිසා ඔවුහු අධික ලෙස දීම හෙළා දකිති. තවත් විටෙකදී ඔහු ඒවා තම මුදල් පසුම්බිවල සඟවා ගන්නා බැවින් ඔවුහු එය හෙළා දකිති. එමනිසා, ත්‍යාගශීලීත්වයේ පිළිවෙළ ප්‍රවේශමෙන් විනිශ්චය කිරීම අවශ්‍ය වනවා සේම, එය දිරිමත් කළ යුතු අවස්ථාද තිබේ. අපගේ කරුණාව දිනෙන් දින දිගටම පැවතීමට සහ සැබෑ අවශ්‍යතා සඳහා අදහස් කරන සම්පත් නොසැලකිලිමත් වියදම් මගින් නාස්ති නොකිරීමට ප්‍රඥාවන්ත පිළිවෙළක් අවශ්‍ය වේ. දිරිගැන්වීමක්ද අවශ්‍ය වේ, මන්ද දැනටමත් ධනය ඇති අය පොහොසත් කිරීමට වඩා දුප්පතුන් පෝෂණය කිරීමට මුදල් වියදම් කිරීම වඩා හොඳය. අපගේ මුදල් පෙට්ටි තුළ අසරණයන්ගේ සුබසාධනය සිර නොකිරීමට සහ දුප්පතුන්ගේ ජීවිත සොහොනක සඟවා ඇති ආකාරයට වළලන්නට නොදීමට අප ප්‍රවේශම් විය යුතුය.

79. යෝසප්ට ඊජිප්තුවේ සියලු ධනය පහසුවෙන් බෙදා දී රජුට අයත් වස්තු වියදම් කළ හැකිව තිබුණි, නමුත් තවත් කෙනෙකුට අයත් දේපළ සමග නොසැලකිලිමත් ලෙස පෙනී සිටීමට පවා ඔහු කැමති නොවීය. ඒ වෙනුවට, ඔහු කුසගින්නෙන් පෙළෙන අයට එය ලබා දීමට වඩා ධාන්‍ය විකිණීමට තෝරා ගත්තේය. ඔහු කිහිප දෙනෙකුට නිදහසේ ධාන්‍ය ලබා දුන්නේ නම්, අනෙක් සියල්ලන්ටම ප්‍රමාණවත් නොවනු ඇත. එය විකිණීමෙන් ඔහු සැබෑ ත්‍යාගශීලී බවක් පෙන්නුම් කළේය, මන්ද ඔහුගේ සැලැස්ම සියල්ලන්ටම ප්‍රමාණවත් බව සහතික කළ බැවිනි. වියදමකින් තොරව ලැබීමෙන් මිනිසුන් තමන්ගේම කෙත් වගා කිරීමෙන් අධෛර්යමත් නොවන පරිදි, සෑම කෙනෙකුටම ධාන්‍ය මිලදී ගත හැකි වන පරිදි ඔහු ගබඩා විවෘත කළේය. අන් අයට අයත් දේ මත නිරන්තරයෙන් යැපෙන අය සඳහා බොහෝ විට තමන්ට අයත් දේ නිසි ලෙස රැකබලා ගැනීම නොසලකා හරිනු ඇත.

80. එසේ නම්, උත්පත්ති 47:14-20 අනුව, පළමුවෙන්ම, ඔහු ඔවුන්ගේ මුදල්, පසුව ඔවුන්ගේ උපකරණ, අවසානයේ ඔහු රජුට භූමියේ සියලු අයිතිවාසිකම් ලබා ගත්තේය. ඔහු සියලු දෙනාටම ඔවුන්ගේ දේපළ අහිමි කිරීමට නොව, එහිදී ඔවුන්ට සහාය වීමට කැමති විය. ඔවුන්ගේ ඉඩමේ ආරක්ෂිතව ජීවත් වීමට හැකි වන පරිදි ඔහු පොදු බද්දක්ද ස්ථාපිත කළේය. ඉඩම අත්පත් කරගත් අය මෙම විධිවිධානය ඉතා සතුටින් පිළිගත් අතර එය ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වීමක් ලෙස නොව ඔවුන්ගේ ආරක්ෂාව සහ සමෘද්ධිය නැවත ලබා ගැනීමක් ලෙස සැලකූහ. එබැවින් ඔවුහු මෙසේ ප්‍රකාශ කළහ: ඔබ අපේ ජීවිත රක්ෂා කෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා. උත්පත්ති 47:25 ඔවුන් සැබවින්ම ඔවුන් සතු කිසිවක් අහිමි කර ගෙන නොතිබුණි, එහෙත් ඔවුහු අලුත් අයිතිවාසිකමක් ලබා ගත්හ. ඔවුන්ට ප්‍රයෝජනවත් වූ කිසිවක් නොලැබී ගියේ නැත, මන්ද ඔවුන් දැන් එය සදාකාලිකව ලබාගෙන තිබුණි.

81. යෝසප් මොනතරම් උතුම් මිනිසෙක්ද! ඔහු අනවශ්‍ය ත්‍යාගශීලීත්වයෙන් ලැබෙන සුළු ප්‍රශංසාව සෙව්වේ නැත, එහෙත් ඔහුගේ ප්‍රඥාවන්ත දූරදර්ශීභාවයෙන් නිපදවන ලද ස්ථිර ආශීර්වාද ඔහුගේ සදාකාලික අනුස්මරණය ලෙස ස්ථාපිත කළේය. ඔහු ක්‍රියා කළේ ජනතාව තමන්ගේම ගෙවීම් තුළින් තමන්ටම උපකාරයක් කරගන්නා ආකාරයට වන අතර අනාගත අවශ්‍යතා ඇති කාලවලදී අන් අයගෙන් උපකාර පැතීම මත යැපීමට ඔවුන්ට සිදු නොවන පරිදිය. ඔවුන් සතුව තිබූ සෑම අයිතියක්ම අහිමි කර ගැනීමට වඩා ඔවුන්ගේ අස්වැන්නෙන් කොටසක් පමණක් අත්හැරීම ඔවුන්ට වඩා යහපත් විය. ඔහු මුළු නිෂ්පාදනයෙන් පහෙන් එකකට බද්ද නියම කළ අතර, එමඟින් අනාගතය සඳහා සූදානම් වීමේ ඔහුගේ ප්‍රඥාව සහ බදු බර මධ්‍යස්ථව තබා ගැනීමේ ඔහුගේ ත්‍යාගශීලීභාවය යන දෙකම ඔප්පු කළේය. මෙයින් පසු, ඊජිප්තුව නැවත කිසි දිනෙක එවැනි විනාශකාරී සාගතයක් අත්විඳ නැත.

82. ඉදිරියේදී සිදුවීමට නියමිත දේ යෝසප් තේරුම් ගත්තේ කෙතරම් අපූරුවටද! පළමුවෙන්ම, ඔහු රජුගේ සිහිනය නිවැරදිව අර්ථකථනය කළේය. මෙය රජුගේ පළමුවන සිහිනය විය. නිරෝගී සහ හොඳින් පෝෂණය වූ එළදෙන්නු හත් දෙනෙක් ගඟෙන් නැඟී එහි ඉවුරු දිගේ තණ කෑහ. පසුව කැත සහ සිහින් එළදෙන්නු හත් දෙනෙක් එකම ගඟෙන් එළියට පැමිණ නිරෝගී එළදෙනුන් අසල සිටියහ. මෙම සිහින් සහ දුක්ඛිත එළදෙනුන් නිරෝගී හා ලස්සන එළදෙනුන් කා දමන කරන බවක් පෙනෙන්නට තිබුණි. දෙවන සිහිනය මෙය විය. පොළොවෙන් වර්ධනය වූ සම්පූර්ණ හා නිරෝගී ධාන්‍ය කරල් හතක් විය. ඒවායින් පසුව සුළඟින් දැවී ගිය සිහින්, වියළී ගිය කරල් හතක් දර්ශනය වූ අතර ඒවා විසින් පොහොසත් හා ඵලදායි කරල් ගිල දමන බවක් පෙනෙන්නට තිබුණි.

83. ගවයන් හත් දෙනා අවුරුදු හතක් නියෝජනය කරන බවත්, ඒ හා සමානව කරල් හත අවුරුදු හතක් නියෝජනය කරන බවත්, ගවයන් සහ බෝග යන දෙකම කාල පරිච්ඡේදවල සංකේත ලෙස අර්ථකථනය කරන බවත් යෝසප් පැහැදිලි කළේය. මක්නිසාද යත්, වැස්සියකගේ පැටවා බිහි කිරීමට වසරක් ගත වන අතර, බෝගයක නෙළීමත් සමගම වසරක චක්‍රය සම්පූර්ණ වේ. දින, අවුරුදු සහ සෘතු ගලා යන ජලය මෙන් ඉක්මනින් ගෙවී යන බැවින් එළදෙන්නු ගඟෙන් නැඟී සිටියහ. එබැවින් යෝසප් ප්‍රකාශ කළේ පළමුවන වසර හත බහුලත්වයේ සහ පොහොසත් අස්වැන්නක් සහිත වසර වන අතර ඊළඟ වසර හත සාගතයේ වසර වන අතර, එහි හිඟය පෙර වසරවල රැස් කරගත් බහුලත්වය විනාශ කරනු ඇති බවයි. එබැවින් බහුලත්වයේ වසරවලදී ධාන්‍ය එකතු කළ යුතු බවත්, එමඟින් පසුව ඇති වන දැඩි හිඟයන් සඳහා එයින් සපයාගත හැකි බවටත් ඔහු ඔවුන්ට අනතුරු අඟවයි.

84. අප මුලින්ම අගය කළ යුත්තේ කුමක්ද? සිහිනය තුළ සැඟවී ඇති සත්‍යය ඔහු ළඟා කර ගත්තේ යෝසප්ගේ අසාමාන්‍ය බුද්ධියෙන්ද? නැතහොත් ඔහු මෙතරම් විශාල හා කල් පවතින සාගතයක් පුරෝකථනය කළ ඔහුගේ ප්‍රඥාවන්ත උපදෙස් අප අගය කළ යුතුද? නැතහොත් ඔහුගේ ප්‍රවේශමෙන් අවදියෙන් සිිටීමේ ගුණය සහ යුක්තිය ප්‍රශංසා කළ යුතුද? ඔහුට එතරම් ඉහළ අධිකාරියක් පැවරූ පසුව, ඔහුගේ ප්‍රවේශම් අවධානයෙන්, ඔහු අතිවිශාල ධාන්‍ය ප්‍රමාණයක් ගබඩාවල රැස් කළේය; ඔහුගේ යුක්තිය තුළින් ඔහු සෑම කෙනෙකුටම එක හා සමානව සැලකුවේය. ඔහුගේ ආත්මයේ ශ්‍රේෂ්ඨත්වය ගැන කුමක් කිව හැකිද? ඔහුගේම සහෝදරයන් විසින් ඔහු වහල්භාවයට විකුණනු ලැබුවද උත්පත්ති 37:28, ඔහු එම වරද නිසා ඔවුන්ගෙන් පළිගත්තේ නැත, ඒ වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතාවන් සමනය කළේය. ඔහුගේ මෘදුකම ගැන කුමක් කිව හැකිද? ප්‍රේමණීය හා ප්‍රඥාවන්ත සැලැස්මක් මගින්, ඔහු තම ආදරණීය බාල සහෝදරයා තමා සමග රඳවා ගැනීමට කටයුතු කළේය, ඔහුගේ දේපළ සොරකම් කළ බවට මවාපාමින් පමණක් ඔහුට චෝදනා කරමින්, ඔහුගේ සෙනෙහසේ පොරොන්දුවක් ලෙස ඔහ ළඟ තබා ගැනීමට ඔහුට හැකි විය.

85. එබැවින් ඔහුගේ පියා ඔහු ගැන නිවැරදිව ප්‍රකාශ කළේ මෙයයි: මාගේ පුත්‍රයා වන යෝසෙප් ඵල දරයි, මාගේ ආදරණීය බාල පුත්‍රයා. දෙවියන් වහන්සේ ඔබට උපකාර කර ඇති අතර, ඔබේ පියාගේ සහ මවගේ ආශීර්වාද නිසා ඉහළ ස්වර්ගයේ ආශීර්වාද සහ ඵල දරන පොළොවේ ආශීර්වාද ඔබට ලබා දී ඇත. මෙම ආශීර්වාද සදාකාලික කඳුවල ආශීර්වාද සහ සදාකාලික කඳුවල ආශාවන් අබිබවා යයි. ඒ හා සමානව, ද්විතීය කථාවෙහි මෙසේ ලියා ඇත: පඳුරෙහි විසූ තැනන්වහන්සේගේ කරුණාවද යෝසෙප්ගේ හිස පිටටත්, තමාගේ සහෝදරයන් අතරෙහි ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තාගේ හිස් මුදුන පිටටත් පැමිණේවා. ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන්ය. ද්විතීය කථාව 33:16-17

17 වන පරිච්ඡේදය.

අප උපදෙස් ලබා ගන්නා තැනැත්තා තුළ තිබිය යුතු ගුණාංග මොනවාද? යෝසප් සහ පාවුල් ඒවායින් සන්නද්ධ වූයේ කෙසේදැයි දක්වා ඇත.

86. එසේ නම්, තවත් කෙනෙකුට උපදෙස් දෙන ඕනෑම කෙනෙකුගේ චරිතය එය විය යුතුය. ඔහු සෑම යහපත් ක්‍රියාවකම ආදර්ශයක් ලෙස පෙනී සිටිය යුතුය, ඔහු යහපත් ඉගැන්වීම, චරිතයේ අවංකභාවය, ගෞරවය සහ බැරෑරුම්කම විදහා දක්වයි. එම නිසා ඔහුගේ වචන සම්පූර්ණ සහ නිර්දෝෂී වනු ඇත, ඔහුගේ උපදෙස් ප්‍රයෝජනවත් වනු ඇත, ඔහුගේ හැසිරීම ගුණවත් වන අතර ඔහුගේ විනිශ්චයන් ගෞරවයට සුදුසු වනු ඇත.

87. පාවුල් ඇත්තෙන්ම එවැනි කෙනෙකු විය. ඔහු කන්‍යාවන්ට උපදෙස් දුන්නේය. 1 කොරින්ති 7:25 එසේම පූජකයන්ට මඟපෙන්වීම ලබා දෙමින්, අප සැමට අනුකරණය කිරීමට ආදර්ශයක් ලෙස තමාම ඉදිරිපත් කළේය. එලෙසම ජෝසප් නිහතමානීව කටයුතු කරන්නේ කෙසේදැයි දැන සිටියේය. ඔහු කුලදෙටුවන්ගේ උතුම් පවුලකින් පැමිණියද, වහලෙකු ලෙස ඔහුගේ තත්වය ගැන ඔහු කිසි විටෙකත් ලජ්ජාවට පත් නොවීය. ඒ වෙනුවට, ඔහු තම කැමැත්තෙන් සේවය කිරීමෙන් එම නිහතමානී තනතුරට ගරු කළ අතර ඔහුගේ ගුණධර්ම තුළින් එය තේජාන්විත කළේය. ඔහු විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙදෙනාගේම දෑත් තුළින් ගමන් කළද, ඔහු තවමත් තම ස්වාමියාට “ස්වාමීනි” ලෙස ගෞරවාන්විතව ආමන්ත්‍රණය කළේය. ඔහුගේ නිහතමානී වචනවලට සවන් දෙන්න: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ; මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; ඔබ ඔහුගේ භාර්යාව බැවින් ඔබ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද? උත්පත්ති 39:8-9 මෙම වචන නිහතමානීත්වයෙන් පිරී ඇති අතර ඒ හා සමානව පිරිසිදුකමෙන් පිරී ඇත. ඔහු තම ස්වාමියාට විශ්වාසවන්තව කීකරු වූ නිසා නිහතමානීකමද, ඔහු කෙරෙහි තැබූ විශ්වාසයට ඔහු කෘතඥ වූ නිසා ගෞරවයද, එමෙන්ම එවැනි පාපයක් දෙවියන් වහන්සේට එරෙහි දරුණු වරදක් ලෙස සැලකූ නිසා නිර්මලකමද ඔහු පෙන්වයි.

88. එසේ නම්, උපදෙස් දෙන මිනිසා එවැන්නෙකු විය යුතුය. ඔහුගේ ජීවිතයේ සහ චරිතයෙහි සෙවණැල්ලක් විය හැකි අඳුරු ස්ථාන හෝ රැවටිලිකාර හෝ අසත්‍ය කිසිවක් නොතිබිය යුතුය. නොඑසේ නම් උපදෙස් අවශ්‍ය අය වළක්වා ගැනීමට දුෂ්ට හෝ නපුරු කිසිවක් ඔහු වෙත නොතිබිය යුතුය. සමහර වැරදි අප පුද්ගලයෙකුගෙන් පලා යාමට හේතු වන අතර අනෙක් ඒවා අප විසින් හුදෙක් ඔහු හෙළා දකිනු ලැබීමට හේතු වේ. අපට රැවටිලිකාරකමෙන් හෝ රහසිගතව හානි කිරීමට හැකියාව ඇති අය අපි මග හරිමු, එනම් අවංකකම සැක සහිත කෙනෙකු හෝ මුදල් කෙරෙහි ඇති ඇල්ම නිසා යම් මුදලක් ලැබීම නිසා තම මනස වෙනස් කරන උපදේශකයෙකු වැනි කෙනෙකුගෙන් අපි පළා යමු. මිනිසෙකු අසාධාරණ ලෙස ක්‍රියා කරන්නේ නම්, අපි ඔහුගෙන් පලා ගොස් ඔහුගෙන් වැළකී සිටිමු. විනෝදය සොයන්නෙකු සහ අධික ලෙස වියදම් කරන මිනිසෙකු, , ඔහු වංචාකාරයෙකු ලෙස ක්‍රියා නොකළත්, කෑදර සහ වංක ලාභයට අධික ලෙස ඇලුම් කරන අතර එවැනි කෙනෙකු හෙළා දකිනු ලැබේ. එවැනි පුද්ගලයෙකු කම්මැලිකමට සහ උදාසීනත්වයට යටත් වන විට ඔශුට වෙහෙස මහන්සි වී වැඩ කිරීම හෝ ඵලදායී ශ්‍රමය පිළිබඳ කුමන සාක්ෂි සැපයිය හැකිද? ඔහුගේ මනසට කුමනාකාර බරපතල ගැටලු හෝ වගකීම් ඇතුළු විය හැකිද?

89. එබැවින් යහපත් උපදෙස් ඇති මිනිසා මෙසේ කියයි: මම කුමන තත්වයක සිටියත් සෑහීමට පත් වීමට ඉගෙන ගෙන සිටිමි. පිලිප්පි 4:11 මක්නිසාද මුදල් වලට ඇති ඇල්ම සියලු ආකාරයේ නපුරේ මුල, බව ඔහු දැන සිටියේය. 1 තිමෝති 6:10 එබැවින් ඔහු අන් අයට අයත් දේ සඳහා ආශා කරනවා වෙනුවට තමා සතු දේ ගැන සෑහීමකට පත් විය. මට ඇති දේ මට ප්‍රමාණවත් බව ඔහු ප්‍රකාශ කරයි; මට ඇත්තේ ස්වල්පයක් හෝ වැඩියක් වුවත්, එය ප්‍රමාණවත්ය. මට එය බොහෝය. මෙම සත්‍යය හැකිතාක් පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඔහු උනන්දු වන බව පෙනේ. ඔහු මෙම වචන භාවිත කරයි: මට ඇති දෙයින් මම සෑහීමට පත් වෙමි, යනුවෙන් ඔහු පවසයි. එහි තේරුම මෙයයි: මට අවශ්‍යතාවයක් නැත, මට ඕනෑවට වඩා නැත. මට කිසිදු අඩුවක් දැනෙන්නේ නැත. මන්ද මා සතුව ඇති දේ මා සඳහා පමණක් වෙන් කර නැත, එහෙත් එය බොහෝ දෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා අදහස් කෙරේ. මෙය මුදල් සම්බන්ධයෙන් කියනු ලැබේ.

90. එහෙත් මෙම වචනම අනෙක් සියල්ල සම්බන්ධයෙන්ද තේරුම් ගත හැකිය. මන්ද මේ මොහොතේ ඔහු සතුව තිබූ සියල්ල ඔහු තෘප්තිමත් කළ බැවිනි; එනම්, ඔහු වඩා විශාල ගෞරවයක් ආශා කළේ නැත, ඔහු අධිකාරී තනතුරු සෙව්වේ නැත, ඔහු හිස් මහිමය ලැබීමට කැමති නොවීය, එය ලැබිය යුතු නැති තැන කෘතඥතාව අපේක්ෂා කළේ නැත. ඒ වෙනුවට, ඔහු වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඉවසිලිවන්තව, ඔහුගේ කාර්යයේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසයෙන් සිටියේය, ඔහුට විඳ දරාගැනීමට කැඳවන ලද අරගලය අවසන් වන තෙක් විශ්වාසවන්තව බලා සිටියේය. පහත් වන්නේ කෙසේදැයි මම දනිමි, පිලිප්පි 4:12 යනුවෙන් ඔහු පවසයි. නූගත් අවබෝධයක් නොමැතිකමෙන් පමණක් ලැබෙන නිහතමානිකම ප්‍රශංසාවට සුදුසු නොවේ; එහෙත් ප්‍රඥාව සහ ස්වයං දැනුම සමග එකතු වූ නිහතමානිකම පමණක් සැබවින්ම ප්‍රශංසනීය වේ. මක්නිසාද සමහර අය බිය නිසා නිහතමානී වන අතර අනෙක් අය නොදැනුවත්කම හෝ හැකියාව නොමැතිකම නිසා නිහතමානී ලෙස පෙනේ. එබැවින් ශුද්ධලියවිල්ල මෙසේ පවසයි: උන් වහන්සේ ආත්මයෙන් නිහතමානී අය ගලවා ගනු ඇත. එබැවින්, තේජාන්විතව, ඔහු මෙසේ කියයි: පහත් වන්නේ කෙසේදැයි මම දනිමි. එනම් නිහතමානිකම සුදුසු තැන, එය කොතරම් දුරට ව්‍යාප්ත විය යුතුද, එය කුමන අරමුණක් ඉටු කළ යුතුද, එය අයත් වන්නේ කුමන රාජකාරිවලටද සහ එය ක්‍රියාත්මක කළ යුත්තේ කුමන තනතුරකද යන්න ඔහු තේරුම් ගනී. පරිසිවරයා තමාම යටත් පහත් වන්නේ කෙසේදැයි දැන සිටියේ නැත, එබැවින් දෙවියන් වහන්සේ විසින් යටත් පහත් කරන ලදී, බදු එකතු කරන්නා සැබෑ නිහතමානිකම දැන සිටියේය. එබැවින් ඔහු ධර්මිෂ්ඨ කරනු ලැබීය. ලූක් 18:11

91. පාවුල් බහුලව සිටින්නේ කෙසේදැයි දැන සිටියේය, මන්ද ඔහු ධනවත් මිනිසෙකුගේ වස්තු කිසිවක් නොතිබුණද, ඔහුගේ ආත්මය පොහොසත් විය. මන්ද ඔහු මුදල්වලින් තෑග්ගක් සොයමින් සියියේ නැත. එහෙත් කරුණාවෙන් නිපදවන ඵල සොයමින් සිටියේය. එමනිසා ඔහු බහුල වන්නේ කෙසේදැයි දැන සිටියේය. ඔහුගේ වචන අපට තවත් අර්ථයකින්ද තේරුම් ගත හැකිය, මක්නිසාද ඔහුට නැවතත් මෙසේ පැවසිය හැකිය: එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ. 2 කොරින්ති 6:11

92. සෑම අවස්ථාවකදීම පාවුල් තෘප්තිමත් වන්නේ කෙසේද සහ කුසගින්නෙන් සිටින්නේ කෙසේද යන්න ඉගෙන ගෙන තිබුණි. ක්‍රිස්තුස් වහන්සේ තුළ තෘප්තිමත් වන්නේ කෙසේදැයි දන්නා තැනැත්තා භාග්‍යවන්තයෙකි. මෙම තෘප්තිය ලෞකික නොවේ, එහෙත් අධ්‍යාත්මිකය, එය දැනුම ඇති කරන තෘප්තියයි. සැබවින්ම එවැනි දැනුමක් අවශ්‍ය වේ: මක්නිසාද මිනිසා රොටිවලින් පමණක් නොව දෙවියන් වහන්සේගේ සෑම වචනයකින්ම ජීවත් වන්නේය, ද්විතීය කථාව 8:3. මක්නිසාද තෘප්තිමත් වන්නේ කෙසේදැයි දැන සිටි තැනැත්තා කුසගින්නෙන් පෙළෙන ආකාරයද දැන සිටියේය, එවිට සෑම විටම අලුත් දෙයක් සොයමින්, දෙවියන් වහන්සේ වෙත කුසගින්නෙන්, ස්වාමින් වහන්සේ වෙත පිපාසයෙන් සිටිමින් තෘප්තිමත් බවට පත් වනු ඇත. ඔහු කුසගින්නෙන් සිටින්නේ කෙසේදැයි දැන සිටියේය, මන්ද කුසගින්නෙන් පෙළෙන අය තෘප්තිමත් වන බව ඔහු දැන සිටියේය. මතෙව් 5:6 ඔහු බහුල වන්නේ කෙසේදැයි දැන සිටියේය, මන්ද ඔහුට කිසිවක් නොතිබුණත් සියල්ල ඔහු සතුව තිබුණි. 2 කොරින්ති 6:10

18 වන පරිච්ඡේදය.

රෙහොබෝවම් රජුගෙන් ගෝත්‍ර දහය වෙන් කිරීමේ කාරණයෙන් නරක උපදෙස් දෙන අයගෙන් කොපමණ හානියක් සිදුවිය හැකිද යන්න අපට ඉගෙනගත හැකිය.

93. එසේ නම්, යුක්තිය විශේෂයෙන් ඕනෑම තනතුරක් දරන මිනිසුන්ට කරුණාවේ ආභරණයක් වේ; අනෙක් අතට, අයුක්තිය ඔවුන් දුර්වල කර ඔවුන්ට එරෙහිව සටන් කරයි. ශුද්ධලියවිල්ලම අපට මේ සඳහා පැහැදිලි උදාහරණයක් සපයයි. එහි පවසන්නේ මෙයයි. සලමොන්ගේ මරණයෙන් පසු, ඉශ්‍රායෙල් ජනතාව තම පුත් රෙහොබෝවම්ගෙන් ඔවුන්ගේ කුරිරු වියගහෙන් ඔවුන්ගේ බෙල්ල නිදහස් කර, තම පියාගේ පාලනයේ රළු බව සැහැල්ලු කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ඔහු වැඩිහිටි අයගේ උපදෙස් නොසලකා හරිමින්, තරුණයින්ගේ යෝජනාවට අනුව පහත පිළිතුර ලබා දුන්නේය: එසේය, මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි.

94. මෙම පිළිතුර නිසා ජනතාව කෝපයට පත් වී මෙසේ කීහ: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැමගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, ඔබ ඔබේම වංශය බලාගන්න. මක්නිසාද මේ මිනිසා අපට කුමාරයෙකු හෝ නායකයෙකු ලෙස නොසිටිනු ඇත. එබැවින්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කර අත්හැර දමන ලද ඔහුට දාවිත් නිසා ගෝත්‍ර දහයෙන් දෙකක් පමණක් තමා සමග තබා ගත හැකි විය.

19 වන පරිච්ඡේදය.

බොහෝ මිනිසුන් යුක්තිය, කරුණාව සහ ආචාරශීලී කතාවෙන් දිනා ගනු ලැබේ, එහෙත් මෙම ගුණාංග සියල්ල අවංක විය යුතුය.

95. එසේ නම්, සාධාරණත්වය අධිරාජ්‍යයන්ට ශක්තිය සහ ස්ථාවරත්වය ලබා දෙන බවත්, අයුක්තිය ඒවා විනාශයට ගෙන යන බවත් පැහැදිලිය. දුෂ්ටකමට තනි නිවසක් පවා පාලනය කළ නොහැකි විට අධිරාජ්‍යයක් ආරක්ෂා කළ හැක්කේ කෙසේද? එබැවින්, සාමාන්‍යයෙන් මහජන කටයුතු නිසි ලෙස පරිපාලනය කිරීම පමණක් නොව, සෑම පුද්ගලයෙකුගේම අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා, ශ්‍රේෂ්ඨතම කරුණාව අවශ්‍ය වේ. කරුණාව යනු ශ්‍රේෂ්ඨතම වටිනාකමකි; මක්නිසාද යත්, එය සියල්ලන්ම තම අනුග්‍රහයෙන් වැලඳ ගැනීමට, යුතුකම් ඉටු කිරීමෙන් ඔවුන් තමාටම බැඳ ගැනීමට සහ එහි කරුණාවන්ත ආකර්ශනීය බවින් ඔවුන් එකට බැඳ තැබීමට උත්සාහ කරන බැවිනි.

96. ආචාරශීලී කතාවට අන් අයගේ හොඳ හිත දිනා ගැනීමට විශාල බලපෑමක් ඇති කළ හැකි බව අපි දැනටමත් පවසා ඇත්තෙමු. එහෙත් එවැනි ආචාරශීලීත්වය අවංක හා සංවේදී වීම අවශ්‍යය, පුරසාරම් දෙඩීමෙන් තොර විය යුතුය, පුරසාරම් දෙඩීමෙන් අපගේ කතාවෙහි සරල බව සහ පාරිශුද්ධ භාවය අපකීර්තියට පත් නොවිය යුතුය. අප ක්‍රියාවෙන් පමණක් නොව වචනයෙන්ද, අපගේ ජීවිතයේ පාරිශුද්ධත්වයෙන් සහ ඇදහිල්ලෙන්ද අන් අයට ආදර්ශයක් විය යුතුය. අපට වීමට සිතන දේ බවට අපි පත් වෙමු. අපගේ හදවත් තුළ පවතින එම හැඟීම් විවෘතව පෙන්වමු. නිහඬ සිතුවිලි සැඟවී ඇති බව සිතමින්, අප තුළ අසාධාරණ ලෙස කතා නොකරමු, මන්ද රහස් දේවල් මැවූ තැනැන් වහන්සේ රහසින් කතා කරන දේ අසන සේක, උන් වහන්සේ සෑම හදවතකම සැඟවුණු සිතුවිලි දන්නා සේක. එසේම එම හැඟීම් අප තුළ තබා ඇත. එබැවින්, විනිශ්චයකරුවාණන් වහන්සේගේ ඇස් ඉදිරිපිට නිරන්තරයෙන් සිටගෙන, සියල්ලන්ටම එය පැහැදිලිව දැකගත හැකි වන පරිදි, සියල්ල අප කරන සියල්ල ආලෝකයේ දක්වා ඇති පරිදි ජීවත් වෙමු.

20 වන පරිච්ඡේදය

යෝෂුවා සහ මෝසෙස් සහ අනෙකුත් අයගේ නිදසුන්වලින් පෙන්නුම් කරන පරිදි, යහපත් මිනිසුන් සමග සමීප මිත්‍රත්වය සෑම කෙනෙකුටම, විශේෂයෙන් තරුණයින්ට ඉතා වාසිදායකය. තවද, වයස් පරතරයෙන් බොහෝ සෙයින් වෙනස් වන පුද්ගලයින්ට පේතෘස් සහ යොහන් පෙන්නුම් කරන පරිදි එකම ගුණාංගවලින් එක්සත් විය හැකිය.

97. යහපත් මිනිසෙකු ඇසුරු කිරීම මහත් ආශිර්වාදයකි. තරුණයින් ශ්‍රේෂ්ඨ හා ප්‍රඥාවන්ත මිනිසුන්ගේ මඟපෙන්වීම අනුගමනය කිරීමද ඉතා ප්‍රයෝජනවත් වේ. මක්නිසාද ප්‍රඥාවන්තයන් සමග ඇසුරු කරන්නා ප්‍රඥාවන්තයෙකි; එහෙත් අඥානයන් ඇසුරු කරන තැනැත්තාද අඥානයෙකු ලෙස සැලකේ. ප්‍රඥාවන්ත පුද්ගලයින් සමග මිත්‍රත්වය අපට දැනුමෙන් වර්ධනය වීමට බෙහෙවින් උපකාරී වන අතර අපගේ අවංක චරිතය පිළිබඳ ස්ථිර සාක්ෂියක් ලෙසද සේවය කරයි. යෞවනයන් ඉක්මනින් ඔවුන් සමීපව ඇසුරු කරන අය අනුකරණය කිරීමට පටන් ගන්නා අතර, මෙය වඩ වඩාත් පැහැදිලි වන්නේ, ඔවුන්ගේ දෛනික ජීවිත කාලය පුරාම, ඔවුන් ක්‍රමයෙන් ඔවුන් සමග ඇසුරු කරන පුද්ගලයින් මෙන් වන බැවිනි.

98. නූන්ගේ පුත්‍රයා වූ යෝෂුවා ඉතා ශ්‍රේෂ්ඨ වූයේ, මෝසෙස් සමග ඔහුගේ සමීප සම්බන්ධතාවය ඔහුට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ දැනුම ඉගැන්වූවා පමණක් නොව, දිව්‍යමය කරුණා අනුග්‍රහය ලබා ගැනීමට ඔහු සූදානම් කර විශුද්ධ කළ බැවිනි. ස්වාමින් වහන්සේගේ මණ්ඩපය තුළ ස්වාමින් වහන්සේගේ අබිමුඛයෙහි උන් වහන්සේගේ මහිමය බැබළෙන සෑම අවස්ථාවකම, යෝෂුවා පමණක් මණ්ඩපයේ රැඳී සිටියේය. මෝසෙස් දෙවියන් වහන්සේ සමග කතා කරන විට, යෝෂුවාද පූජනීය වලාකුළෙන් වැසී සිටියේය. පූජකයන් සහ ජනතාව පහළින් සිටි අතර, යෝෂුවා සහ මෝසෙස් ව්‍යවස්ථාව ලබා ගැනීමට කන්දට නැගී ගියහ. සියලු ජනයා කඳවුර තුළ සිටියදී, යෝෂුවා කඳවුරෙන් පිටත සාක්ෂි කූඩාරමේ රැඳී සිටියේය. වලාකුළු ටැඹ බැස විත් දෙවියන් වහන්සේ මෝසෙස් සමග කතා කළ විට, යෝෂුවා විශ්වාසවන්තව ඔහු අසල කැපවූ සේවකයෙකු ලෙස සිටියේය. තවමත් තරුණයෙකු වුවද, ඔහු කිසි විටෙකත් මණ්ඩපයෙන් පිටව ගියේ නැත, එසේ වූවත් දුර සිට සිටි මහලු අය මෙම දිව්‍යමය ආශ්චර්යයන් ගැන වෙව්ලන්නට වූහ.

99. එසේ, මේ සියලු ආශ්චර්යවත් ක්‍රියා සහ බියජනක අබිරහස් සිදු වන සෑම අවස්ථාවකදීම යෝෂුවා පමණක් ශුද්ධ වූ මෝසෙස් අසල නිරන්තරයෙන් රැඳී සිටියේය. එමනිසා, දෙවියන් වහන්සේ සමග මෙම සහයෝගීතාවය ඉතා සමීපව බෙදාගත් තැනැත්තා මෝසෙස්ගේ බලයෙන් පසු බලයට පත් වූ තැනැත්තා බවටද පත් විය. ද්විතීය කථාව 34:9 ගඟේ ගලායාම නවතා, ඔහුගේ ජයග්‍රහණය දැකීමට මෙන්: හිරු, නිශ්චලව සිටින්න, රාත්‍රිය ප්‍රමාද කරන්න, දිවා කාලය දිගු කරන්න, යනුවෙන් පැවසිය හැකි මිනිසෙකු ලෙස පෙනී සිටීමට ඔහු නිසැකවම සුදුසු විය. යෝෂුවා 10:12-13 මෝසෙස්ට පවා නොලැබුණු ආශීර්වාදයක්, දෙවියන් වහන්සේගේ ජනතාව පොරොන්දු දේශයට ගෙන යාමට ඔහු පමණක් තෝරා ගැනීමෙන්, මෙම ගෞරවය ඔහුට ලබා දුන්නේ ඇයි? ඔහු ඇදහිල්ලෙන් කළ ආශ්චර්යයන්ගෙන් ශ්‍රේෂ්ඨ මිනිසෙකු විය. ඔහුගේ ජයග්‍රහණවලින් ශ්‍රේෂ්ඨ විය. මෝසෙස්ගේ ක්‍රියා උසස් වර්ගයක වූ අතර, යෝෂුවා විශාල සාර්ථකත්වයක් ගෙන ආවේය. එහෙත්, දිව්‍යමය කරුණා අනුග්‍රහයෙන් ශක්තිමත් වූ මිනිසුන් දෙදෙනාම, මිනිස් වර්ගයාගේ සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළින් නැගී සිටියහ. එක් අයෙක් මුහුද කෙරෙහි අධිකාරිය ක්‍රියාත්මක කළේය; අනෙකා ස්වර්ගය කෙරෙහි අධිකාරිය ක්‍රියාත්මක කළේය.

100. එබැවින්, මහලු අය සහ තරුණ අය අතර එකමුතුව සුන්දරය. වැඩිමහල්ලා සාක්ෂි දෙන අතර, බාලයා දිරිගැන්වීම ලබා දෙයි; වැඩිමහල්ලා මඟ පෙන්වීම ලබා දෙන අතර, බාලයා ප්‍රීතිය ගෙන දෙයි. ලොත්ගේ උදාහරණය මම නොසලකා හරිමි, ඔහු තරුණ වියේදී ආබ්‍රහම් තම ගමන ආරම්භ කරන විට ඔහු සමග ගියේය. උත්පත්ති 12:5 මක්නිසාද යත් මෙය සිදු වූයේ ලොත් නිදහසේ එය තෝරාගත් නිසා නොව ඔවුන්ගේ ඥාතී සම්බන්ධතාවය නිසා යැයි යමෙකු තර්ක කළ හැකිය. එලියා සහ එලිෂා ගැන අපට කුමක් කිව හැකිද? ශුද්ධලියවිල්ලේ එලිෂා තරුණයෙකු ලෙස වචනවලින් ප්‍රකාශ කර නැතත්, ඔහු දෙදෙනාගෙන් බාලයා බව වාර්තාවෙන් අපට වැටහේ. එලෙසම, අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ, බාර්ණබස් මාර්ක් ඔහු සමග රැගෙන ගිය අතර, පාවුල් සීලස්, ක්‍රියා 15:39-40 සහ තිමෝති, ක්‍රියා 16:3 සහ තීතස් තමා සමග රැගෙන ගියේය. තීතස් 1:5

101. එක් එක් පුද්ගලයාගේ විශේෂිත හැකියාවන් අනුව වගකීම් ඔවුන් අතර බෙදා හරින ලද බවද අපි නිරීක්ෂණය කරමු. වැඩිහිටියන් උපදෙස් දීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර, තරුණයෝ ක්‍රියාකාරකම් පෙන්වීමේදී පෙරමුණ ගත්හ. බොහෝ විට, වයස් මට්ටමින් බොහෝ සෙයින් වෙනස් වූ නමුත් ගුණධර්ම අතින් සමාන වූ අය පේදුරු සහ යොහන් මෙන් එකිනෙකාගේ මිත්‍රත්වයෙන් මහත් ප්‍රීතියක් අත්විඳ ඇත. යොහන් තවමත් තරුණයෙකු බව අපි ශුභාරංචියේ කියවමු. ඔහුගේම සාක්ෂියට අනුව වුවද, ඔහු ප්‍රඥාවෙන් හෝ විශිෂ්ටත්වයෙන් වැඩිහිටියන් කිසිවෙකුට වඩා පහත් නොවීය. මක්නිසාද ඔහු තුළ මහලු වියේ ගෞරවනීය පරිණත චරිතය සහ සාමාන්‍යයෙන් අළු හිසකෙස්වලට අයත් විචක්ෂණශීලී ප්‍රඥාව තිබුණි. නිර්දෝෂී, නොකැළැල් ජීවිතයක් මහලු වියක නිසි විපාකයයි.

21 වන පරිච්ඡේදය.

දුර්වලයන් ආරක්ෂා කිරීම, ආගන්තුකයන්ට උපකාර කිරීම හෝ විශේෂයෙන් පරීක්ෂාවට ලක් වූ මිනිසුන් සම්බන්ධයෙන් ඒ හා සමාන දයාවේ ක්‍රියාවන් කිරීම පුද්ගලයෙකුගේ වටිනාකම, ගෞරවය බෙහෙවින් වැඩි කරයි. අනෙක් අතට, පූජකයන් අතර මුදල් කෙරෙහි ඇති ඇල්ම සහ විශේෂයෙන් නාස්තිය බෙහෙවින් හෙළා දකිනු ලැබේ.

102. පුද්ගලයෙකු බලවත් කෙනෙකුගේ පීඩාවෙන් දුප්පත් මිනිසෙකු බේරා ගන්නා විට හෝ වරදකරු වූ අපරාධකරුවෙකු මරණයෙන් බේරා ගන්නා විට, මෙය සාමකාමීව සහ අවුල් සහගත බවක් ඇති නොකර සිදු කරන්නේ නම්, ඔහුගේ කීර්ති නාමය බෙහෙවින් වැඩි වේ. එසේ නොවුවහොත්, එවැනි ක්‍රියාවන් සැබෑ අනුකම්පාවෙන් පැන නගිනවා වෙනුවට හුදෙක් ප්‍රශංසාව ආකර්ෂණය කර ගැනීම සඳහා සිදු කරන බව පෙනෙන්නට ඇති අතර, කුඩා තුවාලයක් සුව කිරීමට උත්සාහ කිරීමේදී ඇත්ත වශයෙන්ම ඊටත් වඩා දරුණු තුවාලයක් ඇති කළ හැකිය. එහෙත් යමෙකු තමාගේම දුෂ්ටකමේ වැරදි නිසා සාධාරණ ලෙස හෙළා දකිනු ලැබීමට වඩා, බලවත් පීඩකයෙකුගේ බලපෑමෙන් හා බලයෙන් තැළුණු පුද්ගලයෙකු බේරා ගන්නා විට, එවැනි ක්‍රියාවකින් එම ගැලවුම්කරුවා කෙරෙහි තබා ඇති ඉහළ ගෞරවය බෙහෙවින් ශක්තිමත් කරයි.

103. ආගන්තුක සත්කාරයද බොහෝ දෙනෙකුට ගෞරවය ගෙන දෙයි. මක්නිසාද එය කාරුණික හැඟීම් විවෘතව ප්‍රදර්ශනය කිරීමකි: එවිට ආගන්තුකයාට ආගන්තුක සත්කාරය අවශ්‍ය නොවනු ඇත, එහෙත් ආචාරශීලීව පිළිගත යුතුය. ඔහු පැමිණෙන විට ඔහුට දොර විවෘතව තිබිය හැකිය. මුළු ලෝකයේම ඇස් හමුවේ ආගන්තුකයන් ගෞරවයෙන් පිළිගත යුතු බවත්, ආගන්තුක සත්කාරය කිසි විටෙකත් අපගේ මේසයේදී අසාර්ථක නොවිය යුතු බවත්, ඔවුන්ගේ පැමිණීම අප උනන්දුවෙන් බලා සිටිය යුතු බවත්, ඔවුන්ට නිදහසේ සහ සතුටින් සේවය කිරීමට සූදානම් බවත් පැහැදිලි විය යුතුය.

104. මෙය විශේෂයෙන් ආබ්‍රහම්ගේ ප්‍රශංසාව විය, මන්ද ඔහු තම කූඩාරමේ දොරටුව අසල සෝදිසියෙන් සිටියේය, එවිට කිසිදු ආගන්තුකයෙකු නොදැනුවත්ව පසුකර නොයනු ඇත. සංචාරකයින් ගැන ප්‍රවේශමෙන් සෝදිසියෙන් සිටිමින්, ඔවුන් ගමන දිගටම කරගෙන යාමට පෙර ඔවුන්ට ඔහු පසුකර නොයන ලෙස ඉල්ලා සිටියේය. මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම් නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි. උත්පත්ති 18:3 එබැවින් ඔහුගේ ආගන්තුක සත්කාරයට විපාකයක් ලෙස, ඔහුට පරම්පරාවක ආශීර්වාදය ලැබුණි.

105. ආබ්‍රහම්ගේ බෑණනුවන් වන ලොත් උත්පත්ති 19:20 පවුල් සබඳතාවලින් පමණක් නොව ගුණවත්කමෙන්ද ඔහුට සමීපව සිටි අතර, ආගන්තුකයන් තම නිවසට පිළිගැනීමට ඇති සූදානම නිසා සොදොම්හි විනාශයෙන් ඔහු සහ ඔහුගේ පවුලේ අය බේරුණි.

106. එබැවින් පුද්ගලයෙකු ආගන්තුක සත්කාරයට ලැදි, කරුණාවන්ත, අවංක, වෙනත් කෙනෙකුගේ දේපළවලට ආශා කිරීමෙන් වැළකී සිටිය යුතුය, අසාධාරණ ලෙස වෙනත් කෙනෙකුගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට වඩා තමාගේම අයිතිවාසිකම් අත්හැරීමට කැමති විය යුතුය. ඔහු ආරවුල්වලින් වැළකී සිටිය යුතුය, ආරවුල්වලට වෛර කළ යුතුය. ඔහු සමගිය සහ නිහඬතාවයේ කරුණා අනුග්‍රහය නැවත ඇති කළ යුතුය. යහපත් මිනිසෙකු තමාගේම අයිතිවාසිකම්වලින් ඕනෑම එකක් අත්හරින විට, එය ලිබරල්භාවයේ ලකුණක් පමණක් නොව, එයම විශාල වාසියකි. ආරම්භ කිරීමට, නඩුවක වියදමෙන් නිදහස් වීම සුළු වාසියක් නොවේ. එවිට එයින් මිත්‍රත්වයේ ශක්තිමත් වීමක් මගින් හොඳ ප්‍රතිඵල ගෙන එයි, එයින් බොහෝ වාසි මතු වේ. මෙම වාසි විශේෂයෙන් ශ්‍රේෂ්ඨ දෙයක් වෙනුවෙන් ඒ සුදුසු මොහොතේ සුළු දෙයක් කැප කිරීමට කැමති පුද්ගලයාට වඩාත් ප්‍රයෝජනවත් වේ.

107. ආගන්තුක සත්කාරයේ සියලු ක්‍රියාවකදීම, සියලු මිනිසුන්ට කරුණාව පෙන්විය යුතුය, එහෙත් අවංක අයට වැඩි ගෞරවයක් ලබා දිය යුතුය. මක්නිසාද ස්වාමින් වහන්සේම ප්‍රකාශ කළ පරිදි, ධර්මිෂ්ඨ මිනිසෙකුගේ නාමයෙන් ධර්මිෂ්ඨ මිනිසෙකු පිළිගන්නා ඕනෑම කෙනෙකුට ධර්මිෂ්ඨ මිනිසෙකුගේ විපාකය ලැබෙනු ඇත. මතෙව් 10:41 ආගන්තුක සත්කාරය දෙවියන් වහන්සේ විසින් ඉතා ඉහළින් අගය කරනු ලබන අතර, සීතල වතුර කෝප්පයක් දීමෙන් පවා නිසැකවම එහි විපාකය ලැබෙනු ඇත. මතෙව් 10:42 ආබ්‍රහම් අමුත්තන් පිළිගැනීමට සොයමින් සිටියදී, දෙවියන් වහන්සේම තම ආගන්තුකයා ලෙස පිළිගත් බව සලකා බලන්න. ලොත් දේවදූතයන් පිළිගත් බව ඔබට පෙනේ. උත්පත්ති 19:3 ඔබ සාමාන්‍ය මිනිසුන් පිළිගන්නා විට, ඔබ ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුස් වහන්සේම පිළිගන්නේද යන්න ඔබට දැනගත හැක්කේ කෙසේද? ඔබ වෙත පැමිණෙන ආගන්තුකයා තුළ ක්‍රිස්තුස් වහන්සේ සිටිය හැකිය, මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ දුප්පතුන්ගේ පුද්ගලයා තුළ සිටින බැවිනි. මක්නිසාද උන්වහන්සේම: මම වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහු යයි කියන සේක. මතෙව් 25:36 .

108. එබැවින්, ධනය පසුපස හඹා යාමට වඩා කරුණා අනුග්‍රහය සෙවීම යහපත්ය. නපුර බොහෝ කලක සිට මිනිස් හදවත් තුළ මුල් බැස ගෙන ඇති බව සැබෑවකි. එම නිසා ගෞරවයට ලබා දුන් ස්ථානය මුදල් හිමි කරගෙන ඇත. එසේ මිනිසුන්ගේ මනස ධනය අගය කිරීමට සම්පූර්ණයෙන්ම යොමු වී ඇත. මේ අනුව, මුදල් කෙරෙහි ඇති ආදරය හදවතට ඇතුළු වී සෑම කරුණාවන්ත ක්‍රියාවක්ම වියළී ගිලී ගොස් ඇත; එවිට මිනිස්සු ගුණධර්වලට වඩා සෑම දෙයක්ම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වියදම් කරන පාඩුවක් ලෙස සලකති. කෙසේ වෙතත්, ශුද්ධලියවිල්ල මෙම මුදලට ඇති ආදරයට එරෙහිව, එය යහපත්කමට බාධාවක් නොවන පරිදි සැලකීමට අපට අනතුරු අඟවයි. වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය. හිතෝපදේශ 15:17 නැවතත් මෙසේ ලියා ඇත: සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය. හිතෝපදේශ 17:1 මේ අනුව, ශුද්ධලියවිල්ල අපට උගන්වන්නේ නාස්තිකාර වියදම් නොකර සැබවින්ම ත්‍යාගශීලී වීමටයි.

109. ත්‍යාගශීලීත්වයේ ආකාර දෙකක් තිබේ. එකක් සැබෑ ත්‍යාගශීලීත්වයෙන් පැන නගින අතර අනෙක නාස්තිකාර අධික වියදම්වලින් පැන නගී. ත්‍යාගශීලීත්වය ආගන්තුකයන් පිළිගනී, ඇඳුම් නැති අයට ඇඳුම් දෙයි, වහලුන් මුදා ගනී, එසේම අවශ්‍යතා ඇති අයට උපකාර කරයි. කෙසේ වෙතත්, අධික ලෙස වියදම් කිරීම සුඛෝපභෝගී මංගල්‍යයන් සහ අධික ලෙස මත්පැන් පානය කිරීම සඳහා මුදල් වියදම් කිරීම නාස්තියකි. එබැවින් ශුද්ධලියවිල්ලේ මෙසේ පවසයි: මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; හිතෝපදේශ 20:1 ජනතාවගේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා පමණක් මිනිසුන් තම ධනය වියදම් කරන විට එය නාස්තියකි. එවැනි අය තම මුතුන් මිත්තන්ගේ කීර්තිය අබිබවා යාමට සර්කස් ක්‍රීඩා, නාට්‍ය සංදර්ශන, මල්ලව පොර තරග හෝ වන සතුන් සම්බන්ධ සංදර්ශන සඳහා තම උරුමය නාස්ති කරන අය වෙති. ඔවුන් කරන මේ සියල්ල අඥානකමකි, මන්ද යහපත් ක්‍රියා කිරීමේදී පවා නොසැලකිලිමත් ලෙස මුදල් වියදම් කිරීම නිවැරදි නොවේ.

110. සැබෑ ත්‍යාගශීලීභාවයට දුප්පතුන්ට දීමේදී මධ්‍යස්ථභාවය අවශ්‍ය වේ, එවිට අන් අයට උපකාර කිරීමට ප්‍රමාණවත් සම්පත් ඉතිරි වේ. මිනිසුන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා පමණක් අප කිසි විටෙකත් නිසි සීමාවන් ඉක්මවා නොයා යුතුය. පිරිසිදු හා අවංක හදවතකින් ලැබෙන ඕනෑම දෙයක් සාධාරණය. ඒ හා සමානව, අනවශ්‍ය කාර්යන් භාර නොගැනීම හෝ සැබවින්ම කළ යුතු රාජකාරි නොසලකා නොහැරීමද සාධාරණය.

111. විශේෂයෙන් පූජකයෙකු දෙවියන් වහන්සේගේ දේවමාළිගාව සුදුසු තේජසින් අලංකාර කිරීම සුදුසුය. එවිට ස්වාමින් වහන්සේගේ ගෘහය ඔහුගේ විශ්වාසවන්ත සැලකිල්ල තුළින් ගෞරවයට පාත්‍ර වනු ඇත. ඔහු සැමවිටම දයාවේ ඉල්ලීම් අනුව මුදල් වියදම් කළ යුතුය. ඔහු ආගන්තුකයන්ට සුදුසු පරිදි සැපයිය යුතුය, මෙය ඕනෑවට වඩා නොවිය යුතුය, එහෙත් ප්‍රමාණවත් පරිදි සිදු කළ යුතුය; කරුණාවන්ත ඉල්ලීම්වලට අවශ්‍ය දේ හරියටම ලබා දිය යුතුය. එහෙත් ඔහු කිසි විටෙකත් දුප්පතුන්ගේ වියදමින් අන් අයගේ අනුග්‍රහය ලබා නොගත යුතුය. පූජක පක්ෂය කෙරෙහි ඔහු මසුරු හෝ නාස්තිකාර ලෙස ත්‍යාගශීලී ලෙස පෙනී නොසිටිය යුතුය. අකාරුණිකය, මන්ද එය දුක්ඛිත තත්වයන්ගෙන් ගලවා ගත යුතු අයට අවශ්‍ය සම්පත් හිඟයක් ඇති කරයි; අනෙක නාස්තියකි. එය හුදෙක් සතුට සඳහා ඕනෑවට වඩා වියදම් කරන්නේ නම් එය නාස්තියකි.

22 වන පරිච්ඡේදය

අධික මෘදුකම සහ අනවශ්‍ය දැඩි බව අතර නිසි සමතුලිතතාවයක් පවත්වා ගත යුතුය. අබ්සලොම්ගේ උදාහරණයෙන් පැහැදිලිව පෙන්නුම් කරන පරිදි, මවාපෑමේ කරුණාවෙන් අන් අයගේ හදවත් දිනා ගැනීමට උත්සාහ කරන අයට කල් පවතින හෝ අව්‍යාජ කිසිවක් නොලැබේ.

112. නිසි මධ්‍යස්ථභාවය අපගේ වචන සහ අපගේ ඉගැන්වීම පාලනය කළ යුතුය, එවිට අප අධික ලෙස මෘදු හෝ අධික ලෙස රළු ලෙස නොපෙනේ. බොහෝ අය අසාමාන්‍ය ලෙස මෘදු වීමට කැමැත්තක් දක්වන්නේ ඔවුන් කරුණාවන්ත ලෙස පෙනී සිටීමට කැමති නිසාය. එහෙත් බොරු හෝ මවාපෑමක් සැබෑ ගුණධර්මයට සැබවින්ම සමාන විය නොහැකි බවත්, එවැනි මවාපෑමක් දිගු කලක් පැවතිය නොහැකි බවත් නිසැකය. මුලදී එය ලස්සන මලක් මෙන් පිපී සමෘද්ධිමත් වේ. පසුව, කාලය ගෙවී යත්ම, එය මලක් මෙන් වියළී ගොස් අතුරුදහන් වේ. කෙසේ වෙතත්, සත්‍ය සහ අවංක දෙයට ගැඹුරු මූලයක් ඇත.

113. මවාපෑමක් කළ හැකි දෙයක් පැවතිය නොහැකි බවත්, ටික කලකට පමණක් සමෘද්ධිමත් වීම ඉක්මනින් අසාර්ථක වන බවටත් වන අපගේ ප්‍රකාශය උදාහරණ මගින් ඔප්පු කිරීම සඳහා, අපි එම පවුලෙන් මවාපෑම සහ අසත්‍යය පිළිබඳ එක් උදාහරණයක් ගනිමු, එයින් අපි දැනටමත් ඔවුන්ගේ ගුණධර්ම වර්ධනය පෙන්නුම් කිරීමට බොහෝ උදාහරණ ලබාගෙන ඇත්තෙමු.

114. අබ්සලොම් දාවිත් රජුගේ පුත්‍රයා විය. ඔහු ඔහුගේ කැපී පෙනෙන සුන්දරත්වය, කඩවසම් පෙනුම සහ තරුණ ශක්තිය නිසා ප්‍රසිද්ධ විය, එබැවින් ඔහු වැනි මිනිසෙකු ඉශ්‍රායෙල් දේශය පුරාම හමු නොවීය. ඔහුගේ පාදයේ සිට හිස මුදුන දක්වා කිසිදු කැළලක් නොතිබුණි. ඔහුට අශ්ව රථයක් සහ අශ්වයන් වූ අතර, ඔහුට පෙර දුවන්නට මිනිසුන් පනස් දෙනෙක් සිටියහ. ඔහු අලුයම නැඟිට නගර දොරටුවට යන මාර්ගය අසල සිටගෙන සිටියේය. රජුගේ විනිශ්චය ලබා ගැනීමට යමෙකු පැමිණෙනු දුටු විට, ඔහු ඔහුට කතා කර, ඔබ කුමන නගරයෙන්ද? කියා ඇසුවේය. ඔබේ සේවකයා ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එකකට අයත්, යැයි මිනිසා පිළිතුරු දුන් විට, අබ්සලොම් මෙසේ පිළිතුරු දුන්නේය: ඔබේ වචන යහපත් හා නිවැරදියි. එහෙත් රජු ඔබට සවන් දීමට කිසිවෙකු පත් කර නැත. මා විනිශ්චයකරුවෙකු ලෙස පත් කරන්නේ කවුද? එවිට විනිශ්චය අවශ්‍ය ඕනෑම කෙනෙකුට මා වෙත පැමිණිය හැකි අතර, මම ඔහුට යුක්තිය ඉටු කරන්නෙමි. එවැනි චාටු බස් මගින් ඔහු ජනතාව පොලඹවා ගත්තේය. ඔහු ඉදිරියේ වැඳ වැටීමට ළඟා වූ සෑම අවස්ථාවකම, ඔහු අත දිගු කර, ඔහු වැලඳගෙන, ඔහු සිපගත්තේය. මේ ආකාරයෙන් ඔහු ක්‍රමයෙන් සියලු දෙනාගේ හදවත් තමා වෙත හරවා ගත්තේය. මන්ද මේ ආකාරයේ ප්‍රශංසාව ඉක්මනින් මිනිස් හදවතේ ගැඹුරුම සෙනෙහස තුළට ගමන් කරයි.

115. ඒ ආඩම්බර සහ අභිලාෂකාමී අය කැමති වූයේ ඒ මොහොතේ ගෞරවනීය, ප්‍රසන්න සහ ආකර්ශනීය ලෙස පෙනෙන දෙයටය. එහෙත් අනාගතවක්තෘවරයා සියල්ලන්ටම වඩා විචක්ෂණශීලී වූ අතර, ඔහු එයට මැදිහත් විය යුතු යැයි සිතුවේය. එසේ වූවත් එම ප්‍රමාදය අතරතුර, ඔවුන්ට ඉවසිලිවන්තව සිටීමට හෝ තවදුරටත් විඳ දරාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, දාවිත් ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැතිව සටනට ගිය සොල්දාදුවන්ට තම පුතා ඉතිරි කරන ලෙස උපදෙස් දුන්නේය. අබ්සලොම් තම පියා විනාශ කිරීමට උත්සාහ කළද, දාවිත් තවමත් ඔහුගේම පුත්‍රයා වන කෙනෙකුට එරෙහිව ආයුධ අතට ගන්නා බව පෙනෙන්නට අකමැති වූ නිසා ඔහුම සටනට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය.

116. එබැවින් සත්‍ය, අවංක සහ අවංක හදවතකින් පැන නගින දේවල් පමණක් කල් පවතින සහ ආරක්ෂිතව පවතින බව පැහැදිලිය. මවාපෑම, කුහකකම හෝ ප්‍රශංසා කිරීමේ කතාවෙන් නිපදවන ඕනෑම දෙයක් කිසි විටෙකත් දිගු කලක් පැවතිය නොහැකිය.

23 වන පරිච්ඡේදය.

මුදලට හෝ චාටු බස්වලට පහසුවෙන් රැවටෙන අයගේ පක්ෂපාතීත්වය දුර්වල වන අතර ආරක්ෂිතව විශ්වාස කළ නොහැකිය.

117. කීකරුකම පිණිස මිල දී ගත් අය හෝ චාටු ප්‍රශංසාවෙන් ආකර්ෂණය වූ අය කවදා හෝ ඔවුන් දිනා ගන්නා තැනැත්තාට සැබවින්ම විශ්වාසවන්තව සිටිනු ඇතැයි සිතිය හැක්කේ කාටද? මක්නිසාද යත්, මුදලින් මිල දී ගත් අය සැමවිටම තමන්ම නැවත විකිණීමට සූදානම් වන අතර, චාටු ප්‍රශංසාවෙන් ලබා ගත් අයට දැඩි නීතියක් ඉවසා දරාගත නොහැකිය. ඔවුන් සුළු චාටු ප්‍රශංසාවකින් පහසුවෙන් දිනා ගත හැකිය, එහෙත් යමෙකු එක වචනයකින් පවා ඔවුන්ට තරවටු කළහොත්, ඔවුහු එයට එරෙහිව මැසිවිලි නඟති, ඔවුහු නිවරදි පුද්ගලයා අත්හරිති, ඔවුහු අමනාපයෙන් සතුරු හැඟීම්වලින් යුතුව ඉවත්ව යති, ඔවුහු කෝපයෙන් ඔවුන් අතහැර පිටව යති. ඔවුහු කීකරු වීමට වඩා පාලනය කිරීමට කැමැත්තක් දක්වති. ඔවුන්ගේම අනුග්‍රහය අන් අය ඔවුන්ට බැඳීමක් යටතේ තබා ඇති ආකාරයට ඔවුන් පාලනය කළ යුතු අය ඒ වෙනුවට ඔවුන්ට යටත් විය යුතු යැයි ඔවුහු සිතති.

118. මුදල් හෝ චාටු ප්‍රශංසාවෙන් තමාට විශ්වාසවන්තව සිටීමට බැඳී ඇති අය තමාටම පක්ෂපාතීව සිටිනු ඇතැයි සිතන මිනිසා කවුද? මක්නිසාද යත්, ඔබේ මුදල් ගන්නා තැනැත්තා සිතන්නේ ඔහු ලාභදායී ලෙස ලෙස අගය කරනු ලබන බවත්, ගෙවීම නැවත නැවතත් සිදු නොකළහොත් අවමන් සහගත ලෙස සලකනු ලබන බවත්ය. එබැවින් ඔහු නිරන්තරයෙන් ඔහුගේ මිල අපේක්ෂා කරයි; එලෙසම, ඉල්ලීම් සහ ප්‍රශංසාවෙන් දිනා ගන්නා තැනැත්තා සැමවිටම ඉල්ලා සිටීමට සහ නැවත වරක් ප්‍රශංසා කරනු ලැබීමට කැමති වේ.

24 වන පරිච්ඡේදය.

අප ගෞරවනීය තනතුරු සෙවිය යුත්තේ නිවැරදි මාර්ගයෙන් පමණි. තනතුරක් පිළිගත් පසු, එය ප්‍රඥාවෙන් හා මධ්‍යස්ථභාවයෙන් සිදු කළ යුතුය. පහළ පූජක පක්ෂය වැඩි ගුණධර්ම ඇති බව මවාපාමින් රදගුරුවරයාගේ කීර්ති නාමයට හානි නොකළ යුතුය; නැවතත්, රදගුරුවරයා පූජකයෙකුට ඊර්ෂ්‍යා නොකළ යුතුය, ඒ වෙනුවට සෑම කාරණයකදීම, විශේෂයෙන් විනිශ්චය කිරීමේදී සාධාරණව සිටිය යුතුය.

119. එබැවින්, විශේෂයෙන් සභාව තුළ දියුණුව සොයන ඕනෑම අයෙකු එය ලබා ගැනීමට උත්සාහ කළ යුත්තේ යහපත් ක්‍රියාවලින් සහ අවංක චේතනාවෙන් පමණක් බව මම විශ්වාස කරමි. එවිට උඩඟු අහංකාරකමක්, රාජකාරිය නොසලකා හැරීමක්, නින්දිත ආකල්පයක් හෝ නුසුදුසු අභිලාෂයක් නොතිබිය යුතුය. සරල බව සෑම වගකීමක් සඳහාම ප්‍රමාණවත් වන අතර එයම අනුමැතිය ලැබීමට සුදුසුය.

120. නැවතත්, ධූරයේ සිටින විට, පුද්ගලයෙකු රළු සහ දැඩි නිවැරදි නොවේ, එසේම අධික ලෙස ලිහිල් නොවිය යුතුය. ඔහු ඕනෑවට වඩා දැඩි නම්, ඔහු ඒකාධිපති බලයක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට පුළුවන; ඔහු ඕනෑවට වඩා ලිහිල් නම්, ඔහුට පවරා ඇති තනතුරේ වගකීම් ඉටු කිරීමට ඔහුට නොහැකි බවක් පෙනෙන්නට පුළුවන.

121. අපට දැනටමත් පෙන්වා ඇති අනුග්‍රහය ප්‍රවේශමෙන් ආරක්ෂා කරමින්, කරුණාවන්ත ක්‍රියාවන් සහ විශ්වාසවන්ත සේවය තුළින් බොහෝ දෙනෙකුගේ හොඳ හිත දිනා ගැනීමටද අප උත්සාහ කළ යුතුය. මක්නිසාද යත්, පසුව එම පුද්ගලයාගෙන්ම බරපතල අසාධාරණයකට ලක් වුවහොත්, මිනිසුන්ට වරක් ලැබුණු ප්‍රතිලාභ ස්වාභාවිකවම අමතක වනු ඇත. මක්නිසාද යත්, බොහෝ විට සිදුවන්නේ අප උදව් කර ක්‍රමයෙන් උසස් කරන ලද අය, නුසුදුසු ආකාරයකින් වෙනත් කෙනෙකු ඔවුන්ට වඩා ඉහළින් තැබීමට තීරණය කළහොත් පලවා හරිනු ලැබීමයි. එහෙත් පූජකයෙකු තම කරුණාව පෙන්වීම සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ තීරණවලදී එවැනි අනුග්‍රහයක් පෙන්වීම සුදුසුය. දෙමාපියන්ට ලැබිය යුතු ගෞරවය හා සැලකිල්ලෙන් අනෙකුත් පූජක පක්ෂයට සැලකීම සුදුසුය.

122. වරක් අනුමැතිය ලබා ගත් අය දැන් අධික ලෙස ඉවසිලිවන්ත නොවිය යුතුය, එහෙත් ඔවුන්ට ලැබුණු කරුණාව ගැන සිහිපත් කරමින්, ඔවුන්ගේ නිහතමානීකමෙන් ස්ථිරව සිටිය යුතුය. පූජකයෙකු හෝ උපස්ථායකයෙකු හෝ සභාවේ ඕනෑම වෙනත් සාමාජිකයෙකු දයාව, නිරාහාරව සිටීම, ජීවිතයේ ශුද්ධකම, ඉගැන්වීම හෝ කඩිසර කියවීම වැනි ක්‍රියාවන් තුළින් ගෞරවය ලබා ගන්නේ නම් පූජකයෙකු අමනාප නොවිය යුතුය. මක්නිසාද එය පුරසාරම් දොඩන්නේ නැතිව සිදු කරන්නේ නම්, සභාවේ ගෞරවය එහි ගුරුවරයාගේ ගෞරවයද වේ. වෙනත් පුද්ගලයෙකුගේ කාර්යයට ප්‍රශංසාව ලැබෙන විට එය හොඳ දෙයකි. මක්නිසාද සෑම කෙනෙකුම තමාගේම මුඛයෙන් නොව, තම අසල්වැසියාගේ තොල්වලින් ප්‍රශංසාව ලැබිය යුතු අතර, ඔහු ඉටු කර ඇති දේ නිසා ප්‍රශංසා කළ යුතුය.

123. එහෙත් යමෙක් තම රදගුරුතුමාට අකීකරු වී තමාම උසස් කර ගැනීමට උත්සාහ කරන්නේ නම් සහ ඉගෙනීමක්, නිහතමානීකමක් හෝ දයාවක් ඇති බව මවාපාමින් රදගුරුවරයාගේ ගෞරවය යටපත් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු තම ආඩම්බරය නිසා සත්‍යයෙන් ඉවතට හැරෙමින් සිටී; මක්නිසාද සැබෑ ධර්මිෂ්ඨකම උගන්වන්නේ කිසිවෙකු තවත් පුද්ගලයෙකුගේ ගෞරවය නැති කර ගැනීමෙන් තමාගේම අවශ්‍යතා ප්‍රවර්ධනය නොකළ යුතු බවත්, ඔහු සතුව ඇති යහපත් ගුණාංග වෙනත් කෙනෙකුට ලජ්ජාව හෝ දොස් පැවරීමේ මාධ්‍යයක් ලෙස භාවිත නොකළ යුතු බවත්ය.

124. කිසි විටෙකත් දුෂ්ට මිනිසෙකු ආරක්ෂා නොකරන්න, ශුද්ධ වගකීම් නුසුදුසු කෙනෙකුට පැවරීමට ඉඩ නොදෙන්න. අනෙක් අතට, වරද පැහැදිලිව ඔප්පු වී නොමැති මිනිසෙකුට හිරිහැර කර දැඩි ලෙස බලපෑම් නොකරන්න. සෑම අවස්ථාවකම අයුක්තිය ඉක්මනින් වරදක් ඇති කරයි, එහෙත් විශේෂයෙන් සභාව තුළ සාධාරණත්වය සැමවිටම පැවතිය යුතුය, එසේම සෑම කෙනෙකුටම සමානව සැලකිලි ලැබිය යුතුය. බලවත් පුද්ගලයෙකු වැඩි වරප්‍රසාද ඉල්ලා නොසිටිය යුතු අතර, ධනවත් පුද්ගලයෙකු තමාට වඩා වැඩි වරප්‍රසාද ලබා නොගත යුතුය. මක්නිසාද අප දුප්පත් හෝ පොහොසත් වුවත්, අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ එකමුතුව සිටිමු. ශුද්ධ ජීවිතයක් ගත කරන පුද්ගලයා පවා තමාට වඩා වැඩි ගෞරවයක් ඉල්ලා සිටිය යුතු නැත, ඒ වෙනුවට ඔහු වඩාත් නිහතමානී විය යුතුය.

125. අප විනිශ්චයක් දෙන සෑම අවස්ථාවකම, අප කිසිවෙකු කෙරෙහි පක්ෂග්‍රාහී නොවිය යුතුය. අප ඉදිරියේ ඇති ඕනෑම කාරණයකදී දුර්වලයාගේ හේතුව වඩාත් බලවත් අයට ලබා දීම තරම්, තවත් කෙනෙකුගේ යහපත් මතයට හෝ විශ්වාසයට විශාල පීඩනයක් එල්ල කරන දෙයක් නැත. ධනවතුන් වැරදිකරුවන් වූ විට ඔවුන් වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන අතරම දුප්පතුන් සමග රළු ලෙස කටයුතු කරන විටද එම හානියම සිදු වේ. ඉහළ තනතුරු දරන අයට අමනාපයක් දැනෙන්නේ නැති ලෙස හෝ අසාධාරණ ලෙස සලකනු ලැබ ඇතැයි නොසිතන ලෙස ඔවුන්ට ප්‍රශංසා කිරීමට මිනිස්සු නැඹුරු වෙති. එහෙත් ඔබ මිනිසුන් අප්‍රසාදයට පත් කිරීමට බිය වන්නේ නම්, ඔබ කිසිසේත් විනිශ්චය කිරීමේ රාජකාරිය භාර නොගත යුතුය. ඔබ පූජකයෙකු හෝ පූජක පක්ෂයේ වෙනත් සාමාජිකයෙකු නම්, එවැනි වගකීමක් නොසොයන්න. මුදල් සම්බන්ධ කාරණාවලදී, සමහර විට නිහඬව සිටීමට අවසර ඇත, එහෙත් අනුකූලතාව සැමවිටම අපට සාධාරණත්වයේ පැත්තේ සිටීමට අවශ්‍ය වේ.එහෙත් මුළු සභාවටම අනතුරක් ඇති දෙවියන් වහන්සේ සම්බන්ධ කාරණාවලදී, අපට කිසිවක් නොපෙනෙන බව මවාපාමින් නිහඬව සිටීම බරපතල පාපයකි.

25 වන පරිච්ඡේදය.

ධනවතුන්ට වඩා දුප්පතුන්ට ප්‍රතිලාභ ලබා දිය යුතුය, මන්ද ධනවත් අය ඔවුන්ගෙන් ප්‍රතිලාභයක් අපේක්ෂා කරන බව සිතති. නැතහොත් එවැනි ක්‍රියාවක් සඳහා ණයගැති බවක් පෙනෙන්නට තිබීම ගැන ඔවුහු කෝපයට පත් වෙති. කෙසේ වෙතත්, දුප්පත් මිනිසා දෙවියන් වහන්සේම ඔහුගේ ස්ථානයේ විපාක දෙන්නා බවට පත් කර ඔහු ලැබූ ප්‍රතිලාභ නිදහසේ හිමිකර ගනී. මෙම ප්‍රකාශයන්ට පසුව ධනයට ඇති ආදරය හෙළා දකින ලෙස අනතුරු ඇඟවීමක් දක්වා ඇත.

126. ධනවතෙකුට අනුග්‍රහය දැක්වීමෙන් ඔබට ඇති වාසිය කුමක්ද? ඔහුට පෙන්වන ලද කරුණාව ආපසු ගෙවීමට ඔහුට වඩා හැකි බව පෙනෙන නිසාද? මක්නිසාද අප සාමාන්‍යයෙන් අනුග්‍රහය දක්වන්නේ ඔවුන්ගෙන් අපට ප්‍රතිඋපකාර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අයටය. එහෙත් අප දුර්වල හා අසරණ අය ගැන බොහෝ සෙයින් සිතිය යුතුය. මන්ද, ආපසු දීමට කිසිවක් නොමැති අය වෙනුවෙන්, අපගේ විපාකය ස්වාමීන් වන යේසුස් වහන්සේගෙන්ම ලැබීමට අපි බලාපොරොත්තු වෙමු. විවාහ මංගල්‍යයේ උදාහරණයට සමානව, ලූක් 14:12-13 ක්‍රිස්තුස් වහන්සේ සැබෑ ගුණධර්ම පිළිබඳ විශ්වීය පාඩමක් අපට ලබා දුන් සේක. විශේෂයෙන් අපට ආපසු ගෙවීමට නොහැකි අයට යහපත කිරීමට උන් වහන්සේ අපට උපදෙස් දුන් සේක. අපගේ මංගල්‍යයන් සහ ආහාර සඳහා ධනවතුන් නොව දුප්පතුන්ට ආරාධනා කිරීමට අපට ඉගැන්වූ සේක. ධනවතුන්ට බොහෝ විට ආරාධනා කර ඇති බව පෙනෙන්නේ ඔවුන් පසුව අපට භෝජන සංග්‍රහයක් ලබා දිය හැකි බැවිනි. කෙසේ වෙතත්, දුප්පතුන්ට අපට ආපසු ගෙවිය හැකි කිසිවක් නැත; එබැවින්, ඔවුන්ට යමක් ලැබුණු විට, දුප්පතුන් වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස තමන්ම පූජා කළ ස්වාමින් වහන්සේ අපගේ විපාකය බවට පත් වන සේක.

127. සාමාන්‍ය අත්දැකීම්වලදී පවා, දුප්පතුන්ට කරුණාව පෙන්වීම ධනවතුන්ට එම කරුණාව පෙන්වීමට වඩා විශාල ප්‍රතිලාභයක් ගෙන දෙයි. ධනවත් පුද්ගලයා බොහෝ විට තමාට දක්වන ලද අනුග්‍රහය අවඥාවට ලක් කරන අතර තවත් කෙනෙකුට ණයගැති බවක් දැනීමට ලජ්ජා වේ. එපමණක් නොව, ඔහුට පිරිනමන ඕනෑම දෙයක් ඔහු ලබා ගන්නේ ඔහුගේ කුසලතා නිසා බව සිතයි. ඔහුට සාධාරණ ණයක් පමණක් ගෙවන ලද ආකාරයක් පෙනේ. එසේත් නැතහොත් තෑග්ග පිරිනමනු ලැබුවේ පරිත්‍යාගශීලියා ඔහුගෙන් ඊටත් වඩා විශාල ප්‍රතිලාභයක් අපේක්ෂා කළ නිසා පමණක් බව ඔහු සිතයි. මේ අනුව, කරුණාව පිළිගන්නා විට, ධනවතා බොහෝ විට විශ්වාස කරන්නේ ඔහු තමාට ලැබුණු ප්‍රමාණයට වඩා ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, දුප්පත් මිනිසා මුදල්වලින් ආපසු ගෙවීමට නොහැකි වුවද, අවම වශයෙන් අවංක කෘතඥතාවයෙන් ප්‍රතිචාර දක්වයි. තවද මෙහිදී ඔහු සැබවින්ම ඔහුට ලැබුණු ප්‍රමාණයට වඩා ආපසු ලබා දෙන බව නිසැකය. මක්නිසාද යත් මුදල් කාසිවලින් ගෙවනු ලැබේ, එහෙත් කෘතඥතාව කිසි විටෙකත් එහි වටිනාකම නැති නොකරයි. මුදල් ගෙවන විට අඩු වන අතර, කෘතඥතාව අතුරුදහන් වන්නේ එය රඳවා ගත් විට පමණක් වන අතර එය නිදහසේ ප්‍රකාශ කළ විට එය දිගටම පවතී. තවද, මෙය ධනවත් පුද්ගලයා බොහෝ විට ප්‍රතික්ෂේප කරන දෙයකි. එනම් දුප්පත් පුද්ගලයා තමාට දක්වන ලද කරුණාවට තමා ණයගැති බව විවෘතව පිළිගනී. එය හුදෙක් තමාට ගෞරව කිරීම සඳහා ලබා දුන් බව සිතීමට වඩා ඔහුට සැබෑ උපකාර ලබා දී ඇති බව ඔහු අවංකවම විශ්වාස කරයි. ඔහුගේ දරුවන් තමාට නැවත ලබා දී ඇති බවත්, ඔහුගේම ජීවිතය යථා තත්ත්වයට පත් කර ඇති බවත්, ඔහුගේ පවුල ආරක්ෂා වී ඇති බවත් ඔහුට හැඟේ. එමනිසා, කෘතඥ නොවන අයට වඩා කෘතඥ වන අයට ප්‍රතිලාභ ලබා දීම කොතරම් යහපත්ද?

128. මේ හේතුව නිසා ස්වාමින් වහන්සේ තම ගෝලයන්ට මෙසේ වදාළ සේක: රන්, රිදී හෝ මුදල් නොගන්න. මතෙව් 10:9 එමගින් උන් වහන්සේ මිනිස් හදවත් තුළ වැඩෙන මුදල් කෙරෙහි ඇති ඇල්ම දෑකැත්තකින් මෙන් කපා දමන සේක. තම මවගේ කුසේ සිට කොර වී දිනපතා උසුලාගෙන ගිය මිනිසාට මෙසේ පැවසීය: රන්, රිදී මට නැත. එහෙත් මා සතු දේ මම ඔබට දෙමි. නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැඟිට ඇවිදින්න. ක්‍රියා 3:6 පේදුරු මිනිසාට මුදල් දුන්නේ නැත, එහෙත් ඔහු සෞඛ්‍ය සම්පන්න බව දුන්නේය. නිරෝගී බව නොමැතිව මුදල් තිබීමට වඩා මුදල් නොමැතිව නිරෝගී බව තිබීම කෙතරම් යහපත්ද! කොර මිනිසා නැඟිට ඇවිද ගියේය; ඔහු කිසි විටෙකත් එවැනි තෑග්ගක් අපේක්ෂා කළේ නැත. ඔහු බලාපොරොත්තු වූ මුදල් ඔහුට ලැබුණේ නැත. එහෙත් ස්වාමින් වහන්සේගේ ශුද්ධවන්තයින් අතර ධනය සොයා ගැනීමට අපහසුය, එබැවින් ඔවුහු අවඥාවට ලක් වන වස්තූන් බවට පත් වෙති.

26 වන පරිච්ඡේදය.

මුදල් කෙරෙහි ඇති නපුරු ප්‍රේමය කොතරම් කාලයක් තිස්සේ පවතින්නේද යන්න පැරණි ගිවිසුමේ බොහෝ උදාහරණවලින් පැහැදිලිව පෙන්වා දී ඇත. එහෙත් මුදල් ළඟ තබා ගැනීම කෙතරම් නිෂ්ඵල දෙයක්ද යන්නත් පැහැදිලි කර ඇත.

129. එහෙත් මිනිස් ස්වභාවය බොහෝ කලක සිට ධනය අගය කිරීමට පුරුදු වී ඇති අතර, මිනිසුන් බොහෝ විට ගෞරවයට සුදුසු යැයි සලකනු ලබන්නේ ඔවුන් ධනවත් නම් පමණි. මෙම ආකල්පය අලුත් දෙයක් නොවේ. නැත, මෙම දුෂ්චරිතය (එයට හේතුව ඊටත් වඩා බරපතලය) බොහෝ කලකට පෙර මිනිසුන්ගේ හදවත් තුළ වර්ධනය වී පැවතුණි. පූජකයන් ඔවුන්ගේ හොරණෑ පිඹින විට සහ නූන්ගේ පුත් යෝෂුවා ජයග්‍රහණය ලබා ගත් විට යෙරිකෝ නගරය කඩා වැටුණු පසු, මුදල් සහ රන් සඳහා ඇති ඔවුන්ගේ ආශාව නිසා ජනතාවගේ ධෛර්යය දුර්වල වී ඇති බව ඔහු දැන සිටියේය. මක්නිසාද ආකාන් විනාශ වූ නගරයේ කොල්ලයෙන් මිල අධික ඇඳුමක්, රිදී ෂෙකෙල් දෙසීයක් සහ රන් කැබැල්ලක් ගත්තේය. ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියට ගෙන එන ලද අතර, සොරකම ප්‍රතික්ෂේප කළ නොහැකි විය. එය ඔහු සතු විය. යෝෂුවා 7:21

130. එමනිසා, මුදල් කෙරෙහි ඇති ඇල්ම පැරණි හා ගැඹුරින් මුල් බැසගත් දුෂ්චරිතයකි. එය දිව්‍යමය ව්‍යවස්ථාව ප්‍රකාශ කිරීමේදී පවා පෙන්නුම් විය; මන්ද මෙම නපුරු ආශාව පරීක්ෂා කිරීමට නීතියක් ලබා දෙන ලදී. නික්මයාම 20:17 මුදල් කෙරෙහි ඇති ඇල්ම නිසා බාලාම් අපගේ පියවරුන්ගේ ජනතාවට ශාප කිරීමට විපාක මගින් පෙලඹවිය හැකි බව බාලාක් සිතුවේය. ගණන් කථාව 22:17 ශාප කිරීමෙන් වැළකී සිටීමට දෙවියන් වහන්සේ ඔහුට අණ නොකළ සේක් නම්, මුදල් කෙරෙහි ඇති ඇල්ම සැබවින්ම ජය ගනු ඇත. එලෙසම, ආකාන්ගේ මුදල් කෙරෙහි ඇති ඇල්ම ජය ගැනීම නිසා, ඔහු පියවරුන්ගේ මුළු ජනතාවගේ විනාශයට හේතු විය. හිරු බැස යෑම වැළැක්වීමට හැකි වූ නූන්ගේ පුත් යෝෂුවාට මුදල් කෙරෙහි ඇති ඇල්ම මිනිස් හදවතට ඇතුළු වීම නැවැත්වීමට නොහැකි විය. යෝෂුවාගේ අණ පරිදි සූර්යයා නිශ්චලව සිටියේය, එහෙමුත් මුදල් කෙරෙහි ඇති ඇල්ම නතර වූයේ නැත. හිරු නිශ්චල වූ විට යෝෂුවා තම ජයග්‍රහණය සම්පූර්ණ කළේය, එහෙත් මුදල් කෙරෙහි ඇති ඇල්ම දිගටම පැවතීමට ඉඩ දුන් නිසා, ඔහුට ජයග්‍රහණය අහිමි විය.

131. මිනිසුන්ගෙන් ශක්තිමත්ම තැනැත්තා වූ සැම්සන්ව රැවටුවේ දෙලීලාගේ මුදල් කෙරෙහි ඇති ඇල්ම නොවේද? විනිශ්චයකාරයාගේ පොත 16:6 එබැවින් සැම්සන් ගොරවන සිංහයෙකු තම දෑතින් ඉරා දමා තිබුණි. විනිශ්චයකාරයාගේ පොත 14:6 බැඳ දමා තම සතුරන්ට භාර දීමෙන් පසු, ඔහු උදව් නොමැතිව ඔහුගේ දම්වැල් කඩා දමා මිනිසුන් දහසක් මරා දැමීය. විනිශ්චයකාරයාගේ පොත 15:14-15 ඔහු හණවලින් වියන ලද කඹයක් නූල් මෙන් කඩා දැමුවේය; දෙලීලාගේ උකුල මත හිස තබා ගත් පසු, ඔහු ජයග්‍රහණය ලබා ගත් ශක්තිය සංකේතවත් කළ සහ පවත්වා ගෙන ගිය හිසකෙස් ඔහුට අහිමි විය. එය ඔහුට ශක්තිය ලබා දුන්නේය. මුදල් කාන්තාවගේ දෑත් පුරවන විට, දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහය පුරුෂයාගෙන් ඉවත් විය. විනිශ්චයකාරයාගේ පොත 16:20

132. එසේ නම්, මුදලට ඇති ආදරය මාරාන්තිකය. මුදල් පොලඹවන සුලුය. මුදල් සතු අය එමගින් අපවිත්‍ර කෙරෙයි. එය නොමැති අයට උපකාර නොකරයි. මුදල් සමහර විට උපකාරයක් යැයි සිතුවද, එය උපකාර කරන්නේ තම අවශ්‍යතාවය විවෘතව හෙළි කරන දුප්පත් පුද්ගලයාට පමණි. ධනයට ආශා නොකරන, එය ලුහුබඳින්නේ නැති, එය මත යැපෙන්නේ නැති, එය සෙවීමෙන් අවධානය වෙනතකට යොමු වීමට ඉඩ නොදෙන පුද්ගලයාට ධනයෙන් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? එහි උපකාර අවශ්‍ය නොවන සහ එය ලුහුබැඳීමෙන් ඉවත් නොවන තැනැත්තා කවුද? එය ඇති තැනැත්තා පමණක් එයින් ධනවත් නම්, අන් අයට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? එවැනි මිනිසෙකු ගෞරවය බොහෝ විට අහිමි වන දෙයක් තමා සතුව ඇති නිසා පමණක් සැබවින්ම වඩා ගෞරවනීයද? මන්ද සැබවින්ම භුක්ති විඳිය හැකි දෙයක් නොව නිරන්තර රැකවරණයක් අවශ්‍ය දෙයක් ඔහු සතුව ඇත. අපට ඇත්තේ අපට භාවිත කළ හැකි දේ පමණි, එහෙත් අපගේ සැබෑ අවශ්‍යතා ඉක්මවා යන ඕනෑම දෙයක් අපට හිමිකාරිත්වයේ සැබෑ ප්‍රතිලාභයක් ලබා නොදේ; ඒ වෙනුවට, එය එය ආරක්ෂා කිරීමේ වගකීමෙන් අප බර කරයි.

27 වන පරිච්ඡේදය.

මුදලට ඇති පිළිකුල යුක්තියේ පිළිවෙත පිළිබිඹු කරයි. යහපත් රදගුරුවරුන් සහ පූජකවරුන් පක්ෂය අනෙකුත් විශිෂ්ට ගුණාංග සමග මෙම ගුණධර්මය ලබා ගැනීමට උත්සාහ කළ යුතුය. ඉක්මනින් නෙරපා හැරීමක් බලාත්මක නොකිරීමේ යුතුකම පිළිබඳ කෙටි උපදෙස් ලබා දී ඇත.

133. මෙම විෂය අවසන් කිරීමට, ධනය හෙළා දැකීම යුක්තියේ ප්‍රකාශනයක් බව අපි හඳුනා ගනිමු. එබැවින් අප මුදලට ඇති ආදරයෙන් වැළකී සිටිය යුතු අතර, අපගේ සියලු බලයන් සමග කිසි විටෙකත් යුක්තියට එරෙහිව කිසිවක් නොකිරීමට උත්සාහ කළ යුතුය. එහෙත් අපගේ සියලු ක්‍රියාවන්හිදී සහ සෑම තීරණයකදීම යුක්තිය ආරක්ෂා කළ යුතුය.

134. අප දෙවියන් වහන්සේ සතුටු කිරීමට කැමති නම්, අපට අව්‍යාජ ප්‍රේමය තිබිය යුතුය, අප එකමුතුවෙන් බැඳී ජීවත් විය යුතුය, අප නිහතමානීකම අනුගමනය කළ යුතුය, එකිනෙකා තමාට වඩා උසස් යැයි සිතිය යුතුය. කිසි විටෙකත් තමාට ගෞරවය හිමි කර නොගනිමින්, අන් අයට වඩා තමා අඩු යැයි අවංකව සලකන කල, මෙය සැබෑ නිහතමානිකමයි. රදගුරුවරයා සැබවින්ම තම පුතුන් වන පූජකවරුන් සහ උපස්ථායකයින්ට තමාගේම සාමාජිකයන් ලෙස සැලකිය යුතුය. එසේ කළ යුත්තේ එක් එක් පුද්ගලයාට තමා වඩාත් සුදුසු වගකීම් පවරමිනි.

135. කිසිවෙකු වේදනාවෙන් තොරව රෝගීව දූෂිත වූ අවයවයක් කපා දමන්නේ නැත. එයට දිගු කලක් ප්‍රතිකාර කරනු ලබන්නේ විවිධ ප්‍රතිකර්ම මගින් සුව කළ හැකිදැයි බැලීමටය. එය සුව කළ නොහැකි නම් පමණක් දක්ෂ වෛද්‍යවරයෙකු එය ඉවත් කරයි. එලෙසම, යහපත් රදගුරුවරයෙකු ආත්මිකව දුර්වල අය සුව කිරීමට කැමති වේ. ඔහු දූෂණය පැතිරීම නැවැත්වීමට උත්සාහ කරයි, වරදකරු වහාම ඉවත් කිරීමට වඩා අවශ්‍ය තැන්වල වේදනාකාරී පිළියම් යොදයි. අවසාන වශයෙන්, ඒවා සුව කළ නොහැකි වූ විට පමණක් ඔහු ඒවා වේදනාවෙන් කපා ඉවත් කරයි. එබැවින් අපොස්තුළු තුමාගේ සුන්දර ඉගැන්වීම අප ඉදිරියේ පැහැදිලිව බැබළෙයි: සෑම පුද්ගලයෙකුම තමාගේම අවශ්‍යතා කෙරෙහි පමණක් නොව අන් අයගේ අවශ්‍යතා කෙරෙහිද බැලිය යුතුය. පිලිප්පි 2:4 මේ ආකාරයෙන් අප කිසි විටෙකත් කෝපය අපගේ ක්‍රියාවන් පාලනය කිරීමට නොදිය යුතුය. එසේ නැතහොත් අපි අපගේම කැමැත්තට අනුව යුක්තිසහගත හා නිවැරදි දේ ඉක්මවා අපට බලපෑම් කිරීමට ඉඩ නොදෙමු.

28 වන පරිච්ඡේදය.

විවේචනයන් සහ විරුද්ධත්වය ගෙන ආවත්, දයාව සැමවිටම නිදහසේ පෙන්විය යුතුය. මේ සම්බන්ධයෙන්, ඇම්බ්‍රෝස් සඳහන් කරන්නේ වහලුන් මුදා ගැනීම සඳහා දේවස්ථානයේ පූජනීය භාජන පිළිබඳ සුප්‍රසිද්ධ කතාවයි. සභාව සතුව ඇති රන් හා රිදී නිවැරදිව භාවිත කිරීම පිළිබඳ ඉතා අලංකාර උපදෙස් ලබා දී ඇත. ඊළඟට, ශුද්ධ වූ ලෝරන්ස්ගේ ආදර්ශය පෙන්වා දෙමින්, සභාවේ සැබෑ වස්තු මොනවාදැයි පැහැදිලි කළ පසුව, සභාවේ කැප කළ භාජන උණු කර එවැනි භාවිතයන් සඳහා යොදා ගැනීමේදී අනුගමනය කළ යුතු ඇතැම් නීති රීති දක්වා ඇත.

136. අන් අයගේ අ දුක් වේදනා බෙදා ගැනීමට සහ අපගේ හැකියාවට අනුව සහ සමහර විට අපගේ සාමාන්‍ය ක්‍රමවලින් ඔබ්බට පවා ගොස් ඔවුන්ට උපකාර කිරීමට වඩා දයාව දිරිමත් කරන කිසිවක් නැත. දැඩි හදවතකින් අනුමැතිය ලබා ගැනීමට වඩා දයාව පෙන්වීම සඳහා විවේචන විඳ දරාගැනීම හොඳය. වහලුන් මුදා ගැනීම සඳහා සභාවේ පූජනීය භාජන කැඩීමට මම නියෝග කළ නිසා මම වරක් විවේචනයට ලක් වුණෙමි. එය ඒරියන්වරුන්ට අප්‍රසාදය පළ කළ හැකි කරුණකි. ඔවුන්ගේ විරෝධය ඇත්ත වශයෙන්ම ක්‍රියාවටම නොව, මට මට චෝදනා කිරීමට අවස්ථාවක් ලබා දුන් බැවිනි. මිනිසෙකු මරණයෙන් බේරීම හෝ මරණයට වඩා දරුණු ම්ලේච්ඡ අපයෝජනයකින් කාන්තාවක් බේරා ගැනීම, මරණයට බියෙන් පිරිමි ළමයින්, ගැහැනු ළමයින් සහ ළදරුවන් රූප වන්දනාවට බලහත්කාරයෙන් ඇද දැමීමෙන් බේරා ගැනීමට විරුද්ධ වීමට තරම් කුරිරු, අනුකම්පා විරහිත සහ දැඩි හදවතක් ඇති කෙනා කවුද?

137. ප්‍රවේශමෙන් සලකා බැලීමකින් තොරව අප එසේ ක්‍රියා නොකළත්, ස්වාමීන්වහන්සේ වෙනුවෙන් රත්තරන්වලට වඩා ආත්මයන් ආරක්ෂා කිරීම වඩා හොඳ බව අපි ජනතාව ඉදිරියේ විවෘතව ප්‍රකාශ කළෙමු. එසේම නැවත නැවතත් තහවුරු කළෙමු. මක්නිසාද රත්තරන් නොමැතිව තම ප්‍රේරිතයන් යැවූ ක්‍රිස්තුස් වහන්සේ, මතෙව් 10:9 රන් නොමැතිව සභාවද ස්ථාපිත කළ සේක. සභාව සතුව රත්තරන් තිබේ, ඒ ගබඩා කර තැබීමට නොව, එය බෙදා හැරීමට සහ අවශ්‍යතා ඇති අයට වියදම් කිරීමටය. යහපතක් සිදු නොකරන ධනය ආරක්ෂා කිරීමෙන් ඉටු වන්නේ කුමක්ද? අසිරියානුවන් වරක් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙන් කොපමණ රන් හා රිදී ප්‍රමාණයක් රැගෙන ගියාදැයි අපි නොදනිමුද? අනෙක් සෑම සම්පතක්ම අසාර්ථක වූ විට, පූජකයන් දුප්පතුන්ගේ පෝෂණය සඳහා එය උණු කිරීම, පරිත්‍යාගශීලී සතුරෙකුට එය රැගෙන ගොස් එය අපවිත්‍ර කිරීමට ඉඩ දීමට වඩා හොඳ නොවේද? ස්වාමින් වහන්සේම මෙසේ නොකියන සේක්ද: ඔබ ළඟ රත්තරන් තිබියදී මෙතරම් දුප්පත් මිනිසුන්ට කුසගින්නෙන් මිය යාමට ඉඩ දුන්නේ ඇයි? ඔබ ඔවුන්ට ආහාර ලබා දිය යුතුව තිබුණි. වහල් වෙළඳපොළට මෙතරම් වහලුන් ගෙන එනු ලබන්නේ ඇයි? එසේම සතුරා විසින් මරා දමනු ලැබීමට මුදා නොගෙන මෙතරම් අය ඉතිරි කළේ ඇයි? රත්තරන් භාජනවලට වඩා ජීවමාන භාජන සංරක්ෂණය කිරීම හොඳ නොවේද?

138. එවැනි ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දිය නොහැකිය. ඔබ කුමක් කියයිද: දෙවියන් වහන්සේගේ මාලිගාවට එහි ආභරණ අවශ්‍ය වේ යැයි මම බිය වූවෙමි. උන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනු ඇත: සක්‍රමේන්තු සඳහා රත්තරන් අවශ්‍ය නොවේ, ඒවා රත්තරන් වලින් ඔවුන්ගේ ශුද්ධකම ලබා නොගනී, මන්ද ඒවා රත්තරන්ව ලින් මිලදී නොගන්නා බැවිනි. සක්‍රමේන්තුවල සැබෑ මහිමය වන්නේ වහලුන් මුදා ගැනීමයි. ඒවා සැබවින්ම මිනිසුන් මරණයෙන් ගලවා ගන්නා වටිනා භාජන වේ. ස්වාමින් වහන්සේගේ සැබෑ නිධානය නම් උන් වහන්සේගේම රුධිරයෙන් ඉටු කරන ලද ගැලවීමේ කාර්යය දිගටම කරගෙන යාමයි. එවිට, ඇත්ත වශයෙන්ම, වහලුන් මුදා ගැනීම තුළින්, ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය මනුෂ්‍යත්වය පාපයෙන් මුදා ගැනීමෙන් ඉටු කළ දේ ඉටු කරන විට, ස්වාමීන්වහන්සේගේ රුධිරයේ කුසලානය ගෞරවයට පාත්‍ර වේ. සභාව විසින් දිගුකාලීන වහලුන් මුදා ගන්නා විට එය කොතරම් අලංකාරද? මේ අය ක්‍රිස්තුස් වහන්සේ මුදා ගත් අයයි, යනුවෙන් පැවසිය හැකිය. බලන්න, මෙය සැබවින්ම පරීක්ෂාවට ලක් වූ රත්තරන්ය; බලන්න, මෙය ප්‍රයෝජනවත් රත්තරන්ය; බලන්න, මේ මරණයෙන් නිදහස් කරන ක්‍රිස්තුස් වහන්සේගේ රත්තරන්ය; බලන්න, නිහතමානිකම මුදා ගන්නා සහ නිර්මලකම ආරක්ෂා කරන රත්තරන්ය.

139. එබැවින් සභාවේ රත්තරන් ගබඩා කර තැබීමට වඩා නිදහස් මිනිසුන් ලෙස මෙම ජනතාව ඔබට නැවත භාර දීමට මම කැමැත්තෙමි. මෙම වහලුන‍ෙ සමූහය, මෙම සමාගම නිසැකවම නිසැකවම රන් කෝප්පවලට වඩා තේජාන්විත දසුනකි. මිදුම්කරුවාණන් වහන්සේටට අයත් රත්තරන් අනතුරේ සිටින අය ගලවා ගැනීමට භාවි‍ත කළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය රන් බඳුන්වල පමණක් නොව මිදීමේ සේවය තුළින්ද බැබළෙන බව මම දනිමි. මන්ද මෙම කාර්යය හරහා ඔහු එම පූජනීය භාජනවලට දිව්‍යමය දයාව ඉටු කිරීමට බලය ලබා දී ඇත.

140. ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාගික ලෝරන්ස් ස්වාමින් වහන්සේ වෙනුවෙන් තබා ගත් රත්තරන් එබඳු විය. මක්නිසාද සභාවේ වස්තු ඉදිරිපත් කිරීමට ඔහුට අණ කළ විට, ඔහු ඒවා පෙන්වන බවට පොරොන්දු විය. පසුදා ඔහු සියලු දුප්පතුන් එක්රැස් කළේය. පොරොන්දු වූ වස්තු කොහේදැයි ඇසූ විට, ඔහු දුප්පතුන් පෙන්වා මෙසේ කීවේය: මොවුන් සභාවේ වස්තු වේ. සැබවින්ම ඒවා වස්තු විය, ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් තුළ ජීවත් වන අතර ඇදහිල්ල ඔවුන් තුළ ජීවත් වේ. එසේම, අපොස්තුළු තුමාද මෙසේ පවසයි: අපි මෙම නිධානය මැටි භාජනවල දරමු. 2 කොරින්ති 4:7 ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තමා වාසය කිරීමට තෝරා ගන්නා ලද අයට වඩා තිබිය හැකි උතුම් වස්තු මොනවාද? මක්නිසාද මෙසේ ලියා ඇත: මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; මතෙව් 25:35 නැවතත් මෙසේ ලියා ඇත: මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය. මතෙව් 25:40 යේසුස් වහන්සේ දැකීමට ප්‍රිය කරන දේට වඩා වටිනා වස්තු මොනවාද?

141. ලෝරන්ස් මෙම වස්තු ප්‍රදර්ශනය කළ අතර, එසේ කිරීමෙන් ඔහු ජයග්‍රහණය කළේය. මන්ද පීඩා කරන්නන්ට ඔවුන් රැගෙන යාමට නොහැකි විය. වටලෑමේදී යෙහෝයාකිම් කුසගින්නෙන් පෙළෙන අයට පෝෂණය කිරීම සඳහා භාවිත කිරීම වෙනුවට ඔහුගේ රත්තරන් ආරක්ෂා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රත්තරන් සහ ඔහුද වහල්භාවයට ගෙන යන ලදී. ලෝරන්ස්, පීඩා කරන්නා වෙනුවෙන් රඳවා තබා ගැනීමට වඩා දුප්පතුන් වෙනුවෙන් සභාවේ රත්තරන් වියදම් කිරීමට කැමති වූ අතර, මෙම ගැඹුරු ප්‍රඥාව සහ විශ්වාසවන්ත ධෛර්යය සඳහා ඔහුට ප්‍රාණ පරිත්‍යාගයේ ඔටුන්න හිමි විය. නැතහොත් ඔබ සභාවේ වස්තු භාවිත නොකළ යුතුය, නැතහොත් එහි පූජනීය භාජන විකිණීම නොකළ යුතුය, යනුවෙන් කිසිවෙකුට ලෝරන්ස්ට ඇත්තටම පැවසිය හැකිද?

142. එවැනි වගකීම් භාර දී ඇති සෑම කෙනෙකුම ඒවා සම්පූර්ණ අවංකභාවයෙන් සහ ප්‍රඥාවන්ත විනිශ්චයෙන් ඉටු කළ යුතුය. යමෙකු එයින් තමාට ලාභයක් ලබා ගන්නේ නම් එය අපරාධයකි, එහෙත් ඔහු දුප්පතුන් වෙනුවෙන් වස්තු වියදම් කරන්නේ නම් හෝ වහලුන් මුදා ගන්නේ නම් හෝ ඔහු දයාව පෙන්වයි. මක්නිසාද යත්, දුප්පතුන් ජීවතුන් අතර තබා ගැනීම, වහලුන් නිදහස් කිරීම, දෙවියන් වහන්සේගේ නිවසක් ඉදිකර ඇති නිසා, ඇදහිලිවන්තයන්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම හෝ කිතුනුවන්ට මරණයෙන් පසු සාමකාමී විවේක ස්ථාන ලබා දීම නිසා කිසිවෙකුට නිවැරදිව පැමිණිලි කළ නොහැකිය. මෙම අරමුණු තුන සඳහා සභාවේ පූජනීය භාජන කැඩීමට, උණු කිරීමට හෝ විකිණීමට පවා අවසර ඇත.

143. කෙසේ වෙතත්, පූජනීය පාත්‍රය සභාවෙන් ඉවත් නොකිරීම හෝ සාමාන්‍ය හා නුසුදුසු අරමුණු සඳහා භාවිත නොකිරීමට වගබලා ගැනීම අවශ්‍ය වේ. එමනිසා, කිසි විටෙකත් ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය සඳහා කැප නොකළ භාජන පළමුව සොයා ගන්නා ලදී. මේවා කඩා, උණු කර, දුප්පතුන්ට උපකාර කිරීම සඳහා කුඩා කොටස් වශයෙන් බෙදා හරින ලද අතර, වහලුන් මුදා ගැනීමට භාවිත කරන ලදී. එහෙත් මා දැනටමත් පැහැදිලි කර ඇති පරිදි, එවැනි භාජන ඉතිරිව නොමැති නම් හෝ කිසි විටෙකත් පූජනීය භාවිතය සඳහා අදහස් කර නොතිබුණේ නම් පමණක්, අනෙක් භාජන පවා අගෞරවයකින් තොරව මෙම කාර්යය සඳහා භාවිත කළ හැකි බව මම විශ්වාස කරමි.

29 වන පරිච්ඡේදය.

වැන්දඹුවන්ගේ හෝ සියලුම ඇදහිලිවන්තයන්ගේ සභාවට භාර දී ඇති දේපළ, එය තමාටම අනතුරක් ගෙන දෙන නමුත් ප්‍රවේශමෙන් ආරක්ෂා කළ යුතුය. මෙය පූජක ඔනියාස් සහ ටිසිනම්හි රදගුරු ඇම්බ්‍රෝස්ගේ උදාහරණ මගින් නිරූපණය කෙරේ.

144. වැන්දඹුවන් විසින් පවරන ලද දේපළ සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන බව සහතික කිරීම සඳහා සැමවිටම දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. වැන්දඹුවන්ට අයත් නම් පමණක් නොව, ඕනෑම අයෙකුගේ දේපළ කිසිවෙකුට පැමිණිලි කිරීමට හේතුවක් ලබා නොදී ආරක්ෂා කළ යුතුය. මක්නිසාද යත්, වැන්දඹුවගේ සහ අනාථ දරුවන්ගේ කාරණය පළමුවෙන් පැමිණියද, සියල්ලන්ටම යහපත් ඇදහිල්ල පෙන්විය යුතුය.

145. එබැවින් අප මකබිවරුන්ගේ පොතේ කියවන පරිදි, දේවමාළිගාවට භාර දී ඇති සියල්ල වැන්දඹුවන්ගේ නාමයෙන් පමණක් ආරක්ෂා කරන ලදී. 2 මකබිවරුන්ගේ පොත 3 මක්නිසාද යත්, සයිමන් ද්‍රෝහී ලෙස ඇන්ටියෝකස් රජුට යෙරුසලමේ දේවමාළිගාවේ විශාල ධනයක් ගබඩා කර ඇති බව දැනුම් දුන් විට, එය අත්පත් කර ගැනීමට හීලියෝඩෝරස් යවන ලදී. ඔහු දේවමාළිගාවට පැමිණ තමාට ලැබුණු සතුරු වාර්තාව සහ ඔහු පැමිණි අරමුණ උත්තම පූජකයාට පැහැදිලි කළේය.

146. එවිට මෙම අරමුදල් වැන්දඹුවන් සහ අනාථ දරුවන්ගේ නඩත්තුව සඳහා පමණක් එහි තැන්පත් කර ඇති බව උත්තම පූජක ඔනියාස් පැහැදිලි කළේය. හෙලියෝඩෝරස් ඒවා රැගෙන යාමට බල කළ විට, සහ රජු වෙනුවෙන් එය ඉල්ලා සිටීමට යන විට, පූජකවරු තම පූජක වස්ත්‍ර පැලඳගෙන, තම ආඥාවල භාරකරු ලෙස තමන්ම පෙන්වීමට භාරකාර මුදල් පිළිබඳ නීතිය ලබා දුන් ජීවමාන දෙවියන් වහන්සේට කඳුළු සලමින් ආයාචනා කළහ. උත්තම පූජකයාගේ වෙනස් වූ පෙනුම සහ වර්ණය ඔහුගේ ආත්මයේ ශෝකය සහ කාංසාව සහ මනසෙහි ආතතිය පෙන්නුම් කළේය. සියල්ලෝම හැඬුවෝය, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ පවා ආරක්ෂිත සහ විශ්වාසවන්ත භාරකාරත්වය ආරක්ෂා කළ නොහැකි නම්, එම ස්ථානය අවමානයට ලක් වනු ඇත. ළය වටා ඇඳුම් බැඳගත් කාන්තාවෝ සහ සාමාන්‍යයෙන් හුදකලාව සිටි කන්‍යාවෝ දොරටුවලට තට්ටු කළහ. සමහරු නගර බිත්ති වෙත කඩිමුඩියේ ගිය අතර, තවත් සමහරු සමහරු ජනේලවලින් පිටතට බැලූහ, සියල්ලෝම තම දෑත් ස්වර්ගය දෙසට ඔසවා, දෙවියන් වහන්සේ තම නීතිය ආරක්ෂා කර උන් වහන්සේගේ නීතිවලට පක්ෂපාත වන ලෙස යාච්ඤා කළහ.

147. එහෙත් මෙයින් අධෛර්යයට පත් නොවූ හෙලියෝඩෝරස් තම අභිප්‍රාය ඉටු කිරීමට උනන්දු විය. ඔහු ඒ වන විටත් ඔහුගේ අනුගාමිකයන් සමග භාණ්ඩාගාරය වට කර තිබුණි. හදිසියේම රන් සන්නාහයෙන් සැරසුණු, ඔහුගේ අශ්වයා ද මිල අධික ආභරණවලින් සරසන ලද, භයානක අශ්වාරෝහකයෙකු ඔහු ඉදිරිපිට පෙනී සිටියේය, ඒ සමගම, තේජාන්විත බලයෙන් හා පුදුමාකාර අලංකාරයෙන්, මහිමයෙන් හා තේජසින් හා අලංකාර ඇඳුමින් සැරසී සිටි තවත් තරුණයෝ දෙදෙනෙක් පෙනී සිටියහ,‍ ඔවුහු හෙලියෝඩෝරස්ගේ වටේ සිටගත්හ. එසේ දෙපැත්තෙන්ම ඒ පාපතර දුෂ්ටයාට පහර දී, ඔහුට පහර පිට පහර දුන්හ. තවත් කියන්නට ඇත්තේ කුමක්ද? තව මොනවද කියන්න ඕන? අන්ධකාරයෙන් වැසී ගිය ඔහු බිම වැටී, දිව්‍යමය බලය පිළිබඳ මෙම පැහැදිලි සාක්ෂිය හමුවේ බියෙන් මිය යාමට ආසන්නව වැතිර සිටියේය, ඔහු තුළ ආරක්ෂාව පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි නොවීය. බියෙන් සිටි අය වෙත ප්‍රීතිය නැවත පැමිණියේය, කලින් ආඩම්බරයෙන් සිටි අයට බිය ඇති විය. එවිට හෙලියෝඩෝරස්ගේ සහ චරයින් කිහිප දෙනෙක්, දැඩි ලෙස ශෝකයට පත්ව, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට යාච්ඤා කරන ලෙස ඕනියස්ගෙන් ඉල්ලා සිටියහ.

148. එබැවින්, උත්තම පූජකයා ඔහු වෙනුවෙන් යාච්ඤා කළ විට, එම තරුණයන් දෙදෙනාම පෙර මෙන් එකම ඇඳුම් ඇඳගෙන හෙලියෝඩෝරස් වෙත පැමිණ, ඔබේ ජීවිතය ලබා දුන් උත්තම පූජක ඔනියාස්ට ස්තුති කරන්න. මන්ද ඔහු වෙනුවෙන් ඔබේ ජීවිතය ඔබට ලබා දී ඇත. එහෙත් ඔබ දෙවියන් වහන්සේගේ දඬුවම අත්විඳ, ගොස් ඔබේ සගයන්ට දේවමාළිගාවේ ශුද්ධකම සහ දෙවියන් වහන්සේගේ බලය ගැන ඔබ කොපමණ ඉගෙන ගත්තාද යන්න ඔබේ මිතුරන්ට කියන්න. මෙම වචන පැවසීමෙන් පසු, ඔවුහු නොපෙනී ගියහ. එවිට හෙලියෝඩෝරස්, තම ජීවිතය හා ශක්තිය යථා තත්ත්වයට පත් වී, ස්වාමින් වහන්සේට පූජාවක් ඔප්පු කර, පූජක ඕනියස්ට කෘතඥතාව පළ කර, තම හමුදාව සමග රජු වෙත ආපසු පැමිණියේය. එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය: ඔබට සතුරෙකු හෝ ඔබේ බලයට විරුද්ධව කුමන්ත්‍රණය කරන කෙනෙකු සිටී නම්, ඔහු එහි යවන්න, එවිට ඔහු දැඩි ලෙස දඬුවම් කිරීමෙන් පසු ඔබ ඔහු නැවත ලබා ගනු ඇත.

149. එබැවින්, මාගේ පුත්‍රයෙනි, ඔබේ භාරයට පවරා ඇති දේපළ ආරක්ෂා කිරීමේදී විශ්වාසවන්තකම සැමවිටම ආරක්ෂා කළ යුතු අතර, ඒ හා සමානව ප්‍රවේශමෙන් අවධානය යොමු කළ යුතුය. සභාවේ උපකාරයෙන්, වැන්දඹුවකට හෝ අනාථයෙකුට විරුද්ධ විය නොහැකි බලවත් පුද්ගලයෙකුගේ පීඩාව ඔබ වළක්වා ගන්නේ නම් සහ ධනවත් හා බලගතු පුද්ගලයින්ගේ අනුග්‍රහය ලබා ගැනීමට වඩා ස්වාමීන්වහන්සේගේ අණට කීකරු වීම ඔබට ඉතා වැදගත් බව ඔබ පෙන්නුම් කරන්නේ නම්, ඔබේ දේවසේවය ඊටත් වඩා දීප්තිමත් වනු ඇත.

150. වැන්දඹුවන් සඳහා සහ ඇත්ත වශයෙන්ම අන් අය සඳහා සභා‍වට පවරා ඇති මුදල් ආරක්ෂා කිරීම සඳහා රාජකීය බලධාරීන්ගේ ප්‍රහාරවලට එරෙහිව අපි කොපමණ වාරයක් එකට සිටියෙමුද යන්න ඔබට මතකද? ඔබ මෙම අරගල මා සමග බෙදා ගත්තෙහුය. වැන්දඹුවක් වෙනුවෙන් පවරා ඇති මුදල් අහිමි වීමේ අවදානමට ලක්ව තිබූ ටිසිනම් සභාව සම්බන්ධ කාරණයද මම ඔබට මතක් කරමි. මක්නිසාද යත්, එය ඉල්ලා සිටි පුද්ගලයා තම ඉල්ලීමට සහාය දක්වමින් අධිරාජ්‍ය ආඥාවක් ඉදිරිපත් කළ විට, පූජක පක්ෂය ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළේ නැත. වරක් තනතුරට කැඳවා කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කර ඇති බැවින්, අධිරාජ්‍යයාගේ අණට විරුද්ධ විය නොහැකි බව ඔවුහු විශ්වාස කළහ. අධිරාජ්‍ය ආඥාවේ පැහැදිලි වචන ශබ්ද නඟා කියවන ලදී, අධිකරණයේ ප්‍රධාන නිලධාරියාගේ උපදෙස් එහි සිටි අතර, නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු නිලධාරියා සූදානම්ව සිටියේය. තවත් කුමක් කිව හැකිද? දේපළ භාර දෙන ලදී.

151. කෙසේ වෙතත්, මා සමග සාකච්ඡා කිරීමෙන් පසු, ශුද්ධ වූ රදගුරුවරයා වැන්දඹුවගේ දේපළ තැන්පත් කර ඇති බව ඔහු දන්නා කාමර අත්පත් කර ගත්තේය. දේපළ ඉවත් කළ නොහැකි බැවින්, සියල්ල දැක්වෙන ලේඛනයක් සාදන ලදී. පසුව, එම ලිඛිත වාර්තාව මත පදනම්ව දේපළ නැවත ඉල්ලා සිටියේය. අධිරාජ්‍යයා ඔහුගේ අණ නැවත නැවතත් කළ අතර, අප පෞද්ගලිකව හමුවීමට පවා යෝජනා කළේය. අපි එය ප්‍රතික්ෂේප කළෙමු. දෙවියන් වහන්සේගේ නීතියේ අධිකාරිය, ශුද්ධලියවිල්ලේ බොහෝ කොටස් සහ හීලියෝඩෝරස්ගේ දඬුවම පිළිබඳ උදාහරණය සමග, සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ විට, අවසානයේ අධිරාජ්‍යයා සාධාරණ විය. පසුව දේපළ අත්පත් කර ගැනීමට තවත් උත්සාහයක් ගන්නා ලදී. එහෙත් යහපත් රදගුරුවරයා එම උත්සාහය අපේක්ෂා කළ අතර වැන්දඹුවට සියල්ල නැවත ලබා දුන්නේය. එබැවින් ඇදහිල්ල ආරක්ෂා විය, පීඩාව තවදුරටත් බිය විය යුතු දෙයක් නොවීය; මක්නිසාද යත් දැන් අනතුරේ ඇත්තේ යහපත් ඇදහිල්ල නොව දේපළයි.

30 වන පරිච්ඡේදය.

පොතේ අවසානයෙහි නපුරුකමෙන් වැළකී සිටීමට සහ විචක්ෂණභාවය, ඇදහිල්ල සහ අනෙකුත් ගුණධර්ම සෙවීමට අනුශාසනාවක් දක්වා ඇත.

152. මාගේ පුත්‍රයෙනි, දුෂ්ට මිනිසුන්ගෙන් ඈත් වී ඊර්ෂ්‍යා කරන්නන්ගෙන් පරිස්සම් වන්න. දුෂ්ටයෙකු සහ ඊර්ෂ්‍යා කරන මිනිසෙකු අතර මෙම වෙනස තිබේ: දුෂ්ට පුද්ගලයා තමාගේම සමෘද්ධිය ගැන ප්‍රීති වන අතර, ඊර්ෂ්‍යා කරන්නා වෙනත් කෙනෙකුගේ සාර්ථකත්වයෙන් පීඩා විඳියි. දුෂ්ට පුද්ගලයා නපුරට ප්‍රිය කරයි, ඊර්ෂ්‍යා කරන්නා යහපතට වෛර කරයි. එමනිසා, තමාට පමණක් යහපත සොයන පුද්ගලයා සෑම කෙනෙකුටම නපුර සිදුවීමට කැමති තැනැත්තාට වඩා දරා ගැනීමට පහසුය.

153. මාගේ පුත්‍රයෙනි, ඔබ ක්‍රියා කිරීමට පෙර සිතන්න, ඔබ දිගු කලක් සිතූ පසු ඔබ නිවැරදි යැයි සලකන දේ කරන්න. ප්‍රශංසනීය මරණයකින් මිය යාමට අවස්ථාව ලැබෙන සෑම විටම, එය ප්‍රමාදයකින් තොරව අල්ලා ගන්න. කල් දැමූ මහිමය ගිලිහී යන අතර එය නැති වූ පසු එය පහසුවෙන් ලබා ගත නොහැකිය.

154. ඇදහිල්ලට ප්‍රේම කරන්න. මක්නිසාද ඔහුගේ භක්තිය සහ ඇදහිල්ල නිසා යොෂියා තමාගේ සතුරන්ගෙන් තමාට මහත් ප්‍රේමයක් දිනා ගත්තේය. මක්නිසාද ඔහු වයස අවුරුදු දහඅටේදී ඔහුට පෙර කිසිවෙකු එය නොකළ පරිදි, ස්වාමීන්වහන්සේගේ පාස්කුව සැමරුවේය. එවිට ජ්වලිතයෙන් ඔහු තමාට පෙර සිටි අයට වඩා උසස් වූවාක් මෙන්, මාගේ පුත්‍රයෙනි, ඔබත් දෙවියන් වහන්සේ කෙරෙහි ජ්වලිතය පෙන්වන්න. දෙවියන් වහන්සේ කෙරෙහි ජ්වලිතය ඔබගේ අභ්‍යන්තරය විමසන සේක්වා, එවිට ඔබ එකිනෙකාට මෙසේ කීමට හැකි වනු ඇත: ඔබේ ගෘහය උදෙසා වන ජ්වලිතය මා දවා දැමීය. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙකු ජ්වලිතයා ලෙස හඳුන්වන ලදී. ලූක් 6:15 එහෙත් මම ප්‍රේරිතයෙකු ගැන කතා කරන්නේ ඇයි? ස්වාමින් වහන්සේම මෙසේ වදාළ සේක: ඔබේ ගෘහය උදෙසා වන ජ්වලිතය මා දවා දැමීය. එසේ නම් එය දෙවියන් වහන්සේ කෙරෙහි සැබෑ ජ්වලිතය වේවා, එය ඊර්ෂ්‍යාව ඇති කරන ලෞකික භූමික ජ්වලිතයක් නොවේවා.

155. ඔබ අතර සියලු අවබෝධය ඉක්මවා යන සාමය ඇති වේවා. එකිනෙකාට ප්‍රේම කරන්න. දානයට වඩා මිහිරි දෙයක් නැත, සාමයට වඩා ආශීර්වාද ලත් දෙයක් නැත. මා ඔබට සැමදාම ප්‍රේම කළ බවත් දැන් අන් සියල්ලන්ටම වඩා ඔබට ප්‍රේම කරන බවත් ඔබ දන්නෙහුය. එක පියෙකුගේ දරුවන් ලෙස ඔබ සහෝදර ස්නේහයේ බැඳීම යටතේ එක්සත් වී සිටින්නෙහුය.

156. යහපත් දේ තදින් අල්ලාගෙන සිටින්න; සාමයේ සහ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ස්වාමීන් වන යේසුස් වහන්සේ තුළ ඔබ සමග සිටින සේක, උන් වහන්සේට ශුද්ධාත්මයාණන් වහන්සේ සමග සදාකාලයෙන් සදාකාලයට ගෞරවය, මහිමය, ආධිපත්‍යය සහ බලය, වේවා.

ආමෙන්.